Saturday, March 30, 2019

පේරාදෙණි වල සතිය ‘වලෙන්‘ ගොඩ ගැනීම


(2019 මාර්තු 24 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)


එළඹෙන සතියේ පේරාදෙණියේ ‘වල‘ ඇරඹීමට නියමිත ය. මේ ලියන මොහොත වන විට මහනුවර අවට පවතින අධික උණුසුම්, වැසි රහිත තත්වය හිටි අඩියේම වෙනස් වී, වැස්සෙන් ප්‍රදේශය ඉතිරී ගොස් හෝ නැතහොත් පසුගිය වසරේ මෙම මාසය වන විට පැවති අනධ්‍යයන සේවක වැඩ වර්ජනය වැනි විශ්වවිද්‍යාල අකර්මණ්‍ය කරන වැඩ වර්ජනයක් හදිසියේම ඇරඹී හෝ නොතිබුණහොත් ‘වල‘ පැවැත්වෙනු ඇත. ‘වල‘ බලන්නට විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් සහ ප්‍රදේශවාසීන් පැමිණෙනු ඇත. සතියක්ම (දින 07ක්ම) නොවෙතත්, නාට්‍ය එකතුවක් පේරාදෙණි සරච්චන්ද්‍ර එළිමහන් රඟමඩලේ දී රඟ දැක්වෙනු ඇත.

පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සංස්කෘතික ක්‍රියාකාරකම් අතර, ‘වල‘ සතිය ලෙස චිරප්‍රසිද්ධ, වාර්ෂික නාට්‍ය උත්සවයට හිමිවන්නේ ප්‍රධාන තැනකි. පේරාදෙණියේ කලා මණ්ඩලය විසින් සංවිධානය කෙරෙන මෙම නාට්‍ය උත්සවය, පේරාදෙණියේ සංස්කෘතික උරුමයක් ලෙස ගැනෙන, සරච්චන්ද්‍ර එළිමහන් රඟමඩලේදී අදාල උත්සව දිනවල, දිනපතා රාත්‍රී 7.00ට වේදිකාගත කෙරෙන අතර, ශ්‍රී ලංකාවේ විශාලතම ප්‍රේක්ෂාගාරය විය යුතු, තුන් දහසත් හාර දහසත් අතර ප්‍රේක්ෂක පිරිසක් නාට්‍ය නරඹන්නට එහි රැස්වෙති. වර්තමානය වන විට පීඨ නමයකින් සමන්විත පේරාදෙණියේ ප්‍රථම උපාධිය හදාරණ තරුණ තරුණියන් මෙහි ප්‍රේක්ෂාගාරයේ ප්‍රමුඛ අංකය වන අතර ඊට අමතරව, අධ්‍යයන හා අනධ්‍යන සේවක මණ්ඩල සාමාජික සාමාජිකාවන් හා ප්‍රදේශවාසීන් ද, ඇතැම් විට යාබද ප්‍රදේශවල පාසැල් හා/හෝ අධ්‍යාපන විද්‍යා පීඨවල විද්‍යාර්ථීන් ද එහි ප්‍රේක්ෂාගාරයේ අසුන් ගනු ලැබෙයි. ‘වල‘ සතිය ලෙස කෙටි, බුහුටි නමකින් කියැවෙන මෙම පේරාදෙණි විශ්වවිද්‍යාලය හා සංස්කෘතිකව බැඳුණු වාර්ෂික නාට්‍ය උත්සවය දෙස වඩාත් පෙරටුගාමී ප්‍රවේශයකින් විමසමින්, එය ‘වලෙන්‘ ගොඩ ගැනීම සඳහා සිදු කළ යුතු වෙනස්කම් කිහිපයක් පිළිබඳ සාකච්ඡාවක් ඇරඹීම මෙම කෙටි සටහනෙහි අදහසයි.

පේරාදෙණියේ සුප්‍රසිද්ධ ‘හාදු‘ වංගුවට (Kiss Bend) පසෙකින්, බෑවුම් පොළවක තැනී ඇති සරච්චන්ද්‍ර එළිමහන් රඟමඬල එහි ස්වරූපය නිසාම ‘වල‘ ලෙස හැඳින්වෙන බව පෙනේ. එය භොතිකව ‘වලකි‘. එබැවින් හැමෝම යන්නේ ‘වල‘ බලන්නට ය. කෙසේ වෙතත්, නාට්‍ය උළෙලෙහි ව්‍යුහාත්මක ප්‍රවේශය, සරච්චන්ද්‍ර එළිමහන් රඟමඩලෙහි වර්තමාන භෞතික පරිසරය, ප්‍රේක්ෂාගාරයෙහි ස්වරූපය ආදී කරුණු ගණනාවකින් මෙම ‘වල‘ වචනාර්ථය පරිදිම ‘වලක්‘ බවට හැරෙන බව මගේ යෝජනාවයි.

පේරාදෙණිය සෙසු සියළු විශ්වවිද්‍යාලවලට වඩා අතීතකාමී අදහස්වලින් මඩනා ලද තැනකි. පේරාදෙණියේ දී උගත් දේට, උගෙන දැන් සමාජය වෙනුවෙන් කරමින් සිටිනා මෙහෙවරට වඩා, අතීතයේ පේරාදෙණියේ දී විඳි ‘රෝමාන්තික මතකයන්‘ ගැන ‘නොස්ටැල්ජික වැමෑරීම්‘ කරන්නට පේරාදෙණි ආදී විද්‍යාර්ථීන් ද කැමති ය. ‘ලවර්ස් ලේන්‘, ‘තෙල් බැම්ම‘ ඇතුළු මෙම මතක වැමෑරීම් අතර ස්ථිරව සඳහන් කෙරෙන අනෙක් ස්ථානය ‘වල‘යි; ක්‍රියාකාරකම ‘වල සතිය‘යි.

‘වලේ‘ නාට්‍ය සතිය සඳහා නාට්‍ය තෝරාගැනෙන්නේ ද මෙම ‘නොස්ටැල්ජියාවෙන්‘ මිදී නම් නොවේ. එහි අනිවාර්ය සරච්චන්ද්‍ර නාට්‍යයක් හෝ දෙකක් හමුවෙයි. බොහෝ විට ඒ ‘මනමෙ‘ සහ ‘සිංහබාහු‘ වන අතර සරච්චන්ද්‍රවත් නොසිතූ තරම් සරච්චන්ද්‍රවාදයකට නතු වන සංවිධායකවරු එය මග හැර යා නොහැකි සම්ප්‍රදායක් බවත්, එම නාට්‍ය දෙකෙන් එකක්වත් නැති ‘වල සතියක්‘ පැවැත්වීම සරච්චන්ද්‍රයන්ට සිදු කරන අගෞරවයක් බවත් විශ්වාස කරති. කෙසේ වෙතත්, මෙම ‘මනමෙ‘න් ඇරඹ ‘සිංහබාහු‘ගෙන් කෙළවර කෙරෙන ‘වල සතිය‘ ඉතිරි කරන්නේ තවත් නව නාට්‍ය තුන-හතරක් සඳහා ඉඩකඩක් පමණි.

