Thursday, August 27, 2020

සුගතපාල ද සිල්වා වෙනුවට ඉරාජ් වීරරත්න: තරුණ සේවා සභාව පිළිබඳ සංඥා වෙනස් වීම

(2020 ‍අගෝස්තු 23 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

1967 වර්ෂයේ දී  එවකට රජයේ  අමාත්‍යවරයෙකු වූ ජේ ආර් ජයවර්ධන විසින් ගෙන එන ලද යෝජනාවකට අනුව පිහිටුවෙන ජාතික තරුණ සේවා සභාව එහි ඉතිහාස පුවතට අනුව වඩාත්  දියුණු මාවතකට පිළිපන්ව ඇත්තේ 1977න්  පසු එළඹෙන එක්සත් ජාතික පක්ෂ රජය සමයේ ය. ජනතා අප්‍රසාදයට බඳුන් ව තිබුණු සභාව වසා දැමීම සඳහා වාර්තාවක් ඉදිරිපත් කිරීමට චරිත රත්වත්තේ වෙත කෙරුණු භාරදීම කෙළවර වී ඇත්තේ ඔහු යටතේ වඩාත් කාර්යක්ෂම හා විවිධාංගීකරණය වූ තරුණ සේවා සභාවක් එළි දැකීමෙනි.  එවකට රජයේ තරුණ කටයුතු අමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ යටතේ නැගුණු ජාතික තරුණ සේවා සභාව  ජපාන රජයේ ආධාරයෙන් මහරගම ගොඩනැගෙන අපූර්ව පරිශ්‍රයක් වෙත යොමු වන්නේද මේ සමයේ දී ය.

රජයේ සෘජු පාලනය යටතේ පැවතීම නිසා ම බලය හිමිකරගන්නා පාර්ශවයන්ගේ සෘජු බලපෑමට නතු වන ආයතන ලයිස්තුවට ජාතික තරුණ සේවා සභාව ද එක් වූ නමුත් 1980 දශකය එම සභාව යටතේ  ක්‍රීඩාසංස්කෘතික, පුහුණු, අධ්‍යාපනික ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සාධනීය මැදිහත්වීම් සිදුකෙරුණු යුගයක් බව නොරහසකි. ඉන් පසුව එළඹුණු කාල සමයන් තුළ වුව තරුණ සේවා සභාවේ මැදිහත්වීම් ජාතික තලයේ අවධානය දිනාගන්නා මට්ටමකින් සිදු වූ අවස්ථා නොතිබූයේ නොවේ. මුල් යුගයේ බෙල්වුඩ් රූපවාහිනී ගම්මානය ආශ්‍රිතව නැගී ආ සංගීත, නර්තන ආදී කණ්ඩායම් ජාතික කලා භාවිතය තුළ ඇති කළ බලපෑම සුළු නොවේ. තරුණයන් හමුවේ මුණගැසුනු එකම ජාතික නාට්‍ය උළෙල වූ යොවුන් නාට්‍ය උළෙල ගෙවුණු දශක කිහිපය තුළ රටේ නාට්‍ය ක්ෂේත්‍රය වෙත කළ මැදිහත්වීම  ප්‍රබල ය. 

ජාතික තරුණ සේවා සභාව පිළිබඳ විවිධාකාර සංඥා ඒ ඒ සමයන් හි සමාජය තුළ පැතිර ගිය අන්දම අපට සිහි කළ හැක. කලා හා සංස්කෘතික කලාපය එහිලා  සුවිශේෂ ය. චන්ද්‍රලේඛා පෙරේරාෂර්ලි වෛජයන්ත, චන්ද්‍රසේන  හෙට්ටිආරච්චි ඇතුළු ගායක ගායිකාවන් ලාංකික ගීත කෙත තුළ සිය නාමයන් සටහන්  කරන්නේදරාජිත දිසානායකධනංජය කරුණාරත්න, ප්‍රසන්නජිත් අබේසූරියඉන්දික ෆර්ඩිනැන්ඩු වැනි පසුකාලීනව ජාතික  නාට්‍ය තලය තුළ ප්‍රමුඛ මැදිහත්වීම් සිදු කළ නාට්‍යකරුවන් හඳුනා ගැනෙන්නේ ද තරුණ සේවා සභාවේ කටයුතු හරහා ය‍. 

