Thursday, July 18, 2013

ඔහු හරිම කොට ය!



සංජීව පුෂ්පකුමාර කොට ය. ඒ බව ඔහු විසින්ම 2011 - ශාන්ත පීටර්ස්බර්ග් සිනමා සම්මාන උළෙලේදී ‘නිව් ටෙරිටරීස්‘ අංශයේ හොඳම අධ්‍යක්ෂකට හිමි සම්මානය ලබමින් කියනු ලැබ ඇත. ඔහුගේ මේ නොඋස්කම නිසා ම ස්වාධීන රූපවාහිනිය ප්‍රමුඛ බොහෝ මාධ්‍යවලට ඔහු පුෂ්පකුමාර ‘නැමැත්තා‍‘ නම් විය. තරමක් හෝ උසක් තිබ්බා නම් අඩු තරමින් ඔහුට ‘මහතා‘ කෙසේ වෙතත්, නිකම්ම ‘සංජීව පුෂ්පකුමාර‘ වත් වන්නට ඉඩ තිබිණි. ලෝක සිනමා වපසරිය තුළ කෙසේ වෙතත් ශ්‍රී ලාංකික සිනමා වපසරිය තුළ සංජීව තවම කොටෙකු බැවින් ධර්මසිරි බණ්ඩාරනායක සහ ප්‍රසන්න විතානගේ හැර වෙනත් සිනමාකරුවන් එක් අයෙකුවත් ‘ඉගිල්ලෙන මාළුවෝ‘ වෙනුවෙන් තවම නම් හරියකට කටක් ඇර නැත.

කොටකු වීමේ පල විපාක එතනින් කෙළවර වී නැත. මේ ‘කොටකම‘ නිසාම නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට හැරුණු විට අනෙත් හැමෝටම වාගේ සංජීවට හා චිත්‍රපටයට කලින් පෙනුනේ ‘බැටේ දෙන වෙලාවේ දෙකක් ඇණ සල්ලං කර දමන්නට‘ හිතාගෙන පිටුපසින් ගෙනවිත් සිටවූ උස මිනිසකු වූ ගාමිණී වියන්ගොඩ ව ය. උස වියන්ගොඩට කොටයන්ට දෙන ‘නැමැත්තා‘ නාමය දෙන්නට ගොස් ස්වාධීන රූපවාහිනිය හතර වරං ගසා ගත්තේ ය. ඒ උස අය බොහෝ දෙනෙක් පැමිණ වියන්ගොඩ උස බව පෙන්වා දුන් නිසා ය.

වියන්ගොඩ උස බව සැබෑ ය. සන්සන්දනාත්මක ව බැලූ කල මේ මොහොතේ ලංකාවේ සිටින උසම අය අතර වියන්ගොඩ ද වෙයි. එහෙත් වරද අපි බලමින් සිටින්නේ උස් තැන් දෙස පමණක් වීම ය. ඉක්මණින්ම පහළ ද නොබැලුවහොත් කොටට පෙනෙන සංජීවලා හැමදාටම නොපෙනී යන්නටද බැරිකමක් නැත.  

සංජීවලාගේ ‘කොටකම‘ ගැන කතා කරන්නට ඇති ඉතිරි බොහෝ දේවල් පසුවට කල් තබමු. ඊට පෙර අපි මේ ‘කොටත්වය‘ට හේතු වූ කරුණු ද සමහරක් කියවෙන බව පෙනෙන සංජීවගේ ශාන්ත පීටරස්බර්ග් සිනමා සම්මාන උළෙලේ අදහස් දැක්වීම විමසා බලමු. ‘ඉගිල්ලෙන මාළුවෝ‘ සිනමාපටය පිටුපස සිටි, තවමත් සොයාගන්නට බැරි වී ඇත්නම් හඳුනාගත හැකි, කට්ටිය ගැන මේ සංජීවම කියන්නෙ!!!!

 

“මම හරිම කොටයි!

මේ මල් හරිම ලස්සනයි... ඒත් මගේ ජීවිතේ ලස්සන නැහැ.
පළවෙනියෙන්ම මට ඕන මේ ලබපු සම්මානය පිළිගන්වන්න මගේ අගය කරනම සිනමාකරුවන් අතරින් දෙදෙනෙකුට...
එක අයෙක් මියගිහින්... මං අදහස් කරන්නෙ.. එයාට මිය යන්න සිදු වෙලා... හුඟක් කාලෙකට ඉස්සර...
අනෙත් සිනමාකරුවා, එයා තවම ජීවතුන් අතර... ඒත් සමහර මිනිස්සුන්ට ඕන ඔහුව මරා දමන්න...
පළමුවැන්නා, අන්ද්‍රෙයි තරකොව්ස්කි...
මම පිළිගන්වනවා මේ සම්මානය ඔහුගේ නමට...
ඊළඟට, අනෙක් කෙනා, ජෆාර් පනාහි...
එරෙහි වෙන ගමන් ඉරානයේ බිහිසුණු සහ අමන, තකතීරු පාලනයට...මට ඕන පිළිගන්වන්න මේ සම්මානය ඔහුට...

ඊට පස්සෙ මම මගේ අම්මාට ස්තුති කරන්නම ඕන...
හේතුව... මේ චිත්‍රපටය මම හැදුවෙ, ඇමරිකානු ඩොලර් විසිපන්දහසක වියදමක් ඇතුළත...
මගේ අම්ම හැදුව කෑම පාර්සල් හැත්තෑවක්, මිනිස්සු හැත්තෑවකට..
දවස් දාහතක් තිස්සෙ...
එයාගෙම අත්වලින්, කිසි කෙනෙකුගේ උදව්වක් නැතුවම...
චිත්‍රපට කණ්ඩායමේ සියල්ලන්ටම...
ඒ නිසා මම මගේ අම්මට ස්තුති කරන්න ඕනමයි...

ඒත් එක්කම මගේ කණ්ඩායමට සහ කිසිම මුදලක් නොගෙන රඟපෑ මගේ කණ්ඩායමේ ප්‍රධාන නිළියට...
මම ඒ ගොල්ලන්ට ස්තුති කරන්න ඕනමයි...
ඊට පස්සෙ මගේ අනුග්‍රාහකයා වුණු, මට ඇමරිකානු ඩොලර් විසිපන්දහසක පමණ මුදලක් දුන්නු, මනෝහර නානායක්කාර මහතාට...

ඒත් එක්කම කරුණු දෙකක් තියෙනව, මම ස්තුති කරන්නම ඕන හැම ශ්‍රී ලාංකිකයෙකුටම...
හේතුව මම ඉගෙන ගත්තෙ නිදහස් අධ්‍යාපනය යටතෙයි ලංකාවෙදි...
ඒ නිසා මම ස්තුති කරන්නම ඕන...
ලංකාවෙ හැම දෙනාටම...

මම ස්තුති කරන්නම ඕන කොරියානු සමාජයට, කොරියානු ජනතාවට...
ඒ කියන්නෙ මම සිනමාව ඉගෙන ගන්නව 2007 ඉඳන් අද වෙනකම්ම,
  කිහිප වතාවක්ම ගිහින් කොරියාවෙ ඉඳන්...
මේ හැම වෙලාවකම...
 2007 දිත්, 2009 දිත්, මේ අවුරුද්දෙත්...
කොරියානු රජය මට අතහිත දුන්න...
මගේ අධ්‍යාපනය වෙනුවෙන් කොරියානු මිනිස්සුන්ගේ බදු සල්ලි වෙන් කරල...
ඉතින් මම ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනමයි...

ඊළඟට මම ස්තුතිවන්ත වෙන්න ඕන රොටර්ඩෑම් සිනමා උළෙලට...
ලන්දේසි ජාතිකයින්ට...
මට ඔවුන්ගේ බදු මුදල් එකතුවෙන්...
හුබර්ට් බාල් පදනම හරහා සල්ලි දුන්නට..
මගේ චිත්‍රපටියෙ වැඩ ඉවර කරගන්න..
සමහර විට මේ මට ලැබෙන අන්තිම වතාව වෙන්න පුළුවන්
ඒ ගොල්ලන්ට ස්තුති කරන්න ඉඩ ලැබෙන...

අවසාන වශයෙන් මම කැමතියි මේ උළෙල සංවිධායකයින්ට ස්තුති කරන්න...
මේ විශිෂ්ට නගරයට...
උළෙලේ  වැඩසටහන් අධ්‍යක්ෂ අංජලිකාට..
මගේ චිත්‍රපටය මේ සදහා තෝරාගත්තාට...

අන්තිමේ මම කියන්න ඕන...
අනෂ්ටාසියා, ෂෙන්යා ඒත් එක්කම එලේනා..
ස්තුතියි ඔය ගොල්ලන්ට...
හේතුව රුසියානු තානාපති කාර්යාලය එකඟ වුණෙත් නැහැ මුලදි
මට වීසා එක දෙන්න මෙහෙට එන්න...
ඒ ගොල්ල හිතන්න ඇති මම නතර වෙයි කියල..
මම ආදරෙයිනෙ මෙහෙට...
මෙහෙ උන්නු සහ ඉන්න...
තරකොව්ස්කිට...ඇලෙක්සැන්ඩර් සොකොරොව්ට.... ගොගොල්ට.. දොස්තයෙව්ස්කිට... වගේ අයටත්...
ඉතින් ඔයාල ගොඩක් මහන්සි වුණා...
මගේ වීසා එක අරන් දෙන්න...
මට මෙහෙට එන්න...

