Sunday, December 20, 2015

සිංහ-ලේ!

මට තියෙන්නෙ සිංහ -ලේ
හැබැයි එකෙක් දෙන්නෙක් දානවමයි ව-ලේ!
මට තියෙන්නෙ සිංහ -ලේ
හැබැයි බුදු බණත් දානව කැ-ලේ!
ඔව් අ-ලේ! මං බො-ලේ! ඉන්නේ තවමත් කැ-ලේ!


මට තියෙන්නෙ සිංහ -ලේ
හැබැයි බඳිනකොට බලනවමයි කු-ලේ!
මට තියෙන්නෙ සිංහ-ලේ
හැබැයි බැන්ඳට පස්සෙත් බලනව තියෙනව ද -ලේ!
ඔව් අ-ලේ! මං බො-ලේ! ඉන්නේ තවමත් කැ-ලේ!



මට තියෙන්නෙ සිංහ -ලේ
හැබැයි ගෑණු ටික යවනව අරාබියෙ වා-ලේ!
මට තියෙන්නෙ සිංහ-ලේ
හැබැයි පැටව් මැරෙනව හේතු නැතුවත් කැ-ලේ!
ඔව් අ-ලේ! මං බො-ලේ! ඉන්නේ තවමත් කැ-ලේ!


මට තියෙන්නෙ සිංහ-ලේ
හැබැයි පූසෙකුටවත් නගින්න දෙන්නේ නෑ වහ-ලේ!
මට තියෙන්නෙ සිංහ-ලේ
හැබැයි මම එල්ලෙන්නෙ නරින්ගෙ බෙල්-ලේ!
ඔව් අ-ලේ! මං බො-ලේ! ඉන්නෙ තවමත් කැ-ලේ!

.......... හා..........
අපි රැ-ළේ! එක රැ-ළේ! ඉන්නෙ තවමත් කැ-ලේ!
ලෙ..ලෙ...ලේ! ලෙ..ලෙ..ලේ! ඉන්නෙ තවමත් කැ-ලේ!

සිංහ-ලේ.... සිංහ-ලේ... ඉන්නෙ තවමත් කැ-ලේ!

Photo - https://internationalbookpromotion.files.wordpress.com/2014/09/dumb-things-2.jpg

Wednesday, December 2, 2015

සිනමා සම්මාන: තීන්දු, තීරණ, වේදනා සහ ‘පොර ටෝක්‘


ප්‍රවේශය

කේ සරා 
හිරු සිනමා සම්මාන, දෙරණ සිනමා සම්මාන සහ ඕසීඅයිසී සිනමා සම්මාන උළෙලවල් මේ වසරේ පැවැත්වී අවසාන ය. ඒ කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල දෙවන වර ප්‍රේක්ෂකයා අභිමුවට ආ ආසන්න කාලයේ දීම ය. යාපනයේ ජාත්‍යන්තර සිනමා උළෙලක් පළමුවරට පැවැත්වුණේ ද මේ සියල්ලට මොහොතකට පෙර ය. ඒ අතරතුර විවිධ කෙටි චිත්‍රපට උළෙල පැවත්වී අවසන්ව හා පැවැත්වෙමින් ද තිබේ. ඒ අනුව මේ එක්තරා සිනමා වසන්ත සමයක් ලෙස ගැනීම බැලූ බැල්මට වරදක් නැත.සිනමා කෘති ප්‍රේක්ෂක ඇස අභියසට එද්දී, ඒ සඳහා සිය කාලය, ශ්‍රමය හා නිර්මාණ කෞෂල්‍යය වැය කළ පිරිසෙන් තෝරාගත් ‘ජයග්‍රාහකයින්ට‘ සම්මාන අත පත් කෙරෙයි. සිනමාව විඳීමේ අවකාශය තැනක ය. සම්මාන ප්‍රහර්ෂය විඳීම තව තැනක ය.

මෙම සටහන ඒ සියල්ල ගැන නම් නොවේ. ප්‍රදර්ශන පසුපසින් ආ සම්මාන උළෙල ගැන ය. ඒ අතුරින් ද දෙරණ සම්මාන උළෙල ගැන ය. සරලවම නම් ඒ හා බැඳුණු තීන්දු, තීරණ, වේදනා සහ ‘පොර ටෝක්‘ ගැන ය.

