Friday, September 14, 2018

වාරණය යළි කැඳවූ පසු: අප දැන් කොයි දෙසට හැරෙමු ද?


- මෙම ලිපිය සැප්තැම්බර් දෙවැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළ විය. ලිපියේ වරහන් තුළ වන මුල් ඡේදය පුවත්පත් අතිරේකයේ සංස්කාරකවරයා වෙතින් සංස්කරණයේ දී ඉවත් වී තිබිණ‍. - 

(සිනමාව, වේදිකාව සහ සාහිතකලාදිය ගැන සතිපතා ලියැවෙන ලිපි පෙළකට ‘අනිද්දා‘ වෙතින් මා වෙත ආරාධනා ලැබෙන්නේ සතියකට පමණ පෙර දිනක ය. දවසකින් දෙකකින් ලියන පළමු ලිපිය ගිය සතියේ පුවත්පතෙහි පළ කරමින් මේ කතාබහ අරඹන්නට මට ඉඩ තිබිණ. එහෙත් ගෙවෙමින් තිබුණේ තිගස්වන සුළු මොහොතකි. ඒ ආසන්න දිනක් හෝ දෙකක් ඇතුළත, වේදිකා නාට්‍යයක්, ගුවන් විදුලි නාට්‍ය කිහිපයක් සහ නව කථාවක් වාරණයකට ලක්ව තිබූ අතර ඒ පිළිබඳ විවිධ මතාන්තර විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තුළත්, වෙසෙසින් සමාජ මාධ්‍ය තුළත් නැගීවිත් තිබිණ. ආරම්භක ලිපිය ගැන සිතත්ම එක්තරා භීතියක් සිත තුළ නැගී ඇති බැව් දැනුණු හෙයින් මම සතියක් සිතන්නට කල් ගනිමින් මේ සතිය වන විට පුවත්පත් කාර්යාලය වෙත ලිපිය ලබා දෙන්නට පොරොන්දු වුණෙමි. දැන් ඔබ මේ කියවන්නට පටන් ගන්නේ සතියක් කල් පසුකොට මා ලියන ආරම්භයයි.)

ගෙවුණු සතියක පමණ කාලය පුරාම මාලක දේවප්‍රියගේ ‘නිහොන් සැප ලැබේවා‘ ගුවන් විදුලි නාට්‍ය මාලාවේ නාට්‍ය කිහිපයක් වෙතත්, අසංක සායක්කාරගේ ‘මම කෙළින් මිනිහෙක්‘ වේදිකා නාට්‍යය වෙතත්, ශ්‍රීනාත් චතුරංගගේ ‘බුදුන්ගේ රස්තියාදුව‘ නව කථාව වෙතත් යොමු වූ වාරණයන් ගැන පක්ෂ හා විපක්ෂ මත, ‘සංස්කෘතික‘ අමාත්‍යවරයාගෙන්, ‘රැඟුම්පාලක‘ මණ්ඩලයේ සභාපතිවරයාගෙන්, පූජ්‍ය පක්ෂයෙන්, කලාකරුවන්ගෙන්, අදාල කෘතිවල නිර්මාණකරුවන්ගෙන්, විද්වතුන්ගෙන් මෙන්ම (විශේෂයෙන් සමාජ මාධ්‍යජාල හරහා) සිවිල් සමාජ පුරවැසියන්ගෙන් අප අසා දැනගත් නිසාත්, ඒ පිළිබඳ අනේක වාද විවාද විවිධ අවකාශවල සිදු වූ නිසාත් යළි ඒ ගැන මගේ අදහස ඉදිරිපත් කරමින් සංවාදයේ මැදට පැනීම මෙහිලා මම අපේක්ෂා නොකරන බැව් මුලින්ම කිවමනා ය. මම නගන්නට බලාපොරොත්තු වන්නේ අප දැන් කොයි දෙසට හැරෙමු ද යන ප්‍රශ්නයයි. විශේෂයෙන් මෙම වාරණයන්ට තුඩු දී ඇති බැව් පෙනෙන කෘතිවල නාමයන් මුල් කරගත් හේතු ප්‍රත්‍ය දෙසත්, ඒ පිළිබඳ වන දේශපාලන හා ආගමික කණ්ඩායම්වල විරෝධයන් හා ඒ විරෝධයන්ට පක්ෂව නැගෙන සිවිල් පුරවැසි හඬවල තානයන් දෙසත් විමසා බලමින් ඉදිරිය කෙසේ විය යුතු ද යන්න පිළිබඳ වන ප්‍රශ්නයයි.