සමාවෙන්න මම ගොඩක් වෙලාවක් ගත්ත ස්තුති කරන්න...
බොහොමත්ම ස්තුතියි...!!“


පසු සටහන: ඉහත වන සංජීවගේ අදහස් දැක්වීම තුළ මවිසින් තද අකුරින් දක්වා ඇත්තේ චිත්‍රපටයට සෘජුව හා වක්‍රව උදව් කළ බව පෙනෙන පිරිස ය. ඒ මේ පසුපස වන පිරිස සොයා යන පරීක්ෂකයකුට උදව්වක් ලෙස ය.

Monday, July 15, 2013

ජගත් චමිලගේ ගෙයි බිත්තියට මුවා වී සංජීව පුෂ්පකුමාරට වෙඩි තැබීම




ජගත් චමිල සම්මානයක් දිනා ගත්තේ ය. ඒ නිව්යෝර්ක් සිටි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලිනි. එහෙත් මෙරට බොහෝ මාධ්‍ය එය වර නැගුවේ වැරදි අයුරිනි. ඒ ‘ජගත් චමිල නිව්යෝර්ක් සම්මාන උළෙලේදී ලෝකයේ හොඳම නළුවා වෙයි“ යනුවෙන් ලියමිනි. නිව්යෝර්ක් සම්මාන උළෙලත්, නිව්යෝර්ක්සිටි සම්මාන උළෙලත් එකක් නොව දෙකක් බව බොහෝ දෙනෙකු කීවේ නැත. ජගත් කිසි ලෙස එසේ කියමින් නොආමුත් අන්තිමේ දී ඔහුටම ‘මම දින්නේ ඒකෙන්වත් දෝ‘යි සැක හිතෙන තරමට ම වැඩේ දුර ගියේ ය. දැන් ජගත් චමිල ආපිට එන බවක් පෙනෙන්නට නැත. එන්නට දෙන පාටකුත් නැත. ඉතිරිව ඇත්තේ “ඔව්... අපි තමයි සම්මානෙ දුන්නෙ... නිව්යෝක් සිටි ෆෙස්ටිවල් කාරයො නෙවෙයි“ යනුවෙන්, නිව්යෝක් සම්මාන උළෙල සංවිධායකයින් කළ ප්‍රකාශයක් ගැන පුවතක් හෙළි දරව් වීම වැනි දෙයක් පමණි. සිදුවෙමින් පවතින දේ අනුව නිව්යෝක් සිනමා උළෙල සංවිධායකයින්ට ද එහෙම හිතෙන්නට බැරිකමක් නැත.


නළුවකු හෝ කවර කලාකරුවකු වුව ජාත්‍යන්තරයේ දී සම්මානයට පාත්‍ර වීම ඉතා වැදගත් හා අගය කළ යුතු කටයුත්තකි. එහෙත් ඒ සමගම එම සම්මාන උළෙලේ වටපිටාව හා වපසරිය විමසීම ද වරදක් නොවේ. මෙය නිව්යෝක් සම්මාන උළෙලේ ලද සම්මානයකැයි ෆේස් බුක් පෝස්ටුවක ලියා තිබෙනු දැක ලියුම්කරු ඒ නිවරැදි කරන්නට ගිය මොහොතක තවකකු යටින් ලීවේ මෙවැන්නකි.

“මොකක් වුණත් ජාත්‍යන්තර සම්මාන උළෙලක්නෙ!“
මේ ශ්‍රී ලංකාවේ වත්මන් ජන විඥාණයයි. 

ලෝකයේ සිනමා සම්මාන උළෙල දහස් ගණනක් පවතින බව තේරුම් ගන්නට මහා සිනමා ඥාණයක් අවශ්‍ය නැත. නිකමට ගූගල් සෙවුම් යන්ත්‍රයෙන් අසා බැලීම හොඳටම සෑහේ. මේ සම්මාන උළෙලවලින් වැඩි ප්‍රමාණයක් හොඳම නළුවා සම්මානය පිරි නමයි. ඒ අනුව, ජගත් චමිලගේ කතාව සැලකිල්ලට ගෙන ඒ විමසුවහොත්, සෑම මොහොතකම ලෝකයේ හොඳම නළුවන් දහස් ගණනාවක් සිටිනු ඇත. සත්‍යය නම් ඔහු සම්මානය ලබන්නේ අදාල සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස පමණක් වීමයි. එය ජයග්‍රහණයක් බව සැබෑවකි. එහෙත් වටහාගත යුත්තේ එය නිශ්චිත සම්මාන උළෙලකින් ලද සම්මානයක් බවයි.

සම්මාන උළෙලක අතීතය, එහි වන අභිමානය, පසුබිම, ජූරි මණ්ඩලයේ ස්වභාවය හා ඒ ඒ ජූරි සභිකයාගේ ජීව දත්ත මෙන්ම අදාළ උළෙලට සහභාගි වන සිනමා කෘතිවල පසුබිම, ඒ නිර්මාණවල නිර්මාණකරුවන්ගේ දක්ෂතාවය ඈ බොහෝ දේ සම්මාන උළෙලක වටිනාකම මැනීමේ දී සැළකිල්ලට ගත යුතු ය. එය අප විසින් කරන්නට බොහෝ මහන්සි නොවිය යුත්තේ ඒ කාර්යය මේ වන විටත් ලෝක සිනමා වටපිටාව තුළ සිදු කෙරී ඇති බැවිනි. ඒ අනුව ලොව ඉහළින්ම ගැනෙන සම්මාන උළෙල ත්‍රිත්වය ලෙස සළකන්නේ කාන්ස් සම්මාන උළෙල (ප්‍රංශය), බර්ලින් සම්මාන උළෙල (ජර්මනිය) හා වැනිස් සම්මාන උළෙල (ඉතාලිය) යි. ඒ හැරුණු විට තවත් සිනමා උළෙල ගණනාවක්ම මුල් පෙළෙහි ලියැවෙන අතර අපේ නොදරුවන් පටලවාගත් නිව්යෝක් සම්මාන උළෙලත් පනස් වතාවකට වඩා පවත්වා ඇති ලොව පැරණිම උළෙල අතරින් එකකි. නමුත් නිව්යෝක් සිටි සම්මාන උළෙල යනු මෑතදී ඇරඹුනු නව උළෙලකි. වැඩි වී ඇත්තේ ‘සිටි‘ (නගරය) යන්න පමණක් නොවේ. සම්මාන උළෙල ස්වභාවය හා වටපිටාව ද ඒ සමගම විශාල ලෙස වෙනස් වී ඇත. එය ‘මොකක් වුණත් ජාත්‍යන්තර සම්මාන උළෙලක් නේ!“ යන සරල අර්ථය නොගන්නේ එබැවිණි.

කෙසේමුත් ජගත් චමිල දේශයට පිය තැබුවේ මහත් හරසර මැද ය. ‘සැමීගේ කතාව‘ තිරයට ගෙනෙන්නට කිසිදු උවමනාවක් නොපෙන්වූ නිලධාරීන්, ‘සැමීගේ කතාව‘ ඇතුළු සිනමා කෘති ගණනාවක ප්‍රදර්ශනය පසුපසට තල්ලු කරන්නට ක්‍රියා කළ ‘අතීත කතා වෙළෙන්දන්‘ එදා ගුවන් තොටුපොළ පේළි සැදී උන් අතර ජගත්ට ඔහුවම අමතක වන තරමට ඔහු ‘උස්සා අතහැර උඩු කුරුඤ්ඤං‘ ගැස්සුවේ ය. අලුත් ‘සැමී‘ කතාව නිමා කළේ ජනපතිතුමන් වෙත ගොස් ‘ජාතියට‘ දිනා දුන් සම්මානය දී වැඳ ආචාර කිරීමෙනි. ජනපතිතුමා කතාව අවසාන කළ තැනින් පටන් ගත්තේ ඔහුට ලක්ෂ 50ක නිවසක් තෑගි කරන්නට තීරණය කිරීමෙනි. 


දැන් අපි ජගත් චමිල සම්මානය දිනාගත් පසු අපේ කට්ටිය නැටූ මෙම නැටුම දෙසට හැරෙමු. ජගත් චමිල පිළිගන්නට රොතු බුරුතු බැඳ, සම්මාන උළෙලේ නම පටලාගෙන, කට්ටියම ගුවන් තොටුපළට දිව්වේ ඇයි? ගුවන් යානයේ දිගු ගමනකින් වෙහෙස වී ආ ජගත්ව ‘උඩුකුරුඤ්ඤං‘ ගැස්සෙව්වේ ඇයි? සියළුම මාධ්‍ය එකතු වී පැය වරු ගණන් ගත කොට මේ ගැනම ලියන්නට කියන්නට ගත්තේ ඇයි? ජගත් චමිල අරලියගහ මන්දිරයට ගියේ, ජනපතිට සම්මානය දුන්නේ, ජනපතිතුමා සිය නිල කාලයෙන් කොටසක් ජගත් වෙනුවෙන් වෙන් කළේ සහ අවසානයේ රටේ ජාතික ධනයෙන් ලක්ෂ පණහක් වෙන් කොට නිවසක් ඔහුට පුදන්නට තීරණය කළේ ඇයි? සියල්ලටම මුල මේ සම්මානයයි. ජගත් චමිලගේ හෝ වෙනත් නළු නිළියන්ගේ දක්ෂතා මින් පෙර නොතිබුණේ ද? ජගත්ගේ දක්ෂතා මින් පෙර නොදැක්කේ ද? ජගත් සහ ඔහු වැනිම වූ දක්ෂයින් සම්මානිත රඟපෑම් ගෙනාවේ නැද්ද?

නැත. දැන් ජගත්ට ඇමරිකාව සම්මානයක් දී ඇත.

