Sunday, May 18, 2014

මාගේ සහෝදර රටවැසියනි!!

වසර 10ක කාලයක් ඉන්දීය අගමැති ධූරය දැරූ, ඉන්දියාවේ දහතුන්වැනි අගමැතිවරයා වූ, මන්මෝහන් සිං මහතා පසුගියදා නිමවුණු ඉන්දීය අගමැතිවරණයෙන් ජය ලද නරේන්ද්‍ර මෝදි වෙත අගමැති ධූරය භාර කරමින් සිය තනතුරෙන් ඉල්ලා අස් වී යන්නට ගියේ ය. සමුගන්නා මොහොතේ ඔහු කළ කෙටි කථාව මෙහි පරිවර්තනය කොට තබමි. එහි වටිනාකමේ අරුත් ලියන්නට මම වචන නොසොයමි. 


මාගේ සහෝදර රටවැසියනි,
 
ඉන්දියාවේ අගමැතිවරයා ලෙසට මා මේ ඔබ අමතන්නේ අවසාන වරට යි.

වසර දහයකට පෙර, උද්යෝගය මාගේ මෙවලම ලෙසත්, විශ්වාසය මගේ සහන් එළිය ලෙසත් ගනිමින්, මා මේ වගකීම භාරගත්තේ සැමවිටම නිවැරදි දේ කරන්නට මට ඉඩ ලැබේවායි යන්න දිවමතුරක් ලෙස තබාගෙන ය.

අද, සර්ව බලධාරීත්වය වෙතින්, එනම් තේරී පත් වන නියෝජිතයින් හා ආණ්ඩු යන සියල්ලන්ම  හිස නැමීමට නියමිත මහජන මතය නම් අධිකරණය වෙතින්, අප සියල්ලෝම බලාසිටින අවසාන තීන්දුව ලැබෙන්නට පෙරාතුවම මම  මාගේ නිලයෙන් සමුගන්නට සූදානම්ව සිටිමි.

සහෝදර රටවැසියනි, අපි සියල්ලෝම ඔබ විසින් ලබා දෙන ලද තීන්දුවට ගරු කළ යුතු වෙමු. මෙම නිමා වුණු සියලු මැතිවරණ අපගේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයේ පදනම ශක්තිමත් කරන බැවිණි.

බොහෝ අවස්ථාවල මා කියා ඇති පරිදි, මහජන සේවය සඳහා කැපවුණු මගේ නිල කාලය තුළ වන මාගේ ජීවිතය විවෘත පුස්තකයක් බඳු ය. මෙම විශිෂ්ඨ ජාතියට සේවය කිරීම සඳහා මම සෑම අවස්ථාවකම මාගේ උපරිම පරිශ්‍රමය දැරුවෙමි.

ගෙවුණු වසර දහය තුළදී, රටක් ලෙස සියල්ලන්ටම ආඩම්බරයට පත් විය හැකි බොහෝ ජයග්‍රහණ සහ සාර්ථකත්වයන් අපි දුටුවෙමු.  අද,  සෑම විෂයයකින්ම, දශකයකට පෙර පැවති තත්වයට වඩා  බොහෝ ශක්තිමත් රාජ්‍යයක් බවට ඉන්දියාව පත් වී ඇත. එම සියලු ජයග්‍රහණයන්හි ඇගයීම් මම ඔබට පිරිනමමි. කෙසේවෙතත්, අප රට තුළ තවදුරටත්, විශාල නෛසර්ගික දියුණුවීමේ හැකියාවත් පවතින අතර එය සාක්ෂාත් කරගනු පිණිස අප සැම එක්ව වෙහෙස වී වැඩ කළ යුතු ය.

මා නිලයෙන් සමුගන්නා මොහොත වන විට, ඔබෙන් නිරතුරුවම ලැබුණු ආදරය සහ කරුණාව පිළිබඳ නොමියෙන තිරසාර මතකයක් මහද තුළ ඉතිරිව ඇති බව දැනෙයි. ඉම් පෙදෙසකින් පැමිණි, වරප්‍රසාද නොලත් කුඩා දරුවකුවූ මට, නැගී සිටීමට අවැසි බලය ලබාදුන් මේ ශ්‍රේෂ්ඨ භූමියට මා ණයගැති ය. එය කිසිකලෙක මාහට ගෙවා නිම කළ නොහැකි ණයක් මෙන්ම ආඩම්බරයෙන් මා පැළඳ සිටින ආභරණයක් ද වෙයි.

මිත්‍රවරුනි, අනාගත ඉන්දියාව පිළිබඳ මට විශ්වාසයක් ඇත. අනාගතයේ සකස් කෙරෙන ගෝලීය ආර්ථිකයෙහි ප්‍රමුඛ බලකොටුවක් ලෙස ඉන්දියාවෙහි පෙරට ඒම පිළිබඳ මම ස්ථිරව විශ්වාසය තබමි. නූතනත්වය සහ විවිධත්වයෙන් යුතු ඒකීයත්වය සමග එන සම්මිශ්‍රිත සම්ප්‍රදායන්ගෙන් යුතු අපගේ මෙම ජාතිය ලොවට මග කියා දී ඇත. ජාතියට සේවය කරන්නට ලැබීම මාහට ගෞරවයකි. එයින් වැඩි කිසිවක් මා ඉල්ලා සිටින්නේ නැත.

ඉදිරි රජයට සුභ පතමින්ම එහි සියලු කටයුතු සාර්ථක කරගන්නට ලැබේවායි ප්‍රාර්ථනා කරමි. අපගේ ජාතියට තවතවත් විශිෂ්ට විජයග්‍රහණයන් ලැබෙන්නැයි යාඥා කරමි.


ස්තුතියි, ජායි හින්ද්!!

පරිවර්තනය - ප්‍රියන්ත ෆොන්සේකා

සේයාරුව-http://static.financialexpress.com/pic/uploadedImages/mediumImages/M_Id_437792_Manmohan_Singh.jpg

Wednesday, January 29, 2014

සෙසෑන් වෙත ලියමි!




