ජේම්ස් කැමරන් කැනේඩියානු සම්භවයක් සහිත හොලිවුඩයේ බිහිවූ දක්ෂ සිනමාකරුවෙකි. මෙරට ද විශාල වශයෙන් ප්‍රසිද්ධියක් ලැබූ ‘The Aliens’, ‘Titanic’ ‘Avatar’ යන නිර්මාණ ඔහුගේ ය. The Talks වෙබ් අඩවිය සමග ඔහු සිදු කරන මෙම සංවාදය සමගින් ලොව ප්‍රකට සිනමාකරුවන්, සංගීතඥයින්, චිත්‍ර ශිල්පීන්, රංගන ශිල්පීන්, නර්තන ශිල්පීන්, සාහිත්‍යකරුවන් ඇතුළු විවිධ කලාපවල කලාකරුවන් රැසක් සමග කළ සංවාද ඔබ වෙත ගෙන එන ලිපි මාලාවක් ඇරඹේ. මෙම ලිපිය පසුගිය සිකුරාදා (2025 ඔක්තෝබර් 31) 'අනිද්දා' පුවත්පතෙහි 'දේදුන්න' අතිරේකයෙහි පළ විය.
ප්‍රශ්නය: කැමරන් මහත්මයා, ඔබේ චිත්‍රපටවල නවෝත්පාදන සීමාවන් නිරන්තරයෙන් පුළුල් කරන්න ඔබව පොළඹවන හේතුව මොකක් ද?
පිළිතුර: මම හිතන්නේ, ඒ පුංචි සන්දියේ ඉඳන් මිනිස්සු පුදුම කරන ජාතියේ කලාත්මක දේවල් කරන්න මට තිබුණු ආශාව හින්ද ආපු දෙයක්. ඔයා දන්නව ද? මාව පුදුම කරන ජාතියෙ චිත්‍රපටි බලන්න මම යනවා. ඒක රේ හැරීහවුසන්ගෙ එකක් වුණත්, ස්ටැන්ලි කුබ්රික්ගෙ ‘2001: අ ස්පේස් ඔඩෙසි’ වුණත් එකයි. මට ඕනෙ වුණේ නෑ ඊට වඩා අඩුවෙන් දෙයක් කරන්න. මම ආදරය කරපු හැම ව්‍යාපෘතියක්ම, කරන්න පුළුවන් ඒත් තවම කරල නැති දේවල් වුණා. මට හැම වෙලාවෙම ඕනෙ වුණේ අලුත් දේවල් අරන් එන්න.
ප්‍රශ්නය: පුංචි සන්දියෙ ඉඳන්ම?
පිළිතුර: ඔව්, මොකද නැත්තෙ. මම කාඩ්බෝඩ් පෙට්ටිවලින් රොබෝලා හදන්න පුරුදු වෙලා හිටියා. හැම වෙලාවෙම මම කළේ පිස්සු වැඩ. අවුරුදු 10 දි විතර මට ඕනෙ වුණා ප්ලේන් එකක් හදන්න. අපි හොයාගත්ත, ප්ලයිවුඩ් ලෑලි වගයක්, මට හිටියා උදව්වට ළඟපාත ගෙවල්වල කොලු රැළක් උදව්වට. ඉතින් අපි හැදුව ප්ලේන් එක. ඒක කවදාවත් පියාඹුවෙ නැති වුණාට අපිට පුළුවන් වුණා ඒක ගහක එල්ලන්න! මම හැමවෙලේම තාක්ෂණය, රොබෝලා, ආලෝකය සම්බන්ධ දේවල් වගේ දේවල්වලට තමයි ඇදිල ගියේ. ඉතින් ඔයා දන්නව ද, හයිස්කූල් එකේ දි මම ෆුට් බෝල් ටීම් එකේ නොහිටියාට, මම විද්‍යා සංගමේ සභාපති වුණා. මොනව වුණත් හැබැයි ඒකෙ හිටියෙ මායි, චෙකොස්ලොවැකියාවෙන් ආපු ඉංග්‍රීසි කතා කළේ නැති කෙල්ලෙකුයි විතරයි. ආ.. ආය හිටියා ලැබ් එකේ මීයො ටික! (සිනාසෙයි)
ප්‍රශ්නය: දශක ගාණකට පස්සෙත්, ඔබේ හැම වැඩකම තාක්ෂණය වගේම රොබෝ විද්‍යාව ගැන තියෙන කැමැත්ත, චිත්‍රපට හරය ඇතුළෙ දැකගන්න පුළුවන්. වැඩිහිටියෙකු වුණත්, තාමත් ඒ පුංචි ළමයාගේ සිහිනය එක්ක ඔබ ජීවත් වෙනව කීවොත් එකඟ වෙනව ද?
