Thursday, October 1, 2020

නැටීමේ පද අරුත: වෙනුරි ඇතුළු කණ්ඩායමේ ‘නින්ජා’ නැටීම

 (2020 ‍සැප්තැම්බර් 27 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)


ගෙවුණු සති අන්තයක, හදිසියේම කොළඹ නගරයේ තෝරාගත් ස්ථාන කිහිපයක මතුවූ නර්තන ශිල්පීන් සහ ශිල්පිනියන් කණ්ඩායමක් සිය නිදහස් නර්තන චලන, සෙස්සන්ට බාධාවක් නොවන පරිදි ඉදිරිපත් කරමින් ස්වකීය ශරීරය ප්‍රකාශන මෙවලමක් ලෙස ගෙන, රටේ අගනුවර ජන සමාජය නර්තනය හා සමග ස්ත්‍රිය දෙස විමර්ශනාක්ෂිය යොමන ආකාරය විමසා බලා තිබිණ. සමකාලීන නර්තන භාවිතය සමග වඩාත් ඉහිල් එමෙන්ම සරල ශරීර ප්‍රකාශන සමග ක්‍රියාත්මකව තිබුණු roadside ninjas නමැති මෙම කණ්ඩායම හඳුනාගත නොහැකි ලෙස ස්වකීය මුහුණු ආවරණය කර ගැනීම හරහා ස්ත්‍රී ශරීරය මෙවලමක් ලෙස දැකීමේ සමාජ ප්‍රවේශය නිර්භීත ලෙස විමසා බලා තිබිණ. මහරගම සති පොළ, නුගේගොඩ දුම්රිය ස්ථානය අවට කලාපය, දියත උයන, One Galle face සුපිරි වෙළඳ සංකීර්ණය, තුරඟ තරඟ පිටියේ සෙනසුරාදා වෙළෙඳපොළ යන කලාප මෙම හදිසි නර්තන ප්‍රහාරකින්ගේ  විමසුම් කලාප බවට පත්ව තිබිණ.

ලාංකික සමකාලීන නර්තන කලාපය තුළ ස්වකීය භූමිකාව වඩාත් පැහැදිලිව සටහන් කොට ගෙන සිටින වෙනුරි පෙරේරා මෙම කණ්ඩායම මෙහෙයවා තිබුණේ ස්ත්‍රී ශරීරය පිළිබඳ පොදු සමාජ කියවීම විමසමින්ම නර්තනය අභිමුව සමාජ වටහා ගැනීමේ දිග පළල හඳුනා ගනු පිණිසය. යටකී ස්ථාන  සියල්ල වෙතදීම වෙනුරි ඇතුළු කණ්ඩායම ස්වකීය නර්තන භාවිතයන් වෙත ප්‍රවේශ වී තිබුණේ මෙම මොහොතේ පවතින සෞඛ්‍ය සීමාවන් පිළිබඳ පවා සවිඥානිකව බව නර්තන කණ්ඩායමේ සාමාජිකත්වය වෙතින් මට දැනගත හැකිවිය. ඒ කෙසේ වෙතත්, එක් එක් කලාපවල දී ස්වකීය ශරීරය මෙවලමක් ලෙස ගෙන නිදහස් නර්තන චලන වෙත ප්‍රවේශ වී තිබුණු නර්තන කණ්ඩායම් සාමාජිකත්වය වෙත ලැබී තිබුණු ප්‍රතිචාර නම් එකිනෙක වෙනස් මෙන්ම නර්තනය හා ස්ත්‍රී ශරීරය පිළිබඳ සමාජ කියවීම වඩා සංඥාරූපීව පිළිබිඹු කෙරෙන ස්වරූපයක් ගෙන තිබිණ.

සැබැවින්ම අනෙකාගේ නාස් පුඩුව වෙතින් අපගේ නිදහස සීමා වෙන බව කියැවෙතත් කොරෝනා හේතුවෙන් එය මීටරයකට මෙපිටින් සීමා කෙරෙද්දී  එම සීමාව තුළ හිඳ හෝ ස්වකීය ශරීරය නිදහස් නර්තන චලනයක් වෙත යොමුකිරීමේ අවකාශය අප රට ‘නිදහස’ තුළ පවතී දඑම පවතින ‘නිදහස’ වුව ස්ත්‍රිය සහ පුරුෂයා හමුවේ වෙනස් ස්වරූපයන් නොගනී දස්ත්‍රියම වුව, තවත් ස්ත්‍රියකගේ චර්යාවන් දෙස නෙත යොමන්නේ පුරුෂ ඇසකින් නොවන්නේ ද?

‘නටන්ඩ වෙන තැනක් නැතුව ඇති...? ‘ඔහොම නටන්ඩ නං අපිටත් බැරුවයැ...’ යනාදී වශයෙන් වෙනුරි ඇතුළු කණ්ඩායම ලබා තිබුණු ප්‍රතිචාරත් වඩා ‘නිදහස්ම’ අවකාශ ලෙස පිළිගැනෙන දියත උයන වැනි කලාපවලදී ඔවුන් වෙත ලැබී තිබුණු ආරක්ෂක අංශවල සීමාකිරීමුත් නර්තනය මතු නොව ස්ත්‍රී ශරීරය හමුවේ ගොඩනැගෙන සමාජ කියවීම පිළිබඳ වෙසෙසි අර්ථ ගැන්වීම් අප වෙත ලබා දෙයි.

