Tuesday, January 31, 2017

‘යුධ බිමේ‘ ගැහැණිය - මලීනා


(රිවිර සිනමා කොලම- 16)


ඒ 1940 වර්ෂයයි. දෙවැනි ලෝක යුද්ධයේ බිහිසුණු දුම් වළලු යුරෝපය පුරා පැතිරෙමින් පවතින අවදියයි. උදෑසන ගුවන් විදුලියට සවන් දෙන දොළොස් වියැති පිරිමි ළමයෙකු වන රෙනාටෝ සිය මව් රට වූ ඉතාලිය යුද්ධයට අවතීර්ණ වූ බව දැනගනියි. නමුත් ඒ දිනය ඔහුට වැදගත් වන්නේ ඒ නිසාවෙන්ම නොවේ. ළමා වයසින් යෞවන වියට එළැඹීමේ මුව දොර සිටින සම වසස් මිතුරන් හා සිසිලියේ රවුම් ගසන්නට ඔහුට බයිසිකලයක් ලැබෙන්නේ ද එදිනම ය. ඊටත් වඩා නෙත් අදහාගත නොහැකි තරම් රූමත් ගැහැණියක වන, නගර වැසියන්ගේ නොමඳ අවධානය දිනූ මලීනා ඔහුගේ නෙතු අභියස මුල් වරට හමුවන්නේ ද එදිනම ය.


ඉතාලි සිනමා කතුවර ගුසෙප් ටෝනර්ටෝ විසින් නිර්මාණය කරන ලද ‘මලීනා‘ මුල් වරට ප්‍රේක්ෂකයා හමුවට පැමිණියේ 2000 වර්ෂයේදී ය. 2001 වර්ෂයේදී කාබර්ග් සිනමා උළෙලේ ග්‍රෑන්ඩ් ප්‍රික්ස් සම්මානය ද දිනා ගනිමින් නොමඳ විචාරක අවධානය දිනූ ‘මලීනා‘ යොවුන් වියේ දොරටුව අභියස බලා හිඳින ගැටවරයකු වන රෙනාටෝගේ ඇසින් දෙවැනි ලෝක යුද්ධයට අවතීර්ණ වන ඉතාලි සමාජය දෙස බැලීමක් ලෙස නම් කළ හැකි ය. මලීනා‘ නමැති සුරූපී නමුත් ලජ්ජාශීලී ගැහැණිය දැක ඇය කෙරෙහි දැඩි ලෙස ආසක්ත වන රෙනාටෝ සිය නගරය වූ සිසිලය පුරා ඇවිද යමින් ඇය විමසන අතර සියලු සමාජ ව්‍යසනයන් මෙන්ම පුරුෂ ලෝකය හමුවේ ඇය අත් විඳින වේදනාවන් ද ඔහු දකින්නේ ඒ රහසිගත සොයායෑම් අතරතුර ය. දුටුවන් නෙතු වශීකරන සුළු රූමත් බවකින් යුක්ත ‘මලීනා‘ සමස්ථ සිසිලිවාසී පිරිමින්ගේ ආකර්ෂණයත් ඒ හා සමග ගැහැණුන්ගේ ඊර්ෂ්‍යාවත් හිමිකර ගනිද්දී යුධ පෙරමුණට ගොස් සිටින ස්වාමි පුරුෂයා වන නීනෝ එනතුරු බිහිරි පියා සමග බලා සිටින ඇයගේ ජීවන පැවැත්ම බිඳ වැටෙන්නට පටන් ගනියි. යුද්ධය හා ඒ සමග බැදී එන සමාජ ව්‍යසන මාලාවත්, ලිංගික ආකර්ෂණය හා ඒ හා සමපාතව නැගෙන පුද්ගල අභ්‍යන්තරික කරුණුත් එකිනෙක සමපාත කරමින් තුරුණු විය අභියස වන ගැටවරයකුගේ දෘෂ්ඨිය ඔස්සේ ‘මලීනා‘ හි රූප වියමන ගොඩ නැගෙන්නේ ඒ ඔස්සේ යමිනි.


රෙනාටෝගේ සිහින ලෝකය තුළ ඔහු මුණගැසෙන පළමු ගැහැණිය මලීනා ය. ඒ සිහින දැක අවදිව ඇය සොයා යන ඔහුට, පැතිරී ඇති ‘නරක‘ කටකතා සියල්ල අභියස සිය සැමියා එනතුරු මග බලා සිටින ‘මලීනා‘ හමු වෙයි. දෙවනුව ඔහු දකින්නේ ඔහු මියගිය පුවත අසන්නට ලැබ දැඩි ලෙස කම්පිතව එදිනෙදා කටයුතුවල නිරත වන වේදනාබර ගැහැණියකි. නගරය පුරා පැතිරෙන කටකතා හේතුවෙන් ඇයට පිරිමින්ගෙන් ලැබෙන්නේ ගැහැට පමණි. නගරයේ දන්ත වෛද්‍යවරයා සමග ඇය හාද වී ඇතැයි යන චෝදනාවෙන් ඔහුගේ බිරිඳ ඇය උසාවිය වෙත ගෙන යයි. සාවද්‍ය චෝදනාවක් වූ ඉන් ඇය ගලවාගන්නට ඉදිරිපත් වන නීතීඥයා ක්‍ර‍මිකව ඇය ආක්‍ර‍මණය කරන අතර ඇයගේ නිවසේදීම ඇය දූෂණය කරන්නේ නිවසේ ඉහළ වූ සිදුරකින් ඒ දෙස බලා සිටින රෙනාටෝ ඉදිරිපිට දී මය. 

