Showing posts with label යාපන ජාත්‍යන්තර සිනමා උළෙල. Show all posts
Showing posts with label යාපන ජාත්‍යන්තර සිනමා උළෙල. Show all posts

Wednesday, January 20, 2021

උතුරේ මවුවරු ද දකුණේ මවුවරු ලෙසම වැළපෙති’

 

උතුරේ විසූ දමිළ සිනමාකරුවෙකු වූ කේසවරාජන් නවරත්නම් මහතා පසුගිය දා අභාවප්‍රාප්ත විය. මේ ඔහු https://thecatamaran.org වෙබ් අඩවිය වෙනුවෙන් ශිවන්ති ප්‍රනාන්දු සමග 2017 දී සිදු කළ සාකච්ඡාවක සිංහල පරිවර්තනයකි. මෙය 'යුද්ධය ගැන මගෙත් වගකීමක් තියෙනවා' යන මැයෙන් 2021 ජනවාරි 17 වැනි දින 'රාවය' පුවත්පතෙහි පළ විය. 



කැටමරන්:  ඔබට පුළුවන් ද ඔබේ අලුත්ම චිත්‍රපටය ‘පනෙයිමරකාඩු’ ගැන අපිට යමක් කියන්න?

නවරත්නම්: මේකෙ ප්‍රධාන තේමාව සිවිල් යුද්ධෙන් පස්සෙ මෙහෙ යුද්ධය නිසා වැන්දඹුවන් බවට පත්වුණු අය මුහුණ දෙන අභියෝග. ඉන්දියානු නිෂ්පාදන සමාගමක් මුදල් ලබා දීලා චිත්‍රපටය හදන්න උදව් කළත් ගොඩක් ප්‍රශ්න තිබුණා. චිත්‍රපටය හදන්න අවුරුදු දෙකක් විතර ගියා. ඒත් මම බලාපොරොත්තු වෙනව ඉක්මණින්ම ඒක පෙන්වන්න.

කැටමරන්: ඔබ විමුක්ති කොටි සංවිධානය වෙනුවෙන් චිත්‍රපට හදල තියෙනවා. දමිළ සමාජයේ මිනිස්සු වෙනුවෙන් ‘සටන්’ කරන්න හෝ කතා කරන්න තියෙන එකම විදිහ ඒක ද?

නවරත්නම්:  ඒ කාලෙත් මම ආයුධ සන්නද්ධ අරගල පිළිබඳ අදහසට විරුද්ධ වුණා. නමුත් මම කොටි සංවිධානයට වැඩ කළා. මම ඔවුන් වෙනුවෙන් මගේ පළවෙනි චිත්‍රපටය හැදුවෙ 1986 සහ 1987 කාලෙ. ඉන් පස්සෙ දිගටම එයාල උදව් කළා.  

මට තවමත් දෙමළ මිනිස්සුන්ගෙ වේදනාව දැනෙනවා. ගැටළු තාමත් විසඳිලා නැහැ වගේම විසඳෙන්නත් ඕනෙ. දැන් මම මුළු රටටම චිත්‍රපටි හදනව. මට ඕනෙ හැමෝම මගේ චිත්‍රපටි බලන්න. මම කොටි සංවිධානයට වැඩ කරන්න කලිනුත් චිත්‍රපටි හැදුව වගේම ඉන් පස්සෙත් චිත්‍රපටි හදනව.

කැටමරන්: දැන් යාපනෙන් හැදිල එන චිත්‍රපට ඔබට දැනෙන්නෙ කොහොම ද?

නවරත්නම්: උනන්දුව මැකිල ගිහිල්ල තියෙනවා. ඉන්දියානු සිනමාවෙන් ආක්‍රමණය කෙරෙන උතුරෙ සිනමාව රැකගන්න අවශ්‍යයි.

කැටමරන්: සිවිල් යුද්ධෙ අවුරුදු 8කට කලින් ඉවර වුණා. ඔබ තාම කොළඹ තියෙන විරෝධතාවලට සහභාගි වෙනවා. ඒ ඇයි?

නවරත්නම්: මිනිස්සුන්ට සිවිල් යුද්ධෙ නිසා ගොඩක් ප්‍රශ්න ඇති වුණා. එයාලට එයාලගෙ දරුවො අහිමි වුණා. එයාල දන්නෙ නෑ දරුවන්ට මොකක්ද වුණේ කියලවත්. යුද හමුදාව එයාලගෙ ඉඩම් අත්පත් කරගත්තා. ඉතින් මිනිස්සුන්ට මේ ප්‍රශ්නවලට උත්තර ඕනෙ. අපිට කියන්න බෑ එයාලගෙ ප්‍රශ්න විසඳුනා කියලා.

කැටමරන්: සිවිල් යුද්ධය ගැන හැදෙන චිත්‍රපටි ගැන ඔබේ අදහස මොකක් ද?

 නවරත්නම්: සමහර චිත්‍රපටිවල දෙමළ මිනිස්සු ගැන බොරු කියනවා. මම හිතන්නෙ නෑ යාපනේ ගැන නොදන්න කෙනෙකුට යාපනේ ගැන චිත්‍රපටියක් හදන්න පුළුවන් කියලා. මෙහෙ වටපිටාව නොදැක කොහොමද මෙහෙ ගැන චිත්‍රපටි හදන්නෙ?

කැටමරන්: දෙමළ මිනිස්සු දැන් මුහුණ දීල ඉන්න දේශපාලන තත්වය ගැන අදහසක් තියෙනව ද?

 

නවරත්නම්: තවමත් දෙමළ මිනිස්සුන්ට යුක්තිය ඉෂ්ට වෙලා නැහැ. සිංහල වගේම දෙමළ දෙපැත්තෙම දේශපාලනඥයො මිනිස්සුන්ගෙ ප්‍රශ්න ගැන කතා කරල පස්සෙ අමතක කරල දානවා. කතා කරනවට වඩා යමක් කරන්නයි ඕනෙ.

අපි, දෙමළ මිනිස්සු, හැමවෙලාවෙම දෙමළ දේශපාලකයින්ට ඡන්දෙ දුන්නෙ එයාල මිනිස්සු වෙනුවෙන් යමක් කරයි කියල හිතාගෙන. නමුත් කවදාවත් මුකුත් වෙලා නැහැ. 

එයාල බලයට ආවට පස්සෙ ලේසියෙන්ම ඡන්ද දායකයින්ව අමතක කරල දානව. දේශපාලකයො කරන්නෙ එයාලගෙ කොටස ලොකු කරගන්න එක.

කැටමරන්: ලංකාවේ සිනමා අධ්‍යක්ෂවරු ගොඩක් විදේශ සිනමා සමාගම් එක්ක වැඩ කරන්න රට හැරදාල ගිහින් තියෙනවා. ඔබ ඒ පාර තෝරගෙන නැහැ.

නවරත්නම්: මේ යුද්ධයට මගේ වගකීමක් තියෙනව කියන හැඟීම මගේ ඇතුලෙ තියෙනව. තමන්ගෙ දරුවො අහිමි වෙච්ච දකුණෙ අම්මලා අඬන විදිහටමයි තමන්ගෙ දරුවො අහිමි වෙච්ච උතුරෙ අම්මලා අඬන්නෙ. මට හිතෙනව මම මෙහෙ ඉඳල එයාලට උදව් කරන්න ඕනෙ කියල.

https://thecatamaran.org වෙබ් අඩවිය වෙනුවෙන් සංවාදය: ශිවන්ති ප්‍රනාන්දු

පරිවර්තනය: ප්‍රියන්ත ෆොන්සේකා

සේයාරුව:  https://www.aithiya.lk 


 

Tuesday, September 10, 2019

යාපනේ ගියා ද?


