නවක වධය ගැන කතා බහ යළි ඇවිලී ඇත. විශ්වවිද්‍යාලවල පාඨමාලා බොහොමයක් ඇරඹෙන්නේ වසරේ මුල් කාර්තුවේ නිසා මේ ඇවිලෙන සමය බව තතු දන්නෝ දනිති. මෙවර (මේ වන තෙක්) කරළියේ කතා අතරට පැමිණ ඇත්තේ කලින් වසරවල තරම් බිහිසුණු කතන්දර නොවේ. කැළණියේ නවක සිසුවියක් තමන්ට නිදහසේ සිය අධ්‍යාපනික කටයුතු කරගන්නට ඉඩ නොදුන් ජ්‍යෙෂ්ඨ කණ්ඩායමකට එරෙහිව පොලිසියට පැමිණිලි කර ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගෙන, ඇප ලබා නොදී බන්ධනාගාර ගතකර ඇති බව එක් කතාවකි. දෙවැන්න අද (මැයි 12) පුවත්පත්වල පළවී තිබුණු අතර එය ඊට වඩා ශෝචනීය වූවකි. ඒ පුවත අනුව පේරාදෙණියේ සිසුවියක් ලිපියක් ලියා තබා විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතැර යළි ගම්බ්ම් බලා ගොස් ඇත.
මේ අතර, පසුගිය කාලයක් පුරාම නැගී ආ සමාජ මාධ්‍ය ජාලය පුරා ද නවක වධය ගැන බොහෝ දේ ලියැවෙන්නට පටන් ගෙන ඇත. කිසිදු අදහසක් නැතිව කැමරා තිබූ පළියට දුවයන ටෙලිවිෂන්කාරයෝද ඇප නොදුන් අයගේ අම්මලා, අක්කලා හඬා වැළපෙන අයුරු ද, කොහේ හෝ නවක වධ සිදුවීමක් එළිදරව් වූ විගස දේවාරූඩ වේගයෙන් ආවේශ වී ‘ශිෂ්‍ය මර්දනය, ආණ්ඩුවේ කුමන්ත්‍රණ‘ ඇතුළු වසර ගණනක් පිළුණු වී ඇති වචන කිසිදු ඇහිල්ලක් බැලිල්ලකින් තොරව අතාරින අන්තරයේ නන්නත්තාර කතාන්දරද සිය කැමරාවල පුරවාගෙන විත් සාලයට අතාරින්නට පටන් ගෙන ඇත. පත්තරවල කදුළු කතාද, තවත් බොහෝ පෙරහැර විස්තරද ඉදිරියේදී අපට හමුවනු ඇත.
සමාජ ජාලවල ලේඛණ සෙසු සියල්ලට වඩා පුළුල් පරාසයක දිව යයි. සිය විශ්වවිද්‍යාල සමයේ ‘රැග් එකේ‘ සුරතලය පමණක් අත් විඳ ඇති සමහරු මුළු ලංකාවේම පවතිනවා ඇත්තේ තමන් එක් සමයක, එක් කාලයක අත් දුටු ටික පමණකැයි සිතා ‘මේවා විඳගන්න බැරි උන් බබ්බු ද?‘ කියා තම ‘නො-බබ්බත්වය‘ පෙන්වති. රැග් එකේ අතීත ආනන්දය ගැන නොස්ටැල්ජික චූන් කතා ලියා සමාජ ජාල ඇසුරු කරන්නන් අමන්දානන්දයට පත් කරති. ඒ අතර තවත් පිරිසක් මීට වඩා වැඩි වධ රට තුළ විඳගන්නට ලැබෙන බව කියමින් මෙය ඒ හැටි යමක් නොවන බව කියා දෙන්නට තැත් දරති. පොලිසියට ගිය තරුණියගේ අම්මා මුත්තා සිහිකරන අය ද, ‘මම නම් ඔය කියන එක කාගෙන හිටියා ඒත් ඒකිට බැරි වුණා‘ කියා ඇයට කෝචොක් දමන අය ද, ඇය සමග ඇගේ ශක්තියට සිට ගත යුතු බව කියා සෙස්සන් බලමුළු ගන්වන අයද, එදා මෙදා තුර නවක වධයේ ආදීනව හේතුවෙන් සිදුවූ හානිය ගැන සංඛ්‍යා ලේඛණ සහිතව සිහි කර දෙන අය ද ආදී විවිධ නවක වධ ප්‍රේමී සහ විරෝධී, නමුත් එක් එක් මට්ටමින් සිය ප්‍රේමය නැතිනම් විරෝධය දක්වන අයගෙන් සමාජ ජාල වැසී ගොසිනි. ඒ අතර, සුපුරුදු පරිදි මෙහි ඇති මනෝවිද්‍යාත්මක පසුබිම, දේශපාලන පසුබිම, සමාජ විද්‍යාත්මක පසුබිම යනාදියෙන් කවර හෝ පසුබිමක් පදනම් කරගෙන න්‍යායිකව මෙය පහදන්නට උත්සාහ දරන්නන් ද නොවන්නේ නොවේ.
