(2019 සැප්තැම්බර් 08 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)
මේ ලිපිය ඔබ කියවන්නට ඉඩ ඇති මුල්ම දිනය වන
සැප්තැම්බර් 06 වෙනි සිකුරාදාව වන විට ඔබ යාපනේ ගියාදැයි මා අසන පැනයට මුල් වන
නිමිත්තෙහි කාලයෙන් දින 03ක්ම ගෙවී අවසන් ය. එහෙත්, අවැසිම නම්, හෙට උදෑසනම හෝ,
කොළඹින් නැතිනම් තදාසන්න නගරයකින් පිටත්වන බසයක හෝ දුම්රියක නැග ඔබට යාපනයට යා
හැක. ඒ ‘යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ‘ ඉදිරි දින කිහිපය හා සමග හෝ එක්වීමට ය.
සමාරම්භක උළෙලේ සිට තුන්වැන්න දක්වාම උළෙලෙහි එක් එක් කලාප හා සමග ඇවිද යමින්,
වරෙක සාමාන්‍ය ප්‍රේක්ෂකයෙකු ලෙස ද, තවත් වරෙක කෙටි චිත්‍රපට අංශයේ ජූරි සභිකයෙකු
ලෙස ද වශයෙන්, උළෙලෙහි අසිරිය විඳි අයෙකු ලෙස ඉදිරි දින කිහිපය හෝ ඔබ එහි ගත
කරන්නේ නම් එය මහරු මතකයන් ගණනාවක් එක් කරනු ඇති බවට සැක හැර කියනු කැමැත්තෙමි.
2009 වර්ෂයේ දී යුද්ධය ‘කෙළවර‘ වූයේ උතුරු
කලාපයේ පුරවැසියන්ගෙන් බහුතරයකටත්, දකුණු කලාපයේ සාපේක්ෂ වශයෙන් සුළුතරයකටත්, වෙන්වීම,
අහිමි වීම, මනෝ භ්‍රාන්තිය, ක්ෂිතිය, කම්පනය ආදී පශ්චාත් යුධ සමයක නියත තත්වයන් හා
මනෝ ව්‍යාධීන් උරුම කර දෙමිනි. යටත් පිරිසයෙන් ඉදිරි වසර 60-70ක කාලය තුළ හෝ මෙම
ව්‍යාධීන්ගෙන් සෘජුව බලපෑම් ලද ප්‍රජාව ද, නොගිනිය හැකි වසර ගණනාවක් ඉදිරියේ දී
එහි වක්‍ර බලපෑම් ලද ප්‍රජාව ද උතුරු (හා දකුණු) ඉම් බිම් වෙත හමුවීම නොවැළැක්විය
හැක්කකි. යටකී බොහෝ කම්පනයන්ට ස්ථිරසාර පිළිතුරු කිසිසේත් නොසෙවිය හැකි වුවත්,
කලාව හරහා එම සමාජය වෙත සමහන් සිතුවිලි මුණගැස්වීම වුව පැසසිය යුත්තකි. ඒ හා සමග,
අප සියල්ලෝම යාපනයට ගොස් මෙහි සෘජු වේදනාකාරී ව්‍යසනයන්ට මුහුණ දුන් ප්‍රජාව සමග
යාපනය ජාත්‍යන්තර සිනමා උළෙලේ අසුන් ගැනීම හා ඔවුන් හා සමග ජීවිතය බෙදා ගැනීම ඒ
දැඩි කම්පනකාරී අතීතයෙන් මිදී යළි ජීවිතය වෙත පිය එසවීමට ඔවුන් වෙත සෙනෙහසේ දෑත්
දිගු කිරීමකි.
මෙම තීරය ඔස්සේ පසුගිය වසරේත් ‘යාපන සිනමා උළෙලේ
තාප්පයෙන් ඔබ්බට යන‘ යන මැයෙන් උළෙල පිළිබඳ සංවාදයට ඔබට ඇරයුම් කළ ද යළි වසරක
ඇවෑමෙන් එහි නවමු හෙවත් පස්වන පියවර ගැන ලිවීම කිසිසේත් නොඅදාල යැයි නොසිතන්නේ ඉහත
සඳහන් හේතුව මෙන්ම සිනමාලෝලීන් ලෙස අපට හමුවන එකම ජාත්‍යන්තර සිනමා උළෙලේ චිර
පැවැත්ම වෙනුවෙන් අදහස් පළ කිරීම අත්‍යාවශ්‍ය ද බැවිනි. එකම වටයකින් කෙළවර දුටු
මහනුවර ජාත්‍යන්තර සිනමා උළෙල හා ඇදහිය නොහැකි ආකර්ෂණයක් සමගවිත් ඇදහිය නොහැකි
ලෙසම අතුරුදන් වූ කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල අභියස තවමත් යාපනය සිනමා උළෙල මහත්
සැණකෙළි සරින් නොවූව ද, වසර 5ක් තිස්සේ ස්ථිරසාරව ඉදිරියට පැමිණ ඇත.
