බර්ග්මාන්ගේ ‘සත්වන මුද්‍රාව‘ සිනමාපටයෙන් |
සිනමා ලොව මහා
සිනමාකරුවකු ලෙස පිළිගැනෙන ස්වීඩන් ජාතික ඉන්ග්මාර් බර්ග්මාන්ගේ සත්වන මුද්‍රාව (Seventh Seal) චිත්‍රපටය නිපදවුණේ වසර 56කට පෙර, 1957 දී ය. ඉන් වසර
50කට පසු, 2007 දී, බර්ග්මාන් මිය ගිය අතර එහි මරණයේ භූමිකාව රඟපෑ බෙන් එකෙරොට්
පනස් විය පනිද්දී ම, 1971 දී, ජීවිතයෙන් සමුගත්තේ ය. නයිට්වරයාගේ චරිතයට පණ පෙවූ
මැක්ස් වොන් සිඩෝව් නම් තවමත් ප්‍රංශයේ ජීවත් වෙයි.
සත්වන මුද්‍රාව
සිනමාකරුවකු ලෙස බර්ග්මාන්ගේ ද මුද්‍රාවක් ලෙස අදද ලොව පතලව තිබෙන කෘතියකි. මියගිය
බෙන් සහ ජීවත්වන මැක්ස් යන දෙදෙනාම සිය රංගන දිවියේ නොමැකෙන මුද්‍රා තැබූ කෘතියක්
ලෙසද එය හැඳින්වීමෙහි ඇති වැරැද්දක් නැත.
බර්ග්මාන් මෙන්ම ලොව
පුරා බොහෝ නිර්මාණශීලී අධ්‍යක්ෂවරු ද, බෙන් සහ මැක්ස් වැනි දක්ෂ රංගන ශිල්පීන් ද
විවිධ තැන්වල නොමැකෙන මුද්‍රා තබා පිටවී ගොස් ඇති බව අපට පෙනෙන්නට තිබේ. එය
සිනමාවෙන් බැහැර ව, චිත්‍ර කලාව, මූර්ති ශිල්පය, සංගීතය, නාට්‍ය කලාව ඇතුළු සකල
විධ කලා භාවිතා දෙසට ගොස් විමසන විටත් පැහැදිලිව පෙනෙන කරුණකි. ඩාවින්චි, මයිකල්
ආන්ජලෝ, රෆායෙල්, පිකෑසෝ වැන්නවුන්ගේ චිත්‍රකලාවේ මුද්‍රා ගැනත්, බීතෝවන්,
චයිකොව්ස්කි, මෝසාට් වැන්නවුන්ගේ සංගීතමය මුද්‍රා ගැනත්, ශේක්ෂ්පියර්, බ්‍රෙෂ්ට්, ඉබ්සන්,
ටෙනසි විලියම්ස්, දාරියෝ ෆෝ වැන්නවුන්ගේ නාට්‍යමය මුද්‍රා ගැනත් අප තවමත් සාකච්ඡා
කරන්නේ එබැවිනි.
ලෙස්ටර් ජේම්ස් පීරිස්
නිධානය, ගම් පෙරළිය වැනි සිනමා කෘති තනමින් ද, පතිරාජයන් අහස් ගව්ව හා බඹරු ඇවිත්
වැනි සිනමා කෘති තනමින් ද, සරච්චන්ද්‍රයන් මනමෙ සහ සිංහබාහු වැනි නාට්‍ය සාදමින්
ද, සුගතපාල ද සිල්වා මරාසාද් වැනි නාට්‍ය තනමින් ද, කේමදාසයන් මාහැඟි ගීත හා
පසුබිම් සංගීත නිර්මාණ සහ මානස විල වැනි ඔපෙරා තනමින් ද, ජෝර්ජ් කීට් මව සහ දරුවා
වැනි චිත්‍ර අඳිමින් ද, ජෙෆ්රි බාවා රුහුණු සරසවිය සහ පාර්ලිමේන්තුව ආදී අගනා ගෘහ
නිර්මාණ නිමවමින් ද සිය මුද්‍රා අප රටේ සමාජය ඉදිරිපිට ස්ථාපිත කළ හ. ගාමිණී
ෆොන්සේකාගේ විලී අබේනායක චරිතය (නිධානය), මාලිනී ෆොන්සේකාගේ අයිරින් චරිතය
(නිධානය), හෙන්රි ජයසේනගේ අසඩක් චරිතය (හුණුවටයේ කතාව), ජෝ අබේවික්‍රමගේ වන්නිහාමි
චරිතය (පුරහඳ කළුවර) වැනි උදාහරණ නළු නිළියන් ද එක් එක් තැන්වල තැබූ මුද්‍රාවන් බව
අමුතුවෙන් කිව යුතු නැත.
