Friday, July 17, 2020

ටෙලි තිරය ඉසියුම්ව සැරසීම: තණමල්විල කොල්ලෙක්


(2020 ‍ජූලි 12 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

වර්ග කිලෝ මීටර හැටහය දහසක් නොඉක්මවන කුඩා බිම් ප්‍රමාණයක විහිදි අප දිවයිනෙහි එක් එක් කලාප යළිත් අනේක ප්‍රවර්ග ඔස්සේ බෙදා අගයන්නට හෝ ගරහන්නට අප සමාජය තුළ ඇති හැකියාව විස්මිත ය. අනුරාධපුරය හා මහනුවර වැනි නගර අපට පූජා බිම් වන අතර නුවරඑළිය එංගලන්තය ද පරදන තරමේ එංගලන්තයකි. යාපන අර්ධද්වීපයම යුධයකින් දිනූ ජයබිමක් ලෙස දකින අපි විල්පත්තුව දේශපාලකයින්ගේ රුදුරු හස්තයට හසුවී විනාශ වී යන වනාන්තරයක් ලෙස ද, කොළඹ මුහුද ද වසමින් පැතිරෙන දියුණුවේ අගනුවර ලෙස ද ගනිමු. ඒ අනුව ඒ දිගු ලැයිස්තුවේ තණමල්විලට හිමිවන්නේ ඇගයුම් නාමයක් නොවේ. එපෙදස, තහනම්ව ඇති කංසා රහසින් වගා කොට රටට බෙදා හරින කලාපයකි. චාමර වීරසිංහගේ මුවින් ‘තණමල්විල මල් පිපුණත් තහනම් නීතියට’ ලෙස ගැයෙන්නේත්, ඒ ගීයේ තාලයට සංගීත ප්‍රසංගවලදී අප නටන්නේත් එම ‘පොදු’ පිළිගැනීමට අවනත වෙමිනි.

කෙසේ වුවත්, ඉම් බිම් හමුවේ මේ පොදු ඇගයුම් හා ගැරහුම් හමුවේ අප වෙතින් මැකී යන එක් නිශ්චිත කරුණක් වෙයි. ඒ මේ සියලු කලාපයන්හි සිය ජීවිතය දිනනු වස් නෙක අරගලයන්හි නිරත වන දස දහස් ගණනින් වන මිනිසුන් දිවි ගෙවන බව ය. එය පූජා බිම් අභිමුව මල් විකුණන, ශීත නුවරඑළියේ මහමග සිට එළවළු මළු දිගුකරන, යාපනයේ යුධ ජය බිම් සොයා යද්දී මිදි පොකුරු ගෙන එන, විල්පත්තුව දෙසට යද්දී බඩඉරිඟු තම්බා මග බලා සිටින මිනිසුන් දකිද්දී අපට හැඟුණත් යළි මූල රූපය තුළ ඉතිරි වන්නේ යටකී ඇගයුම්-ගැරහුම් නාමයන් පමණි.

ගෙවුණු සතියේ නිමාව දුටු, රොෂාන් රවීන්ද්‍රගේ පළමු ටෙලි සිත්තම වූ ‘තණමල්විල කොල්ලෙක්’, ගැරහුම් නාමයක් ලෙස පොදු සමාජය තුළ ස්ථාපිතව පැවති තණමල්විල සිය කෘතියේ නාමය තුළම තබා පැමිණියකි. එහිදී අපට මුණ ගැසෙන්නේ, සතියෙන් සතිය ගෙවී යද්දී තව දුරටත් හඳුනා ගැනෙන්නේ එම ‘ගැරහුම් බිම’ පසුපස සැඟවී ඇති මිනිස් ජීවිත පොකුරකි. සැබවින්ම තණමල්විලෙන් ගලවා ඔවුන්ව අප මැදවච්චියේ හෝ කිලිනොච්චියේ තැබූව ද, සීතාඑළියේ හෝ හාවාඑළියේ තැබුව ද පසුතල හා ඇතැම් විට ඇඳුම් පැළඳුම් සහ ඡවි වර්ණය වෙනස්වීම හැර හමුවන අරගල හා අර්බුදවල තීරණාත්මක වෙනස්කම් හමු නොවනු නියත ය. මේ සෑම කලාපයකම සිය ජීවිතය දිනනු වස් අනවරත අරගලවල නිරත වූ සහ නිරත වන විවිධ ජීවිත කොතරම් ඇති ද?

