Saturday, August 17, 2013

අත්තනායක මොඩල්



සාමාන්‍ය පෙළට මුහුණ දෙන්නටත් පෙර සිදුවුණු දෙවැනි ජවිපෙ කැරැල්ල ගැන මට මහා ලොකු මතකයක් නැත. දිග කාලයක් පාසැල් නොගොස් ගෙදරට වී උන්නු සමයේ මහවැලි ගඟ දිග පාවී ආ තරුණ මළ සිරුරු බලන්නට  වැඩිහිටියෝ අපට අවසර දුන්නේ නැත. එහෙත් රෑට රෑට වෙඩි සද්දත්, දවල් කාලයේ මළ කඳන් ගැන කතන්දරත් ගෙනා ඒ භීෂණ සමය නිමා වුණේ උලපනේ නිවසකින් අත්තනායක කෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු ය. ජවිපෙ නායකයා වුණු රෝහණ විජේවීර, අත්තනායක නමින් නම් වෙනස් කරගෙන උලපනේ නිවසක ව්‍යාපාරිකයකු ලෙස සැඟව සිටිය දී අත් අඩංගුවට ගෙන තිබිණි. ජාතික රූපවාහිනියේ සිදුවුණු ‘මේ ඒ විජේවීර දැයි‘ සැක හිතෙන තරමට වෙනස් ‘අත්තනායක‘ කෙනෙකුගේ ප්‍රකාශ නිකුත් කිරීමකින් පසු අත්තනායකත් විජේවීරත් යන දෙදෙනාම අතුරුදහන්ව ගියේ ය.

අත්තනායකගේ (හෙවත් විජේවීරගේ) මරණින් පසු ඔහු ගෙන ආ දේශපාලන දැක්ම ජනතාවට අමතකව ගියත්, ඔහුගේම අනුගාමිකයන් ‘උඩු කුරුඤ්ඤං‘ කරණමින් ඔහුගේ දේශපාලන දැක්මට විරුද්ධ මත තිබුණු තැන්වල හිටගත්තත් සාමාන්‍ය ජනතාව අතර අමතක නොවුණු එකම එක් දෙයක් ඉතිරි විය. ඒ ‘අත්තනායක මොඩල්‘ නමින් ප්‍රසිද්ධියට පත්වුණු, උලපනේ අත්තනායක පාවිච්චි කළා යැයි කියූ මෝටර් රථ විශේෂයයි. විප්ලව දෙකකට නායකත්වය දෙන්නට ගිය නායකයකු පිළිබඳ ප්‍රධානම, නොවරදිනම ස්මාරකය වූයේ මේ මෝටර් රථයයි.

දැන් වසර විසි ගණනකට පසු ‘අලුත් අත්තනායක මොඩලයක්‘ අපට හඳුනාගන්නට ලැබී ඇත. ඒ ‘මුගලන් හාමුදුරුවෝ ද චණ්ඩියෙකි!‘ කියමින් දොරමඩලාවේදී සහ ස්වර්ණවාහිනී බණ වැඩ සටහන්වලදී ඇඳි සිල් රෙද්ද යට ඇති පිහිය පෙන්වන අත්තනායක මොඩලයයි. මුගලන් හාමුදුරුවෝද චණ්ඩියෙක් නිසා අත්තනායකලාට ‘පාට්‘ වචන සමාජ ගත කරන්නට හෝ එසේ පාට් දමන චණ්ඩි මොඩල්වලට තෙල් ගසා දෙන්නට ඇති හැකියාව ඉහළ ය. පිළිගත හැකි බවින් ද වැඩි ය. පාට් දමන්නට වැඩබිමට චණ්ඩි බස්සන්නේ චණ්ඩි රජා බැවින් ‘බුදු හාමුදුරුවෝද චණ්ඩියෙක්ම ය‘ කියා අත්තනායක ඇවිත් හෙට දොරමඩලාවේ දී ලයාන්විතව කියා යන්නට ද බැරි නැත.  

මියගිය උලපනේ අත්තනායකගෙන් පසු අත්තනායක මොඩල් කාරය ප්‍රසිද්ධ ව තිබිය දී කරළියේ මුගලන් චණ්ඩි හාමුදුරුවෝ ගැන කියා සිටි අලුත් අත්තනායක මොඩලය විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙකි. ඒ සිංහල පිළිබඳව ය. වැඩිමනත්ම සිංහල සාහිත්‍යය ගැන ය‍.

මාද වාඩි වී සිටි සිංහල දේශනවල සිසු සිසුවියන්ගේ ‘ආදරණීය අත්තනායක සර්‘ ලයාන්විතව ගෝර්කි සහ චෙකෝව් ගැන කීවේ ය. සමාජ සත්තා යථාර්ථවාදය ගැන කියමින් සිසුවියන්ගේ ඇස්වලින් කඳුළු වැට්ටුවේ ය. ‘අත්තනායක සර්‘ අපේ දේශනවලින් අයින් කරන්නට යන්නේය යන ආරංචි මාත්‍රය ඇසුණු විගස සිංහල දෙපාර්තමේන්තුව අසළට පැන අරගල කරන්නට තරම් මේ කඳුළු කැඳවන ආකර්ශණීය බව ඉහළ විය. 