කලාකරුවෝ විශ්වීයව මෙන්ම
දේශීය ව ද සිය මුද්‍රා තබා පිටව යති. එම මුද්‍රාව නොමැකෙන සුළු ය.
ශ්‍රී ලංකාවේ සංස්කෘතික
දෙපාර්තමේන්තුව මෑත දිනක කලාකරුවන්ට හැඳුනුම්පත් නිකුත් කිරීමේ වැඩ සටහනක් දියත්
කර තිබෙන අතර මුල් වටය සඳහා හයසියයක් දෙනා ගෙන්වා, උත්සවයක් ද පවත්වා මේ කටයුත්ත
ආරම්භ කර ඇති බව එඩ්වින් පීරිස් මහතා සිය ‘නිර්මාණ ප්‍රතිභා‘ නැමැති බ්ලොග් අඩවියේ
ලියයි. ඔහු ඒ ලියන්නේ වේදනාවෙනි. ගෝලයින්ට ඉදිරිපෙළ ආසනත්, ගුරුන්ට පසුපෙල ආසනත්
පනවා තිබුණු සැටිත්, අයිරාංගනී සේරසිංහට සහ සතිස්චන්ද්‍ර එදිරිසිංහට මුලින්ම
හැඳුනුම්පත් දී පසුව ‘ජනප්‍රිය‘ නළු නිළියන්ට ඒවා බෙදා දුන් සැටිත් ඔහු සඳහන් කර
ඇත්තේ පහත පරිදි ය.
“ගෝල බාලයෝ ඉදිරි පෙළ සිටියදී කලා ගුරුවරු පසුපසට වී දුර්මුඛව සිටිනු දක්නට ලැබීම
අභාග්‍යයකි.
සංස්කෘතික ඇමති තුමා අතින් හැදුනුම් පත් දීම ඇරඹිණි.මුලින්ම වේදිකාවට
කැදවුයේ ප්‍රවීණ රංග ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය හා රංග ශිල්පී,වේදිකා නාට්‍ය නිෂ්පාදක,හා සිනමා අධ්‍යක්ෂ
සතිස්චන්ද්‍ර එදිරිසිංහ කලාප්‍රවීණයන් දෙදෙනාය.වයෝ වෘද්ධ කලා ශිල්පීන්වූ එම දෙදෙන
වේදිකාවට නගින විටම රැස්ව සිටි සියලුම කලා කරුවනගේ සතුට ප්‍රකාශ වූයේ වේගවත් දීර්ඝ
අත්පොළොසන් හඩිනි. ඉතා ප්‍රශස්ත ආරම්භයකි.
ඛේදනීය තත්වය පටන් ගත්තේ ඉන් අනතුරුවය.අමාත්‍ය තුමා අතින් එක දිගට
කලාකරුවන් සිය දෙනෙකුට පමණ හැදුනුම් පත් පිරිනැමීම සිදුවෙද්දී
බොහෝ කලාකරුවන් එදෙස බලා සිටියේ විමතියෙන් තුෂ්නිම් භූතවය.ඉහත කී විශේෂිත
සියදෙනා තෝරාගෙන තිබුනේ කිසිදු සාධාරණ තෝරා ගැනීමේ පදනමකින් තොරවය. සිය දෙනාගෙන්
අනූ දෙකක් පමණ වූයේ නළු නිළියන්ය.
