Wednesday, November 28, 2018

ශාලා ලොකුවට කලාව කුඩාවට: පාලකස්ථානයේ නාට්‍ය දෘශ්ටිය

(2018 නොවැම්බර් 25 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

නෙළුම් පොකුණ රඟහල ඇතුළත
තව නොබෝ දිනකින් කොළඹ නෙළුම් පොකුණ ජාත්‍යන්තර රඟහල විවෘත කොට සත් වසක් සපිරෙනු ඇත. ආසන 1269කින් යුක්ත මේ දැවැන්ත, අති නවීන රඟහල විවෘත වුණු මොහොතේ එවකට සිටි ජනාධිපතිවරයා එය හඳුනාගත්තේ මෙරට රංග කලාවේ අනාගත දියුණුවේ කේන්ද්‍රස්ථානයක් ලෙසිනි. අවශ්‍ය නම් සත් වසක් ගෙවෙන තැන අපට දැන් යළි හැරී රංග කලාව විෂයයෙහි එහි මැදිහත් වීම විචාරශීලීව සිදු කළ හැක. කෙසේ වෙතත්, මගේ මේ ප්‍රවිශ්ටය නෙළුම් පොකුණ රඟහල වෙත පමණක් තනි අවධානයක් යොමු නොකරමින්, රංග ශාලාවල ආසන ඝණත්වයෙන් හෝ ශාලාවේ දැවැන්ත බවින් පමණක් මනින්නට උත්සාහ කරන නාට්‍ය හා රංග කලා විෂයයෙහි පාලකස්ථාන දෘශ්ටිය වෙත අපගේ සාකච්ඡාව කැඳවා ලීමට ය. ඒ හා සමග, පුරවැසියා පෙරමුණෙහි තැබූ, සමාජ වගකීමක් සහිත නාට්‍ය කලාවක් ස්ථාපිත කරගැනීමෙහි ලා අපගේ කාර්යය විමසීමට ආරාධනා කිරීමට ය.

නෙළුම් පොකුණ රඟහලෙන්ම අපට අපගේ සාකච්ඡාවට ආරම්භයක් ලබාගත හැකි ය. චීන රජයේ ආධාරයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන මෙම රඟහල චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිනිය ලෙස කටයුතු කළ යුගයේ (ලක්ෂ්මන් ජයකොඩි සංස්කෘතික අමාත්‍යවරයාව උන් සමයේ) ආරම්භ කෙරුණු ව්‍යාපෘතියකි. මේ දැවැන්ත රඟහල් ‘තෑග්ග‘ගැන කණ වැකුණු එවකට නාට්‍ය අනුමණ්ඩලය සංස්කෘතික අමාත්‍යවරයා හමු වී සිදු කර ඇති පළමු ඉල්ලීම වී ඇත්තේ මේ මුදලින් ප්‍රධාන නගරාශ්‍රිතව ජාතික මට්ටමේ රංගශාලා 5ක්වත් ආරම්භ කිරීමට මැදිහත් වන ලෙස ය. චීන රජයේ ‘ත්‍යාගයක්‘ බඳු මෙම රඟහල එසේ ප්‍රාදේශීය විහිදෙන පරිශ්‍ර එකතුවක් දක්වා යොමු කළ නොහැකි බැව් අමාත්‍යවරයා දැනුම් දුන් විට ඔවුන්ගේ දෙවැනි ඉල්ලීම වී ඇත්තේ‍, එසේ නම්, මේ ව්‍යාපෘතිය තුළින්ම නාට්‍ය වේදිකාව ඉලක්ක කොටගත්, නාට්‍යකරුවන්ට ගණුදෙනු කළ හැකි මට්ටමේ තවත් කුඩා ශාලා පරිශ්‍රයක් ඉදිකර දෙන ලෙස ය. එයට එකඟත්වය පළ කොට ඇති එවකට සංස්කෘතික ඇමතිවරයා කලාභවන ආසන්න රජයට අයත් භූමියක එම පරිශ්‍රය ඉදිකිරීම සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ කොට ඇත. ආසන සිය ගණනක මධ්‍ය ප්‍රමාණ රඟහලක්, ආසන පණහක හැටක කුඩා රඟහලක්, පුහුණුවීම් අවකාශ, කුඩා ලොබියක්, දුරබැහැරින් එන නාට්‍ය ශිල්පීන්ට නවාතැන් පහසුකම් ආදියෙන් සමන්විත සැලසුමක් එහි වූ බව එවකට නාට්‍ය අනුමණ්ඩලයේ සාමාජිකත්වය දැරූ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් මා සමග පවසා ඇත.

ඇමතිවරයාගේ මාරුවෙන් පසු නතර වූ මෙම ක්‍රියාදාමය, ඇමතිවරුන් වෙනස් වූ පසු ආයතනික අතීතයන් මකා දැමෙන බැවින් වියැකී ගොස් ඇත. අවසානයේ නෙළුම් පොකුණ රඟහල පමණක් ‘ජාත්‍යන්තර මට්මමේ‘ ආඩම්බරයකින් අප අතට පත් විය. එහෙත්, එය ලැබුණු විගසම ඇසුණු ප්‍රධාන මැසවිල්ල වූයේ එහි වූ මිල ගණන්වල ඉසිලිය නොහැකි බවයි. එක් රංගයක් පැවැත්වීම වෙනුවෙන් එහි අය කිරීම එවකට ලක්ෂ 8ක් විය! ඒ පුහුණුවීම් කාල සඳහා අය කළ මුදල්වලට අමතරව ය. දැන් එය ‘දැවැන්ත ප්‍රමාණයේ‘ සංගීත හා ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම්, දෙස් විදෙස් තරු පිරුවැරූ ටෙලිවිෂන් හා සිනමා සම්මාන උළෙලවල්, රියැලිටි උත්සව ආදියට වෙන් වී ඇත. ජාත්‍යන්තර ප්‍රාසාංගික අත්දැකීම් මෙරටට ලැබෙනු ඇතැයි විශ්වාස කළ වේදිකාව මත මුණගැසෙන්නේ නාලිකාවලින් ගෙනෙන සිනමා සම්මාන දෙන්නට ගොඩ වදින ජනප්‍රිය බොලිවුඩ් නළුවෙකු හෝ නිළියක පමණි.

