Showing posts with label ටෙලිවිෂනය. Show all posts
Showing posts with label ටෙලිවිෂනය. Show all posts

Friday, July 17, 2020

ටෙලි තිරය ඉසියුම්ව සැරසීම: තණමල්විල කොල්ලෙක්


(2020 ‍ජූලි 12 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

වර්ග කිලෝ මීටර හැටහය දහසක් නොඉක්මවන කුඩා බිම් ප්‍රමාණයක විහිදි අප දිවයිනෙහි එක් එක් කලාප යළිත් අනේක ප්‍රවර්ග ඔස්සේ බෙදා අගයන්නට හෝ ගරහන්නට අප සමාජය තුළ ඇති හැකියාව විස්මිත ය. අනුරාධපුරය හා මහනුවර වැනි නගර අපට පූජා බිම් වන අතර නුවරඑළිය එංගලන්තය ද පරදන තරමේ එංගලන්තයකි. යාපන අර්ධද්වීපයම යුධයකින් දිනූ ජයබිමක් ලෙස දකින අපි විල්පත්තුව දේශපාලකයින්ගේ රුදුරු හස්තයට හසුවී විනාශ වී යන වනාන්තරයක් ලෙස ද, කොළඹ මුහුද ද වසමින් පැතිරෙන දියුණුවේ අගනුවර ලෙස ද ගනිමු. ඒ අනුව ඒ දිගු ලැයිස්තුවේ තණමල්විලට හිමිවන්නේ ඇගයුම් නාමයක් නොවේ. එපෙදස, තහනම්ව ඇති කංසා රහසින් වගා කොට රටට බෙදා හරින කලාපයකි. චාමර වීරසිංහගේ මුවින් ‘තණමල්විල මල් පිපුණත් තහනම් නීතියට’ ලෙස ගැයෙන්නේත්, ඒ ගීයේ තාලයට සංගීත ප්‍රසංගවලදී අප නටන්නේත් එම ‘පොදු’ පිළිගැනීමට අවනත වෙමිනි.

කෙසේ වුවත්, ඉම් බිම් හමුවේ මේ පොදු ඇගයුම් හා ගැරහුම් හමුවේ අප වෙතින් මැකී යන එක් නිශ්චිත කරුණක් වෙයි. ඒ මේ සියලු කලාපයන්හි සිය ජීවිතය දිනනු වස් නෙක අරගලයන්හි නිරත වන දස දහස් ගණනින් වන මිනිසුන් දිවි ගෙවන බව ය. එය පූජා බිම් අභිමුව මල් විකුණන, ශීත නුවරඑළියේ මහමග සිට එළවළු මළු දිගුකරන, යාපනයේ යුධ ජය බිම් සොයා යද්දී මිදි පොකුරු ගෙන එන, විල්පත්තුව දෙසට යද්දී බඩඉරිඟු තම්බා මග බලා සිටින මිනිසුන් දකිද්දී අපට හැඟුණත් යළි මූල රූපය තුළ ඉතිරි වන්නේ යටකී ඇගයුම්-ගැරහුම් නාමයන් පමණි.

ගෙවුණු සතියේ නිමාව දුටු, රොෂාන් රවීන්ද්‍රගේ පළමු ටෙලි සිත්තම වූ ‘තණමල්විල කොල්ලෙක්’, ගැරහුම් නාමයක් ලෙස පොදු සමාජය තුළ ස්ථාපිතව පැවති තණමල්විල සිය කෘතියේ නාමය තුළම තබා පැමිණියකි. එහිදී අපට මුණ ගැසෙන්නේ, සතියෙන් සතිය ගෙවී යද්දී තව දුරටත් හඳුනා ගැනෙන්නේ එම ‘ගැරහුම් බිම’ පසුපස සැඟවී ඇති මිනිස් ජීවිත පොකුරකි. සැබවින්ම තණමල්විලෙන් ගලවා ඔවුන්ව අප මැදවච්චියේ හෝ කිලිනොච්චියේ තැබූව ද, සීතාඑළියේ හෝ හාවාඑළියේ තැබුව ද පසුතල හා ඇතැම් විට ඇඳුම් පැළඳුම් සහ ඡවි වර්ණය වෙනස්වීම හැර හමුවන අරගල හා අර්බුදවල තීරණාත්මක වෙනස්කම් හමු නොවනු නියත ය. මේ සෑම කලාපයකම සිය ජීවිතය දිනනු වස් අනවරත අරගලවල නිරත වූ සහ නිරත වන විවිධ ජීවිත කොතරම් ඇති ද?

සුසිත් විජේමුණි මේ ලියන්නේත්, රොෂාන් රවීන්ද්‍ර සිය දෘශ්‍ය වියමන තුළ ගොඩ නගන්නේත් එම දස දහස් ගණන් ජීවිතවල පිළිඹුබවකි. ටෙලි සිත්තම දිග හැරෙමින් ගලද්දී, ‘පතෝලයා’, ‘කිතුලා’ සහ ‘කූරා’ වැනි චරිතවලට බැඳෙන ප්‍රේක්ෂාගාරය සිය ෆේස්බුක් අඩවි පුරා ඔවුන් අගයමින් ලියද්දී එවැනිම චරිත බොහෝ ගණනක් ජීවිත සටන වෙනුවෙන් අරගල කරනු හෝ යුද්ධයෙන් මියැදී හෝ ඇති බව සිහි කැඳවන්නේ නැතිනම් යළි අප තණමල්විල තබන්නේ යටකී ගැරහුම් බිම තුළම ය.

කෙසේ වුවත්, මෙහි ‘තණමල්විල කොල්ලා’ දීප්ත ය. සිය මිතුරු කැළේ හමුවන කූරාට, පතෝලයාට, කිතුලාට සාපේක්ෂව ඔහු මුහුණ දී ඇති ගැටළු අල්ප ය. සිය තණමල්විල නිවසේ කාමරය තුළින් ඇරඹ පැරිස් නුවරින් කෙළවර වන ඔහුගේ ගමන් මග තුළ ඔහු වැඩි වශයෙන් සිදු කරන්නේ නිහඬව බලා සිටීම ය. මිනිස් ජීවිත ගලා යන අයුරු, වැඩෙන හා නැසෙන අයුරු ඔහු දකියි. සිද්ධාර්ථට පිය රජු ජීවිතයේ දුක්ඛ පක්ෂය සඟවා තැබු මුත්, දීප්තගේ පියා නිහඬව බුද්ධ චරිතය සිතුවම් කරමින් සිය පුතුට ජීවිතයේ සියළු දුක හා සතුට මුණගැසෙන්නට ඉඩ හරියි. එහි හමුවන පෙර නිමිති සතරකට වැඩි ය. රෝග නෙක අයුරින් ඔහු වෙත ද, සෙස්සන් වෙත ද පැමිණෙයි. මහල්ලන් මියෙන්නේ අලින්ගෙන් පහර කෑමෙනි. හමුවන මළමිනී ගණන බොහෝ ය. එක්ව නැගුණු මිතුරු කැළේ ජගා පිහි ඇණුමකින් මියෙද්දී කිතුලා මියෙන්නේ යුද්ධයෙනි. ඔහුට හමුවන යශෝධරාව ද ඔහු වෙතට සැඟවූ රෝගයක් හේතුවෙන් මිය යයි. පැවිද්දන් වුව අරගලවල ය. කුලය, දරිද්‍රතාව ඇතුළු බොහෝ දේද, වත්මන් ආර්ථික-සමාජ දේහය තුළ සැඟවුණු බලවේගයන් ද පැවිදි ජීවිත අභිමුවට පැමිණ ඒ නසා දමති. දීප්ත ඇවිද යන්නේ මේ සියල්ල දකිමින්, වටහා ගනිමින් ය. තණමල්විල ශුෂ්ක බිමෙහි මෙන්ම අහස සිප ගන්නා උස් ගොඩනැගිලි සහිත අගනුවර තුළ ද ජීවිත මුහුණ දෙන අනේක ජය පැරදුම් ඔහු දකියි. ඒ හා සමග ඔහු ද විටෙක වැටෙමින් ද, නැගෙමින් ද පෙරට යයි. සියල්ල අවසන, වසර ගණනකට පසු, පියාගේ මරණය හේතුවෙන් පෙරළා තණමල්විලට එන දීප්තගේ නෙතු අභියස මැවෙන අවසන් රුව සිය පියාගේ අවසන් නිර්මාණයයි. ඒ ශාන්ත බුදු රුවකි.

‘තණමල්විල කොල්ලෙක්’ ඈත-මෑත ටෙලි තිරය මත නැගුණු ටෙලි නාට්‍ය අතර ඇගයුම් සහගතම තැනක තබන්නට හේතු බොහෝ වෙතත්, මේ කුඩා තීරුව තුළ ඒ සියල්ල ලිවීම උගහට ය. රංගනය, සංගීත නිර්මාණය, කැමරා අධ්‍යක්ෂණය, සංස්කරණය හා අධ්‍යක්ෂණය ආදී බොහෝ කලාප පිළිබඳ අපට දිගු සාකච්ඡාවලට පිවිසිය හැක. එසේ නමුත්, ඒ සාකච්ඡා කලාප මතුවට තබමින් මෙම කෘතිය සිදු කළ උඩුගම් බලා පිහිනීමේ වෑයම අගය කිරීම වෙත මම පිවිසෙමි.

80-90 දශකවල නිමැවුණු ටෙලි නාට්‍ය නිර්මාණ අද හමුවන නිර්මාණ අභිබවන බවට වන බොහෝ අදහස් අපට මුණගැසෙයි. එදවස නිර්මාණ ගෙන ආ ධර්මසේන පතිරාජ, ජයන්ත ධර්මසිරි, තිස්ස අබේසේකර, පරාක්‍රම නිරිඇල්ල, බර්ට්‍රම් නිහාල් ආදීන්ගේ කෘතීන් වෙත ඇත්තේ වෙසෙසි ඇගයීමකි. කෙසේ වෙතත්, එම නිර්මාණ යළිත් නාලිකා තුළ විකාශය වද්දී හෝ අන්තර්ජාලය ඔස්සේ නරඹද්දී හෝ හැඟෙන කරුණ වන්නේ තාක්ෂණික සීමා කෙතරම් දුරට එදවස නිර්මාණයන්හි දිග-පළල සීමා කොට තිබිණි ද යන්නයි. ඒ කෘතීන් බොහොමයක හමු වන වටිනාම අංගය කල්පනාකාරීව ගොඩ නැංවූ පිටපතයි. සහ, ඒ තියුණු කොට ගෙනහැර පෑම සඳහා නංවන අධ්‍යක්ෂණය හා රංගනයයි. එහෙත්, වත්මනෙහි හමුවන තාක්ෂණය එම සීමා බිඳ හෙළමින් බොහෝ කලාප වෙත සිය නිර්මාණයේ වපසරිය විහිදුවීමට නිර්මාණකරුවන්ට අවකාශ සළසා ඇත. කෙසේ වෙතත්, හමු නොවන්නේත් එම වපසරිය නිසි භාවිතයට කැඳවූ නිර්මාණ ය.

