Friday, November 4, 2016

ආදරයට අලුත් වදනක් (ජීවිත සිනමාව/ රිවිර සිනමා කොලම - 7)




ඇනා සහ ජෝර්ජස් යනු ප්‍රංශයේ ප්‍රධාන නගරයක තට්ටු නිවාසයක දිවි ගෙවන අසූ විය ඉක්මවූ විවාපත් යුවළකි. විශ්‍රාමික පියානෝ ගුරුවරුන් වන ඔවුන්ගේ දියණිය ඊවා විවාහ වී නිවස හැර ගොසිනි. අතීතයේ සිය ශිෂ්‍යයන් ලෙස පියානෝ වාදනයට අත් පොත් තැබූවන් විශිෂ්ඨ වාදකයින් ලෙස ලබා ඇති ප්‍රගතිය දකිමින් සතුටු වන මෙම මහළු යුවළ හුදකලා නිවෙස තුළ එකිනෙකාගේ අවැසියාවන් විමසා බලමින් සිය ජීවිතවල සැඳෑ සමය ගෙවා දමමින් සිටිති. ඉතා සෙමින් ගලා බසින දෙදෙනාගේ ජීවිතයේ අවසන් කාල සමය එක් වරම තියුණු හැරවුම් ලක්ෂ්‍යයක් වෙත පිවිසෙන්නේ එක්තරා දිනයක, උදෑසන ආහාරය සඳහා මේසය වෙත වාඩි වන ඇනා, ක්ෂණිකවම හා නිහඬවම, ආඝාත තත්වයකට මුහුණ දීම සමගිනි. කිසිදු වදනක් නොදොඩා, කිසිදු හැඟීමකින් තොරව, එක් එල්ලයක් දෙස බලා සිටින සිය බිරිඳ ඇනා දකින ජෝර්ජස් ඇය රෝහලකට කැඳවාගෙන යාමට සූදානම් වුවත් මොහොතකින් ඇය පියවි ලොවට පිවිසේ. එහෙත් ඇගේ ශරීරය තව දුරටත් මොළය මගින් නිකුත් කරන විධානයන් නිසි ලෙස ක්‍රියාවට නොනංවන බව දෙදෙනාම වටහා ගනිති.

2012 වර්ෂයේ දී කෑන්ස් සිනමා උළෙලේ පාම් දිඕ සම්මානයත්, ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදේශ භාෂිත චිත්‍රපටය සඳහා වන සම්මානයත් යන සම්මාන ද්විත්වයම දිනාගත් ඔස්ට්‍රියානු සිනමා කතුවර මයිකල් හැනිකේගේ ‘අමොර්‘ (Amour - ප්‍රංශ අරුත ආදරය යන්නයි.) ඇනා සහ ජෝර්ජස් මුහුණ දෙන මෙම ජීවිත සැඳෑ සමයේ වියපතුන්ගේ අභියෝගය විමසන සිනමා කෘතියකි. ලොව විශිෂ්ඨතම සිනමාකරුවන්ගේ ප්‍රමුඛ කෘති ලෙස ගැනෙන ජපාන සිනමාකරු යසුජිරෝ ඕසුගේ Tokyo Story සහ ස්වීඩන සිනමාකරු ඉන්ග්මාර් බර්ග්මාන්ගේ  Wild Strawberries යන නිමැවුම්වලින් අනතුරුව වයස්ගත වීම සහ මරණය සිනමා රූපය ඔස්සේ සාකච්ඡාවට බඳුන් කළ විශිෂ්ඨ සිනමා වියමනක් ලෙස ‘අමොර්‘ විසල් අවධානයක් හිමිකරගෙන ඇත. සෙසු සිනමා කෘති සේම හෝ ඊටත් වඩා ‘අමොර්‘හි වියපත් වීම හා මරණය හා බැඳී ආ අනෙක් ප්‍රමුඛ මානව දහම වූයේ ආදරයයි.