කලාව පිළිබඳ, රංගන කාර්යය පිළිබඳ, සිනමාව පිළිබඳ කිසිදු ඇගයුම් පද්ධතියක් නැති රටකට ආදර්ශ සාදාදෙන්නට ඇමරිකාවේ සිනමා උළෙලක් ඉදිරිපත් වී ඇත. දැන් එක්වරම ‘අධිරාජ්‍යවාදී‘ ‘බිහිසුණු‘ ඇමරිකාවේ සිනමා උළෙල කට්ටියටම ‘ෂෝක්‘ වී ඇත. තුම්මුල්ල හන්දියේ නොකා නොබී  ඇමරිකාවට බැටේ දුන් වීරවංශ ඇමතිට ද සිය අමාත්‍යංශයෙන් නිවස දෙන බව කියන්නට සිදු වී ඇත. මේ අපේ දරිද්‍රතාවයේ තරමයි. පශ්චාත්-යටත්විජිත හීනමානයේ තරමයි. සම්මාන උළෙලක නම ඇසුණු විගස ‘බටහිරගැති‘ කුමන්ත්‍රණ ගැන මොර දෙන සිල්වලාගේ ද සද්දයක් නැත. 

 දැන් දෙවන කොටසට යමු.



මේ සියල්ලට පසු, දැන් සිනමාව ගැන ලොව කාටත් වඩා උනන්දු අපේ රටේ රසිකයින්ට අලුත් කතන්දරයක් පෙන්වන්නට පටන්ගෙන ඇත. ‘සැමීගේ කතාව‘ පිළිබඳ ප්‍රවෘත්තිය සමග ජගත් චමිල හරසරින් පිළිගත් ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති නිෂ්පාදකවරු සියල්ලන්ටම පෙර මෙම අලුත් සිනමාතොරතුරත් මහත් බර තබා ජනතාවට හඳුන්වා දී ඇත. ඒ සංජීව පුෂ්පකුමාර ගැන ය. එනමින් යුත් සිනමා අධ්‍යක්ෂකවරයා ගැන ය. ‘ඉගිල්ලෙන මාළුවෝ‘ නමැති ඔහුගේ සිනමා කෘතිය ගැන ය. ස්වාධීන රූපවාහිනියට අනුව නම්, ‘සංජීව පුෂ්පකුමාර නැමැත්තා‘ ගැන ය. ඒ පුවත කුමක් ද?

‘ඉගිල්ලෙන මාළුවෝ‘ නැමැති සංජීව පුෂ්පකුමාරගේ කුළුඳුල් සිනමා කෘතිය විදෙස් සිනමා උළෙල ගණනාවක ඇගයුමට පාත්‍ර වීමෙන් අනතුරුව, ලංකාවේ මුල් වරට ප්‍රදර්ශනය වූයේ පසුගිය දා කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවති ප්‍රංශ සිනමා උළෙලේ දී ය. එනයින් එය ලංකාවේ පැවති මංගල දර්ශනය ද වේ. සිනමා කෘතිය ප්‍රදර්ශනය කෙරී දිනක් ඇතුළත ඒ පිළිබඳ ක්‍රියාත්මක වන ආරක්ෂක ලේකම්වරයා පළමුව සිනමා උළෙල එහෙම පිටින්ම නවතා දමයි. දෙවනුව සංජීව පුෂ්පකුමාරගේ සිනමා කෘතිය පිළිබඳ පුළුල් පරීක්ෂණයක් අරඹන්නට විධාන දෙයි.

මෙම සිද්ධියට අදාල ප්‍රවෘත්තිය සිය ප්‍රවෘත්ති ප්‍රකාශය අතරට ගෙනෙන ස්වාධීන රූපවාහිනීය ඉතිහාසයේ කලා කෘතියකට එරෙහි බිහිසුණුම ප්‍රවෘත්ති වාර්තාකරණය ඊට එරෙහිව සටහන් කරයි. ඒ සිනමාකරුවාගේ, නිෂ්පාදකවරයාගේ සහ සිනමා කෘතියේ රූපමය සඳහන් ද සමග ය. ඒ අනුව සංජීව යනු ‘එන්ජීඕ‘ සමග සිටින, ‘දෙමළ ඩයස්පෝරාවේ‘ අවශ්‍යතාවට සිනමා කෘති තනන, රටේ යුධමය ජයග්‍රහණය පසුපසට තල්ලු කර රට පාවා දෙන ‘දේශද්‍රෝහියෙකි‘! පුවත වැඩි දුරටත් කියන ආකාරයට සංජීවගේ ‘කූට විදේශ සබඳතා‘, ‘ඩොලර් දිනන නිෂ්පාදන සහයෝගිතා‘, ‘කොටි සබඳතා‘, ‘ඩයස්පෝරා අවශ්‍යතා ඉටුකිරීම්‘ ආදිය ද දැන් දැන් හෙළිවෙමින් පවතී. 

 පිළුණු වී ගිය වදන් මාලාවක් සමග එන මෙම ප්‍රවෘත්තිය සුපුරුදු ලෙස හාස්‍යයක් ලෙස සළකා බැහැර කළ නොහැක්කකි. ඒ එම ප්‍රවෘත්තියේ වදන් සමගම කියැවෙන වෛරී හා පළිගන්නා සුළු වදන් පෙළක් ද වන බැවිනි. ඒ අනුව ‘මේ කටයුත්ත පිටුපස සිටි පිරිස සොයා දැන් පරීක්ෂණ ආරම්භ කෙරී ඇත‘. ‘ඔවුන්ට එරෙහිව පියවර ද ගැනෙනු ඇත!‘ දෙවන, තුන්වන දිනයන් එළඹෙද්දී ස්වාධීන රූපවාහිනීය පර සක්වල ගසමින් ප්‍රතිඥා දෙන්නට ගත්තේ මේ වැනි දේ හෙළිදරව්වට ඔවුන් දිගින් දිගටම කටයුතු කරන බවයි! දැන් වත්මනෙහි අපට සිටින දක්ෂතම පරිවර්තකයකු, ලේඛකයෙකු හා දේශපාලන විචාරකයකු ද වන ගාමිණී වියන්ගොඩ ද වැඩේට ඈඳාගෙන ය. ඒ එම කෘතහස්ත රචකයාද ‘ගාමිණී වියන්ගොඩ නැමැත්තා‘ ලෙස නම් කොට තබමිනි. 

දැන් ඔවුන් හෙළිදරව් කළේ මොනවාද? අපි එකින් එක ගෙන බලමු.

ප්‍රවෘත්තියේ රූපමය වියමනට අනුව නම් ඔවුන් මේ කෘතියේ නිර්මාණකරු (සංජීව පුෂ්පකුමාර) හා නිෂ්පාදකවරයා (මනෝහර නානායක්කාර) හෙළි කරගෙන ඇති සෙයකි. මහත් උජාරුවෙන් ඔවුහු දෙදෙනාගේම පින්තූර ද ගෙනහැර පාති. සැඟව සිටි බිහිසුණු අපරාධකරුවන් දෙදෙනෙකු සොයාගත් ලෙස ‘ස්වයං වින්දනයක්‘ ලබති. ඔවුන්ට අමතකව ගිය කරුණ නම් ‘ඉගිල්ලෙන මාළුවෝ‘ ශාන්ත පීටස්බර්ග් සිනමා උළෙලේදී සම්මානයට පාත්‍ර වූ බව දැනගත් මොහොතේ ඔවුන්ගේම සහෝදර ජාතික රූපවාහිනිය සංජීව හා කෘතිය සිය ප්‍රවෘත්ති විකාශනය තුළ තබමින් ඒ ගැන ඇගයුමක් කළ බව ය. (ඇතැම් විට ස්වාධීන රූපවාහිනියේ ද මෙය කියන්නට ඇත. ලියුම්කරුට ඒ ගැන අදහසක් නැත.) ඒ හැරු‍ණු විට චිත්‍රපටයේ නාමාවලියේ පැහැදිලිව කියැවෙන සංජීව පුෂ්පකුමාර හා මනෝහර නානායක්කාර නාමයන් පහසුවෙන්ම හමුවන්නට හැකි සාමාන්‍ය මිනිසුන් බව ය.

(මෙහි දී අතුරු සටහනක් ලෙස, මෙතැන් පටන්, සංජීව පිටුපස සිටින හා සිටි ඉතිරි පිරිස සොයාගන්නට ස්වාධීන රූපවාහිනියට ආධාර කරන්නට පටන් ගනිමි. පළමුවැනිව - ජාතික රූපවාහිනිය ලියාගත්තාට වරදක් නැත. එය මෙම චිත්‍රපටය අගය කරමින් ප්‍රවෘත්තිවලදීම සටහනක් කර ඇත. තවත් නං මොන කතා ද?)

අන්තර්ජාලයේ විකිපීඩියා විශ්වකෝෂය සංජීව පුෂ්පකුමාර පිළිබඳ ඉතා පැහැදිලි සඳහනක් තබා ඇත. ඒ හැරු‍ණු විට ඔහුගේම පෞද්ගලික වෙබ් අවඩිය ඇති පදම් ඔහු සහ ඔහුගේ නිර්මාණ ගැන තොරතුරු සපයා ඇත. රූප හා සිනමා කෘතියේ පූර්ව ප්‍රචාරක පටයන් ද සපයා ඇත. 

සංජීව පුෂ්පකුමාර ‘ඉගිල්ලෙන මාළුවෝ‘ තනන්නට මත්තෙන් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ අතර ඒ යුගයේ දී ‘ස්පර්ශය‘ නමින් කෙටි චිත්‍රපටයක් ද තැනුවේ ය. එය යුද්ධයෙන් දෙඅතම අහිමි වූ යුධ සෙබළකු පිළිබඳ අනුවේදනීය කතා පුවතකි. එය බොහෝ තන්හිදී ඇගයුමට පාත්‍ර වූ අතර චිත්‍රපට සංස්ථා සිනමා පරිශ්‍රයන් තුළදීම තිරගත කෙරිණ.