ක්‍රිකට් ක්‍රීඩාවේ දී ඇත්තේ ඉනිම දෙකක් වුවත් ඉනිම් සිය ගණනින් තැනෙන ‘දෙවැනි ඉනිම්’ ඉහළ ප්‍රතිචාර ලබන පසුබිමක, නාලිකා පාලකයින් ද එවැනි කොපි විමසන අවකාශයක ‘තණමල්විල කොල්ලෙක්’ ගමන් කළේ දීප්තගේ ගමනට නොදෙවනි දුෂ්කර ගමනකි. රූපය කුඩා තිරයක මැවෙන හෙයින්ම වන සීමා ජයගනිමින් වඩාත් පොහොසත්ව ආඛ්‍යානයක් ප්‍රේක්ෂාගාරය අබිමුව තැබීමේ අභියෝගය සැබෑ අධ්‍යක්ෂවරයෙකු වෙත වෙයි. ස්වකීය රංගන දායකත්වයෙන් නිමැවුණු ‘සහෝදරයා’ ඇතුළු කෘති කිහිපයක් අසීරුවෙන් තනා තිබුණු දුෂ්කර මගක ‘තණමල්විල කොල්ලෙක්’ කැඳවාගෙන රොෂාන් රවීන්ද්‍ර ගිය ගමන ඇගයිය යුත්තේ එබැවිනි.

-ප්‍රියන්ත ෆොන්සේකා -



Thursday, November 7, 2019

පුරවැසියා විමසමින් මාධ්‍ය සදාචාරය ගැන තව දුරටත්


(2019 ‍7නොවැම්බර් 03 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

‘Out of the Dark’ වාර්තා චිත්‍රපටයෙන්
ඉතා අවාසනාවන්ත ලෙස ඒ කුඩා දරුවා මියගොස් ඇති බව දැන් අපි දනිමු. මේ ලිපිය ලියවෙන්නට පෙර දිනයේ දිවා කළ එම පුවත, එනම් කුඩා පටු අගාධයකට ඇද වැටුණු දරුවා මිය ගිය පුවත දැනගත් මොහොතේ මගේ හදවත මොහොතකට නතර වී ගියේ ය. සියල්ලටම වඩා පියෙකු ලෙස මෙවැනි පුවතක් මට දැනෙන්නට පටන් ගන්නේම මගේ අනන්‍ය ලෝකය ආක්‍රමණය කොට පැමිණෙමිනි. කුඩා දරුවන් මුහුණ දෙන අනතුරුවලදී මට මගේ පුතුගේත්, දියණියගේත් මුහුණු මැවෙන්නට පටන් ගනියි. එය ලෝකයේ කවර කෙළවරක සිදුව ඇතත්, ඒ මගේ සේවා ස්ථානයට කිලෝ මීටර 140ක පමණ දුරින් සිටින මගේම පුතු හෝ දියණිය වැනිම දරුවෙකු බවත්, එතැන ද මා වැනිම පියෙකු හා මගේ බිරිඳ වැනිම මවකද වන බවත් හැඟී යන මට බොහෝ කම්පිත සිදුවීම් අසන්නට, දකින්නට ලැබුණු පසු මට මුහුණ දෙන්නට සිදුවන වම් අත වෙතින් එන සියුම් වේදනාව සමග ටික වේලාවකට හෝ ගණුදෙනු කරන්නට සිදු වෙයි.

මෙවැනි සිදුවීමක් එක් එක් අයෙකු හමුවේ ඇති කරන්නේ සාපේක්ෂව වෙනස් කම්පනයන් බව මම දනිමි. ඇතැම් විට ඔබ හඬනු ඇත; සුසුම් හෙළනු ඇත; බර වූ හදින් යුතුව මුහුණින් පිටවන හැඟීම් පාලනය කරගනු ඇත. ඒ කවරක් වුවත්, ඔබ සංවේදී හදවතක් ඇත්තෙකු නම් මේ ඉන්දියානු අනතුර වැනි කුමන ආකාරයක අනතුරකින් හෝ හය හතර නොදන්නා දරුවකු අනතුරේ වැටී ඇති බව දැනගත් විට කම්පාවට පත්වනු ඇත.

මේ පිවිසුම වෙත අද මා නැවත හරවා එව්වේ, ඊයේ සිදුවූ එම ඛේදවාචකය පිළිබඳ රූප සමාජ මාධ්‍ය ජාල හරහා බෙදාගෙන තිබෙනු දැකීමෙනි. මේ පිළිබඳ මෙරට රූපවාහිනී වාර්තා මේ දුටුවේ නැතත්, අදාල දරුවා මියගොස් සිටි ආකාරය වැනි අති සංවේදී රූප සිය ප්‍රවෘත්තිවලට බහාලූ එකදු චැනලයක් හෝ මෙවර මෙරට නොවී යැයි යමෙකු කියන්නට ඉදිරිපත් වනු ඇතැයි මම විශ්වාස නොකරමි. අහම්බෙන් මෙන්, මගේ ජංගම දුරකථන තිරය හරහා මවෙත පැමිණි එවැනි ඡායාරූපයක් පෙර කී කම්පනය මවෙත ඇති කළ අතර යළි සාමාන්‍ය ලෙස වැඩ කටයුතු කරගෙන යනු පිණිස පියවි ලොව වෙත පැමිණීමට මට සැළකිය යුතු කාලයක් ගත විය.

කෙසේ වෙතත්, මේ ඔබ කියවන ලේඛණයට මා පෙළඹවූ කරුණ එම රූප පළවීම පමණක් නොවේ. ඒ සඳහා පසුබිම් වූ කරුණු දෙකකි. පළමුවැන්න, මා යම් කම්පනයක් සහිතව හිඳිනු දැක මගේ සේවා ස්ථාන මිතුරියක මවෙත පැවසූ කරුණකි. දෙවැන්න, ඒ සියල්ල අවසන මට සිහියට නැගුණු වාර්තා චිත්‍රපටයක් සහ ඒ පිළිබඳව පැවති සංවාදයකි. ඒ කරුණු දෙක එකිනෙක හරහා යමින් අද මගේ කුඩා සටහන කෙළවර කරන්නට අවසර දෙන්න!

ඉන්දියානු ඛේදවාචකය පිළිබඳ සටහනක් තබමින් කවරකු හෝ ෆේස්බුක් අඩවිය තුළ දරුවා මියගොස් සිටි ආකාරය දැක්වෙන ඡායාරූපයක් අමුණා තිබුණු අතර මගේ නෙත් අභියස එය දර්ශනය වූ තත්පර කිහිපය, එය මා ඉක්මණින්ම නෙත් අභියසින් ඉවත් කළ නමුත්, මා දැඩි කම්පනයකට පත් කළේ ය. ඉන් සුළු මොහොතකට පසු මවෙත පැමිණි මගේ සේවාස්ථාන මිතුරිය විමසා සිටියේ මගේ වෙනසට හේතුවයි.

“අර ඉන්දියන් කේස් එකේ දරුව නැතිවෙලා. කවුරු හරි දාල තිබුණ ඒකෙ ෆොටෝ එකක්.!“

“කෝ? අනේ අර ළමය? කෝ ඒ ෆොටෝ එක? මට පෙන්නන්න?“

“මොකක්? දැන් ඔයාට ඕනෙ ඒ පුංචි දරුව මැරිල උන්නු හැටි දැක බලාගන්න ද? ඇයි ඒක දකින්න ඕනෙ?“

“ඒ මම ඒ සිද්ධිය දිගටම ෆලෝ කරපු නිසා. මම හොය හොය හිටපු නිසා මොකද වෙන්නෙ කියල!“

දෙගුණ තෙගුණ වූ මගේ කම්පාව මා යොමු කළේ වෙනත් මානයකට ය. දරුවාගේ සිද්ධිය පිළිබඳ ප්‍රවෘත්තිය එහි අවාසනාවන්ත කෙළවර පිළිබඳ ප්‍රවෘත්තිමය වටිනාකම මගින් පරිපූර්ණ කොට ‘තමන්ගේ කතාව‘ සම්පූර්ණ කරගැනීමේ පිපාසාවකින් මගේ මිතුරිය පෙළෙයි. එවැනිම ‘ප්‍රවෘත්තිමය වටිනාකම්‘ සෙවූ, නොඑසේනම් මේ රූප(ය) හා සිදුවීම පිටුපස ඇති මානව සබඳතා හා අසීමිත වේදනා නොතකා හළ සහ ඒ දැකීමෙන් තවෙකකු වෙත ඇති විය හැකි කම්පනය පිළිබඳ තුට්ටුවකට මායිම් නොකළ ඒ හා සමාන පිරිසක් මෙම රූප සිය ෆේස්බුක් අවකාශය හෝ වෙනත් සමාජ ජාල අවකාශයක බෙදා හරමින් ‘තමන්ගේ කතා‘ කියමින් හෝ ලියමින් සිටිති.

මේ හා සමග මතකයට නැගුණු වාර්තා චිත්‍රපටය හා සංවාදය මට මුණගැසුණේ පසුගිය ඔක්තෝබර් මස 16 වැනිදා සිට 18 වැනිදා දක්වා කොළඹ පදනම් ආයතනයේ පැවති ‘මිනි-ඉන්පුට්ස්‘ (MINI-INPUTS) රූපවාහිනී සමුළුවේ දී ය. ජර්මානු සංස්කෘතික ආයතනය හා ජාතික රූපවාහිනිය එක්ව ගෙන ආ, තායිලන්තයේ බැංකොක් නුවර පැවති ‘ඉන්පුට්ස්‘ රූපවාහිනී සමුළුවේ ලාංකිකව වූ මෙම සමුළුව, රූපවාහිනී තිර අවකාශය වඩා විධිමත්ව භාවිතයට කැඳවීමට හැකි ආකාර පිළිබඳ උදාහරණ ගණනාවකින් සමන්විත විය. එහි දෙවැනි දිනයේ උදෑසන තිරගත කෙරුණේ තායිලන්තයේ තම් ලුආන්ග් ගුහාවේ දින 18ක් සිරවී උන් කණිෂ්ඨ පාපන්දු පිළක් ගලවා ගැනීමේ මෙහෙයුම පසුබිම් කොට තැනුණු ‘Lost – Find – Found – Survive - Strive’ නමැති තායිලන්ත වාර්තා චිත්‍රපටය සහ ‘Out of the Dark’ නමැති ඕස්ට්‍රේලියානු වාර්තා චිත්‍රපටයයි. එම චිත්‍රපට පසුබිම්ව තබමින් සාකච්ඡාවට ගැනුණේ යමක් වාර්තා කිරීම පිළිබඳ ඇති ප්‍රවේශ මාර්ග පිළිබඳ, ඒ පසුපස ඇති සංවේදී කරුණු පිළිබඳ මෙන්ම සදාචාරය පිළිබඳ කරුණුයි. එහිදී නැගී සිටි එක් විශ්වවිද්‍යාල සිසුවෙක් කී කරුණක් මට හොඳින් මතක ය.

