Showing posts with label නීතිය. Show all posts
Showing posts with label නීතිය. Show all posts

Wednesday, January 1, 2020

අප අසන, දකින අවකාශ(ය) මත අනෙකාගේ බලය: බස් ගීත


(2019 ‍දෙසැම්බර් 29 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

වසර තුන හතරකට පෙර, කොළඹ පිහිටි පර්යේෂණ ආයතනයක සේවය කළ සමයේ මගේ දෛනික ප්‍රවාහන සේවය බවට පත්ව තිබුණේ බස් රථයයි. දිනපතා සේවා ස්ථානය සඳහා මහරගම සිට කොළඹ දක්වා 138ක හෝ 120ක හයිලෙවල් පාර ඔස්සේ කොළඹට ආ ගිය මම සති අන්තය එළඹෙද්දී බොහෝ විට පුත්තලම් පාරේ දිවෙන බස් රථයකින් අඹු දරුවන් දකිනු වස් අනුරාධපුරය බලා ගියෙමි. කිලෝ මීටර කිහිපයක් වූ මහරගම සිට තුම්මුල්ල හන්දිය තෙක් යෙදුණු මගේ ගමන, බොහෝ විට අධික වාහන තදබදය සහිත සවස් වරුවක පැයක් ඉක්මවූ ගමනක් වූ අතර, සති අන්තයේ එළඹෙන අනුරාධපුර ගමන පැය 5ක හෝ 6ක එකක් විය. වසර එක හමාරක පමණ කාලයක් නිරතුරුව යෙදුණු මෙම ගමන් වාර සියල්ලේදීම මගේ දෙසවන පිරවූයේ ‘බස්‘ ගීතයයි! එම ගීත මා කිසිසේත් ඇසීමේ අරමුණින් නොසිටි මෙන්ම ඇසීමට ප්‍රිය නොකළ ගීත වූ අතර ඒවා මගේ සවන් වෙත යොමු වී තිබුණේ ද මා ගීත අසන්නට කැමති හඬ මට්ටම් ඉක්මවූ කලාපවල තබා ය. දෙසවන් මත දෝංකාර දුන් එම ගීත බොහෝ විට පැයක් පමණ වූ මහරගම-තුම්මුල්ල ගමන කෙළවර වන තුරුමත්, පැය 5-6ක් වූ කොළඹ - අනුරාධපුර ගමන කෙළවර වන තුරුමත් ඇසිණි. එසේම බසයෙන් බැස සෑහෙන වෙලාවක් දෙසවන තුළ රැව් දිනි.

අප වෙත ‘බලෙන් අස්සවන‘ මේ ගීත ‘බස් ගීත‘ ලෙස වැඩි දෙනෙකු අතර ප්‍රචලිත වී තිබුණේ ද, සංදර්ශන වේදිකා සහ සැබවින්ම එම ගීතවලට රුචි පිරිස් අතර දී මිස වෙනත් තැනෙක ඒ ගීත අසන්නට නොලැබුණු නිසා විය යුතු ය. ඒවා පොදු අවකාශවලට පැමිණියේ බස් රථවල, ‘වෙනම සවිකර තිබුණු‘ ස්පීකර් පද්ධති හරහා ය. මම යටකී කොළඹ-අනුරාධපුර දිගු ගමන්වලට පොදු ප්‍රවාහනය භාවිතා කරන කාලය වන විට බස් රථවල ඉදිරිපසට විශාල පැතලි තිර රූපවාහිනී ද එක්ව තිබුණු අතර අදාල ගීත සඳහා තැනූ රූප රචනා හා/හෝ සංදර්ශන වේදිකාවල ඒවා ගැයුණු අවස්ථාවල වීඩියෝ දර්ශන එම තිරවල දකින්නට ද සලස්වා තිබිණ. මෙම ‘බස් ගීත‘ ඇස්සවීම හා සමග බැලවීම මුලින් හමුවූයේ පෞද්ගලික බස් රථවල පමණක් වුවත්, ලංගම සඳහා වූ එකම අඩුපාඩුව එය යැයි හඳුනාගත් පරිදිදෙන් කල් යා නොදී රතු පැහැ ලංගම බස් රථවලට ද බස් ගීත සඳහා අවශ්‍ය ඉලෙක්ට්‍රොනික උපාංග සවි කෙරෙනු දක්නට ලැබිණ.

