Monday, September 7, 2020

විසල් වැඩ කළ ‘පුංචි’ මිනිසෙකුගේ ‘ලේඛනාවලි’ හෙළි කර දුන් අතීත වත

(2020 ‍අගෝස්තු 30 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

සම්මානිත මහාචාර්ය පුංචිබණ්ඩා මීගස්කුඹුර මහතාගේ ශාස්ත්‍රීය ජීවිතය තුළ ඔහු අතින් ලියැවුණු සියලු ශාස්ත්‍රීය ලිපි ඇතුළත් ලේඛනාවලි’ නමැති මාහැඟි පුස්තකය පසුගිය විසිපස් වැනි අඟහරුවාදා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සනාතන සභා ශාලාවේදී එළිදැක්විණ. ගෙවුණු දශක කිහිපය තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශය තුළ මහාචාර්යවරයෙකු ලෙස සේවය කිරීමෙන් අනතුරුව සිය විශ්‍රාමික දිවිය තුළදී පේරාදෙණියේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශය හා සමීපව කටයුතු කරමින් මෙන්ම, ලොව පුරා විශ්වවිද්‍යාල ගණනාවක සැරිසරමින් සිය ශාස්ත්‍රීය සේවය විශ්ව දායකත්වයක තැබූ  මහාචාර්ය මීගස්කුඹුර ලාංකීය ශාස්ත්‍ර කෙත තුළ නැගුණු දුලබ විද්වතෙකි. ඔහුගේම සෙවනෙහි සිප් සැදෑරූ දඹුල්ලේ සුදේව, පිටතලාවේ විමලසාර සහ අපරැක්කේ සිරි සුධම්ම යන ස්වාමීන් වහන්සේලා තිදෙන එම විශිෂ්ට කෘතියේ සංස්කාරකත්වයට දායකව තිබිණ. එදින සැඳෑව  පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි එදා මෙදා තුර ඉතිහාසයේ හමුවන, තවමත් ජීවතුන් අතර හිඳිමින් සිය ශාස්ත්‍ර ඥානය සම්පාදනය කරන විද්වතුන්ගෙන් ද,   ඇසුරෙහි වැඩෙන ඥාන ගවේෂකයින්ගෙන් ඒකාලෝක තිබිණ.

මහාචාර්ය සඳගෝමී කෝපරහේවා සහ සම්මානිත මහාචාර්ය කේ.එන්.. ධර්මදාස සමග මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමි යන විද්වතුන් තිදෙනගේ ප්‍රමුඛ දෙසුම් හා සමග මුණගැසුනු උළෙල තවත් බොහෝ පිරිසකගේ කෙටි අදහස් දැක්වීම්වලින් පෝෂිතව පැවතිණඋළෙල ඇරඹි මොහොතකින් මහාචාර්ය මීගස්කුඹුර මහතා එක්කළ අදහස් දැක්වීම ද, ඉහත සියලු අදහස් හා එක්ව මෙරට මානව ශාස්ත්‍ර අධ්‍යාපනය පිළිබඳ යම් අතීත මතක සෙවනැල්ලක් එම  පරිශ්‍රය තුළ චිත්‍රණය කළ වග අතුරු සිදුරු නොමැති පිරී තිබුණු ශාලාවෙහි කෙලවරක අසුන් ගෙන උන් මට හැඟිණ. මහාචාර්ය මීගස්කුඹුරයන්ගේ ශාස්ත්‍ර ජීවිතයෙහි වැදගත්කම කැපී පෙනුණු  එම මොහොතෙහි නැගෙමින් මැකෙමින් චිත්‍රණය වූ එම අතීත වත වඩා වැදගත් එමෙන්ම ඛේදනීය පුවතක ඡායා මාත්‍රයන් රැස්ව උන් පිරිස හමුවේ තැබී ය.


මහාචාර්ය මීගස්කුඹුරගේ මෙන්ම ඔහුගේ සමකාලීනයින්ගේ ද ශාස්ත්‍රීය මැදිහත්වීම් සහ ඔවුන්ට පෙර මං තැනූ මාහාචාර්ය ඩී.ඊ.හෙට්ටිආරච්චි, මහාචාර්ය සුගතපාල ද සිල්වා සහ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර වැනි වියතුන්ගේ දායකත්වයන් පිළිබඳ යළි සාකච්ඡාවට ගැනීම මෙම අවකාශය තුළ සිදුවුණු එක් වැදගත් සිදුවීමකි. එය, වඩාත් පිරිපහදු කළ ශාස්ත්‍රීය කලාපයන් නිර්මාණය කරගනු වස් වර්තමානිකයින් ලෙස අප කටයුතු කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ සංඥා සපයා දිණ. කෙසේ වෙතත් එම සංඥා වසා දමමින් නැගුණේ මානව ශාස්ත්‍ර විෂයයන් හමුවේ අපේ පසු-නිදහස් පාලකස්ථානය කටයුතු කොට තිබුණු ඛේදනීය ප්‍රවේශයන් ගණනාවක් පිළිබඳ සඳහන් ය. 71 තරුණ නැගිටීමෙන් පසු පේරාදෙණියේ හොඳින් ස්ථාපිතව තිබුණු බොහෝ ශාස්ත්‍ර පීඨ දෙපාර්තමේන්තු (පාලි, සංස්කෘත, ලලිත කලා ආදී), යුනිවසිටි කොලීජී ලෙස සියලු විශ්වවිද්‍යාල එක් තනි දේශීය විශ්වවිද්‍යාලයක් (ලංකා විශ්වවිද්‍යාලය) යටතට ගෙන කැලණිය වැනි වෙනත් කලාප වෙත තල්ලු කර හැරීම, සිංහල භාෂාව හැදෑරීම ගර්හාත්මකව දකිමින් ස්ව-භාෂාව හැදෑරීම දුර්මුඛ කිරීම, ඒ හේතුවෙන් මානව ශාස්ත්‍ර විෂයයන් හැදෑරීම සඳහා විශ්වවිද්‍යාල වෙත පැමිණි ශිෂ්‍ය ප්‍රජාව බිඳ වැටීම මෙන්ම ඒ හමුවේ ඉතිරිව උන් විද්වතුන්ට මුහුණ දීමට සිදු වුණු අභියෝග ඇතුළු කරුණු ගණනාවක් එහි දී ඡායා මාත්‍රව නැගිණ. උළෙල අවසානයේ සිය වදන් කිහිපයක් සභාව හමුවේ තැබූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලක්ෂ්මන් නුගපිටිය 80 දශකයේ මැද භාගය වන විට පේරාදෙණියේ සිංහල විෂයය හදාරණ විද්‍යාර්ථීන් දෙස එම පීඨයේම සමාජ විද්‍යා විෂයයන් හැදෑරූ සමකාලීනයින් දැරූ ආකල්පය ගෙන හැර දැක්වූයේ තම සටහන් ඇතුලත් ෆයිල් කවරයක නන්නාඳුනන යමෙකු ලියා තිබුණු කවියක් උපුටමිනි.

