Thursday, October 22, 2020

පුස්තක සම්මාන ‘එක මිටට’ ගැනීම: නොපෙනී මැකෙන සාහිත රචනා

 (2020 ‍ඔක්තෝබර් 18 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි)

මුලින්ම නව කතා වෙනුවෙන් ස්වර්ණ පුස්තක සම්මානයක් පිදෙන්නට තීරණය වූ මොහොතෙහි සමාජ අවධානය බිඳවැටෙමින් තිබෙන සාහිත්‍ය කලාපයක් දෙස යම් අවධානයක් යොමු කරවීමටත්, ලේඛකයින් වෙත යම් ප්‍රබෝධයක් හා උද්යෝගයක් ජනිත කරවීමටත් එය හේතු වනු යන හැඟීමෙන් මසිත පිරී ගිය බව මතක ය. පසු සමයක නව කතාවට පසුපසින් එමින් කෙටි කතා සහ කාව්‍ය වෙනුවෙන් රජත පුස්තක නමින් සම්මානයක් පිදෙන්නට යන බව ඇසූ විට නැගුණේ ද සමාන හැඟීමකි. රාජ්‍ය සාහිත්‍ය සම්මාන, විදුදය සම්මාන සහ ගොඩගේ සම්මාන යනාදිය පැවතිය ද ස්වර්ණ පුස්තක සහ රජත පුස්තක යන්න ස්වර්ණමය හා රජතමය හැඟීමකින් අදාල කෘති දෙස බලන්නට අප පොළඹවනු ඇතැයි යන ධනාත්මක සිතුවිල්ල මසිත ජනිත කරවී ය. සියල්ලම නොවෙතත්, බොහෝ වසරවල සම්මානිත කෘති මිලට ගන්නට ද මා මෙහෙයවන්නට මේ සිතුවිල්ල බලපෑ බව දැන් හැරී බලද්දී හැඟෙයි.

පඩි පෙළක් නගින්නාක් මෙන් නැගෙමින්, වටයෙන් වටය තේරී කෘති ඉහළට යද්දීත්, තවත් බොහෝ කෘති හැලී යද්දීත් ඒ පිළිබඳ විවිධ වාද විවාද මෙන්ම අවලාද ද නැගෙනු සම්මානයේ අගනා බව ඉහළ යත්ම සිදු විණ.අගනා බව’  වැඩිමනත් ඉහළ ගියේ මුදලිනි! සම්මාන ගෙන ආ පොත් ප්‍රකාශකයින්ගේ සංගමය ඒ වෙත ලබා දුන් මුදල් තෑගි ඉහළ නැංවීමෙනි. කෙසේ වෙතත්, අවලාද සහ වාද විවාද නැඟුණේ මූලික වශයෙන් වඩා ඉහළ  ඇගයුමක් ලබාදිය යුතු කෘති ඉවතට විසි ව යන්නේ ය යන කරුණ වටා නැගෙමිනි. ඒ හා සමග ඉවත් කළ යුතු කෘති ඉහලට ගෙන ඇත්තේය යන චෝදනාව  පදනම්ව නැගෙමිනි.

 

කුමන අවලාද නැගී ආවද සාහිත්‍ය කෘති විෂයෙහි පමණක් නොව වෙනයම් කවර ක්ෂේත්‍රයක් හමුවේ වුව ඇගයුම් ලැබීම හෝ ලබා දීම වරදක් නොවේ. යම් කතුවරයෙකුගේ නිර්මාණාත්මක මැදිහත්වීම, වෙහෙස, සමාජ ප්‍රගමනය සඳහා ඔහු හෝ ඇය දක්වන ලද දායකත්වය ඇතුළු බොහෝ දේ වෙනුවෙන් සෙසු සමාජය දක්වන ඇගයුම පිළිබඳ හැඟීම එම සම්මානය පිටුපස සැඟව තිබෙයි. එබැවින් සම්මානයක හැඩය, උස, බරවිශාලත්වය කවර ස්වරූපයක් ගත්තද ඒ හා සමග නැගෙන ඇගයුමෙහි හැඩය එක සමාන හැඩයක් ගනී. නිර්මාණ විනිශ්චය මණ්ඩල පිළිබඳ ඔබගේ ඇගයුම් හා ප්‍රතිමාන වෙනස් වන බව හා ඒ පදනම්ව ලැබුණු හා ලැබෙන්නට නියමිත සම්මාන පිළිබඳ ඔබගේ කියවීම වෙනස් වන බව දැනගෙන වුව මා ඉහත ප්‍රකාශය සිදු කරන්නේ ප්‍රදානය කෙරෙන සම්මානය පිළිබඳ ගෞරවයෙනි.

