ප්‍රවිශ්ටය
“පතී සර් ගැන ශිෂ්‍යයෙක් දකින හැටියට ලියන්න... ඔයාට
තමයි ඒක කරන්න පුළුවන්!“
ඔබ අතැති මේ කෘතිය සම්පාදනය වන අවධියේ මා ඇමතූ අතුල සර්
(අතුල සමරකෝන්) කියා සිටියේ ය. මහාචාර්ය සිවමෝහන් සුමති, සෙනේෂ් බණ්ඩාර දිසානායක
ඇතුළු කෘතිය හා සම්බන්ධව උන් සෙසු පිරිස එය අනුමත කළ හ. මා වෙත ලද ගෞරවයක් ලෙස එය
පිළිගත් මම මගේ ආදරණීය ගුරුවරයා ගැන ලියන්නට මහත් උද්දාමයෙන් පෑන අතට ගත්තෙමි.
එහෙත්... මහා විසල් රුකක්ව අපට සෙවණ සදා දුන් ගුරුවරයෙකු, මග හෙළි කරමින් අප යන මග
දෙස නෙත් යොමාගෙනම උන් ගුරුවරයකු, සරල වදනින් කියන්නේ නම්... ඔබ සිත තුළ මැවී
නැගෙන ‘සම්මත උත්තම ස්වරූපයේ‘ ගුරුවරයකු මා අභියස නොමැති බව මට වැටහෙන්නට ගත්තේ
‘පතී සර්‘ ගැන අතීතය දෙසට හැරී මෙනෙහි කරන්නට ගත් පසු ය. ඔහු ‘සම්මත‘ ගුරුවරයෙකු
ලෙස අප අභියස කිසි දිනක පෙනී සිට නොමැති බවත්, විසල් රුකක්ව අප සෙවණක තබා තනා
නොමැති බවත් මට පසක් වූයේ, එක් එක් අවධි හරහා දශක දෙකකට ආසන්න කාලයක් පුරා ඔහු
වෙතින් ලද ඇසුර සිහි කරන විට ය. ඔහු ‘අසම්මත‘ ගුරුවරයෙකි; සෙවණ සාදන රුකක් වෙනුවට
ආලෝකය අප මත පතිත වන්නට සියලු අතු පතර මෑත් කරමින් දුරින් සිට බලා උන් කදිම
මිනිසෙකි!
‘සම්මත‘ රූප මකා දමන්නට
සිදු වීම ගැන කිසිවකු උරණ නොවනු ඇතැයි යන අපේක්ෂාවෙන් ඒ අසම්මත ගුරුවරයා ගැන දැන්
මම ලියමි!
‘පතී සර්‘ මුලින්ම අපට මුණ ගැසෙන්නේ 1999 වර්ෂයේ දී ය.
පේරාදෙණියේ ශාස්ත්‍ර පීඨයේ පළමු වසර කෙළවර කර උන් අපි ජනප්‍රියව තිබුණු හා
ආකර්ෂණීයව තිබුණු සිංහල සහ පුරා විද්‍යාව අතහැර ලලිත කලා විෂයය විශේෂ උපාධිය සඳහා
තෝරා ගතිමු (‘අපි‘ යනුවෙන් යෙදෙන්නේ මා සමග සංජීව කුමාර සහ සුදර්ශන බණ්ඩාර යන
මිතුරන් දෙදෙනා ද වූ හෙයිනි.). සිංහල අධ්‍යයනාංශය යටතේ පාඨමාලාවක් ලෙස පමණක් පැවති
ලලිත කලා විෂයය තෝරා ගැනීම තරමක දඩබ්බර තීරණයක් වූ අතර එහි විශේෂ විෂයය වෙනුවෙන් ද
අපි කුඩා අරගලයක් දියත් කළෙමු. ඒ, එවකට එහි පාඨමාලා සම්බන්ධීකාරක ලෙස කටයුතු කළ
ආචාර්ය මයිකල් ප්‍රනාන්දු හමුවේ මෙවැන්නක් පවසමිනි.