ඉහත  ‍ප්‍රමුඛ නාට්‍යකරුවන් තරමටම අත්දැකීම් නොවෙතත් තරුණ සේවා සභාව මගින් සංවිධානය කෙරුණු යොවුන් නාට්‍ය උළෙල වෙත කෙටි නාට්‍යයක් හා දිගු නාට්‍යයක් ඉදිරිපත් කොට ඇති අයෙකු ලෙස ඒ හා බැඳුණු මතක ආවර්ජන මවෙත ද ඇත.  1996 වර්ෂයේදී යොවුන් නාට්‍ය උළෙලට මා ඉදිරිපත් කළනොනිමි’ නම් ලද කෙටි නාට්‍යය තරුණ ප්‍රාදේශීය නිර්මාණකරුවෙකු ලෙස සුගතපාල ද සිල්වා මහතා මුණගැසීමට වාසනාව හිමිවූ එකම අවස්ථාව ලෙස මගේ මතකය තුළ ඉතිරිව ඇත.  ප්‍රාදේශීය වටයට මා ඉදිරිපත් කළ නාට්‍යය පිළිබඳ ස්වකීය අදහස් ඔහු මා වෙත ගෙන ආවේ එම වටය විනිශ්චය කිරීමට පැමිණි විනිසුරුවකු ලෙස නොව සිය දරුවකුට මගපෙන්වන පියකු ලෙසිනි.  එය උළෙලේ අවසන් වටය නියෝජනය කළේ එම අදහස්වලින් මා ලද පන්නරය ද සමගිනි.

 නිසැකවම මා වැනි නිර්මාණකරුවන්ට ස්වකීය යොවුන් නාට්‍ය නිර්මාණ ඉතිහාසය තුළ සුගතපාල ද සිල්වා යන පීතෘ සංඥාව රැඳී ඇතුවාට සැක නැත. එය වඩාත් මා වෙත තහවුරු වූයේ  ධනංජය කරුණාරත්න විසින් පසු කලෙක මවෙත පැවැසූ ඔහුගේ අතීත ස්මරණයන් සමගය. තරුණ නාට්‍යකරුවෙකු ලෙස ඔහු සිය නිර්මාණ වෙත ප්‍රවේශ වෙමින් උන් සමයේ සුගතපාල ද සිල්වා මහතා සමග, එතුමන් නාට්‍යකරුවන්ගේ කෘති විමසමින් යන පසුබිමෙහි අසුන්ගෙන, ඔහුගේ අර්ථ විවරණ විමසමින් ගතකළ ආකාරය රසවත්ව ධනංජය කරුණාරත්න විසින් වරෙක සිහි කැඳවනු ලැබීය. ඒ අනුව, තරුණයෙකු නොවූවද, සුගතපාල ද සිල්වා ජාතික තරුණ සේවා සභාව පිළිබඳ අතීත සංඥාවකි. එහි නාට්‍ය හා බැඳුණු කලාපය තුළ මකා නොදැමිය හැකි පුරාවතකි.

සුගතපාල ද සිල්වා සංඥාව යළිත් මගේ මනස වෙත නැගුනේ නව තරුණ කටයුතු අමාත්‍යවරයා ස්වකීය පාලන කලාපය තුළ වන ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලය වෙත සිදුකළ නව පත්වීම් දෙකක් පිළිබඳ පුවත නෙත ගැටීමත් සමඟ ය.  මහ මැතිවරණයට සතියකට පෙර  ආන්දෝලනාත්මක යූටියුබ් ගීතයක් තැනූ ඉරාජ් වීරරත්න දජනාධිපතිවරණය වෙනුවෙන් ‘වැඩ කරන අපේ විරුවා’ ගීතය ගැයූ ටෙහානි ඉමාරා ද  එම ධූරයන් දෙක  දිනා ඇත. ඒ හා සමග ඉමාරා කෙසේ වුව වීරරත්න සංඥාව තරුණ සේවා සභාව හා බැඳී නුදුරු සමය තුළ නැගෙනු ඇත.