ඉතිරි නාට්‍ය (විශේෂයෙන් මෙවර පෙළ ගැසී ඇති නාට්‍ය) තෝරා ගැනීමේ දී ද, වර්තමාන වේදිකාව තුළ සක්‍රිය සාකච්ඡාව තුළ හමුවන, ප්‍රමුඛ නාට්‍ය මගහැරගෙන ඇති බවක් පෙනෙයි. සතිය දින 06කට සීමා කිරීම නිසා ඉඩ අහිමි කෙරුණු එක් නාට්‍යයක් වද්දී, යළි අවකාශ ලබා දෙන තවත් නාට්‍යයක් පූර්ව වේදිකාගත වූ නිර්මාණයක දෙවැනි නිෂ්පාදනය බව පෙනෙයි. පේරාදෙණියෙන්ම නිපදවෙන නාට්‍යයකට ඉඩක් දීම සාධනීය කටයුත්තක් වුවත්, ඕනෑම ආකාරයක ‘පේරාදෙණි වැඩකටත් වල සතියේ ඉඩක් ඇති බව‘ යන හැඟවුම ඇති නොකිරීමට සංවිධායකයින් වග බලාගත යුතුව ඇත්තේ එවන් අවකාශයකින් අහිමි වන්නේ විශිෂ්ට නාට්‍යයකට ඇති දිනයක් බැවිනි.

ඉහත කෘති එක් කිරීම පිළිබඳ මෙන්ම ‘වල‘ හෙවත් සරච්චන්ද්‍ර එළිමහන් රඟමඩලේ භූගෝලීය පිහිටුම පිළිබඳ සාකච්ඡාවක් ද ආරම්භ කළ යුතුව ඇති බව මගේ අදහසයි. මහාචාර්ය සරච්චන්ද්‍රගේ යෝජනාවකින් ඉදිවූ මෙම රඟමඩල ග්‍රීක රඟමඩලක ආකෘතිය ගනිමින් එළිමහන් අවකාශයක් ලෙස පැවතීම ගැන බටහිර සම්භාව්‍ය භාෂාවන් හා එම සංස්කෘතීන් පිළිබඳ අපට සිටින ප්‍රාමාණික උගතකු වන මහාචාර්ය මර්ලින් පීරිස් වරක් දෙසුමක දී අදහස් දැක්වූයේ සිනාසෙමිනි.

“ග්‍රීසියෙ එළිමහන් රඟහලවල් හරිම ප්‍රායෝගික විදිහට හදල තියෙන්නෙ. එහෙ ඒ පැතිවල අවුරුද්දෙ මාස 8-9ක්ම වැස්සක් නෑ. මෙහෙ අවුරුද්දෙ මාස 8-9ක් ම වහිනව. මට නං ඔය වැඩේ හරි අතාර්කික වැඩක්!“

මහාචාර්ය පීරිස් අනුයමින් මම සරච්චන්ද්‍ර රඟමඬල ‘අතාර්කික‘ යැයි යෝජනා කරන්නට හදිසි නොවුනත්, එහි ආකෘතිය වර්තමානය වන විට නිර්මාණය කර දී ඇති අර්බුද කිහිපයක් පෙන්වා දෙන්නට පසුබට වන්නේ නැත. මහනුවර-ගලහ/මහකන්ද මාර්ගය අසබඩ ඇති රඟමඩලට මාර්ගයේ දිවෙන අධික රථවාහන ප්‍රමාණය එහි නාට්‍යයක් රඟ දැක්වෙන රාත්‍රී 7-10 අතර කාල සමයේ දී පහළ නොබසින නිසා එහි මුල් පේළි කිහිපයෙන් පසු අසුන් ගන්නා ප්‍රේක්ෂාගාරයට පූර්ණ ලෙස දෙබස් අසන්නට කිසිවිටෙක ඉඩ නොලැබෙයි. ‘කිස් බෙන්ඩ්‘ එකෙන් ගියරය මාරු කරන තඩි ලොරියක් නිසා හොඳම දෙබසක් ‘මිස් වීම‘ සමස්ථ නාට්‍ය අර්ථය ප්‍රේක්ෂකයා වෙතින් දුරස් කරන්නක් වීමට ඇති ඉඩ සුළුපටු නැත.

මේ ශ්‍රවණ බාධාවත්, යට කී වර්ෂා බාධාවනුත් මෙන්ම, වාඩිවන්නට ගල් පඩිපේළි පමණක් වන අසුන් ගැනීමේ අපහසුතාවත්, ඇතැම් නාට්‍ය ස්වරූපයන් රඟ දක්වන්නට එළිමහන් ආකෘතිය දක්වන තාක්ෂණික බාධාවත් සැලකිල්ලට ගැනීමෙන් පසු මට යෝජනා කරන්නට හැඟෙන්නේ, ඇතැම් විට ‘නොස්ටැල්ජිකයින්‘ භීතියෙන් තැති ගන්වන ස්වරූපයේ, කවුරුන් හෝ හිතන්නටවත් නොසිතෙන අදහසකි. පේරාදෙණි වලෙහි ‘එළිමහන්‘ ස්වරූපය වෙනස් කොට එය එම බිමෙහිම ඉදිවන නවීන අංගෝපාංග සහිත සංවෘත ශාලාවක් බවට පත් කිරීමට ඇති හැකියාවන් විමසිය යුතු බව එම යෝජනාවයි. ශබ්ද බාධාවන්වලින් 100%කින් මිදී, පහසු අසුන්වල ඉඳගෙන, නවීන විදුලි සැපයුම් සහිතව, උසස් රසවින්දනයක් ලබන්නට හැකිනම්, උතුරන්නට වැස්සත් නාට්‍ය සති කල් දැමෙන්නේත් නැති නම් එම අදහසට සරච්චන්ද්‍රයන් වුව ආශීර්වාද නොකරනු ඇතියැයි අපට තර්ක කළ හැකි ද?

‘වලේ නාට්‍යයක් ගොඩ නං වැඩේ ගොඩ!‘ යන අතීත නාට්‍යකරුවන්ගේ උත්කර්ෂයට නැංවූ ප්‍රකාශය පරම සත්‍යයකැයි පිළිගනිමින් විශිෂ්ටතම ප්‍රේක්ෂාගාරය නිරන්තරයෙන් මුණගැසුණේ පේරාදෙණි වලේ දී යැයි යෝජනා කෙරෙන අදහස සමග මම එක පෙළට සිට ගන්නට නොයන මුත්, වඩාත් සාධනීය ප්‍රතිචාර සහිතව හා විචාරශීලීව නාට්‍ය දෙස බැලූ ප්‍රේක්ෂක එකතුවක් එහි වූ බව විශ්වාස කරමි. වර්තමානය වන විට ද යම් විචාරශීලීත්වයකින් නාට්‍ය විමසන පිරිසක් එහි හමුවිය හැකි වුවත්, අතේ ඇඟිලි ගණනට බැස ඇති ආචාර්ය මණ්ඩල ප්‍රේක්ෂාගාරය, අවිචාරවත්, මෙගා ටෙලි නාට්‍ය නරඹමින් විනෝද වන ශිෂ්‍ය බහුතරයක් නිර්මාණය කරන්නට පසුබිම තනා ඇති බහුතර නොපැමිණෙන ආචාර්ය මණ්ඩලයක හැඟවුම ගෙනෙන බව ද විශ්වාස කරමි. ‘වල‘ අල්ලපු වැටේ තබාගෙන නාට්‍ය බලන්නට නොඑන, සරච්චන්ද්‍රලාද නතරව සිටි ආචාර්ය මණ්ඩල නිල නිවාසවල අද රැඳී ඉන්නා ආචාර්යවරු ගණන සුළු නැත‍.

