Showing posts with label එදිරිවීර සරච්චන්ද්‍ර. Show all posts
Showing posts with label එදිරිවීර සරච්චන්ද්‍ර. Show all posts

Monday, September 7, 2020

විසල් වැඩ කළ ‘පුංචි’ මිනිසෙකුගේ ‘ලේඛනාවලි’ හෙළි කර දුන් අතීත වත

(2020 ‍අගෝස්තු 30 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

සම්මානිත මහාචාර්ය පුංචිබණ්ඩා මීගස්කුඹුර මහතාගේ ශාස්ත්‍රීය ජීවිතය තුළ ඔහු අතින් ලියැවුණු සියලු ශාස්ත්‍රීය ලිපි ඇතුළත් ලේඛනාවලි’ නමැති මාහැඟි පුස්තකය පසුගිය විසිපස් වැනි අඟහරුවාදා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සනාතන සභා ශාලාවේදී එළිදැක්විණ. ගෙවුණු දශක කිහිපය තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශය තුළ මහාචාර්යවරයෙකු ලෙස සේවය කිරීමෙන් අනතුරුව සිය විශ්‍රාමික දිවිය තුළදී පේරාදෙණියේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශය හා සමීපව කටයුතු කරමින් මෙන්ම, ලොව පුරා විශ්වවිද්‍යාල ගණනාවක සැරිසරමින් සිය ශාස්ත්‍රීය සේවය විශ්ව දායකත්වයක තැබූ  මහාචාර්ය මීගස්කුඹුර ලාංකීය ශාස්ත්‍ර කෙත තුළ නැගුණු දුලබ විද්වතෙකි. ඔහුගේම සෙවනෙහි සිප් සැදෑරූ දඹුල්ලේ සුදේව, පිටතලාවේ විමලසාර සහ අපරැක්කේ සිරි සුධම්ම යන ස්වාමීන් වහන්සේලා තිදෙන එම විශිෂ්ට කෘතියේ සංස්කාරකත්වයට දායකව තිබිණ. එදින සැඳෑව  පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි එදා මෙදා තුර ඉතිහාසයේ හමුවන, තවමත් ජීවතුන් අතර හිඳිමින් සිය ශාස්ත්‍ර ඥානය සම්පාදනය කරන විද්වතුන්ගෙන් ද,   ඇසුරෙහි වැඩෙන ඥාන ගවේෂකයින්ගෙන් ඒකාලෝක තිබිණ.

මහාචාර්ය සඳගෝමී කෝපරහේවා සහ සම්මානිත මහාචාර්ය කේ.එන්.. ධර්මදාස සමග මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමි යන විද්වතුන් තිදෙනගේ ප්‍රමුඛ දෙසුම් හා සමග මුණගැසුනු උළෙල තවත් බොහෝ පිරිසකගේ කෙටි අදහස් දැක්වීම්වලින් පෝෂිතව පැවතිණඋළෙල ඇරඹි මොහොතකින් මහාචාර්ය මීගස්කුඹුර මහතා එක්කළ අදහස් දැක්වීම ද, ඉහත සියලු අදහස් හා එක්ව මෙරට මානව ශාස්ත්‍ර අධ්‍යාපනය පිළිබඳ යම් අතීත මතක සෙවනැල්ලක් එම  පරිශ්‍රය තුළ චිත්‍රණය කළ වග අතුරු සිදුරු නොමැති පිරී තිබුණු ශාලාවෙහි කෙලවරක අසුන් ගෙන උන් මට හැඟිණ. මහාචාර්ය මීගස්කුඹුරයන්ගේ ශාස්ත්‍ර ජීවිතයෙහි වැදගත්කම කැපී පෙනුණු  එම මොහොතෙහි නැගෙමින් මැකෙමින් චිත්‍රණය වූ එම අතීත වත වඩා වැදගත් එමෙන්ම ඛේදනීය පුවතක ඡායා මාත්‍රයන් රැස්ව උන් පිරිස හමුවේ තැබී ය.


