Showing posts with label අශෝක හඳගම. Show all posts
Showing posts with label අශෝක හඳගම. Show all posts

Tuesday, April 20, 2021

ඇන්ටික් කඩවලට වී නොමැරී සිටීම: හඳගමයානු බහු-ආඛ්‍යාන


  (2021 අප්‍රේල් 03 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි.)

මෙම සටහනම නොවෙතත්, ‘ඇන්ටික් කඩයක මරණයක්’ හා සබැඳුණු තරමක සමාන සටහනක් පසුගිය සතියේ මෙම තීරුව සඳහා ලියා අවසන් වෙමින් තිබිය දී පරිගණකය විසින් එය අතුරුදන් කෙරුණේ ඉඳහිට පරිගණකවල නැගෙන යාන්ත්‍රික දෝෂ දෙසට වගකීම දමමිනි. හඳගමගේ ‘ඇන්ටික් කඩයක මරණයක්’ සඳහා ආවේශය සපයන, ඔහුගේ සිනමා කෘතියක් වූ ‘අක්ෂරය’ ද ඉතා දිගු කලක් වෙනත් දෝෂ දර්ශන තුළ බහා අතුරුදන් කොට ඇති පසුබිමක ඔහු ‘ඇන්ටික් කඩයක මරණයක්’ සමග පැමිණීමට ගරු කරමින් යළි, සතියක් තුළ තව දුරටත් නැගුණු සිතුවිලි සමගින්, එම කෘතිය පිළිබඳව ලියූ සටහන වෙතම රැඳෙන්නට සිතුවෙමි.

හඳගමගේ කෘති තුළ ඔහුට ආවේණික ලක්ෂණ වෙයි. වරෙක ‘මේ මගේ සඳයි’ පිළිබඳ සංවාදයක දී ඔහු කියා තිබුණේ ‘මට සිනමා භාෂාවක් නැතැයි’ යනුවෙනි. ඒ සමස්ථ චිත්‍රපටයම ස්ථිතික රූප රාමු තුළ බහාලමින්, චරිත රාමුව තුළට ගෙන එමින් හා පිට කරමින් ඔහු සිදු කළ තිබුණු ‘අමුතු’ හරඹය විමසූ විට ය. එහෙත්, භාෂාවක් නැති බව කී විගසම, ඔහු නව භාෂාවක් සිය ප්‍රකාශනය සඳහාම තනා ඇති බව හැඟවෙයි. හඳගමගේ නිර්මාණ, මේ හඳගමයානු භාෂා ලක්ෂණවලට ගරු නොකරන සහ නොපිළිගන්නා අවකාශ තුළ ආන්තික කලාප වෙත කෙසේ වුව, කේන්ද්‍රීය සාකච්ඡාවෙන් ඔබ්බට හෝ, තල්ලු කොට දැමෙන්නේ එහෙයිනි. නඩු විනිශ්චයන්, තහනම් කිරීම්, විරෝධතා සියල්ල පසුපස මේ ඔහු තනාගන්නා ස්ව-භාෂා ලක්ෂණ හා අඩු වැඩි වශයෙන් බැඳෙයි.

කෙසේ වෙතත්, හඳගම වේදිකාවට බසින්නේ දශක ගණනකට පසුව ය. සිය පළමු වේදිකා නිර්මාණ කිහිපයෙන් පසු, ටෙලි නාට්‍ය සහ සිනමා කෘති හරහාම සිය ප්‍රකාශන අප වෙත තැබූ හඳගම යළි සිය පුනරාගමනය සඳහා දොරටුව තනාගන්නේ ද සිනමා කෘතියකම පශ්චාත් කතාපුවතයි. ඒ අනුව, එක්තරා දුරකට මෙය සිය සිනමා කෘතිය වූ ‘අක්ෂරය’ බිත්තියට හේත්තු කිරීමට ඔහු පෙරළා දුන් ප්‍රති-ප්‍රහාරයක් වැනි ය.

‘ඇන්ටික් කඩයක මරණයක්’ මංගල දර්ශන තෙදිනෙන් පසු ඒ පිළිබඳ සමාජ මාධ්‍ය අවකාශ ප්‍රමුඛ කොටගනිමින් ලියා තිබුණු සටහන් කිහිපයක්ම කියවන්නට මට අවස්ථාවක් ලැබිණ. ඒ හැරුණු විට, ප්‍රේක්ෂාගාරයේ උන් ඇතැමෙක් කෘතිය සමග සිය එකඟතා හා නොඑකඟතා ද මා හා බෙදා ගත් හ. ඊඩිපස් සංකීර්ණය සහ මනෝ විශ්ලේෂණවාදය හා බැඳී ආ අදහස්, සිංහල - බෞද්ධ ජාතිකවාදය සමග කෘතියේ පෙළ කරන ගණුදෙනුව, තල ත්‍රිත්වයක් මත දිවෙන කෘතියේ රංග අවකාශය පිළිබඳ අදහස්, ප්‍රධාන චරිත කිහිපයේ සහ ගායන/වාද්‍ය වෘන්දයේ මැදිහත්වීම් ඒ කියැවීම් තුළ සඳහන්ව තිබිණ. මේ කුඩා සටහන, නිරතුරුව බහු-කියැවීම් යෝජනා කරන හඳගමගේ කෘති එකතුවේ නවතම වේදිකා නාට්‍යමය මැදිහත්වීම වන ‘ඇන්ටික් කඩයක මරණයක්’ වෙත තවත් එක් යෝජනාවක් ඉදිරිපත් කිරීමට ය.

හඳගමගේ ‘ඇන්ටික් කඩය’ ඔහුගේ ‘අක්ෂරයේ’ දිගුවක් ලෙස පැමිණ තවත් මරණයක් අප වෙත තබයි. එය කෘතියේ නම තුළම වෙයි. ඒ කෙසේ වෙතත්, කෘතිය නරඹන අපි ද, කෘතියේ පාත්‍ර වර්ගයාගෙන් වැඩි කොටසක් ද මේ ඇන්ටික් කඩ අවකාශය අභියස නොමැරී ජීවත් වන්නෝ වෙති. මට අනුව, ඔහු මේ අප වෙත තබන ‘ඇන්ටික් කඩය’, නව නාට්‍ය ආකෘතිය තුළ තත්‍ය රංග උපකරණ භාවිතා නොකොට තැනිය හැකි බව එක් තරුණ දක්ෂ නාට්‍යකරුවෙකු මා සමග සඳහන් කළ ‘ඇන්ටික් කඩය’, පෙර කෞතුකාගාර මුරකරන්නා දැන් ඒ අතීතයෙන්ම තෝරා බේරාගත් භාණ්ඩ විකිණීම සඳහා භාවිතා කරන ‘ඇන්ටික් කඩය’, ඔහුගේම රමණ රහස් අප වෙත (නො)සඟවා තබන ‘ඇන්ටික් කඩය’, ඔහුගේම ‘අදරැති’ දියණිය  මාරාන්තික රමණයකින් පසු මරා දැමෙන ‘ඇන්ටික් කඩය’ ඇතුළු සියල්ල ඉක්මවමින්, හඳගමයානු ප්‍රකාශන භාෂා ස්වරූපය මත මැවෙන ‘ඇන්ටික් කඩයකි’! එය අප මිය නොයා ජීවත්වන ඇන්ටික් කඩය පිළිබඳ සංකේතයක් ද අප වෙත සංඥා කරයි.

මගේ යෝජනාව මේ බහු සංඥා සපයන ‘ඇන්ටික් කඩය’ පමණක් ගෙන වෙන්ව සාකච්ඡා කිරීම ද අගනා බව ය.

පෙර කෞතුකාගාර මුරකරු හෙවත් වර්තමාන ඇන්ටික් කඩකරු, ඔහුගේ දියණිය, දියණියගේ හීරළු පෙම්වතා, පරිවාසයේ සිට පෙරළා පැමිණෙන මහේස්ත්‍රාත්වරියගේ පුතු යන සියල්ලන්ගේම චක්‍රීය ගමන් මාර්ග ඇන්ටික් කඩය පසුබිමෙහි තබමින් තැනෙයි. මුරකරුගේ නිවස තැනී ඇත්තේ, භෞතිකව නම්, ඇන්ටික් කඩයේ උඩුමහලේ ය. ගායන හා වාදන වෘන්දය හමුවන්නේ ඇන්ටික් කඩයට වම් පසින් පහළ වේදිකාවේ ය. ඒ හැටි දෙයක් නොවුණත්, ඇන්ටික් කඩය වේදිකාවේ විශාල අවකාශයක් අරාගනිමින් රැඳෙයි. මේ ‘ඇන්ටික් කඩය’ කුමක් විය හැකි ද?

සංස්කෘත නාට්‍යයේ සිට මෙරට ගැමි නාටකය හරහාත්, නෝ කබුකි හරහාත් ගමන් කරමින් සරච්චන්ද්‍ර තැනූ ‘දේශීය නූතන නාට්‍ය සම්ප්‍රදායේ දී’ චරිත සිය අවකාශ සොයා යන්නේ චක්‍රීය ගමන් පථවල ය. මෙහිදී සියල්ලෝ ඒ ගමන් පථ හා සමාන ගමන් පථවල යති. අප වසර 75ක් පමණ තිස්සේ ඉහළ තලයක ලා අගයන චක්‍රීය ගමන් පථය පසුපසෙහි ඇන්ටික් කඩය තබමින්, හා ඇන්ටික් කඩය සාපේක්ෂව අක්‍රීය අවකාශයක් බවට හරවමින්, හඳගම සිය නව ප්‍රකාශන අඩවිය විමසන්නට අපට ආරාධනා කරන බව පෙනේ.

සරච්චන්ද්‍ර තැනූ චක්‍රීය ගමන් පථය පසුපස දෘශ්‍යමාන ඇන්ටික් කඩයක් නොතැනුණ ද ඒ පසුපසින් නැගී ආ දෘෂ්ටිවාදාත්මක ප්‍රවේශ අපට ඇන්ටික් ලොවක් තනා දුන් හ. ඒ සමාජ, දේශපාලනික කතිකාව ඛේදාන්තයකින් පසු ඇන්ටික් කඩ අප වෙත තබන සමය වන විට හඳගම පැමිණ එය අපට පෙන්වා ඇත. එබැවින්ම මේ අඳුරු, චරිත එතරම් ඇවිද නොයන, වාද්‍ය/ගායන වෘන්දය විමසන්නට හෝ නොසිතන ‘ඇන්ටික් කඩ’ අවකාශය විසුණු කොට විමසිය යුත්තේ අප ද? ඒ හරහා අප සොයාගත යුත්තේ ‘ඇන්ටික් කඩ’ අවකාශවල අප නොමැරී ගත කරන ජීවිත ද?

‘ඇන්ටික් කඩය’ බහු-කියවීම් නිතැනින්ම තනන අවකාශයක් බැවින් මට එරෙහිව අතීත උරුමයෙන් ගත් ආයුධයක් ‘ඇන්ටික් කඩ’ අවකාශයෙන්ම ගෙන දමා ගසා ඔබටත් තවත් මාර්ග යෝජනා කළ හැකි ය.

-ප්‍රියන්ත ෆොන්සේකා - 

Tuesday, November 24, 2020

ප්‍රාසාංගික කලාවට එරෙහිව කොවිඩ්-19 සහ කොවිඩ්-19ට එරෙහිව ප්‍රාසාංගික කලාව

 (2020 ‍‍නොවැම්බර් 22 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි)

පේරාදෙණි ලලිත කලා අංශය මගින්
 පවත්වන්නට නියමිත සංවාදයේ
පෝස්ටරය

කොවිඩ්-19  පසුගිය වසර අවසානයේ කරලියට පැමිණීමත් සමග නව ඇවතුම් පැවැතුම් රටාවන්  රැසක් සමාජය වෙත හඳුන්වා දෙනු ලැබිණ. සෙස්සන්ගෙන් හැකි පමණ දුරස්ථව කල්ගත කිරීම හෙවත් සමාජ දුරස්ථභාවය හඳුන්වාදීමත් සමග සමාජය වෙත පැමිණියේ නව ජීවන ස්වරූපයකි. මීටරයක දුර, මුහුණු ආවරණය, නිවසටම වී කල් ගෙවීම ඇතුළු වෛරස විරෝධී ක්‍රම පිළිවෙත් තවත් සජීව කලාප ගණනාවකටම සෘජුව පහර එල්ල කළේ ය. ඒ අතර වඩාත් ප්‍රමුඛ කලාපයක් වූයේ ප්‍රාසාංගික කලා අවකාශයයි.