වෙනුරි ගේ මූලිකත්වයෙන් යුත් ‘roadside ninjas කණ්ඩායමේ මෙම නර්තන ප්‍රවේශය වෙනත් දේශයක, වඩා දියුණු සංස්කෘතික නගර කලාපයක නම් එතරම් විස්මය දනවන එළඹුමක් නොවේ. කුඩා සංගීත මෙවලම් සමඟ   වීදි කෙළවරවල නැගෙන සංගීත කණ්ඩායම්පසුබිම් සංගීත හා නැගෙන නර්තන ඉදිරිපත් කරන්නන් මතු නොව මහමග වීදි කෙළවර විසල් අවකාශවල සිය කැන්වසය එළා අති දැවැන්ත සිතුවම් අඳින චිත්‍ර ශිල්පීන්ද එවැනි නගරවල නිරතුරුව හමුවන අතර සිය ගමන අතරතුර මොහොතකට නැවත එම ක්‍රියාකාරකම් දෙස බලා මුදලකින් නැතිනම් අත්පොළසකින් හෝ ඔවුන්ව දිරිමත් කොට යළි ඇවිද යන නගරවැසියන්ද නිරතුරුව දැකිය හැකි ය. කෙසේ වෙතත්, මහමග හමුවන යදින්නන් සමග මිස සංස්කෘතික ප්‍රකාශකයින් සමග ගනුදෙනු කොට නොමැති මෙරට සමාජයට වෙනුරිලාගේ කණ්ඩායම  විස්මයක් වීම අරුමයක් නොවේ. 

එසේ වතුදු, ඉහත කණ්ඩායමේ සාමාජිකත්වය දැරූ හසන්ති නිරිඇල්ල ස්වකීය අත්දැකීම් අප හා සමඟ බෙදා ගත්තේ මෙම සමාජ අවකාශ තුළ දී තමන් අත්දුටු වඩාත් සාධනීය කරුණු ද වූ බව පෙන්වා දෙමිනි. නුගේගොඩ දුම්රියපල අසල කොස් විකුණු කාන්තාවක් නර්තන ශිල්පිනිය අමතා ඇගේ නර්තනය අගය කොට තිබුණේ ‘ඔබට නටන්නට ලැබීම වැදගත් නමුත් මම නම් මෙතන වසර ගණනක් කොස් කපමින් ම කල් ගෙවන බව’ සඳහන් කරමිනි. වසර ගණනක නොවෙනස් ජීවිතය තුළ වූ, රේඛීය, ඒකාකාරී ස්වරූපය හඳුනා ගැනීමට හා යළි මෙනෙහි කිරීමට හදිසියේ ඇය අබියස නර්තනයක් ඉදිරිපත් කරමින් පෙනී නොපෙනී ගිය නර්තන ශිල්පිනියට හැකිවීම කෙතරම් සුවිශේෂ ද?

ඒ හා සමග, ‘ඕවා ඔහොම නටන ඒවා නෙවෙයි...’,‘මෙහෙම තැන් තැන්වල නටනවයැ!’ යනාදී වශයෙන් එම කණ්ඩායම වෙත ලැබී තිබුණු ප්‍රතිචාරත්, ‘මෙහෙ නටන්නෙ අවසරගෙන දැයි’ ආරක්ෂක අංශ වෙතින් ලැබී තිබුණු විමසීම් පෙළත් ලාංකික පොදු සමාජ අවකාශය තුළ නර්තනය, නර්තනය හා බැඳුණු ස්ත්‍රී ශරීරය විෂයයෙහි ඇති මූල කියවීම සංඥා කරයි. සැබැවින්ම නර්තනය පැවතිය යුත්තේ මතු මහලෙක දඑය නොයෙක් සමාජ අවකාශ තුළ පෙනී නොපෙනී හෝ පැවැතීමේ වරද කුමක්ද

ස්ත්‍රී ශරීරය මෙවලමක් ලෙස දැකීමේ ඛේදනීය පසුගාමී සමාජ තත්ත්වයට එරෙහිව වෙනුරි පෙරේරා ඇතුළු ‘roadside ninjas කණ්ඩායමේ ප්‍රවේශය අගය කළ යුතු ය. එමතු ද නොව නර්තනය යම් නිශ්චිත සංවෘත කලාපවල සඟවා තබා, කලාවේ භාවිතය රාමුගත සීමා තුළ සිර කොට තබා, වියළි, රළු හා කඨෝර නගර අවකාශ තුළ ඇවිද යාමට එළඹෙන සමාජ පසුගාමීත්වය පරාජය කළ යුතුය.

 -ප්‍රියන්ත ෆොන්සේකා - 

 සේයාරුව: https://52artists52actions.com/ 

No comments:

Post a Comment