“සර්... අපි ෆයින් ආට්ස් ස්පෙෂල් කරන්න කැමතියි. හැබැයි
ෆිල්ම් ඇන්ඩ් ටෙලිවිෂන්වලින්. නාට්‍ය හා රංගකලාව හරි සංගීතය හරි එක්ක නං නෙවෙයි!“
“ඒක සිලබස් එකේ තිබුණට තාම අපිට ඔෆර් කරන්න බැහැනෙ. කවුද
උගන්නන්නෙ?“ මයිකල් සර් පිළිතුරු දුන්නේ ය.
“එහෙනං අපි පුරා විද්‍යාව කරන්න යනවා“
“හරි... මට දවස් කීපයක් දෙන්න. බලමු මොනවද කරන්න පුළුවන්
කියල“
අනතුරුව එළඹුණු සතියේ අපට කතා කළ මයිකල් සර් සිනමාව හා
ටෙලිවිෂනය සඳහා ගුරුවරුන් සොයාගත් බව කියා පාඨමාලාවට ලියාපදිංචි වන්නට අපට ආරාධනා
කළේ ය. සිනමා ඉතිහාසය සහ සිනමා කලාව හඳුන්වා දෙන්නට ගාමිණී වේරගම මහතා පේරාදෙණියට
ආ අතර ටෙලිවිෂනය ගැන කියා දෙන්නට සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතා පැමිණියේ ය. ලෝක
සිනමා ප්‍රවණතාවන් ගැන සාකච්ඡා කරමින් සිනමා න්‍යාය ගැන කතා කරන්නට ආවේ ‘පතී සර්‘
ය; ආචාර්ය ධර්මසේන පතිරාජ ය.
පතී සර් බොහෝ දිනවල නියමිත වේලාවට දේශනය පටන් ගත්තේ නැත.
ගණනින් පස් දෙනෙක් වූ අප කණ්ඩායම වෙත ඔහුම ඔසවාගෙන එන වීඑච්එස් පටවලින් තෝරාගත්
සිනමා කෘතියක් බලන්නට සැලැස්වූ ඔහු මයිකල් සර්ගේ කාමරයට වී පැය භාගයක් පමණ ගත කළේ
ය. ඒ සර් සමග ආගිය තොරතුරු කතා කරන්නට නම් නොවේ. ‘Film Art: An Introduction’ වැනි පොතක් පෙරළමින්
ඉදිරි පැය කිහිපයේ සාකච්ඡාවට පසුබිම හදාගන්නට ය. සතියකට හෝ දිනකට දෙකකට පෙර ඔහු
අපගේ දේශනයට පෙර සූදානම් වන්නට ඇතැයි මට නොසිතුණේම මේ ‘පැය භාගයේ භාවනාව‘ ඔහු
නිරතුරුව සිදු කළ හෙයිනි. නමුත් ඉන් පසු එළඹෙන පැය කිහිපය මට නම් අසීමිත ලෙස රසවත්
විය. මිනිත්තු විස්සකින් තිහකින් කළඹවා ගත් මනස හරහා ඔහු සිය සිනමා දැනුම් සයුර අප
වෙත විවර කර දුන් හෙයිනි.
සර්ගේ දේශන ශෛලිය අතිශය රසවත් වී යැයි මා මෙතන ලියා
තැබුවහොත් එය බොරුවක් බව මගේ අනිත් සගයින් කියන්නට බැරි නැත. නමුත් එය ගැඹුරු විය.
හරවත් විය. සිනමාවට පෙම් බඳින්නෙකුට සිනමා සයුර වෙත පැද යා හැකි පහුරක් බවට එය පත්
කර ගත හැකි විය. නැටුම් විෂයය හදාරන්නට නොමැතිකම නිසා එතැනට පැමිණි මිතුරියන්
දෙදෙනාත්, චිත්‍ර කලාව හදාරන්නට නොමැතිකම නිසා එතැනට පැමිණි මිතුරන් දෙදෙනාත් සමග
සිනමාවම විමසූ තනි මට සිදු වූයේ ඒ පහුර බොහෝ විට තනිව පැද යන්නට ය.
“මම මේව මොනෑෂ් ඉන්න කාලෙ රෙකෝඩ් කරගත්තෙ. එහෙ ෆිල්ම්
ක්ලැසික්ස්ම ගිය ටීවී චැනල් එකක් තිබුණ. උදේට යද්දි ටයිමර් එකත් එක්ක රෙකෝඩ් වෙන්න
දාල යනව... හවසට ගන්නව“
Birth of a Nation, Cabinet of Dr.Caligari සිට සියලු සිනමා පට ගැන
ඔහු සාකච්ඡා කළේ අදාල කෘති අප අත තබමිනි.
