Showing posts with label සිනමාව. Show all posts
Showing posts with label සිනමාව. Show all posts

Friday, November 7, 2025

මගේ හැම චිත්‍රපටයක්ම ආදර කතා - ජේම්ස් කැමරන්

 ජේම්ස් කැමරන් කැනේඩියානු සම්භවයක් සහිත හොලිවුඩයේ බිහිවූ දක්ෂ සිනමාකරුවෙකි. මෙරට ද විශාල වශයෙන් ප්‍රසිද්ධියක් ලැබූ ‘The Aliens’, ‘Titanic’ ‘Avatar’ යන නිර්මාණ ඔහුගේ ය. The Talks වෙබ් අඩවිය සමග ඔහු සිදු කරන මෙම සංවාදය සමගින් ලොව ප්‍රකට සිනමාකරුවන්, සංගීතඥයින්, චිත්‍ර ශිල්පීන්, රංගන ශිල්පීන්, නර්තන ශිල්පීන්, සාහිත්‍යකරුවන් ඇතුළු විවිධ කලාපවල කලාකරුවන් රැසක් සමග කළ සංවාද ඔබ වෙත ගෙන එන ලිපි මාලාවක් ඇරඹේ. මෙම ලිපිය පසුගිය සිකුරාදා (2025 ඔක්තෝබර් 31) 'අනිද්දා' පුවත්පතෙහි 'දේදුන්න' අතිරේකයෙහි පළ විය.

ප්‍රශ්නය: කැමරන් මහත්මයා, ඔබේ චිත්‍රපටවල නවෝත්පාදන සීමාවන් නිරන්තරයෙන් පුළුල් කරන්න ඔබව පොළඹවන හේතුව මොකක් ද?

පිළිතුර: මම හිතන්නේ, ඒ පුංචි සන්දියේ ඉඳන් මිනිස්සු පුදුම කරන ජාතියේ කලාත්මක දේවල් කරන්න මට තිබුණු ආශාව හින්ද ආපු දෙයක්. ඔයා දන්නව ද? මාව පුදුම කරන ජාතියෙ චිත්‍රපටි බලන්න මම යනවා. ඒක රේ හැරීහවුසන්ගෙ එකක් වුණත්, ස්ටැන්ලි කුබ්රික්ගෙ ‘2001: අ ස්පේස් ඔඩෙසි’ වුණත් එකයි. මට ඕනෙ වුණේ නෑ ඊට වඩා අඩුවෙන් දෙයක් කරන්න. මම ආදරය කරපු හැම ව්‍යාපෘතියක්ම, කරන්න පුළුවන් ඒත් තවම කරල නැති දේවල් වුණා. මට හැම වෙලාවෙම ඕනෙ වුණේ අලුත් දේවල් අරන් එන්න.


ප්‍රශ්නය: පුංචි සන්දියෙ ඉඳන්ම?

පිළිතුර: ඔව්, මොකද නැත්තෙ. මම කාඩ්බෝඩ් පෙට්ටිවලින් රොබෝලා හදන්න පුරුදු වෙලා හිටියා. හැම වෙලාවෙම මම කළේ පිස්සු වැඩ. අවුරුදු 10 දි විතර මට ඕනෙ වුණා ප්ලේන් එකක් හදන්න. අපි හොයාගත්ත, ප්ලයිවුඩ් ලෑලි වගයක්, මට හිටියා උදව්වට ළඟපාත ගෙවල්වල කොලු රැළක් උදව්වට. ඉතින් අපි හැදුව ප්ලේන් එක. ඒක කවදාවත් පියාඹුවෙ නැති වුණාට අපිට පුළුවන් වුණා ඒක ගහක එල්ලන්න! මම හැමවෙලේම තාක්ෂණය, රොබෝලා, ආලෝකය සම්බන්ධ දේවල් වගේ දේවල්වලට තමයි ඇදිල ගියේ. ඉතින් ඔයා දන්නව ද, හයිස්කූල් එකේ දි මම ෆුට් බෝල් ටීම් එකේ නොහිටියාට, මම විද්‍යා සංගමේ සභාපති වුණා. මොනව වුණත් හැබැයි ඒකෙ හිටියෙ මායි, චෙකොස්ලොවැකියාවෙන් ආපු ඉංග්‍රීසි කතා කළේ නැති කෙල්ලෙකුයි විතරයි. ආ.. ආය හිටියා ලැබ් එකේ මීයො ටික! (සිනාසෙයි)

ප්‍රශ්නය: දශක ගාණකට පස්සෙත්, ඔබේ හැම වැඩකම තාක්ෂණය වගේම රොබෝ විද්‍යාව ගැන තියෙන කැමැත්ත, චිත්‍රපට හරය ඇතුළෙ දැකගන්න පුළුවන්. වැඩිහිටියෙකු වුණත්, තාමත් ඒ පුංචි ළමයාගේ සිහිනය එක්ක ඔබ ජීවත් වෙනව‌ කීවොත් එකඟ වෙනව ද?

පිළිතුර: අහන්නත් දෙයක් ද? මම තාමත් විද්‍යාවට පිස්සු වැටුණු ඒ පොඩි එකාම තමයි. චිත්‍රපට හදන්න ඔ්නෙ කියන ආසාව මට ආවෙ පහුවෙලා. ඒකට මම තදින්ම කැමති වුණෙත් මගේ ඇතුලෙ ගවේෂකයෙක් හිටපු නිසා. ඒ කියන්නෙ, මම ගවේෂණයක යෙදිල ඉන්නව නම්, ටයිටැනික් ගවේෂණය කරන ගමන් වතුර යටින් රොබෝ යානයක් පදවනව නම්, මම පෞද්ගලිකවම යනව නම් නැත්නම්, මගේ ඇස් දෙක හැටියට රොබෝ වාහනයක් එතනට යවනව නම්, ඒ කොයි දේ වුණත් තාක්ෂණික අභියෝගයක්. මම තාක්ෂණික අභියෝගවලට කැමතියි; මම දුෂ්කර ගැටළු විසඳන්න කැමතියි; ඈත දුර ගැඹූරු මුහුද කෙළවර  පරිසරවලට යන්න පුළුවන් යන්ත්‍ර හදන්න, ඒවා ක්‍රියාත්මක කරවන්න, වගේම ඒවා ආසාර්ථක නොවී තමන් කළ යුතු දේ කරනවා දකින්න මම කැමතියි.අන්න ඒකෙන් මම උද්‍යෝගිමත් වෙනවා.

ප්‍රශ්නය: චිත්‍රපටි හදන එකයි, ගවේෂණයයි දෙක කියන ලෝක දෙක එකතු වුණාමයි වඩාත්ම තෘප්තිමත් දේ හැදෙන්නෙ?

පිළිතුර: ඒ විදිහට හැමදේම එකතු වුණාම හරිම තෘප්තියක් දැනෙනව තමයි. මට හැමවෙලාවෙම හැඟෙන්නෙ, අපි හැමෝම වගේ, මම මගෙ අම්මගෙයි, තාත්තගෙයි සම්මිශ්‍රණයක් කියලමයි. ඒත් ඒ තදබල වචනාර්ථයකින් තමයි. මගේ තාත්තා, හැම වෙලාවෙම තර්කානුකූලව හිතපු, දැකපු, ඉංජිනේරුවෙක්. ඒත්, මගේ අම්මා චිත්‍ර ශිල්පිණියක්. සිනමාව ශුද්ධ කලා ප්‍රභේදයක් නෙවෙයි කියල මට හැමවෙලේම හැ‌ඟෙනවා. ඒක තාක්ෂණික කලා ප්‍රවර්ගයක්. ඒකෙ නියැලෙන්න සංකීර්ණ උපකරණ ඔ්නෙ වෙනව විතරක් නෙවෙයි, ඔයාගෙ හැඟීම් එක්ක අදහස් ප්‍රකාශ කරන්න ඒ තාක්ෂණික වටපිටාව ගැන හොඳ අවබෝධයකුත් ඔ්නෙ. මම ඉංජිනේරු විද්‍යාවට ආදරෙයි. කතන්දර කීමටත් හරිම කැමතියි. ඉතින් මගෙ මනසෙදි ඔය දෙක අත්වැල් බැඳගන්නව. ගැඹුරු මුහුදේ ගවේෂණ පටන් ගන්නකොටම, එතනට යන්න අලුත් උපකරණ හදන්න, ආපිට එතන පින්තූර අරගෙන එන්න පුළුවන් විදිහට අලුත් උපකරණ හදන්න පටන් ගන්නකොටම, ඒක ස්වභාවිකවම එනව!

ප්‍රශ්නය: ඒක ඔබේම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වෙනව ඉන් පස්සෙ?

පිළිතුර: හරියටම හරි. හිනායන දේ කියන්නේ මම ඒ ගවේෂණය ගැන චිත්‍රපටයක් හැදීම හරහා හැම දේටම ගෙවන්න සල්ලි හොයාගන්න එක. මම හොලිවුඩ් චිත්‍රපට හදන්නෙම ගවේෂණවලට ගෙවන්න. චිත්‍රපටයක් හදනවට වඩා විශාල ඉලක්ක අපිට තියෙන එක වැදගත්. අපි නොදන්න දේවල් දිහාට ආලෝක ධාරා එල්ල කරලා ඒ ගැන දත්ත ගේන ඒක වටිනවා. එතන වෙන්නෙ විනයක් ඇතුව විද්‍යාවක් හරියට සිද්ධ කිරීම. මට ඔ්නෙ චිත්‍රපටියක් ගේන්න විතරක් නෙවෙයි, ඒක වැදගත් කියල මම හිතනව වුණත්.

ප්‍රශ්නය: ඒ කියන්නෙ, ගවේෂකයෙකු හැටියට ගත්තු අත්දැකීම්, වඩා හොඳ චිත්‍රපට නිර්මාණකරුවෙකු වෙන්න ඔබට බලපාල තියෙනව කියල ද කියන්නෙ?

පිළිතුර: මෙහෙමයි. ඇත්ත ලෝකෙදි ගවේෂකයෙක් හැටියට වැඩ කරපු එක නිසා මට කණ්ඩායමක්, නැත්තම් එක වැඩකට එක්වුණු පිරිසක් එක්ක වැඩ කරන එක ගැන හොඳ අවබෝධයක් ලබාගන්න ඉඩ ලැබුණා. සමහර වෙලාවට ගැඹුරු මුහුදේ ගවේෂණයකදි වඩාත්ම තෘප්තියට පත් වෙන්නෙ කණ්ඩායමේ සාමාජිකයෙක් හැටියට මගේ කොටස හරියට ඉටු කළ නිසා වෙන්න පුළුවන්. මම කණ්ඩායමේ නායකත්වය ගත්තා වෙන්න පුළුවන්, තාක්ෂණය ගැන බැලුවා වෙන්න පුළුවන්, යානය පැදෙව්වා වෙන්න පුළුවන්... එතනදි මම මගේ කොටස කරනවත් එක්කම කණ්ඩායම ඒකට මට ගෞරවය දක්වනවා. එතනදි මම බලාපොරොත්තු වෙන්නෙත් ඒකම තමයි. මම හිතන්නෙ මම හොඳ සිනමාකරුවෙක් වෙන්නෙත් මෙන්න මේ සහයෝගීව වැඩ කරන එක තේරෙන නිසා වෙන්න පුළුවන්. චිත්‍රපටයක් හදන්න ඔයාට ලොකු කණ්ඩායමක් ඔ්නෙ වගේම විශාල වශයෙන් අලුත් තාක්ෂණය ඔ්නෙ කරනවා. මම හිතන්නෙ නෑ, මම අධ්‍යක්ෂකවරයා වුණු පමණින් හැමෝම මට ගෞරව කරන්න ඔ්නෙ කියල වගේම හැමෝම මම කියන දේ හරියට, තිතට කරන්න ඔ්නෙ කියල. මම හිතනව කෙනෙක් චිත්‍රපටයක් හදන්න යද්දි හිතනව කියල ඔය ලොකු පොඩිකම් හරි වැදගත් කියල. ඔයාට එහෙම හිතාගෙනම කට්ටිය මෙහෙයවන්නත් පුළුවන්. ඒත් මම ඒ විදිහ සතුටුදායකයි කියල කොහෙත්ම හිතන්නෙ නෑ.