(2019 සැප්තැම්බර් 08 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

මේ ලිපිය ඔබ කියවන්නට ඉඩ ඇති මුල්ම දිනය වන සැප්තැම්බර් 06 වෙනි සිකුරාදාව වන විට ඔබ යාපනේ ගියාදැයි මා අසන පැනයට මුල් වන නිමිත්තෙහි කාලයෙන් දින 03ක්ම ගෙවී අවසන් ය. එහෙත්, අවැසිම නම්, හෙට උදෑසනම හෝ, කොළඹින් නැතිනම් තදාසන්න නගරයකින් පිටත්වන බසයක හෝ දුම්රියක නැග ඔබට යාපනයට යා හැක. ඒ ‘යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ‘ ඉදිරි දින කිහිපය හා සමග හෝ එක්වීමට ය. සමාරම්භක උළෙලේ සිට තුන්වැන්න දක්වාම උළෙලෙහි එක් එක් කලාප හා සමග ඇවිද යමින්, වරෙක සාමාන්‍ය ප්‍රේක්ෂකයෙකු ලෙස ද, තවත් වරෙක කෙටි චිත්‍රපට අංශයේ ජූරි සභිකයෙකු ලෙස ද වශයෙන්, උළෙලෙහි අසිරිය විඳි අයෙකු ලෙස ඉදිරි දින කිහිපය හෝ ඔබ එහි ගත කරන්නේ නම් එය මහරු මතකයන් ගණනාවක් එක් කරනු ඇති බවට සැක හැර කියනු කැමැත්තෙමි.

2009 වර්ෂයේ දී යුද්ධය ‘කෙළවර‘ වූයේ උතුරු කලාපයේ පුරවැසියන්ගෙන් බහුතරයකටත්, දකුණු කලාපයේ සාපේක්ෂ වශයෙන් සුළුතරයකටත්, වෙන්වීම, අහිමි වීම, මනෝ භ්‍රාන්තිය, ක්ෂිතිය, කම්පනය ආදී පශ්චාත් යුධ සමයක නියත තත්වයන් හා මනෝ ව්‍යාධීන් උරුම කර දෙමිනි. යටත් පිරිසයෙන් ඉදිරි වසර 60-70ක කාලය තුළ හෝ මෙම ව්‍යාධීන්ගෙන් සෘජුව බලපෑම් ලද ප්‍රජාව ද, නොගිනිය හැකි වසර ගණනාවක් ඉදිරියේ දී එහි වක්‍ර බලපෑම් ලද ප්‍රජාව ද උතුරු (හා දකුණු) ඉම් බිම් වෙත හමුවීම නොවැළැක්විය හැක්කකි. යටකී බොහෝ කම්පනයන්ට ස්ථිරසාර පිළිතුරු කිසිසේත් නොසෙවිය හැකි වුවත්, කලාව හරහා එම සමාජය වෙත සමහන් සිතුවිලි මුණගැස්වීම වුව පැසසිය යුත්තකි. ඒ හා සමග, අප සියල්ලෝම යාපනයට ගොස් මෙහි සෘජු වේදනාකාරී ව්‍යසනයන්ට මුහුණ දුන් ප්‍රජාව සමග යාපනය ජාත්‍යන්තර සිනමා උළෙලේ අසුන් ගැනීම හා ඔවුන් හා සමග ජීවිතය බෙදා ගැනීම ඒ දැඩි කම්පනකාරී අතීතයෙන් මිදී යළි ජීවිතය වෙත පිය එසවීමට ඔවුන් වෙත සෙනෙහසේ දෑත් දිගු කිරීමකි.

මෙම තීරය ඔස්සේ පසුගිය වසරේත් ‘යාපන සිනමා උළෙලේ තාප්පයෙන් ඔබ්බට යන‘ යන මැයෙන් උළෙල පිළිබඳ සංවාදයට ඔබට ඇරයුම් කළ ද යළි වසරක ඇවෑමෙන් එහි නවමු හෙවත් පස්වන පියවර ගැන ලිවීම කිසිසේත් නොඅදාල යැයි නොසිතන්නේ ඉහත සඳහන් හේතුව මෙන්ම සිනමාලෝලීන් ලෙස අපට හමුවන එකම ජාත්‍යන්තර සිනමා උළෙලේ චිර පැවැත්ම වෙනුවෙන් අදහස් පළ කිරීම අත්‍යාවශ්‍ය ද බැවිනි. එකම වටයකින් කෙළවර දුටු මහනුවර ජාත්‍යන්තර සිනමා උළෙල හා ඇදහිය නොහැකි ආකර්ෂණයක් සමගවිත් ඇදහිය නොහැකි ලෙසම අතුරුදන් වූ කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල අභියස තවමත් යාපනය සිනමා උළෙල මහත් සැණකෙළි සරින් නොවූව ද, වසර 5ක් තිස්සේ ස්ථිරසාරව ඉදිරියට පැමිණ ඇත. 

යාපනය ජාත්‍යන්තර සිනමා උළෙලේ මා දකින වැදගත් අංග කිහිපයකි. ඒ අතුරින් මා ඉහළම අංකයක තබන්නේ, ඇතැම් විට සාපේක්ෂව වෘතාන්ත චිත්‍රපටවලට තරම් ප්‍රේක්ෂක අවධානයක් නොලැබෙන, කෙටි චිත්‍රපට අංශයයි. දේශීය හා ජාත්‍යන්තර දෙඅංශයකින් වෙන්ව තරගකාරී අංශ පැවැත්වෙන කෙටි චිත්‍රපට තරගාවලියේ ඇති සුවිශේෂත්වය නම් ජාත්‍යන්තර මට්ටමේ කෙටි චිත්‍රපට මෙරට, විශේෂයෙන් උතුරේ, ප්‍රේක්ෂාගාරය වෙත පැමිණීමත්, ඒ හා සමග ස්වකීය අත්දැකීම් කෙටි සිනමාපටයක් ඔස්සේ ප්‍රකාශ කරමින් එය ජාත්‍යන්තර සිනමා වේදිකාවක තබන්නට එම කලාපීය නවමු සිනමාකරුවන්ට ලැබෙන අවකාශයත් ය. දැනට වසර තුනකට පෙර, දෙවැනි ජාත්‍යන්තර සිනමා උළෙල සමයේ කෙටි චිත්‍රපට විශාල ගණනක් තරගයට ඉදිරිපත් කරන්නට තනා තිබුණු විමල් රාජ් නම් තරුණ කෙටි චිත්‍රපටකරුවෙකු ගැන උළෙල සංවිධායකයින් මා සමග සඳහන් කළ අයුරු මට මතක ය.

