Monday, July 24, 2023

Museum (Theatre), යාපන පුස්තකාලය, ආචාර්ය එච්.එස්. ඩේවිඩ් පියතුමා සහ ලෝජි



‘මියුසියම් (තියටර්)’ නැතිනම් ‘කෞතුකාගාරය (රඟහල)’ කියන දෘශ්‍ය කලා හා අභිවහනමය ප්‍රාසාංගික ක්‍රියාකාරකම අපි පළමුවරට ගෙන ආවෙ 2022 අවුරුද්දෙ මහනුවර දි. හරියටම ‘අරගලයෙ’ මහා පිපිරුම සිද්ධවුණු ජූලි 09 වෙනිදට සතියකට කලින් මහනුවර ‘කැන්ඩි සිටි සෙන්ටර්’ එකේදි අපි ඒක කළා, ජූලි 01, 02 සහ 03 හැටියට දවස් තුනක්. ශේක්ෂ්පියර්ගේ ‘හැම්ලට්’ පදනම්ව ජර්මානු නාට්‍ය රචකයෙක් වන හයිමන් ම්‍යුලර් ලියන ‘හැම්ලට්-මැෂින්’ කියන පශ්චාත් නූතන නාට්‍යමය පෙළ තමයි ‘කෞතුකාගාරය (රඟහල)’ ට පදනම හදන්නෙ. ඒකෙ ප්‍රධාන නිර්මාණකාරිණිය ප්‍රංශ ජාතික ක්ලයිඩ් ෂැබෝ. ඇය සෝබෝන් විශ්වවිද්‍යාලයේ හිටපු ආචාර්යවරියක්. La Communauté inavouable කියන, තමන්ටම අයිති දෘශ්‍ය හා රංග කලා නිර්මාණායතනය එක්ක ක්ලයිඩ් ‘හැම්ලට් මැෂින්’ සහ ‘කෞතුකාගාරය (රඟහල)’ අරගෙන ලෝකය පුරා යනවා අවුරුදු 20ක්. ඒක විශිෂ්ට සහ අපූර්ව ගමනක්!

ක්ලයිඩ් පේරාදෙණියෙ ලලිත කලා අධ්‍යයනාංශයට ආවෙ කොරෝනාව ලෝකය ගිලගන්න ටික දවසකට උඩදි. ඒක නිසා නිර්මාණය ලංකාවෙ කරන්න අපි දෙන්න අතර කෙරුණු සාකච්ඡා දීර්ඝ වෙලා, ඒක ඇත්තටම සිද්ධ කරන්න 2022 ජූලිි වෙනකම් ඉන්න වුණා. ඒ නිසා හොඳ දේවල් ගොඩක් වුණා. ප්‍රධානම හොඳක් තමයි චමිල ප්‍රියංක මේ නිර්මාණයේ ප්‍රධාන කොටස්කාරයෙක් බවට පත් වුණු එක. ඒ චමිල පේරාදෙණියෙ කථිකාචාර්යවරයෙක් හැටියට වැඩ කරන්න සම්බන්ධ වුණු නිසා. දෙවැනි හොඳ ඒක සිද්ධ වුණු වෙලාව! මිනිස්සු පාරට බැහැල... තෙල් නෑ! වාහන නෑ! රස්සාවට යන්න විදියක් නෑ! බඩුවල ගණං අහසෙ!!

‘මියුසියම් (තියටර්)’ හරිම වෙනස්, අපූරු අත්දැකීමක්. ඒක එක එක විදියෙ වැඩ කීපෙක එකතුවක්. සරලව කිව්වොත්, ‘කෞතුකාගාරය (රඟහල)’ පරිශ්‍රයට එකතුවෙන ඔබට මුලින්ම පෙනෙන්නෙ හැම තැනම විසිරුණු, භාෂා කීපෙකින් ලියවුණු වචන. ලංකාවෙදි තිබුණෙ, සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ප්‍රංශ සහ ජර්මන් භාෂාවලින්. ඒවා හයිමන් ම්‍යුලර්ගේ ‘හැම්ලට්-මැෂින්’ පිටපතේ වචන බව අපිට දැන ගන්න ලැබෙනව. ‘ප්‍රජාතන්ත්‍රවාදය’, ‘හැම්ලට්’, ‘ඔෆීලියා’, ‘මගේ ජනතාව’, ‘කන්‍යාව’ වගේ සෘජුව එකකට එකක් සම්බන්ධ නැති වචන සීයක් විතර මේ පරිශ්‍රයේ බිම විසිරිලා... ඇතුළට ආපු ගමන්ම ඔබත් මේ නිර්මාණයේ කොටස්කරුවෙක්/කාරිනියක් වෙනවා. ඔබට පුළුවනි ඔබ කැමති වචනයක් නැත්තම් දෙකක් තෝරාගන්න.