(දැන් ඉතින් චිත්‍රපට සංස්ථාව ද ලියාගත හැක.)   

සංජීව පුෂ්පකුමාර ‘ඉගිල්ලෙන මාළුවෝ‘ තනන්නට මත්තෙන් ලේඛකයකු, රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු, රූපවාහිනී වැඩ සටහන් සඳහා පිටපත් රචකයකු, විශ්වවිද්‍යාලවල බාහිර කථිකාචාර්යවරයෙකු ආදී බොහෝ වෘත්තීන්වල නියැළුණු අයෙකි. ප්‍රවීණ සිනමාකරු ප්‍රසන්න විතානගේ ගැන ‘ආත්ම බද්ධ සිනමා රූප‘ ලීවේත්, ‘ජම්ප් කට් එකක්‘ සහ ‘කිම් කි දුක් සහ කොරියානු සිනමා රූප‘ යන සිනමා අධ්‍යයන ග්‍රන්ථ ලීවේත් මේ සංජීවම මිස වෙනකකු නොවේ. සිරස රූපවාහිනියේ ඔහු සම්මාදම් වූ වැඩ කටයුතු ගැන මාහට එතරම් හොඳ මතකයක් නැතත් ජාතික රූපවාහිනියේ විනීතා කරුණාරත්න නිපද වූ ‘ආලකමන්දාව‘ට ඔහු ලියූ තිර පිටපත් ගැන මතකයක් තිබේ. එදවස ඒවා දියවෙමින් පැවති රූපවාහිනී වැඩසටහන් අතරට ජීවයක් ගෙන ආවේ ය.

විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස සංජීව පුෂ්පකුමාර විශ්වවිද්‍යාල කිහිපයකටම සම්බන්ධව කටයුතු කර ඇති බව මා දන්නා අතර ඔහු මා සේවය කරන කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයට ද විත් සිනමාව පිළිබඳ දේශන සිදු කළේ ය. මනා සන්නද්ධ දැනුමක් සහිතව, නිසි කාල කළමණාකරණයකින් ද යුතුව ඔහු සිය කටයුත්ත සිදු කළ බව මාහට ද නිවරැදි මතකයක් ඇති අතර විශිෂ්ට ගුරුවරයකුගේ සේවය තමන්ට ලැබුණු බවට දෙස් දුන් ශිෂ්‍ය ප්‍රජාවක් ද මා හඳුනන විශ්වවිද්‍යාල ප්‍රජාව තුළ වෙයි.

(දැන් තුන්වෙනුව, සංජීව පුෂ්පකුමාර නමැත්තකු සමග සමීප සම්බන්ධකම් පැවැත් වූ ආයතන ලැයිස්තුවට යළි රූපවාහිනි සංස්ථාවේ නම ද ලියා කොළඹ ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයක නම් ද ලියා ගත්තාට වරදක් නැත.) 

දැන් පෙනී යන්නේ සංජීව පුෂ්පකුමාර නැමැත්තකු ගැන කියා සිදුකළ ස්වාධීන රූපවාහිනී හෙළිදරව්ව කිසිදු පදනමක් තොර ඔවුන්ගේ මනෝ-රාජ්‍යයට අයත් පුස්සක් බව ය. සංජීව ඇත්තටම සිටියේ ය. ඔහු නොදැන සිට, ‘නැමැත්තකු‘ කොට හෙළිදරව් කළේ අට-පහ නොදත් ස්වාධීන රූපවාහිනිය පමණි.

මනෝහර නානායක්කාරගේ නම ද, රූපය ද ස්වාධීන රූපවාහිනී තිරයට ආවේ ඊට නොවෙනස් ‘මල් වෙඩි‘ ආකාරයක් දරමිනි. වටපිටාව නොදත් අහිංසක ‘ගම්වැසියකුට‘ නම් හඳුනා නොගත් ත්‍රස්තයකු දැක බලාගන්නට ලැබුණු ආහ්ලාදයක් ලැබෙන්නට ඉඩ ඇති මුත් මනෝහර හඳුනන්නකුට එය එසේ නොවේ. මනෝහර නානායක්කාර යනු මේ මොහොතේ ලංකාවේ සිනමාකරුවන්ට අත දෙන ප්‍රධානතම සිනමා නිෂ්පාදකවරයා ය. ‘ඉගිල්ලෙන මාළුවෝ‘ මතු නොව, සම්මාන දිනූ චන්ද්‍රන් රත්නම්ගේ ‘කොමන් මෑන්‘, ඉදිරියේ තිරගත වන්නට නියමිත සුමිත්‍රා පීරිස්ගේ ‘වෛෂ්නාවී‘, මාලක දේවප්‍රියගේ ‘බහුචිතවාදියා‘ ආදී සිනමා කෘති ගණනාවක නිෂ්පාදකවරයා ඔහු ය. වසර ගණනාවක් යටපත් ව තිබුණු සත්‍යජිත් මාඉටිපේගේ ‘බොරදිය පොකුණ‘යළි පෙරමුණට ගන්නට කටයුතු කළේ ද ඔහු ය.

දැන් ඉතින් අප හැරිය යුත්තේ සිනමා කෘතිය දෙසට ය. සංජීව කවරකු වුවත්, මනෝහර කවරකු වුවත් ‘ඉගිල්ලෙන මාළුවෝ‘ සේවය කරන්නේ යට කී ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්තියේ ලෙසට යැයි කෙනෙකුට තර්ක කළ හැකි බැවිනි. එසේ තර්ක කරන්නට අයිතියක් ද ඇත.

‘ඉගිල්ලෙන මාළුවෝ‘ නොදැක තහනම් කරන ආරක්ෂක ලේකම්වරයාට සහ උඩ පැන කෑ මොර ගසන ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති නිර්මාණකරුවන්ට, භාගයක් බලා, තමන්ගේම ආඛ්‍යානයක් සාදාගෙන බිය වී පැන දිවූ සුනිමල් ප්‍රනාන්දුට වඩා හොඳින් මේ චිත්‍රපටය පිළිබඳ මට කතා කළ හැක. ඒ මා මෙය පසුගිය මාර්තුවේ දී නරඹන ලද හෙයිනි. ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර පැවති ‘ඕස්ට්‍රේලියානු සිනමාතෙක්‘ සිනමා උළෙලේදී මම මෙය නැරඹුවෙමි. මග දී නැගිට නොගොස් දිගටම ශාලාවේ රැඳී සිට නැරඹුවෙමි.

‘ඉගිල්ලෙන මාළුවෝ‘ බහු-ආඛයානමය කෘතියකි. සමාන්තරව එය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කප්පම් ඉල්ලීමේ තර්ජනයකට ලක් වූ ද්‍රවිඩ පවුලක් (මූලිකව රාජ්‍ය සේවකයෙක්, ඔහුගේ බිරිඳ හා වැඩිවිය පත්වන දියණිය), හමුදා සෙබළකු හා පෙමින් බැඳී, ගැබ් ගන්නා තරුණියක් (තරුණිය, ඇගේ මව හා පියා), සහ මායිම් ගම්මානයක සිටින, පියා අහිමි වුණු, සොයුරු සොයුරියන් පස් හය දෙනෙකු සිටින ගැටවරයෙක් (ගැටවරයා සහ මව) පිළිබඳ කතා පුවත් තුනක් රැගෙන එයි. කතා සියල්ලම ඛේදවාචකයන් ය. කප්පම් මුදල ගෙවා ගත නොහැකි වුණු ද්‍රවිඩ පවුල එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඝාතනය කෙරෙයි. දියණිය සැඟවී පණ බේරා ගනියි. ගැබ් ගත් තරුණිය තමන් අතරමං කළේ යැයි වේදනාවෙන් මාරුවක් ලබා ගොස් සිටි තරුණයා සොයා ගොස් ඔහුගෙන් පළි ගනියි. ගැටවරයා සිය මවගේ අනියම් සබඳතාවක් දැක වේදනාවට පත්ව ඇයට පිහියෙන් ඇන නිවසින් පලා යයි. මේ එහි සාරාංශගත අදහසයි. මෙහි තිබෙන ‘ඩයස්පෝරා‘ සබඳතා මොනවා ද? රට පාවා දෙන දේ කවරක් ද? රට පිළිබඳ බාහිර දැක්ම වනසා දමන දර්ශන මොනවා ද?

සිනමා අධ්‍යයනයට අනුව නම් සිනමා නිර්මාණකරුවකුගේ සැබෑ කෘතියක් වනාහි ඔහුගේ ආත්ම ප්‍රකාශනයයි. ත්‍රිකුණාමලයේ හැදී වැඩෙන සංජීවගේ ළමා කාලයේ අත්දැකීම් පාදක වූයේ යැයි ඔහුම සඳහන් කරන කෘතිය මා දකින්නේ නම් මනා සිනමා භාෂාවකින් සුපෝශිත කෘතියක් ලෙස ය. එහි වන ආඛ්‍යානයේ ප්‍රබලතා හා දුබලතා කතා කිරීම සිදු විය යුත්තකි. එය සියල්ලෙන් මිදී ඉහළට නැග පරිපාකයට පත්ව ඇතැයි මා අදහස් කරන්නේ නැත. එසේ මුත් ඒ සිනමා බස මැනවින් හඳුනාගත්තකුගේ කෘතියකි. අංකුර සිනමාකරුවකු ලෙස සිය මුල් කෘතියේදීම වෙසෙසි ගුණ පෙන්වන නිර්මාණකරුවකුගේ කෘතියකි. කළ යුත්තේ සිනමා කෘතිය හොඳින් විමසා බලා ඒ පිළිබඳ කතිකාවකට එළඹීම ය. යටකී ‘ස්වාධීන රූපවාහිනී‘ මතාන්තර ද එහි හමුවේ දැයි එවිට අපට සාකච්ඡා කළ හැක.