“මම ලබන සතියෙ එද්දි බලල තියන්න!“
ඔහු සිනමා පට තොගයක් තබාගියත් සතිය ඇතුළත බලා නිම කරන්නට
අප මිතුරු කැළ දක්ෂ විය. ඒ පටයේ වැඩි කොටසක් ‘ෆාස්ට් ෆෝවඩ්‘ කරමිනි! හැකි නම් වෙනම
මොහොතක සිනමා පටය තනිව නැරඹුවා නම් මිස, ඊට එරෙහිව තනි මා දියත් කළ අරගලයක් නම්
නැත.
“ඕවා කාටද බං බලන්න පුළුවන්...? මහ කම්මැලි වැඩක්නෙ.“
සිනමාව බිහිවූ යුගයේ ධාවන වේගය පවා වෙනස් වුණු ‘කම්මැලි
ජාතියේ‘ නිහඬ චිත්‍රපටවල සිට ඉතාලි නවයථාර්ථවාදය සහ ප්‍රංශ නවරැල්ල තෙක් සිනමා
කෘති තොගයක් සෑම සති අන්තයකම පතී සර් අප වෙත උස්සාගෙන ආවේ ය. ජර්මානු ප්‍රකාශනවාදය
ගැන කතාබහ දෙවන ලෝක යුද්ධයෙන් මෙපිටට පනින විට සර්ගේ දේශනවල ජවය ද සමානුපාතික ලෙස වෙනස්
වූයේ ඉතාලි හා ප්‍රංශ සිනමා ප්‍රවණතා ඔහු වෙත ද තදින් බලපාන්නට ඇති නිසා බව මට
සිතුණේ පසු කලෙක ය.
සති අන්ත සෙනසුරාදාව වෙන් කරගත් සර්ගේ දේශන බොහෝ දිනවල
නියම කරගෙන සිටි හෝරාව තෙක් දිගු වූයේ නැත.
“අපි කන්න ඕනෙ නේ ද?“ දවල් එක පමණ වන විට මෙසේ කියමින්
දේශනය නතර කරන සර්,
“දවල්ට කාල දෙක දෙකාමාර වෙද්දි ඇවිත් ඉන්නකො“ කියමින්
සිය රථයට නැග පිටව ගියේ ය. දෙක හමාරට පමණ
අධ්‍යයනාංශයට ආවේ දුරකථන ඇමතුමක් මිස සර් නොවේ.
“මං හවස එන්නෙ නෑ. ‘ලවෙන්තුරා‘ දාගෙන බලන්න. අපි ඒ ගැන
ලබන සතියෙ කතා කරනවා“
විදේශ විශ්වවිද්‍යාලවල ‘සිනමා කෘති නැරඹීම‘ සඳහා කාල
සටහන අනුව වෙන් කර තිබුණු වේලාවන් අප වෙත තීන්දු වූයේ එපරිදි ය.
ප්‍රායෝගික පුහුණු සැසි අප දෙපතුල වෙත ගෙන දෙනු වෙනුවට
ඔහු දුෂ්කර ක්‍රියා කරමින් ඒ ලබාගන්නට අප යොමු කරවී ය. පේරාදෙණියේ සිට පොල්හේන්ගොඩ
රජයේ චිත්‍රපට අංශය වෙත පැමිණ කැමරාකරණය ගැන ලාල් වික්‍රමාරච්චි මහතාගෙන්
ගුරුහරුකම් ලබාගන්නට සැලසීම එවැන්නකි. පේරාදෙණියේදී ම සංවිධානය කෙරුණු පුහුණු
වැඩමුළුවලදී ද ඔහු කැමරා ආම්පන්න රැගෙන අපට විවිධ කෙටි චිත්‍රපට කරන්නට ඉඩ
සැලස්වී ය. එහෙත් ඒ මිනිස් චරිත භාවිතයට නොගෙන, ගසක් වැනි යමක් පමණක් වස්තු බීජය
කොට ගනිමින් රූප සංරචනයට යෝජනා කරමිනි. පේරාදෙණියේ ‘එච්‘ ගස ගැන ශිෂ්‍ය අප කළ රූප
එකතුව හරහා රිද්මය, සංරචනය, කැමරා භාවිතය ගැන අදහස් නිසංසලව අප වෙත ගලා එන්නට ඔහු
ඉඩ සළසා තිබුණු බව මට හැඟී ගියේ නිර්මාණය කළ කෘතිය දෙස පසුකාලීනව විමසන විට ය.