සෙසෑන් විසින් චිත්‍රණය කළ සෝලාගේ රුවක්
ලොව හමුවන විශිෂ්ට ලේඛකයින්, නිර්මාණකරුවන් බොහොමයක් සිය අදීන චින්තනයන් නිසා ද, මරණින් මතු වුව, ඇගයුමට පාත්‍රව ඇත. ප්‍රකට ප්‍රංශ ලේඛක එමිල් සෝලාගේ (1840 -1902) ජීවන වෘත්තය දෙසට එබී බලන්නෙකුට ද හමුවන්නේ එවන් මිනිසෙකි. ලෝ ප්‍රකට ප්‍රංශ සිත්තරකු වන පෝල් සෙසෑන් (1839 – 1906) ගේ ප්‍රාණ සම සුමිතුරා වූයේ සෝලා ය. දෙදෙන සිය දිගු මිත්‍ර සමාගමය තුළ, කලාව හා සාහිත්‍යය ගැනත් චිත්‍ර කලාව ගැනත්,එයින් නොනැවතී සත්‍යය හා මනුෂ්‍යත්වය ගැනත් සංවාද කළෝ ය. ඒ ගැන එකිනෙකා වෙත ලියූ ලිපි අද එම සාකච්ඡාවන්හි ඇති සුගන්ධවත් බව පිළිබඳ මනා සටහන් ලෙස කලාව හදාරන්නන් අතර ඇගයුමට ලක් ව ඇත.

මෙහි මා පරිවර්තනය කරන ලිපිය 1866 දී සෝලා විසින් සෙසෑන් වෙත ලියූවකි. ඔහු කියනා බොහෝ දේවල්හි අවස්ථා සම්බන්ධය වටහාගන්නට ලිපියේ කරුණු ප්‍රමාණවත් නොවේ. එහෙත්, සිය දෘෂ්ටිය පිළිබඳ අවංක බව ඒ ලිපියේ සෑම වදනක් තුළින්ම විහිද යයි. උණුසුම් මිතුදමක අපරිමිත වටිනාකම ද ඉන් නැගෙයි.

මේ ඒ ලිපියයි!


ප්‍රිය මිතුර, නුඹ සමග කෙරෙන සහෘද කතාබහ අප්‍රමාණ ප්‍රීතියකින් මගේ හද සනසාලයි. මොහොතකට පෙර, මේ පිටස්තර පිරිසත් සමග කළ දබරය නිසා මා කෙතරම් වේදනාවට පත් වුණේ දැයි ඔබට සිතා ගන්නටවත් නොහැකි වනු ඇත. වටපිටාවේ ඇති අනුමාන කිරීම් සහ වැරදි වැටහීම් නිසාම වෛරයට පාත්‍රවීම හේතුවෙන් මම නිරන්තරයෙන් අධෛර්යයට පත් වන අතර පෑන මාතින් ගිලිහී යයි. එහෙත් අද මට නැගී සිටිය හැක. ඒ වසර දහයක් පුරා ඇදී එන අපේ නිරන්තර, තෘප්තිකර කතාබහ අතරට එක් වුණු අලුත්ම සාමිචිය හේතුවෙනි. මා මේ පිටු කිහිපය ලියන්නේ ඔබට ය. ඔබ එය හදවතින්ම පිළිගෙන කියවා බලනු ඇති බවත්, හෙට තවත් උණුසුම් ලෙස මට ආදරය කරන බවත් මම ඉඳුරා දනිමි. මේ මහා කලබගෑනියෙන් දුරස්ථ, හුදකලා ඉසව්වක අප දෙදෙනා පමණක් හමුවී ඇති බවත්, දුටුමතින්ම එකිනෙකා හඳුනාගත් පැරණි මිතුරන් දෙදෙනෙකු සේ සුහදව අප දෙදෙනා කතා බහ කරමින් ඉන්නා බවත් මොහොතකට සිතා ගන්න.

වසර දහයක් පුරා අපි දෙදෙන චිත්‍ර කලාව සහ සාහිත්‍යය පිළිබඳ කතා කළෙමු. අපි එකට ජීවත් වුණෙමු. - නුඹට මතක නම් - බොහෝ දිනවල හිරු නැගෙද්දී පවා, අප දෙදෙන හමුවන්නේ අතීතය සොයා යමින් ද, වර්තමානය ප්‍රශ්න කරමින් ද, සත්‍යය හඳුනාගැනීමට වෑයම් කරමින් ද සහ අප සඳහාම වූ පරම, පරිපූර්ණ ආගමක් සඳහා විමසමින් ද යනාදී ලෙස ය. අති විශිෂ්ට අදහස්වලින් අපේ හිත් පිරී තිබෙයි. සියලු ක්‍රමවේදයන් පිරික්සා අහවර කොට, ප්‍රතික්ෂේප කර ඇති අපි දෙදෙන, අවසානයේ දුෂ්කර ගමනකින් පසු, බලසම්පන්න පුද්ගල ජීවිතය හැරුණු විට හමුවන්නේ මුසාව සහ විගඩම පමණකැයි තීරණය කර සිටිමු. 

අතීතය පිළිබඳ මතකයන් ඇති සියල්ලන්ම පිළිබඳ මට සතුටු ය! මගේ ජීවිතය තුළ ඔබ මට සිහියට එන්නේ ‘මුසේ‘[i] කියූ සුදුමෑලි තරුණයා ලෙස ය. මගේ තරුණ අවදියේ සියල්ල ඔබ ය. ඔබ මගේ සියලු සන්තුෂ්ටීන් සහ සියලු වේදනාවන් මා හා එක්ව බෙදාගත් අයුරු මගේ සිහියට නැගෙයි. සහෝදරත්වය පිළිබඳ වුණු අපේ තියුණු හැඟුම දෙපාර්ශවය විසින්ම නිරතුරුව වර්ධනය කළ එකකි. අද, අප ගොඩ නඟා පැමිණි පරිදිම, අප තුළ විශ්වාසයක් පවතියි. ඒ, අප අපේ හදවත්වලින් හා ශරීරවලින් එකට බැඳී ඇති හෙයිනි.