  සුගතපාල ද සිල්වා මහතා තරුණ සේවා සභාවේ  අධ්‍යක්ෂක මණ්ඩල ධුරයක  කටයුතු කළ බවක් මා අසා නැත.  කෙසේ වෙතත් ඔහු වැන්නෙකු එහි නාට්‍ය කලාපය හා සම්බන්ධ කරගන්නට එවකට එහි උන්  අධ්‍යක්ෂ මණ්ඩලවලට අවබෝධය තිබී ඇත. ‍ලාංකික නාට්‍ය කෙත හා සම්බන්ධ දශක කිහිපයක මෑත ඉතිහාසයේ සිතියම හැඩ ගන්වන්නට සිල්වා මහතාගේ දායකත්වය තැනෙන්නේ එම තීරණවලට පින් සිදුවන්නට ය.


සුගතපාල ද සිල්වා සංඥාව මකා දැමීමට වීරරත්න සංඥාවකට අවකාශ නොලැබෙනු ඇතත් ඔහුගේ මැදිහත්වීම හේතුවෙන් අනාගතය තුළ නැගෙන්නට ඉඩ ඇති සංඥා කවරාකාරදැයි යන්න අනාගත කලා සංස්කෘතික කලාපය අපට කියා දෙනු ඇත. ඒවා සරලමතික නොවන බව නම් සිය මැදිහත්වීම් හරහා වීරරත්න දැනටම සංඥා කොට හමාරය.

 

-       ප්‍රියන්ත ෆොන්සේකා -

 

Wednesday, August 12, 2020

දේශපාලන විද්‍යාවේ වැදගත්කම සහ ඉරාජ්ගේ ජවිපාවුන්

(2020 ‍අගෝස්තු 09 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

දැන් ඡන්දය හමාරය. පුවත්පත කියවන මොහොත වන විට  ඔබ ඡන්දයේ ජය කා වෙත හිමි වී ඇත්දැයි දැන සිටිනු ඇත. එක්  නියෝජිතයෙකු වෙනුවෙන් කෝටි තුනකට අධික මුදලක් වැය කරමින් පැවති ඡන්ද විමසීම කෙළවර ඉදිරි වසර පහ සඳහා නීති සම්පාදනය සිදුකෙරෙන ව්‍යවස්ථාදායකය වෙත මහජන ඡන්දයෙන් පත්කොට යැවුණු 225 දෙනා කවුරුන්දැයි ඔබ හඳුනාගෙන සිටිනු ඇත. තවමත් ඒ නාම ලේඛනය ප්‍රසිද්ධියට පත්වී නැති නම් එලඹෙන දිනයේදී හෝ ඊට පසු දිනයේ ඔබ එය හඳුනාගනු ඇත. උත්තරීතර ‍ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන්, ඔබ කැමති වුවත් අකමැති වුවත්, බහුතර මතය දිනා ඇති හෙයින් එළඹෙන කාලය තුළ අපගේ නියෝජනය පාර්ලිමේන්තුව තුළ සිදු කරනු ඇත්තේ එම පිරිස විසිනි.

 ඡන්ද විමසීම කෙළවර වී තිබුණ ද ඡන්දයට ආසන්න සමය තුළ අපගේ සමාජ දේහය අබියස මුණගැසුනු ඒ ඒ දේශපාලන කඳවුරු විසින් හඳුන්වාදුන් ස්වකීය දෘෂ්ටිවාදයන්ට අනුකූල යම් සංකේතික සිදුවීම් නැවත හැරී විමසා බැලීම සමාජ සත්වයෙකු ලෙස අප විසින් සිදුකරනු ලැබිය යුත්තකි. ඒ එළැඹෙන වසර පහ හෝ එසේත් නොමැති නම් එළැඹෙන වසර දහය හෝ පහළොව වුව කුමන ස්වරූපයක් ගනු ඇත්දැයි මෙන්ම සමාජ සංස්කෘතික වටපිටාව කවර හැඩතලයක් නිර්මාණය කරනු ඇත්දැයි එම සිදුවීම් විසින් පෙන්වා දෙනු ලැබ ඇති හෙයිනි.

 මෙම කුඩා සටහන එම සමය තුළ මුණගැසුනු, බැලූ බැල්මට එකිනෙක නොබැඳුණු සිදුවීම් දෙකක් ඔස්සේ විහිදුවමින් සාකච්ඡාවකට මුලපිරීමක් වෙත යොමුවනු ඇත. ඒ සාකච්ඡාවකට මුල පිරීමකැයි මා හඳුන්වන්නේ එළඹෙන වසර කිහිපය පුරාම අපට එම සාකච්ඡාව ඉදිරියට විහිදුවීමට හැකි බැවිනි. රටේ අධ්‍යාපනය පිළිබඳ පාලකස්ථානයේ ආස්ථානය මෙන්ම එම ආස්ථානය පදනම් වූ එළඹුමකදී කලාව සහ එහි භාවිතය පිළිබඳ කියවීම කුමනාකාර දැයි එම සිදුවීම් අප වෙත සංඥා කොට ඇති බැවිනි.