සිනමා උළෙල ඉතිහාසය

චලන රූපය, ඡායාරූපයේ දිගුවක් ලෙස ද, මිනිස් කුතුහලයේ තවත් ප්‍රතිඵලයක් ලෙස ද, කාර්මීකරණයේ එක් ආන්තික ඵලයක් ලෙස ද, හමුවූ මුල් යුගයේ එය එහෙම පිටින්ම වාගේ තාක්ෂණික හරඹයක්ම වූවා මිස කලාවක කිසිදු සළකුණක් නොවුණු බව සිනමා ඉතිහාසය විමසන විටම වැටහේ. සිනමාව කලාවක් ලෙස වැඩී වර්ධනය වන්නේ යුරෝපය හා ඇමරිකා එක්සත් ජනපදය ප්‍රධාන, චලන චිත්‍රයේ ආරම්භක ප්‍රවර්ධන කලාපය තුළ 20 වැනි සියවසාරම්භයේ ක්‍රියාත්මක වන පුද්ගල කණ්ඩායම් හේතුවෙනි. ‘සිනමාව කලාවක් බවට හරවන්නෙමැයි‘ යන අභිලාෂයකින් කටයුතු නොකළ ද, එඩ්වින් එස්. පෝටර්, ජෝර්ජ් මෙලියේ, චාලි චැප්ලින්, ඩී. ඩබ්ලිව්. ග්‍රිෆිත්, සර්ජි අයිසන්ස්ටයින් ප්‍රමුඛ සිනමා ක්‍රියාධරයෝ සිය දායකත්වයන් හරහා සිනමා කලාවක් සඳහා සමාරම්භක පදනම තනා දුන් හ. ජර්මානු ප්‍රකාශනවාදය, සම්භාව්‍ය හොලිවුඩ් ආඛ්‍යානය, ඉතාලි නව යථාර්ථවාදය, ප්‍රංශ නව රැල්ල ආදී විවිධ සිනමා ප්‍රකාශන ස්වරූප හා කලාප අපට වර්තමාන සිනමා ලේඛණ සහ සංවාද තුළ මුණගැහෙන්නේ ඒ පදනම හේතුවෙනි.

සිනමා උළෙල පිළිබඳ අදහස පිළිබඳව හෝ එහි අතීතය ගැන දිගු රචනයකට මේ මොහොත නොවූව ද සිනමා උළෙල මූලිකව සිනමාවේ කලාත්මක භාවිතයත් හා සමග ව්‍යාපාරයක් බවට පත් වීමත් යන කරුණු හා බැඳී ඇති බව පෙනේ. 1932 දී වැනිස් ජාත්‍යන්තර සිනමා උළෙලින් ඇරඹෙන සිනමා උළෙලවල ජාත්‍යන්තර ස්වරූපයන් මොස්කව්, කෑන්ස්, ලොකර්නෝ, කාලොයිවේරි, බර්ලින් සහ එඩින්බර්ග් යන සිනමා උළෙල සමගින් නැගී විහිද එයි. යුරෝපීය රාජ්‍යයන්ගේ නගර මූලික කොටගෙන පළමුව ඇරඹී විහිදෙන මෙම උළෙල සංස්කෘතිය ඒ ඒ නගරවල දියුණු සංස්කෘතික ස්වභාවයෙහි පිළිඹිබුවක් ලෙස අද ද හඳුනාගැනෙයි. කොළඹටත් ජාත්‍යන්තර සිනමා උළෙලක් පැමිණීම අපට වැදගත් වන හේතු අතර මෙම සංස්කෘතික සඳහන ද මුලින් ලිවිය හැක.

ජාතික හෝ ජාත්‍යන්තරව මුණගැසෙන සිනමා කෘති එක් නගර අවකාශයක, සිනමාව පිළිබඳ දියුණු වින්දන හැකියාවක් සහිත රසවතුන් සමග හිඳ රසවිඳීම, සාකච්ඡා කිරීම හා ඒ හා බැඳුණු යම් කථිකා අවකාශ වර්ධනය කරගැනීම යටකී සිනමා උළෙල පසුබිමෙහි නැගී වැඩෙද්දී සමානුපාතිකව සිනමා නිර්මාණකරුවන් සඳහා වෙළඳපළ නිර්මාණය වීම, නිෂ්පාදකවරුන් හෝ සමාගම් මුණගැසීම මෙන්ම ඒ හා බැඳුණු ව්‍යාපාරික පසුබිම ගොඩනැගීමත් දියුණු සිනමා කෘති අරභයා ඇගයීම් හා සම්මාන ලබා දීමත් තවත් පසෙකින් නැගී වැඩිණ. එක් අතකට මේ සියල්ල ක්‍රමිකව එකට බැඳී පැවතිණි. එනම්, සම්මානිත, ආකර්ෂණීය සිනමා කෘති සඳහා වෙළඳ පළ නිර්මාණය වීම සිදුවෙද්දී එම කෘතියේ නිර්මාණකරුගේ ඊළඟ නිර්මාණය සඳහා නව නිෂ්පාදකයකු කැමැත්ත පළ කිරීම හා මුල් සම්මානිත චිත්‍රපටය නැරඹීමට ප්‍රේක්ෂාගාරය ආකර්ෂණය වීම යනා දී වශයෙනි.
චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා අවකාශයක් මුණ නොගැසෙන, නමුත් යම් කිසි කාලසීමාවක් (බොහෝ විට වසරක්) ඇතුළත ප්‍රදර්ශනය කළ හෝ එම උළෙල සඳහා අයදුම් කර ඇති සිනමා කෘති අතරින් සම්මාන සඳහා සුදුසු චිත්‍රපට හා නිර්මාණකරුවන්, ජූරියක් විසින් ලබා දෙන තීන්දු මත, තෝරා සම්මානයට පාත්‍ර කිරීමේ තවත් උළෙල ක්‍රමයක් පසුකාලීනව නැගී ආවේ ය. මෙරටත් වඩා ප්‍රසිද්ධ, අල්ලපු රටේ පැවැත්වෙන, ෆිල්ම් ෆෙයා සම්මාන උළෙල මීට සුදුසුම උදාහරණයක් වන අතර සරසවි සම්මාන, ඕසීඅයිසී සිනමා සම්මාන, ජනාධිපති සම්මාන මේ සඳහා මෙරට උදාහරණ වේ. යම් වෙළඳ සමාගමක්, සංගමයක් හෝ සංවිධානයක්, නැතිනම් රජය මේ සම්මාන උළෙල සංවිධානය කළ අතර ඒ ඒ ආයතනය හෝ පාලනය පළ කළ දෘෂ්ඨිවාදයන් හා නොපෑහුණු කෘති සම්මානයෙන් ඉවත් කිරීම මේ උළෙලවලදී සිදුවන බවට චෝදනාවන් ද නිරතුරුව මුණ ගැසෙන්නට විය.