නාට්‍ය එකතුවෙහි ආකෘතිය, ශාලා ආකෘතිය, භූ ගෝලීය සීමා මෙන්ම ප්‍රේක්ෂාගාර සංයුතිය අතින් ද ‘වල‘ වලෙන් ගොඩ ගත යුතු ය. කොළඹින් බැහැර ප්‍රමුඛතම නාට්‍ය උළෙලත් එය පැවැත්වෙන බිමත් අර්ථ සම්පන්න වනු ඇත්තේ එවිට ය.

-ප්‍රියන්ත ෆොන්සේකා - 

Wednesday, March 20, 2019

නිර්මාණාත්මක විද්‍යාර්ථියා තනාගැනීම: අසීමිත වන්දනයෙන් ඉවතට!


(2019 මාර්තු 17 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

වසරාරම්භක සමය යනු (පේරාදෙණි කලා පීඨය තුළ නම්) සිය පළමු වසර අවසන් කළ විද්‍යාර්ථීන් සිය විශේෂවේදී උපාධිය සඳහා සුදුසු පාඨමාලා විමසන යුගයයි. නැතහොත් ස්ව කැමැත්තෙන් හෝ සුදුසුකම් අවම වීම නිසා සාමාන්‍ය උපාධි වෙත යොමුවන යුගයයි. මා සේවය කරන ලලිත කලා අධ්‍යයනාංශය වෙත පැමිණ, සිනමාව හා ටෙලිවිෂනය සිය ලලිත කලා විශේෂවේදී උපාධිය සඳහා ප්‍රමුඛ විෂයය ධාරාව බවට පත් කර හැකිදැයි විමසමින්, එහි අනාගත මංපෙත් කවරාකාරදැයි සාකච්ඡා කරමින් උන් දෙවන වසරට පිය ඔසවන විද්‍යාර්ථීන් දෙදෙනෙකු දීර්ඝ කතාබහ කෙළවර නැගී සිට, විෂයය භාර, මා මිත්‍ර ආචාර්යවරයා වෙත ගොස් වහා ඔහුට වැඳ නමස්කාර කළේ ‘වැඳීමක්‘ බලාපොරොත්තුවෙන් නොසිටි ඔහු වික්ෂිප්ත කරමිනි. ‘වඳින්න අවශ්‍ය නෑ හැමවෙලාවෙම... හැමදේටම...“ ඔහු කියන විටත් එම ශිෂ්‍යාවන් දෙදෙන සිය වැඳීම අහවර කර තිබුණු අතර ‘වැඳීම අනවශ්‍ය‘ බව කී මගේ ආචාර්ය මිතුරා දෙස බැලුවේ පුදුමයෙන් මෙනි.

සිය දෙමාපියන්ට මෙන්ම ගුරුවරුන්ට ද ‘වැඳීම‘ යහපත් දරුවකුගේ පුරුද්දක් බවත්, එය අපගේ සංස්කෘතියෙහි අනිවාර්ය, මග නොහැරිය යුතු, වැදගත් ක්‍රියාකාරකමක් බවත්, මේ දිනවල වර නැගෙන ප්‍රමුඛ කථිකාව විෂයයෙහි මූලික සඳහනකි. ‘මගේ දරුව නං මං හදන්නෙ වැඩිහිටියන්ට ගුරුවරුන්ට වඳින හොඳ දරුවෙක් විදිහට...‘ යන ආඩම්බර වදන් පෙළ බොහෝ දෙමාපියන්ගේ මුවින් පිටවනු මගේ කණ වැකී ඇත. එහෙත්, වැඩිහිටියකු හෝ ගුරුවරයකු දුටු විගස ඔහු ඉදිරිපිට වැඳ වැටීමේ මෙම ක්‍රියාව කොතරම් දුරට ශිෂ්‍යයාගේ/ශිෂ්‍යාවගේ පෞරුෂය කෙරෙහි සෘණාත්මකව බලපෑ හැකිදැයි අප විමසා ඇත් ද?

පාසැල් ශිෂ්‍යයකු ලෙස දශක කිහිපයකට පෙර මා අධ්‍යාපනය ලද අවදියේ, දෙමාපියන් හෝ ඇතැම් විට පූජ්‍ය පක්ෂය හමුවේ පරිදි, ගුරුවරුන් දුටු තැන ඔවුන්ට නමස්කාර කිරීමේ පුරුද්දක් හෝ අවශ්‍යතාවක් තිබූ බවක් මගේ මතකයේ නැත. ඒ හා සමානවම සෑම පියවරකදීම ඉගැන්වූ සෑම ගුරුවරයකුම හා ගුරුවරියකම ‘ගුරු පියවරුන්‘ හා ‘ගුරු මව්වරුන්‘ ලෙස ඇමතූ බවක් ද, ගුරුවරුන් හමුවන සෑම දරුවෙකුටම, නම පසෙක තබමින්, ‘දුව‘ හෝ ‘පුතා‘ යනුවෙන් ඇමතූ බවක් ද මගේ මතකය තුළ නැත. අපගේ දෙමාපියන් විසින් තැබූ නමින් අප ඇමතූ ගුරුවරුන් වෙත ‘සර්, මැඩම් හෝ ටීචර්‘ යන යෙදුම සමගින් ඇමතූ අපි, බුලත් හුරුල්ලක් දී ඔවුන්ට වැඳ ආචාර කළේ වසරාවසානයේ යෙදුණු ‘සමුගැනීමේ සාදය‘ දා පමණි. වාර්ෂිකව යෙදුණු ‘වැඳීමේ දිනය‘ එය පමණක් විය. ඉන් බාහිරව ඔවුන් ශිෂ්‍ය ප්‍රජාව වෙතින් වැඳීමක් බලාපොරොත්තු වූ බවක් මගේ මතකයේ නොවන නමුත් අදාල දිනයේ දී ද ‘හරි දරුවනේ... එක එක්කෙනා ඇවිත් වඳින්න ඕනෙ නෑ. හැමෝටම ආයුබෝවන්... හොඳට ඉගෙන ගන්න!“ කියමින් සුභ පැතූ ගුරුවර ගුරුවරියන් ද වූ බව නම් මතක ය. (අති සමීප නොවෙතත් දශක කිහිපයකට පෙර පාසැල් ගිය අයෙකු නම් ඔබේ ද අත්දැකීම මේ හා සමාන වන බව මම විශ්වාස කරමි.)

අපෙන් දිගින් දිගටම වැඳීම බලාපොරොත්තු නොවූ ගුරුවරු බාහිරයෙන් එන වැඩිහිටියන්ට දුටු තැන වඳින්නැයි කියා ඉල්ලා සිටියේ ද නැත. නිසි පරිදි හිස පමණක් නමා ආචාර කොට ත්‍යාගය අමුත්තා වෙතින් ලබා ගන්නට අප මෙහෙය වූ ඔවුහු ත්‍යාග ප්‍රදානෝත්සවවල, ක්‍රීඩා උත්සවවල ප්‍රධාන අමුත්තන් ලෙස ආ දේශපාලකයින් ඉදිරියේ අපේ කොඳු හැකි පමණ කෙළින් තබන්නට කටයුතු කළ හ. සෑම ගුරුවරයකුගේම, ගුරුවරියකගේම භූමිකාව සමාන තලයක තැබිය හැකි නොවෙතත් ගෞරවය වැඳීමෙන් සංකේතාත්මකව ලබා ගැනීමට වඩා ක්‍රියාව තුළින් එය දැකීමේ වටිනාකම ඔවුහු අවබෝධ කරගෙන උන් හ.  

