Showing posts with label චාලි චැප්ලින්. Show all posts
Showing posts with label චාලි චැප්ලින්. Show all posts

Wednesday, May 8, 2019

අප සොයාගත යුත්තේ කුමක් ද?


(2019 මැයි 05 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)
අප්‍රේල් 21 වැනිදාව පසුවී තවමත් ගෙවී ඇත්තේ දින කිහිපයකි. ලොවම සසල කළ බිහිසුණු ඛේදවාචකයක් අපගේ ඇස් ඉදිරිපිටම සිදුවූ පසු, ඉන් අනතුරුව ඇදහිය නොහැකි තරමින් ආයුධ හා සන්නද්ධ අරගලවලට අදාල උපකරණ හා ඇඳුම් දිවයිනේ තැනින් තැනින් මතුවන්නට පටන් ගත් පසු බහුතර පුරවැසි සමාජය තව දුරටත් දිවි ගෙවන්නේ වික්ෂිප්ත වූ ස්වරූපයකිනි.
“දැන් ඉතින් මොකද කරන්නෙ? අපි කාවද විශ්වාස කරන්නෙ?“
නිරන්තරව නැගෙන මෙම පැනය යළි යළිත්, අපැහැදිලි පිළිතුරුවලින් හෝ පිළිතුරු රහිත බවින් හෝ අනතුරුව යළි නැගෙනු ඇසෙයි.
සැබවින්ම අප මනුෂ්‍යත්වය පිළිබඳ විශ්වාසය අත් හළ යුතු ද? ආගමික අන්තවාදයක තීව්‍ර කෙළවරක් දක්වා ගමන් කළ, අපැහැදිලි නමුත් කුඩා කණ්ඩායමක් හේතුවෙන් අපගේ මානව ධර්මතා අත් හළ යුතු ද? මගේ මනස තුළ නැගි මෙම පැනයට පැහැදිලි පිළිතුරක් රැගෙන පැමිණියේ චාලි චැප්ලින් ය. ගෙවුණු සියවසේ හමුවුණු භයානකම මානව නාශකයකු වූ ඇඩොල්ෆ් හිට්ලර්ගේ නාසිවාදය ලක්ෂ ගණනින් මිනිස් ජීවිත බිලිගනිද්දීම ඔහු මෙම ජන ඝාතකයාගේ චරිතය සිනමා කෘතියකට ගෙන ආවේ ය. චිත්‍රපටය  ද ග්‍රේට් ඩික්ටේටර්‘ (මහා ආඥාදායකයා)  නම් වූ අතර එය තිරයට පැමිණෙන්නේ දෙවන ලෝක යුද්ධය ඇරඹී වසරකට පසු, එනම් 1940 වර්ෂයේ දී ය. හිට්ලර්ගේ මරණ වරෙන්තුව ලද ලැයිස්තුවේ ඉහළින්ම සිය නාමය සඳහන් කරගන්නට චැප්ලින්ට මින් ඉඩ ලැබුණේ එය සෘජුවම හිට්ලර් සහ ඔහුගේ කුරිරු පාලනය විවේචනය කරමින් සහ ඔහුව උපහාසයට ලක් කරමින් නිපදවා තිබුණු හෙයිනි.

චිත්‍ර‍පටයේ සම-ප්‍ර‍ධාන චරිත වන හින්කල් නමැති ආඥාදායකයා සහ ඔහුගේ රූපයට පූර්ණ ලෙස සමාන යුදෙව් කරණවෑමියා යන චරිතද්වයම නිරූපණය කරන්නේ චාලි චැප්ලින් විසිනි. චිත්‍ර‍පටය කෙළවර වන්නේ, අහඹු සිදුවීම් පෙළකින් පසු දහස් සංඛ්‍යාත හමුදාව ඇමතීමේ අවස්ථාව හින්කල් ලෙස වැරදියට හඳුනාගෙන සිටින යුදෙව් කරණවෑමියා වෙත ලැබීමෙනි. ඔහු ආඥාදායකයා ලෙස පෙනී සිටිමින් සිදු කරන කථාව සිනමා ඉතිහාසයේ සුවිශේෂ තැනක තබා සඳහන් කෙරෙන්නකි. මනුෂ්‍යත්වය, මානව දයාව, යුධ විරෝධය, නාසි විරෝධය ආදී සියල්ල කැටි කළ එවැනි කතාවක් සිනමා ඉතිහාසය තුළින් සොයාගැනීම උගහට ය.