යාපනය ජාත්‍යන්තර සිනමා උළෙලේ මා දකින
වැදගත් අංග කිහිපයකි. ඒ අතුරින් මා ඉහළම අංකයක තබන්නේ, ඇතැම් විට සාපේක්ෂව වෘතාන්ත
චිත්‍රපටවලට තරම් ප්‍රේක්ෂක අවධානයක් නොලැබෙන, කෙටි චිත්‍රපට අංශයයි. දේශීය හා
ජාත්‍යන්තර දෙඅංශයකින් වෙන්ව තරගකාරී අංශ පැවැත්වෙන කෙටි චිත්‍රපට තරගාවලියේ ඇති
සුවිශේෂත්වය නම් ජාත්‍යන්තර මට්ටමේ කෙටි චිත්‍රපට මෙරට, විශේෂයෙන් උතුරේ, ප්‍රේක්ෂාගාරය
වෙත පැමිණීමත්, ඒ හා සමග ස්වකීය අත්දැකීම් කෙටි සිනමාපටයක් ඔස්සේ ප්‍රකාශ කරමින්
එය ජාත්‍යන්තර සිනමා වේදිකාවක තබන්නට එම කලාපීය නවමු සිනමාකරුවන්ට ලැබෙන අවකාශයත්
ය. දැනට වසර තුනකට පෙර, දෙවැනි ජාත්‍යන්තර සිනමා උළෙල සමයේ කෙටි චිත්‍රපට විශාල
ගණනක් තරගයට ඉදිරිපත් කරන්නට තනා තිබුණු විමල් රාජ් නම් තරුණ කෙටි චිත්‍රපටකරුවෙකු
ගැන උළෙල සංවිධායකයින් මා සමග සඳහන් කළ අයුරු මට මතක ය.
“යුද්ධෙ ඉවර වුණාට පස්සෙ එයාලට කියන්න කතා මහ ගොඩක්. එයාල අරන් එන්නෙ චිත්‍රපටි දුසිම් ගණං. එච්චර ඉක්මනට ෆිල්ම් හදන්න බැරි බව ඇත්ත. ඒත් ඒ කතාවල තේමා හරිම ෂොකින්!“
“යුද්ධෙ ඉවර වුණාට පස්සෙ එයාලට කියන්න කතා මහ ගොඩක්. එයාල අරන් එන්නෙ චිත්‍රපටි දුසිම් ගණං. එච්චර ඉක්මනට ෆිල්ම් හදන්න බැරි බව ඇත්ත. ඒත් ඒ කතාවල තේමා හරිම ෂොකින්!“
මා කෙටි චිත්‍රපට ජූරියේ කටයුතු කළ තෙවැනි
වසරේ දී දේශීය අංශයේ අවසන් වටය නියෝජනය කළ මධි සුදාර් නමැති තවත් තරුණ සිනමාකරුවකුගේ
චිත්‍රපටයක තේමාව වී තිබුණේ එල්ටීටීඊයේ භටයෙකුව සිට යුද්ධය නිමවීමෙන් අනතුරුව යළි
ගම්බිම් වෙත ආ තරුණයෙකු මුහුණ දෙන ඛේදවාචකයයි. නම සිහියට නොනැගෙන තවත් තරුණ
සිනමාකරුවෙකු විශ්මිත ලෙස මුහුදු දර්ශන ද සමගින් යාපන කලාපීය ධීවරයින්ගේ ජීවිත
මුහුණ දී ඇති අර්බුද හා ඉන්දීය ධීවරයින්ගේ බලය හමුවේ ඔවුන්ගේ ක්ෂුද්‍ර බව ආකර්ෂණීය
ලෙස තිරය මත ඇඳ දක්වා තිබිණ.
උළෙලේ අනෙත් වැදගත් අංගයන් අතර මෙරට
සිනමාකරුවන්ගේ ප්‍රමුඛයින්ගෙන් අයෙකුගේ සිනමා කෘති එකතුවක් වෙත නැවත හැරීම, යාපන
කලාපය හා බැඳුණු සිනමාකරුවන්ගේ කෘති එළිදැක්වීම, දේශීය හා/හෝ ජාත්‍යන්තර වාර්තා
චිත්‍රපට ප්‍රදර්ශන මාලාව, විශ්ව සම්භාව්‍ය කෘති හා සමකාලීන විශිෂ්ට සිනමා කෘති ප්‍රදර්ශනය,
සිනමා වැඩමුළු සහ ප්‍රවීණයින්ගේ පන්ති, සිනමාවේ විශිෂ්ටතමයින්ට යාවජීව සිනමා සම්මාන
පිරිනැමීම මෙන්ම අධ්‍යක්ෂවරුන්ගේ පළමු සිනමා කෘති එකතුවක් හමුවේ පැවැත්වෙන තරගකාරී
සිනමා අංශය ද වෙයි.