“යුද්ධෙ ඉවර වුණාට පස්සෙ එයාලට කියන්න කතා මහ ගොඩක්. එයාල අරන් එන්නෙ චිත්‍රපටි දුසිම් ගණං. එච්චර ඉක්මනට ෆිල්ම් හදන්න බැරි බව ඇත්ත. ඒත් ඒ කතාවල තේමා හරිම ෂොකින්!“

මා කෙටි චිත්‍රපට ජූරියේ කටයුතු කළ තෙවැනි වසරේ දී දේශීය අංශයේ අවසන් වටය නියෝජනය කළ මධි සුදාර් නමැති තවත් තරුණ සිනමාකරුවකුගේ චිත්‍රපටයක තේමාව වී තිබුණේ එල්ටීටීඊයේ භටයෙකුව සිට යුද්ධය නිමවීමෙන් අනතුරුව යළි ගම්බිම් වෙත ආ තරුණයෙකු මුහුණ දෙන ඛේදවාචකයයි. නම සිහියට නොනැගෙන තවත් තරුණ සිනමාකරුවෙකු විශ්මිත ලෙස මුහුදු දර්ශන ද සමගින් යාපන කලාපීය ධීවරයින්ගේ ජීවිත මුහුණ දී ඇති අර්බුද හා ඉන්දීය ධීවරයින්ගේ බලය හමුවේ ඔවුන්ගේ ක්ෂුද්‍ර බව ආකර්ෂණීය ලෙස තිරය මත ඇඳ දක්වා තිබිණ.

උළෙලේ අනෙත් වැදගත් අංගයන් අතර මෙරට සිනමාකරුවන්ගේ ප්‍රමුඛයින්ගෙන් අයෙකුගේ සිනමා කෘති එකතුවක් වෙත නැවත හැරීම, යාපන කලාපය හා බැඳුණු සිනමාකරුවන්ගේ කෘති එළිදැක්වීම, දේශීය හා/හෝ ජාත්‍යන්තර වාර්තා චිත්‍රපට ප්‍රදර්ශන මාලාව, විශ්ව සම්භාව්‍ය කෘති හා සමකාලීන විශිෂ්ට සිනමා කෘති ප්‍රදර්ශනය, සිනමා වැඩමුළු සහ ප්‍රවීණයින්ගේ පන්ති, සිනමාවේ විශිෂ්ටතමයින්ට යාවජීව සිනමා සම්මාන පිරිනැමීම මෙන්ම අධ්‍යක්ෂවරුන්ගේ පළමු සිනමා කෘති එකතුවක් හමුවේ පැවැත්වෙන තරගකාරී සිනමා අංශය ද වෙයි.

ආචාර්ය ධර්මසේන පතිරාජ මිය යන්නට මාස කිහිපයකට පෙර පැවති තෙවැනි ජාත්‍යන්තර සිනමා උළෙලේ දී ඔහුගේ කෘති එකතුවක් වෙත නැවත හැරී, ඉන් ද නොනැවතී ඔහු වෙත යාවජීව සම්මානය ද පුද කළේ ය. මෙවර එම යාවජීව සම්මානය සම්මාන ද්විත්වයක් ලෙස ස්වර්ණා මල්ලවආරච්චි වෙත ද,  ඉන්දීය ජාතික සම්මානලාභී සිනමා විචාරක වී.කේ. ජෝෂප් වෙත ද පිරි නැමෙන්නට නියමිත අතර නැවත හැරී බලන සිනමා දැක්ම ප්‍රසන්න විතානගේගේ කෘති වෙත හැරී ඇත. ඒ හැරුණු විට, ප්‍රවීණයන්ගේ පන්ති දෙකක්, එක් වැඩමුළුවක්, දින ගණනාවක් මුළුල්ලේ අතරතුර සමයන්හිදී යළි මුණගැසෙන කෙටි චිත්‍රපට දර්ශනවාර ගණනාවක්,  චිත්‍රපට 10කින් සමන්විත තරගකාරී අංශයක් සමග තවත් චිත්‍රපට රාශියක් සමගින් මෙවර ද සිනමා උළෙල ප්‍රේක්ෂාගාරය අභියසට පැමිණ ඇත.

මැජෙස්ටික් සිනමා සංකීර්ණය, යාපනය විශ්වවිද්‍යාලයීය කයිලාසපති ශ්‍රවණාගාරය, බ්‍රිතාන්‍ය මණ්ඩලය හා ඇමරිකානු මධ්‍යස්ථානය යන යාපන නගර කේන්ද්‍ර ස්ථාන 4ක හමුවන උළෙල එක් අතෙකින් මෙරට හා විදේශ සිනමාකරුවන් හා සිනමාව හා සබැඳි ක්‍රියාධරයින් එකම කලාපයක ආසන්න දිනවල හමුවිය හැකි අනගි බිමකි. මා එහි ගිය අවසන් වතාවේ දී ලාංකික සිනමාවේ දෙවැනි හැරවුම් ලක්ෂ්‍යය තැනූ ආචාර්ය පතිරාජ, පසුපරපුරේ ප්‍රමුඛයින් වූ ප්‍රසන්න විතානගේ සහ අශෝක හඳගම, විසි එක්වැනි සියවසේ මෙරට සිනමාවේ රුවගුණ තීරණය කරන්නට දායකව සිටින සංජීව පුෂ්පකුමාර, ප්‍රියන්ත කළුආරච්චි, සිවමෝහන් සුමති, යාපනයේ සිට යුධ සමයේ පටන්ම සිනමාව හා අරගල කළ කේසවරාජන් නවරත්නම් මෙන්ම අනාගතයේ දී වෘතාන්ත සිනමාකරුවන් ලෙස යාපන බිමේ සිට නැගෙන්නට නියමිත වතීෂ් වරුණන්, ආනන්ද රමනන් ඇතුළු ප්‍රවීණ හා අංකුර සිනමාකරුවන් රැසක් මුණගැසිණ. ඒ යාපන විශ්වවිද්‍යාලයේ සහෝදර කථිකාචාර්යවරුන් වන සාමිනාදන් විමල්, පාක්‍යනාදන් අහිලන්, ටී. සනාතනන්, සිවසුබ්‍රමනියම් රඝුරාම් වැන්නන් හා සිංගප්පූරු සිනමා උළෙලේ අධ්‍යක්ෂවරයා වන පිලිප් චෙයා, දකුණු ඉන්දීය සම්මානනීය සිනමාකරු රාම් ආදීන්ට අමතරව ය.

ඒ සියල්ලටම වඩා යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල අපට මුණගස්වන අනගිතම දෙය පිළිබඳ මා මින් පෙර ද ඔබට ලියා ඇත. ඒ මේ කුඩා සිනමා අවකාශවලට ඔබ්බෙන් හමුවන, දශක ගණනක් මුළුල්ලේ අප නොදුටු, යුද්ධය විසින් වසන් කොට තැබූ හා විනාශය වෙත තල්ලු කළ යාපනයේ ජන ජීවිතයයි. චිත්‍රපටයක් හෝ දෙකක් මග හැර, ‘ජීවිතය‘ දකින්නට පයින් නගරය දෙසට හෝ අනෙත් අන්තයට ඇවිද යන්නන්ට හමුවන දෙයයි. ඔබට එහි යන්නට ආරාධනා කළ ද කාර්යබහුලත්වය හේතුවෙන් මෙවර ඒ මග හැරෙන්නට මට ඉඩ ඇති හෙයින් ඉදිරි දිනවල මිතුරන් මගෙන් ඇසූ විට හිත දවන පැනය මෙයම වනු ඇත.

“යාපනේ ගියා ද?“

-ප්‍රියන්ත ෆොන්සේකා -  


Tuesday, October 16, 2018

යාපන සිනමා උළෙලේ තාප්පයෙන් ඔබ්බට!