“මේ චිත්‍රපට දෙකේම අපි දැක්කෙ නෑ ගුහාවෙ හිරවෙලා හිටපු ළමයින්ගෙ අම්මලගෙ කඳුළු හොයන රූප. එයාලගෙ වේදනාව අල්ලන අති-සමීප රූප. ඔය වැඩේ මෙහෙ වුණානම් ඒක වෙනවමයි. ඒ විතරක් නෙවෙයි සිද්ධිය වාර්තා කරන්න ගුහාව ඇතුළට එයාලට යන්න තියෙන අයිතිය අහුරනව කියල ගුහා දොර ඉස්සරහ විරෝධයකුත් පටන් ගනියි.“

ගලවාගැනීමේ මෙහෙයුම වෙත මෙම චිත්‍රපට දෙක සිය දෘෂ්ටි කෝණ එල්ල කොට ඇති ස්වභාවයන්ගේ වෙනස්කම් පිළිබඳ සමුළුවට සහභාගි වූ බොහෝ අයගේ විමසුම් ඇස් එල්ල වුව ද, විශේෂයෙන් දෙවැනි චිත්‍රපටය තුළ ගලවාගැනීම සඳහා පැමිණි විදේශීය විශේෂඥයින්ගේ සාකච්ඡා සඳහා ලබා දී තිබුණු වැඩි ඉඩ ආදිය පිළිබඳ අවධානය යොමු වුව ද ‘වේදනාව අලෙවි නොකිරීමටත්‘ එමෙන්ම ‘පාපන්දු කණ්ඩායමේ දරුවන්ගේ අනන්‍යතාවට ගරු කිරීමටත්‘ නිර්මාණකරුවන් ගෙන තිබුණු පියවර ගැන පැවතියේ ගෞරවනීය ඇගයුමකි.

යහපත් මාධ්‍ය භාවිතයක දී, විශේෂයෙන් මරණය, අහිමිවීම ඇතුළු වේදනාත්මක හා සංවේදී කරුණුවලදී රැකිය යුතු සදාචාරය අවම වශයෙන් හෝ අප අභියස වන දේශීය මාධ්‍ය බහුතරයක නොමැති වීම කණගාටුවකි. එමගින් බිහිකරන අසංවේදී පුරවැසියා ද සිය සදාචාර රාමු ඉවත් කරමින් සිටියි. මරණය හා/හෝ අහිමිවීම ඔවුන්ගේ ෆේස්බුක් පෝස්ටුවක තවත් ‘ලයික්‘ කැඳවන යමකි. තවකකුට එය දැකීම සිය ප්‍රවෘත්තිය පිළිබඳ සෙවීම පරිපූර්ණත්වය කරා ගෙන යාමකි.

අප යළි යළිත් අපගේ සමාජය වෙතින් දියව යන සංවේදීතාව ගැන අවධානය යොමු කළ යුතුව පවතී. මක් නිසා ද යත්, අපට අභිමුඛව තිබෙන්නේ දෙපාර්ශවයේ මරණ සංඛ්‍යාව අංකවලින් මැන සතුට වීමට හෝ දුක් වීමට පුරුදුව උන් සමාජයේ දසවසක නිද්‍රාශීලී සමයක කෙළවර හමුවන සමාජය බැවිණි. බෝම්බයකින් මැරෙන හා සුදු වෑන්වලින් පැහැරගෙන අතුරුදන් කෙරෙන පුද්ගල සංඛ්‍යාව සසඳා, කිරා මැන, අඩු අංකය දෙස බලා, නායකයා තෝරාගන්නට යෝජනා ගෙන එන්නේත් ඒ සමාජයම ය.

-          ප්‍රියන්ත ෆොන්සේකා -     

Thursday, October 3, 2019

ෆ්‍රෑන්ක් කැප්රියෝලා ඕනෑ කර තිබේ!

(2019 සැප්තැම්බර් 29 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)


ඇමරිකානු අධිකරණ ශාලාවක විත්තියට ගොඩ වදින සිරියානු ජාතික, හිජාබයකින් හිස වසාගත් ගැහැණියකි. කුඩා බුහුටි දැරියක් ද ඇය සමග වෙයි. ගැහැණිය කැඩුණු ඉංග්‍රීසියෙන් විනිසුරු අමතා මෙසේ කියයි.

“මට එච්චර ඉංග්‍රීසි බෑ. මට පුළුවන් හරිම ටිකයි. මගෙ දුව මට උදව් කරයි.“

කරුණාබරිත පෙනුමකින් යුත්, වයෝවෘද්ධ විනිසුරුවරයා දැරියට අත වනයි.

“හායි!“

“ඔයා ඔයාගෙ අම්මට උදව් කරන්න ද යන්නෙ?“

දැරිය හිස සොළවා එකඟතාව පළ කරයි.

“එහෙනම් කියන්න එයාට අධික වේගෙන් රිය පැදවු නිසා එයාට විරුද්ධව පැමිණිල්ලක් තියෙනව කියල!“

සිය දියණියගෙන් අදාල පැමිණිල්ල ගැන සිය බසින්ම අසා දැනගන්නා මව විනිසුරුවරයා දෙස බලා කියන්නේ මෙපමණකි.

“මට සමාවෙන්න!“

අනතුරුව ඇයගේ දීර්ඝ විස්තරය ඉංග්‍රීසියට නැගෙන්නේ දැරිය වෙතිනි. විනිසුරු පහදා දෙන්නේ ඇය පාසැල් කලාපයක අධික වේගයෙන් රිය පදවා ඇති බවයි. බටහිර රටක එය බරපතල වරදකි.

“අම්මා දැනගෙන හිටියෙ නෑ ඒක වරදක් කියල. එයා දන්නෙ නෑ නීතිය. එයා වේගෙන් ගියේ මම අසනීපෙන් හිටපු නිසා.“

“ආහ්... ඔයාගෙ අම්ම වේගෙන් ගියේ ඔයාට අසනීප නිසා...?“

දැරිය එකඟතාව පළ කරමින් හිස වනයි.

“මෙහාට එන්න ටිකකට!“

කරුණාබරිත විනිසුරුවරයාගේ අසුන වෙත යන කුඩා දැරිය සිය නම මාසා බවත්, තමන්ගේ වයස අවුරුදු අටක් බවත් සිය සිහිනය වෛද්‍යවරියක වීම බවත් විනිසුරුවරයාට පිළිතුරු දෙමින් කියන්නී ය.

“ආහ්... වෛද්‍යවරියක්! එයා ගොඩක් ජීවිත බේරන්නයි යන්නෙ!“

අනතුරුව එළඹෙන්නේ අපූර්වතම අවස්ථාවකි.

“ඔයාගෙ අම්ම දැන් එයාගෙ වැරැද්දට හේතුව කිව්ව. ඔයා හිතනව ද ඒක හොඳ උත්තරයක් කියල. නැත්තං ඒක නිකං සරල පැහැදිලි කිරීමක් ද, ඒත් නැත්තං එයාගෙ උත්තරේ පිළිගන්න බැරි ද?“

“මං හිතන්නෙ සරල පැහැදිලි කිරීමක්!“

එහෙනං අපි මොකද කරන්නෙ? ඩොලර් පණහක් දඩ ගහන්න පුළුවනි. නැත්තං ඉන් භාගයක්. ඒත් නැත්තං නිදහස් කරන්න පුළුවනි.“

“ඩොලර් පණහයි!“

දැරියගේ තීන්දුව උසාවි කාමරයම සිනාවේ ගිල්වයි.

“පේනවනෙ එයා නීතියත් දන්න වෛද්‍යවරියක්!“

විනිසුරුවරයා අවසන කැඳවන්නේ දැරියගේ පියා ය. බුහුටි, තීක්ෂණ දැරියක සැදීම වෙනුවෙන් මාපිය යුවළට සුභ පතන විනිසුරුවරයා දැරිය වෙතින්ම ‘පැමිණිල්ල නිශ්ප්‍රභා‘ කළ බව ප්‍රකාශ කරමින් අසරණ ගැහැණිය නිදහස් කරයි.

සියල්ල අවසානයේ විනිසුරුවරයා මෙම සිරියානු පවුලට සමුදෙන්නේ ‘ඇමරිකාවට සාදරයෙන් පිළිගනිමි‘ යනුවෙන් ද පවසමිනි.

මෙම විනිසුරුවරයාගේ මේ හා සමාන, සංවේදී උසාවි තීන්දු සම්බන්ධ වීඩියෝ පට ගණනාවක් පසුගිය කාල සමය තුළ විවිධ සමාජ මාධ්‍ය ජාල හරහා විශාල වශයෙන් සංසරණය වෙමින් තිබුණු හෙයින් මේ වීඩියෝ පටවල සුලමුල සෙවීමට මට සිත් විය. කරුණු විමසීමට පෙර මා අනුමාන කළේ, වීඩියෝ පටවල දක්නට ඇති සුසාදිත බව හා සුහුරු බව නිසාම, මේ නම් පූර්ව පිටපතක් අනුව කෙරුණු රූගත වීමක් වීමට ඇති ඉඩ ඉහළ වනු ඇති බව ය.