සංජීව අද දකුණු කොරියානු රජයෙන් ශිෂ්‍යත්වයක් ලැබ (හපොයි... බටහිර රටක් වුණා නම් යළිත් තලු මරන්නට තිබුණා නොවැ.. අසවලුන්ට!) චුන්-ආන්ග් විශ්වවිද්‍යාලයේ සිනමාකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් හදාරයි. සිනමා උළෙල අතර මුදුන් මල්කඩ වූ කාන්ස් සිනමා උළෙල ඔහු කොරියාවේදී නිපදවූ ‘අන්ෆොගිවන්‘ කෙටි චිත්‍රපටය සිය කෙටි චිත්‍රපට අංශයට තෝරාගත්තේ මේ වසරේ දී මය . කාන්ස් උළෙල විසින්ම ලද ශිෂ්‍යත්වයකින් ප්‍රංශයට ගොස් ඔහු සිය දෙවැනි සිනමා නිර්මාණයට නේවාසික අධ්‍යයනයක යෙදුණේ මේ වසර මුල් භාගයේ ය. මේ සංජීව පිළිබඳ කරුණු ගොන්නෙන් වැදගත් කරුණු කිහිපයකි. දැන් මේ කුරුස ගසේ ලන්නට යන්නේ මෙම නිර්මාණශීලී අධ්‍යක්ෂවරයා ය.


ජගත් චමිල ලක්ෂ පණහක ගෙයක් ලැබුවාට අපට කම් නැත. එහෙත් ඒ ගෙන් පිටතට පැන ‘මේ දේ නම් කරන්නට එපා.. මගේ සම්මානෙට වඩා දහස් ගාණක් ඉහළින් තියෙන උළෙලවලින් තමයි සංජීව දින්නෙ“ යනුවෙන් ජගත් කියන්නේ නැත. ජගත්ගේ හඬ නිහඬ කොට අවසන් ය. එදා ගුවන් තොටුපළට දුවගෙන ගිය ‘ඉතිහාස කතා වෙළෙන්දෝ‘ කිසිවකුටත් මේ ගැන වගේ වගක් නැත. සිදුවන්නට ඉඩ තිබෙන්නේ එක දෙයකි. ජගත් චමිලගේ ලක්ෂ පණහේ නිවස පිටුපස සිට සංජීවට වෙඩි තැබීම පමණි.

නව මුහුණුවරකින්... නව පියවර සමගින්...

හිතවත් මිතුර,

සිනමා කතිකා නමින් ඇරඹුණු මෙම බ්ලොග් අඩවිය පසුගිය කාලය පුරා පළ කර ඇත්තේ සීමිත ලිපි සංඛ්‍යාවකි. එනිසාවෙන් ම මෙම අඩවිය වෙත ප්‍රවේශ වී ඇති පාඨක පිරිස ද එතරම් ඉහළ අගයක් ගෙන නැත. පොරොන්දු වූ පරිදි වඩාත් ශාස්ත්‍රීය ලෙස සිනමාව පිළිබඳ ලියන්නට අවකාශයක් මා වෙත ලැබුණේ ද නැත..

එසේමුත් ලිවීම ප්‍රබල ලෙස ආරම්භ කළ යුතු බැව් පෙනේ. සමාජ හා සංස්කෘතික වපසරිය තුළ විහිද විසිරෙමින් පවතින සෝදාපාළුව දිගින් දිගටම පැවතීම බිහි කරන්නට ඉඩ ඇත්තේ සුන්දර හෙටක් නම් නොවේ. එනිසාම ලිවීම, වඩාත් මැදිහත් ලෙස හා විහිද පැතිරෙන ලෙස ලිවීම අවශ්‍ය බැව් පෙනේ.

එනිසාම මෙම අඩවිය සිනමාවට පමණක් වෙන් නොකොට ඉන් මුදා පුළුල් තලයක ස්ථානගත කරන්නට මම තීරණය කළෙමි. එය සිනමාව, නාට්‍යය, සංගීතය ආදී කලාවන් හා මෙන්ම දේශපාලනය, ආගම, දර්ශනය ආදිය සමග ද හෙට සිට ගණු දෙණු කරනු ඇත. එසේම සිනමා කතිකා ලෙස මෙතෙක් නම් ලද මෙම අඩවිය මෙතැන් පටන් ‘අළු‘ ලෙස නම් දරනු ඇත.

‘අළු‘???

‘අළු‘ සමග මගේ ඇති බැඳීම කුමක් ද? මෙය ‘අළු‘ ලෙස නම් ලැබිය යුත්තේ ඇයි?

මම ‘අළු‘ වී ඇත්තෙක් මි! ඒ මගේ ජීවිතයේ අගනාම යුගයක ය. හැරල්ඩ් පින්ටර්ගේ ‘Ashes to Ashes‘ ‘අළු‘ නමින් අනුවර්තනය කොට සිංහල වේදිකාවට මවිසින් ගෙන ආ යුගයේ මා පමණක් නොව එහි උන් සියල්ලෝම ද දිනපතා අළු වීමු! ඒ නාට්‍යය පුහුණුවට අප දුන් නම ය. නාට්‍යයේ වටපිටාව ඇතුළු සියල්ලටම අප දුන් නම ය. දුරකථනයෙන් කතා කරන්නට ආ කණ්ඩායමේ නළු නිළි කැළට හා සෙස්සන්ට අපි ‘අළු වේවා‘ යි පැතීමු! බැලූ බැල්මට හාස්‍යයක් සේ හැඟුණ ද එහි අභූතරූපී අර්ථ ගණනාවක් අපටම අවබෝධ වන්නට විය. අපි තනමින් සිටින නාට්‍යයෙන් ඔබ්බෙහි වූ විවිධ සමාජ තල ගණනාවක් පිළිබඳ ඉඟි ඒ වදනෙහි විය.

‘අළු‘ !!! ඒ නම් කදිම නමකි!

යාපනය පුස්තකාලය ගිනි ගෙන ඉතිරි වූ, දළදා මාළිගාවේ බෝම්බය පුපුරා හැළීමෙන් පසු ඉතිරි වූ භෞතික ‘අළු‘වලට මෙන්ම දශක ගණනාවක යුධ ගිනි දැල් නිවුණු පසු ඉතිරි වන නොපෙනෙන ‘අළු‘ වලටද ආවේණික ගුණ ඇත. කළු සිට සුදු දෙසට ගමන් කරද්දී හමුවන වර්‍ණය වන ‘අළු‘ කළුත් නැති සුදුත් නැති මැද අපට පෙන්වයි. සියල්ල ‘අළු‘ වී යනු දකින්නට අපි කිසිසේත් කැමති නැත. එහෙත් අපට දකින්නට සිදුවන්නට ඉඩ ඇත්තේ ද එයම ය.

එනිසාම ‘අළු‘ වන්නට මත්තෙන් ලිවිය යුතු ය. ෆීනික්ස් පක්ෂියා ‘අළු‘ මතින් නොව ‘අළු‘වලට පෙර කැඳවිය යුතු ය.

අළු

ඒ නම් කදිම නමකි!! එය බලාපොරොත්තුවේ පැහැයයි!


Saturday, July 7, 2012

මතක ‘සිතුවම්‘ වෙත ඇවිද යාම



සිඩ්නි සිනමා උළෙලේ දුටු “Golden Slumbers“ වාර්තා චිත්‍රපටය පිළිබඳ විවරණයක්


“මේ බිත්තිය පුරාම තියෙන රූපවල ඉන්න අය දැන් නැහැ කියල මට හිතන්නත් අමාරුයි. මේ චිත්‍රපටිවල මම රඟපෑවේ ඊයේ පෙරේදා වගේ කියලයි මට හිතෙන්නෙ. කොච්චර දවසක් ගත වෙලා ගිහින් ද? ඉතිරි වෙලා ඉන්නෙ මම විතරයි. මාව බලන්න එන හැමෝම මේ ෆොටෝ දිහා බලලා ඒ අයගෙ විස්තර මගෙන් අහනවා. මම ඒව විස්තර කරන්නෙ සතුටින්. පේනවද... ඒ ගොල්ල තාම මැරිල නැහැ වගේ. හැමෝම ඉන්නව වගේ. මම නැති දවසකත් වෙන්නෙ ඒකමයි කියල මට හිතෙනවා.“

තරුණ ප්‍රංශ වැසි-කාම්බෝජියානු ජාතික සිනමාකරුවෙකු වූ ඩෙව් චොව්ගේ “Golden Slumbers” වාර්තා චිත්‍රපටයේදී ඉහත ප්‍රකාශය කරන්නේ ප්‍රථම කාම්බෝජියානු සිනමා තාරකාවිය නොඑසේනම් නිළි රැජින වූ දයි සවෙත් ය. සිඩ්නි සිනමා උළෙලේ වාර්තා චිත්‍රපට අංශය නියෝජනය කළ “Golden Slumbers” 1960-1975 කාලය තුළ විචිත්‍රව නැගී ආ කාම්බෝජියානු සිනමාවේ අතීත මතකයන් අතර සැරිසැරීමකි. වසර 15ක් තුළ චිත්‍රපට 400ක් පමණ නිමැවෙමින් නැගී ආ කාම්බෝජියානු සිනමාවේ පැරණි සමරු හරහා සිය කැමරාව මෙහෙයවන ඩෙව් චොව්ගේ සිනමා වෑයම හුදෙක් අතීතාවර්ජනයක් පමණක් නොවන්නේ ඇයි? ලොව පුරා සිනමා උළෙලවලදී විචාරක හා ප්‍රේක්ෂක අවධානය නොමඳව දිනාගන්නේ ඇයි? ඔහු සිය සිනමා පටය හරහා සොයා යන යුගයේ බොහෝ පුද්ගලයින් හා වස්තූන් අතීත අවශේෂ මතක පමණක් වෙමින්, බිහිසුණු එමෙන්ම වත්මන් කාම්බෝජ වැසියා සිහිකැඳවීමටවත් අකමැති සිදුවීම් පෙළක් තුළ සැඟවගොස් ඇති හෙයිනි. “Golden Slumbers” චිත්‍රපටය අපට කියන්නේ පොල් පොට් පාලනය තුළ දියව ගිය හා මරා දැමුණු සුන්දර සිනමා අතීතයක කතාවයි; එමතු ද නොව දේශපාලනික පෙරළියකට මැදිවුණු මානව ශිෂ්ටාචාරයක කතාවයි.