භෞතිකවව එකිනෙකා මුණ ගැසී, බොහෝවිට ස්වකීය ශරීර ද දායක කර ගනිමින්, නර්තනය, නාට්‍ය හා රංගය ආදී සජීව කලාවන් ප්‍රේක්ෂකයා වෙත තැබූ එම අවකාශවල ක්‍රියාකාරීව කටයුතු කළෝ බොහෝ අංශවලින් අසරණව ගියෝ ය. එක් අතෙකින් සිය නිර්මාණයන් සූදානම් කරගැනීම සඳහා එකිනෙකා මුණගැසීමට නොහැකි වීම ඔවුන් වෙත අභියෝගයක් ලෙස පැමිණි අතර, අනෙක් අතින් සූදානම් කළ රංග කටයුතු ප්‍රේක්ෂකයා හමුවේ තැබීමට නොහැකිව තවත් අභියෝගයක් නිර්මාණය වී තිබිණ. ‘ලොක් ඩවුන්’ කාල සීමා දිගුවත්ම සදා නිම කළ නිර්මාණවල පුහුණුව බිඳ වැටීම හේතුවෙන් (වරෙක මගේ කලා විචාරක මිතුරෙක් මෙය හඳුන්වා තිබුණේ නාට්‍යවල ‘බැටරි බැසීම’ ලෙස ය.) යළි ඒ වේදිකාගත කිරීම පිණිස මුහුණ දිය යුතු අර්බුද ගණනාවක් නිර්මාණය විය. ඒ හා සමග, ආදායම් බිඳ වැටීම (අප රට වැනි සමාජයක කලා නිර්මාණකරුවන් බහුතරය ස්ථිර ආදායමක් නොලබන්නන් බැවින්) හේතුවෙන් ඔවුන්ගේ දෛනික ජීවිතය පවත්වා ගැනීමේ අර්බුද පිළිබඳ ව ද සාකච්ඡා මතු විණ. 


පළමුව වැසී ගියේ ද, කොරෝනා ‘රැළි’ බැස ගිය පසු, අවසානයේ විවෘත වූයේ ද, නාට්‍ය හා සිනමා ආදී ප්‍රාසංගික කලාව හා බැඳුණු ශාලා ඇතුළු රංග අවකාශයන් ය. එය, දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විමසූ කල්හි යම් වෙනස්කම් පැවතිය හැකි වෙතත්, ප්‍රාසංගික කලාව වෙසෙසින්ම යෝජනා කරන්නේ ද එකිනෙකා හා සමීප වුණු කලා භාවිතයක් බැවින් එය වෙත සීමා පැනවීම මග හැර යා හැක්කක් ද නොවන්නේ වෛරසයේ ස්වරූපය සියයට සියයකින්ම ප්‍රාසංග කලා භාවිතයේ අවැසියාවන්ට එරෙහිව ප්‍රතිමුඛව පිහිටන හෙයිනි.


කෙසේ වෙතත්, ප්‍රාසාංගික කලාවට එරෙහිව කොවිඩ්-19 සිටගත් විගසම කොවිඩ්-19ට එරෙහිව ප්‍රාසාංගික කලාව ද සිය කටයුතු ඇරඹි බව වඩාත් අවධානයෙන් අදාල කලාප විමසන්නෙකුට පෙනී යනු ඇති අතර මගේ මෙම කුඩා තීරු ලිපියේ යොමුව ද එය නොදුටු අයෙකු වේ නම් එය දක්වා ලමින්, දුටු නුදුටු සැමට මෙම සුවිශේෂ කඩඉමෙහි වැදගත්කම අවධාරණය කිරීම ය.

කලාව යනු අප සමාජය ඉතා පසුගාමී ලෙස හඳුනාගෙන ඇති පරිදි විද්‍යාව, ගණිතය ඈ භෞතික විද්‍යාත්මක විෂයය ධාරාවෙන්ගෙන් පසුව තැබිය යුතු හෝ හැකි විෂයය පද්ධතියක් නොවේ. පෘතුගීසි - ඇමරිකානු සම්භවයක් සහිත, ස්නායු විද්‍යාඥයෙකු වන, දකුණු කැල්ෆෝර්නියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අන්තෝනියෝ දමාසියෝ පවසන පරිදි මිනිසාගේ භාවයන් සමාජ සංජානනයේ දී හා තීරණ ගැනීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ලබයි. එනිසාමත් (හා එනිසාම නොවෙතත්), සෞන්දර්යය, කලාව හා ඒ හා බැඳි ක්‍රියාකාරකම් හා සංවාද, අපට වෛරස ක්‍රියාකාරීත්වයක් කෙළවර දකින තුරු පසෙක තැබිය යුතු නොවේ. (සහ, කලාව තුළ ක්‍රියාත්මක මනසකට හා/හෝ ශරීරයකට එය කෙළවර දක්වා නවතා තබනු නොවන්නට ද ඉඩ ඇත.)

කොවිඩ් - 19 පළමු ‘ලොක් ඩවුන්’ සමයේ ම  ‘සූම්’ පරිගණක යෙදවුම හරහා තැනුණු අශෝක හඳගමගේ ‘ඇල්කොහොල් නැති බියර්’ කෙටි චිත්‍රපටයට විශාල අවධානයක් මෙරට දී සැදුණේ මේ පසුබිමෙහි දී ය. රටවල් දෙකක, අවකාශ 4ක උන් 5 දෙනෙක් (හෝ කිහිප දෙනෙක්) එහි කතා පුවත අප වෙත තබා තිබුණු අතර අධ්‍යක්ෂවරයා එකදු නළුවකු හෝ නිළියක අසළ භෞතිකව නොසිටි බව පෙනී ගොස් තිබිණ. ‘ලොක් ඩවුන් ස්ටෝරීස්’ කෙටි ටෙලි නාට්‍යය නාමල් ජයසිංහගේ නිර්මාණ අධ්‍යක්ෂණය යටතේ නිර්මාණය වූයේ ද, එවැනි කී, නොකී මැදිහත්වීම් ඔස්සේ තවතවත් කටයුතු සඳහා නිර්මාණකරුවන් යොමු වූයේ ද මේ පසුබිමෙහි ය.     

මෙරට කොරෝනාවේ දෙවැනි රැල්ල වන විට ලෝකය පුරාම බරපතල ලෙස හමුවන ‘කොරෝනාට එරෙහි’ කලා භාවිතයන් හඳුනාගත හැක. අතථ්‍ය (virtual) අවකාශවල සිදු කෙරෙන, අනාගත සුභ සිහින පසුබිම් කරගත් නාට්‍ය හා නිර්මාණ පුහුණුවීම් එහිලා වැදගත් ය. දශක ගණනාවකට පසු සිදුවන ස්වකීය වේදිකාගමනය සංඥා කරමින් අශෝක හඳගම වේදිකා නාට්‍යයක පුහුණුවීම් ‘සූම්’ හරහා සිදු කරන අන්දම සමාජ ජාල ඔස්සේ බෙදාගෙන තිබිණ. සෙමින් හෝ වේගයෙන් ගිය ගමන නවතා ලූ වෛරසයට එරෙහිව සිට ගනිමින් තවත් නිර්මාණකරුවන් කිහිප දෙනෙකුම සිය ‘වැඩ’ ආරම්භ කර තිබුණේ ‘ලොක් ඩවුන්’ බිම සිටම ය. 

‘දැන් ඔයාල කොහොම ද නේද නටන්නෙ, රඟපාන්නෙ??”

සෙසු මානව හා ශාස්ත්‍ර විද්‍යා අධ්‍යාපන අංශ කම්පිතව (හෝ කලාතුරකින් මොහොතක සෝපාහාසාත්මකව) ප්‍රාසාංගික කලා අංශ වෙතින් විමසද්දී ඔවුන් ද සිය පියවර ස්වරූප වෙනස් කොට තිබිණ. ඒ අනුව, ශ්‍රී පාලි මණ්ඩපයේ ප්‍රාසංගික කලා අවසන් වසර නාට්‍යය මෙවර ගුවන් විදුලි නාට්‍ය ස්වරූපයක් ලෙස නැගී, දෙවනුව දෘශ්‍ය මාධ්‍ය වෙත සම්ප්‍රේෂණය කිරීමේ ප්‍රවණතා විමසනු ඇත. පේරාදෙණියේ (මා සේවය කරන) නාට්‍ය විද්‍යාර්ථීහු සිය කෙටි නාට්‍ය ත්‍රිත්වයක් ‘සූම්’ පුහුණුවීම් ඔස්සේ නංවමින් සිටින අතරම, එහි නර්තන, නාට්‍ය හා සංගීත ආචාර්ය හා ශිෂ්‍ය ප්‍රජාව විදේශ රටවල සම-ස්වරූපයේ ආයතන සමග අන්තර්ජාල පුහුනුවීම් ආදිය ද සිදු කරන්නේ, නව යෝජනා හරහා නැගුණු නිර්මාණ අවකාශ පෝෂණය කරනු පිණිස ය.

ඒ හා සමග, අදාල විශ්වවිද්‍යාල හා පර්යේෂණ ආයතන ද මේ නව ප්‍රතිමුඛ වීම විෂයානුබද්ධව ගොස් විමසයි. දෙසැම්බරයේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ‘කොවිඩ් සමයේ සෞන්දර්ය ඉගැන්වීම මුහුණදෙන අර්බුද’ හා සම්බන්ධ ය. එළඹෙන 27 වැනි සිකුරාදා සූම් හරහා පැවැත්වෙන, පේරාදෙණියේ ලලිත කලා අධ්‍යයනාංශය සංවිධානය කරන, ‘කොවිඩ් 19 හමුවේ රංග සහ නර්තන කලාවන් මුහුණ දෙන අභියෝග’ නමැති විද්වත් කතිකාව ද ඒ පිළිබඳ ව ය.

කලාවට කොවිඩ් ප්‍රතිමුඛ වී ඇති බව සැබෑ ය. එහෙත් එය ජය ගෙන හෝ ජය ගනු නැත.



-ප්‍රියන්ත ෆොන්සේකා -   

Thursday, June 9, 2016

සිනමා විදසුන (පළමු පියවර) : ඇගේ ඇස අග - රළු බසින් සුමට බසට...



පූර්විකාව

ගං වතුර බැස  ගොසිනි.  පුපුරා හැලුණු සාලාව ද නිසොල්මන් වෙමින් සිටියි. ඒ සියලු ස්වභාවික හා අස්වාභාවික විපත් අතරතුර සිනමා තිරයේ ටික දිනක් දිලුණු 'ඇගේ ඇස අග' සිනමා පටයද සිය කෙටි දර්ශන සමය නිමා කරන්නට නියමිත ය. 

'ඇගේ ඇස අග' පිළිබඳ මෙම ලියවිල්ලට ආරම්භය තබන්නට යෙදුණේ අනාරාධිතවම ගොඩ වැදී එහි මාධ්‍ය දැක්ම නැරඹූ විගසම ය. එහෙත් එය නිසි පරිදි නිමවන්නට පෙර ගං වතුර නිවස බලා පැමිණියේ ය. අඩි හත-අටක් උසට කුලී නිවස්න තුළ නැගුණු වතුර මට්ටම යාන්තමින් බැස යද්දී මිතුරන් හා එක්ව එහි තිබුණු අඩුමකුඩුම වහා ආරක්ෂිත නිවසකට රැගෙන ගිය මම ඔවුන්ගේද සහායෙන් එහි තිබුණු චිත්‍ර‍පට ඩීවීඩී එකතුව තෙතබරිත කවරවලින් මුදා, ඒ ආරක්ෂා වී ඇද්දැයි වන සැකයක් ද සිත් දරාගෙන, යළි සැඳෑව එළඹෙත්ම මහරගම ඇමිටි ශාලාවට ගොඩ වැදී, මුදල් ගෙවා ටිකට් පතක් ද ගෙන, දෙවන වරට ‘ඇගේ ඇස අග‘ බැලීමි.

කෘතිය අනාරාධිතව බැලීම නිසා උපන් ‘ලජ්ජාවක්‘ වැනි යමක් මුදල් ගෙවා නැරඹීම සමග තරමක් පහව ගිය ද මෙම ලියවිල්ල නිමවන්නට ඉන් පසුද ඉඩක් ලැබුණේ නැත. ගං වතුර සමයේ, අසල නිවසක නොගිලිණු ඉහළ මාලයේ තබා පැමිණි පරිගණකයේ යතුරු පුවරුවේ යතුරු කිහිපයක් අකුරු ලියා දීම ප්‍ර‍තික්ෂේප කර තිබුණු හෙයිනි.

ගං වතුර සිට සාලාව ව්‍යසනය දක්වා කුඩා කාල සීමාවට සමාන්තර යුගයක, සීමිත ශාලා කිහිපයක පමණක් තිරගත වූ ‘ඇගේ ඇස අග‘, සාපේක්ෂ වශයෙන් අසීමිත විචාරක අවධානයක් මේ අතරතුර ලබාගෙන තිබිණ. සමාජ ජාල, බ්ලොග් අඩවි, පුවත්පත් ඇතුළු කලාප ගණනාවක ලියවිලි ගණනාවකින් සාකච්ඡාවට බදුන් වූ කෘතිය පිළිබඳ ආසන්නතම ‘සජීවී‘ සාකච්ඡාව 07 වැනිදා සවස, පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ශ්‍ර‍වණාගාරයේදී සිදු කෙරිණ. බාහිරයෙන් සම්බන්ධ කෙරුණු, අමතර යතුරු පුවරුවකින් අකුරු සටහන් කරමින් මේ ලියවිල්ල කෙළවර කරන්නට ඒ සියලු කතිකා, එකක් නෑර කියවා අවසන් කර නැතත්, පසුබිමක් සහ උත්තේජනයක් සපයා ඇත.

