පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය සිය වාර්ෂික මහ සභාවේදී මෙවර අප අතරින් වෙන්ව ගිය ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ මෙහෙය අගයමින් විශේෂ ඇගයුම් සම්මානයක් පතිරාජ මැතිණිය වෙත පිරිනමන්නට කටයුතු කළේ ය. ඒ සඳහා හේතු පාඨය ඉදිරිපත් කිරීමට මවෙත ආරාධනා කරන ලද අතර මෙහි පහත පළ කරන්නේ 2018 මාර්තු මස 25 වැනි දින පේරාදෙණි විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේදී පැවති එම හමුවේ දී මවිසින් ඉදිරිපත් කළ එම හේතු පාඨයයි.
පේරාදෙණි විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන් ඇතුළු
විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථී සුධීමතුනි, ගෞරවනීය ආරාධිතයිනි,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය සිය 75 වසරක ප්‍රෞඩ
ඉතිහාසය තුළ සුවිශිෂ්ට බුද්ධිමතුන් සහ කලාකරුවන් රැසක් දේශයට දායාද කර ඇත. කලාව
විෂයයෙහි සාහිත්‍යය, කවිය, වේදිකා නාට්‍යය ඈ නන්විධ ක්ෂේත්‍රයන්ට පේරාදෙණියේ දායකත්වය තත් විෂයය ක්ෂේත්‍රයන්හි
පශ්චාත් කොලනිවාදී හැඩතලයන් තීරණය කරන්නට නොමඳව දායකව ඇති බව ඔබට අටුවා ටීකා අනවශ්‍ය
බැව් දනිමි. 1947න් ඇරඹ, 1956 දී ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව‘ සමගින් ජාතික
සිනමාවක හැඩතල හඳුනාගත් මෙරට සිනමාව 1970 දශකය තුළ දී නව්‍ය සුසමාදර්ශයක් සමගින්
වඩාත් ප්‍රබල කලාපයකට කැඳවූ සිනමාකරුවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සාඩම්බර
නිෂ්පාදනයක් බව සඳහන් කරන්නේ යටකී කලාව වෙත වූ පේරාදෙණියේ මැදිහත් වීම්වලට සිනමාව
අංශයෙහි දායකත්වය ද අසමාන බැව් පෙන්වමිනි.
එම ප්‍රමුඛ දායකත්වය
ලබා දුන් ඔහු ආචාර්ය ධර්මසේන පතිරාජයන් ය. 1963-1967 වකවානුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
ශාස්ත්‍ර පීඨයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ මුල් පියවර තැබූ ඔහු විශ්වවිද්‍යාලයෙන්
නික්මෙන්නට පෙරාතුවම සුගතපාල සෙනරත් යාපා අධ්‍යක්ෂණය කළ ‘හන්තානේ කතාව‘ සඳහා සම
තිරපිටපත් රචනයෙන් දායක වෙමින් පේරාදෙණියෙහි ජීවිතය සිනමාව තුළ චිත්‍රණය
කරන්නටත්, ඒ හරහා සමකාලීන විශ්වවිද්‍යාල තාරුණ්‍යය හා ඔවුන්ගේ ගැටළු සාකච්ඡාවට කැඳවන්නටත්
දායක විය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කළ විගසම ජාත්‍යන්තර ඇගයුමට පත් ‘සතුරෝ‘
නැමති කෙටි චිත්‍රපටය නිර්මාණය කරමින් සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන පතිරාජයන් 1974
දී ‘අහස් ගව්ව‘ තනමින් වෘතාන්ත සිනමාවට පිවිස ලාංකික සිනමාවේ දෙවැනි සුසමාදර්ශය
තැනී ය. ඉන් අනතුරුව, ‘බඹරු ඇවිත්‘, ‘එයා දැන් ලොකු ළමයෙක්‘, ‘පොන්මනි‘, ‘පාර
දිගේ‘ සහ ‘සොල්දාදු උන්නැහෙ‘ යන කෘති සිනමාවට දායද කළ ඔහු සමකාලීන තාරුණ්‍යයේ
අසහනය, විරැකියාව, පන්ති අර්බුදය, ධනේෂ්වරය හා පීඩිත පන්තිය අතර ගැටුම, කුල භේදය
වැනි මාතෘකා සාකච්ඡාවට කැඳවී ය. මේ ඔහුගේ මුල්කාලීන කෘති සියල්ලම පාහේ ලාංකික
සිනමාව තුළ හමුවන සුවිශිෂ්ට කෘතීන් ලෙස දෙස් විදෙස් විචාරක පැසසුමට ලක් විය.