මලීනා කිසි විට නොදැන සිටිය ද ඇයගේ බිඳ වැටෙන ජීවිතය පිළිබඳ එකම සාක්ෂිකරුවා වන්නේ රෙනාටෝ ය. සිය දූෂණය මලීනාගේ උසාවි කටයුතු සඳහා ඇය ගෙවූ මිල ලෙස තර්ක කරන්නට නීතීඥයා සමත් වද්දී සිසිලිය වෙත ද යුද්ධය පැමිණේ. පුපුරා යන බෝම්බ හා වෙඩි අතරතුර පියා ද අහිමි වන මලීනා නගරයේ තනිව යද්දී දැඩි කුසගින්න හා දුප්පත්කම ඇය වෙත ද පැමිණෙයි. ජීවිත අපේක්ෂාව ඇය වෙත ලබා දෙන්නේ එක් වේදනාබර තීරණයක් පමණි. ඒ අනුව යමින් ඇය සිය දිගු කෙස් වැටිය කපා දමයි; සිය ඇඳුම් පැළඳුම් රටාව වෙනස් කරයි; ජර්මානු නිලධාරීන්ට ද සිය සිරුර විකුණනා දමමින් ගණිකා වෘත්තිය තෝරා ගනියි. රෙනාටෝ පමණක්, සියල්ල වෙනස් වෙමින් යද්දී වුව, ඇයගේ ජීවිත ඛේදවාචකය දෙස නිහඬව නමුත් වේදනාවෙන් බලා සිටියි.

යුද්ධය කෙළවර වන්නේ ඇමරිකානු හමුදා සිසිලය අත්පත් කරගැනීමෙනි. රූමත් මලීනාට නගර චතුරශ්‍රයේදී අත්වන්නේ යුද්ධය කෙළවර වීමේ සතුට භුක්ති විදීමේ අවස්ථාව නොවේ. නගර වැසියන් ඇයට ගල් මුල් වලින් පහර දී නගරයෙන් පන්නා දමයි. කිසිවක් කරකියාගත නොහැකිව අසරණව බලා සිටින රෙනාටෝ පමණක් ඇය මුහුණ දුන් වේදනාබර යථාර්ථය වටහා ගෙන සිටියි. කෙසේ වෙතත්, ඔහු ක්‍රියාත්මක වන්නේ නගරයම වික්ෂිප්ත කරමින් මියගිය බවට ආරංචි ලැබී තිබුණු කඩවසම් නීනෝ යුධ පෙරමුණේ සිට පෙරළා පැමිණීමත් සමග ය. නගරයේ කටකතා හේතුවෙන් මලීනා පිළිබඳ නීනෝ වෙත ලැබෙන්නට ගිය ‘නරක චිත්‍ර‍ය‘ බිඳ දමන ඔහු නිර්ණාමිකව ඔහු අමතමින් ඇය ඔහු වෙනුවෙන්ම බලා සිටි ආකාරය පැහැදිලි කර දෙයි. මලීනා සොයා මෙසින්නා නගරය වෙත යන්නට නීනෝ තීරණය කරන්නේ එහි ප්‍ර‍තිඵලයක් ලෙස ය.
රෙනාටෝ තුරුණු විය වෙත එළැඹෙන්නේ අතීතය පිළිබඳ තියුණු වේදනාවකින් පෙළෙන මුත් යළි තමන් වෙත ලැබුණු සිය ආදරණීය සැමියා සමග ඇවිදයන මලීනා දැකීමෙනි. ඇයට ගල් ගැසූ නගරවැසියන් ඇය අමතන්නේ ‘ස්කෝඩියා මැතිණිය‘ යන ඇමතුමෙනි. චිත්‍ර‍පටයේ පළමු හා අවසාන වරට රෙනාටෝ ඇය අමතන්නේ ඇයතින් ගිලිහෙන දොඩම් ගෙඩි කිහිපයක් ඇය අත තබන විට ය.

“සුභ පැතුම් ස්කෝඩියා මැතිණිය!‘ ඔහු කියයි.

තුරුණු රෙනාටෝගේ හඬින් අප අසන චිත්‍ර‍පටයේ අවසන් ආත්මභාෂණ වදන් පෙළ, තුරුණු විය තුළ ගැටවරයකු හමුවේ නැගිය හැකි අප්‍ර‍කාශිත තත්‍ය ප්‍රේමය පිළිබඳ විශ්වීය ප්‍ර‍කාශනයක් වැන්න.