බස් ගීත අනවරතව අසන්නට ලැබීමට නැවතීමේ තිත නොතැබුණේම නොවේ. ඒ එක දිගටම ඇසුණු බස් ගීතවලට විරාමය තබමින් හින්දි, දමිළ හා ඇතැම් විට සිංහල චිත්‍රපට ඉදිරිපස තිර මතට කැඳවමිනි. බොහෝ විට කොළඹින් අප නැගුණු අනුරාධපුර මාර්ගයේ බසය සිය මගී පිරිස අසුන්වල පිරී ගොස් මීගමුව දක්වා යන තෙක් හින්දි හෝ දමිළ චිත්‍රපටයක් සිය තිරය මතට කැඳවා දුන් අතර දෙවනුව මීගමුව- හලාවත අතර කලාපයේ දී සංගීත සංදර්ශනවල වීඩියෝ තිරයට කැඳවා දුන් හ. දෙවැනි චිත්‍රපටය තිරයට ආවේ මා බසයෙන් බසින්නට ආසන්න වද්දී ය. වවුනියාව, යාපනය, මන්නාරම වැනි දිගු දුර බස්වල ඉතිරි දුර ගිය මගීන් සමස්ථ කාල සටහන පිළිබඳ මට වඩා දැනුවත් පිරිසක් බව නොඅනුමාන ය.

මගේ හෝ මා ඇතුළු බස් රථයේ මගී පිරිසේ ශ්‍රව්‍ය හා දෘශ්‍ය කලාප ආක්‍රමණය කොට බලෙන් අප වෙත ලබා දුන් මෙම ‘බස් ගීත‘ සංස්කෘතිය ගැන මා මුලින්ම අනිද්දා පුවත්පතේ මේ කුඩා තීරුව තුළ ලියා ඇත්තේ 2018 ඔක්තෝබරයේ ය. වසරකුත් මාස 2ක් ගත වන තැන මා යළි ඒ ගැන ලියන්නේ ඇයි?

“මගී ප‍්‍රවාහනය සදහා යොදවා ඇති දුරගමන් සේවා සහ අනෙකුත් මගී ප‍්‍රවාහන බස්රථවල අධික ශබ්දයෙන් වාදනය කරන ගීත බරපතල හිරිහැරයක්ව තිබෙන බව ජාතික ගමනාගමන කොමිසම පවසන“ බව සඳහන් කරමින් “ජනවාරි පළමුවනදා සිට පෞද්ගලික බස්රථවල ඝෝෂාකාරී සංගීතය භාවිතය තහනම්“ බව කියා ඇති ප්‍රවෘත්තිය මා මුලින්ම දුටුවේ https://www.itnnews.lk/ වෙබ් පුවත් අඩවිය තුළයි. එය බොහෝ පුවත්පත් හා ප්‍රවෘත්ති වෙබ් අඩවිවල මෙන්ම සෙසු ශ්‍රව්‍ය හා දෘශ්‍ය පුවත් නාලිකා හරහා ජනතාව වෙත පමුණුවා ඇති පුවතක් බව පෙනුනේ අමාත්‍ය මහින්ද අමරවීර විසින් ජාතික ගමනාගමන කොමිසමට ලබා දුන් උපදෙසක් පදනම්ව අදාල පුවත පැන නැගීම හේතුවෙනි. මා දුටු උක්ත පුවත කෙළවර වූයේ මෙවැන්නක් ද සිය සටහන කෙළවර තබමිනි.