‘පොන්මනි‘ නැමති දමිළ
චිත්‍රපටය ඔහු නිර්මාණය කරන්නේ ශාස්ත්‍රඥයෙකු වශයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ
සිංහල අංශය හා එක්ව කටයුුතු කළ අවදියේ ය. කැලණිය විශ්වවිද්‍යාලයෙන් කථිකාචාර්යවරෙයකු සිය ශාස්ත්‍රාලයීය ජීවිතය ආරම්භ කළ පතිරාජයන්
බුද්ධි ගවේෂණයට හා කලාවට මතු නොව ජනවාර්ගික සහයෝගිතාවට ද යාපනය විශ්වවිද්‍යාලයේ දී
කළ මැදිහත්වීම ඉමහත් ය. ඉන් පසුව රුහුණ විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී
පාලි මණ්ඩපය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයනාංශය, කොළඹ විශ්වවිද්‍යාලයේ
ජන මාධ්‍ය ඒකකය, ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය ඈ ශාස්ත්‍ර ගවේෂණ ආයතනවල
සිංහල භාෂාව, සිනමාව හා ටෙලිවිෂන් කලාව ඉගැන්වීම සඳහා කළ මැදිහත් වීම අප අගය කළ
යුත්තේ බොහෝ තන්හි ඒ ඒ විෂයයන්හි සමාරම්භය සනිටුහන් කරන්නට ද ඔහු දායකව ඇති බව
සිහිතබා ගනිමිනි.
2000න් පසු ‘මතුයම් දවස‘
චිත්‍රපටය නිර්මාණය කරන තෙක්ම සිනමාවෙන් දුරස්ථව පතිරාජයන් ගත කළ සමය මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය සඳහා ඔහු ලබා දුන් දායකත්වයෙන් පෝෂිත
ව ඇත. ‘නාඳුනන පුත්තු‘, ‘ගඟුලෙන් එගොඩට‘, ‘මායා මන්දිර‘, ‘ඇල්ල ළඟ වලව්ව‘,
‘දුර්ගාන්තය‘, ‘කම්පිත විල්‘ යනාදී ඔහු විසින් නිර්මිත ටෙලි නාට්‍ය ලැයිස්තුවෙහි
මුල්ම අංකය බොහෝ විද්වතුන් ‘කඩුල්ල‘ සඳහා ලබා දෙන්නේ එදා මෙදාතුර ටෙලි නාට්‍ය
විෂයයෙහි නිර්මිත ප්‍රමුඛතම නාටකයක් ලෙස එය පෙරමුණෙහි තබමිනි.
පතිරාජයන් සිනමාවෙන් පසු
ටෙලි නාට්‍ය කෙතෙහි සිය නම ප්‍රමුඛ සඳහනෙහි තබා ඇති මුත්, ඒ විසල් දායකත්වයෙන්
වැසී යා නොයුතු ඔහුගේ සෙසු ප්‍රාමාණික මැදිහත්වීම් අපමණ ය. 60-70 දශකවලදී යුෂෙන්
ඉයනෙස්කෝගේ ‘The Chairs’
නාට්‍යය ‘පුටු‘ නමින්
සිංහල වේදිකාවට කැඳවන ඔහු අනතුරුව ‘කොරා සහ අන්ධයා‘ පරිවර්තනය කරමින් මෙරට
අභූතරූපි නාට්‍ය කලාව සඳහා සමාරම්භක දායකයින් අතුරෙහි සිය නාමය ලියා තබයි. සිංහල
වේදිකාව දෙස ඔහුගේ සප්‍රමාණික විමර්ෂණය හමුවන්නේ ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයටම
ඉදිරිපත් කළ සිය දර්ශනපති නිබන්ධනය වූ ‘සිංහල නාට්‍ය කලාවේ අන්තර්ගතය හා ආකෘතිය
අතර අරගලය‘ නමැති ලේඛණය විමසන විට ය.
සිය ආචාර්ය උපාධිය සඳහා
ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයට ඇතුළු වන පතිරාජයන් එහිදී ‘The Dialectic of Region and Nation
in the Third World in the Films of Bengali Independence: Ghatak, Ray and Sen’ යන පර්යේෂණ නිබන්ධනය
රචනා කරන්නේ කලාපීය සිනමාව පිළිබඳ ප්‍රාමාණික බුද්ධිමතකුගේ ආගමනය සනිටුහන් කරමිනි.