 

මට හැඟෙන ආකාරයට, සම්මානයක් ප්‍රදානය කෙරෙන්නේ නම් ඒ සඳහා කෘති තේරීම සිදු විය යුතුම කරුණක් බැවින් අපේ අවධානය යොමු විය යුත්තේපාඨකයින් ලෙසසමස්තයක් වශයෙන් සම්මාන දිනන මෙන්ම නො දිනන කෘති වෙත ය. ස්වර්ණ හා රජත පුස්තක සම්මාන දසෙසු බොහෝ සම්මාන ද  පිරිනැමෙන්නේ වාර්ෂිකව අප වෙත එන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය එළිපත්තේ හිඳ බැවින් සම්මාන සමඟ දිදුලා නැගීඉහළ පිටපත් ප්‍රමාණයක් විකිණීරට පුරා මධ්‍යම පාන්තික නිවෙස් හා කුඩා පුස්තකාලවල රාක්කවල ඉඩ වෙන්කරගැනීමට මේ සම්මානිත කෘතිවලට ලැබෙන අවකාශය ඉහළ ය.  නමුත් අවධානය අඩුවෙන් ලැබී, වැඩිපුර නොවිකිණී, යළිත් අදාල පොත් වෙළෙන්දන්ගේ ගබඩා වෙත මිටි වශයෙන් ගමන් කරන කෘතිද ඇති බව පැහැදිලි ය. ඒ මිටි ප්‍රමාණය වඩ වඩාත් ඉහළ නගින්නේ  පුස්තක සම්මාන දිනූ හා එක් එක් වටවලට තේරුණු කෘති කංචුකවල රන් සහ රක්ත වර්ණවලින් ඒ බව කියැවෙන වෙළඳ සංඥා එක් කිරීමත් සමගය. ඉන්ද නොනැවතී පුස්තක සම්මාන දිනූ කෘති සියල්ලටම  මිල මේ යැයි  කියවෙන ප්‍රචාරක පුවරු වෙළඳ කුටි අබියස තැබීමත් සමග ය.

 

 දැන්, මේ සියල්ල හමුවේ, තවත් විශිෂ්ට කෘති අපට නොපෙනී ගිය හොත්?

 

 මා සියලු නවකතාකෙටි කතා සහ කාව්‍ය කෘති විමසමින් බලන සාහිත්‍ය විචාරකයෙකු නොවේ. වඩා යහපත් යැයි හැඟෙනඇතැම් විට මිතුරන් හෝ නොයෙක් විද්වතුන් විසින් හොඳ කෘතියකැයි ඇගයුම් ලබාදී ඇතිඑසේත් නැතිනම් මගේ පෞද්ගලික කැමැත්ත අකමැත්ත පදනම්ව මවිසින්ම තෝරාගන්නා   යම් කෘති ප්‍රමාණයක්  ආශ්‍රය කරන පාඨකයෙක් පමණි. එවැන්නෙකු ලෙස ඉහත පැණය මවෙත නැඟුනේ අහම්බෙන් මුණගැසුනු යටකී සම්මාන විශ්වයට අතහැරුණු එක්තරා කෙටි කතා පොතක් හේතුවෙනි.  කෘතිය ලියා ඇත්තේ ඉසුරු චාමර සෝමවීර ය.  කෘතියේ නම ගැහැනු පිරිමි මල් පලතුරුය. 

 

සැබැවින්ම ඉසුරුගේ කෘතිය මා තවම කියවා අවසන් නැත.නිල් මල් ගවුම’, ‘ සාන්තසහකිඳුරු වෙරළ’  යන කෙටිකතා තුන පමණක් කියවන්නට පසුගිය දින කිහිපය මට අවසර ලබා දුන්නේය.  එම කතා ත්‍රිත්වය හා සමග මේ වසරේ සම්මාන දිනූ හෝ  සම්මාන සඳහා නිර්දේශ වූ  කෙටි කතා පොත්වල කතන්දර සසඳන්නට මා නොයන්නේ පෙරකී ලෙසම මා සාහිත විචාරකයෙක් නොවන බැවිනි.  නමුත් මගේ රසික මනස තුළ ඉසුරුගේ  කතා ලබා දුන් ආහ්ලාදය තවම මැකී ගොස් නැත‍. 