‘ඇගේ ඇස අග‘ කියවීම හා ඌන කලාපය

මෙම ලියවිල්ල මූලික වශයෙන් ‘ඇගේ ඇස අග‘ පිළිබඳ කෙරුණු බොහොමයක් කියවීම් සහ විචාර කතිකා ඇසුරු නොකළ කලාපය විමසන්නට ප්‍රවේශයක් යෝජනා කිරීමකි. හඳගමයානු කෘති පිළිබඳව කියවීම් අති බහුතරයක්, ශ්‍රී ලංකාවේ මෑතකාලීන සිනමා පට පිළිබඳ සිදු කෙරුණු සාකච්ඡා හා සමානව හෝ ඊටත් වැඩි වශයෙන්, එම කෘති හා නැගෙන මනෝ විශ්ලේෂණවාදී කියවීම් සහ සමාජ-දේශපාලනික කියවීම් කලාප ආශ්‍ර‍ය කරන බව ඉතා පැහැදිලි කාරණයකි. මෑතකාලීනව, දීප්ති කුමාර ගුණරත්න, විදර්ශන කන්නන්ගර, සමන් වික්‍ර‍මාරච්චි, භූපති නලීන් ආදීන්ගේ සිනමා කියවුම් ප්‍රවේශ සාපේක්ෂව මනෝවිශ්ලේෂණවාදය පෙරමුණෙහි තබා වන විමසුම් වෙත අප කැඳවාගනී. සෙසු විමසුම් වහා සිය අවධානය කෘතිය හා බැ‍ඳ‍ෙන සමාජ හා දේශපාලනික ඉසව් පිළිබඳ විමසන්නට යෝජනා කරද්දීම, සිනමා භාෂාව හා ඒ හා සබැ‍ඳ‍ෙන සෞන්දර්යාත්මක සිනමා කියවීම පිළිබඳ අත්‍යාවශ්‍යයික ඉසව්ව මගහැරී යයි. එම මගහැරීම නිසා ඇතිවන ඌන කලාපය ඉහත කී අනෙත් කතිකා-විචාර වෙත ද එල්ල කරන්නේ විසල් බලපෑමකි. ඒ, එම සංවාද තුළින් නැගෙන ප්‍ර‍බල කරුණු හා යා කෙරෙන කෘතියේ ශ්‍ර‍ව්‍ය-දෘශ්‍ය වියමන නිසි ලෙස, සිනමා භාෂාත්මක කියවීමක් හරහා, අප වෙත සම්ප්‍රේෂණය වී නොමැති හෙයිනි. අවසන සිදු වන්නට ඉඩ ඇත්තේ (සහ බොහෝ විට සිදු වන්නේ) කෘතිය පිළිබඳ වන සෞන්දර්යාත්මක හා සිනමාත්මක කරුණු මග හැරී එය මනෝවිශ්ලේෂණාත්මක, සමාජ-දේශපාලනික කලාප තුළ පමණක් සැරිසරන පඨිතයක් බවට පෙරළීමයි. කලා කෘතියක් එහි මුල් බිමෙන් මිදී සැව යාම ඛේදජනක කරුණකි.

මෙම ලියවිල්ල එම ඌන කලාපය වෙත යළි පිවිසෙන්නට කෙරෙන යෝජනාවකි. එනයින් මෙය,‘ඇගේ ඇස අග‘ සිනමා කෘතිය විෂයයෙහි අනුදැකිය හැකි සිනමාත්මක භාෂා ප්‍ර‍කාශනය පිළිබඳ විමසා බැලීමකි.  

‘චන්ද කින්නරි‘ගෙන් ඇරඹී තිරගත කෙරුණු හා නොකෙරුණු සිනමා කෘති පෙළක් හරහා ‘ඇගේ ඇස අග‘ දක්වා වන හඳගමගේ චාරිකාව තුළ සිනමා භාෂාව විෂයයෙහි ඔහු පෙන්වන හැරවුම් ලක්ෂ්‍යයන්, මේ වනවිටත් ප්‍ර‍මුඛ කතිකා බවට හැරී තිබෙන මනෝවිශ්ලේෂණාත්මක සහ සමාජ-දේශපාලනික සාකච්ඡා තවදුරටත්, වඩා පැහැදිලිව, දිශානුගත කර ගැනීමට දායක කරගත හැකි බව මගේ අදහසයි.

සිනමා භාෂාව - ‘නැති බව‘ සිට ‘ඇති බව‘ දක්වා

‘චන්ද කින්නරි‘ගෙන් ඇරඹුන ද හඳගමගේ සිනමා භාවිතාව පිළිබඳ කතාබහ පෙරමුණට පැමිණියේ ඔහුගේ දෙවැනි (තිරගත) සිනමා කෘතිය වූ ‘මේ මගේ සඳයි‘ සමගිනි. එය ප්‍රේක්ෂක අභිමුව තැබීමට තිරගත කළ ආකාරය පැහැදිලි ලෙසම සාමාන්‍ය ආකාරයෙන් පිට පැන තිබිණ. හඳගම සිදු කළේ එක් මුද්‍රිත පිටපතක් සමග තැනින් තැන ගොස් සිනමා කෘතිය පෙන්වීමයි. එහෙත් තිරයට ප්‍ර‍ක්ෂේපණය කළ කෘතිය රූගත කරන මොහොතේ පටන් ඔහු බොහෝ සම්මතයන් මගහැර ගොස් ඇති බව කෘතිය දුටු මතින් පැහැදිලි විය.

ප්‍ර‍ධාන පුවත්පතක් සමග සිය භාවිතය පිළිබඳ සිදු කළ සාකච්ඡාවකදී හඳගම කියා තිබුණේ ‘මට සිනමා භාෂාවක් නෑ‘ යනුවෙනි. රූපය මුල් කරගත් ආවේණික භාෂාවක් සහ ව්‍යාකරණයක් සමග ගොඩනැගෙන සිනමාව අරභයා එම ප්‍ර‍කාශය තරමක සාහසික මෙන්ම අරුම සහගත වූවක් වුවත් වඩා විමසිල්ලෙන් කෘතිය විමසන්නෙකුට එහි අර්ථය වටහා ගැනීම අපහසු නැත. සැබවින්ම හඳගම සිදු කර තිබුණේ සම්මත ව්‍යාකරණය හා භාෂා රීති අනු දැන එය පරිස්සමින් කඩා ඉහිරුවා ලීමකි.

‘මේ මගේ සඳයි‘ කෘතියේ චරිත හැසිරෙන්නේ ‘නිශ්චල‘ රාමුවක් ඇතුළත ය. එහි කැමරාව කිසිදු අවස්ථාවක චරිතවල හෝ සිද්ධිවල ‘වැඩි තොරතුරු‘ සොයා චලනය වීමට පටන් ගන්නේ නැත. චරිත, නාට්‍ය වේදිකාවක මෙන්, තමන්ගේ ක්‍රියාව සිදු කර රාමුවෙන් පිට වී යයි. නැතිනම් අවශ්‍ය කොටස ස සඳහා රාමුවට පිවිසෙයි. නොදන්නා, නම නැති ගමක, නමක් නැති චරිත ගණනාවක්, සිනමාවේ මූලිකාංගවලදී ම හඳුනාගන්නා ආලෝකකරණයේ සුමට කිරීම් හා තීව්‍ර‍ කිරීම්වලින් හෝ කැමරා චලනවල සහ කෝණවල වෙනස් භාවිතාවලින් නැංවූ ප්‍ර‍කාශන තැනීමකින් තොරව සිය ජීවන චර්යා අප වෙත දක්වයි.

තිර රචනය ගොඩ නැංවීමේ පටන් ‘මහා සම්මත‘ බොහෝ කරුණු මග හැර ගිය හඳගම ‘මේ මගේ සඳයි‘ සිට හමුවූ කිසිදු චරිතයකට නම් තැබීමක් හෝ සිදු කළේ නැත. ‘තනි තටුවෙන් පියාඹන්න‘ චිත්‍ර‍පටයේ ‘පිරිමි-ගැහැණිය‘ මුව සොලවන (දෙබස් කියන) කිසිදු රූපයක් චිත්‍ර‍පටය අවසානය තෙක්ම අප නොදුටු අතර ඇය (ඔහු) දෙබස් කියන සෑම විටම තිරයේ පතිත කළේ එයට ප්‍ර‍තිචාර දක්වන හෝ අසා සිටින අනෙකාගේ රූපයයි. වර්ණයන් හා වර්ණවල තානයන් ගොඩ නංවන අදහස් හා හැවුම්, රූප කෝණවල උස් හා පහළ කෝණී බව මත පදනම්ව නංවන අදහස් හා හැඟවුම් ආදී සිනමා භාෂාවේ යෝජිත පිළිගත් කරුණු පසු පස නොගිය ඔහු සිය අදහස් නිෂ්පාදන මෙවලම ලෙස මූලිකව ගත්තේ චරිතවල ස්වරූපය, ක්‍රියාකාරීත්වය සහ චලනය (නැතිනම් නිශ්චල බව) සහ ඔවුන්ගේ දෙබස් ප්‍ර‍කාශනය (නැතිනම් නිහඬ බව) ආදියයි. රාමුව තුළ හමුවන පසුතලය සහ චරිත රාමුව තුළ ගොනු කිරීම තුළින්ම පමණක් ඔහු ඉහත අදහස් නිෂ්පාදනයට රූපමය සහාය ලබා ගත්තේ ය.

මෙම සිනමා භාෂාව මගහැරීම හේතු කොට හඳගම නිර්මාණය කළ බොහෝ රූප ‘රළු‘ ස්වරූපයක් ගත්තේ විය. ප්‍ර‍සන්න විතානගේ පන්නයේ මටසිළුටු රූප වියමනක් ඔහුගේ ප්‍ර‍මුඛ ගමන් සගයකු වූ හඳගමගේ භාවිතය තුළ තිබුණේ නැත. නමුත් ‘දැනගෙන මග හැර යාම‘ හේතුවෙන් එම රූප නිරතුරුව ‘හඳගමයානු‘ ගුණයකින් යුක්ත ප්‍ර‍කාශනයක්, නැවුම් අරුත් සහිතව, නිෂ්පාදනය කළේ ය. සිනමාව කියවූ ප්‍රේක්ෂාගාරය තනි සීමා ඉරිවලින් බෙදී ගල් ගසන්නට හෝ හඳගම අසල සිට ගන්නට ඔහුගේ මේ භාෂා බිඳීම හේතු විය. ‘සමාජය ඉදිරිපස තැබූ කැඩපතකින් අපට අපවම මුණගැසීම‘ ලෙස හදුනාගනිමින් උක්ත විචාර ප්‍රවේශ හමුවේ කියවාගැණුනු මෙම සිනමා භාවිතයේ සිනමා භාෂා කියවීම ගොඩ නැගිය යුත්තේ මෙම ‘කැඩපත නොසෙල්වා ගොඩ නගන රළු රූපමය ආඛ්‍යාන‘ වටහා ගැනීම තුළිනි.

‘ඇගේ ඇස අග‘ සමගින් හඳගම මේ පෙර පැවති බොහෝ ‘රළු‘ භාවිතයන් මග හැර සම්මත භාෂාව වෙත සමීපව ඇති බවක් පැහැදිලිව හඳුනාගත හැකි ය. ඔහුගේ මාර්ගයෙන් විතැන් වීමක් ලෙස ඇතමෙකු විග්‍ර‍හ කළ ‘විදූ‘ සිට පූර්ව නිර්මාණය වූ ‘ඉනිඅවන්‘ දක්වා සමය තුළ මෙම සම්මත භාෂා විධි නියාම වෙත කෙමෙන් සමීප වීම හඳුනාගත හැකි වුවත් වඩා ප්‍ර‍බල හමුව දක්නට ලැබෙන්නේ ‘ඇගේ ඇස අග‘ තුළ ය.