හුවමාරු කරගත් අදහස් සමග හිඳ, දුරින් හිඳිමින් ම වුව, එකිනෙකාගේ සෙවනැල්ල මත ගැවසෙමින් සතුටු වන්නට අපට හැකි ය. සන්සුන් සහ නිස්සාර මිනිසුන් මැද දී අප අතරමං වුණු සෙයක් අපට දැනේ. අප සැමතැනම සොයා ඇවිද්දේ මිනිසත්කම ය. චිත්‍රයක්, කවියක් වැනි සෑම නව පියවරකදීම ආත්මීය අවධාරණයක් සොයා ගැනීමේ නොනිත් උවමනාවක් අපට තිබිණි. කිසිවක් නොතිබුණු තැනක ලෝකය යන්න නිර්මාණය කළේ විශිෂ්ට මිනිසුන්ම බව අප අවධාරණය කළෙමු. එසේම එම ප්‍රතිභාවෙහි සුන්බුන් අතනින් මෙතැනින් අහුලාගැනීම සිය කාර්යය කොටගත් දුබල අනුගාමිකයන් අපි ප්‍රතික්ෂේප කළෙමු.  

අප නොදැනුවත්වම වුව, අප විප්ලවවාදීන් ව ඇති බව ඔබට වැටහේ ද? පසුගිය වසර දහය තිස්සේ අප මුමුණමින් සිටින්නේ කුමක්දැයි දැන් මට හඩඟා කිව හැකි ය. අරගලය පිළිබඳ පුවත ඔබ අසන්නට ඇත. ඔබට එය ඇසුණා නොවේ ද? එසේනම්, අපගේ සහෘද අදහස්වලට කෙතරම් ඉහළ පිළිගැනීමක් ලැබී ඇත්දැයි ඔබ දකින්නට ඇත. අහෝ...! ඒ දුප්පතුන් ප්‍රොවෙන්ස් නගර මධ්‍යයේ, චණ්ඩ හිරු එළිය යටට වී, ප්‍රයෝගයන්ට හසුව, සිය දිවියම වාගේ ගෙවා ඇති සැටියකි. 

ඉතින්, බොහෝවිට ඔබ නොදන්නේ වුවත්, මම රැවටිලිකාරයෙක් වී ඇත. පොදු ජන නියෝජනය මේ වන විටත් මා ‘චරෙන්ටන්හි‘ සිර කර තැබීමට නියෝග නිකුත් කොට ඇත. ඥාතීන්ගේ හා මිතුරන්ගේ පමණක් පිළිගැනීම ලබන මා හඳුනාගෙන ඇත්තේ මෝඩයෙකු හා දුෂ්ඨයෙකු ලෙසිනි. මා අපකීර්තිය ලක්ව ඇත.


මගේ ප්‍රිය මිතුර, එය ශෝකජනක ය අනුකම්පා උපදවන සුළු ය. එය යළිත් පැරණි සුපුරුදු කතාන්දරය වේවි ද? මිනිසකු සැමවිටම අනිත් අය මෙන්ම කතා කළ යුතුම ද? නැතිනම් නිහඬ විය යුතු ද? අපගේ දීර්ඝ සංවාද ඔබට සිහි කළ හැකි ද? වෛරයට හා පරිහාසයට පත් නොවී සත්‍යය පිළිබඳ ක්ෂුද්‍ර වන අදහසක්වත් ගෙන ආ නොහැකි බව අපි කීවෙමු. දැන් එළඹ ඇත්තේ මා එයට මුහුණ දිය යුතු වාරයයි. 

ප්‍රිය මිතුර, මෙය විශිෂ්ඨ කතාන්දරයකි. ලොව ඇති කිසිදු දෙයක් වෙනුවෙන් මෙම ලිපිය විනාශ කරන්නට මම නොසිතමි. එය ඒ තුළම එතරම් අගයක් නොපෙන්වුවත්, ප්‍රකාශ කිරීමේ දී ජන ප්‍රතිචාරය දැන ගැනීමේ උරගලක් විය. අප දැඩි ලෙස ඇලුම් කළ අදහස් කෙතරම් ජනතාවට අපුලදැයි දැන් අපි දනිමු.
කෙසේ නමුත්, දෙවන වතාව සඳහාත් මගේ අදහස් ප්‍රතිරාවය කරන්නට මම කැමති ය. මම ඒ දැඩිව විශ්වාස කරමි. එසේම වසර කිහිපයකින් මා කියනා දේ නිවැරදි බව සැම දෙන වටහා ගනු ඇතැයි මම විශ්වාස කරමි. හෙට ඔවුන් මවෙතට ගල් ගැසුවාට මම බිය නොවන්නේ එබැවිනි.

එමිල් සෝලා
1866 මැයි මස විසිවැනිදා, පැරිසියේ දී ය.


[i] ඇල්ෆ්‍රඩ් ඩි මුසේ - ප්‍රංශ නවකථාකරුවෙකි; නාට්‍යකරුවෙකි; කවියෙකි. 

රූපය -  http://www.paulfrasercollectibles.com/

Saturday, December 7, 2013

‘වල්‘ අජිත්ලා සහ ‘හොඳ‘ සුනිල් ලා!