අන්තවාදය හා වර්ගවාදය ඇතුළු මානව විරෝධී ප්‍රවේශ හමුවේ අප උතුම් මිනිසත් බව පසෙක තැබිය නොයුතු බව චැප්ලින් සිය ප්‍රධාන චරිතය ඔස්සේ පැමිණ පවසයි. අද, මෙම අනපේක්ෂිත ඛේදවාචකය කෙළවර අපැහැදිලි ඉදිරියක් පිළිබඳ චකිතයකින් පසුවන ඔබට මවිසින් සිදු කළ එම කතාවෙහි සිංහල පරිවර්තනය කියවන්නට ආරාධනා කරමි:

  

මට සමාවෙන්න
, මට බැහැ ආඥාදායකයෙක් වෙන්න. ඒක මගේ වැඩේ නෙවෙයි. මට කවුරුවත් පාලනය කරන්නවත් පරද්දන්නවත් උවමනාවක් නෑ. මට ඕනෙ හැමෝටම උදව් කරන්න - පුළුවන් කමක් තියෙනව නම්, යුදෙව්වන්ට, යුදෙව්වො නොවන උන්ට - කල්ලන්ට වගේම සුද්දන්ට. අපි හැමෝම අනිත් කෙනාට උදව් කරන්න ඕනෙ. මිනිස්සු කියන්නෙ අන්න එහෙම අයට. අපි ජීවත් වෙන්න ඕනෙ එකිනෙකාගෙ සතුට වෙනුවෙන්. නැතුව එකිනෙකාගෙ වේදනාව වෙනුවෙන් නෙවෙයි.  අපි එකිනෙකාට වෛර කරන්නවත්, ඉරිසියා කරන්නවත් අවශ්‍ය නැහැ. මේ ලෝකෙ හැමෝටම ඉඩ තියෙනව. යහපත් ලෝකය පොහොසත්, ඒ වගේම හැමෝටම දෙන්න දෙයක් තියෙන තැනක්. ජීවිතයේ මාර්ගය නිදහස් සහ ලස්සන එකක් වෙන්න ඕනෙ, ඒත් අපි ඒ මාර්ගය වරද්දගෙන. 

කෑදරකම මිනිස් ආත්මය විසෙන් පුරවලා, ලෝකය වෛරයෙන් අහුරල දාල විතරක් නෙවෙයි අවාසනාව එක්ක ලේ වැගිරීම් එක්ක අපේ ඇස් කදුළුවලිනුත් පුරවලා.  අපි වේගෙන් සංවර්ධනය වෙනව, ඒත්, ඒ එක්කම අපි අපේ ජීවිත වහල අගුලු දාගන්නව. බොහොම දේ හදල දෙන යන්ත්‍ර‍ සූත්‍ර‍ අපේ ජීවිතවල අඩුවක් ඉතිරි කරල. අපේ දැනුම අපිව නරුම කරල. අපි ගොඩක් හිතනව ඒත් අපිට දැනෙන්නෙ හරිම පොඩ්ඩයි. යන්ත්‍ර‍ සූත්‍ර‍ මහා ගොඩකට වඩා අපිට ඕනෙ මනුස්සකම! බුද්ධිමත්කමට වඩා අපිට ඕනෙ කරුණාවන්තකම එක්ක ගුණයහපත්කම! මේ දේවල් නැති වුණොත් ජීවිතය එහෙම පිටින්ම ප්‍ර‍චණ්ඩකමින් පිරිල ගිහින් නැතිම වෙලා යාවි...

අහස් යාත්‍රාවයි ගුවන් විදුලිය යන්තරෙයි අපි එකිනෙකාව ලං කරල. ඒ අලුත් සොයාගැනීම්වල හැඩයම කෑගහල ඉල්ලන්නෙ මිනිස්සු ළඟ තියෙන හොඳකම - කෑගහල ඉල්ලන්නෙ ලෝකය පුරාම විසිරෙන සහෝදරකම - හැමෝගෙම එකමුතුකම!! මේ දැනුත්, ලෝකෙ පුරා ඉන්න මිලියන ගාණක් මිනිස්සු අතරට මගේ හඬ පැතිරෙනව - මිලියන් ගාණක් බලාපොරොත්තු බිඳ වැටුණු පිරිමි, ගැහැණු ඒත් එක්කම පුංචි දරුවො අතරට. නිරපරාදෙ මිනිස්සු හිරගත කරන සහ වධ බන්ධන දෙන ක්‍ර‍මයක ගොදුරු බවට පත් වුණු මිනිස්සු අතරට!    