“කාලය ගෙවිල ගියා. මම ගැහැණු ගොඩකට ආදරය කළා. ඒ ගොල්ලො මං ළඟදි ඇහුව එකම දේ මාව අමතක වෙයිද කියල. මං හදවතින්ම විශ්වාස කළා මට අමතක වෙන්නෙ නැහැ කියල. ඒත්, මට අමතක නොවුණ එකම ගැහැණිය, මගෙන් කිසිම දවසක ඒ ප්‍ර‍ශ්නය අහලවත් නැති ගැහැණියමයි.... ඒ මලීනා!“


-ප්‍රියන්ත ෆොන්සේකා - 

Wednesday, January 25, 2017

පුංචි පාදඩයා


(රිවිර සිනමා කොලම- 15)

විසිවැනි සියවස ඇරඹෙන සමයේ ආරම්භක දශකයක, ඇමරිකානු නගර වීදියක බකල ගසමින් ඇවිද යන එක් කුඩා මිනිසෙකි. එල්ලා වැටෙන ඉරී ගිය කලිසම, ඇඟටම හිරවී ගිය උඩු කබාය, අත රැදි බස්තම, හිස රැදී තොප්පිය හා මුවට ඉහළින් වන ‘හිට්ලර් පන්නයේ‘ උඩු රැවුල ඔහු වෙත ගෙන එන්නේ විසුළු පෙනුමකි. නගර වීදි කෙළවර පත්තර විකුණන කොල්ලන් ඔහු වෙත ගල් කැට විසි කරමින් ඔහුට ඔච්චම් කරයි. බිම වැටී ඇති විසි කර දැමූ සුරුට්ටු කොටයක් ගෙන එහි ඉතිරිය ආඩම්බරයෙන් දල්වාගන්නා මේ කුඩා මිනිසා ඔච්චම් කරන කොල්ලන්ට ඔරවමින් වීදිය දිග ඇවිද යයි.

‘පුංචි පාදඩයා‘ නම් ලැබූ මෙම කුඩා මිනිසා එම සමයේ නිර්මාණය වූ ඇමරිකානු නිහඬ සිනමා කෘති රාශියක යළි යළිත් වීදි කෙළවරින් නැගී ඇවිද ආ, ප්‍රේක්ෂාගාරය දැඩිව ආකර්ෂණය කරගත්, චරිතයකි. එය නිරූපණය කරන ලද්දේ එදා මෙදාතුර ලොව විශිෂ්ඨතම නළුවා යැයි විරුදාවලි ලැබූ චාලි චැප්ලින් විසිනි. ඒ චරිතය මුණගැසුණු චිත්‍ර‍පට බොහොමයක්ම ඔහු විසින්ම ලියා අධ්‍යක්ෂණය කරන්නට යෙදුණු නිමැවුම් වූ අතර ඒ කෘතීන්හි සංගීත නිර්මාණකරුවා වූයේ ද චැප්ලින් මය. මනුෂ්‍යත්වය හා මානව දයාව හා දැඩිව බැදුණු මෙම කෘති සිනහවෙන් පිරී ගිය ප්‍රේක්ෂාගාරයක් පළමුව තනා දෙවනුව ඒ ඔස්සේ යමින් ජීවිතය දෙස ගැඹුරින් විමසා බලන්නට අපට ආරාධනය කළේ විය.

1931 දී නිර්මාණය වූ, ‘සිටි ලයිට්ස්‘ (City Lights) නම් ලැබූ ‘පුංචි පාදඩයා‘ගේ ප්‍ර‍මුඛ භූමිකාවක් හමුවන, එම චිත්‍ර‍පට අතුරින් ප්‍ර‍ධානතම කෘතියක අනෙත් ප්‍ර‍ධාන භූමිකාව නෙත් අඳ තරුණියකි. අන්ධ බව නිසාම, ධනවතකු ලෙස හැසිරෙන නමුත් අතේ සතයකුදු නැති ‘පාදඩයා‘ගේ සැබෑ තත්වය ඇය නොදකී. මග මග වීදි කොණක මල් කූඩයක් තබාගෙන ඒ විකුණා, තමාගේත් මිත්තණියගේත් දිවි සරි කරගන්නා තරුණිය ‘පාදඩයා‘ හඳුනාගන්නේ, පොලිසිය මග හැරීම සඳහා හාස්‍යජනක ලෙස මග ඇති මෝටර් රථයක එක් දොරකින් රිංගා අනිත් දොරින් පිටතට පැන වීදියට බසින නිසාම, ධනවතකු ලෙස රියකින් බසින මහත්මයකු ලෙස ය.

හාස්‍යය සිය ප්‍ර‍මුඛ ප්‍රවේශය කරගන්නා චැප්ලින් ‘සිටි ලයිට්ස්‘ ඉදිරියට විහිදුවන්නේ ඒ තරුණියට පෙම් කරන ‘පුංචි පාදඩයා‘ මුහුණ දෙන අනේක ගැහැට පෙරළි පෙරළී සිනාසෙන සිදුවීම් ලෙස පෙළගස්වමින් අප වෙත තබමිනි. එහෙත් ඒ අවිහිංසක චරිතයේ අපේක්ෂාව උදාර වන්නේ ප්‍රේමය පෙරදැරිව තරුණිය වෙත උදව් කිරීමේ දැඩි අපේක්ෂාවෙන් ඔහු සන්නද්ධව ක්‍රියා කරන හෙයිනි. ඒ ක්‍රියාවන් අපූරු ගැටුමක් ඔස්සේ දිවෙන්නේ ඔහුට අහම්බයකින් මහා ධනවතෙකු මුණගැසෙන හෙයිනි. ධනය ඇති පදමටත් වඩා ඇති හෙයින් මහේශාඛ්‍ය ජීවිතයක් ගත කළද ඔහු ජීවිතයේ සතුට ළඟා කරගත නොහැකිවීම නිසාවෙන් දියට පැන දිවි නසාගන්නට යත්න දරද්දී ‘පුංචි පාදඩයා‘ ඔහු බේරාගනියි.