එය ‘රළු‘ බවක සිට ‘සුමට‘ බවක් දක්වා වන විතැන් වීමකි. ඒ හා සමග සිනමා ප්‍ර‍කාශනයේත් ආඛ්‍යානයේත් පැවති ‘රළු‘ ස්වභාවයන් ද යම් ආකාරයන්ගෙන් ‘සම්මත‘ සුසාදිත බව වෙත ළඟා වීමට පටන් ගැනේ. ‘මේ මගේ සඳයි‘ තුළ දී කෘතියේ ආඛ්‍යානයේ අවශ්‍යතාව හා සිය ප්‍ර‍කාශනය පෙරදැරිව අභ්‍යන්තර දර්ශන මගහරින හඳගම ‘ඇගේ ඇස අග‘ දී, කෘතීම ආලෝක ප්‍ර‍භව විසින් බොහෝ ප්‍ර‍කාශන අරුත් මතු කිරීමට සහාය දක්වන ගෘහ අභ්‍යන්තරය තුළට සිය කැමරා ආම්පන්න රැගෙන යයි. ඒ වැසුණු අවකාශ හමුවේ ගොඩ නැගෙන රූප සැකසුම් වූ කලී සුමට භාෂාව හා වැඩි ඇසුරක් දක්වන්නකි. පූර්වයේ පැවති පුළුල් සමාජ සංදර්භයක වන ‘සංකේතික‘ චරිත රූපවලට වඩා බොහෝ අනන්‍ය ලක්ෂණ ප්‍ර‍කට කරන චරිත ඒ ඒ චරිතවල අනන්‍යතා ප්‍ර‍කට කරන රූප සැකසුම්වලින් සුසැදී අප අභියස විද්‍යාමාන වීම ‘ඇගේ අස අග‘ කෘතිය පුරාම සිදු වෙයි. මනෝවිශ්ලේෂණාත්මක හා සමාජ -දේශපාලනික කියවීම් අතර වැඩි තැනක මෙය හඳගමගේ මෙතෙක් හමු වුණු ඉහළ ඇගයීමක් සහිත කෘතියක් ලෙස ගැනෙද්දී පූර්ව කෘතිවල වූ සිනමා වියරණ රැකීම අතින් මෙය පිහිටන්නේ පැවති හඳගමයානු ලක්ෂණවලින් විතැන් වූ නව්‍ය අඩවියක ය. එය මා දකින්නේ නිශේධනාත්මක අර්ථයකින් නොවේ. සිය ප්‍ර‍කාශනය සඳහා සම්මත වියරණය පිළිබඳ විශ්වාස නොකළ අයෙකු පසුකාලීනව එම වියරණය තුළින්ම සිය ප්‍ර‍කාශනයේ ව්‍යවහාරය හඳුනාගනිමින් පරිණත සිනමාකරුවකු ලෙස පරිපාකයට පත් වෙමින් සිටින බව පෙන්වන අපූර්ව විකාශනයක නිමිත්තක් ලෙස ය. මෙවර ඔහු වැඩි උනන්දුවක් දක්වන්නේ වියරණය කැඩීමට නොව ඒ තුළ රැඳී සිටිමින්ම සිය ප්‍ර‍කාශන ස්වරූපය සුරක්ෂිතව ඉදිරිපත් කිරීම පිළිබඳව ය. එනයින් අප දකින්නේ ‘රළු‘ රූප වෙනුවට ‘සුමට‘ රූප ය.

වර්ණ, වර්ණ තාන සහ කැමරා රැඳවුම් සහ චලන

‘මේ මගේ සඳයි‘ චිත්‍ර‍පටයේදී සමස්ථ රූපාවලිය පුරාම හමුවන දුඹුරු පැහැය හා වියළුණු කොළ පැහැය කර්කෂ පරිසරය තුළින්ම නැගී රූපය තුළ ඉඩ සදා ගන්නකි. වියළී ගිය ගම්මාන පරිසරය, භූමිය, වැව් පිටි මෙන්ම නිසි ලෙස නිමා නොකළ නිවාස හා ගොඩනැගිලි යන සියල්ල නිශ්චිත වර්ණ හා තාන කිහිපයක් රූප සැකැස්ම තුළට ගෙන එයි. ‘තනි තටුවෙන් පියාඹන්න‘ හිදී ‘පිරිමි-ගැහැණිය‘ මුහුදු වෙරළාසන්නයේ බංකුවක වාඩි වී සිටිද්දී පසුපසින් වන මුහුද සහ අහස වුව එහි වන තියුණු නිල් පැහැය මතු කරමින් ප්‍රේක්ෂා සාදන්නේ නැත. එහෙත් පූර්ව බොහෝ කෘතීන්ගේ මතු නොකරන වර්ණ හා තාන ඉතා ඕනෑකමකින් නැගී ‘ඇගේ ඇස අග‘ තුළ දී ප්‍රේක්ෂා නිෂ්පාදනය කරන්නට උදව් දෙයි.

මහාචාර්යවරයාගේ නිවස මනා ලෙස නිමැවූ, මනාව වර්ණ පිරියම් කළ එකකි. එහි බිත්ති මතින් නැගෙන වර්ණ ඒ එක් එක් රූපය හමුවේ අදහස් සම්පාදනය සඳහා වෙසෙසි මෙහෙයක යෙදෙයි. එහි, අපට මුණනොගැසෙන මහාචාර්යවරයාගේ පුත්‍ර‍යාගේ කාමරය උදාහරණයකට ගෙන බලන්න. සිසුවියගේ තාවකාලික නවාතැන වන එම කාමරය මුලින් නොදකින තරුණයකු පිළිබඳ අදහස් ගෙනෙන පසුබිමක් පමණක් ගෙන ආව ද (නිල් පැහැය පිරියම් කළ සහ විවිධ පෝස්ටර හා රූප සහිත බිත්තිවලින් සමන්විත) පසුව එක් එක් අවස්ථාවලදී ඒ අවස්ථාව හා සමානුපාත වන වර්ණ තානයන් වෙත මාරු වී යයි. සිසුවිය, නාන තුවායක් පමණක් හැඳගෙන සිය සිරුර පුරා ක්‍රීම් තවරා ගනිමින් සිටියදී මහාචාර්ය බිරිඳ එහි පිවිසීම හා සමග ගොඩනැගෙන දර්ශනයේදී වන පසුබිම් වර්ණය, මහාචාර්යවරයාගේ මනෝ-රමණය හමුවේ අප දකින තියුණු රක්ත පැහැ කාමරයට වඩා සපුරා වෙනස් ය. නමුත් වඩා උනන්දුවෙන් බැලුවහොත් සිසුවිය පිටව ගිය පසු යළිත් හමුවන කාමරයේ පසුබිම් වර්ණ තාන පෙර සියල්ලට වෙනස් තැනක වන බව පෙනී යනු ඇත.

කැමරාවේ භාවිතය පිළිබඳ වෙනස් අවධානයක් ගනිමින්, සියුම් කැමරා චලන පිළිබඳ පවා තියුණු අවධානයකින් කටයුතු කරන කැමරා අධ්‍යක්ෂවරයකු ‘ඇගේ ඇස අග‘ කැමරාව පසුපස වෙයි. පූර්ව කෘති ගණනාවකදීම හඳගමයානු රූප බස හා කටයුතු කළ චන්න දේශප්‍රිය මෙහිදී පිරිසියුම් කැමරා මෙහෙයුමක් වෙත යොමු වන්නේ හඳගමගේ රළු රූපයේ සිට සුමට රූපය වෙත සම්ප්‍රාප්ත වීමට සමානුපාතිකව ය. මහාචාර්යවරයාගේ නිවස තුළ බිරිඳගේ ඒකාකාරී (නමුත් ඒකාකාරීත්වය පියවරෙන් පියවර සියුම්ව බිද වැටෙන) ගමන් මාර්ගය ග්‍ර‍හණය කෙරෙන කැමරා චලනය, තනි දිගු රූපගත කිරීමක් තුළ, නරඹන්නාට නොදැනෙන තරම් වන සියුම් කැමරා මෙහෙයුමකින් සුසැදෙයි. ඉහළ මාලයට නැග කාමරය වෙත ගමන් කරන බිරිඳගේ රූපය ඇයගේ ඉදිරි පසින් ග්‍ර‍හණය කරගන්නා කැමරාව, ඇයගේ ගමන් ලතාව හා සමානුපාතිකව සෙමෙන් පසුසපට ගොස්, ඇයට කාමරයට ඇතුළු වන්නට ඉඩ දී යළි දොරෙන් පිටත සිට ඇය සහ මහාචාර්යවරයා අතර වන ගණුදෙනුව දෙස බලා සිටියි. එක් එක් දවස්වල මහාචාර්යවරයා ගලවා දමන, තද පැහැ නොවෙන කමිස සහ කහ පැහැ තුවායක සිට සුදු පැහැ තුවායක් දක්වා මාරු වී යන බිරිඳ දෙන තුවා එකතුව පවා ඉතා පැහැදිලිව, සෙමෙන් අපගේ නිරීක්ෂණයට හසු කර දෙන්නට මේ කැමරා ඇස සමත් ය. එය පෙර වූ රාමුවට චරිතය කැඳවන හා පිට කරන භාවිතයෙන් එහෙම පිටින්ම අනෙත් අන්තයේ පවතින්නකි.

මෙම පිරිසියුම් කැමරාව හඳගමගේ සිනමා රූප සැකැස්ම වඩා සියුම් ඉසව් වෙත විතැන් වී ඇති අවස්ථා විශාල ප්‍ර‍මාණයක් කෘතිය පුරා අපට දක්වයි. ඒ සෑම අවස්ථාවක්ම, සිය ‘මිස්-ඔන්-සෙන්‘ භාවිතය පිළිබඳ තියුණු අවධානයක් සහිත අධ්‍යක්ෂවරයෙකුගේ ප්‍රවේශම්සහගත රූප ගොඩනැගීම පිළිබඳ සාක්ෂියකි. සිය තුරුණු සිරුරට මහාචාර්යවරයාගේ ඇති ආසක්ත බව පිළිබඳව සිසුවියගේ දුරකථන ඇමතුම බිරිඳට ලැබෙන දර්ශනය බලන්න. එහිදී සියුම්ව දකුණු පස සිට චලනය වී පැමිණෙන කැමරාව බිරිඳගේ මුහුණේ හැගීම් සෘජුවම ප්‍රේක්ෂකයාට පෙනෙන ඉදිරිපස  මැදි දුර රූපයක් සදා දෙමින් නවතියි. බිරිඳට වම් පසින්, වර්ණ සහිත රූපයේ කළු සුදු බව නිසාම ඉතා පැහැදිලිව, අප දකින්නේ මහාචාර්ය බිරිඳගේ තුරුණු වියේ උඩු කය රූපයකි. එම රූපය තවත් තැනක “ඔයා දැන් ඔහොම හීනියට හිටියට පස්සේ අල ගෝනියක් වගේ වෙයි“ යන මහාචාර්ය බිරිඳ පවසන දෙබස සමග යා කෙරෙන්නකි.

පළමුව, දොර රෙද්දකට මුවා කොට අප වෙත දක්වන සිසුවියගේ නිරුවත් දේහය පසුව හමුවන සෑම දර්ශනයකදීම එක් එක් වර්ණැති ඇඳුම්වලින් වසා අප නෙත අභියසට එයි. මහාචාර්යවරයාගේ පවුලේ සියල්ලන් ඇසුරු නොකරන දීප්තිමත් වර්ණ ගණනාවකට අයත් එම ඇඳුම් එකතුව, ඒ වර්ණ විසින් ගොඩ නගන්නා වූ හැඟවුම් රාශියකින් සමන්විත ය. ඒ බොහෝ විට දීප්තිමත් රතු, කහ, තැඹිලි ආශ්‍ර‍ය කරන උෂ්ණ වර්ණ පරාසයක රැදෙයි. ප්‍ර‍තිපක්ෂව මහාචාර්ය බිරිඳ වැඩිපුරම දීප්තිය අවම වර්ණ සහ සුදු සමග කටයුතු කරද්දී මහාචාර්යවරයා සහ දියණිය ද ආසන්න වර්ණ සහිත ඇඳුම් සමග ගණුදෙනු කරයි.

කෘතිය පුරාම වන දර්ශන හා යා කෙරෙන, ඒ දර්ශනයන්හි රිද්මය සමග වෙනස් කෙරෙන කැමරා රිද්මයක් ‘ඇගේ ඇස අග‘ පුරාම මුණගැසෙයි. එම කැමරාව බිරිඳගේ සෙමින් ගමන සමග නොදැනෙන්නට චලනය වුවද, දියණිය දුම්රියට පැනීමට දුවද්දී සහ අවසාන දර්ශනයේ පන්සල තුළ ගැටුම සමග වේගයෙන් චරිත පසුපස දුව යයි. ‘මේ මගේ සඳයි‘ හෝ ‘තනි තටුවෙන් පියාඹන්න‘ වැනි කෘතියක මෙන් කිසිදු විටක චරිතයකට රාමුව මග හැර යන්නට අවසර නොදෙයි. සමානුපාතිකව එක් එක් අවස්ථා වඩා සියුම්ව නිරීක්ෂණය කළ හැකි ස්ථානවලට ප්‍රේක්ෂකයා ගෙන යයි. ඒ නිසාම, කෘතිය ආරම්භයේ මහාචාර්යවරයාගේ දෘෂ්ඨි කෝණයෙන් සිසුවියගේ නිරුවත් දේහ ඡායාවද, කෘතිය මැදදී සිසුවියගේ දෘෂ්ඨි කෝණයෙන් එම දේහයට ලොබ බදින මහාචාර්යවරයාගේ රූපයද දකින්නට ප්‍රේක්ෂකයාට ඉඩ ලැබේ.