මෙම වාරණයන් සියල්ලේ ඇති එකමිතික බව නම් ඒ සියල්ලම පාහේ මූලිකව ‘කෘති නාමයන්‘ පදනම්ව නැගී තිබීමයි. මූලික වශයෙන්ම බුදුන් වහන්සේ සහ බුද්ධ ධර්මයට ඒ නාමයන් විසින් ඇති කරනු ලැබ ඇතැයි ඔවුන් විශ්වාස කරන ගර්හාත්මක හෝ සෝපාහාසාත්මක බව වාරණයක් ගෙන එන්නට තරම් තියුණු විරෝධයක් බවට පත්ව ඇත. අදාල කෘතීන්හි අන්තර්ගතය ගැන වැඩිමනත් දේශපාලකයින්ට හෝ පූජ්‍ය පක්ෂයට අදාලව නොමැති බැව් ඔවුන්ගේ ප්‍රකාශ විමසූ විගසම පෙනේ. අගෝස්තු 23 වැනිදා මංගල සමරවීර අමාත්‍යවරයා විසින් වාරණයට ලක් වන ගුවන් විදුලි නාට්‍යවල අන්තර්ගතය ගැන පාර්ලිමේන්තුවේ සඳහන් කරමින් ඒවායෙන් බුදුදහමට අපහාස නොවන බව ප්‍රකාශ කිරීම ප්‍රවෘත්තියක් වන්නේ එබැවිනි.

‘යම් වාරණයක් අවශ්‍ය නම් පාඨකයින්ට, ප්‍රේක්ෂකයින් ඒ සඳහා ඉඩකඩ ලබා දෙන්න... ඔවුන් බුද්ධිමත්!‘

වාරණයන්ට එරෙහිව අදහස් දක්වන කලාකරුවන් හා ක්‍රියාධරයින් පිරිසක් සමග ආ තුමිඳු දොඩන්තැන්න මෙසේ කියනු මට අසන්නට ලැබුණේ සමාජ මාධ්‍ය ජාල හරහා සංසරණය වූ වීඩියෝ පටයකිනි. නමුත් ‘කූඹියෝ‘ ටෙලි නාට්‍යයේ ජෙහාන් ලෙස කළ රංගනය පදනම් ව ජනප්‍රිය නළු භූමිකාව තෙක්ම ඔසවා තැබුණු සිය සිත්ගත් නළුවා ප්‍රේක්ෂකයින් බුද්ධිමතුන් බැව් ප්‍රසිද්ධයේ ප්‍රකාශ කිරීම ඔහුගේ ප්‍රේක්ෂාගාරයේ සැළකිය යුතු ප්‍රතිශතයකගේ සිත්ගෙන තිබුණේ නැත. ඔවුන් සමාජ ජාල මැදට පැන ‘අමු තිත්ත කතාවෙන්‘ තුමිඳු දොඩන්තැන්න අමතමින් ඔහු වැරදි බැව් පෙන්වා දෙන්නට කටයුතු කරනු දක්නට ලැබිණ.

අන්තර්ගතය නොවිමසන දේශපාලන හා පූජක කණ්ඩායමකුත්, ඒ හා එකඟ වන, තමන් බුද්ධිමත් නැති බව තමන්ම පිළිගන්නා ප්‍රේක්ෂක- පාඨක ප්‍රජා කණ්ඩායමකුත් සමග කෘති නාමයන් පදනම්ව නැගෙන වාරණ මාලාවක් පිළිබඳ අනවරත අරගලයකින් අපට අත් වන ජය කුමක් ද?

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස පිළිබඳව වන අනවරත අරගලය වඩාත් දියුණු මානව සමාජයක් බිහිකර ගැනීම පිළිබඳව වන අපගේ අනාගත අපේක්ෂාව සාධනය කරගැනීම සඳහා අත්‍යාවශ්‍ය වූවකි. වර්ගීකරණය යන්න වාරණය ඉවත් කරමින් කැඳවාගත යුතු ක්‍රියාදාමය බවත් වඩාත් සංවිධිත ක්‍රියා පටිපාටියක් මේ හමුවේ ගොඩ නැංවිය යුතු බවත් අප සාකච්ඡා කළ යුතු ම ය. එයට එකඟත්වය පළ කරමින්ම, මෙම ‘නාම මූලික‘ වාරණය පිළිබඳ සංවාදයෙන් ඔබ්බට ගොස් අප විසින් විමසනු ලැබිය යුතු කරුණු නොවන්නේ ද යන්න මා නගන්නට කැමති ප්‍රශ්නයකි. හැඟෙමින් තිබෙන පරිදි ආගමික අන්තවාදී ලක්ෂණ පල කරන හා ඒ වෙනුවෙන් කටයුතු කරන දේශපාලන- පූජ්‍ය පක්ෂ එකමුතුව හා ඒ වෙත අත් ඔසවන පුරවැසි එකමුතුව අභියස අප ‘කෘති නාම‘ පෙරටු කොටගනිමින් ගොස් තාප්පයේ හැපෙමින් හඬ නගනවා ද නොඑසේනම් වඩාත් සූක්ෂම කලා ප්‍රකාශන භාවිතාවන් සමග යමින් අන්තර්ගතය සමාජය වෙත මුණගස්වා සංවාදය අරඹනවා ද යන්න අප විසින් කිරා මැන බැලිය යුතු ය.