 

නිල් මල් ගවුමකෙටිකතාවෙහි විදුර අප අභියස තබන්නේ සංස්කෘතිකව දියුණු සමාජ වෙත සංක්‍රමණය වුවද මනසින් අසංස්කෘතික ශ්‍රී ලාංකික පිරිමියා පිළිබඳ අප තැතිගන්වන සුළු  සංකේතය ය.සාන්ත’  කෙටිකතාවෙහි බුදු කුටියෙහි සැඟව සිට කුඩා සාමණේරයන්ට මුණගැසෙන සාන්ත තවම මෙරට පුරවැසි ප්‍රජාවට මුණ නොගැසුණු කුඩා  සාමණේරවරුන් පිළිබඳ බිහිසුණු යථාර්ථය ගෙන එන සංකේතය ය.කිඳුරු වෙරළ’ යනු අප ප්‍රජාවේම එක් සහෝදර කලාපයක් පිළිබඳ නොපෙනී ගිය වෙරළ තීරයක් ය. කෙසේ හෝ වෙතත් මේ තැති ගැන්වීම් සමග වන යථාර්ථයන් ඉසුරු අප වෙත තබන්නේ විශ්මිත සාහිත්‍ය රසයක් මවමිනි. කෘතියේ ඉදිරිය වෙත ගමන් කිරීමට මා කැමැති වන්නේ මේ තැති ගැන්වීම් සහ බිහිසුණු බව සමගම ගෙන වඩා සුහුරු හා විශ්මිත සාහිත්‍ය රසයක් සමග එක්ව තබා එම කතන්දරද ඉසුරු අප වෙත ගෙනැවිත් ඇතැයි යන විශ්වාසය මා වෙත නැගී ඇති බැවිනි.

 

ඉසුරු චාමර සෝමවීර හා සමාන තවත් දක්ෂ රචකයින්ගේ සාහිත්‍ය රචනා පුස්තක සම්මාන එක මිටට ගෙන මිලට ගැනීම හා ඔද වැඩීම හේතුවෙන් අපගේ පුස්තකාල වෙත නොපැමිණෙනු ඇත. ඒ අප නොකිය වනු ඇත. සිදුවන්නේ වඩා පුළුල් සාහිත ලෝකයක් හා ඉතා රසවත් රචනා කලාපයක් නොපෙනී යාම ය. 

 

 සම්මාන පුස්තක වෙත ලැබුණා වේ!  ඒ ස්වර්ණමය හෝ රජතමය වූවා වේ! පාඨකයින් ලෙස අපි  සම්මානයට වඩා පියවරක් ඉදිරියෙන් සිට ගනිමු! එවිට ඉසුරු වැන්නන් ගෙන එන සාහිත්‍යමය ‘ඉසුරු’ අප නෙත ගැටෙනු ඇත.

 

- ප්‍රියන්ත ෆොන්සේකා - 

 

සේයාරුව: https://www.gagana.lk/

 

Thursday, October 1, 2020

නැටීමේ පද අරුත: වෙනුරි ඇතුළු කණ්ඩායමේ ‘නින්ජා’ නැටීම

 (2020 ‍සැප්තැම්බර් 27 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)


ගෙවුණු සති අන්තයක, හදිසියේම කොළඹ නගරයේ තෝරාගත් ස්ථාන කිහිපයක මතුවූ නර්තන ශිල්පීන් සහ ශිල්පිනියන් කණ්ඩායමක් සිය නිදහස් නර්තන චලන, සෙස්සන්ට බාධාවක් නොවන පරිදි ඉදිරිපත් කරමින් ස්වකීය ශරීරය ප්‍රකාශන මෙවලමක් ලෙස ගෙන, රටේ අගනුවර ජන සමාජය නර්තනය හා සමග ස්ත්‍රිය දෙස විමර්ශනාක්ෂිය යොමන ආකාරය විමසා බලා තිබිණ. සමකාලීන නර්තන භාවිතය සමග වඩාත් ඉහිල් එමෙන්ම සරල ශරීර ප්‍රකාශන සමග ක්‍රියාත්මකව තිබුණු roadside ninjas නමැති මෙම කණ්ඩායම හඳුනාගත නොහැකි ලෙස ස්වකීය මුහුණු ආවරණය කර ගැනීම හරහා ස්ත්‍රී ශරීරය මෙවලමක් ලෙස දැකීමේ සමාජ ප්‍රවේශය නිර්භීත ලෙස විමසා බලා තිබිණ. මහරගම සති පොළ, නුගේගොඩ දුම්රිය ස්ථානය අවට කලාපය, දියත උයන, One Galle face සුපිරි වෙළඳ සංකීර්ණය, තුරඟ තරඟ පිටියේ සෙනසුරාදා වෙළෙඳපොළ යන කලාප මෙම හදිසි නර්තන ප්‍රහාරකින්ගේ  විමසුම් කලාප බවට පත්ව තිබිණ.