“හෙට කුරුල්ලන් ගී ගයාවි... ඒ ඔබගේ දිනය වේවි!“

ජීවිතාපේක්ෂාව පිළිබඳ ධනපතියෙකුගේ සිතෙහි බලාපොරොත්තු ඇති කිරීමට ‘පුංචි පාදඩයා‘ තැත් දරන බව ‘නිහඬ සිනමා කෘතියේ‘ තිරය මත ලියැවෙන දෙබස් ඛණ්ඩ අපට දන්වා සිටී.

පියවි ලොව දී දරුණු ලෙස හැසිරෙන ධනපතියා උත්ප්‍රාසජනක ලෙස බීමත් වූ විගස ඉතා ගුණවත් අයෙකු බවට හැරේ. ‘බේබදු ලෝකයේදී‘ පමණක් සිය ‘මිතුරා‘ වන ‘පාදඩයා‘ට හැකි පමණ උදව් කරන ඔහු සිය රෝල්ස් රොයිස් රථය පවා ඔහු වෙත පරිත්‍යාග කරයි. සිය නිවසේ තම සයනය ද ඔහු හා බෙදා ගනියි. ඔහුට හැකි තරම් ඉස්තරම් ලෙස කවා පොවා සන්තර්පණය කරයි. එහෙත් ‘පියවි සිහිය‘ ලද විගස ඔහු වහා සිය සේවකයා කැඳවා ‘පුංචි පාදඩයා‘ පන්නා දමන්නේ ‘කොහෙන් පැමිණි එකෙකුදැයි‘ විමසමිනි.

‘සිටි ලයිට්ස්‘ ඇතුළු සිනමා කෘති ගණනාවකදීම චැප්ලින් රංගනය හා රූප නිර්මාණය හරහා සියළු සංවේදනා හා අදහස් අප වෙත සම්ප්‍රේෂණය කරයි. එය රූපය මුල් කරගත් මාධ්‍යයක අරුමැති ශක්‍යතාව අපට පසක් කර දෙමිනි. ඔහු එහිදී කෙතරම් සාර්ථක වීද යත්, හඬ සිනමාව හා එකතු වූ පසුද වසර ගණනාවක් යන තුරුම ඔහු ගණුදෙනු කළේ රූපය පමණක් සිය නිර්මාණ වෙත කැදවමිනි. ‘සිටි ලයිට්ස්‘ අයත් වන්නේ ද එම පසු යුගයේ කෘති අතරට ය.

නෙත් අ මල් විකුණන තරුණියගේ ජීවිතයට සහායක් වන්නටත්, අහම්බෙන් ඔහු දකින නෙත් සුව කරන වෛද්‍යවරයකු වෙත ඇය රැගෙන යන්නටත් ඇති අරමුණු සහිතව, සිය ප්‍රේමය ඇය වෙත ප්‍ර‍කාශ නොකරමින්, ‘පුංචි පාදඩයා‘ දහසකුත් එකක් ගැහැට විද මුදල් සොයයි. වරෙක ඔහු වීදිය අමදින කසල ශෝධකයෙකු ලෙස රැකියාවකට යයි. කෑම විවේකයේදී තරුණිය දැක ගන්නට ගොස් වන ප්‍ර‍මාදයෙන් ඔහුට රැකියාව අහිමි වේ. පසුව ඔහුට මුදල් ඔට්ටුවට බොක්සිං ගසන්නට යන ජාවාරම්කාරයෙකු මුදල බෙදාගන්නට ‘බොරු බොක්සිං ගැහිල්ලකට‘ ඇරයුම් කරයි. තරගය ඇරඹෙන්නට මොහොතකට පෙර ජාවාරම්කාරයා පොලිසියට බිය වී පැන දිවීම නිසා ‘පාදඩයාට‘ සිදු වන්නේ ‘හැබෑවටම ගුටි කන්නට වන‘ බොක්සිං කෙළියකට යන්නට ය. ඒ බොක්සිං තරගයේ දර්ශනය අප වෙත මවන්නේ සිනමා කෘතියක මුණ ගැසෙන විශිෂ්ඨතම හාස්‍යෝත්පාදක අවස්ථාවකි.

අනේක ගැහැට කෙළවර ඔහු බේබදු ධනවතාගෙන් මුදල් ඉල්ලන්නට තීරණය කරයි. නමුත් ඔහු වෙත තිළිණ කරන මුදල පිළිබඳවවත් ක්ෂණිකව රූපාණ්තරණය වන ධනවතාගේ මතකයේ නැත. නීතියෙන් මොහොතකට ගැලවී ‘පුංචි පාදඩයා‘ තමන් ලබන මුදල තරුණිය අතට පත් කළ ද පසුව ඔහු නීතිය හමුවට යැවේ.

මිනිස් ජීවිතයක පැවතිය යුතු ගුණ සුවඳ පිළිබඳ මහරු දැක්මක් සහිතව කෙළවර කෙරෙන චැප්ලින්ගේ සිනමා කෘති කිසිවක අවසාන දර්ශන කිහිපය හාස්‍යය අසළකට හෝ කැඳවන්නේ නැත. ප්‍රේක්ෂාගාරය වෙත මානව දයාව පිළිබඳ මාහැගි අදහසක් සපයා දෙන ‘සිටි ලයිට්ස්‘ සොයා නරඹන්නට මම ඔබට ඇරයුම් කරමි. නියත වශයෙන්ම ඒ පිවිසුම, මෙතෙක් ගමන අරඹා නොමැතිනම්, ඔබ චැප්ලින් ලෝලියෙකු ලෙස යන ගමනක ඇරඹුම තනා දෙනු ඇත.