(2018 ඔක්තෝබර් 14 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

“ඔබ ගිහින් චිත්‍රපටය කරන්න. විශ්වවිද්‍යාලයට කීර්තිය විතරක් අරගෙන එන්න!“

සිංහල සිනමාවේ දෙවැනි සුසමාදර්ශය තනන්නට දායක වූ බැව් පිළිගැනෙන ධර්මසේන පතිරාජයන් ‘බඹරු ඇවිත්‘ චිත්‍රපටය තැනීම සඳහා විශ්වවිද්‍යාලයෙන් නිවාඩු අනුමත කරගන්නට උපකුලපතිවරයා මුණගැසුණු මොහොතේ ඔහුට ලැබුණු පිළිතුරයි ඒ. උපකුලපතිවරයා මහාචාර්ය කෛලාසපති ය; විශ්වවිද්‍යාලය යාපනය විශ්වවිද්‍යාලය ය; කාල සමය 1976 පමණ වන්නට ඇත.


එවකට ධර්මසේන පතිරාජයන් යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ කථිකාචාර්යවරයකු ලෙස සේවය කරමින් උන් බවත්, යාපනය විශ්වවිද්‍යාලය ඔහුගේ ශාස්ත්‍රීය හා කලා භාවිතයන් පිළිබඳ මැදිහත්වීම්වලට දැඩිව ගරු කළ හා ඇගයූ බවත් අප අසා, කියවා ඇත. මේ වසරේ මුල් මාසයේ ඔහු මියයන්නට මාස කිහිපයකට පෙර යළි ඔහු යාපනය වෙත ආවේ ය. ඒ වන විටත් දැඩිව රෝගාතුරව උන් ඔහු, අතරමග විඩා හරිමින්, දින දෙකක ගමනකින් පසු යාපනයට සේන්දු වූයේ යාපනයෙන් ඔහු වෙත පිදුණු විසල් ඇගයීමක් පිළිගන්නට ය. යාපනය අන්තර්ජාතික සිනමා උළෙල සිය තුන්වන පියවරෙහිදී සිනමාව කෙරෙහි ලබාදුන් දායකත්වය අරභයා යාවජීව සම්මානය ඔහු වෙත පිරි නැමූ අතර, අසීරුවෙන් නමුත්, සෘජුව නැගී සිටිමින්, තුටු කඳුළු පිරි දෙනෙතින්, ඔහු එය ලබා ගත්තේ ය.

පතිරාජයන් යාපන සිනමා උළෙලින් සම්මානය ලබාගත් පසු

නුදුරු අනාගතයක ගොඩ නැගෙන්නට නියමිත කිසියම් අරගලයක පෙර නිමිති ඉවෙන් මෙන් හඳුනාගනිමින් නමුත් වඩාත් දැඩිව උතුරු අර්ධද්වීපයේ ජන ප්‍රජාව හා බැඳෙමින් පතිරාජයන් එහි විශ්වවිද්‍යාලය තුළත් ඉන් පිටතත් කටයුතු කළ බව අද ද ඉඳහිට මුණගැසෙන, ඔහුගේ සමකාලීන යාපනයේ විද්වත්හු ප්‍රකාශ කරති. යාපනයේ විදේශීය සිනමා සම්මාදම්වල සමාරම්භක මැදිහත්වීම්වල ද පතිරාජයන් වූ බව සාක්ෂි හමුවන්නේ අදූර් ගෝපාල්ක්‍රිෂ්නන්ගේ පළමු ශ්‍රී ලාංකික සිනමා දැක්ම සංවිධානය වන්නේ ඔහුගේ මූලිකත්වයෙන් යාපනයේ දී  බව අසන්නට ලැබෙන විට ය. ‘එයා දැන් ලොකු ළමයෙක්‘ මංගල දැක්ම පැවත්වෙන්නේ ද යාපනයේ ය. ‘පොන්මනි‘ නිමවමින් යාපන වැසියන්ගේ සමාජ ජීවිතය තමා විමසූ බව පතිරාජයන් අපට කියන්නේ ද යාපනයේ සිට ය. එවන් අතීතයක් ඇති පුරවරයක් යළි එළඹ, යාවජීව සම්මානයකින් ජීවිත ඉම් කෙළවරෙහිදී ඔහුට සංග්‍රහ කිරීමම සුවිශිෂ්ට ය. ඔහු කළ සම්මාදමට තුති පුද කළාක් වැනි ය.

විශිෂ්ට සිනමාකරුවෙකුගේ දායකත්වයක් වෙනුවෙන් යාපනය අන්තර්ජාතික සිනමා උළෙල ලබා දුන් දායකත්වය නිසා හෝ, වසර තුනක් මුළුල්ලේ සිනමා රසවතුන්, විද්‍යාර්ථීන් හා ප්‍රජාව වෙත දායක කළ අනර්ඝ සිනමා පට එකතුව නිසා හෝ නොලද අවධානයක් හා ජනප්‍රියත්වයක් යාපනය අන්තර්ජාතික සිනමා උළෙලට මෙවර හිමි විය. බොහෝ මාධ්‍ය ප්‍රවර්ග හා විශේෂයෙන් සමාජ මාධ්‍ය යාපනය පිළිබඳ සාකච්ඡාව යළි විවර කළේ එහි දකින්නට ලැබුණු විශිෂ්ට සිනමා කෘතියක් නිසා හෝ උළෙල සිදු කළ, ඉහත කාර්යයට සමාන ක්‍රියාකාරකමක් නිසා නොව උළෙලින් ඉවත් කෙරුණු සිනමා කෘතියක් හේතුවෙනි. එම ඛේදනීය ඉරණමට ගොදුරුව තිබුණේ ජූඩ් රත්නම් අධ්‍යක්ෂණය කළ ‘Demons in Paradise’ චිත්‍රපටයයි.

Demons in Paradise’ චිත්‍රපටය යාපනය අන්තර්ජාතික සිනමා උළෙලට තෝරාගැනීමෙන් අනතුරුව යළි ඉවත් කිරීම ප්‍රශ්න කළ යුත්තක් බවට කිසිදු විවාදයක් නැත. සියලු ආකාරයේ වාරණ ස්වරූප ප්‍රශ්න කරන්නට තරම් අප ශක්තිමත් වීම දියුණු සමාජයක් පිළිබඳ සිහින දකින්නන් ලෙස අප තුටු විය යුත්තකි. ඒ වාරණයට එරෙහිව යමින් ස්වකීය කෘතිය උළෙලෙන් ඉවත් කරගත් මාලක දේවප්‍රිය ගැනත්, සිය කෘතිය ඉවත් කරගන්නට නොහැකිවීම පිළිබඳ වේදනාව ලියා තබමින් සිය විරෝධය දැක්වූ චින්තන ධර්මදාස ගැනත්, සිය කෘතිය උළෙලට රැගෙන ගොස් එහි සංවාදය අතරතුර පෙර වාරණය ගැන අදහස් දැක්වූ කිං රත්නම් ගැනත් එකිනෙකට වෙනස් ස්වරූපයේ ඇගයීමක් මෙන්ම ගෞරවයක් ද මා තුළ ඇත. ඒ හා සමග, උළෙල සංවිධායකයින් ‘Demons in Paradise’ ඉවත් වූ ප්‍රදර්ශන කාලය වෙනත් කෘතියකින් නොපුරවමින්, එය ‘හිස් වූ‘ කාල සමයක් බවට පත් කිරීමට සංවිධායකයින් කටයුතු කිරීම, ඉරාන රජය සිරගත කළ සිනමාකරු ජෆාර් ෆනාහි වෙනුවෙන් කෑන්ස් සිනමා උළෙල හිස් ආසනයක් වෙන් කිරීම හා සමාන බව දක්වමින් අශෝක හඳගම තැබූ සටහන ද විමසිය යුත්තේ මේ සියල්ල ප්‍රකාශනයේ නිදහස සීමා කිරීම පිළිබඳ පුරවැසි විරෝධතා හා අරගලයන්හි විවිධ ස්වරූප ප්‍රතියමාන කරනා හෙයිනි.