දැන් පාසැල් දරුවන් පමණක් නොව විශ්වවිද්‍යාලවලට ගොඩ වදින, ඡන්ද බලය හිමි, පුරවැසි අයිතිවාසිකම් අයිති වැඩිහිටි විද්‍යාර්ථීන් ද දකින දකින තැන්වල වැඳ වැටෙමින් ගුරුවරයාට සිය ‘ගෞරවය ප්‍රකාශ කිරීම‘ ආරම්භ කර ඇත. ඇතැම් පාසැල්වල කාල ඡේදය ආරම්භ වන විටත්, අවසන් වන විටත් සියලු දරුවන් පැමිණ තමන්ට වඳින්නට මෙහෙයවා ගන්නා ගුරුවර ගුරුවරියන් ඉන්නා බව, මා පුදුම කරවමින්, මගේ මිතුරකු වරෙක මා සමග කීවේ ‘පාඩමෙන් බාගයක් ඉවරයි වැඳිල්ලට!‘ කියමින් සිනාසෙමිනි.

මේ ‘වැඳීම‘, බැලූ බැල්මට යහපත්, කීකරු, හොඳ, ශික්ෂිත දරුවකු පිළිබඳ සංඥාවක් බව පෙනෙන නමුත්, වැඳුම් ලබන්නා වෙත ඇති කෙරෙන ඉහළ ධූරාවලික තත්වය හේතුවෙන්, බරපතල අර්බුද ගණනාවක් නිර්මාණය කර දෙමින් ‘යහපත් දරුවාට‘ එරෙහිව ‘භින්න පෞරුෂයක් හිමි දරුවකු‘ බිහි කිරීමට දායක වන බව වටහා ගැනීම අපහසු නැත.  ඉහත කී භින්න පෞරුෂයක් ඇති කිරීම මෙන්ම නිරතුරුව වැඩිමහල් තැනැත්තන් නිවැරදිය යන වක්‍ර සඳහන ස්ථාපිත කිරීම යනාදිය අතර මා දකින භයානකම අනතුර නම් නිර්මාණාත්මක, නිදහස් සිතුවිලිවලින් සපිරි පාසැල් (හෝ විශ්වවිද්‍යාල) විද්‍යාර්ථියා බිහිකිරීමට එය සිදු කරන සෘණාත්මක බලපෑමයි. ගුරුවරයා/ගුරුවරිය හෝ ඔහු/ඇය වෙතින් ලැබෙන අධ්‍යාපනික කරුණු මෙන්ම ආකල්ප සහ අදහස් ප්‍රශ්න නොකිරීම, එපරිද්දෙන්ම භාර ගැනීම, පෙරළා ප්‍රශ්න කරමින් තාර්කික ඥාණ ගවේෂණ මාර්ග නොවිමසීම සහ නව, නිදහස් ආකල්ප ඔස්සේ සිත යොමු කරමින්, රාමුවෙන් පිටතට පැන ලෝකය දැකීමට නොපෙළඹීම ඇතුළු ඉතාම ඛේදනීය සහ භයානක බලපෑම් රාශියක් මේ ‘වැඳිල්ල‘ පසුපස පාසැල් හා විශ්වවිද්‍යාල භූමි හරහා වැඩී නැගෙයි.

සැබවින්ම සිසුවකු වෙතින් ගුරුවරයකු වෙත ලැබිය හැකි ඉහළම ගෞරවය කුමක් ද? තමන් විවර කර දෙන මාවත් ඔස්සේ යමින් වඩා යහපත් පුරවැසියකු ලෙස, මානව ප්‍රගමනය සඳහා දියුණු දායකත්වයක් දෙන අයෙකු ලෙස කටයුතු කරමින් ගුරුවරයා ද ඉක්මවූ තැනක සිටගැනීමෙන් ලබා දෙන ගෞරවය බව මගේ විශ්වාසයයි. යහපත්, දියුණු පුරවැසියා නිරතුරුව නව ආකල්ප හා අදහස්වලින් පෝෂිත, පවතින තත්වයන් ප්‍රශ්න කරමින් වටහාගන්නා, නව දැකීම්වලින් සපිරි අයෙකු විය යුතු මිස, වන පොත් කරවමින් ඔවුන් වෙත තබනා සියල්ල ඒ පරිද්දෙන්ම කටපාඩමින් අප ඉදිරියේ අතැර, ‘වැඳ වැඳ දුවන‘ භින්න පෞරුෂයකින් හෙබි අයෙකු විය යුතු නැත.

මා උසස් අධ්‍යාපනය හැදෑරූ ඕස්ට්‍රේලියාවේ මෙන්ම සෙසු බොහෝ රටවල ද ගුරුවරයා හෝ වෙනත් ඕනෑම වැඩිහිටියකු ඇමතීම සඳහා පාසැල් දරුවකු හෝ විශ්වවිද්‍යාල විද්‍යාර්ථියෙකු වුව භාවිතා කරන්නේ නම පමණි. වයෝවෘද්ධ මහාචාර්යවරයෙකු අමතමින් තරුණ කොල්ලෙකු හෝ කෙල්ලක ‘හලෝ ජෝන් කොහොමදැයි‘ විමසීම අපගේ සංස්කෘතික කලාපය පමණක් විමසූ අයෙකු තිගස්සවන කරුණක් වීමට බොහෝ දුරට ඉඩ ඇත. එහෙත් එම අධ්‍යාපන කලාපවල ද ගෞරවය දියව ගොස් නැත. ඒ හා සමග, ගුරුවරයා ඉක්මවමින් වඩාත් ඉදිරිගාමී අදහස්වලින් පෝෂිතව නැගෙන විද්‍යාර්ථීන්ගේ ද අඩුවක් නැත.

අතිගරු, ශ්‍රීමත්, ඇමතිතුමා, මැතිතුමා, ඔබතුමා, ඔබතුමී, ගුරු පියාණෝ, ගුරු මෑණියෝ ඇතුළු ගෞරවාර්ථ පදවලින් පමණක් පිරුණු සමාජ අවකාශයක, ඉහළින් සිට දකිමින් ස්වකීය ආස්ථානයන් නිරතුරුව නිවැරදි යැයි විශ්වාස කරන වැඩිහිටි ප්‍රජාවක් සහිතව යමින් අපට වඩා දියුණු සංස්කෘතික පුරවැසියන් සහිත අනාගත දේශයක් බිහිකර ගැනීමට සිහින දැකිය නොහැක. ‘වැඳීම‘ වෙනුවට අනෙකාට සැබවින්ම ගෞරව කිරීම හා ගෞරව කිරීමට පෙළඹවීම ඔස්සේ විවර කර ගත හැකිවනු ඇත්තේ එම දේශය වෙත වැටුණු මාවතයි.

-ප්‍රියන්ත ෆොන්සේකා -    

රූපය: https://blog.cognifit.com

Thursday, March 14, 2019

නැෂනල් ඇම්නීසියා!

