Monday, July 24, 2023

Museum (Theatre), යාපන පුස්තකාලය, ආචාර්ය එච්.එස්. ඩේවිඩ් පියතුමා සහ ලෝජි



‘මියුසියම් (තියටර්)’ නැතිනම් ‘කෞතුකාගාරය (රඟහල)’ කියන දෘශ්‍ය කලා හා අභිවහනමය ප්‍රාසාංගික ක්‍රියාකාරකම අපි පළමුවරට ගෙන ආවෙ 2022 අවුරුද්දෙ මහනුවර දි. හරියටම ‘අරගලයෙ’ මහා පිපිරුම සිද්ධවුණු ජූලි 09 වෙනිදට සතියකට කලින් මහනුවර ‘කැන්ඩි සිටි සෙන්ටර්’ එකේදි අපි ඒක කළා, ජූලි 01, 02 සහ 03 හැටියට දවස් තුනක්. ශේක්ෂ්පියර්ගේ ‘හැම්ලට්’ පදනම්ව ජර්මානු නාට්‍ය රචකයෙක් වන හයිමන් ම්‍යුලර් ලියන ‘හැම්ලට්-මැෂින්’ කියන පශ්චාත් නූතන නාට්‍යමය පෙළ තමයි ‘කෞතුකාගාරය (රඟහල)’ ට පදනම හදන්නෙ. ඒකෙ ප්‍රධාන නිර්මාණකාරිණිය ප්‍රංශ ජාතික ක්ලයිඩ් ෂැබෝ. ඇය සෝබෝන් විශ්වවිද්‍යාලයේ හිටපු ආචාර්යවරියක්. La Communauté inavouable කියන, තමන්ටම අයිති දෘශ්‍ය හා රංග කලා නිර්මාණායතනය එක්ක ක්ලයිඩ් ‘හැම්ලට් මැෂින්’ සහ ‘කෞතුකාගාරය (රඟහල)’ අරගෙන ලෝකය පුරා යනවා අවුරුදු 20ක්. ඒක විශිෂ්ට සහ අපූර්ව ගමනක්!

ක්ලයිඩ් පේරාදෙණියෙ ලලිත කලා අධ්‍යයනාංශයට ආවෙ කොරෝනාව ලෝකය ගිලගන්න ටික දවසකට උඩදි. ඒක නිසා නිර්මාණය ලංකාවෙ කරන්න අපි දෙන්න අතර කෙරුණු සාකච්ඡා දීර්ඝ වෙලා, ඒක ඇත්තටම සිද්ධ කරන්න 2022 ජූලිි වෙනකම් ඉන්න වුණා. ඒ නිසා හොඳ දේවල් ගොඩක් වුණා. ප්‍රධානම හොඳක් තමයි චමිල ප්‍රියංක මේ නිර්මාණයේ ප්‍රධාන කොටස්කාරයෙක් බවට පත් වුණු එක. ඒ චමිල පේරාදෙණියෙ කථිකාචාර්යවරයෙක් හැටියට වැඩ කරන්න සම්බන්ධ වුණු නිසා. දෙවැනි හොඳ ඒක සිද්ධ වුණු වෙලාව! මිනිස්සු පාරට බැහැල... තෙල් නෑ! වාහන නෑ! රස්සාවට යන්න විදියක් නෑ! බඩුවල ගණං අහසෙ!!

‘මියුසියම් (තියටර්)’ හරිම වෙනස්, අපූරු අත්දැකීමක්. ඒක එක එක විදියෙ වැඩ කීපෙක එකතුවක්. සරලව කිව්වොත්, ‘කෞතුකාගාරය (රඟහල)’ පරිශ්‍රයට එකතුවෙන ඔබට මුලින්ම පෙනෙන්නෙ හැම තැනම විසිරුණු, භාෂා කීපෙකින් ලියවුණු වචන. ලංකාවෙදි තිබුණෙ, සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ප්‍රංශ සහ ජර්මන් භාෂාවලින්. ඒවා හයිමන් ම්‍යුලර්ගේ ‘හැම්ලට්-මැෂින්’ පිටපතේ වචන බව අපිට දැන ගන්න ලැබෙනව. ‘ප්‍රජාතන්ත්‍රවාදය’, ‘හැම්ලට්’, ‘ඔෆීලියා’, ‘මගේ ජනතාව’, ‘කන්‍යාව’ වගේ සෘජුව එකකට එකක් සම්බන්ධ නැති වචන සීයක් විතර මේ පරිශ්‍රයේ බිම විසිරිලා... ඇතුළට ආපු ගමන්ම ඔබත් මේ නිර්මාණයේ කොටස්කරුවෙක්/කාරිනියක් වෙනවා. ඔබට පුළුවනි ඔබ කැමති වචනයක් නැත්තම් දෙකක් තෝරාගන්න.

ඉන් පස්සෙ, පරිශ්‍රයේ මුණගැහෙනව ඡායාරූප ඇල්බම් 3ක්. ඒවායේ තියෙන්නෙ විවිධ රටවල විධිධ කලාපවල ඡායාරූප. සමහර දේවල් සෘජුවම දේශපාලනික අවස්ථා. සමහර දේවල් වස්තූන්වල දර්ශන හෝ විවිධ භූ දර්ශන.... හැබැයි මේ කොයි දේකටත් තියෙන අර්ථ අපිට අහුවෙන්න ගන්නව. ලංකාවෙදි මේ ඡායාරූප එක්ක ලංකාවටම වැදගත් ඡායාරූප 20ක් 25ක් විතර තියෙනව. ඉතින් ඔබට පුළුවන් ඔබේ ඡායාරූපය තෝරන්න. ඔබ ලාංකිකයෙක් කියල ඡායාරූපය මෙහෙ එකක් විය යුතුයි කියල කිසිම සීමාකිරීමක් නෑ. 

දැන් ඔබට පුළුවන් තෝරාගත්ත ඡායාරූපයේ අංකය එතන ඉන්න පරිගණකය මෙහෙයවන්නට දෙන්න. 2022දිත්, මේ ඊයෙ පෙරේදා මේක අපි ආයෙම යාපනේ කරද්දිත් මේ මෙහෙයවීම කළේ ප්‍රංශ ජාතික රොලොං... ක්ලයිඩ්ගෙ ස්වාමි පුරුෂයා! ඉතින් ඔහු මේ ඡායාරූපය තිරයකට ප්‍රක්ෂේපනය කරාවි. ඔබට තියෙන්නෙ ඔබේ ඡායාරූපය ඉදිරියෙන් අර තෝරාගත්ත වචන/ය එක්ක හිටගන්න. ඔබ වෙනුවෙන්ම එතන ඉන්න ඡායාරූප ශිල්පියා ඔබේ සේයාරුව සටහන් කර ගනීවි. දැන් ම්‍යුලර්ගේ පිටපතෙන් වචනයක් ඔබම තෝරාගෙන, ක්ලයිඩ්ල තියපු ඡායාරූප අතරින් සුදුසුම කියල හිතුණු ඡායාරූපයක් ඔබම තෝරාගෙන ගන්න මේ ඡායාරූපය එක්තරා විදියට ඔබම ලියන ක්ෂුද්‍ර ආඛ්‍යානයක්!! ඒ ‘වචනය’ හා ‘රූපය’ එක්ක ඔබට කතාවක් ඇති!! ආ... ඒ ඡායාරූපය ඔබට ලැබෙනවත් එක්ක.

ඊට අමතරව මේ පරිශ්‍රයේ ඊට පෙර ලෝකයේ කෙරුණු ‘කෞතුකාගාරය (රඟහල)’ වැඩසටහන්වල ඡායාරූප එකතූන් වගේම, ඔබ එන්න කලින් එතනට ආපු ඒ වැඩසටහනේ අයගෙ ඡායාරූප පරිගණක තිර හරහා ප්ලේ වෙමින් තියෙනව. ඊටත් අමතරව විවිධ රටවල විවිධ භාෂාවලින් පටිගත කෙරුණු ‘හැම්ලට්-මැෂින්’ පෙළ ඔබට ශ්‍රවණය කරන්නත් පුළුවන්, හෙඩ් ෆෝන්වලින් තමන් කැමති භාෂාව තෝරගෙන. ලංකාවෙදි මේ පෙළ පටිගත කළේ කෞෂල්‍යා ප්‍රනාන්දු එක්ක අජන්තන් මුරුගේසු. 

‘හැම්ලට්-මැෂින්’ නාට්‍යය තිබුණෙ කලින් වෙන් කළ වෙලාවල. පළවෙනි දවසෙ දෙවතාවක් සහ දෙවෙනි සහ තුන්වෙනි දවසවල වතාවක් විදිහට හතර වතාවක් අපි ‘හැම්ලට්-මැෂින්’ පෙන්නුවා. නමුත් නුවරදි කරපු ‘හැම්ලට්-මැෂින්’ නෙවෙයි යාපනේදි කරපු ‘හැම්ලට්-මැෂින්’!

‘හැම්ලට්-මැෂින්’ කොහෙත්ම ස්ථිර ගලායෑමක් ඉල්ලන, පෙළට ඇලුණු නාට්‍යමය ඉදිරිපත් කිරීමක් නෙවෙයි. අපිට පුළුවනි ඒක කඩා බිඳ දමල වැඩ කරන්න. හැම්ලට්-මැෂින් එකේදි නූතනයෙ ඉන්න හැම්ලට්, හැම්ලට් පෙළ හරහා වගේම යුරෝපා නාට්‍ය ඉතිහාසය හරහාත්, විසිවෙනි සියවසේ යුරෝපා ඉතිහාසය හරහාත් යනවා. ටෙලිවිෂන් එක්ක එන පරිභෝජන සමාජයත් අපිට පෙනී නොපෙනී යන තැන් එනව. ඒ අතරෙ හයිමන් ම්‍යුලර්ගේ පෞද්ගලික ජීවිතය හරහාත් නොයනවාම නෙවෙයි.

අපි වැඩ කරද්දි හැම්ලට්ට මුණ ගැහෙන හොරේෂියස් වුණේ උඩරට බෙර වාදකයෙක්! ඔහු මුවින් නම් දෙබස් කිව්වෙ නෑ. නමුත් ඔහුගේ බෙරය හා ශරීරය තදින් සන්නිවේදනයට එකතු වුණා. ග්‍රීක ඉතිහාසයෙන් එන ඉලෙක්ට්‍රාගේ වේදනාවන් බෙදාගන්නෙ අපේ ඉතිහාසයෙන් එන කුවේණිය ද කියන සිතුවිල්ල ප්‍රේක්ෂාගාරයේ තිබුණ වෙන්නත් පුළුවනි. ඒත් එක්ක ‘කොකාකෝලාවට ජයවේවා! නැත්තං ‘වාල්ග කොකාකෝලා’ කියන දෙබස එන නාට්‍යයෙන් පස්සෙ ඇත්තටම ‘කොකාකෝලා’ බොන්න පරිශ්‍රයෙදි ඔබට පුළුවනි. ඒ කොකාකෝලාමය පරිභෝජන ලෝකය ගැන හිතමින්.

