Tuesday, May 14, 2019

මිනිස් හදවත් දවා අළු කරන්නට පෙර...


(2019 මැයි 12 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

“මේ ෆිල්ම් එක බලන්න කලින් මට මුස්ලිම් ලෝකය ගැන, මිනිස්සු ගැන තිබ්බෙ පිළිකුලක්. ඒත් දැන් මට හිතෙනව ඒක වැරදියි කියල. සාරල, අලීල කියන්නෙ අපිම තමයි... මමයි මගෙ අයියයි වගේ...“

ඉහත කුඩා සටහන මා වෙත එවූ තරුණිය මා අදටත් හඳුනන්නේ නැත. 2005 වර්ෂයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨ පළමු වසර විද්‍යාර්ථීන් වෙනුවෙන් පැවැත්වූ පදනම් පාඨමාලාවකදී මා විසින් තිරගත කරවන්නට යෙදුණු ඉරාන චිත්‍රපටයක් වූ මජිඩ් මජිඩිගේ ‘Children of Heaven’ (දෙව්ලොව දරුවෝ) චිත්‍රපට දැක්මෙන් අනතුරුව හත්සියයක ප්‍රේක්ෂාගාරය තුළ සිට ඇය මට මෙය එවා තිබිණ. ඒ එවැනි අදහස් සහිත තවත් සටහන් තීරු සිය ගණනක් අතර තබමිනි. චිත්‍රපටය කෙළවර මා ඉල්ලා සිටි ‘ඔබට දැණුනු හැඟීමක් හෝ අදහසක් ලියා එවැන්නයි‘ කළ ඉල්ලීමට පිළිතුරක් වශයෙනි.

එසමය තුළ මෙරට සිනමාලෝලීන් අතරත් ජනප්‍රිය වුණු ‘දෙව්ලොව දරුවෝ‘හි හමුවන්නේ, අලුත්වැඩියා කරගැනීමට ගොස් රැගෙන එන අතරතුර, තමන් අතින් නැතිවූ සිය සය හැවිරිදි නැගණිය සාරාගේ පාවහන් යුවළ ඇය වෙත සොයාදෙන්නට හෝ නව පාවහන් යුවළක් ඇය වෙත ලබා දෙන්නටත්, ඒ වන තෙක් ඇගේ පාසැල් ගමන, දුප්පත් දෙමාපියන්ට කරුණු සඟවමින්ම, නොකඩවා සිදුකරගෙන යන්නටත් වෙර දරන, නව හැවිරිදි අලීගේත් (නැගණිය සාරාගේත්) කතා පුවතයි. චිත්‍රපටය ඇරඹී සුළු මොහොතකින් ප්‍රේක්ෂාගාරයේ සිත් පැහැරගන්නා මේ සුරතල් දරු දෙදෙන, ආරම්භයෙහි ලියූ සටහනෙහි පරිදි යළි හැරී සිතන්නට පෙළඹෙන ප්‍රේක්ෂකයෙකු වෙත, තමන්ගේ මානව ලෝකය දෙස හැරී බලන්නට ආරාධනා කරති.
 
අනපේක්ෂිත ත්‍රස්ත ප්‍රහාරයකින් පසු, දැන් ඉතා බරපතල ලෙස සැකය අපගේ සිත් තුළ වැඩී නැගෙමින් පවතින මොහොතෙහි යළිත් අලී සහ සාරලාගේ ලෝකය දෙස දයාවේ නෙත් විවර කරන්නට මම ඔබට ආරාධනා කරමි. ‘දෙව්ලොව දරුවෝ‘ ඒ අදහස අප වෙත ස්ථාපිත කළ ද එය එම ලෝකය මුණගස්වන එකම සිනමා කෘතිය නොවේ. එම සමාජය තුළ හමුවන ලක්ෂ ගණනක් වූ ‘අලීලා සහ සාරලාගේ‘ තරුණ සහ වැඩිහිටි අවදීන් මුහුණ දෙන අසීමිත දුෂ්කරතා සමග ඔවුන්ගේ මානව සබඳතා අපට හමුවන තවත් බොහෝ චිත්‍රපට අන්තර්ජාලයේ සුළු ‘රස්තියාදුවකින්‘ සොයාගැනීම අසීරු නැත.