චරිතයන්හි චලන රේඛා

පූර්ව කෘතීන්හි වැඩිමනත් රාමුව තුළ සිය භූමිකාව සාදා නික්ම ගිය චරිත මෙම කෘතිය තුළ ඉතා පැහැදිලි එක් එක් චරිතයට ආවේනික සියුම් රංග රේඛා තුළ රැඳ‍ෙයි. කෙලිලොල් සිසුවිය සැමවිටම ඉතා නිදහස් සැරීමක යෙදෙන්නියකි. සිය නිවස තුළ පමණක් නොව මහාචාර්යවරයාගේ නිවස තුළද, මහාචාර්යවරයාගේ මෝටර් රථය සහ කන්තෝරු කාමරය තුළ ද ඇය සැහැල්ලු, එහෙයින්ම රේඛීය නොවන, නිදහස් රංග තලයක් භාවිතා කරයි. එහෙත් මහාචාර්ය බිරිඳ ඊට ප්‍ර‍තිපක්ෂ ය. ඇගේ ගමන සෙමිනි. ඇය සෙමින්, වක්‍ර‍ ගමන් මාර්ග ඔස්සේ ගමන් කරයි. නමුත් මෙහි සුවිශේෂීම කරුණ නම් මහාචාර්යවරයාගේ රේඛීය ගමන් මාර්ගයි. ඔහු, සිය නිවස තුළත්, ඉන් පිටතත් ගමන් කරන්නේ ඉතා සෘජු රේඛා ඔස්සේ ය. ඔහු යම් අන්තයකට හැරෙන්නේ හරියටම අංශක 90කට සමාන කෝණ තනමිනි. සිසුවිය සමග ඔහු මුහුද අද්දර හෝටලයේ එළිමහනේ සිටින දර්ශනය බලන්න. කෙළිලොල් තරුණියගේ නිදහස් සැරීමට එරෙහිව ඔහු සෘජු ගමනකින් වෙරළ වෙත ඇවිද යයි. මොහොතක් සිට, හරියටම අංශක අනූවකින් වමට හැරී සෘජු රේඛාවක ගමන් කරමින් වම් පසින් ඉවත් වී යයි.

මෙම චරිත චලන රේඛා ද හඳගමයානු සිනමා බස ‘සුමට‘ අන්තය වෙත ගමන් කිරීම පිළිබඳ තවත් සාක්ෂියකි. සංකේතික චරිත නිරූපණයෙන් වඩවඩාත් අනන්‍ය ලක්ෂණ සහිත චරිත වෙත සංක්‍ර‍මණය වෙන හඳගම චරිතයන්හි අනන්‍ය රූප වෙත වැඩි අවධානයක් දෙයි. ඒ සියුම් ලක්ෂණ කෙතරම් ප්‍ර‍බල ද යත්, පෙර කෘතිවලින් මිදී, ‘මේ මේ අයම ය!‘ යන සිතුවිල්ල ප්‍රේක්ෂක මනස තුළ රඳවන්නට ඔහු සමත් වෙයි.

නොහමුවන කෝණ

එහෙත් තවමත් හඳගම ‘සම්මතයේ‘ මූලිකාංග තුළ යෝජනා කෙරෙන කැමරාවෙහි උස්-පහත් කෝණාදිය මවන අදහස් වෙත අප කැඳවන්නේ නැත. ඔහුගේ කැමරාව කිසිදු අවස්ථාවක ඇස් මට්ටමින් බැහැර අඩවියක ස්ථානගත නොවේ. එනිසාම පෙර පැවති දුර සිට නිරීක්ෂණය කරන කැමරා ඇසින් ඔහු අප මුදා හැරියද, ඇස මට්ටමේම පවතින නිරීක්ෂණයකින් චරිත හා සිදුවීම් දෙස බලන්නට අපට ඉඩ හරියි. කිසිදු චරිතයක මනෝභාවයක් හා සුසැදෙතැයි සම්මත භාෂාව තුළ යෝජනා කරන කැමරා ස්ථානගත කිරීම් පිළිබඳ ඔහු තවමත් විශ්වාස නොකරන සැටියකි.

මේ හේතුව නිසාම හඳගමගේ සිනමා බස සුමට අන්තය වෙත විතැන් වුවද එහි ඇති ඔහුට අනන්‍ය ලක්ෂණ අත් නොහරී. තව දුරටත්, ඔහු අතීත කෘතීන් විසින් අපගේ ඇස හුරු කරවන ලද කලාපයක සිටම කෘතිය වෙත බලන්නට යෝජනා කරයි.

කතා කරන චරිත

පූර්වයේ හඳගම විසින් නිර්මාණය කළ චරිත බොහොමයක් වඩවඩාත් සංකේතාත්මක ඉසව් වෙතටම ලංව නැගෙන්නේ ඒ චරිත මුවින් නැගෙන දෙබස ඉතා තියුණු අරුත් දනවන නමුත් එදිනෙදා කතාබහකදී කීමට ඉඩ අඩු දේවල්වලින් සමන්විත ය. ඒ හා සමගම ඇතැම් චරිත, උදාහරණයක් ලෙස ‘මේ මගේ සඳයි‘ හි දෙමළ තරුණිය, දිගු කාල සීමාවක් පුරා එකදු වචනයක් හෝ නොකියා කාලය ගෙවා දමයි.

‘මේ මගේ සඳයි‘ හි සෙබළා වියළුණු බිම කොටමින් වගා බිමක් සදන්නට උත්සාහ කරද්දී, මුවින් නොබනින දමිළ තරුණිය අභියස පවසන මේ දෙබස් කණ්ඩය බලන්න.

ඇයි මිනිහෙකුට එහෙම හිතෙන්ඩ බැරි ද
අපි වෙඩි තියන්නෙ තරහට නෙවී.
 අපි වෙඩි තියන්නැත්තෙ ආදරයටත් නෙවී. නිකං....
නිකම් ම නිකං.... හුළං වගේ නිකං...’’

තියුණු සංකේතික අරුත් දනවන මේ දෙබස් කණ්ඩය මෙපරිද්දෙන්ම සෙබළකු මුවට නැගෙන්නක් නොවේ. එසේම එහි හමුවන පන්සලේ හාමුදුරුවන්ගේ, ගම්වැසියන්ගේ ආදී සියල්ලන්ගේ දෙබස් එදිනෙදා කතාබහට ඔබ්බෙන් පවතින ඒවා වෙයි. එහි නිහඬ දමිළ තරුණිය අවසානයේ පන්සලේ හාමුදුරුවන් අභියස දෙමළ බසින් නගන්නේ භගවත් ගීතාවේදී ක්‍රිෂ්ණ දෙවියන් අර්ජුන හමුවේ පවසන්නකි.

Be in peace in pleasure and pain, and gain and in loss, in victory or in the loss of a battle. Prepare for war with peace in thy soul. In this war there is no sin (2.38 ගීතය, භගවත් ගීතාව)

හිතුමතේ එක් අවිනිශ්චිත ඉලක්කයක් දෙස බලා සිටින චරිත, වඩාත් සංකේතික දෙබස්වලින් කතා කරන චරිත වෙනුවට ‘ඇගේ අස අග‘ දී හමුවන චරිත ඉතා පැහැදිලි ලෙසම ‘කතා කරන‘ දේවල් කතා කරයි. මහාචාර්යවරයා සහ බිරිඳ දිවා ආහාරය ගනිද්දී ඔවුන්ගේ කතාබහ බිරිඳගේ ‘ෂොපින් යාම‘ ගැන ය. මෝටර් රථයේදී සිසුවිය හා දියණියගේ කතාබහ ඔවුන්ගේ නොහොඳ නෝක්කාඩු ගැන ය. සිසුවියගේ දුරකථන ඇමතුම් සිය ප්‍රේමය සම්බන්ධ සිහින සහ බලාපොරොත්තු ගැන ය. මහාචාර්යවරයාගේ කාමරයේ දොරෙන් එබෙන තවත් සිසුවියක් කියන්නේ සිසුවියගේ නොපැමිණීම ගැන ය. ඒ සියල්ල ඒ ඒ අවකාශයට අනුදත් කතා මිස අන් කවරක් හෝ නොවේ.

මේ හේතුවෙන්ම මහාචාර්යවරයාගේ දියණිය ‘එයත් ගියා‘ කියද්දී නැගෙන සියුම් සිනාවත්, සිය සිහිනය තුළ පමණක් ආ තරුණිය ‘little while ago‘ පැමිණි බව මහාචාර්යවරයා සිය බිරිඳට කියද්දී නැගෙන හැගීමත් සංකේතික අර්ථ පදනම්ව නැගෙන අදහස්වලට වඩා පවතින තත්වයට ආසන්න තැනක රැදෙයි. චිත්‍ර‍පටයේ පූර්ණ අර්ථය කුළු ගන්වන, ආරම්භක හෙවත් අවසාන දර්ශනය හමුවේ නැගෙන, පූර්ව හඳගමයානු දෙබසට නෑකම් කියන දෙබස් වඩා තීව්‍ර‍ව අර්ථ සම්පාදනය කරන්නේ මේ හේතුවෙනි.

“ඇයි... නිකං අඩන්න බැරි ද? නිකං හිනාවෙන්න බැරි ද?“

සුමට බව නිසාම පෙනෙන අඩුපාඩු

පූර්ව හඳගමයානු කෘති සියල්ලක්ම පාහේ පැවති හා ගණුදෙනු කරන තාත්වික ලෝකයට පිටත ‘තැන‘ ‘ඇගේ අස අග‘ තුළ දී අතුරුදන් වී, ඇත්ත නිවස හා ලෝකය රාමුව තුළට කැඳවීම සමගම සියලු නොගැලපෙන තැන් වහා අපගේ ඇස ගැටෙයි; කණ වැකෙයි. මහාචාර්යවරයා හැඳ නොසිටි බැනියමක් ගෙදර විත් ගැලවීම ඉන් එකකි. පෙරේදා කාරණයක් බිරිඳ ඊයේ සිදුවූ බව කීම තවකකි.

සිසුවියගේ නවාතැනේ සිරවීමත් සමග ඇගේ ඇඳ මත කමිසයත් නැතිව නිදාගන්නා මහාචාර්යවරයා යළි ඇයට නොදැනෙන්නට එතනින් පැනගන්නේ හනික අතට ගන්නා කමිසය හැඳගනිමිනි. එක එල්ලේම නිවස බලා එන ඔහු බිරිඳ සතුටින් දිවා ආහාරය තනන්නට යද්දී කාමරයට ගොස් කමිසය ගලවා දමයි. පෙර නොතිබි බැණියමක් දැන් ඔහුගේ උඩුකය වසාගෙන ය!

සිය දියණියගේ ඉල්ලීම පසෙක තබා මහාචාර්ය බිරිඳ මුල් අවස්ථාවේදී තනිව පන්සල් යයි. ඉන් උරණ වන දියණිය පසුදින සිසුවිය සමග මෝටර් රථයේදී බහින්බස් වන අතර අවසානයේ පියාගෙන් කම්මුල් පාරක් කා දුම්රියට පනින්නට දිව යයි. සිසුවිය ඇය බේරාගනියි. ඊටත් පසුදා සවස පන්සල් යාමට දියණියට ආරාධනා කරන මහාචාර්ය බිරිඳ ඇගේ ප්‍ර‍තික්ෂේප කිරීම හමුවේ කියන්නේ,

“එහෙනං ඊයෙ මෙතන මැරෙන්න හැදුවේ පන්සල් යන්න ඕනෙ කියල“ වැනි වදන් පෙළකි. සැබවින්ම දියණිය මව සමග පන්සල් යන්නට උත්සාහ කළේ ඊයේ නොව පෙරේදා ය!

භාවිත රූපය හා දෙබස තුළ හමුවන සියලු මගහැරීම් දැන් හඳගමගේ කෘතිය තුළ අපට හසුවන්නට පටන්ගෙන ඇත. එකදිගට මහා කාලයක් එකම ඇඳුම ඇද සිටින හමුදා සෙබළා සහ දමිළ තරුණිය ඇඳුම් මාරු කරන්නේ නැතිදැයි නොඇසූ ප්‍රේක්ෂාගාරය මහාචාර්යවරයාගේ බැනියම ගැන අසයි. එය සංකේතික ‘රළු‘ රූපයේ සිට යථාවට ළග ‘සුමට‘ රූපය වෙත ළඟා වීම මත බැඳී එන්නකි. පෙර චරිත, චරිත කොපමණකදෝ එකතුවෙන් සැදිමුත් මේ මහාචාර්යවරයා, බිරිඳ, දියණිය, සිසුවිය ඒ චරිතයේ අනන්‍ය ලක්ෂණ මනාව පෙන්වන ඒකල චරිතයක රුව ගුණ රැගෙන එන්නෝ වෙති.

පසුවදන

හඳගමයානු සිනමා භාෂාවේ විතැන් වීම් පිළිබඳ තව දුරටත් වඩා දීර්ඝ සාකච්ඡා වෙත එළඹීම යටකී බහුවිධ ප්‍රවේශ වෙත ශක්තිමත් කතිකා පසුබිමක් නිර්මාණය කර දෙන්නක් වනු ඇත. එය පූර්ව කෘති වෙත යළි එළඹ සිදු කළ යුත්තක් ද බව මගේ යෝජනාවයි.