කලින් කලට අත්තනායක සර් අලුත් අලුත් මොඩල් ළමයින්ට ඉගැන්නුවේ ය. සරසවියේ දී ගෝර්කිලාගේ මොඩලය ගැනත්, සමාජ සත්තා යථාර්ථවාදය ගැනත් කියූ ඔහු රූපවාහිනියේ දී කුටුම්භ සුරැකුම, යහපත් ජීවිතය, ධාර්මික ජීවිතය ආදී අට අනූවක් දේ ගැන මොඩල ඉදිරිපත් කළේ ය. සරසවියේ සිසු සිසුවියන්ගේ කඳුළ සමාජයේ උපාසකම්මාලා වෙත භාර විය. නියමිත දේශනවලට සර් ආවත් නැතත් සමාජයේ මොඩල තැනීම අතින් තිබූ ජනප්‍රිය බව නිසාම කිසිවකු කතා කළේ ද නැත. 

මේ ජනප්‍රිය කතා පිළිබඳ කසුකුසු බොහෝ තිබුණද මාහට හිසේ අත ගසා ගන්නට වූයේ පේරාදෙණියේ සිසු දෙපළක් රුසියානු නවකථාවක් වූ ගුරු ගීතය ඇසුරින් නාට්‍යයක් නිපදවන්නට මුහුරත් උළෙලක් පැවැත්වූ දිනයේ ය. අයිත්මාතව්ගේ රුසියානු කතාව සිංහල වේදිකාවට ගෙන එන්නට තිබූ මුහුරතෙහි ප්‍රධාන ආරාධිතයා අත්තනායක සර් විය. ඔහු එදා පහත කරුණු කීවේ මගේ කණ්වලට ඇසෙන්නට ය.

“මේ කතාව, ඒ කියන්නෙ විංගීස් අයිත්මාතව්ගෙ ගුරු ගීතය නවකතාව කියවපු අපේ කාලෙ හැම කොල්ලෙක්ටම ඕන වුණා දුයිෂෙන් කෙනෙක් වෙන්න. හැම කෙල්ලෙක්ටම ඕන වුණා අල්තීනායි කෙනෙක් වෙන්න. හැමෝගෙම අත්පොතක් වුණා වින්ගීස් අයිත්මාතව්ගෙ ගුරුගීතය! 

මේක එදාටත් වඩා අදට ගැලපෙනව. අද ළමයි කැම්පස් එන්න කලින් ගමේ හාමුදුරුවන්ට, වැඩිහිටියන්ට වැඳල ඇවිත් ආපහු හැරෙන්නෙ ඒ ගොල්ලන්ට පයින් ගහන්න බලාගෙන. මේ ගුරු ගීතය ඒකට හොඳ උත්තරයක් දෙනව. නගරයට ගිහින් මහාචාර්යවරියක් වෙලා ගමට එන අලතීනායි සුලෙයිමානොවා හොයනව දුයිෂෙන් ගුරුතුමා ව. ඔහු ඒ වෙනකොට ලියුම් බෙදනව. ඉස්කෝලෙටත් ලියුම් බෙදල  යන්න ගිහිල්ල. අල්තීනායි මහාචාර්යවරිය දුවල ගිහින් එක්ක එනව තමන්ගෙ ගුරුතුමා වුණු දුයිෂෙන්ව. ඒ කරල ඉන්දනව මුල් පුටුවෙ. මෙන්න ගුරුතුමනි ඔබට හිමි තැන කියල“

චින්ගීස් අයිත්මාතව් වින්ගීස් වී තිබුණේත්, අල්තීනායිට කරන්නට හමුවන්නට නොහැකි වුණු දුයිෂෙන් මුල්පුටුවේ හිඳුවා තිබුණේත් අත්තනායක සර් ය. සභාවේ කිසිදු හාහෝවක් නොවූයේ වෙනත් බොහෝ ආචාර්යවරුන් මෙන්ම සිසු පිරිස් ද ගුරු ගීතය අතින්වත් අල්ලා නොතිබූ හෙයිනි! 

චිංගීස් (විංගීස් නොවේ!) අයිත්මාතව්ගේ ගුරු ගීතයේ අල්තීනායිට දුයිෂෙන් මග හැරෙන්නේ පහත දැක්වෙන පරිදි ය.

“අස්ථිර ලෙස හිස එසවූ ඈ නැගී සිටීමට සැරසුනා ය. එහෙත් එවේලේම වාගේ අශ්වයෙක් ජනේලය පසු කර යන හඬ කණෙහි වැකිණි. ගැටවරයා හැරී ආවේ ය.

