Showing posts with label සෞන්දර්ය අධ්‍යාපනය. Show all posts
Showing posts with label සෞන්දර්ය අධ්‍යාපනය. Show all posts

Tuesday, December 29, 2020

‘සෞම්‍යප්ප්‍රශ්ණය’ විසඳීම: විශ්වවිද්‍යාල සෞන්දර්ය අධ්‍යාපනය දෙස හැරී බලනු පිණිස...

(2020 ‍‍දෙසැම්බර් 27 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ සංස්කරණය වී පළවූවකි. මේ එහි සම්පූර්ණ ලිපියයි.)

මහාචාර්ය සෞම්‍ය ලියනගේ වෙනුවෙන්
සැදුණු විරෝධතා පෝස්ටරයක්!

පාලක සභාව එක්ව ගත් තීරණයක් හරහා, වසර කිහිපයකට පෙර සිදුවුණු සිද්ධියක් පදනම්ව මහාචාර්ය ධූරයෙන් ඉවත් කෙරුණු සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා ලෙස ද කටයුතු කරමින් සිටි මහාචාර්ය සෞම්‍ය ලියනගේ මහතා, පාලක සභාව විසින්ම සිය වරද පිළිගනිමින් හා නිවැරදි කරමින් යළි සේවයේ පිහිටුවා ඇත. ‘සෞම්‍යප්ප්‍රශ්නය’ ලෙස මවිසින් නම් කරමින් අරඹන මෙම අර්බුදය හා බැඳුණු සිදුවීම මෙරට සෞන්දර්ය කලා විෂයය දෙස යළි හැරී බලන්නට කාරණා රැසක් මතු කරවන බව මගේ යෝජනාවයි. එබැවින් අද ලිපියේ නිමිත්ත ‘සෞම්‍යප්ප්‍රශ්නය’යි.  

කෙසේ වෙතත්, මෙම ලිපිය ලියන්නට තීරණය කිරීමම මසිත තුළ දෙයාකාර හැඟීම් ජනිත කරවයි. පළමුවැන්න නම්, මහාචාර්ය සෞම්‍ය ලියනගේ වැනි තත් විෂයක්ෂේත්‍රය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඇති විද්වතකු අහිමි නොකරගන්නට සබුද්ධික වූ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නව උප කුලපතිවරයා ඇතුළු එහි පාලක සභාවේ සාමාජිකත්වය වෙත ගෞරව පූර්වකත්වය හා බැඳී නැගෙන හැඟීමයි. එය සෞන්දර්ය කලා විෂයය සම්බන්ධ ක්ෂේත්‍රය සමග හිඳ කටයුතු කරන විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු ලෙස මතුළ නැගෙන සංතෘප්තිය සමග යන්නකි. සෞන්දර්යය, වෙසෙසින් නාට්‍ය හා රංග කලාව විෂයයෙහි ජාත්‍යන්තර අත්දැකීමෙන් පරිණත, පිළිගත් විදෙස් විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධියක් දිනූ ශාස්ත්‍රඥයින් අප රට තුළ වන්නේ අතලොස්සක් වන මොහොතක මහාචාර්ය ලියනගේ යළි-කැඳවීම සතුටුදායක සිදුවීමකි. මසිත තුළ නැගෙන දෙවැනි හැඟීම මෙම සිදුවීම අපට සංඥා කළ සෞන්දර්ය අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධ, වෙසෙසින් විශ්වවිද්‍යාල පසුබිමෙහි හඳුනාගත හැකි, අර්බුදය කෙතරම් බරපතල වූවක් ද යන්නයි. එය මහාචාර්යවරයා යළි-කැඳවීමෙන් මැකී නොයන තරමට බිහිසුණු ය.

‘සෞම්‍යප්ප්‍රශ්නය’ සමගින් ලාංකික සමාජයේ වෙසෙසි අවධානයට ලක් වූව ද මෙරට විශ්වවිද්‍යාලයන්හි සෞන්දර්ය හා ලලිත කලා ආයතන සම්බන්ධ අර්බුදය නිරන්තර අවධානයට හා සාකච්ඡාවට ලක් විය යුත්තකි. (යමෙක් මෙය සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතිය හා සම්බන්ධව සමාන බැව් යෝජනා කළ හැකි වුවත්, මාගේ යෝජනාව එය සමස්ථ සීමා ඉක්මවන තැනක වන බව ය.) සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය, කැලණිය, පේරාදෙණිය, ශ්‍රී පාලි මණ්ඩපය හා ජයවර්ධනපුර යන විශ්වවිද්‍යාල හා මණ්ඩපවල සිංහල මාධ්‍යයෙන් ලලිත කලා, ප්‍රාසාංගික කලා හෝ සෞන්දර්ය කලාශ්‍රිත විෂයයන් අධ්‍යයනය කෙරේ. දමිළ මාධ්‍යයෙන් එය හැදෑරෙනුයේ යාපන විශ්වවිද්‍යාලයේ සහ යාපනය විශ්වවිද්‍යාලය යටතේම වන ලලිත කලාව සඳහා වන රාමනාදන් ඇකඩමියේත්, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සහ ඒ යටතේම වන ස්වාමි විපුලානන්ද සෞන්දර්ය කලා අධ්‍යයන ආයතනයේත් ය. මොරටුව සහ රුහුණ වැනි විශ්වවිද්‍යාලවල ඇතැම් පාඨමාලා යටතේ ලලිත කලා හෝ සෞන්දර්ය අධ්‍යයන ආශ්‍රිත කරුණු සාකච්ඡා කෙරෙන ස්ථාන මුණ ගැසුණ ද එම විශ්වවිද්‍යාලවල ඒ සම්බන්ධ උපාධි පිරි නැමෙන්නේ නැත. ඒ අනුව, සිංහල සහ දමිළ මාධ්‍ය පදනම්ව උපාධි පිරිනැමෙන තත් විෂයබද්ධ ආයතන 9කි.

දමිළ මාධ්‍යයෙන් ඉගැන්වෙන ආයතන පිළිබඳ මාගේ අවබෝධය සාපේක්ෂව අඩු තැනක පැවතිය ද පොදු තත්වය හමුවේ මේ සියලු ආයතන අභියස වන අර්බුදය සාකච්ඡාවට කැඳවීමට එය බාධාවක් බව නොපෙනෙන්නේ මෙය මුල පිරීමක් පමණක් බැවිණි. මේ සියලු ආයතනවලටම පාහේ බලපාන්නා වූ යටිතල පහසුකම් ආදියෙහි වන ගැටළු සම්බන්ධයෙන් සැවොම මා සමග එක් පෙරමුණකට පැමිණිය හැකි වෙතත්, මා නගන පැනය වෙනත් තැනක පවතින්නකි. යටිතල පහසුකම් විශ්වවිද්‍යාල පද්ධතියේ බොහෝ කලාපයන්හි සීමිත බව සැබෑවකි. සෞන්දර්ය හා බද්ධ තන්හිදී එය දැඩි අර්බුද නිර්මාණය කරන්නේ රංග ශාලා, පුහුණුවීම් සඳහා ශාලිකා, කලාගාර, තාක්ෂණික පහසුකම් යනාදී අදාල විෂයයන් සඳහා වන ආවේණික අවශ්‍යතා බොහෝ පාලකස්ථාන හඳුනා නොගැනීම හේතුවෙනි. ‘නාට්‍ය පෙන්වීම සඳහා ක්‍රීඩාගාරය භාවිතා කළ නොහැකි මන්දැයි’ ප්‍රමුඛ විශ්වවිද්‍යාලයක හිටපු උප කුලපතිවරයෙකු විමසූ පුවත එවැනි එක් උදාහරණයක් පමණි. 

කෙසේ වෙතත්, ඒ සියල්ල පසෙක ලා අපට අප වෙතම හැරෙමින් ස්වයං-විවේචනාත්මකව අපගේ සීමාවන් විමසන්නට ‘සෞම්‍යප්ප්‍රශ්නය’ පසුබිමක් තනා දී ඇත. පළමුව, මහාචාර්ය සෞම්‍ය ලියනගේ යළි සේවයේ පිහිටුවීම සමග ඔහුගේ සේවය අහිමි කිරීම නිවැරදි නොවූවක් බවත්, එය යම් කුමන්ත්‍රණයක් බවත් යෝජනා කිරීම අසීරු නොවන්නකි. ඔහු ඉවත් කිරීමට අවශ්‍ය වූයේ කාහට ද හා ඔහු ඉවත් කිරීමට හේතුපාදක විය හැකි කාරණා කවරේ ද යනාදී ගැටළු ඔස්සේ තාර්කිකව සිත යොමු කරන පොදු සමාජ පුරවැසියෙකුට වුව, අතීත සමය තුළ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය තුළ ඔහුගේ භූමිකාවට එරෙහිව පවතින්නට ඉඩ ඇති බලවේග පිළිබඳ සංඥා හඳුනාගත හැකි ය. මගේ යෝජනාව ඒ මහාචාර්ය ලියනගේ වෙත පුද්ගලිකව එල්ල වීමෙන් නොනවතින, සෞන්දර්ය කලාව හා බැඳුණු කලාත්මක භාවිතාවන් පිළිබඳ වන ශාස්ත්‍රාලීය ප්‍රවේශය වෙත පුළුල්ව එල්ල වන බලවේග පද්ධතියක් ලෙස හඳුනාගැනීම වඩා යෝග්‍ය බව යි.

ඒ ඇයි?

මහාචාර්ය ලියනගේ යනු ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලද්වයකින් සිය ආචාර්ය උපාධිය දක්වා වන සුදුසුකම් සපුරා ගත්තෙකි. ඔහු ද්විභාෂික විද්වතෙකි. ගෙවුණු වසර කිහිපය තුළ මහාචාර්ය රස්ටම් බරුචා වැනි ලෝ ප්‍රකට විදේශ විද්වතුන් පවා මෙරට ශාස්ත්‍රාලීය සංවාද කලාපය තුළට කැඳවාලමින් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන කෙත පුළුල් බිමක් වෙත විහිදවූවෙකි. මහාචාර්ය ලියනගේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය හේතුවෙන් බැබලුණේ නොව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කීර්ති නාමය බැබලෙන්නට ඔහු පදනම සපයනායුරු බාහිරයේ සිටි අපට පෙනී ගියේ වරක් දෙවරක් නොවේ.

