Wednesday, December 28, 2016

‘රෝස කැකුළ‘ (ජීවිත සිනමාව)

(රිවිර සිනමා කොලම- 12)


චාල්ස් ෆොස්ටර් කේන් යනු ඇමරිකානු ජාතික ධනවත් මහළු ව්‍යාපාරිකයෙකි. හිමෙන් පිරුණු පසුබිමක් සිහි ගන්වන ත්‍රිමාන රූ සහිත වීදුරු බෝලයක් අත දරාගෙන මරණාසන්නව වැතිර සිටින ඔහුගේ අතින් ඒ ගිලිහී යන්නේ මරණය ඔහු කරා පැමිණෙද්දීම ය. ‘Rose Bud’, නැත්නම්, ‘රෝස කැකුළ‘ යන්න ඔහු මුවින් ගිලිහෙන අවසන් වදන වෙයි. මරණය ඔහු වෙත එද්දීම ඔහු මුවින් ගිලිහුණු මේ වදන සංඥා කරන ලද්දේ කවරක්දැයි යන්න පිළිබද කිසිවකුට නිසි අදහසක් නොමැත.  ලෝ ප්‍ර‍කට, පුවත්පත් හිමිකරුවකු හා ධනවතකු වන කේන්ගේ මරණය ලොව අවධානය දිනාගත් පුවතක් බවට පත්වෙද්දීම ‘ප්‍ර‍වෘත්ති රීල‘ සිනමා නිර්මාණකරුවකු වන ජෙරී තොම්ප්සන් තීරණය කරන්නේ කේන් කී මෙම අවසන් වදනෙහි අර්ථය සොයා යන්න ට ය. 1941 දී නිර්මාණය වී, දශක ගණනක් මුළුල්ලේම ලොව එදා මෙදාතුර බිහිවූ විශිෂ්ඨම සිනමා කෘතිය ලෙස ඇගයුම් ලබන්නට වරම් ලද ඕසන් වේල්ස් අධ්‍යක්ෂණය කළ ‘Citizen Kane’ (සිටිසන් කේන්) සදහා පාදක වන්නේ ඉහත කී අපැහැදිලි වදනක නිර්වචනය සොයා ප්‍ර‍වෘත්ති රීල සිනමාකරුවකු සිදු කරන සොයා යෑමක සිනමාත්මක සටහනයි.

සම්භාව්‍ය හොලිවුඩ් ආඛ්‍යාන සිනමාව ලෙස පසුකාලීනව ලෝක සිනමා න්‍යාය තුළ කාල නිර්ණය වී අවධානයට යොමු වන 1930 දශකයේ සිට ඉදිරි දශක දෙක තුන දක්වා විහිදි සිනමා සමයේ ප්‍ර‍මුඛතම කෘතියක් වන ‘සිටිසන් කේන්‘ තරුණ සිනමාකරුවකු ලෙස ඕසන් වේල්ස්ගේ දක්ෂතාවයක්, අතිදක්ෂ සිනමා රංගධරයෙකු ලෙස ඔහුගේම වෛශිෂ්ඨත්වයත් ලොවට හෙළි කළ කෘතියකි. ආඛ්‍යානය ගොඩ නැගීමේ සිට ව්‍යක්ත ලෙස සිනමා බස හැසිරවීම දක්වා අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔහු තුළ වන ප්‍ර‍තිභාව ද, තරුණයෙකු සිට මරණය වැලදගන්නා මහල්ලකු වන තෙක්ම කේන්ගේ චරිතය ප්‍ර‍තිනිර්මාණය කිරීම දක්වා රංගධරයෙකු ලෙස ඔහු තුළ තිබුණු ප්‍ර‍තිභාව ද එක ලෙස ප්‍ර‍කට කරන්නට ‘සිටිසන් කේන්‘ සමත් වූයේ සිනමාව පිළිබද පූර්ණ උදාහරණ අංගවලින් සමන්විත තක්සලාවක් බවට ද ඒ පත් කොට තබමිනි.

