Showing posts with label සාහිත්‍යය. Show all posts
Showing posts with label සාහිත්‍යය. Show all posts

Wednesday, May 26, 2021

චූලානන්ද අප වෙත දිගු කරන දෙවොල්තොව්ගේ ‘සූට්කේසය’

 (2021 මැයි 23 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි. එහි මෙය පළ වූයේ 'අප වෙත ඇති සූට්කේසය කුමක්ද?' මැයෙනි.) 

රැසියානු, ආර්මේනියානු සම්භවයක් සහිත තැනැත්තෙකු වශයෙන් යෙර්ගෙයි දෙවොල්තොව් උපත ලබන්නේ 1941 වර්ෂයේ දී සෝවියට් සමූහාණ්ඩුවට අයත්, බෂ්කීරියා ජනරජයේ, උෆාහිදී ය.

යෙර්ගෙයි දෙවොල්තොව්
දෙවන ලෝක යුද්ධය ක්‍රියාත්මක සමයක උපත ලබා, එහි අවසන් තීරණාත්මක රුසියානු මැදිහත් වීම් සමයේ සිය ළදරු විය පසු කරන දෙවොල්තොව්ගේ මව ආර්මේනියානු කාන්තාවක වූ අතර පියා යුදෙව් සම්භවයක් සහිත තැනැත්තෙකි. දෙවොල්තොව්, ලෙනින්ග්‍රාද් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය අතරමග අතහැර දමා, අනතුරුව කවියන් සහ ලේඛකයින් ඇසුරෙහි කටයුතු කරමින් හිඳ, සෝවියට් අභ්‍යන්තර ආරක්ෂක කටයුතු ඇසුරෙහි බන්ධනාගාර ආරක්ෂකයෙකු ලෙස ද සේවය කොට, ජනමාධ්‍ය ක්ෂේත්‍රය වෙත පිවිස ඇත. කෙසේ වෙතත්, සංචාරක මග පෙන්වන්නෙකු ලෙස දිවිය සරි කරගන්නට ඔහුට සිදුව ඇත්තේ ඔහු ලියූ ලේඛණ සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව අභ්‍යන්තරයෙහි පිළිගැනීමක් නොලබන හෙයිනි. ඒ ලේඛණ ගණනාවක්ම ප්‍රකාශනයට ඉඩ ලැබී ද නොමැති පසුබිමක දෙවොල්තොව් නමින් යුතු රචකයෙකු පිළිබඳ රුසියානු ප්‍රජාවට අදහසක් ලබා ගන්නට ඉඩ ලැබී නැත.

දෙවොල්තොව් පිළිබඳ මේ ඉහළ ඡේදය සමාරම්භයේදීම තබන්නට හේතුව පෙර දිනක මා අතට පත් වුණු කෘතියකි. එය නවකතාවක පරිවර්තනයක් වන අතර එහි නම ‘සූට්කේසය’යි. විදර්ශන ප්‍රකාශනයක් ලෙස අප අතට පත් වන එහි පරිවර්තකයා චූලානන්ද සමරනායකයි.

‘සූට්කේසය’ නවකතාවෙහි මුල් රචකයා යට කී යෙර්ගෙයි දෙවොල්තොව් ය. 1978 වර්ෂයේ දී මෙම නව කතාවේ කතා නායකයා වන ‘දෙවොල්තොව්’ සෝවියට් රුසියානු සමූහාණ්ඩුවේ සිට ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වෙයි. සැබෑ රචකයා එය සිදු කොට ඇත්තේ 1979 දී ය. ‘සූට්කේසය’ ලියැවෙන්නේ 1986 දී ය.


‘සූට්කේසය’ අපූරු නවකතාවකි. එය සූට්කේසයක් ගැන ය. වැඩිමනත් ඒ තුළ ඇති දේ හා බැඳි සිදුවීම් ගැන ය. දෙවොල්තොව් නමැති කතා නායකයා සිය මව්රට අතහැර ඇමරිකා එක්සත් ජනපදය බලා යාමට රුසියානු ආගමන විගමන අංශවලින් සිදු කරන අවසර ගැනීම්වලදී ඔහුට රටින් පිටතට ගෙන යාමට අවසර ලැබෙන, පොප්ලින් කමිසයක්, බූට් සපත්තු ජෝඩුවක්, අත් මේස් යුවලක්, ලාබ විදේශීය මේස් ජෝඩුවක්, කලිසමක බඳ පටියක් ඇතුළු එකිනෙක අසම්බන්ධිත, වැඩි වටිනාකමක් නැති දේවල් කිහිපයක් ඒ තුළ වෙයි. නව කතාව විහිදෙන්නේ මේ එක් එක් දෙය හා බැඳි කතන්දර කතා නායකයා විසින් අප වෙත තැබීම ඔස්සේ ය. එක් අයුරකින් කෙටි කතා හා සම, තවත් අයුරකින්, කතා නායකයා මෙන්ම රචකයා ද දෙවොල්තොව් බැවින්, ජීවන විත්ති පෙළක් හා සම මෙම කතන්දර විශ්මිත අයුරින් සෝවියට් සමූහාණ්ඩුවේ නිලධාරිවාදය හා සමාජවාදී පාලන තන්ත්‍රයේ ඛේදනීය බිඳවැටීම අප වෙත තබයි.

‘සූට්කේසය’ නොස්ටැල්ජික මෙන්ම හාස රසයකින් යුතු අපූර්ව රචනයකි. එක් එක් අනු කතා තුළ සිදු වන සිදුවීම් ඇතැම් විටෙක ප්‍රබල හාස්‍යයක් අප වෙත ගෙන ආව ද, ඒ හා සමග, සිය මාතෘ භූමිය අහිමි වූ අයෙකුගේ අප්‍රකාශිත වේදනාව වටහාගන්නට ලැබෙන සියුම් හුයක් ද ඒ පසුපසින් ගෙන එනු පෙනෙයි. රචක දෙවොල්තොව් හා කතා නායක දෙවොල්තොව් විටෙක වෙන් වෙන්ව ද, විටෙක එක්ව ද අප කැඳවාගෙන යන්නේ පෙරස්ත්‍රොයිකාව සමග බිඳ වැටෙන්නට පෙර සමයේ රුසියානු සමූහාණ්ඩුව පිළිබඳ එක් තීරණාත්මක කියවීමකි.