“සියලු ජාතීන්ට අයත් මගී ජනතාව නියෝජනය වන පරිදි පහලොස් දහසකට ආසන්න නියැදියක් යොදාගනිමින් සිදුකරන ලද අධ්‍යයනයකින් හෙලිවුණේ මෙම අධික ශබ්දයෙන් වාදනය වන ගීත සියයට සියයක්ම හිරිහැරයක් බවයි.

ඒ අනුව ලබන පලමුවනදා සිට විවේක බුද්ධියෙන් යුතුව රසවිදිය හැකි ගීත දහසක එකතුවක් හදුන්වාදීමට තීරණය කර තිබෙනවා.“

උක්ත පහලොස් දහසකට ආසන්න නියැදිය පිළිබඳ ප්‍රකාශය ගැටළු සහගත වන්නේ එහි ප්‍රතිපලය 100%ක්ම එක් අන්තයක් දක්වමින්, එනම් ගීත අසන්නට ලැබීම හිරිහැරයක් බව දක්වමින් එයට සහභාගි වූවන් අදහස් දක්වා තිබීම ය. නමුත් මගේ අවධානය යොමුවන්නේ පහතින් සඳහන් වන දෙවැනි වාක්‍යයේ එන ‘විවේක බුද්ධයෙන් යුතුව රස විඳිය හැකි ගීත දහසක‘ අදහස වෙත ය.

පළමුකොටම බස් රථය යනු නියත වශයෙන්ම මගීන් වෙත ‘මොනවා හෝ අසන්නට සැලැස්විය යුතු‘ අවකාශ බව, පෙර බස් මුදලාලිලා, ලංගම, රියදුරු හා කොන්දොස්තර මහතුන් විශ්වාස කළ පරිදිම රජයත් විශ්වාස කරන්නේ ඇයි? ස්වකීය ගමනාන්තය කරා ළඟා වන තෙක් මගියෙකු වෙත ලැබිය යුතු ‘විවේක බුද්ධිය‘ (බස් රථයක ගමන් කරමින් එවැන්නක් ලැබිය හැකි නම්) රජය විසින් තෝරා දෙන ගීත දහසක් තුළ ගැබ් වනු ඇත්තේ කෙසේ ද?

සැබැවින්ම විය යුත්තේ බස් මුදලාලිලා හෝ ලංගම තීරණය කළ පරිදිම, නමුත් වෙනත් ගීත එකතුවක් සමග යමින්, ගමනාගමන කොමිසම ද අපේ ශ්‍රව්‍ය හා දෘශ්‍ය කලාපයන් ආක්‍රමණය කිරීම නොවේ. එය මගියාගේ, පුරවැසියාගේ, කැමැත්ත පරිදි තෝරා බේරාගන්නට ඔහු/ඇය වෙත ඉඩ සළසා දීමයි. ගුවන් යානයක මෙන් මගියෙකු වෙත ශ්‍රව්‍ය දෘශ්‍ය නාලිකා එකතුවක් ලබා දී, ස්වකීය ආසනය ඉදිරිපස ඇති කුඩා තිරයක් හා කුඩා ‘හෙඩ් ෆෝන් එකක්‘ (එනම් ඉස් බණුවක්) හරහා ඔහුගේ/ඇයගේ වරණයට අවකාශ සැලසීමට බස් රථයක පහසුකම් සැලසිය නොහැකි බැවින් එහි ලබා දිය හැකි හොඳම විවේක බුද්ධි කලාපය නිහඬතා කලාපයකි. කියවන්නට, යමක් ගැන සිතන්නට, වටපිටාව දෙස බලමින් යන්නට, යමක් අසන්නට හෝ බලන්නට කැමති අයෙකුට ස්වකීය පුද්ගලික උපකරණයක් හරහා පමණක් (හඬ සීමා කරගනිමින්) ඒ අසන්නට හා දකින්නට ඉඩ සලසා දීම සියල්ලටම වඩා විශිෂ්ටතම පියවර වනු ඇත.