මගේ හඬ ඇහෙන හැමෝටම මම කියන්නෙ - බලාපොරොත්තු නැති කරගන්න එපා. අපි ළඟ දැන් තියෙන කණස්සල්ලට මුල කාලකන්නි කෑදරකම. මිනිස්සුන්ගෙ තිත්ත ගතියට මුල මානව ප්‍ර‍ගතියට තියෙන බය. මිනිස්සු අතරෙ තියෙන වෛරය කෙළවර වේවි. ආඥාදායකයො මිය ඇදේවි. මිනිස්සුන්ගෙන් උන් ලබාගත්ත බලය ආපිට මිනිස්සුන්ටම ලැබේවි.  මිනිසුන් මැරී මැරී යන තාක් කල්  විමුක්තිය කිසි විටෙකත් උදාවෙන්නෙ නෑ.

සෙබළුනි! උඹලාව විනාශ කරන - උඹලාව වහලුන් කරන - උඹලාගේ ජීවිත පාලනය කරන - උඹලාට කළ යුතු දේට, සිතිය යුතු දේට, වගේම උඹලාගේ හැඟීම්වලට අණ කරන -  තක්කඩියන්ට විකිණෙන්න එපා! උඹලාව නටවන -  උඹලාව නැති කර දමන - උඹලාව හරකුන් හැටියට සළකන - උඹලාව මූනිස්සම් හැටියට භාවිතා කරන උන්! උඹලාගේ ජීවිත මේ අස්වාභාවික මිනිසුන්ට විකුණන්න එපා. යාන්ත්‍රික හදවත් සහ යාන්ත්‍රික හිත් ඇති යාන්ත්‍රික මිනිස්සු! උඹලා යන්තර නෙවෙයි! උඹලා හරක් නෙවෙයි! උඹලා මිනිස්සු!! උඹලාගේ හදවත්වල ආදරයයි මනුස්සකමයි තියෙනවා! උඹලා වෛර කරන්නෙ නෑ! අනාදරයයි වෛරයයි විතරක් කියන්නෙ, ආදරය නොකිරීම නැත්තම් අස්වාභාවිකකම!! සෙබළුනි! වහල්කම වෙනුවෙන් සටන් වදින්න එපා! විමුක්තිය වෙනුවෙන් සටන් වැදියල්ලා!!

ශාන්ත ලූක් දාහත්වන පරිච්ඡේදයේ ලියවිල තියෙනව දෙවියන්ගේ ස්වර්ග රාජ්‍යය ඇත්තේ මිනිසා තුළම යකියල. ඒ එක මිනිසෙක් තුළ නෙවෙයි - කණ්ඩායමක් තුළ නෙවෙයි - සියලු දෙනා තුළම!! උඹලා, මිනිස්සු, ළඟ තමයි බලය තියෙන්නෙ, යන්ත්‍ර‍ සූත්‍ර‍ හැදීමේ බලය. සතුට ඇති කිරීමේ බලය! උඹලා, මිනිස්සු, ළඟ තමයි බලය තියෙන්නෙ මේ ජීවිතය නිදහස් සහ ලස්සන කරන්න. මේ ජීවිතය පුදුමාකාර වික්‍ර‍මයක් බවට පත් කරන්න.

ඒ නිසා - ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයේ නාමයෙන් - අපි මේ බලය පාවිච්චි කරමු - අපි හැමෝම එක්සත් වෙමු. අපි එකතුවෙලා සටන් කරමු අලුත් ලෝකයක් හදන්න -  මිනිස්සුන්ට වැඩ කරන්න ඉඩ දෙන ශිෂ්ඨසම්පන්න ලෝකයක් - තාරුණ්‍යයට අනාගතයක් හදන වගේම මහළු වයසට ආරක්ෂාවක් හදන! මේ පොරාන්දුවෙන්ම තමයි මේ තක්කඩි බලයට එන්නෙ. නමුත් උන් කියන්නෙ බොරු! උන් ඒ පොරොන්දුව ඉෂ්ට කරන්නෙ නැහැ. කවදාවත් කරන්නෙ නැහැ!