ලාංකික සමකාලීන නර්තන කලාපය තුළ ස්වකීය භූමිකාව වඩාත් පැහැදිලිව සටහන් කොට ගෙන සිටින වෙනුරි පෙරේරා මෙම කණ්ඩායම මෙහෙයවා තිබුණේ ස්ත්‍රී ශරීරය පිළිබඳ පොදු සමාජ කියවීම විමසමින්ම නර්තනය අභිමුව සමාජ වටහා ගැනීමේ දිග පළල හඳුනා ගනු පිණිසය. යටකී ස්ථාන  සියල්ල වෙතදීම වෙනුරි ඇතුළු කණ්ඩායම ස්වකීය නර්තන භාවිතයන් වෙත ප්‍රවේශ වී තිබුණේ මෙම මොහොතේ පවතින සෞඛ්‍ය සීමාවන් පිළිබඳ පවා සවිඥානිකව බව නර්තන කණ්ඩායමේ සාමාජිකත්වය වෙතින් මට දැනගත හැකිවිය. ඒ කෙසේ වෙතත්, එක් එක් කලාපවල දී ස්වකීය ශරීරය මෙවලමක් ලෙස ගෙන නිදහස් නර්තන චලන වෙත ප්‍රවේශ වී තිබුණු නර්තන කණ්ඩායම් සාමාජිකත්වය වෙත ලැබී තිබුණු ප්‍රතිචාර නම් එකිනෙක වෙනස් මෙන්ම නර්තනය හා ස්ත්‍රී ශරීරය පිළිබඳ සමාජ කියවීම වඩා සංඥාරූපීව පිළිබිඹු කෙරෙන ස්වරූපයක් ගෙන තිබිණ.

සැබැවින්ම අනෙකාගේ නාස් පුඩුව වෙතින් අපගේ නිදහස සීමා වෙන බව කියැවෙතත් කොරෝනා හේතුවෙන් එය මීටරයකට මෙපිටින් සීමා කෙරෙද්දී  එම සීමාව තුළ හිඳ හෝ ස්වකීය ශරීරය නිදහස් නර්තන චලනයක් වෙත යොමුකිරීමේ අවකාශය අප රට ‘නිදහස’ තුළ පවතී දඑම පවතින ‘නිදහස’ වුව ස්ත්‍රිය සහ පුරුෂයා හමුවේ වෙනස් ස්වරූපයන් නොගනී දස්ත්‍රියම වුව, තවත් ස්ත්‍රියකගේ චර්යාවන් දෙස නෙත යොමන්නේ පුරුෂ ඇසකින් නොවන්නේ ද?

‘නටන්ඩ වෙන තැනක් නැතුව ඇති...? ‘ඔහොම නටන්ඩ නං අපිටත් බැරුවයැ...’ යනාදී වශයෙන් වෙනුරි ඇතුළු කණ්ඩායම ලබා තිබුණු ප්‍රතිචාරත් වඩා ‘නිදහස්ම’ අවකාශ ලෙස පිළිගැනෙන දියත උයන වැනි කලාපවලදී ඔවුන් වෙත ලැබී තිබුණු ආරක්ෂක අංශවල සීමාකිරීමුත් නර්තනය මතු නොව ස්ත්‍රී ශරීරය හමුවේ ගොඩනැගෙන සමාජ කියවීම පිළිබඳ වෙසෙසි අර්ථ ගැන්වීම් අප වෙත ලබා දෙයි.