 මහ ඡන්දයට ආසන්න දිනක ඡන්ද රැස්වීමකට සහභාගී වුනු රටේ ජනාධිපතිවරයා දේශපාලන විද්‍යාව හැදෑරීමේ පදනම කුමක්දැයි ස්වකීය  පක්ෂයේ ඡන්ද දායයකුගෙන් විමසනු ද හැදෑරිය යුත්තේ තාක්ෂණික විෂයන් බවට  උපදෙස් දෙනු ද මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබ තිබිණ. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ඉලක්ක කොටගත්, ඉරාජ් වීරරත්න විසින් නිර්මාණය කෙරුණුජවිපාවුන්ගීතය යූටියුබ් අවකාශය ඔස්සේ ජනගත කෙරුණේ ඊට  නුදුරු දිනයක ය. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මෙන්ම ඉරාජ් වීරරත්න ගේ ගීතය ද වැඩි ජනතා අවධානයකින් සාකච්ඡාවට  ගැනෙනු  දක්නට ලැබිණ. සමාජ හා මානව විද්‍යාවන් විෂයෙහි ජනාධිපතිවරයා දක්වන උදාසීන එළඹුම එක් අතකින් විවේචනයට ලක් වත් දී ගීතය හරහා වීරරත්න රැගෙන එන කලා විරෝධී ප්‍රවේශය තවත් අතෙකින් විවේචනයට ලක් විය. ඒ එම ආස්ථානයන් පිළිගන්නා ප්‍රජාවෙහි ඇගයුමට සමාන්තරවය.

  දේශපාලන විද්‍යාව පිළිබඳ රාජ්‍ය නායකයාගේ උදාසීනත්වය මෙන්ම එම කඳවුරට සෘජු සහයෝගයක් දක්වමින් වීරරත්න නිර්මාණය කොට එළිදක්වන යූටියුබ් ගීතය යන දෙකම ඉතා ආසන්න, එකම කාසියේ දෙපැත්ත ලෙස වුව හැඳින්විය හැකි, එළඹුම් ලෙස යෝජනා කරන්නට මම කැමැත්තෙමි. 

සමාජයේ බුද්ධිමය සංවාදයන් පිළිබඳ හමුවන වඩාත් පැරණිම එමෙන් ම දියුණුම අවස්ථාවන් අපට මුණ ගැසෙන්නේ ග්‍රීක යුගයෙනි. සොක්‍රටීස්, ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් ප්‍රමුඛ එම කලාපයේ දාර්ශනික න්‍යායාචාර්යවරුන් ස්වකීය සංවාද මණ්ඩප තුළ ඉහළම අගයක තබා සාකච්ඡා කොට ඇති මාතෘකා අතර දේශපාලන විද්‍යාවට මෙන්ම කලාවටද හමුවන්නේ  ප්‍රධාන ස්ථානයකි. ප්ලේටෝගේ ‘ජනරජය’ මෙන්ම ඇරිස්ටෝටල්ගේ ‘කාව්‍ය ශාස්ත්‍රය’ අපට හඟවන සත්‍යය එයයි. එතැන් පටන් හමුවන දියුණු සමාජ යුගයන්හි මෙන්ම දියුණු දේශයන්හි එළඹුම් වල ද මෙම විෂයන් පිළිබඳ සංවාදය ඉදිරිගාමී තැනක පැවති බව අතීතය අපට දෙස් දෙයි. ග්‍රීක යුගයෙන් පසු රෝම යුගය වඩාත් දියුණු තැනක ලා අප විසින් හඳුනාගනු ලබන්නේ ද ඉන් පසුව එළඹෙන යුගය ඉතා දිගු වුවත් අඳුරු මධ්‍යකාලීන යුගය ලෙස හඳුනාගනු ලබන්නේ ද යටකී මානව හා ශාස්ත්‍ර විෂයයන් ප්‍රමුඛ කලාපයන්ට ඒ ඒ යුගයන් තුළ ලබාදී තිබුණු පිළිගැනීමද හේතුවෙනි.