(2019 මාර්තු 10 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

සෑම සති අන්තයකම ඔබ අතට පත්වන ‘අනිද්දා‘ පුවත්පතෙහි හැන්දෑව අතිරේකය සඳහා සාහිත කලා මුල් කොටගත් කුඩා ලිපියක් සම්පාදනය කිරීමට එහි සංස්කාරකවරයාගෙන් ආරාධනා ලැබ කෙටි කලක් ගෙවී ගොස් ය. මෙම ලිපිය (නමක් නොලද තීරුව) ලිවීම ආරම්භ කළ දා පටන්, මගේ කාර්යබහුලත්වය නිසා එක් සතියකත්, පුවත්පතේ හැන්දෑව අතිරේකය පළ නොවීම නිසා තවත් සතියකත් හැර, එක දිගටම මම මෙය ඔබ වෙත ඉදිරිපත් කොට ඇත්තෙමි. වැඩිම අළෙවියක් ඇති සති අන්ත පුවත්පතකැයි තමන්වම වර නගා ගෙන ඇති පුවත්පත් අතර, අලුත් සාමාජිකයකු වන ‘අනිද්දා‘ සඳහා ලියන කුඩා ලිපියකින් කළ හැකි මැදිහත්වීමක් වෙත්දැයි යන සැකයක් මුලදී මා වෙත වුවත් ලිපි පෙළ පළවන්නට පටන් ගෙන ඉතා කෙටි කාල සීමාවකදී එම සැකය තුරන් විය. දුරකථනයෙන්, ෆේස්බුක් අඩවියෙන් හෝ මහමග හමුවන විට මා ඇමතූ හෝ හමුවූ අයෙකු ‘ලිපිය අපි කියවනව. හොඳයි ඒක!“ වැනි කුඩා අදහස් දැක්වීමක සිට දීර්ඝ අදහස් දැක්වීම් දක්වාම, තොග ගණනින් නොවෙතත්, ප්‍රතිචාර එයට ලැබෙන්නට පටන් ගත් හෙයිනි. එනිසාම, දැන්, සෑම සතියකම මෙය ලිවීම අරඹන්නට පෙර මම බොහෝ කල්පනා කරමි. ඉදිරි සති අන්තයට කුමක් ලිවිය යුතු ද?

එකහැර සිත පැහැරගත් යමක් හෝ තදින් සිත කම්පනය කළ යමක් නොවුණු තැන පමණක් නොව යමක් පිළිබඳ ලියන්නට අදහසක් සිතට නැඟුණු විට පවා එම කල්පනාව මසිතට නැගෙයි. අතීත ලිවීම් යළි පෙරළමින්, ලියා ඇති දෙයක් යළි ‘රිපීට්‘ නොවන්නට කටයුතු කළ යුතු බව සිතෙයි.

ලිපිය (හෝ තීරුව) සූදානම් දැයි හැන්දෑව අතිරේකයේ සංස්කාරකවරයාගේ දුරකථන ඇමතුම ලැබෙන්නට ආසන්න වන විටත් (ලිපිය ලැබී නැතිනම් සාමාන්‍යයෙන් අඟහරුවාදා 11-12 අතර ඔහු මා අමතන නිසා), මේ සති අන්තය සඳහා අවශ්‍ය ලිපියේ ප්‍රස්තුතය මසිතට නැගී තිබුණේ නැත. “පෙබරවාරි 10 වැනිදා ඔබේ ලිපිය විශිෂ්ටයි! නැෂනල් ඇම්නීසියා!!“ යනුවෙන් මිතුරෙකුගෙන් කෙටි පණිවුඩයක් මවෙත ලැබුණේ එවිට ය.

ජාතික විස්මෘතිය!! එය නම් කදිම අදහසකි; සිතුවිල්ලකි. ඔහු ඒ යෙදුම භාවිත කොට තිබුණේ මා ලියූ ‘අතීත විත්ති භාවිතයට (නො)කැඳවීම: 71 වැනි නිදහස් දින ආසන්නයේ දුටු සිනමා සහ ක්‍රිකට්පාඩම්‘ නමැති ලිපිය සම්බන්ධයෙනි. රාජ්‍ය නායකයාගේ සිට ක්‍රිකට් නායකයා හරහා සිනමා අධ්‍යක්ෂවරයා දක්වා අතීතය අතහැර කටයුතු කිරීම පිළිබඳ මගේ නිරීක්ෂණ මම එහිදී සාකච්ඡා කළෙමි. ‘ජාතික විස්මෘතිය‘ ලෙස මගේ මිතුරා යෝජනා කරන තත්වය ගැන තව දුරටත් ලිවීම කිසිදු වරදක් ද නොවන, ලියන්නට තව බොහෝ දේ හමුවන කලාපයක් බව ඒ ඔස්සේ සිත යොමු කරද්දී මට කල්පනා විය.

සැබවින්ම මේ ලිපිය ලියන්නට යන සෑම සතියකම මා යළි හැරී බලන්නේ ඇයි? මෙම ලිපි පෙළ ලිවීම අරඹා වැඩි කලක් ගතවී නැතත්, සෑම සතියකම ලියූ සියලු ලිපි සහ අඩංගු කළ සියලු කරුණු මගේ මතකයේ පැහැදිලිව සටහන්ව නැති හෙයිනි. අප ලියන, කියන, ක්‍රියාවට නගන සියලු දේ පිළිබඳ ඉතා පැහැදිලිව මතකයේ රඳවා ගැනීම ඒ පිළිබඳම පුහුණුවීම් කරන අයෙකුට වුව නොකළ හැක්කකි. මතකය හා බුද්ධිය සම්බන්ධ ප්‍රබලතම ගණුදෙනුව සිදුවන චෙස් ක්‍රීඩාවේ දී ද ලෝක ශූරයා, මතකය නිවැරදිව ගබඩා කෙරුණු වැඩි දියුණු කළ පරිගණකයක් හමුවේ පරාජය වී අවසන් ය.

එදිනෙදා සිදුවන සෑම ක්ෂුද්‍ර සිදුවීමක්ම මතකයේ රැඳීම අනවශ්‍ය වුවත් සමාජ, දේශපාලනික, ආර්ථික හෝ සංස්කෘතික වශයෙන් සුවිශේෂ වන යමක් අපගේ ‘ජාතික මතකය‘ තුළ රැඳීම අත්‍යාවශ්‍ය ය. පරමාණු බෝම්බය හිරෝෂිමා සහ නාගසාකි නගර වෙත පතිත වීම පිළිබඳ ‘ජාතික මතකය‘ ජපානයේ ‘ජාතික චින්තනයේ‘ හැඩතල මේ යැයි තීරණය කොට ඇති පරිදි, ‘සුනාමිය‘, ‘කළු ජූලිය‘, ‘සිවිල් යුද්ධය‘, ’71 සහ 88-89 තරුණ කැරලි‘ ඇතුළු අපගේ සමාජ දේහය තදින් කම්පනය කළ සිදුවීම් පිළිබඳ ‘ජාතික මතකය‘ අපගේ චින්තනය තුළත් තදින් එල්බ ගත්තේ නම් එම සිදුවීම්වලින් අනතුරුව සිදුවුණු බොහෝ ක්ෂුද්‍ර හා ක්ෂුද්‍ර නොවන සමාජ- දේශපාලනික සිදුවීම් හා පෙරළි සිදුවන්නේ එපරිද්දෙන් නොවේ යැයි අපට තර්ක කළ හැකි ය.