මහාචාර්ය මීගස්කුඹුරගේ මෙන්ම ඔහුගේ සමකාලීනයින්ගේ ද ශාස්ත්‍රීය මැදිහත්වීම් සහ ඔවුන්ට පෙර මං තැනූ මාහාචාර්ය ඩී.ඊ.හෙට්ටිආරච්චි, මහාචාර්ය සුගතපාල ද සිල්වා සහ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර වැනි වියතුන්ගේ දායකත්වයන් පිළිබඳ යළි සාකච්ඡාවට ගැනීම මෙම අවකාශය තුළ සිදුවුණු එක් වැදගත් සිදුවීමකි. එය, වඩාත් පිරිපහදු කළ ශාස්ත්‍රීය කලාපයන් නිර්මාණය කරගනු වස් වර්තමානිකයින් ලෙස අප කටයුතු කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ සංඥා සපයා දිණ. කෙසේ වෙතත් එම සංඥා වසා දමමින් නැගුණේ මානව ශාස්ත්‍ර විෂයයන් හමුවේ අපේ පසු-නිදහස් පාලකස්ථානය කටයුතු කොට තිබුණු ඛේදනීය ප්‍රවේශයන් ගණනාවක් පිළිබඳ සඳහන් ය. 71 තරුණ නැගිටීමෙන් පසු පේරාදෙණියේ හොඳින් ස්ථාපිතව තිබුණු බොහෝ ශාස්ත්‍ර පීඨ දෙපාර්තමේන්තු (පාලි, සංස්කෘත, ලලිත කලා ආදී), යුනිවසිටි කොලීජී ලෙස සියලු විශ්වවිද්‍යාල එක් තනි දේශීය විශ්වවිද්‍යාලයක් (ලංකා විශ්වවිද්‍යාලය) යටතට ගෙන කැලණිය වැනි වෙනත් කලාප වෙත තල්ලු කර හැරීම, සිංහල භාෂාව හැදෑරීම ගර්හාත්මකව දකිමින් ස්ව-භාෂාව හැදෑරීම දුර්මුඛ කිරීම, ඒ හේතුවෙන් මානව ශාස්ත්‍ර විෂයයන් හැදෑරීම සඳහා විශ්වවිද්‍යාල වෙත පැමිණි ශිෂ්‍ය ප්‍රජාව බිඳ වැටීම මෙන්ම ඒ හමුවේ ඉතිරිව උන් විද්වතුන්ට මුහුණ දීමට සිදු වුණු අභියෝග ඇතුළු කරුණු ගණනාවක් එහි දී ඡායා මාත්‍රව නැගිණ. උළෙල අවසානයේ සිය වදන් කිහිපයක් සභාව හමුවේ තැබූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලක්ෂ්මන් නුගපිටිය 80 දශකයේ මැද භාගය වන විට පේරාදෙණියේ සිංහල විෂයය හදාරණ විද්‍යාර්ථීන් දෙස එම පීඨයේම සමාජ විද්‍යා විෂයයන් හැදෑරූ සමකාලීනයින් දැරූ ආකල්පය ගෙන හැර දැක්වූයේ තම සටහන් ඇතුලත් ෆයිල් කවරයක නන්නාඳුනන යමෙකු ලියා තිබුණු කවියක් උපුටමිනි.

“බුත්සරණ ගලවා - අමාවතුරෙන් සෝදා

සිඛ වළ‍ඳේ දමා - තම්බා බොනු!”

ශාලාව වෙත සිනහවක් කැඳවූ ඉහත වදන් පෙළ වර්තමාන පසුගාමී සමාජය බිහි කිරීමට පදනම තැනූ අතීත වත පිළිබඳ මාහැඟි උදාහරණ වදන් පෙළක් ලෙස ද යෝජනා කිරීමෙහි වරදක් නැත. ලාංකික ගද්‍ය-පද්‍ය ඉතිහාසයේ මහරු නිර්මාණ ත්‍රිත්වයක් ‘අල, දියර සහ මැටි මුට්ටි’ ලා සැලකීම (හා එවැනි ආස්ථානයක් වෙත සමාජය විතැන් කරවීම) බිහිසුණු ය. යම් සංස්කෘතියක උදාරම් බව පිළිබඳ මාහැඟි සාක්ෂි එම සංස්කෘතික අතීතය හා බැඳුණු සාහිත්‍යය තුළින් නැගේ නම් එම සංස්කෘතියෙහි වත්මන් ප්‍රවාහය හා සමග ගණුදෙනු කරන්නා කෙතරම් ආඩම්බර විය යුතු ද? නමුත්, සිදුව ඇත්තේ එහි විලෝමයයි. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නුගපිටියගේ අනුමානය නිවැරදි නම්, එය ලියා තබන්නට ඇත්තේ එම පීඨයේම සමාජ විද්‍යා කලාපයෙන් නම්, එය මෙරට මෑත ඉතිහාසය පිළිබඳ තිගස්සවන සුළු යථාවක් අපට සංඥා කරයි.

