Saturday, July 7, 2012

මතක ‘සිතුවම්‘ වෙත ඇවිද යාම



සිඩ්නි සිනමා උළෙලේ දුටු “Golden Slumbers“ වාර්තා චිත්‍රපටය පිළිබඳ විවරණයක්


“මේ බිත්තිය පුරාම තියෙන රූපවල ඉන්න අය දැන් නැහැ කියල මට හිතන්නත් අමාරුයි. මේ චිත්‍රපටිවල මම රඟපෑවේ ඊයේ පෙරේදා වගේ කියලයි මට හිතෙන්නෙ. කොච්චර දවසක් ගත වෙලා ගිහින් ද? ඉතිරි වෙලා ඉන්නෙ මම විතරයි. මාව බලන්න එන හැමෝම මේ ෆොටෝ දිහා බලලා ඒ අයගෙ විස්තර මගෙන් අහනවා. මම ඒව විස්තර කරන්නෙ සතුටින්. පේනවද... ඒ ගොල්ල තාම මැරිල නැහැ වගේ. හැමෝම ඉන්නව වගේ. මම නැති දවසකත් වෙන්නෙ ඒකමයි කියල මට හිතෙනවා.“

තරුණ ප්‍රංශ වැසි-කාම්බෝජියානු ජාතික සිනමාකරුවෙකු වූ ඩෙව් චොව්ගේ “Golden Slumbers” වාර්තා චිත්‍රපටයේදී ඉහත ප්‍රකාශය කරන්නේ ප්‍රථම කාම්බෝජියානු සිනමා තාරකාවිය නොඑසේනම් නිළි රැජින වූ දයි සවෙත් ය. සිඩ්නි සිනමා උළෙලේ වාර්තා චිත්‍රපට අංශය නියෝජනය කළ “Golden Slumbers” 1960-1975 කාලය තුළ විචිත්‍රව නැගී ආ කාම්බෝජියානු සිනමාවේ අතීත මතකයන් අතර සැරිසැරීමකි. වසර 15ක් තුළ චිත්‍රපට 400ක් පමණ නිමැවෙමින් නැගී ආ කාම්බෝජියානු සිනමාවේ පැරණි සමරු හරහා සිය කැමරාව මෙහෙයවන ඩෙව් චොව්ගේ සිනමා වෑයම හුදෙක් අතීතාවර්ජනයක් පමණක් නොවන්නේ ඇයි? ලොව පුරා සිනමා උළෙලවලදී විචාරක හා ප්‍රේක්ෂක අවධානය නොමඳව දිනාගන්නේ ඇයි? ඔහු සිය සිනමා පටය හරහා සොයා යන යුගයේ බොහෝ පුද්ගලයින් හා වස්තූන් අතීත අවශේෂ මතක පමණක් වෙමින්, බිහිසුණු එමෙන්ම වත්මන් කාම්බෝජ වැසියා සිහිකැඳවීමටවත් අකමැති සිදුවීම් පෙළක් තුළ සැඟවගොස් ඇති හෙයිනි. “Golden Slumbers” චිත්‍රපටය අපට කියන්නේ පොල් පොට් පාලනය තුළ දියව ගිය හා මරා දැමුණු සුන්දර සිනමා අතීතයක කතාවයි; එමතු ද නොව දේශපාලනික පෙරළියකට මැදිවුණු මානව ශිෂ්ටාචාරයක කතාවයි.