ආචාර්ය ධර්මසේන පතිරාජ මිය යන්නට මාස
කිහිපයකට පෙර පැවති තෙවැනි ජාත්‍යන්තර සිනමා උළෙලේ දී ඔහුගේ කෘති එකතුවක් වෙත නැවත
හැරී, ඉන් ද නොනැවතී ඔහු වෙත යාවජීව සම්මානය ද පුද කළේ ය. මෙවර එම යාවජීව සම්මානය
සම්මාන ද්විත්වයක් ලෙස ස්වර්ණා මල්ලවආරච්චි වෙත ද, ඉන්දීය ජාතික සම්මානලාභී සිනමා විචාරක වී.කේ.
ජෝෂප් වෙත ද පිරි නැමෙන්නට නියමිත අතර නැවත හැරී බලන සිනමා දැක්ම ප්‍රසන්න
විතානගේගේ කෘති වෙත හැරී ඇත. ඒ හැරුණු විට, ප්‍රවීණයන්ගේ පන්ති දෙකක්, එක්
වැඩමුළුවක්, දින ගණනාවක් මුළුල්ලේ අතරතුර සමයන්හිදී යළි මුණගැසෙන කෙටි චිත්‍රපට
දර්ශනවාර ගණනාවක්, චිත්‍රපට 10කින්
සමන්විත තරගකාරී අංශයක් සමග තවත් චිත්‍රපට රාශියක් සමගින් මෙවර ද සිනමා උළෙල ප්‍රේක්ෂාගාරය
අභියසට පැමිණ ඇත.
මැජෙස්ටික් සිනමා සංකීර්ණය, යාපනය විශ්වවිද්‍යාලයීය
කයිලාසපති ශ්‍රවණාගාරය, බ්‍රිතාන්‍ය මණ්ඩලය හා ඇමරිකානු මධ්‍යස්ථානය යන යාපන නගර
කේන්ද්‍ර ස්ථාන 4ක හමුවන උළෙල එක් අතෙකින් මෙරට හා විදේශ සිනමාකරුවන් හා සිනමාව හා
සබැඳි ක්‍රියාධරයින් එකම කලාපයක ආසන්න දිනවල හමුවිය හැකි අනගි බිමකි. මා එහි ගිය
අවසන් වතාවේ දී ලාංකික සිනමාවේ දෙවැනි හැරවුම් ලක්ෂ්‍යය තැනූ ආචාර්ය පතිරාජ,
පසුපරපුරේ ප්‍රමුඛයින් වූ ප්‍රසන්න විතානගේ සහ අශෝක හඳගම, විසි එක්වැනි සියවසේ
මෙරට සිනමාවේ රුවගුණ තීරණය කරන්නට දායකව සිටින සංජීව පුෂ්පකුමාර, ප්‍රියන්ත
කළුආරච්චි, සිවමෝහන් සුමති, යාපනයේ සිට යුධ සමයේ පටන්ම සිනමාව හා අරගල කළ
කේසවරාජන් නවරත්නම් මෙන්ම අනාගතයේ දී වෘතාන්ත සිනමාකරුවන් ලෙස යාපන බිමේ සිට
නැගෙන්නට නියමිත වතීෂ් වරුණන්, ආනන්ද රමනන් ඇතුළු ප්‍රවීණ හා අංකුර සිනමාකරුවන්
රැසක් මුණගැසිණ. ඒ යාපන විශ්වවිද්‍යාලයේ සහෝදර කථිකාචාර්යවරුන් වන සාමිනාදන්
විමල්, පාක්‍යනාදන් අහිලන්, ටී. සනාතනන්, සිවසුබ්‍රමනියම් රඝුරාම් වැන්නන් හා
සිංගප්පූරු සිනමා උළෙලේ අධ්‍යක්ෂවරයා වන පිලිප් චෙයා, දකුණු ඉන්දීය සම්මානනීය
සිනමාකරු රාම් ආදීන්ට අමතරව ය.
ඒ සියල්ලටම වඩා යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල
අපට මුණගස්වන අනගිතම දෙය පිළිබඳ මා මින් පෙර ද ඔබට ලියා ඇත. ඒ මේ කුඩා සිනමා
අවකාශවලට ඔබ්බෙන් හමුවන, දශක ගණනක් මුළුල්ලේ අප නොදුටු, යුද්ධය විසින් වසන් කොට
තැබූ හා විනාශය වෙත තල්ලු කළ යාපනයේ ජන ජීවිතයයි. චිත්‍රපටයක් හෝ දෙකක් මග හැර,
‘ජීවිතය‘ දකින්නට පයින් නගරය දෙසට හෝ අනෙත් අන්තයට ඇවිද යන්නන්ට හමුවන දෙයයි. ඔබට
එහි යන්නට ආරාධනා කළ ද කාර්යබහුලත්වය හේතුවෙන් මෙවර ඒ මග හැරෙන්නට මට ඉඩ ඇති
හෙයින් ඉදිරි දිනවල මිතුරන් මගෙන් ඇසූ විට හිත දවන පැනය මෙයම වනු ඇත.
“යාපනේ ගියා ද?“
-ප්‍රියන්ත ෆොන්සේකා -
No comments:
Post a Comment