ප්‍රශ්නය: කතන්දර කීමේ දෘශ්ටිකෝණයෙන් බැලුවම, තාක්ෂණයේ දියුණුව හොඳ චිත්‍රපටි හදන්න බලපෑමක් වෙලා තියෙනව ද?

පිළිතුර: මම පොඩි කාලෙ බලපු චිත්‍රපටි එක්ක සසඳද්දි අවසානයේ දකින දේ අනුව නම් දියුණුවක් පේනව තමයි. නමුත් ඒ හැම එකක්ම හොඳ කතන්දර ද? එහෙමම කියන්න බැරි බව පේනවා. මම හිතන්නෙ හොඳ කතාවක් කියන්නෙ හොඳ කතාවක්. සමහර විට ඒක හතළිස් ගණන්වල හදපු කළු සුදු චිත්‍රපටියක් වෙන්න පුළුවන්. දැන් ‘කැසබ්ලැන්කා’ අරන් බලන්නකො. අදටත් ඒ කතාව පරද්දන්න බැහැ. අපි නිතරම මිනිස්සුන්ගෙ හදවතට බැඳිල ඉන්න ඔ්නෙ. අපිට පුළුවන් වෙන්න ඔ්නෙ එයාලට යමක් හැඟෙන්න දෙන්න, සමහර වෙලාවට එයාල අඬන්න වුණත් ඉඩ තියෙනවා. තාක්ෂණයට ඔ්නෙවට වඩා වහල් වෙනව වෙනුවට අවශ්‍ය වෙන්නෙ හොඳ කතාවක් කියන එක බව මතක තියාගන්න ඔ්නෙ. අපි දෙපැත්තම හිතන්න ඔ්නෙ.

ප්‍රශ්නය: හොඳ කතාවක් කියන එකට ඔබ ළඟ තියෙන නිර්ණායකය මොකක් ද?

පිළිතුර: මම හිතන්නෙ හොඳ කතාවකදි ඔබට කොහොම නමුත් සම්බන්ධ වෙන්න පුළුවන් චරිතයක් හරි චරිත කීපයක් හරි මුණගැහෙනවා. එයාලා අමුතුම තැනක ඉන්නව වෙන්න පුළුවන්. නැත්නම් අමුතු විදිහෙ රස්සා කරනව වෙන්නත් පුළුවන්. නමුත් යම් විදිහක මානව සම්බන්ධතා එයාලා අතර අපිට පෙනේවි. සමහර විට කොල්ලෙකුට කෙල්ලෙක් මුණගැහිල තියේවි. නැත්නම් තාත්තා සහ පුතා අතර කතාවක් වෙන්න පුළුවන්. ඒත් නැත්තම් ස්වාමි පුරුෂයා භාර්යාවගෙන් දික්කසාද වෙන්න යනව වෙන්න පුළුවන්. කතාව ඇතුළෙ අපිට මේ විදිහෙ විශ්වීය සම්බන්ධතා මුණගැහෙන්න පුළුවන්. ඊට පස්සෙ වෙන්නෙ ඒ සම්බන්ධය පරීක්ෂාවට ලක් වෙන එක. මම හැම වෙලාවෙම කියන එකක් තමයි ‘මගෙ හැම චිත්‍රපටයක්ම ආදර කතා’ කියන එක.

ප්‍රශ්නය: ඇත්තටම? ‘ඒලියන්ස්’ චිත්‍රපටය ගත්තත්?

පිළිතුර: ‘ඒලියන්ස්’ එකේදි ඔයාට මුණ ගැහෙනව අම්මා සහ දුව අතර ආදරය! නමුත් වැදගත්ම දේ තමයි ඒ ආදරය පරීක්ෂාවට ලක් වෙන්න ඔ්නෙ වෙන එක සහ එයාලා ආපහු මුණගැහෙන්න ඔ්නෙ එක. ඒකෙන් ප්‍රේක්ෂාගාරය සතුටට පත් වෙනවා. දැන්, මිහිරි වගේම කටුක අවසානයක් තිබුණු ‘ටයිටැනික්’ චිත්‍රපටියෙදිත් එයාලා දෙන්නට දෙන්නා සම්පූර්ණයෙන්ම එකිනෙකාට කැපවෙලා ඉන්නෙ, ඛේදවාචකය එයාලා වෙන් කරල දැම්මට.

ප්‍රශ්නය: කොහොම වුණත්, චිත්‍රපට නිර්මාණකරුවෙක් හැටියට ඔබ ඔබේ කතන්දර තෝරාගන්න විදිහ ගැන හරියට පරිස්සම් වෙන බව පේනවා. පහුගිය අවුරුදු 30කටත් වැඩි කාලෙදි ඔබ හදල තියෙන්නෙ චිත්‍රපටි 7ක් විතරයි?

 

පිළිතුර: මෙහෙමයි, ඒක මරු වැඩක්. මම එක එක දේවල් එක්ක වැඩ කරනවා; තේමා, රූප, පසුතල වගේ. නමුත් දේකින් යමක් නැවත නැවතත්, නැවත නැවතත් එනව නම් තමයි එතනින් යමක් උපද්දවන්න පුළුවන් කියල මට හැඟෙන්නෙ. එහෙම දැනුනම ඒ කතාව කියල ඒක මගේ පද්ධතියෙන් අයින් කරගන්න මට ඔ්නෙ වෙනවා. ඒත් ඒකට කොච්චර කාලයක් යයිද කියල නම් කියන්න අමාරුයි. දැන් බලන්න, 1968 දි, හයිස්කූල් එකේ ඉන්නකොට මම ‘ද ඇබයිස්’ ලිව්වා. හැබැයි ඒකෙන් මම චිත්‍රපටියක් කළේ 1988 දි. ‘ඇවටර්’ කියන්නෙත් ඒ වගේ ක්‍රියාවලියක් තමයි. මම අවුරුදු 200ක් ජීවත් වුණත් මගේ මනසෙ තියෙන දේවල් එක්ක මට වැඩ තියේවි.

පරිවර්තනය :  ප්‍රියන්ත ෆොන්සේකා

සේයාරුව: https://media.vanityfair.com/photos/5a15cfcf1310ef0d93e09716/master/pass/james-cameron-embed.jpg

 

Tuesday, February 5, 2019

නොමළ කලාකරුවෙකු ලෙස මියෙන්න: ධර්මසේන පතිරාජගේ සමුගැනීමෙන් වසරකට පසු!


(2019 පෙබරවාරි 03
 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

ආචාර්ය ධර්මසේන පතිරාජ අප අතුරින් සමුගෙන වසරක් ගෙවී ගියේ පසුගිය 28 වැනිදා ය. සිනමාකරුවෙකු, විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු, සමාජ ක්‍රියාධරයෙකු ඈ නන්විධ භූමිකා සිය ජීවන ගමන්මග තුළ නිරූපණය කළ පතිරාජගේ සමුගැනීමෙන් වසරක් ගෙවුණු තැන ඔහුගේ සමීපතමයින් ඔහු සිහි කරනු වස් යොදාගෙන තිබුණේ සමරු දේශනයක් සහ චිත්‍රපට ප්‍රදර්ශනයකි. ‘විචාරාත්මක දුරස්ථභාවය සහ කලාකරුවාගේ සංස්කෘතික කාර්ය’ යන මැයෙන් වූ දේශනය පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් පවත්වනු ලැබූ අතර පතිරාජයන්ගේ සුහුරුම සිනමා කෘතියක් වූ ‘පාර දිගේ’ දෙසුමෙන් අනතුරුව තිරගත කෙරිණි. සමරු සැඳෑව පැවැත්වුණු චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලා පරිශ්‍රය අතුරු සිදුරු නැතිව පිරීගොස් තිබුණු අතර දෙසුම හා සිනමා දැක්ම හා ඇතැමුන් එක්ව උන්නේ ශාලාවේ බිම වාඩිගෙන ය.

පතිරාජ වැනි විශිෂ්ටයෙකු නොමියෙන බවට වන සාක්ෂියක් එහි වන බව එම පැය කිහිපය තුළ සිදුවුණු කාර්යයන් පසුපස වූ බව දෙසුමෙහි ශ්‍රාවකයෙකු ලෙසත්, සිනමා කෘතියෙහි ප්‍රේක්ෂකයෙකු ලෙසත් ශාලාවේ අසුන්ගෙන සිටි මට හැඟී ගොස් තිබිණ. යට කී, බොහෝ සෙයින් කාලෝචිත හා නිරතුරුව විමසා බැලිය යුතු කරුණුවලින් සමන්විත දෙසුම සහෘද කලාකරුවන් ඇතුළු ක්‍රියාකාරී පුරවැසි ප්‍රජාවක් අභියස තබන්නටත්, දශක තුනකටත් වඩා පෙර සමයක තැනුණු ‘පාර දිගේ’ යළි එම පිරිස අභියස තබමින් යම් සර්වකාලීන බවකින් හෙබි සිනමාත්මක ප්‍රකාශනයක රුවගුණ පිළිබඳ සජීවි සාකච්ඡාවක් තනන්නටත් කලාකරුවෙකුට හැකි නම් ඔහු මිය ගොස් තිබිය හැකි ද?

පතිරාජගේ ජීවන විලාසය ඔහුගේ මරණින් පසුව වුව, ගුණ කථන, ආගමික පුන්‍යානුමෝදනා, දාන මාන, ඔහුගේ දෙන අභියස තැබුවේ නැත. ඩබ්ලිව්.ජයසිරි 28 දා සමරු සැඳෑව අරඹමින් මහාචාර්ය අමරකීර්තිට දෙසුම සඳහා ආරාධනා කළේ ද පතිරාජයන්ගේ නික්ම යෑමෙන් සත් දිනකට පසු ඔහුගේ මහනුවර නිවසේ දී ඔහු සිහි කළ ලෞකික ස්වරූපය මෙනෙහි කරමිනි. දශක සතක් ඉක්මවූ ඔහුගේ ජීවන ගමන වඩාත් සෘජු, විශ්වසනීය, සමාජය පිළිබඳ විවරැති මනසකින් හෙබි කලාකරුවකුගේ වගකීම්සහගත බව ප්‍රකට කර ඇති බව වඩාත් ප්‍රත්‍යක්ෂ වන්නේ දැන් හැරී යළි විමසන විට ය. සෑම කෙනෙකුටම මරණය වැළඳගත හැක. එහෙත් මිය ගිය පසු ජීවත් විය හැක්කේ අතලොස්සකට ය. කලාකරුවෙකු ලෙස මරණින් මතු වඩාත් සක්‍රිය ලෙස සිය ජීවන දැක්ම සමාජගත කරන්නට හැකි විලාසය පතිරාජ සොයාගෙන ඇති බැව් 28 සැඳෑව එහි රැස්ව උන් පිරිසට සාක්ෂි සැපයී ය.

කලාකරුවෙකුගේ සංස්කෘතික කාර්ය පිළිබඳ සාකච්ඡා කරමින් ජාතිය සහ සම්ප්‍රදාය අතේ දුරින් තබා ගැනීම, බහුවිධ සංස්කෘතික ස්වරූප පිළිගනිමින් ‘අනන්‍යතාව’ වෙතින් දුරස්වීම, අතීතය යථා පරිදි අවබෝධ කරගැනීම, පරමාර්දර්ශී රූපය හා තත්‍ය රූපය සමබරව වටහා ගැනීම ඇතුළු අනු කරුණු සාකච්ඡා කෙරෙන දෙසුමක් සිය මරණින් මතු පළමු අනුස්මරණය වෙත තබන්නට හැකි ජීවිතයක් ගත කරන කලාකරුවන් කොපමණ පිරිසක් අපට ‘සජීවී’ කලාකරුවන් අතුරින් සොයාගත හැකි ද? ඒකමානීය සහ ඒකාකෘතික රූප ස්වරූප මත තබමින් ජාතිය, ආගම, ජන වර්ගය, ඉතිහාසය ඇතුළු නන් කාරණා සිය සමාජ හා දේශපාලනික අපේක්ෂා වෙනුවෙන් වර නගමින් නොදියුණු දේශපාලනික භාවිතාවන් වෙනුවෙන් ඒ වෙන්දේසි දමන ‘කලාකාර’ භූමිකාවකට (මරණින් මතු වුව) වඩා පොහොසත් සංස්කෘතික කථිකාවකට ඉඩ සළසා දීම වෙනුවෙන් පෙනී සිටිය හැකි ද?

