Showing posts with label සුනිල් විජේසිරිවර්ධන. Show all posts
Showing posts with label සුනිල් විජේසිරිවර්ධන. Show all posts

Monday, December 7, 2020

කොරෝනාව අවුළුවන සහෘද මනස්: ජාල අවකාශයේ නෙක කතා

 (2020 ‍‍නොවැම්බර් 29 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි)

එළඹෙන සංවාදයේ පෝස්ටරය

කොරෝනාව පරදිනු ඇතත් ඒ සඳහා වන දිනයක් පිළිබඳ නිශ්චිත අනාවැකි කිසිවකුට කිව නොහැකි ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා නොබෝ දිනයක කියා තිබුණේ එන්නත් සොයා ගනිමින් තිබුණ ද වෛරසය මුළුමනින්ම පරාජය කිරීමට ඒ ප්‍රමාණවත් නොවනු හැකි බවයි. අවිනිශ්චිත බව, දොම්නස ඇතුළු බොහෝ සෘණාත්මක හැඟීම් මේ හා සමග අප වෙත සම්ප්‍රේෂණය වෙමින් පැවතිය ද, පෙර සතියේ මා ප්‍රාසාංගික කලා අවකාශය තුළ වෛරසය සමග ප්‍රතිමුඛ ව සටනට බට කලා නිර්මාණකරුවන් සහ ක්‍රියාධරයින් පිළිබඳ සඳහන් කළ පරිද්දෙන්ම, ඒ සමාන ලෙස, නැගී විවිධ නව සංවාද කලාප තනා සහෘද මනස් අවුළුවන යම් පිරිස් හේතුවෙන් කලා සාහිත අවකාශ වෙත අප නෙතු යොමු වෙයි; ජීවිතයෙහි අගය ද යළි අප වෙත නැගෙයි.

‘සූම් ටු පොයම්’ නොඑසේ නම් සූම් අවකාශය හරහා කවිය පිළිබඳ ඇරඹී තිබුණු නව සංවාද මණ්ඩපය එවැනි එක් අපූර්ව අවකාශයකි. සෑම සඳුදා දිනකම රාත්‍රී අටට මෙරට මතු නොව ලොව පුරා විසිර සිටින ලාංකික කවි කිවිඳියෝ සහ කවි සහෘදයෝ සැළකිය යුතු පිරිසක් තෝරාගත් කෘතියක් හෝ කවියක් පිළිබඳ සංවාදයකට පිවිසීම මෙහි දී සිදු කරමින් සිටිති. මෙය මා ලියන මොහොත වන විට එවැනි හමු 24ක් නිමාව දැක තිබිණ. ප්‍රමුඛ කවි කිවිඳියන්ගේ කෘතීන් මෙන්ම කවි කෙත වෙත තීරණාත්මක මැදිහත්වීම් සිදු කළ කවීන් පිළිබඳව ද ඒ හමු තුළ සාකච්ඡා කොට තිබිණ.

භාෂාවෙහි මායිම් මතු නොව දේශ සීමාවන්හි මායිම් ද ඉක්මවමින් කවිය නමැති මහා දහර ගලා බසිනායුරු මෙම සාකච්ඡා අතරතුර සංවාදයට බඳුන් වනු එහි ගොඩ වැදි තැන්හිදී මගේ සවන් වැකිණ. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් සිය දශකයකට නොඅඩු රුසියානු ජීවිතය හරහා මෙරටට රැගෙන ආ, එරට සමාජ-සංස්කෘතික ආශ්‍රයෙන් ද පරිණත, රුසියානු කවිය සිංහලයට නැගීම හා ඒ පිළිබඳ කළ සාකච්ඡාව මෙන්ම පරිවර්තකයාම ඒ කවි එහි මුල් බසින් ගයමින්ම සංවාදය නැංවීම (මෙය පුරා සති දෙකක් විහිද ගිය වැඩසටහනකි.) එවැනි මහරු-අතත්‍ය අවකාශමය අත්දැකීමකි. නන්දන වීරසිංහ වැනි වත්මන් ප්‍රමුඛ කවියෙකු පිළිබඳ සජීවී සංවාද මණ්ඩපයක් තැනීම, ප්‍රභාත් ජයසිංහගේ ‘අනවරත’, මාලන් බණ්ඩාර කපුවත්තගේ ‘නිමා වූ සෘතුවක ශේෂ පත්‍ර’ ඇතුළු පද්‍ය කෘති කිහිපයක්ම සංවාදයට කැඳවීම කිසිසේත් අනෙක පරයා නැගෙන්නට නොහැකි, සමාන බරකින් යුතු පියවර පෙළකි.