ඉන් පස්සෙ, පරිශ්‍රයේ මුණගැහෙනව ඡායාරූප ඇල්බම් 3ක්. ඒවායේ තියෙන්නෙ විවිධ රටවල විධිධ කලාපවල ඡායාරූප. සමහර දේවල් සෘජුවම දේශපාලනික අවස්ථා. සමහර දේවල් වස්තූන්වල දර්ශන හෝ විවිධ භූ දර්ශන.... හැබැයි මේ කොයි දේකටත් තියෙන අර්ථ අපිට අහුවෙන්න ගන්නව. ලංකාවෙදි මේ ඡායාරූප එක්ක ලංකාවටම වැදගත් ඡායාරූප 20ක් 25ක් විතර තියෙනව. ඉතින් ඔබට පුළුවන් ඔබේ ඡායාරූපය තෝරන්න. ඔබ ලාංකිකයෙක් කියල ඡායාරූපය මෙහෙ එකක් විය යුතුයි කියල කිසිම සීමාකිරීමක් නෑ. 

දැන් ඔබට පුළුවන් තෝරාගත්ත ඡායාරූපයේ අංකය එතන ඉන්න පරිගණකය මෙහෙයවන්නට දෙන්න. 2022දිත්, මේ ඊයෙ පෙරේදා මේක අපි ආයෙම යාපනේ කරද්දිත් මේ මෙහෙයවීම කළේ ප්‍රංශ ජාතික රොලොං... ක්ලයිඩ්ගෙ ස්වාමි පුරුෂයා! ඉතින් ඔහු මේ ඡායාරූපය තිරයකට ප්‍රක්ෂේපනය කරාවි. ඔබට තියෙන්නෙ ඔබේ ඡායාරූපය ඉදිරියෙන් අර තෝරාගත්ත වචන/ය එක්ක හිටගන්න. ඔබ වෙනුවෙන්ම එතන ඉන්න ඡායාරූප ශිල්පියා ඔබේ සේයාරුව සටහන් කර ගනීවි. දැන් ම්‍යුලර්ගේ පිටපතෙන් වචනයක් ඔබම තෝරාගෙන, ක්ලයිඩ්ල තියපු ඡායාරූප අතරින් සුදුසුම කියල හිතුණු ඡායාරූපයක් ඔබම තෝරාගෙන ගන්න මේ ඡායාරූපය එක්තරා විදියට ඔබම ලියන ක්ෂුද්‍ර ආඛ්‍යානයක්!! ඒ ‘වචනය’ හා ‘රූපය’ එක්ක ඔබට කතාවක් ඇති!! ආ... ඒ ඡායාරූපය ඔබට ලැබෙනවත් එක්ක.

ඊට අමතරව මේ පරිශ්‍රයේ ඊට පෙර ලෝකයේ කෙරුණු ‘කෞතුකාගාරය (රඟහල)’ වැඩසටහන්වල ඡායාරූප එකතූන් වගේම, ඔබ එන්න කලින් එතනට ආපු ඒ වැඩසටහනේ අයගෙ ඡායාරූප පරිගණක තිර හරහා ප්ලේ වෙමින් තියෙනව. ඊටත් අමතරව විවිධ රටවල විවිධ භාෂාවලින් පටිගත කෙරුණු ‘හැම්ලට්-මැෂින්’ පෙළ ඔබට ශ්‍රවණය කරන්නත් පුළුවන්, හෙඩ් ෆෝන්වලින් තමන් කැමති භාෂාව තෝරගෙන. ලංකාවෙදි මේ පෙළ පටිගත කළේ කෞෂල්‍යා ප්‍රනාන්දු එක්ක අජන්තන් මුරුගේසු. 

