Tuesday, December 3, 2019

මුර පද යොදා ගෙවුම් වාසල් ද්වාරයෙන් ඇතුළු වීම: අයිටී හෙවත් තොරතුරු තාක්ෂණය සිංහලෙන්


(2019 ‍දෙසැම්බර් 01 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

දිනකට දෙකකට පෙර මගේ සමීප මිතුරෙකු සිය ෆේස්බුක් අඩවිය මත පළ කර තිබුණු සටහනක් නැතිනම් පෝස්ටුවක් දැක මගේ ක්ෂණික අවධානය ඒ වෙත යොමු විය. ඔහු එහි තවකකු ලියූ සටහනක් යළි ලින්කුවක් ද සමග පළකොට නැතිනම් ෂෙයා කොට තිබුණේ පහත වැකිය ඉහළින් යොදා අවසානයට කල්පනාබරිත මුහුණක ඉමෝටිකොනයක් ද යොදමිනි. එය මෙසේ ය.

“ඔබගේ ලුණ්ඪිත නොවන මෘදුකාංග වල අවධිස්ථාපනය යාවත්කාලීන කර ගන්න“

ඔහු යළි පළකොට තිබුණු සටහන සිය වැඩිමහල් දියණිය මුහුණ දී ඇති අධ්‍යාපන ගැටළුවක් සම්බන්ධ වූවකි. ඒ සටහන අනුව පසුදා වාර විභාගය වෙනුවෙන් මුහුණ දිය යුතු තොරතුරු තාක්ෂණය හෙවත් අයිටී විෂයය සඳහා පාඩම් කළ කිසිවක් මතක නොමැති හෙයින් ඇය අඬමින් පසුවෙයි. ලියන්නා හෙවත් තාත්තා දියණියට මතක තබාගත නොහැකි තොරතුරු තාක්ෂණ විෂයය කරුණු කවරේදැයි සොයා බලද්දී ඔහු දකින්නේ සිංහල බසට නගා ඇති අදාල විෂයයේ පාරිභාෂික වදන් මාලාව භාවිතයට ගැනුණු දියණියගේ පෙළ පොතයි. එහි ඔහුට හමුවී ඇති වදන් කිහිපයක් මෙසේ ය;

හැඩසව් කිරීම, එකෙල්ල කිරීම,අනුකුරුහුරුව,කෝෂ පරාසය,අනුප්‍රයෝග ස්ථරය,අභිභූතත්වය...“

දියණියගේ වේදනාවට හේතුව තොරතුරු තාක්ෂණය නොව සිංහල භාෂාවේ මේ සිහි කැඳවිය නොහැකි වදන් මාලාව බව ඔහු දකියි. මගේ මිතුරා ඉහත සටහන පෙරමුණේ තබමින් සාකච්ඡාවට කැඳවන්නේ මේ උභතෝකෝටිකයයි.

1956 වර්ෂයේ සිංහලය පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කිරීමත් සමග බොහෝ විෂයයන් සිංහල බසින් ඉගැන්වීම සඳහා පිඹුරුපත් සැකසිණ. දමිළ බස ආන්තික කලාප වෙත තල්ලු වීම හේතුවෙන් ඇති වූ ඛේදනීය ව්‍යසනයන් බොහෝ වද්දී සිංහලය පෙරමුණට පැමිණීම හේතුවෙන් භාෂාවක් ලෙස එය පැමිණි පෙරගමන ද අපට නොතකා හැරිය නොහැක. පෙර දශකවල කිසිදු අයුරකින් සිංහල බසින් ඉගැන්විය නොහැකි යැයි විශ්වාස කෙරුණු රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, වීජ ගණිතය ඇතුළු බොහෝ නව විෂයයන් උසස් පෙළ මට්ටමෙන් නොනැවතී විශ්වවිද්‍යාල මට්ටම දක්වාම ඉගැන්වීම ඇරඹෙන්නට තරම් ශක්තියකින් තත් විෂයයන් සඳහා ගැලපෙන පාරිභාෂික වදන් නිර්මාණය වීමත්, එය භාවිතයට යෙදවීමත් ඉතා කෙටි කලකින් සිදුවූ අතර 70-80 දශකවලට එද්දී සිංහලෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරූ විද්‍යා ගුරුවරු අපට පාසැල් පද්ධතිය තුළ මුණගැසෙන්නට ද පටන් ගත්තේ ය. අද භාෂාත්‍රයෙන්ම මෙම විෂයය හදාරන සිසු සිසුවියන් හා උගන්වන ගුරුවර ගුරුවරියන් අපට මුණ ගැසෙතත් සිංහල පාරිභාෂිත වදන් සහ ඒ යොදා මුල් අවදියේ සැකසූ විෂයය ප්‍රවේශ මෙන්ම පෙළ පොත් ද, ගුරු-සිසු දෙපිරිසේම භාවිතයට පරිවර්තනය කෙරුණු ලොව ප්‍රමුඛ විද්‍යා පොත් ද අදටද භාවිතයෙන් ඉක්ම ගොස් නැත.