චූලානන්ද සමරනායක

චූලානන්ද සමරනායක එය සිය පරිණත රචනා ශෛලිය සමග යළි අප වෙත තබා ඇත. දෙවොල්තොව්(ලා)ගේ හාස්‍ය හා නොස්ටැල්ජියාව මුසු අතීත විත්ති කිහිපය කියවා, නවකතාවක් කියවා නිම කළ තුටින් අපට කෘතිය පසෙකින් තැබිය හැක. නමුත්, ‘සූට්කේසය’ මා වෙත නම් බිහි කළේ ඉන් ඔබ්බට ඇවිද යන්නට මා මෙහෙයවූ සිතුවිල්ලකි.  

අප වෙත ඇති ‘සූට්කේසය’ කුමක් ද? ක්‍රිස්ටෝපර් නෝලන් අධ්‍යක්ෂණය කළ ‘Following’ නමැති සිනමා කෘතියේ එන ආකර්ෂණීය දෙබස් කණ්ඩයක් මගේ මනසේ දැඩිව තැන්පත්ව ඇත. ‘Everyone has a box’ (සෑම කෙනෙකු වෙතම පෙට්ටියක් ඇත) යනුවෙන් එහි ප්‍රධාන චරිතයක් අනෙකා අමතමින් පවසයි. මේ ‘පෙට්ටිය’ කුමක් ද? ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ අතීතය සබැඳෙන මතකයන්, ඔහුට/ඇයට පමණක් ආවේණික ‘සුළු සුළු දේවල්’ මේ ‘පෙට්ටිය’ තුළ තිබිය හැකි ය. ලාච්චුවක්, බිස්කට් ටින් එකක්, ප්ලාස්ටික් බඳුනක් හෝ වෙන කවර හැඩයකින්, නොඑසේනම්, ඔව්.... සූට්කේසයක හැඩයෙන් වුව, මේ ‘පෙට්ටිය’ පැවතිය හැක. ඒ තුළ වන්නේ අදාල තැනැත්තාගේ/තැනැත්තියගේ අතීතයයි. ජීවන වෘත්තයයි. එය ඔහුට/ඇයට වේදනාවක් පමණක් ගෙන එයි නම්....?

දෙවොල්තොව් කිසි විට නොකීව ද, චූලානන්ද සමරනායකගේ සිංහල පරිවර්තනයේ බස තුළින් අප වෙත මුණ ගැසුණ ද, මේ තියුණු අප්‍රකාශිත වේදනාව ‘සූට්කේසය’ අපට හඟවයි. දෙවොල්තොව් වසර 49ක් පමණක් වූ සිය කෙටි දිවිය තුළ ලොව පිළිගත් දක්ෂ ලේඛකයෙකු බවට පත්වන්නේ මේ විශිෂ්ට රචනා හැකියාව හේතුවෙනි.

කෙසේ වුවත්,  මා ඇසූ පැනයට මා පිළිතුරු දී නැත. අප වෙත ඇති සූට්කේසය නැතිනම් පෙට්ටිය කුමක් ද? සැබවින්ම, කුමන සමාජ දේශපාලනික හා සංස්කෘතික තත්වයන් හමුවේ වුව අප වෙත අපටම ආවේණික වූ ‘සූට්කේස’ ඇතිවාට සැක නැත. නමුත් දෙවොල්තොව්ට රුසියාවෙන් පිටව යාමට සිදු වන්නේ සිය ආර්ථික ශක්තිය සහිත සූට්කේස, සාහිත්‍ය එකතූන් සම්බන්ධ සූට්කේස ආදී බොහෝ සූට්කේස අතහැර ය. දියුණු, ඉදිරිගාමී දේශපාලනික හා සමාජ, සංස්කෘතික මැදිහත්වීමක් නොමැති පසුබිමක අප වෙත ද අවසානයේ ඉතිරි විය හැකි ‘සූට්කේසය’ කුමක් ද?

දෙවොල්තොව්ලාට සහ චූලානන්දලාට ස්තුතිවන්ත වෙමින් අප කල්පනා කිරීම හා ක්‍රියා කිරීම ආරම්භ කළ යුතු ය.

-ප්‍රියන්ත ෆොන්සේකා -  

Thursday, October 22, 2020

පුස්තක සම්මාන ‘එක මිටට’ ගැනීම: නොපෙනී මැකෙන සාහිත රචනා

 (2020 ‍ඔක්තෝබර් 18 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි)

මුලින්ම නව කතා වෙනුවෙන් ස්වර්ණ පුස්තක සම්මානයක් පිදෙන්නට තීරණය වූ මොහොතෙහි සමාජ අවධානය බිඳවැටෙමින් තිබෙන සාහිත්‍ය කලාපයක් දෙස යම් අවධානයක් යොමු කරවීමටත්, ලේඛකයින් වෙත යම් ප්‍රබෝධයක් හා උද්යෝගයක් ජනිත කරවීමටත් එය හේතු වනු යන හැඟීමෙන් මසිත පිරී ගිය බව මතක ය. පසු සමයක නව කතාවට පසුපසින් එමින් කෙටි කතා සහ කාව්‍ය වෙනුවෙන් රජත පුස්තක නමින් සම්මානයක් පිදෙන්නට යන බව ඇසූ විට නැගුණේ ද සමාන හැඟීමකි. රාජ්‍ය සාහිත්‍ය සම්මාන, විදුදය සම්මාන සහ ගොඩගේ සම්මාන යනාදිය පැවතිය ද ස්වර්ණ පුස්තක සහ රජත පුස්තක යන්න ස්වර්ණමය හා රජතමය හැඟීමකින් අදාල කෘති දෙස බලන්නට අප පොළඹවනු ඇතැයි යන ධනාත්මක සිතුවිල්ල මසිත ජනිත කරවී ය. සියල්ලම නොවෙතත්, බොහෝ වසරවල සම්මානිත කෘති මිලට ගන්නට ද මා මෙහෙයවන්නට මේ සිතුවිල්ල බලපෑ බව දැන් හැරී බලද්දී හැඟෙයි.