අසනීපය හේතුවෙන් ඇනා රෝහල්ගත කෙරුණු පසු යළි සුවය ලබා ඇය නිවසට එන්නේ රෝද පුටුවකිනි. රෝහල හමුවේ තමන් ලැබූ ඛේදනීය හැඟීම් මඟහරිනු වස් ඇය ජෝරජස්ගෙන් ඉල්ලන්නේ එක් කුඩා නමුත් අපහසු ඉල්ලීමකි. ඒ තමන් යළි කිසි විටෙක රෝහල වෙත ගෙන නොයන ලෙස ය. දියණිය ඊවාගේ මැදිහත්වීම් ද මග හරිමින්, ඇය විමසන සියල්ලන්ගෙන් ඇගේ රෝගී තත්වයේ සත්‍යය වසන් කර තබමින් ජෝරජස් ඇනාගේ ඉල්ලීම ඉටු කර දෙමින් ඇය රැක බලා ගනියි. දිනෙන් දින, සෙමින් වියැකී යන සිය ආදරණීය බිරිඳගේ ජීවිතාපේක්ෂාවන් හමුවේ මහළු ජෝරජස් සංකීර්ණතා රැසකට මුහුණ දෙයි. නිසි ලෙස නොලබන නින්දේ සිට අපිළිවෙල වූ ජීවිතය ඔහු හා සමව බෙදාගන්නට ඇනා ඔහු හා නිරෝගීව පසෙකින් නොසිටීමම ජෝරජස් වෙත ද උදා කරන්නේ පීඩිත කාල සමයකි. එසේ වුවත්, ඒ සියල්ල විඳ දරා ගනිමින්, සිය ආදරණීය ඇනා මනසින් හෝ ශක්තිමත් කරන්නට ඔහු යත්න දරයි.

“දවසින් දවස තත්වෙ ටික ටික හොඳ අතට හැරෙනව!“

ඔහු ඇනාට කියයි.

“මට බලා ඉන්න ඕනෙ නෑ. ඔයා හැමදේම ලේසි කරන්න පුංචි පුංචි ලස්සන වැඩ කරනව. ඒත් මට බලා ඉන්න ඕනෙ නෑ... ඒ මං හින්දමයි... ඔයා හින්ද නෙවෙයි“

“මම ඔයාව විශ්වාස කරන්නෙ නෑ. මම දන්නව ඔයාගෙ හැටි. ඔයා හිතනව ඔයා මට කරදරයක් වෙලා කියල. ඒත් මගේ තැන හිටියෙ ඔයා නං ඔයා මොකද කරන්නෙ?“

“මට මගෙ ඔලුව පිස්සු වට්ටගන්න බෑ ඒව හිතල... මට මහන්සියි. මට නිදා ගන්න ඕනෙ!“

වෙව්ලන, සෙමින් ඇවිද යන, අත් පා නිසි ලෙස හැසිරවිය නොහැකි, තනිකම උරුම වුණු ඇනා සහ ජෝරජස්ගේ ජීවිතයේ මේ අවසන් කාල සමයේ සිදුවීම් පෙළ වියපත් වීම සමග මහළු වී නොයන ආදරයේ අරුමය අපට පෙන්වා දෙයි. සිය ආදරණීය බිරිඳගේ පෙළීම් හා වේදනාවන් සමනය කරන්නට බොහෝ පියවර සොයා යන ජෝර්ජස් ඒ සියල්ල ඉක්මවූ තැන ඇගේ වේදනාවන්ගෙන් ඇය මුදවා ලනු පිණිස ආදරයම මුල් වූ තීන්දුවක් පෙරට කැඳවයි.

ජීවිතය සිනමාවට වඩා බොහෝ විශාල බව සැබෑවකි. එහෙත් සිනමා රූපය අප අභියස තබන ඒ විසල් ජීවිතයෙන් අසුලාගත් කැබලි ජීවිතය කවරේදැයි යළි යළිත් අපට පසක් කරවයි. ‘අමොර්‘ ඒ සිනමා ජීවිත වන්දනාවේ අපූරු නවාතැනකි. එහි තේමාව නැඟෙන්නේ මරණය හා වියපත් වීම මත වුව වියමනෙහි ප්‍රමුඛ ධාරණාව ආදරයයි.

අමොර්! ඒ ආදරයට අලුත් වදනකි.

-      ප්‍රියන්ත ෆොන්සේකා -

-       

  

Sunday, October 30, 2016

දෙව්ලොව දරුවෝ (ජීවිත සිනමාව / රිවිර සිනමා කොලම - 6)


