(2020 ජනවාරි 05 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)
දින දෙක තුනකට
පෙර මවෙත ලැබුණු දුරකථන ඇමතුමකි. එහි අනෙත් කෙළවර උන්නේ ඉන්දියානු විශ්වවිද්‍යාලයකින්
සංගීතය පිළිබඳ උපාධි ලැබ, දැනට මහනුවර ප්‍රමුඛ පාසැලක සංගීත විෂයය උගන්වන තරුණ
ගුරුවරයෙකි; මිතුරෙකි.
“අනේ ප්‍රියන්ත
සර්. සර් අපේ ප්‍රශ්නය ගැන පත්තරේ ලියපු සටහන අපිට හරිම ප්‍රයෝජනවත් වුණා. අපි ඒක
අපේ ලෝයර් අතටත් දුන්නා. එයා හරිම සතුටු වෙලා කිව්ව මේක මම නඩුවෙදි සඳහන් කරනව
කියලත්. ඒක ඒ විදියටම වුණා විතරක් නෙවෙයි අපි නඩුව දිනුවා!!!“
ඔහු සඳහන් කළේ
‘විශ්ව විද්‍යාල සංගීත අධ්‍යාපනයේ අර්බුදය‘ යන මැයෙන් පසුගිය අගෝස්තුවේ මෙම තීරය
වෙත මා ලියූ සටහන ගැන ය. ඉන්දීය උපාධි ලැබීම නිසා සංගීතය විෂයය සඳහා විශ්වවිද්‍යාලවල
කථිකාචාර්ය ධූරය සඳහා නුසුදුස්සන් වීම හේතුවෙන් ඔවුන් කැලණිය සහ සෞන්දර්ය
විශ්වවිද්‍යාලවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොණු කර ඇති බවත් එදිනවල එය
විභාගයට ගැනෙමින් පවතින බවත් මම එහි ලියමින් විශ්වවිද්‍යාල කථිකාචාර්ය ධූරයන් සඳහා
බඳවා ගැනීමේ පටිපාටියේ ඇති ඇතැම් පොදු විධිවිධාන සංගීතය වැනි විෂයයක් අභියස මතු
කරන අර්බුද එහි සාකච්ඡා කළෙමි. උපාධියේ අධ්‍යයන කාල සීමාව පිළිබඳ අප නිර්වචනය
කරගන්නා ක්‍රමවේදයන්හි ඇති හිදැස් ද පෙන්වා දුන්නෙමි. මගේ සටහන උසාවිය වෙත කළ
බලපෑම ශුන්‍ය හෝ ක්ෂුද්‍ර විය හැකි වෙතත් දැන් ඔවුන් සටන දිනා ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය
හමුවට ගිය එම පිරිසගේ තර්කය ඔස්සේ යමින් මා එම සටහන ඔස්සේ මතු කරන්නට සැබවින්ම උත්සාහ
කළේ මෙරට විශ්වවිද්‍යාල හා පාසැල් පද්ධතිය තුළ හමුවන සංගීත අධ්‍යාපනය හමුවේ
හඳුනාගත හැකි මූලික අර්බුද කිහිපයක් පිළිබඳව ය. මෙම උසාවි තීන්දුව මා එහි පසුව මතු
කළ අර්බුද පිළිබඳ කිසිදු විසඳුමක මගක් පිළිබඳ සංඥා නොගෙනෙතත්, ඉහත දුරකථන ඇමතුමෙන්
පසු, අදාල සටහන ලිවීම පිළිබඳ ඉමහත් ප්‍රහර්ෂයක්, උද්දාමයක් මසිත තුළ නැගී ආවේ
නිතැතිනි. ඒ ඇයි?
විශ්වවිද්‍යාල
අධ්‍යාපනය සඳහා වරම් ලබන ශිෂ්‍ය සංඛ්‍යාව වාර්ෂිකව ඉහළ නැංවෙතත්, ඉසෙඩ් අගය
වාර්ෂිකව ඉහළ යමින් තරගකාරී උසස් පෙළ හරහා වසරක් පාසා විශ්වවිද්‍යාල වරම් හිමි
කරගන්නා පිරිසෙහි දැනුම් මට්ටම ඉහළ යමින් ඇති බව සංඥා කෙරෙතත්, ඒ හා සමාන්තරව වඩා
දක්ෂ, උද්යෝගිමත් සිසු පිරිසක් හමු වීමේ වාසනාවක් විශ්වවිද්‍යාල ආචාර්ය ප්‍රජාව
වශයෙන් අපට හිමිව නැත. ටියුෂන් රැළි විසින් ද, ‘ෂෝට් නෝට්‘ පවා මුද්‍රණය කර ලබා දී
ඇති අධ්‍යාපන වෙළෙන්දන් විසින් ද, අනෙකා පරයා යාම පිළිබඳවම ළමා කල පටන් පුහුණව
සපයන්නට වෙන් වුණු පාසැල් පද්ධති විසින් ද තෝරා අපට මුණගැසීම සඳහා එවන්නේ උපාධිය
ලැබීම ද සිය ඉලක්ක ලැයිස්තුව තුළ තබාගෙන ඒ සඳහා කෙටි මාර්ග සොයන පිරිසක් වීම එයට
ප්‍රධාන හේතුවයි. ඒ පදනම්ව, සිනමාව, නාට්‍ය හා රංග කලාව ඇතුළු ලලිත කලාව හා සාහිත්‍යය
හා සබැඳි විෂයය මාලාවක් හා ගනුදෙණු කරන අපට ඒ හා ආසක්තව බැඳී, දැඩි උනන්දුවකින්
වේදිකාව, සිනමා තිරය හා පතපොත හා වෙළුණු ශිෂ්‍ය ප්‍රජාවක් හමුවන්නේ නැත. ඉදින්
විටෙක අපේ මැදිහත් වීම් ‘ගඟකට ඉනි කැපීමකට‘ හැර වෙනත් යමකට සමාන නොවෙතැයි යන
නාස්තික, වේදනාකාරී හැඟීම අප සිත් තුළ නැගෙයි.