‘නැෂනල් ඇම්නීසියා‘ තත්වයකට මග පාදන, ‘ජාතික මතකයක් අහිමි‘ පුරවැසි ප්‍රජාවකගේ සාමාජිකයින් බවට පත් වන්නට අපට සිදුවී ඇත්තේ ඇයි? පුරවැසි මතකය තුළ තිරව සනිටුහන් කළ යුතු කාරණා කවරේදැයි යන්න පිළිබඳ ජාතික අදහසක් අප වෙත නැත. අධ්‍යාපනය හා සන්නිවේදනය හමුවේ අප ක්‍රියා කරමින් සිටින ආකාරයත්, එම තීරණාත්මක විෂයයන් හා ඒ හා අත්වැල් බැඳගන්නා කලාව යන්න අප වරනගා ගන්නා ආකාරයත්, අප එවැනි වගකීමක් සහිතව කටයුතු නොකරන බව ස්ථිර කර දෙයි. පුරවැසියාගේ චින්තනය, දෘෂ්ටිවාදය, වින්දනය හා ආකල්ප මෙන්ම අනාගත පුරවැසි ප්‍රජාවේ මතක සංචිත නිර්මාණයට පසුබිම සපයන අධ්‍යාපන ක්‍රියාකාරකම් ඈ සියල්ලකදීම අප කටයුතු කර ඇති හා දැනටත් කටයුතු කරන ආකාරය ඒ බවට ඇති පමණ සාක්ෂි අප වෙත සපයමින් සිටියි.

අධ්‍යාපනය තුළ යුද්ධය ආශ්‍රිත කරුණු පිළිබඳ සිදු කරන සාකච්ඡාවන් දෙස බලන්න. මෑත සිවිල් යුද්ධයේ උණුසුම තවම මැකී නැතත්, අපගේ ආගමික හා සමාජ අධ්‍යයන හා ඉතිහාස පාඩම්මාලාවල තවමත් ‘වීරයා‘ දුටුගැමුණු ය. මෑත (හො ඈත) ඉතිහාසය පදනම්ව, යුද්ධයක නිස්සාරත්වය හා මනුෂ්‍යත්වයේ ප්‍රබලත්වය පාසැල් අධ්‍යාපනය හරහා දරුවන් වෙත ගෙන යා හැකි වුවත් අප තවමත් ‘උඩ දමමින් ඉන්නේ‘ දුටුගැමුණු ස්වරූපවල වීරත්වයයි. ජාතික මතකය තුළ යුද්ධයේ වේදනාකාරීත්වය හෝ අහිමිවීමේ ඛේදය පිළිබඳ අදහසක් අප විසින් ඇති කරනු ලැබ නැති හෙයින්ම ‘අතුරුදහන් වූවන්‘ පිළිබඳ විමසන අම්මලා තාත්තලාගේ වේදනාව අපට ජාතික වේදනාවක් බවට පත්ව නැත.

මතකය සිහි කැඳවීම් ඔස්සේ මැකී යා නොදී පුරවැසියා හමුවේ තබන්නට ඉහළම ශක්‍යතාව ඇත්තේ මාධ්‍යයට ය. ටෙලිවිෂනය ගෙන බලමු. ශ්‍රව්‍ය හා දෘෂ්‍ය භාවිතය හේතුවෙන්, අතීතය මත පදනම්ව ගොතමින් සබුද්ධිකව පෙළ ගසන ‘මතක සංවේදනා පිළිබඳ රූප හා ශබ්ද‘ හරහා යළි සුනාමියක හෝ යුද්ධයක, ඒත් නැතිනම් මර්ධනකාරී තරුණ කැරැල්ලක ඛේදය පුරවැසියා වෙත තබා පුරවැසියා වඩාත් සංවේදී ප්‍රජාවක් බවට පත් කරන්නට, අවැසි නම්, ටෙලිවිෂනයට හැකි ය. නමුත් තොග ගණනින් එන, රියැලිටි විලක්කු හා මෙගා ටෙලි පඩංගු ප්‍රේක්ෂාගාරය වෙත තබා, තම ආයතනික දෘෂ්ටියට ගැලපෙන්නට ප්‍රවෘත්තියේ පටන් හැඩරුව මකමින් තබනු මිස ටෙලිවිෂන නාලිකා ඒ කලාප ගැන හිත යොමු කරනු පෙනෙන්නට නැත.

ඉඳින් මේ මතකය පවත්වා ගැනීම පිළිබඳ අදහසින් ද මඩනා ලද පුරවැසියා කවු ද? ටෙලිවිෂන් මෙගා ස්වරූපයේ මුල් කෘතියක උදාහරණයක් පමණක් ලියා අවසන් වාක්‍ය ඛණ්ඩයට වෙත යන්නට මට ඉඩ දෙන්න. ‘සත්පුර වැසියෝ‘ නමින් ටෙලි නාටකයක් ජාතික නාලිකාව හරහා ඔබ වෙත තැබූ බව ඔබට මතක ඇතැයි සිතමි. මෙය විකාශය වී කෙටි කලකින් එයට ‘සත්පුර වැසියෝ‘ යන නම යෙදුණේ මන්දැයි මම ‘සිනමාව හා ටෙලිවිෂනය‘ විශේෂ උපාධිය සඳහා හදාරණ ශිෂ්‍ය පිරිසකගෙන් ඇසීමි. සිතට නැගුණු එක් එක් අදහස් පිළිතුර සඳහා ගොණු කළත් සැබෑ පිළිතුර කිසිවකු ලබා දුන්නේ නැත. සත්පුරය නම් ‘ආබාධ සහිත‘ තරුණ තරුණියන් ඉලක්ක කළ ආයතනයක් මුල් කොට ගනිමින් ආරම්භ කෙරුණු පුවතෙහි (යශෝධා විමලධර්ම රඟපෑ) ප්‍රධාන චරිතය, සෙසු චරිත හා ගණුදෙනුව ආරම්භ කළේ ද එම ‘සත්පුරයෙහි‘ සාමාජිකාවක ලෙස හිඳිමිනි. නාටකය ඉදිරියට විකාශනය වද්දී (ඇතැම් මෙගාවල චරිත හිටි අඩියේ මිය යනු හෝ රූප වෙනස් වනු සමානව) ‘සත්පුරය‘ හා එහි සාමාජිකයින් කතාවෙන් හැලී ගිය අතර සිය මතකයෙන් සමානුපාතිකව ‘සත්පුරය‘ හලා දැමූ ප්‍රේක්ෂාගාරය ද ‘සත්පුර වැසියෝ‘ ටෙලි නාට්‍යය සතිපතා නරඹමින් සතුටු වූහ. ටෙලිවිෂනය ගැන හදාරණ සිසුවකුගේ හෝ මතකයේ ඉතිරි නොවුණු සත්‍ය ‘සත්පුරය‘ පරිද්දෙන් කතාකරුවාගේ මනෝ විකාරවලට, කැමැත්තට හා අදහසට අනුව ඕනෑම දෙයක් ටෙලි පුරවැසි මතකවලින් මකා දැමෙන අතර ඒ කැමැත්ත අනුව ඕනෑම දෙයක් මතකයෙන් හලා දමන්නට සැදී පැහැදුණු ප්‍රේක්ෂාගාරයක්ද අපට වෙයි.