“Golden Slumbers” චිත්‍රපටයේ නාමාවලියට පෙර හමුවන්නේ විශිෂ්ට රූප සිත්තමක ඇරඹුම කියාපාන්නා වූ රූ පෙළකි. හඬ පටය තුළින් අපට ඇසෙන්නේ තමන් පෙර දුටු කාම්බෝජ සිනමා පට පිළිබඳ සිහිපත් කරන පුද්ගලයින් කිහිප දෙනෙකුගේ කතා බහකි. සාකච්ඡාකරුවන්ගේ දෘෂ්ටි කෝණය අනුව කැමරාව පිහිටුවා ඇති අතර අපට දැනෙන්නේ අප ද ඔවුන් සමග ම ඔවුන් ගමන් ගන්නා ලොරියේ හෝ කැබ් රථයේ නැගී යන බවකි. අපට පෙනෙන්නේ රථයට පසුවෙමින් යන මාර්ගයේ දර්ශනයයි. සාකච්ඡාව අතර, නරඹන අප ද මෙම වාහනයේම නැගී යන්නන් බවට පත්වෙද්දී යම් අරුමැති යමක් හැඟෙන්නට ගනියි. පිටුපසින් පෙනී නොපෙනී යන පාපැදි, වාහන හා පදිකයින් දෙස බලා සිටිත්ම රථයත්, සියල්ලත් මාර්ගයේ පසුපසට ගමන් කරන බව ඒත්තු ගැන්වේ. සියල්ල මෙතෙක් අප දුටුවේද දකින්නේද අතීතයට ගමන් කරන ලෙස බව වැටහෙත්ම චොව්ගේ අතීතය සොයා ඇදෙන ගමනේ කොටස්කරුවන් බවට අප පත්වී හමාර ය. සියල්ල පැහැදිලි ය. රථයේ පසුපස ගමන ඇරඹුණු වර්තමානය රාත්‍රියයි. එහෙත් චිත්‍රපටයේ නාමය සටහන් වන මොහොත වන විට හිරු නැගී හමාර ය. අප ගමන් අරඹන අඳුරු වර්තමානයට වඩා හිරුරැස් පතිත, අතීත දහවලකින් ඩෙව් චොව් සිය ආඛ්‍යානය ආරම්භ කරයි.

අධ්‍යක්ෂක - ඩෙව් චොව්
ප්‍රංශයේ විජිත පාලනයට නතුව තිබූ කාම්බෝජය නිදහස ලබා, නොරදම් සිහනුක් රජුගේ පාලනය යටතේ පවතිද්දී එරට සිනමා නිර්මාණ නිපදවීම ආරම්භ වී ඇත. ඒ 1960 දශකයේ දී ය. එසේ මුත් ඊට පෙර සිටම අගනුවර වූ පෙනොම් පෙන් හා ආශ්‍රිතව හොලිවුඩ් හා ඉන්දීය චිත්‍රපට ප්‍රදර්ශනය කෙරී ඇත. විජිත සමයේ ප්‍රංශ වැසියන් සමග හිඳ ප්‍රංශ බස හඳුනාගෙන උන් පුද්ගල සමාජ සඳහා ප්‍රංශ සිනමා කෘතිද අතරින් පතර පෙන්වා ඇති බව “Golden Slumbers” සිනමා කෘතිය ප්‍රදර්ශනය වූ පසු අදහස් දැක්වූ ඩෙව් චොව් කියා සිටියේ ය.


1960 දශකයේදී කාම්බෝජ සිනමාව ඇරඹෙන්නේ මෙතෙක් තමන් දුටු හොලිවුඩ් සහ හින්දි සිතුවම්වලින් ලද උණුසුමින් ඔද වැඩුණු කාම්බෝජ නිර්මාණකරුවන් කිහිප දෙනෙකුගේ වෑයමිනි. කිසිදු සිනමා පාසලක අධ්‍යාපනයක් නොලත් මෙම පිරිස සිය සිනමාලෝලීත්වය නිසාම සිනමා නිර්මාණකරණයට පිවිසුණෝ වෙති. ඉන්ද්‍රජාල, පෙම් පුවත්, මනහර සංගීතය, ගීත ආදියෙන් පිරී ගිය මෙම කෘති කාම්බෝජ වැසියෝ දැඩිව වැළඳ ගත්හ.

“ඒ කාලේ විනෝද වෙන්න කියල දේකට තිබ්බෙ නටන්න යන එකයි, චිත්‍රපට බැලිල්ලයි විතරයි. ඒත් නැටුමට ගොඩක් තහංචි තිබ්බ. ඉතින් චිත්‍රපටි ප්‍රසිද්ධ වුණා. මිනිස්සු ශාලාවල පොදි ගැහෙන්න පටන් ගත්තා“

“Golden Slumbers” චිත්‍රපටයේ කැමරාවට අදහස් දක්වමින් කාම්බෝජ වැඩිහිටියෙක් එසේ කියයි.
මෙම ජනප්‍රියත්වය නිසාම වසර 15ක් ඇතුළත සිනමා නිර්මාණ 400ක් පමණ කාම්බෝජ සිනමා ශාලාවලට පැමිණි අතර ප්‍රේක්ෂකයින්ගේ ආකර්ශණය දිනූ දයි සවෙත් වැනි නිළියන්ට සිනමා නිර්මාණ සඳහා වැළ නොකැඩී ආරාධනා ද ලැබී ඇත. ඇතැම් විටෙක එක් දිනක් තුළ, වෙනස් සිනමා කෘති කිහිපයකම රූගත කිරීම්වලට මෙම නළු නිළියන් සම්බන්ධ වූ බව සිනමා පටය අපට දෙස් දෙයි.