“බුත්සරණ ගලවා - අමාවතුරෙන් සෝදා

සිඛ වළ‍ඳේ දමා - තම්බා බොනු!”

ශාලාව වෙත සිනහවක් කැඳවූ ඉහත වදන් පෙළ වර්තමාන පසුගාමී සමාජය බිහි කිරීමට පදනම තැනූ අතීත වත පිළිබඳ මාහැඟි උදාහරණ වදන් පෙළක් ලෙස ද යෝජනා කිරීමෙහි වරදක් නැත. ලාංකික ගද්‍ය-පද්‍ය ඉතිහාසයේ මහරු නිර්මාණ ත්‍රිත්වයක් ‘අල, දියර සහ මැටි මුට්ටි’ ලා සැලකීම (හා එවැනි ආස්ථානයක් වෙත සමාජය විතැන් කරවීම) බිහිසුණු ය. යම් සංස්කෘතියක උදාරම් බව පිළිබඳ මාහැඟි සාක්ෂි එම සංස්කෘතික අතීතය හා බැඳුණු සාහිත්‍යය තුළින් නැගේ නම් එම සංස්කෘතියෙහි වත්මන් ප්‍රවාහය හා සමග ගණුදෙනු කරන්නා කෙතරම් ආඩම්බර විය යුතු ද? නමුත්, සිදුව ඇත්තේ එහි විලෝමයයි. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නුගපිටියගේ අනුමානය නිවැරදි නම්, එය ලියා තබන්නට ඇත්තේ එම පීඨයේම සමාජ විද්‍යා කලාපයෙන් නම්, එය මෙරට මෑත ඉතිහාසය පිළිබඳ තිගස්සවන සුළු යථාවක් අපට සංඥා කරයි.

 පුංචි බණ්ඩා මීගස්කුඹුර මහැදුරුතුමන් ඇතුළු ඉතා සුළු විද්වතුන් පිරිසක් උඩුගම් බලා පිය නගා ඇත්තේ මේ බිහිසුණු බවට එරෙහිව ය. එය තව දුරටත් තීව්‍ර කරමින් මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාසයන් සිය දෙසුමේ දී සිහි කැඳවූයේ ‘සංස්කෘත ශ්ලෝක, පාලි ගාථා සහ සිංහල කවි’ කියවීමෙන් ලැබෙන ඵලය කිමක්දැයි එවක උන් නම් දැරූ පීඨාධිපතිවරයෙකු විමසූ බව ය. භාෂාව හැදෑරීම යනු ශ්ලෝක, ගාථා සහ කවි විමසීම පමණක් නොවන බව ප්‍රතිවිරුද්ධ මහා ප්‍රවාහයට වටහා දීමට ‘පුංචි’ලාට සිය දිවියම කැප කරන්නට වූ බව ය.

විද්වත් මිතුරු කැළ අතර ‘පුංචි’ යනුවෙන් නම් ලැබූ මහාචාර්ය පුංචි බණ්ඩා මීගස්කුඹුර විසල් තුරකි. නමුත් ඔහුට අතු පතර විහිදුවන්නට සිදුව ඇති බව පෙනෙන්නේ හිරු එළිය කිසිදු අයුරකින් නොදකින පසුබිමක ය. මානව ශාස්ත්‍ර හැදෑරීම යනු අත්‍යාවශ්‍යයික ශාස්ත්‍ර වැඩ බිමක් බව නොවටහා ගන්නා රටක අනාගතය ශෝචනීය වන අයුරු දැක දැක ය.

‘සිංහල බස හැදෑරූ පසු රැකියා නොලැබෙන බව’ චක්‍ර ලේඛ මගින්ම දැනුම් දුන් යුගයක අප කටයුතු කළ බව මහාචාර්ය ධර්මදාස කීවේ ය. ‘දේශපාලන විද්‍යාව’ හදාරා ලැබෙන රැකියා අවස්ථා කවරේදැයි විමසන පාලකස්ථානයක් අපට සංඥා කරන්නේ මානව ශාස්ත්‍ර මතු නොව සමාජ විද්‍යා විෂයයන් වුව නුදුරු අනාගතය තුළ ආන්තික කලාප වෙත යොමු වීමේ අවධානම ය. එයට එරෙහිව ‘පුංචි’ වැනි පුංචි මිනිසුන්ගේ යෝධ සවිය එක් වීම අවැසි ය.

-ප්‍රියන්ත ෆොන්සේකා -