අරගල පරිසරය අස්සෙ, බස් නැතුව පයින් යමින්, කන්න තැනක් නැතුව අමාරුවෙ වැටෙමින් පේරාදෙණියෙ කණ්ඩායම එක්ක 2022 ජූලියෙ කරපු වැඩසටහන විශිෂ්ටයි. නමුත් හරියටම අවුරුද්දකට පස්සෙ 2023 ජූලියෙ යාපනයෙ ‘කලම්’ ආයතනයෙදි පේරාදෙණි ’22 කණ්ඩායමෙන් පිරිසකුයි (චමිල, මම, හසන්ති, දිනුකි, රජීව්, විදුර, නිම්තරා, කාංචන), යාපන විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් සහ උපාධිය නිම කරපු පිරිිසකුයි, එහෙ ඉන්න ප්‍රාදේශීය කලා බිමේ දක්ෂයෙකුයි එක්ක කරපු ක්‍රියාකාරකම සුවිශේෂයි. 2023 ජූලිය වෙනකොට ’83 කළු ජූලියට අවුරුදු 40ක් පිරිල! අරගලය සිද්ධ වෙලා අවුරුද්දයි!!

****

‘හැම්ලට්-මැෂින්’ සඳහා පුහුණු වුණු වගේම පෙන්නපු ඒ දවස් ගාණ බොහොම අත්දැකීම් අපේ කණ්ඩායමට එකතු කරපු කාලයක්. අපිට මුණ ගැහුණු ආචාර්ය රදිදරන්, නිකොලස්, වසන්, ලෝජි, ගෞතමී, පෝල්, මධූ, කුවේනිතා, කජන් ඇතුළු කණ්ඩායම සමහර කතා අපිට කිව්වා. සමහර ඒවාට අපි මුහුණ දුන්නා. තවත් බොහොම දේවල් එයාල නොකියන්නත් ඇති.

නොකියා හිටපු දහස් ගණන් කතා අපි නොදන්නව වුණාට, කිහිපයක් අපි හොඳටම දන්නවා. ඒ එකක් තමයි යාපනය පුස්තකාලය ගැන කතාව!

යාපනය පුස්තකාලය බලන්න අපි හැමෝම ගියා. ‘බලපං අයියෙ, කරපු හොඳම ගොං වැඩක් නිසා මේක දැන් ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් එකක් වෙලා තියෙන්නෙ!’ චමිල මාත් එක්ක කිව්වා. ක්ලයිඩ්, රොලොං, ජූලි ඇතුළු ප්‍රංශ ජාතිකයො, රෙකාඩා වගේ ජර්මානුවො, අපි දකුණෙ අය, ලෝජිල, ගෞතමීල වගේ උතුරෙ අය ගියෙ එකම බස් එකක පුස්තකාලෙට.

පුස්තකාලෙ ගිනිබත් කරල, පොත් සහ අත්පිටපත් 97,000ක් රටට අහිමි කරන්නෙ ඒ කාලෙ රජයට සම්බන්ධ මැරයො කියල යන හැමෝටම පුස්තකාලයෙන්ම කියනව. ඒක රිදෙන දෙයක්. ‘කොයි තරම් දේ කළත් ඒ අතීත වැරැද්ද ආයෙ හදන්න බෑ’ මම දිනුකිට කිව්ව කියල මට මතකයි. දෙවියනේ.... පොත් ලක්ෂයක් විතර!!! ගින්දර ගොඩේ!! මහාචාර්ය නුහ්මාන් ‘බුදුන් මරා දැමූ බව’ කියමින් පුස්තකාලයට කළ විනාශය ගැන ලියපු කවිය ගැන මතක් කළේ හසන්ති.

පුස්තකාලෙන් එළියට එන්න හදද්දි මාව පිච්චුණු (මෙතන පළවෙන) ඡායාරූපය මගේ ඇස්වල වැදුණ. ඒ ආචාර්ය එච්.එස්. ඩේව්ඩ් පියතුමාගේ සේයාරුව. ඒක ඇතුළු වෙන පරිශ්‍රයේම වම් පැත්තෙන් උසට තිබුණ. ඩේව්ඩ් පියතුමා තමයි පුස්තකාලය ගිනි ගන්න බව දැනගත් ගමන්ම පපුවෙ අමාරුවෙන් මැරෙන්නෙ. පරණ බණ කතාවල හැටියට නං හදවත පැළිල! ඒ එතුමා පුස්තකාලය එක්ක තිබුණු බැඳීම නිසා. ඒ කතාව හොයාගෙන යා යුතු, අමතක නොකළ යුතු කතාවක්.

එච්.එස්. ඩේවිඩ් පියතුමා

පුස්තකාලයේ දැක්මම මට නම් තිගැස්මක්. ඒක නොවෙන්න ඕනෙ දෙයක්. ඒ නිසාම ‘කෞතුකාගාරය (රඟහල)’ පරිශ්‍රයේ ඇල්බම්වල තිබුණු පුස්තකාලයේ ඡායාරූපය මට වැදගත්ම වුණා. ඒත් එක්ක වැදගත් වුණු මනුෂ්‍ය චරිතය ලෝජි.

ලෝජිනී වවුනියාවෙ. මේ වැඩසටහනේ යාපන කණ්ඩායමෙන් ආචාර්ය රදිදරන්, නිකොලස් ඇරුණම වෙන කිසි කෙනෙක් මම කලින් අඳුනන අය වුණේ නෑ. ලෝජිත් හිටියෙ ඒ නොඅඳුනන පිරිස අතරෙ.

වැඩේ අතරතුරේ අපි සෑහෙන්න අඳුනගත්ත. අපේ කණ්ඩායමේ එකම දමිළ සාමාජිකයා වුණු රජීව් පාලම් නිර්මාණකරුවා වුණා. මම නොදන්න දෙමළ භාෂාවත්, යාපනේ පිරිස නොදන්න සිංහලයත් මැදට ඉංග්‍රීසි උදව්වට ආවට ඒ හැමවෙලේම නෙවෙයි. ඉංග්‍රීසියත් චතුරව නොවහරපු ලෝජි කතා කළේ දන්න සිංහල වචන ටිකකින්... නැත්තං ඇස්වලින් එක්ක අත්වලින්. මගෙ ඇතුළෙ හිටපු දෙමළ නොදන්න ප්‍රියන්ත ගැන මට නම් ලජ්ජා හිතුණා.

තව බොහොම අය හිටියට ලෝජි හැම පර්ෆෝම්න්ස් එකකට කලින්ම තමන්ගෙ මෝබයිල් ෆෝන් එක මට දිගු කරනවා

‘සර්..!’ එයා මගේ සාක්කුවක් පෙන්නලා හිනා වෙනවා. ඒ ඉලෙක්ට්‍රොනික් උපකරණයෙ ආරක්ෂකයා වෙන්නෙ මම, නාට්‍යය ඉවර වෙනකම්.

දවල් කෑම වෙලාවට, අපි එතන නම් ලෝජි වතුර කෝප්පයක් තියෙනවා හිනා වෙලා. තේ වෙලාවක නම් තේකක්... ‘ෂුගර්?’ එහෙමත් අහනවා.

අන්තිම දවසෙ කැඩුණු සිංහලයි ඉංග්‍රීසියි එක්ක ලෝජි කිව්වෙ මම එයාගෙ ගෙදර දවසක එන්න ඕනෙ විත්තියක්. වවුනියාවෙ කෝච්චි ස්ටේෂම එක්කම මහ පාර අයිනෙම තියෙන නිසා ගෙදර හොයාගන්න හරිිම ලේසියි කියල එයා මට කිව්ව. ඒ ආරාධනයට ටිකකට කලින් මම කරපු ආරාධනයට ලෝජි මාත් එක්ක යාපන පුස්තකාලය පසුබිමෙන් තියාගෙන ඡායාරූපයක් ගත්තා.

My People’ මම තෝරාගත්තා.

Life’ ලෝජි තෝරාගෙන තිබුණා.

අපි ලියපු ක්ෂුද්‍ර ආඛ්‍යානය මේක වාර්තා කරන්න ලේක්හවුසියෙන් එහෙටම ආපු අනුරාධා පෙරේරා ඔබ්සවර් පත්තරේ ඇතුළු කලාපයක කවරයට අරන් තිබුණා අපිත් නොදැනම!

ලෝජිලා නෑගම් එන්න කරපු ආරාධනා අපිට මිස් වුණා. අපි එයාලට ආරාධනා කළා ද මම දන්නෙ නෑ. දැන්වත් මම ලෝජි(ලා) බලන්න යන්න ඕනෙ.

‘මෙහෙ ආවම වෙන රටකට ආව වගේ දැනෙන්නෙ’ කියල නිම්තරා කිව්ව කතාව වෙනස් වෙන්න ඉඩ තියෙන්නෙ එතකොට. ෆාදර් ඩේවිඩ් ආයෙ එන්නෙවත්, ගිනි ගත්ත පොත් 97,000 ලැබෙන්නෙවත් නැති වුණාට අනාගතයේ ලෝජිලාගේත් එයාලගෙ දරුවන්ගේත් පරම්පරාවලට වෙනස් ආඛ්‍යාන ලියන්න හිතේවි එතකොට!

 

ප්‍රියන්ත ෆොන්සේකා

 

 

Friday, July 23, 2021

අධ්‍යාපනය සම්බන්ධ අරගල අතරතුර ලියමි!


 අධ්‍යාපන අර්බුදය: පළමුවෙනි කොටස

විදේශයක සිටින, නමුත් ශ්‍රී ලංකාවේ දේශපාලනික සමාජ වටපිටාව පිළිබඳ ඉතා සවිඥාණික තැනක සිටින මිතුරෙක් දැනට සති කිහිපයකට පෙර (වෛද්‍යවරයෙකු ලෙස මෙරට සේවය කරන) ඔහුගේ මිතුරෙකු ලියූ සටහනක් ෆේස්බුක්හි පළ කොට තිබුණේ මාගේ නම ද එහි ‘ටැග්’ කරමිනි. අදාල වෛද්‍යවරයා කොරෝනා හමුවේ ලාංකික සිසු ප්‍රජාව මුහුණ දී ඇති ගැටලු රැසක් මතු කරමින් ඒ සඳහා රජයේ ස්ථාවරය විමසා තිබිණ. ‘ඔන්ලයින්’ අධ්‍යාපනය හා බැඳි ගැටලු හා සීමා, රූපවාහිනිය වඩාත් විධිමත්ව අධ්‍යාපනය සඳහා භාවිතා නොකරන්නේ ඇයි?, පාසැල් විවෘත කිරීම සඳහා ඇති වැඩ පිළිවෙල කුමක්ද? යනාදිය වඩාත් පුළුල් ප්‍රශ්න රැසක් ඔස්සේ ඔහු විසින් මතු කරනු ලැබ තිබිණ.

මේ ලිපි මාලාව ලිවීමට තීරණය කළ දිනයේ මා දුටුවේ එම රටේම පදිංචි තවත් මිතුරෙක් මා මෙහි පළ කොට ඇති කාටූනය සිය ෆේස්බුක් පිටුවේ පළ කරමින්, එයට ඉහළින් ‘ගුරු සංගම්’ ලෙස නම තබා, මේ වන විට නැගී ඇති ගුරු වර්ජනය හාස්‍යයට ලක් කොට ඇති අන්දම ය. විදේශයක ‘දැනෙන සුළු වැටුපක්’ ලබමින් හිඳිමින් මෙලෙස ගුරුවරුන් පහත් කොට සැලකීම යුතුදැයි මා ඔහු විමසූ විට ඔහු කීවේ ඔහුගේ විවේචනය ගුරු සංගම්වල අතකොළු බවට පත්ව ඇති ගුරුවරුන්ට මිස සියල්ලන්ට නොවන බව ය.