පිළිතුර: අහන්නත් දෙයක් ද? මම තාමත් විද්‍යාවට පිස්සු වැටුණු ඒ පොඩි එකාම තමයි. චිත්‍රපට හදන්න ඔ්නෙ කියන ආසාව මට ආවෙ පහුවෙලා. ඒකට මම තදින්ම කැමති වුණෙත් මගේ ඇතුලෙ ගවේෂකයෙක් හිටපු නිසා. ඒ කියන්නෙ, මම ගවේෂණයක යෙදිල ඉන්නව නම්, ටයිටැනික් ගවේෂණය කරන ගමන් වතුර යටින් රොබෝ යානයක් පදවනව නම්, මම පෞද්ගලිකවම යනව නම් නැත්නම්, මගේ ඇස් දෙක හැටියට රොබෝ වාහනයක් එතනට යවනව නම්, ඒ කොයි දේ වුණත් තාක්ෂණික අභියෝගයක්. මම තාක්ෂණික අභියෝගවලට කැමතියි; මම දුෂ්කර ගැටළු විසඳන්න කැමතියි; ඈත දුර ගැඹූරු මුහුද කෙළවර පරිසරවලට යන්න පුළුවන් යන්ත්‍ර හදන්න, ඒවා ක්‍රියාත්මක කරවන්න, වගේම ඒවා ආසාර්ථක නොවී තමන් කළ යුතු දේ කරනවා දකින්න මම කැමතියි.අන්න ඒකෙන් මම උද්‍යෝගිමත් වෙනවා.
ප්‍රශ්නය: චිත්‍රපටි හදන එකයි, ගවේෂණයයි දෙක කියන ලෝක දෙක එකතු වුණාමයි වඩාත්ම තෘප්තිමත් දේ හැදෙන්නෙ?
පිළිතුර: ඒ විදිහට හැමදේම එකතු වුණාම හරිම තෘප්තියක් දැනෙනව තමයි. මට හැමවෙලාවෙම හැඟෙන්නෙ, අපි හැමෝම වගේ, මම මගෙ අම්මගෙයි, තාත්තගෙයි සම්මිශ්‍රණයක් කියලමයි. ඒත් ඒ තදබල වචනාර්ථයකින් තමයි. මගේ තාත්තා, හැම වෙලාවෙම තර්කානුකූලව හිතපු, දැකපු, ඉංජිනේරුවෙක්. ඒත්, මගේ අම්මා චිත්‍ර ශිල්පිණියක්. සිනමාව ශුද්ධ කලා ප්‍රභේදයක් නෙවෙයි කියල මට හැමවෙලේම හැඟෙනවා. ඒක තාක්ෂණික කලා ප්‍රවර්ගයක්. ඒකෙ නියැලෙන්න සංකීර්ණ උපකරණ ඔ්නෙ වෙනව විතරක් නෙවෙයි, ඔයාගෙ හැඟීම් එක්ක අදහස් ප්‍රකාශ කරන්න ඒ තාක්ෂණික වටපිටාව ගැන හොඳ අවබෝධයකුත් ඔ්නෙ. මම ඉංජිනේරු විද්‍යාවට ආදරෙයි. කතන්දර කීමටත් හරිම කැමතියි. ඉතින් මගෙ මනසෙදි ඔය දෙක අත්වැල් බැඳගන්නව. ගැඹුරු මුහුදේ ගවේෂණ පටන් ගන්නකොටම, එතනට යන්න අලුත් උපකරණ හදන්න, ආපිට එතන පින්තූර අරගෙන එන්න පුළුවන් විදිහට අලුත් උපකරණ හදන්න පටන් ගන්නකොටම, ඒක ස්වභාවිකවම එනව!
ප්‍රශ්නය: ඒක ඔබේම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වෙනව ඉන් පස්සෙ?
පිළිතුර: හරියටම හරි. හිනායන දේ කියන්නේ මම ඒ ගවේෂණය ගැන චිත්‍රපටයක් හැදීම හරහා හැම දේටම ගෙවන්න සල්ලි හොයාගන්න එක. මම හොලිවුඩ් චිත්‍රපට හදන්නෙම ගවේෂණවලට ගෙවන්න. චිත්‍රපටයක් හදනවට වඩා විශාල ඉලක්ක අපිට තියෙන එක වැදගත්. අපි නොදන්න දේවල් දිහාට ආලෝක ධාරා එල්ල කරලා ඒ ගැන දත්ත ගේන ඒක වටිනවා. එතන වෙන්නෙ විනයක් ඇතුව විද්‍යාවක් හරියට සිද්ධ කිරීම. මට ඔ්නෙ චිත්‍රපටියක් ගේන්න විතරක් නෙවෙයි, ඒක වැදගත් කියල මම හිතනව වුණත්.