පතිරාජයානු භූමිකාවේ අගය වඩාත් ඉහළ නැගෙන්නේ එවන් වටපිටාවක ය. සිය සමාරම්භක කෘතිවල පටන් තරුණ ගැටළු හා අර්බුද පිළිබඳ, ආර්ථික, දේශපාලනික හා සමාජයීය විෂමතා පිළිබඳ (අහස් ගව්ව, බඹරු ඇවිත්, පාර දිගේ) සාකච්ඡා කරමින්, යුද්ධය පිළිබඳ සවිඥාණික විරෝධාත්මක මැදිහත්වීමක් (සොල්දාදු උන්නැහෙ) සිදු කරමින්, කුලය, පන්තිය වැනි සාධක වඩා සක්‍රීය ලෙස ජනවර්ග සියල්ල වෙතම පාහේ සිදු කරන බලපෑම පිළිබඳ (පොන්මනි) සාකච්ඡා කරමින් ඔහු සිදු කළ සිනමා රූපය හරහා වූ දේශපාලනික මැදිහත්වීම, සිය ජීවන පැවැත්ම තුළ ද සක්‍රියව පවත්වාගෙන ගිය බව යාපන විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ඔහු ගත කළ සමය පිළිබඳ අතීත වෘත්තීන් දෙස් දෙයි. තීරණාත්මක දේශපාලනික වෙනස්කම් සිදු වුණු සමයන්හිදී, (අමරකීර්ති සිය දෙසුමේ දී පෙන්නුම් කළ පරිදි) යම් විචාරාත්මක දුරස්ථභාවයකින් යුතුව වුව ඒ සඳහා සක්‍රිය මැදිහත්වීමට දායක වීම ඔහු තුළ වූ සමාජ වගකීම පෙන්වා දෙයි.

60-70 දශකයන් හිදී පෙරටුගාමී කලාකරුවෙකු ලෙස නාට්‍ය සහ සිනමාව ආශ්‍රිතව සිය කලාත්මක ප්‍රකාශනයන් සමාජගත කිරීම ඇරඹූ පතිරාජයන් වෙත ඒ හරහා සමාජය අභියස තැබිය යුතු ආඛ්‍යානයන් පිළිබඳ සුපැහැදිලි අදහසක් තිබූ බව ‘පාර දිගේ’ දෙස් දුන්නේ යළිත් එම කළු සුදු රූප එකතුවේ තිගස්සවන සුළු සිනමාත්මක ජවය අප ඉදිරියේ ප්‍රතියමාන කළ හෙයිනි. අජිත් තිලකසේනගේ විශිෂ්ට තිර රචනයක් සමග වුව, විජය කුමාරණතුංගගේ සහ ඉන්දිරා ජොන්ක්ලාස්ගේ මහරු චරිත නිරූපණ හමුවේ වුව, ඩොනල්ඩ් කරුණාරත්නගේ විස්මයාවහ කැමරා මෙහෙයවීම හමුවේ වුව, වඩාත් විවරැති මනසකින් හෙබි නිර්මාණකරුවෙකු ලෙස පතිරාජ මෙහෙයුම් අසුනේ නොවී නම් ‘පාර දිගේ’ නිමවෙන්නේ නැත. අභූතරූපී නාට්‍ය වෙත ඔහු තුළ වූ ආසක්ත බව විටෙක ද, ප්‍රංශ නව රැල්ල හා/හෝ ජර්මානු ප්‍රකාශනවාදය වෙත ඔහු තුළ වූ නැඹුරුව විටෙක ද, ඉතාලි නව යථාර්ථවාදය වෙත ඔහු වෙත වූ ප්‍රේමය තවත් විටෙක ද කෘතිය තුළින් නැගෙයි. එහෙත් ඒ ඔහු නගන්නට තැත් දරණ ගැඹුරු සමාජ දේශපාලනික සාකච්ඡාව එම රූප වියමන තුළ සිනමාත්මකව බහාලමින් මිස රළුව හෝ කටෝරව නම් නොවේ.

මරණය හෝ නික්ම යෑම වඩා සතුටුදායක, ස්ව ආත්මය පමණක් නිවන වෙත යවන, පශ්චාත් මරණ සමයකට වඩා වඩාත් සක්‍රීය හා පොහොසත් සංවාදයක් සෙසු ජීවත් වන ආත්ම දහස් ගණනක් හමුවේ තබන්නට පතිරාජයන් සමත්වී ඇත. අමරකීර්තිගේ දෙසුමෙන් අනතුරුව පතිරාජයන්ගේ කණිටු පුත් මිලින්ද පතිරාජ මා වෙත පැවසූ පරිදිම අප වෙත ඇත්තේ තාවකාලික ජීවිතයන් ය. ඒ සදාකාලික වීම කෙසේ වුව වඩාත් ඵලදායක වීම සිදු වන්නේම ගෙවෙන හෝ ගෙවුණු ජීවිතාත්මයේ දශක කිහිපය ඉක්මවූ කාල සමයක් පුරවැසියා වෙත තබන්නට අපට හැකිවීම මත ය. කලාකරුවකු වඩාත් සාර්ථක වූයේ යැයි අපට තුටු විය හැක්කේ ද එවිට ය.

“අපි හරියට විසි කරල දාපු එඬරු දඬු වගේ... මුල් නෑ... ඒත් දලු එනව!”

ඉහත ‘පාර දිගේ’ හි චන්දරේගේ ප්‍රකාශය නැවත නැවතත් අපගේ ජීවිත හමුවේ වර නගමින් සමාජයේ ඇති අසංවිධිත බව හා අපගේ ජීවිත තුළ ඇති අපේක්ෂාභංග බව අපට පෙන්විය හැක. එහෙත් චන්දරේ අපට මුණ ගැස්වූ පතිරාජ නික්ම ගොස් ඇත්තේ චන්දරේලාගේ සහ ස්වර්ණලාගේ ජීවිත අභියස බොහෝ දෑ ඉතිරි කොට බව අප අමතක නොකළ යුතු ය. එමතු නොව, නිරතුරුව මෙනෙහි කළ යුතු ය. අඩුම තරමින් එඬරු දණ්ඩකට හෝ මුල් සහිතව නැගෙන්නට බිමක් තනාගත හැක්කේ එවිට ය.

-ප්‍රියන්ත ෆොන්සේකා -

Tuesday, November 13, 2018

බයිස්කෝප්කරුවන්ගේ තර්ජන හා සිනමාවේ හෙට දවස


(2018 නොවැම්බර් 11 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

දෙවන ලෝක යුද්ධය කෙළවර වීමත් සමගම, ලෝක සිනමාව විෂයයෙහි විශේෂයෙන් යුරෝපීය සිනමාව විෂයයෙහි, කෘතීන්හි අන්තර්ගතයන් හා ආකෘතීන් මෙන්ම තේමාවන් ආශ්‍රිත සිනමාත්මක ප්‍රකාශනය පිළිබඳ පුළුල් සාකච්ඡා ඇරඹුණු අතර 40 දශකය තුළ දීම ඉතාලි නව-යථාර්ථවාදය බිහිවන්නේත්, දෙවනුව ප්‍රංශ නව රැල්ල ඇරඹෙන්නේත් එම සාකච්ඡාවල ප්‍රතිඵල ලෙස ය. යථාර්ථයෙහි ඇති නව්‍ය බව හා නව්‍ය නොවන බව යනුවෙන් දෙඅංශයක් පැවතිය හැකි ද යන්න කෙනෙකුට ගැටළුවක් මතු කළ හැකි වෙතත්, පැවති සිනමා භාවිතය අතික්‍රමණය කරමින් ඉතාලි නව-යථාර්ථවාදය පෙන්නුම් කළ ප්‍රකාශනයෙහි වූ නැවුම් ස්වරූප විමසන්නෙකුට එහි ඇති තාර්කික බව වැටහී යනු ඇත. ප්‍රංශ නව රැල්ල ද සමාන ලෙස ම පෙර ප්‍රංශ සිනමා ප්‍රකාශන විධීන් ඉක්මවූ ආකාරයක් පෙන්වූ අතර බිහිසුණු ඛේදවාචකයක් කෙළවර මුණ ගැසෙන, පෙර නොවූ විරූ අදහස් හා රූප වියමන් තිරය මත දෘශ්‍යමාන කරනු ලැබී ය. ඉතාලි නව යථාර්ථවාදය බිහිවීම හමුවේ ද යම් මැදිහත් වීමක් තිබෙන්නට ඇතත් ප්‍රංශ නව රැල්ල බිහිවීම හමුවේ නම් සෘජු දායකත්වයක් පැහැදිලිවම දක්වා තිබුණේ සිනමා විචාරක පරපුරයි. පැවති සිනමාව පිළිබඳ ගුණ දොස් ගෙන ආ විචාරකස්ථානයයි.

‘කයියෙ දු සිනමා‘ නමින් ප්‍රංශය තුළ ප්‍රකාශනයට පත් වුණු (අදද ප්‍රකාශනය වන) සිනමා සඟරාවට ලියූ අන්ද්‍රෙ බසාන්, එරික් රෝමර්, ක්ලොඩ් චැබ්රොල්, ෂොන් ලුක් ගොදා සහ ප්‍රංශුවා තෘෆූ වැනි විචාරකයින් ගණනාවක් පැවති මහා සිනමා සම්ප්‍රදාය දැඩිව විවේචනය කළ අතර දෙවනුව තමන් යෝජනා කළ සිනමා භාවිතය තිරය මත ප්‍රතියමාන කරනු වස් කැමරා ආම්පන්න අතට ගත් හ. අන්ද්‍රෙ බසාන් ඇතුළු සුළු පිරිසක් හැරුණු විට, එරික් රෝමර්, ක්ලොඩ් චැබ්රොල්, ෂොන් ලුක් ගොදා සහ ප්‍රංශුවා තෘෆූ ඇතුළු මුල් විචාරක අසුන් රාශියක් ප්‍රංශ නව රැල්ල නැගී එත්ම එහි අධ්‍යක්ෂක අසුන් වෙත පිළිපන්ව උන් හ. එනයින්, ප්‍රංශ නව රැල්ලේ සිනමාවේ වැඩි අයිතියක් එහි ආරම්භයට මග පෑදූ සිනමා විචාරක පරපුරකට හිමි විය යුතු ය.

විචාරකයා සෘජුවම සිනමා අධ්‍යක්ෂක අසුන වෙත ප්‍රවේශ වූ එතරම් පැහැදිලි උදාහරණයක් සිනමා ඉතිහාසය තුළ අපට මුණ නොගැසෙතත්, බොහෝ සිනමා නිර්මාණකරුවන්ගේ පසුකාලීන සිනමා නිමැවුම් හි රුවගුණ වෙනස් කරන්නටත්, වඩා පෝෂිත වියමන් වෙත ඔවුන් මෙහෙයවන්නටත් බලපෑම් කළ සිනමා විචාරකයින් පිළිබඳ සිනමා ඉතිහාසය තුළ බොහෝ තොරතුරු හඳුනාගත හැකි ය. මුල්කාලීනව, යම් ආකාරයක සීමාවන් තුළ හිඳ මැදිහත් වූයේ වුවත්, ජයවිලාල් විලේගොඩගේ මැදිහත් වීම මෙරට සිනමාව විෂයයෙහි අපට අත්හැර යා නොහැකි අතර, පසුකාලීනව රෙජී සිරිවර්ධන, ගාමිණී හත්තොටුවේගම, ගාමිණී විජේතුංග, පියල් සෝමරත්න, බෙනඩික්ට් දොඩම්පෙගම, පිලිප් කුරේ ආදීන්ගේ විචාරක මැදිහත්වීම් ප්‍රධාන සිනමාකරුවන් විෂයයෙහි සුවිශේෂ බලපෑමක් එල්ල කළ බව ඉතිහාසය තුළින්ම මුණගැසෙන සාක්ෂිවලින්ම පැහැදිලි වී ඇත. වඩාත් පොහොසත් විචාරකස්ථානයක් පැවතීම දියුණු සිනමාවක් තැනීමට සිනමාකරුවන්ට සෘජු හෝ වක්‍ර බලපෑමක් එල්ල කරමින්ම සිනමා කෘතිය හා ප්‍රේක්ෂකයා අතර පාලමක් තනමින් කෘතිය කියවීමෙහි ලා ප්‍රේක්ෂකයා යම් ඔසවා තැබීමක් ද සිදු කරනු ඇති බව සිනමා සංවාද කලාපයන්හි ප්‍රමුඛ විශ්වාසයයි.  
  