“ඔයාට අමරදේවගෙ සිංදුවක් කියල පෙන්නන්න බැරි ද?“

දැනට වසර පහකට පෙර ශ්‍රී පාලි මණ්ඩපයේ අරුන්දතියේදී අජිත් කුමාරසිරිගේ ගී සැඳෑවක් පැවති මොහොතක මේ ප්‍රශ්නය ඇසුවේ සංගීතය විශේෂ උපාධියට හැදෑරූ ශිෂ්‍යයෙකි. අජිත් ඊට දුන් පිළිතුර මට මතක නැතත් ඔහු ගැයූ ගීත කිහිපයකින් පසු සිසු සිසුවියන් පිරිසක් ද, ප්‍රසංග කලා අධ්‍යයන අංශයේ ආචාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් ද නැගිට යන්නට ගිය බව මතක ය. සංවිධානය කෙරී ඇති, ගලා යන නාට්‍යයකට හෝ ගීත සැඳෑවකට ‘හූ‘ තැබීමේ සම්ප්‍රදායක් ශ්‍රී පාලියේ ස්ථාපිතව නොතිබුණු නිසා කැමති අයට ඉතිරි ගීත අසන්නට ශාලාවේ රැඳෙන්නට අවකාශ ලැබිණි. විරාම අතරතුර දුම්වැටි (හෝ ගංජා සුරුට්ටු) කිහිපයක් උරමින් සියල්ල දෙස බලා උන් අජිත් අවසානයේ නිහඬව පිටව ගියේ ය.

‘මොකාද යකෝ තොපි ඒ ගෙන්නුවෙ?“

“ඌ බං උගුරෙන්නෙ සිංදු කියන්නෙ!“

වැඩය සංවිධානය කළ සිසුන් තිදෙනාට දින කිහිපයක් යන තුරු අස්වැසිල්ලක් ලැබු‍ණේ නැත. ඔවුන් අසරණ ලෙස ‘කඩා වැටී‘ තිබුණේ ප්‍රසංග කලා ආචාර්යවරියක් මදි නොකියන්නට දෙහි කැපූ පසු ය.

“පාර්ලිමේන්තුවට බල්ලො බුරනවලු! මොනවද ඒ වචන? රෙද්දක් ඇඳන් අහන් ඉන්න පුළුවන් ද ඌ කියන කුණුහරුප? ටිකක් හිතන්න තිබ්බ නේද විශ්වවිද්‍යාලෙකට ගෙන්නන්න කලින්?“

අසරණ සිසුවෝ තිදෙන නිරුත්තරව පැමිණ මා අසළ සිටි අයුරු මට අදත් මතක ය.

“සර්?“

ඔවුන්ගේ කටයුත්තට මුල සිට දිරි දුන් මගෙන් අස්වැසිල්ලක් බලාපොරොත්තුවෙන් ඔවුන් රැඳෙන්නට ඇත.

“අපි බලමු!“

ඊට දින කිහිපයකට පසු පැවති ප්‍රතිරූප අධ්‍යයනය පිළිබඳ දේශනයට මම වෙනස් ප්‍රවේශයකින් පිවිසියෙමි. සමාජ විද්‍යාඥයින්ගේ සංගමයේ ප්‍රවාද සඟරාවේ පැරණි කලාපයක පළවී තිබුණු සංගීතය පිළිබඳ ව වූ ලිපියක් ඡායා පිටපත් කළ මම එහි ලේඛකයාගේ නම උවමනාවෙන්ම මකා දැමුවෙමි. අන්තර්ජාලයෙන් සොයා Bonsoir වැඩ සටහන විසින් සකස් කර තිබුණු ඉංග්‍රීසි භාෂිත වාර්තා වැඩසටහනක් සහ අජිත්ගේ ගීත කිහිපයක් පෙළ ගස්වා ගත්තෙමි. ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ සියල්ල සූදානම් කර, කලින් ‘පාර්ලිමේන්තුව ඇතුළේ බල්ලන් බුරන බව‘ අජිත් උගුරෙන් ගැයූ අරුන්දතියම දේශනය සඳහා සැකසුවෙමි.

දේශනය ඇරඹුනේ සියල්ලට පෙර නම මකා දැමූ ලිපියේ පිටපත් සියල්ලන්ට බෙදා දීමෙනි. එය සාවධානව කියවන්නට ආරාධනා කළ මම මොහොතක් පසෙකට වුණේ සිසු සිසුවියන්ගේ හැඟීම් අධ්‍යයනය කරන්නට ය. 

“කවුද සර් මේක ලියල තියෙන්නෙ?“ සංගීතය හදාරන, යටකී ‘අමරදේවගේ ගීතය ඉල්ලූ‘ ශිෂ්‍යයා ඇතුළු පිරිසට ප්‍රශ්නයක් ඇති විය.

“කවුරු වෙන්න පුළුවන් ද?“ මා පෙරළා ඇසුවේ ද ප්‍රශ්නයකි. 

පිළිතුරට පෙර Bonsoir වැඩසටහනත්, තවත් ගීත ගණනාවකුත් ඔවුන්ට නරඹන්නට ඉඩ හළ මම න්‍යායාත්මක පිවිසුමට අවසානයේ පිවිස, ප්‍රතිරූප ගොඩනැගීම පිළිබඳ අදහස් දැක්වීමක් ද සිදු කර දේශනය අවසන් කළෙමි. ඒ වන විටත් උගුරෙන් ගී කියූ අජිත් පිළිබඳව වුණු Bonsoir වාර්තා වැඩසටහන ඔවුන් වික්ෂිප්ත කර තිබුණු අතර, උප සිරැසි ද සහිත අජිත්ගේ දෘශ්‍ය ගීත වෙනස් අදහස් ගොඩ නංවා තිබුණේ ය. මම අවසානයේ පිළිතුර දුන්නේ සමුගනිමිනි.

“ඔය ලිපිය ලියල තියෙන්නෙත් අජිත් කුමාරසිරි කෙනෙක්!“

“නෑ...!“ 

සංගීතය හදාරණ යටකී ශිෂ්‍යයා මා වෙත පැමිණ මෙසේ කීවේ ය.

“අද ලෙක්චර් එක නං මාරයි සර්!“

අජිත්ව ගෙන්වීම නිසා අසරණව උන් සිසුවෙක්ද අවසානයේ පැමිණයේ ය.