ලංකාවේ සිනමා සම්මාන උළෙල

දීපශිකා සම්මාන උළෙලින් ඇරඹෙන මෙරට සිනමා සම්මාන උළෙල ඉතිහාසය දිගුකාලීන ක්‍රියාත්මක බවක් ඉසිලූ සරසවිය (ලේක්හවුස් ආයතනය මගින් මුද්‍රණය කෙරෙන සරසවිය පුවත්පත මගින් පැවැත්වූ), ජනාධිපති සම්මාන (චිත්‍රපට සංස්ථාවේ මැදිහත් වීම මත රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වූ) හා ඕසීඅයිසී සම්මාන (කතෝලික සිනමා පර්ෂදයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන) ආදී උළෙල නිසා කැපී පෙණින. වසරක කාලයක් පුරා දිවෙන සිනමා ප්‍රදර්ශන සමයකින් තෝරාගැනෙන හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂවරයා, හොඳම නළුවා, නිළිය, හොඳම සංගීතය, හොඳම කැමරාකරණය, හොඳම සංස්කරණය ආදී ඇගයුම් මෙන්ම මහජන ඡන්දය හරහා ලැබුණු ජනප්‍රිය චිත්‍රපටය, නළුවා හා නිළිය වැනි සම්මාන ද මෙම උළෙල ලේඛණ අතර විය. ඉන්දීය සිනමාව තරම් මහෝඝයක්ව ගලන සිනමා නිෂ්පාදන රැල්ලක් නොමැති වුව, සිහින් දිය දහරක්ව ගලන සිනමා නිර්මාණ සුළුතරයක් අභිමුව නැගෙන විශිෂ්ඨයින් හඳුනාගැනීම පවා නිර්මාණය කළේ මහත් උත්කර්ෂයකි.

කෙසේ වෙතත්, මේ සිනමා සම්මාන උළෙල ද එක් එක් අවස්ථාවලදී විවිධාකාර අර්බුද නිර්මාණය කළ අතර ඇතැම් මොහොතවල ප්‍රබල මහජන අවධානයන් ද දිනා ගත්තේ ය. උළෙලවලදී ප්‍රධානකොටම අර්බුද නිර්මාණය කළේ විනිශ්චයයි. සම්මාන සඳහා තේරූ හෝ නිර්දේශ කෙරුණු කෘතීන් හෝ සිනමා නිර්මාණකරුවන් නැතිනම් ශිල්පීන් ඒ සඳහා සුදුසු නොවන බව එක් තැනෙක කියැවෙද්දී සඳහන් නොවුණු නාම ඒ සඳහා සුදුසු බව කියමින් තර්ක විතර්ක ඉදිරිපත් කළ අවස්ථා ද සුළු නොවී ය. මුහුදු ලිහිණි සිනමා කෘතිය සඳහා තමන්ට ලැබුණු හොඳම සංගීතය සඳහා වන සම්මානය ලැබිය යුතු සුදුස්සා නම් තුන්වෙනි යාමය සඳහා සංගීතය නිමැවූ ප්‍රේමසිරි කේමදාසයන් බව කියා එච්.එම්. ජයවර්ධන විසින් සම්මානය ඔහු අත තැබූ මොහොත වැනි අවස්ථා සම්මාන උළෙල වෙත අමුතු මහජන අවධානයක් ඇති කළ අවස්ථා විය.