දැවැන්ත ඔපෙරාවන් ප්‍රමුඛ මහේශාක්‍ය ඉදිරිපත් කිරීම් සිදු කළ හැකි වේදිකාවක් රටක ප්‍රධාන නගරයක වීම කිසිසේත් වරදක් නොවේ. එහෙත්, ඒ හා සමග, එවැනි ප්‍රාසාංගික නිර්මාණයන් බිහිකෙරෙන නිර්මාණශීලී ප්‍රජාවකින් සමන්විත පරිසරයක්, එවැනි නිර්මාණ රස විඳිය හැකි ප්‍රේක්ෂක ප්‍රජාවක් ඇතුළු මූලික අවැසියාවන් නිපදවිය යුතු ය. එය ඕපපාතිකව සිදු වන්නක් නොවේ. වඩා පොහොනි මැදිහත්වීමක් සහිතව රංග කලා විෂයය දෙස බලන සමාජ වටපිටාවක් සමග නිර්මාණය වන්නකි. දීර්ඝ හා අනවරත සාකච්ඡා හා එළඹුම් ඔස්සේ සිදු වන්නකි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ රංග කලාව මෙම අති දැවැන්ත වේදිකා ආමන්ත්‍රණය කරන්නක් නොවේ. බිහිවන නිර්මාණ අතලොස්ස, නිර්මාණයේ පසුතලයන්, තේමාවන් සමග ඉදිරිපත් කිරීමේ ආකෘතීන් අතින් පිහිටන්නේ අවමතාවාදී වේදිකා ගුණයන් හා මුසුව ය. මූලික වශයෙන් සමකාලීන නාට්‍ය කලාව කොයියම්ම ලෙසකින් හෝ මේ ‘දැවැන්ත‘ බව හා නෑකම් නොකියන අතර ඒවායේ ආඛ්‍යාන ස්වරූපයන් හා ආකෘතීන් සමග කුඩා ප්‍රමාණයේ රංග වේදිකාවලට අතිශය ගෝචර ස්වභාවයන් පෙන්නුම් කරයි.

වඩා දැනුවත් රාජ්‍ය යාන්ත්‍රණයක් පවතී නම් හා රංග වේදිකාවට වඩාත් සෘජු දායකත්වයක් ලබා දීම සඳහා ඔවුන්ට සත්‍ය උවමනාවක් වේ නම් සිදු කළ යුත්තේ රංගයන්ගේ හා රංගකරුවන්ගේ අවශ්‍යතා පූරණය කෙරෙන රංග ශාලා දාමයක් රට පුරා විහිදෙන පරිදි ඉදි කිරීම හා නඩත්තු කිරීමයි. කෙසේ වෙතත්, මහනුවර (කුණ්ඩසාලේ), මාතර (රුහුණු විශ්වවිද්‍යාලය), අනුරාධපුරය ඇතුළු විවිධ ප්‍රදේශවල පැතිරුණු වැඩ නිම කළ හා/හෝ වැඩ ඇරඹූ/අතරමග ඇණ හිටි රංග ශාලා ව්‍යාපෘති සියල්ල දෙස් දෙන්නේ ගොඩනැගීම්වල දැවැන්ත බව එම ශාලා විෂයයෙහි ඇති මූලික අපේක්ෂාව බවයි. තව දුරටත්, සියලු පුරවැසියාට සමාන පරිදි නාට්‍ය සේවනය කිරීමට අවකාශ සැලසීම තබා මූලිකව නගරාශ්‍රිතව හෝ ගැලපෙන හා උචිත ස්වරූපයේ රංග ශාලා අවකාශයන් පුරවැසියන් වෙත ලබා දීමට පාලකස්ථානවලට අදහසක් නැත. කොළඹ නගරයේ ද සාමාන්‍ය මට්ටමේ වූ රංග ශාලා අතුරින් දෙකක් (එල්ෆින්ස්ටන් හා ජෝන් ද සිල්වා) අලුත්වැඩියාව හෝ නැවත ඉදිකිරීම වෙනුවෙන් වැසී ගොස් ඇති අතර පවතින ශාලාවල වහල ද හිටි අඩියේ හිසමත පතිත වීමේ අවධානය නොමැත්තේ ද නොවේ (ආසන්න ටවර් රඟහල සිදුවීම විමසන්න.)

රංග කලාව විෂයයෙහි පහසුකම් සහිත ශාලා ඉදිවන තෙක් සිය නිර්මාණ ප්‍රේක්ෂකයා වෙත ගෙන යාමට බලා සිටින නිර්මාණකරුවා වෙනුවට සිය නිර්මාණාත්මක මැදිහත්වීම් විවිධ විකල්ප වේදිකා මත තබමින් කටයුතු කරන ක්‍රියාශීලී නිර්මාණ පරපුරක් ද අපට අවශ්‍ය ය. නව රඟහල් වෙනුවෙන් අරගල කරමින් ම, ප්‍රජාමූල කුඩා රඟහල් ඉදිකිරීමට අපට පියවර ගත හැක. ඉතා සාර්ථකව වසර ගණනාවක් ක්‍රියාත්මක ‘ජන කරළිය‘ වැනි කණ්ඩායමක මැදිහත්වීම්, ඔවුන්ගේ ජංගම රඟහල් උපක්‍රම අපට උදාහරණයට ගත හැක. කුඩා බ්ලැක් බොක්ස් අවකාශ වැනි දේ ඉදිකරගත හැක. සුදුසු තන්හිදී වීදි නාට්‍යකරුවන් අනුදත් මාර්ග ඔස්සේ යමින් ද කටයුතු කළ හැක.

ඉදිකරන ව්‍යාපෘතිය තුළ මහා පරිමාණයෙන් කොමිස් මුදල් පිල්ලි ගසා ගැනීම හා ඉදිකළ පසු විශාල නාමපුවරුවල සිය නාමය ලියා තැබීම හැර රංග ශාලාවක වටිනාකම පිළිබඳ වෙනයම් ඇගයීමක් නැති පාලකස්ථානයකින් සමාජයට ඵලදායී රංග ශාලා ඉල්ලා සිටීම කෙතරම් ප්‍රතිඵලදායකදැයි විමසමින්ම මූලිකව ප්‍රජාව මුල් කරගත් විකල්ප රංග ශාලා ස්වරූපයන් වෙත අප මං පෙත් විවර කොට ගත යුතු බව මගේ යෝජනාවයි. ඔව්! ඒ සඳහා අප කලාව හා සෞන්දර්ය විෂයයෙහි වඩා පෙරටුගාමී අදහසින් පූර්ණ පුරවැසි ප්‍රජාවක් වෙනුවෙන් පළමුව පෙළ ගැසිය යුතුම ය.