මේ දීර්ඝ ප්‍රවිශ්ටය වෙත මා මෙහෙය වූ කරුණ ‘කොළඹ සන්නිය රිටන්ස්‘ නමින් චිත්‍රපටයක් තනන හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂවරයා සිය සිනමා කෘතිය පිළිබඳ ‘විචාරයක්‘ ලියන්නට පෙරම ‘ලිව්වොත් බලාගෙනයි‘ යනුවෙන් අසභ්‍ය වදනින් ද බැණ වදිමින් පත්‍රකලාවේදී ප්‍රියන්ත කොඩිප්පිලි වෙතට ෆේස් බුක් හරහා තර්ජනය කර තිබීම ය. ඔහුට අනුව කොඩිප්පිලි කළ යුත්තේ ‘කුහක ලෙස‘ සිනමා විචාර ලිවීම නොව සිනමාවට සේවය කිරීම සඳහා පිටපතක් ලිවීම ය. නොහැකි නම් කවි කොල ලියා (කොඩිප්පිලි කවියකු ද බැවින් මෙසේ කියනවා විය හැක.) බස් රථවලට නැග විකිණීම ය. විචාරයට පැමිණීම කෙළවර විය හැක්කේ අධ්‍යක්ෂවරයාගෙන් මහමගදී පහර කෑමකින් බවට ඔහු අනතුරු අඟවා ඇත. (එම සටහන මෙහි සෘජුව පළ කළ නොහැකි තරම් අසභ්‍ය ය.)

ප්‍රියන්ත කොඩිප්පිලි සිනමා විචාරකයෙක් ලෙස නම් කරන්නට මම නම් ඉක්මණ් වන්නේ නැත. සිනමාව (හා කලාව) විෂයයෙහි ඔහුගේ මැදිහත් වීම මූලිකව ලංකාදීප පුවත්පතට ඔහු ලියන ‘බුලට් 1‘ නමැති කොලම හා බැඳෙයි. ඒ හැරුණු විට පසුගිය සමයේ ඉමහත් ජනප්‍රියත්වයට පත් සඳැස් කවි පද හරහා ෆේස්බුක් අඩවිය ඔස්සේ ද ඔහු ඇතැම් විට සිනමාව හා බැඳුණු කාරණා ආමන්ත්‍රණය කරතත් ඒ නිරතුරුව නොවේ. ඒ මැදිහත්වීම් තීව්‍ර ලෙස සිදු කරන සිනමා වියමන් විමසමින් දිවෙන සිනමා විචාරයන්ට වඩා සිනමාව කෙරෙහි ආසක්ත, වඩා පොහොසත් සිනමාවක් දකින්නට කැමති පත්‍රකලාවේදියෙකුගේ මැදිහත්වීම් ලෙස හඳුනාගන්නට මා කැමති ය. කෙසේ වෙතත්, කුඩා කොලමක සීමිත වචන සංඛ්‍යාවකට සිය කරුණ ගොණු කිරීමේ දී ඔහු සිනමා වියමන කියවන්නට හැකි සිනමා දෘශ්‍ය සාක්ෂරතාවයකින් හෙබි අයෙකු බවට ඉඟිකරන්නට බොහෝ තන්හි සමත්ව ඇත.

සිය චිත්‍රපටය විෂයයෙහි අකුරක් හෝ ලියන්නට පෙරම කොඩිප්පිලිට (හෝ වෙනයම් අයෙකුට) එරෙහිව තර්ජනාංගුලිය ඔසවන මේ අංකුර තරුණයාගේ අප්‍රසන්න ප්‍රවේශය දැඩිව හෙළා දැකිය යුතු අතර සැබෑ නිර්මාණකරුවකු සතු විය යුතු ගුණාංග යළි මුල සිට විමසන්නැයි ඔහුට ආරාධනා කරන්නට කටයුතු කළ යුතු ය. ඒ හා සමග, විචාරකයා පෑන අතට ගන්නටත් පෙර ‘බිය වී කෑ මොර දෙන‘ මේ ආස්ථානය ඔහුටම යළි විමසා තේරුම් ගන්නටත් ආධාර කළ යුතු ය. සැබවින්ම පැහැදිලි වන්නේ සිය රූප එක්කාසු කිරීම කිසිදු ආකාරයක නිර්මාණාත්මක වපසරියක නොවන බව ඔහුගේම යටි සිත ඔහුට සංඥා කර ඇති බව ය. කොඩිප්පිලි ‘කඩප්පුලි‘ ලෙස සිය කෘතිය දෙස බලනු ඇතැයි ඔහුට සිතෙන්නේ වෙන කවර හේතුවක් නිසා ද?

70 දශකයේ තිරයට ආ ‘කොළඹ සන්නිය‘ පැවති සමාජයේ ගැමි හා නාගරික සමාජ වටපිටාවන්හි ජීවත් වන එකිනෙකට වෙනස් සමාජ පන්තීන්වල ජීවත් වන වැසියන්ගේ මෝඩකම් හා පුරසාරම් ගැන මණික් සන්ද්‍රසාගර හෙළූ සෝපාහාසාත්මක බැල්මකි. එය මෙතෙක් බිහිව ඇති අතලොස්සක් හාස්‍ය සිනමා කෘති අතර අග්‍රඵලයක් ලෙස හඳුනාගන්නට ඇති සාධාරණ කරුණු රැසකි. එය සිනා සෙන්නට ආරාධනා කරන්නේ ගමකින් එන ‘මෝඩ‘ වෙනත් කවරකුට හෝ නොවේ. අපටම ය. නැගී එන නාගරික සමාජ අවකාශවල පවතින අරුමෝසම් වෙත ද එය හෙළන්නේ හාස්‍ය මුසු නමුත් තියුණු බැල්මකි. එය යළි දශක කිහිපයකින් පසු සිනමා තිරය වෙත ‘රිටන්‘ කරන නිර්මාණකරු සන්ද්‍රසාගර මතු නොව වත්මන් කොළඹ ඇති සන්නි ආදිය ගැන ද මනා කියවීමකින් යුක්ත අයෙකු විය යුතු ය.

කොඩිප්පිලිට බිය වන්නට පෙර උඩකන්ද තමන් ගැන බිය විය යුතු ය. ඔහු පමණක් නොව වත්මන් සිනමාවට ප්‍රවිශ්ට වන සෑම අංකුර සිනමාකරුවෙක්ම මූලිකව ප්‍රංශ නව රැල්ලේ පටන් විචාරකයා සහ සිනමාකරුවා අතර පවතින අන්‍යෝන්‍ය ගණුදෙනුව ද, සිය කැමරාවට රාමුගත වන ලෝකය හා ඉන් පිටත ද මනා විමසුමකින් වටහාගත යුතු ය. පූර්ව නිර්මාණවල දෘෂ්ටිවාදාත්මක මැදිහත් වීම ද කියවාගත යුතු ය. නිරුවත මැකී ගිය වඩා පොහොසත් නිර්මාණ තිරය මතට ගෙන ආ හැක්කේ එවිට ය.

-ප්‍රියන්ත ෆොන්සේකා -


Tuesday, October 16, 2018

යාපන සිනමා උළෙලේ තාප්පයෙන් ඔබ්බට!



(2018 ඔක්තෝබර් 14 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

“ඔබ ගිහින් චිත්‍රපටය කරන්න. විශ්වවිද්‍යාලයට කීර්තිය විතරක් අරගෙන එන්න!“

සිංහල සිනමාවේ දෙවැනි සුසමාදර්ශය තනන්නට දායක වූ බැව් පිළිගැනෙන ධර්මසේන පතිරාජයන් ‘බඹරු ඇවිත්‘ චිත්‍රපටය තැනීම සඳහා විශ්වවිද්‍යාලයෙන් නිවාඩු අනුමත කරගන්නට උපකුලපතිවරයා මුණගැසුණු මොහොතේ ඔහුට ලැබුණු පිළිතුරයි ඒ. උපකුලපතිවරයා මහාචාර්ය කෛලාසපති ය; විශ්වවිද්‍යාලය යාපනය විශ්වවිද්‍යාලය ය; කාල සමය 1976 පමණ වන්නට ඇත.


එවකට ධර්මසේන පතිරාජයන් යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ කථිකාචාර්යවරයකු ලෙස සේවය කරමින් උන් බවත්, යාපනය විශ්වවිද්‍යාලය ඔහුගේ ශාස්ත්‍රීය හා කලා භාවිතයන් පිළිබඳ මැදිහත්වීම්වලට දැඩිව ගරු කළ හා ඇගයූ බවත් අප අසා, කියවා ඇත. මේ වසරේ මුල් මාසයේ ඔහු මියයන්නට මාස කිහිපයකට පෙර යළි ඔහු යාපනය වෙත ආවේ ය. ඒ වන විටත් දැඩිව රෝගාතුරව උන් ඔහු, අතරමග විඩා හරිමින්, දින දෙකක ගමනකින් පසු යාපනයට සේන්දු වූයේ යාපනයෙන් ඔහු වෙත පිදුණු විසල් ඇගයීමක් පිළිගන්නට ය. යාපනය අන්තර්ජාතික සිනමා උළෙල සිය තුන්වන පියවරෙහිදී සිනමාව කෙරෙහි ලබාදුන් දායකත්වය අරභයා යාවජීව සම්මානය ඔහු වෙත පිරි නැමූ අතර, අසීරුවෙන් නමුත්, සෘජුව නැගී සිටිමින්, තුටු කඳුළු පිරි දෙනෙතින්, ඔහු එය ලබා ගත්තේ ය.

පතිරාජයන් යාපන සිනමා උළෙලින් සම්මානය ලබාගත් පසු

නුදුරු අනාගතයක ගොඩ නැගෙන්නට නියමිත කිසියම් අරගලයක පෙර නිමිති ඉවෙන් මෙන් හඳුනාගනිමින් නමුත් වඩාත් දැඩිව උතුරු අර්ධද්වීපයේ ජන ප්‍රජාව හා බැඳෙමින් පතිරාජයන් එහි විශ්වවිද්‍යාලය තුළත් ඉන් පිටතත් කටයුතු කළ බව අද ද ඉඳහිට මුණගැසෙන, ඔහුගේ සමකාලීන යාපනයේ විද්වත්හු ප්‍රකාශ කරති. යාපනයේ විදේශීය සිනමා සම්මාදම්වල සමාරම්භක මැදිහත්වීම්වල ද පතිරාජයන් වූ බව සාක්ෂි හමුවන්නේ අදූර් ගෝපාල්ක්‍රිෂ්නන්ගේ පළමු ශ්‍රී ලාංකික සිනමා දැක්ම සංවිධානය වන්නේ ඔහුගේ මූලිකත්වයෙන් යාපනයේ දී  බව අසන්නට ලැබෙන විට ය. ‘එයා දැන් ලොකු ළමයෙක්‘ මංගල දැක්ම පැවත්වෙන්නේ ද යාපනයේ ය. ‘පොන්මනි‘ නිමවමින් යාපන වැසියන්ගේ සමාජ ජීවිතය තමා විමසූ බව පතිරාජයන් අපට කියන්නේ ද යාපනයේ සිට ය. එවන් අතීතයක් ඇති පුරවරයක් යළි එළඹ, යාවජීව සම්මානයකින් ජීවිත ඉම් කෙළවරෙහිදී ඔහුට සංග්‍රහ කිරීමම සුවිශිෂ්ට ය. ඔහු කළ සම්මාදමට තුති පුද කළාක් වැනි ය.

විශිෂ්ට සිනමාකරුවෙකුගේ දායකත්වයක් වෙනුවෙන් යාපනය අන්තර්ජාතික සිනමා උළෙල ලබා දුන් දායකත්වය නිසා හෝ, වසර තුනක් මුළුල්ලේ සිනමා රසවතුන්, විද්‍යාර්ථීන් හා ප්‍රජාව වෙත දායක කළ අනර්ඝ සිනමා පට එකතුව නිසා හෝ නොලද අවධානයක් හා ජනප්‍රියත්වයක් යාපනය අන්තර්ජාතික සිනමා උළෙලට මෙවර හිමි විය. බොහෝ මාධ්‍ය ප්‍රවර්ග හා විශේෂයෙන් සමාජ මාධ්‍ය යාපනය පිළිබඳ සාකච්ඡාව යළි විවර කළේ එහි දකින්නට ලැබුණු විශිෂ්ට සිනමා කෘතියක් නිසා හෝ උළෙල සිදු කළ, ඉහත කාර්යයට සමාන ක්‍රියාකාරකමක් නිසා නොව උළෙලින් ඉවත් කෙරුණු සිනමා කෘතියක් හේතුවෙනි. එම ඛේදනීය ඉරණමට ගොදුරුව තිබුණේ ජූඩ් රත්නම් අධ්‍යක්ෂණය කළ ‘Demons in Paradise’ චිත්‍රපටයයි.