පළමු ඡේදයේ මා සඳහන් කළ මිතුරාගේ ෆේස්බුක් පෝස්ටුව මා ගුරුවරියක් වන මගේ බිරිඳ වෙත දැක්වූ විට එහි ඇති කරුණු කිහිපයකටම ඇය එකඟතාව පළ කළේ නැත. ඒ වන විටත් ජාතික රූපවාහිනියේ ‘චැනල් අයි’ සහ ‘නේත්‍රා’ නාලිකා පාන්දර හතරේ පටන් අධ්‍යාපන වැඩසටහන් දිනපතා විකාශය කරන බව ඇය කීවා ය. එසේම එම වැඩසටහන්වල තොරතුරු විදුහල්පතිවරුන් හරහා ඇය වෙත මෙන්ම සෙසු ගුරු මණ්ඩල සාමාජිකත්වය වෙත ද ලැබී තිබිණ. එසේ නම්, ඉහත වෛද්‍යවරයාගේ එක් තර්කයක් නැතිනම් පැනයක් පුස්සක් විය යුතු ය. එවැනි අදහසකින් නොවූවත් මා මගේ මිතුරාගේ පෝස්ටුවට මෙහි අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මේ මොහොතේ අප මුහුණ දෙන කොවිඩ් තත්වය හමුවේ ක්‍රියාත්මක දේ පිළිබඳ දැනුම් දීමක් කළෙමි. දිගු දුරකථන ඇමතුමක් දක්වා යොමුවුණු ඔහුගේ ප්‍රතිචාරය අවසානයේ දැඩි ඉල්ලීමකින් කෙළවර විය.

“මචං, උඹල මේව ලියන්න ඕනෙ!”

කොතලාවල පනත නමින් ගෙවුණු දින කිහිපය තුළ ඉමහත් ආන්දෝලනයක් ඇති කළ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව රට තුළ දැඩි විරෝධයක් නැගී ආවේ ගෙවුණු සති කිහිපය තුළ ය. ඒ හා සමාන්තරව, වසර 23ක් මුළුල්ලේ විසඳී නොපවතින ගුරු වැටුප් විෂමතා සම්බන්ධයෙන් ද ගුරු සංගම්වලින් දැඩි විරෝධතා නැගෙනු පෙණින. එහි ආසන්නතම ප්‍රතිඵලයක් වූයේ, එයට එරෙහිව පාර්ලිමේන්තුව අභියස විරෝධතා දැක්වීමකට පැමිණි දේශපාලන සහ වෘත්තීය සමිති නායකයින් ඇතුළු කණ්ඩායමක් අත් අඩංගුවට ගැනීමයි; අනතුරුව ඔවුන් උසාවි නියෝගයක් හෝ සෞඛ්‍ය නීතියක් හෝ පදනම් නොකොටගෙන, නිරෝධායනය සඳහා යැයි කියා රටේ විවිධ බැහැර ප්‍රදේශවල ඇති නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමයි. විරෝධයට එක් වුණු, වයස්ගත මවක් සහ භික්ෂුන් වහන්සේ නමක් කුදලාගෙන යාමෙන් පොලිසිය කෙරෙහි ද දැඩි පිළිකුලක් බොහෝ පාර්ශව වෙතින් එල්ල වූයේ, ප්‍රතිඵලය ලෙස දක්නට ලැබුණේ රට පුරා විවිධ ආකාරයේ විරෝධතා නැගී ඒමයි. දැන් එය එහි උච්චස්ථානය කරා යොමුවෙමින් තිබේ.

එක් අතෙකින් රටේ අගනුවර ඇතුළු බොහෝ නගර මුල් කරගනිමින් විරෝධතාදිය ය. තවත් පසෙකින් පාලක පක්ෂයේ දේශපාලකයින් හා ඔවුන්ගේ අනුගාමිකයින් මේ විරෝධතාකරුවන්ට එල්ල කරන විවේචන ය.

ඒ හා සමග මගේ මිතුරාගේ ඉල්ලීම දැන් මගේ හදවතින්ම නැගෙමින් තිබේ.

“උඹ දැන් ලියන්න ඕනෙ!”

මෙය තනි ලිපියක් නොවේ. අධ්‍යාපනය හා බැඳුණු අර්බුද හා ගැටළු මාලාවක් පිළිබඳ මගේ අත්දැකීම් හා අවබෝධය පදනම් කරගත්, සරල ලිපි කිහිපයකි. මම පාසැල් ගුරුවරයකු නොවන හෙයින් ඔවුන්ගේ වෘත්තීය ගැටළු පිළිබඳ අවබෝධය ලබා ගන්නේ ගුරුවරියක් වන බිරිඳ, ගුරු සේවයේ කටයුතු කරන මිතුරු මිතුරියන් ඇතුළු හා සංවාදයේ යෙදීමෙනි. විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙකු වුවත්, සමස්ථ අධ්‍යාපන ක්ෂේත්‍රය හා බැඳුණු ගැටළු සම්බන්ධව ද මා අවබෝධය පුළුල් කරගන්නේ ඒ පිළිබඳව වන විවිධ මතිමතාන්තර විමසමිනි. ඒ හා සමග, කතා කළ යුතු මාතෘකා මහත් ප්‍රමාණයක් මගේ මනසට නැගී ඇත. ඒ මොනවාද?

·        අධ්‍යාපනය පිළිබඳ සමාජ, දේශපාලනික වශයෙන් ඇති දුරවබෝධයන්

·        අධ්‍යාපනය හා සබැඳෙන කරුණු අර්ථ ගැන්වීමේ දී මතුවන ගැටළු සහ ප්‍රතිවිරෝධයන්

·        අධ්‍යාපන ක්ෂේත්‍රය හමුවේ අසීමිත ලෙස බලපැවැත්වෙන දේශපාලනික මැදිහත්වීම්

·        සමස්ථයක් ලෙස මෙම අර්බුද නොතකා හැරීම හේතුවෙන් අනාගත පරපුර ඇද වැටීමට නියමිත අගාධයන් පිළිබඳ සමාජය දක්වන බිහිසුණු නිහැඬියාව

මා මෙම ලිපි මාලාව තුළ සාකච්ඡා කරන්නට අදහස් කරන්නේ ඉහත සඳහන් කලාප හා බැඳී එන කරුණු පෙළකි. ඒ සියල්ලට පෙර මා මෙම ලිපිය සඳහා ප්‍රවේශයක් ලබා ගනිමින් සඳහන් කළ උදාහරණ දෙක ගැන පමණක් ලියා ඉදිරි ලිපිය තෙක් විරාමයක් ගන්නට මට අවසර දෙන්න.

විදේශයක වෙසෙන, මගේ මුල් මිතුරා මට ‘මචං, උඹල මේව ලියන්න ඕනෙ!’ කීවේ ඇයි?

සැබවින්ම අපට පෙනී ගියේ, සාමාන්‍යයෙන් මෙවැනි තත්වයන් හමුවේ අපැහැදිලි කලාප හමුවීම සිදු විය හැකි වුවත්, පාසැල් අධ්‍යාපනය හමුවේ ක්‍රියාත්මක වෙමින් පැවති වැඩ සටහන් පෙළ, දරුවන්ටත් ගුරුවරුන්ටත් අතිශය අහිතකර පසුබිමක් වෙත දිවෙමින් තිබුණු බවයි (ඒ අද මෙය පළ කෙරෙන මොහොතේ හමුවන වෘත්තීය ගැටළුවලට පෙරාතුව දේ ය.). එනම්, පළමු උදාහරණයේ දී වෛද්‍යවරයා නගන පැනය විශ්ලේෂණය කිරීමේ දී පෙනී ගියේ වසංගතය හමුවේ පාසැල් අධ්‍යාපනය වෙනුවෙන් කිසිදු එකමිතික වැඩසටහනක් නොවන බවයි. මහ රජය යටතේ වන අධ්‍යාපන අමාත්‍යාංශයත්, එක් එක් පළාත් අධ්‍යාපන ආයතනත් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පාසැල් ගුරුවරුන් ඔන්-ලයින් ඉගැන්වීම් සඳහා යොමු කර තිබුණත්, දරුවන්ට ඒ සඳහා දැනුම් දී තිබුණත් ඒවා අතර එකමිතියක් තිබෙන බවක් නිරීක්ෂණය කළ හැකි වූයේ නැත. පහසුකම් ඇති දරුවන් සිටින ඉහළ ඇගයුම් සහිත පාසැල්වල දරුවන්ට ලැබෙන ඔන්ලයින් අධ්‍යාපනයත්, දුරබැහැර පාසැල්වල පහසුකම් විරහිත පරිසරවල දරුවන් ලබන ඔන්ලයින් අධ්‍යාපනයත් එක කෝවක තබා සාමාන්‍ය පෙළ දී හෝ උසස් පෙළ දී නැතිනම් ශිෂ්‍යත්වයක දී හෝ මැන බලන්නේ කෙසේ ද?

ඒ වෙනුවෙන් හැකි තරම් සමාන තත්වයන් ගොඩ නැගීමට කටයුතු කළ යුතු වුවත්, බලධරයින් කටයුතු කරමින් තිබුණේ සහ තිබෙන්නේ පැලැස්තර අලවන ස්වරූපයකින් මෙන්ම ධූරාවලිය තව දුරටත් පුළුල් වන ස්වරූපයකිනි. සමාන්තරව, කිසිදු එකමිතියක් නැති, දරුවන් මංමුලා වන ස්වරූපයකිනි. මා එසේ කියන්නේ ඇයි?

වසංගතයේ දෙවැනි රැල්ලත් සමග පාසැල් වසා දැමුණු ක්ෂණයකින් ඉහළ අධිකාරීන්ට අධ්‍යාපනය සම්බන්ධ ඉදිරි වැඩසටහන් පිළිබඳ සාකච්ඡා ආරම්භ කළ හැකිව තිබිණ. දිවයින වැඩි වශයෙන් ආවරණය කෙරෙන ජාතික රූපවාහිනිය හෝ ස්වාධීන රූපවාහිනියත්, ජාතික ගුවන් විදුලියත් සහභාගී කරගනිමින්, සිසු සිසුවියන් සිග්නල් සොයමින් ගල් කුළු, වහලවල් සහ රූස්ස ගස් මත නොනංවන අධ්‍යාපන වැඩ සටහන් මාලාවක් සකස් කළ හැකිව තිබිණි. නමුත් ඒ වෙනුවට සිදු වූයේ උජාරුව පෙන්වන්නට මෙන්, සිග්නල් ආවරණ කලාප පිළිබඳව හෝ ගුරු සිසු මැදිහත්වීමේ හැකියාවන් පිළිබඳ කිසිදු තක්සේරුවකින් තොරව, ‘ඔන්ලයින් අධ්‍යාපන වැඩ’ පටන් ගැනීමයි. ඒ ද ඇරඹුණේ සැලකිය යුතු නිහැඬියාවකින් පසු ය. වසංගතය පිළිබඳ පැණි, මුට්ටි පා කිරීම් ඇතුළු සියලු මිත්‍යාවලින් අනතුරුව විද්‍යාව (අවබෝධයකින් තොරව හෝ) පිළිබඳ විශ්වාසය තබා ඇති පාලක ‘එකමුතුව’ සිදු කරන එකකට එකක් අසම්බන්ධිත ක්‍රියා අතරතුර නාලිකා ද දැන් පැමිණ තරගයට සිසු පරපුරට දැනුම බෙදා දීම අරඹා ඇත. ඒ අනුව, චැනල් අයි වැඩ පටන් ගන්නේ පාන්දර 4ට ලු! සෙසු විවිධ නාලිකා ද වැඩ එක් එක් වේලාවල අරඹනු ඇති! ඒ හා සමග, ගුරුවරුන්ගේ ඔන්ලයින් පාඩම් ද (මේ දිනවල වර්ජනය නිසා තාවකාලිකව නැවතී තිබුණත්) විදුහල්පතිවරන්ගේ, කලාප අධ්‍යක්ෂවරුන්ගේ, පළාත් අධ්‍යක්ෂවරුන්ගේ, අධ්‍යාපන ලේකම්වරුන්ගේ, රාජ්‍ය ඇමතිවරුන්ගේ හරහා අවසන අධ්‍යාපන ඇමතිගේ ‘මෙහෙයවීම හා අධීක්ෂණය’ යටතේ ටක්කෙටම සිදු වෙමින් පවතී. ඉඳහිට දරුවකු හෝ දැරියක ගලක් පල්ලේ ලිස්සා තිබුණ ද, අලි ප්‍රහාරවලට බිය වී සැඟවී තිබුණ ද අධ්‍යාපනය නැවතී නැත!!