එහෙත් පසුබිම් විමසුම ගෙන ආවේ මගේ අනුමානය එලෙසින්ම නිවැරදිය යන තොරතුරු නම් නොවේ. ලොව පුරා මිලියන ගණනාවකගේ අවධානය දිනූ මෙම වීඩියෝවල හමුවන වයෝවෘද්ධ විනිසුරුවරයා නමින් ෆ්‍රෑන්ක් කැප්රියෝ ය. අසූ දෙහැවිරිදි ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ් ප්‍රාන්තයේ අගනුවර වන ප්‍රොවිඩන්ස් හි ප්‍රධාන නාගරික විනිසුරුවරයා ය. 1985 වර්ෂයේ පටන් එම නිලය හොබවන කැප්රියෝගේ විනිසුරු තීන්දු මෙන්ම නඩු විමසන කාරුණික ස්වභාවය පසුබිම් කරගනිමින් 2000 වර්ෂයේ පටන් ඇරඹෙන ‘ප්‍රොවිඩන්ට් නගරයේ දී හසුවීම‘ (Caught in Providence) නමැති රූපවාහිනී වැඩසටහන සත්‍ය වශයෙන්ම උසාවි කාමරය තුළ සිදුවන නඩු ඇසීම් පළමුව ප්‍රාදේශීය රූපවාහිනී නාලිකාවක් ඔස්සේ ජනතාව වෙත ගෙනවිත් ඇත. ගෙවුණු වසර කිහිපය තුළ පළමුව ජාතික මට්ටමින් ද  අනතුරුව යූටියුබ් නාලිකාව ඔස්සේ විශ්ව මට්ටමින් ද ඇමරිකා එක්සත් ජනපදය හා ලොව පුරා මිලියන සිය ගණනක ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ඇති Caught in Providence නාගරික උසාවියක ඇසෙන වාහන පැදවීම සම්බන්ධ චෝදනා, වාහන නැවතීම සම්බන්ධ චෝදනා මෙන්ම අපරාධ චෝදනා ද හමුවේ කාරුණික විනිසුරුවරයකුගේ දයාව මුසු බැල්ම පිළිබඳ නෙත් අඟට කඳුළු කැඳවන සුළු පුවත් ගණනාවක් දක්වමින් නීතිය අභියස මනුෂ්‍යත්වය කිරා මැන අප අභිසය තබයි.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු වියට්නාමය, ඉරාකය, කුවේටය, ඇෆ්ගනිස්ථානය ආදී බොහෝ රටවල පැවති හා පැවතෙන යුද්ධවලදී සෘජුවම ද තවත් බොහෝ යුධ කලාප හමුවේ වක්‍රවද සිය දායකත්වය ලබා දෙමින් හා ලෝකයේ අනේක යුද්ධ හා ගැටුම් හමුවේ ඒ සමථයකට පත් කරනු වස් ක්‍රියාත්මක වනු වෙනුවට ඒ තවත් ගිනි දල්වනු පිණිස ද දායක වන ලොව බලගතු රාජ්‍යයක ඇති ප්‍රාන්ත නගරයක හමුවන ‘නීතියේ මානුෂික ස්වරූපය‘ විහිළුවක් බවට ඔබ යෝජනා කරන්නට ඇති අවකාශ ඉහළ බව මම දනිමි. ප්‍රොවිඩන්ස් නගර උසාවියට යාමට පෙර ග්වන්තනමෝ බේ කඳවුර දෙසට නෙත් යොමා ඇමරිකානු මනුෂ්‍යත්වයේ සත්‍ය ස්වරූපය වටහා ගන්නට ඔබ අතුරින් අයෙකු ආරාධනා කරනු ඇති බව ද මම දනිමි. මගේ අදහස ඔබ ගෙන එන ඒ සියලු තර්ක හා යෝජනා විමසීමට කැඳවන අතරම ප්‍රොවිඩන්ස් නගර උසාවියේ මේ කුඩා මිනිසාගේ (අතිශයෝක්තියට නැගූ හෝ නොනැගූ)  ක්‍රියාකාරකම් පිළිබඳව ද අප විමසා බැලිය යුතු බව ය. ඒ ඇයි?
කුසගින්න, ජීවිතය ගැට ගසා ගැනීම, දරු සෙනෙහස ආදී කරුණු පෙරමුණෙහි තැබෙන, ඒ වෙනුවෙන් අහුලාගැනෙන කොස් ගෙඩියක් හෝ පොල් ගෙඩියක් හේතුවෙන් මාස ගණනක් සිර දඬුවම් විඳින්නට හේතුවන හෝ දහස් ගණනින් ශරීර ඇප බඳින්නට සිදුවන තීන්දු ඇසෙන උසාවි කාමර අභියස අපි ජීවත් වෙමු. කුඩා වරදවලට දඩ ගෙවාගත නොහැකිව සිර ගෙවල දුක් විඳින අසරණ ගැහැණුන් හා මිනිසුන් ගැන ද, ඇතැම් විට සිය මව සිරගත වීම නිසා අනිවාර්ය සිර දඬුවමකට ලක්ව සිටින අසරණ කුඩා දරුවන් ගැන ද අප අසන්නේ මෑතක සිට නොවේ.

“ඒ ගෑණු කෙනා ඇඳගෙන ඇඳල හිටපු ඇඳුමට ජජ් හොඳටම දොස් කිව්ව. ඒක පරණ සාරියක්. සමහර විට ඒක ඒ මනුස්සය ළඟ තිබුණු එකම ඇඳුම වෙන්නැති කියල මට හිතුණ!“

වරක් මා හඳුනන නීතීඥවරියක දැඩි වේදනාවකින් මා සමග පැවසුවේ ඇඳ සිටි ඇඳුම මගින් උසාවියට අපහාස කළේ යැයි සළකමින් උසාවියෙන් පිටමන් කළ අසරණ ගැහැණියක පිළිබඳ සඳහන් කරමිනි.

අපට හිටපු යාපනයේ මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් සුවිශේෂ චරිතයක් වූයේ ඔහු තුළ සිටින විනිසුරුවරයා යටපත් කරමින් ඔහු තුළ සිටින මනුෂ්‍යයා ඉස්මතුව පෙනුණු හෙයිනි.  ෆ්‍රෑන්ක් කැප්රියෝ ලෝක අවධානයට පාත්‍ර වන්නේ ද නීති වගන්ති පොත පසෙක තබා ගනිමින්ම ඔහු මනුෂ්‍යත්වය පෙරමුණට කැඳවන හෙයිනි. ඔහු නිරතුරුව තමා අභියසට පැමිණෙන චරිතයේ ජීවන විත්තිය විමසා බලයි. දරුවකු හෝ දැරියක සමග විත්තිකරුවකු පැමිණ සිටියි නම් දරුවා හෝ දැරිය අසළට කැඳවාගෙන ඔහුගෙන් හෝ ඇයගෙන් තතු විමසා බලයි. ඩොලර් පණහක හෝ සියයක දඩයකින් බොහෝ විත්තිකරුවන්ගේ ජීවිත විසල් වෙනසකට භාජනය නොවූවත් නීතිය මෙහෙයවන්නේ ද, ඉන් පාලනය විය යුත්තේ ද මිනිසාම බව හඟවයි.

උසාවිය හෝ වේවා, වෙනයම් රාජ්‍ය ආයතනයක් වෙත හෝ වේවා පුරවැසියකු පිවිසෙන්නේ තමන් වෙත වන ගැටළුවකට පිළිතුරක් අපේක්ෂාවෙනි. උසාවියකට යමෙකු කැඳවන්නේ ඔහු හෝ ඇය කළ වරදක් සඳහා නියමිත දඬුවම ඔහු/ඇය වෙත නියම කිරීමේ අරමුණෙනි. මේ කවර හේතුවකට හෝ අදාල ආයතනය වෙත පිවිසෙන්නා/ පිවිසෙන්නිය වෙත මනුෂ්‍යත්වය මුණගැස්විය හැකි නම්....?

වඩාත් තෘප්තකර පුරවැසි සමාජයක් බිහි කිරීම සඳහා ඒ ප්‍රධාන හේතුවක් වනු ඇත. ෆ්‍රෑන්ක් කැප්රියෝලා අපට අවශ්‍ය ඒ සඳහා ය!

-ප්‍රියන්ත ෆොන්සේකා -   

Tuesday, September 3, 2019

මරණයේ රූප ටෙලි තිරවල ඇඳීම

(2019 සැප්තැම්බර් 01 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

පුද්ගල ඝාතන පිළිබඳ ප්‍රධාන පුවත් අතර ඉඩක් ලැබීම ජනාධිපතිවරණ අපේක්ෂකයන් තේරීමේ තරග සහ ප්‍රසංගාදියෙන් සති කිහිපයකට යටපත්ව තිබුණ ද ගෙවුණු සඳුදාවේ යළිත් හංවැල්ලේ දී සිදු වුණු ද්වි-පුද්ගල ඝාතනයක් හේතුවෙන් ඒ විරාමයට තිත තැබිණ. සුපුරුදු පරිදි මිනීමැරීම සිදුව ඇති ආකාරය පිළිබඳ සජීවකරණ රූප හා චිත්‍ර සටහන් ටෙලිවිෂන් පුවත් අතරට වහාම එකතු වුණු අතර පසුබිම් සංගීතයක් ද යොදා ‘භීභත්ස්‍ය රසය’ ඉහළ නංවා තිබුණු එම පුවත් ‘ප්‍රථම පුවත’ බවට පත් කරගැනීමේ තරගයට මාධ්‍ය ආයතන පොර වැදෙන අයුරු ද දක්නට ලැබිණ. මිනිස් ජීවිතයක් (හෝ කිහිපයක්) අහිමිවීම සංවේදී පුද්ගලයෙකු වෙත කම්පනයක් ඇති කරන අතර යම් අයෙකු විසින් තවෙකකු (හෝ කිහිප දෙනෙකු) මරා දැමීම ඊටත් වඩා කම්පනයක් නිර්මාණය කරනු නොඅනුමාන ය. එහෙත් මා මේ සතියේ ලිපිය ලියන්නට මුල් වන නිමිත්තට හේතු වූයේ මේ මිනීමැරීම් ‘ප්‍රථම පුවත’ බවට පත් කිරීමේ දී ස්වකීය චිත්‍ර සටහන් ටෙලි නාලිකාවේ පුවත් අතරට එක්වීමේ ‘ප්‍රීතිය’ ෆේස්බුක් සටහන් ඔස්සේ මිතුරු මිතුරියන් හා බෙදාහදාගත් තරුණ චිත්‍ර ශිල්පියෙකුගේ පෝස්ටුවක් දැක ඇති වුණු කම්පනයයි.

ප්‍රධාන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සවස 6.55 පුවත් එකතුවේ දී සිය චිත්‍ර සටහන් ද සමගින් මිනීමැරුම් පිළිබඳ ප්‍රවෘත්තිය ‘ප්‍රමුඛ පුවත’ ලෙස විකාශය වීම චිත්‍ර ශිල්පී තරුණයාගේ අමන්දානන්දයට හේතු වී තිබුණු අතර ඔහු නාලිකාවට සහ එහි සේවක ‘පවුල’ට ස්තුතිය සහ ආදරය පළ කරමින් එම චිත්‍රවල පිටපත් ෆේස් බුක් අඩවිය ඔස්සේ බෙදාගෙන තිබිණ. ස්වකීය මිත්‍රයාගේ ‘වෘත්තීය ජයග්‍රහණය’ පිළිබඳ සතුට පළ කරමින් හා එයට ආදරය හා විස්මය පළ කරමින් ඔහුගේ බොහෝ මිතුරු මිතුරියන් අදාළ පෝස්ටුවට යටින් කමෙන්ටු ද පළ කොට තිබිණ.