“Golden Slumbers” චිත්‍රපටයේ නාමාවලියට පෙර හමුවන්නේ විශිෂ්ට රූප සිත්තමක ඇරඹුම කියාපාන්නා වූ රූ පෙළකි. හඬ පටය තුළින් අපට ඇසෙන්නේ තමන් පෙර දුටු කාම්බෝජ සිනමා පට පිළිබඳ සිහිපත් කරන පුද්ගලයින් කිහිප දෙනෙකුගේ කතා බහකි. සාකච්ඡාකරුවන්ගේ දෘෂ්ටි කෝණය අනුව කැමරාව පිහිටුවා ඇති අතර අපට දැනෙන්නේ අප ද ඔවුන් සමග ම ඔවුන් ගමන් ගන්නා ලොරියේ හෝ කැබ් රථයේ නැගී යන බවකි. අපට පෙනෙන්නේ රථයට පසුවෙමින් යන මාර්ගයේ දර්ශනයයි. සාකච්ඡාව අතර, නරඹන අප ද මෙම වාහනයේම නැගී යන්නන් බවට පත්වෙද්දී යම් අරුමැති යමක් හැඟෙන්නට ගනියි. පිටුපසින් පෙනී නොපෙනී යන පාපැදි, වාහන හා පදිකයින් දෙස බලා සිටිත්ම රථයත්, සියල්ලත් මාර්ගයේ පසුපසට ගමන් කරන බව ඒත්තු ගැන්වේ. සියල්ල මෙතෙක් අප දුටුවේද දකින්නේද අතීතයට ගමන් කරන ලෙස බව වැටහෙත්ම චොව්ගේ අතීතය සොයා ඇදෙන ගමනේ කොටස්කරුවන් බවට අප පත්වී හමාර ය. සියල්ල පැහැදිලි ය. රථයේ පසුපස ගමන ඇරඹුණු වර්තමානය රාත්‍රියයි. එහෙත් චිත්‍රපටයේ නාමය සටහන් වන මොහොත වන විට හිරු නැගී හමාර ය. අප ගමන් අරඹන අඳුරු වර්තමානයට වඩා හිරුරැස් පතිත, අතීත දහවලකින් ඩෙව් චොව් සිය ආඛ්‍යානය ආරම්භ කරයි.

අධ්‍යක්ෂක - ඩෙව් චොව්
ප්‍රංශයේ විජිත පාලනයට නතුව තිබූ කාම්බෝජය නිදහස ලබා, නොරදම් සිහනුක් රජුගේ පාලනය යටතේ පවතිද්දී එරට සිනමා නිර්මාණ නිපදවීම ආරම්භ වී ඇත. ඒ 1960 දශකයේ දී ය. එසේ මුත් ඊට පෙර සිටම අගනුවර වූ පෙනොම් පෙන් හා ආශ්‍රිතව හොලිවුඩ් හා ඉන්දීය චිත්‍රපට ප්‍රදර්ශනය කෙරී ඇත. විජිත සමයේ ප්‍රංශ වැසියන් සමග හිඳ ප්‍රංශ බස හඳුනාගෙන උන් පුද්ගල සමාජ සඳහා ප්‍රංශ සිනමා කෘතිද අතරින් පතර පෙන්වා ඇති බව “Golden Slumbers” සිනමා කෘතිය ප්‍රදර්ශනය වූ පසු අදහස් දැක්වූ ඩෙව් චොව් කියා සිටියේ ය.


1960 දශකයේදී කාම්බෝජ සිනමාව ඇරඹෙන්නේ මෙතෙක් තමන් දුටු හොලිවුඩ් සහ හින්දි සිතුවම්වලින් ලද උණුසුමින් ඔද වැඩුණු කාම්බෝජ නිර්මාණකරුවන් කිහිප දෙනෙකුගේ වෑයමිනි. කිසිදු සිනමා පාසලක අධ්‍යාපනයක් නොලත් මෙම පිරිස සිය සිනමාලෝලීත්වය නිසාම සිනමා නිර්මාණකරණයට පිවිසුණෝ වෙති. ඉන්ද්‍රජාල, පෙම් පුවත්, මනහර සංගීතය, ගීත ආදියෙන් පිරී ගිය මෙම කෘති කාම්බෝජ වැසියෝ දැඩිව වැළඳ ගත්හ.

“ඒ කාලේ විනෝද වෙන්න කියල දේකට තිබ්බෙ නටන්න යන එකයි, චිත්‍රපට බැලිල්ලයි විතරයි. ඒත් නැටුමට ගොඩක් තහංචි තිබ්බ. ඉතින් චිත්‍රපටි ප්‍රසිද්ධ වුණා. මිනිස්සු ශාලාවල පොදි ගැහෙන්න පටන් ගත්තා“

“Golden Slumbers” චිත්‍රපටයේ කැමරාවට අදහස් දක්වමින් කාම්බෝජ වැඩිහිටියෙක් එසේ කියයි.
මෙම ජනප්‍රියත්වය නිසාම වසර 15ක් ඇතුළත සිනමා නිර්මාණ 400ක් පමණ කාම්බෝජ සිනමා ශාලාවලට පැමිණි අතර ප්‍රේක්ෂකයින්ගේ ආකර්ශණය දිනූ දයි සවෙත් වැනි නිළියන්ට සිනමා නිර්මාණ සඳහා වැළ නොකැඩී ආරාධනා ද ලැබී ඇත. ඇතැම් විටෙක එක් දිනක් තුළ, වෙනස් සිනමා කෘති කිහිපයකම රූගත කිරීම්වලට මෙම නළු නිළියන් සම්බන්ධ වූ බව සිනමා පටය අපට දෙස් දෙයි.

කෙසේ වෙතත් 1970 දශකය එළඹ, පොල් පොට්ගේ නායකත්වයෙන් යුත් කැමරූච් ගරිල්ලන් සිය කැරැල්ල පෙරට දියත් කරත්ම කාම්බෝජ සිනමාවේ ස්වර්ණමය යුගයට කණ කොකා හඬන්නට විය. 1970 එළඹෙත්ම පැවති පාලනය විසින් විනෝද කටයුතු සියල්ල නවතා දමන්නට අණ කෙරෙද්දී ඊට විරුද්ධව නැගී සිටින නිෂ්පාදකයින් 1975 දී සිනමා ශාලා වසා දමන්නට සිදුවන තුරුම සිය නිර්මාණ ජනතාව වෙත ගෙන යන්නට කටයුතු යොදා ඇත.

1975න් පසු පොල් පොට්ගේ නායකත්වය යටතේ ඇරඹෙන කැමරුච් පාලන සමය තුළ සිනමාව මතු නොව සියලු කලාවන්ට  හා කලාකරුවන්ට අත්වන්නේ බිහිසුණු ඉරණමකි.  පැවති බොහෝ කලාවන් තහනමට ලක්වෙද්දී සිනමාවද ඒ යටතට ගැනෙන අතර සමාජ විරෝධීන් ලෙස නම් කෙරෙන සිනමා නළු නිළියන් හා අධ්‍යක්ෂකවරුන් ද, කාර්මික ශිල්පීන්ද කැමරුච් භටයින් විසින් මරා දැමෙයි. දිවි බේරා ගත් අති සීමිත පිරිසෙන් බහුතරයක් ආරක්ෂාව ලබන්නේ සිය පැරණි පාලක දේශය වූ ප්‍රංශයේ රැකවරණය ලබමිනි. වසර හතරක පොල් පොට් පාලන සමයේ කාම්බෝජයේම රැඳී සිටිමින් දිවි රැකගැන්මට වාසනාව ලබන්නේ සිනමා ශිල්පීන් අතලොස්සක් පමණි. 1979න් පසු යළි හැරී බලන ඔවුනට සිය සිනමා කෘති යළි හමුවන්නේ නැත. හාර සියයක් වූ නිර්මාණ අතරින් ඉතිරිව පවතින්නේ කෘති පහළොවකි. සිනමා ශාලා සහ චිත්‍රාගාර පොළවට සමතලා කොට ඇති අතර ඉතිරිව ඇති ශාලා වල් වැදී ගොසිනි. සියල්ලටම වඩා, තිරයේ සැරූ සුන්දර නළු නිළියන් කවදා කොතැනක කෙසේ මිය ගියේදැයි දන්නා අයෙක් නැත.

එයින්ද වසර 31කට පසු, හිටපු ප්‍රධාන සිනමා නිෂ්පාදකයෙකු වන වැන් චාන්ගේ මුණුපුරු, තරුණ ඩෙව් චොව් සිය ප්‍රංශ අධ්‍යාපන ඥාණයෙන් සන්නද්ධව යළි මව් බිමට ගොඩබසින්නේ අතීතයේ වැළලී ගිය කාම්බෝජ සිනමාවේ අසිරිමත් යුගය සොයායන්නට ය. පසුගිය ජූනි 15වනදා, සිඩ්නි නුවර ඉවෙන්ට් සිනමාශාලාවේදී අප අත් විඳින්නේ එම සංචාරයෙන් ඔහු සොයාගත් වේදනාබර මතක සංවේදනා එකතුවකි.