Demons in Paradise’ චිත්‍රපටය යාපනය අන්තර්ජාතික සිනමා උළෙලට තෝරාගැනීමෙන් අනතුරුව යළි ඉවත් කිරීම ප්‍රශ්න කළ යුත්තක් බවට කිසිදු විවාදයක් නැත. සියලු ආකාරයේ වාරණ ස්වරූප ප්‍රශ්න කරන්නට තරම් අප ශක්තිමත් වීම දියුණු සමාජයක් පිළිබඳ සිහින දකින්නන් ලෙස අප තුටු විය යුත්තකි. ඒ වාරණයට එරෙහිව යමින් ස්වකීය කෘතිය උළෙලෙන් ඉවත් කරගත් මාලක දේවප්‍රිය ගැනත්, සිය කෘතිය ඉවත් කරගන්නට නොහැකිවීම පිළිබඳ වේදනාව ලියා තබමින් සිය විරෝධය දැක්වූ චින්තන ධර්මදාස ගැනත්, සිය කෘතිය උළෙලට රැගෙන ගොස් එහි සංවාදය අතරතුර පෙර වාරණය ගැන අදහස් දැක්වූ කිං රත්නම් ගැනත් එකිනෙකට වෙනස් ස්වරූපයේ ඇගයීමක් මෙන්ම ගෞරවයක් ද මා තුළ ඇත. ඒ හා සමග, උළෙල සංවිධායකයින් ‘Demons in Paradise’ ඉවත් වූ ප්‍රදර්ශන කාලය වෙනත් කෘතියකින් නොපුරවමින්, එය ‘හිස් වූ‘ කාල සමයක් බවට පත් කිරීමට සංවිධායකයින් කටයුතු කිරීම, ඉරාන රජය සිරගත කළ සිනමාකරු ජෆාර් ෆනාහි වෙනුවෙන් කෑන්ස් සිනමා උළෙල හිස් ආසනයක් වෙන් කිරීම හා සමාන බව දක්වමින් අශෝක හඳගම තැබූ සටහන ද විමසිය යුත්තේ මේ සියල්ල ප්‍රකාශනයේ නිදහස සීමා කිරීම පිළිබඳ පුරවැසි විරෝධතා හා අරගලයන්හි විවිධ ස්වරූප ප්‍රතියමාන කරනා හෙයිනි.

එහෙත්, ‘Demons in Paradise’ ප්‍රදර්ශනය අත්හිටුවීමට විරෝධය පළ කරමින් ම, අප විමසා බැලිය යුතු කලාප ගණනාවක් එහි තව දුරටත් වන බව මාගේ අදහසයි. ඇත්තටම අප යාපනයට යා යුත්තේ, අපේ චිත්‍රපටය එහි ප්‍රදර්ශනය කොට හෝ වෙනත් කෘතීන් විමසා බලා, නගරයේ පැරණිතම ‘තෝසේ කඩයට‘ ගොඩ වැදී උළුදු වඩේ කා, තල් අරක්කු බී, යළි පසු දා කොළඹ එන්නට ද? නැතිනම්, යාපනය අන්තර්ජාතික සිනමා උළෙල සීමා කරන තාප්පයෙන් පැන තරමකින් හෝ වටපිට විමසන්නට ද?


සිනමාව හා කලාව ලැදි, ස්වකීය ජීවිතය යම් පෙරටුගාමී ප්‍රවේශයක තබා උදම් අනන, සැබවින්ම ක්‍රියාකාරීත්වය තුළ දී වුව එවැනි කටයුතු හා සම්මාදම් වන පුරවැසි ප්‍රජාවකට වසරකට වරක් යාපනයට පැමිණ, කලාව රසවිඳිමින්ම, එහි ජීවිතය විමසා බලන්නට අවස්ථාවක් යාපනය අන්තර්ජාතික සිනමා උළෙල උදා කර දෙන බව මගේ හැඟීමයි. යාපන නගර මධ්‍යයේ ඇති මැජෙස්ටික් සිනෙෆ්ලෙක්ස් සිනමා සංකීර්ණයේ වායුසමීකරණය කළ ශාලාවේ දී හෝ යාපනය විශ්වවිද්‍යාලයේ කෛලාසපති වායුසමීකරණය කළ ශ්‍රවණාගාරයේ දී හෝ රාමුකරන ලද අවකාශයක ඔබට ජීවිතය මුණගැසිය හැකි වුව, සිනෙෆ්ලෙක්ස් සංකීර්ණය ඉදිරිපිටින් වැටී ඇති රෝහල් මාවත ඔස්සේ වෙරළ දෙසට ඇවිද ගොස් හෝ විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ඇති මාවතෙහි එක් ඉමක් තෝරාගෙන ඇවිද ගොස් හෝ රාමු නොකරන ලද ජීවිතය හමුවීමට ද ඔබට හැකි බව අමතක නොකළ යුත්තකි. තිරයේ ජීවිතය කුඩා ය; රාමුගත ය; විනාඩි සියයකින් හමාරකින් කෙළවර වන සුළු ය. නමුත්, එළියේ ජීවිතය අපරිමිත ය; විශාල ය; කාල සීමාවලින් සීමාව හඳුනාගත නොහැකි තරම් ය.

ගෙවුණු වසර තුනේ දීම උළෙලෙහි නිත්‍ය සාමාජිකයකු වූ මම මේ වටපිට ‘රස්තියාදු‘ හරහා මුණගැසෙන ජීවිතය විඳින්නට ආශා කළෙමි. එය මවෙත ගෙන ආවේ පැහැදිලි කළ නොහැකි වේදනාවකි. යුද්ධය නිම වී වසර ගණනකින් පසු වුව, ජීවිතය සොයා ඇවිදින බොහෝ පිරිස් තවමත් එහි වෙයි. කවදා සිය හිමිකරු ඒ දැයි මග බලන මෙන් සිය සිරුර මතින් නැගී ඇති විසල් රුක්ෂවලට කොඳුරන ගරා වැටුණු නිවාස එහි වෙයි.
සිනමා උළෙලක් සංවිධානය අසීමිත වෙහෙසක් බව උළෙල සංවිධායකයින් හා සමීපව කටයුතු කර ඇති මම හොඳින් දනිමි. උළෙල වාර්ෂිකව ගෙනෙන අනෝමා රාජකරුණා ප්‍රමුඛ පිරිසෙහි කැපවීමත්, ඔවුන් නැති තැන ඔවුන් වෙත සංග්‍රහ කරන පරුෂ වචනත්, ඇති තැන වන වැළඳ ගැනීමුත් මා ඇසින් දැක ඇත. කෙසේ වුවත් ඒ සංවිධානය යනු අපරිමිත කාර්යයකි. කෙළවර හමු වන්නේ මනා මහරු උළෙලකි. එය අපට ලොව වටා මානව දයාවෙන් පිරි සිනමාකරුවන් රැසකගේ කෘති වාර්ෂිකව මුණගස්වයි.

කෙසේ වුවත්, අගනුවරින් නික්ම අප යාපනයට යා යුත්තේ උළෙල තාප්පයෙන් ඔබ්බට පනින්නටත් තත්‍ය යාපන ජීවිතය දෙස සුළු හෝ බැල්මක් හෙළන්නටත් ඉඩ තබා ගනිමිනි. වාරණයට එරෙහි වෙමු. ඒ හා සමග අපට ඇති එකම ජාත්‍යන්තර සිනමා උළෙල රැක ගනිමු. වසරකට වරක් හෝ සිනමා අවකාශය වෙතටත්, ඉන් ඔබ්බටත්, අප මේ ‘ජීවිත සංචාරයේ‘ යෙදුණහොත් පතිරාජයන්ගේ තුටු කඳුළෙහි අරුත වැටහී යනු ඇත. කෛලාසපති මහාචාර්යවරයා දුටු ‘කීර්තිය‘ කවරේදැයි පෙනී යනු ඇත‍.


-ප්‍රියන්ත ෆොන්සේකා -  

Wednesday, September 19, 2018

‘ඉලක්කය’ ඉහළට නම්...



(2018 සැප්තැම්බර් 09 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)



ගෝල්චිත්‍රපටය සිය සිනමා තිර අවකාශ සරණයේ අවසන් අදියර පසු කරමින් සිටී. තව දින කිහිපයකින් එය සිනමා ශාලාවලින් ඉවත්ව යනු ඇත. රොහාන් පෙරේරා අප වෙත ආසන්න කාල සමයන්හිදී තිළිණ කළ චිත්‍රපට පෙළෙහි තුන්වැන්නද, ‘කුඩා දරුවන් ඇසුරින් සිදු කළ අනගි නිමැවුමක්යයන සටහන යළිත් සිනමාව සම්බන්ධ සටහන්වල ලියා තැබෙනු ඇත. මේ වන විටත් හමුවන බොහෝ විචාර සටහන් සහ සමාජ මාධ්‍ය ජාල සටහන් ඒ බවට දෙස් දී හමාර ය.

ප්‍රේක්ෂක ආකර්ෂණය මනාව දිනා ගනිමින්, ඉතා බුහුටිව සිය උපකරණ සහ නළු නිළි පිරිස් මෙහෙයවා,  සිත් ඇදගන්නා සුළු ආඛ්‍යානයක් තිරය මත මැවීම අතින් රොහාන් පෙරේරා තරම් සුහුරු සිනමාකරුවකු මෑතකාලීනව ජනප්‍රිය සිනමා ධාරාව වෙත නොආ තරම් ය. තිසර ඉඹුලාන නිනෝ ලයිව්  සමගින් සමාන බුහුටි නිර්මාණයක් ගෙන ආ නමුත් ඔහුගේ ඉදිරි පියවර මෙරට සිනමාවේ දරිද්‍රතා හමුවේ ඇන හිට ඇත. තවත් තරුණ සිනමාකරුවන්ද ඉඹුලානට පසුපසින්, ජනප්‍රිය සිනමාව වෙත ප්‍රවේශ සිහින දකිමින් සිටින බව නොඅනුමානය.



මගේ අද පිවිසුම ගෝල්සිනමාපටය පිළිබඳ විවරණයකට නොවේ. ගෝල්වැනි, සිනමා රූප වියමන් ජනප්‍රිය ආඛ්‍යානයන් වෙත මෙහෙයවන්නට පෙරමුණ ගන්නා තරුණ සිනමාකරුවන් දෘෂ්ටිවාදීව වඩා පොහොසත් සිනමා වියමන් වෙත සිය ආම්පන්න මෙහෙය විය යුත්තේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡාවකට මුල් පියවරක් තැබීමට ය. සිය නිර්මාණය සමග ශාලාව තුළ සිට ඒකාත්මික වන ප්‍රේක්ෂකයා යම් පියවරකින් හෝ ඔසවා තැබිය හැකි, අක්‍රිය, සියල්ල එලෙසම පිළිගන්නා ප්‍රේක්ෂකයකු නොකරන, ගණුදෙනු කළ හැකි කෘතියක් නිර්මාණය කරන්නට අවැසි අඩුමකුඩුම ගැන විමසා බලන්නට ය.

ගෝල්චිත්‍රපටය ශාලාව තුළ මුණගැසුණු විගස මගේ මතකය තුළට ආවේ මින් වසර කිහිපයකට පෙර ගුවන් ගමනක් අතරතුර මට මුණගැසුණු දකුණු කොරියානු/ ජපාන හවුල් නිෂ්පාදනයක් වූ සිනමා කෘතියකි.  සත්‍ය පුවතක් පසුබිම් කරගත් එහි නම ඉංග්‍රීසි බසින් සටහන්ව තිබුනේ A Barefoot Dream යනුවෙනි.