ඉහත ඇත්තේ ඉතා සරලව තත්වය දැක්විය හැකි එක් ස්වරූපයකි. අධ්‍යාපනය පෙවීමට තරගයට බැස ඇති අධ්‍යාපන ඇමතිවරයා ප්‍රමුඛ පාලනාධිකාරිය, පළාත්, කොට්ඨාශ ඇතුළු මෙහෙයුම් මධ්‍යස්ථාන, ඒ හමුවේ අසීරුවෙන් හෝ කුමක් හෝ කළ යුතු තත්වයකට පත්ව සිටින ගුරු-විදුහල්පති ප්‍රජාව, ජාතික හා ප්‍රාදේශීය රූපවාහිනී හා ගුවන් විදුලි නාලික‍ා, නාගරික මට්ටම්වල සිට වසංගතයේ පිහිටෙන් රටම ආවරණය කරන්නට පැනගෙන ආ ටියුෂන් මුදලාලි පන්තිය, යළි මේ සියල්ල අප කළතා පෙරා ඇති බව කියමින් යූටියුබ් නාලිකා ද සදා දෙන ජාතික අධ්‍යයන ආයතනය ඇතුළු කිසිවක් හෝ කිසිවෙක් තමා අභියස සිටින දරුවා මේ ගලා එන අපැහැදිලි රැල්ලෙහි ගිලී යන ආකාරය විමසිල්ලට ගෙන ඇතැයි යන්න මා නම් විශ්වාස කරන්නේ නැත.

ඉදින්, එහෙයින්ම, මා මේ ලිපි පෙළෙහි ආරම්භක සටහන මෙතැනින් කෙළවර කරන්නේ ලිපි කිහිපයකින් සාකච්ඡාව පෙරට ගෙන යන රිසියෙනි.

ඉදිරියට....

 

Wednesday, May 26, 2021

චූලානන්ද අප වෙත දිගු කරන දෙවොල්තොව්ගේ ‘සූට්කේසය’

 (2021 මැයි 23 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි. එහි මෙය පළ වූයේ 'අප වෙත ඇති සූට්කේසය කුමක්ද?' මැයෙනි.) 

රැසියානු, ආර්මේනියානු සම්භවයක් සහිත තැනැත්තෙකු වශයෙන් යෙර්ගෙයි දෙවොල්තොව් උපත ලබන්නේ 1941 වර්ෂයේ දී සෝවියට් සමූහාණ්ඩුවට අයත්, බෂ්කීරියා ජනරජයේ, උෆාහිදී ය.

යෙර්ගෙයි දෙවොල්තොව්
දෙවන ලෝක යුද්ධය ක්‍රියාත්මක සමයක උපත ලබා, එහි අවසන් තීරණාත්මක රුසියානු මැදිහත් වීම් සමයේ සිය ළදරු විය පසු කරන දෙවොල්තොව්ගේ මව ආර්මේනියානු කාන්තාවක වූ අතර පියා යුදෙව් සම්භවයක් සහිත තැනැත්තෙකි. දෙවොල්තොව්, ලෙනින්ග්‍රාද් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය අතරමග අතහැර දමා, අනතුරුව කවියන් සහ ලේඛකයින් ඇසුරෙහි කටයුතු කරමින් හිඳ, සෝවියට් අභ්‍යන්තර ආරක්ෂක කටයුතු ඇසුරෙහි බන්ධනාගාර ආරක්ෂකයෙකු ලෙස ද සේවය කොට, ජනමාධ්‍ය ක්ෂේත්‍රය වෙත පිවිස ඇත. කෙසේ වෙතත්, සංචාරක මග පෙන්වන්නෙකු ලෙස දිවිය සරි කරගන්නට ඔහුට සිදුව ඇත්තේ ඔහු ලියූ ලේඛණ සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව අභ්‍යන්තරයෙහි පිළිගැනීමක් නොලබන හෙයිනි. ඒ ලේඛණ ගණනාවක්ම ප්‍රකාශනයට ඉඩ ලැබී ද නොමැති පසුබිමක දෙවොල්තොව් නමින් යුතු රචකයෙකු පිළිබඳ රුසියානු ප්‍රජාවට අදහසක් ලබා ගන්නට ඉඩ ලැබී නැත.

දෙවොල්තොව් පිළිබඳ මේ ඉහළ ඡේදය සමාරම්භයේදීම තබන්නට හේතුව පෙර දිනක මා අතට පත් වුණු කෘතියකි. එය නවකතාවක පරිවර්තනයක් වන අතර එහි නම ‘සූට්කේසය’යි. විදර්ශන ප්‍රකාශනයක් ලෙස අප අතට පත් වන එහි පරිවර්තකයා චූලානන්ද සමරනායකයි.

‘සූට්කේසය’ නවකතාවෙහි මුල් රචකයා යට කී යෙර්ගෙයි දෙවොල්තොව් ය. 1978 වර්ෂයේ දී මෙම නව කතාවේ කතා නායකයා වන ‘දෙවොල්තොව්’ සෝවියට් රුසියානු සමූහාණ්ඩුවේ සිට ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වෙයි. සැබෑ රචකයා එය සිදු කොට ඇත්තේ 1979 දී ය. ‘සූට්කේසය’ ලියැවෙන්නේ 1986 දී ය.


‘සූට්කේසය’ අපූරු නවකතාවකි. එය සූට්කේසයක් ගැන ය. වැඩිමනත් ඒ තුළ ඇති දේ හා බැඳි සිදුවීම් ගැන ය. දෙවොල්තොව් නමැති කතා නායකයා සිය මව්රට අතහැර ඇමරිකා එක්සත් ජනපදය බලා යාමට රුසියානු ආගමන විගමන අංශවලින් සිදු කරන අවසර ගැනීම්වලදී ඔහුට රටින් පිටතට ගෙන යාමට අවසර ලැබෙන, පොප්ලින් කමිසයක්, බූට් සපත්තු ජෝඩුවක්, අත් මේස් යුවලක්, ලාබ විදේශීය මේස් ජෝඩුවක්, කලිසමක බඳ පටියක් ඇතුළු එකිනෙක අසම්බන්ධිත, වැඩි වටිනාකමක් නැති දේවල් කිහිපයක් ඒ තුළ වෙයි. නව කතාව විහිදෙන්නේ මේ එක් එක් දෙය හා බැඳි කතන්දර කතා නායකයා විසින් අප වෙත තැබීම ඔස්සේ ය. එක් අයුරකින් කෙටි කතා හා සම, තවත් අයුරකින්, කතා නායකයා මෙන්ම රචකයා ද දෙවොල්තොව් බැවින්, ජීවන විත්ති පෙළක් හා සම මෙම කතන්දර විශ්මිත අයුරින් සෝවියට් සමූහාණ්ඩුවේ නිලධාරිවාදය හා සමාජවාදී පාලන තන්ත්‍රයේ ඛේදනීය බිඳවැටීම අප වෙත තබයි.

‘සූට්කේසය’ නොස්ටැල්ජික මෙන්ම හාස රසයකින් යුතු අපූර්ව රචනයකි. එක් එක් අනු කතා තුළ සිදු වන සිදුවීම් ඇතැම් විටෙක ප්‍රබල හාස්‍යයක් අප වෙත ගෙන ආව ද, ඒ හා සමග, සිය මාතෘ භූමිය අහිමි වූ අයෙකුගේ අප්‍රකාශිත වේදනාව වටහාගන්නට ලැබෙන සියුම් හුයක් ද ඒ පසුපසින් ගෙන එනු පෙනෙයි. රචක දෙවොල්තොව් හා කතා නායක දෙවොල්තොව් විටෙක වෙන් වෙන්ව ද, විටෙක එක්ව ද අප කැඳවාගෙන යන්නේ පෙරස්ත්‍රොයිකාව සමග බිඳ වැටෙන්නට පෙර සමයේ රුසියානු සමූහාණ්ඩුව පිළිබඳ එක් තීරණාත්මක කියවීමකි.

චූලානන්ද සමරනායක

චූලානන්ද සමරනායක එය සිය පරිණත රචනා ශෛලිය සමග යළි අප වෙත තබා ඇත. දෙවොල්තොව්(ලා)ගේ හාස්‍ය හා නොස්ටැල්ජියාව මුසු අතීත විත්ති කිහිපය කියවා, නවකතාවක් කියවා නිම කළ තුටින් අපට කෘතිය පසෙකින් තැබිය හැක. නමුත්, ‘සූට්කේසය’ මා වෙත නම් බිහි කළේ ඉන් ඔබ්බට ඇවිද යන්නට මා මෙහෙයවූ සිතුවිල්ලකි.  

අප වෙත ඇති ‘සූට්කේසය’ කුමක් ද? ක්‍රිස්ටෝපර් නෝලන් අධ්‍යක්ෂණය කළ ‘Following’ නමැති සිනමා කෘතියේ එන ආකර්ෂණීය දෙබස් කණ්ඩයක් මගේ මනසේ දැඩිව තැන්පත්ව ඇත. ‘Everyone has a box’ (සෑම කෙනෙකු වෙතම පෙට්ටියක් ඇත) යනුවෙන් එහි ප්‍රධාන චරිතයක් අනෙකා අමතමින් පවසයි. මේ ‘පෙට්ටිය’ කුමක් ද? ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ අතීතය සබැඳෙන මතකයන්, ඔහුට/ඇයට පමණක් ආවේණික ‘සුළු සුළු දේවල්’ මේ ‘පෙට්ටිය’ තුළ තිබිය හැකි ය. ලාච්චුවක්, බිස්කට් ටින් එකක්, ප්ලාස්ටික් බඳුනක් හෝ වෙන කවර හැඩයකින්, නොඑසේනම්, ඔව්.... සූට්කේසයක හැඩයෙන් වුව, මේ ‘පෙට්ටිය’ පැවතිය හැක. ඒ තුළ වන්නේ අදාල තැනැත්තාගේ/තැනැත්තියගේ අතීතයයි. ජීවන වෘත්තයයි. එය ඔහුට/ඇයට වේදනාවක් පමණක් ගෙන එයි නම්....?