“මම එයාට එන්න කිවුවා. ලියුම් බෙදන්න තියෙනවය කියල එයා ගියා.“
“ඔහෙ ගිහින් බෙදපුවාවෙ. නවත්තන්න උවමනා නැහැ. ...“
                                                                         - ගුරු ගීතය - 11 පිට -

කිසිවක් නොකියවූ සභාවක් ඉදිරිපිට ඕනෑම බොරුවක් නොබියව කිව හැකි බව අත්තනායක සර්ලා දනී. ඕනෑම මොඩලයක් ඇත්ත කර පෙන්විය හැකි බව ද දනී. පේරාදෙණි සරසවියට වඩා ‘දොරමඩලාව‘ සරසවියට ඔහු කැමති ඒක ය. මොඩල් පෙන්වන විට බලන්නට රටම හරි බරි ගැහෙයි. දොරමඩලාව සරසවියකැයි කියා හසන්ත කියූ විටම පිළිගන්නා ජනතාව සූරියප්පෙරුමලාගේ කියුම් කෙරුම් ආදිය සිහිකොට සාදුකාර දී අත්තනායක මොඩල් අසන්නට ගනියි.

මුගලන් හාමුදුරුවෝ චණ්ඩියෙක් ද නැද්ද යන ගැටළුවට වඩා අප සොයන්නට ඕනෑ අත්තනායකලාගේ මුගලන් මොඩලය කුමක් ද කියා ය. මුස්ලිම් විරෝධයක් නැගෙද්දී, විවිධාකාර බල සේනා ආයුධ මුවහත් කරද්දී, රතුපස්වල මළගෙවල් නිමා වී දානමාන පින්කම් කෙරෙද්දී මේ මොඩල්වල අවශ්‍යතා තේරුම් ගන්නට හැකිවනු ඇත. 

මේ අත්තනායකලාගේ සිල් රෙදි යට චණ්ඩි කතා හඳුනාගත යුතු කාලයයි. රට විනාශ වෙද්දී ඒ රකින්නට නම් චණ්ඩි මුගලන්ලා එන එකක් නැති නිසා ය.

සේයාරුව -  http://www.yiparts.com/2008/pic/modelpic/MITSUBISHI/LANCERIIIStationWagonC1VC3V/2008aug01-489277c1188a9.jpg

Saturday, August 10, 2013

බලාගෙන...!



කුඩා දිනවල මා මහමගට බැස පාසැලට හෝ වෙනයම් තැනකට යන්නට යන විට දෙමාපිය, වැඩිහිටියෝ මට මෙසේ කීහ.

“පරිස්සමින්... පාරෙ යන්නෙ බලාගෙන...! වාහන එනව...“

මා කොතරම් ප්‍රවේශමකින් මහමග ගමන් කළත් මග යනෙන වාහන පිළිබඳ කිසිදු වැඩිහිටියකු තුළ විශ්වාසයක් තිබුණේ නැත. හිටි අඩියේ, තක්කඩි රියදුරකුගේ නොසැලකිලිමත් රිය පැදවීමකින් මාහට අනතුරක් වනු ඇතැයි යන බිය ඔවුන් තුළ තිබෙන්නට ඇත. ඒ සිතුවිල්ලේ ඇති වරදකුත් නැති බව මා හට හැඟී ගියේ කලින් කලට, කාගේ හෝ හිස මතින් ධාවනය වූ රථයක් නිසා සිදුවුණු බිහිසුණු අනතුරු ගැන අසන්නට, දකින්නට ලැබුණු නිසා ය. එනිසා මම මගමග ඇවිද්දේ ම ‘බලාගෙන‘ ය. මේ ‘බලාගෙන‘ යාමෙන් ඇතිවන අමුතු ගැලවිල්ලක් නැති බව නම් කල්යත්ම මට වැටහෙන්නට විය. හිස මතින් කරණම් ගසන්නට පියඹා එන දැවැන්ත රථයක් සමග ‘බලාගෙන‘ ගිය පමණින් මා කුමන සටනක් කරන්න ද? රියදුරන් ශිෂ්ඨ සම්පන්න නැති විට මගේ ‘බලාගෙන‘ යාම කිසිදු පදනමකට නැති වැඩකි.
 
නමුත් අපට මහමගට බැස නොගොස් සැඟවී සිටින්නට නොහැක. අප කළ යුතු දේ රැසකි. යා යුතු ගමන් රැසකි. 

මේ ‘බලාගෙන‘ යන වචනය මගේ දෙසවනට යළි ඇසෙන්නට ගත්තේ ඊයේ පෙරේදා සිට ය. ඒ මම මහමගට බසිද්දී නොවේ. ලියන්නට ගනිද්දී ය. ‘ජගත් චමිලගේ ගෙයි බිත්තියට මුවා වී සංජීව පුෂ්පකුමාරට වෙඩි තැබීම‘ ලියූ මොහොතේ පටන් බොහෝ දෙනෙක් යළිත් නමුත් රහසින් ඒ වචනය මගේ සවනේ තැබී ය.

