Tuesday, June 9, 2020

පෙර-පාසැල් දරුවාගේ ජීවන චක්‍රය සහ මදුරුවෝ


(2020 ‍මැයි 31 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

සතියකට පමණ පෙර ඇදහිය නොහැකි පුවතක් මගේ ෆේස්බුක් මිතුරියක සිය පිටුවේ ලියා තිබිණ. ඒ අනුව නුදුරු දිනයක ඇගේ සිවු වියැති දියණියට, පෙර පාසැල් ගුරුතුමිය විසින් ‘කොරෝනා-සමය’ වෙනුවෙන් වූ ‘ගෙදර වැඩ’ ලබා දෙනු ලැබ ඇති අතර ඒ අතරෙහි සම්පූර්ණ කළ යුතු මදුරුවාගේ ජීවන චක්‍රයේ රූපසටහන ද, වර්ණ ගැන්විය යුතු (සහ දෙමාපිය සහායෙන් වටහාගත යුතු) කොරෝනා වෛරසයේ විද්‍යානුකූල හරස්කඩක් ද යනාදි වැඩ එකතුවක් වී ඇත. වරදක් වී ඇත්දැයි යළි ගුරුතුමිය විමසුව ද ‘ඒවා දෙමාපිය සහායෙන් කළ හැකි’ දේ බව ගුරුතුමිය පැහැදිලි කර ඇති අතර මගේ මිතුරිය ලියා තිබුණේ ඒ පිළිබඳ සිය කම්පනයයි.

මදුරුවන්ගේ ජීවන චක්‍ර ඇතුළු බොහෝ චක්‍ර, වක්‍ර සහ පැටලිලි අවිහිංසක දරුවන්ගේ මනස අභියස තබන අපගේ පෙර පාසැල් අධ්‍යාපන ක්‍රමයේ ඇතැම් කලාප දරුණු ලෙස දරුවාගේ ජීවන චක්‍රය විනාශ කර දමයි. වඩා ‘දියුණු’ දරුවෙක් මෙන්ම ‘අනෙකා අභිබවා ගිය’ දරුවෙක් බලාපොරොත්තු වන ඇතැම් දෙමාපියෝ ද පෙර පාසැල හා එක්ව දරුවාගේ ජීවන චක්‍රය නසා දැමීමට සහාය දෙති. අවසානයේ හමුවන්නේ නිසි පරිදි කීට තත්වය හා කෝෂගත නොවීම හේතුවෙන් විකෘති වූ ‘සුහුඹුලෙකි’! අපේම දරුවාගේ ජීවය උරා බොන මදුරුවන් වන්නේ අපම ය!

‘දැන් ඉස්සර වගේ නෙවෙයි. ළමයි අවුරුදු 3 පිරෙද්දිම මොන්ටිසෝරි දැම්මෙ නැත්තං වැඩක් නෑ. අනිත් ළමයි අපේ දරුවො පහු කරගෙන යනවා’

මේ දෙමාපියන්ගේ සුපුරුදු ප්‍රකාශනයයි. දෙමාපියන්ගේ ජීවන චර්යාව තුළ හමුවන අවිවේකී බව, දෙදෙනාම රැකියාවල නිරත වීම, ජීවන අරගලය හේතුවෙන් දරුවන් වෙනුවෙන් කාලය මිඩංගු කිරීමට අපහසු වීම යනාදිය හේතුවෙන් දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ පෙර පාසැල් වෙත යොමු කිරීමට පියවර ගැනීම ඇතැම් තත්වයන් හමුවේ විකල්ප සොයාගත නොහැකි පසුබිමක් සාදන බව ද පෙනේ.

කෙසේ වෙතත්, ළදරු වියේ පසුවන දරුවකු පෙර-පාසැලක් වෙත යැවීමේ අරමුණ අප විමසා බැලිය යුතු ය. නම යෝජනා කරන පරිදිම එය ‘පෙර-පාසැලක්’ මිස පාසැලක් නොවේ. එනම් එහි මුණගැසිය යුත්තේ පාසැලට ‘පෙර’ අවස්ථාවයි. මෙහි පැවතිය යුතු මූලිකම ප්‍රවේශය අධ්‍යාපනය ලැබීම සඳහා දරුවා තුළ ආදරයක් සහ උනන්දුවක් ඇති කිරීම ය. ඒ හා සමග, එක් එක් දරුවාට ආවේණික ශාරීරික, මානසික, ඥාණගවේශී සහ සමාජශීලී ස්වභාවයන් හඳුනාගනිමින් එළඹෙන ජීවිතය වෙත පිය නැගීම සඳහා පදනමක් සැදීම ය.

