(2018 දෙසැම්බර් 02 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)
ලියනගේ අමරකීර්තිගේ ‘අළු
පැහැති ආරංචි’ කෙටි කතා එකතුවේ එන, පොතෙහි නමින්ම යුතු කෙටි කතාවේ මුඛ්‍ය චරිතයක්
වන විජයසිංහ, එතරම් අත්‍යාවශ්‍යතාවක් නොවූව ද, සිය නිවසට සීසීටීවී කැමරා සවිකර
ගනියි. විජයසිංහ පවුලේ ඒකාකාරී අඳුරු ජීවිතය කෙමෙන් ‘ආලෝකය’ වෙත යොමු වන්නේ මෙම
කැමරා සවි කිරීමත් සමග ය. ඔවුන්ට ඔවුන්ගේ නිවසේ බිත්ති මායිමෙන් ඔබ්බෙහි වන ලෝකයේ
සිදුවන, කිසිදු වැදගැම්මකට නැති දේවල්වල සිට කිසිසේත් නොසිතූ දේවල් ද මුණගැසෙන්නේ
මේ කැමරා විසින් නොකඩවා රූපගත කර දෙන ‘අළු පැහැති රූප’ හරහා ය; අළු පැහැති ආරංචි
හරහා ය. ලෞකික දිවිය කෙමෙන් අතහැර යමින් සිටි විජයසිංහගේ දියණිය යළි පුනරාගමනයට
තීරණයක් ගන්නේ ද ඒ ‘අළු පැහැති’ ලෝකය ඇයගේ නෙත් අභියස ප්‍රතියමාන වීමත් සමග ය.
පසුගිය දා මාතරදී
ගැටවරයකුගේ පිහි පහරකින් මහ මග දහවලක තවත් ගැටවරයකු මරුමුවට පත්වීම ද, තද කළු
පැහැයෙන් ලියැවිය යුතු වුව, එවැනිම ‘අළු පැහැති ආරංචියක්’ ලෙස අසල නිවසක
සීසීටීවීයක සටහන්ව තිබිණ. ලංකාවේ සියළුම ‘විජයසිංහලා, නෝනලා සහ දුවා දරුවන්’ වහවහා
සිය දේශීය සීසීටීවී විකාශන නාලිකා අභියසට එදා රාත්‍රියේම එක්රොක් වූ අතර මේ ‘අළු
පැහැති ආරංචිය’ සියැසින් දැකගනිමින්, සිය ‘ජාතික නිවසෙහි’ තාප්පයෙන් ඔබ්බෙහි සිදු
වූ සිද්ධිය ‘රස විඳගෙන’ පසුදා එළි වන්නට මත්තෙන් ඒ පිළිබඳ විවිධ නිර්වචන, අදහස් හා
උදහස් සමාජ මාධ්‍යජාලවලටත්, සිය දෛනික කතාබහ තුළටත් මුදා හරින්නට පටන් ගත් හ.
‘සීසීටීවී විකාශනවලින්’ පමණක් ‘විජයසිංහ පවුල්’ තෘප්තිමත් නොවන බැව් දත් නාලිකා
මුදලාලිලා වහාම සිය හිත්පිත් නැති කැමරා මියගිය ගැටවරයාගේ නිවසට පිටත් කර හැර
දෙවැනි දින රැයේ ආරංචි බලන්නට එන පිරිස තෘප්තිමත් කිරීමට ඔහුගේ මවගේ ද වැළපෙන රූප
මාලාවක් එකතු කර ගෙන ආහ.