‘රෝස කැකුළෙහි‘ අභිරහස හෙළි කරගන්නට තොම්ප්සන් කේන්ගේ අතීත සමීපතමයින් සොයා චාරිකාවක් අරඹයි. ඒ වන විට, තදින් මත්පැනට ඇබ්බැහි වී සිටින හා රාත්‍රී සමාජශාලාවක් හිමි කේන්ගේ දෙවැනි බිරිද වූ සූසන් ඇලෙක්සැන්ඩර්, කේන්ගේ පෞද්ගලික ව්‍යාපාර කළමණාකාර බ්‍රෙන්ස්ටයින්, ඔහුගේ සමීප මිතුරකු වූ ජෙඩෙඩියා ලේලන්ඩ් සහ මියගිය බැංකුකරුවකු වූ වොල්ටර් පාක්ස් තැචර්ගේ පෞද්ගලික ලිපිගොනු හරහා වන එම චාරිකාව ෆ්ලොරිඩාවේ ධන කුවේරයකුව මියගිය කේන් දුප්පත් දරුවෙකු ලෙස කොලරාඩෝවේ සිට අරඹන දිගු ගමනක අතීත අවදීන් වෙත කෙරෙන පසු විමසුම් ගමනක් බවට පත් වෙයි. කේන්ගේ ‘රෝස කැකුළ‘ යන වදනෙහි නිසි අරුත, කිසිවකු වෙත ස්ථිර පිළිතුරක් ලෙස හමු නොවූව ද වේදනාබර ළමා කාලයක්, දුෂ්කරතා හා අභියෝගයන්ගෙන් පිරි තරුණ කාලයක් හරහා ඔහු ආ ගමනත්, ජීවන අරුත් යළි විමසන්නට තරම් වන ඔහු මුහුණ දුන් ජීවන අරගලයත් අප වෙත මුණ ගැසෙන්නට පටන් ගනී.

“ඔබට පුළුවන් වුණොත් රෝස කැකුළ කියන වචනෙ තේරුම හොයාගන්න, මං ඔට්ටු අල්ලනව අපිට පුළුවන් හැම දෙයක්ම පැහැදිලි කරගන්න“ වරෙක රෝස කැකුළෙහි අරුත සොයන්නට යන ජෙරී තොම්ප්සන් වෙත වාර්තාකාරිණියක් කියයි.

“නෑ. මම හිතන්නෙ නෑ. කේන් මහත්මයා කියන්නෙ එයාට ඕනෙ හැමදෙයක්ම ලැබුණු ඒත් එක්කම ඒ සේරම නැතිවුණු කෙනෙක්. රෝස කැකුළ කියන්නෙ සමහර විට එයාට නොලැබුණු දෙයක් නැත්තම් එයා ළග තිබිල නැතිවුණු දෙයක් වෙන්න පුළුවන්. ඒකෙන් කිසිම දෙයක් පැහැදිලි වෙන්නෙ නෑ. මම හිතන්නෙ නෑ කිසිම වචනයකින් කෙනෙකුගෙ ජීවිතයක් පැහැදිලි වෙනව කියල. නෑ! රෝස කැකුළ කියන්නෙ නිකම්ම නිකං ප්‍රෙහේලිකාවක එක වචනයක්! නැතිවුණු වචනයක්!!“

ඇමරිකානු පුවත්පත් සමාගම් අයිතිකරුවකු වූ විලියම් හර්ස්ට්, චිකාගෝවේ විසූ කුවේරයින් වූ සැමුවෙල් ඉන්සල් සහ හැරල්ඩ් මැක්‍රොමික් යන අයගේ ජීවන වෘත්ත හා වේල්ස්ගේම ජීවිතයේ අතීත අන්දර අතුරින් මනාව තෝරාගත් ජීවිත කැබැලි සකසුරුවම්ව වියමන් කළ ‘සිටිසන් කේන්‘ සැබවින්ම ජීවිතයේ ප්‍රෙහේලිකාර්ථවලට සිනමා රූපය තුළ පිළිතුරු සෙවූ අනගි සිනමා පටයකි. 2012 වර්ෂයේදී ඇල්ෆ්‍ර‍ඩ් හිච්කොක්ගේ ‘වර්ටිගෝ‘ සිනමා කෘතියට දෙවැනි වන තුරුම ‘සයිට් ඇන්ඩ් සවුන්ඩ්‘ ඇගයුමෙහි අංක එක දිනා සිටි එය, විශිෂ්ඨ කෘතියක් ලෙස රැදෙමින්ම නිරතුරුව පසක් කළේ එහි අවසානය සමග නරඹන්නා හදුනාගන්නා, නමුත් කෘතියේ චරිත නොදකින, ‘රෝස කැකුළෙහි‘ යථා රූපයයි.