1979 දී ඉරානය මුහුණ දෙන ආගමික විප්ලවයෙන් පසු දියුණු තියුණුව නැගුණු වාරණ හා තහනම් නියෝග අප වෙත මුණගස්වා ඇත්තේ පරාජිත කලා අවකාශයක් නම් නොවේ. වඩා ප්‍රබල සිනමා ධාරාවක්ව නැගුණු ඉරාන නව සිනමා රැල්ල හොලිවුඩ් මහා ධාරාවට වුව අභියෝග කළ හැකි සිනමා ප්‍රකාශන ධාරාවක් වූ බව ප්‍රකට කරුණකි. ප්‍රංශ නව රැල්ල, ඉතාලි නව යථාර්ථවාදී සිනමාව ගුරු තන්හි තබමින් අබ්බාස් කියොරස්තාමි සහ මොහ්සෙන් මක්මල්බාෆ් ප්‍රමුඛ සිනමා නිර්මාණ කුලකය ගෙන ආ කෘති පෙළ ඉරානය මතු නොව සමස්ථ ලෝකය හමුවේ ම ගැඹුරු සංවාදයන් නිපදවන්නට පසුබිම් තැනී ය. නිර්මාණ වාරණයට ලක්වද්දීත්, ඇතැම් සිනමාකරුවන්ට සිරබත් කන්නට සිදු වද්දීත් සිය ප්‍රකාශනයන් කෙළවර කරන්නට ඔවුන් සිතා බැලුවේ නැත. අප සිතා බැලිය යුත්තේ ද, වඩවඩාත් අන්තර්ගතය හා ආකෘතිය අතින් එකිනෙකට වෙනස් ලක්ෂණ ගනිමින්, නමුත් මනා සංවාදයක් ගොඩ නගා ගනිමින් හා උසස් රසවින්දන කලාප වෙත ප්‍රේක්ෂකයා කැඳවා ගනිමින්, මේ ‘කෘති නාම‘වල එල්ලෙන දේශපාලන- පූජක ප්‍රජාව මංමුලා කළ හැකි නිර්මාණ පෙරමුණට ගෙන එන්නේ කෙලෙසින් ද යන්නයි.

මජීඩ් මජිඩිගේ ‘දෙව්ලොව දරුවෝ‘ (Children of Heaven) විමසමින් එක් උදාහරණයක් දෙස හැරෙමු. 1997 දී තැනෙන මජිඩිගේ මෙම චිත්‍රපටය බැලූ බැල්මටම ළමා චිත්‍රපටයක රුවගුණ ඇති නිර්මාණයකි. එහි අපට හමුවන්නේ අලී නැමති නව වියැති දරුවෙක් සිය සත් වියැති නැගණියට පාවහන් යුවළක් ගෙන දෙන්නට සිදු කරන අරගලයයි. සිය පියා දුප්පත් කම්කරුවකු වීම පිළිබඳ යම් අදහසක් ඇති මේ කුඩා දරු දෙදෙනාගේ පුවත ප්‍රේක්ෂක නෙත් කඳුළින් පුරවමින් දිවෙන්නකි. අහම්බයකින් තමන් අතින් නැතිවන, අලුත්වැඩියාවට ගෙන ගිය නැගණියගේ පාසැල් පාවහන් යුවළ පිළිබඳ පුවත දෙමාපියන් වෙතින් සඟවමින් අලී සිය නැගණිය කෙසේ හෝ පාසැල් යවයි. නැතිවුණු පාවහන් සොයයි. අවසන නව පාවහන් යුවළක් දිනන්නට මං සොයයි.