ආඥාදායකයො, රජවරු, උන්ව නිදහස් කරගෙන මිනිස්සුන්ව වහල්ලු කරනව! ඒ නිසා අපි දැන් මේ පොරොන්දුව දිනාගන්න සටන් කරමු! අපි නිදහස් ලෝකයක් වෙනුවෙන් සටන් කරමු - හැම ජාතියකම බාධක අයින් කරල දාන - වෛරයයි, පටුකමයි එක්ක කෑදරකම පන්නලා දාන ලෝකයක්!  හේතුවක් ඇති ලෝකයක් හදන්න, විද්‍යාවයි ප්‍ර‍ගමනයයි හැම මනුස්සයගේම සතුට වෙනුවෙන් යෙදවෙන ලෝකයක් හදන්න අපි සටන් කරමු. සෙබළුනි! ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයේ නාමයෙන්, හැමෝම එක්සත් වෙමු!!“

-ප්‍රියන්ත ෆොන්සේකා -


Wednesday, January 25, 2017

පුංචි පාදඩයා


(රිවිර සිනමා කොලම- 15)

විසිවැනි සියවස ඇරඹෙන සමයේ ආරම්භක දශකයක, ඇමරිකානු නගර වීදියක බකල ගසමින් ඇවිද යන එක් කුඩා මිනිසෙකි. එල්ලා වැටෙන ඉරී ගිය කලිසම, ඇඟටම හිරවී ගිය උඩු කබාය, අත රැදි බස්තම, හිස රැදී තොප්පිය හා මුවට ඉහළින් වන ‘හිට්ලර් පන්නයේ‘ උඩු රැවුල ඔහු වෙත ගෙන එන්නේ විසුළු පෙනුමකි. නගර වීදි කෙළවර පත්තර විකුණන කොල්ලන් ඔහු වෙත ගල් කැට විසි කරමින් ඔහුට ඔච්චම් කරයි. බිම වැටී ඇති විසි කර දැමූ සුරුට්ටු කොටයක් ගෙන එහි ඉතිරිය ආඩම්බරයෙන් දල්වාගන්නා මේ කුඩා මිනිසා ඔච්චම් කරන කොල්ලන්ට ඔරවමින් වීදිය දිග ඇවිද යයි.

‘පුංචි පාදඩයා‘ නම් ලැබූ මෙම කුඩා මිනිසා එම සමයේ නිර්මාණය වූ ඇමරිකානු නිහඬ සිනමා කෘති රාශියක යළි යළිත් වීදි කෙළවරින් නැගී ඇවිද ආ, ප්‍රේක්ෂාගාරය දැඩිව ආකර්ෂණය කරගත්, චරිතයකි. එය නිරූපණය කරන ලද්දේ එදා මෙදාතුර ලොව විශිෂ්ඨතම නළුවා යැයි විරුදාවලි ලැබූ චාලි චැප්ලින් විසිනි. ඒ චරිතය මුණගැසුණු චිත්‍ර‍පට බොහොමයක්ම ඔහු විසින්ම ලියා අධ්‍යක්ෂණය කරන්නට යෙදුණු නිමැවුම් වූ අතර ඒ කෘතීන්හි සංගීත නිර්මාණකරුවා වූයේ ද චැප්ලින් මය. මනුෂ්‍යත්වය හා මානව දයාව හා දැඩිව බැදුණු මෙම කෘති සිනහවෙන් පිරී ගිය ප්‍රේක්ෂාගාරයක් පළමුව තනා දෙවනුව ඒ ඔස්සේ යමින් ජීවිතය දෙස ගැඹුරින් විමසා බලන්නට අපට ආරාධනය කළේ විය.

1931 දී නිර්මාණය වූ, ‘සිටි ලයිට්ස්‘ (City Lights) නම් ලැබූ ‘පුංචි පාදඩයා‘ගේ ප්‍ර‍මුඛ භූමිකාවක් හමුවන, එම චිත්‍ර‍පට අතුරින් ප්‍ර‍ධානතම කෘතියක අනෙත් ප්‍ර‍ධාන භූමිකාව නෙත් අඳ තරුණියකි. අන්ධ බව නිසාම, ධනවතකු ලෙස හැසිරෙන නමුත් අතේ සතයකුදු නැති ‘පාදඩයා‘ගේ සැබෑ තත්වය ඇය නොදකී. මග මග වීදි කොණක මල් කූඩයක් තබාගෙන ඒ විකුණා, තමාගේත් මිත්තණියගේත් දිවි සරි කරගන්නා තරුණිය ‘පාදඩයා‘ හඳුනාගන්නේ, පොලිසිය මග හැරීම සඳහා හාස්‍යජනක ලෙස මග ඇති මෝටර් රථයක එක් දොරකින් රිංගා අනිත් දොරින් පිටතට පැන වීදියට බසින නිසාම, ධනවතකු ලෙස රියකින් බසින මහත්මයකු ලෙස ය.