අවසන් වසරට එළඹ, ස්වාධීන නිබන්ධනය ඉදිරිපත් කිරීමට කාලය
එළඹුණු විට ‘ප්‍රසන්න විතානගේගේ සිනමාව‘ ගැන හැදෑරීමට මම තීරණය කළෙමි. ඒ ගැන ප්‍රසාදය
පළ කළ මයිකල් සර් මාගේ මාර්ගෝපදේශකයා වශයෙන් පතී සර්ව පත් කළේ ය.
“පස්සෙන් ගිහින් කරගන්න වෙයි!“
මයිකල් සර් අනතුරු ඇඟවීමක් ද කළේ ය.
සිනමාවේ කතෘත්වය, යථාර්ථවාදය සහ අන්‍ය සිනමාවන්ගෙන් ලද
ආභාසය යටතේ ප්‍රසන්න විතානගේගේ සිනමාව දෙස පිවිස බලන්නැයි පතී සර් මට යෝජනා කළේ
ය. ඒ, එක් එක් විෂයය ක්ෂේත්‍ර පිළිබඳ ලියැවුණු ඉංග්‍රීසි ලේඛණ තොගයක් මා අත
තබමිනි.
“කොහොම හරි පරිවර්තනය කරගන්න. ඒ කරල කියවන්න. මට පේන්නෙ
නං ප්‍රසන්නට ඉතාලි නවයථාර්ථවාදයයි, ප්‍රංශ නව රැල්ලයි සෑහෙන්න බලපාල තියෙනවා.“
“මට තදේට වැදුණෙ චීන පස්වෙනි පරම්පරාවෙ සිනමාවයි, ඉරාන
නව සිනමාවයි...“ ප්‍රසන්න විතානගේ හමු වී කළ සම්මුඛ සාකාච්ඡාවේදී ඔහු කීවේ ය.
අලුතින් මුණගැසුණු සිනමා ප්‍රවණතා ගැන සෙවූ මට ඒ ද්විත්වය සඳහාම ඉතාලි නව
යථාර්ථවාදය සහ ප්‍රංශ නව රැල්ල දැඩිව බලපා ඇති බව කියවන්නට ලැබිණ.
ඉංග්‍රීසි ලේඛණ අතර මා ගිලී උන් සමයේම යුරෝපා සංචාරයකට
ගිය පතී සර් මගේ නිබන්ධනය භාර දෙන කාල සීමාව තෙක්ම යළි පැමිණියේ නැත. ඒ නිසාම
ගැඹුරු සාහිත්‍යයික පර්යේෂණයක් තිබූමුත් එහි විශ්ලේෂණය මනාව සිදු කරන්නට මට ඉඩ
ලැබුණේ ද නැත. සර්ගේ පැමිණීම බලා හිඳ නොමැති තැන නිබන්ධනය භාර දෙන්නට කල් ඉල්ලන්නට
ගිය විට මයිකල් සර්ගෙන් මට අසන්නට ලැබුණේ දෝස්මුරයකි.
“මං කිව්ව පස්සෙන් ගිහිල්ල කරගන්න කියල. කල් දෙන්නෙ නෑ.
කොහොම හරි භාර දෙන්න!“
සාර්ථකව නිම කරන්නට නොහැකි වූ බව සිත කියූ පර්යේෂණ
නිබන්ධනය පේරාදෙණියට භාර දී මා ප්‍රථම උපාධි කටයුතු හමාර කළේ පතී සර් මුණ නොගැසී
ම ය. ප්‍රතිඵල නිකුත් වූ පසු, මා බලාපොරොත්තු නොවූ මොහොතක, ලලිත කලා අධ්‍යයනාංශයේ
සිනමාව පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන්නට මට ආරාධනා ලැබිණ. මාස
කිහිපයකින් එහි සහකාර කථිකාචාර්ය ධූරයක් තෙක්ම එය දියුණු විය. පතී සර් යළිත් මට
මුණ ගැසෙන්නට ඇත්තේ අධ්‍යයනාංශයේ ආචාර්ය මණ්ඩලයේ සාමාජිකත්වය ලද පසු විය යුතු ය.