ගෝල්මට අ බෙය ෆූට් ඩ්‍රීම්ස්සිහි ගැන්වුයේ ඇයි? මූලික වශයෙන් මෙහි කතා පුවත් දෙකම එක හා සමානය. කිසිම දිනක පාපන්දු පිටියකට පය නොතැබූ කුඩා දරුවන් පිරිසක් මෙහෙයවන දක්ෂ ගුරුවරයෙක් සිය ඉලක්කය සපුරා ගනිමින්, දරුවන්ගේ සිහිනයද දිනා දෙමින්, පාපන්දු ලොව තුළ ජයකෙහෙළි නංවයි. කෘති දෙකේම දරුවන් පාපන්දුවට කෝඩුකාරයින්ය; දරුවන්ගේ දෙමාපියන් දුප්පතුන්ය; දරුවන්ගේ වටපිටාව මේ සඳහා උදව් නොදෙන තරම්ය. එහෙත් කෘති කෙළවර ආපසු හැරී බලන්නෙකුට, එක් එක් කෘති වෙන් වෙන්ව මුනගස්වන සාකච්ඡාවන් කුමන ආකාරයක් ගනීද? ගෝල්අප වෙත තබන ලද දේ සහ සංවේදනාවන් කෘතිය දුටු සියල්ලන්ට අඩුවැඩි වශයෙන් මතක ඇති බව සිතන හෙයින්ම මඍජුවම කොරියානු/ජපාන කෘතිය වෙත ඔබ කැඳවා යමි.

කිම් වොන් කාන් සිය බලාපොරොත්තු සපල කරගන්නට නොහැකිවූ, විශ්‍රාමික දකුණු කොරියානු පාපන්දු ක්‍රීඩකයෙකි. ඔහු සියල්ල අතහැර නව සියවස සමගින් බිහිවුණු දේශය වූ නැගෙනහිර ටිමෝරය වෙත පිටත්ව යන්නේ එහි නව ව්‍යාපාරයක් අරඹමින් ආර්ථිකව හෝ ශක්තිමත් වන්නට ය. ටිමෝරයේ දිවි අරඹා ටික දිනකින් වීදි දරුවන් පිරිසක් නිරුවත් දෙපයින් පාපන්දු ක්‍රීඩාවේ නිරතව සිටිනු දකින කිම් පාපන්දු පාවහන් සහ ජර්සි සාප්පුවක් විවෘත කරන්නට තීරණය කරයි. එහෙත් යළිත් ඔහු පරාජය වන්නේ පාවහන් මිලට ගන්නට තරම් වත්කමක් ඇති දරුවන් එහි හමු නොවන බැවිනි. එක්වරම නැගී ආ මහරු සිතුවිල්ලකින් පසු කිම් වීදි දරුවන්ට පාපන්දු උගන්වන්නට තීරණය කරයි. අදහස ඔහු නිවැරදි මාවතකට කැඳවා ඇති බව හැඟෙත්ම සිහිනය විසල් වෙයි. එනම් ජපානයේ පැවැත්වෙන ජාත්‍යන්තර යොවුන් පාපන්දු තරඟාවලිය ජය ලබන්නට ය.

සිහිනයක් යථාවක් බවට පත් කරගන්නට වෙර දරන තරුණ පාපන්දු ගුරුවරයෙක් සහ වීදි දරු පිරිසක් අතර නැගී එන සියුම් මානව ගණුදෙනුවලින් පිරි චිත්‍රපටය එහි ධාවන කාලය මුළුල්ලේ පාපන්දු පිටියට ඔබ්බෙන් වන, රූප රාමුවෙන්ද පිටතින් වන ලෝකය අප අභිමුව මවයි. ඒ එහි යටිපෙළ අරුත් මනාව හා පිරිසියුම්ව වියමන් කරමිනි. දරිද්‍රතාව සමග එන නැගෙනහිර ටිමෝරයේ ඛේදනීය සමාජ පසුබිම සැඟව ඇත්තේ දරුවන් ඩොලරයෙන් ඩොලරය එකතු කරමින් මිලට ගන්නට වෙර දරන පාපන්දු පාවහන් පසුපස ය. සමාජ විෂමතාව සැඟව ඇත්තේ පාපන්දු කණ්ඩායමේ සාමාජික වීදි දරුවකු වෙනුවෙන් සියල්ල කැප කරන්නට බලා සිටින ඔහුගේ කුඩා නැගණිය පසුපස ය.

ගෝල්ආකර්ශනීය සිතුවමක් වුවත් මේ සත්තාවන් හා කරන ගණුදෙනුව දුර්වල ය.  ගුරුවරයාගේ වයස්ගත බව ඔහුගේ දක්ෂකම්වලින් හා අතීත වෘත්තයෙන් වැසී යනු ඇතත් හිටි අඩියේ පහල වන මිළ අධික පාවහන් සහ ජර්සි බිඳ දමන්නේ විශ්වසනීය බව පමණක් නොවේ. වඩා සරු සහ මහරු ලෙස කැටයම් කරන්නට ඉඩ තිබුණු, රූප වියමනෙහි සංකේතීයව සඟවා තිබුණු අවස්ථාවන් ය.

සිනමා නිර්මාණකරණය හමුවේ අප දේශීය කෘති වෙත සාපේක්ෂ වෙමින් සිදු කරන අපට කළ හැකි සහ නොකළ හැකිදේ පිළිබඳ සීමා තාක්ෂණික මෙවලම් සහ වෙන් කෙරෙන නිෂ්පාදන වියදම් හමුවේ පමණක් විමසා බැලිය යුත්තකි. ආඛ්‍යානය ගොඩ නැගීම තුළ ජය ගත හැකි, ගැඹුරු සමාජ දේශපාලනික සාකච්ඡාව මග හැරයාම සිනමාව අපේ ඉලක්කයෙන්නැතිනම් ගෝලයෙන්පිටතට විතැන් කිරීමකි. ඉලක්කයඉහළට නම් වඩා හරවත් රූපමය වියමන් හමුවිය යුත්තේ කලාගාර සිනමාව තුළ පමණකිය යන අදහසින් අප ඉවතට පැමිණිය යුතුය. මෑතකාලීන දකුණු කොරියානු සිනමාව යළි නැගී සිටියේ එහි ඔවුන් තැනූ සියලු සිනමා ශානරයන්ට අයත් සිනමාපට තුළම වඩා පොහොනි රූප වියමන් හා ආඛ්‍යානයන් ගොඩනංවමිනි.

අ බෙයා ෆුට් ඩ්‍රීම්ස්මා දුටු ගුවන් ගමන, විදේශයකදී මවෙත ලැබෙන පියාගේ මරණය පිලිබඳ පුවතින් පසු මා යළි මව්රටට ආ ගුවන් ගමනයි. සලිතව, වේදනාබරිතව මෙරටට ගුවන් යානය ලංවන තුරු වන කාලය ගෙවාගන්නට උදව් දුන්නේ කිම් සහ දරු පිරිසයි. ජයගත නොහැකි ඉලක්ක දිනාගන්නා ඔහු වෙතින් මම මපියානන් යළි දිටිමි. ඒ කෘතියේ සුහුරු වියමන් හරහා එහි යටි පෙළ මා මනස් අභ්‍යන්තරය වෙත කිඳා බසිද්දී ය.

-ප්‍රියන්ත ෆොන්සේකා -

සේයාරුව: https://i.ytimg.com/vi/LS18-cqHCZo/maxresdefault.jpg

Wednesday, August 8, 2018

පතී සර්...! : අසම්මත ගුරුවරයා


ප්‍රවිශ්ටය

“පතී සර් ගැන ශිෂ්‍යයෙක් දකින හැටියට ලියන්න... ඔයාට තමයි ඒක කරන්න පුළුවන්!“

ඔබ අතැති මේ කෘතිය සම්පාදනය වන අවධියේ මා ඇමතූ අතුල සර් (අතුල සමරකෝන්) කියා සිටියේ ය. මහාචාර්ය සිවමෝහන් සුමති, සෙනේෂ් බණ්ඩාර දිසානායක ඇතුළු කෘතිය හා සම්බන්ධව උන් සෙසු පිරිස එය අනුමත කළ හ. මා වෙත ලද ගෞරවයක් ලෙස එය පිළිගත් මම මගේ ආදරණීය ගුරුවරයා ගැන ලියන්නට මහත් උද්දාමයෙන් පෑන අතට ගත්තෙමි. එහෙත්... මහා විසල් රුකක්ව අපට සෙවණ සදා දුන් ගුරුවරයෙකු, මග හෙළි කරමින් අප යන මග දෙස නෙත් යොමාගෙනම උන් ගුරුවරයකු, සරල වදනින් කියන්නේ නම්... ඔබ සිත තුළ මැවී නැගෙන ‘සම්මත උත්තම ස්වරූපයේ‘ ගුරුවරයකු මා අභියස නොමැති බව මට වැටහෙන්නට ගත්තේ ‘පතී සර්‘ ගැන අතීතය දෙසට හැරී මෙනෙහි කරන්නට ගත් පසු ය. ඔහු ‘සම්මත‘ ගුරුවරයෙකු ලෙස අප අභියස කිසි දිනක පෙනී සිට නොමැති බවත්, විසල් රුකක්ව අප සෙවණක තබා තනා නොමැති බවත් මට පසක් වූයේ, එක් එක් අවධි හරහා දශක දෙකකට ආසන්න කාලයක් පුරා ඔහු වෙතින් ලද ඇසුර සිහි කරන විට ය. ඔහු ‘අසම්මත‘ ගුරුවරයෙකි; සෙවණ සාදන රුකක් වෙනුවට ආලෝකය අප මත පතිත වන්නට සියලු අතු පතර මෑත් කරමින් දුරින් සිට බලා උන් කදිම මිනිසෙකි!

‘සම්මත‘ රූප මකා දමන්නට සිදු වීම ගැන කිසිවකු උරණ නොවනු ඇතැයි යන අපේක්ෂාවෙන් ඒ අසම්මත ගුරුවරයා ගැන දැන් මම ලියමි!


‘පතී සර්‘ මුලින්ම අපට මුණ ගැසෙන්නේ 1999 වර්ෂයේ දී ය. පේරාදෙණියේ ශාස්ත්‍ර‍ පීඨයේ පළමු වසර කෙළවර කර උන් අපි ජනප්‍රියව තිබුණු හා ආකර්ෂණීයව තිබුණු සිංහල සහ පුරා විද්‍යාව අතහැර ලලිත කලා විෂයය විශේෂ උපාධිය සඳහා තෝරා ගතිමු (‘අපි‘ යනුවෙන් යෙදෙන්නේ මා සමග සංජීව කුමාර සහ සුදර්ශන බණ්ඩාර යන මිතුරන් දෙදෙනා ද වූ හෙයිනි.). සිංහල අධ්‍යයනාංශය යටතේ පාඨමාලාවක් ලෙස පමණක් පැවති ලලිත කලා විෂයය තෝරා ගැනීම තරමක දඩබ්බර තීරණයක් වූ අතර එහි විශේෂ විෂයය වෙනුවෙන් ද අපි කුඩා අරගලයක් දියත් කළෙමු. ඒ, එවකට එහි පාඨමාලා සම්බන්ධීකාරක ලෙස කටයුතු කළ ආචාර්ය මයිකල් ප්‍ර‍නාන්දු හමුවේ මෙවැන්නක් පවසමිනි.

“සර්... අපි ෆයින් ආට්ස් ස්පෙෂල් කරන්න කැමතියි. හැබැයි ෆිල්ම් ඇන්ඩ් ටෙලිවිෂන්වලින්. නාට්‍ය හා රංගකලාව හරි සංගීතය හරි එක්ක නං නෙවෙයි!“

“ඒක සිලබස් එකේ තිබුණට තාම අපිට ඔෆර් කරන්න බැහැනෙ. කවුද උගන්නන්නෙ?“ මයිකල් සර් පිළිතුරු දුන්නේ ය.

