මෙම සටහනම නොවෙතත්, ‘ඇන්ටික් කඩයක මරණයක්’ හා සබැඳුණු තරමක සමාන සටහනක් පසුගිය සතියේ මෙම තීරුව සඳහා ලියා අවසන් වෙමින් තිබිය දී පරිගණකය විසින් එය අතුරුදන් කෙරුණේ ඉඳහිට පරිගණකවල නැගෙන යාන්ත්‍රික දෝෂ දෙසට වගකීම දමමිනි. හඳගමගේ ‘ඇන්ටික් කඩයක මරණයක්’ සඳහා ආවේශය සපයන, ඔහුගේ සිනමා කෘතියක් වූ ‘අක්ෂරය’ ද ඉතා දිගු කලක් වෙනත් දෝෂ දර්ශන තුළ බහා අතුරුදන් කොට ඇති පසුබිමක ඔහු ‘ඇන්ටික් කඩයක මරණයක්’ සමග පැමිණීමට ගරු කරමින් යළි, සතියක් තුළ තව දුරටත් නැගුණු සිතුවිලි සමගින්, එම කෘතිය පිළිබඳව ලියූ සටහන වෙතම රැඳෙන්නට සිතුවෙමි.
හඳගමගේ කෘති
තුළ ඔහුට ආවේණික ලක්ෂණ වෙයි. වරෙක ‘මේ මගේ සඳයි’ පිළිබඳ සංවාදයක දී ඔහු කියා
තිබුණේ ‘මට සිනමා භාෂාවක් නැතැයි’ යනුවෙනි. ඒ සමස්ථ චිත්‍රපටයම ස්ථිතික රූප රාමු
තුළ බහාලමින්, චරිත රාමුව තුළට ගෙන එමින් හා පිට කරමින් ඔහු සිදු කළ තිබුණු
‘අමුතු’ හරඹය විමසූ විට ය. එහෙත්, භාෂාවක් නැති බව කී විගසම, ඔහු නව භාෂාවක් සිය
ප්‍රකාශනය සඳහාම තනා ඇති බව හැඟවෙයි. හඳගමගේ නිර්මාණ, මේ හඳගමයානු භාෂා ලක්ෂණවලට
ගරු නොකරන සහ නොපිළිගන්නා අවකාශ තුළ ආන්තික කලාප වෙත කෙසේ වුව, කේන්ද්‍රීය
සාකච්ඡාවෙන් ඔබ්බට හෝ, තල්ලු කොට දැමෙන්නේ එහෙයිනි. නඩු විනිශ්චයන්, තහනම් කිරීම්,
විරෝධතා සියල්ල පසුපස මේ ඔහු තනාගන්නා ස්ව-භාෂා ලක්ෂණ හා අඩු වැඩි වශයෙන් බැඳෙයි.
කෙසේ වෙතත්,
හඳගම වේදිකාවට බසින්නේ දශක ගණනකට පසුව ය. සිය පළමු වේදිකා නිර්මාණ කිහිපයෙන් පසු,
ටෙලි නාට්‍ය සහ සිනමා කෘති හරහාම සිය ප්‍රකාශන අප වෙත තැබූ හඳගම යළි සිය පුනරාගමනය
සඳහා දොරටුව තනාගන්නේ ද සිනමා කෘතියකම පශ්චාත් කතාපුවතයි. ඒ අනුව, එක්තරා දුරකට
මෙය සිය සිනමා කෘතිය වූ ‘අක්ෂරය’ බිත්තියට හේත්තු කිරීමට ඔහු පෙරළා දුන් ප්‍රති-ප්‍රහාරයක්
වැනි ය.
‘ඇන්ටික් කඩයක
මරණයක්’ මංගල දර්ශන තෙදිනෙන් පසු ඒ පිළිබඳ සමාජ මාධ්‍ය අවකාශ ප්‍රමුඛ කොටගනිමින්
ලියා තිබුණු සටහන් කිහිපයක්ම කියවන්නට මට අවස්ථාවක් ලැබිණ. ඒ හැරුණු විට, ප්‍රේක්ෂාගාරයේ
උන් ඇතැමෙක් කෘතිය සමග සිය එකඟතා හා නොඑකඟතා ද මා හා බෙදා ගත් හ. ඊඩිපස් සංකීර්ණය
සහ මනෝ විශ්ලේෂණවාදය හා බැඳී ආ අදහස්, සිංහල - බෞද්ධ ජාතිකවාදය සමග කෘතියේ පෙළ කරන
ගණුදෙනුව, තල ත්‍රිත්වයක් මත දිවෙන කෘතියේ රංග අවකාශය පිළිබඳ අදහස්, ප්‍රධාන චරිත
කිහිපයේ සහ ගායන/වාද්‍ය වෘන්දයේ මැදිහත්වීම් ඒ කියැවීම් තුළ සඳහන්ව තිබිණ. මේ කුඩා
සටහන, නිරතුරුව බහු-කියැවීම් යෝජනා කරන හඳගමගේ කෘති එකතුවේ නවතම වේදිකා නාට්‍යමය
මැදිහත්වීම වන ‘ඇන්ටික් කඩයක මරණයක්’ වෙත තවත් එක් යෝජනාවක් ඉදිරිපත් කිරීමට ය.