කොරෝනාව ලොව බිය නොගන්වන්නට, කලා රසික සමාජය නිවස තුළ වැඩිපුර නොතබන්නට පෙර පියවර කිහිපය ඇතුළු පියවර රැසක් පිළිබඳ කිසිවකු උනන්දු නොවන බව පැහැදිලි ය. විශේෂයෙන් ප්‍රංශයේ ජීවත් වන මංජුල වෙඩිවර්ධන වැනි කවියෙකු හැකි සෑම සතියකම මෙරට සාකච්ඡා මණ්ඩපයකට කැඳවීම ඇතුළු විදේශීය නිර්මාණකරුවන් හා සහෘද සමාජය එකම අවකාශයක හිඳුවා ගැනීමේ වැඩි ගෞරවය ද කොරෝනාවට ම ය.

මෙවැනි අවකාශ, මේ හේතුවෙන්ම, තවත් පදනම් කිහිපයක් ම සාදා දෙයි. උදාහරණයකට, සිය කෘතිය පිළිබඳ පවතින සංවාදය, ඇගයුම් හා වැඩදායක විචාරයන් හේතුවෙන් ඉදිරි නිර්මාණකරණයන් සඳහා පිවිසීමට යම් උද්යෝගයක් නිර්මාණකරුවන් තුළ ඇති වීමට මග පාදයි. සහෘදයා තුළ ඇති කියවීම සමග නිර්මාණකරුවගේ පරිකල්පනයන්හි දිග පළල සසඳා බැලෙමින් දිවෙන ගැඹුරු සංවාදයන් කිසි විටෙක සෘණාත්මක ප්‍රතිඵල ළඟා කර නොදෙනු ඇත. දෙවැනුව, මෙම සංවාද මණ්ඩප හරහා ගොඩ නැංවෙන, පශ්චාත් කොරෝනා සමයක් එළඹුණු දිනයක නොබිඳෙන, කවි කිවිඳ සහයෝගීතාවන් ඉදිරියට තව දුරටත් විහිදීමේ ඇති වැඩි ඉඩයි. සංවාදය, අනිවාර්ය ක්‍රියාකාරීත්වයක් බවට ස්ථිර කෙරෙත්ම එහි දිගුකාලීන පැවැත්ම ස්ථිර කෙරෙනු ඇත.

කම්මැල්ලවීර, විජේසිරිවර්ධන, අමරකීර්ති, වෙඩිවර්ධන, සුනිල් සෙනෙවි ආදී ප්‍රමුඛ සාහිතකාරකාදීන් සමග විහිදෙන සංවාද දෙස බලා උන් පසු පරපුරෙහි තරුණ උනන්දුකරුවන් ද සමාන සංවාද මණ්ඩප තනා තිබෙනු දැකීම තව දුරටත් මෙවැනි සංවාදවල ධනාත්මක බලපෑම පහදයි. ස්වකීය අවකාශවල ලියැවුණු හෝ ලියැවෙන කවි හා සාහිත රචනා යළිත් වෙනත් අතත්‍ය අවකාශයක සංවාදයට ගැනීම අපූරු ය. සංවාදයන් බෝවීම, විසම්මුතියෙහි අගය වටහා ගනිමින් ඒ සංවාද තව දුරටත් නැගී යාම හෙට දිනය පිළිබඳ පැහැබර සිතුවිලි තනයි.

නමුත් මේ සියල්ල කොරෝනා හේතුවෙනි!

කොරෝනාව අප නිවෙස තුළ තබමින්, සමාජයෙහි සෙසු සියල්ලන් ‘අනෙකා’ ලෙස මීටරයක් හෝ දුරින් තබන්නැයි යෝජනා කරමින් අප වෙත තැබූ ‘නිරෝධායන අවකාශ’ අප විසින් ‘අතත්‍ය, සාහිත කලා අවකාශ’ බවට පත් කර ගැනීමත් සමග පශ්චාත් කොරෝනා සමය පිළිබඳ වඩාත් පිරුණු සිතින් බැලිය හැකි ය.

-          ප්‍රියන්ත ෆොන්සේකා -  

 


Wednesday, August 21, 2019

අනාගතයට ආදරය කරමු!