මේ බ්ලොග් ලිපියේ මා තර්ක කරන්නට අදහස් කරන කාරණාවන් ද අඩු වැඩි වශයෙන් ඉහත කලාප කිහිපයකම ඉඩ හිමිකරගනු ඇත. කෙසේ වෙතත්, පළමුව මා ලේඛණයට ප්‍රවේශ වන්නේම, නවක වධය යනු කවර හෝ තාර්කික පදනම් මත පිහිටුවමින් සාධරණීකරණය නොකළ යුතු, සිය පුද්ගල අතීතයේ හමුවන අත්දැකීම් සීමාවට පමණක් සීමා නොකළ යුතු, ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට, සමාජ දේහයට, සංස්කෘතික අවකාශයන්ට, ශාස්ත්‍රීය සංවාදයන්ට, විසම්මුතියට, තාර්කික චින්තනයට, පෞරුෂ වර්ධනයට ආදී බොහෝ කලාප ගණනාවකට සෘජුවම දැඩි හානි පමුණුවන, මරණ ගණනාවකට ඉඩ සැලසූ, මිනීමැරුම් සහ දිවිනසාගැනීම් හමුවන, මානසික ආතතියෙන් හා වෙනත් රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින් බිහිකළ අති බිහිසුණු සමාජ ව්‍යසනයක් බව ලියා තබමිනි. මෙය ඒ ඕනෑම සරල බුද්ධියක් ඇත්තකුට වැටහෙන අතිමූලික කාරණා යළි ස්ථිර කර දෙන්නට ලියන්නක් නොවේ. මා අත් දුටු අනිත් අය දැනගත යුුතු යැයි මා විශ්වාස කරන නවක වධය හා බැඳි කරුණු කිහිපයකිනුත්, විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ඒ සෘජුව බලපා ඇති ආකාරය හා එය පවතින සමාජ දේශපාලනික දේහය මත තබා මවිසින් කියවාගන්නා ආකාරය ගැන යම් අදහස් දැක්වීමකිනුත් මෙය සමන්විත වනු ඇත.
නවක වධය හා දන්නා අතීතය
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල හා සමාන නවක වධයක් වෙනත් තැනක ඇතිදැයි මම නොදනිමි. ඉන්දීය විශ්වවිද්‍යාල පසුබිමේදී යම් සමානකම් සහිත නවක වධ පවතින බව ඒ පිළිබඳ වූ ලේඛණ කිහිපයක ද, ‘මුන්නාබායි එම්බීබීඑස්‘ වැනි චිත්‍රපටවලින් ද දැක ඇත්තෙමි. කෙසේ වෙතත් අප බොහෝ දෙනෙක් නවක වධය ගැන දරණ භයානකම ආකල්ප මුණ ගැසෙන්නේ ඒ පිළිබද ස්වකීය පුද්ගල අතීතය මත රැඳි පමණක් තීරණ ගැනීමට යාමෙනි. එක් එක් විශ්වවිද්‍යාලවල, ඒ ඒ පීඨවල මුණගැහෙන නවක වධ වෙනස් ස්වරූප ගන්නා බව පෙනෙන අතරම කාලයාගේ ඇවෑමෙන් ඒවායේ තත්වය වෙනස් වන බවද නිරීක්ෂණය කරන්නෙකුට පෙනී යනු ඇත. නවක වධයේ දේශපාලනික පසුබිම නිර්මාණය වූයේ ජවිපෙට සම්බන්ධ දේශපාලනය පදනම්ව නිසා සහ වත්මනෙහි ඒ නිර්මාණය වන්නේ පෙසප හා සම්බන්ධ දේශපාලනය පදනම්ව වීම හේතුවෙන් ඒ පක්ෂ හා සම්බන්ධ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා සෘජු සබඳතා නොදක්වන විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් හමුවේ ඒ බොහෝ විට අඩු වීමක් හඳුනාගත හැකි ය. එහෙත් නවක වධය පූර්ණ වශයෙන්ම දේශපාලනික