අප වැඩි දෙනෙක් හඳුනන ‘මොන්ටිසෝරි’ යන්න පෙර පාසැල් විෂයයෙහි එක් ප්‍රවර්ගයක් පමණි. ඉතාලි ජාතික ආචාර්ය මාරියා මොන්ටිසෝරිගේ වර්ධනය කළ එම ප්‍රවේශයට අමතරව රෙගියෝ එමිලියා, වල්ඩොෆ්, හයිස්කෝප්, බෑන්ක් ස්ට්‍රීට්, දෙමාපිය සහයෝගී, ආගමික පසුබිම් සහිත යනාදී වශයෙන් බොහෝ පෙර පාසැල් ප්‍රවේශ ලොව පුරා ක්‍රියාත්මක වේ. මින් බොහෝ ක්‍රමවේදයන්, ළමා මනස පිළිබඳ දැනුමැති විශේෂඥයින් විසින් සංවර්ධනය කොට ඇති අතර පොදුවේ කුඩා දරුවෙකු විෂයයෙහි වඩාත් ඵලදායී ප්‍රවේශයන් හරහා පෙර පාසැල් අධ්‍යාපනය ලබා දිය හැකි ආකාරයන් යෝජනා කරයි. මේ සියල්ල විමසන්නෙකුට අඩු වැඩි වශයෙන් හඳුනාගත හැකි වැදගත්ම කරුණ වනු ඇත්තේ, වෙනස් මාර්ග ඔස්සේ යමින් වුව, මේ සියලු ප්‍රවේශ කුඩා දරුවා ‘දරුවකු’ ලෙස පිළිගනිමින් සිය යෝජනා ඉදිරිපත් කරන බව ය. යට කී ජීවන චක්‍ර පාඩම් සහ කොරෝනා වෛරස පාඩම් නසන්නේ එම දරුවා ය.

සාපේක්ෂව ඉදිරිගාමී පෙර පාසැල් අප රට තුළ ද ක්‍රියාත්මක වන බව ඔබ යෝජනා කරන බව මම දනිමි. එය ඇත්තක් වන අවස්ථා ද හමු වීමේ පසුබිම් ඇත. යටකී මිතුරියගේ පෝස්ටුව යටින් ද ‘දරුවා හඳුනන පෙර පාසැලකට යාමට සිදුවීම’ පිළිබඳ සතුටු වූ දෙමාපිය ප්‍රතිචාර ද මට දක්නට ලැබිණ.

නමුත්, අර්බුදය ඇත්තේම එම ‘සාධනීය’ ප්‍රවේශ ජාතික වශයෙන් යෙදවෙන තත්වයක් මෙරට පෙර පාසැල් විෂයයෙහි නොවීම ය. අප වඩාත් ප්‍රවේශම් සහගතව විමසිය යුතු පූර්ව ළමා විය අධ්‍යාපනය දෙස රටක් ලෙස විමසා ඇත්තේ උනන්දුවකින් තොරව ය. දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ සැක සිතෙන, දරුවන්ට නිසි වටපිටාවක් නැති නාගරික වීදිවල ගාල් වුණු පෙර පාසැල් ඇති තරම් අප රට තුළ හඳුනාගත හැක. ඇතැම් රටවල ඉතා තියුණු ලෙස විමසා බැලෙන පෙර පාසැල් ගුරුවරයාගේ/ගුරුවරියගේ අධ්‍යාපන සුදුසුකම් මෙරටදී විමසා බැලෙන ආකාරය ඒ එක් එක් පෙර පාසැල හමුවේ වෙනස් බව තේරුම් ගැනීමට අසීරු නැත.