(2019 අගෝස්තු 18 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

මහා තරගයක් ඉදිරියට පැමිණෙමින් තිබෙන බව පසුගිය සති අන්තය අපට කියා සිටියේ ය. එක් පාර්ශවයක ‘සිහින අපේක්ෂකයා‘ නම් කිරීමත් සමග රතිඤ්ඤා, රබන් සුරල්, පපරේ සංගීතය සහ කිරිබත් කරළියට ආ අතර ඉතිරි ප්‍රමුඛ පාර්ශවය සහ සෙසු තෙවැනි සහ සිවුවැනි බල මුළු, ඒ ඒ පාක්ෂිකයන්ට ස්ව-වින්දනාත්මක පසුබිමක් තනමින් සිය අපේක්ෂකයින් ඉදිරි දින කිහිපය තුළ නම් කරනු ඇති බවට අදහස් පළ විය. ඉන් පසු, ජනපතිවරණය එළඹෙන තෙක්, ‘හෙට දවස‘ පිළිබඳ අනේක සුභ සිහින රැගත් විවිධ යෝජනා සහ බලාපොරොත්තු ඇති කෙරෙන කතා ද, අතීත වැරදි සහ දූෂණ හා වංචා පිළිබඳ විවිධ චෝදනා මාලා ද පුරවැසියන්ගේ දෙසවන් තුළ රැව් පිළිරැව් නංවමින් නැගෙනු ඇති අතර ජනපතිවරයකු පත් වූ අනතුරුව සුපුරුදු ‘අනෙකා වෙත යොමු වන සිනාසීම්‘ හෝ ‘පසුතැවිලිවීම්‘ නැගී එනු ඇත.

මේ සියලු ක්‍රියාවලීන් අතරතුර, ගෙවුණු 71 වසරක පසු-නිදහස් සමය තුළ අප සමාජය යළි යළිත් සිදු කළ මෙම ‘තට්ටු මාරු‘ දේශපාලනය තුළින් රටට අත්වුණු ජයග්‍රහණයක් වී දැයි යන පැනය අසන සමාජ ස්ථරයක් ද අපට මුණ ගැසෙයි. තිස් වසරක සිවිල් යුද්ධයක්, පරාජිත තරුණ කැරළි දෙකක් යන ලේ වැකුණු මෑත ඉතිහාසයක් හේතුවෙන් අපට අහිමි වුණු ජීවිත දසදහස් ගණනක් මෙන්ම, ආර්ථිකමය, දේශපාලනමය හා සංස්කෘතිමය වශයෙන් අප සමාජයක් ලෙස පසු බැස ඇති තරම ගිණිය නොහැකි තරම් දුරකට වේ යැයි එම කණ්ඩායමේ අදහස්වල සාරයයි.

මුලින් සඳහන් කළ පොදු සමාජ කණ්ඩායම් කිහිපය ස්වකීය නායකයාගේ ‘දැක්ම‘ හෝ අදහස් අනුව යමින් හා/හෝ සම්ප්‍රදායානුකූලව සිය විශ්වාසය දිනාගත් පක්ෂය වෙත ආසක්ත වෙමින් හෝ මේ පෙර දකින්නට උත්සාහ කරන්නේ වඩා යහපත් හෙට දවසක් පිළිබඳ අදහසකි. දෙවනුව සඳහන් කළ, මෙතෙක් පැමිණි ගමන් මග පිළිබඳ පොදු විවේචනාත්මක දෘෂ්ටියකින් අදහස් ගොණු කරන කණ්ඩායමේ මූලික අදහස තුළ ද ඇත්තේ තත්‍යාකාර වෙනසක් සිදු නොවුණහොත් යහපත් හෙට දිනයක් උදා නොවනු ඇති බව හා මේ පවතින දේශපාලන පක්ෂ හා නායකයින් හමුවේ ඒ සඳහා බලාපොරොත්තු ඇති කිරීම උගහට බව ය.

නිශ්චිත කුලකයක වන ස්වාත්ම පෝෂණ සිහින පසෙක ලෑ විට, මේ සියල්ලන්ගේ ප්‍රකාශ හා අදහස්වලින් වෙන්කොට ගත හැකි තනි යෙදුම නම් ‘හෙට දවස‘ යන්නයි. අපි සියල්ලෝම හෙට දවස ගැන බලාපොරොත්තු තබා ගනිමින් ද, ඒ කඩා බිඳ දමා ගනිමින් ද, සැක කරමින් ද ජීවත් වන්නෝ වෙමු. එහෙත්, සිවු වසරකට හෝ පස් වසරකට වරක් එළඹෙන ජනාධිපතිවරණ හා මහ මැතිවරණ වෙත පමණක් අවධානය යොමු නොකොට හා එමගින් වන යහපත් එළඹුම් දෙස පමණක් බලා නොසිට හෙට දවස වෙනුවෙන් පුරවැසි සමාජයක් ලෙස අපට කළ හැකි දේ කුමක්දැයි අප සිතා බලා ඇත් ද?