“වැඩක් නෑ
මුංට උගන්නලා...!“
මේ වචන කිහිපය
ඉතා උද්යෝගීමත්, වෙහෙස වී වැඩ කරන (බහුතරයක් නොවෙතත් හමුවන) විශ්වවිද්‍යාල
ආචාර්යවරුන්/වරියන් වෙතින් පවා නැගෙනු මගේ කණ වැකී ඇත. උසස් පෙළට ඒ ‘තුනක්ම‘ ලබා
විශ්වවිද්‍යාලයට පැමිණ ඇතත්, නිර්දේශිත කෘතිවලින් පිට කිසිදු පොත පතකට අත තබා නැති
සහ අලුතින් යෝජනා කරන කිසිදු පතපොතක් අල්ලන්නටත්, සිනමා කෘතියක් හෝ නාට්‍යයක්
බලන්නටත් සූදානම් නැති ශිෂ්‍යයෙකු/ශිෂ්‍යාවක මුණ ගැසුණු පසු වෙන කුමක් සිත නැගෙනු
ඇද්ද?
එහෙත්
ඇතැමෙක්, මේ වේදනාබරිත හැඟීම් හා සමග යමින්ම වුව, විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු ලෙස
සිය රටට ස්වකීය දායකත්වය ලබා දිය හැකි වෙනත් මං සොයා ගනිති. ඒ යහමින් මුදල්
සරිකරගත හැකි ඇතැම් ප්‍රවේශ ද හැර තබමිනි. ඔවුහු පොත් හා ලිපි ලේඛණ ලියති; විදේශ
කෘති සිංහල (හා දමිළ) බසින් මෙරට ශාස්ත්‍රීය කෙත වෙත හඳුන්වා දීම සඳහා පරිවර්තන
කාර්යයන්හි නිරත වෙති; තත්‍ය ස්වරූපයේ පර්යේෂණ කාර්යයන් හා එක්ව කටයුතු කරති;
වෙනත් නවෝත්පාදන හා නිර්මාණාත්මක කටයුතු හා එක්වෙති; හා සමග, පුවත්පත් හා මාධ්‍ය
හරහා හෝ පැමිණ ස්වකීය විෂයය ක්ෂේත්‍ර හා බැඳි හෝ පොදු සමාජ, ආර්ථික, දේශපාලනික හා
සංස්කෘතික ක්ෂේත්‍ර හා බැඳි කරුණු පිළිබඳ සංවාද ආරම්භ කරති.
ලිවීම ඒ අනුව
මා හට නම් ඉගැන්වීම හා තරම්ම ප්‍රබල ප්‍රහර්ෂයක් මෙන්ම තෘප්තියක් හිමි කර දෙන්නකි.
ආරම්භයේ දීම මා සඳහන් කළ දුරකථන ඇමතුම මවෙත ගෙන ආවේ ඒ හැඟුම දෙගුණ තෙගුණ කරවන
ආනන්දයකි.
අප ලිවිය
යුත්තේ මොනවා ද? ඇයි?
“ඔයාලට වගේ
හොඳට ඉතින් අපට ලියන්න බැහැනෙ!“
මෙවදන් මෑත මා
ඇසූ කම්පිතම වදන් පෙළක් වූයේ මෙය මා සමග කීවේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් වීම
නිසා ය. විශ්වවිද්‍යාලවලට බඳවාගන්නා අපගේ වගකීම අප වෙත ලබා දෙන කාල සටහන් අනුව
දේශන ශාලාවකට ගොඩ වැදී යමක් ‘දෙසීමෙන්‘ කෙළවර නොවන්නකි. විශ්වවිද්‍යාලයක් අපව එහි
කථිකාචාර්ය ධූරය වෙත පිළිගැනීමම මහත් වගකීමක් අප උරමත තැබීමක් බව මම විශ්වාස කරමි.
