Thursday, July 6, 2017

දෙවැනි අර්ධයේදී සිහිනයෙන් අවදි වීම: නිනෝට, නුනූට සහ ටෲමන්ට එරෙහිව නිශාන්ත සහ රුචී

පෙර සටහන:

‘නිනෝ ලයිව්’ මට මුලින්ම දකින්නට ලැබුණේ පසුගිය දශකාවසනයත් සමග විය යුතු ය. ඒ ‘මහනුවර ජාත්‍යන්තර සිනමා උළෙලේ’ දී ය. කුඩා ‘සිනමා ශාලා නොවන’ අවකාශයක් සිනමා ශාලාවක් බවට හරවා ‘කැන්ඩි සිටි සෙන්ටර්’හිදී චිත්‍රපටය නැරඹූ කුඩා ප්‍රේක්ෂක පිරිස ඉදිරියේ එක් සැණෙකින් තරුණ අධ්‍යක්ෂවරයා, තිසර ඉඹුලාන, වීරයෙකු බවට පත් විය. රියැලිටි වැඩසටහන් උන්මාදයක්ව රටපුරා පැතිර නැගී තිබුණු සමයක තිසරගේ සිනමා ආගමනය, බොලිවුඩ් ආකර්ෂණයේ රුවගුණ සහිතව, ඒ හා සමග සබුද්ධික සාකච්ඡාවක් ද සමග, තරුණ සිනමාවක් හඳුන්වා දෙමින් ආ ගමනක් බව කුඩා ප්‍රේක්ෂාගාරයේ බහුතර තරුණ පිරිසගේ ප්‍රතිචාර දෙස් දුන්නේ ය. අවාසනාවට ‘මහනුවර ජාත්‍යන්තර සිනමා උළෙලත්’ ‘නිනෝ ලයිව්’ චිත්‍රපටයත් දෙකම කාලය විසින් ගිලගනු ලැබිණ. 

තුන් වසරක ඇවෑමෙන්, මා සිඩ්නි නගරයට ගොස් සිටි සමයේ, එහි වෙසෙන ශ්‍රී ලාංකික මිතුරන් දෙදෙනෙකු හා එක්ව ‘නිනෝ ලයිව්’ සිඩ්නි නගරාසන්න සිනමා ශාලාවක ප්‍රදර්ශනය කරන්නට කටයුතු කළෙමි. මහනුවර හමුවුණු ‘සිනමා ශාලා නොවන’ අවකාශය වෙනුවට එය සියලු පහසුකමින් පිරි නවීන සිනමාහළක් විය. එහෙත් මෙරට ඒ වන විටත් තිරගතවී නොතිබුණු, නවක නළුනිළියන්ගේ දායකත්වයෙන් තිසර ඉඹුලාන නමැති ‘නවකයෙකු’ කළ, සිනමා පටය නරඹන්නට පැමිණියේ එහි ලාංකිකයින්ගෙන් කුඩා පිරිසකි. ඉන් අයෙකු සිනමා පටය අවසානයේ මා වෙත ආවේ නොරිස්සුම් මුහුණෙනි. ‘ Truman Show’ ඔහු මගේ මුහුණ දෙස බලා කීවේ ය. ‘ඇයි දෙවනි භාගෙ?’ මම ඇසීමි. ඔහු අවඥාසහගතව හිනැහී, මුවින් නොබැන පිටව ගියේ ය.

නිනෝ සහ නුනූ:

නිනෝ සහ නුනූ
නිනෝ ලයිව්හි ‘ලයිව්’ කොටස බැලූ බැල්මටම එහි විවේකයට පෙර මුණ ගැසෙන නිනෝගේත් (ඇත්ත සහ බොරු) නුනූගේත් කතාව සහිත අර්ධයයි. එය ප්‍රභාමත් ය; තිගස්වන සුළු ආකර්ෂණයකින් යුක්ත ය. චමත්කාරජනක ලෙස ජනප්‍රිය ලක්ෂණ හා සුසංගත වෙමින් නැගෙන දර්ශන සහ දර්ශනාවලිවලින් පූර්ණ ය.
ඉතා මැනවින් ගොඩනැගෙන නිනෝ සහ නුනූ හමුවන අවකාශය, පසුව එය ගොඩනගන ලද චිත්‍රාගාර අවකාශයක් බව හෙළි වුව ද, ප්‍රභාමත් ‘රුවටිලි ලෝකයක’ මායාමය ස්වරූපය අප ඉදිරියේ පිහිටුවාලයි. එය ගොඩනගන ලද්දකි. එනිසාම සිනමා දෘශ්‍ය රූපයද ‘මනාව සැකසූ’ බවක් පෙනේ. නිනෝගේ කාමරය, නිවස, නාන කාමරය ආදී නිවස තුළ වන අවකාශ සියල්ල ද, පිඟන් ගඩොලෙහි සිට ඇඳුම් රාක්කය දක්වා, ඒ පසුබිමෙහි වන සියළු අංග වෙන්ව ගෙන බැලුවත්, ඉතා සුපැහැදිලි ය. අවුලින් වියවුලින් තොර ය. එහි මාර්ග හා සෙසු නිවසින් බැහැර අවකාශයන් ද මේ සුපැහැදිලි, මනාව සැකසූ බව ම ගෙනේ.

අරුමය, ඒ ‘සකස් කරන ලෝකය’ සකස් කරන ලද්දක් බව නොදන්නා නිනෝ පමණක් එය ප්‍රශ්න නොකර සිටීම හෝ හඳුනාගත් පසු ප්‍රශ්න කිරීම නොවේ. ඒ සකස් කළ ලෝකය තුළ වෙසෙන සෙසු සියල්ලන්ම හොඳින් දැනදැනම එය පිළිගැනීම ය. නිනෝගේ මව පවා, ‘උතුම් මාතෘත්වය’ ගැන පෝදා වැඩසටහන් ඉදිරිපත් කරන්නට ඉඩ ඇති ටෙලිවිෂන නාලිකාවකට සිය කුසින් උපන් පුතුන් දන් දී, ඔහුගේ අනන්‍යතාව රටකට අලෙවි කරන බිහිසුණු ක්‍රියාවකට දායක වී ඇත. නිනෝට ‘පිටපතට’ බැහැරින් යමින් සැබවින්ම පෙම් කරන නුනූ එක්තරා මොහොතක ඒ බව ඉඟි කරමින් අතුරුදන්ව ගිය ද, ආදරය කිරීම ද පිටපත්ගත නාලිකා ක්‍රියාකරකමක් බවට හැරී ඇත. තවදුරටත් කිසිදු මානව දහමක් සෘජුවම මනුෂ්‍යත්වය හා පමණක් ගණුදෙනු කරනු වෙනුවට මාධ්‍ය ලෝකය විසින් මෙහෙයවන හා ක්‍රියාත්මක කරවන වෙළඳ ක්‍රියාකාරකමක ගොදුරු බවට හැරී ඇත.

ටෘෘමන්
නිනෝ ලයිව් හි (මුල් අර්ධයේ) මූල කෘතිය (මෙය චිත්‍රපටයේදී නිනෝගේ පියා වන නෝමන් ටෙලිවිෂන නාලිකා ප්‍රධානියා සමග කතා කරද්දී අපට දකින්නට ද ඉඹුලාන ඉඩ සළසා ඇත.) වන ‘ටෲමන් ෂෝ’ 1998 වර්ෂයේදී පීටර් වියර් විසින් තිරයට රැගෙන එනු ලැබූ, ටෲමන් නමැති තරුණයාගේ සමස්ථ ජීවන ක්‍රියාදාමය ටෙලිවිෂන නාලිකාවක රියැලිටි වැඩසටහනක් බවට පත්වීම පසුබිම් කරගත්තකි. එහි පිටපත සම්මානලාභී තිරරචක ඇන්ඩෘ නිකොල්ගේ ය. නිකොල් මෙහි පිටපත සඳහාද ඇකඩමි සම්මානය ඇතුළු සම්මාන කිහිපයකින්ම පිදුම් ලබා ඇත.