ව්‍යාපාරයක් හා බැඳී නොපවතින්නක් වන හෙයින්ම අන්තරය හා සම්බන්ධ නොවන ශිෂ්‍ය දේශපාලනයක් පැවති පමණින් ඒ පාලනය වේයැයි සිතීම විහිළුවකි. හුදු තිබූ දේ යළි සිදු කිරීමේ උවමනාව, ‘උප-සංස්කෘතිය‘ නැසී යා නොදිය යුතුය යන සිතුවිල්ල, පරපීඩක කාමුකත්වය හෝ වෙනයම් කවරාකාරයක හෝ මනෝ ව්‍යාධි, ‘රැග් එකක් වත් කාල නැත්තං කැම්පස් ඉඳල වැඩක් නෑ‘ ආදී ගුරුවර/ටියුෂන් ගුරුවර/ වැඩිහිටි/ ලොකු ලොක්කන්ගේ කතා ඇතුළු තවත් බොහෝ කාරණා නවක වධය ඉදිරියට ගෙන යාමට පසුබිම සපයයි.
කෙසේ වෙතත්, අප කෙසේ කීවත් ලිව්වත් (විශ්වවිද්‍යාලවලට හෝ වෙනයම් උසස් අධ්‍යාපන ආයතනයකට ගොස් ඇති) බොහෝ දෙනා තවමත් නවක වධය තේරුම් ගන්නේ තමන්ගේ මනසේ ඇති චිත්‍රයේ දිග පළල අනුව ය. ඒ නිසා ඇතමෙකුට ඒ බොහෝ බිහිසුණු වෙද්දී තවකකුට ඒ කැන්ටිමේ සින්දු කියූ, කණේ මල් ගසාගෙන කෙල්ලන් ළඟට ගොස් ආදරය ප්‍රකාශ කළ, රෑ පානේ හදිසියේම නාන්නට සිදුවූ, කුණුහරුපෙන් බැණුම් අසන්නට සිදු වූ ආදී සීමාවල රැඳුණු එකක් පමණක් වේ. එනිසා වැඩිදෙනෙකු කියන්නේ ‘ඕව මහ දේවල් යැ‘ කියා ය.
ආරම්භයක් සඳහා මම ද මේ පුද්ගල අතීතය හරහා යමින් මා අත්විඳි සහ අසන්නට දකින්නට ලැබුණු අත්දැකීම් කිහිපයක් පළමුව ඔබ වෙත ලියන්නට අදහස් කරමි. වෙනසකට ඇත්තේ මෙම කරුණු බොහෝ අයගේ අතීත කාල සමයට වඩා දිගු සමයක් පුරා විසිර පැවතීමයි. ඒ මා විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරූ වසර හතරක කාලයට අමතරව වසර 10-12ක කාලයක් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු ලෙස විශ්වවිද්‍යාල කිහිපයකම කටයුතු කර ඇති හෙයිනි.
පේරාදෙණිය ශාස්ත්‍ර පීඨයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සමයේ මම නවක වධ විරෝධියෙකු ලෙස කටයුතු කළෙමි. සෙස්සන් මා හැදින්වූයේ ‘අලයෙකු‘ ලෙසිනි. නවකයෙකු ලෙස නවක වධයට ලක් වීමෙන් මා ගැලවී සිටියේ මා නිවසේ සිට විශ්වවිද්‍යාලයට ආ අයෙකු නිසාත්, මහනුවර හා පේරාදෙණිය ප්‍රදේශ දෙවන වසර ජ්‍යෙෂ්ඨයින්ට වඩා හොඳින් දැන සිටි නිසා පහසුවෙන්ම ඔවුන්ගේ මුහුණට වැලි ගසා, දේශන නිමා වූ විගස පැන යා හැකි වූ නිසාත් ය. එහෙත් මට ‘යකා ගසන්නේ නැතිව‘ එළිපිටම පහර දෙන බව කියා තර්ජනය කළ අවස්ථා ද, බලයෙන් මා නේවාසිකාගාරවලට ගෙන යාමට තැත් කළ අවස්ථා ද නොවූයේ නොවේ. ඒ හැරුණු විට මා කලක සිට දන්නා හඳුනන ජ්‍යෙෂ්ඨයෝ පැමිණ ‘බැච් එක සමග ගතකොට අනාගතය වාසනාවන්ත කරගැනීම සඳහා‘ රැග් වන ලෙස මා වෙත ආයාචනා කළ අවස්ථා ද තිබිණි.