දෙවොල්තොව් කිසි විට නොකීව ද, චූලානන්ද සමරනායකගේ සිංහල පරිවර්තනයේ බස තුළින් අප වෙත මුණ ගැසුණ ද, මේ තියුණු අප්‍රකාශිත වේදනාව ‘සූට්කේසය’ අපට හඟවයි. දෙවොල්තොව් වසර 49ක් පමණක් වූ සිය කෙටි දිවිය තුළ ලොව පිළිගත් දක්ෂ ලේඛකයෙකු බවට පත්වන්නේ මේ විශිෂ්ට රචනා හැකියාව හේතුවෙනි.

කෙසේ වුවත්,  මා ඇසූ පැනයට මා පිළිතුරු දී නැත. අප වෙත ඇති සූට්කේසය නැතිනම් පෙට්ටිය කුමක් ද? සැබවින්ම, කුමන සමාජ දේශපාලනික හා සංස්කෘතික තත්වයන් හමුවේ වුව අප වෙත අපටම ආවේණික වූ ‘සූට්කේස’ ඇතිවාට සැක නැත. නමුත් දෙවොල්තොව්ට රුසියාවෙන් පිටව යාමට සිදු වන්නේ සිය ආර්ථික ශක්තිය සහිත සූට්කේස, සාහිත්‍ය එකතූන් සම්බන්ධ සූට්කේස ආදී බොහෝ සූට්කේස අතහැර ය. දියුණු, ඉදිරිගාමී දේශපාලනික හා සමාජ, සංස්කෘතික මැදිහත්වීමක් නොමැති පසුබිමක අප වෙත ද අවසානයේ ඉතිරි විය හැකි ‘සූට්කේසය’ කුමක් ද?

දෙවොල්තොව්ලාට සහ චූලානන්දලාට ස්තුතිවන්ත වෙමින් අප කල්පනා කිරීම හා ක්‍රියා කිරීම ආරම්භ කළ යුතු ය.

-ප්‍රියන්ත ෆොන්සේකා -  

Tuesday, April 20, 2021

ඇන්ටික් කඩවලට වී නොමැරී සිටීම: හඳගමයානු බහු-ආඛ්‍යාන


  (2021 අප්‍රේල් 03 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි.)

මෙම සටහනම නොවෙතත්, ‘ඇන්ටික් කඩයක මරණයක්’ හා සබැඳුණු තරමක සමාන සටහනක් පසුගිය සතියේ මෙම තීරුව සඳහා ලියා අවසන් වෙමින් තිබිය දී පරිගණකය විසින් එය අතුරුදන් කෙරුණේ ඉඳහිට පරිගණකවල නැගෙන යාන්ත්‍රික දෝෂ දෙසට වගකීම දමමිනි. හඳගමගේ ‘ඇන්ටික් කඩයක මරණයක්’ සඳහා ආවේශය සපයන, ඔහුගේ සිනමා කෘතියක් වූ ‘අක්ෂරය’ ද ඉතා දිගු කලක් වෙනත් දෝෂ දර්ශන තුළ බහා අතුරුදන් කොට ඇති පසුබිමක ඔහු ‘ඇන්ටික් කඩයක මරණයක්’ සමග පැමිණීමට ගරු කරමින් යළි, සතියක් තුළ තව දුරටත් නැගුණු සිතුවිලි සමගින්, එම කෘතිය පිළිබඳව ලියූ සටහන වෙතම රැඳෙන්නට සිතුවෙමි.

හඳගමගේ කෘති තුළ ඔහුට ආවේණික ලක්ෂණ වෙයි. වරෙක ‘මේ මගේ සඳයි’ පිළිබඳ සංවාදයක දී ඔහු කියා තිබුණේ ‘මට සිනමා භාෂාවක් නැතැයි’ යනුවෙනි. ඒ සමස්ථ චිත්‍රපටයම ස්ථිතික රූප රාමු තුළ බහාලමින්, චරිත රාමුව තුළට ගෙන එමින් හා පිට කරමින් ඔහු සිදු කළ තිබුණු ‘අමුතු’ හරඹය විමසූ විට ය. එහෙත්, භාෂාවක් නැති බව කී විගසම, ඔහු නව භාෂාවක් සිය ප්‍රකාශනය සඳහාම තනා ඇති බව හැඟවෙයි. හඳගමගේ නිර්මාණ, මේ හඳගමයානු භාෂා ලක්ෂණවලට ගරු නොකරන සහ නොපිළිගන්නා අවකාශ තුළ ආන්තික කලාප වෙත කෙසේ වුව, කේන්ද්‍රීය සාකච්ඡාවෙන් ඔබ්බට හෝ, තල්ලු කොට දැමෙන්නේ එහෙයිනි. නඩු විනිශ්චයන්, තහනම් කිරීම්, විරෝධතා සියල්ල පසුපස මේ ඔහු තනාගන්නා ස්ව-භාෂා ලක්ෂණ හා අඩු වැඩි වශයෙන් බැඳෙයි.

කෙසේ වෙතත්, හඳගම වේදිකාවට බසින්නේ දශක ගණනකට පසුව ය. සිය පළමු වේදිකා නිර්මාණ කිහිපයෙන් පසු, ටෙලි නාට්‍ය සහ සිනමා කෘති හරහාම සිය ප්‍රකාශන අප වෙත තැබූ හඳගම යළි සිය පුනරාගමනය සඳහා දොරටුව තනාගන්නේ ද සිනමා කෘතියකම පශ්චාත් කතාපුවතයි. ඒ අනුව, එක්තරා දුරකට මෙය සිය සිනමා කෘතිය වූ ‘අක්ෂරය’ බිත්තියට හේත්තු කිරීමට ඔහු පෙරළා දුන් ප්‍රති-ප්‍රහාරයක් වැනි ය.

‘ඇන්ටික් කඩයක මරණයක්’ මංගල දර්ශන තෙදිනෙන් පසු ඒ පිළිබඳ සමාජ මාධ්‍ය අවකාශ ප්‍රමුඛ කොටගනිමින් ලියා තිබුණු සටහන් කිහිපයක්ම කියවන්නට මට අවස්ථාවක් ලැබිණ. ඒ හැරුණු විට, ප්‍රේක්ෂාගාරයේ උන් ඇතැමෙක් කෘතිය සමග සිය එකඟතා හා නොඑකඟතා ද මා හා බෙදා ගත් හ. ඊඩිපස් සංකීර්ණය සහ මනෝ විශ්ලේෂණවාදය හා බැඳී ආ අදහස්, සිංහල - බෞද්ධ ජාතිකවාදය සමග කෘතියේ පෙළ කරන ගණුදෙනුව, තල ත්‍රිත්වයක් මත දිවෙන කෘතියේ රංග අවකාශය පිළිබඳ අදහස්, ප්‍රධාන චරිත කිහිපයේ සහ ගායන/වාද්‍ය වෘන්දයේ මැදිහත්වීම් ඒ කියැවීම් තුළ සඳහන්ව තිබිණ. මේ කුඩා සටහන, නිරතුරුව බහු-කියැවීම් යෝජනා කරන හඳගමගේ කෘති එකතුවේ නවතම වේදිකා නාට්‍යමය මැදිහත්වීම වන ‘ඇන්ටික් කඩයක මරණයක්’ වෙත තවත් එක් යෝජනාවක් ඉදිරිපත් කිරීමට ය.

හඳගමගේ ‘ඇන්ටික් කඩය’ ඔහුගේ ‘අක්ෂරයේ’ දිගුවක් ලෙස පැමිණ තවත් මරණයක් අප වෙත තබයි. එය කෘතියේ නම තුළම වෙයි. ඒ කෙසේ වෙතත්, කෘතිය නරඹන අපි ද, කෘතියේ පාත්‍ර වර්ගයාගෙන් වැඩි කොටසක් ද මේ ඇන්ටික් කඩ අවකාශය අභියස නොමැරී ජීවත් වන්නෝ වෙති. මට අනුව, ඔහු මේ අප වෙත තබන ‘ඇන්ටික් කඩය’, නව නාට්‍ය ආකෘතිය තුළ තත්‍ය රංග උපකරණ භාවිතා නොකොට තැනිය හැකි බව එක් තරුණ දක්ෂ නාට්‍යකරුවෙකු මා සමග සඳහන් කළ ‘ඇන්ටික් කඩය’, පෙර කෞතුකාගාර මුරකරන්නා දැන් ඒ අතීතයෙන්ම තෝරා බේරාගත් භාණ්ඩ විකිණීම සඳහා භාවිතා කරන ‘ඇන්ටික් කඩය’, ඔහුගේම රමණ රහස් අප වෙත (නො)සඟවා තබන ‘ඇන්ටික් කඩය’, ඔහුගේම ‘අදරැති’ දියණිය  මාරාන්තික රමණයකින් පසු මරා දැමෙන ‘ඇන්ටික් කඩය’ ඇතුළු සියල්ල ඉක්මවමින්, හඳගමයානු ප්‍රකාශන භාෂා ස්වරූපය මත මැවෙන ‘ඇන්ටික් කඩයකි’! එය අප මිය නොයා ජීවත්වන ඇන්ටික් කඩය පිළිබඳ සංකේතයක් ද අප වෙත සංඥා කරයි.

මගේ යෝජනාව මේ බහු සංඥා සපයන ‘ඇන්ටික් කඩය’ පමණක් ගෙන වෙන්ව සාකච්ඡා කිරීම ද අගනා බව ය.

පෙර කෞතුකාගාර මුරකරු හෙවත් වර්තමාන ඇන්ටික් කඩකරු, ඔහුගේ දියණිය, දියණියගේ හීරළු පෙම්වතා, පරිවාසයේ සිට පෙරළා පැමිණෙන මහේස්ත්‍රාත්වරියගේ පුතු යන සියල්ලන්ගේම චක්‍රීය ගමන් මාර්ග ඇන්ටික් කඩය පසුබිමෙහි තබමින් තැනෙයි. මුරකරුගේ නිවස තැනී ඇත්තේ, භෞතිකව නම්, ඇන්ටික් කඩයේ උඩුමහලේ ය. ගායන හා වාදන වෘන්දය හමුවන්නේ ඇන්ටික් කඩයට වම් පසින් පහළ වේදිකාවේ ය. ඒ හැටි දෙයක් නොවුණත්, ඇන්ටික් කඩය වේදිකාවේ විශාල අවකාශයක් අරාගනිමින් රැඳෙයි. මේ ‘ඇන්ටික් කඩය’ කුමක් විය හැකි ද?

සංස්කෘත නාට්‍යයේ සිට මෙරට ගැමි නාටකය හරහාත්, නෝ කබුකි හරහාත් ගමන් කරමින් සරච්චන්ද්‍ර තැනූ ‘දේශීය නූතන නාට්‍ය සම්ප්‍රදායේ දී’ චරිත සිය අවකාශ සොයා යන්නේ චක්‍රීය ගමන් පථවල ය. මෙහිදී සියල්ලෝ ඒ ගමන් පථ හා සමාන ගමන් පථවල යති. අප වසර 75ක් පමණ තිස්සේ ඉහළ තලයක ලා අගයන චක්‍රීය ගමන් පථය පසුපසෙහි ඇන්ටික් කඩය තබමින්, හා ඇන්ටික් කඩය සාපේක්ෂව අක්‍රීය අවකාශයක් බවට හරවමින්, හඳගම සිය නව ප්‍රකාශන අඩවිය විමසන්නට අපට ආරාධනා කරන බව පෙනේ.