දැන් අපි ඉහත මිතුරියගේ දියණිය මුහුණ දුන් සිදුවීම ඛේදවාචකයක් වන්නේ ඇයිදැයි බලමු.

ඇදහිය නොහැකි වුණු, පාසැලක ප්‍රාථමික පන්තිවල දරුවකුට වුව තේරුම් ගැනීමට අසීරු වෛරසයක හරස්කඩක් වර්ණ ගන්වමින්, එය දෙමාපියන්ගේ සහායෙන් වටහා ගැනීමට යොමු කරවීම සැබවින්ම සිදු විනි දැයි විමසීමෙන් පසු ඇය මට අදාල සිදුවීම හා බැඳුණු රූප සටහන් සියල්ල එවමින් පසුබිම ද පැහැදිලි කළා ය. පෙර පාසැල් ගුරුතුමිය විශ්වාස කරන බව පෙනෙන්නේ, අප බොහෝ වැඩිහිටියන් දැන් යෝජනා කරන පරිද්දෙන්ම, ‘දැන් හැදෙන දරුවන්ට’ මේ අසීරු දේ නොවන බවයි. එහෙත්, කුඩා දරුවකුගේ මොළය වර්ධනය වීම අසාමාන්‍ය ලෙස වේගවත් වෙමින්, ප්‍රබල විද්‍යාත්මක කරුණු පවා එකපැහැර ධාරණය කර ගැනීමේ හැකියාවක් දරුවකු තුළ දැන් පහළව ඇතැයි කිසිදු විද්‍යාඥයකු සඳහන් කර නැත. මේ අප සිදු කරමින් සිටින්නේ, අපේ හිතළු දරුවන් මත පැටවීම ය. කෙමෙන්, සිය වටපිටාව දකිමින්, විඳිමින්, තේරුම් ගනිමින් පියෙන් පිය ඔසවා නැගී සතුටින් දිව එන දරුවෙකු වෙනුවට දැඩි වෙහෙසකට පත් කොට ජීවිතය අරඹන්නට පෙරම විකෘති කළ යන්ත්‍රයක් නිර්මාණය කිරීම ය.

පින්ලන්තයේ අධ්‍යාපනය ලොව විශිෂ්ටතම අධ්‍යාපනයට හිමිකම් කියන රට බව අපි අන්තර්ජාලය හා විදෙස් මාධ්‍ය ඔස්සේ හඳුනාගනිමු. නමුත්, විෂයයන් වෙනුවෙන් ඉගැන්වීම ඔවුන් ආරම්භ කරන්නේ අපට වඩා බොහෝ පසුපසට වී බව සොයා බලන්නට අපි නොනවතිමු.

‘පින්ලන්තෙ දරුවන්ට මුල් කාලෙ සබ්ජෙක්ට් උගන්න උගන්න ඉන්නෙ නෑලු!’

වරෙක දන්නා හඳුනන ප්‍රාථමික පාසැල් ගුරුවරියක හා පැවසූ විට විශ්මයට පත් ඇය පෙරළා මගෙන් ඇසුවේ ‘එහෙම නැතුව වෙන මොනවද උගන්නන්නේ?’ යන්නයි.

මේ අප සමාජ දේහය තුළම ඇති, අප පටලවා ගත්, පොදු ප්‍රශ්නයයි. අපි දරුවන්ට විෂයයන් උගන්වමින් සිටිමු. ජීවිතය ඔවුන්ට නොපෙන්වමු; පහදා නොදෙමු.

පෙර පාසැල් දරුවන් වෙත මදුරුවන්ගේ ජීවන චක්‍ර තබමින් අප වසා දමන්නේ ඔවුන් ලෝකයේ අසිරිය වෙත ඉහිල්ව හෙළිය යුතු බැල්මයි. ජීවිතය අසිරිමත්ව වැළඳගත යුතු බවට වන පිවිසුමයි. යට කී ලෙස අපි අනිසි, වේගවත් ‘සුහුඹුලන් තනා’ තත්‍ය ලෝකය දකින්නට වෙර දරන බිහිසුණු සිහිනයක ගිලී සිටිමු. අවදවීම ඉක්මණින් සිදු විය යුතු ය.