කෙසේ වෙතත් 1970 දශකය එළඹ, පොල් පොට්ගේ නායකත්වයෙන් යුත් කැමරූච් ගරිල්ලන් සිය කැරැල්ල පෙරට දියත් කරත්ම කාම්බෝජ සිනමාවේ ස්වර්ණමය යුගයට කණ කොකා හඬන්නට විය. 1970 එළඹෙත්ම පැවති පාලනය විසින් විනෝද කටයුතු සියල්ල නවතා දමන්නට අණ කෙරෙද්දී ඊට විරුද්ධව නැගී සිටින නිෂ්පාදකයින් 1975 දී සිනමා ශාලා වසා දමන්නට සිදුවන තුරුම සිය නිර්මාණ ජනතාව වෙත ගෙන යන්නට කටයුතු යොදා ඇත.

1975න් පසු පොල් පොට්ගේ නායකත්වය යටතේ ඇරඹෙන කැමරුච් පාලන සමය තුළ සිනමාව මතු නොව සියලු කලාවන්ට  හා කලාකරුවන්ට අත්වන්නේ බිහිසුණු ඉරණමකි.  පැවති බොහෝ කලාවන් තහනමට ලක්වෙද්දී සිනමාවද ඒ යටතට ගැනෙන අතර සමාජ විරෝධීන් ලෙස නම් කෙරෙන සිනමා නළු නිළියන් හා අධ්‍යක්ෂකවරුන් ද, කාර්මික ශිල්පීන්ද කැමරුච් භටයින් විසින් මරා දැමෙයි. දිවි බේරා ගත් අති සීමිත පිරිසෙන් බහුතරයක් ආරක්ෂාව ලබන්නේ සිය පැරණි පාලක දේශය වූ ප්‍රංශයේ රැකවරණය ලබමිනි. වසර හතරක පොල් පොට් පාලන සමයේ කාම්බෝජයේම රැඳී සිටිමින් දිවි රැකගැන්මට වාසනාව ලබන්නේ සිනමා ශිල්පීන් අතලොස්සක් පමණි. 1979න් පසු යළි හැරී බලන ඔවුනට සිය සිනමා කෘති යළි හමුවන්නේ නැත. හාර සියයක් වූ නිර්මාණ අතරින් ඉතිරිව පවතින්නේ කෘති පහළොවකි. සිනමා ශාලා සහ චිත්‍රාගාර පොළවට සමතලා කොට ඇති අතර ඉතිරිව ඇති ශාලා වල් වැදී ගොසිනි. සියල්ලටම වඩා, තිරයේ සැරූ සුන්දර නළු නිළියන් කවදා කොතැනක කෙසේ මිය ගියේදැයි දන්නා අයෙක් නැත.

එයින්ද වසර 31කට පසු, හිටපු ප්‍රධාන සිනමා නිෂ්පාදකයෙකු වන වැන් චාන්ගේ මුණුපුරු, තරුණ ඩෙව් චොව් සිය ප්‍රංශ අධ්‍යාපන ඥාණයෙන් සන්නද්ධව යළි මව් බිමට ගොඩබසින්නේ අතීතයේ වැළලී ගිය කාම්බෝජ සිනමාවේ අසිරිමත් යුගය සොයායන්නට ය. පසුගිය ජූනි 15වනදා, සිඩ්නි නුවර ඉවෙන්ට් සිනමාශාලාවේදී අප අත් විඳින්නේ එම සංචාරයෙන් ඔහු සොයාගත් වේදනාබර මතක සංවේදනා එකතුවකි.