අධ්‍යාපනය හැදෑරීම හුදෙක් රැකියා අවස්ථාවක් දිනාගැනීම ලෙස පමණක් දැකීම බුද්ධිගෝචර එළඹුමක් නොවේ. සෑම පුරවැසියෙකුටම යහපත් ජීවිතයක් ගත කිරීමට පසුබිමක් සැලසීම පාලකස්ථානයකින් පුරවැසියා බලාපොරොත්තු වන ප්‍රධාන මැදිහත්වීමක් වන අතරම තමා වැඩි කැමැත්තකින් විමසන්නට එළඹෙන විෂය කලාපයක් හදාරන්නට සුදුසු අධ්‍යාපන වපසරියක් නිර්මාණය කිරීම ද එම පාලකස්ථානයේ වගකීම වේ. වැඩි රැකියා අවස්ථා ඇති (ඇතැම් විට එසේ පෙනී යන) විෂය මේ යැයි පෙන්වා දෙමින් පුරවැසියා රේඛීය කලාප වෙත තල්ලු කොට හැරීම ඉතා ඛේදනීය අවසානයක් වෙත සමාජයක් තල්ලු කොට හැරීමක් ද වනු ඇත.

 එවැනි සමාජයක් කුමන ස්වරූපයක් ගනු ඇත්දැයි යන්න සිය ප්‍රකාශයෙන් දිනකට දෙකකට පසු පෙන්වා දෙන ආකාරයේ එළඹුමක් වීරරත්න විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත. කලා ප්‍රකාශනයක තිබිය යුතු මූලික සදාචාර එළඹුම් පවා උල්ලංඝනය කොට ඇති, අපහාසය හා උපහාසය අතර ඇත්තේ තනි අකුරක වෙනසක් ඉක්මවා යන ගැඹුරු වටහා ගැනීමක් බව නොදැන, ඉදිරිපත් කරනු ලැබ ඇති එම යූටියුබ් ගීතය සමාජ හා මානව විද්‍යා විෂයයෙහි අපගේ ලුහු කියවීම කෙතරම් බිහිසුණු සමාජ දේහයක් සාදන්නට මග පාදනු  ඇති දැයි පෙන්වා දෙන කැඩපතක් වැනිය. අවන්ත ආටිගලගේ කාටුනයක් දැක අප වෙත නැගෙන සිනහව වෙනුවට එම ගීතය අප වෙත නංවන ජුගුප්සාව ඉතා භයානක පෙරනිමිත්තක් පිළිබඳ සංඥාවකි. සංවේදී සමාජ සත්වයින් ලෙස අප යටකී ප්‍රකාශය සහ ගීතය යළියළිත් විමසා බැලිය යුත්තේ එහෙයිනි.

-ප්‍රියන්ත ෆොන්සේකා- 


සේ‍යාරුව: FABRICE COFFRINI/AFP/Getty Images

 

Monday, August 3, 2020

කලාව සහ සංස්කෘතිය අභියස ඡන්දය


(2020 ‍අගෝස්තු 02 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

මෙම  පුවත්පත ඔබ අතට පත්වන මොහොත වන විට මහ ඡන්දයට ඉතිරිව තිබෙනු ඇත්තේ සතියකට නො අඩු කාලයකි.  තවත් සතියකින් නව පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වන මන්ත්‍රීවරුන් 225  දෙනා කවුරුන්දැයි යන වග අප විසින් හඳුනා ගැනෙනු ඇත. ඉන් අනතුරුව අපගේ සංස්කෘතික ජීවිතය කවර ආකාරයෙන් ගෙවී යා යුතුදැයි වසර පහක් මුළුල්ලේ ඔවුන් විසින් තීරණය කෙරෙනු ඇත. සංස්කෘතිය වරනැගීම අතීතය හා බැඳුණු දේ  පිළිබඳ පහදා දීම කලාවේ හැඩතල කවරාකාර විය යුතු දැයි පෙන්වා දීම ඇතුළු බොහෝ කාරණා පිළිබඳ කලාප තුළ  ඔවුන්ගේ පෙනෙන නොපෙනෙන බලාධිකාරිය පැතිර විහිදෙනු ඇත.