‘බලාගෙන...!“

දැන් මා බලාගත යුත්තේ කුමක් ද? මහා තඩි ලොරියකින් හෝ බස්රියකින් ගැලවී පාරේ අදාල ඉලක්කයට යන සැටි ද? නැත. මේ නොකියා කියන්නේ ‘වැඩක් බලාගෙන පාඩුවේ ඉඳිං‘ කියා ය. ‘උඹට අදාල නැති දෙයට කට දාන්න ගිහින් වැඩේ අනාගන්න එපා‘ කියා ය. ‘ඔළුව බේරාගනින්‘ කියා ය. කොටින්ම කිවහොත් රටේ අනිත් බොහෝ දෙනෙකු මෙන් ‘දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉඳිං‘ කියා ය.

එයින් ද නොනැවතුණු බිහිසුණු බවක් මේ ‘බලාගෙන‘ වචනයෙහි රැඳී ඇත. පුංචි කාලයේ මහමගදී ලොරියකින්, බසයකින් ගැලවුණත් නොගැලවිය හැකි අනතුරක් ගැන සඳහනකි,ඒ. ‘සිඩ්නි සිතුවිලි‘ නමැති බ්ලොග් අඩවිය ලියද්දී නොකියවුණු මෙම ‘බලාගෙන‘ වචනය දැන් මවෙත කියන්නේ මාහට ආදරයක් ඇති නෑසියන්, මිතුරන් ය. ‘බලාගෙන‘ ලිවිය යුතු, කිව යුතු දේ ඇති බව ඔවුහු මට මතක් කර දෙති. 

රියදුරන් ශිෂ්ඨ සම්පන්න වන තුරු මගට නොබැස ගෙදරට වී සිටින්නට නොහැකිවා මෙන්ම ‘බලාගෙන‘ වචනය නොකියවෙන දවස එන තුරු ලිවීම නවත්වන්නට බැරි ය. ‘ඉගිල්ලෙන මාළුවෝ‍‘ වෙත අල්ලන ඉලක්ක, රතුපස්වල දී සැබෑ උණ්ඩ වී තරුණ හිස් පසා කරගෙන යද්දී ‘බලාගෙන‘ සිටීමෙන් ඇති පලක් නැත. මා මේ විදේශයක සිටින්නේ දේශීය විශ්වවිද්‍යාලයක විද්‍යාර්ථීන්ට අනාගතයේ දිනක දැනුම සපයන්නට සොයා ආ දැනුම් ගවේෂණ මගක හෙයින් ‘මගේ වැඩ බලාගෙන‘ යළි සිය රට ගොස් හෙමින් සීරුවේ රස්සාව කර, මගේ කොටස ඉටු කළ නොහැකි දැයි කෙනෙක් අසන්නට ඉඩ ඇති මුත් රතුපස්වලදී මිය ගිය අකිල හෙට මගේ විශ්වවිද්‍යාලයට එන්නට සිටි තරුණයෙක් නම් මගේ ඒ ඉඳිල්ලෙන් ඇති ප්‍රතිඵලය කුමක් දැයි මට යළි අසන්නට සිදු වෙයි.

නිහඬව සිටින තෙක් අපේ හිස් බේරෙන්නේ ය යන තර්කය දැන් දැන් පදනම් විරහිත බව ඔප්පු වෙමින් පවතී. 
විශ්වවිද්‍යාල ආචාර්යවරු අධ්‍යාපනයට ප්‍රතිපාදන වෙන්කරන්නැයි කියා පෙළපාලි යද්දී, අධ්‍යාපනයට දේශපාලන ඇඟිලි ගැසීම් එපා කියද්දී ඒ අපේ වැඩක් නොවන බව සිතූ සෙස්සෝ තමන්ගේ වැඩ ‘බලාගෙන‘ පාඩුවේ උන් හ. වසර අවසානයේ නව වසරට දූ පුතුන් පාසැල් දමන්නට යද්දී ඒ කීවේ අපේ දෙයක් බව ඔවුන්ට වැටහී ගියේ ය. අවසානයේ උන් පැමිණ ගුරුකම දණගස්වා අධ්‍යාපනයට ‘කෝචොක්‘ දමා ගිය හ. 

අගවිනිසුරුවරිය ගෙදර යවමින් නීතියේ ස්වාධීනත්වය බිඳ දමද්දී, නීතීඥවරුන් ඊට එරෙහි වන විට ඒ අපේ වැඩක් නොවන බව සිතූ සෙස්සෝ තමන්ගේ වැඩ ‘බලාගෙන‘ පාඩුවේ උන් හ. බරපතල වැරදි කළවුන් විශේෂ සමාවන් යටතේ පැමිණ යළි පාතාලයන් රජ කරවන්නට වූ විට  ඒ කීවේ අපේ දෙයක් බව ඔවුන්ට වැටහී ගියේ ය. 

මේ ‘බලාගෙන‘ ඉඳිල්ල අනුව නම් කටුනායක මියෙන්නේ, පහර කන්නේ සන්නාලියන් මිස අප නොවන බවත්, හලාවත වෙඩි කන්නේ ධීවරයන් මිස අප නොවන බවත් හිතෙනු ඇත. එහෙත් දැන් සියල්ල ගේ දොරකඩ ය. වැඩි පඩි, අඩු මිළට පෙට්‍රල් වෙනුවට බීමට පිරිසිදු ජලය ඉල්ලන්නටත් නොහැකි ය. ප්‍රකාශන නිදහස ඉල්ලනු තබා බොන වතුර නැතිකමට පාරට බසින්නටත් නොහැකි ය.