පසුගිය කාලයේ ලංකාවේ සිනමා සම්මාන උළෙල
2000 -2010 දශකය සමයේ පෙර නොවූ විරූ පරිදි ලංකාවේ සිනමා සම්මාන උළෙල කලාපය උඩු යටිකුරු වුණු අන්දම හඳුනාගැනීම අපහසු නැත. දිගු කලක් මුළුල්ලේ අඛණ්ඩව පැවති සරසවිය සිනමා සම්මාන උළෙල නැත්තටම නැතිවී ගියේ ය. එහි දී පිදෙන ජනප්‍රිය සිනමා නළුවා සම්මානය රන්ජන් රාමනායක අතට පත්වීම වැළැක්වීම සඳහා බලයේ සිටි රජය ඒ නවතා දැමුණු බවට, ඇත්ත නැත්ත කුමක්දැයි ඇපැහැදිලි, කතාවක් ප්‍රචලිතව තිබුණේ ය. චිත්‍රපට සංස්ථාව වටා රොක්වුණු, පැවති රාජ්‍ය දෘෂ්ඨිය කරපින්නාගත් කිහිප දෙනෙකු, ජනාධිපති සිනමා සම්මාන උළෙල ද යටපත් කළ බවට ආරංචි පැතිර ගියේ ය. තමන් අකමැති සිනමාකරුවන්ට එම සම්මාන උළෙල සම්මාන ලබා දීමට සූදානම් වූ බැවින් යටකී ‘කිහිප දෙනා‘ එය පැවැත්වීම අධෛර්යයට පත් කළ බව කියැවිණි. මෙහි ද ඇත්ත නැත්ත කුමක් වුණත්, 2009 හෝ ආසන්න වසරක සිනමා කෘති විනිශ්චය සඳහා ජනාධිපති සම්මාන ජූරි සභාවට ලියුම්කරුට ද ඇරයුම් ලැබුණු අතර, එම විනිශ්චය මණ්ඩලය ඉන් පෙර ඒ කෘති නැරඹූ විනිශ්චය මණ්ඩලයක තීරණවලට එකඟ නොවූ නිසා පත් කළ එකක් බව පසුව දැනගන්නට ලැබිණ. අපි ද අපේ විනිශ්චයන් කවරයක බහා සීල් කොට භාර දුන් නමුත් අද වන තෙක් කිසිදු සම්මානයක් ලබා දුන් බවක් නම් ආරංචි නැත.

සරසවිය හා ජනාධිපති සම්මාන උළෙල අතුරුදහන් වුණු යුගයක ඉතිරි වූයේ ඕසීඅයිසී සම්මාන උළෙල පමණි. එය ද ඇතැම් වසරක නොපැවැත්වුණු අතර වසර කිහිපයක සම්මාන එකවර ලබා දෙන තත්වයකට පත් වුණු අවස්ථා විය. 2010 වසර පසුවීමත් සමග තරගකාරී පෞද්ගලික රූපවාහිනී නාලිකා දෙකක් සිනමා සම්මාන උළෙල පැවැත්වීම භාරගෙන තිබිණි. එකක් හිරු නාලිකාව ය. අනෙක දෙරණ නාලිකාව ය. ඒ හැරුණුකොට, ගුණසිරි සිල්වාගේ උනන්දුව මත වරක් හෝ දෙකක් ලංකාලයිව් සිනමා සම්මාන නමින්, සිනමාව පිළිබඳව වූ වෙබ් අඩවියක් මගින් ද සම්මාන උළෙලක් අප හමුවට ආවේ ය.

රූපවාහිනී නාලිකා සිනමාවට සම්මාන දෙන්නේ ඇයි?

රූපවාහිනී නාලිකාවක් ප්‍රමුඛ අවධානයකින් සිනමාව සඳහා සම්මාන පිරිනමන්නේ සිනමාව කෙරෙහි වන දැඩි භක්තිය හෝ ආසක්ත බව නිසා නම් නොවන බව පැහැදිලි ය. ජනාධිපති සහ සරසවි සම්මාන උළෙල පැවැත්වීමට මෙන්ම නැවැත්වීමට ද ඒ ඒ ආයතනවලට එළිදරව් වුණු හා සැඟවුණු හේතු තිබුණු පරිද්දෙන්ම, මෙසේ සම්මාන දීමට ද මේ ආයතනවලට එළිදරව් කළ හා සැඟවුණු හේතු ඇතුවාට සැක නැත. ප්‍රමුඛම කාරණා අතර නාලිකාවට හිමිවන ප්‍රචාරය, අනුග්‍රාහකත්වයන් නිසා ලැබෙන මුදල් සහ ජනප්‍රියත්වය වන බව පෙනී යයි.

කෙසේ වෙතත්, සිනමාවේ බිඳවැටීම සඳහා මූල සාධකයක් විණැයි ඇතැමුන් හඳුන්වා දුන් රූපවාහිනියම පෙරට පැමිණ සිනමාවට සම්මාන දීම එක් අතෙකින් සතුටුදායක ය; අනෙක් පැත්තෙන් උත්ප්‍රාසජනක ය. වඩා දියුණු සිනමාවක් බිහිවීම සඳහා ප්‍රමුඛ ලෙස ම බාධා එල්ල කරමින් අවරගණයේ ටෙලි නාට්‍ය, හොලිවුඩ් හා බොලිවුඩ් මහාධාරවේ සිනමා කෘති ඇති පමණට සමාජයට පොම්ප කරන රූපවාහිනී නාලිකා හිටි අඩියේ සිනමාව ගැන සැළකිල්ලක් දැක්වීම තියුණු අවධානයකින් විමසා බැලිය යුත්තක් බව ද පෙනේ. එක් අතකින්, මගේ විශ්වාසයේ හැටියට, සිනමා සම්මාන දීම හෝ නොදීම කොයි හැටිවෙතත්, කලාත්මක සිනමාව පුරවැසියා වෙත සම්ප්‍රේෂණය කිරීම සඳහා මැදිහත් කාර්යයකට පිවිසීමේ වගකීම මේ සියලු නාලිකා වෙත සමානව යොමු ව ඇත.