‘සෞම්‍යප්ප්‍රශ්නය’ නිර්මාණය කරමින් ඔහු වෙත එල්ල වූ බලවේග එකතුව ඔහුගේ වෘත්තිය අහිමි කිරීම තෙක් කටයුතු කිරීම ඔහුගේ මේ හැකියාව සහ පෞරුෂය වෙත වන ඊර්ෂ්‍යාවක් ලෙස යමෙකු යෝජනා කළ හැකි වෙතත්, ආයතනයක පාලක සභාවක් ඔහුට එරෙහිව පෙළ ගැස්වීමට තරම් වන සමාජ ඊර්ෂ්‍යාවක් ගැන සිතීම අසීරු ය. මේ නැගී පැමිණියේ සමස්ථ විශ්වවිද්‍යාල සෞන්දර්ය කලා හා සමාන්තර ක්ෂේත්‍රවල පවතින පොදු තත්වයට එරෙහිව සෞම්‍ය ‘සෞම්‍ය නොවන’ ලෙස ප්‍රතිමුඛ වීමේ ප්‍රතිඵලයයි. ඒ පොදු තත්වය කුමක් ද?

බොහෝ යටකී ආයතනවල මුණගැසෙන පෙරමුණු ආචාර්ය, මහාචාර්යවරු අති බහුතරය සිය සේවය ස්ථිර කර ගැනීමේ සහ උසස්වීමේ අවශ්‍යතා වෙනුවෙන් අදාල අධ්‍යයන පෙරට විහිදවූවන් මිස දැනුම් පිපාසාවෙන් නිරන්තරව පෙළෙමින් ශාස්ත්‍ර ගවේෂණයේ යෙදෙන්නන් නොවේ. ඔවුන්ට පසුපසින් පැමිණෙමින් සිටින ආධුනික කථිකාචාර්ය බලමුළු ද එම ක්‍රමවේදම අනුව යමින් සියලු කඩඉම් ජයගැනීම සඳහා වන පහසුම කෙටි මාර්ග විමසමින් සිටිති. විදේශ දැනුම සහිතව පැමිණෙන්නන් පිටු දැකීමෙන් ද, ද්විභාෂික උගතුන් හෙලා දැකීමෙන් ද ස්වකීය ආරක්ෂිත කලාප තනා ගනු පිණිසත්, තිර කරගනු පිණිසත් මෙම ඉහළ සහ පහළ කථිකාචාර්ය කණ්ඩායම් අන්‍යෝන්‍ය අවබෝධයකින් කටයුතු කරමින් සිටිති. ‘සෞම්‍යප්ප්‍රශ්නය’ නිර්මාණය වන්නේ මෙම ආරක්ෂිත කලාප බිඳ වැටෙන තරමට මහාචාර්ය සෞම්‍ය ලියනගේ පෞරුෂය ඉහළ නැගෙන විට ය.

සෞම්‍ය ලියනගේ යළි කැඳවීම සමග ‘ඔහු වෙනුවෙන් පෙනී සිටියවුන්ට තුති’ පුදා යළි හැරෙන්නට අපට අවසර නැත. හේතුව සෞන්දර්ය අධ්‍යාපනය හා ආශ්‍රිත කලාප සමග කටයුතු කරන්නට විශ්වවිද්‍යාල වෙත පියවර තබන්නට නියමිත අනාගත පරපුර ඉහත කී බහුතර එකඟතා කණ්ඩායම්වල සීමාකාරී මෙහෙයවීම්වලින් නොගැලවී ඇති බැවිණි. වඩා යාවත්කාලීන වූ දැනුමක් සමග සිය ශාස්ත්‍ර ගවේෂණ ලෝකය වෙත පැමිණෙන්නට සියල්ලන්ට බල කෙරෙන පෙරමුණක් වෙත යාමට ‘සෞම්‍යප්ප්‍රශ්නය’ යොදාගත යුතු ය.

-ප්‍රියන්ත ෆොන්සේකා -  

Saturday, February 29, 2020

ලංකා සාන්ත සහ ඩේමියන්


(2020 ‍පෙබරවාරි 16 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)
සුනිල් සාන්ත
මට ලංකා සාන්ත සහ ඩේමියන් හමු විය. ඒ ගෙවුණු සති අන්තයේ ය. ලංකා සාන්ත යනු සුනිල් සාන්ත නමැති, සංගීත චින්තනයක් රටට ඇති කිරීමට, රටේ සියල්ලන්ට භාවිතයට කැඳවිය හැකි අනන්‍ය සංගීතයක් සොයා යාමට කටයුතු කළ විශිෂ්ට මිනිසාගේ දෙවැනි පුත්‍රයා ය. ඩේමියන් යනු මීගමු ප්‍රදේශයේ කුඩා විලා හෝටලයක ආවතේවකරුවකු ලෙස කටයුතු කරන, වැදූ මවගෙන් හැදූ මව වෙත භාර වූ හෙයින්, මව්වරුන් දෙදෙනෙකු මට විණි යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන, දමිළ ජාතික, එනමුත් සිංහලය ද හොඳින් වහරන හිත හොඳ මිනිසා ය.

මේ දෙදෙනාගේම හමුව එකවර යෙදුණේ සුනිල් සාන්තයන්ගේ චින්තනය පිළිබඳ හැදෑරීම හා පර්යේෂණය ප්‍රමුඛ කොටගත් අධ්‍යයන පදනමක් බිහිකිරීම පසුබිම්ව යෙදුණු සමාරම්භක සැසිය තුළ දී ය. සුනිල් සාන්ත සමාජය මේ වන විටත් වඩාත් ක්‍රියාකාරී සංවිධානයකි. එය වාර්ෂිකව සුනිල් සාන්ත සංගීත භාවිතාව සැමරීමට හා ඒ මැදිහත්වීම පෙරට ගෙන යාමට විවිධ වැඩසටහන් සමාජය වෙත තබයි. ඒ ආශ්‍රිත සාකච්ඡාවන් තුළ දී පැන නැගී ඇති බව පෙනෙන මෙම අධ්‍යයන පදනමක් බිහිකිරීමේ යෝජනාව මල් ඵල ගන්වනු වස් වන පළමු සැසියට මවෙත ආරාධනාව ගෙන ආවේ රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජයන්ත අමරසිංහ ය.

සුනිල් සාන්තයන් මෙරට අධිපති සංගීත චින්තනය හා භාවිතය විසින් ආන්තික කලාප වෙත තල්ලු කරනු ලැබූ, අද දවසේ යළි හැරී විමසන විට පෙරමුණට කැඳවීමට බොහෝ කාරණා තිබුණු බව පෙනෙන විශිෂ්ඨයෙකි. අද, සෞන්දර්යයෙන් විනිර්මුක්ත සමාජයක ජීවත් වන අපි, සංගීතය යනු රියැලිටි තරු වෙත සිය දරුවන් දැක්කීම යැයි විශ්වාස කරන දෙමාපිය හා වැඩිහිටි පරපුරක් සමග සෞන්දර්යයේ අනාගතය ගැන සිහින දකින්නෝ වෙමු. සියලු පුරවැසියන්ට වඩාත් සමීප, නමුත් කිසිදු එක් සංගීත සම්ප්‍රදානයක් වෙත තනිව ඇලී නොපවතින, දේශජ සංගීත භාවිතයක් තැනීමේ සුනිල් සාන්ත සිහිනය සාක්ෂාත් විණි නම් අද අප ජීවත් වෙමින් සිටින්නට තිබුණේ ඊට හාත්පස වෙනස් සමාජයක වීමට තිබුණු ඉඩ සුළු නොවෙන්නක් බව පෙනෙන්නේ ඔහුගේ දැක්ම විමසන විට ය. ඒ කවරාකාර වූවක් ද?

සුනිල් සාන්ත ද ඉන්දීය ශාස්ත්‍රීය සංගීතය ඉහළින්ම ප්‍රගුණ කළ අයෙකි. ඒ ප්‍රකට රතන් ජන්කර් පඬිදුන්ගේ හොඳම ශිෂ්‍යයකු ලෙස ඇගයුම් ද ලබමිනි. නමුත් ඔහුගේ ආගමනය, ඔහු හා සමකාලීනව ඉන්දියාවට ගිය ලයනල් එදිරිසිංහ යනාදීන්ගේ මගින් පොළා පැන අනන්‍ය දේශීය සංගීතයක් තැනීම වෙත යොමු විය. අද දේශීයහා අනන්‍යවැනි වදන්වලට වෙනත් සංකල්ප රූප අප මනස් තුළ ස්ථාපනය කොට අහවර වී ඇතත් සුනිල් සාන්ත යෝජනා කළ අනන්‍ය දේශීය සංගීත භාවිතය වූ කලී එම කලාප තුළ සිර නොවූවක් බව පෙනෙන්නේ ඔහුගේ ක්‍රියාකාරී මැදිහත්වීම තුළ හමුවන සාර්ව-භෞමික ලක්ෂණයන් හේතුවෙනි. සැබවින්ම ඔහු යෝජනා කොට තිබුණේ කෞතුකාගාර ගත කළ යුතු අනන්‍ය - දේශීය සංගීත සම්ප්‍රදායක් පිළිබඳ නොස්ටැල්ජික ප්‍රවේශ මාර්ගයක් නොව එදිනෙදා භාවිතය තුළ පැවතිය යුතු සජීවි සංගීත භාවිතයකි.

කෙසේ වෙතත්, පසු-නිදහස් සමය තුළ පැන නැගෙන සංස්කෘතික භාවිතය තුළ පෙරටුගාමී බලඇණි වෙතින් ද, හෙළ හවුල හා සමීප වීම නිසා (සරච්චන්ද්‍ර ප්‍රමුඛ) පේරාදෙණි (ගුරු කුලයේ) මහා කථිකාව වෙතින් ද, ඉවත් කෙරුණු ලැබූ සුනිල් සාන්ත සිය ජීවිතයේ වැඩි කොටසක් ගත කොට ඇත්තේ සිය පවුලේ ජීවිකාව වෙනුවෙන් කැප වුණු සෙනෙහෙබර නමුත් අදීන පිය භූමිකාවක නිරත වෙමින් වෙනත් ස්වයං රැකියාදීයේ නිරත වෙමිනි. අගනුවරින් වැඩි ඈතක ජීවත් නොවුණ ද, එදවස දේශීය සංගීතයේ මුහුණවර තනන්නට ප්‍රමුඛ කටයුත්තක නිරත වූ ගුවන් විදුලි සංස්ථාවට වැඩිපුර ගොඩ නොවී ඇති සුනිල් සාන්ත, එහි කැඳවුණු මොහොතවලදී වුව එම ප්‍රවේශයන් ප්‍රශ්න කොට ඇති බව පෙනේ. සියලු ලාංකික ගායක ගායිකාවන් රතන් ජන්කර් පඬිතුමන් හමුවේ උත්තර භාරතීය සංගීතය පෙරමුණෙහි තබා පරීක්ෂණයකට ලක් කිරීමට කටයුතු යෙදුණු විට, රතන් ජන්කර් යනු සිය ගුරුතුමන් වුව, සුනිල් සාන්ත එය ප්‍රතික්ෂේප කොට ඇත්තේ උත්තර භාරතීය සංගීතය මෙරට සංගීත සිතියම තනන්නට මුල්වන ප්‍රමුඛ ප්‍රවේශය බවට පත් කිරීමට විරෝධය පාමිනි.