ඔව්! ජීවිතය යනු වදනකට ගොනු කළ නොහැකි දෙයකි!



-ප්‍ර‍ියන්ත ෆොන්සේකා -

Friday, December 16, 2016

ජීවිතය සුන්දරයි! (ජීවිත සිනමාව)

(රිවිර සිනමා කොලම- 11)


“ඔයා හරිම හොඳ කොලු පැටියෙක්! දැන් නිදාගන්න. ඔයාට ලස්සන හීන පෙනේවි! සමහර විට අපි දෙන්නම දකින්නෙ හීනයක් වෙන්නැති. සමහර විට, මේ හැම දෙයක්ම හීනයක් වෙන්නත් පුළුවන්. අම්ම අපි දෙන්නම උදේට ඇහැරවාවි. එයා අපි දෙන්නටම බිස්කට් එක්ක කිරි හදල දේවි!“

ගුයිඩෝ විසින් සිය පස් හැවිරිදි සිඟිති පුතු ජොසුවා හමුවේ මෙම වදන් පවසන්නේ ඔහු නින්දට යන්නට සූදානම් වද්දී ය. ඒ ඉතාලි නිවසේ සුවපහසු කාමරයක ඇති පුතුගේ සයනය මත හිඳ නොවේ. දෙවන ලෝක යුද්ධයේ වින්දිතයන් ලෙස නාසි හමුදාවන්ට හසු වී කඳවුරක ජීවිතය ගෙවද්දී ය. යුදෙව්වෙකු වීම හේතුවෙන් යුදෙව් නොවන බිරිඳ ඩෝරාගෙන්ද වෙන්කොට ඔහු ද, පුතු ජොසුවාද කඳවුරට රැගෙන එද්දී දරුවා නාසින්ගේ ඇස්වලින් වසන් කොට තමන් සමඟ සඟවා තබාගන්නට ගුයිඩෝ සමත් වේ. නිශ්චිතව පෙනෙන මරණය හා තරග වදිමින් ජීවිතය දිනන්නට ඔහු ගෙනයන බිහිසුණු එනමුත් හාස්‍ය උපදවන ක්‍රියාකාරකම් මාලාව අති සුන්දර, මිනිසත්කම පිරුණු සිනමා සිත්තමක් අප ඉදිරියෙහි නිර්මාණ කරයි. ‘ජීවිතය සුන්දරයි‘ (Life is Beautiful) නම් ලබන ඒ සිනමා කෘතිය 1997 දී ඉතාලි ජාතික සිනමාකරු රොබර්ටෝ බෙනිග්නි විසින් නිර්මාණය කරන ලද්දකි.



ගුයිඩෝ-ඩෝරා ප්‍රේම වෘතාන්තය සමගින් ඇරඹෙන සිනමා කෘතියේ මුල් කාල සමය ඩෝරා දිනාගනු පිණිස ගුයිඩෝ විසින් සිදු කරනු ලබන ප්‍රේමණීය නමුත් හාස්‍යජනක ක්‍රියාකාරකම්වලින් පිරී පවතී. හාස්‍ය මුසු සිතුවමක් ලෙස අප සිත් පැහැරගන්නා එය ගුයිඩෝ සහ ඩෝරා, ජොසුවාගේ දෙමාපියන් ලෙස වැඩී වියපත් වත්ම ඔවුන් අභිමුවට එන දෙවැනි ලෝක යුද්ධය, ගුයිඩෝගේ සැහැල්ලු, විනෝදකාමී ජීවිතය ගිලගන්නා ආකාරය විමසන්නට යොමු කරයි. ලක්ෂ ගණනින් ජීවිත හා දේපළ ගිලගනිමින් ආ, සිය පොත් සාප්පුව හා සාමකාමී පවුල් ජීවිතය විනාශ කළ යුද්ධය ගුයිඩෝ භාරගන්නේ තරගයක් ලෙසිනි. ඒ සියල්ලටම වඩා සිය ප්‍රාණසම පුතුගේ ජීවිතය හෝ අනාගතය වෙත මුදා හරින රිසියෙනි. නාසි කඳවුරේ මරණාපේක්ෂක පිරිමින් අතර කුඩා ජොසුවා සඟවාගන්නා ඔහු නාසින්ගේ බිහිසුණු ප්‍ර‍කාශන, ජර්මානු බසින් ස්වකීය ඉතාලි බසට පෙරළා සිය පුතු වෙතට අසන්නට සළස්වන්නේ තමන්ට අවැසි කතාවක් ඒ වෙනුවට ගෙන එමිනි.