නවමු විෂයයක් මෙතරම් දැඩිව සමාජගත කරන්නට 60-70 දශකවල ඒ කාර්යය සඳහා පෙරමුණට පැමිණි විද්වතුන්ට හැකි වූයේ කෙසේ ද? ස්වකීය ඉලක්ක විෂයය මෙන්ම සිංහල භාෂාව හා ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ද එකිනෙක පරයා නොයන තරමින් රැස් කළ දැනුමක් ඔවුන් වෙත වීම ඉන් ප්‍රමුඛ වන එක් කරුණක් බව මගේ විශ්වාසයයි. ඒ හේතුවෙන්ම අදාල විද්‍යාත්මක වදන, සංසිද්ධිය, ක්‍රියාවලිය විද්‍යාත්මක වපසරිය තුළ වටහාගන්නටත්, එහි ඉංග්‍රීසි අර්ථය තේරුම් ගනිමින් ඒ සඳහා වඩාත් සුදුසු, බුහුටි වදන් නිර්මාණය කරන්නටත් එම කණ්ඩායමට හැකිවිණ. ජෛව විද්‍යාවේදී Skeleton යන්න ඇටසැකිල්ල, ශරීර කූඩුව, සැකිලි පද්ධතිය යනාදී වූ කවර වදනකින් හඳුන්වා දුන්නත් සාමාන්‍ය පුද්ගලයෙකු වෙත පවා වැටහී යන පසුබිමක් තැනෙන්නේ ඒ අනුව ය.

ඒ හා සමග, මෙම විද්‍යාත්මක විෂයය ධාරාව සාමාන්‍ය භාවිතයේ දී නිරතුරුව මුණ නොගැසෙන කලාපයක වීම ද ඔවුන්ට නව වදන් භාවිතයට හඳුන්වා දීමට පසුබිමක් තනා දුන්නාට සැක නැත. රසායන හෝ භෞතික වැනි විද්‍යාවන් පදනම්ව ලෝකය ගොඩ නැගී ඇති මුත් ඒ පිළිබඳ හැදෑරීම හා සංවාදය සාමාන්‍ය ලෝක භාවිතයෙන් බැහැරව පාසැල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපන කලාපවල පමණක් පැවතීම හමුවන නව වදන් එකපැහැර සිහියට පැමිණීමට හේතුවන්නට ඇත.

දැන් අපි තොරතුරු තාක්ෂණය දෙස බලමු!