හාස්‍යය සිය ප්‍ර‍මුඛ ප්‍රවේශය කරගන්නා චැප්ලින් ‘සිටි ලයිට්ස්‘ ඉදිරියට විහිදුවන්නේ ඒ තරුණියට පෙම් කරන ‘පුංචි පාදඩයා‘ මුහුණ දෙන අනේක ගැහැට පෙරළි පෙරළී සිනාසෙන සිදුවීම් ලෙස පෙළගස්වමින් අප වෙත තබමිනි. එහෙත් ඒ අවිහිංසක චරිතයේ අපේක්ෂාව උදාර වන්නේ ප්‍රේමය පෙරදැරිව තරුණිය වෙත උදව් කිරීමේ දැඩි අපේක්ෂාවෙන් ඔහු සන්නද්ධව ක්‍රියා කරන හෙයිනි. ඒ ක්‍රියාවන් අපූරු ගැටුමක් ඔස්සේ දිවෙන්නේ ඔහුට අහම්බයකින් මහා ධනවතෙකු මුණගැසෙන හෙයිනි. ධනය ඇති පදමටත් වඩා ඇති හෙයින් මහේශාඛ්‍ය ජීවිතයක් ගත කළද ඔහු ජීවිතයේ සතුට ළඟා කරගත නොහැකිවීම නිසාවෙන් දියට පැන දිවි නසාගන්නට යත්න දරද්දී ‘පුංචි පාදඩයා‘ ඔහු බේරාගනියි.

“හෙට කුරුල්ලන් ගී ගයාවි... ඒ ඔබගේ දිනය වේවි!“

ජීවිතාපේක්ෂාව පිළිබඳ ධනපතියෙකුගේ සිතෙහි බලාපොරොත්තු ඇති කිරීමට ‘පුංචි පාදඩයා‘ තැත් දරන බව ‘නිහඬ සිනමා කෘතියේ‘ තිරය මත ලියැවෙන දෙබස් ඛණ්ඩ අපට දන්වා සිටී.

පියවි ලොව දී දරුණු ලෙස හැසිරෙන ධනපතියා උත්ප්‍රාසජනක ලෙස බීමත් වූ විගස ඉතා ගුණවත් අයෙකු බවට හැරේ. ‘බේබදු ලෝකයේදී‘ පමණක් සිය ‘මිතුරා‘ වන ‘පාදඩයා‘ට හැකි පමණ උදව් කරන ඔහු සිය රෝල්ස් රොයිස් රථය පවා ඔහු වෙත පරිත්‍යාග කරයි. සිය නිවසේ තම සයනය ද ඔහු හා බෙදා ගනියි. ඔහුට හැකි තරම් ඉස්තරම් ලෙස කවා පොවා සන්තර්පණය කරයි. එහෙත් ‘පියවි සිහිය‘ ලද විගස ඔහු වහා සිය සේවකයා කැඳවා ‘පුංචි පාදඩයා‘ පන්නා දමන්නේ ‘කොහෙන් පැමිණි එකෙකුදැයි‘ විමසමිනි.

‘සිටි ලයිට්ස්‘ ඇතුළු සිනමා කෘති ගණනාවකදීම චැප්ලින් රංගනය හා රූප නිර්මාණය හරහා සියළු සංවේදනා හා අදහස් අප වෙත සම්ප්‍රේෂණය කරයි. එය රූපය මුල් කරගත් මාධ්‍යයක අරුමැති ශක්‍යතාව අපට පසක් කර දෙමිනි. ඔහු එහිදී කෙතරම් සාර්ථක වීද යත්, හඬ සිනමාව හා එකතු වූ පසුද වසර ගණනාවක් යන තුරුම ඔහු ගණුදෙනු කළේ රූපය පමණක් සිය නිර්මාණ වෙත කැදවමිනි. ‘සිටි ලයිට්ස්‘ අයත් වන්නේ ද එම පසු යුගයේ කෘති අතරට ය.

නෙත් අ මල් විකුණන තරුණියගේ ජීවිතයට සහායක් වන්නටත්, අහම්බෙන් ඔහු දකින නෙත් සුව කරන වෛද්‍යවරයකු වෙත ඇය රැගෙන යන්නටත් ඇති අරමුණු සහිතව, සිය ප්‍රේමය ඇය වෙත ප්‍ර‍කාශ නොකරමින්, ‘පුංචි පාදඩයා‘ දහසකුත් එකක් ගැහැට විද මුදල් සොයයි. වරෙක ඔහු වීදිය අමදින කසල ශෝධකයෙකු ලෙස රැකියාවකට යයි. කෑම විවේකයේදී තරුණිය දැක ගන්නට ගොස් වන ප්‍ර‍මාදයෙන් ඔහුට රැකියාව අහිමි වේ. පසුව ඔහුට මුදල් ඔට්ටුවට බොක්සිං ගසන්නට යන ජාවාරම්කාරයෙකු මුදල බෙදාගන්නට ‘බොරු බොක්සිං ගැහිල්ලකට‘ ඇරයුම් කරයි. තරගය ඇරඹෙන්නට මොහොතකට පෙර ජාවාරම්කාරයා පොලිසියට බිය වී පැන දිවීම නිසා ‘පාදඩයාට‘ සිදු වන්නේ ‘හැබෑවටම ගුටි කන්නට වන‘ බොක්සිං කෙළියකට යන්නට ය. ඒ බොක්සිං තරගයේ දර්ශනය අප වෙත මවන්නේ සිනමා කෘතියක මුණ ගැසෙන විශිෂ්ඨතම හාස්‍යෝත්පාදක අවස්ථාවකි.