මා කුඩා කල මා ද මගේ මිතුරන් ද ගොඩ වැදීමට අකමැතිම වූ පාසැල් පුස්තකාලයේ එවකට උන් ගුරුවරයාගේ බලහත්කාරය අපට අදට ද අමතක නැත. දැන් ඉඳහිට සිනාසෙමින් සිහිගැන්වුව ද එය කිසිසේත් සිනාවට කරුණක් නොවේ. ඔහු එවකට, අප පහේ හයේ පන්තිවල ඉගෙන ගනිද්දී, සිදු කළේ පුස්තකාලයට එන අප පෙළට ඉන්දවා පොත් මිටියක් අතට ගෙන වේගයෙන් බෙදාගෙන යාමයි.

“දැන් කියවනවා!!“

ඔහුගේ අණට අප කියවීම ඇරඹිය යුතු ය. මා ඒ වන විට කියවමින් සිටි ඇතැම් පොත් පුස්තකාලයේ වෙනත් අල්මාරිවල ඉබි යතුරු දමා වසා තිබෙනු දැක මා ඒ දෙස නෙත් යොමද්දී ඔහු මවෙත මුරගෑවේ මෙවැන්නක් කියමිනි.

“පණ්ඩිතය වෙන් නැතුව දුන්න එක කියවනව! ඕව කියවන්න තමුසෙල ලොකු වෙලා එද්දි මං වෙලාවට ඒව දෙන්නම්!!“

ගීත ඇස්සවීමේ සුභාවිත ගීත බලහත්කාරය මට එදා හමුවූ පුස්තකාල ගුරුතුමා සිහි කරවයි.


-ප්‍රියන්ත ෆොන්සේකා -  

සේයාරුව: https://www.motor1.com/

Thursday, October 3, 2019

ෆ්‍රෑන්ක් කැප්රියෝලා ඕනෑ කර තිබේ!

(2019 සැප්තැම්බර් 29 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)


ඇමරිකානු අධිකරණ ශාලාවක විත්තියට ගොඩ වදින සිරියානු ජාතික, හිජාබයකින් හිස වසාගත් ගැහැණියකි. කුඩා බුහුටි දැරියක් ද ඇය සමග වෙයි. ගැහැණිය කැඩුණු ඉංග්‍රීසියෙන් විනිසුරු අමතා මෙසේ කියයි.

“මට එච්චර ඉංග්‍රීසි බෑ. මට පුළුවන් හරිම ටිකයි. මගෙ දුව මට උදව් කරයි.“

කරුණාබරිත පෙනුමකින් යුත්, වයෝවෘද්ධ විනිසුරුවරයා දැරියට අත වනයි.

“හායි!“

“ඔයා ඔයාගෙ අම්මට උදව් කරන්න ද යන්නෙ?“

දැරිය හිස සොළවා එකඟතාව පළ කරයි.

“එහෙනම් කියන්න එයාට අධික වේගෙන් රිය පැදවු නිසා එයාට විරුද්ධව පැමිණිල්ලක් තියෙනව කියල!“

සිය දියණියගෙන් අදාල පැමිණිල්ල ගැන සිය බසින්ම අසා දැනගන්නා මව විනිසුරුවරයා දෙස බලා කියන්නේ මෙපමණකි.

“මට සමාවෙන්න!“

අනතුරුව ඇයගේ දීර්ඝ විස්තරය ඉංග්‍රීසියට නැගෙන්නේ දැරිය වෙතිනි. විනිසුරු පහදා දෙන්නේ ඇය පාසැල් කලාපයක අධික වේගයෙන් රිය පදවා ඇති බවයි. බටහිර රටක එය බරපතල වරදකි.

“අම්මා දැනගෙන හිටියෙ නෑ ඒක වරදක් කියල. එයා දන්නෙ නෑ නීතිය. එයා වේගෙන් ගියේ මම අසනීපෙන් හිටපු නිසා.“

“ආහ්... ඔයාගෙ අම්ම වේගෙන් ගියේ ඔයාට අසනීප නිසා...?“

දැරිය එකඟතාව පළ කරමින් හිස වනයි.