වෙනුරි ගේ මූලිකත්වයෙන් යුත් ‘roadside ninjas කණ්ඩායමේ මෙම නර්තන ප්‍රවේශය වෙනත් දේශයක, වඩා දියුණු සංස්කෘතික නගර කලාපයක නම් එතරම් විස්මය දනවන එළඹුමක් නොවේ. කුඩා සංගීත මෙවලම් සමඟ   වීදි කෙළවරවල නැගෙන සංගීත කණ්ඩායම්පසුබිම් සංගීත හා නැගෙන නර්තන ඉදිරිපත් කරන්නන් මතු නොව මහමග වීදි කෙළවර විසල් අවකාශවල සිය කැන්වසය එළා අති දැවැන්ත සිතුවම් අඳින චිත්‍ර ශිල්පීන්ද එවැනි නගරවල නිරතුරුව හමුවන අතර සිය ගමන අතරතුර මොහොතකට නැවත එම ක්‍රියාකාරකම් දෙස බලා මුදලකින් නැතිනම් අත්පොළසකින් හෝ ඔවුන්ව දිරිමත් කොට යළි ඇවිද යන නගරවැසියන්ද නිරතුරුව දැකිය හැකි ය. කෙසේ වෙතත්, මහමග හමුවන යදින්නන් සමග මිස සංස්කෘතික ප්‍රකාශකයින් සමග ගනුදෙනු කොට නොමැති මෙරට සමාජයට වෙනුරිලාගේ කණ්ඩායම  විස්මයක් වීම අරුමයක් නොවේ. 

එසේ වතුදු, ඉහත කණ්ඩායමේ සාමාජිකත්වය දැරූ හසන්ති නිරිඇල්ල ස්වකීය අත්දැකීම් අප හා සමඟ බෙදා ගත්තේ මෙම සමාජ අවකාශ තුළ දී තමන් අත්දුටු වඩාත් සාධනීය කරුණු ද වූ බව පෙන්වා දෙමිනි. නුගේගොඩ දුම්රියපල අසල කොස් විකුණු කාන්තාවක් නර්තන ශිල්පිනිය අමතා ඇගේ නර්තනය අගය කොට තිබුණේ ‘ඔබට නටන්නට ලැබීම වැදගත් නමුත් මම නම් මෙතන වසර ගණනක් කොස් කපමින් ම කල් ගෙවන බව’ සඳහන් කරමිනි. වසර ගණනක නොවෙනස් ජීවිතය තුළ වූ, රේඛීය, ඒකාකාරී ස්වරූපය හඳුනා ගැනීමට හා යළි මෙනෙහි කිරීමට හදිසියේ ඇය අබියස නර්තනයක් ඉදිරිපත් කරමින් පෙනී නොපෙනී ගිය නර්තන ශිල්පිනියට හැකිවීම කෙතරම් සුවිශේෂ ද?

ඒ හා සමග, ‘ඕවා ඔහොම නටන ඒවා නෙවෙයි...’,‘මෙහෙම තැන් තැන්වල නටනවයැ!’ යනාදී වශයෙන් එම කණ්ඩායම වෙත ලැබී තිබුණු ප්‍රතිචාරත්, ‘මෙහෙ නටන්නෙ අවසරගෙන දැයි’ ආරක්ෂක අංශ වෙතින් ලැබී තිබුණු විමසීම් පෙළත් ලාංකික පොදු සමාජ අවකාශය තුළ නර්තනය, නර්තනය හා බැඳුණු ස්ත්‍රී ශරීරය විෂයයෙහි ඇති මූල කියවීම සංඥා කරයි. සැබැවින්ම නර්තනය පැවතිය යුත්තේ මතු මහලෙක දඑය නොයෙක් සමාජ අවකාශ තුළ පෙනී නොපෙනී හෝ පැවැතීමේ වරද කුමක්ද

ස්ත්‍රී ශරීරය මෙවලමක් ලෙස දැකීමේ ඛේදනීය පසුගාමී සමාජ තත්ත්වයට එරෙහිව වෙනුරි පෙරේරා ඇතුළු ‘roadside ninjas කණ්ඩායමේ ප්‍රවේශය අගය කළ යුතු ය. එමතු ද නොව නර්තනය යම් නිශ්චිත සංවෘත කලාපවල සඟවා තබා, කලාවේ භාවිතය රාමුගත සීමා තුළ සිර කොට තබා, වියළි, රළු හා කඨෝර නගර අවකාශ තුළ ඇවිද යාමට එළඹෙන සමාජ පසුගාමීත්වය පරාජය කළ යුතුය.

 -ප්‍රියන්ත ෆොන්සේකා - 

 සේයාරුව: https://52artists52actions.com/