‘හැම්ලට්-මැෂින්’ නාට්‍යය තිබුණෙ කලින් වෙන් කළ වෙලාවල. පළවෙනි දවසෙ දෙවතාවක් සහ දෙවෙනි සහ තුන්වෙනි දවසවල වතාවක් විදිහට හතර වතාවක් අපි ‘හැම්ලට්-මැෂින්’ පෙන්නුවා. නමුත් නුවරදි කරපු ‘හැම්ලට්-මැෂින්’ නෙවෙයි යාපනේදි කරපු ‘හැම්ලට්-මැෂින්’!

‘හැම්ලට්-මැෂින්’ කොහෙත්ම ස්ථිර ගලායෑමක් ඉල්ලන, පෙළට ඇලුණු නාට්‍යමය ඉදිරිපත් කිරීමක් නෙවෙයි. අපිට පුළුවනි ඒක කඩා බිඳ දමල වැඩ කරන්න. හැම්ලට්-මැෂින් එකේදි නූතනයෙ ඉන්න හැම්ලට්, හැම්ලට් පෙළ හරහා වගේම යුරෝපා නාට්‍ය ඉතිහාසය හරහාත්, විසිවෙනි සියවසේ යුරෝපා ඉතිහාසය හරහාත් යනවා. ටෙලිවිෂන් එක්ක එන පරිභෝජන සමාජයත් අපිට පෙනී නොපෙනී යන තැන් එනව. ඒ අතරෙ හයිමන් ම්‍යුලර්ගේ පෞද්ගලික ජීවිතය හරහාත් නොයනවාම නෙවෙයි.

අපි වැඩ කරද්දි හැම්ලට්ට මුණ ගැහෙන හොරේෂියස් වුණේ උඩරට බෙර වාදකයෙක්! ඔහු මුවින් නම් දෙබස් කිව්වෙ නෑ. නමුත් ඔහුගේ බෙරය හා ශරීරය තදින් සන්නිවේදනයට එකතු වුණා. ග්‍රීක ඉතිහාසයෙන් එන ඉලෙක්ට්‍රාගේ වේදනාවන් බෙදාගන්නෙ අපේ ඉතිහාසයෙන් එන කුවේණිය ද කියන සිතුවිල්ල ප්‍රේක්ෂාගාරයේ තිබුණ වෙන්නත් පුළුවනි. ඒත් එක්ක ‘කොකාකෝලාවට ජයවේවා! නැත්තං ‘වාල්ග කොකාකෝලා’ කියන දෙබස එන නාට්‍යයෙන් පස්සෙ ඇත්තටම ‘කොකාකෝලා’ බොන්න පරිශ්‍රයෙදි ඔබට පුළුවනි. ඒ කොකාකෝලාමය පරිභෝජන ලෝකය ගැන හිතමින්.

අරගල පරිසරය අස්සෙ, බස් නැතුව පයින් යමින්, කන්න තැනක් නැතුව අමාරුවෙ වැටෙමින් පේරාදෙණියෙ කණ්ඩායම එක්ක 2022 ජූලියෙ කරපු වැඩසටහන විශිෂ්ටයි. නමුත් හරියටම අවුරුද්දකට පස්සෙ 2023 ජූලියෙ යාපනයෙ ‘කලම්’ ආයතනයෙදි පේරාදෙණි ’22 කණ්ඩායමෙන් පිරිසකුයි (චමිල, මම, හසන්ති, දිනුකි, රජීව්, විදුර, නිම්තරා, කාංචන), යාපන විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් සහ උපාධිය නිම කරපු පිරිිසකුයි, එහෙ ඉන්න ප්‍රාදේශීය කලා බිමේ දක්ෂයෙකුයි එක්ක කරපු ක්‍රියාකාරකම සුවිශේෂයි. 2023 ජූලිය වෙනකොට ’83 කළු ජූලියට අවුරුදු 40ක් පිරිල! අරගලය සිද්ධ වෙලා අවුරුද්දයි!!