 පුංචි බණ්ඩා මීගස්කුඹුර මහැදුරුතුමන් ඇතුළු ඉතා සුළු විද්වතුන් පිරිසක් උඩුගම් බලා පිය නගා ඇත්තේ මේ බිහිසුණු බවට එරෙහිව ය. එය තව දුරටත් තීව්‍ර කරමින් මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාසයන් සිය දෙසුමේ දී සිහි කැඳවූයේ ‘සංස්කෘත ශ්ලෝක, පාලි ගාථා සහ සිංහල කවි’ කියවීමෙන් ලැබෙන ඵලය කිමක්දැයි එවක උන් නම් දැරූ පීඨාධිපතිවරයෙකු විමසූ බව ය. භාෂාව හැදෑරීම යනු ශ්ලෝක, ගාථා සහ කවි විමසීම පමණක් නොවන බව ප්‍රතිවිරුද්ධ මහා ප්‍රවාහයට වටහා දීමට ‘පුංචි’ලාට සිය දිවියම කැප කරන්නට වූ බව ය.

විද්වත් මිතුරු කැළ අතර ‘පුංචි’ යනුවෙන් නම් ලැබූ මහාචාර්ය පුංචි බණ්ඩා මීගස්කුඹුර විසල් තුරකි. නමුත් ඔහුට අතු පතර විහිදුවන්නට සිදුව ඇති බව පෙනෙන්නේ හිරු එළිය කිසිදු අයුරකින් නොදකින පසුබිමක ය. මානව ශාස්ත්‍ර හැදෑරීම යනු අත්‍යාවශ්‍යයික ශාස්ත්‍ර වැඩ බිමක් බව නොවටහා ගන්නා රටක අනාගතය ශෝචනීය වන අයුරු දැක දැක ය.

‘සිංහල බස හැදෑරූ පසු රැකියා නොලැබෙන බව’ චක්‍ර ලේඛ මගින්ම දැනුම් දුන් යුගයක අප කටයුතු කළ බව මහාචාර්ය ධර්මදාස කීවේ ය. ‘දේශපාලන විද්‍යාව’ හදාරා ලැබෙන රැකියා අවස්ථා කවරේදැයි විමසන පාලකස්ථානයක් අපට සංඥා කරන්නේ මානව ශාස්ත්‍ර මතු නොව සමාජ විද්‍යා විෂයයන් වුව නුදුරු අනාගතය තුළ ආන්තික කලාප වෙත යොමු වීමේ අවධානම ය. එයට එරෙහිව ‘පුංචි’ වැනි පුංචි මිනිසුන්ගේ යෝධ සවිය එක් වීම අවැසි ය.

-ප්‍රියන්ත ෆොන්සේකා -

 

Saturday, February 29, 2020

ලංකා සාන්ත සහ ඩේමියන්


(2020 ‍පෙබරවාරි 16 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)
සුනිල් සාන්ත
මට ලංකා සාන්ත සහ ඩේමියන් හමු විය. ඒ ගෙවුණු සති අන්තයේ ය. ලංකා සාන්ත යනු සුනිල් සාන්ත නමැති, සංගීත චින්තනයක් රටට ඇති කිරීමට, රටේ සියල්ලන්ට භාවිතයට කැඳවිය හැකි අනන්‍ය සංගීතයක් සොයා යාමට කටයුතු කළ විශිෂ්ට මිනිසාගේ දෙවැනි පුත්‍රයා ය. ඩේමියන් යනු මීගමු ප්‍රදේශයේ කුඩා විලා හෝටලයක ආවතේවකරුවකු ලෙස කටයුතු කරන, වැදූ මවගෙන් හැදූ මව වෙත භාර වූ හෙයින්, මව්වරුන් දෙදෙනෙකු මට විණි යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන, දමිළ ජාතික, එනමුත් සිංහලය ද හොඳින් වහරන හිත හොඳ මිනිසා ය.