“එහෙනං අපි පුරා විද්‍යාව කරන්න යනවා“

“හරි... මට දවස් කීපයක් දෙන්න. බලමු මොනවද කරන්න පුළුවන් කියල“

අනතුරුව එළඹුණු සතියේ අපට කතා කළ මයිකල් සර් සිනමාව හා ටෙලිවිෂනය සඳහා ගුරුවරුන් සොයාගත් බව කියා පාඨමාලාවට ලියාපදිංචි වන්නට අපට ආරාධනා කළේ ය. සිනමා ඉතිහාසය සහ සිනමා කලාව හඳුන්වා දෙන්නට ගාමිණී වේරගම මහතා පේරාදෙණියට ආ අතර ටෙලිවිෂනය ගැන කියා දෙන්නට සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතා පැමිණියේ ය. ලෝක සිනමා ප්‍ර‍වණතාවන් ගැන සාකච්ඡා කරමින් සිනමා න්‍යාය ගැන කතා කරන්නට ආවේ ‘පතී සර්‘ ය; ආචාර්ය ධර්මසේන පතිරාජ ය.

පතී සර් බොහෝ දිනවල නියමිත වේලාවට දේශනය පටන් ගත්තේ නැත. ගණනින් පස් දෙනෙක් වූ අප කණ්ඩායම වෙත ඔහුම ඔසවාගෙන එන වීඑච්එස් පටවලින් තෝරාගත් සිනමා කෘතියක් බලන්නට සැලැස්වූ ඔහු මයිකල් සර්ගේ කාමරයට වී පැය භාගයක් පමණ ගත කළේ ය. ඒ සර් සමග ආගිය තොරතුරු කතා කරන්නට නම් නොවේ. ‘Film Art: An Introduction’ වැනි පොතක් පෙරළමින් ඉදිරි පැය කිහිපයේ සාකච්ඡාවට පසුබිම හදාගන්නට ය. සතියකට හෝ දිනකට දෙකකට පෙර ඔහු අපගේ දේශනයට පෙර සූදානම් වන්නට ඇතැයි මට නොසිතුණේම මේ ‘පැය භාගයේ භාවනාව‘ ඔහු නිරතුරුව සිදු කළ හෙයිනි. නමුත් ඉන් පසු එළඹෙන පැය කිහිපය මට නම් අසීමිත ලෙස රසවත් විය. මිනිත්තු විස්සකින් තිහකින් කළඹවා ගත් මනස හරහා ඔහු සිය සිනමා දැනුම් සයුර අප වෙත විවර කර දුන් හෙයිනි.

සර්ගේ දේශන ශෛලිය අතිශය රසවත් වී යැයි මා මෙතන ලියා තැබුවහොත් එය බොරුවක් බව මගේ අනිත් සගයින් කියන්නට බැරි නැත. නමුත් එය ගැඹුරු විය. හරවත් විය. සිනමාවට පෙම් බඳින්නෙකුට සිනමා සයුර වෙත පැද යා හැකි පහුරක් බවට එය පත් කර ගත හැකි විය. නැටුම් විෂයය හදාරන්නට නොමැතිකම නිසා එතැනට පැමිණි මිතුරියන් දෙදෙනාත්, චිත්‍ර‍ කලාව හදාරන්නට නොමැතිකම නිසා එතැනට පැමිණි මිතුරන් දෙදෙනාත් සමග සිනමාවම විමසූ තනි මට සිදු වූයේ ඒ පහුර බොහෝ විට තනිව පැද යන්නට ය.

“මම මේව මොනෑෂ් ඉන්න කාලෙ රෙකෝඩ් කරගත්තෙ. එහෙ ෆිල්ම් ක්ලැසික්ස්ම ගිය ටීවී චැනල් එකක් තිබුණ. උදේට යද්දි ටයිමර් එකත් එක්ක රෙකෝඩ් වෙන්න දාල යනව... හවසට ගන්නව“

Birth of a Nation, Cabinet of Dr.Caligari සිට සියලු සිනමා පට ගැන ඔහු සාකච්ඡා කළේ අදාල කෘති අප අත තබමිනි.

“මම ලබන සතියෙ එද්දි බලල තියන්න!“

ඔහු සිනමා පට තොගයක් තබාගියත් සතිය ඇතුළත බලා නිම කරන්නට අප මිතුරු කැළ දක්ෂ විය. ඒ පටයේ වැඩි කොටසක් ‘ෆාස්ට් ෆෝවඩ්‘ කරමිනි! හැකි නම් වෙනම මොහොතක සිනමා පටය තනිව නැරඹුවා නම් මිස, ඊට එරෙහිව තනි මා දියත් කළ අරගලයක් නම් නැත.

“ඕවා කාටද බං බලන්න පුළුවන්...? මහ කම්මැලි වැඩක්නෙ.“

සිනමාව බිහිවූ යුගයේ ධාවන වේගය පවා වෙනස් වුණු ‘කම්මැලි ජාතියේ‘ නිහඬ චිත්‍ර‍පටවල සිට ඉතාලි නවයථාර්ථවාදය සහ ප්‍ර‍ංශ නවරැල්ල තෙක් සිනමා කෘති තොගයක් සෑම සති අන්තයකම පතී සර් අප වෙත උස්සාගෙන ආවේ ය. ජර්මානු ප්‍ර‍කාශනවාදය ගැන කතාබහ දෙවන ලෝක යුද්ධයෙන් මෙපිටට පනින විට සර්ගේ දේශනවල ජවය ද සමානුපාතික ලෙස වෙනස් වූයේ ඉතාලි හා ප්‍ර‍ංශ සිනමා ප්‍ර‍වණතා ඔහු වෙත ද තදින් බලපාන්නට ඇති නිසා බව මට සිතුණේ පසු කලෙක ය.

සති අන්ත සෙනසුරාදාව වෙන් කරගත් සර්ගේ දේශන බොහෝ දිනවල නියම කරගෙන සිටි හෝරාව තෙක් දිගු වූයේ නැත.

“අපි කන්න ඕනෙ නේ ද?“ දවල් එක පමණ වන විට මෙසේ කියමින් දේශනය නතර කරන සර්,

“දවල්ට කාල දෙක දෙකාමාර වෙද්දි ඇවිත් ඉන්නකො“ කියමින් සිය රථයට නැග පිටව ගියේ ය. දෙක හමාරට  පමණ අධ්‍යයනාංශයට ආවේ දුරකථන ඇමතුමක් මිස සර් නොවේ.

“මං හවස එන්නෙ නෑ. ‘ලවෙන්තුරා‘ දාගෙන බලන්න. අපි ඒ ගැන ලබන සතියෙ කතා කරනවා“

විදේශ විශ්වවිද්‍යාලවල ‘සිනමා කෘති නැරඹීම‘ සඳහා කාල සටහන අනුව වෙන් කර තිබුණු වේලාවන් අප වෙත තීන්දු වූයේ එපරිදි ය.

ප්‍රායෝගික පුහුණු සැසි අප දෙපතුල වෙත ගෙන දෙනු වෙනුවට ඔහු දුෂ්කර ක්‍රියා කරමින් ඒ ලබාගන්නට අප යොමු කරවී ය. පේරාදෙණියේ සිට පොල්හේන්ගොඩ රජයේ චිත්‍ර‍පට අංශය වෙත පැමිණ කැමරාකරණය ගැන ලාල් වික්‍ර‍මාරච්චි මහතාගෙන් ගුරුහරුකම් ලබාගන්නට සැලසීම එවැන්නකි. පේරාදෙණියේදී ම සංවිධානය කෙරුණු පුහුණු වැඩමුළුවලදී ද ඔහු කැමරා ආම්පන්න රැගෙන අපට විවිධ කෙටි චිත්‍ර‍පට කරන්නට ඉඩ සැලස්වී ය. එහෙත් ඒ මිනිස් චරිත භාවිතයට නොගෙන, ගසක් වැනි යමක් පමණක් වස්තු බීජය කොට ගනිමින් රූප සංරචනයට යෝජනා කරමිනි. පේරාදෙණියේ ‘එච්‘ ගස ගැන ශිෂ්‍ය අප කළ රූප එකතුව හරහා රිද්මය, සංරචනය, කැමරා භාවිතය ගැන අදහස් නිසංසලව අප වෙත ගලා එන්නට ඔහු ඉඩ සළසා තිබුණු බව මට හැඟී ගියේ නිර්මාණය කළ කෘතිය දෙස පසුකාලීනව විමසන විට ය.

අවසන් වසරට එළඹ, ස්වාධීන නිබන්ධනය ඉදිරිපත් කිරීමට කාලය එළඹුණු විට ‘ප්‍ර‍සන්න විතානගේගේ සිනමාව‘ ගැන හැදෑරීමට මම තීරණය කළෙමි. ඒ ගැන ප්‍ර‍සාදය පළ කළ මයිකල් සර් මාගේ මාර්ගෝපදේශකයා වශයෙන් පතී සර්ව පත් කළේ ය.

“පස්සෙන් ගිහින් කරගන්න වෙයි!“

මයිකල් සර් අනතුරු ඇඟවීමක් ද කළේ ය.

සිනමාවේ කතෘත්වය, යථාර්ථවාදය සහ අන්‍ය සිනමාවන්ගෙන් ලද ආභාසය යටතේ ප්‍ර‍සන්න විතානගේගේ සිනමාව දෙස පිවිස බලන්නැයි පතී සර් මට යෝජනා කළේ ය. ඒ, එක් එක් විෂයය ක්ෂේත්‍ර‍ පිළිබඳ ලියැවුණු ඉංග්‍රීසි ලේඛණ තොගයක් මා අත තබමිනි.

“කොහොම හරි පරිවර්තනය කරගන්න. ඒ කරල කියවන්න. මට පේන්නෙ නං ප්‍ර‍සන්නට ඉතාලි නවයථාර්ථවාදයයි, ප්‍ර‍ංශ නව රැල්ලයි සෑහෙන්න බලපාල තියෙනවා.“

“මට තදේට වැදුණෙ චීන පස්වෙනි පරම්පරාවෙ සිනමාවයි, ඉරාන නව සිනමාවයි...“ ප්‍ර‍සන්න විතානගේ හමු වී කළ සම්මුඛ සාකාච්ඡාවේදී ඔහු කීවේ ය. අලුතින් මුණගැසුණු සිනමා ප්‍ර‍වණතා ගැන සෙවූ මට ඒ ද්විත්වය සඳහාම ඉතාලි නව යථාර්ථවාදය සහ ප්‍ර‍ංශ නව රැල්ල දැඩිව බලපා ඇති බව කියවන්නට ලැබිණ.

ඉංග්‍රීසි ලේඛණ අතර මා ගිලී උන් සමයේම යුරෝපා සංචාරයකට ගිය පතී සර් මගේ නිබන්ධනය භාර දෙන කාල සීමාව තෙක්ම යළි පැමිණියේ නැත. ඒ නිසාම ගැඹුරු සාහිත්‍යයික පර්යේෂණයක් තිබූමුත් එහි විශ්ලේෂණය මනාව සිදු කරන්නට මට ඉඩ ලැබුණේ ද නැත. සර්ගේ පැමිණීම බලා හිඳ නොමැති තැන නිබන්ධනය භාර දෙන්නට කල් ඉල්ලන්නට ගිය විට මයිකල් සර්ගෙන් මට අසන්නට ලැබුණේ දෝස්මුරයකි.

“මං කිව්ව පස්සෙන් ගිහිල්ල කරගන්න කියල. කල් දෙන්නෙ නෑ. කොහොම හරි භාර දෙන්න!“

සාර්ථකව නිම කරන්නට නොහැකි වූ බව සිත කියූ පර්යේෂණ නිබන්ධනය පේරාදෙණියට භාර දී මා ප්‍ර‍ථම උපාධි කටයුතු හමාර කළේ පතී සර් මුණ නොගැසී ම ය. ප්‍ර‍තිඵල නිකුත් වූ පසු, මා බලාපොරොත්තු නොවූ මොහොතක, ලලිත කලා අධ්‍යයනාංශයේ සිනමාව පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන්නට මට ආරාධනා ලැබිණ. මාස කිහිපයකින් එහි සහකාර කථිකාචාර්ය ධූරයක් තෙක්ම එය දියුණු විය. පතී සර් යළිත් මට මුණ ගැසෙන්නට ඇත්තේ අධ්‍යයනාංශයේ ආචාර්ය මණ්ඩලයේ සාමාජිකත්වය ලද පසු විය යුතු ය.

“දැන් ඉතින් ප්‍රියන්තලටත් පුළුවන් වෙන්න ඕනෙ මේව ගැන උගන්නන්න“

සිය ආචාර්ය උපාධිය නිම කළ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ පාඨමාලා අත්පොත්, නන්විධ සිනමා පොත පත සහ චිත්‍ර‍පට අප වෙත තබමින් ඔහු නිතර කීවේ ය. සෙනසුරාදා දේශනවලට ඒ වනවිටත් පැමිණි සර් එකට පමණ නවත්වන දේශනයෙන් පසු මට මෙසේ කියන්නට පුරුදු විය.