-ප්‍රියන්ත ෆොන්සේකා -   


සේයාරුව: http://www.nelumpokuna.com

Tuesday, November 20, 2018

දෘශ්‍ය සාක්ෂරතාවෙහි අරුත වටහාගැනීම


(2018 නොවැම්බර් 18 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)


සිවු විය නොඉක්මවූ මගේ කුඩා පුතු විවිධ වර්ණැති කුඩා සෙල්ලම් බඩු සමග සෙල්ලම් කරමින් සිටියි. ඒ එක් එක් වර්ණයන් ඔහු වෙත පැහැදිලිව හඳුනා දෙන්නට මගේ බිරිඳ ගන්නේ අසීමිත උත්සාහයකි. රතු වර්ණය රතු ලෙස ද, නිල් වර්ණය නිල් ලෙස ද යනාදී වශයෙන් පුතු අදාල වර්ණ නිවැරදිව හඳුනාගන්නට සමත් වන විට ඇගේ මුහුණ සතුටින් පිරී යනු නිරීක්ෂණය කළ හැකි ය. ඒ වැරදි වටහාගැනීම් මග හැර ගන්නට යළි යළිත් වර්ණ දක්වමින්, ඒ පුනරුච්චාරණය කරවමින් සිදු කරන දීර්ඝ ප්‍රතිඵලයක අවසන ඇය ලබන ජයග්‍රහණය මතු නොව කුඩා පුතු නිවැරදිව වර්ණ හඳුනාගන්නට සමත්වීම පිළිබඳ සතුට යන දෙකෙහිම එකතුවකි. ඇය මේ අත්විඳිමින් සිටින්නේ දෘශ්‍ය සාක්ෂරතාවෙහි හෝඩිය හඳුනාගන්නා පුතුගේ දියුණුව දැකීමේ සතුටයි.

අක්ෂර සමගින් ගණුදෙනු කොට, එක් එක් අක්ෂරයෙහි හැඩතල සමගින් ශබ්දය හඳුනාගැනීමට දරුවකු සමත් වන්නේ නිශ්චිත වයසක් කරා ඔහු හෝ ඇය වර්ධනය වූ පසු ය. නමුත් වර්ණ සහ වෙනත් හැඩතල හඳුනාගනිමින් සිය වටපිටාවෙහි දෘශ්‍ය ලෝකය වටහාගන්නට ඔහු හෝ ඇය ඉන් පෙරම සමත් වෙයි. මව හා පියාගේ පටන් මිනිස් රූපකායන් හඳුනා ගනිමින් ද, වටපිටාවේ කුඩා සතුන් හඳුනාගනිමින් ද සිය අවට ලෝකයේ ජීවිතය හඳුනාගන්නට සමත් වෙයි. මේ දෘශ්‍ය හඳුනාගැනීම් අක්ෂර කියවා වටහාගැනීමට පෙළඹවීම හා ඉගැන්වීම තරම් අසීරු කාර්යයක් නොවන අතර බොහෝ අවස්ථාවලදී දරුවාගේ වර්ධනය සමග සිදුවන ස්වාධීන තේරුම් ගැනීම මත ද නිතැතින් සිදුවන අවස්ථා වන බව ද පැහැදිලි කරගැනීම අසීරු නැත.

කෙසේ වෙතත්,  රටක හෝ සමාජයක ‘දියුණුව‘ පිළිබඳ දර්ශකයන්හිදී පෙරමුණෙහි තබමින් වටහාගන්නා සාක්ෂරතාව පිළිබඳ සාකච්ඡාවේදී අවධානය යොමු වන්නේ අකුරු ලිවීමෙහි හා කියැවීමෙහි හැකියාව පදනම් කරගත් කලාපය මිස දෘශ්‍ය සාක්ෂරතාව නොවන බව අපි දනිමු. යමෙකුට අකුරු කියවාගත හැකි වූ පමණින් හෝ සිය නාමය ලියාගන්නට හැකි වූ පමණින් සාක්ෂරතාව සහිත පුද්ගලයෙකු ලෙස හඳුනාගත හැකි දැයි වන ප්‍රචලිත පැනය රටක සාක්ෂරතාව මැනීමේ දර්ශකය ද ගැටළුවක් අභියස තබමින් යළි ඒ විමසුම දෙස හැරී බලන්නට ආරාධනා කර ඇති බව නොරහසකි. එසේ වුව, මා යෝජනා කරන්නේ, අප ඉන් ද ඔබ්බට යමින් සමාජයක් කොපමණ දෘශ්‍ය සාක්ෂරතාවකින් හෙබි දැයි විමසීම ද අත්‍යාවශ්‍ය බවයි.

කුඩා දරුවන්ගේ ළදරු පාසැල් අධ්‍යාපන සමයෙන් අනතුරුව අපි දෘශ්‍ය සාක්ෂරතාව පිළිබඳ එහෙම පිටින්ම අමතක කොට දමමු. එහෙත් එය වර්ණ සහ හැඩතල හඳුනාගැනීමේ, රූප හඳුනාගැනීමේ මූලික රාමුව අභිබවා යන්නකි. තත්‍ය ලෙස දෘශ්‍ය සාක්ෂරතාවකින් හෙබි පුද්ගලයා අප වටා ඇති, අප වෙත හමුවන, දෘශ්‍ය ලෝකය අර්ථ ගන්වා ගන්නට, වටහා ගන්නට, ඒ හා සමග ගණුදෙනු කරන්නට මෙන්ම දෘශ්‍ය රූපවලින් නැගෙන සංකේතාර්ථ තේරුම් ගනිමින් අර්ථ නිරූපණය කරන්නට ද සමත් විය යුතු ය. සැබවින්ම දෘශ්‍ය සාක්ෂරතාව යනු වර්ණ, හැඩතල, රූප හා සංඥාවලින් පිරී ඇති අප අවට ලෝකය වටහා ගැනීමයි. එය චිත්‍ර ශිල්පය හදාරණ, නොඑසේනම්, සිනමාව, ගෘහ නිර්මාණ ශිල්පය හෝ ඡායාරූප කලාව සමග ගණුදෙනු කරන, රූප හා වර්ණ සමග සෘජුව කටයුතු කරන පිරිසකට සීමා වන්නක් නොවේ. සමස්ථ ප්‍රජාව වෙතම යොමු විය යුත්තකි.