එය අපේ එදිනෙදා භාවිතයේ ඇති යමකි. මගේ සිවු හැවිරිදි කුඩා පුතු මා ද විශ්මයට පත් කරමින් මගේ ස්මාර්ට් දුරකථනයෙන් සුහුරු ලෙස පරිගණක ක්‍රීඩාවල යෙදීමට සමත්කමක් දක්වයි. විවිධ මෘදුකාංග හෙවත් සොෆ්ට්වෙයා(ර්) බාගත කරන්නට හෙවත් ඩවුන්ලෝඩ් කරන්නට දනියි. අප ජීවත්වන්නේ තොරතුරු තාක්ෂණ යුගයක ය. එහි සයවැනි පරම්පරාව (6G) සඳහා කටයුතු ආරම්භ කරන්නට චීනය රාජ්‍ය මට්ටමින්ම පියවර තබා ඇති බව කියවුනේ නොබෝ දිනකදී ය. අප කැමති වුවත්, අකමැති වුවත් අපේ පසු පරම්පරාවන් මෙම දියුණු, අධිවේගවත් තොරතුරු තාක්ෂණ ලෝකය තුළ කිමිද යනු ඇත. 

අප කන බොන, අඳින පළඳින දෑ තරම්ම හුරු, අපේ වටපිටාවේ පවතින යමක් පාසැල් මට්ටමින් විෂයයක් ලෙස ක්‍රමිකව හැදෑරීම සඳහා හඳුන්වා දීමේ දී අප ඒ වෙත ප්‍රවේශ විය යුත්තේ කෙසේ ද? මා මෙතෙක් හිතාමතාම ලියූ මේ විෂයය හා සම්බන්ධ ඉංග්‍රීසි යෙදුම් පෙළ බලන්න. අයි ටී, ෆේස්බුක්, ෂෙයා, ඉමෝටිකොන්, ඩවුන්ලෝඩ්, ලින්ක් (එක) ඇතුළු ඉංග්‍රීසි බසින් වන වදන් රැසක් එහි ඇති භාෂාවේ භාවිත කලාපය ඉක්මවමින් දැන් සිංහල කලාප තුළ භාවිතයට පැමිණ ඇත. ‘මට මිස් කෝල් එකක් දෙන්න‘, ‘ඒක මට මේල් කරන්න‘, ‘මං දැක්ක ඔයා ෂෙයා කරල තියෙනවා‘ යනාදී ලෙස විවිධ අයිටීමය සංඥා සහිත සාකච්ඡා අපිට දැන් නිරතුරුව කණ වැකෙයි. ඒ මැදට පැන අපට ‘මට මග හැරුණු ඇමතුමක් දෙන්න‘, එය මට විද්‍යුත් තැපෑල මගින් එවන්න‘, ‘ඔබ බෙදාගෙන ඇති බව දැක්කා‘ යනුවෙන්ම සාකච්ඡා කළ යුතුයැයි බල කළ හැකි ද?

ඉහත ඇතැම් යෙදුම් භාෂාද්වයෙන්ම වඩාත් හොඳින් සමාජයේ පැලපදියම් වී ඇති බව අපි දනිමු. ෆේස්බුක් වත්පොත ලෙසින් ද, අයිටී තොරතුරු තාක්ෂණය ලෙසින් ද ගැනීම සමාන්තර තැනක ඇති බව මගේ හැඟීමයි. පාස්වර්ඩ් යන්නට මුරපදය යන්න එතරම්ම ඉහළ භාවිතයක නැතත් බැංකු කටයුතුවලදී, ගූගල් අඩවිවලදී යළියළිත් මුණ ගැසෙන හෙයින් එහි අර්ථය ද දැන් දැන් සමාජ භාවිතය තුළට කාන්දු වෙමින් පවතී. එහෙත් අපට කිසිවිටෙක වීජීඒ කාඩ්පතට (VGA card) දෘශ්‍ය චිත්‍රක අනුහුරුකුරුව යනුවෙන් කියන අයෙකු හමු නොවනු ඇත. ලුණ්ඪිත නොවන මෘදුකාංගවල අවධිස්ථාපනය යාවත්කාලීන කරගත් අයෙක් ද හමු නොවනු ඇත.