සුසිත් විජේමුණි මේ ලියන්නේත්, රොෂාන් රවීන්ද්‍ර සිය දෘශ්‍ය වියමන තුළ ගොඩ නගන්නේත් එම දස දහස් ගණන් ජීවිතවල පිළිඹුබවකි. ටෙලි සිත්තම දිග හැරෙමින් ගලද්දී, ‘පතෝලයා’, ‘කිතුලා’ සහ ‘කූරා’ වැනි චරිතවලට බැඳෙන ප්‍රේක්ෂාගාරය සිය ෆේස්බුක් අඩවි පුරා ඔවුන් අගයමින් ලියද්දී එවැනිම චරිත බොහෝ ගණනක් ජීවිත සටන වෙනුවෙන් අරගල කරනු හෝ යුද්ධයෙන් මියැදී හෝ ඇති බව සිහි කැඳවන්නේ නැතිනම් යළි අප තණමල්විල තබන්නේ යටකී ගැරහුම් බිම තුළම ය.

කෙසේ වුවත්, මෙහි ‘තණමල්විල කොල්ලා’ දීප්ත ය. සිය මිතුරු කැළේ හමුවන කූරාට, පතෝලයාට, කිතුලාට සාපේක්ෂව ඔහු මුහුණ දී ඇති ගැටළු අල්ප ය. සිය තණමල්විල නිවසේ කාමරය තුළින් ඇරඹ පැරිස් නුවරින් කෙළවර වන ඔහුගේ ගමන් මග තුළ ඔහු වැඩි වශයෙන් සිදු කරන්නේ නිහඬව බලා සිටීම ය. මිනිස් ජීවිත ගලා යන අයුරු, වැඩෙන හා නැසෙන අයුරු ඔහු දකියි. සිද්ධාර්ථට පිය රජු ජීවිතයේ දුක්ඛ පක්ෂය සඟවා තැබු මුත්, දීප්තගේ පියා නිහඬව බුද්ධ චරිතය සිතුවම් කරමින් සිය පුතුට ජීවිතයේ සියළු දුක හා සතුට මුණගැසෙන්නට ඉඩ හරියි. එහි හමුවන පෙර නිමිති සතරකට වැඩි ය. රෝග නෙක අයුරින් ඔහු වෙත ද, සෙස්සන් වෙත ද පැමිණෙයි. මහල්ලන් මියෙන්නේ අලින්ගෙන් පහර කෑමෙනි. හමුවන මළමිනී ගණන බොහෝ ය. එක්ව නැගුණු මිතුරු කැළේ ජගා පිහි ඇණුමකින් මියෙද්දී කිතුලා මියෙන්නේ යුද්ධයෙනි. ඔහුට හමුවන යශෝධරාව ද ඔහු වෙතට සැඟවූ රෝගයක් හේතුවෙන් මිය යයි. පැවිද්දන් වුව අරගලවල ය. කුලය, දරිද්‍රතාව ඇතුළු බොහෝ දේද, වත්මන් ආර්ථික-සමාජ දේහය තුළ සැඟවුණු බලවේගයන් ද පැවිදි ජීවිත අභිමුවට පැමිණ ඒ නසා දමති. දීප්ත ඇවිද යන්නේ මේ සියල්ල දකිමින්, වටහා ගනිමින් ය. තණමල්විල ශුෂ්ක බිමෙහි මෙන්ම අහස සිප ගන්නා උස් ගොඩනැගිලි සහිත අගනුවර තුළ ද ජීවිත මුහුණ දෙන අනේක ජය පැරදුම් ඔහු දකියි. ඒ හා සමග ඔහු ද විටෙක වැටෙමින් ද, නැගෙමින් ද පෙරට යයි. සියල්ල අවසන, වසර ගණනකට පසු, පියාගේ මරණය හේතුවෙන් පෙරළා තණමල්විලට එන දීප්තගේ නෙතු අභියස මැවෙන අවසන් රුව සිය පියාගේ අවසන් නිර්මාණයයි. ඒ ශාන්ත බුදු රුවකි.