අප අවට ලෝකය දෙස මොහොතක් නැවතී බලන්න. නගර අවකාශයක හෝ ගම් පියසක භූ දර්ශනය දෙස මොහොතක් බලන්න. ආලින්දයක වාඩි වී ටෙලිවිෂන දෙස ඇස් පිය නොහෙලා බලා සිටින නිවැසියන් පිරිසක් දෙස බලන්න. ඒ ටෙලිවිෂනයෙන් ගෙන එන රූප එකතූන් දෙස බලන්න. ගොඩනැගිල්ලක පිළිවෙල හෝ අපිළිවෙල දෙස බලන්න. සරලවම නම්, අවට වටපිටාවේ ඇති චංචල හෝ නිශ්චල ඕනෑම දෙයක් දෙස බලන්න.  

සුන්දර රටක් ලෙස, ස්වභාව ධර්මය විසින් ලබා දුන් දායාදයට ඔබ්බෙන් ගොස්, අප විසින් නිර්මාණය කරගෙන ඇති පරිසරයෙහි ඇති දෘශ්‍යමය වියමන ගැන ඔබට කොතරම් සෑහීමකට පත් විය හැකි ද? අප නිර්මාණය කරගනිමින් පුරවැසියා වෙත එවන දෘශ්‍ය පණිවුඩ කොතරම් දුරට පොහොසත් ද? ඒවා නිසි ලෙස කියවාගැනීමට පුරවැසි සමාජය සමත් ද? මේ ඇතුළු ආශ්‍රිත බොහෝ ගැටළුවලට ඔබට ලැබෙන පිළිතුර සෘණාත්මක වීමට ඇති ඉඩකඩ බොහෝ ඉහළ බැව් මට නොබියව ප්‍රකාශ කළ හැක. ඉන් හෙළිවන්නේ පොදු පුරවැසි සමාජයේ දෘශ්‍ය සාක්ෂරතාවෙහි දුර්වලතාව මිස අන් කවරක් ද?

දරිද්‍රතාව වඩාත් මනරම් නිවෙස්වලින් හෙබි වටපිටාවක් අප වෙත තබන්නට ප්‍රබල බාධකයක් බවට ඔබ තර්ක කරන බව, ගෘහ නිර්මාණයන්හි ඇති දෘශ්‍ය රූපවල හිඟකම ගැන සාකච්ඡා කරන්නට මත්තෙන් මම දනිමි. එහෙත් ස්වකීය සීමාවන් තුළ හිඳිමින් වුව, වටපිටාවෙහි ඇති භූමිය, සෙසු නිවාස, වෘක්ෂලතාදිය සමග තබමින් විමසන නිවාස තනන්නන් අපට මුණගැසේ ද? එපරිද්දෙන්ම ඔබට ප්‍රති තර්ක ඇත්තේ වුවත් පහත පැන කිහිපය ද, උදාහරණ ලෙස, ඔබ වෙත තබන්නට මම කැමැත්තෙමි. සිය ආලින්දයේ ඇති ටෙලිවිෂනය, තමන් මිල දී ගත් අවස්ථාවේ පැවති වර්ණ සැකසීමෙහිම තබමින්, කිසිදු වග විභාගයකින් තොරව එහි මැවෙන රූප දෙස බලන කොපමණ ප්‍රේක්ෂාගාරයක් අප වෙත වේ ද? වඩා පොහොසත් දෘශ්‍ය සාක්ෂරතාවකින් හෙබි සමාජයක් අභියස, ඉතා දුර්වල රූප සංරචනා සහිත, තෙවැනි පන්තියේ මෙගා ටෙලි නාට්‍ය ඇතුළු බොහෝ ටෙලිවිෂන් විප්‍රකාර, අවර ගණයේ වීදි කඩ චිත්‍රපට, දියව යා යුතු නැති ද? සිය නෙත් සීමාවෙන්, බොහෝ විට තමන්ගේ නිවසෙහි බැම්මෙන්, ඔබ්බෙහි තමන් විසින්ම ගොඩ ගසන කුණු කඳු පරිසරය පිළිබඳ පහන් සිතුවමක් දකින්නට සමස්ථ පුරවැසි සමාජයටම බාධා එල්ල කරන්නේ ය යන කරුණට වැසියන් සවිඥාණික ද?

දෘශ්‍ය රූපය යන්න චිත්‍ර කලාව හා ආශ්‍රිත කලාපයේ අතහැර දමා ඒමේ ආදීනව අපි රටක් ලෙස අත් විඳිමින් සිටිමු. නිල් - කොළ -රතු දේශපාලනික වර්ණයන් ඉක්මවූ තැන අපට වර්ණය නොවැටහේ. රවුම් හා කොටු ආදී මූලික හැඩතලවලින් පසු අපට හැඩතල මුණගැසී නැත. රේඛීයව ස්වකීය නෙත් අභියස සිට එක එල්ලේම යමින් සිටින සමාජයක් ලෙස අපට වක් ව, විකර්ණිකව හෝ තිරස්ව නැගෙන රේඛාදිය පෙනෙන්නේ ද නැත. කැඩපත අභියස මුණගැසෙන ස්වකීය රූපය මිස බොහෝ දෙනෙක් විවිධ හැඩගත් අරුමැසි, අපූර්ව සමාජයේ පුරවැසියන්ගේ අනේක රූප ද දැක නැත. තමන්ගේ ඇඳුමෙහි පැළඳුමෙහි සිට ජීවන චර්යාවන් හරහා, කලාව හා දේශපාලනය දක්වාම මුණ ගැසෙන දෘශ්‍ය ලෝකය හරයාත්මකව වටහා ගැනීමට දෘශ්‍ය සාක්ෂරතාවකින් හෙබි සමාජයක් වහා නිර්මාණය කොට ගැනීමට අප කටයුතු කළ යුත්තේ එහෙයිනි.