සිවුදරු පියෙකු ලෙස, ස්වාත්මයෙන් ඇරඹ, රට, ලෝකය හා කලාව ඔස්සේ විහිදෙන පරිදි (සුනිල් සාන්ත, ලංකා සාන්ත, ජගත් සාන්ත යන පුතුන් හා කලා සාන්ත දියණිය) සිය දරුවන්ට ද නම් තබා ඇති සුනිල් සාන්ත ජීවන පැවැත්ම පූර්ණ ලෙස ස්වකීය දර්ශනය ඔස්සේ විහිදුවා ඇති බව පෙනේ. කෙසේ වෙතත්, ඔහු ආන්තික කලාපයක සිර කොට තබා තිබී ඇත්තේ ඔහුගේ භාවිතය සරල වැඩි, වැඩකට නැතිතැනකට පටු කොට තබමිනි. ඔහු තනන්නට යත්න දැරූ සංගීත සම්ප්‍රදානය එක් සීමාවකින් ඉදිරියට යන්නට ඉඩ නොදී සීමා පනවමිනි.

ඔහුගේ දෙවැනි පුතු වූ ලංකා සාන්තගේ පූර්ණ දායකත්වය හිමිව තිබුණේ සිය පියාගේ මේ ගමන් මග යළි පිළිවිස ඒ ඔස්සේ ශාස්ත්‍රීය අධ්‍යයනයන් වෙත ද අප මෙහෙයවන්නට ය. එය අපට පෙනුණේ සිය පියා ස්වකීය නාමයෙහි පටන් තමන් වෙත තබා ගිය ඇඟවුමෙහි සංඥාව හඳුනාගත්තෙකුගේ මැදිහත්වීමක් ලෙස ය. භාෂාව, ජාතිකත්වය ඇතුළු කලාප වඩාත් දැඩි මූලධාර්මික සංස්ථාවන් හා බද්ධව හඳුනාගැනෙන හා අර්ථ දැක්වෙන අද දවස සුනිල් සාන්ත චින්තනය යළි විමසීම ජාතිකත්වය පිළිබඳ මෙරට පසු-නිදහස් කථිකාව හඳුනාගැනීමටත්, වෙනත් මානයකින් අර්ථ දක්වා ගැනීමකටත් මග පාදනු ඇත.

එසේ නම් ඩේමියන්?  

මේ සියලු සංවාදයන් සඳහා මුල පිරුණු රෝයල් ෆීනික්ස් විලාහි ආවතේවකරුවා ඔහු ය. උදෑසන තේ කෝප්පයේ පටන් රාත්‍රී ආහාරය දක්වා අපට සැපයූ ඩේමියන්, ඉන් ද නොනැවතී අප වෙත විටින් විට විවිධ අඩුවැඩිය සැපයී ය; අවශ්‍යතා විමසා බැලී ය. අප සැම සමග අපූරු කතා කියමින් සිය ජීවිතය ගැනත්, රටේ ලෝකයේ සමාජ දේශපාලනික වටපිටාව ගැනත් තමන්ටම අනන්‍ය කියවීම් අප වෙත ගෙන ආවේ ය.

“ඔය ආදරේ කියන එක තියෙනව නේද සර්? ඒක නිකං බස් එකේ නැත්තං ත්‍රීවීල් එකේ යනව වගේ වැඩක්. ඕනැ තැනක බහින්න පුළුවන්. ඒත් කසාදෙ එහෙම නෙවෙයි. ඒක ප්ලේන් එකේ යනව වගේ. නැග්ගට පස්සෙ බාන කං බැහිල්ලක් නෑ. මොකද ආය දොර ඇරන් පනින්නයැ?”

එවැනි කතා සමගින් ඔහු අප සිනා ගැන්වූයේ ය.

නමුත් අපූර්වතම අවස්ථාව හමුවූයේ අවසන් දිනයේ කපිල දිසාසේකර සිය ඉලෙක්ට්‍රොනික කී බෝඩය වයමින් ගීත ගැයූ මොහොතේ ය. අප වෙත ආ ඩේමියන් සුනිල් සාන්තයන්ගේ ‘ඕලු පිපීලා’ ඇතුළු ගීත කිහිපයක්ම වයන ලෙස කපිලගෙන් ඉල්ලා සිටියේ ඒ ගීත පිළිබඳ ඇගයුමක් ද ලබා දෙමිනි.

“ඒව හරි ලස්සන සිංදු සර්. මම දෙමළා තමා. හැබැයි මුං දැං මේ බාසාව කන එකට මට තරහයි. මේක සිංහල- දෙමළ කතාවක් නෙවෙයි. මුං සේරම මේක කනවා....”

ලංකා සාන්ත අනුග්‍රහය දක්වමින්, මහාචාර්ය ජයන්ත අමරසිංහගේ කැඳවීමට අනුව මා සම්බන්ධ වුණු සුනිල් සාන්ත අධ්‍යයන පදනම පිහිටුවීමේ අවස්ථාවේ දී ඩේමියන් හමුවීම මට නම් සුවිශේෂ ය. ඔහු නොකීව ද ඔහුගේ නම අනුව ඔහු දමිළ කතෝලිකයෙකු වන්නට ඇති ඉඩ වැඩි ය. නමුත් ඔහු සිංහල-බෞද්ධ දෘෂ්ඨිවාදයේ බල කේන්ද්‍ර විසින් ආන්තික කලාප වෙත තල්ලු කෙරුණු සුනිල් සාන්ත භාවිතාවේ වැදගත්කම ගැන අපට කියයි. එහි පොදු පුරවැසි නියෝජිතයෙක්ව නදීක ගුරුගේ, අජිත් කුමාරසිරි හා කපිල දිසාසේකර ඇතුළු පිරිස ගෙන ආ සුනිල් සාන්ත නිර්මාණ භාවිතය විඳියි.

සුනිල් සාන්ත දෙස අප හැරී බැලිය යුතු ය. ඒ ලංකා සාන්තගේ ඇරයුම හේතුවෙන් පමණක් නොවේ. ඩේමියන්ගේ ද ඇරයුම හා සිහි කැඳවුම හේතුවෙනි.


-ප්‍රියන්ත ෆොන්සේකා -


Wednesday, August 28, 2019

විශ්වවිද්‍යාල සංගීත අධ්‍යාපනයේ අර්බුදය


(2019 අගෝස්තු 25 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

තරුණ සංගීත උගතුන් කණ්ඩායමක් කැලණිය සහ සෞන්දර්ය විශ්වවිද්‍යාලවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොණු කර ඇති අතර මේ දිනවල එය විභාගයට ගැනෙයි. කැලණිය සහ සෞන්දර්ය විශ්වවිද්‍යාල සඳහා කථිකාචාර්යවරුන් බඳවා ගැනීමේ දී ඉන්දීය උපාධි පාඨමාලා සම්පූර්ණ කොට මෙරටට පැමිණ සිටින අයගේ අයදුම්පත් පළමු වටයේ සළකා බැලීම්වලින් ඉවත් කිරීම මේ නඩුව පැවරීමට මුල්ව ඇති නිමිත්තයි. විශ්වවිද්‍යාලවල තර්කය අනුව ඉන්දීය විශ්වවිද්‍යාලවල සංගීත පාඨමාලා හැදෑරෙන්නේ වසර තුනක් පමණක් හෙයින් මෙරට විශ්වවිද්‍යාල පනත හා නීති සංග්‍රහය අනුව ඒ අයත් වන්නේ සාමාන්‍ය උපාධි යටතට මිස විශේෂ උපාධි යටතට නොවේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ විශේෂවේදී පාඨමාලා යටතේ සංගීතය හදාරන්නෙකු/හදාරන්නියක වසර 4ක උපාධි පාඨමාලාවක් සපුරන හෙයින් ඔහු/ඇය මෙම බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පළමුව කැඳවිය යුතු ය.

අනෙත් අතට, අධිකරණය හමුවට යන පාර්ශවයේ තර්කය වී ඇත්තේ, ඉන්දීය විශ්වවිද්‍යාල සංගීත පාඨමාලා වසර තුනකින් කෙළවර වීම ඔවුන්ගේ වරදක් නොවන බවයි. එසේම උපාධියට ප්‍රවේශ වීම සඳහා නිම කරන ඩිප්ලෝමා මට්ටම් ආදියද සමග එය වසර පහකට ආසන්න කාලයක අධ්‍යයන කටයුත්තක් බවයි. ඒ හා සමග, මෙරට දී සළකා බැලෙන පාඨමාලාවල ‘ක්‍රෙඩිට් ප්‍රමාණ‘ (ඇමරිකානු සමාසික නැතිනම් සෙමෙස්තර ක්‍රමය යටතට ගැනෙන) ආදිය වෙනුවට ඉන්දියාවේ දී සැලකෙන්නේ අවසන් කෙරෙන/ පුහුණුව ලැබෙන ‘පැය ප්‍රමාණ‘ ආදිය බවයි. ඉහත තර්ක ඔස්සේ සලකා බැලූ විට, බොහෝ දුරට මෙරට විශ්වවිද්‍යාලයක ආචාර්ය මණ්ඩලයකට එකතු වීමේ අවස්ථාව ඔවුන්ට හිමිවන්නට ඇති අවස්ථා අවමව ඇති වටපිටාවක, ඔවුන්ගේ අරගලය යම් පදනමක් සහිත වූවක් බව පිළිගත හැකි ය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මත ඉහත පිරිස හා විශ්වවිද්‍යාලවල සංගීත පාඨමාලාවල අනාගත ස්වරූප ලියැවීමට ඉඩක් වද්දී, සෞන්දර්ය අධ්‍යාපනයට ලැදි හා වඩා විධිමත්ව ඒ ගොඩ නැගිය යුතු බැව් විශ්වාස කරන පිරිසක් ලෙස අප රට සංගීත අධ්‍යාපනය වෙත නැවත හැරී බැලීමට මෙය අවස්ථාවක් කර ගැනීම උචිත බව මගේ අදහසයි. එය සමස්ථයක් ලෙස සංගීත අධ්‍යාපනය මතු නොව සංගීතය යන පුළුල් කලා කෙත දෙසම වන දේශජ දැක්ම යළි විමසීමට පසුබිමක් තනා දෙනු ඇති හෙයිනි.