එහෙත්, ‘Demons in Paradise’ ප්‍රදර්ශනය අත්හිටුවීමට විරෝධය පළ කරමින් ම, අප විමසා බැලිය යුතු කලාප ගණනාවක් එහි තව දුරටත් වන බව මාගේ අදහසයි. ඇත්තටම අප යාපනයට යා යුත්තේ, අපේ චිත්‍රපටය එහි ප්‍රදර්ශනය කොට හෝ වෙනත් කෘතීන් විමසා බලා, නගරයේ පැරණිතම ‘තෝසේ කඩයට‘ ගොඩ වැදී උළුදු වඩේ කා, තල් අරක්කු බී, යළි පසු දා කොළඹ එන්නට ද? නැතිනම්, යාපනය අන්තර්ජාතික සිනමා උළෙල සීමා කරන තාප්පයෙන් පැන තරමකින් හෝ වටපිට විමසන්නට ද?


සිනමාව හා කලාව ලැදි, ස්වකීය ජීවිතය යම් පෙරටුගාමී ප්‍රවේශයක තබා උදම් අනන, සැබවින්ම ක්‍රියාකාරීත්වය තුළ දී වුව එවැනි කටයුතු හා සම්මාදම් වන පුරවැසි ප්‍රජාවකට වසරකට වරක් යාපනයට පැමිණ, කලාව රසවිඳිමින්ම, එහි ජීවිතය විමසා බලන්නට අවස්ථාවක් යාපනය අන්තර්ජාතික සිනමා උළෙල උදා කර දෙන බව මගේ හැඟීමයි. යාපන නගර මධ්‍යයේ ඇති මැජෙස්ටික් සිනෙෆ්ලෙක්ස් සිනමා සංකීර්ණයේ වායුසමීකරණය කළ ශාලාවේ දී හෝ යාපනය විශ්වවිද්‍යාලයේ කෛලාසපති වායුසමීකරණය කළ ශ්‍රවණාගාරයේ දී හෝ රාමුකරන ලද අවකාශයක ඔබට ජීවිතය මුණගැසිය හැකි වුව, සිනෙෆ්ලෙක්ස් සංකීර්ණය ඉදිරිපිටින් වැටී ඇති රෝහල් මාවත ඔස්සේ වෙරළ දෙසට ඇවිද ගොස් හෝ විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ඇති මාවතෙහි එක් ඉමක් තෝරාගෙන ඇවිද ගොස් හෝ රාමු නොකරන ලද ජීවිතය හමුවීමට ද ඔබට හැකි බව අමතක නොකළ යුත්තකි. තිරයේ ජීවිතය කුඩා ය; රාමුගත ය; විනාඩි සියයකින් හමාරකින් කෙළවර වන සුළු ය. නමුත්, එළියේ ජීවිතය අපරිමිත ය; විශාල ය; කාල සීමාවලින් සීමාව හඳුනාගත නොහැකි තරම් ය.

ගෙවුණු වසර තුනේ දීම උළෙලෙහි නිත්‍ය සාමාජිකයකු වූ මම මේ වටපිට ‘රස්තියාදු‘ හරහා මුණගැසෙන ජීවිතය විඳින්නට ආශා කළෙමි. එය මවෙත ගෙන ආවේ පැහැදිලි කළ නොහැකි වේදනාවකි. යුද්ධය නිම වී වසර ගණනකින් පසු වුව, ජීවිතය සොයා ඇවිදින බොහෝ පිරිස් තවමත් එහි වෙයි. කවදා සිය හිමිකරු ඒ දැයි මග බලන මෙන් සිය සිරුර මතින් නැගී ඇති විසල් රුක්ෂවලට කොඳුරන ගරා වැටුණු නිවාස එහි වෙයි.
සිනමා උළෙලක් සංවිධානය අසීමිත වෙහෙසක් බව උළෙල සංවිධායකයින් හා සමීපව කටයුතු කර ඇති මම හොඳින් දනිමි. උළෙල වාර්ෂිකව ගෙනෙන අනෝමා රාජකරුණා ප්‍රමුඛ පිරිසෙහි කැපවීමත්, ඔවුන් නැති තැන ඔවුන් වෙත සංග්‍රහ කරන පරුෂ වචනත්, ඇති තැන වන වැළඳ ගැනීමුත් මා ඇසින් දැක ඇත. කෙසේ වුවත් ඒ සංවිධානය යනු අපරිමිත කාර්යයකි. කෙළවර හමු වන්නේ මනා මහරු උළෙලකි. එය අපට ලොව වටා මානව දයාවෙන් පිරි සිනමාකරුවන් රැසකගේ කෘති වාර්ෂිකව මුණගස්වයි.

කෙසේ වුවත්, අගනුවරින් නික්ම අප යාපනයට යා යුත්තේ උළෙල තාප්පයෙන් ඔබ්බට පනින්නටත් තත්‍ය යාපන ජීවිතය දෙස සුළු හෝ බැල්මක් හෙළන්නටත් ඉඩ තබා ගනිමිනි. වාරණයට එරෙහි වෙමු. ඒ හා සමග අපට ඇති එකම ජාත්‍යන්තර සිනමා උළෙල රැක ගනිමු. වසරකට වරක් හෝ සිනමා අවකාශය වෙතටත්, ඉන් ඔබ්බටත්, අප මේ ‘ජීවිත සංචාරයේ‘ යෙදුණහොත් පතිරාජයන්ගේ තුටු කඳුළෙහි අරුත වැටහී යනු ඇත. කෛලාසපති මහාචාර්යවරයා දුටු ‘කීර්තිය‘ කවරේදැයි පෙනී යනු ඇත‍.


-ප්‍රියන්ත ෆොන්සේකා -  

Friday, October 6, 2017

තල් අරණේ මහා සිනමා මංගල්‍යය: යාපන ජාත්‍යන්තර සිනමා උළෙල ගැන පසුවදනක්

‘යෙලෝ බර්ඩ්‘ චිත‍්‍ර‍පටයෙන්...
(මෙම ලිපිය ඉරිදා රිවිර පුවත්පතේ ‘රඟමඬල‘ අතිරේකය වෙනුවෙන් ලියන ලදුව පසුගිය ඔක්තෝබර් 01 වැනි දින පළ විය.)

කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලෙහි අනාගතය අවිනිශ්චිතව පවතින මොහොතක යාපන ජාත්‍යන්තර සිනමා උළෙල සිය තුන්වැනි පියවර සාර්ථකව කෙළවර කළේ ය. 2015 වර්ෂයේ දී ඇරඹ, වාර්ෂික උළෙලක් ලෙසින් දිවෙන යාපනයේ මේ මහා සිනමා මංගල්‍යය, වාර්ෂිකව, දකුණු වාසීන්ගේ සුපුරුදු සවාරිවලින් වෙනස් මගක් ගනිමින් යාපනය වෙත ඇවිද යන්නට හා එහි සරන්නට මට ආරාධනා කර ඇති බැවින් ඒ පිළිබඳව පසුවදනක් ලියා දෙන්නැයි මෙම පිටුවෙහි සංස්කාරකවරයා කළ ඉල්ලීම පසෙක දමන්නට නොහැකි හැඟීමක් මසිත ජනිත විය. මෙම කෙටි ලියැවිල්ල‍ පසුගිය සැප්තැම්බර් මස 15 වැනි දින සිට 20 වැනි දින දක්වා, පුරා දින හයක් යාපනයේ මැජෙස්ටික් සිනමා සංකීර්ණය, යාපන විශ්වවිද්‍යාලයේ කයිලාසපති ශ්‍ර‍වණාගාරය සහ හැටන් නැෂනල් බැංකු ශ්‍ර‍වණාගාරය, බ්‍රිතාන්‍ය කවුන්සිල ශ්‍ර‍වණාගාරය ආදී කලාප පසුබිම්ව විහිද පැතිරුණු යාපන ජාත්‍යන්තර සිනමා උළෙලෙහි වටිනාකම් සහ මතක පිළිබඳ සිහිකැදවීමකි; ඒ හා සමග එය ඔබ හා බෙදා ගැනීමකි.