-      ප්‍රියන්ත ෆොන්සේකා -  


Monday, January 16, 2017

රතු බල්ලා


(රිවිර සිනමා කොලම- 14)

සිය පෙම්වතිය වූ නැන්සි මුණ ගැසී යළි නවාතැන බලා එන අතරතුර, හැමර්ස්ලි යකඩ ආකරයේ බස් රථ රියදුරු, කඩවසම් තරුණයකු වූ ජෝන්ගේ මෝටර් බයිසිකලය කැන්ගරුවකු හා ගැටේ. ජෝන්ගේ මළ සිරුර ආකර කම්කරුවන් විසින් සොයාගැනෙන්නේ පසුදා උදයේ ය. නැන්සිගේත්, ජෝන්ගේ මිතුරු කම්කරුවන්ගේත් දැඩි කම්පනයට හේතුවන මෙම මරණය, දින කිහිපයකට ජෝන්ගේ ප්‍රාණසම මිතුරා පිළිබඳ සොයා බැලීමට ඔවුන්ට අමතක කරවයි. දින තුනකට පසු ඔවුන් දකින්නේ ජෝන් අවසන් වරට නැන්සි බලන්නට නික්ම යද්දී ඔහු එනතෙක් රැඳී සිටින්නැයි කියූ තැනම තවමත් රැඳී බලා සිටින එම මිතුරා ය. ඒ බල්ලෙකි! රතු බල්ලා (Red Dog) නමින් සැමගේ ආදරය දිනූ ජෝන්ගේ ප්‍රාණසම මිතුරා ඔහු ය!

2011 වර්ෂයේ නිෂ්පාදිත ‘රතු බල්ලා‘ (Red Dog) නමැති ඕස්ට්‍රේලියානු චිත්‍ර‍පටය, සත්‍ය කතාවක් මත පදනම් ව එනමින්ම රචිත ලුවී දි බර්නියර්ස්ගේ නව කථාව පසුබිම් කරගත්තකි. ක්‍රිව් ස්ටෙන්ඩර්ස් නමැති ඕස්ට්‍රේලියානු ජාතික සිනමා අධ්‍යක්ෂවරයාගේ නිර්මාණයක් වූ එය ‘ඕස්ට්‍රේලියානු ඇකඩමි සිනමා සම්මාන උළෙල‘ සහ ‘ඉන්සයිඩ් සිනමා සම්මාන‘ නමැති ඕස්ට්‍රේලියානු සිනමා සම්මාන උළෙල ඇතුළු එරට ජාතික සිනමා සම්මාන උළෙල  රැසක වෙසෙසි අවධානයට හා සම්මානයට පාත්‍ර‍ වූයේ, ආකාර කම්කරුවන්ගේ ජීවිතය හා ඒ හා බැඳුණු ඕස්ට්‍රේලියානු බටහිර කාන්තර සංස්කෘතිය හරහා, ‘රතු බල්ලකු‘ කැටුව ගමන් කරමින් නිර්මාණය කළ ආකර්ෂණීය සිනමා වියමනෙහි අපූර්වත්වය හේතුවෙනි. එසේ වුවත් චිත්‍ර‍පටය දිනූ අපූරුම සම්මානය, එහි ප්‍ර‍ධාන චරිතය වන රතු බල්ලාගේ චරිතය නිරූපණය කළ ‘කොකෝ‘ විසින් දිනාගන්නේ, බල්ලන් සඳහා වූ ‘රන් කරපටි සම්මාන‘ උළෙලේ දී ය. ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හි පැවැත්වෙන මෙම උළෙල ‘කොකෝ‘ වෙත ලබා දුන්නේ ‘විදේශීය සිනමා කෘතියක උන් හොඳම බල්ලා‘ සම්මානයයි. 

1971 වසරින් ඇරඹෙන කෘතිය විහිද යන්නේ රතු බල්ලාගේ වියපත් අවදිය දකින තරුණ ට්‍ර‍ක්රථ රියදුරකු වූ තෝමස් වෙත  බටහිර ඕස්ට්‍රේලියාවේ, ඩැම්පියර් නගරයේ අවන්හලක හමුවන පිරිසක් විසින් පවසන අතීතාවර්ජනයක් ලෙසිනි. ඒ වන විට එහි රෝගීව වැතිර සිටින සුප්‍ර‍සිද්ධ රතු බල්ලාට සැබෑ ස්වාමියකු නොවූ බව මුල් අතීත වෘත්ත තුළ කියැවුණ ද, සිනමා කෘතියේ ප්‍ර‍ධාන ‘මිනිස්‘ චරිතය වන, ඇමරිකානු ජාතික තරුණ රියදුරකු වන ජෝන් ඔහුගේ ස්වාමියා බව පසුව හෙළිදරව් කෙරේ. හැම්ර්ස්ලි යකඩ ආකරයේ රැකියාවෙහි නිරත කම්කරුවන් හා ආකරයේ බස් රථ රියදුරා වන ජෝන්, පසුව ඔහුගේ පෙම්වතිය වන, ආකරයේ ලේකම්වරිය වන සුරූපී නැන්සි ඇතුළු සියල්ලන්ගේ ජීවිත ආශ්‍රිතව ‘රතු බල්ලාගේ‘ ජීවිත අන්දරය ගොඩ නැඟෙන්නේ ඉන් අනතුරුව ය. ඉතා බුද්ධිමත් සහ ආදරය දිනාගන්නා බල්ලකු වන ඔහු සිය ස්වාමියා වන ජෝන් සමග ගොඩ නඟාගන්නා මිත්‍ර‍ත්වය, බටහිර ඕස්ට්‍රේලියානු කතරෙහි යකඩ ආකරයක් පසුබිමෙහි වන සියලු මානුෂීය සබඳතා පසුබිම් කරගනිමින් නැගෙනු අනතුරුව අපට හමු වේ.