මෙහිදී සංවිධායකයින් වෙහෙස ගෙන තිබුණේ ,ජනප්‍රිය නළු නිළියනට
ඇමති තුමා අතින් හැදුනුම් පත් පිරි නැමූ බව කැමරා හමුවේ තබා රටේ ජනතාවට ප්‍රදර්ශනය
කරවන්නට බව කාටත් පැහැදිළි විය. මේ අතර නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති වරයාද කැමරා
හමුවේ වේදිකාව මතදීම සිය හැදුනුම් පත ලබා ගැනීම සිත් ගන්නා සුළු දර්ශනයක් විය.“
යටකී ලෙස කලාකරුවෙකු ලෙස
සිය මාධ්‍යය හඳුනාගනිමින් ‘මුද්‍රා‘ තැබිය හැකි කෘතියක් ගෙන එන්නකුගේ අනන්‍යතාවය ලෙස
එම කෘතිය පෙනී සිටිනු ඇත. එය ජීවිත කාලයක් මුළුල්ලේ නොව ඉන් පසුවද, කලාකරුවා නික්ම
ගිය පසුද, ඔහු වෙනුවෙන් පෙනී සිටිනු ඇත. එනිසාම එය කාඩ්පතක මුද්‍රණය කර දෙන හැඳුනුම්පතකට
වඩා බොහෝ සෙයින් බලවත් ය. එසේ තිබිය දී යම් අයෙකු, කලාකරුවකු ලෙස පවතින රාජ්‍ය
යාන්ත්‍රණයෙන් හැඳුනුම්පතක් ඉල්ලා සිටින්නේ නම් එය හුදෙක් හාස්‍යයට පමණක් නොව
භීතියට ද හේතුවකි.
සරලව පෙනෙන හාස්‍යමය
කාරණා කිහිප ආකාරයකට පෙළ ගැස්විය හැක. එක් අතකට මෙය කලාකරුවකු ලෙස සිය මුද්‍රාවක්
තබාගන්නට නොහැකි වූවන්ගේ ක්‍රියාවක් ලෙස (ඉහත නාමයන් ගැන නොසලකා හැර සිතද්දී) සිතන්නට
පුළුවන. අනෙක් අතට එය කලාකරුවා සහ කලාව වෙත දිය යුතු සැබෑ දායකත්වය අමතක කර ඇති
රජයක ක්‍රියාවක් ද වෙයි. පුරවැසියකු ලෙස අතට පත්ව ඇති පුද්ගල හැඳුනුම්පත තව දුරටත්
වලංගු නැති තැනක දී කලාකරුවෙක් ලෙස දෙවැනි හැඳුනුම්පතකින්වත් අස්වැසිල්ලක් ලැබෙනු
ඇතැයි කවුරුන් හෝ සිතුවාවත් ද?
එහෙත් එය එවැනි සරල
සඳහනකින් කෙළවර නොවිය යුතු කරුණකැයි යන්න මගේ හැඟීමයි. මේ පිටුපස වන හැඟවුම් භීතිය
මුසු කාරණා බව මා කීවේ එබැවිණි. ඒ භීතියට කරුණු
මොනවාද?
කලාකරුවකු සිය නිර්මාණයේ
මුද්‍රාව වෙත විශ්වාසය නොතබා රාජ්‍ය තන්ත්‍රයේ කලාකාර හැඳුනුම්පත ගැන විශ්වාසය
තැබීම එක් අතකට දියව යන කලා භාවිතයන් පිළිබඳ හැඟවීමකි. පාලනයේ පැවැත්ම තහවුරු
කිරීම වෙනුවෙන් පෙනී නොසිටිමින්, සමාජ පෙරගමන්කරුවකු ලෙස මිනිසත්බව හා මිනිස්
සමාජය වෙනුවෙන් තව දුරටත් කලාකරුවා පෙනී නොසිටින බව මේ පසුපස සැඟව ඇති එක් කරුණකි.
කලාව රාජ්‍යය හමුවේ දණගස්වමින් පවතින මොහොතක සිය අනන්‍යතා පත්‍ර ඔවුන් වෙතින්ම
බලාපොරොත්තු වීම හාස්‍යයක් ද? භීතිය දනවන්නක් ද? කලාකරුවාගේ සහ කලා නිමැවුමේ අනන්‍යතා
දැන් පවතින්නේ කොතැනක ද?
අනෙත් අතට
දඩයම් කෙරෙන, වළලා දැමෙන සහ මකා දැමෙන කලාව හා නිර්මාණ අභියස, කලාකරුවන් අභියස මෙම
අනන්‍යතා පත්‍රය කුමන කාර්යයක් ඉටු කරයි ද?
හඳගමගේ මුද්‍රාවක්
වූ අක්ෂරය සිනමාපටයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනෙද්දී, සංජීව පුෂ්පකුමාරගේ
මුද්‍රාව වූ ඉගිල්ලෙන මාළුවෝ මර්දනය කෙරෙද්දී, ‘අහිංසකයින්ගේ ආරාමය‘ නැමැති ජගත්
වීරසිංහගේ මුද්‍රාවක් කඩා බිඳ දැමෙද්දී, බොහෝ මුද්‍රා තැබූ කෞෂල්‍යා ප්‍රනාන්දු
වැනි නිළියන්ගෙන් රාජ්‍ය තන්ත්‍රය ප්‍රශ්න නගද්දී, මුද්‍රා තබන්නට එන සම්පත් ජයවීර
වැනි තරුණ නළුවකු හතර වැනි තට්ටුවේදී ප්‍රශ්න කෙරෙද්දී මෙම අනන්‍යතා පත්‍රය කුමන
තැනක තිබේවි ද?