සරච්චන්ද්‍ර තැනූ චක්‍රීය ගමන් පථය පසුපස දෘශ්‍යමාන ඇන්ටික් කඩයක් නොතැනුණ ද ඒ පසුපසින් නැගී ආ දෘෂ්ටිවාදාත්මක ප්‍රවේශ අපට ඇන්ටික් ලොවක් තනා දුන් හ. ඒ සමාජ, දේශපාලනික කතිකාව ඛේදාන්තයකින් පසු ඇන්ටික් කඩ අප වෙත තබන සමය වන විට හඳගම පැමිණ එය අපට පෙන්වා ඇත. එබැවින්ම මේ අඳුරු, චරිත එතරම් ඇවිද නොයන, වාද්‍ය/ගායන වෘන්දය විමසන්නට හෝ නොසිතන ‘ඇන්ටික් කඩ’ අවකාශය විසුණු කොට විමසිය යුත්තේ අප ද? ඒ හරහා අප සොයාගත යුත්තේ ‘ඇන්ටික් කඩ’ අවකාශවල අප නොමැරී ගත කරන ජීවිත ද?

‘ඇන්ටික් කඩය’ බහු-කියවීම් නිතැනින්ම තනන අවකාශයක් බැවින් මට එරෙහිව අතීත උරුමයෙන් ගත් ආයුධයක් ‘ඇන්ටික් කඩ’ අවකාශයෙන්ම ගෙන දමා ගසා ඔබටත් තවත් මාර්ග යෝජනා කළ හැකි ය.

-ප්‍රියන්ත ෆොන්සේකා - 

Thursday, April 8, 2021

ලක්ෂපති සහ වොයිස් ශ්‍රී ලංකා: නාලිකාවක සමාජ ප්‍රවේශය

  (2021 මාර්තු 21 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි.)

ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා සංඛ්‍යාව ජනගහනයට සාපේක්ෂව ඉතා ඉහළ අගයකි. සංඛ්‍යාත ඔස්සේ බෙදා හැරෙන, භාෂා තුනකින් අප වෙත ලැබෙන, නාලිකා ගණනාවකට අමතරව කේබල් නාලිකා විශාල සංඛ්‍යාවක් ඇසුරු කරන්නට ද දැන් ලාංකික ප්‍රජාවට ඉඩ ලැබී ඇත්තේ ඩයලොග් සහ පියෝ ටීවී යන සේවාවන් ඔස්සේ ය. සෘජුව විදේශයන්ගෙන් මිලට ගෙන බෙදා හැරෙන නාලිකා සියල්ල පසෙකින් තැබුව ද මෙම නාලිකා අප වෙත පිරි නමන දේශීය නාලිකා ගණන සුළු නැත. ඒ අතරට, නව මාධ්‍යමය, යූටියුබ් නාලිකා ද එක් කළහොත් ලැබෙන්නේ විශාල අංකයකි. ඒ අගය කොපමණදැයි මා දන්නේ නැත.

‘ඔබේ පවුලේ නාලිකාව’, ‘රූපවාහිනී මහගෙදර’ වැනි උද්‍යෝග පාඨයන් සමග කෙතරම් පෙරට කැඳවීමට උත්සාහ කළත්, බිඳ වැටී, දේශපාලනීකරණය වූ පරිපාලනයන් නිසාත්, නිර්මාණශීලී එළඹුම් නොමැති වීම නිසාත් ස්වාධීන රූපවාහිනිය සහ ජාතික රූපවාහිනිය යන ප්‍රධාන රාජ්‍ය නාලිකා පෙර පවත්වාගෙන ආ ඇගයුම් කටයුතු තත්වයන් බිඳ දමාගෙන ඇති බව නොරහසකි. විශේෂයෙන් 90 දශකය තුළ සිරස ටීවී හා සමග පෞද්ගලික නාලිකාවන්හි තරගකාරීත්වය ඉහළ නැග ඒමත් සමග රාජ්‍ය නාලිකා සිදු කළේ එම නාලිකාවන්හි ෂෝනරික ප්‍රවේශ කොපි කිරීම මිස අන් කවරකුදු නොවේ. එනයින්ම, ඒ ඒ සමයන්හි සාපේක්ෂව වඩාත් සාධනීය තැන හිමි කරගන්නේ යම් නිර්මාණශීලී මැදිහත්වීමක් සමග එන පෞද්ගලික නාලිකාවන් ය. එක් එක් සමයන්හි එය සිරස, දෙරණ, ස්වරණවාහිනී වැනි වැඩි ප්‍රේක්ෂක අවධානයක් ඇති නාලිකා අතර දෝලනය වන අයුරු නිරීක්ෂණය කළ හැකි ය.

2000 වර්ෂයෙන් පසු එළඹෙන මුල් දශකයේ ‘සිරස සුපර් ස්ටාර්’ වැඩසටහන සමගින් රියැලිටී ගීත ගායනා තරග ෂානරය මෙරට ප්‍රේක්ෂාගාරය අභියස තැබූ සිරස නාලිකාව ඉන් මඳ කළකට පසු ‘ඔබ ද ලක්ෂපති මම ද ලක්ෂපති’ ප්‍රශ්න විචාරාත්මක රියැලිටි වැඩසටහන ද ආලින්දයට කැඳවා දුන්නේ ය. විදෙස් රියැලිටි වැඩසටහන්වල ආකෘතික සමානකම් හෝ සෘජු අවසරයන් සහිත දේශීය ප්‍රති-නිර්මාණයන් ලෙස මෙහි නිර්මාණය වූ මෙම වැඩසටහන්, ඒ පසුපස සිටි දේශීය නිර්මාණ කණ්ඩායම්වල ශූරත්වය මත යම් වැඩි ආකර්ෂණයක් ද දිනාගත්තේ ය. වත්මනෙහි, දෝලනය වෙමින් පැවති ජනප්‍රියත්ව තරගයේ, පැහැදිලි බිඳ වැටීමකට පසු තීරණාත්මක පෙරගමනක් දිනාගෙන ඇත්තේ ‘ඔබ ද ලක්ෂපති මම ද ලක්ෂපති’හි පසුකාලීන නිෂ්පාදනය වූ ‘සිරස ලක්ෂපති’ සහ ජාත්‍යන්තර මට්ටමින් පැවැත්වෙන රියැලිටි ගායනා තරගාවලියක් වන ‘වොයිස්’ හි මෙරට තරගාවලිය වන ‘වොයිස් ශ්‍රී ලංකා’ ය.

මේ නිශ්චිත වැඩසටහන් යුගලය පිළිබඳ මෙම තීරයෙහි සටහනක් තැබිය යුතු බව මට හැඟුණේ ඇයි?

මාධ්‍යයන් පුරවැසියන් වෙනුවෙන් නොවන තැන දී ඊට එරෙහි වූ බලපෑම් කණ්ඩායමක් සියලු මාධ්‍ය ආයතනවලට සිය විරෝධතාව ප්‍රකාශ කරන්නට කළු පැහැයෙන් මුහුණු බැඳගෙන සංදේශ රැගෙන ගිය මොහොතේ සිරස ටීවී ආයතනය කටයුතු කළ ආකාරයට එරෙහිව එදවස මම ද අදහස් ප්‍රකාශ කළෙමි. තම මාධ්‍ය ආයතනය ඉදිරිපිටට පැමිණි විරෝධතාකරුවන්ගේ මුහුණු රතු පැහැයෙන් රවුම් කොට දැක් වූ අවස්ථාවේ අප ලීවේ ‘මගේ මුහුණත් රවුම් කරපිය’ යනුවෙනි. ඒ, වඩා යහපත් මාධ්‍ය භාවිතයක් ඉල්ලා සිටින පුරවැසි කණ්ඩායමකට එරෙහි වීමට අපේ විරෝධය පෙන්වීමට ය. ඒ සිරස ටෙලිවිෂනය තුළම සාධනීය වැඩසටහනක් විකාශය කෙරෙද්දී එය ඇගයීමට ද අප පසුබට විය යුතු නැත. ඉහත වැඩ සටහන් ඒ සාධනීය ලකුණු අප වෙත තබයි.

විදෙස් රියැලිටි වැඩසටහන් දෙකක මෙරට ඉදිරිපත් කිරීම් ස්වරූප නිසාම ‘ලක්ෂපති’ සහ ‘වොයිස් ශ්‍රී ලංකා’ ටෙලිවිෂන රූපමය ආකර්ෂණයෙන් ඉදිරි ලකුණක් ගනී. ඒ සඳහා නියත වශයෙන් ආයතනයේ තාක්ෂණික නිර්මාණ අංශයේ දායකත්වය ද මේ වැඩසටහන් වෙත ලැබී ඇති බව පෙනේ. නමුත් මගේ අවධානය යොමු වන්නේ මෙහි ‘පිටපත’ පිළිබඳව ය!



රියැලිටිවලට පිටපත්?

රියැලිටි ටෙලිවිෂන තිරය මත ඇඳෙන්නේම පිටපතකින් තොර බව හඟවමිනි. බොහෝ විට ඉතා ඉසියුම්ව නැගූ පිටපතක් එහි නොතිබෙන්නට ද පුළුවන. එසේ වුවත්, එහි ලියැවෙන හෝ නොලියැවී නැගෙන පිටපත තැනෙන්නේ එය නිර්මාණය කෙරෙද්දී ය. ඉදිරිපත් වන්නාගේ, ඔහුගේ හෝ ඇයගේ පවුලේ සාමාජික පිරිසගේ සමීප රූපයේ සිට දුර රූපය තෙක් ද, ඔවුන්ගෙන් අසන පැනයේ සිට නොඅසා මග අරින පැනය තෙක් ද ඒ පිටපත තුළ ඇත. එය සියල්ල රූගත කිරීමෙන් අනතුරුව සිදුවන පසු නිෂ්පාදන අවදියේ දී තැනෙන්නක් වුව වන්නට බැරි නැත. සිරසට ඇගයුම ලැබෙන්නේ මේ පසුබිමේ දී ය.

‘ලක්ෂපති’ සඳහා එන භාග්‍යා අබේරත්න සිංහරාජය විනාශ වීම පිළිබඳ සිය පිළිතුරෙන් ඔබ්බට ගොස් කරුණු දැක්වීම, ‘වොයිස් ශ්‍රී ලංකා’ වෙත එන ඒ. ආර්. ජිතේන්ද්‍ර "මම මේ ලෝකෙ වෛර කරන දේවල් දෙකක් තියෙනවා. ජාතිවාදය සහ ජාතිවාදීන්!” යනුවෙන් තමන් හඳුන්වා දෙමින් පැවසීම රියැලිටියක වඩා පොහොනි පියවරකි. දියව යමින් සූරා දමන පරිසරයක් අභියස, ජාතිවාදියෙන් මනුෂ්‍යත්වය පාගා දමන සමාජයක් අභියස ඉතා සීමාකාරී වැඩසටහන් හමුවේ මේ යොමුවීම් අගය කළ යුතු එබැවිනි. ‘ලක්ෂපති’ ප්‍රශ්න අසන්නා ලෙස චන්දන සූරියබණ්ඩාර ඉතා ආකර්ශණීය ලෙස ප්‍රශ්න නැගුව ද සෑම පිළිතුරු දෙන්නෙකුම සමාජ තත්ව පිළිබඳ එක්වරම සිය හඬ එතැන නගන්නේ නැත. ඒ බුද්ධිමත්ව තැනූ එහි පිටපතයි. ‘වොයිස් ශ්‍රී ලංකා’ වේදිකාවේ දී හිටිවනම තරුණයෙකු හෝ තරුණියක නගන්නේ ද ඒ යොමුවයි.