“යමු මොනව හරි කාල එන්න“

සර්ගේ රථය පේරාදෙණිය ගලහ පාරේ ඉදිරියට ඇදෙන විට ඔහු අනාගත කටයුතු ගැන යම් අදහස් මට ඉදිරිපත් කළේ ය.

“ප්‍රියන්තට තියෙන්නෙ පෝස්ට් ග්‍රැජුවෙට් එකට කොහෙ හරි යන්න... ඔය මොනෑෂ් එහෙම හොඳයි.“

දැඩි බලපෑම් නොවුණු, සිත තුළ රෝපණය කළ කුඩා සිතුවිලි මාත්‍ර‍ වුණු ඒ අදහස් අප සිත් තුළ නැගී වැඩුණේ සෙමිනි. පර්යේෂණ උපාධියක් සඳහා සිඩ්නි විශ්වවිද්‍යාලය කරා මා පිටත්ව යන්නට තවත් වසර 7-8ක්ම ගත වූ නමුත් රිය පදවමින් ඔහු කී බොහෝ දේ එසේ අතු ඉති ලා වැඩී තිබිණි.

සෙනසුරාදා සවස දේශන, සිනමා පට නැරඹීමකට මාරු කිරීමේ හේතුව ඒ මෝටර් රථ ගමන් මට පැහැදිලි කර දුන්නේ ය.

“ප්‍රියන්ත මොනවද බොන්නෙ?“

ඔහු ඒ ප්‍ර‍ශ්නය මගෙන් ඇසුවේ රථය පේරාදෙණිය තානායමට හරවන තැන දී ය.

ශ්‍රී පාලි මණ්ඩපයට කථිකාචාර්යවරයෙකු ලෙස සම්බන්ධ වීමට මා අයදුම් කරන මොහොතේ, ඉල්ලීමක් නැතිවම සර් ආචාර්ය ටියුඩර් වීරසිංහට මා ගැන නිර්දේශ කොට තිබිණ. ඒ, පේරාදෙණියේ සේවය කළ සමයේ, විවිධ විශ්වවිද්‍යාල පුහුණු වැඩ සටහන් ආදියට, හිටි අඩියේ ම දැනුම් දෙමින්, මා ද සම්බන්ධ කරවමින් නේක ආකාරයේ උගැන්නුම් ක්‍ර‍ම අත්විඳින්නට ඉඩ සලසමිනි. එසේම පේරාදෙණියෙන්ම පශ්චාත් උපාධිය කරන්නට මා ගත් තීරණයත්, එහි උපදේශකවරයා ලෙස ඔහු ම තෝරාගන්නට ගත් තීරණයත් දුර්මුඛ කරමිනි!

“කොහෙ හරි යන්න!“

නිතර නොවූවත් ඔහු අමතකව යන්නට ඉඩ නොතබමින් එය මට කී ය.

මා ද සර්ගෙන් උගත් බව කියමින් තුටු වන අය මට එතරම් හමු වී නැත. සිය ශිෂ්‍යයින් ගැන කතා කරමින් සර් උදම් අනනු කිසිවිටකත් මට හමුවී නැත. ‘බහුචිතවාදියා‘ තනමින් වෘතාන්ත සිනමාවට පිවිසි මාලක දේවප්‍රිය ගැන නම් අවස්ථා කිහිපයකම සතුටින් සඳහන් කළ බව මතක ය. සර් ‘ගෝලයින්‘ තැනූවෙක් නොවේ. ඒ මගේ ගෝලයෙක් හෝ සිසුවෙක් යැයි කියමින් කිසිවකුට අයිතිවාසිකම් කියන්නට ගිය අයෙකු ද නොවේ. කළ යුතු දේ ගැන අණපනත් පනවමින් අප පෙළූ අයෙක් ද නොවේ. ඔහු කළේ යට කී ලෙස ආලෝකය ගලා එන්නට අතුපතර පෙහෙළි කිරීම ය. පසෙකට වී නිහඬව බලා සිටීම ය.

ශ්‍රී පාලි මණ්ඩපයේ සේවය කළ සමයේදීත්, සිඩ්නි විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හැදෑරූ සමයේදීත් සර් මට මුණගැසුණේ කලාතුරකිනි. එහෙත් වසරකින් හෝ දෙකකින් පසු හමුවුවත් ඔහු වෙතින් පැන නැඟුණු උණුසුම්, සෙනෙහස මුසු, ඇමතුම වෙනස් වූයේ නැත.

“කොහොමද ප්‍රියන්ත?“

ඔහු බලාපොරොත්තු වූයේ ‘ඉන්නව සර්‘ වැනි පිළිතුරක් නොවේ. අපගේ වෛෂයික පිවිසුම් මොනවා ද යන්න හැඟවෙන බරසාර පිළිතුරකි. අප සමග වුව සාකච්ඡාවක් අනර්ථකාරීව ගෙවෙන බව දැනුණු විට සර් අප පිටත් කර හැරියේ මෙවැන්නක් කියමිනි.

“තාම කාලත් නැතුව ඇති නේ ද? ගිහින් බලන්න කැන්ටිමෙත් කෑම ඉවර වෙන්න බැරි නෑ!“

නිකරුණේ ගෙවෙනු ඇති බව සැක කළ ඇතැම් තැන්වල ඕනෑම කෙනෙකු මග හැර යන්නට පසුබට නොවූව ද බොහෝ අර්බුදකාරී මොහොතවල ඔහු අප අසළ සිට ගත්තේ ය. තමන් විශ්වාස කළ දේශපාලනයේ සිට ජීවිත දැක්ම දක්වාම එය එසේම විය. ‘පීතෘ භූමිකාවකට‘ සමැති ඔහුගේ ඉදිරිපත් වීම මට තදින් දැනුණේ මෑතකාලීනව මුහුණ දුන් දරුණු අර්බුද දෙකක දී ය. පළමුවැන්න කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රී පාලි මණ්ඩපය, පශ්චාත් උපාධි සහතිකයේ දිනය පිළිබඳ ගැටළුවක් මතු කරමින් මාගේ සේවය අහෝසි කළ මොහොත ය. දෙවැන්න මා කුලියට ගෙන සිටි නිවස 2016 දී පැමිණි ගංවතුරට යටවූ මොහොත ය.

‘ප්‍රියන්ත කොහේවත් යන්න ඕනෙ නැහැ. මෙතන ඔෆිස් එකට ඇවිත් වැඩක් කරගන්න. මේ ඕනෙ තරං ඉඩ තියෙන්නෙ. මෙතන ෆිල්ම් කෝස් එකත් කෝඩිනේට් කරන්න‘ ඔහු පළමු අවස්ථාවේ, ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ, සිය කාර්යාලය තුළ සිට කීවේ ය.

“මං දැන් ඉන්න රත්මලානෙ ගෙදරට ඇවිත් නතර වෙන්න. මං විතරමයි ඉන්නෙ... මහ රජ්ජුරුවො වාගෙ!“

ඔහු දෙවැනි අවස්ථාවේ දී කීවේ ය.

කාර්යාලයට නොගිය නමුත් මා ඔහුගේ ඇසුර ලබමින් ‘සිනමා අධ්‍යක්ෂණය හා සෞන්දර්යය‘ පිළිබඳ ඩිප්ලෝමාව සම්බන්ධීකරණය කළෙමි. එහි උගැන්වීමි. ඒ සමයේ චින්තන ධර්මදාස සිය ‘කල්ට් එක‘ කොලම හරහා ‘පතිරාජ ගෙදර යන්නැයි‘ කියූ විට සර් සිනමාව ගැන න්‍යායික රචනා පරිවර්තනය කරන්නට උත්සුක විය. හැත්තෑව ඉක්මවූ ඔහු තරමින් අප වැඩ නොකරන බව පසක් කරමින් ඒ වැඩවලට එක් වුණු සියල්ලන්ට වඩා සර් වැඩ කළේ ය. ‘පතිරාජගේ සිනමාව ගෙදර නොයා යුතු බව‘ සර් නොකී නමුත් ‘ස්වරූප‘ තිරයට පැමිණ එය කීවේ ය.

මාස කිහිපයකට පෙර තවත් මිතුරකු විසූ සර්ගේ රත්මලානේ නවාතැනෙහි ඉදිරිපස කාමරයේ මම ද නවාතැන් ගත්තේ කොළඹ එන දිනවල දී ය. සිය නිවස නිරතුරුව අපට විවර කළ ඔහු සිනමාව ගැන ලියවුණු පොතපත සිය එකතුවෙන් ගෙන කියවන්නැයි අපට ආරාධනා කර සිටියේ ය. උදෑසනක හෝ හවසක, ඉඩ ලැබුණු හැම මොහොතක, පෙර අප හා කියන්නට මග හැරුණු බොහෝ ජීවන අන්දර අපට කීවේ ය. කිසි විටෙක දියව නොයන මහා ශක්තියක්, ශාරීරිකව දුර්වල වුණු මොහොතක වුව, සර් තුළ විය.

ඔහු මුල් පුටුව දැරූ ශ්‍රී ලංකා මාධ්‍ය අභ්‍යාස ආයතනය (පූර්වයෙහි රූපවාහිනී අභ්‍යාස ආයතනය) ඩිජිටල් ෆිල්ම් ඇකඩමියට ලබා දෙන්නැයි ධනුෂ්ක ගුණතිලක එහි සිසුන් සමග එක්ව අරගල කරන විට එහි චෝදනාලාභී පක්ෂයේ සර් සිටියේ ය. ‘සක්කාරං‘ ප්‍ර‍තිගාමී සිනමා කෘතියකැයි භූපති නලින් ජර්මානු සංස්කෘතික ආයතනයේ දී නැගිට කියන විට සර් වේදිකාවේ සිට අසාගෙන සිටියේ ය. එහෙත්, පසුගිය වසරාවසානයේ ‘සිනමා අධ්‍යක්ෂණය හා සෞන්දර්යය‘ පාඨමාලාවට ආචාර්ය මණ්ඩලය සූදානම් කරන විට භූපතිටත්, ධනුෂ්කටත් කතා කරමු යැයි සර් යෝජනා කළේ තමන්ට හෝ කෘතීන්ට එරෙහිව නැගෙන විවේචන හා විරෝධතා පෞද්ගලිකව භාර නොගන්නා බව පසක් කරමිනි.

“උං දක්ෂ කොල්ලො“ සර් මා සමග කීවේ ය.

ඒ සියල්ල කෙසේ වුව, ඔහු සම්මත ගුරුවරයකු නොවන බව මා යළි කියන්නේ ඔහු අප වෙත කිසි විටෙක දැඩිව බලපෑමක් එල්ල නොකළ හෙයිනි. අප වෙත දැඩිව ආසක්ත නොවූ හෙයිනි. ඔහු බලා සිටියේ දුර සිට ය. අප ගැන සතුට ඔහු පෙන්වූයේ ටිකකි. අප දුක් වූ තැන අසළින් සිටීම ඊට වඩා වැඩි අගයක් ගත්තේ ය.

මා වෙත, අප වෙත එල්ල වුණු ඔහුගේ ආලෝකය, සිනමාවට අනුව වර නගන්නේ නම්, තීව්‍ර‍ සෙවණැලි නොතනන මෘදු ආලෝක ප්‍ර‍භවයකින් ලැබූ ආලෝකයක් වැන්නකි. එහි ප්‍ර‍භාවෙන් කිසි විටෙක අප දැවුණේ නැත. ඒ වෙනුවට, එහි සිසිල් ප්‍ර‍භාව මෘදුව විහිඳ ගොස් හාත්පස එළිය කොට, අපට සෙවණැලි හෝ තියුණු නොවන පසුබිමක් තැනී ය.

‘පතී සර්!‘ මගේ ගුරුවරයා වූයේ එලෙස ය!



-ප්‍රියන්ත ෆොන්සේකා - 


 (මෙම ලිපිය පසුගිය පෙබරවාරියේ සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය විසින් එළිදැක්වූ ‘පතී වත‘ කෘතිය වෙනුවෙන් මවිසින් රචනා කරන ලද්දකි.)