නිකොල් සිය පිටපතට නගා වියර් තිරයට ගෙනෙන පුවත ගෙවුණු වකවානුව තුළ ඇමරිකානු සමාජය මුහුණ දෙමින් ආ සුපැහැදිලි සංස්කෘතික වෙනස්වීම ප්‍රශ්න කිරීමකි. ක්‍රමයෙන් නැගී විත් පූර්ණ වශයෙන් ඇමරිකානු සමාජය ආක්‍රමණය කරමින් එන ටෙලිවිෂනය ප්‍රමුඛ මාධ්‍යයේ බලාධිකාරය ‘සන්නිවේදනයේ අර්ථය’ සියතට ගැනීම නිකොල්ගේ ප්‍රධාන ප්‍රශ්න කිරීම බවට පත් විය. මහජන මතය සිය අවශ්‍යතා අනුව දිශාගත කිරීමේ මාධ්‍ය අධිකාරීන්හි ප්‍රවේශය පිළිබඳ සංවාදයක් ඇති කිරීම චිත්‍රපටයේ පසු අවැසියාවන් තුළ වූ බව ඒ පිළිබඳ ඇති වුණු සාකච්ඡා දෙස් දෙයි.

‘නිනෝ ලයිව්’ මෙරට තිරය මත ප්‍රතිනිර්මාණය කරන ටෲමන්ගේ දේශීය භූමිකාව සමාන තත්වයන් තුළ මෙරට මාධ්‍යයේ හැසිරීම හේතුවෙන් තාර්කික පසුබිමක චිත්‍රපටය රඳවයි. ‘ටෲමන් ෂෝ’ හි හමුවන අහසින් විදුලි පහන් කඩා වැටීම වැනි හාස්‍යමය පසුබිම් තරමක් දුරට පසෙකට කරමින්, යටකී ලෙස ප්‍රභාමත් පරිසරයක චරිත හා සිද්ධි රඳවමින් ඉඹුලාන සිදුකරන අනුවර්තනය දැනුවත් මැදිහත් වීමකි. මාධ්‍යයේ මහජන මතය සියතට ගැනීමේ භූමිකාව තව දුරටත් අහසින් පහන් කඩා වැටී හෙළිදරව් වන ආකාරයේ සරල කටයුත්තක් නොවේ.

කෙසේ වෙතත්, ඉඹුලාන සිනමා නිර්මාණකරුවකු ලෙස සිය ව්‍යක්ත මැදිහත් වීම හා සංවාදය ආරම්භ කරන්නේ අපට විවේකයක් ලබා දී සිනමා පටයේ දෙවැනි අර්ධයේදී දෙවැනි ආඛ්‍යානමය නැගීම සමග ය. දැන් ප්‍රභාව මැකී ගොසිනි. සියල්ල සාමාන්‍ය ලෝකය තුළ ය. නිනෝලා නුනූලා නොමැති තැනක ය.

නිශාන්ත සහ රුචී
රුචී සහ නිශාන්ත
“මම නුනූ වාගෙ ද”

රුචී, සිහින ලොව තුළ සිය ‘නිනෝ’ බවට හරවාගෙන සිටින නිශාන්තගෙන් අසයි. නිශාන්ත පිළිතුරු දෙන්නේ උපහාසාත්මක සිනාවක් සමග ය.

“ඔයා...? නුනූ වගේ?.... විකාර!”

ටෙලිවිෂන රූපාවකාශය තුළ නිර්මිත චරිත හෝ පරිසර පමණක් තව දුරටත් මෙම අවකාශය තුළ වලංගු නැත. අපහසුවෙන් ‘මේකප් දමා’, රතු පැහැ ගවුමක් ඇඳගත් පමණින් හා දත්වලට ‘ප්ලේට්’ එකක් දැමූ පමණින් නුනූ කෙනෙකු බිහිවන්නේ නැත. මෙහි හමුවන අඳුරු පැහැ, අපැහැදිලි පරිසරයන්, අපිරිසිදු වීදි, විෂයය ධාරා හතරකින් පමණක් ‘මෝක්ෂමාර්ගය’ සොයා යන තරග රැල්ලට හසුවී හෙම්බත් ව සිටින තරුණ, තරුණියන්, මග බැස යන්නට මුදල් නැති තැන තමන්ගේම සිහින ඉටු කර දෙන මෙන් ඉල්ලමින් දෙවියන් ඉදිරියේ ගැට ගැසූ පඬුරු යළි ලිහන්නට සිදු වන තාරුණ්‍යය අපට මුණ ගැසේ. ඉඹුලාන දෙවැනි අර්ධයේ අප අභියස පෙළ ගස්වන්නේ මාධ්‍යයේ බලාධිකාරයට, එය නගන කෘතිම මහජන මතයන්ට හසුව යටපත් වන තත්‍ය ලෝකයයි.
ටෲමන් ෂෝ හරහා ප්‍රශ්න කරන ලද්දේ මාධ්‍යයේ සහ සමාජයේ හර පද්ධතිය පමණකුදු නොවේ. එය අපගේ එදිනෙදා ව්‍යවහාරික ලෝකය තුළ හමුවන මානව සාරධර්මයන්ද පෙරළා ප්‍රශ්න කළේ ය. ඉඹුලානගේ කෘතියේ දෙවැනි අර්ධය එම සාරධර්ම සපුරන්නට ඇති මාධ්‍යයෙන් මෙපිට ලෝකය අප අභියස ප්‍රතියමාන කරයි. එහි පළමු අර්ධය, නොඑසේනම්, ටෲමන් ෂෝහි අනුවර්තිත අර්ධය, යථාව තුළ හමුවන යථාවක් (reality in a reality) අපට මුණගස්වද්දී දෙවැනි අර්ධය එම යථාව තුළ හමුවන යථාව අභියස වන නව යථා ලොව අප අභියසට ගෙනෙයි. එය සිනමා කෘතියක එකිනෙක ආබද්ධව අවකාශ කිහිපයක පැවතීමකි.