“මෙහාට එන්න ටිකකට!“

කරුණාබරිත විනිසුරුවරයාගේ අසුන වෙත යන කුඩා දැරිය සිය නම මාසා බවත්, තමන්ගේ වයස අවුරුදු අටක් බවත් සිය සිහිනය වෛද්‍යවරියක වීම බවත් විනිසුරුවරයාට පිළිතුරු දෙමින් කියන්නී ය.

“ආහ්... වෛද්‍යවරියක්! එයා ගොඩක් ජීවිත බේරන්නයි යන්නෙ!“

අනතුරුව එළඹෙන්නේ අපූර්වතම අවස්ථාවකි.

“ඔයාගෙ අම්ම දැන් එයාගෙ වැරැද්දට හේතුව කිව්ව. ඔයා හිතනව ද ඒක හොඳ උත්තරයක් කියල. නැත්තං ඒක නිකං සරල පැහැදිලි කිරීමක් ද, ඒත් නැත්තං එයාගෙ උත්තරේ පිළිගන්න බැරි ද?“

“මං හිතන්නෙ සරල පැහැදිලි කිරීමක්!“

එහෙනං අපි මොකද කරන්නෙ? ඩොලර් පණහක් දඩ ගහන්න පුළුවනි. නැත්තං ඉන් භාගයක්. ඒත් නැත්තං නිදහස් කරන්න පුළුවනි.“

“ඩොලර් පණහයි!“

දැරියගේ තීන්දුව උසාවි කාමරයම සිනාවේ ගිල්වයි.

“පේනවනෙ එයා නීතියත් දන්න වෛද්‍යවරියක්!“

විනිසුරුවරයා අවසන කැඳවන්නේ දැරියගේ පියා ය. බුහුටි, තීක්ෂණ දැරියක සැදීම වෙනුවෙන් මාපිය යුවළට සුභ පතන විනිසුරුවරයා දැරිය වෙතින්ම ‘පැමිණිල්ල නිශ්ප්‍රභා‘ කළ බව ප්‍රකාශ කරමින් අසරණ ගැහැණිය නිදහස් කරයි.

සියල්ල අවසානයේ විනිසුරුවරයා මෙම සිරියානු පවුලට සමුදෙන්නේ ‘ඇමරිකාවට සාදරයෙන් පිළිගනිමි‘ යනුවෙන් ද පවසමිනි.

මෙම විනිසුරුවරයාගේ මේ හා සමාන, සංවේදී උසාවි තීන්දු සම්බන්ධ වීඩියෝ පට ගණනාවක් පසුගිය කාල සමය තුළ විවිධ සමාජ මාධ්‍ය ජාල හරහා විශාල වශයෙන් සංසරණය වෙමින් තිබුණු හෙයින් මේ වීඩියෝ පටවල සුලමුල සෙවීමට මට සිත් විය. කරුණු විමසීමට පෙර මා අනුමාන කළේ, වීඩියෝ පටවල දක්නට ඇති සුසාදිත බව හා සුහුරු බව නිසාම, මේ නම් පූර්ව පිටපතක් අනුව කෙරුණු රූගත වීමක් වීමට ඇති ඉඩ ඉහළ වනු ඇති බව ය.