2010 දී පමණ කාම්බෝජයට යන ඩෙව් චොව්ට සිනමා පටයට අවශ්‍ය පසුතල හෝ අතීත චිත්‍රපටවල රූප එකතූන් හමුවන්නේ නැත. කැරෝකේ ශාලාවක් බවට, ගරාජයක් බවට පෙරළී ඇති පැරණි චිත්‍රපට ශාලා, නැටුම් ගුරුවරියක් බවට පත්ව සිටින වයස්ගත දයි සවෙත්, සිය බිරිඳ හා දරුවන් සියල්ලම මියගිය බව ආරංචි මාත්‍රයෙන් දන්නා සිනමාකරුවකු වූ යුවොන් හෙම්, ප්‍රංශයට පළා ගොස් පසුව ධනවතකුව සිට, සිය රටේදී මියෙන්නට යළි පැමිණ සිටින සිනමාකරුවකු වූ ලි යු ස්රෙන්ග් ඇතුළු කිහිප දෙනෙක් සහ ස්වභාෂිත සිනමාවක් හරි හැටි නොහඳුනන තරුණ පරම්පරාව ය ඔහුට මුණ ගැසෙන්නේ. එහෙත් ඔහු සිය කැමරාව ක්‍රියාත්මක කරයි. දයි සවෙත්, යුවොන් හෙම්, ලි යු ස්රෙන්ග් ඇතුළු කිහිප දෙනා සිය කතා පුවත් අපට කියන්නට පටන් ගනියි. එදා සිනමා කෘතින්හි සුමියුරු ගීත හා සංගීත නාදයන් අප කණ වැකෙද්දී වෙනස් භාවිතාවන්හි පවතින පැරණි සිනමා ශාලා හා ඉසව් ද, එදා චිත්‍රපට රස විඳි වයස්ගත ‘පිච්චර් පිස්සෝ‘ ද රූප රාමුව තුළ අපට පෙනෙන්නට පටන් ගනියි. 



 

සිනමා කෘතිය ක්‍රමිකව දිග හැරෙත්ම වසර 40කට පෙර අතීතයේ වළ දැමුණු සිනමා පුරාවෘත්තය යළි අප හමුවෙහි පණ ලබයි. බිහිසුණු අතීතයේ වේදනාබර මතකයන් යළි සිහිකැඳවන්නට ඔවුන් තුළ ඇති කරුණු එකතුව ප්‍රමාණවත් නොවන බව හැඟෙන තරමටම ඒ බිහිසුණු බව පමණක් අපට දැනේ. කෙසේ නමුත් ආදරය, මතකය හා සබැඳි ආවර්ජනය කෙළවර අළු මතින් නැඟෙන ෆීනික්ස් පක්ෂියා සිහිකරමින් කාම්බෝජියානු සිනමාවේ අතීතය අප මනස්ගැබ තුළ අවදිකරන්නට සිනමාකරු සමත් වෙයි. මේ සඳහා ඔහු යොදාගන්නා ප්‍රධානම උපක්‍රමික ප්‍රවේශය වන්නේ ආඛ්‍යාන කලාවේ බලය යොදා ගැනීමයි.

මතක ආවර්ජනයන් (Remembrance) සබැඳි කතන්දර ප්‍රවේශමෙන් ගොඩ නැඟීමෙන් සංවේදී කතා පුවතක් නිර්මාණය කළ හැකි ය. ඩෙව් චොව්ට හමුවන පැරණි චිත්‍රපට කොටස් කිහිපය ඉතා දුර්වල වී.සී.ඩී. හා වී.එච්.එස්. පිටපත් හරහා ලැබෙන්නකි. ඒ හරහා ඔහු අතීතයට අප රැගෙන යන්නට ආරාධනා කරන්නේ පැරැන්නන්ට ය. ඔවුන් අප හමුවට පැමිණෙන්නේ අතීත චිත්‍රපටවල මතක සටහන් හරහා වර්තමානයේ ඇවිද යමිනි. දශක 4-5කට පසු ඔවුන් වෙත ඉතිරි ව ඇත්තේ කුමක්ද? කියන්නට ඇති කතාව කුමක් ද? සිනමාකරු මේ වෙත සිය කැමරාව යුහුමු කරයි.