‘තණමල්විල කොල්ලෙක්’ ඈත-මෑත ටෙලි තිරය මත නැගුණු ටෙලි නාට්‍ය අතර ඇගයුම් සහගතම තැනක තබන්නට හේතු බොහෝ වෙතත්, මේ කුඩා තීරුව තුළ ඒ සියල්ල ලිවීම උගහට ය. රංගනය, සංගීත නිර්මාණය, කැමරා අධ්‍යක්ෂණය, සංස්කරණය හා අධ්‍යක්ෂණය ආදී බොහෝ කලාප පිළිබඳ අපට දිගු සාකච්ඡාවලට පිවිසිය හැක. එසේ නමුත්, ඒ සාකච්ඡා කලාප මතුවට තබමින් මෙම කෘතිය සිදු කළ උඩුගම් බලා පිහිනීමේ වෑයම අගය කිරීම වෙත මම පිවිසෙමි.

80-90 දශකවල නිමැවුණු ටෙලි නාට්‍ය නිර්මාණ අද හමුවන නිර්මාණ අභිබවන බවට වන බොහෝ අදහස් අපට මුණගැසෙයි. එදවස නිර්මාණ ගෙන ආ ධර්මසේන පතිරාජ, ජයන්ත ධර්මසිරි, තිස්ස අබේසේකර, පරාක්‍රම නිරිඇල්ල, බර්ට්‍රම් නිහාල් ආදීන්ගේ කෘතීන් වෙත ඇත්තේ වෙසෙසි ඇගයීමකි. කෙසේ වෙතත්, එම නිර්මාණ යළිත් නාලිකා තුළ විකාශය වද්දී හෝ අන්තර්ජාලය ඔස්සේ නරඹද්දී හෝ හැඟෙන කරුණ වන්නේ තාක්ෂණික සීමා කෙතරම් දුරට එදවස නිර්මාණයන්හි දිග-පළල සීමා කොට තිබිණි ද යන්නයි. ඒ කෘතීන් බොහොමයක හමු වන වටිනාම අංගය කල්පනාකාරීව ගොඩ නැංවූ පිටපතයි. සහ, ඒ තියුණු කොට ගෙනහැර පෑම සඳහා නංවන අධ්‍යක්ෂණය හා රංගනයයි. එහෙත්, වත්මනෙහි හමුවන තාක්ෂණය එම සීමා බිඳ හෙළමින් බොහෝ කලාප වෙත සිය නිර්මාණයේ වපසරිය විහිදුවීමට නිර්මාණකරුවන්ට අවකාශ සළසා ඇත. කෙසේ වෙතත්, හමු නොවන්නේත් එම වපසරිය නිසි භාවිතයට කැඳවූ නිර්මාණ ය.

ක්‍රිකට් ක්‍රීඩාවේ දී ඇත්තේ ඉනිම දෙකක් වුවත් ඉනිම් සිය ගණනින් තැනෙන ‘දෙවැනි ඉනිම්’ ඉහළ ප්‍රතිචාර ලබන පසුබිමක, නාලිකා පාලකයින් ද එවැනි කොපි විමසන අවකාශයක ‘තණමල්විල කොල්ලෙක්’ ගමන් කළේ දීප්තගේ ගමනට නොදෙවනි දුෂ්කර ගමනකි. රූපය කුඩා තිරයක මැවෙන හෙයින්ම වන සීමා ජයගනිමින් වඩාත් පොහොසත්ව ආඛ්‍යානයක් ප්‍රේක්ෂාගාරය අබිමුව තැබීමේ අභියෝගය සැබෑ අධ්‍යක්ෂවරයෙකු වෙත වෙයි. ස්වකීය රංගන දායකත්වයෙන් නිමැවුණු ‘සහෝදරයා’ ඇතුළු කෘති කිහිපයක් අසීරුවෙන් තනා තිබුණු දුෂ්කර මගක ‘තණමල්විල කොල්ලෙක්’ කැඳවාගෙන රොෂාන් රවීන්ද්‍ර ගිය ගමන ඇගයිය යුත්තේ එබැවිනි.