මජිඩ් මජිඩිම තනන ‘බරාන්‘ (වැස්ස) එවැනි එක් සිනමා පටයකි. එහි මුණගැසෙන්නේ 17 හැවිරිදි ගැටවරයෙකු වන ලතීෆ් සහ ඔහු ගොඩනැගිල්ලක් තැනෙන බිමක ඔහු සිදුකරන එහි කම්කරුවන්ට තේ පැන් සාදා දීමේ පහසු රැකියාව හදිසියේම උදුරාගන්නා 14 හැවිරිදි ඇෆ්ගන් සරණාගාතයකු වන රහ්මාත් අතර ගොඩනැගෙන ගැටුමයි. සිය පහසු රැකියාව උදුරාගැනීම නිසා රහ්මාත් සමග උරණ වන ලතීෆ් මුලින් ‘ඔහු‘ සමග ගැටුමකට ගිය ද අහම්බෙන් යෙදුණු මොහොතක රහ්මාත් යනු පිරිමි වෙසින් රැකියාවට පැමිණ සිටින යෞවනියක බව දැනගත් පසු ඇයට පෙම් බඳින්නට පටන් ගනියි. ඉරාන නීති රීති, සරණාගතයින්ගෙන් ශ්‍රමය සූරාකෑම, ඔවුන්ගේ අති දුෂ්කර ජීවිතය මෙම පුවත සුන්දරව දිවෙන බොලිවුඩාකාර පෙම් පුවතක් අප වෙත තබන්නේ නැත. එහෙත් එය අප සරලමතිකව හා ඒකමානීයව දකින්නට තනන, ඉස්ලාම් ලෝකය කොතරම් විෂමාකාර බිමක්දැයි අපට පෙන්වා දෙයි. රහ්මාත්ගේත් පවුලේ සැමගේත් මෙන්ම ලක්ෂ ගණනක් වූ ඇෆ්ගන් සරණාගතයින්ගේත් ජීවිත අනතුරේ හෙළා තිබෙන්නේ ඉස්ලාම් මූලධර්මවාදයයි. එය මුස්ලිමුන් බේරා සෙසු ආගමික හා වාර්ගික ජීවිත පමණක් අනතුරට කැඳවන ක්‍රියාවලියක් නොවේ. මනුෂ්‍යත්වය මරා දමා ම්ලේච්ඡත්වය හා ත්‍රස්තය තිර කරන ක්‍රියාදාමයකි.

“දැන් ඔයා ලියන කොලම් එකේ ලියන්න මේ තත්වය ගැන... සිරියාවෙයි ඉරාකෙයි ISIS එක පැරැද්දුවෙත් මුස්ලිම් අයම තමයි. වෙනින් කවුරුවත් නෙවෙයි...!“

මේ ලිවීම ගැන දන්නා රාජ්‍ය නිලධාරියෙකු මට කතා කළ කීවේ එයයි. සැබවින්ම, ඉස්ලාම් මූලධර්මවාදය සමග සෘජුව අභිමුඛ වන ප්‍රධාන පිරිස ඉස්ලාම් ආගමිකයින්ම මිස අන් කවරකුදු නොවේ. සිරියාව හා ඉරාකය තුළ, ඇෆ්ගනිස්ථානය තුළ, පකිස්ථානය තුළ යනාදී වශයෙන් නොයෙක් නාමයන්ගෙන් පෙරට එන මූලධාර්මික ත්‍රස්ත කණ්ඩායම් සමග, කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එරෙහිව සිටගන්නේ ඔවුන්ම ය. ඔසාමාට එරෙහිව ‘ඔසාමා‘ සිනමා තිරය තුළ සිටගත් පරිදි ය!

1996න් පසු වසර 07කින් ඇෆ්ගනිස්ථානය තුළ තැනෙන ‘ඔසාමා‘ චිත්‍රපටය තලේබාන් මූලධර්මවාදයට එරෙහිව එහි නායකයාගේ නාමයම රූපකයක් ලෙස සිය නම තුළම තබමින් නිමැවූ නිර්භීත කෘතියකි. තලේබාන් රෙජීමය තුළ ස්ත්‍රියට එරෙහිව නැගුණු දහසක් මර්ධන නීතිවලට එරෙහිව කුඩා දැරියක් පිරිමි දරුවෙකු ලෙස වෙස්වලා ගනියි. ඇය තබාගන්නා නම ‘ඔසාමා‘ ය. ඇෆ්ගන් ඉතිහාසයේ විවිධ යුද්ධ නිසා අහිමි වුණු සිය පවුලේ පිරිමින් නිසා පවුලෙහි ආර්ථිකය ගොඩනැගීම ‘ඔසාමා‘ වෙත පැවරී ඇත. මද්‍රසා පාසැලක, පිරිමි දරුවන් සමග උගනිමින් සිටියදී වෙස් වළාගත් ‘ඔසාමා‘ හදිසියේම වැඩිවිය පත්වීම හේතුවෙන් ඇය දැරියක බව සෙසු පිරිස දැනගනියි. මුලින් මරා දැමීමට තීරණය වුවත් පසුව ඇගේ ජීවිත ඉරණම තීරණය වන්නේ මහල්ලෙකුගේ බිරින්දෑවරුන් අතර නවතම සාමාජිකාව බවට පත්වීමට ඇයට සිදුවීමෙනි.


බින් ලාඩන්ගේ මුල් නාමය චිත්‍රපට නාමය ලෙස තබමින් සිද්දික් බර්මාක් නමැති ඇෆ්ගනිස්ථාන අධ්‍යක්ෂකවරයා තැබූ, භයානක මෙන්ම නිර්භීත පියවර අපට මුණගස්වන්නේ මුස්ලිම් ජාතිකයෙකු ලෙස සිටිමින්ම තලේබාන් පාලනයට එරෙහිව ඔහු නගන විරෝධයයි. ඒ අතර, චිත්‍රපටයේ පුවත ඔස්සේ යමින් එක් අන්තයක අපට එක් ආඛ්‍යානයක් මුණගැසෙද්දී චිත්‍රපටයේ සැබෑ නළු නිළියන්ගේ ජීවිත ඔස්සේ යමින් විමසද්දී අපට සැබෑ මුස්ලිම් ජීවිතවල තවත් ආඛ්‍යාන බොහෝ ගණනක් මුණගැසෙයි.

