(2018 දෙසැම්බර් 09 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)
“දෙවියන්
හොඳයි. දෙවියන් විශිෂ්ටයි. බින් ලාඩන්ගේ දෙවියන් නරකයි. උගේ දෙවියන් නරක කෙනෙක්.
සදාම් හුසේන්ගේ දෙවියන්, උට එහෙම කෙනෙක් හිටියෙ නැති නම් හැර, නරක කෙනෙක්. ඌ
ම්ලේච්ඡයෙක්. අපි ම්ලේච්ඡයෝ නෙවෙයි. අපි මිනිස්සුන්ගෙ බෙලි කපා දාන්නෙ නෑ. අපි
විශ්වාස කරන්නෙ නිදහස. හරියට දෙවියන් වගේ!....“
මේ 2005
වර්ෂයේ දී නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද බ්‍රිතාන්‍ය ජාතික නාට්‍යකරුවකු
හා රචකයෙකු වූ හැරල්ඩ් පින්ටර් සිය සම්මානය ලබා ගැනීම වෙනුවෙන් සිදු කළ දීර්ඝ
දේශනය අතරතුර දී සිදු කළ එක් ප්‍රකාශයකි. ‘මගේ දෙවියන්‘ යනුවෙන් ඔහු මෙහි සඳහන්
කරන්නේ ස්වකීය දෙවියන් ගැන නොවේ. ඇමරිකානු ජනාධිපතිවරයාගේ දෙවියන් ගැන ය. එවකට,
ඔහුගේ දේශනයට අනුව, මූලිකව ජෝර්ජ් බුෂ් (කණිෂ්ඨ)ගේ දෙවියන් ගැන ය. ජෝර්ජ් බුෂ්ට දේශන ලියා දෙන්නට
කොතරම් දක්ෂ දේශන රචකයින් ඇතත් තමන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඉහත කොටස ද ඇතුළත්
දේශනය බුෂ්ට ලියා දෙන්නට සූදානම් බව පින්ටර් සඳහන් කරන්නේ ඇමරිකා එක්සත් ජනපදය
විශ්ව ව්‍යාප්ත මට්ටමින් සිදු කරන ත්‍රස්තවාදය පැතිරවීම්, ම්ලේච්ඡ යුද්ධ හා ඝාතන
ආදියට විරෝධය පළ කරමින් උපහාසය මුසු ආවේගාත්මක ස්වරයකිනි.
ස්වීඩන් ජාතික
ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ නාමයෙන් 1901 වසරේ පටන් පිරි නැමෙන, ලොව විශිෂ්ටතම ත්‍යාග
අතුරින් ඉහළින්ම තැබෙන, සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනාගනිමින් හැරල්ඩ්
පින්ටර් එය වේදිකාවක් කරගන්නේ නාට්‍ය රචනය හෝ සාහිත්‍යය ගැන යමක් කියන්නට නොවේ. මූලිකව
ආසන්න සමයේ ඉරාකය හමුවේ ඇමරිකා එක්සත් ජනපදය දියත් කළ මිලිටරි මැදිහත් වීමත්, ඊට
පෙර සමයන්හිදී විවිධ ආකාරවලින් නිකරගුවාව, එල් සැල්වදෝරය, ඉන්දුනීසියාව, ග්‍රීසිය,
හයිටි, බ්‍රසීලය, පැරගුවේ, තුර්කිය, පිලිපීනය, ගෝතමාලාව සහ චිලී රාජ්‍යය ඇතුළු
රටවල දේශපාලනික අවස්ථා හමුවේ සෘජුව හා වක්‍රව මැදිහත් වෙමින් සිදු කළ හෝ සිදු
වන්නට අනුබල දුන් ම්ලේච්ඡ සංහාර, මිනිස් ඝාතන හෝ මිනිස් ජීවිත අර්බුදයට යැවූ අරගල
නිර්මාණය කිරීමත් විවේචනය කරන්නට ය. “මහා මිනිස් සංහාරකයෙකු ලෙස නම් ලබන්නට‘
කොතරම් නම් ජීවිත ප්‍රමාණයක් බිල්ලට ගත යුතු දැයි ඔහු නිර්භයව ඇමරිකානු
ජනපතිවරයාගෙන් (හා සෙසු ලෝකයෙන්) ප්‍රශ්න කරයි.