ඉතින් ‘බලාගෙන‘ ඉන්නට හැකි ද?

රියදුරන් ශිෂ්ඨ සම්පන්න වෙන තෙක් එදා අපි මහමගට නොබැස්සේ නම් තක්කඩි රියදුරන් පදික වේදිකා මත ද කරණම් ගසා හිතු මනාපයට ජෝගි නටන්නට බොහෝ දුරට ඉඩ තිබිණ. එහෙත් මග යනෙන ජනයා නිසා ඔවුන් තුළ ද යම් සඳහනක් තිබෙන්නට ඇත. 

ඒ ‘බලාගෙන‘ යන්න ය! ‘බලාගෙන‘ රිය පැදවිය යුතුය යන්න ය.

අප ලියන්නට ගතහොත්, විමසන්නට, සොයන්නට ගතහොත්, ඒ දකින අසන රට පදවන ‘රියදුරන්ට‘ සිතූ මනාපයට කරණම් ගසන්නට, වෙඩි තබන්නට ඉඩ නොලැබෙනු ඇත. ‘පාන් නැත්තං කේක් කාපල්ලා‘ ආකාර කතන්දර කියන්නට නොසිතෙනු ඇත. ‘වතුර නැත්තං වෙඩි කාපල්ලා‘ නොකියනු ඇත. හේතුව ඔවුන් පදවන මහමගට අපද අවතීර්ණ වී සිටිනා හෙයිනි.

මහමග යන රියට බයෙන් ගස් උඩින් පැන ගොස් ‘අර කාර් එක සෝක් එකට කරණං ගහනවා‘ වැනි විකාර කතන්දර අපට කියන්නට නොහැකි ය. එසේම රතුපස්වල වෙඩි උණ්ඩ ගැන ද, ‘මේක තුන්වන පාර්ශවයක වැඩක්‘ වැනි අප්‍රභංශ ලියන්නට ද නිසි මග යන්නාට නොහැකි ය.

‘බලාගෙන‘ යා යුතු බව සිතිය යුත්තේ අප නොවේ. සුක්කානම දරා සිටින ඔවුන් ය. ඔවුන් පදවන ආකාරය බලන්නට අප මග දෙපසම රැඳෙන බව කී විට ඔවුන් තමන් වෙතම මේ ලෙස කියා ගනු ඇත.

‘බලාගෙන...!‘ 

රූපය -  http://farm4.staticflickr.com/3051/2575203700_a0536b5fac.jpg

Thursday, August 1, 2013

මුද්‍රාව තබා පිටව යමු!



බර්ග්මාන්ගේ ‘සත්වන මුද්‍රාව‘ සිනමාපටයෙන්

සිනමා ලොව මහා සිනමාකරුවකු ලෙස පිළිගැනෙන ස්වීඩන් ජාතික ඉන්ග්මාර් බර්ග්මාන්ගේ සත්වන මුද්‍රාව (Seventh Seal) චිත්‍රපටය නිපදවුණේ වසර 56කට පෙර, 1957 දී ය. ඉන් වසර 50කට පසු, 2007 දී, බර්ග්මාන් මිය ගිය අතර එහි මරණයේ භූමිකාව රඟපෑ බෙන් එකෙරොට් පනස් විය පනිද්දී ම, 1971 දී, ජීවිතයෙන් සමුගත්තේ ය. නයිට්වරයාගේ චරිතයට පණ පෙවූ මැක්ස් වොන් සිඩෝව් නම් තවමත් ප්‍රංශයේ ජීවත් වෙයි. 
සත්වන මුද්‍රාව සිනමාකරුවකු ලෙස බර්ග්මාන්ගේ ද මුද්‍රාවක් ලෙස අදද ලොව පතලව තිබෙන කෘතියකි. මියගිය බෙන් සහ ජීවත්වන මැක්ස් යන දෙදෙනාම සිය රංගන දිවියේ නොමැකෙන මුද්‍රා තැබූ කෘතියක් ලෙසද එය හැඳින්වීමෙහි ඇති වැරැද්දක් නැත.