-ප්‍රියන්ත ෆොන්සේකා -   


Tuesday, November 13, 2018

බයිස්කෝප්කරුවන්ගේ තර්ජන හා සිනමාවේ හෙට දවස


(2018 නොවැම්බර් 11 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

දෙවන ලෝක යුද්ධය කෙළවර වීමත් සමගම, ලෝක සිනමාව විෂයයෙහි විශේෂයෙන් යුරෝපීය සිනමාව විෂයයෙහි, කෘතීන්හි අන්තර්ගතයන් හා ආකෘතීන් මෙන්ම තේමාවන් ආශ්‍රිත සිනමාත්මක ප්‍රකාශනය පිළිබඳ පුළුල් සාකච්ඡා ඇරඹුණු අතර 40 දශකය තුළ දීම ඉතාලි නව-යථාර්ථවාදය බිහිවන්නේත්, දෙවනුව ප්‍රංශ නව රැල්ල ඇරඹෙන්නේත් එම සාකච්ඡාවල ප්‍රතිඵල ලෙස ය. යථාර්ථයෙහි ඇති නව්‍ය බව හා නව්‍ය නොවන බව යනුවෙන් දෙඅංශයක් පැවතිය හැකි ද යන්න කෙනෙකුට ගැටළුවක් මතු කළ හැකි වෙතත්, පැවති සිනමා භාවිතය අතික්‍රමණය කරමින් ඉතාලි නව-යථාර්ථවාදය පෙන්නුම් කළ ප්‍රකාශනයෙහි වූ නැවුම් ස්වරූප විමසන්නෙකුට එහි ඇති තාර්කික බව වැටහී යනු ඇත. ප්‍රංශ නව රැල්ල ද සමාන ලෙස ම පෙර ප්‍රංශ සිනමා ප්‍රකාශන විධීන් ඉක්මවූ ආකාරයක් පෙන්වූ අතර බිහිසුණු ඛේදවාචකයක් කෙළවර මුණ ගැසෙන, පෙර නොවූ විරූ අදහස් හා රූප වියමන් තිරය මත දෘශ්‍යමාන කරනු ලැබී ය. ඉතාලි නව යථාර්ථවාදය බිහිවීම හමුවේ ද යම් මැදිහත් වීමක් තිබෙන්නට ඇතත් ප්‍රංශ නව රැල්ල බිහිවීම හමුවේ නම් සෘජු දායකත්වයක් පැහැදිලිවම දක්වා තිබුණේ සිනමා විචාරක පරපුරයි. පැවති සිනමාව පිළිබඳ ගුණ දොස් ගෙන ආ විචාරකස්ථානයයි.

‘කයියෙ දු සිනමා‘ නමින් ප්‍රංශය තුළ ප්‍රකාශනයට පත් වුණු (අදද ප්‍රකාශනය වන) සිනමා සඟරාවට ලියූ අන්ද්‍රෙ බසාන්, එරික් රෝමර්, ක්ලොඩ් චැබ්රොල්, ෂොන් ලුක් ගොදා සහ ප්‍රංශුවා තෘෆූ වැනි විචාරකයින් ගණනාවක් පැවති මහා සිනමා සම්ප්‍රදාය දැඩිව විවේචනය කළ අතර දෙවනුව තමන් යෝජනා කළ සිනමා භාවිතය තිරය මත ප්‍රතියමාන කරනු වස් කැමරා ආම්පන්න අතට ගත් හ. අන්ද්‍රෙ බසාන් ඇතුළු සුළු පිරිසක් හැරුණු විට, එරික් රෝමර්, ක්ලොඩ් චැබ්රොල්, ෂොන් ලුක් ගොදා සහ ප්‍රංශුවා තෘෆූ ඇතුළු මුල් විචාරක අසුන් රාශියක් ප්‍රංශ නව රැල්ල නැගී එත්ම එහි අධ්‍යක්ෂක අසුන් වෙත පිළිපන්ව උන් හ. එනයින්, ප්‍රංශ නව රැල්ලේ සිනමාවේ වැඩි අයිතියක් එහි ආරම්භයට මග පෑදූ සිනමා විචාරක පරපුරකට හිමි විය යුතු ය.

විචාරකයා සෘජුවම සිනමා අධ්‍යක්ෂක අසුන වෙත ප්‍රවේශ වූ එතරම් පැහැදිලි උදාහරණයක් සිනමා ඉතිහාසය තුළ අපට මුණ නොගැසෙතත්, බොහෝ සිනමා නිර්මාණකරුවන්ගේ පසුකාලීන සිනමා නිමැවුම් හි රුවගුණ වෙනස් කරන්නටත්, වඩා පෝෂිත වියමන් වෙත ඔවුන් මෙහෙයවන්නටත් බලපෑම් කළ සිනමා විචාරකයින් පිළිබඳ සිනමා ඉතිහාසය තුළ බොහෝ තොරතුරු හඳුනාගත හැකි ය. මුල්කාලීනව, යම් ආකාරයක සීමාවන් තුළ හිඳ මැදිහත් වූයේ වුවත්, ජයවිලාල් විලේගොඩගේ මැදිහත් වීම මෙරට සිනමාව විෂයයෙහි අපට අත්හැර යා නොහැකි අතර, පසුකාලීනව රෙජී සිරිවර්ධන, ගාමිණී හත්තොටුවේගම, ගාමිණී විජේතුංග, පියල් සෝමරත්න, බෙනඩික්ට් දොඩම්පෙගම, පිලිප් කුරේ ආදීන්ගේ විචාරක මැදිහත්වීම් ප්‍රධාන සිනමාකරුවන් විෂයයෙහි සුවිශේෂ බලපෑමක් එල්ල කළ බව ඉතිහාසය තුළින්ම මුණගැසෙන සාක්ෂිවලින්ම පැහැදිලි වී ඇත. වඩාත් පොහොසත් විචාරකස්ථානයක් පැවතීම දියුණු සිනමාවක් තැනීමට සිනමාකරුවන්ට සෘජු හෝ වක්‍ර බලපෑමක් එල්ල කරමින්ම සිනමා කෘතිය හා ප්‍රේක්ෂකයා අතර පාලමක් තනමින් කෘතිය කියවීමෙහි ලා ප්‍රේක්ෂකයා යම් ඔසවා තැබීමක් ද සිදු කරනු ඇති බව සිනමා සංවාද කලාපයන්හි ප්‍රමුඛ විශ්වාසයයි.  
  