“දැන් ඉතින් ප්‍රියන්තලටත් පුළුවන් වෙන්න ඕනෙ මේව ගැන
උගන්නන්න“
සිය ආචාර්ය උපාධිය නිම කළ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ
පාඨමාලා අත්පොත්, නන්විධ සිනමා පොත පත සහ චිත්‍රපට අප වෙත තබමින් ඔහු නිතර කීවේ
ය. සෙනසුරාදා දේශනවලට ඒ වනවිටත් පැමිණි සර් එකට පමණ නවත්වන දේශනයෙන් පසු මට මෙසේ
කියන්නට පුරුදු විය.
“යමු මොනව හරි කාල එන්න“
සර්ගේ රථය පේරාදෙණිය ගලහ පාරේ ඉදිරියට ඇදෙන විට ඔහු
අනාගත කටයුතු ගැන යම් අදහස් මට ඉදිරිපත් කළේ ය.
“ප්‍රියන්තට තියෙන්නෙ පෝස්ට් ග්‍රැජුවෙට් එකට කොහෙ හරි
යන්න... ඔය මොනෑෂ් එහෙම හොඳයි.“
දැඩි බලපෑම් නොවුණු, සිත තුළ රෝපණය කළ කුඩා සිතුවිලි
මාත්‍ර වුණු ඒ අදහස් අප සිත් තුළ නැගී වැඩුණේ සෙමිනි. පර්යේෂණ උපාධියක් සඳහා
සිඩ්නි විශ්වවිද්‍යාලය කරා මා පිටත්ව යන්නට තවත් වසර 7-8ක්ම ගත වූ නමුත් රිය
පදවමින් ඔහු කී බොහෝ දේ එසේ අතු ඉති ලා වැඩී තිබිණි.
සෙනසුරාදා සවස දේශන, සිනමා පට නැරඹීමකට මාරු කිරීමේ
හේතුව ඒ මෝටර් රථ ගමන් මට පැහැදිලි කර දුන්නේ ය.
“ප්‍රියන්ත මොනවද බොන්නෙ?“
ඔහු ඒ ප්‍රශ්නය මගෙන් ඇසුවේ රථය පේරාදෙණිය තානායමට හරවන
තැන දී ය.
ශ්‍රී පාලි මණ්ඩපයට කථිකාචාර්යවරයෙකු ලෙස සම්බන්ධ වීමට
මා අයදුම් කරන මොහොතේ, ඉල්ලීමක් නැතිවම සර් ආචාර්ය ටියුඩර් වීරසිංහට මා ගැන
නිර්දේශ කොට තිබිණ. ඒ, පේරාදෙණියේ සේවය කළ සමයේ, විවිධ විශ්වවිද්‍යාල පුහුණු වැඩ
සටහන් ආදියට, හිටි අඩියේ ම දැනුම් දෙමින්, මා ද සම්බන්ධ කරවමින් නේක ආකාරයේ
උගැන්නුම් ක්‍රම අත්විඳින්නට ඉඩ සලසමිනි. එසේම පේරාදෙණියෙන්ම පශ්චාත් උපාධිය
කරන්නට මා ගත් තීරණයත්, එහි උපදේශකවරයා ලෙස ඔහු ම තෝරාගන්නට ගත් තීරණයත් දුර්මුඛ
කරමිනි!
“කොහෙ හරි යන්න!“
නිතර නොවූවත් ඔහු අමතකව යන්නට ඉඩ නොතබමින් එය මට කී ය.
මා ද සර්ගෙන් උගත් බව කියමින් තුටු වන අය මට එතරම් හමු
වී නැත. සිය ශිෂ්‍යයින් ගැන කතා කරමින් සර් උදම් අනනු කිසිවිටකත් මට හමුවී නැත. ‘බහුචිතවාදියා‘
තනමින් වෘතාන්ත සිනමාවට පිවිසි මාලක දේවප්‍රිය ගැන නම් අවස්ථා කිහිපයකම සතුටින් සඳහන්
කළ බව මතක ය. සර් ‘ගෝලයින්‘ තැනූවෙක් නොවේ. ඒ මගේ ගෝලයෙක් හෝ සිසුවෙක් යැයි
කියමින් කිසිවකුට අයිතිවාසිකම් කියන්නට ගිය අයෙකු ද නොවේ. කළ යුතු දේ ගැන අණපනත්
පනවමින් අප පෙළූ අයෙක් ද නොවේ. ඔහු කළේ යට කී ලෙස ආලෝකය ගලා එන්නට අතුපතර පෙහෙළි
කිරීම ය. පසෙකට වී නිහඬව බලා සිටීම ය.