බර්ග්මාන් මෙන්ම ලොව පුරා බොහෝ නිර්මාණශීලී අධ්‍යක්ෂවරු ද, බෙන් සහ මැක්ස් වැනි දක්ෂ රංගන ශිල්පීන් ද විවිධ තැන්වල නොමැකෙන මුද්‍රා තබා පිටවී ගොස් ඇති බව අපට පෙනෙන්නට තිබේ. එය සිනමාවෙන් බැහැර ව, චිත්‍ර කලාව, මූර්ති ශිල්පය, සංගීතය, නාට්‍ය කලාව ඇතුළු සකල විධ කලා භාවිතා දෙසට ගොස් විමසන විටත් පැහැදිලිව පෙනෙන කරුණකි. ඩාවින්චි, මයිකල් ආන්ජලෝ, රෆායෙල්, පිකෑසෝ වැන්නවුන්ගේ චිත්‍රකලාවේ මුද්‍රා ගැනත්, බීතෝවන්, චයිකොව්ස්කි, මෝසාට් වැන්නවුන්ගේ සංගීතමය මුද්‍රා ගැනත්, ශේක්ෂ්පියර්, බ්‍රෙෂ්ට්, ඉබ්සන්, ටෙනසි විලියම්ස්, දාරියෝ ෆෝ වැන්නවුන්ගේ නාට්‍යමය මුද්‍රා ගැනත් අප තවමත් සාකච්ඡා කරන්නේ එබැවිනි.

ලෙස්ටර් ජේම්ස් පීරිස් නිධානය, ගම් පෙරළිය වැනි සිනමා කෘති තනමින් ද, පතිරාජයන් අහස් ගව්ව හා බඹරු ඇවිත් වැනි සිනමා කෘති තනමින් ද, සරච්චන්ද්‍රයන් මනමෙ සහ සිංහබාහු වැනි නාට්‍ය සාදමින් ද, සුගතපාල ද සිල්වා මරාසාද් වැනි නාට්‍ය තනමින් ද, කේමදාසයන් මාහැඟි ගීත හා පසුබිම් සංගීත නිර්මාණ සහ මානස විල වැනි ඔපෙරා තනමින් ද, ජෝර්ජ් කීට් මව සහ දරුවා වැනි චිත්‍ර අඳිමින් ද, ජෙෆ්රි බාවා රුහුණු සරසවිය සහ පාර්ලිමේන්තුව ආදී අගනා ගෘහ නිර්මාණ නිමවමින් ද සිය මුද්‍රා අප රටේ සමාජය ඉදිරිපිට ස්ථාපිත කළ හ. ගාමිණී ෆොන්සේකාගේ විලී අබේනායක චරිතය (නිධානය), මාලිනී ‍ෆොන්සේකාගේ අයිරින් චරිතය (නිධානය), හෙන්රි ජයසේනගේ අසඩක් චරිතය (හුණුවටයේ කතාව), ජෝ අබේවික්‍රමගේ වන්නිහාමි චරිතය (පුරහඳ කළුවර) වැනි උදාහරණ නළු නිළියන් ද එක් එක් තැන්වල තැබූ මුද්‍රාවන් බව අමුතුවෙන් කිව යුතු නැත. 

කලාකරුවෝ විශ්වීයව මෙන්ම දේශීය ව ද සිය මුද්‍රා තබා පිටව යති. එම මුද්‍රාව නොමැකෙන සුළු ය. 
ශ්‍රී ලංකාවේ සංස්කෘතික දෙපාර්තමේන්තුව මෑත දිනක කලාකරුවන්ට හැඳුනුම්පත් නිකුත් කිරීමේ වැඩ සටහනක් දියත් කර තිබෙන අතර මුල් වටය සඳහා හයසියයක් දෙනා ගෙන්වා, උත්සවයක් ද පවත්වා මේ කටයුත්ත ආරම්භ කර ඇති බව එඩ්වින් පීරිස් මහතා සිය ‘නිර්මාණ ප්‍රතිභා‘ නැමැති බ්ලොග් අඩවියේ ලියයි. ඔහු ඒ ලියන්නේ වේදනාවෙනි. ගෝලයින්ට ඉදිරිපෙළ ආසනත්, ගුරුන්ට පසුපෙල ආසනත් පනවා තිබුණු සැටිත්, අයිරාංගනී සේරසිංහට සහ සතිස්චන්ද්‍ර එදිරිසිංහට මුලින්ම හැඳුනුම්පත් දී පසුව ‘ජනප්‍රිය‘ නළු නිළියන්ට ඒවා බෙදා දුන් සැටිත් ඔහු සඳහන් කර ඇත්තේ පහත පරිදි ය.

ගෝල බාලයෝ ඉදිරි පෙළ සිටියදී කලා ගුරුවරු පසුපසට වී දුර්මුඛව සිටිනු දක්නට ලැබීම අභාග්‍යයකි.
සංස්කෘතික ඇමති තුමා අතින් හැදුනුම් පත් දීම ඇරඹිණි.මුලින්ම වේදිකාවට කැදවුයේ ප්‍රවීණ රංග ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය හා රංග ශිල්පී,වේදිකා නාට්‍ය නිෂ්පාදක,හා සිනමා අධ්‍යක්ෂ සතිස්චන්ද්‍ර එදිරිසිංහ කලාප්‍රවීණයන් දෙදෙනාය.වයෝ වෘද්ධ කලා ශිල්පීන්වූ එම දෙදෙන වේදිකාවට නගින විටම රැස්ව සිටි සියලුම කලා කරුවනගේ සතුට ප්‍රකාශ වූයේ වේගවත් දීර්ඝ අත්පොළොසන් හඩිනි. ඉතා ප්‍රශස්ත ආරම්භයකි.