සංගීතය නොඋගැන්වූව ද සංගීතය විෂයයක් ලෙස හදාරන විද්‍යාර්ථීන් හා ආචාර්යවරුන් සහිත, සෞන්දර්ය අධ්‍යාපනය මූලික කොටගත්, විශ්වවිද්‍යාල අධ්‍යාපන ආයතන දෙකක වසර 16කට නොඅඩු අත්දැකීම් ඔස්සේ නැවත හැරී බලද්දී මට පෙනෙන්නේ අප සංගීතය අධ්‍යයන විෂයයක් දකින ආකාරයේම මූලික අර්බුදයක් හඳුනාගත හැකි බවයි. එය විශ්වවිද්‍යාල මට්ටමේ පමණක් පවතින්නක් නොවේ. අන්‍යෝන්‍ය වශයෙන් දෙපසින්ම ඇගයුම් හා එකඟතාවන් ලබමින් පාසැල් හා විශ්වවිද්‍යාල යන දෙඅංශයේම පවතින්නකි. එය සරල උදාහරණයකින් වටහා දෙන්නට මට ඉඩ දෙන්න.

මා කලින් සේවය කළ මෙයින් එක් සෞන්දර්ය මූලික විශ්වවිද්‍යාල ආයතනයකට ළමුන් බඳවා ගැනෙන්නේ උසස් පෙළ සමත්වූවන් වෙනුවෙන් වන සම්මුඛ පරීක්ෂණයකිනි. අවසානයේ විද්‍යාර්ථීන් 10-15කට ලැබෙන අවස්ථාවක් දිනා ගනු පිණිස වසරකට උසස් පෙළ සමත් සිසු සිසුවියන් තුන්සියයකට නොඅඩු පිරිසක් සංගීතයට පමණක් එම ආයතනයට අයදුම් පත් එවා මෙම සම්මුඛ පරීක්ෂණයට සහභාගි වෙති. සංගීතය පිළිබඳ ව ප්‍රවීණ දැනුමකින් සමන්විත ආචාර්ය මණ්ඩල සාමාජික පිරිසට අමතරව කලාව හා සෞන්දර්ය පිළිබඳ අයදුම්කරුවන්ගේ සාමාන්‍ය දැනුම විමසා බලන්නෙකු ලෙස මම අවස්ථා ගණනාවකදීම මෙම මණ්ඩලවල වාඩිවී සිට ඇත. සෑම විටම ඒ මණ්ඩලය ඉදිරියට එන සිසුවකු හෝ සිසුවියකගෙන් ඇසෙන අනිවාර්ය පළමු පැනය මෙයයි.

“ඔයා වයලින් ද? වෝකල් ද?“

අයදුම්කරු වයලීනය ප්‍රගුණ කර ඇත්නම් ඔහුට හෝ ඇයට ඉදිරිපස වාඩි වී නම් කරන ලද හා පුහුණු වූ ඉන්දියානු රාග වයන්නට ද, ගායනය ප්‍රගුණ කළේ නම් ඉන්දියානු රාග ගයන්නට ද සිදු වන අතර, වෙනත් සංගීත භාණ්ඩවලට ඔවුන් වෙත හුරුවක් වේදැයි යන්න සරල ගීත හෝ ජන ගීත ආදිය ගයන්නට හැකිදැයි යන්න දෙවනුව හෝ තෙවනුව විමසා බලා සම්මුඛ පරීක්ෂණය කෙළවර කෙරෙයි. බටනලාවක්, සිතාරයක්, තබ්ලාවක් හෝ බටහිර වාද්‍ය භාණ්ඩයක් ඔසවාගෙන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට ඉදිරිපත් වන අයෙක් වෙතොත් ඔහුට/ඇයට බොහෝ දුරට ලැබී ඇත්තේ මෙවැනි පිළිතුරකි.

“ඔයා සෞන්දර්යයටත් ඇප්ලයි කළා ද? එහෙ නං ඔය වගේ ඉන්ස්ට්‍රැමන්ට් කෙරෙනව. එහෙම නැත්තං ඔයා කැමති නැද්ද වයලින් එක හරි ගායනේ හරි කරන්න මෙහෙ ඇවිත්?“

අරුමය නම් මේ දෙවැනි පිළිතුර අසන්නට එන පිරිස අතේ ඇඟිලි ගණන නොඉක්මවන අති සුළුතරයක් වීමයි. මණ්ඩල දොරෙන් ඇතුළු වන්නා නියතවම වයලිනයක් අත දරා හෝ  ගයන්නට මුව සූදානම් කරගෙන හෝ පැමිණෙන බැවිනි. එයට හේතුව පාසැල් සංගීත අධ්‍යාපනය ද මූලිකව වයලීනය හෝ ගායනය මුල් කරගෙන විහිද යන නිසා බැව් ඒ දිනවල විශ්මයට පත්ව උන් මා වෙත මණ්ඩලයේ ප්‍රවීණයෙක් පහදා දුන්නේ ය.

දැන් අපට නියත, අනිවාර්ය, එනමුත් කවුරුත් නොඅසන පැනයක් ඇසිය හැකි ය. සංගීතය යනු මේ ද? වයලීනය හෝ ගායනය මූලිකව තැබූ, තබ්ලා, සිතාර හා බටහිර සෙසු වාදන භාණ්ඩ දෙවනුව තැබූ දෙයක් ද?

මෙය සංගීතය, උත්තර භාරතීය හා දක්ෂිණ භාරතීය ලෙස ද, බටහිර ලෙස ද වෙන් සම්ප්‍රදායන් ලෙස ගෙන හැදෑරීම ඉක්මවූ ඛේදනීය ආස්ථානයකි. මා දන්නා විශ්වවිද්‍යාල පාඨමාලාවලින් අති බහුතරයක් මෙම, ඉන්දීය රාගධාරී සංගීතය මුල් කොටගත්, දිගින් දිගටම රාග වැයීම හෝ ගැයීම පුහුණු කෙරෙන, සාම්ප්‍රදායික ප්‍රවේශය බිඳ හෙළා වෙනත් මාවත් සොයාගෙන නැත. සරස්වතී ප්‍රතිමාවක් සිය පුහුණු පන්ති අභියස තබා, ඒ වැඳ අවසර ගෙන කෙරෙන පුහුණු සැසි හැරුණු විට විශ්ව සංගීතය විමසිය හැකි ආකාර සොයා බලා නැත. යට සඳහන් කළ අධ්‍යයන ආයතන දෙකෙහිම නව විෂයය නිර්දේශ යාවත්කාලීන සැසි හා එක්ව මා සම්බන්ධ වන විෂයය ක්ෂේත්‍රවල කටයුතු කරද්දී, සංගීතයේ නන්විධ ප්‍රවේශ හා ස්වරූප විමසිය හැකි, ලොව දියුණු විශ්වවිද්‍යාල හා සංගීත පාසැල්වල ක්‍රියාත්මක පාඨමාලා අනුදත් විෂයය නිර්දේශ තැනීමට ඒ ආචාර්යවරුන් වෙහෙසෙන බවක් දැක හෝ නැත.

එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් එක් ‘ප්‍රශ්න කළ හැකි‘ පොදු ප්‍රකාශයක් නම් නිරතුරුව වහරති. ‘සංගීතය විශ්ව භාෂාවකි!‘ යන්න එම ප්‍රකාශයයි.

සංගීතය දෙස බලන, විමසන හා ඒ හදාරණ මාවත් ගණනාවක් ලෝකයේ සංගීතය ප්‍රමුඛ කොටගත් පාසැල් හා විශ්වවිද්‍යාල හමුවේ හඳුනාගත හැක. උදාහරණයක් ලෙස සිඩ්නි විශ්වවිද්‍යාලයට අයත් ප්‍රමුඛතම අධ්‍යාපන (සංගීත සංරක්ෂණ) ආයතනයක් වන Sydney Conservatorium music හි නිර්මාණශීලී සංගීතය, සමකාලීන සංගීත භාවිතය, ඩිජිටල් සංගීතය හා මාධ්‍යය, ජනසංගීතවේදය, සංගීතවේදය, ආදිවාසී සංගීතය, ගොඩ නංවන (Improvised) සංගීතය, අභිවහන විද්‍යාව, අභිවහනය හා සංරක්ෂණය යනාදී විෂය ප්‍රවේශ සිය පළමු උපාධිය සඳහා සංගීතය තෝරාගන්නෙකු වෙත හමුවනු ඇත. අප රට හමුවන පාඨමාලා අතර මේ විෂයය ක්ෂේත්‍ර අතුරින් යම් කලාප (උදා: ජනසංගීතවේදය) හමු වන අවස්ථා ඉඳහිට හඳුනාගත හැකි වුවත් ඒ ඉතා කුඩා ඒකක වශයෙන් පමණි.

කැලණිය හා සෞන්දර්ය විශ්වවිද්‍යාලවල බඳවා ගැනීම් පටිපාටිය පිළිබඳ ඉන්දීය සංගීත උපාධිධාරීන්ගේ අභියෝගය වැදගත් ය. ‘ඉන්දීය රාගධාරී සංගීතය උගැන්වීමට ඉන්දියාවෙන්ම ඉගෙන පැමිණීම නුසුදුසුකමක් වේයැයි‘ යන තියුණු හාස්‍යජනක හැඟවුමකට එරෙහි වීමක් එහි ඇත. අනෙත් අතට, මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය නගන, මග හැර යා නොහැකි සහ වැදගත් ප්‍රශ්නයක් ඉන්දීය සංගීත උපාධිධාරීන් අභියස ද ඉතිරි වේ. පර්යේෂණාත්මක අධ්‍යාපනයක් මග හැරුණු, හුදු දීර්ඝකාලීන පුහුණුවකින් හා ඒ විභාග කිරීමකින් පමණක් ඔබ ලැබූ උපාධි සුදුසුකම මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඉල්ලා සිටින පර්යේෂණාත්මක ආචාර්යවරයා නිර්මාණය කරන්නේ ද යන්න ඒ වැදගත් පැනයයි. එයට ඔවුන් පිළිතුරු දිය යුත්තේ නිර්මාණශීලී ක්‍රියාකාරකම් හරහා මෙන්ම විශ්ව සංගීතය පිළිබඳ නව දැනුම පොත්පත් හා ලිපි ආදිය සම්පාදනය හරහා සිදු කරන ද්වි-ආකාර මැදිහත්වීම් ඔස්සේ සංගීත අධ්‍යාපනයේ නිම්වළලු පුළුල් කිරීම මගිනි. ඒ අභියෝගය ඉන්දීය සංගීත උපාධිලාභීන් වෙත මෙන්ම මෙරට විශ්වවිද්‍යාලවල සංගීත ආචාර්ය පරපුර වෙත ද එල්ලව ඇති බව එපිරිස ද මනාව වටහාගත යුතු ය.