මේ දෙදෙනාගේම හමුව එකවර යෙදුණේ සුනිල් සාන්තයන්ගේ චින්තනය පිළිබඳ හැදෑරීම හා පර්යේෂණය ප්‍රමුඛ කොටගත් අධ්‍යයන පදනමක් බිහිකිරීම පසුබිම්ව යෙදුණු සමාරම්භක සැසිය තුළ දී ය. සුනිල් සාන්ත සමාජය මේ වන විටත් වඩාත් ක්‍රියාකාරී සංවිධානයකි. එය වාර්ෂිකව සුනිල් සාන්ත සංගීත භාවිතාව සැමරීමට හා ඒ මැදිහත්වීම පෙරට ගෙන යාමට විවිධ වැඩසටහන් සමාජය වෙත තබයි. ඒ ආශ්‍රිත සාකච්ඡාවන් තුළ දී පැන නැගී ඇති බව පෙනෙන මෙම අධ්‍යයන පදනමක් බිහිකිරීමේ යෝජනාව මල් ඵල ගන්වනු වස් වන පළමු සැසියට මවෙත ආරාධනාව ගෙන ආවේ රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජයන්ත අමරසිංහ ය.

සුනිල් සාන්තයන් මෙරට අධිපති සංගීත චින්තනය හා භාවිතය විසින් ආන්තික කලාප වෙත තල්ලු කරනු ලැබූ, අද දවසේ යළි හැරී විමසන විට පෙරමුණට කැඳවීමට බොහෝ කාරණා තිබුණු බව පෙනෙන විශිෂ්ඨයෙකි. අද, සෞන්දර්යයෙන් විනිර්මුක්ත සමාජයක ජීවත් වන අපි, සංගීතය යනු රියැලිටි තරු වෙත සිය දරුවන් දැක්කීම යැයි විශ්වාස කරන දෙමාපිය හා වැඩිහිටි පරපුරක් සමග සෞන්දර්යයේ අනාගතය ගැන සිහින දකින්නෝ වෙමු. සියලු පුරවැසියන්ට වඩාත් සමීප, නමුත් කිසිදු එක් සංගීත සම්ප්‍රදානයක් වෙත තනිව ඇලී නොපවතින, දේශජ සංගීත භාවිතයක් තැනීමේ සුනිල් සාන්ත සිහිනය සාක්ෂාත් විණි නම් අද අප ජීවත් වෙමින් සිටින්නට තිබුණේ ඊට හාත්පස වෙනස් සමාජයක වීමට තිබුණු ඉඩ සුළු නොවෙන්නක් බව පෙනෙන්නේ ඔහුගේ දැක්ම විමසන විට ය. ඒ කවරාකාර වූවක් ද?

සුනිල් සාන්ත ද ඉන්දීය ශාස්ත්‍රීය සංගීතය ඉහළින්ම ප්‍රගුණ කළ අයෙකි. ඒ ප්‍රකට රතන් ජන්කර් පඬිදුන්ගේ හොඳම ශිෂ්‍යයකු ලෙස ඇගයුම් ද ලබමිනි. නමුත් ඔහුගේ ආගමනය, ඔහු හා සමකාලීනව ඉන්දියාවට ගිය ලයනල් එදිරිසිංහ යනාදීන්ගේ මගින් පොළා පැන අනන්‍ය දේශීය සංගීතයක් තැනීම වෙත යොමු විය. අද දේශීයහා අනන්‍යවැනි වදන්වලට වෙනත් සංකල්ප රූප අප මනස් තුළ ස්ථාපනය කොට අහවර වී ඇතත් සුනිල් සාන්ත යෝජනා කළ අනන්‍ය දේශීය සංගීත භාවිතය වූ කලී එම කලාප තුළ සිර නොවූවක් බව පෙනෙන්නේ ඔහුගේ ක්‍රියාකාරී මැදිහත්වීම තුළ හමුවන සාර්ව-භෞමික ලක්ෂණයන් හේතුවෙනි. සැබවින්ම ඔහු යෝජනා කොට තිබුණේ කෞතුකාගාර ගත කළ යුතු අනන්‍ය - දේශීය සංගීත සම්ප්‍රදායක් පිළිබඳ නොස්ටැල්ජික ප්‍රවේශ මාර්ගයක් නොව එදිනෙදා භාවිතය තුළ පැවතිය යුතු සජීවි සංගීත භාවිතයකි.