මේ දීර්ඝ ප්‍රවිශ්ටය වෙත මා මෙහෙය වූ කරුණ ‘කොළඹ සන්නිය රිටන්ස්‘ නමින් චිත්‍රපටයක් තනන හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂවරයා සිය සිනමා කෘතිය පිළිබඳ ‘විචාරයක්‘ ලියන්නට පෙරම ‘ලිව්වොත් බලාගෙනයි‘ යනුවෙන් අසභ්‍ය වදනින් ද බැණ වදිමින් පත්‍රකලාවේදී ප්‍රියන්ත කොඩිප්පිලි වෙතට ෆේස් බුක් හරහා තර්ජනය කර තිබීම ය. ඔහුට අනුව කොඩිප්පිලි කළ යුත්තේ ‘කුහක ලෙස‘ සිනමා විචාර ලිවීම නොව සිනමාවට සේවය කිරීම සඳහා පිටපතක් ලිවීම ය. නොහැකි නම් කවි කොල ලියා (කොඩිප්පිලි කවියකු ද බැවින් මෙසේ කියනවා විය හැක.) බස් රථවලට නැග විකිණීම ය. විචාරයට පැමිණීම කෙළවර විය හැක්කේ අධ්‍යක්ෂවරයාගෙන් මහමගදී පහර කෑමකින් බවට ඔහු අනතුරු අඟවා ඇත. (එම සටහන මෙහි සෘජුව පළ කළ නොහැකි තරම් අසභ්‍ය ය.)

ප්‍රියන්ත කොඩිප්පිලි සිනමා විචාරකයෙක් ලෙස නම් කරන්නට මම නම් ඉක්මණ් වන්නේ නැත. සිනමාව (හා කලාව) විෂයයෙහි ඔහුගේ මැදිහත් වීම මූලිකව ලංකාදීප පුවත්පතට ඔහු ලියන ‘බුලට් 1‘ නමැති කොලම හා බැඳෙයි. ඒ හැරුණු විට පසුගිය සමයේ ඉමහත් ජනප්‍රියත්වයට පත් සඳැස් කවි පද හරහා ෆේස්බුක් අඩවිය ඔස්සේ ද ඔහු ඇතැම් විට සිනමාව හා බැඳුණු කාරණා ආමන්ත්‍රණය කරතත් ඒ නිරතුරුව නොවේ. ඒ මැදිහත්වීම් තීව්‍ර ලෙස සිදු කරන සිනමා වියමන් විමසමින් දිවෙන සිනමා විචාරයන්ට වඩා සිනමාව කෙරෙහි ආසක්ත, වඩා පොහොසත් සිනමාවක් දකින්නට කැමති පත්‍රකලාවේදියෙකුගේ මැදිහත්වීම් ලෙස හඳුනාගන්නට මා කැමති ය. කෙසේ වෙතත්, කුඩා කොලමක සීමිත වචන සංඛ්‍යාවකට සිය කරුණ ගොණු කිරීමේ දී ඔහු සිනමා වියමන කියවන්නට හැකි සිනමා දෘශ්‍ය සාක්ෂරතාවයකින් හෙබි අයෙකු බවට ඉඟිකරන්නට බොහෝ තන්හි සමත්ව ඇත.

සිය චිත්‍රපටය විෂයයෙහි අකුරක් හෝ ලියන්නට පෙරම කොඩිප්පිලිට (හෝ වෙනයම් අයෙකුට) එරෙහිව තර්ජනාංගුලිය ඔසවන මේ අංකුර තරුණයාගේ අප්‍රසන්න ප්‍රවේශය දැඩිව හෙළා දැකිය යුතු අතර සැබෑ නිර්මාණකරුවකු සතු විය යුතු ගුණාංග යළි මුල සිට විමසන්නැයි ඔහුට ආරාධනා කරන්නට කටයුතු කළ යුතු ය. ඒ හා සමග, විචාරකයා පෑන අතට ගන්නටත් පෙර ‘බිය වී කෑ මොර දෙන‘ මේ ආස්ථානය ඔහුටම යළි විමසා තේරුම් ගන්නටත් ආධාර කළ යුතු ය. සැබවින්ම පැහැදිලි වන්නේ සිය රූප එක්කාසු කිරීම කිසිදු ආකාරයක නිර්මාණාත්මක වපසරියක නොවන බව ඔහුගේම යටි සිත ඔහුට සංඥා කර ඇති බව ය. කොඩිප්පිලි ‘කඩප්පුලි‘ ලෙස සිය කෘතිය දෙස බලනු ඇතැයි ඔහුට සිතෙන්නේ වෙන කවර හේතුවක් නිසා ද?

70 දශකයේ තිරයට ආ ‘කොළඹ සන්නිය‘ පැවති සමාජයේ ගැමි හා නාගරික සමාජ වටපිටාවන්හි ජීවත් වන එකිනෙකට වෙනස් සමාජ පන්තීන්වල ජීවත් වන වැසියන්ගේ මෝඩකම් හා පුරසාරම් ගැන මණික් සන්ද්‍රසාගර හෙළූ සෝපාහාසාත්මක බැල්මකි. එය මෙතෙක් බිහිව ඇති අතලොස්සක් හාස්‍ය සිනමා කෘති අතර අග්‍රඵලයක් ලෙස හඳුනාගන්නට ඇති සාධාරණ කරුණු රැසකි. එය සිනා සෙන්නට ආරාධනා කරන්නේ ගමකින් එන ‘මෝඩ‘ වෙනත් කවරකුට හෝ නොවේ. අපටම ය. නැගී එන නාගරික සමාජ අවකාශවල පවතින අරුමෝසම් වෙත ද එය හෙළන්නේ හාස්‍ය මුසු නමුත් තියුණු බැල්මකි. එය යළි දශක කිහිපයකින් පසු සිනමා තිරය වෙත ‘රිටන්‘ කරන නිර්මාණකරු සන්ද්‍රසාගර මතු නොව වත්මන් කොළඹ ඇති සන්නි ආදිය ගැන ද මනා කියවීමකින් යුක්ත අයෙකු විය යුතු ය.

කොඩිප්පිලිට බිය වන්නට පෙර උඩකන්ද තමන් ගැන බිය විය යුතු ය. ඔහු පමණක් නොව වත්මන් සිනමාවට ප්‍රවිශ්ට වන සෑම අංකුර සිනමාකරුවෙක්ම මූලිකව ප්‍රංශ නව රැල්ලේ පටන් විචාරකයා සහ සිනමාකරුවා අතර පවතින අන්‍යෝන්‍ය ගණුදෙනුව ද, සිය කැමරාවට රාමුගත වන ලෝකය හා ඉන් පිටත ද මනා විමසුමකින් වටහාගත යුතු ය. පූර්ව නිර්මාණවල දෘෂ්ටිවාදාත්මක මැදිහත් වීම ද කියවාගත යුතු ය. නිරුවත මැකී ගිය වඩා පොහොසත් නිර්මාණ තිරය මතට ගෙන ආ හැක්කේ එවිට ය.