දැනට දෙසතියකට පමණ පෙර විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් ‘සංස්කෘතික විපුලතාව‘ වෙනුවෙන් වූ නේවාසික පුහුණු වැඩසටහනක සහභාගි වීමේ අවස්ථාව මට ලැබිණ. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන එහි මූලික සම්පත්දායකයා ලෙස කටයුතු කළ අතර, පුරා දින 5ක් තිස්සේ 20ක පමණ කණ්ඩායමක් සමග සංස්කෘතිය හා බැඳුණු විවිධ න්‍යායික එළඹුම් ද සාකච්ඡා කරමින්, සමාජයක් ලෙස අප මුහුණ දී ඇති අර්බුද වටහා ගැනීමට හා සමාජ-සංස්කෘතික ගතිකයන් වටහා ගනිමින් ඒ සඳහා පිළිතුරු සෙවීමට ඇති මං වටහා ගැනීමට අපි කටයුතු කළෙමු. වැඩමුළුව කෙළවර ඔහු සඳහන් කළ එක්තරා සඳහනක් ඔස්සේ සිත යොමු කළ මට, මෙතෙක් මේ ලිපිය තුළ මා ගොනු කරමින් එන ‘හෙට දවස‘ පිළිබඳ සමාජ අදහස වඩාත් විස්තීර්ණ කළ හැකි කලාපයක් එහි වන බව හැඟී ගියේ ය.

ආචාර්ය විජේසිරිවර්ධන වසර කිහිපයක් තිස්සේ ජාතික සංස්කෘතික ප්‍රතිපත්තියක් වෙනුවෙන් හා ඒ හා බැඳුණු සමාජ-සංස්කෘතික එළඹුම් සමූහයක් වෙනුවෙන් නිහඬ අරගලයක යෙදී සිටියි. ඇතමෙකුට අනුව මෙය එක්තරා ‘පිස්සු වැඩක්‘ ලෙස පෙනී යා හැකි වෙතත්, ‘සංස්කෘතික ප්‍රතිපත්තියක්‘ යනුවෙන් ඔහු (සහ ඔහු සමග වැඩ කරමින් සිටින කුඩා කණ්ඩායම) ඉදිරිපත් කරන අදහස කුමක්දැයි සැලකිල්ලට ගෙන විමසා බැලීම වටී. සංස්කෘතිය යන්න නිසි අර්ථ නිරූපණයකින් වටහා නොගත් සහ ඒ නිසාම කලා-සංස්කෘතික කලාප වෙත දැඩි සීමාකාරී රාමු නිර්මාණය කරන ආණ්ඩුවල අණපනත් පසෙක ලා පුරවැසියා විසින්ම සකසාගත් සංස්කෘතික ප්‍රතිපත්තියක් සකසා ගැනීම හා ඒ ඔස්සේ වඩාත් දියුණු හා යහපත් සමාජයක් වෙනුවෙන් කලාව, අධ්‍යාපනය, ආගම හා මාධ්‍යය යන සිවු වැදෑරුම් සමාජ මෙහෙයුම් පද්ධති යොමු කරවීම ඔහුගේ/ඔවුන්ගේ පිරිසේ යෝජනාමාලාව තුළ වන බව මට පෙනී ගොස් ඇත. අද මේ ලිපියේ සාකච්ඡාවට ගැනෙන ‘හෙට දවස‘ පිළිබඳ කතාව වෙනස් මගකට පිළි පනින්නේ ද ඒ මූලික සාකච්ඡා පද්ධතිය තුළ හිඳිමින්ම ආචාර්ය විජේසිරිවර්ධන කරන එක් යෝජනාවක් පදනම්ව ය. යහපත් හෙටක් දකින්නට නම් අපි ‘අනාගතයට ආදරය කළ යුතු යැයි‘ ඔහු යෝජනා කරයි!

සැබැවින්ම අපි අනාගතයට ආදරය කරන්නේ වෙමු ද? අනාගතය යනු ‘හෙට දවස‘ පමණක්ම නොවේ. එය අපේ ජීවිත කාලයෙන් ඔබ්බට පරම්පරා ගණනාවක් ඔස්සේ අනන්තයක් දක්වා විහිදෙයි. දරුවන්ගේ ද දරු මුණුපුරන්ට වඩාත් සතුටින් ජීවත් විය හැකි අනාගතයක් වෙනුවෙන් ජල සම්පත හා සත්ව සම්පත සුරැකීම, කුඩා ප්ලාස්ටික් බෝතලයක් වසර 450ක් දිරාපත් නොවන බව වටහාගෙන ඒ භාවිතය හැකි තරම් සීමා කිරීම වැනි කුඩා පියවරක සිට ප්‍රති-වන වගාව යනාදිය මෙම අනාගතයට ආදරය කිරීම සම්බන්ධ පරිසරය හා බැඳුණු දේ ය. අපේ සමාජය හා සංස්කෘතික පරිසරය හා බැඳුණු විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිතා බලමින් අපට මේ අනාගතයට ආදරය කිරීමේ සිතුවිල්ල කෙතරම් ස්ථිරව අප තුළ වේ දැයි කිරා මැන බැලිය හැක.