2014 වසර සඳහා දෙරණ සිනමා සම්මාන හා අර්බුදය

මෙම ලිපිය සඳහා ඉහත සියලු කරුණු එක් අතකට ප්‍රවේශයක් වැනි ය. නිමිත්ත මෙම ඉහත අනුමාතෘකාව බැවිණි. එහෙත් සෘජුව මාතෘකාව වෙත පිවිසීමට වඩා, මෙම පිවිසුම් ලේඛණය අත්‍යාවශ්‍ය කරුණු කිහිපයක් ගෙනවිත් ඇති බව ඔබට පසුව ඒත්තු යනු ඇත.

2014 වසරේ තිරගත වුණු සිනමා කෘතීන් සඳහා දෙරණ සිනමා සම්මාන උළෙල තුළ දී පිරිනැමෙන සම්මාන සිනමා රසවතුන්, උද්යෝගිමත් ප්‍රේක්ෂක ප්‍රජාව, සිනමාව ගැන කමෙන්ට් දමන ෆෙස්බුක් ක්‍රියාකාරිකයින් බොහොමයක් වෙත තිගැස්මක් ඇති කර දී ඇත. ආසන්නව පැවති සිනමා සම්මාන උළෙල  කිහිපයකදීම ඇගයුමට ලක්වුණු ‘තණ්හා රති රගා‘ සිනමා පටය හා කරට කර යමින් ‘හොඳම අධ්‍යක්ෂවරයා‘ සහ ‘හොඳම නිළිය‘ ඇතුළු ප්‍රමුඛ සම්මාන කිහිපයක්ම දිනාගන්නට ‘කේ සරා‘ චිත්‍රපටය සමත්වීම මෙයට හේතුවයි. ඒ සම්මාන ප්‍රදානයෙන් පසුව හමුවුණු ෆේස්බුක් අදහස් කිහිපයකට අනුව හා සරසවිය පුවත්පතේ ලිපියකට අනුව සම්මාන ප්‍රදානය ඔවුන් දකින්නේ ‘අදහාගත නොහැකි‘ විශ්මයක් ලෙස ය. “දෙරණ සිනමා උළෙලෙදි කේ සෙරා චිත‍්‍රපටියට හොඳම අධ්‍යක්‍ෂණය, හොඳම නිලිය, හොඳම සහාය නලුවා සම්මාන දෙන්න මේ විනිශ්චය මණ්ඩලය දැකපු අපි නොදැකපු ප‍්‍රශස්ත බව දැනගන්න කැමතියි“ යනුවෙන් තරුණ සිනමාකරුවකු හා විචාරකයෙකු වූ චින්තන ධර්මදාස ෆේස්බුක් අඩවියේ ලියා තිබිණ. “ඉතාමත් කුහකම ජූරිය මේ යැයි කීමට මම බය නොවෙමි“ යන හිසින් (හෝ අදහස සහිතව) විකුම්ජිත් ප්‍රේමකීර්ති සරසවිය පුවත්පතට ලිපියක් ලියා තිබුණු අතර වෙබ් අඩවි කිහිපයක්ම එය උපුටා පළ කොට තිබිණි.

මා මේ ලිපිය ලිවීමට මෙහෙය වූ ෆේස්බුක් පෝස්ටුව ලියා තිබුණේ ප්‍රකට ලේඛක හා විශ්වවිද්‍යාල ආචාර්ය ලියනගේ අමරකීර්ති විසිනි. සම්මාන උළෙල පිළිබඳ විවිධ පුද්ගලයින් දැරූ අදහස් කිහිපයක්ම ගොණු කර තිබුණු ඔහු මතයක් සෘජුව පළ කර නොතිබුණ ද සිනමා සම්මාන විනිශ්චය පිළිබඳ ගැටළුවක් සමාජයේ ඇති බව පෙන්වා තිබිණ. ඔහු ගොනු කර තිබුණු ප්‍රකාශ කිහිපයකි මේ;

"80 ගනණ්වල අපේ චිත්‍රපටි පිච්චුව කුහකයො ටිකත්, කේසරා ට සම්මාන දුන්න මේ විද්වත් ජූරියත් කරල තියෙන්නෙ එකම දෙයයි.. ඒ අපේ කර්මාන්තය ගිනි තිබ්බ එකයි." 
- Randi Pavi Kaluarachchi

"අවසාන වශයෙන්, අපි රහක් තියෙන මිනිස්සු විදිහට දැකපු ජූරියක් අතින් "කේ සේරා" කියන ""වෙසක් නාට්‍යය"" ට හොඳම අධ්‍යක්ෂණය දුන්නෙ කොහොමද? Channel එකක් ලබාදෙන ඕනම අවකාශයක් තුළ ජූරියකට (කලාකරුවෙකුට ) තමන්ගෙ සමාජ වගකීමෙන් ගැලවිල මෙහෙම විහිළු සපයන්න පුළුවන්ද? මේ සම්මාන සමාජගත වෙන එක සිනමාකරුවන්ට, එය හදාරන අයට අන්තිමේදි ප්‍රේක්ෂකාගාරයට හානියක් නෙවෙයිද?" 
Nayani Chandrasinghe

