Tuesday, July 26, 2016

මට බැහැ ආඥාදායකයෙක් වෙන්න!

චාලි චැප්ලින්ගේ The Great Dictator (මහා ආඥාදායකයා) චිත්‍ර‍පටයේ ඓතිහාසික කතාව

චාලි චැප්ලින්ගේ ‘ද ග්‍රේට් ඩික්ටේටර්‘ (මහා ආඥාදායකයා) සිනමා කෘතිය තිරයට පැමිණෙන්නේ දෙවන ලෝක යුද්ධය ඇරඹී වසරකට පසු, එනම් 1940 වර්ෂයේ දී ය. හිට්ලර්ගේ මරණ වරෙන්තුව ලද ලැයිස්තුවේ ඉහළින්ම සිය නාමය සඳහන් කරගන්නට චැප්ලින්ට මින් ඉඩ ලැබුණේ එය සෘජුවම හිට්ලර් සහ ඔහුගේ කුරිරු පාලනය විවේචනය කරමින් සහ ඔහුව උපහාසයට ලක් කරමින් නිපදවා තිබුණු හෙයිනි.

චිත්‍ර‍පටයේ සම-ප්‍ර‍ධාන චරිත වන හින්කල් නමැති ආඥාදායකයා සහ ඔහුගේ රූපයට පූර්ණ ලෙස සමාන යුදෙව් කරණවෑමියා යන චරිතද්වයම නිරූපණය කරන්නේ චාලි චැප්ලින් විසිනි. චිත්‍ර‍පටය කෙළවර වන්නේ, අහඹු සිදුවීම් පෙළකින් පසු දහස් සංඛ්‍යාත හමුදාව ඇමතීමේ අවස්ථාව හින්කල් ලෙස වැරදියට හඳුනාගෙන සිටින යුදෙව් කරණවෑමියා වෙත ලැබීමෙනි. ඔහු ආඥාදායකයා ලෙස පෙනී සිටිමින් සිදු කරන කථාව සිනමා ඉතිහාසයේ සුවිශේෂ තැනක තබා සඳහන් කෙරෙන්නකි. මනුෂ්‍යත්වය, මානව දයාව, යුධ විරෝධය, නාසි විරෝධය ආදී සියල්ල කැටි කළ එවැනි කතාවක් සිනමා ඉතිහාසය තුළින් සොයාගැනීම උගහට ය. පහත එන්නේ එම ඓතිහාසික කතාවේ සිංහල පරිවර්තනයයි. 
  

මට සමාවෙන්න, මට බැහැ ආඥාදායකයෙක් වෙන්න. ඒක මගේ වැඩේ නෙවෙයි. මට කවුරුවත් පාලනය කරන්නවත් පරද්දන්නවත් උවමනාවක් නෑ. මට ඕනෙ හැමෝටම උදව් කරන්න - පුළුවන් කමක් තියෙනව නම්, යුදෙව්වන්ට, යුදෙව්වො නොවන උන්ට - කල්ලන්ට වගේම සුද්දන්ට. අපි හැමෝම අනිත් කෙනාට උදව් කරන්න ඕනෙ. මිනිස්සු කියන්නෙ අන්න එහෙම අයට. අපි ජීවත් වෙන්න ඕනෙ එකිනෙකාගෙ සතුට වෙනුවෙන්. නැතුව එකිනෙකාගෙ වේදනාව වෙනුවෙන් නෙවෙයි.  අපි එකිනෙකාට වෛර කරන්නවත්, ඉරිසියා කරන්නවත් අවශ්‍ය නැහැ. මේ ලෝකෙ හැමෝටම ඉඩ තියෙනව. යහපත් ලෝකය පොහොසත්, ඒ වගේම හැමෝටම දෙන්න දෙයක් තියෙන තැනක්. ජීවිතයේ මාර්ගය නිදහස් සහ ලස්සන එකක් වෙන්න ඕනෙ, ඒත් අපි ඒ මාර්ගය වරද්දගෙන. 