“දැන් තරගෙ පටන් ගන්නයි යන්නෙ. ඔයාල ලකුණු 1000ක් ගන්න ඕනෙ මේකෙදි. ඔයාල මේක දිනුවොත් ඔයාලට ගෙදර ගෙනියන්න ලැබෙනව ලොකු තුවක්කුවක් තියෙන යුද්ධ ටැංකියක්. හැමදාම අපි ලකුණු අර ලවුඩ්ස්පීකරෙන් කියනව. ලකුණු අඩු වෙන ක්‍ර‍ම තුනක් තියෙනව. පළවෙනි එක, අඬන බබෙක් වෙන එක! දෙවනි එක අම්ම බලන්න ඕනෙ කියල කියන එක! තුන, ඔයාට බඩගිනියි කියල කන්න මොනවහරි ඉල්ලන එක!!“

ජොසුවාට කඳවුරේ සියලු බිහිසුණු දේ පෙනී යන්නේ ලොකු තුවක්කුවක් සහිත යුද්ධ ටැංකිය දිනාගැනීම සදහා කරන තරගයේ ක්‍රියාකාරකම් ලෙස ය. සිය පියාගේ තුරුලෙහි කුසගින්නෙන්, මව ළඟ නැති තනිකමින් තුරුළු වන ඔහු, තාත්තාටත්, තමන්ටත් දිනාගන්නට ඉඩ ලැබෙන යුධ ටැංකිය ගැන සිතමින් සැනසෙයි.

යුද්ධය හා බැඳී එන බිහිසුණු මරණය හා වේදනාව සමඟ හාස්‍යය සමපාත කරවා මුණගස්වන, ඒ හරහා මනුෂ්‍යත්වයේ උදාරත්වය අපට පසක් කරවන මේ මනරම් සිනමා කෘතිය කෑන්ස් සිනමා උළෙල සහ ඔස්කාර් සම්මාන උළෙල ඇතුළු ප්‍ර‍ධාන උළෙල ගණනාවක් ආක්‍ර‍මණය කොට ඉහළම සම්මාන ගණනාවක් සන්තකයට ගත්තේ ය. ඉතාලි සිනමා විචාරකයින් අධ්‍යක්ෂක බෙනිග්නි ජාතික වීරයෙකු කොට ඔසවා තැබූ, ජුවාන් පාවුළු පාප්තුමන් ඇතුළු ආගමික සමාජයෙන් ද, පොදු ප්‍රේක්ෂකයන් වෙතින් ද ඉහළ පැසසුම් ලැබූ සිනමා කෘතිය එක්තරා අයුරකින් ලෝක යුද්ධය වෙත හා ජර්මානු නාසි හමුදා වෙත පැවති වෛරය හා විරෝධය සිනමාත්මකව මුදා හැරීමක් විය.

සිනමා පටය කෙළවර වන්නේ ලෝක යුද්ධයේ කෙළවර මිත්‍ර‍ හමුදා කඳවුර වෙත ප්‍රවේශ වීමෙනි. කුඩා පෙට්ටියක පෙර දා රැයේ ජොසුවා සඟවා තබා ගුයිඩෝ පිටව යන්නේ පසුදා උදෑසන ජයග්‍ර‍හණයට අවශ්‍ය ලකුණු 1000 ලැබෙන බව නියත බැව් කියමිනි. අවසන් තත්පරයේදී ඔහු නාසින්ගේ අතට හසුවන නමුත් කුඩා ජොසුවාට පසුදින එළිය දකින්නට වරම් හිමි වේ. සැඟව සිටින තැනින් එළියට එන ඔහු දකින්නේ කඳවුර දෙසට හැරී එන මිත්‍ර‍ හමුදාවන් සතු විශාල යුද්ධ ටැංකියයි. ඒ වෙත නංවා ගෙන ගෙනයන ජොසුවාට ඉදිරියට ඇදෙන සෙනග අතරින් සිය මව හමුවේ.  නරඹන්නන් නෙතින් කදුළු සැලෙද්දී කිසිවක් නොදන්නා ජොසුවා සතුටින් කෑගසයි!