පඩි පෙළක් නගින්නාක් මෙන් නැගෙමින්, වටයෙන් වටය තේරී කෘති ඉහළට යද්දීත්, තවත් බොහෝ කෘති හැලී යද්දීත් ඒ පිළිබඳ විවිධ වාද විවාද මෙන්ම අවලාද ද නැගෙනු සම්මානයේ අගනා බව ඉහළ යත්ම සිදු විණ.අගනා බව’  වැඩිමනත් ඉහළ ගියේ මුදලිනි! සම්මාන ගෙන ආ පොත් ප්‍රකාශකයින්ගේ සංගමය ඒ වෙත ලබා දුන් මුදල් තෑගි ඉහළ නැංවීමෙනි. කෙසේ වෙතත්, අවලාද සහ වාද විවාද නැඟුණේ මූලික වශයෙන් වඩා ඉහළ  ඇගයුමක් ලබාදිය යුතු කෘති ඉවතට විසි ව යන්නේ ය යන කරුණ වටා නැගෙමිනි. ඒ හා සමග ඉවත් කළ යුතු කෘති ඉහලට ගෙන ඇත්තේය යන චෝදනාව  පදනම්ව නැගෙමිනි.

 

කුමන අවලාද නැගී ආවද සාහිත්‍ය කෘති විෂයෙහි පමණක් නොව වෙනයම් කවර ක්ෂේත්‍රයක් හමුවේ වුව ඇගයුම් ලැබීම හෝ ලබා දීම වරදක් නොවේ. යම් කතුවරයෙකුගේ නිර්මාණාත්මක මැදිහත්වීම, වෙහෙස, සමාජ ප්‍රගමනය සඳහා ඔහු හෝ ඇය දක්වන ලද දායකත්වය ඇතුළු බොහෝ දේ වෙනුවෙන් සෙසු සමාජය දක්වන ඇගයුම පිළිබඳ හැඟීම එම සම්මානය පිටුපස සැඟව තිබෙයි. එබැවින් සම්මානයක හැඩය, උස, බරවිශාලත්වය කවර ස්වරූපයක් ගත්තද ඒ හා සමග නැගෙන ඇගයුමෙහි හැඩය එක සමාන හැඩයක් ගනී. නිර්මාණ විනිශ්චය මණ්ඩල පිළිබඳ ඔබගේ ඇගයුම් හා ප්‍රතිමාන වෙනස් වන බව හා ඒ පදනම්ව ලැබුණු හා ලැබෙන්නට නියමිත සම්මාන පිළිබඳ ඔබගේ කියවීම වෙනස් වන බව දැනගෙන වුව මා ඉහත ප්‍රකාශය සිදු කරන්නේ ප්‍රදානය කෙරෙන සම්මානය පිළිබඳ ගෞරවයෙනි.

 

මට හැඟෙන ආකාරයට, සම්මානයක් ප්‍රදානය කෙරෙන්නේ නම් ඒ සඳහා කෘති තේරීම සිදු විය යුතුම කරුණක් බැවින් අපේ අවධානය යොමු විය යුත්තේපාඨකයින් ලෙසසමස්තයක් වශයෙන් සම්මාන දිනන මෙන්ම නො දිනන කෘති වෙත ය. ස්වර්ණ හා රජත පුස්තක සම්මාන දසෙසු බොහෝ සම්මාන ද  පිරිනැමෙන්නේ වාර්ෂිකව අප වෙත එන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය එළිපත්තේ හිඳ බැවින් සම්මාන සමඟ දිදුලා නැගීඉහළ පිටපත් ප්‍රමාණයක් විකිණීරට පුරා මධ්‍යම පාන්තික නිවෙස් හා කුඩා පුස්තකාලවල රාක්කවල ඉඩ වෙන්කරගැනීමට මේ සම්මානිත කෘතිවලට ලැබෙන අවකාශය ඉහළ ය.  නමුත් අවධානය අඩුවෙන් ලැබී, වැඩිපුර නොවිකිණී, යළිත් අදාල පොත් වෙළෙන්දන්ගේ ගබඩා වෙත මිටි වශයෙන් ගමන් කරන කෘතිද ඇති බව පැහැදිලි ය. ඒ මිටි ප්‍රමාණය වඩ වඩාත් ඉහළ නගින්නේ  පුස්තක සම්මාන දිනූ හා එක් එක් වටවලට තේරුණු කෘති කංචුකවල රන් සහ රක්ත වර්ණවලින් ඒ බව කියැවෙන වෙළඳ සංඥා එක් කිරීමත් සමගය. ඉන්ද නොනැවතී පුස්තක සම්මාන දිනූ කෘති සියල්ලටම  මිල මේ යැයි  කියවෙන ප්‍රචාරක පුවරු වෙළඳ කුටි අබියස තැබීමත් සමග ය.

 

 දැන්, මේ සියල්ල හමුවේ, තවත් විශිෂ්ට කෘති අපට නොපෙනී ගිය හොත්?

 

 මා සියලු නවකතාකෙටි කතා සහ කාව්‍ය කෘති විමසමින් බලන සාහිත්‍ය විචාරකයෙකු නොවේ. වඩා යහපත් යැයි හැඟෙනඇතැම් විට මිතුරන් හෝ නොයෙක් විද්වතුන් විසින් හොඳ කෘතියකැයි ඇගයුම් ලබාදී ඇතිඑසේත් නැතිනම් මගේ පෞද්ගලික කැමැත්ත අකමැත්ත පදනම්ව මවිසින්ම තෝරාගන්නා   යම් කෘති ප්‍රමාණයක්  ආශ්‍රය කරන පාඨකයෙක් පමණි. එවැන්නෙකු ලෙස ඉහත පැණය මවෙත නැඟුනේ අහම්බෙන් මුණගැසුනු යටකී සම්මාන විශ්වයට අතහැරුණු එක්තරා කෙටි කතා පොතක් හේතුවෙනි.  කෘතිය ලියා ඇත්තේ ඉසුරු චාමර සෝමවීර ය.  කෘතියේ නම ගැහැනු පිරිමි මල් පලතුරුය. 