“මාරයි සර්!“

“කිසි මාරයි එකක් නැහැ. මම කළේ තිබ්බ දේ පෙන්නුව එක. ඒ ගොල්ල ගොඩ නගාගෙන හිටපු ප්‍රතිරූප වෙනස් වෙන්න ඇති“

මේ සිදුවීම මට යළි සිහියට නැගුණේ මගේ මිතුරෙක් ෆේස්බුක් අඩවියක පෙර දිනයක ලියා තිබුණු කරුණක් දැකීමෙනි. ‘සිංහබාහු‘ වේදිකාගත කෙරුණු, මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ නාමයට පිදුණු, පේරාදෙණිය සරච්චන්ද්‍ර එළිමහන් රඟමඩලට ශිෂ්‍ය සාහිත්‍ය උළෙල සංවිධායකයින් විසින් අජිත් කුමාරසිරිලා ගෙන්වා තිබීම ඔහුගේ දැඩි වේදනාවට හේතු වී තිබිණි. ඔහුට අජිත්ලාව පෙනී තිබුණේ පෙර දිනක ‘සිංහබාහු‘ නාටකය පෙන්වද්දී සුප්පාදේවිය කරළියට එන විට විසිල් පහරක් ගැසූ පරපුරේ කෙනෙකු ලෙසිනි!

සරල යැයි පෙනෙන මෙම ප්‍රකාශයේ ඇති බිහිසුණු බව පිළිබඳ සාකච්ඡාවට මත්තෙන් ඉහත පූර්විකාවේ අවසානය කියන්නට ඉඩ දෙන්න. 

මගේ දේශනයෙන් ද දිගු කලකට පසු අජිත්ගේ ගී සැඳෑව දා නොසිටි ආචාර්ය මිතුරෙක් මගෙන් මෙසේ ඇසී ය. කතාබහට මුල් වූයේ අජිත්ට ඕසීඅයිසී සම්මාන උළෙලේ හොඳම සිනමා පසුබිම් සංගීතයට හිමි සම්මානයත්, හොඳම සිනමා පසුබිම් ගායනයට හිමි සම්මානයත් ලැබීම ය.

“කවුද අර ‘වල්‘ අජිත්ට සම්මාන දුන්නෙ? කවුද එයාව කැම්පස් එකට ගෙන්නුවේ?“

ඔහු සංගීතය පිළිබඳ ආචාර්යවයවරයකු වූ අතර ‘වල්‘ අජිත්ලාගේ ගීත වෙනුවට ‘හොඳ‘ සුනිල්ලාගේ ගීත අගයන පරපුරකට ශිල්ප ඥාණය බෙදාදෙමින් උන් අයෙකි. හොඳ සුනිල් යනු සුනිල් පෙරේරා නම් නොවේ. සුනිල් එදිරිසිංහ ය. 

අජිත් ‘වල්‘ වෙන්නේ ඇයි?

අජිත් ‘වල්‘ වෙන්නේම සුනිල්ලා ‘හොඳ‘ වන නිසා ය. ‘වල්‘ අජිත් කියන ‘කුණුහරුප‘ විමසන්නට පෙර ‘හොඳ‘ සුනිල්ලාගේ ‘පිරිසිදු‘ වචන ගැන හොයා බලමු. 

අපට හමුවන ගීතය, කණ් කැඩෙන්නට ඇසෙන පුද්ගලික බස් රථයේ ගීතවලට බැණ වැදී ගෙදර ගොස් නිසොල්මනේ අසන ගීතය, හඳුන්වන්නට අද යොදන නම ‘සුභාවිත ගීතය‘ යන්න යි. ‘සුභාවිත ගීතය‘ මනරම්ව තේරුම් කර දෙන්නට නිවේදකයාට, සිංහල ගුරුතුමාට ලෙහෙසි ය. එය අසා නිදි නැති රැයවල සැනසෙන්නට, දැහැනට සමවදින්නට, විරහව විඳ කඳුළු සළන්නට, ජාති ආලයෙන් ඔද වැඩෙන්නට, ළමයින් මල් බව තේරුම් ගන්නට, පෙම්වතිය හෝ පෙම්වතා ගැන සිහින දැක සැනසෙන්නට රස විඳින්නාට ලෙහෙසි ය. මරනවා යනුවෙන් අජිත් ‘වල්‘ විදිහට කියන වචනය ‘නසනවා‘ යනුවෙන් සුභාවිත ගීතවලදී සුනිල් ‘හොඳ‘ විදිහට කියයි. ‘රට‘ කියා අමුවෙන්ම අජිත් කියද්දී සුනිල් කියන්නේ ‘දේශය‘ කියා ය. වලි කුකුළන් හේනට ඇවිදින් නටන බව සුනිල්ලා ගැයූවද කුකුළා, වල් ඌරා මරන් කන බවද, බල්ලන් උඩු බුරන බවද කියමින් අජිත් මෙන් උගුර ඇතුළෙන් කෑගසන්නේ නම් නැත.

සරලව ගතහොත් රළු පරළු වදන් නැති හොඳ සුනිල්ලාගේ ගීත මනහර ය. අති දක්ෂ රචකයින් ‘ගේය පද රචනා‘ කර ඇති ඒවායේ වචනාර්ථ ගැඹුරු අරුත් හා සංවේදනා ඇති කරන සුළු ය. කන්කළු ය. වයලීනය, සිතාරය, බටනලාව වැනි මියුරු සත්සර නාද නංවන සංගීත උපකරණවලින් නැගෙන නාද සිත්තම්වලින් පූර්ණ ය. 