සිනමා නිර්මාණයක් තැනීමේදී අසීරුම නළුවන් අතර තැබෙන සතෙකු විශිෂ්ඨ ලෙස මෙහෙයවා තැනූ චිත්‍ර‍පටයක් ලෙස ද අපට ‘රතු බල්ලා‘ අත්විඳිය හැක. පරතෙරක් නැතිව විහිද පවතින කතරෙහි, රක්ත වර්ණැති පස් සහිත භූමියත්, ඒ මතුයෙහි රේඛා ලෙස දිගුව විහිද යන මහාමාර්ග ආදියත් පසුබිමෙහි තනිව ඇවිද යන ‘කොකෝ‘ගේ අති දුර රූප, බල්ලෙකු ප්‍ර‍ධාන චරිතයට ගෙන නිපදවූ චිත්‍ර‍පටයක අසීරු නිර්මාණකරණය පිළිබඳ සඳහන් ඔබට පිරිනමනු ඇත.

ජෝන්ගේ මරණය අපට හමුවන්නේ චිත්‍ර‍පටය අවසානයේ නොවේ. ඒ එහි මධ්‍යාසන්න හැරවුම් ලක්ෂ්‍යයක් පමණි. දින තුනක් මුළුල්ලේ සිය ස්වාමියා එනමග බලා සිටි ‘රතු බල්ලා‘ ඔහු නොපැමිණි තැන ඔහු සොයා අරඹන විශ්මිත ගමනක් චිත්‍ර‍පටයේ දෙවැනි අර්ධය තුළ විහිද විකාශනය වේ. ඩැම්පියර් නගරය තුළ ජෝන් සැරිසැරූ සියලු ස්ථාන වෙත ගොස් ඔහු විමසන ‘රතු බල්ලා‘ අවසානයේ බටහිරදිග පර්ත් නගරයේ සිට උතුරෙහි ඩාවින් දක්වා සැතපුම් දහස් ගණනක භූමියෙහි ඔහු සෙවූ බව අතීතාවර්ජනය විමසන තෝමස්ට අසන්නට ලැබේ. එක් කතාවකට අනුව ජෝන් සොයමින් ‘රතු බල්ලා‘ ජපානය බලා නැව් නැග ද තිබේ. චිත්‍ර‍පටය තුළ එන, ‘ඇදහිය නොහැකි‘ මෙම පුරා වත් සියල්ල චිත්‍ර‍පටය අප වෙත චිත්‍ර‍ණය කර දෙන්නේ මිනිස් ශිෂ්ඨාචාරයේ ආදිතම ‘සත්ව‘ මිතුරා පිළිබඳ මහරු සෙනෙහසක් අප වෙත නැගෙන පරිදි ය.

චිත්‍ර‍පටය අවසානය එළැඹෙද්දී දිගු ගමන කෙළවර කරමින් යළි ඩැම්පියර් වෙත එන රතු බල්ලා නැන්සි වෙත යයි. නැන්සි ඒ වන විට දිවි ගෙවන ‘කැරවන්‘ උද්‍යානයේ අයිතිකරුවන්, ඔවුන්ගේ ‘රතු පූසා‘ සමග එක්ව ‘රතු බල්ලා‘ ප්‍ර‍තික්ෂේප කළ ද, ආකර කම්කරුවන්ගේ එකමුතුකම ‘රතු බල්ලා‘ටත් නැන්සිටත් ජය අත්කර දෙයි. අතීතාවර්ජන හරහා දිවෙන වෘතාන්තය කෙළවර වන්නේ සිය ආදරණීය ස්වාමියාගේ සොහොන වෙත ගොස් එහිදී මිය යන ‘රතු බල්ලා‘ගේ ජීවිතාවසානයෙනි. ඩැම්පියර් නගරය එහි අනන්‍යතාව ලොවට පවසනු වස් නගරය අභියස රතු බල්ලාගේ ගම්භිර ප්‍ර‍තිමාව නිරාවරණය කරයි. නැන්සිත්, ඇය හමුවට එන නව ‘රතු බලු පැටියාත්‘ බටහිර ඕස්ට්‍රේලියානු කතරෙහි යකඩ සොයා පොළව කනින කම්කරුවන් හා එක්ව අනාගතය දෙස බලා සිටිති.

