Monday, February 15, 2021

පාසැල් අධ්‍යාපනයේ බිහිසුණුකම්: තවත් කෝණයක්

 (2021 පෙබරවාරි 07 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ සංස්කරණය වී පළවූවකි. මේ එහි සම්පූර්ණ ලිපියයි.)

ඇය මගේ මිතුරියකි; පාසැල් ගුරුවරියකි; මවකි. සිය දියණිය මහනුවර ප්‍රසිද්ධම පාසැලකට ඇතුළු කරගැනීමේ විසල් සිහිනයක, දියණිය ඉපැදුණු මොහොතේ සිටම ගිලී උන් තැනැත්තියකි. මේ එළැඹ තිබෙන්නේ ඇගේ සිහිනය සැබෑවක් වන හෝ නොවන 2021 වසරයි. එම සිහිනය සාක්ෂාත් කරගනු වස් ගෙවුණු වසර ගණනාව මුළුල්ලේම ඇය විසින් සිදු කොට තිබුණු කැප කිරීම් ලාංකීය අධ්‍යාපන ක්‍රමය පිළිබඳ බිහිසුණු චිත්‍රයක් අප ඉදිරිපිට තබන බව සඳහන් කරමින්ම මගේ අද තීරුව ඇරඹීමට සිදුවීමම කණගාටුවට කරුණක් වුවත් සත්‍යය ඒ බව ලියා තැබිය යුතුම ය.
පාසැල් නාමාවලිය පිළිබඳ සඳහන් කරමින්, ඒ අනුව, පාසැල්වල තත්‍ය නම් සඳහන් කරමින් මේ ලිපිය ලිවීම අත්‍යාවශ්‍ය ය. මෙහිලා ලියැවෙන්නේ දියණියකගේ සහ මවකගේ පුවතක් හෙයින් ලියැවෙන නම් බාලිකා විද්‍යාලවල නම් වනු ඇත. ඒ නම් ලියැවෙන්නේ අදාල විද්‍යාල පිළිබඳ ඇති විරෝධයකින් නොවන බව ඒ ඒ විද්‍යාලවලට සම්බන්ධ, මේ ලිපිය කියවන පාඨක පිරිස වටහා ගනු ඇත. මගේ මූලික අවශ්‍යතාව අප විසින් දැඩිව අවධානය යොමු කළ යුතු යැයි මා නිරතුරුව යෝජනා කරන අධ්‍යාපන ක්‍රමයේ ඇති තවත් අර්බුදයක් වෙත සැමගේ නෙත් යොමු කරවීම පමණි. 

පළමුවැනි ශ්‍රේණිය සඳහා දියණියන් ඇතුළු කිරීමේ ‘තරගයේ දී’, මහනුවර බාලිකා පාසැල් අතුරින් ඉහළම ‘ඉල්ලුම’ ඇති පාසැල මහමායා බාලිකා විද්‍යාලයයි. දෙවැනි තැන, ආසන්නව යමින්, මහනුවර උසස් බාලිකා විද්‍යාලයට හිමි වන අතර, ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය, ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය යනාදී වශයෙන් මෙහි සෙසු ස්ථාන තීරණය වී ඇත. පුෂ්පදාන බාලිකා විද්‍යාලය ද මහනුවර ප්‍රමුඛ බාලිකා විද්‍යාල අතර පෙරමුණේ පසුවුවත් එම පාසැල මෙම තරගයට ඇතුළු නොවන්නේ එහි ප්‍රාථමික අංශයක් නොවන බැවිණි.

සිය දියණිය මහනුවර මහමායා බාලිකාවට හෝ උසස් බාලිකාවට ඇතුළු කරවීමේ අරමුණින් මාගේ මිතුරිය දියණිය ඉපදුණු මොහොතේ පටන් අනාගත සැලසුම් සකස් කොට තිබිණ. කුඩා දියණිය හා පුතු (ඇයට දියණියට වඩා වැඩිමහල් පුතෙකු ද සිටියි.) සිය රැකියා විරහිත වැඩිමහළු සොයුරියක භාරයේ තබා පාන්දරින්ම නිවසින් පිටව ගොස්, බොහෝ වෙහෙස වී, සිය ප්‍රාථමික අංශ ගුරු රැකියාව නිම කොට, වසර පහක් මුළුල්ලේ ඇය සේවය කොට තිබුණේ දුෂ්කර/දුරබැහැර සේවයේ යෙදෙන ගුරුවරුන් සඳහා හිමි වන ‘දරුවන් පාසැලට ඇතුළු කර ගැනීමේ කෝටාව’ හරහා සිය දියණිය අංක එකේ පාසැලට ඇතුළු කර ගැනීමට ය. කෙසේ වෙතත්, මේ ලියන මොහොත වන විට ඇයට අංක එක, එනම් මහමායාව සහ උසස් බාලිකාව ලකුණු 2-3කින් අහිමිව ගොසිනි. ‘දරුවන් පාසැල්වලට දැමීමේ තරගය’ කොහොමත් කම්පනකාරී වුවත්, මෙහි ඇති විසල් කම්පනය නම්, ඇයට ඒ ලකුණු අහිමි වන්නේ (හෝ කෙරෙන්නේ) ගෙවුණු වසර ගණනාවටම ඇය ලබාගත් නිවාඩු දින 4-5ක් හේතුවෙන් වීමයි! 