කෙසේ වෙතත්, අන්තර්වාර අවකාශයක් තුළ සිනමා පටය තිරයට මුදා හරිමින් ඔහු කළ ‘දිවිනසාගන්නා ආකාරයේ‘ නිර්භීත ක්‍රියාව නොවන්නට අපට මෙම කෘතිය මුණගැසෙන්නට ඉඩ තිබුණේ තවත් වසර ගණනාවකිනි. එවැනි පසුබිමක නිපදවෙන සාකච්ඡාවට වඩා මෙම සියලු කතිකා ආසන්න අවදියක නිර්මාණකරුවා සහ කෘතිය පිළිබඳ වඩා නිවැරදි තක්සේරුවකට එළඹෙන්නට අපට ඉඩ සලසා දෙයි.

කුමනාකාරයකින් වුවත්, ‘ඇගේ ඇස අග‘ යනු, හිස මතින් නැගී ගලන ගං වතුරකින් හෝ බේරී පීනා ගොස්, පුපුරා හැලෙන අවි ගබඩා දහසකින් හෝ බේරී ගොස්, සිනමා තිරයක් අභිමුව හිඳ නැරඹිය යුතු මහරු කෘතියකි. ගං දිය හා පිපිරුම් කාල අතරතුර කෘතිය අප අතර තබා, සුපුරුදු උපෙක්ෂාවෙන් බලා සිටි සිනමාකරුට අප පැසසිය යුතුම ය.


 සේයාරුව : https://i.ytimg.com/vi/eLBHBLD1L_I/maxresdefault.jpg



Wednesday, December 2, 2015

සිනමා සම්මාන: තීන්දු, තීරණ, වේදනා සහ ‘පොර ටෝක්‘


ප්‍රවේශය

කේ සරා 
හිරු සිනමා සම්මාන, දෙරණ සිනමා සම්මාන සහ ඕසීඅයිසී සිනමා සම්මාන උළෙලවල් මේ වසරේ පැවැත්වී අවසාන ය. ඒ කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල දෙවන වර ප්‍රේක්ෂකයා අභිමුවට ආ ආසන්න කාලයේ දීම ය. යාපනයේ ජාත්‍යන්තර සිනමා උළෙලක් පළමුවරට පැවැත්වුණේ ද මේ සියල්ලට මොහොතකට පෙර ය. ඒ අතරතුර විවිධ කෙටි චිත්‍රපට උළෙල පැවත්වී අවසන්ව හා පැවැත්වෙමින් ද තිබේ. ඒ අනුව මේ එක්තරා සිනමා වසන්ත සමයක් ලෙස ගැනීම බැලූ බැල්මට වරදක් නැත.සිනමා කෘති ප්‍රේක්ෂක ඇස අභියසට එද්දී, ඒ සඳහා සිය කාලය, ශ්‍රමය හා නිර්මාණ කෞෂල්‍යය වැය කළ පිරිසෙන් තෝරාගත් ‘ජයග්‍රාහකයින්ට‘ සම්මාන අත පත් කෙරෙයි. සිනමාව විඳීමේ අවකාශය තැනක ය. සම්මාන ප්‍රහර්ෂය විඳීම තව තැනක ය.

මෙම සටහන ඒ සියල්ල ගැන නම් නොවේ. ප්‍රදර්ශන පසුපසින් ආ සම්මාන උළෙල ගැන ය. ඒ අතුරින් ද දෙරණ සම්මාන උළෙල ගැන ය. සරලවම නම් ඒ හා බැඳුණු තීන්දු, තීරණ, වේදනා සහ ‘පොර ටෝක්‘ ගැන ය.

සිනමා උළෙල ඉතිහාසය

චලන රූපය, ඡායාරූපයේ දිගුවක් ලෙස ද, මිනිස් කුතුහලයේ තවත් ප්‍රතිඵලයක් ලෙස ද, කාර්මීකරණයේ එක් ආන්තික ඵලයක් ලෙස ද, හමුවූ මුල් යුගයේ එය එහෙම පිටින්ම වාගේ තාක්ෂණික හරඹයක්ම වූවා මිස කලාවක කිසිදු සළකුණක් නොවුණු බව සිනමා ඉතිහාසය විමසන විටම වැටහේ. සිනමාව කලාවක් ලෙස වැඩී වර්ධනය වන්නේ යුරෝපය හා ඇමරිකා එක්සත් ජනපදය ප්‍රධාන, චලන චිත්‍රයේ ආරම්භක ප්‍රවර්ධන කලාපය තුළ 20 වැනි සියවසාරම්භයේ ක්‍රියාත්මක වන පුද්ගල කණ්ඩායම් හේතුවෙනි. ‘සිනමාව කලාවක් බවට හරවන්නෙමැයි‘ යන අභිලාෂයකින් කටයුතු නොකළ ද, එඩ්වින් එස්. පෝටර්, ජෝර්ජ් මෙලියේ, චාලි චැප්ලින්, ඩී. ඩබ්ලිව්. ග්‍රිෆිත්, සර්ජි අයිසන්ස්ටයින් ප්‍රමුඛ සිනමා ක්‍රියාධරයෝ සිය දායකත්වයන් හරහා සිනමා කලාවක් සඳහා සමාරම්භක පදනම තනා දුන් හ. ජර්මානු ප්‍රකාශනවාදය, සම්භාව්‍ය හොලිවුඩ් ආඛ්‍යානය, ඉතාලි නව යථාර්ථවාදය, ප්‍රංශ නව රැල්ල ආදී විවිධ සිනමා ප්‍රකාශන ස්වරූප හා කලාප අපට වර්තමාන සිනමා ලේඛණ සහ සංවාද තුළ මුණගැහෙන්නේ ඒ පදනම හේතුවෙනි.

සිනමා උළෙල පිළිබඳ අදහස පිළිබඳව හෝ එහි අතීතය ගැන දිගු රචනයකට මේ මොහොත නොවූව ද සිනමා උළෙල මූලිකව සිනමාවේ කලාත්මක භාවිතයත් හා සමග ව්‍යාපාරයක් බවට පත් වීමත් යන කරුණු හා බැඳී ඇති බව පෙනේ. 1932 දී වැනිස් ජාත්‍යන්තර සිනමා උළෙලින් ඇරඹෙන සිනමා උළෙලවල ජාත්‍යන්තර ස්වරූපයන් මොස්කව්, කෑන්ස්, ලොකර්නෝ, කාලොයිවේරි, බර්ලින් සහ එඩින්බර්ග් යන සිනමා උළෙල සමගින් නැගී විහිද එයි. යුරෝපීය රාජ්‍යයන්ගේ නගර මූලික කොටගෙන පළමුව ඇරඹී විහිදෙන මෙම උළෙල සංස්කෘතිය ඒ ඒ නගරවල දියුණු සංස්කෘතික ස්වභාවයෙහි පිළිඹිබුවක් ලෙස අද ද හඳුනාගැනෙයි. කොළඹටත් ජාත්‍යන්තර සිනමා උළෙලක් පැමිණීම අපට වැදගත් වන හේතු අතර මෙම සංස්කෘතික සඳහන ද මුලින් ලිවිය හැක.

ජාතික හෝ ජාත්‍යන්තරව මුණගැසෙන සිනමා කෘති එක් නගර අවකාශයක, සිනමාව පිළිබඳ දියුණු වින්දන හැකියාවක් සහිත රසවතුන් සමග හිඳ රසවිඳීම, සාකච්ඡා කිරීම හා ඒ හා බැඳුණු යම් කථිකා අවකාශ වර්ධනය කරගැනීම යටකී සිනමා උළෙල පසුබිමෙහි නැගී වැඩෙද්දී සමානුපාතිකව සිනමා නිර්මාණකරුවන් සඳහා වෙළඳපළ නිර්මාණය වීම, නිෂ්පාදකවරුන් හෝ සමාගම් මුණගැසීම මෙන්ම ඒ හා බැඳුණු ව්‍යාපාරික පසුබිම ගොඩනැගීමත් දියුණු සිනමා කෘති අරභයා ඇගයීම් හා සම්මාන ලබා දීමත් තවත් පසෙකින් නැගී වැඩිණ. එක් අතකට මේ සියල්ල ක්‍රමිකව එකට බැඳී පැවතිණි. එනම්, සම්මානිත, ආකර්ෂණීය සිනමා කෘති සඳහා වෙළඳ පළ නිර්මාණය වීම සිදුවෙද්දී එම කෘතියේ නිර්මාණකරුගේ ඊළඟ නිර්මාණය සඳහා නව නිෂ්පාදකයකු කැමැත්ත පළ කිරීම හා මුල් සම්මානිත චිත්‍රපටය නැරඹීමට ප්‍රේක්ෂාගාරය ආකර්ෂණය වීම යනා දී වශයෙනි.
චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා අවකාශයක් මුණ නොගැසෙන, නමුත් යම් කිසි කාලසීමාවක් (බොහෝ විට වසරක්) ඇතුළත ප්‍රදර්ශනය කළ හෝ එම උළෙල සඳහා අයදුම් කර ඇති සිනමා කෘති අතරින් සම්මාන සඳහා සුදුසු චිත්‍රපට හා නිර්මාණකරුවන්, ජූරියක් විසින් ලබා දෙන තීන්දු මත, තෝරා සම්මානයට පාත්‍ර කිරීමේ තවත් උළෙල ක්‍රමයක් පසුකාලීනව නැගී ආවේ ය. මෙරටත් වඩා ප්‍රසිද්ධ, අල්ලපු රටේ පැවැත්වෙන, ෆිල්ම් ෆෙයා සම්මාන උළෙල මීට සුදුසුම උදාහරණයක් වන අතර සරසවි සම්මාන, ඕසීඅයිසී සිනමා සම්මාන, ජනාධිපති සම්මාන මේ සඳහා මෙරට උදාහරණ වේ. යම් වෙළඳ සමාගමක්, සංගමයක් හෝ සංවිධානයක්, නැතිනම් රජය මේ සම්මාන උළෙල සංවිධානය කළ අතර ඒ ඒ ආයතනය හෝ පාලනය පළ කළ දෘෂ්ඨිවාදයන් හා නොපෑහුණු කෘති සම්මානයෙන් ඉවත් කිරීම මේ උළෙලවලදී සිදුවන බවට චෝදනාවන් ද නිරතුරුව මුණ ගැසෙන්නට විය.

ලංකාවේ සිනමා සම්මාන උළෙල

දීපශිකා සම්මාන උළෙලින් ඇරඹෙන මෙරට සිනමා සම්මාන උළෙල ඉතිහාසය දිගුකාලීන ක්‍රියාත්මක බවක් ඉසිලූ සරසවිය (ලේක්හවුස් ආයතනය මගින් මුද්‍රණය කෙරෙන සරසවිය පුවත්පත මගින් පැවැත්වූ), ජනාධිපති සම්මාන (චිත්‍රපට සංස්ථාවේ මැදිහත් වීම මත රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වූ) හා ඕසීඅයිසී සම්මාන (කතෝලික සිනමා පර්ෂදයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන) ආදී උළෙල නිසා කැපී පෙණින. වසරක කාලයක් පුරා දිවෙන සිනමා ප්‍රදර්ශන සමයකින් තෝරාගැනෙන හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂවරයා, හොඳම නළුවා, නිළිය, හොඳම සංගීතය, හොඳම කැමරාකරණය, හොඳම සංස්කරණය ආදී ඇගයුම් මෙන්ම මහජන ඡන්දය හරහා ලැබුණු ජනප්‍රිය චිත්‍රපටය, නළුවා හා නිළිය වැනි සම්මාන ද මෙම උළෙල ලේඛණ අතර විය. ඉන්දීය සිනමාව තරම් මහෝඝයක්ව ගලන සිනමා නිෂ්පාදන රැල්ලක් නොමැති වුව, සිහින් දිය දහරක්ව ගලන සිනමා නිර්මාණ සුළුතරයක් අභිමුව නැගෙන විශිෂ්ඨයින් හඳුනාගැනීම පවා නිර්මාණය කළේ මහත් උත්කර්ෂයකි.

කෙසේ වෙතත්, මේ සිනමා සම්මාන උළෙල ද එක් එක් අවස්ථාවලදී විවිධාකාර අර්බුද නිර්මාණය කළ අතර ඇතැම් මොහොතවල ප්‍රබල මහජන අවධානයන් ද දිනා ගත්තේ ය. උළෙලවලදී ප්‍රධානකොටම අර්බුද නිර්මාණය කළේ විනිශ්චයයි. සම්මාන සඳහා තේරූ හෝ නිර්දේශ කෙරුණු කෘතීන් හෝ සිනමා නිර්මාණකරුවන් නැතිනම් ශිල්පීන් ඒ සඳහා සුදුසු නොවන බව එක් තැනෙක කියැවෙද්දී සඳහන් නොවුණු නාම ඒ සඳහා සුදුසු බව කියමින් තර්ක විතර්ක ඉදිරිපත් කළ අවස්ථා ද සුළු නොවී ය. මුහුදු ලිහිණි සිනමා කෘතිය සඳහා තමන්ට ලැබුණු හොඳම සංගීතය සඳහා වන සම්මානය ලැබිය යුතු සුදුස්සා නම් තුන්වෙනි යාමය සඳහා සංගීතය නිමැවූ ප්‍රේමසිරි කේමදාසයන් බව කියා එච්.එම්. ජයවර්ධන විසින් සම්මානය ඔහු අත තැබූ මොහොත වැනි අවස්ථා සම්මාන උළෙල වෙත අමුතු මහජන අවධානයක් ඇති කළ අවස්ථා විය.