දැන් අපි මෙම
හැඳුනුම්පත් ලබාගත්තවුන්ගේ පැත්තට ගොස් මේ දෙස බලමු. ඔවුන් ඇසිය යුතු ප්‍රශ්නයක්
දෙකක් අසා බලමු.
මෙම කලාකාර
හැඳුනුම්පත කුමක් සඳහා ද? එය භාවිතා කළ යුත්තේ කුමන අවස්ථාවලදී ද? එය ඉදිරිපත්
කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවා ද?
විශ්වවිද්‍යාල
කථිකාචාර්යවරයෙක් ලෙස මා සතු රාජකාරි හැඳුනුම්පත ප්‍රධාන විශ්වවිද්‍යාල ගොඩනැගිලි
වෙත යාමේදී, ප්‍රතිපාදන කොමිසම, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ආදිය වෙත යාමේදී මට ප්‍රයෝජනවත්
වී ඇත. බාහිර සමාජයේ දී ද (මගේ පුරවැසි හැඳුනුම්පතේ මා විශ්වවිද්‍යාල
කථිකාචාර්යවරයෙකු බව කියා තිබියදී, ඒ ප්‍රමාණවත් නැති බව කියන විට) එම හැඳුනුම් පත
ප්‍රයෝජනවත් වූ අවස්ථා කිහිපයක් දැනුදු මගේ මතකයට නැගේ. මේ කලාකාර හැඳුනුම් පත
කලාකාරයින්ට එවැනි ප්‍රතිලාභයක්වත් ඉටු කර දෙයි ද?
සිනමා
කර්මාන්තයේ නියුක්ත වූවකුට අමුද්‍රව්‍ය ගැනීමේ දී සහන සැලසීමක්, චිත්‍ර
ශිල්පියෙකුට කැන්වස් ගන්නට උදව්වක්, සංගීතඥයෙකුට සිය නිර්මාණය රැගෙන විදේශ
නිර්මාණ ප්‍රසංගයක් වෙත යන්නට වීසාපතක් ලබන්නට සහායක් මෙම හැඳුනුම්පතින්
ලැබේවි ද? සිය නිර්මාණය ‘ඩයස්පෝරා මුදලින්‘ තැනූ, ‘නැමැත්තකුගේ‘ බව අයි ටී එන්
නාලිකාව කියද්දී, විශිෂ්ට ලේඛකයකු වූ තමන්ව ‘කොටි හිතවාදී - දේශද්‍රෝහී‘ ‘නැමැත්තකු‘ බව අයි ටී එන් නාලිකාව කියද්දී මෙම
හැඳුනුම්පත ගෙන මම අසවල් කලාකාරයා යැයි කියා කෑගසන්නට ඉඩක් ලැබේවි ද? පිළිතුර මා
මෙහි ලියා තැබිය යුත්තක් නොවේ.
එනිසාම මට
පෙනෙන්නේ අප රැඳිය යුත්තේ ස්වකීය කලා ප්‍රකාශන මුද්‍රාව මත මිස අනන්‍යතා කොළ මත
නොවන බව ය.
අප තබා පිටව
යා යුත්තේ බර්ග්මාන්, බ්‍රෙෂ්ට්, බීතෝවන්, මයිකල් ආන්ජලෝ වැන්නවුන් ලෝකය හමුවේ
තැබූ, ලෙස්ටර් ජේම්ස් පීරිස්, සරච්චන්ද්‍රයන්, කේමදාසයන්, ජෝර්ජ් කීට් වැන්නවුන්
දේශය (හා ලෝකය) හමුවේ තැබූ ‘මුද්‍රාවන්‘ ය. රාජ්‍ය යන්ත්‍රයේ ‘මුද්‍රාව‘ සහිත අනන්‍යතා
පත්‍ර නොවේ.
සේයාරුව - http://www.boston.com/ae/movies/blog/2012/02/14/IB-The-Seventh-Seal-photo-1.jpg
excellent article....
ReplyDelete