-ප්‍රියන්ත ෆොන්සේකා -



Friday, July 3, 2020

බොරු කීමට සූදානම් වීම: පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ තරග


(2020 ‍ජූනි 28 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

2021 සඳහා රජයේ පාසැල්වල පළමු වසර සඳහා ඇතුළත් කිරීමට නියමිත දරුවන් සඳහා අයදුම්පත් කැඳවෙන බව සඳහන් දැන්වීම පසුගිය දිනවල ජාතික පුවත්පත් ඇතුළු මාධ්‍ය හරහා ප්‍රකාශයට පත්ව තිබිණ. පස් වෙනි විය පසුකරමින් සිටින දූ පුතුන් සහිත (මධ්‍යම පාන්තික) දෙමාපියෝ ඒ හා සමග සුපුරුදු ‘වාර්ෂික තරගයට’ අවතීර්ණ වූ අතර, කුහුඹු කකුල් හා සමාන අකුරින් මුද්‍රණය වී ඇති උපදෙස් පත්‍රිකා සමග වන අයදුම් පත් කට්ටල බැගින් මිලට ගනිමින්, සත්‍ය සහ අසත්‍ය (බව හොඳින් දන්නා) ලිය කියවිලි සූදානම් කරමින් සිය දරුවාට ‘වඩාත්ම හොඳ’ පාසැල ලබා දීමට පොර බැදීමට අවතීර්ණව සිටිති.

තරගය මතුපිටට පෙනෙන ස්වභාවයක් දක්වා රූපාන්තරණය වන්නේ මේ දැන් වුව ද ඇතැම් දෙමාපියන් දරුවා මව් කුස වැඩෙද්දීම මෙම තරගයේ සැලකිය යුතු කොටසක් සඳහා අවතීර්ණ වන අතර, මුදල් ඇත්නම් ‘හොඳ ඉස්කෝල’ ඇති නාගරික පරිසරවලින් නිවෙස් මිලට ගැනීමත්, මුදල් නැත්නම් එවැනි නිවාස හෝ දේපළ ඇති බව පෙන්වන පරිදි ලියකියවිලි සැදීමත් සිදු කරන බව ප්‍රසිද්ධ රහසකි. නිවාස සහ දේපළවල අයිතියට අමතරව විදුලි හා ජල බිල්පත්, ග්‍රාමසේවක සහතික ආදියට ද වැඩි ඉල්ලුමක් මේ පසුබිමෙහි ලැබෙයි. ඒ අතර එක් එක් අනු අංශ යටතේ ඇති යොමු සඳහා ඉල්ලුම වැඩිවන තවත් දේ ඇත. උදාහරණයකට දුෂ්කර සේවයේ වසර පහක් සපුරා ඇති ගුරු සේවයේ නියුතු මව හෝ පියා සිය ඉලක්ක පාසැල සඳහා වන දුර සීමා තනා ගැනීමට ගමනාගමන මණ්ඩල වෙත ගොඩ වෙයි. තමන් ඉගෙන ගත් ‘ජනප්‍රිය’ පාසැලට ආදි ශිෂ්‍ය ‘අයිතිය’ යටතේ දරුවාට ප්‍රවේශය සාදා දීමට ආදි සිසු/සිසුවි සංගම් නිලධාරීන් හමුවට ගොස් සබඳතා අලුත් කරයි. මෙවැනි කටයුතු රැසක් මේ තරගය පසුපස එකිනෙක බැඳී නැගෙයි.

අල්ලස් දෙමින්, සුදුසුකම් සහිත දරුවන් ඉක්මවමින් සිය දරුවාට ‘හොඳ පාසැල’ සාදා දෙන දෙමාපියන් පිළිබඳ පුවත් තවමත් ඉඳහිට නැඟුණ ද අල්ලස් හා දූෂණ කොමිසම මෙන්ම, ඊටත් වඩා අවස්ථාව අහිමිවන දරුවන්ගේ දෙමාපියන්ගේ උකුසු ඇසට බිය වීම නිසා ඒ සිදුවන්නේ සාපේක්ෂව අඩු අගයකින් බව පෙනේ. එහෙත්, නගරයේ පාසැල ආසන්නයේ හරි හෝ වැරදි අයුරින් පදිංචිය තනමින් දරුවන්ට දොර විවර කරදීමට සිදු කරන වෙහෙස නම් ඉහළ යනු මිස පහළ යනු නිරීක්ෂණය කළ නොහැකි ය.