රත් පැහැ පොළව, පුළුල් කතරෙහි ගිලෙන රත් පැහැ හිරු, රක්ත වර්ණිත මානුෂ ගුණැති බල්ලෙකු හරහා අපට කියන ජීවිතයේ අපූර්වත්වය හා බැඳුණු අරුමැති කතා පෙළක් අපේ ඉදිරිය දෙසද පුළුල්ව බලන්නැයි අපට ආරාධනා කරන බවක් ‘රතු බල්ලා‘ කෙළවර ඔබට හැඟෙනු ඇත.

-ප්‍රියන්ත ෆොන්සේකා -   

Wednesday, January 4, 2017

ඇස් දෙකක්, සහෝදරියක් සහ දේදුන්නක්! (ජීවිත සිනමාව)

(රිවිර සිනමා කොලම- 13)


සෑම උදෑසනකම පාසැල් යාම සඳහා සිය කුඩා නිවසින් පිටතට එන පාරි සහ චෝටු කාසියේ වාසිය උරගා බලති. පාරි ජය ලැබුවහොත් පාසැල කරා ඇවිද යන තුරුම ඇය සිය සිනමා වීරයා වන ශාරුක් ඛාන්ගේ චිත්‍ර‍පට කතාවක් චෝටු වෙත කියනු ඇත. ඒ චෝටුගේ වාරය නම් ඔහු තෝරාගනු ඇත්තේ ඔහුගේ සිනමා වීරයා වන සල්මන් ඛාන් රඟන චිත්‍ර‍පටයක කතාවකි. ශාරුක් සහ සල්මාන් ඛාන් දෙපළ අප ද හඳුනන තිර තරු වුවත් ඔවුන්ට ආකර්ෂණය වී ඇති පාරි සහ චෝටු අප හඳුනාගන්නේ ‘ධනක්‘ (දේදුන්න) නමැති සිනමා සිතුවම ඉදිරියට ඇදීයත් ම ය. පාරි දස හැවිරිදි හුරුබුහුටි දැරියකි. චෝටු ඇයගේ අට හැවිරිදි කුඩා සොහොයුරා ය. ඉන්දියාවේ රාජස්ථානයේ ඈත පිටිසර ගම්මානයක සිය මාමාත් නැන්දාත් සමග දිවි ගෙවන, දෙමාපියන් අහිමි, මේ දරුවන් වෙත අපගේ වෙසෙසි අවධානය යොමුවන ප්‍ර‍මුඛ කරුණ චෝටුගේ දෙනෙත නොපෙනීමයි.

ශාරුක් ඛාන්, සල්මන් ඛාන් ඇතුළු සුපිරි බොලිවුඩ් තාරකා ඉන්දියාව මතු නොව අප රට තුළත්, අඩු වැඩි වශයෙන් බොලිවුඩ් සිනමාවට ආකර්ෂණය වූ ලෝකය පුරාමත් ප්‍රේක්ෂක මනසෙහි වීරයන්ව වැජඹෙති. ඒ තාරකා මේඝයෙන් වැසී ගිය ලෝකය තුළ බොහෝ විට සාමාන්‍ය මිනිස් ජීවිතය ප්‍රේක්ෂකයාට දුරස් වනු හඳුනාගත හැකි ය. සියලු දුක්ඛ දෝමනස්සයන් තිරයේ සරන සුපිරි වීරයෙකු, සුපිරි පෙම්වතකු විසින් ජය ගනු ලබන කල්හි සතුටින් ඔල්වර නගන හෝ තුටු කදුළු හෙළන ප්‍රේක්ෂාගාරය පියවර කිහිපයකට නුදුරින්, සිනමා ශාලාවට පසුපසින් හමුවන තත්‍ය ලෝකය මනසින් දුරස්කොට තබති. ‘ධනක්‘ සිනමා තිරය වෙත කැඳවාගෙන එන්නේ ඒ දුරස්කොට ඇති තත්‍ය ලෝකයේ අනේක ජීවිත අතුරින් කිහිපයකි.

2016 වසරේ ජූනි මාසයේ මුල්වරට සිනමා ශාලාවලට පැමිණි ‘ධනක්‘, 65 වන බර්ලින් සිනමා උළෙලේ දී හොඳම ළමා චිත්‍ර‍පටයට හිමි ‘පළිඟු වලසා -ග්‍රෑන්ඩ් ප්‍රික්ස්‘ සම්මානය ද, පෝලන්තයේ ‘සිනමා ඉන් ස්නීකරස්‘ සිනමා උළෙලේ ප්‍ර‍ධාන අංශයේ හොඳම චිත්‍ර‍පටයට හිමි සම්මානය ද, මොන්ට්‍රියෙල් ජාත්‍යන්තර ළමා චිත්‍ර‍පට උළෙලේ හොඳම චිත්‍ර‍පටයට හිමි සම්මානය ද දිනාගෙන ඇත. එහි අධ්‍යක්ෂවරයා නාගේෂ් කුකුනූර් ය. රසායන ඉංජිනේරුවරයෙකු ලෙස වෘත්තිය ජීවිතය අරඹන ඔහු 1988 දී සිනමා නිර්මාණකරණයට පිවිසෙන අතර වර්තමානයේ ඉන්දීය සමාන්තර සිනමාව තුළ ඇගයුමට පාත්‍ර‍ව සිටින සිනමාකරුවෙකි.