ඛේදනීය තත්වය පටන් ගත්තේ ඉන් අනතුරුවය.අමාත්‍ය තුමා අතින් එක දිගට කලාකරුවන් සිය දෙනෙකුට පමණ හැදුනුම් පත් පිරිනැමීම සිදුවෙද්දී  බොහෝ කලාකරුවන් එදෙස බලා සිටියේ විමතියෙන් තුෂ්නිම් භූතවය.ඉහත කී විශේෂිත සියදෙනා තෝරාගෙන තිබුනේ කිසිදු සාධාරණ තෝරා ගැනීමේ පදනමකින් තොරවය. සිය දෙනාගෙන් අනූ දෙකක් පමණ වූයේ නළු නිළියන්ය.

මෙහිදී සංවිධායකයින් වෙහෙස ගෙන තිබුණේ ,ජනප්‍රිය නළු නිළියනට ඇමති තුමා අතින් හැදුනුම් පත් පිරි නැමූ බව කැමරා හමුවේ තබා රටේ ජනතාවට ප්‍රදර්ශනය කරවන්නට බව කාටත් පැහැදිළි විය. මේ අතර නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති වරයාද කැමරා හමුවේ වේදිකාව මතදීම සිය හැදුනුම් පත ලබා ගැනීම සිත් ගන්නා සුළු දර්ශනයක් විය.“


යටකී ලෙස කලාකරුවෙකු ලෙස සිය මාධ්‍යය හඳුනාගනිමින් ‘මුද්‍රා‘ තැබිය හැකි කෘතියක් ගෙන එන්නකුගේ අනන්‍යතාවය ලෙස එම කෘතිය පෙනී සිටිනු ඇත. එය ජීවිත කාලයක් මුළුල්ලේ නොව ඉන් පසුවද, කලාකරුවා නික්ම ගිය පසුද, ඔහු වෙනුවෙන් පෙනී සිටිනු ඇත. එනිසාම එය කාඩ්පතක මුද්‍රණය කර දෙන හැඳුනුම්පතකට වඩා බොහෝ සෙයින් බලවත් ය. එසේ තිබිය දී යම් අයෙකු, කලාකරුවකු ලෙස පවතින රාජ්‍ය යාන්ත්‍රණයෙන් හැඳුනුම්පතක් ඉල්ලා සිටින්නේ නම් එය හුදෙක් හාස්‍යයට පමණක් නොව භීතියට ද හේතුවකි. 

සරලව පෙනෙන හාස්‍යමය කාරණා කිහිප ආකාරයකට පෙළ ගැස්විය හැක. එක් අතකට මෙය කලාකරුවකු ලෙස සිය මුද්‍රාවක් තබාගන්නට නොහැකි වූවන්ගේ ක්‍රියාවක් ලෙස (ඉහත නාමයන් ගැන නොසලකා හැර සිතද්දී) සිතන්නට පුළුවන. අනෙක් අතට එය කලාකරුවා සහ කලාව වෙත දිය යුතු සැබෑ දායකත්වය අමතක කර ඇති රජයක ක්‍රියාවක් ද වෙයි. පුරවැසියකු ලෙස අතට පත්ව ඇති පුද්ගල හැඳුනුම්පත තව දුරටත් වලංගු නැති තැනක දී කලාකරුවෙක් ලෙස දෙවැනි හැඳුනුම්පතකින්වත් අස්වැසිල්ලක් ලැබෙනු ඇතැයි කවුරුන් හෝ සිතුවාවත් ද?

එහෙත් එය එවැනි සරල සඳහනකින් කෙළවර නොවිය යුතු කරුණකැයි යන්න මගේ හැඟීමයි. මේ පිටුපස වන හැඟවුම් භීතිය මුසු කාරණා බව මා කීවේ එබැවිණි. ඒ භීතියට කරුණු  මොනවාද?

කලාකරුවකු සිය නිර්මාණයේ මුද්‍රාව වෙත විශ්වාසය නොතබා රාජ්‍ය තන්ත්‍රයේ කලාකාර හැඳුනුම්පත ගැන විශ්වාසය තැබීම එක් අතකට දියව යන කලා භාවිතයන් පිළිබඳ හැඟවීමකි. පාලනයේ පැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් පෙනී නොසිටිමින්, සමාජ පෙරගමන්කරුවකු ලෙස මිනිසත්බව හා මිනිස් සමාජය වෙනුවෙන් තව දුරටත් කලාකරුවා පෙනී නොසිටින බව මේ පසුපස සැඟව ඇති එක් කරුණකි. කලාව රාජ්‍යය හමුවේ දණගස්වමින් පවතින මොහොතක සිය අනන්‍යතා පත්‍ර ඔවුන් වෙතින්ම බලාපොරොත්තු වීම හාස්‍යයක් ද? භීතිය දනවන්නක් ද? කලාකරුවාගේ සහ කලා නිමැවුමේ අනන්‍යතා දැන් පවතින්නේ කොතැනක ද?
අනෙත් අතට දඩයම් කෙරෙන, වළලා දැමෙන සහ මකා දැමෙන කලාව හා නිර්මාණ අභියස, කලාකරුවන් අභියස මෙම අනන්‍යතා පත්‍රය කුමන කාර්යයක් ඉටු කරයි ද? 

