
සංස්කෘතික
වශයෙන් සහ දේශපාලනික වශයෙන් ද ඉමහත් බාධක හමුවේ වුව, සංස්කෘතික විප්ලව සමයෙන් පසු
යුගයේ ඉරාන නව සිනමාව බොහෝ ජයග්‍රහණ හිමිකර ගත්තේ ය. ඒ සමය තුළ විශිෂ්ඨ සිනමා
කෘති දායාද කළ අබ්බාස් කියොරස්තාමි, මොහ්සෙන් මක්මල්බාෆ්, ජෆාර් ෆනාහි ප්රමුඛ නව
සිනමා නිර්මාණකරුවන් අතර මජිඩිට ද හිමිවූයේ
මුල් පෙළ අසුනකි. සංස්කෘතික සීමාවන් අභිබවමින් දේශපාලනික සිනමා නිර්මාණ
තනන්නට, සෙසු බොහෝ සමකාලීනයින් මෙන්ම ඔහු ද, ළමා චරිත පෙරමුණට කැඳවී ය. සපත්තු
ජෝඩුවක් සොයමින් ඉරාන නගරාවකාශයේ පහළ මධ්‍යම පාන්තික නගරවැසියන්ගේ ජීවන බිම් පුරා
දිවයන්නේ එසේ ආ චරිතද්වයක් වූ අලී සහ සාරා ය.
මාසය
අවසන සොච්චම් මුදලක් අතට ගෙන නිවසට ගොඩ වදින පියාට සපත්තු ජෝඩුව අහිමි වූ පුවත
පවසනු නොහැකිව අසරණ වන අලී සහ සාරා පාසැල් ගමන සඳහා, ඉතිරිව ඇති එකම සපත්තු යුවල වන
අලීගේ සපත්තු මාරු කරගනිමින් පැළඳ භාවිතා කරන්නට තීරණය කරති. ඉරාන පාසැල් කාල
සටහන්, පිරිමි සහ ගැහැණු දරුවන්ට වෙන් වෙන් පාසැල් කාල වෙන් කර තැබීම සිය අවස්ථාව
කරගන්නා සාරා පළමුව පාසැලට ගොස් හැකි වේගයෙන් නිවස කරා දිව එන අතර, මග රැදී සිටින
අලී ඒ සපත්තු පැළඳ සිය පාසැල කරා දුවයි. අයියාගේ පාදවලට වඩා කුඩා සිය සිගිති
පාදයෙන් ගිලිහී මග හැලෙන සපත්තු නිසා අසරණ වන සාරා සහ නංගීගේ වේගය කෙතරම් වුවත්
පාසැලට නිසි කාලයට දිව යන්නට නොහැකිව මුල්ගුරුවරයාගේ උදහසට ලක්ව අසරණ වන අලී ඉරුණු
සපත්තු යුවළට වඩා විශාල ජීවන අරගලයක ‘කොලාජ්‘ කැබලි අප අභියස සිතුවමක පරිද්දෙන්
එක් කරති. ආගමික හා සංස්කෘතික වශයෙන් වඩාත් එකිනෙක වියුක්ත පරිසරයක වුව ආර්ථිකය මත
පදනම් වන ජීවන අරගලයේ ඇති සමීප බව ඒ කොලාජ් රූ මත අපගේ ජීවිතය තබමින් අපට වටහා ගත
හැක.
“අලී...
මේ රස්සාව හරියට කර ගන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් අම්මට හොඳ ශීතකරණයක් අරන්
දෙන්න. ඕනෙ කරන බඩු මුට්ටු අරන් දෙන්න. ඇයි... ඒ විතරක් ද.... අපිට පුළුවන් මීට වඩා ලොකු කුලී ගේකට යන්න.“
චිත්‍රපටයේ
එක් අවස්ථාවක, අහම්බෙන් ලැබුණු සති අන්ත රැකියාවක් වන උද්‍යාන අලංකරණ කටයුත්තක් සඳහා
ගොස් එන අතරතුර, ලැබුණු මුදලින් සතුටට පත් අලීගේ තාත්තා ඔහු අමතමින් කියයි.
තාත්තාට සඟවාගෙන සිටින, ඔහු සිත තුළ රිදුම් දෙන නැගණියගේ සපත්තු යුවළේ කතාව එක්
වනම අලීගේ මුවට නංවන්නේ මෙවන් පිළිතුරකි.
“ඇයි
තාත්තේ... සාරාට හොඳ සපත්තු කුට්ටමක් අරන් දෙන්නත් පුළුවන්නෙ!“
අලීගේ
හෝ තාත්තාගේ සිහින තිර කරගන්නට ඉඩ නොදී ඔවුන්ගේ පාපැදිය, තිරිංග නොමැතිව අනතුරකට
ලක් වේ.
තියුණු
අරගලයක අවසානයේ අලීට මුණ ගැසෙන්නේ පාසැල් අතර පවතින දිගු දුර ධාවන තරගයකි. එය
අලීගේ සිහිනයට ඇති දුර, එනම් නැගණියගේ සපත්තු යුවළට ඇති දුර, ඉතා ආසන්න තැනක බව
දක්වයි. ඒ එහි ත්‍යාග ලැයිස්තුවේ සපත්තු යුවළක් ද ඇතුළත් කර තැබීමෙනි. එහෙත්,
විශාල තෑගි අතර, එක් කෙළවරක වන කුඩා සපත්තු ත්‍යාගය, එහි තුන්වන තැන දිනන්නාට
හිමිවන අමතර අංගයකි.
සිය
ගණනක් පාසැල් ළමුන් සහභාගි වන තරගයට පාසැල නියෝජනය කිරීමට වරම් දිනන්නට ද අලීට
දුෂ්කර මාවතක් හමු වේ. ඉන් ද ජය ගෙන ඔහු තරගයට එන්නේ, සියලු තරගකරුවන් තුළ නොවූ,
වෙනස් නමුත් අධිෂ්ඨානශීලී ඉලක්කයක් සහිතව ය. ඒ තෙවැනි තැනයි!
චිත්‍රපටයේ
අවසානය, හා ඒ හරහා ලැබෙන ජීවිත පරිඥාණය විඳගන්නට මම ඔබට ඇරයුම් කරමි. මෙය
අන්තර්ජාලය ඔබට සොයා දෙන සිතුවමකි. එය විඳීම කැඩුණු කුඩා සපත්තු යුවළකට වැඩි යමක්
ඔබට තිළිණ කර දෙනු ඇත.
-
ප්‍රියන්ත
ෆොන්සේකා -