කුඩා කළ අහිමි වී ගිය චෝටුගේ පෙනීම යළි ඔහු වෙත උරුම කර දීම, සොහොයුරිය, මිතුරිය මතු නොව, ඔහුගේ මග පෙන්වන්නිය ද වන පාරිගේ සිහිනයයි. තවත් මාස කිහිපයකින් උදාවන සොහොයුරාගේ නව වන උපන්දිනය වන විට පෙනීම යළි ඔහු වෙත ලබා දෙන බවට ඇය පොරොන්දු වී ඇත. එවිට නැන්දාගේ ඇස් වසා රාත්‍රියේ හොර රහසේ මාමාත් සමග ඔවුන් දෙදෙන ගොස් නරඹන චිත්‍ර‍පටවල රූප සැබවින්ම චෝටුට දැකගන්නට ලැබෙනු ඇත. නෙත් අඳ වන්නට පෙර අවසන්වර ඔහු දුටු සල්මන් ඛාන්ගේ වික්‍ර‍මයන් යළි ඔහු අත්දකිනු ඇත.



Road Movie නැතිනම් ‘මංපෙත් සිනමා‘ ශානරයට අයත් ‘ධනක්‘ ඒ ලක්ෂණ ඇති පුවතක් බවට හැරෙන්නේ පාරිට හදිසියේම ‘ඇස් දන් දීම‘ සඳහා ආරාධනා කෙරෙන පෝස්ටරයක් මුණගැසීමෙනි. එ් ආරාධනය රැගෙන එහි හමුවන්නේ ඇගේ සිනමා තරුව වන ශාරුක් ඛාන් ය. සිය සොහොයුරාගේ නෙත් යළි ලබා දීමට ශාරුක් උදව් දෙනු ඇතැයි විශ්වාස කරන පාරි දිගින් දිගටම ඔහු වෙත ලිපි ලියන අතර හදිසියේම ඔහු රඟන චිත්‍ර‍පටයක් රාජස්ථානයේ තවත් ගම්මානයක රූගත කරන බව අසා සොයුරා සමග ඔහු වෙත යාමට තීරණය කරයි. සිය පාසැල් ජීවිතය ද උදුරාගත් නපුරු නැන්දාටත්, ඇයගේ දොස් දරාගනිමින් ඔවුන්ට ආදරය කරන මාමාටත් නොදන්වා, චෝටු ද කැටුව පාරි යන දිගු, දුෂ්කර ගමන, ජීවිතය පිළිබද අනේක අත්දැකීම් ඔවුන්ට ලබා දෙන ‘පාඩම් පොතක්‘ නිර්මාණය කර දේ.

දරුවන්ට ආදරය කරන සුන්දර මිනිසුන්, දරුවන් විකුණන්නට බලා සිටින රැවටිලිකරුවන්, සුන්දර විදේශිකයින්, මායාකාර ස්ව්දේශිකයින්, ගීතය හා නැටුම සමගින් සංස්කෘතික ජීවිතය මුණගස්වන රාජස්ථාන වැසියන් හා කුඩා දරුවන් මුණගැසෙමින් කිලෝ මීටර තුන්සියයක් ගෙවා ෂාරුක් ඛාන් සිනමා පටය තනන ගම්මානයට යන පාරිට හා චෝටුට හමුවන බොහෝ දෙනා ද ශාරුක්ගේ රසිකයින් බව වැටහේ. කෙසේ නමුත්, ඔවුන් අදාල ඉසව්වට ළඟා වන විට ශාරුක් පිටව ගොස් ඇති අතර ඔහුගේ පා සළකුණ පවා දේවත්වයෙන් වැළදගන්නා උන්මන්තක රසික ප්‍ර‍ජාවක් පමණක් ඔවුන්ට මුණ ගැසේ. ඔහුගේ ඊළග රූගත කිරීමේ ඉසව්ව ද යළි කිලෝ මීටර සියගණනක දුරින් වුවත් අසළ වන කාන්තාරය හරහා යාමෙන් කෙටි මගකින් එහි ළඟා විය හැකි බව අයෙකු පාරිට පවසයි.

කාන්තාරය හරහා දුෂ්කර පාගමනකට පිවිසෙන පාරි සහ චෝටුගේ ගමනාන්තය විමසා බලනු පිණිස චිත්‍ර‍පටය සොයා යන්නැයි මම ඔබට ආරාධනා කරමි. ඒ සඳහා අන්තර්ජාලය ඔබට උදව් දෙනු ඇත. එතෙක්, හදිසියේ මග හමුවූ සුන්දර විදේශික සංචාරකයකු සමග එක්ව, සාම්ප්‍ර‍දායික රාජස්ථාන් සංගීතය හා බටහිර සංගීතය සමපාත කරමින් කුඩා චෝටු ගයන ගීයක පද කිහිපයක් මෙහි තබමි.


“සැවොම කතා කරති ලෝක සාමය ගැන...
එහෙත් අප දකින්නේ වේදනාව සහ කදුළයි...
අපට යුද්ධය අවැසි නැත...
සටන් අවැසි නැත...
තුවක්කු සහ බෝම්බ හෝ කිණිසි මිට මෙළවූ
අත් ද අවැසි නැත...
මා ඉල්ලන්නේ එකම එක දෙයකි...
අපි ආදරයට වරමක් දෙමු...!“


-ප්‍රියන්ත ෆොන්සේකා -