අලී කුඩා නව හැවිරිදි දරුවෙකි. සිය ආදරණීය සත් හැවිරිදි නැගණිය සාරාගේ ඉරිණු සපත්තු යුවළ අලුත්වැඩියා කරගත් විගස ඔහු නිවස කරා දිව යන්නේ පසුදා අලුයම පාසැලට යන්නට නොනිත් ආසාවකින් මග බලා සිටින ඈ සතුටු කරනු රිසියෙනි. අතරමග කුඩා වෙළඳ සැළක අම්මා වෙනුවෙන් අර්තාපල් මිලට ගන්නට නතර වන නිමේෂය ඒ බලාපොරොත්තුව තමන් වෙතින් ඉවත් කරන්නට හේතු සාදනු ඇතැයි ඔහු මොහොතකට හෝ සිතන්නේ නැත. නමුත්, එහි දොරටුව අභියස ඔහු තැබූ නැගණියගේ සපත්තු යුවළ, ඉවත ලන කැඩුණු යුවළකැයි වරදවා ගනිමින්, කසළ එක් රැස් කරන්නා ඒ රැගෙන යාමත් සමග අලී අසරණ වේ. දුර්වරණව ගිය, අණ්ඩ යෙදූ, රෝස පැහැති කබල් සපත්තු ජෝඩුවක්, කුඩා ළමුන් දෙදෙනකු සමග පැමිණ සිනමා තිරය මත ජීවිතය චිත්‍ර‍ණය කරන්නේ ඉන් අනතුරුව ය. ඒ 1997 වර්ෂයේ තිරයට පැමිණ, පසු වර්ෂයේ දී හොඳම විදේශ භාෂීය සිනමා කෘතිය ලෙස ඔස්කාර් සම්මානයට නිර්දේශ වූ, ඉරාන සිනමා කතුවර මජිඩ් මජිඩිගේ ‘දෙව්ලොව දරුවෝ‘ (Children of Heaven) සිනමා පටය තුළ දී ය.

සංස්කෘතික වශයෙන් සහ දේශපාලනික වශයෙන් ද ඉමහත් බාධක හමුවේ වුව, සංස්කෘතික විප්ලව සමයෙන් පසු යුගයේ ඉරාන නව සිනමාව බොහෝ ජයග්‍ර‍හණ හිමිකර ගත්තේ ය. ඒ සමය තුළ විශිෂ්ඨ සිනමා කෘති දායාද කළ අබ්බාස් කියොරස්තාමි, මොහ්සෙන් මක්මල්බාෆ්, ජෆාර් ෆනාහි ප්‍ර‍මුඛ නව සිනමා නිර්මාණකරුවන් අතර මජිඩිට ද හිමිවූයේ  මුල් පෙළ අසුනකි. සංස්කෘතික සීමාවන් අභිබවමින් දේශපාලනික සිනමා නිර්මාණ තනන්නට, සෙසු බොහෝ සමකාලීනයින් මෙන්ම ඔහු ද, ළමා චරිත පෙරමුණට කැඳවී ය. සපත්තු ජෝඩුවක් සොයමින් ඉරාන නගරාවකාශයේ පහළ මධ්‍යම පාන්තික නගරවැසියන්ගේ ජීවන බිම් පුරා දිවයන්නේ එසේ ආ චරිතද්වයක් වූ අලී සහ සාරා ය.

මාසය අවසන සොච්චම් මුදලක් අතට ගෙන නිවසට ගොඩ වදින පියාට සපත්තු ජෝඩුව අහිමි වූ පුවත පවසනු නොහැකිව අසරණ වන අලී සහ සාරා පාසැල් ගමන සඳහා, ඉතිරිව ඇති එකම සපත්තු යුවල වන අලීගේ සපත්තු මාරු කරගනිමින් පැළඳ භාවිතා කරන්නට තීරණය කරති. ඉරාන පාසැල් කාල සටහන්, පිරිමි සහ ගැහැණු දරුවන්ට වෙන් වෙන් පාසැල් කාල වෙන් කර තැබීම සිය අවස්ථාව කරගන්නා සාරා පළමුව පාසැලට ගොස් හැකි වේගයෙන් නිවස කරා දිව එන අතර, මග රැදී සිටින අලී ඒ සපත්තු පැළඳ සිය පාසැල කරා දුවයි. අයියාගේ පාදවලට වඩා කුඩා සිය සිගිති පාදයෙන් ගිලිහී මග හැලෙන සපත්තු නිසා අසරණ වන සාරා සහ නංගීගේ වේගය කෙතරම් වුවත් පාසැලට නිසි කාලයට දිව යන්නට නොහැකිව මුල්ගුරුවරයාගේ උදහසට ලක්ව අසරණ වන අලී ඉරුණු සපත්තු යුවළට වඩා විශාල ජීවන අරගලයක ‘කොලාජ්‘ කැබලි අප අභියස සිතුවමක පරිද්දෙන් එක් කරති. ආගමික හා සංස්කෘතික වශයෙන් වඩාත් එකිනෙක වියුක්ත පරිසරයක වුව ආර්ථිකය මත පදනම් වන ජීවන අරගලයේ ඇති සමීප බව ඒ කොලාජ් රූ මත අපගේ ජීවිතය තබමින් අපට වටහා ගත හැක.