දැඩි සීමාකම් සහිත මෙරට සංගීත අධ්‍යාපනය පුළුල් මානයක ස්ථාපිත වනු ඇත්තේ එවන් ප්‍රවේශයකින් පමණි.


-ප්‍රියන්ත ෆොන්සේකා -


සේයාරුව:  සෑම් ස්මිත්ගේ "I am not the only one' ගීයේ අනුවාදනය සඳහා ඩෙරික් ග්ලේටන් (ඩීෂාර්ප් ලෙස ප්‍රසිද්ධ) ඉදිරිපත් කරන වීඩියෝවේ කවරයේ සේයාරුවයි. 

Thursday, July 4, 2019

ශේක්ෂ්පියර්ගෙන් ‘කෑල්ලක්‘ වෙනුවට...


(2019 ජූනි 30 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)


අද සටහනට මත්තෙන් නුදුරු දිනක මා වෙත හදිසියේ ලැබුණු දුරකථන ඇමතුමක සංක්ෂිප්තයක් ඔබ වෙත තැබීම සාකච්ඡාවට කැඳවීමට අදහස් කරන මාතෘකාවට අවශ්‍ය පසුබිම තනා දෙන බැව් විශ්වාස කරමි. එය පහත පරිදි ය.

සර්... සර්ට මතකද මාව? මං කතා කරන්නෙ සර්ගෙන් ඉගෙන ගත්ත අහවලා...

මොකද මතක නැත්තෙ? ඉතින්? මොකද හදිසියෙම?“

“අනේ සර්... මේ මං වැඩ කරන ඉස්කෝලෙ ඩ්‍රාමා මිස්ට පොඩි උදව්වකට... ශේක්ෂ්පියර් නාට්‍ය පිටපතක් හොයාගන්න බැරි වෙයි ද?“

“මොකක්ද පිටපත? මගෙ ළඟත් එකක් දෙකක් ඇති... යුනිවසිටි ලයිබ්‍රරි එකෙත් ඇතිනෙ...“

“ඔය රජ කතා කීපයක්ම එයා ලිව්වනෙ නේද? මොකක් හරි එව්වැයින් හොඳ එකක්... මේ පාර පාසැල් නාට්‍යවලට අපි කරන්න යන්නෙ ශේක්ෂ්පියර් නාට්‍ය... ඒකයි...!“

“හරියටම පිටපත කිව්වනං මට ලේසියි හොයල දෙන්න. සේරම පරිවර්තනය වෙලත් නෑනෙ...“

“සර් ඔය හොඳ මොකක් හරි එකක් තෝරල දෙන්න... “

මේ මෙවැනි ඉල්ලීම් සහිතව මා වෙත ලැබුණු එකම ඇමතුම නොවේ. පේරාදෙණියේ සේවයට යළි එක්වී ගෙවුණු පසුගිය වසරකට මඳක් වැඩි කාල සීමාව තුළ පාසැල් නාට්‍ය තරග මුල් කරගනිමින්, පිටපත් සොයාගැනීමට, හොඳ ‘ප්ලොට්‘එකක් සොයා ගැනීමට, තරග සඳහා ඉදිරිපත් කරන නාට්‍යවල ‘හොඳ නරක‘ හදා ගැනීමට යනාදී වශයෙන් විවිධ ඇමතුම් කිහිපයක්ම මවෙත ලැබිණි. ඒ බොහෝ ඇමතුම් ‘හදිසි‘ ඇමතුම් වූ අතර, දිනයකින් දෙකකින්, ඉක්මන් පිළිතුරු අපේක්ෂිත ස්වරූපයේ ඇමතුම් විය.

නාට්‍ය ඉතිහාසයේ සශ්‍රීකම සමයක් ලෙස ගැනෙන ග්‍රීක නාට්‍ය සමය පිළිබඳ කතාබහෙහි මූලිකව ගැනෙන්නේ ද ‘ඇතැන්ස්‘ නාට්‍ය උළෙල ප්‍රමුඛ නාට්‍ය තරගයන් ය. යුරිපිඩීස් සහ ඇරිස්ටොෆනීස් ඇතුළු, වසර දෙදහසකට ද ඔබ්බෙන් ජීවත් වූ නාට්‍යකරුවන්ගේ නාට්‍ය උත්සවවලින් ජය හිමිකරගත් නාට්‍ය අතුරින්, පිටපත් ලෙස ආරක්ෂාව ලැබ, දිගු අඳුරු මධ්‍යකාලය ඔස්සේ වත්මන තෙක් සුරක්ෂිත වූ පිටපත් අපි අද සම්භාව්‍ය ග්‍රීක සාහිත්‍යය වෙත තබමින් හදාරමින් ද, අපගේ වේදිකා මත ප්‍රතිනිර්මාණය කොට රස විඳිමින් ද සේවනය කරමු. ගැමි නාටක හෝ සමකාලීන අභිචාර හා බැඳුණු නාටක තරග කොට ජය ලැබ ඇති බවක් නොපෙනෙතත්, ග්‍රීක හා රෝම නාට්‍ය සමයන්හි සිට විවිධ අවස්ථාවල මුණගැසෙන නෙක් ස්වභාවයේ නාට්‍ය උළෙල හා තරග රංග වේදිකා මත සිදු කළ ප්‍රකාශනයන් තවෙකක් පරයා යන්නට තරම් ඉහළින් නිර්මාණය කර ඇති ද යන විනිශ්චයට ද ලක් වෙමින් අද වන තෙක් පැමිණ ඇති බවට සාක්ෂි බොහොමයක් වෙයි.

ලාංකික නූතන නාට්‍ය ඉතිහාසයේ නාට්‍ය බොහොමයක් ද 60-70 දශකවල පටන් වැඩී නැගුණු නාට්‍ය උත්සවවල දී ඇගයුමට පාත්‍ර වූ, තරග කොට ජය ලැබූ, නාට්‍ය බව ඒ නාට්‍යවල වටපිට විමසන විට හඳුනාගන්නට ලැබේ. රාජ්‍ය නාට්‍ය උළෙල හා යෞවන සම්මාන උළෙල වැනි ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය අනුග්‍රහය ලැබෙන නාට්‍ය උළෙලවල සිට ‘දහදිය සිත්තම‘, ‘වේදිකාවෙන් මහ පොළවට‘ වැනි විවිධ සංගම්, වෘත්තීය සංවිධාන, විශ්වවිද්‍යාල යනාදී ආයතන මෙහෙයවන නාට්‍ය උළෙල ද විවිධ ‘සශ්‍රීක මට්ටම්වලින්‘ මෙරට නාට්‍ය බිම වෙත දොර විවර කර ඇති බැව් පෙනේ. රාජ්‍යයේ සෘජු අනුග්‍රහය ලැබෙන නාට්‍ය උළෙල වෙත වැඩි වශයෙන් නාට්‍ය නිෂ්පාදකයින්ගේ ආකර්ෂණයක් ඇති බැව් හඳුනාගැනීම අපහසු නොවන අතරම බොහෝ විට, උළෙල කෙළවර, විනිශ්චයන්හි ගුණදොස් පිළිබඳව වාර්ෂිකව කෙරෙන පසු-විවාද ද හමු නොවන්නේ නොවේ.

ඒ සියල්ල එසේ වුව, පාසැල් සෞන්දර්ය අධ්‍යාපනය තුළ ඉහළ අංකයක් ලැබ ගන්නා නාට්‍ය හා රංග කලාවෙහි ප්‍රමුඛ විමසුම නාට්‍ය තරග විය යුතු ද?

නර්තනය, සංගීතය, චිත්‍ර කලාව යනාදී සෙසු සෞන්දර්ය කලාප වෙත ද මේ පැනයම අදාල වන අතර, මගේ ප්‍රමුඛ අධ්‍යයන ක්ෂේත්‍රයක් වෙත තබා මම මේ සාකච්ඡාව ආරම්භ කරන්නට කැමැත්තෙමි. සෙසු කලාප වෙත සාකච්ඡාව දිගු කිරීම අපට දෙවනුව කළ හැකි ය.

වර්තමානය වන විට නාට්‍ය හා රංග කලාව, වසර කිහිපයකට පෙර පැවති ආකාරය බිඳ හෙළමින්, පාසැල් අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි ඉම් රේඛා පුළුල් කොටගෙන ඇත. එය දැන් අපට හමුවන්නේ පාසැලෙහි හත්වැනි වසරේ සිට අධ්‍යයනය කළ හැකි විෂයයක් ලෙසිනි. එනිසාම නාට්‍ය හා රංගකලාව පිළිබඳ ඇති උනන්දුව අතීතයට සාපේක්ෂව අධ්‍යාපන ලෝකය තුළ ඉහළ ය. නමුත් ඒ කෙලෙසකින් ද?

එක් අතෙකින් එය පාසැල්වල පෙර සිට පැවති සෞන්දර්ය විෂයය ඒකක අතරට පැමිණි අලුත් සාමාජිකයෙකි! දැන් දරුවන්ට නටන්නටත්, ගයන්නටත් නොඑසේනම් අඳින්නටත් ‘බැරි‘ නම් නාට්‍ය විෂයය තෝරාගන්නට පුළුවන. “මම නාට්‍ය කරන්න පන්තියෙ ඉතුරු වුණේ ඉතිරි දේවල්වලට තෝරගත්තෙ නැති නිසා“ යැයි ‘ප්‍රේමී කවි නළුව‘ නමැති විශිෂ්ට කෙටි නාට්‍යයේ ප්‍රධාන චරිතය වේදිකාවක් මත සිටම කියන්නේ මේ සත්‍යයයි. දෙවනුව එය නව ටියුෂන් දොරකි. මෙම විෂයය න්‍යායාත්මක පිළිතුරුවලට අමතරව ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද ඉල්ලා සිටින්නක් වන බැවින් නාට්‍ය රංගනය ආදියට හැකියාවක් ඇති නාට්‍ය ගුරුවරුන්ට දැන් හොඳ ඉල්ලුමක් ඇත. එමෙන්ම විෂයය නිර්දේශවල හමුවන නිර්දේශ නාට්‍ය නිෂ්පාදනය කිරීම හා පාසැල් දර්ශන සංවිධානය කරමින් ඒ දරුවන් වෙත අලෙවි කිරීම මෙහිලා හමුවන තවත් නව කලාපයකි. ඒ හා සමගාමීව නැගී ඇති සිවුවැනි අංකය ඉහළ තරගකාරීත්වයක් ඇති පාසැල් නාට්‍ය තරග උණුසුමයි!

අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට අනුව 2019 වසරේ පාසැල් නාට්‍ය තරග ළමා තේමාත්මක නාට්‍ය, කෙටි කතා පාදක, විශ්ව සාහිත්‍ය පාදක, ඒක-පාත්‍ර නාට්‍ය, ග්‍රීක හා රෝම ප්‍රහසන නාට්‍ය, නූතන නාට්‍යකරුවන්ගේ නාට්‍ය, ෂේක්ස්පියර් නාට්‍ය, සංස්කෘත නාට්‍ය, කතා පුවතක් ඉදිරිපත් කිරීම, ඒකල භාෂණ, යුගල භාෂණ, ගැමි නාටක, අභිරූපණ ලෙස ඉසව් ගණනාවක් ඔස්සේ දිවෙන්නකි. මෙම වසරේ පටන් ඒ සඳහා වන නවතම හඳුන්වා දීම ‘සංසද රංගය‘ නමින් සිංහල යෙදුමෙන් හඳුන්වා දී ඇති Forum Theatre තරග ඉසව්වයි. පළාත් මට්ටමෙන් ඇරඹ, විද්‍යාලයේ වන ශිෂ්‍ය සංඛ්‍යාව මත පදනම්ව හෝ වෙනයම් කාණ්ඩකරණයන් යටතේ වේදිකාගතව විහිදෙන මෙම නාට්‍ය තරග විශාල කාලයක්, ශ්‍රමයක් හා කැපකිරීමක් සමග නැගී ජාතික මට්ටමේ ජයග්‍රාහකයින්ගේ ජයපැන් බීම ඔස්සේ කෙළවර වෙයි.

ශිෂ්‍ය අවදියේ ලැබුණු පාසැල් තරගවලින් ලද පැසසුම් හා ඇගයුම් වින්දෙකු ලෙස පාසැල් නාට්‍ය විෂයයෙහි තරග ස්වරූප අහෝසි විය යුතු යැයි යන සාහසික යෝජනාවක් වෙත යොමුවීම හෝ ඒ තරගාවලි සංවිධානය කරමින් හා මෙහෙයවමින් අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞන්දර්ය නිලධාරීන් සිදු කරන කැපකිරීම් අවතක්සේරු කිරීම වැනි ඉමකට තල්ලු වීම අසාධාරණ බව දන්නා නමුත් ඒ සියල්ල හමුවේ වුව මේ තරගවල වත්මන් ස්වරූපයන්හි ඇති ගැටළු සාකච්ඡාවකට කැඳවීම සෞන්දර්ය අධ්‍යාපනයේ මූලික හැඩරුව තීරණය කරගැනීම සඳහා අත්‍යාවශ්‍ය බැව් හඟිමි.

අසීමිත තරග උණුසුම හා අපේක්ෂා නාට්‍ය හා රංගකලාව පිළිබඳ ද්විතීයික අධ්‍යාපන සමයෙහි ස්ථාපිත කළ හැකි සහ කළ යුතු අදහස වෙනත් මානයක් ඔස්සේ විහිදුවමින් රටෙහි අනාගත පරපුර හමුවේ සෞන්දර්යය යන්න ද තවත් තරග කලාපයක් ලෙස ධාරණය කිරීම මෙම වත්මන් තත්වයෙහි මා දකින බිහිසුණුම අනතුරයි. සෞන්දර්ය කලා සේවනය හා වින්දනය පැවතිය යුත්තේ අධි-තරගකාරීව නැගෙන, එකිනෙකා පරයා යෑම සඳහාම වලිකන සමාජයක් නිවා දැමීම පිණිස වුවත් ඒ කලාපය තුළත් යළි තරගය අධි නිශ්චය වීම නාට්‍යයේ මූලික අපේක්ෂා නසා දමන්නකි. ග්‍රීක-රෝම ප්‍රහසනයක හෝ ශේක්ෂ්පියර් නාට්‍යයක තෝරාගත් කොටසක් ‘අනෙකාට වඩා කදිමෙට‘ රඟ පා දක්වමින් පළමුවැනියා වී තුටු වීම හෝ පරාජය වී දුක්වීමට වඩා ඉහළ වටිනාකමක් ලැබෙන්නේ අදාල කලා ස්වරූප හා චරිත වඩා සියුම් හා තීව්‍ර කියවීමක් හරහා බිහිකර ගැනීමට ඉඩ සොයාගත යුතු සංවේදී සමාජය වෙත ය. සීසර්ගේ නසා දැමීම අභියස මාක් ඇන්ටනිගේ විශ්වය දිනූ ඒකල භාෂණය ‘ටක්කෙටම කියා‘ පළමුවැනියා වීමට වඩා අනගි ජයග්‍රහණය වන්නේ ශේක්ෂිපියරියානු කෘතිය මතු නොව සැබෑ සීසරියානු අතීතය තුළ ද මුණගැසෙන බෘෘටස්ලා හඳුනාගැනීමට තරම් අනාගත පරපුර සවිඥාණික කරවීම ය.

ඒ සඳහා අවශ්‍ය ‘මොකක් හෝ නාට්‍ය කෑල්ලක්‘ නොවේ. ඉතා පිරිපහදු කොට තෝරාගත් පෙළ කියැවීම්, මනා හැදෑරීම් සහිත මාර්ගෝපදේශන සහ දියුණු අනාගත දැක්මකි; සෞන්දර්ය අධ්‍යාපනයේ නිසි යෙදවුම පිළිබඳ පැහැදිලි අදහසකි.

-ප්‍රියන්ත ෆොන්සේකා -


සේයාරුව: http://www.pulse.lk

Thursday, June 20, 2019

මවුනගුරු මුණ(නො)ගැසීම


(2019 ජූනි 16 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

“ලංකාවේ සමාජය හරියට දේදුන්නක් වගේ. අපිට ඒ පාට හතම ඕනෙ. එතකොටයි මේක ලස්සන!”



මේ ප්‍රකාශය මහාචාර්ය එස්. මවුනගුරුගේ මුවින් පිටවූයේ ගෙවුණු සති අන්තයේ ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයනාංශයේ පශ්චාත් උපාධි විද්‍යාර්ථීන් සඳහා සිදු කළ මහරු දේශනය කෙළවර ය. සිය 77වැනි උපන් දිනය පේරාදෙණියේ ලලිත කලා විද්‍යාර්ථීන් හා ආචාර්යවරුන් සමග සැමරූ මහාචාර්ය මවුනගුරු, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී දේශනයක් කිරීමට ඔහු තුළ තිබුණු, දශක 5ක තිස්සේ සැබෑ නොවුණු, සිහිනය සිය උපන් දිනය දා සැබෑ කරගැනීමෙන් පසු කොළඹ බලා යාමට පිටත් විය. ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ නාට්‍ය හා රංගකලා දමිළ භාෂිත විෂයය මාලා හා ප්‍රශ්න පත්‍ර අධීක්ෂණ මණ්ඩලයේ ප්‍රධානියා ලෙස සිය සේවය ලබාදීමට ය.

06 වැනි වසරේ පටන් පාසැලේ අවසන් වසර දක්වා ද, ඉන් ද නොනැවතී විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා ගණනාවක ද නාට්‍ය හා රංග කලාව උගන්වන හා ඉගෙන ගන්නා මෙරට සිංහල භාෂිත නාට්‍ය අධ්‍යාපනය මවුනගුරු භූමිකාව නිසි ඇගයුමක තබා නැත. සරච්චන්ද්‍ර සමයේ පේරාදෙණියේම උගත් සිසුවෙකු ලෙස, ඔහු හා මෙන්ම සෙසු සමකාලීන සිංහල නාට්‍ය ප්‍රමුඛ භූමිකා ඇසුරු කළ හා එක්ව කටයුතු කළ නාට්‍ය ක්‍රියාධරයෙකු ලෙස, මෙරට දමිළ නාට්‍ය කලාව තුළ සරච්චන්ද්‍ර හා සම-භූමිකාවක් රඟ දක්වමින් එහි ප්‍රගමනයට සක්‍රීය දායකත්වයක් ලබා දුන්, තවමත් ජීවමාන මවුනගුරු ‘දේශීය’ නාට්‍ය භාවිතය තුළ දැන හඳුනාගැනෙන්නේ ද අඩුවෙනි.

සරච්චන්ද්‍ර සමයේ පේරාදෙණියේ (එවකට යුනිවර්සිටි ඔෆ් සිලෝන්හි) සේවය කළ, පසුකාලීනව යාපනය විශ්වවිද්‍යාලයේ පළමු උපකුලපතිවරයා වූමහාචාර්ය එස්.විද්‍යානන්දන්, මෙරට විශ්වවිද්‍යාල කිහිපයකම මෙන්ම ස්වීඩනයේ උප්සලා, ඉන්දියාවේ මදුරාසි සහ දිල්ලි මෙන්ම එංගලන්තයේ කේම්බ්‍රිජ් යන විශ්වවිද්‍යාලවලද සේවය කළ මහාචාර්ය කේ. සිවතම්බි සහ ශ්‍රී ලංකා විශ්විද්‍යාලයීය (පසුව යාපනය විශ්වවිද්‍යාලය බවට පත් වුණු)  යාපන මණ්ඩපයේ සභාපතිවරයා වූ මහාචාර්ය කේ.කයිලාසපති යන ප්‍රධාන චරිත ත්‍රිත්වය නූතන දමිළ නාට්‍ය කලාවේ ප්‍රමුඛතමයන් වද්දී අද වන විටත් සක්‍රීය දායකත්වයක් දමිළ නාට්‍ය කලාව වෙත ලබා දෙමින් ඒ පෙරට විහිදුවන විද්වත් චරිතය මහාචාර්ය මවුනගුරු ය. මහාචාර්ය සරච්චන්ද්‍රඅතින් නිමැවෙන ‘මනමෙ’ සහ ‘සිංහබාහු’ ප්‍රමුඛ ශෛලිගත සම්ප්‍රදායේ ප්‍රධාන නාට්‍ය ධාරාවට සුහුරු ආලෝකයක් සැපයූ දමිළ නාට්‍ය කලාවට අයත් ‘කූත්තු’ නාට්‍ය සම්ප්‍රදාය භාවිතයට කැඳවමින් ඒ හරහා දමිළ ශෛලිගත නාට්‍යයේ මෑත හැඩතල තනන්නට මුල් තැන ගන්නේ ද මහාචාර්ය මවුනගුරු ය.