මිනීමැරුම් හා රිය අනතුරු ආදියෙන් අහිමි වන මිනිස් ජීවිත පිළිබඳ සංවේදී හැඟීම් ජනිත කරවමින් යළිත් එවැනි ආකාර ඛේදවාචක අප සමාජය තුළ සිදුවීම අවම කරවීම සඳහා සිය පුවත් හා වැඩසටහන් ඔස්සේ කරුණු සමාජගත කරනු වෙනුවට අදාල සිදුවීම උත්කර්ෂයට නංවන ස්වරූපයේ පුවත් පළ කරමින් ‘ප්‍රථම පුවත’ වාර්තා කිරීමේ තරගයෙන් ජය ගන්නට වෙර දරන අසික්ෂිත මාධ්‍ය භාවිතාවන් පිළිබඳ මා මෙම තීරය ඔස්සේත්, තවත් බොහෝ වගකිව යුතු පුරවැසියන් විවිධ වේදිකා ඔස්සේත් විරෝධය පළ කොට ඇත්තේ වරක් දෙවරක් නොවේ. එහෙත් ඉහත ෆේස්බුක් පෝස්ටුව හා කොමෙන්ටු එක්තරා අයුරකින් එම භාවිතය හේතුවෙන් ඇති වන ඛේදනීය සමාජ බලපෑම පිළිබඳ හැඟවුමක් ගෙන එමින්, අප නිර්වින්දිත සමාජය පිළිබඳ පිළිබිඹුවක් ද ගෙන එන හෙයින් මා තුළ ඇති වූ නව්‍ය කම්පනය ඔබ වෙත තබමින් ඒ සඳහා පිළිතුරු සෙවීමට ද අප යොමු විය යුතු බවට ආරාධනා කිරීම මෙම ලිපිය ලිවීමේ අරමුණ යි.

මරණයේ චිත්‍ර පෙළ ‘ප්‍රථම පුවතට’ අඳින තරුණයා චිත්‍ර හා සැලසුම්කරණය පිළිබඳ විශ්විද්‍යාල උපාධිධරයෙකි. ඔහුගේ චිත්‍ර ඔහු අදාල ශිල්පය පිළිබඳ දක්ෂතා ඇති තරුණයෙකි යන හැඟවුම අප වෙත තබන්නේ නිතැතිනි. එහෙත් ඔහු තෙලිතුඩ මෙහෙයවන්නට පැය කිහිපයකට පෙර හංවැල්ලේ, පහත්ගම තැනෙක පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරෙන්නේ මව්වරුන්ට දරුවන්, බිරිඳකට ස්වාමියෙකු හා සියල්ලටම වඩා දරුවන්ට පියෙකු ඇතුළු බොහෝ මානව සබඳතා ගණනාවකට නැවතුම් තිත තබමිනි. මෙවැනි සිදුවීම්වල ලේ සහ කඳුළු විකිණිය හැකි දින ගණනින් පසු කිසිම මාධ්‍යයක් ඒ ඉතිරි ජීවිත දෙස හැරී නොබලන හෙයින් යළිදු පෙර වූ ජීවිතය වෙත කිසිදු අයුරකින් නොහැරී, ක්ෂිතිය, කම්පනය ඇතුළු මානසික වේදනාවන් සිත්හි දරාගෙන ඉදිරි සමස්ථ ජීවිතයම ගෙවන එම පවුල්වල බහුතර සාමාජික පිරිස කිසිවකුට මුණ ගැසෙන්නේ නැත. මගේ මුල්ම කම්පනය මිනිස් ජීවිතවල වටිනාකම හා මානව සබඳතාවල වටිනාකම පිළිබඳ චිත්‍ර කලාව වැනි සියුම් කලාවක් හැදෑරූ තරුණයෙකු තුළ සංවේදී බවක් නොහමුවීම හේතුවෙන් නැගෙන්නකි.

කැලණි විහාරයේ බිතු සිතුවම් ඇඳි සෝලියස් මෙන්දිස් නමැති විශිෂ්ට සිතුවම්කරුවා සිය සිතුවම් සඳහා අවශ්‍ය සායම් නිපදවන්නට බිත්තර සුදු මදය සපයා ගැනීමට ‘කැඩුණු බිත්තර’ ඇති වෙළඳ සැල් සොයමින් ඇවිද ගිය කතාවක් මා අසා ඇත. චිත්‍ර කර්මය වෙනුවෙන්ම බිත්තර නොකැඩීමට ඔහු පෙළඹී නොමැත්තේ ඔහු වෙත වූ අවිහිංසාවාදී දැක්ම හේතුවෙන් බව මෙන්දිස් චරිතය පිළිබඳ විවිධ ලේඛණ දෙස් දෙයි. දවසකට දස දහස් ගණනින් මිනිස් පරිභෝජනයට එක් කරගන්නා බිත්තරයක් හමුවේ වුව සිය දෘෂ්ටිය වෙනස් නොකළ දේශීය චිත්‍ර ශිල්පියෙකුගේ අතීතය එපරිදි ය. මේ තරුණයා සතුටු වන්නේ බිත්තර බිඳීමක් දැක හෝ ඇඳ නොවේ. පෙරදා වූ මිනීමැරුමක් චිත්‍රයට නඟා එහි තිර රූප දැක ය.

චිත්‍රය මතු නොව ඕනෑම කලාවක් භාවිතා විය යුත්තේ මානව ප්‍රගමනය වෙනුවෙනි. ඒ හා ගණුදෙනු කරන කලාකරුවෙකු වෙත ද දයාර්ද්‍රිතව ගලා හැලෙන හදවතක් මෙන්ම තියුණු මානව ප්‍රේමයක් පැවතිය යුතු ය. තමන්ගේ තෙලිතුඩින් නැගෙන සිතුවමක, ඇඟිලි තුඩකින් නැගෙන තත් සරයක, ශරීර හැඩතලයකින් නැගෙන නර්තන රිද්මයක අවසාන යෙදවුම කුමන අන්තයක් වෙත යොමු වේ දැයි ඔහුට හෝ ඇයට තියුණු සංවේදනයක් තිබිය යුතු ය.

මෙරට මුණ ගැහෙන බහුතරයක් රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන කටයුතු කරන්නේ පුරවැසියා සිය ප්‍රමුඛ සඳහනෙහි තබාගෙන නොවේ. ස්වකීය දෘෂ්ටිවාදය හා ඒ අනුයන පාලකස්ථානය ස්ථාපිත කරවීම හෝ ස්ථාපිත පාලකස්ථාන සුරක්ෂිත කිරීම එක් අන්තයකින් ද, වෙළඳ ප්‍රචාරණ උපායයන් හරහා අධික ලාභ ඉපයීම අනෙක් අන්තයෙන් ද තබා ගනිමින් ඒ ආයතනවල ක්‍රියාදාම පසුපසින් වෙයි. එක් අතෙකින් මුලින් සඳහන් පාලකස්ථානය හා කටයුතු කිරීම රාජ්‍ය මාධ්‍යවලදී පෙරමුණෙහි වද්දී පෞද්ගලික නාලිකා හමුවේ ඒ එම කරුණ (හෝ ප්‍රතිවාදී බලඇණිය පාලකස්ථානයේ තැබීම) හා සමානුපාතිකවම ලාභ ඉපැයීම ද වෙයි. ‘මරණයට’ චිත්‍රමය ‘ප්‍රමුඛ පුවත්’ වටිනාකමක් ලැබෙන්නේ මෙතැනිනි.

නිශ්චිතව හතේ, අටේ කණිසම්වලට ඇසෙමින් තිබුණු ප්‍රවෘත්ති @55 දක්වා විනාඩි 05කින් පසුපසට පැමිණීම, ‘පළමුවැන්නා අප ය’ යන හැඟවුම සහිත නානාවිධ ‘උද්ධෘතයන් ලියැවීම’ මේ ප්‍රවෘත්ති තරගයේ මෑත දුටු කරණම් වර්ග ය. එහෙත්, කිසිදු නාලිකාවක් පුරවැසියා පෙරමුණට තබමින් වගකීම්සහගත කටයුතු කොට, මාධ්‍ය ආචාරධර්ම සුරක්ෂා කොට සිය ග්‍රාහකයාගේ බුද්ධියට ගෞරව කොට, ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමක නිරත වන බවකට සළකුණක් හෝ හඳුනාගන්නට නැත.

වසර 13ක් ඉක්මවින් පාසැල් අධ්‍යාපනය කෙළවර කොට, ඉන් පසුව තවත් වසර 4-5ක් විශ්වවිද්‍යාලවල ගත කොට ඉන් පිටව එන තරුණයෙකු හෝ තරුණියක කුමන හෝ නීත්‍යානුකූල වෘත්තියක නිරත වෙමින් රටේ ශ්‍රම බලකාය හා එක්වීම සිදු විය යුත්තකි. විශ්වවිද්‍යාල කෙළවර කරන වෛද්‍ය ශිෂ්‍යයෙකුට මෙන් නිශ්චිත වුණු තබා එළඹිය හැකි කුමන හෝ වෘත්තියක් පිළිබඳ අදහසක්වත් කලා උපාධිධාරීන් වෙත නිශ්චිතව ඇති කරන්නට සමත් පැහැදිලි ක්‍රියා පිළිවෙතක් අප රට තුළ නොමැති පසුබිමක චිත්‍ර හා සැලසුම්කරණය උගත් උපාධිධාරී තරුණයෙකුට/තරුණියකට පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සැලසුම් ශිල්පියෙකු ලෙස (හෝ සමාන වෘත්තියක) සේවය කරන්නට අවස්ථාව ලැබීම අගනේ ය. අර්බුදය ඇති වන්නේ එහි ගොඩ වදින ඔහු/ඇය සදාචාර සම්පන්න සිතුවිලි දොරකඩ තබා ඇතුළු වූ විට ය. නොඑසේනම්, ඔහුගේ/ඇයගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඔවුන් වෙත ඒ පිළිබඳව සඳහනක් හෝ සිදු කර නොමැත්තේ නම් ය.

මිනී මැරීමක්, ස්ත්‍රියකට සිදු කළ අතවරයක්, රිය අනතුරක් වැනි යමක් පිළිබඳ චිත්‍රයට නැගූ හෝ සජීවකරණය කළ රූප පෙළක් ප්‍රවෘත්ති සංස්කාරකවරයා වැනි ඉහළ නිළයක් විසින් ඉල්ලා සිටීමත්, ඒ ඇඳ දෙන්නට සිදු වීමත් එහි සේවය කරන සිතුවම් නිර්මාණකරුවකු හමුවේ වන ඔහුට පාලනය කළ නොහැකි දේ බැව් මම දනිමි. වේතනය පිළිබඳ අදහසත්, රැකියාවක සුරක්ෂිත බවත් ගැන සිතමින් ඔහුට ඒ සිදු කරන්නට වන බව පිළිගනිමි. අර්බුදය නිර්මාණය වන්නේ එම ‘මරණයේ රූප’ පළ කළ නාලිකාවට ආදරය කරන බව කියමින් සතුටු වන්නට ගත් විගසම ය. ඒ, එම සතුටෙහි මුල තවත් පියෙකුගේ, ස්වාමි පුරුෂයෙකුගේ, පුතෙකුගේ මරණයක් සමග මෙන්ම තවත් දරුවකුගේ, බිරිඳකගේ, මවකගේ හෝ පියෙකුගේ වේදනාව සමග එක්ව බැඳී ඇති හෙයිනි.