යුවොන් හෙම් සිනමා නිර්මාණකරණයට පිවිස ඇත්තේ සිය නැගණියගේ බල කිරීමට ය. ප්‍රකට ඉංග්‍රීසි සිනමාකරු ඩෙල්මර් ඩේව්ස් අධ්‍යක්ෂණය කළ Bird of Paradise චිත්‍රපටයේ දර්ශන කාම්බෝජයේ දී රූගත කෙරී ඇති අතර හෙම්ගේ නැගණිය එහි උප චරිතයක් සඳහා තෝරා ගනු ලැබ ඇත. එයින් ලද අත්දැකීමෙන් තුටු වුණු නැගණියගේ බල කිරීමෙන්, පසු කලෙක යුවොන් හෙම් සිනමා නිර්මාණකරණයට පිවිසෙයි. ඔහු ගොඩනගන සිනමා චිත්‍රාගාරය නැගණියට නැගණිය තබන නම Bird of Paradise ය. සිය සිනමා ගමන් මග විස්තර කරමින් යුවොන් හෙම් යළි Bird of Paradise වෙත අප කැඳවාගෙන යයි. කැමරුච් ප්‍රහාරවලින් එය පොළවට සමතලා වී ගොසිනි. තැනින් තැන පැරණි සිමෙන්ති පොළව ඉතිරිව ඇති වල් වැදුණු පැරණි චිත්‍රාගාර නටඹුන් අතර යුවොන් හෙම් නිහඬව බලා සිටියි. ඔහුගේ පැරණි සිතුවමක මියුරු ගීයක් හඬ පටයේ අපට ඇසෙයි.

වාන් චාන්ගේ දියණිය, නොඑසේනම් සිනමා කෘතියේ නිර්මාණකරු වන ඩෙව් චොව්ගේ නැන්දණිය වන සොහන්ග් ස්ටෙලින්ග් ද අප හමුවට පැමිණෙන චරිතයකි. සිය පියාගේ මුල්ම නිර්මාණය, 1964 දී නිමැවුණු අන්දම ඇය අපට කියයි. පසුව ප්‍රංශයට පලාගොස් දිවි ගලවා ගන්නා ඔවුනට 1979දී පෙරළා එන විට චිත්‍රපට සියල්ල වෙනුවට හමුවන්නේ රූගත කිරීම් අතරතුර ගනු ලැබූ නිශ්චල ඡායාරූප 15ක් පමණි!

ලි යු ස්රෙන්ග් 1970 දශකයේ ප්‍රහාර ඇරඹෙත්ම සිදු කර ඇත්තේ සිය ආදරණීය බිරිඳ (ඇය ඔහුගේ සිතුවම්වල රඟ පෑ නිළියකි) ප්‍රංශයට පිටත් කොට හැරීමයි. පසුව වධ කඳවුරුවල පවා ගත කරමින් යන්තමින් දිවි රැක ගන්නා ඔහු වසර තුනකට පසු ප්‍රංශ රැකවරණය ලබා ගනියි. පැරිසියට ඉගිල යන ලි යු ස්රෙන්ග්ට හමුවන්නේ තමන් මිය යන්නට ඇතැයි විශ්වාස කර, පූර්ණ ලෙස බටහිර සිරිත් වැළඳගෙන වෙනත් අයෙකු ඇසුරේ වන බිරිඳයි. ඇය යළි ඔහු පිළිගත්ත ද පිටව එන ඔහු විවිධාකාර කටොළු විඳිමින් වසර 20කට පමණ පසු පැරිසියේ ටැක්සි සමාගම් තුනක හිමිකරුවකු වේ. සිය දිවියේ අවසාන සමය මව් බිමේ ගත කිරීමට සිතා කාම්බෝජයට එන ලි යු ස්රෙන්ග් චිත්‍රපටය තුළ දී සිය කෘතියකට පසුබිම සැපයූ ශුද්ධ වූ පොකුණ සොයා අප සමග යයි. එය අද අපිරිසිදු වූ කොළ පැහැ පොකුණකි. රූගත කළ යුගයේ ඒ බලන්නට ආ ස්ත්‍රීන් කිහිපදෙනක්ද ඔහුට මුණ ගැසේ. ඔවුන් අද මැහැලියන් ය.

කාම්බෝජ සිනමාලෝලීන් අතර මහත් ලෙස ජනප්‍රිය වූ ‘ආදරය සහ යුද්ධය‘ (Love and War), ‘නාග රජුගේ බිරිඳ‘ (The Snake King’s Wife) වැනි චිත්‍රපටවල රඟපෑ ප්‍රකට නිළි දයි සවෙත් ද සිය නැටුම් පන්ති අතරතුර ම අප හා සංවාදයට එයි. ඇගේ නිවසේ බිත්ති පුරා ඇළවී ඇති පැරණි චිත්‍රපටවල පෝස්ටර හා ඡායාරූපවල සිටින සිය සහෝදර නළු නිළියන් ඊයේ දිනයේද තමන් හා සිටියාක් ලෙස දැනෙන බව ඇය අපට කියයි. සැබවින්ම ඔවුන් මියගිය බව දුටු අයෙක් ද නැත. ඔවුන්ගේ සොහොන් කොතක් ද කොහිවත් නැත. දයි සවෙත්ට ද ඇසෙන්නේ (නරඹන අපට මෙන් ම) පැරණි චිත්‍රපටයේ ගීතය යි; නොඑසේනම් දෙබසයි.