-ප්‍රියන්ත ෆොන්සේකා -


Wednesday, November 7, 2018

කලාව, (සෞන්දර්ය) අධ්‍යාපනය සහ රටේ දේශපාලනය

(2018 නොවැම්බර් 04 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

බැලූ බැල්මට, එකිනෙකට කිසිදු සම්බන්ධයක් නැති කරුණු කිහිපයකින් අද ලිපිය අරඹන්නට මට ඉඩ දෙන්න.

පසුගිය සතියක ‘අනිද්දා‘ වෙත ලියූ ‘දරුවන් තරු වෙත දැක්කීම සහ සෞන්දර්ය අධ්‍යාපනය‘ නමැති ලිපිය මාගේ බ්ලොග් අඩවියේ පළ කළ පසු එය දුටු, විදේශයක සිටින මගේ මිතුරකු මෙවන් අදහසක් දක්වා සිටියේ ය.

“අපේ රට බතින් බුලතින් හොඳටම සුඛිත මුදිත වෙලා හැම ප්‍රශ්නෙම විසඳිලා තියෙන හින්ද දැං මේ වගේ කාලෝචිත ප්‍රශ්න ගැන අවධානය දක්වන එක වැදගත්!“

පසුගිය සිකුරාදා හදිසියේම සිදු වුණු අගමැති මාරුව පසුබිම්ව පාර්ලිමේන්තුව කැඳවීම නොවැම්බර් 16 වැනි දින දක්වා කල් දැමුණු පසු, රට තුළ පැන නැගුණු දේශපාලනික අස්ථාවරභාවය හා අනාරක්ෂිතභාවය පසුබිම්ව, ඊට එරෙහිව කලාකරුවන් හඬ නැඟූ තොරතුරු ෆේස්බුක් සමාජ ජාලය හරහා සංසරණය වූ තැනක ප්‍රමුඛ වෘත්තීය සංධානයක ක්‍රියාධරයකු සටහන් කර තිබුණේ මෙවන් අදහසකි.

“කළ යුත්තේ මෙසේ මෝඩයින් සේ හැසිරීම නොව උසාවියේ පිහිට පැතීම ය.“

මේ සියල්ලෙන් අනතුරුව මා මේ ලිපිය ලියන්නට සූදානම් වද්දීම දුරකථනයෙන් මා ඇමතූ සමීපතම ඥාතියෙකු කලාව ගැන කුමක් ලීවත් මේ පවතින දේශපාලන තත්වය ගැන වැඩිමනත් ලිවීම නොකරන්නැයි ආයාචනය කළ සිටියේ ය.

“වෙලා තියෙන දේවල් මදැයි. වැඩිය ඕවට අත දාන්න යන්න එපා. පාඩුවෙ හිටියම හරි!“

මුල් සටහනේ තරමක සෝපාහාසාත්මක ස්වරයකින් විදේශ රටක පදිංචි මිතුරා සඳහන් කරන්නේ අප මුලින් කතා කළ යුත්තේ රට තුළ ඇති ආර්ථික හා දේශපාලනික කඩාවැටීම් පිළිබඳ මිස කුඩා දරුවන් විකුණමින් කරන මාධ්‍ය භාවිතය හෝ සෞන්දර්ය අධ්‍යාපනය පිළිබඳ නොවන බව ය. දෙවැන්නා දේශපාලනික තත්වයන් හමුවේ සෘජුව මැදිහත් වන හා අදහස් දක්වන කලාකරුවන් ‘මෝඩයින් පිරිසක්‘ සේ දකියි. තුන්වැන්නා මට (හා මා වැනි අදහස් දක්වන්නන්ට) අනතුරු අඟවන්නේ නිහඬ වීමෙන් මිස ගැලවීමක් ළඟා නොවනු ඇති බවයි.


මේ සියලු අදහස් එක් තලයකට ගෙන විමසා බැලුවහොත් මෙවැනි අදහස් කිහිපයක් අපට පෙළ ගස්වා ගත හැක.

·         දේශපාලනික හා ආර්ථික, සමාජයීය කාරණා සෞන්දර්ය පිළිබඳ හා අධ්‍යාපනය (හා දරුවන්) පිළිබඳ සංවාදයන්ගෙන් හා මැදිහත්වීම්වලින් වියුක්ත, වෙනම කලාපවල පවතින ඒවා ය.
·         කලාකරුවන්ට දේශපාලනික හා සමාජ, ආර්ථික කාරණා තේරෙන්නේ නැත. ඔවුන් ඒ කලාපවලදී මෝඩයන් ය. (කොහොමටත් ඔවුන් කරමින් සිටියේ නැටීම, ගැයීම හෝ නාට්ටි කිරීම වැනි දෙයක් මිස සමාජ-දේශපාලනික සංවාද කිරීම නොවේ ය වැනි අදහසක් ද මේ පසුපස ඇත.)
·         කලාව හා (සෞන්දර්ය) අධ්‍යාපනය සම්බන්ධිත කලාපවල සිටින අපි කොහොමටත් මේ නොදන්නා (නමුත් බිහිසුණු බව පෙනෙන) දේශපාලනික කාරණාවලට කට දැමිය යුතු නැත. වඩා යහපත් හා සෞඛ්‍යාරක්ෂිත විය හැක්කේ ඇඟ බේරාගැනීම ය.

මෙරට කලාව සම්බන්ධ පොදුජන කථිකාව දිවෙන්නේත්, අදහස් ගොඩනැගෙන්නේත් මෙවැනි පසුබිම්වල බව සිට බව පැහැදිලි සත්‍යයකි. අප සියලු දෙනාගේ ඉදිරිය වඩාත් තීරණාත්මක ලෙස වර නැගෙන දේශපාලනික භාවිතය සඳහා සෘජුව මැදිහත් වීම හෝ අදහස් දැක්වීම කලාකරුවාට අනුචිත, තරම් නොවන, නොගැලපෙන හෝ නොතේරෙන තැනක තැබීම ඉතා දිගු අතීතයක සිටම කලාව හා සම්බන්ධිත දේශපාලනය සම්බන්ධයෙන් පැවති ප්‍රමුඛ අදහස ය. එසේම සෞන්දර්ය හා එක්ව ගැනෙන හෝ ඉන් ඔබ්බට ගිය සමස්ථ අධ්‍යාපනය, දරුවන්, ළමා අයිතීන් මෙන්ම කලාව හා කලා භාවිතයන් ද වැඩි පිරිසක් හඳුනාගනිමින් හෝ වර නගමින් සිටින්නේ පවතින දේශපාලනික කලාපයන්ට බොහෝ පිටත තැනක පවතින, එකිනෙකින් වියුක්ත සන්දර්භයන් ලෙස ය.