කෙසේ වුවත් ‘අල‘ ජීවිතය බොහෝ දුරට සාර්ථකව ගත කරන්නට මට ඉඩ ලැබිණ. ඒ අතරතුර මගේ ඇතැම් මිතුරන් රාත්‍රී ෆිසිකල් රැග්වලට ලක් වී ලෙලි ගැසුණු වැලමිටි වසාගෙන අත්දිග කමිස ඇඳ පැමිණි අවස්ථා මට හමු විය. නාගරික ජීවිතයෙන්, කොළඹින්, පැමිණි දෙතුන් දෙනෙක් ගැහැට දරාගත නොහැකිව (බබත්වය හේතුවෙන්) රැග් සමය ඉවර වූ පසු යළි එන්නෙමැයි කියා යන්නට ගිය බව ද මතක ය. උන් සේරම ආවාද මතක නැතත් පසුකාලීනව මගේ මිතුරන් වූ සමහරු ඒ යළි ගෙදර සිටි කාලය හොඳට කියවන්නට යොදාගත් බව මා සමග කියා ඇත.
විශ්වවිද්‍යාල නවක වධය එක් කාල සීමාවකට පමණක් සීමා වූවක් ය යන්න බොහෝ ලියවිලිවල මම දැක ඇත. එය එසේ නොවේ. ඒ කාලයේ වර්ධනය කරගන්නා සහ තෙල් ගසා, ඔළු සෝදා හිසට දමන දේ ඇතැමුන්ගේ ජීවිත කාලය තුළ කෙසේ වෙතත් විශ්වවිද්‍යාල සමය තුළ ඉවත් නොවේ. ඒ බොහෝ වධ එය සිදු වන මොහොත ඉක්මවන ඒවා ය. ‘ආචාර්යවරුන්ගෙන් ප්‍රශ්න ඇසූ විට ඔවුන් කිපී ස්පෙෂල් කරන්නට ඉඩ නොතබා අන්නන බව‘ කියා පූර්ණ මොට්ට ශිෂ්‍ය ප්‍රජාවක් බිහිකිරීමේ කටයුත්ත මගේ කාලයේත් තිබුණකි. මගේ එක් ‘අල‘ මිතුරෙක් දේශනයකදී ප්‍රශ්නයක් ඇසූ විට එසේ නොඅසන ලෙසට දේශනය අවසන ඔහුට සමවාර්ෂිකයින්ගෙන්ම තර්ජන එල්ල විණි. ඉන්පසු ඇති වූයේ මෙවන් කෙටි දෙබසකි.
“ප්‍රශ්න අහල තෝ කෙළවගන්නද හදන්නෙ?“
“ඇයි මොකද වෙන්නෙ ප්‍රශ්න ඇහුවම?“
“උන් කෙළවනව! ස්පෙෂල් කරන්න දෙන්නෙ නෑ!!“
“ආ... ඒකට කමක් නෑ. මට ජෙනරල් එකක් ඇති!“
ප්‍රශ්න ඇසූ ඒ මිතුරා කළේ ‘කම්බයින්‘ ඩිග්‍රි එකකි. මමත්, මගේ තවත් ප්‍රශ්න ඇසූ මිතුරෝත් බාධාවකින් තොරව ස්පෂෙල් කළ අතර මාද ඇතුළු කිහිප දෙනෙකුම කථිකාචාර්ය මණ්ඩලවලට ද ඇතුළු වීමේ වරම් ලබා ගත්තෙමු.