මේ සියල්ල කුමකට ද?

මාර්ගය සඳහා ප්‍රවිශ්ට වන ස්වරූපය ශිෂ්ට හෝ අශිෂ්ට විය හැකි වුව ද සියලු දෙමාපියන්ගේ අභිප්‍රාය යහපත් පදනමක් මත පිහිටයි. එනම්, සිය පුතු හෝ දියණිය වඩාත් හොඳ අධ්‍යාපනයක් ලැබෙන, පිළිගත් පාසැලක අධ්‍යාපනය සඳහා යොමු කිරීම ය. නිදහස් අධ්‍යාපනය යටතේ සියලු දරුවන්ට නොමිල අධ්‍යාපනය ස්ථිරව ඇත්තේ වුව, නාගරික හා ග්‍රාමීය වශයෙන් ද, ජනප්‍රිය හා ජනප්‍රිය නොවන වශයෙන් ද ඇතුළුව විසල් ධූරාවලියක බෙදී පවතින මෙරට පාසැල් අතුරින් සිය දරුවා තරමක් හෝ තෘප්තිකර මට්ටමක පාසැලකට ඇතුළු කරවීම බහුතර දෙමාපිය සිහිනය වී තිබේ. දරිද්‍රතාවයෙන් පෙළෙන මෙන්ම ඈත දුෂ්කර පළාත්වල දෙමාපියන්ට පමණක් මේ සිහිනය අත හැර ‘දුෂ්කර සේවය’ නියත හෙයින් පැමිණෙන ගුරුවර ගුරුවරියන්ගේ සහායෙන් දිවෙන ‘දුෂ්කර’ පාසැලකට සිය දරුවා ඇතුළු කොට සැනසීමට සිදු වේ. වත්කමක් ඇත්නම් සහ ඉහත තරගය හා ගැටීමට අකමැති නම් යමෙකුට සිය දරුවාට ජාත්‍යන්තර පාසැලක දොරටුව විවර කළ දිය හැකි ය.

‘හොඳම පාසැල -ළඟම පාසැල’ යන සංකල්පය පිළිබඳ කියැවුණු දැන්වීමක් පසුගිය වසරවල නිරන්තරයෙන් ජාතික ගුවන්විදුලි නාලිකාවල අසන්නට ලැබිණ. එහි පදනම ගොඩ නැගී තිබුණේ සියලු පාසැල්වලට සම-පහසුකම් සපයමින් පාසැල් සඳහා මේ හමුවන තරගය අවම කිරීම බව ද කියැවිණ. නමුත් අලංකාර ගීතමය ගුවන්විදුලි දැන්වීම නොඉක්මවූ සංකල්පය කෙළවර 2020 වසරේ දී ද පෙර තරගය කැඳවා ඇත.