අප නිරතුරුව, අලුතෙන් උගත යුතු ය. ඉගැන්විය යුතු ය. පර්යේෂණ කළ යුතු ය. ලිවිය යුතු
ය. සාකච්ඡා කළ යුතු ය. පොදු සමාජ, සංස්කෘතික හා දේශපාලනික කලාපය තුළ කෙසේ වුවත්,
අඩු තරමින් ස්වකීය කලාපය තුළ හෝ හමුවන වත්මන් කථිකාවන් ඉන් ඉහළට එසවීමට ප්‍රාමාණික
මැදිහත්වීමක් සිදු කළ යුතු ය. ‘ලියන්න බැරි වීම‘ ඒ අනුව නිදහසට කරුණක් නම් නොවේ.
සිදු කරන්නට
ඉලක්ක කොටගත් තවත් බොහෝ කටයුතු විටෙක සරි කරගනිමින් ද, විටෙක කල් දමමින් ද පසුගිය
වසර එක හමාරකට කිට්ටු කාලයක් තිස්සේ මේ පුවත්පත් තීරුව මා ලියමින් සිටින්නේ එම
වගකීම ද සිත්හි දරාගනිමිනි. හැමවිටම නොවෙතත්, ඉඳහිට විශ්වවිද්‍යාල තුළ මුණගැසෙන
ආචාර්ය මණ්ඩල සාමාජිකයෙක් හෝ ශිෂ්‍ය ප්‍රජාවේ කෙනෙක් ‘ඔයා ලියන එක කියවනව... ඒක
මරු!‘ වැනි අදහසක් දැක්වීමත්, ඊටත් වඩා අඩු තරමින් වුවත් කලාතුරකින් දුරකථන
ඇමතුමක් හෝ ලිපියක් හරහා ඇගයීමක් ලැබීමත් මතු කළ යුතු යැයි මවිසින් අදහස් කරනු
ලැබූ සමාජ - සංස්කෘතික කථිකාව තුළ වන කරුණු පිළිබඳ සතුටුදායක ප්‍රතිචාර වන අතර
‘දිගටම ලිවිය යුතු ය‘ යන අදහස සිත්හි ධාරණය කරවන්නකි.
2020 එළඹ
ඇත්තේ ‘සුබ පතා යළි සුපුරුදු දිවියට‘ එළඹිය යුතු මාර්ගවලට පිවිසෙන්නට නොවේ.
ආර්ථික, දේශපාලනික, සංස්කෘතික, පාරිසරික ඈ කලාප පිළිබඳ එළඹෙන සිහියෙන් ජීවත් වීම
අත්‍යාවශ්‍ය ය. මගේ කුඩා පුතුටත් දියණියටත් පමණක් නොව සමස්ථ ලෝකයේම අනාගතයටත් ආදරය
කරමින් ජීවිතය අරුත් ගැන්වීම සඳහා අප කටයුතු කළ යුතු ය.
මා ලියන්නේ ඒ
අරමුණු සිත්හි තබාගෙන ය. ඉදින් නව වසරේ ඔබට ද ලියන්නට ඇරයුම් කරමි! කොතැන හෝ කවර
හෝ ඵලදායක යමක් ලියන්න. එය අනාගතය වෙනුවෙන් වනු ඇත.
-ප්‍රියන්ත
ෆොන්සේකා -
ස්තුතියි.
ReplyDeleteමගේ බ්ලොග් ලිවීමත් නැවත ක්‍රමවත් කරගත යුතුයි.
ස්තූතියි. සුභ නව වසරක් වේවා !
ReplyDeleteතවත් අපූරු ලියවිල්ලක් .. ලිවීම ගැන .. කදිමයි .. මම හිතන්නේ "ඵලදායක යමක්" තව දුරටත් විස්තර කල යුතුයි ඔබ. ටියුෂන් වෙලෙන්දත් කරන්නේ "ඵලදායක යමක්" ටියුට් නෝට් එකක ලිවිම. ඒ වගේ ඵලදායක කියන එක පැහැදිලි නොකලොත් තමන්ට ඕනේ විදිහට අර්ථ ගන්වාගෙන ඕන දෙයක් ලියන්න පුළුවන්. මම හිතන්නේ මානව සංහතියේ සහ අප ඉන්නා මේ පෘතුවියේ යහ පැවැත්ම සහ උන්නතියට උර දෙන දේ තමයි ඵලදායක වෙන්නේ. ඒ පුළුල් පරාසය තුල දැවැන්ත විවිදත්වයක් තියෙනවා ලිවීමට. ඉතින් මම ඔබෙන් ඉල්ලා සිටින්නේ ඒ ගැන තව කතා කරන්න. සංවාදයක් අරඹමු - කුමක්ද ඵලදායක වෙන්නේ කියල.
ReplyDelete