සිය දිවියේ අවසාන
දශකයන්හිදී යළි සිනමාවට අවතීර්ණ වුණු පතිරාජයන් ‘In Search of a Road’ නමැති වාර්තා චිත්‍රපටය හරහා බිඳී ගිය උතුර හා දකුණ යා
කළ හැකි මං පෙත් විමසමින් ද, ‘මතුයම් දවස‘, ‘සක්කාරං‘ සහ ‘ස්වරූප‘ යන වෘතාන්ත චිත්‍රපට
හරහා මෑතකාලීන සමාජ දේශපාලනික විපර්යාසයන් දැඩිව විමසමින් ද සිය සිනමා තිර සංවාදය
පුළුල් කළේ ය. ඔහුගේ එම සංවාදය කෙතරම් පුළුල්දැයි අපට අවසන් නිගමනයකට කිසිදා
එළඹෙනු නොහැකි වනු ඇත්තේ ‘ෂෙල්ටන් සහ කාන්ති‘ නමැති වෘතාන්ත සිනමා පටය ඇතුළු ඔහුගේ
දායකත්වය ලද කෘති කිහිපයක්ම 83 කළු ජූලියේ ගිනිදැල් අතර අළු වී ගොස් ඇති හෙයිනි.
‘වා සුළි‘ වැනි කෘතීන් තිරගත නොවී සැඟව ඇති හෙයිනි.
“හිමින් සැරේ පියා විදා“
ධර්මසිරි බණ්ඩාරනායකගේ හංස විලක් චිත්‍රපටයේ තේමාව ගෙනෙන ගීතය වුවත් එහි රචකයා
පතිරාජයන් ය. 1985 ජනාධිපති සිනමා සම්මාන උළෙලේ හොඳම ගීත රචකයාට හිමි සම්මානය ඔහු
දිනාගන්නේ ‘කරදිය වළල්ල‘ චිත්‍රපටයට ලියූ ‘මම ඔබ සිඹිමි‘ ගීතය වෙනුවෙනි. 2013 වර්ෂයේදී හොඳම පරිවර්තනයට හිමි රාජ්‍ය
සම්මානය ඔහු දිනා ගන්නේ හුවාන් රුල්ෆෝගේ Pedro Paramo සිංහලයට නැගීම
වෙනුවෙනි.
ආචාර්ය ධර්මසේන
පතිරාජයන් ලාංකික ශාස්ත්‍ර ලෝකයට සිනමා අධ්‍යයනය හඳුන්වා දුන් ප්‍රධානතම
ගුරුවරයා ය. සිනමාවේ දෙවැනි සුසමාදර්ශය තනමින් ලාංකික සිනමා කෙත පෝෂණය කළ වම්
ඉවුරේ සිනමාවේ පෙරගමන්කරුවා ය. ටෙලි නාටකයෙහි පරමාදර්ශ කෘතීන් තනා දෙමින් එහි
මංපෙත් පෙහෙළි කළ නිර්මාපකයා ය. වේදිකා නාට්‍ය පරිවර්තනය හා නිෂ්පාදනය, ගීත, කාව්‍ය
හා කෙටි කතා රචනය, පරිවර්තනය ඈ කෙත්බිම්වල සිය නාමය පැහැදිලිව සටහන්වන පරිදි
දායකත්වය දුන් සුලවතා ය. චින්තකයෙකු වශයෙන් සිය ආස්ථානයන් හැම විටම සෘජුව ප්‍රකාශ
කළ සුධීමතා ය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
විද්‍යාර්ථීන්ගේ සංගමය ලෙස අප අද ඔහුගේ සිනමාව ප්‍රමුඛ කලා කෙත වෙත වූ වෙසෙසි
දායකත්වය අගය කරමු. එසේම, ඒ දායකත්වය කෙළවර නොබෝදා සිදුවූ ඔහුගේ සමුගැනීම දැඩි
සොවින් යුතුව මෙනෙහි කරමු.
ස්තුතියි!
ප්‍රියන්ත ෆොන්සේකා
ප්‍රියන්ත ෆොන්සේකා
තම සගයින්ගේ සේවා ඇගයීම ආදී විද්‍යාර්ථීන් විසින් කළ යුතු දෙයකි. එය සංගමයේ ප්‍රතිරූපයට ද හොඳ ය.
ReplyDelete