සිනමා සෞන්දර්යයෙන් පිරුණු සෙසු ඉරාන නව සිනමාවේ කෘතින්හි මෙන්ම ‘දෙව්ලොව දරුවෝ‘ තුළ ද ආකෘතිය තුළ සැඟව නැගෙන තියුණු සමාජ දේශපාලනික සාකච්ඡාවක් ද වෙයි. එය අලීගේ හා සාරාගේ සංවේදී පුවත පසුපසින් අප වෙත ගෙන එන්නට රූප සමෝධානය කටයුතු කරයි. ඉසියුම්ව ලියැවෙන දෙබස් සහාය වෙයි. එක්වර නැගී මැකී යන අවශේෂ චරිත වුව උදව් දෙයි. කෙළවර, වඩාත් පුළුල්ව කෘතිය විමසන්නෙකුට හමුවන්නේ තල ගණනාවක් ඔස්සේ පිරිසියුම්ව සැකසුණු කෘතියකි. අපට ඒ එක් එක් තලයන් වෙත වෙන්ව හෝ එකවර ගමන් කරමින් අපේ සාකච්ඡාව ආරම්භ කළ හැක; හෝ පෙරට විහිදවිය හැක.

මම යෝජනා කරන්නේ අප මේ සීමා බන්ධනයන් ඉවසිය යුතු බව නොවේ. අපගේ අවකාශ පුළුල් කළ යුතු බවයි. ‘කෘති නාම‘ සීමාවේදීම කෘතියක ‘ගෙල සිඳ ලන්නට‘ ඉඩ සදා දෙන්නට තරම් ඉක්මන් නොවිය යුතු බවයි. තමන් බුද්ධිමතුන් බැව් කියන්නට යන කලාකරුවාට එරෙහි වෙමින් එය එසේ නොවන බව හඬගා කියන ප්‍රේක්ෂක සමූහයක් හා ඔවුන් විසින් තෝරා පත් කර යැවූ දේශපාලක නඩයකින් අප දියුණු සමාජයක කලා භාවිතයන් ඉල්ලා සිටීම මා සම කළ යුත්තේ කුමකට ද?

අප කොයි ලෙස අදහස් පළ කළ ද, තර්ක නැගූව ද, හෙටත් මේ වාරණ අත් කලා ප්‍රකාශන වෙත දිගු වෙනු ඇත. වාරණයේ අයිතිය හිමි, ආගමික අන්තවාදයට නෑකම් තනන්නට යන කුලකය මංමුලා කළ හැකි මාවත් තැනීම වඩාත් සාධනීය අවසානයක් සොයන ගමනකට මහරු මුල පිරීමක් වනු ඇත. මිනිස් හදවත් වඩාත් සංවේදී කරවන ‘කාව්‍යාත්මයන්ට‘ පාලකයින් කොහොමත් අකමැති බව වටහා ගනිමින් අපි වැඩ අරඹමු. ඒ සඳහා මා පරිවර්තනය කොට තිළිණ කරන එල්මා මිෂෙල්ගේ - This Poem... නමැති මේ කවිය  පිළිගන්න!

මෙ‍ම කවිය බිහිසුණු ය...

මෙ‍ම කවිය බිහිසුණු ය

එය තැබිය යුතු නැත
දරුවන් අත පොවන මානය
වැඩිහිටියකුට වුව නුසුදුසු ය... බිහිසුණු ය...

යමෙකු ගිල දැමුවොත් මුළුමනින්
අතුරු ආබාධ එනු ඇත නොනැවතී

‍නන්නාඳුනන බිහිසුණු කවිය
හමුවුවද මහ මග
පොදු ජන අවකාශයක
නොපිළිගන්න... නොකියවන්න...
උත්සාහ නොකරන්න...

බිහිසුණු කවිය ගෙන
මුද්‍රා තබා කවරයක සුරැකිව
ළඟම තක්සලාව වෙත යවන්න

එවිට උගතුන් ලිහනු ඇත
කරදර නොවන ලෙස
එම කවිය බිහිසුණු ය...

අති සරල කවියක් වුව
දිය කරනු ඇත ඔබේ හදවත
මිනිස් සිතිවිලි පොදි ගෙන
හද සසල කරවනු ඇත...

සියලු කවි වෙත රජයේ මුද්‍රාව තැබිය යුතු
මෙම කවි බිහිසුණු ය...
හද සසල වනු ඇත...
-        

-   ප්‍රියන්ත ෆොන්සේකා -
2018 සැප් 02 - අනිද්දා පුවත්පත

fiසේයාරුව: https://www.makeuseof.com/tag/next-10-years-looks-bad-internet-censorship/



No comments:

Post a Comment