 

සැබැවින්ම ඉසුරුගේ කෘතිය මා තවම කියවා අවසන් නැත.නිල් මල් ගවුම’, ‘ සාන්තසහකිඳුරු වෙරළ’  යන කෙටිකතා තුන පමණක් කියවන්නට පසුගිය දින කිහිපය මට අවසර ලබා දුන්නේය.  එම කතා ත්‍රිත්වය හා සමග මේ වසරේ සම්මාන දිනූ හෝ  සම්මාන සඳහා නිර්දේශ වූ  කෙටි කතා පොත්වල කතන්දර සසඳන්නට මා නොයන්නේ පෙරකී ලෙසම මා සාහිත විචාරකයෙක් නොවන බැවිනි.  නමුත් මගේ රසික මනස තුළ ඉසුරුගේ  කතා ලබා දුන් ආහ්ලාදය තවම මැකී ගොස් නැත‍. 

 

නිල් මල් ගවුමකෙටිකතාවෙහි විදුර අප අභියස තබන්නේ සංස්කෘතිකව දියුණු සමාජ වෙත සංක්‍රමණය වුවද මනසින් අසංස්කෘතික ශ්‍රී ලාංකික පිරිමියා පිළිබඳ අප තැතිගන්වන සුළු  සංකේතය ය.සාන්ත’  කෙටිකතාවෙහි බුදු කුටියෙහි සැඟව සිට කුඩා සාමණේරයන්ට මුණගැසෙන සාන්ත තවම මෙරට පුරවැසි ප්‍රජාවට මුණ නොගැසුණු කුඩා  සාමණේරවරුන් පිළිබඳ බිහිසුණු යථාර්ථය ගෙන එන සංකේතය ය.කිඳුරු වෙරළ’ යනු අප ප්‍රජාවේම එක් සහෝදර කලාපයක් පිළිබඳ නොපෙනී ගිය වෙරළ තීරයක් ය. කෙසේ හෝ වෙතත් මේ තැති ගැන්වීම් සමග වන යථාර්ථයන් ඉසුරු අප වෙත තබන්නේ විශ්මිත සාහිත්‍ය රසයක් මවමිනි. කෘතියේ ඉදිරිය වෙත ගමන් කිරීමට මා කැමැති වන්නේ මේ තැති ගැන්වීම් සහ බිහිසුණු බව සමගම ගෙන වඩා සුහුරු හා විශ්මිත සාහිත්‍ය රසයක් සමග එක්ව තබා එම කතන්දරද ඉසුරු අප වෙත ගෙනැවිත් ඇතැයි යන විශ්වාසය මා වෙත නැගී ඇති බැවිනි.

 

ඉසුරු චාමර සෝමවීර හා සමාන තවත් දක්ෂ රචකයින්ගේ සාහිත්‍ය රචනා පුස්තක සම්මාන එක මිටට ගෙන මිලට ගැනීම හා ඔද වැඩීම හේතුවෙන් අපගේ පුස්තකාල වෙත නොපැමිණෙනු ඇත. ඒ අප නොකිය වනු ඇත. සිදුවන්නේ වඩා පුළුල් සාහිත ලෝකයක් හා ඉතා රසවත් රචනා කලාපයක් නොපෙනී යාම ය. 

 

 සම්මාන පුස්තක වෙත ලැබුණා වේ!  ඒ ස්වර්ණමය හෝ රජතමය වූවා වේ! පාඨකයින් ලෙස අපි  සම්මානයට වඩා පියවරක් ඉදිරියෙන් සිට ගනිමු! එවිට ඉසුරු වැන්නන් ගෙන එන සාහිත්‍යමය ‘ඉසුරු’ අප නෙත ගැටෙනු ඇත.

 

- ප්‍රියන්ත ෆොන්සේකා - 

 

සේයාරුව: https://www.gagana.lk/

 

Tuesday, June 11, 2019

කඳුළු මුතු ඇට කන්ද මත සිට...


(2019 ජූනි 09 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

ගුරුතුමා මගෙ කතාවට ‘බ්‍රාවෝ‘ කියල දාල එවල!“

“බ්‍රාවෝ කියන්නෙ?“

“ඉතාලි බාසාවෙන් දක්ෂයා කියන එකට!“

“දැන් මොකක්ද ඔයා ලියපු කතාව?“

“එක මනුස්සයෙක් ඉන්නව, එයා අඬද්දි කදුළු සේරම මුතු කැටවලට හැරෙනව.... අන්තිමේ දවසක් එයා වාඩිවෙලා ඉන්නව මුතු කැට කන්දක් උඩ. පිහියකින් ඇනපු එයාගෙ බිරිඳගෙ මළ කඳ එයාගෙ අත් දෙක උඩ!“

“ඒ කියන්නෙ එයා එයාගෙම බිරිඳව මරල ද?“

“ඔව්“

“ඇයි ඒ? මුතු ඇට කන්දක් පිරෙනකම් කඳුළු එන්න අඬන්න?“

“ඔව්“

“ඇයි එයා බිරිඳව මරල දැම්මෙ? එයාට තිබ්බනෙ ලූණු ගෙඩියක් පොඩි කරන්න!!!“

මේ අවුරුදු 10-12 අතර කුඩා දරුවන් දෙදෙනෙකු අතර සිදුවන දෙබසකි. දෙබසෙහි කතා රචකයා අමීර් ය. ප්‍රශ්න අසන්නා හසන් ය. දෙබස මුණ ගැසෙන්නේ ‘සරුංගල් ලුහුබඳින්නා‘ ලෙස සිංහලයට ද නැගුණු, කලීඩ් හුසෙයිනිගේ ‘The Kite Runner’ කෘතිය ඇසුරින් නිපදවුණු, එනමින්ම යුතු චිත්‍රපටයේ දී ය. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මාක් ෆොස්ටර් ය.