“අම්මේ! අපි යුද්ධ ටැංකිය දිනුවා!! අපි ලකුණු දාහම ගත්තා!!!“

සිනමා කෘතියේ බරැති, වේදනාබර නමුත් සැනසුම් සුසුම් ද කැඳවන අවසානය ජීවිතය චිත්‍ර‍ණය කළ හැකි තවත් අපූර්ව සිනමා ආකෘතියක් අප වෙත තබයි.


-          ප්‍රියන්ත ෆොන්සේකා -

Monday, December 5, 2016

පළමු පෙමක ‘සිහින‘ මතක... (ජීවිත සිනමාව)

(රිවිර සිනමා කොලම- 10)


ඔකේ යනු දසවන වියට පා තැබූ, යොවුන් වියේ දොරටුව දෙසට පිය නගන දැරියකි. මුක්හ්සින් යනු සිය වැඩිමල් සොයුරා සහ නැන්දනිය සමග පාසැල් නිවාඩු සමය ගත කරන්නට ඔකේගේ ගම්මානයට පැමිණෙන දොළොස් වියැති පිරිමි ළමයෙකි. කොල්ලන් සමග උරෙනුර ගැටෙමින්, කෙල්ලන්ගේ ‘ළදරු‘ සෙල්ලම් පිළිකෙව් කරමින්, සෙල්ලමට වැටෙන ඔකේට හදිසියේම මුක්හ්සින් මුණගැසෙන්නේ පිට්ටනියේ දී ය. ඉතා ඉක්මණින් මිතුරු වන දෙදෙන, එකිනෙකාට නැතිවම බැරි, ගම්මානය පුරා ඇවිද යමින් බොහෝ දේ විමසා බලන, බයිසිකල් පදින්නට මෙන්ම සරුංගල් යවන්නට ද අනෙකා සොයා යන, අඹ යහළු මිතුදමකින් වෙලේ. ඒ මිතු දම, ළමා විය ඉක්මවමින් ගැටවර විය වෙත පා ඔසවත්ම එකිනෙකා කෙරෙහි ඇතිවන යෞවන ආදරයක මුල් සළකුණු බව වටහා ගන්නට ඔකේගේ හා මුක්හ්සින්ගේ වැඩිහිටියන්ට අපහසු වන්නේ නැත.

2006 වර්ෂයේදී නිපදවුණු ‘Mukhsin’ (මුක්හ්සින්) යනු, මැලේසියානු සිනමා කතුවරියක වූ යස්මින් අහමඩ්ගේ සිනමා නිර්මාණයකි. එය 57වන බර්ලින් සිනමා උළෙලේ දී ළමා අංශය වෙනුවෙන් විශේෂ ජූරි සඳහනක් ලබා ගත් අතර මැලේසියාවේ ප්‍ර‍දර්ශනය අරඹා දින 4ක් තුළ රින්ගිට් ලක්ෂ 7ක වාර්තාගත ආදායමක් සමගින් ඉහළ ප්‍රේක්ෂක ආකර්ශණයක් ද දිනා ගත්තේ ය. ඒ ඇගයුම් හා ආදායම් වාර්තා සියල්ල පසුපස වූයේ ඉතා සරල ලෙස නමුත් විචිත්‍ර‍ ලෙස, තිරය මත දිග හැරි, යෞවනත්වයට පා තබන අවදියේ හමුවන ප්‍රේමය සහ ඒ හා බැදෙමින් යස්මින් විසින් චිත්‍ර‍ණය කළ සමාජ විවරණය පිළිබඳව වූ ආසක්ත බවයි.   