****

‘හැම්ලට්-මැෂින්’ සඳහා පුහුණු වුණු වගේම පෙන්නපු ඒ දවස් ගාණ බොහොම අත්දැකීම් අපේ කණ්ඩායමට එකතු කරපු කාලයක්. අපිට මුණ ගැහුණු ආචාර්ය රදිදරන්, නිකොලස්, වසන්, ලෝජි, ගෞතමී, පෝල්, මධූ, කුවේනිතා, කජන් ඇතුළු කණ්ඩායම සමහර කතා අපිට කිව්වා. සමහර ඒවාට අපි මුහුණ දුන්නා. තවත් බොහොම දේවල් එයාල නොකියන්නත් ඇති.

නොකියා හිටපු දහස් ගණන් කතා අපි නොදන්නව වුණාට, කිහිපයක් අපි හොඳටම දන්නවා. ඒ එකක් තමයි යාපනය පුස්තකාලය ගැන කතාව!

යාපනය පුස්තකාලය බලන්න අපි හැමෝම ගියා. ‘බලපං අයියෙ, කරපු හොඳම ගොං වැඩක් නිසා මේක දැන් ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් එකක් වෙලා තියෙන්නෙ!’ චමිල මාත් එක්ක කිව්වා. ක්ලයිඩ්, රොලොං, ජූලි ඇතුළු ප්‍රංශ ජාතිකයො, රෙකාඩා වගේ ජර්මානුවො, අපි දකුණෙ අය, ලෝජිල, ගෞතමීල වගේ උතුරෙ අය ගියෙ එකම බස් එකක පුස්තකාලෙට.

පුස්තකාලෙ ගිනිබත් කරල, පොත් සහ අත්පිටපත් 97,000ක් රටට අහිමි කරන්නෙ ඒ කාලෙ රජයට සම්බන්ධ මැරයො කියල යන හැමෝටම පුස්තකාලයෙන්ම කියනව. ඒක රිදෙන දෙයක්. ‘කොයි තරම් දේ කළත් ඒ අතීත වැරැද්ද ආයෙ හදන්න බෑ’ මම දිනුකිට කිව්ව කියල මට මතකයි. දෙවියනේ.... පොත් ලක්ෂයක් විතර!!! ගින්දර ගොඩේ!! මහාචාර්ය නුහ්මාන් ‘බුදුන් මරා දැමූ බව’ කියමින් පුස්තකාලයට කළ විනාශය ගැන ලියපු කවිය ගැන මතක් කළේ හසන්ති.

පුස්තකාලෙන් එළියට එන්න හදද්දි මාව පිච්චුණු (මෙතන පළවෙන) ඡායාරූපය මගේ ඇස්වල වැදුණ. ඒ ආචාර්ය එච්.එස්. ඩේව්ඩ් පියතුමාගේ සේයාරුව. ඒක ඇතුළු වෙන පරිශ්‍රයේම වම් පැත්තෙන් උසට තිබුණ. ඩේව්ඩ් පියතුමා තමයි පුස්තකාලය ගිනි ගන්න බව දැනගත් ගමන්ම පපුවෙ අමාරුවෙන් මැරෙන්නෙ. පරණ බණ කතාවල හැටියට නං හදවත පැළිල! ඒ එතුමා පුස්තකාලය එක්ක තිබුණු බැඳීම නිසා. ඒ කතාව හොයාගෙන යා යුතු, අමතක නොකළ යුතු කතාවක්.

එච්.එස්. ඩේවිඩ් පියතුමා

පුස්තකාලයේ දැක්මම මට නම් තිගැස්මක්. ඒක නොවෙන්න ඕනෙ දෙයක්. ඒ නිසාම ‘කෞතුකාගාරය (රඟහල)’ පරිශ්‍රයේ ඇල්බම්වල තිබුණු පුස්තකාලයේ ඡායාරූපය මට වැදගත්ම වුණා. ඒත් එක්ක වැදගත් වුණු මනුෂ්‍ය චරිතය ලෝජි.