The Kite Runner’ ලියන කලීඩ් හුසෙයිනි ඇෆ්ගනිස්ථාන ජාතිකයෙකි. 1965 වසරේ දී කාබුල් නුවරදී උපත ලබන ඔහු, විදේශ සේවයේ නියුතු සිය පියාගේ රැකියා ස්ථාන මාරුවීම් හේතුවෙන් ළමා කාලයේ දීම ඉරානයටත් පසුව ප්‍රංශයටත් යන අතර, 1978 දී නැගෙන ඇෆ්ගන් අප්‍රේල් විප්ලවය හා අනතුරුව 1980 දී ඇරඹෙන රුසියානු- ඇෆ්ගනිස්ථාන යුද්ධය හේතුවෙන්, සරණාගතයකු ලෙස, සිය පවුලේ සාමාජිකයින් සමග, ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වෙයි. ප්‍රබන්ධ රචකයෙකු ලෙස විශ්ව සාහිත්‍ය ලෝකයේ අවධානය දිනාගනිමින් ඔහු ලියන ඔහුගේ පළමු නවකථාව වන ‘The Kite Runner’හි කථා නායකයා වන ‘අමීර්‘ ද මෙම යුද්ධය හේතුවෙන් පකිස්ථානය හරහා සරණාගතයකු ලෙස ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වන්නෙකි. ඉංග්‍රීසි වදනකුදු නොදැන ඇමරිකානු බිමට පය තබන කලීඩ් හුසෙයිනි පසුකලෙක වෛද්‍ය වෘත්තිකයෙකු ලෙස එරට සේවය කරමින් ‘The Kite Runner’ ලියද්දී එහි කතා නායකයා වන අමීර් සිය අධ්‍යාපන කටයුතු කෙළවර කොට සෘජුවම ප්‍රබන්ධ රචනය ආරම්භ කරයි. වෛද්‍ය වෘත්තිය අතැර කලීඩ් හුසෙයිනී පොත් ලිවීම සිය වෘත්තිය බවට පත් කරගන්නේ ‘The Kite Runner’ විසල් අවධානයකට පත්ව, ඔහු දක්ෂ රචකයෙකු ලෙස පිළිගැනීමක් ලැබුණු පසුව ය.  

කලීඩ්ගේම ළමා වියේ ඡායා මාත්‍රයක් ද ලෙස පෙනෙන අමීර්ගේ ළමා විය ‘The Kite Runner’ තුළ දී ඇෆ්ගන් අතීතයේ සමාජ හා දේශපාලනික මෙන්ම ආගමික අර්බුද අප අභියස තබයි. අමීර්ගේ පියා කාබුල් නුවර වෙසෙන ධනවතෙකි. ඔහු ‘පාශුතානයෙකි‘. පාශුතාන් යනු ඇෆ්ගනිස්ථානයේ ඉහළ ඇගයීම ලැබූ, පාර්සි නැතිනම් පාශ්තෝ බස කතා කරන ජනවර්ගය නියෝජනය කරන්නෙකි. පොදු ප්‍රවර්ග කිරීම අනුව ඔවුන් සුන්නි මුස්ලිම්වරුන් ය. අමීර්ගේ මිතුරා, නොඑසේනම්, ඔහුගේ නිවසෙහි සේවකයාගේ පුත්‍රයා වන හසන් අයත් වන්නේ හසාරා ජන වර්ගයට ය. ඔවුන් ඇෆ්ගනිස්ථානයේ තුන්වන විශාල ජනවර්ගයට අයත්, ධාරි බසින් පැන නගින හසරාගි බස වහරන්නන් ය. ඔවුන්ගේ නිජබිම් ඇෆ්ගන් කඳුකර බිම් ඔස්සේ විහිද පවතියි. පොදු ප්‍රවර්ග කිරීම අනුව ඔවුන් අයත් වන්නේ ෂියා මුස්ලිම්වරුන්ගේ කුලකයට ය.

තමන් වෙනුවෙන් ‘දහස් වරක් වුව දිව යන්නට සූදානමින්‘ සරුංගලයක් ලුහු බැඳ යන, තමන්ට ප්‍රාණසමව සළකන හසන්, ඔහුගේ පැතලි දිගු නාසය ඇතුළු හසාරා ලක්ෂණ හේතුවෙන් අසීෆ් ඇතුළු කොලු නඩයක පහර කා, ලිංගික හිංසනයකට ද ලක්වද්දී, එය රහසේ දකින අමීර්, ඔහු බේරා නොගෙන පළා යයි. දෙවනුව, සිය සිත පතුලෙන් නැගෙන වරදකාරී හැඟීම මැඩගත නොහී සිය සුමිතුරා නොකළ වරදකට පටලවමින් නිවසින් ද පිටව යන තැනට කරුණු සළසයි. එහෙත් උතුරු ඇමරිකාවේ සැන් ෆැන්සිස්කෝවේ ජීවත් වෙමින්, නව සහස්‍රයේ බිහිදොර අභියස දී ද ඔහුට ඒ වරදින් මිදී යා නොහැක.

සිය පියා මිය ගොස් දිගු කළකට පසු, ඔහුගේ මිතුරකු වන රහීම් ඛාන්ගෙන් ලැබෙන ඇමතුමක් අනුව යළි පාකිස්ථානයට එන අමීර්ට අසන්නට ලැබෙන්නේ ඔහුගේ වරදකාරී හැඟීම තියුණු ලෙස තව දුරටත් නංවන පුවතකි. ඒ අනුව, කුඩා කළ තමා සමග දිව ගිය, සරුංගල් ලුහුබැඳි හසන් යනු සිය පියාට දාව, නිවසේ සේවකයාගේ බිරිඳට ලැබුණු පුතෙකි; එනයින් ඔහුගේම සොහොයුරෙකි! සත්‍යය අමීර් හමුවන එන විටත් හසන් සහ ඔහුගේ බිරිඳ කාබුල් වීදියක තලේබාන්වරුන් විසින් එල්ලා මරා දමනු ලැබ කලක් ගොසිනි!
අමීර්ට සිය හදවත වෙතින්ම සමාවක් නොලැබෙන අතීත වරද ඔහු නිවැරදි කරගන්නට යත්න දරන්නේ බිහිසුණු තලේබාන් පාලනයට නතුව ඇති කාබුල් නගරයට යළි පිවිස හසන්ගේ පුතු සොයාගැනීම හරහා ය. දරුඵල අහිමි තමන් හා බිරිඳ වෙත, සැන් ෆ්‍රැන්සිස්කෝව වෙත, රැගෙන යාම සඳහා ය.