2010 දී පමණ කාම්බෝජයට යන ඩෙව් චොව්ට සිනමා පටයට අවශ්‍ය පසුතල හෝ අතීත චිත්‍රපටවල රූප එකතූන් හමුවන්නේ නැත. කැරෝකේ ශාලාවක් බවට, ගරාජයක් බවට පෙරළී ඇති පැරණි චිත්‍රපට ශාලා, නැටුම් ගුරුවරියක් බවට පත්ව සිටින වයස්ගත දයි සවෙත්, සිය බිරිඳ හා දරුවන් සියල්ලම මියගිය බව ආරංචි මාත්‍රයෙන් දන්නා සිනමාකරුවකු වූ යුවොන් හෙම්, ප්‍රංශයට පළා ගොස් පසුව ධනවතකුව සිට, සිය රටේදී මියෙන්නට යළි පැමිණ සිටින සිනමාකරුවකු වූ ලි යු ස්රෙන්ග් ඇතුළු කිහිප දෙනෙක් සහ ස්වභාෂිත සිනමාවක් හරි හැටි නොහඳුනන තරුණ පරම්පරාව ය ඔහුට මුණ ගැසෙන්නේ. එහෙත් ඔහු සිය කැමරාව ක්‍රියාත්මක කරයි. දයි සවෙත්, යුවොන් හෙම්, ලි යු ස්රෙන්ග් ඇතුළු කිහිප දෙනා සිය කතා පුවත් අපට කියන්නට පටන් ගනියි. එදා සිනමා කෘතින්හි සුමියුරු ගීත හා සංගීත නාදයන් අප කණ වැකෙද්දී වෙනස් භාවිතාවන්හි පවතින පැරණි සිනමා ශාලා හා ඉසව් ද, එදා චිත්‍රපට රස විඳි වයස්ගත ‘පිච්චර් පිස්සෝ‘ ද රූප රාමුව තුළ අපට පෙනෙන්නට පටන් ගනියි. 



 

සිනමා කෘතිය ක්‍රමිකව දිග හැරෙත්ම වසර 40කට පෙර අතීතයේ වළ දැමුණු සිනමා පුරාවෘත්තය යළි අප හමුවෙහි පණ ලබයි. බිහිසුණු අතීතයේ වේදනාබර මතකයන් යළි සිහිකැඳවන්නට ඔවුන් තුළ ඇති කරුණු එකතුව ප්‍රමාණවත් නොවන බව හැඟෙන තරමටම ඒ බිහිසුණු බව පමණක් අපට දැනේ. කෙසේ නමුත් ආදරය, මතකය හා සබැඳි ආවර්ජනය කෙළවර අළු මතින් නැඟෙන ෆීනික්ස් පක්ෂියා සිහිකරමින් කාම්බෝජියානු සිනමාවේ අතීතය අප මනස්ගැබ තුළ අවදිකරන්නට සිනමාකරු සමත් වෙයි. මේ සඳහා ඔහු යොදාගන්නා ප්‍රධානම උපක්‍රමික ප්‍රවේශය වන්නේ ආඛ්‍යාන කලාවේ බලය යොදා ගැනීමයි.

මතක ආවර්ජනයන් (Remembrance) සබැඳි කතන්දර ප්‍රවේශමෙන් ගොඩ නැඟීමෙන් සංවේදී කතා පුවතක් නිර්මාණය කළ හැකි ය. ඩෙව් චොව්ට හමුවන පැරණි චිත්‍රපට කොටස් කිහිපය ඉතා දුර්වල වී.සී.ඩී. හා වී.එච්.එස්. පිටපත් හරහා ලැබෙන්නකි. ඒ හරහා ඔහු අතීතයට අප රැගෙන යන්නට ආරාධනා කරන්නේ පැරැන්නන්ට ය. ඔවුන් අප හමුවට පැමිණෙන්නේ අතීත චිත්‍රපටවල මතක සටහන් හරහා වර්තමානයේ ඇවිද යමිනි. දශක 4-5කට පසු ඔවුන් වෙත ඉතිරි ව ඇත්තේ කුමක්ද? කියන්නට ඇති කතාව කුමක් ද? සිනමාකරු මේ වෙත සිය කැමරාව යුහුමු කරයි.

යුවොන් හෙම් සිනමා නිර්මාණකරණයට පිවිස ඇත්තේ සිය නැගණියගේ බල කිරීමට ය. ප්‍රකට ඉංග්‍රීසි සිනමාකරු ඩෙල්මර් ඩේව්ස් අධ්‍යක්ෂණය කළ Bird of Paradise චිත්‍රපටයේ දර්ශන කාම්බෝජයේ දී රූගත කෙරී ඇති අතර හෙම්ගේ නැගණිය එහි උප චරිතයක් සඳහා තෝරා ගනු ලැබ ඇත. එයින් ලද අත්දැකීමෙන් තුටු වුණු නැගණියගේ බල කිරීමෙන්, පසු කලෙක යුවොන් හෙම් සිනමා නිර්මාණකරණයට පිවිසෙයි. ඔහු ගොඩනගන සිනමා චිත්‍රාගාරය නැගණියට නැගණිය තබන නම Bird of Paradise ය. සිය සිනමා ගමන් මග විස්තර කරමින් යුවොන් හෙම් යළි Bird of Paradise වෙත අප කැඳවාගෙන යයි. කැමරුච් ප්‍රහාරවලින් එය පොළවට සමතලා වී ගොසිනි. තැනින් තැන පැරණි සිමෙන්ති පොළව ඉතිරිව ඇති වල් වැදුණු පැරණි චිත්‍රාගාර නටඹුන් අතර යුවොන් හෙම් නිහඬව බලා සිටියි. ඔහුගේ පැරණි සිතුවමක මියුරු ගීයක් හඬ පටයේ අපට ඇසෙයි.

වාන් චාන්ගේ දියණිය, නොඑසේනම් සිනමා කෘතියේ නිර්මාණකරු වන ඩෙව් චොව්ගේ නැන්දණිය වන සොහන්ග් ස්ටෙලින්ග් ද අප හමුවට පැමිණෙන චරිතයකි. සිය පියාගේ මුල්ම නිර්මාණය, 1964 දී නිමැවුණු අන්දම ඇය අපට කියයි. පසුව ප්‍රංශයට පලාගොස් දිවි ගලවා ගන්නා ඔවුනට 1979දී පෙරළා එන විට චිත්‍රපට සියල්ල වෙනුවට හමුවන්නේ රූගත කිරීම් අතරතුර ගනු ලැබූ නිශ්චල ඡායාරූප 15ක් පමණි!

ලි යු ස්රෙන්ග් 1970 දශකයේ ප්‍රහාර ඇරඹෙත්ම සිදු කර ඇත්තේ සිය ආදරණීය බිරිඳ (ඇය ඔහුගේ සිතුවම්වල රඟ පෑ නිළියකි) ප්‍රංශයට පිටත් කොට හැරීමයි. පසුව වධ කඳවුරුවල පවා ගත කරමින් යන්තමින් දිවි රැක ගන්නා ඔහු වසර තුනකට පසු ප්‍රංශ රැකවරණය ලබා ගනියි. පැරිසියට ඉගිල යන ලි යු ස්රෙන්ග්ට හමුවන්නේ තමන් මිය යන්නට ඇතැයි විශ්වාස කර, පූර්ණ ලෙස බටහිර සිරිත් වැළඳගෙන වෙනත් අයෙකු ඇසුරේ වන බිරිඳයි. ඇය යළි ඔහු පිළිගත්ත ද පිටව එන ඔහු විවිධාකාර කටොළු විඳිමින් වසර 20කට පමණ පසු පැරිසියේ ටැක්සි සමාගම් තුනක හිමිකරුවකු වේ. සිය දිවියේ අවසාන සමය මව් බිමේ ගත කිරීමට සිතා කාම්බෝජයට එන ලි යු ස්රෙන්ග් චිත්‍රපටය තුළ දී සිය කෘතියකට පසුබිම සැපයූ ශුද්ධ වූ පොකුණ සොයා අප සමග යයි. එය අද අපිරිසිදු වූ කොළ පැහැ පොකුණකි. රූගත කළ යුගයේ ඒ බලන්නට ආ ස්ත්‍රීන් කිහිපදෙනක්ද ඔහුට මුණ ගැසේ. ඔවුන් අද මැහැලියන් ය.

කාම්බෝජ සිනමාලෝලීන් අතර මහත් ලෙස ජනප්‍රිය වූ ‘ආදරය සහ යුද්ධය‘ (Love and War), ‘නාග රජුගේ බිරිඳ‘ (The Snake King’s Wife) වැනි චිත්‍රපටවල රඟපෑ ප්‍රකට නිළි දයි සවෙත් ද සිය නැටුම් පන්ති අතරතුර ම අප හා සංවාදයට එයි. ඇගේ නිවසේ බිත්ති පුරා ඇළවී ඇති පැරණි චිත්‍රපටවල පෝස්ටර හා ඡායාරූපවල සිටින සිය සහෝදර නළු නිළියන් ඊයේ දිනයේද තමන් හා සිටියාක් ලෙස දැනෙන බව ඇය අපට කියයි. සැබවින්ම ඔවුන් මියගිය බව දුටු අයෙක් ද නැත. ඔවුන්ගේ සොහොන් කොතක් ද කොහිවත් නැත. දයි සවෙත්ට ද ඇසෙන්නේ (නරඹන අපට මෙන් ම) පැරණි චිත්‍රපටයේ ගීතය යි; නොඑසේනම් දෙබසයි.