මේ අපැහැදිලි, අභූතරූපී වදන් නිර්මාණය වන්නේ කොතැනින් ද? මෙම පාරිභාෂික වදන් නිපදවා ඇත්තේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් බව යට කී දියණියගේ පියා සිය සටහනේ කියයි. 70-80 දශකවලින් පසු රටක් ලෙස අප අවරට පල්ලම් බැස්සේ බස නිසිව ගන්නා පරපුරක් සමගින් නොවේ. විද්‍යා විෂයයන් වඩාත් බුහුටි ලෙස සිංහලෙන් ගෙන එන්නට සමත් වූ විද්වතුන් පිරිසක් හා සමාන විද්වතුන් පිරිසක් අද අපට තොරතුරු තාක්ෂණය හමුවේ හමු නොවන බව මට ඉඳුරා කිව හැකි ය. ඔවුන් නිසැකවම සමත්ව ඇත්තේ ඉතා තදින් සිය විෂයය හා සමග බොහෝ විට ඉංග්‍රීසිය පමණක් වටහාගන්නට ඇති ඉඩ අතිශය ඉහළ ය. ඒ හා සමග මේ වදන් තනන්නට සිංහල භාෂා විශේෂඥයෙකු ද එක්වී ඇත්නම් ඔහු හෝ ඇය නිසැකවම සිය සිංහලය තරම් ගැඹුරට ඉංග්‍රීසිය භාවිතයට කැඳවීමට සමත්කමක් දක්වන්නෙකු වීමට ඇති ඉඩ අවම ය. ඒ සියල්ල සමබර වූයේ නම් Periodic Refreshing යන්නට සුදුසු වදන ලෙස ‘ආවර්ත ප්‍රබෝධකරණය‘ යන්න නිර්මාණය වන්නේ නැත.

එසේනම් අප කළ යුත්තේ කුමක්දැයි ඔබ මගෙන් විමසන බව මම දනිමි. මුලින්ම අප වටහාගත යුත්තේ බසක් තැනීම හා රැකගැනීම පිණිස අසීරු හා සිහි කැඳවිය නොහැකි අභූතරූපී වදන් නිර්මාණය කොට ඒ සිහි තබාගන්නට සිසු සිසුවියන්ට බල කිරීම හරහා සිදු වන්නේ බස මියයාමත්, තොරතුරු තාක්ෂණය වැනි අදාල විෂයය දරුවන්ට අපුල වීමත් පමණක් බවයි. එය දරුවන් අතරට පැමිණ අවසන් හෙයින් ඔවුන් දන්නා බසකින් එය ඉගැන්වීමේත් දැනුම මැන බැලීමේත් ඇති වරදක් ඇත්දැයි මම නොදනිමි. කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ මා සේවය කළ සමයේ එහි පරිගණක විද්‍යාව ඉගැන්වූ ගුරු පිරිස සිසුන්ට කැමති බසකින් පිළිතුරු ලිවීමේ ඉඩ ලබා දී තිබිණ. ‘වැදගත්ම දේ අදාල කෙනා විෂයය තේරුම් ගත්ත ද නැද්ද කියන එකනෙ‘ යනුවෙන් ඒ පිළිබඳ මා හා සඳහන් කළ එක් ආචාර්ය මණ්ඩල මිතුරියක් එදවස කීවා ය. එබැවින් වඩාත් පහසු, සුහුරු වදන්වලින්, ඉංග්‍රීසියෙන් හෝ සිංහලෙන්, අදාල විෂයය කරුණු වටහා ගැනීමට හා සිහිතබා ගැනීමට ශිෂ්‍ය ප්‍රජාවට ඉඩ දෙමින් ‘අයිටී‘ සාමාන්‍ය ලෝකය වෙත තබා පිළිගත යුතු ය.

පාස්වර්ඩ් එක ගැසුවත් මුරපදය යෙදුවත් අපට දොරටුව විවර වන හෙයිනි!

-ප්‍රියන්ත ෆොන්සේකා -   

2 comments:

  1. හොඳ එළඹුමක්.වැඩි දෙනෙක් කතා නොකරන එහෙත් කතා කල යුතුම මාතෘකාවක්.මට හිතෙන්නේ රටක් විදිහට අපට ඉස්සරහට යන්ඩ බැරි මේ විලංගු නිසයි.

    ReplyDelete