රාවණ පුරාවත යළි විමසමින් විසි දෙවැනි වියේ දී, ප්‍රධාන රාවණ චරිතයටද පණ පොවමින්, තරුණ මවුනගුරු නිර්මාණය කරන ‘රාවනේසන්’ නාට්‍යය ‘කූත්තු’ සම්ප්‍රදාය තුළ ද රැඳෙමින් සිදු කළ, ‘මනමෙ’ හා සමාන්තරව තැබිය හැකි ශ්‍රී ලාංකේය දමිළ නාට්‍ය නිර්මාණයකි. ‘මනමෙ’ රඟ දැක්වී වසර 9කට පසු ‘රාවනේසන්’ මුල්වරට රඟ දැක්වෙන්නේ ද පේරාදෙණියේ දී මය. දේශපාලනික පෙරළි හා සිවිල් යුද්ධය දමිළ ජන ජීවිතය වෙනස් මං පෙත් ඔස්සේ ගෙන යද්දී සමානුපාතිකව මහාචාර්ය මවුනගුරු ද සිය නාට්‍යය යළි යළිත් ප්‍රති-රචනා කරමින් නවමු කියවීම් හරහා සමාජ විවරණයන්ට ඉඩ සළසාගෙන ඇත්තේ ‘මනමෙ’ සහ ‘සිංහබාහු’ නාට්‍ය ද්විත්වයේ මූලික හැඩතල දශක 6ක් තිස්සේම ඒක රේඛීයව දිවෙද්දී ය.

83න් පස්සේ වැඩි දෙනෙක් රට දාල ගියා. මම ලංකාවෙ නතර වුණා. සිද්ධ වෙමින් පැවතුණු දේවල් එක්ක මම පර්යේෂකයෙක් හැටියට රාවණා චරිතය වගේම සාම්ප්‍රදායික දමිළ කූත්තු නාට්‍ය ගැන නැවත විමසලා බැලුව. 2000 වෙද්දි මම රාවණ චරිතය ගොඩ නැගුවෙ ගොඩක් මානුෂික චරිතයක් විදිහට. ඔහු යුද්ධයක් ආරම්භ කළා වුණත් යුද්ධයේ විනාශය දැකල ඒකෙන් එළියට එනව!

ඒත් එක්කම මම දැක්කෙ මේ කතන්දර පිරිමින්ගේ කතා විදියට. යුද්ධයේ දී විවිධ පැතිවලින් දැඩිම පීඩාව විඳින්නෙ ගැහැණිය. ඒ ගැන කතා කරන නාට්‍යයේ ඉන්නෙ පිරිමියා. රාවණාගෙ කාලෙ ඉඳන් ප්‍රභාකරන්ගෙ, රාජපක්ෂගෙ කාලෙට එනකම්ම මේව පිරිමින්ගෙ ජයග්‍රහණ එක්ක පරාජයන් ගැන කතා!”

මහාචාර්ය මවුනගුරුගේ මෙම අදහස් ඔහු වසර කිහිපයකට පෙර ‘ඩේලිඑෆ්ටී’ පුවත්පත වෙනුවෙන් තුලාසි මුත්තුලිංගම් ලියූ ලිපියක් සඳහා පළ කළ ඒවා ය. අපට පසුගිය සතියේ මුණගැසෙන්නේ ඒ අදහස් තව දුරටත් මනුෂ්‍යත්වය වෙතම යොමු කළ, පරිණත විද්වතෙකි; හෘදයාංගම මිනිසෙකි; අදහස්වලින් වියපත් නොවූ ‘තරුණයෙකි’!

ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව හෝ දේශීය නාට්‍ය කලාව යන යෙදුම සිංහල නාට්‍ය කලාව යන යෙදුමට වඩා වැඩි භාවිතයක පැවතිය ද පාසැල් හා/හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපන කලාප තුළ, වෙසෙසින් සිංහල මාධ්‍ය ප්‍රධාන ධාරාවේ දී, දමිළ නාට්‍ය භාවිතය සාකච්ඡාවට ගැනෙන්නේ ‘පිටුවකට දෙකකට’ සීමාකොට තබමිනි. ඒ ග්‍රීක, රෝම සහ මධ්‍යකාලීන නාට්‍යය හරහා වත්මන්, සමකාලීන ප්‍රවණතා පිළිබඳ දිගු සංවාද අතර සඟවා තබමිනි. සොෆොක්ලීස් සිට දාරියෝ ෆෝ හරහා බොආල් තෙක් නාට්‍යකරුවන් ද, ‘ඊඩිපස්’ සිට ‘සංවාද මණ්ඩප රංගයන්’ දක්වා නාට්‍ය හා ප්‍රවණතා ද හඳුනන තරම් ප්‍රබලව අප ‘කූත්තු’ හා/හෝ ‘රාවනේසන්’ ද, විද්‍යානන්දන් හා/හෝ මවුනගුරු ද හඳුනන්නේ නැත.

83න් පස්සෙ දෙමළ නාට්‍ය යාපනේට තල්ලු වුණා. හොඳ දෙමළ නාට්‍ය ඉන් පස්සෙ කොළඹ හැදුණෙ නෑ. හැබැයි යාපනේ හැදුණ. යාපනේ නාට්‍ය කරන්න ඇති තරම් ප්‍රශ්න තිබුණ... අපේම ප්‍රශ්න. නොතිබුණේ වේදිකා, පසුතල, ආලෝකය වගේ වටේ දේවල්. අපි කළේ අතුරේ යනව වගේ වැඩක්. අපි හදන නාට්‍යවල ඇත්ත තේමාව තේරුණොත් එල්ටීටීඊ එක අපිව මරා දමන්න උනත් ඉඩ තිබ්බ. අපි හංගල ගැහුව.... මහ දවල් පෙන්නපු නාට්‍යවල අපි අපේ ගැටළු සාකච්ඡා කළා. කොළඹ තිබුණු සිංහල නාට්‍ය, උතුරා ගියපු තාක්ෂණයක් එක්ක තිබුණත්, කොයිතරම් දේශපාලනික වුණා ද කියන ගැටළුව අපට තිබුණ.

ඔබ උරණ වුණත්, විරුද්ධ වුණත් මහාචාර්ය සිවතම්බි වතාවක් කිව්ව කතාවක් මට කියන්න අවසර දෙන්න. ඔහු කිව්ව ‘සිංහල නාට්‍ය සුරුවම් නැති අලංකාර දේවාල වගේ කියල. දෙමළ නාට්‍යවල සුරුවම් තිබුණට කිසිම අලංකාර දේවාලයක් ඒ වටේ නෑ කියල’ එයා කතා කළේ තේමාවන් ගැන. බිහිසුණු යුද්ධයක් මැද්දේ අපේම කතා අපේ නාට්‍යවලට තිබුණ!”

මෙරට වේදිකාව පිළිබඳ ඉහත අදහස සීමාව ඉක්මවූ දරුණු විචාරයකැයි යමෙකු තර්ක කරන්නට ඉඩ ඇතත්, 30 වසරක සිවිල් යුද්ධයක බිහිසුණු බව, පරාජිත තරුණ අරගල දෙකක ඛේදනීය බව පිළිබඳ සාකච්ඡා කළ සිංහල නාට්‍ය සංඛ්‍යාව ගැන බලන්නැයි ඔහුට ආරාධනා කරමින් මහාචාර්ය සිවතම්බි දෙසට යම් නැඹුරු ඉසව්වක සිට ගන්නට මම කැමැත්තෙමි. අපට තවමත් ලක්ෂ ගණනක් වූ වස්තු බීජ මග හැරී ඇත. එයින් යම් කොටසක් ආලෝකය, සැරසිලි ඇතුළු මූලිකාංග නොමැතිව වුව ගෙන ආ දමිළ නාට්‍ය භාවිතය අත හැරී ඇත.
මහාචාර්ය සරච්චන්ද්‍ර මෙන්ම මහාචාර්ය මවුනගුරු ද එකිනෙකා පරයා නොයන පරිදි ස්වකීය භූමිකා තුළ, සිය භාෂා කලාප තුළ වෙසෙසි දායකත්වයන් ලබා දෙමින්, කටයුතු කළ ප්‍රාමාණික විද්වතුන් දෙදෙනෙකි.

අපි දෙමළ සමාජයට ලංකාවේ නාට්‍ය ගැන උගන්නද්දි කියල දෙනව සරච්චන්ද්‍රගෙ ඉඳන් හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන, සුගතපාල ද සිල්වා, ධර්මසිරි බණ්ඩාරනායක වගේම පරාක්‍රම නිරිඇල්ල හරහා වැදගත් හැමෝම ගැන. සිංහල නාට්‍ය සාකච්ඡාව ඇතුළෙ දෙමළ නාට්‍ය ගැන මොනවද කතා කරන්නෙ?”

මහාචාර්ය මවුනගුරු අසන ප්‍රශ්නය මගහැර යා නොහැකි, වහා පිළිතුරු සෙවිය යුතු පැනයකි.

-ප්‍රියන්ත ෆොන්සේකා - 



Tuesday, April 9, 2019

විචිත්‍රත්වයෙන් විභාවනයට: විශ්වවිද්‍යාල කලා කථිකාවේ නව මැදිහත්වීම


(2019 මාර්තු 31 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

සරච්චන්ද්‍ර එළිමහන් රඟමඬලේ ‘වල සතිය’ ගැන ලියා සතියක් ගත වුණු විගස යළිත් විශ්වවිද්‍යාල දෙසටම හැරීම ගැන ඔබ උරණ නොවනු ඇතැයි මම සිතමි. ‘විභාවන’ නමින් සිනමා හා කලා උළෙලක් පේරාදෙණියේ දී දිග හැරෙන්නේ එළඹෙන අප්‍රේල් 03, 04 සහ 05 යන දිනයන්හිදී බැවින් මෙය කලින් ලියා තැබීම යෙහෙකි ය යන්න මගේ අදහසයි.