රන්දි කළුආරච්චි නම් මා හඳුනන්නේ නැත. නයනි චන්ද්‍රසිංහ නම් මෑත යුගයේ නැගී ආ දක්ෂ තරුණ කෙටි චිත්‍රපට නිර්මාණකාරිණියක් බැව් දනිමි. කෙසේ වුවත්, මේ සියලු ප්‍රකාශයන්ට පසුව, පෝස්ටුවට පසුව යෙදී තිබුණු කොමෙන්ටු කිහිපයකට ද පසු, ජූරියේ ප්‍රමුඛතමයෙකු වූ අශෝක හඳගම මෙසේ ලියා තිබිණි.

අමරේ, අගක් මුලක් නොදන්නා ඉසවු වල කරක් ගහන කොට ටිකක් පරිස්සමින්. FB එකේ බල්ටි ගහන මේ අය අඬන්නේ තමන්ට නොලැබුණු යමකට තරහින්. අපේ තක්සේරු වැරදි මයි කියමුකෝ. එත් තරඟෙකට ඉදිරිපත් වෙලා තමන් හෝ තමන් නියෝජනය කරන පාර්ශවය දිනුවේ නැතිවුනාම පොර ටෝක් දෙන අය ගේ ශීලාචාර කම ගැන ටිකක් සැලකිලි මත් වෙන්න පැත්තක් ගන්නකොට. හරි හෝ වැරදි ජූරියේ අපට අපේ තීරණ වලට පදනම් වුනු හැමදෙනාම එකඟ වුණු ලොජික් එකක් තිබුණා. ඕනෑම නම් පුද්ගලිකව හමු වුනාම පැහැදිලි කරන්නම්. අප හරඹ කරන්නේ අපට තරම් අය සමග පමණයි.“

තීන්දු හා තීරණ

ඉහත උපුටනවලට වඩා තවත් බොහෝ අදහස් උදහස් ෆේස්බුක් අවකාශයේත්, සමාජ ජාල හා පුවත්පත් ඇතුළු කලාපවලත් පළවන්නට ඇති නමුත් මා මගේ ලිවීම සඳහා ඉහත ප්‍රකාශ කිහිපය පමණක් පාදක කොට ගනිමි.
මේ ප්‍රකාශ දැකීමෙන් අනතුරුව මා වහාම කළේ ‘කේ සරා‘ චිත්‍රපටය සොයාගෙන නැරඹීමයි. මා කලින් නරඹා තිබුණු ‘එකදා වැහි‘ චිත්‍රපටය නිර්මාණය කළ පරාක්‍රම ජයසිංහ එහි අධ්‍යක්ෂවරයා විය.

චිත්‍රපටයේ හමුවන්නේ සිය පියා මියගිය පසු ඔහුට අයත් අවමංගල සේවාව යළි නගා සිටුවන අවිවාහක ඉහළ මධ්‍යම පාන්තික තරුණියකි. ඇය සේරා ය. ඇයගේ ප්‍රධාන වැහැරුම් බස ඉංග්‍රීසි ය. ඇයට බාල සොයුරියක්ද සිටින අතර සිය ඥාති සොයුරකුගේ උදව්වෙන් ව්‍යාපාරය දියුණු කරයි. යම් විකාරරූපි ස්වභාවයකින් දිගහැරෙන කතා පුවත තුළ ඉහත තිදෙනාට අමතරව, සේරාගේ සුපිරි අවමඟුල් සේවා සාප්පුවේ සාමාජිකයින්, මළවුන්ට සෙනෙහස දක්වන විවාහක කතක්, මියගිය සුරූපි තරුණියකගේ අවතාරය (ඇය සේරාගේ සොයුරිය බව පසුව හෙළි වේ.), අවතාරය එලවන්නට එන කට්ටඩියා, හිටි අඩියේ සාප්පුවට යන එන ගණුදෙනුකරුවෝ ආදීහු වෙති. අවමංගල සේවාව ඉහළින් පටන් ගන්නට සූදානම් වන සේරාගෙන් ඇරඹෙන කතාව ඇගෙන් සමුගෙන යන සුන්දර අවතාර තරුණියගේ සමුගැනීමෙන් කෙළවර වේ.

අවතාර තිබූ පමණින් මෙය භීතිය ප්‍රමුඛ කොටගත් චිත්‍රපටයක් ලෙස නොගතමනා ය. සිනමාකරුවා (හෝ යමෙක්) මෙය නම්කර තිබුණේ අඳුරු සුඛාන්තයක් (Black Comedy) ලෙස ය.


සිනමා කෘතිය නරඹා නිම වූ පසු මාහට පැහැදිලි වූයේ යටකී ෆේස්බුක් කමෙන්ටු හා පුවත්පත් ලිපිවලට යම් පසුබිමක් ඇති බවයි. ඒ සියල්ල ‘තමන්ට හෝ තමන් කැමති සිනමාකෘතියට සම්මාන නොලැබීම‘ හේතුවෙන් ‘එෆ්බී‘ එකේ ‘බල්ටි ගසන‘ හඳගමලාට තරම් නොවන පිරිසකගේ ‘පොර ටෝක්‘ ලෙස ගැනීම ලොකු වරදක් බවයි.