නගර කේන්ද්‍ර‍ සිනමා උළෙල සංස්කෘතිය සහ යාපනය සිනමා උළෙල

ලොව ප්‍ර‍ධානතම උළෙල අතර කියැවෙන කාන්ස්, බර්ලින්, ටෝකියෝ, වෙනිස්, ලන්ඩන්, සිඩ්නි, මොස්කව් ඇතුළු සියල්ල එනමින් යුතු නගරය කේන්ද්‍රීයව විහිදේ. බොහෝ නගරවල නගර සභාවන්, නගරය අයිති රටෙහි රජය, නගරයෙහි ක්‍රියාත්මක හෝ ආශ්‍රිතව විහිද ඇති පෞද්ගලික සමාගම්, නගරවැසි ප්‍ර‍ජාව ඇතුළු විශාල කණ්ඩායමක් වාර්ෂිකව පැවැත්වෙන මෙම උළෙල වෙනුවෙන් වෙහෙසෙති. වෙළඳ සමාගම් තම සන්නාමය ප්‍ර‍වර්ධනය වෙනුවෙන් එක් වීම යන ප්‍ර‍මුඛ වෙළඳ අවශ්‍යතාවෙහි සිට හුදෙක් සිනමා රසිකත්වය හා කලාවෙහි ප්‍ර‍වර්ධනය වෙනුවෙන් කැපවන ස්වේච්ඡාවෙන් දායකත්වය ලබා දෙන්නන් දක්වා මෙම එකතුව විහිද යයි. නගරයකට නම් එය තම සංස්කෘතික දියුණුවෙහි කැඩපතකි. එහි වැසියන්ට එය අභිමානයකි.

සිනමා උළෙලක් යනු සිනමා කෘති ගණනාවක් එක දිගට තිරගත කෙරෙන සිනමා දර්ශන මාලාවක් පමණක් නොවේ. විශිෂ්ඨයින්ගේ සිනමා කෘති පිළිබඳ ප්‍ර‍ත්‍යාවලෝකන, සිනමාව පිළිබඳ සංවාද සහ විද්වතුන් හා ප්‍ර‍වීනයින් මෙහෙයවන වැඩමුළු, සිනමා වෙළඳ පොළ, සිනමා කෘති අතර තරග‍, නවකයින් හඳුන්වාදීම්, සිනමාකරුවන්ගේ හා ආශ්‍රිත ප්‍ර‍ජාවගේ සුහද හමු ආදී නානාවිධ ක්‍රියාකාරකම් උළෙලක් සමග පවතී. බොහෝ සිනමා උළෙලවලදී යම් නිශ්චිත අංශයන් වෙනුවෙන් සම්මාන හා ත්‍යාග ද පිරිනැමෙති. ඒ නිසාම උළෙලවලට ඇතුළු වන සිනමා පට තරගකාරී හා තරගකාරී නොවන අංශ නියෝජනය කරමින් තිරගත කෙරෙති.

යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල ඉහත ලක්ෂණ ගණනාවක් පූරණය කරමින් සැබෑ ජාත්‍යන්තර සිනමා උළෙලක රුවගුණ සහිතව මෙරට ක්‍රියාත්මක එකම සිනමා උළෙලයි. ‘එකම‘ යන යෙදුම එහිලා යෙදිය හැක්කේ කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල දෙවතාවක් අප හමුවට පැමිණ ඇතත් එහි ඉදිරිය තවමත් අවිනිශ්චිත හෙයිනි. සිනමා කෘති ප්‍ර‍දර්ශනය අතින් ප්‍ර‍ධාන අංශ කිහිපයක්ම යාපන ජාත්‍යන්තර සිනමා උළෙල හමුවේ ඇත. දේශීය හා ජාත්‍යන්තර සිනමා කෘති ප්‍ර‍දර්ශනය කෙරෙන තරගකාරී නොවන සිනමා දැක්ම එයින් වැඩි සිනමා කෘති සංඛ්‍යාවක් අපි වෙත ගෙන එයි. මෙවරද එය, ශ්‍රී ලංකාව, ඉන්දියාව, ප්‍ර‍ංශය, ජර්මනිය, චීනය, සිංගප්පූරුව, ඉතාලිය, ස්ලොවැකියාව, එක්සත් රාජධානිය, චිලී, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ක්‍රොඒෂියාව, ස්විට්සර්ලන්තය, චෙක් රිපබ්ලික්, රුමේනියාව, ඇමරිකා එක්සත් ජනපදය, නෙදර්ලන්තය, පෝලන්තය යන රටවල විශිෂ්ඨ කෘති රැසක් අප වෙත තැබී ය. සිය කුළුදුල් වෘතාන්ත සිනමා කෘතිය සිනමාවට නගන කෝඩුකාරයින්ට පමණක් යාපන සිනමා උළෙලේ තරගකාරී අංශය විවෘත වේ. ජාත්‍යන්තර විචාරක ජූරියක් හමුවේ ප්‍ර‍දර්ශනය කෙරෙන එම සිනමා කෘති අතුරින් තුනක් සම්මානය සඳහා නිර්දේශ කෙරෙන අතර හොඳම කෘතිය සම්මානයට පාත්‍ර‍වන්නේ අවසන් දින රාත්‍රියේ පැවැත්වෙන සම්මාන උළෙලේ දී ය. මෙවර ඒ සම්මානය ඉන්දීය තරුණ සිනමාකාරිනියක වූ අනන්‍යා කසරවල්ලි (ගිරිෂ් කසරවල්ලිගේ දියණිය) විසින් සිය ‘හරිකතා ප්‍ර‍සංග‘ චිත්‍ර‍පටය වෙනුවෙන් දිනාගත්තේ ඉන්දීය සිනමාකාරිනියක වූ විදූ වින්සන්ට්ගේ ‘මෑන්හෝල්‘ චිත්‍ර‍පටයත්, ශ්‍රී ලංකාවේ දුමින්ද සංජීවගේ ‘දිසිදි පත්‘ චිත්‍ර‍පටයත් නිර්දේශ නාම අතර තබමිනි.