නාලිකා වැසි වැස්සවිය හැක. සොයාගත නොහැක්කේ මනුෂ්‍යත්වය හා සමාජ වගකීම හා වගවීම සහිත මාධ්‍ය භාවිතයයි. ඒ දෙස හැරී බලන මාධ්‍යයකට වුව අප ආචාර කළ යුතු ය.

-ප්‍රියන්ත ෆොන්සේකා -

Tuesday, March 23, 2021

ඩ්‍රාමා ගැන ‘ඩ්‍රාමා’




  (2021 මාර්තු 14 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි.)

මෙම සටහන තබන්නට සුදුසුම වේලාව මෙයදැයි මා දන්නේ නැත. හෙත් පැහැදිලිවම මෙය තැබිය යුතු සටහනක් බව මම දනිමි. කලාව පිළිබඳ කියවිම ඉතා පහළ අගයක් ගන්නා සමයක, නිශ්චිත කලාපයක් තුළ, අසීරුතම ඉලක්කයක් වෙනුවෙන් වෙහෙසෙන කණ්ඩායමක් නැතිනම් ප්‍රකාශනයක් සඳහා ඇගයීමක් දිය යුතුම ය. මේ ඒ වෙනුවෙනි.

‘ඩ්‍රාමා’ නමින් සඟරාවක් නාට්‍ය හා රංග කලා විෂයය ප්‍රමුඛ කොට ගනිමින් අප අතට පත් වනුයේ දෙවසරකට පමණ පෙර ය. ‘තියටර් වර්ක්ස් නිෂ්පාදන’ පෞද්ගලික සමාගම විසින් ගෙන එන මෙම සඟරාවෙහි සංස්කාරකවරයා ජෙහාන් අප්පුහාමි ය. ඔහු සමග තවත් කණ්ඩායමක් මේ කර්තව්‍යය පසුපස වන බවත්, විශේෂාංග රචනය හරහා තවත් රචකයින් සමූහයක් ද ‘ඩ්‍රාමා’ සඳහා දායක වන බවත් සඟරාවෙහි මුල් පිටු දෙක තුන අපට දෙස් දෙයි.

කලාවෙහි විවිධ ඉසව් සම්බන්ධව ප්‍රකාශයට පත් කෙරෙන පුවත්පත් සහ සඟරාදිය තත් කලා අවකාශය පිළිබඳ සංවාදය පුළුල් කිරීම සඳහා අත්‍යාවශ්‍ය ය. අද වන විට මෙය අන්තර්ජාල අවකාශ හරහා බ්ලොග්, වෙබ් අඩවි යනාදිය දක්වා විහිද පැතිරගොස් තිබුණ ද පුවත්පතට සහ සඟරාවට ලැබී ඇති ඉඩ ඉන් හැකිලී ඇත බවට අපට අවසන් නිගමනවලට පැමිණිය නොහැක. අනෙත් අතට, තවමත් ඩිජිටල් මාධ්‍ය ඇසුරු කිරීමෙහි පරිචයෙන් දුරස් පරපුරක් ද අප අතර වන හෙයින්ම මුද්‍රිත මාධ්‍ය මැදිහත්වීම ද ඉතා වැදගත් තැනක පවතින බැව් යෝජනා කළ හැකි ය. ‘ඩ්‍රාමා’ පුරවන්නේ නාට්‍ය හා රංග කලා විෂයයෙහි එම අවැසියාවයි.

‘සරසවිය’ පුවත්පත සිනමාව සබැඳි සිංහල පුවත්පත් එකතුවෙහි ඉහළම නාමය ලෙස තවමත් දරා සිටින්නේ දශක ගණනාවක් මුළුල්ලේ එය සිනමා සාහිත්‍යය වෙනුවෙන් ලබා දෙන දායකත්වය මතු නොව, බිඳ වැටෙමින් හා නැගෙමින් වුව, ‘සරසවිය සම්මාන උළෙල’ ද පැවැත්වීම හේතුවෙනි. එහෙත්, සිනමාව විෂයයෙහි පුවත්පත දක්වන්නේ, තරු ගුණය අගයමින්, තොරතුරුමය පක්ෂයට වැඩි නැඹුරුවක් සහිත ලිපි ඉදිරිපත් කිරීමට මිස ඒ හා බැඳුණු වින්දනාත්මක, විචාරාත්මක හෝ ශාස්ත්‍රීය සාකච්ඡාවකට නොවේ. සෙසු සමාන පුවත්පත්වල තත්වය ද එබඳු ය. එම හිදැස තරමකින් හෝ පුරවන්නට කලෙක ‘සිනෙසිත්’ ද, පසුව ‘සදිසි’, ‘චිත්‍රපට’ සහ ‘14’ ආදී සඟරාද දායක වුණු බව පෙනේ.

ජාතික චිත්‍රපට සංස්ථාව මගින් පිරි නැමෙන ‘චිත්‍රපට’ සඟරාව හැර අද සිනමාව විෂයයෙහි අර්ධ ශාස්ත්‍රීය මට්ටමින් හෝ පළ කෙරෙන සඟරාවක් හමු නොවේ. ඛේදවාචකය වී තිබුණේ, සිනමාව හා සසඳා බැලූ කළ, සෘජුවම පාසැල් විෂයය මාලාව තුළ පවා මුණ ගැසුණු නාට්‍ය හා රංග කලා ක්ෂේත්‍රය හා සබැඳුණු එවැනි සඟරාමය හෝ පුවත්පත්මය මැදිහත්වීමක් නොතිබීමයි. ‘ප්‍රේක්ෂා’, ‘වේදිකාව’සහ ‘කසාය’ යනාදී නමින් නැගීවිත් තිබුණු රංග කලාව ඉලක්ක කොටගත් ‘සඟරා’ මැදිහත්වීම් දිගු වසර ගණනක් මුළුල්ලේ, කලාප බොහෝ ගණනක් සමගවිත් නාට්‍ය ප්‍රේක්ෂකයා සහ නාට්‍ය හදාරන්නා වෙත පැමිණ තිබුණු වගක් හඳුනාගන්නට නැත.

‘ඩ්‍රාමා’ පුරවාලන්නේ මේ හිස්තැනයි!

‘අයියෙ, මම දැක්ක ‘අනිද්දා’ පත්තරේට මවුනගුරු ගැන ලියල තිබුණු කොලම් එක. ඒක මරු. අපි ‘ඩ්‍රාමා’ කියල මැගසින් එකක් පටන් ගන්නව. මං ගන්න ද ඒක අපෙ සඟරාවටත්?’

මහාචාර්ය මවුනගුරු පිළිබඳ දෙවැනි දිගු ලිපියකින් ‘ඩ්‍රාමා’ පළමු කලාපයට දායක වන්නට සිදු වුණු ජෙහාන්ගනේ මවෙත ලැබුණු ඉහත දුරකථන ඇමතුම හේතුවෙනි. මේ හා සමාන, නමුත් විවිධ කලාප හා සබැඳුණු දුරකථන ඇමතුම් සහ ඉල්ලීම් බොහෝ අය වෙත ලැබී ඇතුවාට සැක නැත. කිසිදු වෙහෙසකින් තොරව, ජෙහාන් ප්‍රමුඛ පිරිසෙහි මෙම මැදිහත්වීම හත්වෙනි කලාපය තෙක් ‘ඩ්‍රාමා’ කැඳවාගෙනවිත් ඇත.

කලාව සබැඳි කතිකාවන්හි දේශීය සාහිත්‍යමය මැදිහත්වීම්වලදී මගේ ඇස ගැටී ඇත්තේම ඉතා වැඩි වශයෙන් ඉතිහාසමය කරුණු හා තොරතුරු පදනම් කරගත් පතපොත ය. සඟරා සහ පුවත්පත් ද යළි මුණගස්වන්නේ, වැඩි වශයෙන් එවැනිම තොරතුරු සැකෙවින් ගෙන එන, ලිපි හා සටහන් ආදිය ය. ඒ දන්නා, පවතින කරුණුම යළි යළිත් ප්‍රති-රචනා කිරීමක් පමණි. බොහෝ විට, ප්‍රධාන මූලාශ්‍රයේ ඇති දුබලතා හේතුවෙන් පසු ලිපිය තවත් දුබල තැනකට වැටෙනායුරු ද හඳුනාගැනීම අසීරු නොවේ. ‘ඩ්‍රාමා’ එතැනින් ද විතැන් වී ඇත.

ගෙවුණු කලාප කිහිපයක්ම එදිරිවීර සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා ප්‍රමුඛ අතීත නාට්‍යකරුවන්ගෙන් එළඹ රාජිත දිසානායක, ධනංජය කරුණාරත්න සහ බුද්ධික දමයන්ත වැනි අද්‍යතන, තරුණ නාට්‍යකරුවන් පිළිබඳ විමසීම සිය මූලික තේමාව ලෙස තබාගෙන පැමිණ තිබූ අතර, ඊට අමතරව බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් වැනි ප්‍රමුඛ, විදේශ නාට්‍යකරුවන් මෙන්ම ලෝක නාට්‍ය කලාවේ නව ප්‍රවණතාදිය ද මුල් තේමාව තුළ තබා තිබිණ. ඒ අතරම, ග්‍රීක නාට්‍ය කලාව, ජපාන නාට්‍ය කලාව ඈ පුරාතන නාට්‍ය කලාවන්, අගුස්තෝ බොආල් වැනි විකල්පධාරා තුළ නැගුණු නාට්‍යකරුවන්, පෙළ රචනය, අංග රචනය ඈ නිර්මාණකරණය හා සබැඳුණු ක්ෂේත්‍ර ඇතුළු බොහෝ අංශ සාකච්ඡාවට කැඳවා තිබිණ. මෙම බහුවිධ බව ‘ඩ්‍රාමා’ ඊ ළඟ කලාපයක් වෙත පෙරමග බලන පාඨකයෙකු තැනීමක් බව පෙනෙයි.

එසේම, ‘ඩ්‍රාමා’ පවතින ප්‍රමුඛ කතිකාවලට එරෙහි ඉම්-බිම් වෙත ද අප යොමු කරන අවස්ථා නොවන්නේ නොවේ. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ බිරිඳ ලලිතා සරච්චන්ද්‍ර සමග සිදු කරන මෙම සංවාද උපුටනය උදාහරණ ලෙස ගෙන සිතන්න.

“සරච්චන්ද්‍ර මහත්තයා එය ෂෝ එකකටයි ගියේ දඹුල්ලෙ. Doctorගෙ හිතේ මේ හැම ශාලාවක්ම ලයනල් එක වගේ කියල. අපි ඩොක්ටර්ට කිව්ව නම් ‘අපි ගිහිං මේ වගේ හෝල්වල තමයි නාට්‍ය කරන්නෙ කරන්නෙ’ කියල, ඩොක්ටර් අපිට කවදාවත් යන්න දෙන්නෙ නෑ. එයා කියන්නෙ ‘මේ කොළඹ නාට්‍ය පෙන්නුව නම් ඉවරයි නේද ලලිතා’ කියල.”

‘ඩ්‍රාමා’ සඳහා ‘ඩ්‍රාමා’ යන නමින්ම සඟරාවක් පැමිණීම මෙන්ම එය කලාප හතක් පසු කරමින් ඉදිරියට ඇදීම සතුට දනවන සුළු හැඟුමකි. ‘ඩ්‍රාමා-කරුවෙකු, රසිකයෙකු, උගන්වන්නෙකු හා ඒ පිළිබඳ ලියන්නෙකු ලෙස’ ඉහළම සතුට එහි දීර්ඝ, අනවරත පෙරගමන දකිනු ලැබීමයි.