හඳගමගේ මුද්‍රාවක් වූ අක්ෂරය සිනමාපටයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනෙද්දී, සංජීව පුෂ්පකුමාරගේ මුද්‍රාව වූ ඉගිල්ලෙන මාළුවෝ මර්දනය කෙරෙද්දී, ‘අහිංසකයින්ගේ ආරාමය‘ නැමැති ජගත් වීරසිංහගේ මුද්‍රාවක් කඩා බිඳ දැමෙද්දී, බොහෝ මුද්‍රා තැබූ කෞෂල්‍යා ප්‍රනාන්දු වැනි නිළියන්ගෙන් රාජ්‍ය තන්ත්‍රය ප්‍රශ්න නගද්දී, මුද්‍රා තබන්නට එන සම්පත් ජයවීර වැනි තරුණ නළුවකු හතර වැනි තට්ටුවේදී ප්‍රශ්න කෙරෙද්දී මෙම අනන්‍යතා පත්‍රය කුමන තැනක තිබේවි ද?

දැන් අපි මෙම හැඳුනුම්පත් ලබාගත්තවුන්ගේ පැත්තට ගොස් මේ දෙස බලමු. ඔවුන් ඇසිය යුතු ප්‍රශ්නයක් දෙකක් අසා බලමු. 


මෙම කලාකාර හැඳුනුම්පත කුමක් සඳහා ද? එය භාවිතා කළ යුත්තේ කුමන අවස්ථාවලදී ද? එය ඉදිරිපත් කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවා ද?

විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක් ලෙස මා සතු රාජකාරි හැඳුනුම්පත ප්‍රධාන විශ්වවිද්‍යාල ගොඩනැගිලි වෙත යාමේදී, ප්‍රතිපාදන කොමිසම, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ආදිය වෙත යාමේදී මට ප්‍රයෝජනවත් වී ඇත. බාහිර සමාජයේ දී ද (මගේ පුරවැසි හැඳුනුම්පතේ මා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු බව කියා තිබියදී, ඒ ප්‍රමාණවත් නැති බව කියන විට) එම හැඳුනුම් පත ප්‍රයෝජනවත් වූ අවස්ථා කිහිපයක් දැනුදු මගේ මතකයට නැගේ. මේ කලාකාර හැඳුනුම් පත කලාකාරයින්ට එවැනි ප්‍රතිලාභයක්වත් ඉටු කර දෙයි ද?

සිනමා කර්මාන්තයේ නියුක්ත වූවකුට අමුද්‍රව්‍ය ගැනීමේ දී සහන සැලසීමක්, චිත්‍ර ශිල්පියෙකුට කැන්වස් ගන්නට උදව්වක්, සංගීතඥයෙකුට සිය නිර්මාණය රැගෙන විදේශ නිර්මාණ ප්‍රසංගයක් වෙත යන්නට වීසාපතක් ලබන්නට සහායක් මෙම හැඳුනුම්පතින් ලැබේවි ද? සිය නිර්මාණය ‘ඩයස්පෝරා මුදලින්‘ තැනූ, ‘නැමැත්තකුගේ‘ බව අයි ටී එන් නාලිකාව කියද්දී, විශිෂ්ට ලේඛකයකු වූ තමන්ව ‘කොටි හිතවාදී - දේශද්‍රෝහී‘  ‘නැමැත්තකු‘ බව අයි ටී එන් නාලිකාව කියද්දී මෙම හැඳුනුම්පත ගෙන මම අසවල් කලාකාරයා යැයි කියා කෑගසන්නට ඉඩක් ලැබේවි ද? පිළිතුර මා මෙහි ලියා තැබිය යුත්තක් නොවේ.

එනිසාම මට පෙනෙන්නේ අප රැඳිය යුත්තේ ස්වකීය කලා ප්‍රකාශන මුද්‍රාව මත මිස අනන්‍යතා කොළ මත නොවන බව ය.

අප තබා පිටව යා යුත්තේ බර්ග්මාන්, බ්‍රෙෂ්ට්, බීතෝවන්, මයිකල් ආන්ජලෝ වැන්නවුන් ලෝකය හමුවේ තැබූ, ලෙස්ටර් ජේම්ස් පීරිස්, සරච්චන්ද්‍රයන්, කේමදාසයන්, ජෝර්ජ් කීට් වැන්නවුන් දේශය (හා ලෝකය) හමුවේ තැබූ ‘මුද්‍රාවන්‘ ය. රාජ්‍ය යන්ත්‍රයේ ‘මුද්‍රාව‘ සහිත අනන්‍යතා පත්‍ර නොවේ.

සේයාරුව - http://www.boston.com/ae/movies/blog/2012/02/14/IB-The-Seventh-Seal-photo-1.jpg