‘නැෂනල් ඇම්නීසියා‘ යනුවෙන් මගේ මිතුරා නම් තබන, පුරවැසියාගේ ජාතික මතක කලාපයන් සෝදා දමන මේ බිහිසුණු තත්වය සමාජ, දේශපාලනික හා සංස්කෘතික දේහය විනාශ කර දමන ඛේදවාචකයකි. රටක් ලෙස, පුරවැසියන් ලෙස අප දේශජ මතකයන් බවට පත් විය යුතු සියලු කලාප හඳුනාගන්නා අධ්‍යාපනික, ආගමික, මාධ්‍ය මෙන්ම කලා භාවිතයක් වෙනුවෙන් පෙරමුණ ගත යුතු ය. ඒ ස්ථාපිත කිරීමට බල කළ යුතු ය. ‘නැෂනල් ඇම්නීසියා‘ මෙන් නොව ‘නැෂනල් මෙමරි‘ යනු තෘප්තකර මාතෘකාවකැයි අපට ලියනු හැකි වන්නේ එදිනට ය.


-          ප්‍රියන්ත ෆොන්සේකා -          

Wednesday, March 6, 2019

වීරයා යළි කැඳවීම: පුංචි තිරය නිසි එල්ලයට...


(2019 මාර්තු 03
 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

අපි කරපිංචා බං... උන්ගෙ හොද්දෙ තැම්බෙනකං හොඳයි... හොද්ද ඉදිල පිඟානට බෙදාගත්ත ගමංම ඉස්සෙල්ලාම කරන්නෙ සූප්පු කරල පැත්තකිං තියන එක... අපි කරපිංචා!

හමුදා සේවයේ දී හදිසියේ අතුරුදහන් ව, මියගියා යැයි සැක කොට දුන් දානමානාදියත් කෙළවර වූ පසු, පෙම්වතිය තවකකු හා විවාහ වී දරුවකු ද ලැබ වසර දෙකක් ඉක්ම ගිය අනතුරුව, නෙත් අඳ තැනැත්තෙකු ලෙස එක්වරම යළි ගමට එන කුලේහමුවේ ඉහත දෙබස් කණ්ඩය තබන්නේ ඔහුගේ හමුදා සගයෙකි. ‘කුලේ’ හමුවට ඔහු පැමිණ සිටින්නේ මහ රැයක ය. ඔහු පැමිණි ජීප් රථයේ විදුලි ලාම්පුවල එළිය මගින් ලැබෙන පසු ආලෝකයෙන් පමණක් ආලෝකමත්  වූ දර්ශන තලයක, අඳුර සමග වැඩි ගණුදෙනුවක යෙදෙමින් හමුදා සගයා සිටගෙන සිටියි. නෙත් නොපෙනෙන ‘කුලේ’ සිටින්නේ ඔහු ඉදිරිපස සිටගෙන මඳ අඳුරක ය. ඔහු ඉදිරියෙන් ඒ දණ්ඩකට සමාන කුඩා කොන්ක්‍රීට් කණු යෙදූ පාලමකි. අවට ගසින් පිරුණු වතු පිටි හා අඳුර ය. ඉඳහිට ඈත පාරේ ඇදෙන රථයක පහන් ආලෝකයත්, වඩා තීව්‍රව පෙනෙන පසු ආලෝකයේ රත් පැහැයත්, යම් බියමුසු සැකයක් සිත පහළ කරමින් තිරයේ එක් අන්තයක සිට අනිත් අන්තයට ඇදෙයි.

ඉහත දර්ශනය හා දෙබස මවෙත මුණගැසුණේ මේ දිනවල සති අන්තයේ ජාතික නාලිකාව ඔස්සේ විකාශය කෙරෙන ‘වීරයා ගෙදර ඇවිත්’ ටෙලි සිත්තම වෙත දී ය.නාමල් ජයසිංහගේ තිර රචනයෙන් ද ආනන්ද අබේනායකගේ අධ්‍යක්ෂණයෙන් ද නිමැවී ඇති ‘වීරයා ගෙදර ඇවිත්’, රොෂාන් රවීන්ද්‍ර සහ ජයනි සේනානායක ඇතුළු සුහුරු රංගන ශිල්පීන් කිහිප දෙනෙකුගේම විස්මිත රංගන දායකත්වය සමගින් එක්ව කලාතුරකින් ප්‍රේක්ෂක නෙත හමුවට එන ප්‍රවර්ගයේ ටෙලි නාට්‍යයක් ජාතික නාලිකාවේ විකාශ කාලය තුළ තබන්නට සමත් වී ඇත. 

ගුවන් විදුලියේ ‘මුවන් පැලැස්ස’ හෝ ‘මොණර තැන්න’, ඒත් නොමැති නම් ‘ගුවන්විදුලි රඟ මඬල’ අසන්නට වාඩි වූ ප්‍රේක්ෂාගාරයත්, සිනමා හලෙහි ලෙනින් මොරායස් සිට ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ ධර්මසේන පතිරාජ දක්වා නිමැවුණු සිනමා සිතුවම් පෙළ නරඹන්නට වාඩි වූ ප්‍රේක්ෂාගාරයත් සිය තිර අවකාශය අභියස වාඩි කරගනිමින් 80 දශකය වන විට වඩාත් ඉහළ අක්‍රිය හා සක්‍රිය ප්‍රේක්ෂක සංඛ්‍යාවක් රඳවා ගනිමින්, ‘කතන්දරකරුවාගේ’ භූමිකාවේ නව මුහුණුවර නිර්මාණය කළේ ටෙලිවිෂනයයි. ලෝක ටෙලිවිෂන ප්‍රවේශයට දශක කිහිපයක්ම පසුපසින් සිය මැදිහත් වීම ඇරඹුව ද, කිසිසේත් ලෝකයට නොදෙවෙනි වූ මෙරට ටෙලිවිෂනය ද ඉක්මණ්, විශාල පියවර කිහිපයක් හරහා සිය ‘ආලින්ද ප්‍රේක්ෂාගාරය’ ඉහත කී ගුවන් විදුලි හා සිනමා ප්‍රේක්ෂාගාර සියල්ල පරාජය කරන්නට කටයුතු කළේ ය.

‘කතන්දර’ ඇසීමත් ඒ රස විඳීමත් මෙරට පුරවැසියා මතු නොව සමස්ථ ලෝක පුරවැසි ප්‍රජාව හමුවේම හඳුනාගත හැකි පොදු, ප්‍රමුඛ මිනිස් ගුණාංගයකි. මුල, මැද හා අග සහිත කතන්දර, විවිධ ෂානර ඔස්සේත් විවිධ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ඔස්සේත් රස විඳින්නට පෙරමග බලා සිටින ප්‍රේක්ෂක ප්‍රජාවෙහි අරමුණ සාධනය කර දෙමින්ම ඔවුන් වඩාත් ඉදිරිගාමී සිතුවිලිවලින් පොහොසත්, රස වින්දන ශක්තියකින් හා බුද්ධිමය සාකච්ඡාවකට පොළඹවාගත හැකි ඥාණමය පිබිදීමකින් යුතු පිරිසක් බවට පත් කරගැනීම සිය කාර්යය බව හඳුනාගත් නිර්මාණකරුවන් යම් පිරිසක් හෝ මෙරට මෙන්ම විශ්ව නිර්මාණ කුලකයන් වෙත වූ බව ටෙලිවිෂන අතීතය දෙස හැරෙත්ම හඳුනාගත හැක. පතිරාජයන්ගේ ‘කඩුල්ල’ පෙරමුණු නාමය වෙත තබමින් මෙරට ටෙලි සිතුවම් අතීතය තුළ පෙළගැසී අපට හමුවන්නේ එම නිර්මාණ කුලකයේ මෙරට නිර්මාණකරුවන් පිරිසයි.