කෙසේ වෙතත්, පසු-නිදහස් සමය තුළ පැන නැගෙන සංස්කෘතික භාවිතය තුළ පෙරටුගාමී බලඇණි වෙතින් ද, හෙළ හවුල හා සමීප වීම නිසා (සරච්චන්ද්‍ර ප්‍රමුඛ) පේරාදෙණි (ගුරු කුලයේ) මහා කථිකාව වෙතින් ද, ඉවත් කෙරුණු ලැබූ සුනිල් සාන්ත සිය ජීවිතයේ වැඩි කොටසක් ගත කොට ඇත්තේ සිය පවුලේ ජීවිකාව වෙනුවෙන් කැප වුණු සෙනෙහෙබර නමුත් අදීන පිය භූමිකාවක නිරත වෙමින් වෙනත් ස්වයං රැකියාදීයේ නිරත වෙමිනි. අගනුවරින් වැඩි ඈතක ජීවත් නොවුණ ද, එදවස දේශීය සංගීතයේ මුහුණවර තනන්නට ප්‍රමුඛ කටයුත්තක නිරත වූ ගුවන් විදුලි සංස්ථාවට වැඩිපුර ගොඩ නොවී ඇති සුනිල් සාන්ත, එහි කැඳවුණු මොහොතවලදී වුව එම ප්‍රවේශයන් ප්‍රශ්න කොට ඇති බව පෙනේ. සියලු ලාංකික ගායක ගායිකාවන් රතන් ජන්කර් පඬිතුමන් හමුවේ උත්තර භාරතීය සංගීතය පෙරමුණෙහි තබා පරීක්ෂණයකට ලක් කිරීමට කටයුතු යෙදුණු විට, රතන් ජන්කර් යනු සිය ගුරුතුමන් වුව, සුනිල් සාන්ත එය ප්‍රතික්ෂේප කොට ඇත්තේ උත්තර භාරතීය සංගීතය මෙරට සංගීත සිතියම තනන්නට මුල්වන ප්‍රමුඛ ප්‍රවේශය බවට පත් කිරීමට විරෝධය පාමිනි.

සිවුදරු පියෙකු ලෙස, ස්වාත්මයෙන් ඇරඹ, රට, ලෝකය හා කලාව ඔස්සේ විහිදෙන පරිදි (සුනිල් සාන්ත, ලංකා සාන්ත, ජගත් සාන්ත යන පුතුන් හා කලා සාන්ත දියණිය) සිය දරුවන්ට ද නම් තබා ඇති සුනිල් සාන්ත ජීවන පැවැත්ම පූර්ණ ලෙස ස්වකීය දර්ශනය ඔස්සේ විහිදුවා ඇති බව පෙනේ. කෙසේ වෙතත්, ඔහු ආන්තික කලාපයක සිර කොට තබා තිබී ඇත්තේ ඔහුගේ භාවිතය සරල වැඩි, වැඩකට නැතිතැනකට පටු කොට තබමිනි. ඔහු තනන්නට යත්න දැරූ සංගීත සම්ප්‍රදානය එක් සීමාවකින් ඉදිරියට යන්නට ඉඩ නොදී සීමා පනවමිනි.

ඔහුගේ දෙවැනි පුතු වූ ලංකා සාන්තගේ පූර්ණ දායකත්වය හිමිව තිබුණේ සිය පියාගේ මේ ගමන් මග යළි පිළිවිස ඒ ඔස්සේ ශාස්ත්‍රීය අධ්‍යයනයන් වෙත ද අප මෙහෙයවන්නට ය. එය අපට පෙනුණේ සිය පියා ස්වකීය නාමයෙහි පටන් තමන් වෙත තබා ගිය ඇඟවුමෙහි සංඥාව හඳුනාගත්තෙකුගේ මැදිහත්වීමක් ලෙස ය. භාෂාව, ජාතිකත්වය ඇතුළු කලාප වඩාත් දැඩි මූලධාර්මික සංස්ථාවන් හා බද්ධව හඳුනාගැනෙන හා අර්ථ දැක්වෙන අද දවස සුනිල් සාන්ත චින්තනය යළි විමසීම ජාතිකත්වය පිළිබඳ මෙරට පසු-නිදහස් කථිකාව හඳුනාගැනීමටත්, වෙනත් මානයකින් අර්ථ දක්වා ගැනීමකටත් මග පාදනු ඇත.