විශ්වවිද්‍යාල, විශේෂයෙන් පේරාදෙණිය, විද්‍යෝදය හා විද්‍යාලංකාර හෙවත් ජයවර්ධනපුර හා කැලණිය මෙන්ම කොළඹ යන විශ්වවිද්‍යාල මෑත ඉතිහාසය තුළ ලාංකික කලා භාවිතාව වෙත දක්වා ඇති දායකත්වය සුළුපටු නැත. පේරාදෙණි ගුරු කුලය, සරච්චන්ද්‍ර යුගය ගැන වැනි යෙදුම් තවමත් මෙරට කලා කථිකාව තුළ බහුලව යෙදෙන්නේත්, කවිය, නාට්‍යය, නව කථාව, සිනමාව ඈ එක් එක් කලා ප්‍රවර්ග විෂයයෙහි එක් එක් විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරුන් දැක්වූ පොහොනි දායකත්වයන් ගැන කියවෙන්නේත්, ලියැවෙන්නේත් එබැවිනි. සාහිත්‍ය කලා විචාරයෙහි විශ්වවිද්‍යාලයීය මැදිහත් වීම ක්‍රමිකව හීන වී ගිය බව ප්‍රමුඛ මතය වුවත්, මෑතකාලීනව වුව, මහාචාර්ය ලියනගේ අමරකීර්ති, ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි, කථිකාචාර්ය චින්තක රණසිංහ වැන්නවුන් ඒ කෙත හා සෘජුවමත්, මහාචාර්ය ජයන්ත අමරසිංහ, මහාචාර්ය රත්නසිරි අරංගල, මහාචාර්ය සඳගෝමී කෝපරහේවා වැන්නවුන් භාෂා අධ්‍යයන ක්ෂේත්‍ර සමග එක්වත් සිදු කරන දායකත්වය පසෙක තැබිය නොහැක. මහාචාර්ය ලියනගේ අමරකීර්ති, කථිකාචාරිණී සුමුදු නිරාගී සෙනෙවිරත්න, ආචාර්ය සුනන්දා ප්‍රේමසිරි තිදෙන පේරාදෙණි සිංහල අධ්‍යයනාංශයේ සිට රාජ්‍ය, රජත හා ස්වර්ණ පුස්තක සම්මාන උළෙලවල සිය නම් ලියා තැබුවේ මේ ගෙවුණු වසරවල ය.

නාට්‍ය වේදිකාවේ දී විශ්වවිද්‍යාල නාට්‍ය පරිච්ඡේදය ලෙස හඳුනාගන්නා අවදිය ලුඩොවයික්, ජුබාල් සහ සරච්චන්ද්‍ර නම් සමග 50 දශකය තෙක්ම අතීතයට ඇදුණත්, ගෙවුණු දශක කිහිපය තුළ කැලණිය විශ්වවිද්‍යාලය, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සහ කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලී මණ්ඩපය යන ආයතනවල වේදිකාවතරණයන් නව විශ්වවිද්‍යාල නාට්‍ය සමයක් නිර්මාණය කර ඇත. යෞවන සම්මාන උළෙල ඔවුන් ද අයත් යෞවනයන්ටම වුවත්, ප්‍රවීණයන් හා සම තැන්හි හිඳිමින් රාජ්‍ය නාට්‍ය උළෙල ද ආක්‍රමණය කොට, ඔවුන් දෙවැනි තැන්හි තබා සම්මාන ඩැහැගෙන යන්නට පවා විශ්වවිද්‍යාල නාට්‍යකරුවන් සමත්ව අවසන් ය. පේරාදෙණියේ ලලිත කලා අධ්‍යයනාංශය, ශ්‍රී පාලි මණ්ඩපයේ ප්‍රාසංග කලා අධ්‍යයනාංශය, කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා ප්‍රතිබිම්බ කලා අධ්‍යනාංශය මෙන්ම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය තුළත් සිනමාව පිළිබඳ විෂයාත්මක හැදෑරීම් ප්‍රවේශ දැනටමත් හමුවන අතර වෘතාන්ත චිත්‍රපටකරණය දක්වාම ඔවුන්ගේ මැදිහත්වීම පිළිබඳ ඉඟි ද දැන් දකින්නට ඇත. තොග ගණනින් නොවෙතත්, සාධනීය ලක්ෂණ ප්‍රකට කරන කෙටි චිත්‍රපට තනන්නට මෙම විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථීන් සමත්ව ඇති අතර ඒ අතුරින් ඇතැම් කෘති දෙස් විදෙස් සම්භාවනාවට ද පාත්‍ර වී ඇත.

බැලූ බැල්මට ඉහත සඳහන ගෙන එනු ඇත්තේ විශ්වවිද්‍යාල සාහිත කලා මැදිහත්වීම පිළිබඳ ධනාත්මක සිතුවමකි. එහෙත් එය සාපේක්ෂ තත්වයක් බව පුළුල්ව විමසන්නෙකුට වහා හඳුනාගන්නට හැකිවනු ඇත. දිවයිනේ විහිද ඇති සිංහල ඇතුළු භාෂා අධ්‍යයනාංශවලත්, ලලිත කලා, ප්‍රසංග කලා හා සෞන්දර්ය කලා අධ්‍යයනාංශවලත් ආචාර්ය මණ්ඩලවල අංකය හා ශිෂ්‍ය අංකය වෙන් වෙන්ව ගෙන විමසූ විට සිය කලාපයන්හි සිට අභියෝගාත්මකව බාහිරය වෙත හැරී බලන්නට පොහොසත්, සාහිත කලා භාවිතයෙහි යෙදෙන්නන් හමුවන්නේ ඉතා අඩු වශයෙන් බව පෙනී යයි. නිර්මාණාත්මක හෝ ශාස්ත්‍රීය මැදිහත්වීම කෙසේ වුව, නිර්මාණ සේවනයෙහි යෙදෙමින් ඒ විඳින හා ඒ පිළිබඳ සාකච්ඡාවට මග පාදන, පොදු පුරවැසි ප්‍රජාව පොහොසත් නිර්මාණ සේවනයකට කැඳවන ආචාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් විශ්වවිද්‍යාලවල මුණගැසෙන්නේ අඩුවෙනි. ‘දරුවන්ගේ හා ගෙදර දොරේ වැඩ’, ‘සමාජ වැඩ’ නැතිනම් වැඩිපුර එළිපිට නොකියන ‘ටියුෂන් වැඩ’ නිසා ඔවුන් කලා භාවිතය හමුවන අවකාශවලින් සැඟව සිටින බව පෙනෙයි. අනුයන ශිෂ්‍ය ප්‍රජාව ද, ‘නාට්‍ය හා සිනමා කෘති නොබලන, පොත් නොකියවන’ සර්ලාගෙන් හා මැඩම්ලාගෙන් කරදරයක් නැති නිසා කලා සේවනය ‘ඉඩක් ලැබුණොත් කරන්නට ඇති දෙයක්’ ලෙස සටහන් කරගෙන ඇත.

දශක එකහමාරකින් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය වෙත පෙරළා පැමිණි මට, සෙසු විශ්වවිද්‍යාලවලටත් පොදු, ආචාර්ය මණ්ඩල සාමාජිකත්වය හා ශිෂ්‍ය ප්‍රජාව මෙම කලා- සාහිත කෙතින් දුරස්වීමේ ඛේදජනකය අත්විඳින්නට ලැබිණ. ආදායම ‘හොඳ’ බැවින් සරච්චන්ද්‍ර එළිමහන් රඟමඬලට නාට්‍යයක් ගෙන එන්නට හෝ ක්‍රීඩාගාරයට සංගීත සංදර්ශනයක් ගෙන එන්නට විවිධ ශිෂ්‍ය සංගම් පෙරමුණට ආව ද කෘතීන් පිළිබඳ පසු කථිකාව දුර්වල ය. ‘ඩවුන්ලෝඩ්’ සිනමා කෘති නිසා සිය සිනමාහල ‘ලැප්ටොප්’ තුළ තනාගෙන සිටින විශ්වවිද්‍යාල ‘සිනමා රසිකයින්’ උසස් ගණයේ සිනමා කෘති සහිත චිත්‍රපට දැක්මවල් සංවිධානය නොකරන අතර කවර හෝ සිනමා කෘතියක ගුණාගුණ කතා කරන්නට එක් වන්නේ ද නැත. සෙසු සාහිත්‍ය, නාට්‍ය ආදිය පිළිබඳ උනන්දුව ද ඊට නොදෙවනි ය.

‘විචිත්‍රත්වයෙන් විභාවනයට’ යන මුල් යෙදුම මා මේ ලිපියට යොදන්නට හේතු වූ සිනමා-කලා උළෙල අපට මුණගැසෙන්නේ මෙවන් පසුබිමක ය. පසුගිය වසර අවසාන සමයේ රුහුණු විශ්වවිද්‍යාලයේ පැවති මෙම උළෙල ‘විචිත්‍රත්ව සිනමා හා කලා උළෙල’ ලෙස නම් ලබා තිබුණු අතර එය පේරාදෙණියට ප්‍රවේශ වන්නේ ‘විභාවන’ නම ලබමිනි. එහි අනුග්‍රාහකත්වය හා සංවිධාන දායකත්වය ජර්මානු රාජ්‍ය නොවන සංවිධානයක් වන ජීඅයිඉසෙඩ් (GIZ) ආයතනය විසින් දරනු ලබයි. පේරාදෙණියේදී එය සංවිධානය වන්නේ ලලිත කලා අධ්‍යයනාංශය වෙතිනි.

‘විභාවන’ සිනමා කලා උළෙලෙහි විශේෂත්වය යට කී කලා කෘති ආශ්‍රිත සාකච්ඡාව මුල් කොට ගනිමින් එය විහිද යෑමයි. වෘතාන්ත, වාර්තා හා කෙටි චිත්‍රපට ප්‍රදර්ශන සියල්ලේත්, කෙටි නාට්‍ය, වීදි නාට්‍ය හා රූකඩ දැක්මවල් මෙන්ම සංගීතමය වැඩසටහන් හා නර්තනමය වැඩසටහන් සියල්ලේත් අවසානයේ හමුවන විද්වත් මණ්ඩලයක් මුල් කොටගත් සංවාදය එක් එක් කෘතිය කියවීම සඳහා ප්‍රවේශ විය හැකි නන්විධ ප්‍රවේශ මාර්ගවල ඉඟි ප්‍රේක්ෂාගාරය වෙත තබනු ඇත. එක් එක් තනි පුද්ගලයකු විෂයයෙහි හමුවිය හැකි ඒක තානීය කියවීමට ඔබ්බෙන් වන බහුවිධ අදහස්, කියවීම්, ඇගයීම් මුණගස්වනු ඇත. සාමාන්‍ය සමාජය තුළ තබා විශ්වවිද්‍යාල තුළ හෝ අද අවමව ඇත්තේ මෙම බහුවිධ ප්‍රවේශ ඇති බවට වන හැඟීම හා අදහසයි.

Expressions යන ඉංග්‍රීසි යෙදුමට අනුයාත ‘විභාවන’ යන්න ‘ප්‍රකාශන’ යන බහු අරුත හඟවයි. අප්‍රේල් මුල් සතියේ පේරාදෙණියට පැමිණිය හැකි නම්... එන්න! කලා කෘති කියවමින් සංවාද මණ්ඩපයක රැඳීම සංස්කෘතික පුරවැසියන්ගෙන් සපිරි දිවයිනක් තනන්නට කෙතරම් අත්‍යාවශ්‍ය කරුණක් දැයි ඔබට හැඟී යනු නොඅනුමාන ය.

-ප්‍රියන්ත ෆොන්සේකා -