නවක වධය දැඩි මානසික පීඩාවක් ලෙස ගත් හා නොගත් දෙපිරිසම මා දැක ඇත. මගේ වසරේ විසූ එක් සිසුවියක් ප්‍රසිද්ධියේ කියා සිටියේ ‘අමු තිත්ත කුණුහරුපයෙන්‘ ජ්‍යෙෂ්ඨ සිසුන් බැණවදිද්දී තරම් ලෙන්ගතු හැඟීමක් වෙනත් කිසිදු විටක ඔවුන් සම්බන්ධයෙන් නොදැනෙන බවකි! ඒ අතර නවක වධය හේතුවෙන් ඊට ටික කලකට පෙර මියගිය ඉංජිනේරු පීඨයේ වරප්‍රගාෂ් සිහි කර ‘කළ යුතු නිසා කළ යුතු‘ ආකාරයේ නිද්‍රාසම්පන්න වැඩ සටහන් විශ්වවිද්‍යාලය විසින් සිදු කළ බව මතක ය. යුද්ධය පැවති එසමයේ වරප්‍රගාෂ් දෙමළෙකු නිසා කාටත් ඒ වැඩි තදට දැණුනේ නැත.
අප තුන්වන වසරට පැමිණෙන විට ආ නවකයින් හමුවේ ක්‍රියාත්මක වූ නවක වධය පෙරටත් වඩා යම් දරුණු බවක් උසුලන්නට ඇත. බොහෝ ආචාර්යවරුත් සිය ‘නො-බබත්වය‘ පෙන්වීම සඳහා (සහ අතීත මතක මත තීරණ ගත් නිසා) නවක වධය ගණනකට නොගත් අතර විරුද්ධ වූයේ වැඩිපුරම ඉංග්‍රීසි භාෂා අධ්‍යයන ඒකකවල ගුරුවරු ය. සිරිස්-බිරිස් ගා ඉංග්‍රීසි වැහැරූ මේ අය නවක වධ විරෝධීන් වීම තරම් තවත් ජොලියක් වධකයින්ට තිබුණේ නැත. හරිම පහසුවෙන් ඔවුන් පෙන්වා ‘දුප්පතාට විරුද්ධ ධනපතියාගේ හැටි‘ පෙන්වන්නට ඔවුන්ට ඉඩ ලැබිණි!
කෙසේ නමුත් මේ ගුරුවරු අප තෙවැනි වසරේ සිටියදී අප හා කීවේ ඇග කිළිපොලන කතාවකි. වැසිකිළි වලවලින් වතුර ගෙන පෙවීම ඇතුළු අභූත හා අප්‍රියජනක වධදීම් මාලා හේතුවෙන් කිහිපදෙනෙකුම විශ්වවිද්‍යාලය හැර ගොස් ඇති බව කී ඔවුහු ඒ පිරිස යළි කැඳවාගෙන එන බවත් ඔවුන් හා රැඳෙමින් ඔවුන් ආරක්ෂා කර දෙන ලෙසත් අපෙන් ඉල්ලා සිටිය හ. අපි එකඟ වීමු. දරුණු ලෙස මානසිකව ඇද වැටී උන් එපිරිස හා රැඳුණු අපි කිහිප දෙනා මෙම තත්වය හමුවේ කුමක් කළ හැකිදැයි සාකච්ඡා කළෙමු. උදව් දෙන්නට සිටි ආචාර්ය මණ්ඩලයේ සුළු පිරිස, සෙසු පීඨවල නවක වධ විරෝධී ‘අල‘ කණ්ඩායම් ආදියේ උදව්වෙන් අප සිදුකළේ ‘ප්‍රචණ්ඩත්වයට එරෙහි සරසවි ප්‍රජාව‘ නමින් සංවිධානයක් බිහිකිරීමට පසුබිම් සැකසීමයි.
ප්‍රජාතන්ත්‍රවාදය කිසිදු විටක හමු නොවන විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම් අතර 70 දශකවල පැවති බව කියන විවිධ දේශපාලන පක්ෂ හා බැදුණු ශිෂ්‍ය දේශපාලනික කණ්ඩායම් නැත. ඇත්තේ යුනියන් එක පමණි. යුනියන් රෙප්ලා පත් කරන බැච් මීටින්වලදී බැච් එකේ එකමුතුකම රකිනු පිණිස මෙවැනි පරිදි නම් යෝජනා කෙරේ.