ඇෆ්ගන් දේශපාලනික අර්බුද හමුවේ සිය ළමා කාලයේ සරුංගල් ලුහුබඳිමින් දිවූ කාබුල් නගර වීදි අතැර වෙනත් රටවල් බලා සංක්‍රමණය වූ සමස්ථ ඇෆ්ගන් වැසියන්ගේ හද දවන වේදනාව කලීඩ් හුසෙයිනි අකුරු කරද්දී කෘතිය තුළින් (හා සිනමා පටය තුළින්) නැගෙන අමීර් එය සහෘද අප වෙත තබයි. එපුවත යළි මෙබිම අද නැගෙන සෝබර පුවත් හා අතිපිහිත කර බැලීමේ වගකීම අප සතු ය. අපේ රට තුළ මුණගැසෙන ‘අමීර්ලා, හසන්ලා මෙන්ම කලීඩ් හුසෙයිනිලා‘ ද දිගු වේදනාවන් වෙත තල්ලු කර හරිමින්, එයින් සුළුතරයක් හෝ අන්තවාදී අදහස් වෙත ද යොමු කරවමින් අපම අප රට නගර සහ ග්‍රාමයන් ‘තලේබානු පන්නයේ‘ බිමක පිහිටුවා ගන්නේ ද යන්න විමසීම ද අප සතු ය.

ජීවිතය සැමවිටම සිනමාවට වඩා විශාල එකකි. එබැවින් එහි මුණගැසෙන දෝමනස්සයන් ද විශාල ය; තියුණු ය; එමෙන්ම බිහිසුණු ය. ස්විස් ජාතික සිනමාකරු මාක් ෆොස්ටර් හොලිවුඩය වෙනුවෙන් 2007 වර්ෂයේ දී කලීඩ් හුසෙයිනිගේ ‘The Kite Runner’ සිනමාවට නගද්දී එහි ප්‍රධාන භූමිකා රඟන්නට ආරාධනා ලබන්නේ තුර්කි හා ඉරාන ජාතික නළුවන් ය. එනමුත්, එහි අමීර්ගේ සහ හසන්ගේ ළමා චරිත සඳහා අවස්ථා ලැබගන්නේ ඇෆ්ගනිස්ථානු ළමා නළුවන් ය. ඒ, අමීර් ලෙසට සෙකේරියා ඒබ්‍රාහිමි සහ හසන් ලෙසට අහමඩ් ඛාන් මහ්මූද්සාදා යන දරුවන් දෙදෙනාට භූමිකා නිරූපණ අවස්ථා හිමිකර දෙමිනි. තලේබාන් පාලනය උග්‍ර ලෙස විවේචනය කෙරෙන සිනමා කෘතියක රඟපෑම හේතුවෙන් ඔවුන් මුහුණ දෙන තර්ජනය හමුවේ ඇමරිකානු චිත්‍රපට සමාගම ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කරගැනීමටත් අධ්‍යාපනය සඳහාත් වැඩිහිටි විය එළඹෙන මොහොත දක්වාම ඔවුන්ට වියදම් කිරීමට එකඟ වුවත්, සෙකේරියාගේ ඉල්ලීම පරිදි, සැබෑ අමීර්ට මෙන්, ඔවුන්ට ‘සුරක්ෂිත දේශය‘ වූ ඇමරිකා එක්සත් ජනපදයට යාමට වරම් හිමිවන්නේ නැත. සෙකේරියා සහ අහමඩ් මෙන්ම සොරාබ් නමැති  හසන්ගේ පුතුගේ චරිතයට පණ පෙවූ අලි දිනේෂ් යන තිදෙනම ඔවුන් යළි පදිංචි කරවන්නේ එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ ය.

සිවු මසක ඇවෑමෙන් යළි කාබුල් නුවරට එන සෙකේරියා තලේබාන් තර්ජන හමුවේ නිවස තුළටම කොටුවන අතර යළි කිසිදු දිනක සිනමා පටයක පෙනී නොසිටින බව සපථ කර සිටියි. අහමඩ් ද සිය පවුලේ සාමාජිකයින්ගෙන් දුරස්ව දිවි ගෙවීමට නොහැකිව (සෙසු අයට වීසා නොමැති වීම හේතුවෙන්) දෙවසරකට පසු කාබුල් නුවරට පෙරළා පැමිණෙන අතර හසාරා ජාතිකයෙකුගේ චරිතය දුර්වලයෙකු ලෙස පෙන්වීමට දායක වීම හේතුවෙන් හසාරා (ෂියා) මුස්ලිමුන්ගෙන් ද, පාශුතානයින් කුරිරු පුද්ගලයින් ලෙස දැක්වීම නිසා පාශුතාන (සුන්නි) මුස්ලිමුන්ගෙන් ද තර්ජන ලැබ, ස්වීඩනයට පළා යයි. ඒ සරණාගතයකු ලෙසිනි.

කලිඩ් හුසෙයිනිලාගේ ද, ඔහු ‘The Kite Runner’ හරහා අප වෙත ගෙන ආ ‘අමීර්ලාගේ සහ හසන්ලාගේ‘ ද, ඒ තිරය මත ප්‍රතියමාන කළ සෙකේරියා සහ අහමඩ්ලාගේ ද ජීවත පුවත් එබඳු ය. ඉස්ලාම් ලෝකය අප මෙරට වරනගා ගන්නා ආකාරයේ පැතලි, ඒකමානීය වූවක් නොවේ. මුසල්මානුවකු වූ නිසාම ඕනෑම අයෙකු එහි සුරක්ෂිත ද නැත. අපට ‘The Kite Runner’ කියවා හෝ නරඹා වටහාගත හැක්කේ මෙම පුළුල් විෂමතා සහිත පසුබිමයි. කැඳවිය හැක්කේ ඒ විෂමතා ඉක්මවූ මිනිස්කමයි. ඒ වෙනුවෙන් වැඩිහිටි හසන් කියූ බවට චිත්‍රපටයේ කියැවෙන වදන් පෙළක් ඔබ වෙත අවසාන වශයෙන් තබමි.