-ප්‍රියන්ත ෆොන්සේකා -





Wednesday, June 3, 2020

නිබන්ධන ඇගයීම: විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන තවත් මානයක්


(2020 ‍මැයි 24 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)



කොරෝනා කලබගෑනිය නිසා විශ්වවිද්‍යාල ද වැසී ගියේ ය. වසා දැමෙන දිනය වන විට, පේරාදෙණියේ අප නම් සිටියේ, ගෙවුණු වසර වෙනුවෙන්, මේ වසරාරම්භයේ පැවති දෙවැනි සමාසිකයේ ප්‍රශ්න පත්‍ර ඇගයුම් කටයුතුවල යෙදෙමිනි. ඒ හා සමග, නව සමාසිකයේ පළමු සතියේ ඉගැනුම් කටයුතු සඳහා වැඩ කරමිනි. නමුත් දැන් වෛරසයක් විසින් සිසුන් හා අප කෙටි කලකට නිවෙස් තුළට ගාල් කොට තබනු ලැබ ඇත.

“ඔයාලටත් ඉතින් නිවාඩුනෙ නේ ද?“

යම් හේතුවක් මුල් කොටගෙන විශ්වවිද්‍යාල වැසී ගිය වහාම දන්නා හඳුනන නෑසියන් හා මිතුරු මිතුරියන් වෙතින් මේ ප්‍රශ්නය නියතව නැගේ. සැබෑ පිළිතුර නම්, අප ‘සැබෑ ලෙසම‘ විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයක සාමාජිකත්වයක් දරන්නෙකු නම්, ‘නැත‘ යන්නයි. නොයෙක් හේතු මුල් කොටගෙන විශ්වවිද්‍යාල වසා දැමුව ද ශාස්ත්‍ර ගවේෂකයින් වශයෙන් අපගේ කාර්යයට නිවාඩු නොලැබෙන බව ඒ සඳහා දීර්ඝ හේතු දක්වමින් පැහැදිලි කළ හැකි ය. (ඔව්! විශ්වවිද්‍යාලවල සැබෑ ශාස්ත්‍ර ගවේෂකයින් සිටින්නේ ද යන පැනය නගමින් ඔබ තර්ක කරන බව මම දනිමි. මගේ මේ ලිවීම එසේ නොවී සිය තත්‍ය මැදිහත්වීම ශාස්ත්‍ර ගවේෂණය වෙනුවෙන් මෙහෙයවන අතලොස්ස වෙනුවෙනි.)

විශ්වවිද්‍යාල වැසී ගොස් ඇති මේ මොහොතේ මට භාර වී ඇති විශ්වවිද්‍යාල වැඩ කටයුතු අතර පසුගිය දා විශ්වවිද්‍යාලයෙන් සිය පළමු උපාධියේ අධ්‍යයන කටයුතු සම්පූර්ණ කොට නිවෙස් බලා ගිය විශේෂ උපාධි හැදෑරූ විද්‍යාර්ථීන් කිහිප දෙනෙකුගේ ස්වාධීන නිබන්ධන ඇගයීම ද තිබේ. අවසන් වසර එළඹෙන විට විශේෂ උපාධියක් හදාරණ සියළුම සිසුන් පාහේ මෙම නියත ස්වාධීන නිබන්ධනය ලියා භාර දිය යුතු ය. කලාතුරකින් ඇතැම් විශ්වවිද්‍යාල අධ්‍යයනාංශයක මෙය අනිවාර්ය අංගයක් නොවන බව අසන්නට ලැබී ඇතත්, වඩාත් පූර්ණ විශේෂ උපාධියක් වෙනුවෙන්, ශාස්ත්‍රීය ලේඛණය සඳහා විද්‍යාර්ථියා පුහුණු කෙරෙනු ලබන මෙම නිබන්ධනය බොහෝ ස්ථානවල නියත ලෙස ඉල්ලා සිටියි. විශේෂයෙන් සමාජ විද්‍යා සහ මානව විද්‍යා ප්‍රමුඛ කොටගත්, ශාස්ත්‍ර පීඨවල මෙම පර්යේෂණ නිබන්ධන රචනාවට ලැබෙන්නේ ඉහළ පිළිගැනීමකි. වෛද්‍ය, ඉංජිනේරු, කළමණාකරණ, විද්‍යා ආදී වෙනත් පීඨවල ඒ ඒ විෂය කලාප අනුව අවසන් වසර නිම කරන විද්‍යාර්ථියෙකුගෙන් ඉල්ලා සිටින පර්යේෂණාත්මක එළඹුම් විවිධ වනු ඇත.