යාපනය සිනමා උළෙල දෙස් විදෙස් විශිෂ්ටයින් අගයයි. ඔවුන්ගේ කෘති යළි ප්‍ර‍දර්ශනයට කැඳවා විමසා බලයි. ප්‍ර‍ංශ නව රැල්ලේ එකම ක්‍රියාකාරී සිනමාකාරිනිය වූ ඇග්නෙස් වර්දාගේ ප්‍ර‍ත්‍යාවලෝකන සිනමා දැක්මකින් සහ ‘අහස් ගව්ව, බඹරු ඇවිත්, සොල්දාලු උන්නැහෙ, පාර දිගේ සහ මතුයම් දවස‘ යන චිත්‍ර‍පටවලින් සමන්විත ධර්මසේන පතිරාජ ප්‍ර‍ත්‍යාවලෝකන සිනමා දැක්මකින් ද මෙවර උළෙල පෝෂිතව තිබිණ. එමතුද නොව ධර්මසේන පතිරාජයන්ගේ සිනමාව විමසා බැලුණු විද්වත් කථිකාවක් ද සිනමා උළෙල අතරතුර පැවති අතර අවසන් දින පැවති සිනමා සම්මාන රාත්‍රිය ප්‍ර‍භාමත් වූයේ ආචාර්ය පතිරාජයන් වෙත 2017 උළෙලේ යාවජීව සම්මානය පිරිනමන ලද හෙයිනි.

කෙටි චිත්‍ර‍පට සඳහා තරගකාරී අංශයක් ඇති යාපන සිනමා උළෙල හොඳම දේශීය කෙටි චිත්‍ර‍පටය, හොඳම විදේශීය කෙටි චිත්‍ර‍පටය සහ වැඩිම ප්‍රේක්ෂක ප්‍ර‍සාදය දිනූ කෙටි චිත්‍ර‍පටය යනුවෙන් සම්මාන තුනක් පිරිනමයි. මෙවර එම සම්මාන පිළිවෙලින් ධනංජය බණ්ඩාර අධ්‍යක්ෂණය කළ ‘Song of the Innocent’  කෙටි චිත්‍ර‍පටයටත්, ස්ටෙෆාන් ස්කාලටෙස්කියු (රුමේනියාව) අධ්‍යක්ෂණය කළ  ‘Gratitude’ කෙටි සජීවකරණ චිත්‍ර‍පටයටත්, ධනේෂ්වරන් සමිදන් අධ්‍යක්ෂණය කළ ‘The Border’ කෙටි චිත්‍ර‍පටයටත් හිමි විය. ඒ දේශීය හා විදේශීය අංශයන්හි අවසන් තරගකාරී වටයන් සඳහා එක් එක් අංශයෙන් 10 බැගින් තෝරාගැනුණු කෙටි චිත්‍ර‍පට 20ක් අතුරිනි.

විවිධත්වය සමග එන විචිත්‍ර‍ත්වය

‘රතු සමණල හීනයක්‘ චිත්‍ර‍පටයෙන්
මෙවර සිනමා උළෙලෙහි කෙටි චිත්‍ර‍පට අංශයෙහි ජූරි සභිකයකු වශයෙන් කටයුතු කරන්නට සිදු වීම නිසා සිනමා උළෙලෙහි විවිධ අවකාශ අතර ඇවිද යාමට මට ඉඩ ලැබුණේ අවම වශයෙනි. එහෙත් ඒ සමගින් වුව සාමාන්‍ය ප්‍රේක්ෂකයකු වශයෙන් නරඹන්නට ලැබුණු දිගු වෘතාන්ත චිත්‍ර‍පට කිහිපය විචිත්‍ර‍ මතකයන් රැසක් මවෙත ඉතිරි කළේ ය. ඒ අතුරින් මෙහි සඳහන් නොකර යා නොහැකි චිත්‍ර‍පට කිහිපයක් ද වෙයි.
තරගකාරී අංශයට ඉදිරිපත්ව තිබුණු, සිංගප්පූරු ජාතික සිනමාකරු කේ.රාජ්ගෝපාල්ගේ ‘ද යෙලෝ බර්ඩ්‘ සිනමා කෘතිය, දැන් අප රට ද එසේ විය යුතු යැයි ගොඩනගන්නට සදන සිංගප්පූරුව ගැන අප නොදකින කලාපයක් වෙත නෙත් විවර කරන්නකි. සිනමා උළෙලෙහි අධක්ෂවරිය වන අනෝමා රාජකරුණා පැවසූ පරිදි උළෙලට මෙය තෝරාගැනීමේදීම මෙම ‘අනෙක් සිංගප්පූරුව‘ හමුවීම විශේෂ අවධානයට ලක්ව ඇත. සිංගප්පූරු-ඉන්දියානු දමිළයකු වන එහි ප්‍ර‍ධාන චරිතයේ (ශිවා) පුවත විකාශනය වන්නේ සිරගයෙින් නික්මුණු පසු සිය බිරිද හා දියණිය හමු නොවන ඔහුගේ චරිතය සහ පුරවැසි බව නොමැති හෙයින්ම ලිංගික සූරාකෑමට ලක් වන චීන ජාතික චරිතය (චෙන් චෙන්) ආශ්‍රිතව ය. සිංගප්පූරුවේ සශ්‍රීක බව ඔවුන්ගේ ජීවිතවලට උරුම නැත. උරුමය අහිමි වීම, වේදනාව හා රැවටීම සමග එන කළකිරීමයි.

ක්‍රොඒෂියානු අධ්‍යක්ෂවරියක වන කත්‍රිනා සින්කා මැට්ජෙවික්ගේ ‘ද ට්‍රැම්පොලයින්‘ චිත්‍ර‍පටය පියා හැරගිය නමුත් මවගේ ආදරය නොලබන දැරියක්, නිදහස සොයන යොවුන් තරුණියක් සහ තමන්ට  ලැබෙන දරුවාට තමන් ආදරය නොවනු ඇතැයි බිය වන විවාහක කතක් අතර එකිනෙකට සම්බන්ධිත නමුත් වෙන්ව දිවෙන කතා පුවත් තුනක් ඔස්සේ විහිද යන්නකි. කාන්තාවන් සිය ජීවිතයේ එක් එක් අවධීන්හි මුහුණ දෙන අභ්‍යන්තර හා බාහිර අරගලයන් ඔස්සේ දිවෙන එහි දෘශ්‍යමය වශයෙන් පොහොසත් ආඛ්‍යානය කෙළවර වන්නේ මේ එකම චරිතයක්දැයි යන චමත්කාරජනක පැනයක් අප වෙත තබමිනි.

සම්මානිත හා නිර්දේශිත චිත්‍ර‍පට මග හැරුණ ද ප්‍රියන්ත කළුආරච්චිගේ ‘රතු සමණල හීනයක්‘ සහ සංජීව පුෂ්පකුමාරගේ ‘දැවෙන විහගුන්‘ චිත්‍රපටවල ප්‍රේක්ෂාගාර හා එක්වීමට මටද අවස්ථාව හිමි විය. මායා යථාර්ථයට නෑකම් කියන කළුආරච්චිගේ චිත්‍ර‍පටය එක් අතෙකින් ප්‍රේම වෘතාන්තයක් අප වෙත තබමින් ද, තවත් අතෙකින් පශ්චාත් යුධ පුරවැසියා මුණ ගස්වමින් ද මේ සමයෙහි අප අභියස නැගෙන සමාජ අර්බුදය සාකච්ඡාවට ගනියි. එය චරිතයන්හි අනන්‍යතා හා සමීපව ගණුදෙනු කරනු වෙනුවට, එහි ඇති මායා යථාර්ථමය ලක්ෂණ හේතුවෙන්ම, එය පසෙක සිට විමසීමකට අපට ආරාධනා කරයි. එහෙත් පුෂ්පකුමාරගේ චිත්‍ර‍පටය, ඔහුගේ මුල් කෘතියෙන් බැහැරව, සෘජුව චරිත හා කේන්ද්‍රීයව රැඳෙමින් ඔවුන් අත් විදින ඛේදවාචකය අප ඉදිරිපස තබා පෙන්වයි. රූපමය සත්කාරයෙන් පොහොසත් කෘති දෙකම අනාගත කලාගාර සිනමාවේ දෘශ්‍ය වියමන් පිළිබඳ අප සැක සංකා තබා ගත නොයුතු බැව් පහදා දෙයි.