පසුගිය දින කිහිපය තුළ
රටේ ජන නායකයින් ප්‍රජාතන්ත්‍රවාදය සමග සිදු කරන පන්දු ක්‍රීඩාව අතරතුර තරමක හෝ
වැඩි ආකර්ෂණයක් හිමි වූයේ මෙම ආරංචි එකතුවට ය. ගැටවරයාගේ මරණයට පිහිය මෑනූ අනෙක්
ගැටවරයාගේ පෙළඹවීම ‘දෙවැනි ඉනිම’ වැනි ටෙලි නාට්‍යයකට, පාර්ලිමේන්තු පිහි-මිරිස්
කුඩු ගැටුම්වලට, ‘අපි දකුණේ කියා පෝස්ට් දමා අහක බලාගෙන ගිය මගියන්ට’ භාර දීමට
බොහෝ දෙනෙක් වහ වහා කටයුතු කළේ එම ඝාතනයේ වගකීම එවැනි කලාපයකට දැමීම බැලූ බැල්මටම
වඩාත් පහසු කටයුත්ත නිසා වන්නට ඇත. එහෙත්, පළමුව මේ ගැටවර මරණය කාගේ වරදක්දැයි අප
සැබවින්ම හැරී විමසා බලන්නට සූදානම් ද? එය ජාතික පුවතක් බවට පත් කරමින් නිවසක එක්
රහස් කැමරාවක දර්ශනයක් ඔස්සේ පටිගත වූ ඝාතනයක් ‘විශ්ව මහජන දැක්මක්’ බවට පත්
කිරීමේ ඇති සදාචාරාත්මක බව අප විමසූයේ ද? මගේ පිළිතුර නම්, පුරවැසි ප්‍රජාවක් ලෙස
මේ මූලික ප්‍රශ්න දෙක හමුවේම අප සෘණාත්මක පිළිතුර නියෝජනය කරන පක්ෂයට වැඩි බරක්
දක්වන බවයි.
පළමුව, මහමගට බැස දරුවන්
පිහි, කඩු, කිණිසි හා/හෝ වෙඩි උණ්ඩවලින් පවා ජීවිත පරදුවට තබමින් සටන් කරන්නට
පෙළඹී ඇති සමාජ පසුබිමෙහි මූලයන් විමසන්නට අප පියවර ගත යුතු ය. මෙයට පිළිතුර
වශයෙන් ‘ඔබේ දරුවා ද වහා දහම් පාසැල් එවැන්නැයි’ එක් ගුරුවරියක් සමාජ ජාලයක් හරහා
ඉල්ලීමක් කර තිබෙනු මම දුටිමි. ආධ්‍යාත්මික වශයෙන් නිවී සැනසවීම මගින්, ආගම ඔස්සේ
ද යමෙකු ශික්ෂිත පුද්ගලයකු බවට පත් කිරීමට යම් ඉඩක් ඇත්තේ වුව, බහුතර දරුවන් දහම්
පාසැල් වෙත බලය යොදා තල්ලු කර හරමින්, දිනපතා බණ හා පිරිත් අස්සවන සමාජයක අප
දැනටත් ජීවත් වන බව අප අමතක නොකළ යුතු ය. ප්‍රධාන පිළිතුර දහම් පාසැල් සීමාවෙන්
ඔබ්බෙහි වන්නක් බව වටහාගත යුතු ය. මානව සමාජයේ දී අනෙකාට ගරු කිරීම, වඩා පොහොසත්
මනසකින් අනෙකා දෙස බැලීම, අරගල කළ යුත්තේ අනෙකා නැසීමට නොව නැගීමට බව තේරුම් ගැනීම
ඇතුළු සියල්ල දියුණු පුරවැසි සමාජයක් නිර්මාණය කිරීම සඳහා වන මූලික අවැසියාව සමග
එන්නකි. ආර්ථික ප්‍රගතිය හරහා රට සිංගප්පූරුවක් බවට පත් කිරීමෙන් පමණක් සියල්ල
දිනාගත හැකි ය යන විශ්වාසය සහිත පාලකස්ථානයක් හා ඒ අනු දකින පුරවැසි සමාජයක් සමග
වඩාත් දියුණු සිසු පිරිසක්, තරුණ ප්‍රජාවක් තනාගන්නේ කෙසේ ද? ඒ අනුවම යමින් දේශනා
කරන පූජකස්ථානයකින් පෙරටුගාමී දෙසුමක් බලාපොරොත්තු වන්නේ කෙසේ ද?
අධ්‍යාපනය, කලාව හා
සෞන්දර්යය, සන්නිවේදනය, ආගමික පැවැත්ම ආදී සමාජ සංස්කෘතික වටපිටාවෙහි පුරවැසි
ගනුදෙණුව සමග පවතින මූලික සංකල්පයන් ප්‍රවේසම්කාරීව තෝරා විග්‍රහ කරගනිමින් කටයුතු
කරන සමාජයක් නිර්මාණය කිරීම සඳහා අප ඉක්මණින් කටයුතු කළ යුතු ය. තරගකාරීත්වය
වෙනුවට ඥාණ ගවේෂණය සමග ඇගයීමමුල් කරගත් අධ්‍යාපන ක්‍රමයක දී අනෙකා අපට මිතුරකු ලෙස
හැඟෙනු ඇත. දියුණු කලා භාවිතයක දී අනෙකා අපට හිත්පිත් ඇති මිනිසෙකු ලෙස පෙනෙනු ඇත.