ස්වාධීන පර්යේෂණ නිබන්ධනයක් යනු කුමක් ද? යෙදුමේ ආරම්භයේදීම සඳහන් වී ඇති පරිදි මෙහිදී බලාපොරොත්තු වන්නේ විද්‍යාර්ථියා විසින් සිදු කරන ස්වාධීන අධ්‍යයනයකි. තමන්ගේ විෂයක්ශේත්‍රය තුළ ඇති, යම් ආකාරයකින් තව දුරටත් විමසා බැලිය යුතුයැයි හැඟෙන, යම් මාතෘකාවක් ඔස්සේ යමින් විද්‍යාර්ථියාට සිය පර්යේෂණය මෙහෙයවිය හැකි ය. ඒ සඳහා අධ්‍යයනාංශය වෙතින් නම් කෙරෙන්නේ අධීක්ෂණය කරමින් මග පෙන්වන්නෙක් (Supervisor/Guide) පමණි. අදාල කලාපය තුළ ප්‍රවීණත්වයක් ඇති අභ්‍යන්තර (හෝ ඇතැම් විට බාහිර) ආචාර්ය මණ්ඩල සාමාජිකයෙකු වන ඔහු/ඇය විද්‍යාර්ථියාගේ පර්යේෂණයේ නිශ්චිත අවස්ථාවලදී එහි ගුණදොස් විමසමින් එය නිසි අරමුණක් ඔස්සේ විහිදුවීමට අදාල මග පෙන්වීම සිදු කරනු ඇත.

නිසි ඇගයුම් සිදු කෙරෙන විශ්වවිද්‍යාල අධ්‍යයනාංශයකදී, අදාළ විද්‍යාර්ථියාගේ නිබන්ධනය සමීක්ෂණ කටයුතු සඳහා භාර වූ පසු සිදු කරන්නේ ඒ සඳහා මග පෙන්වූ ආචාර්යවරයා/වරිය හැර වෙනත් සමීක්ෂකවරුන් (බොහෝ විට) දෙදෙනෙකු පත් කිරීමයි. අදාල නිබන්ධනයේ ඇති විෂයය සඳහා ලබා දෙන නැවුම් දැනුම සම්පාදනය, ඒ සඳහා  විද්‍යාර්ථියා භාවිත කර ඇති පර්යේෂණ ක්‍රමවේදය, විද්‍යාර්ථියා ආශ්‍රය කර ඇති පූර්ව කෘති හා ලේඛණ, අදාල නිබන්ධනය ඉදිරිපත් කර ඇති ස්වභාවය යනාදී කරුණු ගණනාවක් සැළකිල්ලට ගනිමින් අවසන් ඇගයුමක් මේ සඳහා ලබා දීමට සමීක්ෂකවරුන් වෙන් වෙන්ව කටයුතු කරයි. පිළිගත් විශ්වවිද්‍යාලයකදී මේ ලකුණු අතර සැලකිය යුතු තරමක පරතරයක් දක්නට ලැබුණහොත් සමීක්ෂණ කටයුතු සඳහා තුන්වැන්නෙකු ද කැඳවේ.

මගේ කාර්යාල කාමරයේ මේ දැන් මා අභියස ඇත්තේ එම සමීක්ෂණ ක්‍රියාවලිය සඳහා ලැබුණු නිබන්ධන කිහිපයකි. විශ්වවිද්‍යාල අවසන් වසර නිබන්ධනයක් සඳහා අපේක්ෂිත වචන සංඛ්‍යාව 10,000ක් පමණ බැවින් මෙම නිබන්ධන පිටු 50ත් 100ත් අතර වෙයි. කෙසේ වෙතත්, නව දැනුමක් හෝ තර්කනයක්, පෙර නොඇසූ විරූ යමක් මෙම කෘති අතරින් හමුවෙතැයි යන කුතුහලයෙන් හා ප්‍රහර්ෂයෙන් යුතුව මෙම නිබන්ධන පෙරළීමට උනන්දුවක් මා තුළ නැගී නැත. ඒ ඇයි?