ඉහත සිනමා මුණගැසීම් කෙසේ වුව, මා වඩාත් තෘප්තියට පත් වූයේ කේසවරාජන්ගේ ‘පනයිමරක්කඩු‘ නරඹන්නට ඉඩ ලැබීම හේතුවෙනි. කේසවරාජන් යනු උතුරේ ක්‍රියාකාරී ද්‍ර‍විඩ සිනමාකරුවන් අතර ප්‍ර‍මුඛයා ය. ඔහුගේ ‘පනයිමරක්කඩු‘ වර්තමාන උතුරේ සිනමා භාවිතය පිළිබඳ අනේක කාරණා රැගත් දෘශ්‍යමය ගතක් වැනි ය. සිනමා උළෙල සඳහා ඔහු චිත්‍ර‍පටය ඉදිරිපත් කරන විටත් එහි දෙවැනි අර්ධයේ වැඩ පූර්ණ ලෙස අවසන්ව තිබුණේ නැත. ඒ පිළිබඳ කේසවරාජන් අවසන අපෙන් සමාව ඉල්ලා සිටියේ ය. එහෙත් එය සමාව ඉල්ලිය යුතු නොවන කරුණක් බව මට හැගුණේ ඔහු ප්‍රේක්ෂකයින් වෙත සිදු කළ දමිළ භාෂිත පැහැදිලි කිරීම් උළෙල සංවිධායක මණ්ඩලයේ සිටි ආනන්ද රමනන් විසින් පෙරළා දුන් පසු ය. ‘පනයිමරක්කඩු‘ වසර හතක අනවරත සිනමා වෑයමකි. එහෙත් එයට තවමත් වැයවී ඇත්තේ රුපියල් ලක්ෂ දෙකක් පමණි. එහි නළු නිළියන් ඇතුළු සියල්ලෝ කෝවිල් බතින් සෑහී කෘතිය වෙනුවෙන් වෙහෙසුණු බව කේසවරාජන් කීවේ ආවේගයකිනි. එසේම සෙනෙහසකිනි.

පනයිමරක්කඩු අපට කියන පුවත කුමක් ද? එය සිවිල් යුද්ධය අවසන්ව, කඳවුරුවලින් පුනරුත්ථාපනය ලැබ ගමට එන එල්ටීටීඊ සාමාජිකයාගේ කතාවයි. එසේම උතුරේ යුධ වැන්දඹුවගේ කතාවයි. යුද්ධයෙන් සිය පියා, සොහොයුරා හෝ ඥාතීන් අහිමි වූ ජීවිත ඉතිරි වූවන්ගේ කතාවයි. එහි දෘශ්‍ය සැකසුම් සැම ඇසිල්ලකම පොහොසත් නැත. ශබ්දය තවම පූරණය වී නැත. එහෙත්, දකුණටත් ඇතැම් විට අත්විඳිය හැකි, පශ්චාත් යුධ යථාර්ථයන් ගණනාවක් එහි හමු වේ. ‘පුනරුත්ථාපනය වූ‘ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා දැන් රැකියාවක් නොමැතිව අසරණ වූ අත්හැර දැමූවෙකි. යුද්ධය නිසා ගම්බිම් හැර ගිය වැසියන්ගේ ඉඩම් ධනවත් මුදලාලි ප්‍ර‍ජාව හා දේශපාලන හස්ත විසින් ඩැහැගනිමින් තිබෙයි. කටුක, මග හැර යා නොහැකි, ඛේදයන් රැසකි.

යාපනය, එය මිහිරි හමු රැසක එකමුතු බිමකි!

යාපන ජාත්‍යන්තර සිනමා උළෙල කේසවරාජන් සහ පතිරාජ එක බිමකට කැඳවූ අවකාශයකි. වසර 7ක් තැනෙමින්, අවසන් වෙතැයිද යන පැනය ද සහිතව තිබූ ‘පනයිමරක්කඩු‘ උළෙල ඉලක්කයක් කරගනිමින් නිම කළ බව කේසවරාජන් කියන්නේ ආඩම්බරයෙනි. ‘ඔයා ගිහින් චිත්‍ර‍පටය හදන්න... අපට කීර්තිය විතරක් අරන් එන්න!‘ යනුවෙන් පවසමින් මහාචාර්ය කයිලාසපති, යාපනය විශ්වවිද්‍යාලයේ එවක උපකුලපතිවරයා ලෙස තමන්ට ‘පොන්මනි‘ සාදන්නට නිවාඩු අනුමත කළ බව පතිරාජයන් කියන්නේ අතීත ස්මරණ සමග නෙතට නැගි තුටු කදුළු ද සමගිනි. ඔහු දශක හතරකට පසු කීර්තියේ උච්චතම අවස්ථාවක් විශ්වවිද්‍යාලයේ මුව විටෙහිදී යළි අත් කර දී ඇත. උළෙල සිනමාකරුවන්ට ඉලක්ක, ස්මරණ, ඇගයීම් ප්‍ර‍තිමුඛ කොට ඇත.

යාපන ජාත්‍යන්තර සිනමා උළෙල දශක ගණනාවක අතීතය යළි සිහි කැඳවන තෝතැන්නකි. සිනමා උළෙල නරඹා අතුරු මගෙක ඇති කුඩා කඩපිළකට ගොඩ වී යාපනයේ තෝසේ එකක් සමග වඩේ කන ඔබට ‘තමන්ගේ අතීත සිංහල මිතුදම්‘ සිහි කොට සිනා නගන කඩ හිමියකු හමුවිය හැක. මනුෂ්‍යත්වය හා ගණුදෙනු කරන සිනමා කෘති නරඹා ඔබ මගට බසිනු ඇත්තේ නිකම්ම නිකම් තල් සූකිරි හෝ හකුරු සමග යාපනයේ මිදි රැගෙන හැරී යන මහ සෙනඟ හා එක්වන්නට නොවේ. සිනමා කෘතියේ රාමුව තුළ හමුවූවාට වඩා බරැති ජීවිත නගරාවකාශය හා යාබද අතුරු මාවත් තුළ ඔබට හමුවනු ඇත. ඔබ ඔවුන් හා සැබවින්ම සිනා නගනු ඇත.
තිස්වස් යුද්ධයකට පසු, නැගෙමින් තිබෙන භොතික පරිසරය දැක, යුද්ධයේ නටඹුන් කැමරාවට නගා ගනිමින්, එනමුත් බිඳුණු සිත් තුළ ඇති වේදනාව පිළිබඳ ම සැලකිල්ලකුදු නොමැතිව යාපන අර්ධද්වීපය පුරා ඇවිද යමින්, නාගදීපයද වැද පුදාගෙන එන දකුණේ ජන රැල්ලෙන් වෙන්ව, දින පහක් හයක් එහි ජන ජීවිතය ද දකිමින්, දේශීය හා විදේශීය සිනමාපට ද රසවිඳිමින් කාලය ගෙවන්නට ඔබටත් ඉඩක් වෙන් කරගත හැකිනම් එළඹෙන වසරේදී අපට එහි මුණගැසිය හැකි ය.

-ප්‍රියන්ත ෆොන්සේකා -