“අලී... මේ රස්සාව හරියට කර ගන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් අම්මට හොඳ ශීතකරණයක් අරන් දෙන්න. ඕනෙ කරන බඩු මුට්ටු අරන් දෙන්න. ඇයි... ඒ විතරක් ද.... අපිට පුළුවන්  මීට වඩා ලොකු කුලී ගේකට යන්න.“

චිත්‍ර‍පටයේ එක් අවස්ථාවක, අහම්බෙන් ලැබුණු සති අන්ත රැකියාවක් වන උද්‍යාන අලංකරණ කටයුත්තක් සඳහා ගොස් එන අතරතුර, ලැබුණු මුදලින් සතුටට පත් අලීගේ තාත්තා ඔහු අමතමින් කියයි. තාත්තාට සඟවාගෙන සිටින, ඔහු සිත තුළ රිදුම් දෙන නැගණියගේ සපත්තු යුවළේ කතාව එක් වනම අලීගේ මුවට නංවන්නේ මෙවන් පිළිතුරකි.
“ඇයි තාත්තේ... සාරාට හොඳ සපත්තු කුට්ටමක් අරන් දෙන්නත් පුළුවන්නෙ!“

අලීගේ හෝ තාත්තාගේ සිහින තිර කරගන්නට ඉඩ නොදී ඔවුන්ගේ පාපැදිය, තිරිංග නොමැතිව අනතුරකට ලක් වේ.

තියුණු අරගලයක අවසානයේ අලීට මුණ ගැසෙන්නේ පාසැල් අතර පවතින දිගු දුර ධාවන තරගයකි. එය අලීගේ සිහිනයට ඇති දුර, එනම් නැගණියගේ සපත්තු යුවළට ඇති දුර, ඉතා ආසන්න තැනක බව දක්වයි. ඒ එහි ත්‍යාග ලැයිස්තුවේ සපත්තු යුවළක් ද ඇතුළත් කර තැබීමෙනි. එහෙත්, විශාල තෑගි අතර, එක් කෙළවරක වන කුඩා සපත්තු ත්‍යාගය, එහි තුන්වන තැන දිනන්නාට හිමිවන අමතර අංගයකි.

සිය ගණනක් පාසැල් ළමුන් සහභාගි වන තරගයට පාසැල නියෝජනය කිරීමට වරම් දිනන්නට ද අලීට දුෂ්කර මාවතක් හමු වේ. ඉන් ද ජය ගෙන ඔහු තරගයට එන්නේ, සියලු තරගකරුවන් තුළ නොවූ, වෙනස් නමුත් අධිෂ්ඨානශීලී ඉලක්කයක් සහිතව ය. ඒ තෙවැනි තැනයි!

චිත්‍ර‍පටයේ අවසානය, හා ඒ හරහා ලැබෙන ජීවිත පරිඥාණය විඳගන්නට මම ඔබට ඇරයුම් කරමි. මෙය අන්තර්ජාලය ඔබට සොයා දෙන සිතුවමකි. එය විඳීම කැඩුණු කුඩා සපත්තු යුවළකට වැඩි යමක් ඔබට තිළිණ කර දෙනු ඇත.



-      ප්‍රියන්ත ෆොන්සේකා - 

Friday, October 14, 2016

හුස්ම (ජීවිත සිනමාව - රිවිර සිනමා කොලම -5 )