ශ්‍රී පාලි මණ්ඩපයේ සේවය කළ සමයේදීත්, සිඩ්නි විශ්වවිද්‍යාලයේ
පශ්චාත් උපාධිය හැදෑරූ සමයේදීත් සර් මට මුණගැසුණේ කලාතුරකිනි. එහෙත් වසරකින් හෝ
දෙකකින් පසු හමුවුවත් ඔහු වෙතින් පැන නැඟුණු උණුසුම්, සෙනෙහස මුසු, ඇමතුම වෙනස්
වූයේ නැත.
“කොහොමද ප්‍රියන්ත?“
ඔහු බලාපොරොත්තු වූයේ ‘ඉන්නව සර්‘ වැනි පිළිතුරක් නොවේ.
අපගේ වෛෂයික පිවිසුම් මොනවා ද යන්න හැඟවෙන බරසාර පිළිතුරකි. අප සමග වුව සාකච්ඡාවක්
අනර්ථකාරීව ගෙවෙන බව දැනුණු විට සර් අප පිටත් කර හැරියේ මෙවැන්නක් කියමිනි.
“තාම කාලත් නැතුව ඇති නේ ද? ගිහින් බලන්න කැන්ටිමෙත් කෑම
ඉවර වෙන්න බැරි නෑ!“
නිකරුණේ ගෙවෙනු ඇති බව සැක කළ ඇතැම් තැන්වල ඕනෑම කෙනෙකු
මග හැර යන්නට පසුබට නොවූව ද බොහෝ අර්බුදකාරී මොහොතවල ඔහු අප අසළ සිට ගත්තේ ය. තමන්
විශ්වාස කළ දේශපාලනයේ සිට ජීවිත දැක්ම දක්වාම එය එසේම විය. ‘පීතෘ භූමිකාවකට‘ සමැති
ඔහුගේ ඉදිරිපත් වීම මට තදින් දැනුණේ මෑතකාලීනව මුහුණ දුන් දරුණු අර්බුද දෙකක දී ය.
පළමුවැන්න කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රී පාලි මණ්ඩපය, පශ්චාත් උපාධි සහතිකයේ දිනය පිළිබඳ
ගැටළුවක් මතු කරමින් මාගේ සේවය අහෝසි කළ මොහොත ය. දෙවැන්න මා කුලියට ගෙන සිටි නිවස
2016 දී පැමිණි ගංවතුරට යටවූ මොහොත ය.
‘ප්‍රියන්ත කොහේවත් යන්න ඕනෙ නැහැ. මෙතන ඔෆිස් එකට ඇවිත්
වැඩක් කරගන්න. මේ ඕනෙ තරං ඉඩ තියෙන්නෙ. මෙතන ෆිල්ම් කෝස් එකත් කෝඩිනේට් කරන්න‘ ඔහු
පළමු අවස්ථාවේ, ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ, සිය කාර්යාලය තුළ සිට කීවේ ය.
“මං දැන් ඉන්න රත්මලානෙ ගෙදරට ඇවිත් නතර වෙන්න. මං
විතරමයි ඉන්නෙ... මහ රජ්ජුරුවො වාගෙ!“
ඔහු දෙවැනි අවස්ථාවේ දී කීවේ ය.
කාර්යාලයට නොගිය නමුත් මා ඔහුගේ ඇසුර ලබමින් ‘සිනමා අධ්‍යක්ෂණය
හා සෞන්දර්යය‘ පිළිබඳ ඩිප්ලෝමාව සම්බන්ධීකරණය කළෙමි. එහි උගැන්වීමි. ඒ සමයේ චින්තන
ධර්මදාස සිය ‘කල්ට් එක‘ කොලම හරහා ‘පතිරාජ ගෙදර යන්නැයි‘ කියූ විට සර් සිනමාව ගැන
න්‍යායික රචනා පරිවර්තනය කරන්නට උත්සුක විය. හැත්තෑව ඉක්මවූ ඔහු තරමින් අප වැඩ
නොකරන බව පසක් කරමින් ඒ වැඩවලට එක් වුණු සියල්ලන්ට වඩා සර් වැඩ කළේ ය. ‘පතිරාජගේ
සිනමාව ගෙදර නොයා යුතු බව‘ සර් නොකී නමුත් ‘ස්වරූප‘ තිරයට පැමිණ එය කීවේ ය.