සංස්කෘතිය යනු  අමාත්‍යාංශයක් ලෙස දකිනා පාලකයින් සමග අපි දශක ගණනාවක් ජීවත්ව ඇත්තෙමු.  මානව ශිෂ්ටාචාරය තුළ වඩා ඉහළ කලාපයක තබා සාකච්ඡාවට ගැනෙන සංස්කෘතිය හා බැඳුණු බොහෝ කාරණා ඉතා සුළු වාක්‍ය ඡේද තුළ තබා ගොනු ගත කොට පසෙක තැබූ යුගයන් අප විසින් පසු කරනු ලැබ ඇත්තෙමු.  එළැඹෙන ඡන්දයේ ප්‍රතිඵලය අපට යෝජනා කරනු ඇත්තේ ද තවදුරටත් මෙම ස්වරූපයේ සමාන පාලන අධිකාරියක් සමග තවත් වසර කිහිපයක් අප ජීවත් විය යුතු බව මිස වෙනයම් කිසිවක් නොවන බව පිළිබඳ සඳහන් හඳුනාගැනීම මේ වනවිටත් අසීරු නැත.

සංස්කෘතික මිනිසා යනු වඩා ඉහළ සංවේදී කලාපයන් සමඟ ගනුදෙනු කරන දියුණු මානවයෙකි. ‘හෝමෝ සාපියන්ස් සාපියන්ස්’ යන විද්‍යාත්මක අර්ථගැන්වීම තුළ ශරීරාංග පිහිටි පමණින් මිනිසකු සංස්කෘතික සත්වයෙකු වන්නේ නැත. ඒ සඳහා වඩා ඉහළ බුද්ධිමය කතිකාවක් වෙත පිවිසීමේ හැකියාවද ඔහු හෝ ඇය වෙත පැවතිය යුතුය. ස්වකීය අධ්‍යාපන මට්ටම හා සමාජ වටපිටාව යනාදිය හේතුවෙන් මෙම හැකියාවෙහි උස්පහත් වීම් පැවතිය හැකි වුවද සංස්කෘතිය පිළිබඳ සංවේදනයකින් තොර සමාජ ජීවියෙකු ලෙස  සිය දිවිය පවත්වා ගෙන යෑම මිනිසෙකු වෙතින් බලාපොරොත්තු නොවිය යුත්තකි.

 අතීත කම්කරු සටන් තුළ පැය අටක සේවා මුරය පිළිබඳ අරගලය නිර්මාණය වන්නේම ඉතිරි පැය දහසය පිළිබඳවද අර්ථ ගැන්වීමක් ද සහිතවය. මිනිසෙකු දිනෙක වෙහෙස නිවා දමා එළඹෙන දිනට සූදානම් වනු පිණිස පැය අටක් නින්දට සහ වෙහෙස නිවා ගැනීමට වෙන්කොට තබන්නේ නම්  ඉතිරි පැය අට කුමක් සඳහා විය යුතු ද?  සංස්කෘතික ජීවිතය හමුවන්නේ එම  පැය අට තුළ ය! ස්වකීය කුටුම්භය හා ඥාති හිත මිතුරන් සමග ගත කිරීම, කලාව හා සාහිත්‍යය ඇසුරු කිරීම, විනෝද චාරිකා, සතුටු සාද ඇතුළු බොහෝ දේ මෙම සංස්කෘතික ජීවිතය හා  බැඳී අප වෙත  ප්‍රවේශ විය යුතුය. දියුණු රටක පුරවැසියාගේ ජීවන තත්ත්වය මැන බැලීමේදී මෙම කරුණ වෙත තියුණු අවධානයක් යොමු වන නමුත් අපි සංස්කෘතිය අමාත්‍යාංශයකට බාරදී, ඇමතිවරයා පිළිබඳ විශ්වාසය තබා, ජීවිතය බස් රථවල පාපුවරුවේ එල්ලමු. අසීරුවෙන් නිවසට ගොඩ වැදී, සංස්කෘතිය විනාශ කරන ලොවට බැණ  වදිමින් මෙගා ටෙලිනාට්‍ය බලා නින්දට යන්නෙමු.