පසුගිය කාලයේ ලංකාවේ සිනමා සම්මාන උළෙල
2000 -2010 දශකය සමයේ පෙර නොවූ විරූ පරිදි ලංකාවේ සිනමා සම්මාන උළෙල කලාපය උඩු යටිකුරු වුණු අන්දම හඳුනාගැනීම අපහසු නැත. දිගු කලක් මුළුල්ලේ අඛණ්ඩව පැවති සරසවිය සිනමා සම්මාන උළෙල නැත්තටම නැතිවී ගියේ ය. එහි දී පිදෙන ජනප්‍රිය සිනමා නළුවා සම්මානය රන්ජන් රාමනායක අතට පත්වීම වැළැක්වීම සඳහා බලයේ සිටි රජය ඒ නවතා දැමුණු බවට, ඇත්ත නැත්ත කුමක්දැයි ඇපැහැදිලි, කතාවක් ප්‍රචලිතව තිබුණේ ය. චිත්‍රපට සංස්ථාව වටා රොක්වුණු, පැවති රාජ්‍ය දෘෂ්ඨිය කරපින්නාගත් කිහිප දෙනෙකු, ජනාධිපති සිනමා සම්මාන උළෙල ද යටපත් කළ බවට ආරංචි පැතිර ගියේ ය. තමන් අකමැති සිනමාකරුවන්ට එම සම්මාන උළෙල සම්මාන ලබා දීමට සූදානම් වූ බැවින් යටකී ‘කිහිප දෙනා‘ එය පැවැත්වීම අධෛර්යයට පත් කළ බව කියැවිණි. මෙහි ද ඇත්ත නැත්ත කුමක් වුණත්, 2009 හෝ ආසන්න වසරක සිනමා කෘති විනිශ්චය සඳහා ජනාධිපති සම්මාන ජූරි සභාවට ලියුම්කරුට ද ඇරයුම් ලැබුණු අතර, එම විනිශ්චය මණ්ඩලය ඉන් පෙර ඒ කෘති නැරඹූ විනිශ්චය මණ්ඩලයක තීරණවලට එකඟ නොවූ නිසා පත් කළ එකක් බව පසුව දැනගන්නට ලැබිණ. අපි ද අපේ විනිශ්චයන් කවරයක බහා සීල් කොට භාර දුන් නමුත් අද වන තෙක් කිසිදු සම්මානයක් ලබා දුන් බවක් නම් ආරංචි නැත.

සරසවිය හා ජනාධිපති සම්මාන උළෙල අතුරුදහන් වුණු යුගයක ඉතිරි වූයේ ඕසීඅයිසී සම්මාන උළෙල පමණි. එය ද ඇතැම් වසරක නොපැවැත්වුණු අතර වසර කිහිපයක සම්මාන එකවර ලබා දෙන තත්වයකට පත් වුණු අවස්ථා විය. 2010 වසර පසුවීමත් සමග තරගකාරී පෞද්ගලික රූපවාහිනී නාලිකා දෙකක් සිනමා සම්මාන උළෙල පැවැත්වීම භාරගෙන තිබිණි. එකක් හිරු නාලිකාව ය. අනෙක දෙරණ නාලිකාව ය. ඒ හැරුණුකොට, ගුණසිරි සිල්වාගේ උනන්දුව මත වරක් හෝ දෙකක් ලංකාලයිව් සිනමා සම්මාන නමින්, සිනමාව පිළිබඳව වූ වෙබ් අඩවියක් මගින් ද සම්මාන උළෙලක් අප හමුවට ආවේ ය.

රූපවාහිනී නාලිකා සිනමාවට සම්මාන දෙන්නේ ඇයි?

රූපවාහිනී නාලිකාවක් ප්‍රමුඛ අවධානයකින් සිනමාව සඳහා සම්මාන පිරිනමන්නේ සිනමාව කෙරෙහි වන දැඩි භක්තිය හෝ ආසක්ත බව නිසා නම් නොවන බව පැහැදිලි ය. ජනාධිපති සහ සරසවි සම්මාන උළෙල පැවැත්වීමට මෙන්ම නැවැත්වීමට ද ඒ ඒ ආයතනවලට එළිදරව් වුණු හා සැඟවුණු හේතු තිබුණු පරිද්දෙන්ම, මෙසේ සම්මාන දීමට ද මේ ආයතනවලට එළිදරව් කළ හා සැඟවුණු හේතු ඇතුවාට සැක නැත. ප්‍රමුඛම කාරණා අතර නාලිකාවට හිමිවන ප්‍රචාරය, අනුග්‍රාහකත්වයන් නිසා ලැබෙන මුදල් සහ ජනප්‍රියත්වය වන බව පෙනී යයි.

කෙසේ වෙතත්, සිනමාවේ බිඳවැටීම සඳහා මූල සාධකයක් විණැයි ඇතැමුන් හඳුන්වා දුන් රූපවාහිනියම පෙරට පැමිණ සිනමාවට සම්මාන දීම එක් අතෙකින් සතුටුදායක ය; අනෙක් පැත්තෙන් උත්ප්‍රාසජනක ය. වඩා දියුණු සිනමාවක් බිහිවීම සඳහා ප්‍රමුඛ ලෙස ම බාධා එල්ල කරමින් අවරගණයේ ටෙලි නාට්‍ය, හොලිවුඩ් හා බොලිවුඩ් මහාධාරවේ සිනමා කෘති ඇති පමණට සමාජයට පොම්ප කරන රූපවාහිනී නාලිකා හිටි අඩියේ සිනමාව ගැන සැළකිල්ලක් දැක්වීම තියුණු අවධානයකින් විමසා බැලිය යුත්තක් බව ද පෙනේ. එක් අතකින්, මගේ විශ්වාසයේ හැටියට, සිනමා සම්මාන දීම හෝ නොදීම කොයි හැටිවෙතත්, කලාත්මක සිනමාව පුරවැසියා වෙත සම්ප්‍රේෂණය කිරීම සඳහා මැදිහත් කාර්යයකට පිවිසීමේ වගකීම මේ සියලු නාලිකා වෙත සමානව යොමු ව ඇත.

2014 වසර සඳහා දෙරණ සිනමා සම්මාන හා අර්බුදය

මෙම ලිපිය සඳහා ඉහත සියලු කරුණු එක් අතකට ප්‍රවේශයක් වැනි ය. නිමිත්ත මෙම ඉහත අනුමාතෘකාව බැවිණි. එහෙත් සෘජුව මාතෘකාව වෙත පිවිසීමට වඩා, මෙම පිවිසුම් ලේඛණය අත්‍යාවශ්‍ය කරුණු කිහිපයක් ගෙනවිත් ඇති බව ඔබට පසුව ඒත්තු යනු ඇත.

2014 වසරේ තිරගත වුණු සිනමා කෘතීන් සඳහා දෙරණ සිනමා සම්මාන උළෙල තුළ දී පිරිනැමෙන සම්මාන සිනමා රසවතුන්, උද්යෝගිමත් ප්‍රේක්ෂක ප්‍රජාව, සිනමාව ගැන කමෙන්ට් දමන ෆෙස්බුක් ක්‍රියාකාරිකයින් බොහොමයක් වෙත තිගැස්මක් ඇති කර දී ඇත. ආසන්නව පැවති සිනමා සම්මාන උළෙල  කිහිපයකදීම ඇගයුමට ලක්වුණු ‘තණ්හා රති රගා‘ සිනමා පටය හා කරට කර යමින් ‘හොඳම අධ්‍යක්ෂවරයා‘ සහ ‘හොඳම නිළිය‘ ඇතුළු ප්‍රමුඛ සම්මාන කිහිපයක්ම දිනාගන්නට ‘කේ සරා‘ චිත්‍රපටය සමත්වීම මෙයට හේතුවයි. ඒ සම්මාන ප්‍රදානයෙන් පසුව හමුවුණු ෆේස්බුක් අදහස් කිහිපයකට අනුව හා සරසවිය පුවත්පතේ ලිපියකට අනුව සම්මාන ප්‍රදානය ඔවුන් දකින්නේ ‘අදහාගත නොහැකි‘ විශ්මයක් ලෙස ය. “දෙරණ සිනමා උළෙලෙදි කේ සෙරා චිත‍්‍රපටියට හොඳම අධ්‍යක්‍ෂණය, හොඳම නිලිය, හොඳම සහාය නලුවා සම්මාන දෙන්න මේ විනිශ්චය මණ්ඩලය දැකපු අපි නොදැකපු ප‍්‍රශස්ත බව දැනගන්න කැමතියි“ යනුවෙන් තරුණ සිනමාකරුවකු හා විචාරකයෙකු වූ චින්තන ධර්මදාස ෆේස්බුක් අඩවියේ ලියා තිබිණ. “ඉතාමත් කුහකම ජූරිය මේ යැයි කීමට මම බය නොවෙමි“ යන හිසින් (හෝ අදහස සහිතව) විකුම්ජිත් ප්‍රේමකීර්ති සරසවිය පුවත්පතට ලිපියක් ලියා තිබුණු අතර වෙබ් අඩවි කිහිපයක්ම එය උපුටා පළ කොට තිබිණි.

මා මේ ලිපිය ලිවීමට මෙහෙය වූ ෆේස්බුක් පෝස්ටුව ලියා තිබුණේ ප්‍රකට ලේඛක හා විශ්වවිද්‍යාල ආචාර්ය ලියනගේ අමරකීර්ති විසිනි. සම්මාන උළෙල පිළිබඳ විවිධ පුද්ගලයින් දැරූ අදහස් කිහිපයක්ම ගොණු කර තිබුණු ඔහු මතයක් සෘජුව පළ කර නොතිබුණ ද සිනමා සම්මාන විනිශ්චය පිළිබඳ ගැටළුවක් සමාජයේ ඇති බව පෙන්වා තිබිණ. ඔහු ගොනු කර තිබුණු ප්‍රකාශ කිහිපයකි මේ;

"80 ගනණ්වල අපේ චිත්‍රපටි පිච්චුව කුහකයො ටිකත්, කේසරා ට සම්මාන දුන්න මේ විද්වත් ජූරියත් කරල තියෙන්නෙ එකම දෙයයි.. ඒ අපේ කර්මාන්තය ගිනි තිබ්බ එකයි." 
- Randi Pavi Kaluarachchi

"අවසාන වශයෙන්, අපි රහක් තියෙන මිනිස්සු විදිහට දැකපු ජූරියක් අතින් "කේ සේරා" කියන ""වෙසක් නාට්‍යය"" ට හොඳම අධ්‍යක්ෂණය දුන්නෙ කොහොමද? Channel එකක් ලබාදෙන ඕනම අවකාශයක් තුළ ජූරියකට (කලාකරුවෙකුට ) තමන්ගෙ සමාජ වගකීමෙන් ගැලවිල මෙහෙම විහිළු සපයන්න පුළුවන්ද? මේ සම්මාන සමාජගත වෙන එක සිනමාකරුවන්ට, එය හදාරන අයට අන්තිමේදි ප්‍රේක්ෂකාගාරයට හානියක් නෙවෙයිද?" 
Nayani Chandrasinghe

රන්දි කළුආරච්චි නම් මා හඳුනන්නේ නැත. නයනි චන්ද්‍රසිංහ නම් මෑත යුගයේ නැගී ආ දක්ෂ තරුණ කෙටි චිත්‍රපට නිර්මාණකාරිණියක් බැව් දනිමි. කෙසේ වුවත්, මේ සියලු ප්‍රකාශයන්ට පසුව, පෝස්ටුවට පසුව යෙදී තිබුණු කොමෙන්ටු කිහිපයකට ද පසු, ජූරියේ ප්‍රමුඛතමයෙකු වූ අශෝක හඳගම මෙසේ ලියා තිබිණි.

අමරේ, අගක් මුලක් නොදන්නා ඉසවු වල කරක් ගහන කොට ටිකක් පරිස්සමින්. FB එකේ බල්ටි ගහන මේ අය අඬන්නේ තමන්ට නොලැබුණු යමකට තරහින්. අපේ තක්සේරු වැරදි මයි කියමුකෝ. එත් තරඟෙකට ඉදිරිපත් වෙලා තමන් හෝ තමන් නියෝජනය කරන පාර්ශවය දිනුවේ නැතිවුනාම පොර ටෝක් දෙන අය ගේ ශීලාචාර කම ගැන ටිකක් සැලකිලි මත් වෙන්න පැත්තක් ගන්නකොට. හරි හෝ වැරදි ජූරියේ අපට අපේ තීරණ වලට පදනම් වුනු හැමදෙනාම එකඟ වුණු ලොජික් එකක් තිබුණා. ඕනෑම නම් පුද්ගලිකව හමු වුනාම පැහැදිලි කරන්නම්. අප හරඹ කරන්නේ අපට තරම් අය සමග පමණයි.“

තීන්දු හා තීරණ

ඉහත උපුටනවලට වඩා තවත් බොහෝ අදහස් උදහස් ෆේස්බුක් අවකාශයේත්, සමාජ ජාල හා පුවත්පත් ඇතුළු කලාපවලත් පළවන්නට ඇති නමුත් මා මගේ ලිවීම සඳහා ඉහත ප්‍රකාශ කිහිපය පමණක් පාදක කොට ගනිමි.
මේ ප්‍රකාශ දැකීමෙන් අනතුරුව මා වහාම කළේ ‘කේ සරා‘ චිත්‍රපටය සොයාගෙන නැරඹීමයි. මා කලින් නරඹා තිබුණු ‘එකදා වැහි‘ චිත්‍රපටය නිර්මාණය කළ පරාක්‍රම ජයසිංහ එහි අධ්‍යක්ෂවරයා විය.