-ප්‍රියන්ත ෆොන්සේකා -

 

Saturday, March 6, 2021

යුගල හාස්‍ය වැඩසටහන්: නව මාධ්‍යය හරහා පිවිසෙන සමාජ කියවීමක් ලෙස

 (2021 පෙබරවාරි 21 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි.)

“මං මේ කතා කරන්නේ මේ රටේ වග කිව යුතු වැඩිහිටියෙක් හැටියට. යකෝ, මේ රටේ සංස්කෘතිය, සදාචාරය, සභ්‍යත්වය අපි රැකගන්න ඕනෙ... මේ වැලන්ටයින් මගුල් නිසා ඒව විනාශ වෙන්න දෙන්න බෑ. අපිට නැති ආතල් උන්ට මොකට ද?”

“ඒක නෙවෙයි ඕඅයිසී මහත්තයා, ඔය සංස්කෘතිය, සදාචාරය ගැන කතා කරපු නිසා අහන්නෙ. ඒ කාලෙ රජවරුන්ටත් අන්තහ්පුර පවා තිබ්බ නේ?”

“ඔව්... ඉතින්?”

“ඉතිං කියන්නෙ එහෙනං ඒවත් හෙණ අවුල්නෙ.”

“ඔය ඇහුවෙ! ඒකෙ තියෙන අවුල මොකද්ද කියහංකො? රජතුමාට අන්තහ්පුරයක් තියෙන එකත් සංස්කෘතිකයි!”

'ලකයි සිකයි' හි තේමා රුව
ඉහත දෙබස් පෙළ මගේ කණ වැකුණේ මෙය ලියන්නට පෙර දින සවස් කාලයේ ‘ලකයි සිකයි’ යූටියුබ් නාලිකාව හරහා යූටියුබ් අඩවියට මුදාහැර තිබුණු ‘ලව් සිකුරුටි’ හාස්‍ය වැඩසටහන තුළ දී ය. එය සංවාදය ගොඩනැගෙන්නේ උද්‍යානයක රාජකාරියේ නියුතු ආරක්ෂකයින් දෙපළක් අතර ය. සංවාදයේ පසුබිමට හේතු වන්නේ, එළඹ ඇති වැලන්ටයින් දිනය හේතුවෙන් උද්‍යානයට ඇතුළු වීමට නියමිත නානාවිධ පෙම්වතුන්ගේ ‘පෙම් කිරීමේ සීමාව’ තීරණය කිරීම සඳහා පාලක නියෝජිතයින් වන ආරක්ෂකයින් ගැනීමට නියමිත ක්‍රියාමාර්ගයන් ය.


‘ලකයි සිකයි’ යනු යුගල හාස්‍ය වැඩසටහන් ලෙස ගෙවුණු වසර කිහිපය තුළ ලාංකික විනෝදාස්වාද කලාපය තුළ නැගී ආ ජනප්‍රිය ෂානරයක එක් ප්‍රමුඛ යුගලයකි. ‘පොඩි මල්ලියි, චූටි මල්ලියි’ ‘ජනයි -ප්‍රියයි’ යනාදී වශයෙන් මෙම ෂානරය තුළ එකිනෙකා හා තරග වදින කණ්ඩායම් ගණනාවක්ම දැකගත හැකි ය. පූර්ණ වශයෙන් සිංහල භාෂිත වැඩ සටහන් කලාපයක කටයුතු නොකරන හෙයින් ප්‍රේක්ෂාගාරය තරමක් වෙනස් වුව ද ‘බ්ලොක් ඇන්ඩ් ඩීනෝ’ අයත් වන්නේ ද මෙම යුගල ෂානරයටම ය.

මෙයට දශක කිහිපයකට පෙර, ගුවන් විදුලිය මෙරට ප්‍රමුඛ සන්නිවේදන මාධ්‍යය ලෙස පවතින සමයේ දී නැගී ආ ‘ඇනස්ලි, බර්ටි, සැමුවෙල්’ ත්‍රිත්වයේ ‘විනෝද සමය’ ප්‍රමුඛ හාස්‍ය වැඩසටහන් එකල ප්‍රේක්ෂක මනදොළ පුරවා ලී ය. ස්වකීය හාස්‍ය වැඩ සටහන් හුදු ‘සරලමතික’ සීමාවන් තුළ නොතැබූ එතිදෙන ඒ ඔස්සේ මධ්‍යම පාන්තික සමාජයේ බොහෝ දුබලතා උපහාසාත්මකව විමසමින් සිනාසෙන්නා අභිමුව කැඩපත් තැබූ හ. අලස හා කපටි ලෙස විදේශිකයින් රවටා යම් මුදලක් ගරා ගන්නට තැත් දරන්නන්, විමසුමකින් තොරව රැල්ලට ගසා යන්නන්, රජයේ සේවකයින් ලෙස කටයුතු කළ ද සිය රාජකාරිය යනු කුමක්දැයි යන්න පවා නොදන්නන් යනාදී ලෙස අනේක චරිත ඔවුහු අප වෙත තබමින්, හාස්‍ය පෙරමුණෙහි තබමින් වුව, නිශ්චිත අරමුණකින් යුතු සාකච්ඡාවක් යෝජනා කළ හ.

නව මාධ්‍ය යුගයට එළඹෙත්ම, ඉහත ත්‍රිත්වයේ රූපවාහිනී ප්‍රවේශයන්ගෙන් ද පසු, යුගල හාස්‍ය වැඩසටහන් අප අභියසට පැමිණ තිබෙයි. මේ එකදු වැඩසටහනක් හෝ අපට නොතකා හැරිය නොහැක්කේ යූටියුබ් අවකාශයට මුදා හැර ඉතා සුළු මොහොතකින් දහස් ගණනින් පිරිස් පැමිණ ඒ නරඹන්නට පෙළ ගැසෙන හෙයිනි. ඒවායේ ප්‍රේක්ෂාගාරය ඉහළ ය. ඇතැම් විට ලක්ෂ ගණනක ‘නැරඹුම් අගයන්’ අදාල වීඩියෝව වෙත ලබා දෙන්නට තරම් ක්‍රියාකාරී ය.

විනෝද සමයේ තිදෙන


විනෝද සමය යුගය වෙත හැරී මෙම හාස්‍ය වැඩ සටහන් හා ඒ සැසඳීම තරමක සරල පියවරයක් වුවත්, එතැනින් සංවාදයට එළඹෙන්නෙකුට මේ කලාප දෙකෙහි ඇති සාම්‍යයන් හා නොපෑහෙන කලාප ද හඳුනාගත හැකි වනු ඇත. අතීත නොස්ටැල්ජික මතකයන් සමග පමණක් යන්නෙකු ‘ඇනස්ලි, බර්ටි සහ සැමුවෙල්’ යුගය වත්මනට වඩා බොහෝ ප්‍රබල තැනක වන බව තර්ක කරන්නට ඉඩ ඇතත් මට පෙනෙන්නේ ඇගයිය යුතු හා ඇගයිය හැකි අංග ගණනාවක් මෙම යුගල හාස්‍යමය නිර්මාණයන්හි ද වන බව ය. තීරුව ආරම්භයේ මා තැබුවේ ඒ සඳහා එක් උදාහරණ දෙබසකි.  යළි හැරී ඒ විමසා බලන්න.

‘ලකයි සිකයි’ හි නිර්මාණාත්මක අංශයේ පෙරටුගාමියා එහි ලකාගේ චරිතය නිරූපණය කරමින් පිටපත ලියා බොහෝ නිර්මාණ අධ්‍යක්ෂණය කරන ලක්මාල් වීරසිරි බව පෙනේ. ඔහු ලියන ඉහත දෙබස් පෙළ, ඒ වීඩියෝවේ සෙසු බොහෝ තැන්වල හමුවන දෙබස් හා සමාන ලෙසම, යළිත් අප සමාජ සංස්කෘතික දේහය දෙස හැරී බලන්නට කරන යෝජනාවන් ය. ජනප්‍රිය සංස්කෘතියේ ප්‍රමුඛස්ථානයක තැබෙන ‘යුගල හාස්‍යමය වැඩසටහනක’ විනාඩි කිහිපයක වීඩියෝවක් ඔස්සේ ලාංකික සමාජ සංස්කෘතික හා දේශපාලනික මහා මූලයන්හි විප්‍රකාරයන් උත්ප්‍රාසයට ලක් කරන්නට පිවිසීමම පැසසුම් කටයුතු ය.

කෙසේ වෙතත්, එහිලා වඩාත් වැඩි දේශපාලනික සවිඥාණිකත්වයක් ‘ලකයි සිකයි’ වෙත වන බැව් නිරීක්ෂණය කළ හැකි ය. මෙම කණ්ඩායම් අතුරින් සෙස්සන්ට වඩා දිගු අතීතයක් ඇති ‘පොඩි මල්ලියි - චූටි මල්ලියි’ වැනි යුගලයන් ද අභිබවමින් මෙම සමාජ සවිඥාණික බව ඇතැම් තන්හි මෙම කණ්ඩායම හමුවේ හඳුනාගත හැකි ය. ‘ලව් සිකුරුටි’ මෙන්ම ‘දෙවැනි රැල්ල’ වැනි කොරෝනාව පසුබිම් කරගත් වීඩියෝවන් විමසීමෙන් ඒ බව වටහාගත හැකි ය.

විනාඩියක දෙකක කාල සීමාවක සිට විනාඩි දහයක පමණ උපරිමයක් දක්වා කාලයක් තුළ විශාල ප්‍රේක්ෂාගාරයක් ආකර්ෂණය කරමින්, සිනහව පෙරමුණෙහි තබා, උත්ප්‍රාසාමක ලෙස සමාජය විමසන්නට ප්‍රවිශ්ට වීම පහසු කටයුත්තක් නොවේ. මෙම කණ්ඩායම් අනුකරණය කරන්නට එළඹෙන බොහෝ දෙවැනි පෙළ කණ්ඩායම්වල අසාර්ථකත්වය ඒ සඳහා දෙස් දෙයි. ස්ව-අනන්‍ය රංගන හැඩතල, ආවේණීක ස්වරූපයන් ආදියෙන් මෙම යුගලයන් තම කණ්ඩායම්වල මං තනාගෙන ඇති බව පෙනේ. දෙපිට කැපී යන, ‘අශිෂ්ට’ යැයි යමෙක් යෝජනා කළ හැකි දෙබස් ද මේ ඇතැම් වීඩියෝවල හමුවෙතත්, මෙවැනි ශානරයන්හි එක් ලක්ෂණයක් ලෙස ඒ හඳුනාගත හැකි බව ද නිරීක්ෂණය කළ නොහැක්කේ නොවේ.

සතියකට වරක් හෝ බැගින් සිය ප්‍රේක්ෂාගාරය වෙත හාස්‍යමුසු වීඩියෝවක් සමග විත් කැඩපත් ද තබා යන්නට මේ කණ්ඩායම්වලට හැකිනම් සහ ඒ තත්වයන් ඔවුන් තව දුරටත් වර්ධනය කරගන්නේ නම් අප ඔවුන්ට ආචාර කළ යුතුම ය.

 

-          ප්‍රියන්ත ෆොන්සේකා -