අනේක ගැහැට කෙළවර ඔහු බේබදු ධනවතාගෙන් මුදල් ඉල්ලන්නට තීරණය කරයි. නමුත් ඔහු වෙත තිළිණ කරන මුදල පිළිබඳවවත් ක්ෂණිකව රූපාණ්තරණය වන ධනවතාගේ මතකයේ නැත. නීතියෙන් මොහොතකට ගැලවී ‘පුංචි පාදඩයා‘ තමන් ලබන මුදල තරුණිය අතට පත් කළ ද පසුව ඔහු නීතිය හමුවට යැවේ.

මිනිස් ජීවිතයක පැවතිය යුතු ගුණ සුවඳ පිළිබඳ මහරු දැක්මක් සහිතව කෙළවර කෙරෙන චැප්ලින්ගේ සිනමා කෘති කිසිවක අවසාන දර්ශන කිහිපය හාස්‍යය අසළකට හෝ කැඳවන්නේ නැත. ප්‍රේක්ෂාගාරය වෙත මානව දයාව පිළිබඳ මාහැගි අදහසක් සපයා දෙන ‘සිටි ලයිට්ස්‘ සොයා නරඹන්නට මම ඔබට ඇරයුම් කරමි. නියත වශයෙන්ම ඒ පිවිසුම, මෙතෙක් ගමන අරඹා නොමැතිනම්, ඔබ චැප්ලින් ලෝලියෙකු ලෙස යන ගමනක ඇරඹුම තනා දෙනු ඇත.

-      ප්‍රියන්ත ෆොන්සේකා -  


Tuesday, July 26, 2016

මට බැහැ ආඥාදායකයෙක් වෙන්න!

චාලි චැප්ලින්ගේ The Great Dictator (මහා ආඥාදායකයා) චිත්‍ර‍පටයේ ඓතිහාසික කතාව

චාලි චැප්ලින්ගේ ‘ද ග්‍රේට් ඩික්ටේටර්‘ (මහා ආඥාදායකයා) සිනමා කෘතිය තිරයට පැමිණෙන්නේ දෙවන ලෝක යුද්ධය ඇරඹී වසරකට පසු, එනම් 1940 වර්ෂයේ දී ය. හිට්ලර්ගේ මරණ වරෙන්තුව ලද ලැයිස්තුවේ ඉහළින්ම සිය නාමය සඳහන් කරගන්නට චැප්ලින්ට මින් ඉඩ ලැබුණේ එය සෘජුවම හිට්ලර් සහ ඔහුගේ කුරිරු පාලනය විවේචනය කරමින් සහ ඔහුව උපහාසයට ලක් කරමින් නිපදවා තිබුණු හෙයිනි.

චිත්‍ර‍පටයේ සම-ප්‍ර‍ධාන චරිත වන හින්කල් නමැති ආඥාදායකයා සහ ඔහුගේ රූපයට පූර්ණ ලෙස සමාන යුදෙව් කරණවෑමියා යන චරිතද්වයම නිරූපණය කරන්නේ චාලි චැප්ලින් විසිනි. චිත්‍ර‍පටය කෙළවර වන්නේ, අහඹු සිදුවීම් පෙළකින් පසු දහස් සංඛ්‍යාත හමුදාව ඇමතීමේ අවස්ථාව හින්කල් ලෙස වැරදියට හඳුනාගෙන සිටින යුදෙව් කරණවෑමියා වෙත ලැබීමෙනි. ඔහු ආඥාදායකයා ලෙස පෙනී සිටිමින් සිදු කරන කථාව සිනමා ඉතිහාසයේ සුවිශේෂ තැනක තබා සඳහන් කෙරෙන්නකි. මනුෂ්‍යත්වය, මානව දයාව, යුධ විරෝධය, නාසි විරෝධය ආදී සියල්ල කැටි කළ එවැනි කතාවක් සිනමා ඉතිහාසය තුළින් සොයාගැනීම උගහට ය. පහත එන්නේ එම ඓතිහාසික කතාවේ සිංහල පරිවර්තනයයි. 
  