පෞද්ගලික නාලිකා ආරම්භයත්, ක්‍රමිකව වඩාත් ලාභදායී, හඬ කවා ප්‍රේක්ෂකයා වෙත යැවිය හැකි විදේශ ටෙලි නාටක මිලට ගැනීමට ලැබුණු ඉඩකඩත්, ලාභය පරම චේතනාව ලෙස දුටු ‘මාධ්‍ය මුදලාලිලාගේ’වෙළඳ චින්තනයත්, නියාමනයකින් තොර මාධ්‍ය භාවිතයත් ඇතුළු මේ සියල්ල 90 දශකාවසානයේ පටන් ක්‍රමිකව පිවිසෙමින් සිටියේ යට සඳහන්, පොහොසත් නිර්මාණ ටෙලිවිෂන් තිරය වෙතින් දුරස් කරන්නට ය. ජාතික හා ස්වාධීන රූපවාහිනී නාලිකා ද පෞද්ගලික නාලිකා සමග කෙරෙන අරගලය ලෙස වටහා ගත්තේ ද සමාන ටෙලි නාටක ස්වරූප සොයා ආලින්දයට එවීම මිස ප්‍රති ප්‍රවේශයන් නොවේ. නව සියවසේ මුල් දශකයත් සමග, සතියේ දින පහම දිවෙන, ‘මෙගා ටෙලි රැල්ල’ පළමුව පෞද්ගලික නාලිකා ද, දෙවනුව ඒ පසුපස දිවගිය රාජ්‍ය නාලිකා ද ආක්‍රමණය කළේ තත්වයන් බරපතල අර්බුදයකට ලක් කරමිනි.

‘වීරයා ගෙදර ඇවිත්’ නාමය ජාතික නාලිකා තිරය මත පතිත කරවීම, ‘රණවිරු’ නාමයෙන් කලෙක ඉහළ ඇගයුමක තැබූ, යුද්ධයේ පෙරමුණු බලඇණිවල හිඳ ජීවිතයේ කුමන හෝ අංගයක් අහිමි කරගත්, යුධ සෙබලෙකුගේ පුනරාගමනය මතු නොව, පොහොසත් ශ්‍රව්‍ය හා දෘශ්‍ය සත්කාරයකින් යුතු ‘තත්‍ය’ ටෙලි සිත්තම්වල පුනරාගමනයේ අවැසියාව ද සංඥා කරවන බව මට හැඟෙන්නේ එහෙයිනි. වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ආලින්දයේ හිඳුවා ගනිමින් ඔවුන්ගේ දෛනික ජීවිතයේ විවේකීම ‘රන් දෙපැය’, මුදල් තෑගි දෙමින් ඔවුන්ගේ ‘ඛේදනීය දෙපැය’ බවට පත් කරන ‘ටෙලි කුණුහරුප’ ඔවුන්ගේ නෙත් අභියස තබමින් සමස්ථ පුරවැසි ප්‍රජාවේ ශ්‍රව්‍ය-දෘශ්‍ය කියැවීම මොට කර දමමින්, දෘශ්‍ය සාක්ෂරතාව ද මොට කර දමනු වෙනුවට වඩා ඉදිරිගාමී අදහස් සහිතව ඔවුන් ඥාණනය කරමින්, පොහොනි වින්දන කලාපවලට කැඳවන ප්‍රවේශ විමසන්නට නිර්මාණකරුවන් පෙරමුණ ගත යුතු ය.

පසුගිය වසරත් සමග යම් පිබිදීමක් ලබන නව්‍ය ටෙලි සිතුවම් නිර්මාණ රැල්ලක් (කූඹියෝ, සහෝදරයා, තාත්තා, ත්‍රෛලෝකා ආදී නිර්මාණ සමග), ඉහත ‘ටෙලි කුණුහරුප’ නිසා ආලින්දය අතහැර කාමරවලට වැදී සිටි බුද්ධිමත් ප්‍රේක්ෂක ප්‍රජාව ද යළි කැඳවූ අතර ‘වීරයා ගෙදර ඇවිත්’ එම ප්‍රේක්ෂකයාට ‘රන් දෙපැයවල්’ නරඹමින් දිගටම වාඩි වී සිටි ප්‍රේක්ෂකයා සමගම ආලින්දයේ රැ‍ඳෙමින් ක්‍රමික පුනරාගමනයක් සඳහා සාකච්ඡාවක් අරඹන්නට බල කරමින් සිටී.

සිය ‘අන්ධ’ චරිතය ටක්කෙටම කරන්නට වෙර දරන රොෂාන් රවීන්ද්‍රගේ වෙහෙසකර රූපණ සත්කාරය, ඉතා සියුම්, එකිනෙකට වෙනස්, සංකීර්ණ මනෝභාව රැසක් සමග එකම මොහොතක ගණුදෙනු කරන චරිතයක් විස්මිත ලෙස කුඩා තිර අවකාශයක රූපණය කරන්නට සමත් වන ජයනි සේනානායකගේ රූපණය මෙන්ම ළමා රංගන ශිල්පියාගේ පටන් සෙසු රංග ශිල්පීන්ගේ දායකත්වය ද අපට ‘ආලින්ද තිර අවකාශයක’ කළ හැකි පොහොසත් රූපණ මැදිහත්වීම් පිළිබඳ සාක්ෂි ගෙන එද්දී වෙහෙස වී තනන රූප රාමු, ආලෝකකරණය ඇතුළු සෙසු අනුශාංගිකාංග ද අපට සිහි කැඳවන්නේ එම තිර අවකාශයට සෞන්දර්යාත්මක ගුණ සහිතව කථා කීමට ඇති ශක්‍යතාවය ය.

ඉතා දීප්තිමත් රූප ඔස්සේ, නළු නිළියන්ගේ මුහුණුවල ඇති උද්දීප්ත කළ බුහුටි හැඩතල පමණක් ග්‍රහණය කරගන්නා, කැමරාවේ නන්විධ චලන මගින් රූප බසෙහි බහු අර්ථ නිපදවීම කළ හැකි බව අමතක කළ, කිසිදු වර්ධනයක් හෝ තාර්කික පෙරගමනක් නොපෙන්වන චරිතවල පැතලි හා අතාර්කික රංග භාවිතයන් සමගින්, කොටස් සිය දහස් ගණනින් තනා තිරයට ‘පොම්ප කරන’ ‘ඉනිම්’ ගණනේ තැනෙන ටෙලිවිෂන් කුණුහරුපවලට ප්‍රතිපක්ෂව වඩා පිරිසියුම්ව තැබූ ටෙලි නාට්‍ය නිර්මාණ තබමින් කරන මැදිහත් වීම ‘වීරයා යළි කැඳවීමක්ම’ වනු ඇත්තේ ඒ හා සමග ක්‍රමිකව අපට පොහොසත් කියැවීමකින් යුතු ප්‍රේක්ෂාගාරයක් තනාගත හැකි බැවිණි.

නැතහොත් අප ද ‘කරපිංචා’ බවට පත්ව, ටෙලි හොදි පැසුණු පසු සූප්පූ වී පිඟන් පසෙකට යනු ඇත!

-ප්‍රියන්ත ෆොන්සේකා-