විශ්වවිද්‍යාල තුළ බහුතර විද්‍යාර්ථීන් ස්වාධීන පර්යේෂණ නිබන්ධනයක ඇති වටිනාකම හෝ ඒ තුළ තමන් වෙත හිමිවන ස්වාධීනත්වය වටහාගෙන මෙම නිබන්ධන රචනය සඳහා එළඹෙන බවක් මා නිරීක්ෂණය කර නැත. තමන්ගේම නමින් ඉදිරිපත් කෙරෙන ලේඛණයක් සඳහා සිය උපරිම වෙහෙස නොදරන බහුතර ශිෂ්‍ය ප්‍රජාව මෙය දකින්නේ ‘මොනවා හෝ ලියා භාර දී බේරිය යුතු‘ යමක් වශයෙන් පමණි. ඔවුන් මොනවා හෝ ලිවීම සඳහා යොදාගන්නේ දැනට හමුවන වෙනත් ශාස්ත්‍රීය (හෝ නොවන) ලේඛණයන් ය. ඒ කෘතිවල අන්තර්ගතයෙන් උපුටා ගන්නා කරුණු යළි සිය වචනවලින් ලියා, අවසාන විශ්ලේෂණ පරිච්ඡේදයට පමණක් ඒ එකිනෙක සසඳමින් හෝ ඝටමින් යම් කිසිවක් ලියන ඔවුහු කෘතියේ කෙළවර මගේ නිරීක්ෂණ හා නිගමන මේ යැයි මොනවා හෝ පෙළ ගස්වා අදාළ දිනයේ අධ්‍යයනාංශය වෙත භාර දෙති.

දැන් ඔබට අසන්නට ප්‍රශ්න පෙළක් ඇති බව මම දනිමි. එවිට පත් කළ මග පෙන්වන ආචාර්යවරයා/වරිය කුමක්වත් කරන්නේ නැද්ද? මේ එක් වැදගත් පැනයකි. ඉතා උනන්දුවෙන් මාර්ගයෙන් පිට පනින විද්‍යාර්ථීන් මෙහෙයවා ඔවුන්ගේ වටහා ගැනීමේ හා තර්ක කිරීමේ කලාපය තුළ රැඳෙමින් වඩාත් සාධනීය නිබන්ධන ලියවීමට මග පෙන්වන ආචාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් නොවන්නේ නොවේ. එහෙත් ඇතැම් විද්‍යාර්ථීහු මග පෙන්වන්නා මග හැර යති. තවත් අවස්ථාවල මග පෙන්වන්නෝ විද්‍යාර්ථියා ද මග හැර යති. “මම ලියපු එක දිහා බලන්නෙවත් නැතුව මේක හරි නෑ කියල විසි කළා...“ කියමින් කඳුළු සළන හෝ “බලන්නෙත් නැතුව හොඳයි කිව්වා“ කියමින් සිනාසෙන විද්‍යාර්ථීන් මට මුණ නොගැසුණේ නොවේ. “ඩෙසටේෂන් ගයිඩ් කිරිල්ල තමයි පෙන්නන්නම බැරි!“ කියමින් එයට දෙස් තබන ආචාර්ය මණ්ඩල සාමාජිකයින් මුණ නොගැසුණේ ද නොවේ.