මම හීන දකිනව මගෙ පුතා හොඳ දරුවෙක් වෙනව දකින්න. නිදහස් දරුවෙක් වෙනව දකින්න. මම හීන දකිනව දවසක ඔයා ආපහු අපේ මව්බිමට, අපි සෙල්ලම් කරපු, දුව පැනපු බිමට එනව දකින්න. මම හීන දකිනව ආයෙමත් මල් පිපෙන, සරුංගල් අහසේ ඉගිලෙන කාබුල් නගරයක් ගැන!“

-ප්‍රියන්ත ෆොන්සේකා -

Monday, May 27, 2019

අනන්‍යතා අර්බුදය අභියස විවිමරී සහ විසාකේස


(2019 මැයි 26 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

විවිමරී වැන්ඩර්පූටන්
මේ ලියවිල්ල ලිවීම සඳහා මා පරිගණකය අසලින් වාඩි වන්නට පැය කිහිපයකට පෙර යළිත් භීෂණකාරී ලෙස අතීතකළු ජූලියකමතක සෙවණැලි ලාංකිකයින්ගේ මනස් ගැබ තුළට නැගෙමින් තිබිණ. වයඹ පළාත මුල් කරගෙන නැගෙමින් තිබුණු ප්‍රණ්ඩකාරී සිදුවීම් කිහිපයක් අතීත භීතිය, ඉතිහාසය හඳුනන හා ඉන් උගත් පාඩම් මත අනාගත වත ලියැවෙනු දකින්නට කැමති, පුරවැසි මනස තුළට කැඳවා තිබිණ.

අප්‍රේල් 21 ප්‍රහාරයට පිළිතුරු ලෙස අප මේ විරෝධය ගොණු කරමින් ඉන්නේත්, ප්‍රචණ්ඩත්වය මුදා හරින්නේත් කාට එරෙහිව ? 83 දී අපදෙමළාඅපගේ අනෙකා ලෙස නම් කරගනිමින් ඔහුට එරෙහිව අවි ගත් පරිද්දෙන්ම දැන් අපේ අනෙකා වී ඇත්තේ මුසල්මානුවා . අයිඑස් සංවිධානයේ මූලධාර්මික අදහස් ඇත්තවුන් ශුද්ධ ඉස්ලාම් භක්තිකයින් හඳුනාගත් පරිද්දෙන්ම . එහෙත් පුද්ගල අනන්යතාව එතරම් සරල ලෙස හඳුනාගත හැක්කක් ?

මේ පැනය යළිත් මසිත නැගුණේ මා හට විවිමරී මුණගැසුණු පසු . ඇයගේ සම්පූර්ණ නමවිවිමරී වැන්ඩර්පූටන්. ඇය විවෘත විශ්වවිද්‍යාලයේ ඉංප්‍රීසි භාෂාව පිළිබඳ ආචාර්ය උපාධිධාරී කථිකාචාර්යවරියකි. එයටත් වඩා ග්‍රේෂන් සම්මානය, රාජ්‍ය සාහිත්‍ය සම්මානය හා ගොඩගේ සාහිත්‍ය සම්මානය විවිධ වසරවල තමන් වෙත දිනාගත් කිවිඳියකි. කවියේ දී ඇගේ බස ඉංග්‍රීසියයි. එම කවිවල යටි පෙළෙහි ප්‍රමුඛ විශ්ව බස මනුෂ්‍යත්වයයි!

ජාතික ගුවන් විදුලියේ ස්වදේශීය සේවය සති දෙකකට වරක් සඳු දින රාත්‍රී 9.30 සිට පුරා පැයක් විකාශය කරනරසදීපනීයනු පසුගිය අප්‍රේල් මස පටන් යළි ශ්‍රාවකයා හමුවට පැමිණෙන ශාස්ත්‍රී සංවාදමය වැඩසටහනකි. ‘යළියැයි මා සටහන් කළේ එය ගෙවුණු දශක කිහිපයකට පෙර ගුවන් විදුලි ශ්‍රාවකයා හමුවේ දිග හැරුණු, වඩා හරවත් මාතෘකා සාකච්ඡාවට බඳුන් කළ වැඩසටහනක් වී ඇති හෙයිනි. මෙම නව නිෂ්පාදනයත් සමග, මූලිකව සංස්කෘතික අධ්‍යයනය හා කලාව විෂයයෙහි ඇති සාකච්ඡා කලාප සමගින් එය අප වෙත ගෙන එන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති .

මට විවිමරී මුණ ගැසෙන්නේරසදීපනීවැඩසටහන සඳහා සහභාගී වීමට මා වෙත ලැබුණු ආරාධනයක් මත එහි ගිය මොහොතක .

මගෙ නම නිසාම ගොඩක් අයට මගෙ අනන්‍යතාව ගැන ප්‍රශ්න තිබ්බ. මගෙ හමේ පාට. සමහරු ඒකට කිව්ව ආගමේ පාට කියල. ඒත් මම බුද්ධාගමේ වුණාම ගොල්ලො පුදුම වුණා.”

වැඩසටහනින් අනතුරුව සතුටු සාමීචියක දී විවිමරී අප සමග කීවා . අප ශුද්ධ සිංහල බෞද්ධයින් වී ශුද්ධ මුසල්මානුවන්ට විවිධ මාධ්‍ය ඔස්සේ ශාරීරිකව හෝ වැඩිමනත් වාචිකව නැතිනම් සමාජ මාධ්‍යමය මාර්ග ඔස්සේ පහර දෙමින් සිටින විට විවිමරී අනන්‍යතාව පිළිබඳ අප රැඳිය හැකි මිත්‍යා අප අභියස දිග හරින්නී . හා සමග තවත් බොහෝ මෙරට ජන ජීවිත අර්බුද සිය කවිය තුළ හිඳ ප්‍රශ්ණ කරන්නී .