මට සමාවෙන්න, මට බැහැ ආඥාදායකයෙක් වෙන්න. ඒක මගේ වැඩේ නෙවෙයි. මට කවුරුවත් පාලනය කරන්නවත් පරද්දන්නවත් උවමනාවක් නෑ. මට ඕනෙ හැමෝටම උදව් කරන්න - පුළුවන් කමක් තියෙනව නම්, යුදෙව්වන්ට, යුදෙව්වො නොවන උන්ට - කල්ලන්ට වගේම සුද්දන්ට. අපි හැමෝම අනිත් කෙනාට උදව් කරන්න ඕනෙ. මිනිස්සු කියන්නෙ අන්න එහෙම අයට. අපි ජීවත් වෙන්න ඕනෙ එකිනෙකාගෙ සතුට වෙනුවෙන්. නැතුව එකිනෙකාගෙ වේදනාව වෙනුවෙන් නෙවෙයි.  අපි එකිනෙකාට වෛර කරන්නවත්, ඉරිසියා කරන්නවත් අවශ්‍ය නැහැ. මේ ලෝකෙ හැමෝටම ඉඩ තියෙනව. යහපත් ලෝකය පොහොසත්, ඒ වගේම හැමෝටම දෙන්න දෙයක් තියෙන තැනක්. ජීවිතයේ මාර්ගය නිදහස් සහ ලස්සන එකක් වෙන්න ඕනෙ, ඒත් අපි ඒ මාර්ගය වරද්දගෙන. 

කෑදරකම මිනිස් ආත්මය විසෙන් පුරවලා, ලෝකය වෛරයෙන් අහුරල දාල විතරක් නෙවෙයි අවාසනාව එක්ක ලේ වැගිරීම් එක්ක අපේ ඇස් කදුළුවලිනුත් පුරවලා.  අපි වේගෙන් සංවර්ධනය වෙනව, ඒත්, ඒ එක්කම අපි අපේ ජීවිත වහල අගුලු දාගන්නව. බොහොම දේ හදල දෙන යන්ත්‍ර‍ සූත්‍ර‍ අපේ ජීවිතවල අඩුවක් ඉතිරි කරල. අපේ දැනුම අපිව නරුම කරල. අපි ගොඩක් හිතනව ඒත් අපිට දැනෙන්නෙ හරිම පොඩ්ඩයි. යන්ත්‍ර‍ සූත්‍ර‍ මහා ගොඩකට වඩා අපිට ඕනෙ මනුස්සකම! බුද්ධිමත්කමට වඩා අපිට ඕනෙ කරුණාවන්තකම එක්ක ගුණයහපත්කම! මේ දේවල් නැති වුණොත් ජීවිතය එහෙම පිටින්ම ප්‍ර‍චණ්ඩකමින් පිරිල ගිහින් නැතිම වෙලා යාවි...

අහස් යාත්‍රාවයි ගුවන් විදුලිය යන්තරෙයි අපි එකිනෙකාව ලං කරල. ඒ අලුත් සොයාගැනීම්වල හැඩයම කෑගහල ඉල්ලන්නෙ මිනිස්සු ළඟ තියෙන හොඳකම - කෑගහල ඉල්ලන්නෙ ලෝකය පුරාම විසිරෙන සහෝදරකම - හැමෝගෙම එකමුතුකම!! මේ දැනුත්, ලෝකෙ පුරා ඉන්න මිලියන ගාණක් මිනිස්සු අතරට මගේ හඬ පැතිරෙනව - මිලියන් ගාණක් බලාපොරොත්තු බිඳ වැටුණු පිරිමි, ගැහැණු ඒත් එක්කම පුංචි දරුවො අතරට. නිරපරාදෙ මිනිස්සු හිරගත කරන සහ වධ බන්ධන දෙන ක්‍ර‍මයක ගොදුරු බවට පත් වුණු මිනිස්සු අතරට!    

මගේ හඬ ඇහෙන හැමෝටම මම කියන්නෙ - බලාපොරොත්තු නැති කරගන්න එපා. අපි ළඟ දැන් තියෙන කණස්සල්ලට මුල කාලකන්නි කෑදරකම. මිනිස්සුන්ගෙ තිත්ත ගතියට මුල මානව ප්‍ර‍ගතියට තියෙන බය. මිනිස්සු අතරෙ තියෙන වෛරය කෙළවර වේවි. ආඥාදායකයො මිය ඇදේවි. මිනිස්සුන්ගෙන් උන් ලබාගත්ත බලය ආපිට මිනිස්සුන්ටම ලැබේවි.  මිනිසුන් මැරී මැරී යන තාක් කල්  විමුක්තිය කිසි විටෙකත් උදාවෙන්නෙ නෑ.