සිනමා සම්මාන සඳහා වන තීරණ ප්‍රශ්න කළ හැකි ද?

මගේ අදහසේ හැටියට නම් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තමන්ට බලපාන හා/හෝ දැනගන්නට අවශ්‍ය යැයි හැඟෙන, පුද්ගලික සීමාව ඉක්මවන පොදු අවකාශීය කාරණා කවරක් ගැන වුව ප්‍රශ්න කිරීමට පුරවැසියකුට අයිතිය තිබිය යුතු ය. අනෙක් අතට, පුද්ගලික නාලිකාවකින් සම්මාන දුන් පමණින්, ඒ සඳහා වැයවන මුදල් පුද්ගලික නැත. පුරවැසියා, බදු මුදල් හරහා හෝ, වෙළඳ භාණ්ඩ මිලයට ගනිමින් හෝ වෙනයම් කුමනාකාරයකින් හෝ මේ වැඩවලට මුදල් දී ඇත. ඒ නැතත්, මේ සිනමාව උත්තර මණ්ඩලයකට අයත් කාගේ හෝ නොවේ. එය ප්‍රේක්ෂාගාරය අභියස දිගහැරෙන, තිරයක ඇඳෙන දෙයකි. එය අප හැමගේම ය.
අනෙක් අතට සම්මානයට පාත්‍ර වූ, පසුගිය වසරක තමන් දුටු සිනමා කෘතීන්හි ප්‍රශස්ත ස්වභාවයන් ගැන, එම කෘතීන් සම්මානයට පාත්‍ර වීමට හේතු පාදක වූ කරුණු ගැන ‘දන්නා දන්නා අයට පමණක් කීම‘ කුමන වැඩක් ද? බොහෝ සම්මාන උළෙලවලදී සම්මානිත කෘතිය සඳහා සම්මානය ලබා දීමට හේතු පාඨ ලියා තබමින් අප මේ ‘අනිත් අයගේ දැනගැනීමේ ආසාවට‘ යම් තරමකින් හෝ උත්තර දෙමු. (වසර දෙකක් තිස්සේ ඕසීඅයිසී ටෙලි ජූරිය සඳහා හේතු පාඨ ලියමින් මේ අවැසියාව පූරණය කළ අතීතයක් ලියුම්කරුට හිමි ය.) එය අසා හෝ කියවා ‘ආ.... හරි‘ කියමින් සියල්ල පිළිගෙන හැමදෙනාම පිටව නොයන බව සැබෑවකි. එහෙත්, අඩු තරමින්, අප කළ දේ, අප කිරා බැලූ නිර්ණායක, සමාජගත කිරීමේ වගකීමට අපට සැළකිය යුතු මට්ටමකින් පිළිතුරු දිය හැකි ය.  

කේ සරා

‘කේ සරා‘ පිළිබඳ ගැටළුව පැන නගින්නේ සිනමා භාෂාව පිළිබඳ පොදු අදහස විමසන විටදීම ය. ‘මේ මගේ සඳයි‘ නිමවූ පසු ‘මට සිනමා භාෂාවක් නෑ‘ යනුවෙන් හඳගම ප්‍රකාශ කළ ද, ඔහු අදහසක් සහිතව සිනමා ව්‍යාකරණය හා හරඹ කර නව භාෂා රටාවක් නිපදවනු අපට පෙනිණ. පරාක්‍රම ජයසිංහ එවැන්නක් සිදු කරන්නේ නැත. ඒ නිසාම ඔහුගේ කැමරා ස්ථානගත කිරීම්වලට අර්ථ නැත. රූපවලින් ගෙනෙන ප්‍රකාශනයක් නැත. ඒ සියල්ලටම වඩා, ආඛ්‍යානය දෙසින් පිවිස බැලුවත්, ඔහු ගොඩනගන ආඛ්‍යානයට හරිහැටි විහිදෙන පදනමක් නැත.