හඳගමගේ
‘ඇන්ටික් කඩය’ ඔහුගේ ‘අක්ෂරයේ’ දිගුවක් ලෙස පැමිණ තවත් මරණයක් අප වෙත තබයි. එය කෘතියේ
නම තුළම වෙයි. ඒ කෙසේ වෙතත්, කෘතිය නරඹන අපි ද, කෘතියේ පාත්‍ර වර්ගයාගෙන් වැඩි
කොටසක් ද මේ ඇන්ටික් කඩ අවකාශය අභියස නොමැරී ජීවත් වන්නෝ වෙති. මට අනුව, ඔහු මේ අප
වෙත තබන ‘ඇන්ටික් කඩය’, නව නාට්‍ය ආකෘතිය තුළ තත්‍ය රංග උපකරණ භාවිතා නොකොට තැනිය
හැකි බව එක් තරුණ දක්ෂ නාට්‍යකරුවෙකු මා සමග සඳහන් කළ ‘ඇන්ටික් කඩය’, පෙර
කෞතුකාගාර මුරකරන්නා දැන් ඒ අතීතයෙන්ම තෝරා බේරාගත් භාණ්ඩ විකිණීම සඳහා භාවිතා කරන
‘ඇන්ටික් කඩය’, ඔහුගේම රමණ රහස් අප වෙත (නො)සඟවා තබන ‘ඇන්ටික් කඩය’, ඔහුගේම
‘අදරැති’ දියණිය මාරාන්තික රමණයකින් පසු
මරා දැමෙන ‘ඇන්ටික් කඩය’ ඇතුළු සියල්ල ඉක්මවමින්, හඳගමයානු ප්‍රකාශන භාෂා ස්වරූපය
මත මැවෙන ‘ඇන්ටික් කඩයකි’! එය අප මිය නොයා ජීවත්වන ඇන්ටික් කඩය පිළිබඳ සංකේතයක් ද
අප වෙත සංඥා කරයි.
මගේ යෝජනාව මේ
බහු සංඥා සපයන ‘ඇන්ටික් කඩය’ පමණක් ගෙන වෙන්ව සාකච්ඡා කිරීම ද අගනා බව ය.
පෙර කෞතුකාගාර
මුරකරු හෙවත් වර්තමාන ඇන්ටික් කඩකරු, ඔහුගේ දියණිය, දියණියගේ හීරළු පෙම්වතා,
පරිවාසයේ සිට පෙරළා පැමිණෙන මහේස්ත්‍රාත්වරියගේ පුතු යන සියල්ලන්ගේම චක්‍රීය ගමන්
මාර්ග ඇන්ටික් කඩය පසුබිමෙහි තබමින් තැනෙයි. මුරකරුගේ නිවස තැනී ඇත්තේ, භෞතිකව
නම්, ඇන්ටික් කඩයේ උඩුමහලේ ය. ගායන හා වාදන වෘන්දය හමුවන්නේ ඇන්ටික් කඩයට වම්
පසින් පහළ වේදිකාවේ ය. ඒ හැටි දෙයක් නොවුණත්, ඇන්ටික් කඩය වේදිකාවේ විශාල අවකාශයක්
අරාගනිමින් රැඳෙයි. මේ ‘ඇන්ටික් කඩය’ කුමක් විය හැකි ද?
සංස්කෘත නාට්‍යයේ
සිට මෙරට ගැමි නාටකය හරහාත්, නෝ කබුකි හරහාත් ගමන් කරමින් සරච්චන්ද්‍ර තැනූ ‘දේශීය
නූතන නාට්‍ය සම්ප්‍රදායේ දී’ චරිත සිය අවකාශ සොයා යන්නේ චක්‍රීය ගමන් පථවල ය.
මෙහිදී සියල්ලෝ ඒ ගමන් පථ හා සමාන ගමන් පථවල යති. අප වසර 75ක් පමණ තිස්සේ ඉහළ තලයක
ලා අගයන චක්‍රීය ගමන් පථය පසුපසෙහි ඇන්ටික් කඩය තබමින්, හා ඇන්ටික් කඩය සාපේක්ෂව
අක්‍රීය අවකාශයක් බවට හරවමින්, හඳගම සිය නව ප්‍රකාශන අඩවිය විමසන්නට අපට ආරාධනා
කරන බව පෙනේ.
සරච්චන්ද්‍ර
තැනූ චක්‍රීය ගමන් පථය පසුපස දෘශ්‍යමාන ඇන්ටික් කඩයක් නොතැනුණ ද ඒ පසුපසින් නැගී ආ
දෘෂ්ටිවාදාත්මක ප්‍රවේශ අපට ඇන්ටික් ලොවක් තනා දුන් හ. ඒ සමාජ, දේශපාලනික කතිකාව
ඛේදාන්තයකින් පසු ඇන්ටික් කඩ අප වෙත තබන සමය වන විට හඳගම පැමිණ එය අපට පෙන්වා ඇත.
එබැවින්ම මේ අඳුරු, චරිත එතරම් ඇවිද නොයන, වාද්‍ය/ගායන වෘන්දය විමසන්නට හෝ නොසිතන
‘ඇන්ටික් කඩ’ අවකාශය විසුණු කොට විමසිය යුත්තේ අප ද? ඒ හරහා අප සොයාගත යුත්තේ
‘ඇන්ටික් කඩ’ අවකාශවල අප නොමැරී ගත කරන ජීවිත ද?
‘ඇන්ටික් කඩය’
බහු-කියවීම් නිතැනින්ම තනන අවකාශයක් බැවින් මට එරෙහිව අතීත උරුමයෙන් ගත් ආයුධයක්
‘ඇන්ටික් කඩ’ අවකාශයෙන්ම ගෙන දමා ගසා ඔබටත් තවත් මාර්ග යෝජනා කළ හැකි ය.
-ප්‍රියන්ත
ෆොන්සේකා -