මිනිස් ජීවිතයක් අගය සියල්ලට පෙර ය! අපට ඒ වෙනුවෙන් සියලු කැපකිරීම් කළ නොහැකි වුවත් හෘද සාක්ෂිය ඒ වෙනුවෙන් කැප කළ යුතුම ය!

-          ප්‍රියන්ත ෆොන්සේකා - 
  
        සේයාරුව: Da Professa ගෙන එන මාධ්‍ය ආචාරධර්ම පිළිබඳ ඉදිරිපත් කිරීමකිනි.


 

Tuesday, April 30, 2019

මනුෂ්‍යත්වය වෙනුවෙනි!


(2019 අප්‍රේල් 28 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

මෙම කුඩා තීරුව (නමක් නැති කොලම) සාහිත්‍යය හා කලාව වෙනුවෙනි. ‘අනිද්දා‘ හි කලා හා සාහිත්‍ය පිටුවල සංස්කාරකවරයා මාහට ආරාධනා කළේ එවැන්නක් ලිවීමට ය. එහෙත් අද මේ ලියන මොහොත වන විට ලිපිය සඳහා නිශ්චිත කලා සාහිත කෙතක් වෙත පය තබා ගත නොහී මම අතරමංව සිටිමි. ජීවිතවල නිශ්චිත අර්ථය වර නොනැගිය හැකි තැනක, රටක, මා ජීවිතය නොසොයමින් කලාව හා සාහිත්‍යය දෙස පමණක් කෙසේ බලම් ද?


කලාව හා සාහිත්‍යය යන සෞන්දර්යය හා සබැඳෙන උත්තර මිනිස් ක්‍රියාකාරීත්වයෙහි පරම අවැසියාව අපරිමිත දයාවෙන් සපිරි මානුෂවාදී සමාජයක් නිර්මාණය කිරීමයි. සියලු දොස් දුරැර ලූ, උපරිම ලෙස යහපත් සමාජයක් බිහිවීම බොහෝ විට සිදු නොවිය හැක්කක් වුවත් අවම වශයෙන් අනෙකා වෙත දක්වන ගරුත්වයෙන්, සදාචාර සම්පන්න බවින් හා මානුෂවාදී බවින් සපිරි සංස්කෘතික මිනිසුන් සැළකිය යුතු ප්‍රමාණයකින් හෝ අප වටා මුණගැසිය හැකි නම් ඒ සමාජය පිළිබඳ යහපත් පෙරනිමිති දකිමින් පෙරමග බලා සිටීම අසීරු කටයුත්තක් නොවේ.

පාස්කු ඉරිදාවේ ලොව සසල කළ මිනිස් බෝම්බ ප්‍රහාර වැල හා ඉන් අපට අහිමි වූ අවිහිංසක, නිරායුධ සිවිල් පුරවැසියන් පිළිබඳ මම යළිත් කිසිවක් නොලියමි. දශකයකට පෙර වියැකී ගිය ඉතිහාසය ක්ෂණයකින් අප ඉදිරියේ දෘශ්‍යමාන කරමින් බිහිව ඇති බිහිසුණු නිහැඬියාව එම ඛේදවාචකයේ තරම මොනවට විදහා පාමින් මේ මා ලියන මොහොතේත් අප වටා විහිද යමින් පවතී. ජීවිත අනතුරක සියුම් හෝ සලකුණක් නොදැක, සාමාන්‍ය පරිදි ඉරු දිනය ඇරඹූ තුන් සියයක් ඉක්මවූ අපගේම මව්වරුන්, පියවරුන්, සහෝදර සහෝදරයින් හා දරු දැරියන් පිරිසක් මේ වන විටත් අප හැර ගොසිනි. තවත් සිය ගණනක් රෝහල්වල ය. ඉඳින් මම අප සොයාගත යුතුම වන, අරගල කළ යුතුම වන මනුෂ්‍යත්වය වෙනුවෙන් ලියමි!

මිනිසත්කම වෙනුවෙන් ය යන්න සියල්ලටම පෙර සිය ජීවන දැක්ම බවට හරවාගන්නා සමාජයක් අප නිර්මාණය කරගන්නේ කෙසේ ද? අප මේ මොහොතේ යළි යළිත් නැගිය යුතු ප්‍රමුඛ පැනය එය බව මම යෝජනා කරමි. සියළු නොපනත්කම්වලට, භීෂණත්වයන්ට, ත්‍රස්තවාදයන්ට තියුණු, දිගු පිළිතුර පැන නගින්නේ එම පැනය සඳහා සොයාගන්නා පිළිතුර තුළින් වනු ඇත. ඒ කවරාකාර ලෙස ද?

ගෙවුණු ඉරු දින සිදුවීම් පෙළට මොහොතකට පෙර පටිගත වී ඇති සීසීටීවී දර්ශනවලින් එකක් තෝරාගෙන, ඒ දර්ශනය ඔස්සේ (ඔව්, එම දර්ශනවලට යොදා ඇති ත්‍රාසජනක චිත්‍රපට ස්වරූපයේ සංගීතය පසෙක තබා) අතීතයට යන්නට මම ඔබට යෝජනා කරමි. එහි එක් දර්ශනයක, බෝම්බ බෑගය කරේ එල්ලාගත් තරුණයකු, ඉතා සැහැල්ලුවෙන්, කිසිත් නොදන්නා මිනිසුන් අතරින් සිය ඉලක්කය වෙත ඇවිද යනු පෙනෙයි. මේ තරුණයාගේ අතීතයට, එම දර්ශන පටය පසුපසට ධාවනය කරමින් හෝ (වෙනත් විශ්මකර්ම ක්‍රමයකින් හෝ) ගොස් බලන්නට හැකිනම් අපට මුණගැසෙනු ඇත්තේ කවරාකාර ජීවිතයක් ද? එහි මුණගැසෙනු ඇති උස්මිටි තැන් සියල්ල එක පැහැර කියන්නට අප කිසිවෙකුට හැකි නොවෙතත් එක් නිශ්චිත කරුණු කිහිපයක් නියතවම හසුවනු ඇති බැව් මට නියත ලෙස යෝජනා කළ හැකි ය. වඩා යහපත්, සමබරව ලොව දකින්නට යෝජනා කෙරෙන අධ්‍යාපනයක් ඔහු වෙත ලැබී තිබෙන්නට ඇති අවකාශය පෙන්වන අතීත රූප එහි තිබෙන්නට ඇති ඉඩ අවම ය. අසීමිත ලෙස ඔහුගේ ළමා අවදිය වෙත ලැබුණු මාපිය හා වැඩිහිටි ආදරයක් සහිත අවකාශයක් ඒ අතීත රූප තුළ වෙතැයි මට විශ්වාස කළ නොහැකි ය. ස්වකීය ආගම, ලොව සෙසු ආගම් මෙන්ම මානවයාගේ යහපැවැත්ම යෝජනා කරන දහමකැයි යන නිවැරදි කියවීම ඔහු වෙත ලබා දුන් අවකාශයක් එම රූප තුළ හමුවීමේ අවස්ථාවලට ඇති ඉඩ අවම ය. තමා මෙන්ම, ඔහු අර ඇවිද යන බිමෙහි ඔහු අවටින් වන, ඔහු නොසළකා හරිමින් යන, අනෙකා ද මිනිස් දිවියක අසිරිය විඳීමට මේ ලොව තුළ ජනිත වී ඇති බවත්, එය තුටින් වැළඳගත යුත්තක් බවත් වටහා ගන්නට ඔහු වෙත ලැබී ඇති අවස්ථා පිළිබඳ එකදු රූපයක් හෝ එහි වීමට ඇති ඉඩ ශුන්‍ය අගයක වීමට ඇති ඉඩ ඉහළ ය.

මනුෂ්‍යත්වය, ආදරය, තමන් සහ අනෙකා වටහා ගැනීම, අනෙකාට ගරු කිරීම සහ ආදරය කිරීම ඇතුළු සියල්ල අයෙකු තුළ රෝපණය වන්නේ ඔහු/ඇය ලබන අධ්‍යාපනය, ජීවිතය ආරම්භ කරන නිවස සහ වටපිටාව, ආගමික දැක්ම මුණගස්වන පූජකස්ථානය ආදියෙනි. වත්මනෙහි මෙම බොහෝ කරුණු සඳහා මාධ්‍යයෙහි දායකත්වය ද නොමඳව ලැබෙන බැවින් (විශේෂයෙන් විද්‍යුත් මාධ්‍යයන්වල) එය ද මේ ආසන්න අංකයක් ලෙස සටහන් කිරීමෙහි ඇති වරදක් නැත. මෙහි ඉහත එක් ස්ථානයක් බිඳ වැටී ගියත් (උදාහරණ ලෙස අයෙකුගේ නිවසේ වටපිටාව ඛේදනීය ලෙස බිඳ වැටී තිබුණත්) සෙසු කලාප, විශේෂයෙන් අධ්‍යාපනය නිසි පරිදි ස්ථාපිතව තිබී ඔහු/ඇය වෙත බල පවත්වන්නේ නම් පුද්ගලයෙකු ලෙස පූර්ණ පරිහාණිගත තත්වයක් කරා යමින් තමන් හා අනෙකා නසා ගන්නා, සමාජ නාශකයෙකු ලෙස ක්‍රියාකරන්නට තැත් දරණා කලාපයකට ඔහු/ඇය පැමිණීමේ අවස්ථා ඉතා අවම වන බව වටහා ගැනීම අපහසු නැත. කුල, පන්ති හෝ වාර්ගික යනාදී වශයෙන් තමන් වෙත එල්ල වන පීඩනය හමුවේ වුව, පොදු සමාජ අරගල මගක් තෝරාගනු විනා, ස්වකීය ජීවිතයත් බාහිර, බොහෝ විට සමාන පීඩනයම විඳින සහෝදර පුරවැසි කණ්ඩායමක ජීවිතත් කිසිදු අර්ථයකින් තොරව විනාශ කර දමන මගක් තෝරාගැනීම ඔහු/ඇය විසින් සිදු කරනු ලැබේ යැයි සිතීමට ඇති ඉඩ ද අවම ය.