ප්‍රශ්නය: ඒ කියන්නෙ, ගවේෂකයෙකු හැටියට ගත්තු අත්දැකීම්, වඩා හොඳ චිත්‍රපට නිර්මාණකරුවෙකු වෙන්න ඔබට බලපාල තියෙනව කියල ද කියන්නෙ?
පිළිතුර: මෙහෙමයි. ඇත්ත ලෝකෙදි ගවේෂකයෙක් හැටියට වැඩ කරපු එක නිසා මට කණ්ඩායමක්, නැත්තම් එක වැඩකට එක්වුණු පිරිසක් එක්ක වැඩ කරන එක ගැන හොඳ අවබෝධයක් ලබාගන්න ඉඩ ලැබුණා. සමහර වෙලාවට ගැඹුරු මුහුදේ ගවේෂණයකදි වඩාත්ම තෘප්තියට පත් වෙන්නෙ කණ්ඩායමේ සාමාජිකයෙක් හැටියට මගේ කොටස හරියට ඉටු කළ නිසා වෙන්න පුළුවන්. මම කණ්ඩායමේ නායකත්වය ගත්තා වෙන්න පුළුවන්, තාක්ෂණය ගැන බැලුවා වෙන්න පුළුවන්, යානය පැදෙව්වා වෙන්න පුළුවන්... එතනදි මම මගේ කොටස කරනවත් එක්කම කණ්ඩායම ඒකට මට ගෞරවය දක්වනවා. එතනදි මම බලාපොරොත්තු වෙන්නෙත් ඒකම තමයි. මම හිතන්නෙ මම හොඳ සිනමාකරුවෙක් වෙන්නෙත් මෙන්න මේ සහයෝගීව වැඩ කරන එක තේරෙන නිසා වෙන්න පුළුවන්. චිත්‍රපටයක් හදන්න ඔයාට ලොකු කණ්ඩායමක් ඔ්නෙ වගේම විශාල වශයෙන් අලුත් තාක්ෂණය ඔ්නෙ කරනවා. මම හිතන්නෙ නෑ, මම අධ්‍යක්ෂකවරයා වුණු පමණින් හැමෝම මට ගෞරව කරන්න ඔ්නෙ කියල වගේම හැමෝම මම කියන දේ හරියට, තිතට කරන්න ඔ්නෙ කියල. මම හිතනව කෙනෙක් චිත්‍රපටයක් හදන්න යද්දි හිතනව කියල ඔය ලොකු පොඩිකම් හරි වැදගත් කියල. ඔයාට එහෙම හිතාගෙනම කට්ටිය මෙහෙයවන්නත් පුළුවන්. ඒත් මම ඒ විදිහ සතුටුදායකයි කියල කොහෙත්ම හිතන්නෙ නෑ.
ප්‍රශ්නය: කතන්දර කීමේ දෘශ්ටිකෝණයෙන් බැලුවම, තාක්ෂණයේ දියුණුව හොඳ චිත්‍රපටි හදන්න බලපෑමක් වෙලා තියෙනව ද?
පිළිතුර: මම පොඩි කාලෙ බලපු චිත්‍රපටි එක්ක සසඳද්දි අවසානයේ දකින දේ අනුව නම් දියුණුවක් පේනව තමයි. නමුත් ඒ හැම එකක්ම හොඳ කතන්දර ද? එහෙමම කියන්න බැරි බව පේනවා. මම හිතන්නෙ හොඳ කතාවක් කියන්නෙ හොඳ කතාවක්. සමහර විට ඒක හතළිස් ගණන්වල හදපු කළු සුදු චිත්‍රපටියක් වෙන්න පුළුවන්. දැන් ‘කැසබ්ලැන්කා’ අරන් බලන්නකො. අදටත් ඒ කතාව පරද්දන්න බැහැ. අපි නිතරම මිනිස්සුන්ගෙ හදවතට බැඳිල ඉන්න ඔ්නෙ. අපිට පුළුවන් වෙන්න ඔ්නෙ එයාලට යමක් හැඟෙන්න දෙන්න, සමහර වෙලාවට එයාල අඬන්න වුණත් ඉඩ තියෙනවා. තාක්ෂණයට ඔ්නෙවට වඩා වහල් වෙනව වෙනුවට අවශ්‍ය වෙන්නෙ හොඳ කතාවක් කියන එක බව මතක තියාගන්න ඔ්නෙ. අපි දෙපැත්තම හිතන්න ඔ්නෙ.