එහෙත් පසුබිම් විමසුම ගෙන ආවේ මගේ අනුමානය එලෙසින්ම නිවැරදිය යන තොරතුරු නම් නොවේ. ලොව පුරා මිලියන ගණනාවකගේ අවධානය දිනූ මෙම වීඩියෝවල හමුවන වයෝවෘද්ධ විනිසුරුවරයා නමින් ෆ්‍රෑන්ක් කැප්රියෝ ය. අසූ දෙහැවිරිදි ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ් ප්‍රාන්තයේ අගනුවර වන ප්‍රොවිඩන්ස් හි ප්‍රධාන නාගරික විනිසුරුවරයා ය. 1985 වර්ෂයේ පටන් එම නිලය හොබවන කැප්රියෝගේ විනිසුරු තීන්දු මෙන්ම නඩු විමසන කාරුණික ස්වභාවය පසුබිම් කරගනිමින් 2000 වර්ෂයේ පටන් ඇරඹෙන ‘ප්‍රොවිඩන්ට් නගරයේ දී හසුවීම‘ (Caught in Providence) නමැති රූපවාහිනී වැඩසටහන සත්‍ය වශයෙන්ම උසාවි කාමරය තුළ සිදුවන නඩු ඇසීම් පළමුව ප්‍රාදේශීය රූපවාහිනී නාලිකාවක් ඔස්සේ ජනතාව වෙත ගෙනවිත් ඇත. ගෙවුණු වසර කිහිපය තුළ පළමුව ජාතික මට්ටමින් ද  අනතුරුව යූටියුබ් නාලිකාව ඔස්සේ විශ්ව මට්ටමින් ද ඇමරිකා එක්සත් ජනපදය හා ලොව පුරා මිලියන සිය ගණනක ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ඇති Caught in Providence නාගරික උසාවියක ඇසෙන වාහන පැදවීම සම්බන්ධ චෝදනා, වාහන නැවතීම සම්බන්ධ චෝදනා මෙන්ම අපරාධ චෝදනා ද හමුවේ කාරුණික විනිසුරුවරයකුගේ දයාව මුසු බැල්ම පිළිබඳ නෙත් අඟට කඳුළු කැඳවන සුළු පුවත් ගණනාවක් දක්වමින් නීතිය අභියස මනුෂ්‍යත්වය කිරා මැන අප අභිසය තබයි.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු වියට්නාමය, ඉරාකය, කුවේටය, ඇෆ්ගනිස්ථානය ආදී බොහෝ රටවල පැවති හා පැවතෙන යුද්ධවලදී සෘජුවම ද තවත් බොහෝ යුධ කලාප හමුවේ වක්‍රවද සිය දායකත්වය ලබා දෙමින් හා ලෝකයේ අනේක යුද්ධ හා ගැටුම් හමුවේ ඒ සමථයකට පත් කරනු වස් ක්‍රියාත්මක වනු වෙනුවට ඒ තවත් ගිනි දල්වනු පිණිස ද දායක වන ලොව බලගතු රාජ්‍යයක ඇති ප්‍රාන්ත නගරයක හමුවන ‘නීතියේ මානුෂික ස්වරූපය‘ විහිළුවක් බවට ඔබ යෝජනා කරන්නට ඇති අවකාශ ඉහළ බව මම දනිමි. ප්‍රොවිඩන්ස් නගර උසාවියට යාමට පෙර ග්වන්තනමෝ බේ කඳවුර දෙසට නෙත් යොමා ඇමරිකානු මනුෂ්‍යත්වයේ සත්‍ය ස්වරූපය වටහා ගන්නට ඔබ අතුරින් අයෙකු ආරාධනා කරනු ඇති බව ද මම දනිමි. මගේ අදහස ඔබ ගෙන එන ඒ සියලු තර්ක හා යෝජනා විමසීමට කැඳවන අතරම ප්‍රොවිඩන්ස් නගර උසාවියේ මේ කුඩා මිනිසාගේ (අතිශයෝක්තියට නැගූ හෝ නොනැගූ)  ක්‍රියාකාරකම් පිළිබඳව ද අප විමසා බැලිය යුතු බව ය. ඒ ඇයි?
කුසගින්න, ජීවිතය ගැට ගසා ගැනීම, දරු සෙනෙහස ආදී කරුණු පෙරමුණෙහි තැබෙන, ඒ වෙනුවෙන් අහුලාගැනෙන කොස් ගෙඩියක් හෝ පොල් ගෙඩියක් හේතුවෙන් මාස ගණනක් සිර දඬුවම් විඳින්නට හේතුවන හෝ දහස් ගණනින් ශරීර ඇප බඳින්නට සිදුවන තීන්දු ඇසෙන උසාවි කාමර අභියස අපි ජීවත් වෙමු. කුඩා වරදවලට දඩ ගෙවාගත නොහැකිව සිර ගෙවල දුක් විඳින අසරණ ගැහැණුන් හා මිනිසුන් ගැන ද, ඇතැම් විට සිය මව සිරගත වීම නිසා අනිවාර්ය සිර දඬුවමකට ලක්ව සිටින අසරණ කුඩා දරුවන් ගැන ද අප අසන්නේ මෑතක සිට නොවේ.