 එළැඹෙන ඡන්දයෙන් පසුව ද මෙම ඛේදනීය ස්වරූපය උඩු යටිකුරු කිරීම සඳහා ප්‍රභවයක් සහිත පාලකස්ථානයක් අපට හිමි වේයැයි බලාපොරොත්තුවක් තබාගැනීමේ සුවිශේෂ පසුබිමක් පෙනෙන්නට නැත. එසේ වුව පුරවැසියන් ලෙස, සමාජ ජීවීන් ලෙස මෙම තත්ත්වය පිළිබඳ සංවේදී, අවම මැදිහත්වීමකින් හෝ සමාජ දේහය  දශමයකින් හෝ ඔසවා තබන්නට මැදිහත්වන කවරකු හෝ අපගේ නියෝජිතයින් ලෙස තෝරා පත් කර යැවීමේ වගකීම අප හමුවේ ඇත. සිනමාව යනු, ආරාධනා ලැබුණු පසු මංගල දර්ශනයට ගොස් සුභ පතා පැමිණෙන යමක් සහ ස්වකීය හිතවතුන් විසින් තනා අහවර කරන කෘතීන් අධ්‍යාපන අමාත්‍යාංශ නිර්දේශ යටතේ ආදායම ඉහළ නැංවිය යුතු යමක් ලෙස දකින පාලකස්ථානය සහ ඉඳහිට සම්මාන උළෙලක් දෙකක් පැවැත්විය යුතු යමක් ලෙස දකින පාලකස්ථානය, නාට්‍යය යනු නෙළුම් පොකුණ රඟහල තුළ රඟදැක්වීමට පමණක් දැනෙන දෙයක් ලෙස හා රාජ්‍ය සම්මාන උළෙලකට සීමා විය යුතු දෙයක් ලෙස දකින පාලකස්ථානය, සාහිත්‍යය යනු සැප්තැම්බරයට එළඹෙන පොත් ප්‍රදර්ශනයක් සහ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලක් ලෙස පමණක් දකින පාලකස්ථානය, සංගීතය යනු රියැලිටි වැඩසටහන් තුළ ගැයෙන ගීත සහ ස්වකීය පිළිගැනීමේ හා විවෘත කිරීමේ උත්සව තුළ  ගැයෙන ප්‍රශස්ති ලෙස පමණක් දකින පාලකස්ථානය, නර්තනය යනු මගුල් බෙර සහ පිලිගැනීමේ උඩරට නැටුම් ලෙස පමණක් දකින පාලකස්ථානය වෙනස්  නොවූවද, එම ආස්ථානයන් වෙත යම් බලපෑමක් කළ හැකි හෝ නියෝජිතයින් කිහිප දෙනෙකු හෝ පාර්ලිමේන්තුව වෙත යැවීම අපගේ වගකීම් අතර ඉදිරියෙන් වෙයි.

ආර්ථික සමෘද්ධිය, ගොඩනැගිලි, මං මාවත් පිළිබඳ පමණක් සඳහන් කරමින්, පුරවැසියාගේ සංස්කෘතික ජීවිතය අමතක කොට දමන පාලකස්ථානය ඉහත කී හඳුනා ගැනීම්වලට බැහැරින් වන ප්‍රකාශන දකින්නේ ස්වකීය ගමන් මඟට බාධා එල්ල කරන දේ පමණක් වන ලෙස බැවින් ඔවුන්ගේ ප්‍රවේශය එහිදී වාරණය සහ මර්දනය වෙත යොමුවීමේ ඉඩකඩ වඩා ඉහළ අගයක පවතින බව අප විසින් වටහාගත යුතුව ඇත. ඒ හේතුවෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීම යනු ආර්ථික නගා සිටුවීම පිළිබඳ, හොරමැරකම් සහ දූෂණය මැඩලීම පිළිබඳ හා පොරොන්දු ඉටුකිරීම පිළිබඳ අපගේ සිහිනය හා එක්වගෙන විමසනු හා සමානව සංස්කෘතික ජීවිතය පිළිබඳ සිහිනය හා එක්ව ගෙන විමසීමද අත්‍යාවශ්‍ය ය.

ඡන්ද යනු කතිරයක් හෝ මනාපයක් පමණක් නොවේ. රාත්‍රියක්  ගෙවෙනතුරු ප්‍රතිඵල පිටවන අයුරු විමසීම පමණක් නොවේ. එහි පසුපස සැඟව ඇත්තේ අපගේ ජීවිත අනාගතය පිළිබඳ සඳහන ය.

 -ප්‍රියන්ත ෆොන්සේකා-


සේයාරුව: https://www.blackenterprise.com/