එසේ නම් ඩේමියන්?  

මේ සියලු සංවාදයන් සඳහා මුල පිරුණු රෝයල් ෆීනික්ස් විලාහි ආවතේවකරුවා ඔහු ය. උදෑසන තේ කෝප්පයේ පටන් රාත්‍රී ආහාරය දක්වා අපට සැපයූ ඩේමියන්, ඉන් ද නොනැවතී අප වෙත විටින් විට විවිධ අඩුවැඩිය සැපයී ය; අවශ්‍යතා විමසා බැලී ය. අප සැම සමග අපූරු කතා කියමින් සිය ජීවිතය ගැනත්, රටේ ලෝකයේ සමාජ දේශපාලනික වටපිටාව ගැනත් තමන්ටම අනන්‍ය කියවීම් අප වෙත ගෙන ආවේ ය.

“ඔය ආදරේ කියන එක තියෙනව නේද සර්? ඒක නිකං බස් එකේ නැත්තං ත්‍රීවීල් එකේ යනව වගේ වැඩක්. ඕනැ තැනක බහින්න පුළුවන්. ඒත් කසාදෙ එහෙම නෙවෙයි. ඒක ප්ලේන් එකේ යනව වගේ. නැග්ගට පස්සෙ බාන කං බැහිල්ලක් නෑ. මොකද ආය දොර ඇරන් පනින්නයැ?”

එවැනි කතා සමගින් ඔහු අප සිනා ගැන්වූයේ ය.

නමුත් අපූර්වතම අවස්ථාව හමුවූයේ අවසන් දිනයේ කපිල දිසාසේකර සිය ඉලෙක්ට්‍රොනික කී බෝඩය වයමින් ගීත ගැයූ මොහොතේ ය. අප වෙත ආ ඩේමියන් සුනිල් සාන්තයන්ගේ ‘ඕලු පිපීලා’ ඇතුළු ගීත කිහිපයක්ම වයන ලෙස කපිලගෙන් ඉල්ලා සිටියේ ඒ ගීත පිළිබඳ ඇගයුමක් ද ලබා දෙමිනි.

“ඒව හරි ලස්සන සිංදු සර්. මම දෙමළා තමා. හැබැයි මුං දැං මේ බාසාව කන එකට මට තරහයි. මේක සිංහල- දෙමළ කතාවක් නෙවෙයි. මුං සේරම මේක කනවා....”

ලංකා සාන්ත අනුග්‍රහය දක්වමින්, මහාචාර්ය ජයන්ත අමරසිංහගේ කැඳවීමට අනුව මා සම්බන්ධ වුණු සුනිල් සාන්ත අධ්‍යයන පදනම පිහිටුවීමේ අවස්ථාවේ දී ඩේමියන් හමුවීම මට නම් සුවිශේෂ ය. ඔහු නොකීව ද ඔහුගේ නම අනුව ඔහු දමිළ කතෝලිකයෙකු වන්නට ඇති ඉඩ වැඩි ය. නමුත් ඔහු සිංහල-බෞද්ධ දෘෂ්ඨිවාදයේ බල කේන්ද්‍ර විසින් ආන්තික කලාප වෙත තල්ලු කෙරුණු සුනිල් සාන්ත භාවිතාවේ වැදගත්කම ගැන අපට කියයි. එහි පොදු පුරවැසි නියෝජිතයෙක්ව නදීක ගුරුගේ, අජිත් කුමාරසිරි හා කපිල දිසාසේකර ඇතුළු පිරිස ගෙන ආ සුනිල් සාන්ත නිර්මාණ භාවිතය විඳියි.

සුනිල් සාන්ත දෙස අප හැරී බැලිය යුතු ය. ඒ ලංකා සාන්තගේ ඇරයුම හේතුවෙන් පමණක් නොවේ. ඩේමියන්ගේ ද ඇරයුම හා සිහි කැඳවුම හේතුවෙනි.


-ප්‍රියන්ත ෆොන්සේකා -