අපි රටක් වශයෙන් දිගු කලක් මුළුල්ලේ වචනාර්ථ වෛශ්‍යා වෘත්තියේ යොදවමින් සිටිමු. ප්‍රජාතන්ත්‍රවාදය සිට නිදහස දක්වා ද, ධර්මිෂ්ඨ සමාජයේ සිට යහ-පාලනය දක්වා ද අප වචන කැඳවූයේ එහි අර්ථය සාක්ෂාත් කරනු පිණිස නොවේ. පාසැල් පිළිබඳ මෙම තරගය අපට යෝජනා කරන්නේ ද ඒ හා සමාන ක්‍රියාවලියකි. සියල්ල පසෙක තබා පාසැල් සඳහා දරුවන් ඇතුළු කිරීම සම්බන්ධ නිවේදනය ගන්න. එය පූර්ණ වශයෙන්ම පවතින ධූරාවලිය දැඩිව අනුමත කරන, පවත්වා ගෙන යාමට යෝජනා කරන සහ සහාය දෙන ලේඛණයක් මිස සමාන තත්ව අනාගත පරපුර වෙත තිළිණ කිරීමට යෝජනා කරන ලියවිල්ලක් නොවේ. අංග ගණනාවක් ඔස්සේ ලකුණු ලැබෙන පිළිවෙල යෝජනා කරන එහි ඇති ඉලක්කයම නගරයේ ජනප්‍රිය පාසැල් වෙත ළමුන් ඇතුලත් කිරීම සඳහා ක්‍රමයක් පෙන්වීම මිස 2021 වර්ෂයේ සය වැනි වියට පැමිණෙන ලාංකික දරු පරපුර පාසැල් වෙත ආදරයෙන් පිළිගෙන අනාගතය වෙත කැඳවාගෙන යාම නොවේ.

දැන් ජනප්‍රිය පාසැල් ඉලක්ක කරන දරුවන් බොරු කීමට පුරුදු විය යුතු ය. ළමා කාලයේ පටන් තමන් නගරයේ ආසන්න තැනක ජීවත් වූ බව සම්මුඛ පරීක්ෂණයේ දී වැමෑරීමට හුරු විය යුත්තේ බොරුව පාසැලේ යතුර තමන් වෙත තබන පාලම තනන හෙයිනි. බොරු කියන දරුවා කෙසේ වුව, බොරු තනන හා කියන දෙමාපියෝ සිය දරුවාගේ යතුර වෙනුවෙන් තමන් වෙනත් සුදුසු දරුවකුගේ යතුරක් සොරකම් කරන බව ද නොසිතති.

නමුත්, යළිත්, මේ සියල්ල කුමකට ද?

යහපත් අරමුණක් වෙනුවෙනි. දරුවාට හොඳ අධ්‍යාපනයක් ලබා දීම සඳහා ය. කෙසේ වෙතත්, මේ සියලු කටයුතු මධ්‍යයේ දිගින් දිගටම අප වෙතින් ගිලිහෙන සාමූහික වගකීම හා වගවීම හේතුවෙන් ‘විෂයයගත අධ්‍යාපනයක්’ දරුවන් වෙත තැබීමට හැකි වුව ද දියුණු සමාජයක් තනාගැනීමට නම් අපට ඉඩ නොලැබෙන බව මම යෝජනා කරමි.

සාමූහික පුරවැසි වගකීමක් ඇති සමාජයක් කටයුතු කරනු ඇත්තේ සියලු දරුවන් එක හා සමානව දකිමිනි. තමන්ගේ දරුවාට ආදරය කිරීම පසෙකින් නොතබමින්ම සමස්ථ සමාජයේ දරුවන් ද ඔහු හෝ ඇය හා සමානව දැකීමට එවැනි සමාජයකට හැකි ය. අප එවැන්නන් නම් ඉල්ලා සිටිය යුත්තේ සැමට සම අවස්ථා සහිත අධ්‍යාපනයකි. බොරු කියූ දරුවන්ට පාසැල් දොර විවර කෙරෙන හා යමක් කමක් නැති පවුල්වල දරුවන්ට වේදනාව හිමිවන ක්‍රමයක් නොවේ. එවිට පමණකි අධ්‍යාපනයෙන් අනතුරුව ජීවිතයට පිවිසීමට යහපත් සමාජයක් දරුවා අභියස නිමැවෙන්නේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉල්ලුම් පත්‍ර කැඳවීම මූලික අත්‍යාවශ්‍ය තොරතුරු විමසීමට පමණක් සීමා කෙරෙන, තනි ඒකල දැන්වීමකට සීමා වන මොහොත තුළ සැබවින්ම ‘ළඟම පාසැල-හොඳම පාසැල’ වී පවතිනු ඇත. ඒ සඳහා අධ්‍යාපනයේ සැබෑ සම අවස්ථා වෙනුවෙන් වන සමාජ වගවීමක් සහිත අරගලයක් අවශ්‍ය ය.


-ප්‍රියන්ත ෆොන්සේකා -