“අපි එකට ඉන්න ඕනෙ! නම් ගොඩක් යෝජනා කරල මේකෙ එකමුතුකම කඩන්න දෙන්න බෑ. අපි කියන්නෙ අපේ රෙපා ....... (කැමති නාමයක් යොදාගන්න) කියල. අපි අපේ බැච්-ෆිට් එක පෙන්නන්න ඕනෙ. වෙන නම් නෑ. හරි.... ස්ථිරයි!“
එම බිහිසුණු දේශපාලනය වෙනත් සංගම් හා සංවිධාන නිර්මාණය කිරීමේදී අපට එරෙහිව ක්‍රියාත්මක වනු ඇති බව අපිට නොපෙනුණු නමුත් යට කී සංවිධානය පිහිටුවන දිනයේ 50ක පමණ වූ අප කණ්ඩායමට 500ක පමණ වූ ශිෂ්‍ය කණ්ඩායමකින් ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල වීමෙන් එය එසේ බව අපට වැටහිණ. ඉංජිනේරු පීඨය දක්වා වැටී තිබෙන අක්බාර් පාලම් වැටියේ අප මිතුරෙකුගේ හිස ඇන තිබීම හේතුවෙන් ඔහුගේ එක් ඇසක කාචයකට හානි වී ඔහු කණ්නාඩි පාවිච්චි කරන්නෙකු බවට පත් විය. ඔහු ඇතුළු තවත් පළමු වසර සගයින් කිහිප දෙනෙකු රෝහලින් ටිකට් කපා ගත්තේ දින කිහිපයකට පසු ය. අප හා සමීපව කටයුතු කළ ඉංග්‍රීසි ගුරු මණ්ඩල ආචාර්යවරියකගේ මෝටර් රථය සම්පූර්ණයෙන් විනාශ කර තිබිණ.
-ඉදිරියට -
a good post
ReplyDeleteNihal M Rupasinghe Thank you Priyantha for this post on ground reality of ragging, it is a rag and must be in the rubbish bin long time ago.
ReplyDeleteLike · Reply · 12 hrs
Nihal M Rupasinghe
https://www.facebook.com/nihalm.rupasinghe
සංස්කෘතිය යනු සකස්වෙමින් පවත්නා කෘත්‍යයන්ය.එය වෙනස් වන දෙයකි.එය වෙනස්විය යුතුය නොවේනං එය විනාසවේ. උපසංස්කෘතීන් ඇතිවන්නෙ මහ සංස්කෘතිය තුලය. එබැවින් මහ සංස්කෘතියේ ලක්ෂනයන් උපසංස්කෘතිය තුල අන්තර්ගතවේ. විශ්වවිද්‍යාල තුල ඇති නවක වදය පිටස්තර සමාජයෙන් වියුක්ත වූවක් නොවේ. විශ්වවිද්‍යාලයෙන් පෙන්නුම් කරන්නෙද අප සමාජයේ ඛාදනයමැයි. විශ්වවිද්‍යාල තුල සිටින්නේත් පිටත සමාජයෙන් ආපිරිස් ය. ඔවුන් ප්‍රකට කරන්නෙ අප සමාජයේ ඇති අසහනය ඉච්ඡාභංගත්වය යන දෑය.නවයොවුන් තරුනයන්ගෙන් පිරුනු විශ්වවිද්‍යාලය යන රාමුවතුල මෙය පැහැදිලිව කැපී පෙනේ.
ReplyDeleteනවක වදය නමින් හෝ එසේ නැතිව හෝ අශිෂ්ට ක්‍රියා සිදුවේ නම් ඊට එරෙහිව පෙනීසිටීම අපේ යුතුකම යයි සිතමි. ස්වයං විනයක් ඇති නිර්මාණය වීම වෙනුවට පාසල් අධ්‍යාපනය මගින් හදන්නේ කොන්ද කැඩූ, තර්ක කිරීමේ හැකියාව මොට කල, අනුන් කියනා දේම පිළිගන්නා, කොණ්ඩයේ දිග පීරන ආකාරය, කලිසමේ රැලි ගණන, කලිසම කකුලේ දිග පළල ද ගුරුවරයා විසින් තීරණයකරන වහල් කොටසකි. එවන් සිසුන් විශ්විද්යලයෙදී ස්වයං විනයක් ඇතිකරගනිවිය යන්න මම නම් බලාපොරොත්තු නොවෙමි. ඇත්තටම මෙය මහා සංස්කෘතියේ ඇති දුර්වලකම් කැපීපෙනෙන පිළිබිඹුවක් මිස උප සංස්කෘතියක් ම නොවේ යයි මමද සිතමි.
ReplyDeleteThanks for explaining the reality inside ragging. I think irrespective of the severity, ragging must be totally eliminated from universities. People are talking about so-called sub culture, batch fit and etc, but not about what the society is expecting from the university students by providing them free education, why our university rankings are going down remarkably. Those are the values we must grow inside our universities.
ReplyDelete