කෑදරකම මිනිස් ආත්මය විසෙන් පුරවලා, ලෝකය වෛරයෙන් අහුරල දාල විතරක් නෙවෙයි අවාසනාව එක්ක ලේ වැගිරීම් එක්ක අපේ ඇස් කදුළුවලිනුත් පුරවලා.  අපි වේගෙන් සංවර්ධනය වෙනව, ඒත්, ඒ එක්කම අපි අපේ ජීවිත වහල අගුලු දාගන්නව. බොහොම දේ හදල දෙන යන්ත්‍ර‍ සූත්‍ර‍ අපේ ජීවිතවල අඩුවක් ඉතිරි කරල. අපේ දැනුම අපිව නරුම කරල. අපි ගොඩක් හිතනව ඒත් අපිට දැනෙන්නෙ හරිම පොඩ්ඩයි. යන්ත්‍ර‍ සූත්‍ර‍ මහා ගොඩකට වඩා අපිට ඕනෙ මනුස්සකම! බුද්ධිමත්කමට වඩා අපිට ඕනෙ කරුණාවන්තකම එක්ක ගුණයහපත්කම! මේ දේවල් නැති වුණොත් ජීවිතය එහෙම පිටින්ම ප්‍ර‍චණ්ඩකමින් පිරිල ගිහින් නැතිම වෙලා යාවි...

අහස් යාත්‍රාවයි ගුවන් විදුලිය යන්තරෙයි අපි එකිනෙකාව ලං කරල. ඒ අලුත් සොයාගැනීම්වල හැඩයම කෑගහල ඉල්ලන්නෙ මිනිස්සු ළඟ තියෙන හොඳකම - කෑගහල ඉල්ලන්නෙ ලෝකය පුරාම විසිරෙන සහෝදරකම - හැමෝගෙම එකමුතුකම!! මේ දැනුත්, ලෝකෙ පුරා ඉන්න මිලියන ගාණක් මිනිස්සු අතරට මගේ හඬ පැතිරෙනව - මිලියන් ගාණක් බලාපොරොත්තු බිඳ වැටුණු පිරිමි, ගැහැණු ඒත් එක්කම පුංචි දරුවො අතරට. නිරපරාදෙ මිනිස්සු හිරගත කරන සහ වධ බන්ධන දෙන ක්‍ර‍මයක ගොදුරු බවට පත් වුණු මිනිස්සු අතරට!    

මගේ හඬ ඇහෙන හැමෝටම මම කියන්නෙ - බලාපොරොත්තු නැති කරගන්න එපා. අපි ළඟ දැන් තියෙන කණස්සල්ලට මුල කාලකන්නි කෑදරකම. මිනිස්සුන්ගෙ තිත්ත ගතියට මුල මානව ප්‍ර‍ගතියට තියෙන බය. මිනිස්සු අතරෙ තියෙන වෛරය කෙළවර වේවි. ආඥාදායකයො මිය ඇදේවි. මිනිස්සුන්ගෙන් උන් ලබාගත්ත බලය ආපිට මිනිස්සුන්ටම ලැබේවි.  මිනිසුන් මැරී මැරී යන තාක් කල්  විමුක්තිය කිසි විටෙකත් උදාවෙන්නෙ නෑ.