කෙසේ වෙතත්, ඒ අවම ඉඩ තුළින් පැමිණ, ස්වකීය ජීවිතය කෙරෙහි ඇති බැඳීමත් අතහැර දමා උන් කණ්ඩායමක් දැන් අපට හමුවී අවසාන ය. රටේ නීතිය හා සාමය ආරක්ෂා කොට, ආරක්ෂක මුරකාවල් සත්‍ය ලෙස ක්‍රියාත්මක කර පොදු පුරවැසි ජීවිතය සුරක්ෂිත කර දෙන මෙන් රජයන්ට බල කරමින්ම අනාගත ප්‍රජාව හමුවේදීත් යට හමුවුණු ජීවිතය, ආදරය හා මනුෂ්‍යත්වය නොහඳුනන තරුණයා යළි හමුවීමේ අවස්ථා නැති කිරීම සඳහා අප ක්‍රියාත්මක විය යුතු ය. ඒ සඳහා අවශ්‍ය වන්නේ විධිමත් අධ්‍යාපනයක්, තත්‍ය ලෙස ආගමික දර්ශනයන් වෙත සිය අනුගාමිකයින් මෙහෙයවන පූජකස්ථානයක්, පොදුජන විඥාණය තුළ මානුෂවාදී හැඟීම් පැල කරමින්, පුරවැසි ප්‍රජාව ඥාණනය කිරීම පිළිබඳ ඇති වගකීම හඳුනාගත් ජන මාධ්‍ය එකතුවක් යනාදියයි. අප දෙවනුව පෙළ ගැසිය යුත්තේ ඒ සාක්ෂාත් කරගැනීම වෙනුවෙනි.

අධ්‍යාපනය විධිමත් නම් එය සියල්ලට ඉහළින් මනුෂ්‍ය ජීවිතය පිහිටවනු ඇත. පූජකස්ථානය විධිමත් නම් එය ආගමික දර්ශනය ස්වකීය බල කලාප පුළුල් කිරීම සඳහා ව්‍යවහාරික නව ස්වරූපයන් තැනීම සඳහා යොදාගනු වෙනුවට මිනිස් ජීවිතවල අරුත සෙවීම සඳහා කළ අතීත උත්තර මිනිසුන්ගේ මැදිහත්වීම් පුරවැසියා වෙත පහදනු ඇත. ජන මාධ්‍යය විධිමත් නම් වඩාත් ප්‍රවේශම් සහගත ලෙස සහ වගකීම් සහගත ලෙස වදන් සහ රූප පුරවැසියා වෙත තබනු ඇත.

දැන්, අවසාන වශයෙන් මට මගේ තීරු ලිපියේ මුඛ්‍ය කලාපය වෙත ආසන්න වීමට අවසර දෙන්න. උදාහරණ ලෙස, අපට මුණගස්වන ජන මාධ්‍යයේ ප්‍රමුඛ අංගයක් වන ටෙලිවිෂනය විමසන්නට ඉඩ දෙන්න. එය මේ දැනුත් අප වෙත වැඩිපුර තබන්නේ මොනවා ද?

මෙහිම මා කලින් කල ලියා ඇති පරිදි කුඩා දරුවන් (මෙන්ම තරුණ තරුණියන්  හා වැඩිහිටියන් ද) ස්වකීය වෙළඳ අවශ්‍යතා වෙනුවෙන් අපහරණයේ යොදවන රියැලිටි, ලාභ, හඬ කැවූ විදේශ ටෙලි පඩංගු, කෝණ දෙක තුනකින් ඉනිම් ගණනින් රූගත කළ දේශීය ටෙලි විකාර, ළමුන්ගේ මනස දූෂ්‍ය කරවන හඬ කැවූ විදේශ කාටූන් ඒ අතර වැඩිපුර වෙයි. ඒ හැරුණු විට හමුවන විදේශීය චිත්‍රපට අතුරින් ඉතා ඉහළ අංකයක් හිමි කරගන්නේ ප්‍රචණ්ඩත්වය දරුණු ලෙස මුණගැසෙන දමිළ චිත්‍රපටවලට ය. සිංහල බසින් උප ශීර්ෂ සහිතව හමුවන එම අති-ප්‍රචණ්ඩ චිත්‍රපට දිවා රාත්‍රී වෙනසකින් තොරව සිංහල හා දමිළ නාලිකා ගණනාවක සැළකිය යුතු විකාශ කාලයක් අයිති කරගෙන ඇති බව පෙනේ. විනාඩි 120-150ක් අතර වන ධාවන කාලයක් තුළ සැළකිය යුතු මිනිස් ජීවිත ප්‍රමාණයක් මරා දැමෙන, රක්ත වර්ණ රුධිර ගංගාවන්ට, කැති, පොරෝ, මන්නාවලට, තුවක්කු, පිස්තෝල හා බෝම්බවලට සමීප රූපවල වැඩි ඉඩක් දෙන චිත්‍රපට ටෙලිවිෂන නාලිකා පුරා වැපිර පවතිද්දී ඉන්දීය කලාත්මක සිනමාව හෝ චීන, ජපාන, ඉරාන සිනමාව ප්‍රමුඛ සම්භාව්‍ය ආසියානු සිනමාව හෝ විශිෂ්ඨ යුරෝපීය හෝ ලතින් ඇමරිකානු සිනමාව හෝ ඉඳහිටවත් අප නෙත හමුවට එන්නේ නැත. ත්‍රාසය හා භීතිය යන ෂානරවලට අමතරව සංගීතමය, ප්‍රේමය මුල් කොටගත් රෝමාන්තික, හාස්‍යමය, සුඛාන්තමය වැනි සිනමා ෂානර ද ඇති බව ප්‍රේක්ෂාගාරය දැනගන්නේ ද නැත.

සියලු විවිධතා මුණගැසෙන දියුණු ටෙලි තිරයක් හමුවීම දියුණු සංස්කෘතික මිනිසකු බිහිකිරීමට වන එක් දායකත්වයකි. එපමණකින් සියල්ල සරිකළ හැකි නොවෙතත්, එපරිදි එකිනෙක පෙරට නැංවීම අපට අවසානයේ මුණගස්වනු ඇත්තේ සැබෑ සැහැල්ලුවකින් සීසීටීවී තිර හරහා ඇවිද යන, බෝම්බ වෙනුවට පොතපතින් සිය බෑගය පුරවාගත්, මිනිසාට සහ මනුෂ්‍යත්වයට ආදරය කරන තරුණයෙකි/තරුණියකි.
ඔහු/ඇය හමුවන තෙක් අප සටන් කළ යුතු ය! ඒ සටන මනුෂ්‍යත්වය වෙනුවෙනි!

-ප්‍රියන්ත ෆොන්සේකා -

Thursday, March 14, 2019

නැෂනල් ඇම්නීසියා!

(2019 මාර්තු 10 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

සෑම සති අන්තයකම ඔබ අතට පත්වන ‘අනිද්දා‘ පුවත්පතෙහි හැන්දෑව අතිරේකය සඳහා සාහිත කලා මුල් කොටගත් කුඩා ලිපියක් සම්පාදනය කිරීමට එහි සංස්කාරකවරයාගෙන් ආරාධනා ලැබ කෙටි කලක් ගෙවී ගොස් ය. මෙම ලිපිය (නමක් නොලද තීරුව) ලිවීම ආරම්භ කළ දා පටන්, මගේ කාර්යබහුලත්වය නිසා එක් සතියකත්, පුවත්පතේ හැන්දෑව අතිරේකය පළ නොවීම නිසා තවත් සතියකත් හැර, එක දිගටම මම මෙය ඔබ වෙත ඉදිරිපත් කොට ඇත්තෙමි. වැඩිම අළෙවියක් ඇති සති අන්ත පුවත්පතකැයි තමන්වම වර නගා ගෙන ඇති පුවත්පත් අතර, අලුත් සාමාජිකයකු වන ‘අනිද්දා‘ සඳහා ලියන කුඩා ලිපියකින් කළ හැකි මැදිහත්වීමක් වෙත්දැයි යන සැකයක් මුලදී මා වෙත වුවත් ලිපි පෙළ පළවන්නට පටන් ගෙන ඉතා කෙටි කාල සීමාවකදී එම සැකය තුරන් විය. දුරකථනයෙන්, ෆේස්බුක් අඩවියෙන් හෝ මහමග හමුවන විට මා ඇමතූ හෝ හමුවූ අයෙකු ‘ලිපිය අපි කියවනව. හොඳයි ඒක!“ වැනි කුඩා අදහස් දැක්වීමක සිට දීර්ඝ අදහස් දැක්වීම් දක්වාම, තොග ගණනින් නොවෙතත්, ප්‍රතිචාර එයට ලැබෙන්නට පටන් ගත් හෙයිනි. එනිසාම, දැන්, සෑම සතියකම මෙය ලිවීම අරඹන්නට පෙර මම බොහෝ කල්පනා කරමි. ඉදිරි සති අන්තයට කුමක් ලිවිය යුතු ද?

එකහැර සිත පැහැරගත් යමක් හෝ තදින් සිත කම්පනය කළ යමක් නොවුණු තැන පමණක් නොව යමක් පිළිබඳ ලියන්නට අදහසක් සිතට නැඟුණු විට පවා එම කල්පනාව මසිතට නැගෙයි. අතීත ලිවීම් යළි පෙරළමින්, ලියා ඇති දෙයක් යළි ‘රිපීට්‘ නොවන්නට කටයුතු කළ යුතු බව සිතෙයි.

ලිපිය (හෝ තීරුව) සූදානම් දැයි හැන්දෑව අතිරේකයේ සංස්කාරකවරයාගේ දුරකථන ඇමතුම ලැබෙන්නට ආසන්න වන විටත් (ලිපිය ලැබී නැතිනම් සාමාන්‍යයෙන් අඟහරුවාදා 11-12 අතර ඔහු මා අමතන නිසා), මේ සති අන්තය සඳහා අවශ්‍ය ලිපියේ ප්‍රස්තුතය මසිතට නැගී තිබුණේ නැත. “පෙබරවාරි 10 වැනිදා ඔබේ ලිපිය විශිෂ්ටයි! නැෂනල් ඇම්නීසියා!!“ යනුවෙන් මිතුරෙකුගෙන් කෙටි පණිවුඩයක් මවෙත ලැබුණේ එවිට ය.

ජාතික විස්මෘතිය!! එය නම් කදිම අදහසකි; සිතුවිල්ලකි. ඔහු ඒ යෙදුම භාවිත කොට තිබුණේ මා ලියූ ‘අතීත විත්ති භාවිතයට (නො)කැඳවීම: 71 වැනි නිදහස් දින ආසන්නයේ දුටු සිනමා සහ ක්‍රිකට්පාඩම්‘ නමැති ලිපිය සම්බන්ධයෙනි. රාජ්‍ය නායකයාගේ සිට ක්‍රිකට් නායකයා හරහා සිනමා අධ්‍යක්ෂවරයා දක්වා අතීතය අතහැර කටයුතු කිරීම පිළිබඳ මගේ නිරීක්ෂණ මම එහිදී සාකච්ඡා කළෙමි. ‘ජාතික විස්මෘතිය‘ ලෙස මගේ මිතුරා යෝජනා කරන තත්වය ගැන තව දුරටත් ලිවීම කිසිදු වරදක් ද නොවන, ලියන්නට තව බොහෝ දේ හමුවන කලාපයක් බව ඒ ඔස්සේ සිත යොමු කරද්දී මට කල්පනා විය.