‘ඔසාමා‘ගේ චරිතයට පණ පොවන කුඩා නිළිය වන මරීනා ගෝල්බාරි බර්මාක්ට මුණගැසෙන්නේ කාබුල් නගරයේ සිඟමන් යදිමින් ජීවිතය ගැටගසාගන්නා ප්‍රජාව අතරිනි. යන්තම් 14 වැනි වියට එළැඹෙද්දීම ඇය ‘ඔසාමා‘ චිත්‍රපටය හේතුවෙන් ලෝක අවධානයට පත් වෙයි. ඇයගේ රංගන කුසලතාවෙහි විශිෂ්ඨතාව පිළිබඳ ලෝක සිනමා විචාරකයෝ බොහෝ ඇගයුම් සටහන් ලියා තබති. එහෙත්, කොරියානු සිනමා උළෙලකට හිස වසා නොගෙන සහභාගී වීම හේතුවෙන් අසීමිත මරණ තර්ජන ලැබූ මරීනා අද ජීවත් වන්නේ සරණාගත තරුණියක ලෙස ප්‍රංශයේ ය.

අප සාකච්ඡා කළ ඉරාන සිනමාකරු මජිඩි මෙන්ම ඇෆ්ගන් සිනමාකරු බර්මාක් ද, ඔවුන්ගේ කෘති තුළ හමුවුණු අලී, සාරා, ලතීෆ්, ජමාත් සහ ඔසාමා ද, සැබැවින්ම චරිත නිරූපණයට එක් වූ, මරණ තර්ජන ලද මරීනා ද ආගමික භාවිතය තුළ මුස්ලිමුන් ය. එහෙත් ඔවුහු මූලධාර්මික ආගම්වාදය තිරය තුළත්, ඉන් පිටතත් ප්‍රතික්ෂේප කළ ප්‍රජාව නියෝජනය කරති. එය ත්‍රස්තය මඩින්නට ඇති එකම ස්ථිර මග යුද්ධය බව පිළිගැනීම ද නොවේ. එවැනි විශ්වාසයකින් අපට හමුවනු ඇත්තේ කුමක් ද?

තලේබාන් සංවිධානයට එරෙහිව සිදු කළ යුද්ධය හමුවේ ඇමරිකානු හමුදා සහ ඇෆ්ගනිස්ථාන රාජ්‍ය හමුදා වෙතින් ඝාතනය වූ සිවිල් පුරවැසියන් සංඛ්‍යාව තලේබාන් සංවිධානය විසින් ඝාතනය කෙරුණු පිරිසට වඩා ඉහළ බව ‘ද නිව්යෝක් ටයිම්ස්‘ පුවත්පතේ වෙබ් අඩවිය වෙත ඩේවිඩ් සුකචිනෝ ලියන්නේ මෙරට ප්‍රහාරයෙන් දින 03කට පසු අප්‍රේල් 24 වැනිදා කාබුල් නුවර සිට ය. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදු කරන ලද සංගණනයක් උපුටමිනි. එය මගේ නෙත ගැටුණේ ෆේස්බුක් අඩවියේ ඇති Muslims Against ISIS (අයිඑස්අයිස් සංවිධානයට එරෙහි මුස්ලිම්වරුන්) නමැති පිටුව තුළ උපුටා දක්වා තිබීම හේතුවෙනි.
ලාංකික ප්‍රජාව අභියස ඇති නව ත්‍රස්තවාදය අභ්‍යන්තර යුද්ධයක ස්වරූපයකට යොමුවන ස්වරූපයක් තවමත් නිරීක්ෂණය නොවේ. එය සතුටට කරුණකි. යුධමය තත්වයක හෝ බිහිසුණු ත්‍රස්තවාදී පසුබිමක ගොඩනැංවීම පහසු කරවමින් එම සංවිධාන පෝෂණය කරන්නේ වෛරය නංවමින් අනෙකා දෙස සැකයෙන් බැලීමෙන් මිස දයාර්ද්‍ර නෙතකින් ඔවුන් විමසීමෙන් නොවේ. 

‘බරාන්‘ චිත්‍රපටයේ ඇෆ්ගන් සරණාගත තරුණියට පෙම් බඳිමින් ඇය සොයා යන ලතීෆ්ට එම සරණාගත කඳවුරු අඩවියේ දී සපත්තු මසන්නෙකු මුණගැසෙයි. ලතීෆ් හමුවේ ඔහු පවසන පහත වදන් පෙළ අප සියල්ලෝම සිත් දරාගත යුතු බරකින් යුක්ත ය.

බෙදී නැගෙන උණුසුම් ගින්නෙහි ගිනි දළු මිනිස් හදවත් ද දවා අළු කරයි

-ප්‍රියන්ත ෆොන්සේකා -

No comments:

Post a Comment