Meeting a VIPනමින් ඇය Stitch your eyelids shutනමැති කාව්‍ය ග්‍රන්ථය තුළ තබන කවිය ස්වකීය ජීවිතය තුළින්ම ගෙන නගන අනන්‍යතාව පිළිබඳ ගැඹුරු මෙන්ම උපහාසාත්මක ප්‍රශ්න කිරීමකි. පහත සරල පරිවර්තනය මවිසින් සිදු කරන ලද්දකි.

තානාපතිතුමා මගෙන් ඇහුවා
මං කොහොම ද
සිංහල වෙන්නෙ කියල
50%කින් විතරක්?
ඉතින් එහෙම බැලුවම
මං 50%ක් බර්ගර් ද
එහෙමත්ම නැත්තං
මගෙං කාලක් බෙල්ජියං ද
මගෙ ඇඟේ දුවන
ලේවල හැටියට?

ටිකක් අමාරු වැඩක් වුණා
පැහැදිලි කරන එක
මං හිතපු විදිහට
අටෙන් එකක් කියන්නෙ
සීයට දොළාමාරක්
බෙල්ජියං විත්තිය
ඒත් එක්කම
ඉතිරි කාලම
ලන්දේසි විත්තිය
තවත් සීයට විසිපහේ දෙකක්
අනිත් පැත්තෙන්
බොහෝ විට මාව
සීයට පණහක
සිංහලයෙක් කරන විත්තිය!

(ඒත් මට හරියටම දිවුරන්න නං බෑ ඔන්න,
මං 25%ක් දෙමළ වුණත් වෙන්න පුළුවන්,
මගෙ උඩරට ලේවලින් සමහර විට)

ඉතින් මට බැරිවුණා
මේ ගණිත කරුමෙ කරන්න
මං උන්නේ ප්ලේන් එකෙන්
බැස්ස ගමන්
හරිම නිදිමතින්
ඒත් මට කියන්නමත් හිතුණ
අන්තිම වතාවෙ මං
අසනීප වුණු වෙලාවෙ
තානාපතිතුමනි
ගන්න වුණා “ෆුල් බ්ලඩ් කවුන්ට්” එකක්

මං හිතන්නෙ
ඒ රිපෝට් එක නෝමල්
‘ප්ලාස්මයි’’සුදු රුධිරාණුයි”
දෙකම නියම ප්‍රතිශතේ ලු
ඒත්,
මගෙ රතු රුධිර සෛල
ටිකක් අඩුයි ලු
පේනවනේ තානාපතිතුමනි
මං රතු මස් කන්නෙ නෑ
ඉතිං මං
හැමවෙලාවෙම
ටිකක් සුදුමෑලි පාටයි!

සිය පරම්පරාවේ මෑත අතීතය දන්නා විවිමරී 2008 වර්ෂයේ දී ලන්ඩන් නුවර දී එරට ශ්‍රී ලාංකික තානාපතිවරයා සිය අනන්‍යතාව පිළිබඳ නැගූ ප්‍රශ්නය කාව්‍යාත්මක පිළිතුරක් තුළ තබයි. බෙල්ජියම් ජාතික මුත්තා පිළිබඳව පටන් සිය අතීත වෘත්තය පිළිබඳ අදහසක් ඇති ඇයට ස්වකීය නාමය වැන්ඩර්පූටන් වීම පිළිබඳව ද අදහසක් ඇත. පුද්ගල අනන්‍යතා පිළිබඳ ඒකමානීය ලාංකික අදහසට ඇය අභියෝග කරන්නේ එහෙයිනි.

දැන් මුසල්මානු හා සිංහල බෞද්ධ අනන්‍යතා සමග එකිනෙකාට අභිමුඛව සිට ගන්නා ශුද්ධ (ආගමික) ජාතිකත්වයක් පිළිබඳ අදහසක් ඇති පිරිසට නැතිනම් ඔබට සහ මට විවිමරීට තරමින්වත් අපගේ අතීත වත නිශ්චිතව සිතියම්ගත කළ හැකි ද?

විසාකේස චන්ද්‍රසේකරම්
එයට පිළිතුර අපට මුණගස්වන්නේ විසාකේස චන්ද්‍රසේකරම් ය. ඔහු ‘රජ සහ ඝාතකයා’ නමින් ගෙන එන ස්වකීය නිර්මාණය වෙනුවෙන් ලියන ගීය තුළ තබමිනි. ‘නුඹෙ අම්මා ඉතා කළුයි’ නමින් ඇරඹෙන විසාකේස ලියන ගීතය මෙරට දීර්ඝ ඉතිහාසය තුළ සිදු වන්නට ඉඩ ඇති බොහෝ ජනවාර්ගික මිශ්‍රවීම් පිළිබඳ අපට සිහිකර දෙයි. එහි මධ්‍යයේ එන මෙම පද පෙළ ඔබ වෙත තබමින්, ගීතය අන්තර්ජාල විමසුමකින් සොයා හැකි පමණ ප්‍රජාව අතර බෙදා හරින ලෙස ඉල්ලමින් මම මෙම ලිපියට කෙළවර කරමි.

ඔය චීන ඉන්දියන් යෝනක
කාපිරි සහ හම්බ පැටව්
දාල යන්න බැරි හින්දා
බින්න බහින් ඇති නොවැ
අර හීනි වළලුකර වැද්දගෙ
තඹ පැහැ කෙස් ගස් සුද්දගෙ
බොකුටු කොණ්ඩෙ කාපිරියගෙ
කැරපොතු ඇස් පරංගියගෙ
චීනගෙ මොක්කන් නාසය
හම්බයන්ගෙ හමේ පැහැය
සේරම කලවන් වී සැදි
සාම්බාරෙ අපූරු ය!

-ප්‍රියන්ත ෆොන්සේකා -