බයිසිකලයේ ඉදිරිපස කොටසේ ඔකේ ද හිඳුවාගෙන ගම්මානය පුරා ඇය හා යන මුක්හ්සින් විටෙක ගස් නගින අයුරු ද, තවත් විටෙක ගම්මානයේ අනේක තොරතුරු ද ඇය වෙත කියා දෙයි. ඔකේ ඔහුට කියා දෙන්නේ සිය මවගේ යුරෝපීය අධ්‍යාපනය හේතුවෙන් ඇයට ඉතා සමීප ඉංග්‍රීසි භාෂාව සහ ඔහුට දුරස්ථ වෙනස් (බටහිර) සංස්කෘතියකි. ඇයටත් ඇගේ මව හා පියාටත් සමීප පාපන්දු තරග ඇතුළු තවත් දේ මුක්හ්සින්ගේ ද සමීප ඇසුරු අතරට එන්නේ ඔකේගේ මිතුරා ලෙස ඔහු ඒ මාපියන්ගේ ද ආදරය දිනාගන්නා හෙයිනි. ඒ හා සමගින් අසල්වැසියන්ගේද, ගම්වාසීන්ගේ ද සම්මතයන් මායිම් නොකරමින් නිදහස් කෙල්ලක ලෙස වැඩෙන්නට අවශ්‍ය පසුබිම ඔකේ වෙත සලසාදෙමින් යන නූතන මැලේ පවුලක් ලෙස ඔකේගේ පවුල කටයුතු කරන හෙයිනි.

යස්මින් අහමඩ් විසින්, සෙපෙට් හා ගුබ්රා නමින් නිපදවූ තවත් චිත්‍ර‍පට දෙකක අවසන් කෘතිය වූ ‘මුක්හ්සින්‘ තුන් ඈඳුතු සිනමා එකතුවක මැලේසියානු උදාහරණයයි. ඔකේගේ යොවුන් හා තරුණ අවදිය හා බැඳ‍ෙන මුල් කෘති, අවසන් කෘතිය සමගින් යළි හැරී ඇගේ ළමා කාලයට පැමිණේ. ඒ හා සමග තරුණ වයසේ වන ඔකේගේ මාපියන් ද සමග එක්ව එය මැලේසියානු සංස්කෘතිය වෙත ද විමසුම් බැල්මක් එල්ල කරයි.



එංගලන්ත අධ්‍යාපනයක් ලබා ඇති ඔකේගේ තරුණ මවත්, වෙනස්, නිදහස් පැවතුම් සහිත පියාත් පමණක් නොව ඔකේගේ නිවසේ මෙහෙකාරියත් සම්මතයන් මත පදනම් ව සමාජය විමසන හා වෙසෙන චරිතයෝ නොවෙති. සංගීතකාමී, ක්‍රීඩාකාමී ඔවුහු සාම්ප්‍ර‍දායික මැලේ වැසියන්ගේ විවේචනයට ද අවලාදයට ද ලක් වෙති. එසේ වුවත්, ඔකේගේ ජීවන පැවතුම් හරහා ඉදිරියට ගලන සිනමා කෘතිය නිදහස් හා නිවහල් චින්තනයක හා ජීවන සම්ප්‍ර‍දායක ඇති අරුමැති බව හා අනගි බව පිළිබඳ සංඥා සපයයි.

චිත්‍ර‍පටය ඇරඹෙන්නේ පාසැල් නිවාඩුව පිණිස පිටව යන ඔකේට එළඹෙන නිවාඩු සමය පිළිබඳ රචනාවක් ලියාගෙන එන්නැයි පන්තිභාර ගුරුවරයා කරන ඉල්ලීමකිනි. චිත්‍ර‍පටයේ අවසානයේ යළි පාසැල වෙත යන ඔකේට කෙළිදෙලෙන් පිරුණු නිවාඩු සමයක් ගැන ලියන්නට රසවත් කිසිවක් ඉතිරිව නැත. නිවාඩුව පුරා ඇය හා උන් මුක්හ්සින් සමග සුළු අඩදබරයක් කෙළවර උරණ වීම හේතුවෙන් ඔහු ගම්මානයෙන් පිටව යද්දී සමුගන්නටවත් ඇයට අවස්ථාව ලැබී නැත. සිනමා කෘතියේ කිසිදු රූපයක හමු නොවන, මුක්හ්සින් ඇය වෙත තිළිණ කළ සරුංගලයේ කෙළවරක ඔහු ඔකේ වෙත ලියා තැබූ, අපට අනුමාන කරන්නට සිනමාකාරිණිය ඉඩ සලස්වන, වැකිය සමගින් ඇය ජීවිතයේ තවත් ඉසව්වකට මුහුකුරා යමින් සිටී. ඔකේ ද රැගෙන පාසැල් බස්රථය යළි පාසැල් බිම වෙත එන්නේ ඒ ජීවන ඉසව් පිළිබඳ මහරු මතකයන් අපගේ ජීවන අතීතයෙන් ද යළි අවදි කර දෙමිනි.

- ප්‍රියන්ත ෆොන්සේකා -