කතා රචක හා සිනමාකරු ලියු බුන් යෙම් තමන් ලියූ ‘සොයුරියෝ දොළොස් දෙන‘ (Twelve Sisters) ගැන අපට කියයි. ඔක් සිලායුත්, ලිම් වුන් වැනි පැරණි සිනමා නිර්මාණවලට සබැඳිව කටයුතු කළ අයද, ශාලාවන්හි එදා රොද බැඳි වැඩිහිටියන්ද සිය මතකයන් අප හා බෙදා ගනිති. මේ සියල්ල අතර කැමරාව ද ගමන් කරයි. ඒ කුමන ඉසව් වෙත ද?

වල් වැදුණු Bird of Paradise චිත්‍රාගාරය, පවුල් දහසයකට සෙවන සපයන පෙරදා සිනමාහලක්ව පැවති ගොඩනැගිල්ල, තරුණ තරුණියන් කන බොන, ස්නූකර් ක්‍රීඩා කරන හා කරෝකේ ගායනා ගෙන එන සමාජ ශාලාවක් වී ඇති පැරණි සිනමාහල ඇතුළු දහසකුත් එකක් අතීත ස්මරණ ගබඩාවන්හි වර්තමාන ප්‍රතිරූ වෙත ය. පසුබිමින් නැගෙන සින් සිසමවුත් හා රොස් සෙරි සෝතා වැනි චිත්‍රපට පසුබිම් ගායක ගායිකාවන්ගේ පැරණි චිත්‍රපට ගීත යළිත් මොහොතකට මෙම ස්මරණ ගබඩාවන්ට ප්‍රාණය ලබා දෙයි.

බොහෝ වේලා අප වෙත කතා කළ ලි යු ස්රෙන්ග් පමණක් චිත්‍රපටය අවසානයේ අප අභියසම හඬා වැටේ. තමන්ට අහිමිව ගිය බිරිඳ පිළිබඳ මතකය නිසා නැඟුණු කඳුළු ඔහුගේ දෙකොපුල් රූරා වැටෙයි.

“කොච්චර දේවල් වෙනස් වුණා ද? කොච්චර දේවල් නැති වුණා ද?“

අවසානයේ ඔහු අපෙන් අසයි. එහෙත් යුවොන් හෙම්, දයි සවෙත් ඇතුළු සෙස්සෝ නොහඬති. ඔවුන්ගේ කඳුළු කෙළවරවී බොහෝ කලක් බව නිතැතින්ම අපට හැඟෙයි. සිනමා පටය නිමවී නැගෙන අත් පොලසන් නද නැඟුණ ද ඒ හා ඇසෙන එකිනෙකා අමතන හඬ  “Golden Slumbers” නිමවී නැඟුණේ මඳ වශයෙනි. දශක 4-5කට පෙරාතුව වැළලී ගිය කාම්බෝජ සිනමාවේ වේදනාබර මතක ස්මරණ සියල්ලන්ගේ මුව ගොළු කර තිබිණි.

සිනමා පටය කෙළවර වූයේ පැරණි සිනමාහලේ පදිංචිව සිටින තරුණ පිරිසක් විශ්මිතව විසල් ගඩොල් බිත්තිය දෙස බලා සිටින දසුනකිනි. ජරාජීර්ණව ඇති බිත්තිය මතින් පැරණි චිත්‍රපට දසුන් නැගී එනු ඔවුන්ට පෙනෙයි.
කාම්බෝජ සිනමාව යළි පණ නැගීම පිළිබඳ සැඟවුණු බලාපොරොත්තුවක් එහි විය. සැබවින් ම ඉතිහාසය වළ දැමිය හැකි ද?

ප්‍රියන්ත ෆොන්සේකා

(මෙම ලිපිය - කොච්චර දේවල් වෙනස් වුණා ද? - යන මැයෙන් 2012 ජූලි මස පළමුවැනි දින රාවය පුවත්පතේ පළ විය.)

Saturday, May 26, 2012

සිනමාව: අප අතරම

ඒ 1895 වර්‍ෂයේ අවසන් මාසයයි. ඉතා කුඩා පිරිසක්, ප‍්‍රංශයේ, පැරිස් නුවර, ග‍්‍රෑන්ඞ් කැෆේ නමැති හෝටලයට එක් රැස් වී උන් හ. ඔගස්ටස් හා ලූවී ලූමියේ සහෝදර දෙපළගේ ඇරයුමෙන් ඔවුන් පැමිණ සිටියේ ලෝකයේ පළමු ‘චලන චිත‍්‍ර’ පෙළ දැක ගන්නට ය. ස්වල්ප මොහොතකින්, ඉදිරියේ වූ, කිසිවක් නොතිබූ ද්විමාන තිරයකින් මතුවූ ලූමියේ සොහොයුරන්ගේ ෆැක්ටේරි දොරටුවෙන් පිටවන මහ සෙනග හේතුවෙන් ඔවුන් තැති ගත්තද, මතුව ආ දුම්රිය හේතුවෙන් බියට පත් වූවද, තමන් මේ දකිමින් ඉන්නේ ඉදිරි සියවසේ ලොව ආකර්ශණීයම කලාවේ උපත බව හඳුනාගත් එක් අයෙකු හෝ වූ එහි වූ බවට නම් සාක්ෂි නැත.


අද, කුඩා පිරිස් ලෙස හෝ මහ පිරිස් ලෙසද, නොඑසේනම් තනිවම ද අපි ‘චලන චිත‍්‍ර’ නරඹමු. කාලයත් සමග ‘චලන චිත‍්‍ර’, ‘චිත‍්‍රපට’ බවටත්, අනතුරුව ‘සිනමාව’ බවටත් පත්ව ඇත. අද සිනමා තිරය යනු තව දුරටත් අප බියපත් කරවන්නක් නොවේ. දුම්රිය පමණක් නොව අහසේ සරන අද්භූත යානා, ඉගිල්ලෙන මිනිස්සු, හොල්මන් හා අවතාර, පිට සක්වල ජීවීන් තිරය මතදී අපට හමුවේ. එහෙත් ඒ හුදෙක්ම සිනමා තිරය මත ඇඳෙන රූප පෙළක් පමණක්ම බව අපි හොඳින් දනිමු.

සිනමාව තව දුරටත් අප බියපත් කරන ඉන්ද්‍රජාලයක් නොවේ. එය අප අතරම පවතින්නකි; අප සමග ගනුදෙනු කරන්නකි. එදිනෙදා දිවියේ අනේක විධ සබඳතා අතර සිනමාව හා පුරවැසියා අතර සබඳතාව ප‍්‍රධාන ස්ථානයක් හිමිකර ගන්නකි. අද අප සිනමාපට නරඹන්නේ සිනමා ශාලාවකින් පමණක් නොවේ. වී.සී.ඞී. හෝ ඞී.වී.ඞී. තැටි ලෙස ලබා ගනිමින්ද, රූපවාහිනී නාලිකා හරහා කෙරෙන දර්ශන මගින්ද සිනමා පට අපට හමුවේ. හොලිවුඩයේ හෝ බොලිවුඩයේ, ලක්‍ෂ ගණනින් මුදල් වැය කර සෑදූ සිනමා පටයක් කොළඹ හෝ ප‍්‍රධාන නගරයක පදික වේදිකාවේ රුපියල් 50කට හෝ 100කට විකිණීමට තබා තිබෙනු දැකිය හැක.

පදික වේදිකාවෙන් මිළට ගත්තද, රූපවාහිනී නාලිකා හරහා හමුවුවද වඩා වැදගත් වන්නේ සිනමාව නිසි ලෙස වටහා ගැනීමයි. අපි අතරම සැරිසරන අයෙකු නිසි ලෙස වටහා නොගැනීම අපටම හානිකර වන හෙයින් එම හඳුනා ගැනීම ඉතා වැදගත් වනු ඇත. එසේ නම් ඒ කවර අයුරකින්දැයි දැන් විමසා බලමු.

සිනමාව අප අතරම හමුවන එක් ප‍්‍රධාන කරුණක් වන්නේ එය ජනප‍්‍රිය සංස්කෘතියේ ප‍්‍රධාන අංගයක් වීමයි. ඉන්දීය තරුවක ඇඳුම් රටාව අපේ තරුණ තරුණියන් අතරේ ජනපි‍්‍රය වීමේ සිට අපේ ඇගයුම් තීරණය කිරීම දක්වා මෙය දැන් විහිදෙයි. අප මෙය වටහා ගත යුතුමය. සිනමාව හරහා එන සංස්කෘතිය හා නිසි ලෙස ගණු දෙනු කළ හැක්කේ එවිට ය.

සිනමාව මහා පරිමාණ නිෂ්පාදනයක් බවත්, එහි ගැණුම්කරුවෝ අප බවත් වටහාගත් විට වෙළඳපලෙන් උචිත යමක් මිළදී ගන්නා ලෙසම අපට හොඳ චිත‍්‍රපටයක් සොයා ගත හැකි වනු ඇත. එසේම සිනමාව හරහා කෙරෙන සමාජය පිළිබඳ කතාබහ වටහා ගන්නට යත්න දරත්ම අපට සමාජය හෙළි වනු ඇත; ඒ හරහා ගෙන එන මතවාද වැටහෙනු ඇත.

සිනමාව ප‍්‍රබල කලා මාධ්‍යයකි. ඉහළින්ම වැජඹෙන වින්දන මාධ්‍යයකි. චිත‍්‍රය, නර්තනය, සංගීතය ආදියට වඩා මෙය අපි අතරම සරන්නක් හෙයින් මනාව හඳුනාගත යුතු ය. නොඑසේනම් අප අසරණ වන හෙයිනි.