දැන් ඔබ හා ප්‍රතිපක්ෂව හිඳ ගැනීමට මට අවසර දෙන්න! පාසැල්වලට දරුවන් ඇතුළු කරගැනීම පිළිබඳ පොදු සමාජ එකඟතාව සමග හිඳින ඔබ බහුතරය ඇය නිසි ක්‍රමවේදයට අනුව ගොස්, නිවාඩු විරහිතව, ලකුණු දිනාගෙන තිබුණේ නම් සිය දියණියට මහමායාවම දිනාගන්නට ඉඩ තිබුණේ යැයි කියා ‘අනේ අපරාදේ!’ කියනු ඇත. ‘දැන් ඉතින් ඉස්කෝලවලට ළමයි දාගන්න එක ලේසි නෑ!’, ‘පේනවනේ ඕවගෙ හැටි’, ‘කීයක් හරි අත මිටමොලවලා තිබුණනං හරියන්නත් තිබ්බ...’ වැනි විවිධාකාර යෙදුම් කැඳවනු ඇත. නමුත්, මා ඔබට යෝජනා කරන්නේ මා ප්‍රශ්නය දෙස බලන ස්ථානයට පැමිණෙන ලෙස ය.

මේ බිහිසුණු හා නිර්ලජ්ජිත ක්‍රමවේදය කුමක් ද?

දරුවකු ඉපදුණු මොහොතේ පටන් දරුවාගේ මව වෙත මාතෘ නිවාඩුවක් හිමිවුවත් එය කෙළවර වූ පසු දරුවාගෙන් වැඩි වේලාවක් මව ඈත් කර තැබීමේ (හා මේ ක්‍රමවේදය ඔස්සේම දරුවාට පාසැලක් සොයන පියෙකුට ද අදාල වන ලෙස, පියා ඈත් කර තැබීමේ) යෝජනාවක් මෙම තුච්ඡ ලකුණු පටිපාටිය පසුපස වෙයි. ඒ හා සමග, ‘සැමට සමාන අධ්‍යාපනය’, ‘හොඳම පාසැල -ළඟම පාසැල’ යනාදී ‘ප්‍රෝඩාකාරී’ යෙදුම් හරහා ඔද වැඩූ පාසැල් අධ්‍යාපන ක්‍රමයේ තත්‍ය ස්වරූපය මේ හරහා හෙළිදරව් වෙයි. සිය සිඟිති දියණිය (හෝ පුතු) වේදනාවෙන් දවසේ (හෝ සතියක් පුරා) වැඩි වේලාවක් ඈත් කොට තබමින් මේ මව්වරුන් (හා පියවරුන්) වළිකන්නේ ඔවුන්ට ඇත්ත ලෝකයේ ‘හොඳම පාසැලක්’ ලබා දෙන්නට ය. ඒ පාසැල්වල ඇති පහසුකම්, පිළිගැනීම ඇතුළු සියල්ල ඔවුහු දනිති.

එසේ වුවත්, නොදකින හා ඈත් කෙරෙන දරුවා හේතුවෙන් මේ මව්වරුන්ගෙන් හොඳ සේවයක් ඔවුන්ගේ පාසැල්වලට ලැබෙනු ඇතැයි පිළිගත නොහැකි ය. ඒ නිසාම, විෂම චක්‍රය යළි හොඳින් නැගී, ඛේදවාචකයේ ගොදුරු බවට පත් වන්නේ දුරබැහැර ප්‍රදේශවල දරුවන්ම ය. ගුරුවරයා/ගුරුවරිය පසුවන්නේ වෙනත් තරගයක හා මානසික මට්ටමක හෙයින් සිය පාසැලේ දරුවන් වෙත වඩා හොඳ සේවයක් ඔවුන් වෙතින් ලැබේයැයි අනුමාන කිරීම ද හේතු විරහිත ය.

මේ සියල්ල අතර, මේ පුවත ඇසූ විදේශයක වෙසෙන මාගේ මිතුරෙකු කියූ දෙයක් ද ඔබ වෙත තබමින් සමුගන්නට ඉඩ දෙන්න.

“මොනවා? ලකුණු දෙන්නෙ නිවාඩු නොගෙන ඉන්නවට ද ඔහේ? මෙහේ නම් අවුරුද්දේ නිවාඩු නොගන්න එකයි වැරැද්ද. මනුස්සයෙකුගෙ වැඩ වගේම විවේකයත් මේ රටවල ඉහළින්ම හොයල බැලෙන දේවල්!”

ඒ රට ඕස්ට්‍රේලියාවයි. ලොව ජීවත්වීම සඳහා සුදුසුම නගර බොහොමයක් එහි වන බව අපි දනිමු.

-ප්‍රියන්ත ෆොන්සේකා -

No comments:

Post a Comment