ලෝජිනී වවුනියාවෙ. මේ වැඩසටහනේ යාපන කණ්ඩායමෙන් ආචාර්ය රදිදරන්, නිකොලස් ඇරුණම වෙන කිසි කෙනෙක් මම කලින් අඳුනන අය වුණේ නෑ. ලෝජිත් හිටියෙ ඒ නොඅඳුනන පිරිස අතරෙ.

වැඩේ අතරතුරේ අපි සෑහෙන්න අඳුනගත්ත. අපේ කණ්ඩායමේ එකම දමිළ සාමාජිකයා වුණු රජීව් පාලම් නිර්මාණකරුවා වුණා. මම නොදන්න දෙමළ භාෂාවත්, යාපනේ පිරිස නොදන්න සිංහලයත් මැදට ඉංග්‍රීසි උදව්වට ආවට ඒ හැමවෙලේම නෙවෙයි. ඉංග්‍රීසියත් චතුරව නොවහරපු ලෝජි කතා කළේ දන්න සිංහල වචන ටිකකින්... නැත්තං ඇස්වලින් එක්ක අත්වලින්. මගෙ ඇතුළෙ හිටපු දෙමළ නොදන්න ප්‍රියන්ත ගැන මට නම් ලජ්ජා හිතුණා.

තව බොහොම අය හිටියට ලෝජි හැම පර්ෆෝම්න්ස් එකකට කලින්ම තමන්ගෙ මෝබයිල් ෆෝන් එක මට දිගු කරනවා

‘සර්..!’ එයා මගේ සාක්කුවක් පෙන්නලා හිනා වෙනවා. ඒ ඉලෙක්ට්‍රොනික් උපකරණයෙ ආරක්ෂකයා වෙන්නෙ මම, නාට්‍යය ඉවර වෙනකම්.

දවල් කෑම වෙලාවට, අපි එතන නම් ලෝජි වතුර කෝප්පයක් තියෙනවා හිනා වෙලා. තේ වෙලාවක නම් තේකක්... ‘ෂුගර්?’ එහෙමත් අහනවා.

අන්තිම දවසෙ කැඩුණු සිංහලයි ඉංග්‍රීසියි එක්ක ලෝජි කිව්වෙ මම එයාගෙ ගෙදර දවසක එන්න ඕනෙ විත්තියක්. වවුනියාවෙ කෝච්චි ස්ටේෂම එක්කම මහ පාර අයිනෙම තියෙන නිසා ගෙදර හොයාගන්න හරිිම ලේසියි කියල එයා මට කිව්ව. ඒ ආරාධනයට ටිකකට කලින් මම කරපු ආරාධනයට ලෝජි මාත් එක්ක යාපන පුස්තකාලය පසුබිමෙන් තියාගෙන ඡායාරූපයක් ගත්තා.

My People’ මම තෝරාගත්තා.

Life’ ලෝජි තෝරාගෙන තිබුණා.

අපි ලියපු ක්ෂුද්‍ර ආඛ්‍යානය මේක වාර්තා කරන්න ලේක්හවුසියෙන් එහෙටම ආපු අනුරාධා පෙරේරා ඔබ්සවර් පත්තරේ ඇතුළු කලාපයක කවරයට අරන් තිබුණා අපිත් නොදැනම!

ලෝජිලා නෑගම් එන්න කරපු ආරාධනා අපිට මිස් වුණා. අපි එයාලට ආරාධනා කළා ද මම දන්නෙ නෑ. දැන්වත් මම ලෝජි(ලා) බලන්න යන්න ඕනෙ.

‘මෙහෙ ආවම වෙන රටකට ආව වගේ දැනෙන්නෙ’ කියල නිම්තරා කිව්ව කතාව වෙනස් වෙන්න ඉඩ තියෙන්නෙ එතකොට. ෆාදර් ඩේවිඩ් ආයෙ එන්නෙවත්, ගිනි ගත්ත පොත් 97,000 ලැබෙන්නෙවත් නැති වුණාට අනාගතයේ ලෝජිලාගේත් එයාලගෙ දරුවන්ගේත් පරම්පරාවලට වෙනස් ආඛ්‍යාන ලියන්න හිතේවි එතකොට!

 

ප්‍රියන්ත ෆොන්සේකා