“ඒ ගෑණු කෙනා ඇඳගෙන ඇඳල හිටපු ඇඳුමට ජජ් හොඳටම දොස් කිව්ව. ඒක පරණ සාරියක්. සමහර විට ඒක ඒ මනුස්සය ළඟ තිබුණු එකම ඇඳුම වෙන්නැති කියල මට හිතුණ!“

වරක් මා හඳුනන නීතීඥවරියක දැඩි වේදනාවකින් මා සමග පැවසුවේ ඇඳ සිටි ඇඳුම මගින් උසාවියට අපහාස කළේ යැයි සළකමින් උසාවියෙන් පිටමන් කළ අසරණ ගැහැණියක පිළිබඳ සඳහන් කරමිනි.

අපට හිටපු යාපනයේ මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් සුවිශේෂ චරිතයක් වූයේ ඔහු තුළ සිටින විනිසුරුවරයා යටපත් කරමින් ඔහු තුළ සිටින මනුෂ්‍යයා ඉස්මතුව පෙනුණු හෙයිනි.  ෆ්‍රෑන්ක් කැප්රියෝ ලෝක අවධානයට පාත්‍ර වන්නේ ද නීති වගන්ති පොත පසෙක තබා ගනිමින්ම ඔහු මනුෂ්‍යත්වය පෙරමුණට කැඳවන හෙයිනි. ඔහු නිරතුරුව තමා අභියසට පැමිණෙන චරිතයේ ජීවන විත්තිය විමසා බලයි. දරුවකු හෝ දැරියක සමග විත්තිකරුවකු පැමිණ සිටියි නම් දරුවා හෝ දැරිය අසළට කැඳවාගෙන ඔහුගෙන් හෝ ඇයගෙන් තතු විමසා බලයි. ඩොලර් පණහක හෝ සියයක දඩයකින් බොහෝ විත්තිකරුවන්ගේ ජීවිත විසල් වෙනසකට භාජනය නොවූවත් නීතිය මෙහෙයවන්නේ ද, ඉන් පාලනය විය යුත්තේ ද මිනිසාම බව හඟවයි.

උසාවිය හෝ වේවා, වෙනයම් රාජ්‍ය ආයතනයක් වෙත හෝ වේවා පුරවැසියකු පිවිසෙන්නේ තමන් වෙත වන ගැටළුවකට පිළිතුරක් අපේක්ෂාවෙනි. උසාවියකට යමෙකු කැඳවන්නේ ඔහු හෝ ඇය කළ වරදක් සඳහා නියමිත දඬුවම ඔහු/ඇය වෙත නියම කිරීමේ අරමුණෙනි. මේ කවර හේතුවකට හෝ අදාල ආයතනය වෙත පිවිසෙන්නා/ පිවිසෙන්නිය වෙත මනුෂ්‍යත්වය මුණගැස්විය හැකි නම්....?

වඩාත් තෘප්තකර පුරවැසි සමාජයක් බිහි කිරීම සඳහා ඒ ප්‍රධාන හේතුවක් වනු ඇත. ෆ්‍රෑන්ක් කැප්රියෝලා අපට අවශ්‍ය ඒ සඳහා ය!

-ප්‍රියන්ත ෆොන්සේකා -