මහල්ලකු වන විෂාරේ මහා රාෂ්ටයේ ඈත දුෂ්කර ගම්මානයක සිට සිය අට හැවිරිදි මුණුපුරා වන පර්ෂුරාම්, නැතිනම් සුරතල් වදනින් ඇමතෙන පර්ෂා, සමග බොම්බාය නගරයට පැමිණෙයි. ඔහු අත වන්නේ සිය මුණුපුරාගේ ඇස් විශේෂඥයකු වෙත පෙන්වීම සඳහා ගම් පෙදෙසේ වෛද්‍යවරයකු වෙතින් ලද තුණ්ඩු කැබැල්ලකි. නගරයට කෝඩුකාරයින් වන ඔවුන් දෙදෙනා සමග තනි නොතනියට එන, පර්ෂාගේ මාමා කෙනෙකු වන, දිවාකර් නැමති තරුණයා ද ඔවුන් සමග වෙයි. නගරයේ ජනාකීර්ණ රෝහලක සිටින අක්ෂි විශේෂඥ සානි පර්ෂාගේ ඇස් පරීක්ෂා කොට ලැබෙන වාර්තා කෙළවර ඔහු වහා ශල්‍යකර්මයකට භාජනය කළ යුතු බව තීන්දු කරයි. ජීවිතයේ කිසිදු දිනක මුහුණ නොදුන් අර්බුදයකට මහලු විෂාරේ මුහුණ දෙන්නේ ඒ හා සමග ය. ඒ පර්ෂාගේ ජීවිතය රැකෙන එම ශල්‍යකර්මය ඔහුට දෙනෙත් අහිමි කරවන්නක් බව ඇසීමෙනි. රෙටිනොබ්ලාස්ටොමා නැමති කලාතුරකින් හමුවන අක්ෂි පිළිකාවක් පර්ෂාගේ ඇස් ආක්‍ර‍මණය කොට ඇත.

භාෂා 26කින් සිනමා නිර්මාණ හමුවන ඉන්දියාවේ මහා රාෂ්ට ප්‍රාන්තයෙන් එන මරාති සිනමාවට අයත් ‘ෂ්වාස්‘ (Shwaas) නැතිනම් 'හුස්ම' නම් ලබන චිත්‍ර‍පටය සන්දීප් සවාන්ත් නැමති නිර්මාණකරුවාගේ පළමු නිර්මාණයයි. කෝටි ගණනින් වැය කොට නිපදවෙන දැවැන්ත සිනමා නිර්මාණ සියල්ල අභිබවමින් 2004 වර්ෂයේ ඔස්කාර් සම්මාන උළෙලේ ඉන්දීය නියෝජනය සඳහා වරම් ලබන්නටත්, එහිදී හොදම විදේශ භාෂිත චිත්‍ර‍පටය සඳහා වන ලැයිස්තුවේ සයවන තැන ලබන්නටත්, ඉතා අඩු මිලකින් නිපදවෙන, ප්‍රාන්ත සිනමාවකින් ආ ‘ෂ්වාස්‘ සිනමා කෘතිය අවස්ථාව හිමි කරගන්නේ ජීවිතය පිළිබඳ ඒ හෙළිකරන විශිෂ්ඨ රූප සන්ද්වනියේ ඇති පොහොසත්කම හේතුවෙනි.

වෛද්‍ය සමාජ සේවිකාවක ලෙස කටයුතු කරන, නාගරික තරුණියක වන, ආශාවරීගේ කරුණාබර මග පෙන්වීම හා පහදා දීම හේතුවෙන් පර්ෂාගේ ජීවිතය මුහුණ දී ඇති අනතුර වටහා ගත්ත ද, නෙත් අඳ කොලු පැටියකු බවට පත්වන්නට නියමිත සිය මුණබුරු සුරතලාගේ හෙට දිනය පිළිගන්නට නොහැකිකමින් මහලු විෂාරේ හඬා වැටෙයි. ගම්මානයේ වෙසෙන පර්ෂාගේ ආදරණීය මවට සත්‍යය හෙළි කළ නොහැකි වීමත්, නන්නාඳුනන නගරයක දී පිළිගන්නට අපහසු යථාර්ථයක් හමුවේත්, කිසිවක් නොවැටහෙන පර්ෂාගේ සුරතල් දඟකාරකම් හමුවේත් උභතෝකෝටිකයකට මුහුණ දෙන විෂාරේ ඒ හිත පෙළන සත්‍යය පිළිගත හැකි මගක් නොමැතිව අසරණ වෙයි. සියල්ලටම වඩා ඔහු පෙළන්නේ ශල්‍ය කර්මය තෙක් සතර වටින් වට කළ කුඩා වාට්ටුවක පර්ෂා නතර කළ පසු ඔහු දිගින් දිගටම ආලෝකය සහ ලෝකය දකින්නට සිදු කරන පෙරැළිය හමුවේ ය.