වගකීම්සහගත සන්නිවේදනයක දී අපට දුර්වලතා මග හැර ගනිමින් අප යා යුතු නිසි මාර්ගය
මුණ ගැසෙනු ඇත. වඩා පොහොසත් ආගමික ගණුදෙනුවක දී අපට සියලු ආගමික ඉගැන්වීම් ඇත්තේ
කෙනෙකු පෙළීමට නොවන බව වැටහෙනු ඇත.
කැමරා දර්ශනයක සටහන් වූ
පමණින් ඒ සියල්ල මහජන ප්‍රදර්ශනයට කැඳවීමේ ‘නරුම පුරුද්ද’ යළි තහවුරු කරන්නේ
සන්නිවේදනය හමුවේ පැවතිය යුතු මූලික ආචාරධාර්මික පැවතුම් අප දශමයකින් හෝ විමසා
නොබලන බවයි. එය මා ඉහත කී සියලු කාරණා හමුවේ රටක් ලෙස අප අසමත්ව ඇති බවට මනා
නිදර්ශනයකි. මාතර මරණය පමණක් නොව දිනකට මාර්ග අනතුරු ඇතුළු විවිධ මරණ, මාරක අනතුරු
හෝ හදිසි අනතුරු අප ආලින්දයේ සිට රාත්‍රී ආහාරය සමග ‘රස විඳින’ බව රහසක් නොවේ. ‘රස
විඳීම’ යන්න මා යොදන්නේ ඒ මරණ හෝ අනතුරු දැක අප කම්පනය නොවන නිසා ය. වෙනදා මෙන්ම
සැනසිල්ලේ නිදාගන්නා නිසා ය. ‘දෙවැනි ඉනිමට’ හෝ ‘පාර්ලිමේන්තුවට’ වගකීම භාර දීම
සඳහා වන ෆේස්බුක් පෝස්ටුවක් ෂෙයා කිරීමට ඔබ්බෙන් අප පසු දින සිදු කරන කාර්යය කුමක්
ද?
මිනීමැරුම් හෝ අනතුරු
අවම කෙරෙන හා දෙවනුව අතුගා දැමෙන, වඩා ආරක්ෂිත සමාජ වටපිටාවක් නිර්මාණය කරගැනීම
සඳහා එකාවන්ව කටයුතු කිරීමට අප අදිටන් කරගත යුතු ය. නීතිය හමුවේ පමණක් දිග හැරිය
යුතු සංවේදී රූප රාමු ‘මහජන ප්‍රදර්ශනයට’ කැඳවන තක්කඩි මාධ්‍ය වෙළෙන්දන්ට එරෙහිව
පුළුල් විරෝධයක් ගොඩ නැගිය යුතු ය. වගකීම්සහගත මාධ්‍ය භාවිතය යනු ඇති පදම්
‘සීසීටීවී’ දර්ශනවලින් තිරය පිරවීම නොවන බව මාධ්‍යයට නිරතුරුව සිහි කැඳවා දිය යුතු
ය. ඝාතන සහ අනතුරුවල නීතිමය තීන්දු වෙත පිවිසෙන්නට පොලීසියට හා උසාවියට ඉඩ දී
අනතුරු අවම, මානව යහගුණයෙන් සපිරි සමාජයක් තනන්නට මුල් තැන ගත යුතුව ඇති බව මාධ්‍යයට
පහදා දිය යුතු ය.
‘දෙවැනි ඉනිම’ මෙගා
ටෙලියකි. එහි අනුහස්ලාගේ සමල්කලාගේ ජීවන වෘත්තීන් පිළිබඳ විචාරාත්මක මනසකින්
බලන්නට හැකි පුරවැසි ප්‍රජාවක් නිර්මාණය කරගන්නට අප කටයුතු කළ යුතු ය. අප වැඩිපුර
බිය විය යුත්තේ අනුහස්ලාට සමල්කලාට හෝ ඒ දෙස බලා සිටින පිරිසට නොවේ. ‘දෙවැනි
ඉනිමෙන්’ පසු පැයේ හමුවන ‘සීසීටීවී’ ප්‍රදර්ශනවල ‘අළු පැහැති’ තත්‍ය ඝාතන දෙස බලා
සැනසී නිදයන ‘විජයසිංහලාට’ ය.
-ප්‍රියන්ත ෆොන්සේකා -
No comments:
Post a Comment