සැබවින්ම මේ ලිපිය ලියන්නට යන සෑම සතියකම මා යළි හැරී බලන්නේ ඇයි? මෙම ලිපි පෙළ ලිවීම අරඹා වැඩි කලක් ගතවී නැතත්, සෑම සතියකම ලියූ සියලු ලිපි සහ අඩංගු කළ සියලු කරුණු මගේ මතකයේ පැහැදිලිව සටහන්ව නැති හෙයිනි. අප ලියන, කියන, ක්‍රියාවට නගන සියලු දේ පිළිබඳ ඉතා පැහැදිලිව මතකයේ රඳවා ගැනීම ඒ පිළිබඳම පුහුණුවීම් කරන අයෙකුට වුව නොකළ හැක්කකි. මතකය හා බුද්ධිය සම්බන්ධ ප්‍රබලතම ගණුදෙනුව සිදුවන චෙස් ක්‍රීඩාවේ දී ද ලෝක ශූරයා, මතකය නිවැරදිව ගබඩා කෙරුණු වැඩි දියුණු කළ පරිගණකයක් හමුවේ පරාජය වී අවසන් ය.

එදිනෙදා සිදුවන සෑම ක්ෂුද්‍ර සිදුවීමක්ම මතකයේ රැඳීම අනවශ්‍ය වුවත් සමාජ, දේශපාලනික, ආර්ථික හෝ සංස්කෘතික වශයෙන් සුවිශේෂ වන යමක් අපගේ ‘ජාතික මතකය‘ තුළ රැඳීම අත්‍යාවශ්‍ය ය. පරමාණු බෝම්බය හිරෝෂිමා සහ නාගසාකි නගර වෙත පතිත වීම පිළිබඳ ‘ජාතික මතකය‘ ජපානයේ ‘ජාතික චින්තනයේ‘ හැඩතල මේ යැයි තීරණය කොට ඇති පරිදි, ‘සුනාමිය‘, ‘කළු ජූලිය‘, ‘සිවිල් යුද්ධය‘, ’71 සහ 88-89 තරුණ කැරලි‘ ඇතුළු අපගේ සමාජ දේහය තදින් කම්පනය කළ සිදුවීම් පිළිබඳ ‘ජාතික මතකය‘ අපගේ චින්තනය තුළත් තදින් එල්බ ගත්තේ නම් එම සිදුවීම්වලින් අනතුරුව සිදුවුණු බොහෝ ක්ෂුද්‍ර හා ක්ෂුද්‍ර නොවන සමාජ- දේශපාලනික සිදුවීම් හා පෙරළි සිදුවන්නේ එපරිද්දෙන් නොවේ යැයි අපට තර්ක කළ හැකි ය.

‘නැෂනල් ඇම්නීසියා‘ තත්වයකට මග පාදන, ‘ජාතික මතකයක් අහිමි‘ පුරවැසි ප්‍රජාවකගේ සාමාජිකයින් බවට පත් වන්නට අපට සිදුවී ඇත්තේ ඇයි? පුරවැසි මතකය තුළ තිරව සනිටුහන් කළ යුතු කාරණා කවරේදැයි යන්න පිළිබඳ ජාතික අදහසක් අප වෙත නැත. අධ්‍යාපනය හා සන්නිවේදනය හමුවේ අප ක්‍රියා කරමින් සිටින ආකාරයත්, එම තීරණාත්මක විෂයයන් හා ඒ හා අත්වැල් බැඳගන්නා කලාව යන්න අප වරනගා ගන්නා ආකාරයත්, අප එවැනි වගකීමක් සහිතව කටයුතු නොකරන බව ස්ථිර කර දෙයි. පුරවැසියාගේ චින්තනය, දෘෂ්ටිවාදය, වින්දනය හා ආකල්ප මෙන්ම අනාගත පුරවැසි ප්‍රජාවේ මතක සංචිත නිර්මාණයට පසුබිම සපයන අධ්‍යාපන ක්‍රියාකාරකම් ඈ සියල්ලකදීම අප කටයුතු කර ඇති හා දැනටත් කටයුතු කරන ආකාරය ඒ බවට ඇති පමණ සාක්ෂි අප වෙත සපයමින් සිටියි.

අධ්‍යාපනය තුළ යුද්ධය ආශ්‍රිත කරුණු පිළිබඳ සිදු කරන සාකච්ඡාවන් දෙස බලන්න. මෑත සිවිල් යුද්ධයේ උණුසුම තවම මැකී නැතත්, අපගේ ආගමික හා සමාජ අධ්‍යයන හා ඉතිහාස පාඩම්මාලාවල තවමත් ‘වීරයා‘ දුටුගැමුණු ය. මෑත (හො ඈත) ඉතිහාසය පදනම්ව, යුද්ධයක නිස්සාරත්වය හා මනුෂ්‍යත්වයේ ප්‍රබලත්වය පාසැල් අධ්‍යාපනය හරහා දරුවන් වෙත ගෙන යා හැකි වුවත් අප තවමත් ‘උඩ දමමින් ඉන්නේ‘ දුටුගැමුණු ස්වරූපවල වීරත්වයයි. ජාතික මතකය තුළ යුද්ධයේ වේදනාකාරීත්වය හෝ අහිමිවීමේ ඛේදය පිළිබඳ අදහසක් අප විසින් ඇති කරනු ලැබ නැති හෙයින්ම ‘අතුරුදහන් වූවන්‘ පිළිබඳ විමසන අම්මලා තාත්තලාගේ වේදනාව අපට ජාතික වේදනාවක් බවට පත්ව නැත.

මතකය සිහි කැඳවීම් ඔස්සේ මැකී යා නොදී පුරවැසියා හමුවේ තබන්නට ඉහළම ශක්‍යතාව ඇත්තේ මාධ්‍යයට ය. ටෙලිවිෂනය ගෙන බලමු. ශ්‍රව්‍ය හා දෘෂ්‍ය භාවිතය හේතුවෙන්, අතීතය මත පදනම්ව ගොතමින් සබුද්ධිකව පෙළ ගසන ‘මතක සංවේදනා පිළිබඳ රූප හා ශබ්ද‘ හරහා යළි සුනාමියක හෝ යුද්ධයක, ඒත් නැතිනම් මර්ධනකාරී තරුණ කැරැල්ලක ඛේදය පුරවැසියා වෙත තබා පුරවැසියා වඩාත් සංවේදී ප්‍රජාවක් බවට පත් කරන්නට, අවැසි නම්, ටෙලිවිෂනයට හැකි ය. නමුත් තොග ගණනින් එන, රියැලිටි විලක්කු හා මෙගා ටෙලි පඩංගු ප්‍රේක්ෂාගාරය වෙත තබා, තම ආයතනික දෘෂ්ටියට ගැලපෙන්නට ප්‍රවෘත්තියේ පටන් හැඩරුව මකමින් තබනු මිස ටෙලිවිෂන නාලිකා ඒ කලාප ගැන හිත යොමු කරනු පෙනෙන්නට නැත.

ඉඳින් මේ මතකය පවත්වා ගැනීම පිළිබඳ අදහසින් ද මඩනා ලද පුරවැසියා කවු ද? ටෙලිවිෂන් මෙගා ස්වරූපයේ මුල් කෘතියක උදාහරණයක් පමණක් ලියා අවසන් වාක්‍ය ඛණ්ඩයට වෙත යන්නට මට ඉඩ දෙන්න. ‘සත්පුර වැසියෝ‘ නමින් ටෙලි නාටකයක් ජාතික නාලිකාව හරහා ඔබ වෙත තැබූ බව ඔබට මතක ඇතැයි සිතමි. මෙය විකාශය වී කෙටි කලකින් එයට ‘සත්පුර වැසියෝ‘ යන නම යෙදුණේ මන්දැයි මම ‘සිනමාව හා ටෙලිවිෂනය‘ විශේෂ උපාධිය සඳහා හදාරණ ශිෂ්‍ය පිරිසකගෙන් ඇසීමි. සිතට නැගුණු එක් එක් අදහස් පිළිතුර සඳහා ගොණු කළත් සැබෑ පිළිතුර කිසිවකු ලබා දුන්නේ නැත. සත්පුරය නම් ‘ආබාධ සහිත‘ තරුණ තරුණියන් ඉලක්ක කළ ආයතනයක් මුල් කොට ගනිමින් ආරම්භ කෙරුණු පුවතෙහි (යශෝධා විමලධර්ම රඟපෑ) ප්‍රධාන චරිතය, සෙසු චරිත හා ගණුදෙනුව ආරම්භ කළේ ද එම ‘සත්පුරයෙහි‘ සාමාජිකාවක ලෙස හිඳිමිනි. නාටකය ඉදිරියට විකාශනය වද්දී (ඇතැම් මෙගාවල චරිත හිටි අඩියේ මිය යනු හෝ රූප වෙනස් වනු සමානව) ‘සත්පුරය‘ හා එහි සාමාජිකයින් කතාවෙන් හැලී ගිය අතර සිය මතකයෙන් සමානුපාතිකව ‘සත්පුරය‘ හලා දැමූ ප්‍රේක්ෂාගාරය ද ‘සත්පුර වැසියෝ‘ ටෙලි නාට්‍යය සතිපතා නරඹමින් සතුටු වූහ. ටෙලිවිෂනය ගැන හදාරණ සිසුවකුගේ හෝ මතකයේ ඉතිරි නොවුණු සත්‍ය ‘සත්පුරය‘ පරිද්දෙන් කතාකරුවාගේ මනෝ විකාරවලට, කැමැත්තට හා අදහසට අනුව ඕනෑම දෙයක් ටෙලි පුරවැසි මතකවලින් මකා දැමෙන අතර ඒ කැමැත්ත අනුව ඕනෑම දෙයක් මතකයෙන් හලා දමන්නට සැදී පැහැදුණු ප්‍රේක්ෂාගාරයක්ද අපට වෙයි.

‘නැෂනල් ඇම්නීසියා‘ යනුවෙන් මගේ මිතුරා නම් තබන, පුරවැසියාගේ ජාතික මතක කලාපයන් සෝදා දමන මේ බිහිසුණු තත්වය සමාජ, දේශපාලනික හා සංස්කෘතික දේහය විනාශ කර දමන ඛේදවාචකයකි. රටක් ලෙස, පුරවැසියන් ලෙස අප දේශජ මතකයන් බවට පත් විය යුතු සියලු කලාප හඳුනාගන්නා අධ්‍යාපනික, ආගමික, මාධ්‍ය මෙන්ම කලා භාවිතයක් වෙනුවෙන් පෙරමුණ ගත යුතු ය. ඒ ස්ථාපිත කිරීමට බල කළ යුතු ය. ‘නැෂනල් ඇම්නීසියා‘ මෙන් නොව ‘නැෂනල් මෙමරි‘ යනු තෘප්තකර මාතෘකාවකැයි අපට ලියනු හැකි වන්නේ එදිනට ය.


-          ප්‍රියන්ත ෆොන්සේකා -