ඒ ඔස්සේ එළඹෙත් දී, හෙට දවසේ ‘දියුණු රට‘ යනු අහස සිඹින ගොඩනැගිලි හා වේගයෙන් දිවෙන සුඛෝපභෝගී යාන වාහනවලින් පමණක් පිරුණු රටක් පිළිබඳ ‘සිංගප්පූරු චිත්‍රය‘ නොවන බව අපට වැටහෙනු ඇත. ගස්වැල්වලින් තොර පරිසරය අඩු ඔක්සිජන් පිරි, හුස්ම ගැනීම අසීරු නගර අවකාශ නිර්මාණය කරන හෙයිනි; රෝගී සමාජයක් තනා දෙන හෙයිනි. එනයින් වෘක්ෂලතාදිය ද හමුවන, තදබද නැති නගරයක සෙමින් පාපැදියක් පැද යන නගර වැසියෙකුගේ ‘නෙදර්ලන්ත නගර චිත්‍රය‘ වඩා ආකර්ෂණීය බව අපට පෙනී යනු ඇත. සෙසු සියලු කලාප මෙවැනි උදාහරණ මාලා ඔස්සේ යමින් අපට විමසා බැලිය හැකි ය.

දැන් අපේ ‘හෙට දවස‘ පිළිබඳ සිහින රැගෙන එන නායකයින්, දේශපාලන පක්ෂ, පුරවැසි කණ්ඩායම් ඇතුළු සියල්ලන් කෙතරම් දුරට මෙම තත්‍ය අනාගතය දෙස බලා ඇත්දැයි අපට මැන බැලිය හැකි ය. බොහෝ දෙනෙකුගේ ප්‍රකාශ හා ප්‍රකාශන ‘අනාගත මහා නගරවල‘ ගිලී ගොසිනි; ආර්ථික අභිලාෂවල කිමිදී ගොසිනි; කර්මාන්ත හා යෝජනා ක්‍රමවල පැටලී ගොසිනි. ඒ කිසිදු වැඩ සටහනක් හෝ දැක්මක් ‘හෙට දවස‘ දෙස මිස ‘අනිද්දා‘ දෙස නොබලයි.

ආචාර්ය විජේසිරිවර්ධන ප්‍රමුඛ කුඩා බලපෑම් කණ්ඩායමේ එළඹුම පිළිබඳ විවේචන නැගිය හැකි අවස්ථා ඇති වුව ද, නොවූව ද ඔවුන්ගේ ආස්ථානයේ ඇති මූලික වැදගත් යෝජනාව අප සමාජයක් ලෙස යළි යළිත් සිතා බැලිය යුත්තක් බව මගේ යෝජනාවයි. ආර්ථික ක්‍රමය වෙනස් කිරීම, දේශපාලනික ප්‍රතිපත්ති වෙනස් කිරීම, පාලනය පෙරළා දැමීම වැනි එක් පියවරකින් පමණක් තියුණු හා දියුණු සමාජ වෙනසක් පිළිබඳ බලාපොරොත්තු තැබීම පදනම් විරහිත බව ඔවුහු යෝජනා කරති. අවශ්‍ය වන්නේ සමාජ පැවත්මෙහි පුළුල් වෙනස් කිරීමකි. ඒ සඳහා යට කී  කලාව හා සෞන්දර්යය, අධ්‍යාපනය, ආගම හා මාධ්‍යය අප වටහාගෙන ඇති හා භාවිතා කරමින් ඇති ස්වරූප වෙනස් කළ යුතු ය.

එය තනි නායකයෙකු පැමිණ දිනකින්, සතියකින්, මාසයකින් හෝ වසරකින් දෙකකින් කරන විශ්වකර්ම කටයුත්තක් විය නොහේ. ‘අනාගතයට ආදරය කරන‘ සමස්ථ පුරවැසි සමාජයේ අවශ්‍යතා ඔස්සේ වැඩී නැගිය යුතු අනවරත ක්‍රියාවලියක් ඔස්සේ දිනිය යුත්තකි.

-ප්‍රියන්ත ෆොන්සේකා -