මගේ මිතුරු ප්‍රසංග කලා ආචාර්යවරුන්ට ‘යකා නැග්ගේ‘ අජිත් මේ කිසිදු කරුණක් පූර්ණ කර නොතිබුණු නිසා ය. සංගීත ශිෂ්‍යයා බැරිම තැන අමරදේවගේ ගීතයක් ඉල්ලුවේ මේ නිසා ය. බොක්ස් ගිටාරයක් පමණක් ගෙන නිකමට එහි තතක් දෙකක් පිරිමැද උගුරෙන් කෑගසා මොන නාද සිත්තමක් මවන්න ද? සඳ ගැන කියා පෙම්වතියකගේ මුහුණකට සසඳන්නේ නැතිව, එය පාර්ලිමේන්තුවට පායන බව කීමෙන් (පාර්ලිමේන්තුව නම් ගේය පදවැලකට කිසිම සුදුසුකමක් නැති වචනයකි. ‘ර‘ යන්නෙහි කිසිදු ගීතමය ගතියක් නැත!) සුරංගනාවිය ගැන කියා ඇයට පෙම් කරන්නේ නැතිව පීනන්න ගඟට බසින්න එපා, ගඟේ වතුර හොඳ නැතැයි කීමෙන් ඇතිවන හැඟීම මොනතරම් ජුගුප්සාජනක ද?

සුනිල්ලාගේ හා අජිත්ලාගේ දේශපාලනය

ගීතයට මොන දේශපාලනයක්දැයි අසන සංගීත ආචාර්යවරු මට කොතෙකුත් හමු වී ඇත. ගීත පදවැල් කඩ කඩා ටියුෂන් පන්තියේ, පාසැල් පන්ති කාමරයේ හෝ විශ්වවිද්‍යාල දේශන ශාලාවේ (නැතිනම් දොරමඩලාවේ) ඒවායේ අරුත් ලිහා දෙන සිංහල විශාරදයෝ කිසිම විටෙක මේ වදන් පසුපස ඇති දේශපාලනය නොදකිති; නොපෙන්වති. වචනයෙන් වචනය ලිහා කෙරෙන ගීත විචාරයක් වෙත නොගොසින් අපි සුනිල්ලාගේ ගීත දෙක තුනක් ගෙන බලමු. ගැඹුරු ලෙස කලාව හා දේශපාලනයට යන්නට පෙර මතුපිටින් පෙනෙන දෙය දැක ගනිමු.

රන්මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ...
පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොණේ....“

මේ උතුරු යුද්ධය ඉහළින්ම නැගෙද්දී නිතර ඇසුණු ගීතයකි. හදවතින් අප කිසි විට සොල්දාදුවන් තනි නොකරන බව කියමින් යුද්ධ බිමේ ඉදිරියට යන්නට ඔවුන්ට දිරි දෙන්නේ සුනිල්ගේ හඬ ය. සොල්දාදුවෝ මේ ගීතය අසා සැනහී යුධ බිමට ගිය හ. සමහරෙක් මිය ගිය හ. තවෙකෙක් දෙපා, දෙඇස් අහිමි ව යළි ආ හ. නිසොල්මන් සැඳෑවක ගුවන් විදුලිය ක්‍රියාත්මක කළ යළි පැමිණි අයට මේ ගීතය ඇසුණාට සැක නැත. 

ලෝකයක් නසන්නට රුදුරු අවි අත දරා... සැරසෙමු ද?
නැසුනු ලොව අභිමුවෙහි විජය කොඩි නගන්නේ... කවුරුන් ද?“

මේ උදාහරණය මා සමග කී නාට්‍යකරුවකු වන ධනංජය කරුණාරත්න මගෙන් ඇසුවේ දැන් සොල්දාදුවා කුමක් සිතනු ඇත් ද යන්න යි. ගීතය සුනිල්ගේ ය!

මේ ගීතයට ඉහළ ඉල්ලුමක් තිබුණේ චන්ද්‍රිකා යුගයේ ‘සුදු නෙළුම්‘ ව්‍යාපාර සමයේ ය. මහින්ද රජය යුද්ධයට අවතීර්ණ වන විට ‘රන් වැටක් ලෙස‘ පෙරට ආවේ ය. මෙකරුණ ඇසූ මගේ තවත් මිතුරෙක් එම තර්කයට තමන් විරුද්ධ යැයි කීවේ, 

“එහෙම බැලුවොත් අපට ගන්න වෙන්නෙ ජයතිලක බණ්ඩාර විතරනේ... එකම මතයක ඉඳන් සිංදු කියපු“ කියමිනි. 

කොහොම වුණත් සුනිල්ලා නිකං ආවාට ගියාට සිංදු නොකියන බව අවසානයේ හොඳටම ඔප්පු විය‍. ඒ මේ ගීතය සමගිනි. 

ඝෝර මරසෙන් රැගෙනබලසෙන් - යළිත් ඇවිදින් පෙරහැරේ..
මාර බල බිඳි බුදු පියාණෙනි - ඔබ දෙසූ ධර්මය අනතුරේ...“

මේ බොදු බල සේනා සංවිධානයේ තේමා ගීතයයි. 

අජිතුයි, ඌරොයි, පාර්ලිමේන්තුවයි!

අජිත් සංවිධානවල තේමා ගීත ගයා නැත. ගයන්නට හොඳ කටහඬක් අජිත්ට නැත. අජිත්ම එක්තරා සංවාදයකදී කියා තිබූ පරිදි ඔහු නාදයට වඩා හඬ හා ඝෝෂාව ගැන විශ්වාස කරයි. එයට ලං වෙයි. හඬ හා ඝෝෂාව වඩා ළඟ මගේ ෆේස්බුක් මිතුරා කියන  සුප්පා දේවි එන විට නැගුණු විසිල් පහර පැත්තට ය. එය කිසිම නාදයකට තබන්නේ නැති ව ඔහේ ගසා දමන්නකි. ඉතින්, බැලූ බැල්මට අජිත්ගේ ‘ගොරගොරය‘ ඒ වගේ ම ය!

සුනිල්ගේ සුභාවිත ගීත අසා, ඒ විමසා නොබැලූ අපි අජිත්ගේ ගීත විමසන්නේ ද නැත. අජිත්ගේ ගීතවල සුභාවිත පද වෙනුවට කඨෝර වචන එනවිටම මුහුණ නරක් කරගන්නා අපි ‘කුණුහරුප වදන්‘ වලට විරෝධය පාමු. අජිත් කියන මේ ‘කුණුහරුප‘ මොනවා ද?