සෙබළුනි! උඹලාව විනාශ කරන - උඹලාව වහලුන් කරන - උඹලාගේ ජීවිත පාලනය කරන - උඹලාට කළ යුතු දේට, සිතිය යුතු දේට, වගේම උඹලාගේ හැඟීම්වලට අණ කරන -  තක්කඩියන්ට විකිණෙන්න එපා! උඹලාව නටවන -  උඹලාව නැති කර දමන - උඹලාව හරකුන් හැටියට සළකන - උඹලාව මූනිස්සම් හැටියට භාවිතා කරන උන්! උඹලාගේ ජීවිත මේ අස්වාභාවික මිනිසුන්ට විකුණන්න එපා. යාන්ත්‍රික හදවත් සහ යාන්ත්‍රික හිත් ඇති යාන්ත්‍රික මිනිස්සු! උඹලා යන්තර නෙවෙයි! උඹලා හරක් නෙවෙයි! උඹලා මිනිස්සු!! උඹලාගේ හදවත්වල ආදරයයි මනුස්සකමයි තියෙනවා! උඹලා වෛර කරන්නෙ නෑ! අනාදරයයි වෛරයයි විතරක් කියන්නෙ, ආදරය නොකිරීම නැත්තම් අස්වාභාවිකකම!! සෙබළුනි! වහල්කම වෙනුවෙන් සටන් වදින්න එපා! විමුක්තිය වෙනුවෙන් සටන් වැදියල්ලා!!

ශාන්ත ලූක් දාහත්වන පරිච්ඡේදයේ ලියවිල තියෙනව “දෙවියන්ගේ ස්වර්ග රාජ්‍යය ඇත්තේ මිනිසා තුළම ය“ කියල. ඒ එක මිනිසෙක් තුළ නෙවෙයි - කණ්ඩායමක් තුළ නෙවෙයි - සියලු දෙනා තුළම!! උඹලා, මිනිස්සු, ළඟ තමයි බලය තියෙන්නෙ, යන්ත්‍ර‍ සූත්‍ර‍ හැදීමේ බලය. සතුට ඇති කිරීමේ බලය! උඹලා, මිනිස්සු, ළඟ තමයි බලය තියෙන්නෙ මේ ජීවිතය නිදහස් සහ ලස්සන කරන්න. මේ ජීවිතය පුදුමාකාර වික්‍ර‍මයක් බවට පත් කරන්න.

එ් නිසා - ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයේ නාමයෙන් - අපි මේ බලය පාවිච්චි කරමු - අපි හැමෝම එක්සත් වෙමු. අපි එකතුවෙලා සටන් කරමු අලුත් ලෝකයක් හදන්න -  මිනිස්සුන්ට වැඩ කරන්න ඉඩ දෙන ශිෂ්ඨසම්පන්න ලෝකයක් - තාරුණ්‍යයට අනාගතයක් හදන වගේම මහළු වයසට ආරක්ෂාවක් හදන! මේ පොරාන්දුවෙන්ම තමයි මේ තක්කඩි බලයට එන්නෙ. නමුත් උන් කියන්නෙ බොරු! උන් ඒ පොරොන්දුව ඉෂ්ට කරන්නෙ නැහැ. කවදාවත් කරන්නෙ නැහැ!

ආඥාදායකයො, රජවරු, උන්ව නිදහස් කරගෙන මිනිස්සුන්ව වහල්ලු කරනව! ඒ නිසා අපි දැන් මේ පොරොන්දුව දිනාගන්න සටන් කරමු! අපි නිදහස් ලෝකයක් වෙනුවෙන් සටන් කරමු - හැම ජාතියකම බාධක අයින් කරල දාන - වෛරයයි, පටුකමයි එක්ක කෑදරකම පන්නලා දාන ලෝකයක්!  හේතුවක් ඇති ලෝකයක් හදන්න, විද්‍යාවයි ප්‍ර‍ගමනයයි හැම මනුස්සයගේම සතුට වෙනුවෙන් යෙදවෙන ලෝකයක් හදන්න අපි සටන් කරමු. සෙබළුනි! ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයේ නාමයෙන්, හැමෝම එක්සත් වෙමු!!