සම්මාන
වේදිකාව මනුෂ්‍යත්වයට එරෙහි භීම පාලකස්ථානයට එරෙහිව හඬ නගන්නට හෝ වෙනයම් අයුරකින්
ස්වකීය ආස්ථානය ප්‍රකාශ කරන්නට භාවිත කළ එකම පුද්ගලයා හැරල්ඩ් පින්ටර් පමණක් නොවේ.
එසේම එය මෙවැනි ප්‍රකාශවලින් පමණක් සිදු වී ඇති දෙයක් ද නොවේ. සම්මානය ප්‍රතික්ෂේප
කිරීම, එය ලබාගෙන තමන් විශ්වාස කරන සුදුස්සාට එය ලැබිය යුතු බව ප්‍රකාශ කරමින් යළි
වෙනත් අයෙකුට ප්‍රදානය කිරීම, සම්මානය ලැබීමෙන් පසු ලැබෙන අවස්ථාවේ සිය අදහස ප්‍රකාශ
කිරීම මගින් යම් විරෝධයක් හෝ අදහසක් සමාජගත කරන්නට කටයුතු කිරීම මෙන්ම ලැබුණු
සම්මාන පසුකාලීනව යළි භාර දීම මගින් ද විවිධ රටවල පුරවැසියන් සිය ජයග්‍රාහී
කලාපයෙන් බැහැරව ස්වකීය දේශපාලනික හා සමාජ වගකීම වෙනුවෙන් උර දී කටයුතු කර ඇත.
මා මෙම කලාපය
වෙත මෙවර අවධානය යොමු කරන්නට තීරණය කළේ පසුගියදා නිමාව දුටු යෞවන සම්මාන උළෙලේ දී
තරුණ නාට්‍යකරුවන් දෙදෙනෙකු වූ සුරීන් චාමර සහ කසුන් චතුරංග විසින් උදය ගම්මන්පිල
සහ දුමින්ද දිසානායක යන දේශපාලඥයින් අතින් සිය සම්මාන ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීම
සම්බන්ධයෙන් පැන නැගුණු කතාබහ හේතුවෙනි. සුරීන්ගේ සහ කසුන්ගේ ප්‍රතික්ෂේපය වීර ක්‍රියාවක්
ලෙස දැකීම මෙන්ම ‘බාල මෝඩ ක්‍රියාවක්‘, උද්දච්චකමක්, පණ්ඩිතකමක් නොඑසේනම් නූගත්කම
නිසා සිදු කළ ක්‍රියාවක් ලෙස වරනැගීම ද මූලිකව සමාජ මාධ්‍ය ජාල හමුවේ වූ පසුවදන්
තුළ සඳහන්ව තිබෙනු දුටිමි.
බලාධිකාරියේ
නියෝජිතයින් වන දේශපාලකයින්ට සිය අදහස් සමාජගත කිරීම සඳහා විවිධ මාධ්‍ය කලාප
නිරතුරුව විවරව ඇත. අප රට හමුවේ වඩාත් ඛේදනීය තත්වයක වන මෙම අවකාශය සෘජුවම
පාලකයාගේ අදහස් පමණක්, කිසිදු සත්‍ය අසත්‍යතා විමසිල්ලකින් තොරව, මහජනතාව අභියස
තැබීමේ කලාපයක් බවට ඌනනය වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා පරමාධිපත්‍යය, නීතිය,
සදාචාරය, යහපාලනය ආදී ඉතා වැදගත් හා උත්තර ඇගයීම් හුදු අක්ෂර කිහිපයක එකතූන් පමණක්
බවට පත් කර ඇති වර්තමාන දේශපාලන විකට පිටිය අභියස මාධ්‍යයත් යළි යළිත් අවකාශ සළසා දෙන්නේ
එහි වන කිසිදු විනිසුරුවකු නැති, කාගේ ගෝල කණු කාගේ දැයි අපැහැදිලි මේ අභූතරූප
නාටකයටම නම් අප කුමක් කළ යුතුදැයි යන පැනය වගකීම්සහගත පුරවැසියකු තුළ ඇතිවීම
පුදුමයට කරුණක් නොවේ. ඉතා සුළු ඉංගිතයකින් හෝ ඉතා කෙටි පියවරයකින් හෝ මේ විකාරරූපී
පන්දු කෙළියෙහි යෙදෙමින් සමස්ථ රටක අනාගතය අනතුරේ හෙළන විපරීතයින්ට විරෝධය පළ
කිරීමට යමෙකු පියවර ගන්නේ නම් ඔහුට හෝ ඇයට ගෞරවය පුද කළ යුතු බව මම යෝජනා කරමි.