චිත්‍රපටයේ හමුවන්නේ සිය පියා මියගිය පසු ඔහුට අයත් අවමංගල සේවාව යළි නගා සිටුවන අවිවාහක ඉහළ මධ්‍යම පාන්තික තරුණියකි. ඇය සේරා ය. ඇයගේ ප්‍රධාන වැහැරුම් බස ඉංග්‍රීසි ය. ඇයට බාල සොයුරියක්ද සිටින අතර සිය ඥාති සොයුරකුගේ උදව්වෙන් ව්‍යාපාරය දියුණු කරයි. යම් විකාරරූපි ස්වභාවයකින් දිගහැරෙන කතා පුවත තුළ ඉහත තිදෙනාට අමතරව, සේරාගේ සුපිරි අවමඟුල් සේවා සාප්පුවේ සාමාජිකයින්, මළවුන්ට සෙනෙහස දක්වන විවාහක කතක්, මියගිය සුරූපි තරුණියකගේ අවතාරය (ඇය සේරාගේ සොයුරිය බව පසුව හෙළි වේ.), අවතාරය එලවන්නට එන කට්ටඩියා, හිටි අඩියේ සාප්පුවට යන එන ගණුදෙනුකරුවෝ ආදීහු වෙති. අවමංගල සේවාව ඉහළින් පටන් ගන්නට සූදානම් වන සේරාගෙන් ඇරඹෙන කතාව ඇගෙන් සමුගෙන යන සුන්දර අවතාර තරුණියගේ සමුගැනීමෙන් කෙළවර වේ.

අවතාර තිබූ පමණින් මෙය භීතිය ප්‍රමුඛ කොටගත් චිත්‍රපටයක් ලෙස නොගතමනා ය. සිනමාකරුවා (හෝ යමෙක්) මෙය නම්කර තිබුණේ අඳුරු සුඛාන්තයක් (Black Comedy) ලෙස ය.


සිනමා කෘතිය නරඹා නිම වූ පසු මාහට පැහැදිලි වූයේ යටකී ෆේස්බුක් කමෙන්ටු හා පුවත්පත් ලිපිවලට යම් පසුබිමක් ඇති බවයි. ඒ සියල්ල ‘තමන්ට හෝ තමන් කැමති සිනමාකෘතියට සම්මාන නොලැබීම‘ හේතුවෙන් ‘එෆ්බී‘ එකේ ‘බල්ටි ගසන‘ හඳගමලාට තරම් නොවන පිරිසකගේ ‘පොර ටෝක්‘ ලෙස ගැනීම ලොකු වරදක් බවයි.

සිනමා සම්මාන සඳහා වන තීරණ ප්‍රශ්න කළ හැකි ද?

මගේ අදහසේ හැටියට නම් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තමන්ට බලපාන හා/හෝ දැනගන්නට අවශ්‍ය යැයි හැඟෙන, පුද්ගලික සීමාව ඉක්මවන පොදු අවකාශීය කාරණා කවරක් ගැන වුව ප්‍රශ්න කිරීමට පුරවැසියකුට අයිතිය තිබිය යුතු ය. අනෙක් අතට, පුද්ගලික නාලිකාවකින් සම්මාන දුන් පමණින්, ඒ සඳහා වැයවන මුදල් පුද්ගලික නැත. පුරවැසියා, බදු මුදල් හරහා හෝ, වෙළඳ භාණ්ඩ මිලයට ගනිමින් හෝ වෙනයම් කුමනාකාරයකින් හෝ මේ වැඩවලට මුදල් දී ඇත. ඒ නැතත්, මේ සිනමාව උත්තර මණ්ඩලයකට අයත් කාගේ හෝ නොවේ. එය ප්‍රේක්ෂාගාරය අභියස දිගහැරෙන, තිරයක ඇඳෙන දෙයකි. එය අප හැමගේම ය.
අනෙක් අතට සම්මානයට පාත්‍ර වූ, පසුගිය වසරක තමන් දුටු සිනමා කෘතීන්හි ප්‍රශස්ත ස්වභාවයන් ගැන, එම කෘතීන් සම්මානයට පාත්‍ර වීමට හේතු පාදක වූ කරුණු ගැන ‘දන්නා දන්නා අයට පමණක් කීම‘ කුමන වැඩක් ද? බොහෝ සම්මාන උළෙලවලදී සම්මානිත කෘතිය සඳහා සම්මානය ලබා දීමට හේතු පාඨ ලියා තබමින් අප මේ ‘අනිත් අයගේ දැනගැනීමේ ආසාවට‘ යම් තරමකින් හෝ උත්තර දෙමු. (වසර දෙකක් තිස්සේ ඕසීඅයිසී ටෙලි ජූරිය සඳහා හේතු පාඨ ලියමින් මේ අවැසියාව පූරණය කළ අතීතයක් ලියුම්කරුට හිමි ය.) එය අසා හෝ කියවා ‘ආ.... හරි‘ කියමින් සියල්ල පිළිගෙන හැමදෙනාම පිටව නොයන බව සැබෑවකි. එහෙත්, අඩු තරමින්, අප කළ දේ, අප කිරා බැලූ නිර්ණායක, සමාජගත කිරීමේ වගකීමට අපට සැළකිය යුතු මට්ටමකින් පිළිතුරු දිය හැකි ය.  

කේ සරා

‘කේ සරා‘ පිළිබඳ ගැටළුව පැන නගින්නේ සිනමා භාෂාව පිළිබඳ පොදු අදහස විමසන විටදීම ය. ‘මේ මගේ සඳයි‘ නිමවූ පසු ‘මට සිනමා භාෂාවක් නෑ‘ යනුවෙන් හඳගම ප්‍රකාශ කළ ද, ඔහු අදහසක් සහිතව සිනමා ව්‍යාකරණය හා හරඹ කර නව භාෂා රටාවක් නිපදවනු අපට පෙනිණ. පරාක්‍රම ජයසිංහ එවැන්නක් සිදු කරන්නේ නැත. ඒ නිසාම ඔහුගේ කැමරා ස්ථානගත කිරීම්වලට අර්ථ නැත. රූපවලින් ගෙනෙන ප්‍රකාශනයක් නැත. ඒ සියල්ලටම වඩා, ආඛ්‍යානය දෙසින් පිවිස බැලුවත්, ඔහු ගොඩනගන ආඛ්‍යානයට හරිහැටි විහිදෙන පදනමක් නැත.

එහෙත් ඔහු යම් සම්මත පද්ධති ගණනාවක් කඩා ඉහිරවයි. අවමංගල සේවාවේ සිට අවතාර දක්වාත්, බියජනකැයි කියන සොහොන් පළේ සිට බයක් නැති සාමාන්‍ය නිවස දක්වාත් ඔහුගේ අවස්ථා ගොණු කිරීම් සම්මතයට එපිටින් යයි. අවතාර හා කතා කිරීමේ සිට සාමාන්‍යෙයන් භීතිය කැඳවන අවස්ථා උඩුයටිකුරු කොට දැක්වීම අතින් ඔහු යම් අපූරු දේ තනන්නට උත්සාහ දරයි. එහෙත් ඒ කිසිවක් නිසි රාමුවකට එක්වන බවක්වත් නොපෙනේ. මතුපිට කතාව විමසා බැලුව ද, සේරාගෙන් පටන් ගන්නා කතාව අවතාරයක් ලෙස එන සොයුරිය දෙසට වරකත්, අවතාර හා බැඳෙන ගැහැණිය දෙසට තවත් වරෙකත්, සේරාගේ ඥාති සොහොයුරා දෙසට තවත් වරෙකත්, අවතාර එලවන කට්ටඩියා දෙසට තවත් වරෙකත් ලෙස පොළා පනී. සේරාගේ ආත්ම කථනයක් ලෙස නැගෙන ඇතැම් කොටස්, ඇගේ අතීතාවර්ජන ලෙස අපට ගෙන ආව ද ඒ දර්ශනවල බොහෝ විට සිටින්නේ ඇගේ සේවකයින් ය. (සම්මානයට පාත්‍රවන ප්‍රති-වීර චරිතය හමුවන අවස්ථාව බලන්න. එය සේරාගේ අතීතාවර්ජනයකි. එහෙත් ඒ දර්ශනය මුලදීම ඇය ‘එක්ස්කියුස් මී‘ කියා යන්නට යයි.)

මේ දර්ශනවල තාක්ෂණ දෝෂ නම් එමට ය. ප්‍රතිවීර චරිතය සිය සේවකයකු මරා පෙට්ටියට දමන වෙලාවේ රාමුවේ දකුණින් ඇතුළට එබෙන කළු පාට දෙය, බූම් මයික් එක ද, නැතහොත් කුමක් ද යන්න දන්නේ සිනමාකරුවා ම ය. මා රූප දුටුවේ කුඩා පරිගණක තිරයක නිසා ඇතැම් දේ මට මග හැරෙන්නට ද ඇත.

වේදනා සහ ‘පොර ටෝක්‘

බොහෝ ජූරි හෝ සම්මාන උළෙල දෙස බලන්නේ පවතින පසුබිම ද විමසමිනි. 2009 වසරේදී ලියුම්කරුද වාඩිවී උන් රූපවාහිනී රාජ්‍ය සම්මාන ජූරියෙන් හඳගමගේ ‘නැගෙනහිර වෙරළෙන් ඇසෙන‘ ටෙලි නාට්‍යය සඳහා වැඩි සම්මාන තීන්දු කර තිබියදීත් ඔහු සම්මාන උළෙලට කැඳවාගන්නට බොහෝ වෙර දරන්නට සිදුවුණු බව මට ආරංචි විය. එය පුදුමයට කරුණක් නොවේ. රාජ්‍ය සම්මාන උළෙලකින් ඔහුගේ කෘතියකට සම්මාන දේදැයි ඔහුට සිතෙන්නට ඇත. එහෙත් අපි අපේ කාර්යය කළෙමු. සම්මාන උළෙල දා විනිශ්චය මණ්ඩලයට ‘කණට දෙකක් දීමට‘ සෙවූ ප්‍රමුඛ නළුවෙකුගෙන් අප ගැලවුණේ ‘අපේ ගණුදෙනුව අපට තරම් අය සමග පමණි‘ කියමින් නොවේ. ගත් තීරණ පිළිබඳ වග කියන්නට අපි බැඳී උන්නෙමු. හඳගම ද සැක කළ පරිදිම, අපේ තීරණවලින් පසු එවකට උන් සංස්කෘතික ඇමතිවරයා සම්මානිත ටෙලි නාට්‍යය හොරෙන් බැලූ බවට කතාවක් ගියේ ය. එය ඇත්ත ද නැත්ත ද කියා අප නොදනිතත් ‘රාජ්‍ය පාලකයින්ගේ‘ සිටම එක් එක් අයට සම්මාන උළෙල තීරණ ගැන වේදනා ඇතිවන බව තේරුම් ගතිමු.

කිසිදු සමාජ කාර්යයකින් පසු, ඒ හා බැඳෙන කාරණා ‘තරමට ගැලපෙන අයට‘ පමණක් සීමා නොවේ. ඒ උසාවියක රහසිගත ජූරි තීරණයකින් පුද්ගලයකු එල්ලුම් ගස් යවන වැඩක් නොවන බැවිණි. දෙරණ ජූරියේ තීරණ මුලින් ආ එකඟතාවක් හේතුවෙන් රහසිගතව තබන්නේ ය වැනි කරුණක් යම් පිළිගැනීමකට ලක් කළ හැකි වුව ද ‘තරමට ගැලපෙන අය‘ යන ප්‍රකාශය ජනතාවාදී දක්ෂ කලාකරුවකු පිළිබඳ කම්පාවක් අප වෙත ඇති කරයි. ඒ අදහස දැක මා ෆේස්බුක් පිටුවේ ලියූ වැකිය මෙහි ද ලියමි.



“තරම් අය? උසින් ද? රැවුලෙන් ද? මෙය නම් එසේ මෙසේ ප්‍රකාශයක් නොවේ!“


රූපය - http://www.sundaytimes.lk/140928/uploads/IMG_8202.jpg


(මාතෘකාවේ ජනප්‍රිය බව නිසා ‘හිට්‘ වැඩි විය හැකි මෙම ලේඛණය හොරෙන් උපුටා පළ කරන්නට අවසර ඇත.)