නමුත් සත්‍යය මෙහි විලෝමයයි.

අධ්‍යාපනය, කලාව හා සෞන්දර්යය, දරු පරපුර ආදී කලාප සියල්ල පිළිබඳ අනාගත ක්‍රියාකාරීත්වයන් හා පියවරයන් එහෙම පිටින්ම පවතින දේශපාලනික දෘෂ්ටිවාදී තානයන් සමග තකට තක ගැලපෙමින් ඉදිරියට යයි. ගුරුවරියක දණ ගැස්වීම, කලා කෘති වාරණය කිරීම, විශ්වවිද්‍යාලවල පවා විද්‍යාර්ථීන්ට ආචාර්යවරයා/වරිය වන්දනය කිරීම සඳහා සහ පැදකුණු කරමින් ඔවුන්ගේ අදහස් පිළිගැනීම සඳහා ඉල්ලා සිටීම, විශ්වවිද්‍යාල සෞන්දර්ය කලා ආචාර්යවරුන් කුඩා දරුවන්ට ‘තරු‘ බවට පත්වීම සඳහා බෞතීස්ම ලබා දීම, බහුතර ප්‍රේක්ෂක පිරිසක් රූපවාහිනී තිර අභියස ඒ දකිමින් කඳුළු සැලීම, කුඩා, අවිහිංසක දරුවන් තරු තරග හා ශිෂ්‍යත්ව තරගවල සිට සියලු තරගවලට ගුරු දෙගුරු කැමැත්තෙන්ම බැසීම, සාහිත්‍ය කලාදිය යට කරමින් ජ්‍යොතිෂ්‍යය වෙළෙන්දන් කරණම් ගැසීම ආදී එකිනෙකට සෘජුව සම්බන්ධ බව නොපෙනෙන බොහෝ කරුණු පැහැදිලි ලෙසම එකිනෙක මත අතිපිහිත වෙමින් පවතින රාජ්‍ය යාන්ත්‍රණයන් සඳහා සහාය ලබාදිය හැකි, අක්‍රීය, බියට පත් වුණු, අන්ධ බවට පත් වුණු හෝ ගිනිකණ වැටුණු පුරවැසියකු නිර්මාණය කරමින් සිටියි. (තවත් දීර්ඝ තොරතුරු සඳහා ලියනගේ අමරකීර්ති විසින් පරිවර්තිත මාර්තා නස්බෝම්ගේ Not for Profit: Democracy Needs the Humanities හි පරිවර්තනය වන ‘කලාව කුමකට ද?‘ කියවන්න.)

පුරවැසියකු ලෙස, විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙස, කලාව හා සම්බන්ධ ක්‍රියාධරයෙකු ලෙස මෙන්ම, හෝ එසේ නොවෙතත් අඩු තරමින් කුඩා දරු පැටවුන් දෙදෙනෙකුගේ පියෙකු ලෙස මේ අතිශය නිද්‍රාශීලී, දුර නොපෙනෙන, තත්‍ය හැඟීම් සහ සංවේදනාවලින් විනිර්මුක්ත සමාජ කණ්ඩායම යළි පියවි ලොව වෙත කැඳවීම සඳහා දායක වීම, ලිවීම, කතා කිරීම සහ ක්‍රියාත්මක වීම මම මගේ පරම වගකීමක් ලෙස දකිමි. මා මෙන්ම, යටකී ලෙස දේශපාලන අඳුරුවීම් පිළිබඳ සංවේදී ලෙස පෙරට පැමිණෙන කලාකරුවන් ද එම තත්වයන් හමුවේ සවිඥාණික බව මගේ අදහසයි.

පළමුව කලාව හා එහි භාවිතය පමණක් නොව ඒ සඳහා සෘජුව මැදිහත් වන කලාකරුවන් රටේ ප්‍රජාතන්ත්‍රීය දේශපාලන භාවිතය පිළිබඳව ද සවිඥාණිකව මැදිහත් විය යුතු ම ය. වඩා දියුණු පුරවැසි සමාජයක්, පොහොසත් ප්‍රජාතන්ත්‍රීය ලක්ෂණවලින් යුතු සමාජයක් සමාජ හා සංස්කෘතික වශයෙන් දියුණු අනාගතයක් කරා අප මෙහෙයවනු ඇති බැවිනි. ඒ හා සමග, වඩා හරවත් හා භාවිතයෙන් ඉහළ කලාත්මක එළඹුම් වෙත යා හැකි වන්නේ ද එවැනි පෙර දැක්මක් සහිත සමාජ පද්ධතියක් තුළ බැවිනි.

දරුවන් වඩා යහපත් හා සාධනීය, තරග මානසිකත්ව වලින්ම හිස් පිරී නැති, විවැරති මනසින් යුතු පිරිසක් බවට පත් කිරීම, දියුණු (සෞන්දර්ය) අධ්‍යාපනයක් කැඳවීම සඳහා අරගල කිරීම, සාහිත කලා කෙත් පුළුල් කොට ජ්‍යොතිෂ්‍යය හා ආගම් වෙළෙන්දන් සමාජයෙන් දුරස් කරවීම, වාරණය පිටු දකිමින් වඩා හරවත් කලා කෘති සේවනය සඳහා ඉල්ලා සිටින ප්‍රේක්ෂාගාරයක් තැනීම එකම වියමනක එක් එක් කෙළවරින් ඇතුළු විය හැකි, එක්ව බැඳුණු හුයවල් බඳු ය. මාගේ කුඩා පැටවුන් දෙදෙනා මෙන්ම සමස්ථ දිවයිනෙහි දරු පරපුර විෂයෙයහිවත් වඩා සාධනීය හෙට දිනයක් නිර්මාණය කිරීම සඳහා කලාව පිළිබඳ විවිධ කලාපයන් වෙත අවධානයන් කැඳවීමත්, ඒ සියල්ල හා බැඳෙන දේශපාලනික භාවිතාවන් හමුවේ ක්‍රියාත්මක වීමත් අත්‍යාවශ්‍ය බැව් මා දකින්නේ එහෙයිනි.

-ප්‍රියන්ත ෆොන්සේකා -