සෙබළුනි! උඹලාව විනාශ කරන - උඹලාව වහලුන් කරන - උඹලාගේ ජීවිත පාලනය කරන - උඹලාට කළ යුතු දේට, සිතිය යුතු දේට, වගේම උඹලාගේ හැඟීම්වලට අණ කරන -  තක්කඩියන්ට විකිණෙන්න එපා! උඹලාව නටවන -  උඹලාව නැති කර දමන - උඹලාව හරකුන් හැටියට සළකන - උඹලාව මූනිස්සම් හැටියට භාවිතා කරන උන්! උඹලාගේ ජීවිත මේ අස්වාභාවික මිනිසුන්ට විකුණන්න එපා. යාන්ත්‍රික හදවත් සහ යාන්ත්‍රික හිත් ඇති යාන්ත්‍රික මිනිස්සු! උඹලා යන්තර නෙවෙයි! උඹලා හරක් නෙවෙයි! උඹලා මිනිස්සු!! උඹලාගේ හදවත්වල ආදරයයි මනුස්සකමයි තියෙනවා! උඹලා වෛර කරන්නෙ නෑ! අනාදරයයි වෛරයයි විතරක් කියන්නෙ, ආදරය නොකිරීම නැත්තම් අස්වාභාවිකකම!! සෙබළුනි! වහල්කම වෙනුවෙන් සටන් වදින්න එපා! විමුක්තිය වෙනුවෙන් සටන් වැදියල්ලා!!

ශාන්ත ලූක් දාහත්වන පරිච්ඡේදයේ ලියවිල තියෙනව “දෙවියන්ගේ ස්වර්ග රාජ්‍යය ඇත්තේ මිනිසා තුළම ය“ කියල. ඒ එක මිනිසෙක් තුළ නෙවෙයි - කණ්ඩායමක් තුළ නෙවෙයි - සියලු දෙනා තුළම!! උඹලා, මිනිස්සු, ළඟ තමයි බලය තියෙන්නෙ, යන්ත්‍ර‍ සූත්‍ර‍ හැදීමේ බලය. සතුට ඇති කිරීමේ බලය! උඹලා, මිනිස්සු, ළඟ තමයි බලය තියෙන්නෙ මේ ජීවිතය නිදහස් සහ ලස්සන කරන්න. මේ ජීවිතය පුදුමාකාර වික්‍ර‍මයක් බවට පත් කරන්න.

එ් නිසා - ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයේ නාමයෙන් - අපි මේ බලය පාවිච්චි කරමු - අපි හැමෝම එක්සත් වෙමු. අපි එකතුවෙලා සටන් කරමු අලුත් ලෝකයක් හදන්න -  මිනිස්සුන්ට වැඩ කරන්න ඉඩ දෙන ශිෂ්ඨසම්පන්න ලෝකයක් - තාරුණ්‍යයට අනාගතයක් හදන වගේම මහළු වයසට ආරක්ෂාවක් හදන! මේ පොරාන්දුවෙන්ම තමයි මේ තක්කඩි බලයට එන්නෙ. නමුත් උන් කියන්නෙ බොරු! උන් ඒ පොරොන්දුව ඉෂ්ට කරන්නෙ නැහැ. කවදාවත් කරන්නෙ නැහැ!

ආඥාදායකයො, රජවරු, උන්ව නිදහස් කරගෙන මිනිස්සුන්ව වහල්ලු කරනව! ඒ නිසා අපි දැන් මේ පොරොන්දුව දිනාගන්න සටන් කරමු! අපි නිදහස් ලෝකයක් වෙනුවෙන් සටන් කරමු - හැම ජාතියකම බාධක අයින් කරල දාන - වෛරයයි, පටුකමයි එක්ක කෑදරකම පන්නලා දාන ලෝකයක්!  හේතුවක් ඇති ලෝකයක් හදන්න, විද්‍යාවයි ප්‍ර‍ගමනයයි හැම මනුස්සයගේම සතුට වෙනුවෙන් යෙදවෙන ලෝකයක් හදන්න අපි සටන් කරමු. සෙබළුනි! ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයේ නාමයෙන්, හැමෝම එක්සත් වෙමු!!


3 comments:

  1. බොහොම වටින කතාවක් ඇත්තටම ෆිල්ම් එක හොයාගෙන බලන්න අසාවක් ආවා ඔබේ ලිපිය නිසා.

    ReplyDelete