‘නිනෝ ලයිව්’වසර කිහිපයකින්ම තිරයට පැමිණීම ප්‍රමාද වුවත්, එය තවමත් නව සිනමා පරම්පරාවක ප්‍රවේශ කෘතියක් බව සඳහන් කිරීමෙහි වරදක් නැත. පළමුව, එය සිනමා භාෂාවේ මෙවලම් මනාව හසුරුවමින් සුසාදිත කෘතියක් අප වෙත ගෙන එන්නට යත්න දරයි. ඒ හා සමග, දෙවනුව, ජනප්‍රියවාදී ‘බොලිවුඩ්’හෝ සමාන්තර ලක්ෂණ අපහසුවෙන් තොරව ආඛ්‍යානය තුළට ගලා එන්නට සලස්වමින් නව ප්‍රේක්ෂාගාරයක් වෙත එය යොමු කරයි. තෙවනුව, පූර්වයෙහි සිනමාවට නැගි කෘතියක ආඛ්‍යානය නිර්භයව ගෙන, එය යළි වියමින් වෙනත් කාල-අවකාශ රාමුවක එය පිහිටුවා තබා නව සාකච්ඡාවකට ඉඩ විවර කරදෙයි.

සිනහව කැඳවන කෙළවරක් ලෙස පෙනුනද සිනමා කෘතියේ අවසානය ද වන දෙවැනි ආඛ්‍යානයේ රුචීගේ සහ නිශාන්තගේ කතාවෙහි කෙළවර බිහිසුණු ය. ඔවුන් දෙදෙනාම, යළි ‘දැනුවත්ව’ පියවර තබන්නේ ‘කෘතීම’ හා ආචාරධර්ම හා ඇගයුම් ප්‍රතිමාන විනාශ කර දැමුණු ටෙලිවිෂන අවකාශය තුළට ය. නිකොල්ගේ සහ වියර්ගේ කෘතිය කෙළවරත්, ඉඹුලානගේ කෘතියේ විවේකයට පෙරත්, ටෲමන් සහ නිනෝ කළ අරගලය සහ සෙවීම යළි මුණගැසෙනු නැත. රුචී සහ නිශාන්ත එකිනෙකා සමග සිල්ලර රණ්ඩු කරමින් වුව ගමන් කරන්නේ එහි ප්‍රතිවිරුද්ධ දිශාව වෙත බැවිනි.


-          ප්‍රියන්ත ෆොන්සේකා -    

(ජූනි මස 28 වැනි දින, ජාතික චිත්‍ර‍පට සංස්ථාවේ තරංගනී ශාලාවේ පැවති ‘නිනෝ ලයිව් පිළිබඳ සංවාද මණ්ඩපයේදී එළි දුටු ‘නිනෝට ලයිව් විචාර‘ පොත් පිංචට මෙම ලිපිය ඇතුළත් ව තිබිණ.)

ඡායාරූප:
ටෘෘමන් ෂෝ - https://www.pinterest.com/pin/159877855498842302/
නිනෝ ලයිව් - http://www.music.lk/
                      http://www.sundaytimes.lk/170528/magazine/nino-live-goes-on-air-242104.html