මාස කිහිපයකට පෙර තවත් මිතුරකු විසූ සර්ගේ රත්මලානේ
නවාතැනෙහි ඉදිරිපස කාමරයේ මම ද නවාතැන් ගත්තේ කොළඹ එන දිනවල දී ය. සිය නිවස
නිරතුරුව අපට විවර කළ ඔහු සිනමාව ගැන ලියවුණු පොතපත සිය එකතුවෙන් ගෙන කියවන්නැයි
අපට ආරාධනා කර සිටියේ ය. උදෑසනක හෝ හවසක, ඉඩ ලැබුණු හැම මොහොතක, පෙර අප හා කියන්නට
මග හැරුණු බොහෝ ජීවන අන්දර අපට කීවේ ය. කිසි විටෙක දියව නොයන මහා ශක්තියක්,
ශාරීරිකව දුර්වල වුණු මොහොතක වුව, සර් තුළ විය.
ඔහු මුල් පුටුව දැරූ ශ්‍රී ලංකා මාධ්‍ය අභ්‍යාස ආයතනය
(පූර්වයෙහි රූපවාහිනී අභ්‍යාස ආයතනය) ඩිජිටල් ෆිල්ම් ඇකඩමියට ලබා දෙන්නැයි ධනුෂ්ක
ගුණතිලක එහි සිසුන් සමග එක්ව අරගල කරන විට එහි චෝදනාලාභී පක්ෂයේ සර් සිටියේ ය.
‘සක්කාරං‘ ප්‍රතිගාමී සිනමා කෘතියකැයි භූපති නලින් ජර්මානු සංස්කෘතික ආයතනයේ දී
නැගිට කියන විට සර් වේදිකාවේ සිට අසාගෙන සිටියේ ය. එහෙත්, පසුගිය වසරාවසානයේ
‘සිනමා අධ්‍යක්ෂණය හා සෞන්දර්යය‘ පාඨමාලාවට ආචාර්ය මණ්ඩලය සූදානම් කරන විට
භූපතිටත්, ධනුෂ්කටත් කතා කරමු යැයි සර් යෝජනා කළේ තමන්ට හෝ කෘතීන්ට එරෙහිව නැගෙන
විවේචන හා විරෝධතා පෞද්ගලිකව භාර නොගන්නා බව පසක් කරමිනි.
ඒ සියල්ල කෙසේ වුව, ඔහු සම්මත ගුරුවරයකු නොවන බව මා යළි
කියන්නේ ඔහු අප වෙත කිසි විටෙක දැඩිව බලපෑමක් එල්ල නොකළ හෙයිනි. අප වෙත දැඩිව
ආසක්ත නොවූ හෙයිනි. ඔහු බලා සිටියේ දුර සිට ය. අප ගැන සතුට ඔහු පෙන්වූයේ ටිකකි. අප
දුක් වූ තැන අසළින් සිටීම ඊට වඩා වැඩි අගයක් ගත්තේ ය.
මා වෙත, අප වෙත එල්ල වුණු ඔහුගේ ආලෝකය, සිනමාවට අනුව වර
නගන්නේ නම්, තීව්‍ර සෙවණැලි නොතනන මෘදු ආලෝක ප්‍රභවයකින් ලැබූ ආලෝකයක් වැන්නකි.
එහි ප්‍රභාවෙන් කිසි විටෙක අප දැවුණේ නැත. ඒ වෙනුවට, එහි සිසිල් ප්‍රභාව මෘදුව
විහිඳ ගොස් හාත්පස එළිය කොට, අපට සෙවණැලි හෝ තියුණු නොවන පසුබිමක් තැනී ය.
‘පතී සර්!‘ මගේ ගුරුවරයා වූයේ එලෙස ය!
-ප්‍රියන්ත ෆොන්සේකා -