පාර්ලිමේන්තුව ඇතුළට හඳපායනවා - හඳ එළියට පිස්සු හැදිල බල්ලො බුරනවා
සිංහ පැටවු වාගෙ බුරනවා - බල්ලො හඳට යන්න හදනවා....“

මේ පද කණ වැකෙද්දීම පිස්සු වැටෙන අපි පාර්ලිමේන්තුව ගැන, අද දවසේ දේශපාලනය ගැන අති-සරල වචන කිහිපයකින්, රළු වචන පෙළකින් අජිත් කියන බව සිතා නොසන්සුන් වෙමු. අපට එහි දෙවන වචන පෙළ නොඇසේ. වචන තවමත් රළු ය. නමුත් ඔහු විමසන ප්‍රශ්න ප්‍රබල දේශපාලන අර්ථ සහිත ය. සුභාවිත ගීතවල නොඇසෙන සුළු ය.

“සිංහයාගේ අතට කඩුව දුන්නෙ කවු ද? - ලෙලදෙනකොට පැනල ඇවිත් අපිව කයි ද?
පොඩි පුතා අහනවා... එයාට නින්ද යන්නෙ නෑ... කොඩියේ සිංහයට බයයි.... සිංහයගෙ කඩුවටත් බයයි....!“

රළු පරළු ලෙස පෙනෙන මේ වැනි සරල වචන කලින් දවසක හත්තොටුවෙගමගේ වීදි නාට්‍යවලද හමු විය. 

“පාග පාග අහක දාන්ඩ ද? කපල කොටල මරල දාන්න ද?
ඒ කරලා බදාගන්ඩ ද? මෙහෙම කරල රට හදන්ඩ ද?“

අතිශය ‘අමු‘ මෙම වචන අපට සැනසිල්ලේ විඳින්නට ඉඩක් නොදෙයි. ‘රොක්‘ ස්වරූප ගිටාරය, උගුරෙන් එන,  සෙම බැඳුණු කට හඬ අපේ දෙසවන් පීඩාවට පත් කරයි. ඇත්තටම අජිත් විමසන දේවල්, සිහි කැඳවන කරුණු, උපහාසයට නගන කාරණා සැනසෙන්නට දේ ද? නිවුණු හඬකින් අසා, දෙනෙත් පියා, විඳ සැතපෙන්නට දේ ද? ගොරතර කටුක දේවල් ද?

මල් පොකුරු අරන් ආවත් - සඳ එළියෙම නුඹ ආවත්...
යන්න වෙන්නෙ රළු පාරක.... තුන්වෙනි ලෝකයෙ රටක් මේක...“

කසුන් කල්හාරගේ ‘අනන්තයට යන පාර දිගේ‘ හි සුභාවිත වචනවලට එරෙහිව අජිත් ‘ගොරගොර‘ ගාන්නේ එසේ කියමිනි. ඔහු විරහ ගීත ද කියයි. ඒ මෙසේ ය.

ග්‍රීස් ගහේ මුදුනටම ගියා - ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා....
සිංහල අවුරුදු දවසේ...
කොඩිය අරන් මම බැහැල ගියා - ඇය ඔටුනු පැළඳ නගරයට ගියා...
සිංහල අවුරුදු දවසේ....
පබාවතිය මගෙ යන්න ගියා - කුසට ගෑස්ට්‍රික් අම්ල තියා
සිංහල අවුරුදු දවසේ....“

සියල්ල අපේ දොරමඩලාවෙන් උඩ දමා දෙන, ජාතික රූපවාහිනියෙන් සජීවීව විකාශය කරන සිංහල අවුරුදු දවසේ සිද්ධ වුණු දේවල් ය. අවුරුදු කුමරිය ගැන ලියද්දී ග්‍රීස් ගහක් ඈඳීමත්, පබාවතී ලඟ ගැස්ට්‍රික් අම්ල තැබීමත් විඳ දරාගන්නට බැරි සුභාවිත ගීත රසිකයා පබාවතීට හා ගැස්ට්‍රික්වලට වෙනම රූපවාහිනී වැඩ සටහන් බලා ඇති බැවින් මේ දෙක එකට ගැනීම ගැන උරණ වෙයි. ගීතයේ දේශපාලන ප්‍රකාශය අත හැර දමයි.

සුනිල්ගේ ‘අමල් බිසෝ‘ දොර නොහැර දරුවන් රැක බලාගෙන, දීපංකරේ සිට සිය සැමියා එනතුරු හිඳිද්දී, අජිත්ගේ ‘පබාවතී‘ කිරුළ දරා නගරයට යයි. ඒ අකමැත්තෙන් ද නොවේ.

“කොළඹ කට්ටියක් අරන් ගියා - ටිකක් කැමැත්තෙන් ඇයත් ගියා... සිංහල අවුරුදු දවසේ....
රටක් වටින ඇය යන්න ගියා - වැඩිම මනාපය ඇයට ගියා.... සිංහල අවුරුදු දවසේ....“

යුද්ධයට යන්නට, නැතිනම් නොගිහින් සාමයෙන් ගෙදර ඉන්නට, යුද්ධය නැති වන විට බොදුබලය හා එක්වන්නට සුනිල්ලා ගීත කියද්දී අජිත් ද යුද්ධය ගැන ගීත කියයි. යුද්ධයෙන් පසු මානව හිමිකම් පිළිබඳ සෙවූ ජිනීවා අමතයි.

හේයි ජිනීවා... අපි දැන් මරන්නෙ නෑ.... අපි දැන් කනවා විතරමයි
කනකොට කනකොට ඌරො ලස්සනයි... කනකොට හරක් ලස්සනයි... කනකොට සිංදු ඕනමයි...
කනකොට ඔයාව ළඟට ඕනමයි... 