කතා රචක හා සිනමාකරු ලියු බුන් යෙම් තමන් ලියූ ‘සොයුරියෝ දොළොස් දෙන‘ (Twelve Sisters) ගැන අපට කියයි. ඔක් සිලායුත්, ලිම් වුන් වැනි පැරණි සිනමා නිර්මාණවලට සබැඳිව කටයුතු කළ අයද, ශාලාවන්හි එදා රොද බැඳි වැඩිහිටියන්ද සිය මතකයන් අප හා බෙදා ගනිති. මේ සියල්ල අතර කැමරාව ද ගමන් කරයි. ඒ කුමන ඉසව් වෙත ද?

වල් වැදුණු Bird of Paradise චිත්‍රාගාරය, පවුල් දහසයකට සෙවන සපයන පෙරදා සිනමාහලක්ව පැවති ගොඩනැගිල්ල, තරුණ තරුණියන් කන බොන, ස්නූකර් ක්‍රීඩා කරන හා කරෝකේ ගායනා ගෙන එන සමාජ ශාලාවක් වී ඇති පැරණි සිනමාහල ඇතුළු දහසකුත් එකක් අතීත ස්මරණ ගබඩාවන්හි වර්තමාන ප්‍රතිරූ වෙත ය. පසුබිමින් නැගෙන සින් සිසමවුත් හා රොස් සෙරි සෝතා වැනි චිත්‍රපට පසුබිම් ගායක ගායිකාවන්ගේ පැරණි චිත්‍රපට ගීත යළිත් මොහොතකට මෙම ස්මරණ ගබඩාවන්ට ප්‍රාණය ලබා දෙයි.

බොහෝ වේලා අප වෙත කතා කළ ලි යු ස්රෙන්ග් පමණක් චිත්‍රපටය අවසානයේ අප අභියසම හඬා වැටේ. තමන්ට අහිමිව ගිය බිරිඳ පිළිබඳ මතකය නිසා නැඟුණු කඳුළු ඔහුගේ දෙකොපුල් රූරා වැටෙයි.

“කොච්චර දේවල් වෙනස් වුණා ද? කොච්චර දේවල් නැති වුණා ද?“

අවසානයේ ඔහු අපෙන් අසයි. එහෙත් යුවොන් හෙම්, දයි සවෙත් ඇතුළු සෙස්සෝ නොහඬති. ඔවුන්ගේ කඳුළු කෙළවරවී බොහෝ කලක් බව නිතැතින්ම අපට හැඟෙයි. සිනමා පටය නිමවී නැගෙන අත් පොලසන් නද නැඟුණ ද ඒ හා ඇසෙන එකිනෙකා අමතන හඬ  “Golden Slumbers” නිමවී නැඟුණේ මඳ වශයෙනි. දශක 4-5කට පෙරාතුව වැළලී ගිය කාම්බෝජ සිනමාවේ වේදනාබර මතක ස්මරණ සියල්ලන්ගේ මුව ගොළු කර තිබිණි.

සිනමා පටය කෙළවර වූයේ පැරණි සිනමාහලේ පදිංචිව සිටින තරුණ පිරිසක් විශ්මිතව විසල් ගඩොල් බිත්තිය දෙස බලා සිටින දසුනකිනි. ජරාජීර්ණව ඇති බිත්තිය මතින් පැරණි චිත්‍රපට දසුන් නැගී එනු ඔවුන්ට පෙනෙයි.
කාම්බෝජ සිනමාව යළි පණ නැගීම පිළිබඳ සැඟවුණු බලාපොරොත්තුවක් එහි විය. සැබවින් ම ඉතිහාසය වළ දැමිය හැකි ද?

ප්‍රියන්ත ෆොන්සේකා

(මෙම ලිපිය - කොච්චර දේවල් වෙනස් වුණා ද? - යන මැයෙන් 2012 ජූලි මස පළමුවැනි දින රාවය පුවත්පතේ පළ විය.)