එහෙත් ඔහු යම් සම්මත පද්ධති ගණනාවක් කඩා ඉහිරවයි. අවමංගල සේවාවේ සිට අවතාර දක්වාත්, බියජනකැයි කියන සොහොන් පළේ සිට බයක් නැති සාමාන්‍ය නිවස දක්වාත් ඔහුගේ අවස්ථා ගොණු කිරීම් සම්මතයට එපිටින් යයි. අවතාර හා කතා කිරීමේ සිට සාමාන්‍යෙයන් භීතිය කැඳවන අවස්ථා උඩුයටිකුරු කොට දැක්වීම අතින් ඔහු යම් අපූරු දේ තනන්නට උත්සාහ දරයි. එහෙත් ඒ කිසිවක් නිසි රාමුවකට එක්වන බවක්වත් නොපෙනේ. මතුපිට කතාව විමසා බැලුව ද, සේරාගෙන් පටන් ගන්නා කතාව අවතාරයක් ලෙස එන සොයුරිය දෙසට වරකත්, අවතාර හා බැඳෙන ගැහැණිය දෙසට තවත් වරෙකත්, සේරාගේ ඥාති සොහොයුරා දෙසට තවත් වරෙකත්, අවතාර එලවන කට්ටඩියා දෙසට තවත් වරෙකත් ලෙස පොළා පනී. සේරාගේ ආත්ම කථනයක් ලෙස නැගෙන ඇතැම් කොටස්, ඇගේ අතීතාවර්ජන ලෙස අපට ගෙන ආව ද ඒ දර්ශනවල බොහෝ විට සිටින්නේ ඇගේ සේවකයින් ය. (සම්මානයට පාත්‍රවන ප්‍රති-වීර චරිතය හමුවන අවස්ථාව බලන්න. එය සේරාගේ අතීතාවර්ජනයකි. එහෙත් ඒ දර්ශනය මුලදීම ඇය ‘එක්ස්කියුස් මී‘ කියා යන්නට යයි.)

මේ දර්ශනවල තාක්ෂණ දෝෂ නම් එමට ය. ප්‍රතිවීර චරිතය සිය සේවකයකු මරා පෙට්ටියට දමන වෙලාවේ රාමුවේ දකුණින් ඇතුළට එබෙන කළු පාට දෙය, බූම් මයික් එක ද, නැතහොත් කුමක් ද යන්න දන්නේ සිනමාකරුවා ම ය. මා රූප දුටුවේ කුඩා පරිගණක තිරයක නිසා ඇතැම් දේ මට මග හැරෙන්නට ද ඇත.

වේදනා සහ ‘පොර ටෝක්‘

බොහෝ ජූරි හෝ සම්මාන උළෙල දෙස බලන්නේ පවතින පසුබිම ද විමසමිනි. 2009 වසරේදී ලියුම්කරුද වාඩිවී උන් රූපවාහිනී රාජ්‍ය සම්මාන ජූරියෙන් හඳගමගේ ‘නැගෙනහිර වෙරළෙන් ඇසෙන‘ ටෙලි නාට්‍යය සඳහා වැඩි සම්මාන තීන්දු කර තිබියදීත් ඔහු සම්මාන උළෙලට කැඳවාගන්නට බොහෝ වෙර දරන්නට සිදුවුණු බව මට ආරංචි විය. එය පුදුමයට කරුණක් නොවේ. රාජ්‍ය සම්මාන උළෙලකින් ඔහුගේ කෘතියකට සම්මාන දේදැයි ඔහුට සිතෙන්නට ඇත. එහෙත් අපි අපේ කාර්යය කළෙමු. සම්මාන උළෙල දා විනිශ්චය මණ්ඩලයට ‘කණට දෙකක් දීමට‘ සෙවූ ප්‍රමුඛ නළුවෙකුගෙන් අප ගැලවුණේ ‘අපේ ගණුදෙනුව අපට තරම් අය සමග පමණි‘ කියමින් නොවේ. ගත් තීරණ පිළිබඳ වග කියන්නට අපි බැඳී උන්නෙමු. හඳගම ද සැක කළ පරිදිම, අපේ තීරණවලින් පසු එවකට උන් සංස්කෘතික ඇමතිවරයා සම්මානිත ටෙලි නාට්‍යය හොරෙන් බැලූ බවට කතාවක් ගියේ ය. එය ඇත්ත ද නැත්ත ද කියා අප නොදනිතත් ‘රාජ්‍ය පාලකයින්ගේ‘ සිටම එක් එක් අයට සම්මාන උළෙල තීරණ ගැන වේදනා ඇතිවන බව තේරුම් ගතිමු.

කිසිදු සමාජ කාර්යයකින් පසු, ඒ හා බැඳෙන කාරණා ‘තරමට ගැලපෙන අයට‘ පමණක් සීමා නොවේ. ඒ උසාවියක රහසිගත ජූරි තීරණයකින් පුද්ගලයකු එල්ලුම් ගස් යවන වැඩක් නොවන බැවිණි. දෙරණ ජූරියේ තීරණ මුලින් ආ එකඟතාවක් හේතුවෙන් රහසිගතව තබන්නේ ය වැනි කරුණක් යම් පිළිගැනීමකට ලක් කළ හැකි වුව ද ‘තරමට ගැලපෙන අය‘ යන ප්‍රකාශය ජනතාවාදී දක්ෂ කලාකරුවකු පිළිබඳ කම්පාවක් අප වෙත ඇති කරයි. ඒ අදහස දැක මා ෆේස්බුක් පිටුවේ ලියූ වැකිය මෙහි ද ලියමි.



“තරම් අය? උසින් ද? රැවුලෙන් ද? මෙය නම් එසේ මෙසේ ප්‍රකාශයක් නොවේ!“


රූපය - http://www.sundaytimes.lk/140928/uploads/IMG_8202.jpg


(මාතෘකාවේ ජනප්‍රිය බව නිසා ‘හිට්‘ වැඩි විය හැකි මෙම ලේඛණය හොරෙන් උපුටා පළ කරන්නට අවසර ඇත.)