සාහිත්‍ය,
නාට්‍ය, සිනමා කෘති ඈ විවිධ කලා ප්‍රකාශනයන් වෙනුවෙන් රාජ්‍ය මට්ටමින් හෝ විවිධ
ආයතනික මට්ටමින් සම්මාන ප්‍රදානය කිරීම හා ඇගයීම ග්‍රීක යුගය තරම්ම ඈතට දිවෙන බව
අපි දනිමු. එහි වත්මන් භාවිතාව ස්වරූප ගණනාවකින් අප අභියස වෙයි. “ඇමතිවරයා ඇඳ දෙන
කොටු තුළ මම අඹ ඇට නොපනිමැයි“ සඳහන් කරමින් රාජ්‍ය නාට්‍ය උළෙල සඳහා තමන් සම්බන්ධ
වන නාට්‍ය ඉදිරිපත් කිරීමට විරුද්ධ වූ මා මිත්‍ර තරුණ නාට්‍යකරුවෙක් තර්ක කර
සිටියේ නාට්‍ය උළෙලක නිර්ණායක සෘජුවම රාජ්‍යයේ අවශ්‍යතාව නියෝජනය කරන හෙයින් ද,
වඩාත් මර්ධනකාරී ලෙස කලාකරුවන් ඇතුළු පුරවැසියන් හමුවේ රාජ්‍යය කටයුතු කරමින්
පවතින හෙයින් ද, ඔවුන්ගේ උළෙල ප්‍රතික්ෂේප කිරීම වඩාත් උචිත බවයි. එසේම විරෝධතා
එක් එක් ස්වරූපවලින් පැමිණිය හැකි බව මෙරට සම්මාන ඉතිහාසය ද අපට පෙන්වා දී ඇත.
රෝසි සේනානායකගෙන් සම්මාන නොගෙන වේදිකාවෙන් බැස ගිය සුනන්දා රණසිංහ, සිය සම්මානය
සඳහා ලැබුණු රුපියල් ලක්ෂයක මුදල යාපනය පුස්තකාලය ගොඩ නැගීම සඳහා ලබා දෙන්නැයි ප්‍රසිද්ධියේ
ඉල්ලා සිටි අශෝක හඳගම, තමන්ට ලැබුණු සම්මානයට නියම සුදුස්සා ප්‍රේමසිරි කේමදාසයන්
බව කියූ එච්.එම්.ජයවර්ධන, විජය කුමාරතුංග සිරගත කිරීමට විරෝධය පාමින් සම්මානය ප්‍රතික්ෂේප
කළ ප්‍රේමසිරි කේමදාස ආදී උදාහරණ මතකයට නැගෙතත් අප කිසිවකුගේ මතකය තුළ පවා සඳහනක්
ඉතිරි නොකරමින් අප්‍රසිද්ධියේම සම්මාන ප්‍රතික්ෂේප කළ පිරිසක් ද වන බව අප සිහිතබා
ගත යුතු ය.
සුරීන්ගේ සහ
කසුන්ගේ සම්මාන උළෙල විරෝධය වඩා පුළුල් අවකාශයක තබා සාකච්ඡා කරමින් කලාකරුවාගේ
භූමිකාව, ඔහුගේ වැඩබිම වන වේදිකාව තුළ පමණක් නොවන බවට වන අදහස අප විමසා බැලිය යුතු
ය. ඒ හා සමග අප වහා සිදු කළ යුත්තේ සුරීන් හා කසුන් වෙතින් සෘජුව විරෝධය එල්ල
නොවුණු, කලාකාර භූමිකාව තුළ රැඳෙන බවක් දක්වමින්ම, ඉහත කී පාලනාධිකාරයේ
නියෝජිතායතන බවට පත්ව ඇති සූරසේනලාගේ භූමිකා විමසීම ය. කලාව හා දේශපාලනය යා කරමින්
ඔවුන් ඇඳ ඇති නිර්ලජ්ජිත රේඛා හෙළි කරගැනීම සුරීන් හා කසුන් වැනි අනාගත තරුණ කලා
ප්‍රකාශකයින් හැරල්ඩ් පින්ටර් වැනි අභීත නිර්මාණකරුවන් තෙක් ඔසවා තැබීමට දායක වනු
ඇත. කලාව මතු නොව දේශපාලනයේ අනාගත හැඩරුව තීරණය කරන්නට ද දායක වනු ඇත.
-ප්‍රියන්ත
ෆොන්සේකා -
No comments:
Post a Comment