ආයතනික වශයෙන්ම ස්වාධීන පර්යේෂණ නිබන්ධන කෙරෙහි දක්වන වැරදි එළඹුම් හා ආකල්ප ද විද්‍යාර්ථීන්ගේ ලිවීම් විනාශ කර දමයි. උදාහරණයකට ප්‍රමුඛ විශ්වවිද්‍යාල මණ්ඩපයක සියලු විද්‍යාර්ථීන්ම පාහේ සිය නිබන්ධන රචනයේ දී ඉහළම ස්ථානය ලබා දෙන්නේ ‘සම්මුඛ සාකච්ඡා‘වලට ය. ඔවුහු අදාල විෂයයට සම්බන්ධ (හෝ නැති) ප්‍රවීණයින් කිහිප දෙනෙකු මුණගැසී, මාතෘකාව ගැන ‘ඔබ සිතන්නේ කුමක් ද?‘ ස්වරූපයේ ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කොට, ඒ අනුසාරයෙන් විශ්ලේෂණය ඉදිරිපත් කරති. ශාස්ත්‍රීය පර්යේෂණකරණය පිළිබඳ වැරදි පදනම් සහිත ප්‍රමුඛාචාර්යවරුන් විද්‍යාර්ථීන්ගේ ප්‍රවේශය ‘හරි‘යැයි අගයන බැවින් එහි ඇති මූලික වරද විද්‍යාර්ථීහු අවබෝධ කර නොගනිති.

ශාස්ත්‍ර පීඨ හමුවේ විද්‍යා පර්යේෂකයින්ගේ බලය ද, මානව විද්‍යා පර්යේෂකයින් හමුවේ සමාජ විද්‍යා පර්යේෂකයින්ගේ බලය ද, අවසන් වසර ස්වාධීන නිබන්ධනවලදී පමණක් නොවුනත්, මෙම පර්යේෂණවල හැඩතල තීරණය කරයි. නියැදි, උපන්‍යාස, නිශ්චිත අරමුණු හා අපේක්ෂා පදනම් වන විද්‍යා පර්යේෂණ හෝ සමාජ විද්‍යා පර්යේෂණවලට වඩා මානව විද්‍යා පර්යේෂණ යොමුව අනුව වෙනස්වන බව පිළිගැනීමට හෝ ඇතැම් ප්‍රමුඛාචාර්යවරුන් සූදානම් නැත. එනිසා ද මෙම පර්යේෂණ සඳහා එළඹෙන විද්‍යාර්ථීහු අපහසුතාවට පත් වෙති.

බුද්ධිමය දේපළ පනත යටතේ වරදක් ලෙස ගැනෙන අන්‍ය ලේඛණ සොරකම ද මෙම රචනා තුළ බහුලව සිදු වන්නකි. ඉංග්‍රීසි බසින් ලියැවුණු ලේඛණයක් ‘Plagiarism Check’ කිරීම සඳහා යොමු කිරීමට මෘදුකාංග වෙතත් සිංහලයට එවැනි දේ තවම නොමැති හෙයින් ඇතැම් විද්‍යාර්ථීහු ඒ වරද කරති. ඒ හා සමග, වෙනත් විශ්වවිද්‍යාලවල අවසන් වසර නිබන්ධන කොපි කර ගෙනෙති. පැරණි නිබන්ධන ගෙන යළි පිටපත් කරති. වරක් වසර කිහිපයකට පෙර ලියූ ලේඛණයක් කොපි කර ඇති බව හෙළි වුණේ එහි සම්මුඛ සාකච්ඡාවකට බඳුන් කර තිබුණු කලාකරුවෙකු ඉන් වසර කිහිපයකට පෙර මිය ගිය අයෙකු බව හෙළිදරව් වීමෙනි.

ඉදින්, මා විමසන්නට යන අවසන් වසර ස්වාධීන නිබන්ධනයන් ද අපගේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වන අර්බුද පෙන්වන කැටපත් වැනි ය. ඒ අතරතුර අගනා කෘති නොවන්නේ ද නොවේ. එවැනි එක් කෘතියක් මේ මොහොතේ අසල රාක්කයක් තුළ හිඳ මදෙස බලා හිඳියි. “සොඳුරු සිනමා අදියුරු: තිස්ස ලියනසූරිය“ එහි නමයි. දිලීප පෙරේරා එහි ලේඛකයාගේ නමයි. සරසවි ප්‍රකාශනයක් ලෙස එය ප්‍රකාශයට පත් වීමට පෙර දිලීප එය රචනා කළේ පේරාදෙණියේ ලලිත කලා අධ්‍යයනාංශයේ අවසන් වසර ස්වාධීන නිබන්ධනය වෙනුවෙන් බව මගේ මතකය කියයි.

-ප්‍රියන්ත ෆොන්සේකා -