ප්‍රශ්නය: හොඳ කතාවක් කියන එකට ඔබ ළඟ තියෙන නිර්ණායකය මොකක් ද?
පිළිතුර: මම හිතන්නෙ හොඳ කතාවකදි ඔබට කොහොම නමුත් සම්බන්ධ වෙන්න පුළුවන් චරිතයක් හරි චරිත කීපයක් හරි මුණගැහෙනවා. එයාලා අමුතුම තැනක ඉන්නව වෙන්න පුළුවන්. නැත්නම් අමුතු විදිහෙ රස්සා කරනව වෙන්නත් පුළුවන්. නමුත් යම් විදිහක මානව සම්බන්ධතා එයාලා අතර අපිට පෙනේවි. සමහර විට කොල්ලෙකුට කෙල්ලෙක් මුණගැහිල තියේවි. නැත්නම් තාත්තා සහ පුතා අතර කතාවක් වෙන්න පුළුවන්. ඒත් නැත්තම් ස්වාමි පුරුෂයා භාර්යාවගෙන් දික්කසාද වෙන්න යනව වෙන්න පුළුවන්. කතාව ඇතුළෙ අපිට මේ විදිහෙ විශ්වීය සම්බන්ධතා මුණගැහෙන්න පුළුවන්. ඊට පස්සෙ වෙන්නෙ ඒ සම්බන්ධය පරීක්ෂාවට ලක් වෙන එක. මම හැම වෙලාවෙම කියන එකක් තමයි ‘මගෙ හැම චිත්‍රපටයක්ම ආදර කතා’ කියන එක.
ප්‍රශ්නය: ඇත්තටම? ‘ඒලියන්ස්’ චිත්‍රපටය ගත්තත්?
පිළිතුර: ‘ඒලියන්ස්’ එකේදි ඔයාට මුණ ගැහෙනව අම්මා සහ දුව අතර ආදරය! නමුත් වැදගත්ම දේ තමයි ඒ ආදරය පරීක්ෂාවට ලක් වෙන්න ඔ්නෙ වෙන එක සහ එයාලා ආපහු මුණගැහෙන්න ඔ්නෙ එක. ඒකෙන් ප්‍රේක්ෂාගාරය සතුටට පත් වෙනවා. දැන්, මිහිරි වගේම කටුක අවසානයක් තිබුණු ‘ටයිටැනික්’ චිත්‍රපටියෙදිත් එයාලා දෙන්නට දෙන්නා සම්පූර්ණයෙන්ම එකිනෙකාට කැපවෙලා ඉන්නෙ, ඛේදවාචකය එයාලා වෙන් කරල දැම්මට.
ප්‍රශ්නය: කොහොම වුණත්, චිත්‍රපට නිර්මාණකරුවෙක් හැටියට ඔබ ඔබේ කතන්දර තෝරාගන්න විදිහ ගැන හරියට පරිස්සම් වෙන බව පේනවා. පහුගිය අවුරුදු 30කටත් වැඩි කාලෙදි ඔබ හදල තියෙන්නෙ චිත්‍රපටි 7ක් විතරයි?
පිළිතුර: මෙහෙමයි, ඒක මරු වැඩක්. මම එක එක දේවල් එක්ක වැඩ කරනවා; තේමා, රූප, පසුතල වගේ. නමුත් දේකින් යමක් නැවත නැවතත්, නැවත නැවතත් එනව නම් තමයි එතනින් යමක් උපද්දවන්න පුළුවන් කියල මට හැඟෙන්නෙ. එහෙම දැනුනම ඒ කතාව කියල ඒක මගේ පද්ධතියෙන් අයින් කරගන්න මට ඔ්නෙ වෙනවා. ඒත් ඒකට කොච්චර කාලයක් යයිද කියල නම් කියන්න අමාරුයි. දැන් බලන්න, 1968 දි, හයිස්කූල් එකේ ඉන්නකොට මම ‘ද ඇබයිස්’ ලිව්වා. හැබැයි ඒකෙන් මම චිත්‍රපටියක් කළේ 1988 දි. ‘ඇවටර්’ කියන්නෙත් ඒ වගේ ක්‍රියාවලියක් තමයි. මම අවුරුදු 200ක් ජීවත් වුණත් මගේ මනසෙ තියෙන දේවල් එක්ක මට වැඩ තියේවි.
පරිවර්තනය : ප්‍රියන්ත ෆොන්සේකා
සේයාරුව: https://media.vanityfair.com/photos/5a15cfcf1310ef0d93e09716/master/pass/james-cameron-embed.jpg