හේයි ජිනීවා... අපි දැන් මරන්නෙ නෑ.... අපි දැන් කනවා විතරමයි
කනකොට වල් ඌරො ලස්සනයි... කුකුල්ලු ගොඩක් ලස්සනයි... කනකොට රටත් ලස්සනයි...!“

රළු වචනවල සැඟවෙන අජිත්ගේ ‘කුණුහරුප‘ වචනවල වන මානව ප්‍රේමය, යුධ විරෝධය අපට නොපෙනෙයි. ඇඳ, උඩුතොල, උරනවා ඇසුණු විගස, කොතරම් බණ අසා, සුපේෂල වී සිටියත් අපේ සිත් සැළෙයි. ‘චික්‘ කියැවෙයි.

සයනයිඩ් කරල යටි තොල හංගා තබා... උඩු තොල විතරක් උරමු ද මගෙ සුදු බබා...
ආණ්ඩුව ඇවිත් අපෙ ඇඳ උඩටම බබා.... උතුර සුන්දර ද මං ගිහිල්ල නැහැ බබා....“

අජිත් ‘වල්‘ විය යුතුය. පාර්ලිමේන්තුව ඇතුළේ බල්ලන් උඩු බුරන බව කියා දේශපාලනයේ වියරුව ගැන කියන, කොඩියේ සිංහයාට පුතා බය වී ඇති බව කියා ජාතික සංස්ථාපිතයන්හි අර්බුද ගැන සිහි කැඳවන, මල් පොකුරු ගෙන අනන්තයට යන පාරෙන් එන ඇයට මෙය තුන්වන ලෝකයේ රටක් බව සිහි කර දෙන, පබාවතිය අවුරුදු කුමාරිය වූ පසු කොළඹට කැමැත්තෙන් ගිය බව කියා ජරාජීර්ණ සමාජය ස්ත්‍රිය විනාශ කරන අන්දම කියන, ජිනීවාවලට අපි දැන් නොමරන බවත්, කන එක පමණක් කරන බවත් කෑගසා කියන, ආණ්ඩුව ඇඳ උඩටම පැන අප සිර කර, අපේ ලිංගික ජීවිත දක්වාම තීරණය කර ඇති බව කියන අජිත් ඇත්තටම ‘වල්‘ ය. ඔහු කිසිදු හොඳක් නොදකියි. නොපෙන්වයි. ඔහුට ‘හොඳ‘ වෙන්නට බැරිකමක් නැත. ඔහු කළ යුත්තේ දොරමඩලාව අසා, උදේ රැයින් නැගිට බණ අසා, සිරි පැරකුම් බලා, පබාවතී මෙහෙය වන රූපවාහිනී වැඩ සටහන රස විඳ, හොඳම වෙදා චැනල් කර ගැස්ට්‍රික්වලට බෙහෙත් ගෙන, උතුර සුන්දර ද බලා ගන්නට ‘ට්‍රිප් එකක්‘ යාමට සූදානම් වීම ය. ඒ ගමන අතරතුර සිංදු කියන්නම ඕනෑනම්, ඔහුට ‘හොඳ‘ සුනිල්ගේ සිංදුවක් තෝරාගෙන කියන්නට පුළුවන.

ඔහු ඒ ටික කර ‘හොඳ‘ ළමයෙක් වන තුරු ඔහු ගොර හඬින් කියන පහත වදන්  ‘හොඳ‘ සුනිල්ගේ ‘දෙවැනි බුදුන් ලෙස‘ ගීතයේ වදන් සමග සසඳා බලමු. 

ඊපීඩීපී, එල්ටීටීඊ...
මව් බිම නැත්තං මරණය කිව් අය
ටෙලෝ ටෙරෝ සහ කරුණා අම්මාන්...

අම්මේ මේ කිසිවකුහට බෑ...
ජීවිත දෙන්නට - වෛරෙන් නොමරා
නුඹ වාගේ...
 අම්මේ මේ කිසිවකුහට බෑ...
පණක් රකින්නට ඔබ වාගේ....

එස්එල්එෆ්පී, යූඑන්පී
එල්එස්එස්පී, එන්එස්එස්පී....
ජේඑච්යූ සහ ජේවීපී,

අම්මේ මේ කිසිවකුහට නෑ...
උඹ වාගේ මා ගැන සැලසුම්...
මගෙ ජීවිතයට....
 
අම්මේ මේ කිසිවකුහට නෑ...
වැටහෙන්නේ දුක අවංකවම....“ 



අජිත්ගේ ‘වල්‘ සිංදු කිහිපයක් : 
උතුර සුන්දර ද බබා - http://www.youtube.com/watch?v=D4sA9KeQ-JA 
පාර්ලිමේන්තුව ඇතුලට - http://www.youtube.com/watch?v=lJ2f1wc2fOs
සුරංගනාවිය - http://www.youtube.com/watch?v=lJ2f1wc2fOs
හිමින් සැරේ ඔබ ආවා - http://www.youtube.com/watch?v=mvSq9OUJBh0
මල් පොකුරු අරන් ආවත් - http://www.youtube.com/watch?v=6xwdEZdTE54
හමුදා භටයට මලක් පෑගුණා - http://www.youtube.com/watch?v=6xwdEZdTE54
ඕගසම් එකේ කෙළවරට - http://www.youtube.com/watch?v=VsAbbcAcmAw
ආමි, නේවි ඇන්ඩ් එයා ෆෝස් - http://www.youtube.com/watch?v=ugvxPlsCcXA
තොල් පෙති ගාවල බලමු ද? - http://www.youtube.com/watch?v=r3f420wmkTE
පෙරුම් පිරුවෙ මම සමණළයෙක් වෙන්න (අලිමංකඩ තේමා ගීතය) - http://www.youtube.com/watch?v=7n5P_Ij0mQA

සංවාද වාර්තා වැඩ සටහන - http://www.youtube.com/watch?v=J-5rxlNrPhY

ඡායාරූපය - http://archives.dailynews.lk/2012/03/28/z_p20-Art.jpg