‘ෂ්වාස්‘ චිත්‍ර‍පටයේ තීරණාත්මක අවසානය එළැඹෙන්නේ හිටිවනම අතුරුදන් වන විෂාරේ සහ පර්ෂාගේ පිළිබඳ තොරතුරක් නොමැතිව තරුණ දිවාකර් අසරණව වැළපීමත් සමගම ය. ආශාවරී, වෛද්‍ය සානි ඇතුළු විෂාරේ සහ පර්ෂා හඳුනන්නන් පළමුවත්, සමස්ථ රෝහල දෙවනුවත් මේ අතුරුදන් වීම හේතුවෙන් දැඩිව කලබල වේ. සිය සෙනෙහෙබර මුණුපුරාගේ ඛේදනීය අනාගතය පිළිගත නොහී ඔහු ද සමග විෂාරේ දිවිනසාගන්නට ඇතැයි යන සිතුවිල්ල එකිනෙකා අතර අප්‍ර‍කාශිත හැඟීමක් ලෙස නැගී එයි.

‘ෂ්වාස්‘ සිනමා කෘතියේ අවසන් දර්ශන පෙළ, ජීවිතය යනු කවර කටුක යථාර්ථයන් හමුවේ වුව අත්හැර දැමිය නොහැකි හා අත්හැර දැමිය නොයුතු දෙයක් බවත්, ඒ යථාව සමග ගණුදෙනු කිරීම වඩා අනගි ක්‍රියාව බවත් අපට පසක් කර දෙන්නට සහාය දක්වන රූප එකතුවකි. ගිනිගත් රෝහලත්, කෝපයට පත් වෛද්‍යවරයාත් අභියස සතුටින් පිරී සිටින පර්ෂා සමග නිසලව පෙනී සිටින්නේ මහලු විෂාරේ ය. වෛද්‍යවරයාගේ කේන්තිය හමුවේ ඔහු ලබා දෙන පිළිතුර ඔහු මතු නොව තිරයෙන් මෙපිට සිට නෙත් දල්වා බලා සිටින අප සැම ක්ෂණිකව සලිත කරන්නට සමත් වෙයි.

“දොස්තර මහත්තයෝ, පර්ෂා ලෝකෙ දකින්නෙ තව දවසයි දෙකයි... ඊට පස්සෙ අව්ව, වැස්ස, දේදුන්න, ගස් කොළ, පාට, ලස්සන මේ කිසි දෙයක් නැතිව එයාගෙ ලෝකෙ අඳුරු වෙනව... පර්ෂා අඳුරත් එක්ක ජීවත් වෙන්න ගනීවි... අපි දකින කිසි දෙයක් දකින්නෙ නැතුව එයා ජීවත් වේවි... මම පර්ෂා එක්ක ඇවිදින්න ගියා... හෙට එයාට දකින්න බැරි වෙන ගොඩාක් දේවල් මම එයාට පෙන්නුවා... අඳුර එන්න කලින් මම එයාට පෙන්නුවා ලෝකය... එයාට ඉතිරි වෙලා තිබුණු අන්තිම පැය කීපය ඇතුළෙ දි මම එයාගෙ ඇස් රූපවලින් පිරෙව්වා...“

2004 ඉන්දීය ජාතික සිනමා සම්මානය දිනා ගන්නේ ද ‘ෂ්වාස්‘ ය. එය අපට කියා දෙන්නේ ජීවිතයයි. ඉතා කුඩා වැයකින් නිර්මිත සිනමා කෘතියක රූප වියමන තුළ සැඟවූ අමිල හැඟවුම වූ, ජීවිතයයි.


-      ප්‍රියන්ත ෆොන්සේකා -

  

Thursday, October 6, 2016

එකෙකුවත් අඩු නැතිව! (ජීවිත සිනමාව - රිවිර සිනමා කොලම -4 )




චීනයේ අතිදුෂ්කර පෙදෙසක පිහිටි ෂුයිකුවාන් ගම්මානයේ ඇති කුඩා පාසලක සිටින එකම ගුරුවරයාට හදිසි කටයුත්තකට මසක පමණ නිවාඩුවක් ලබා ගන්නට අවශ්‍ය වේ. පාසැලේ කටයුතු බලා ගන්නට කිසිවකුත් නොමැති තැන ගම්මුලාදෑනියා ඒ සඳහා කැඳවාගෙන එන්නේ පාසැලේ දරුදැරියන්ට වඩා තරමක් වයසින් වැඩි, දහතුන් වියැති, වෙයි මින්ෂි නමැති දැරියයි. ඉගැන්වීමට ඒ තරම් දේ නොදන්නා ඇය, මසක් අවසානයේ ලැබෙන බවට පොරොන්දු වූ මුදල වෙනුවෙන්, පෙළ පොත්වල ඇති කරුණු යළි පිටපත් කරවමින් ද, තමන්ගේ මතකයේ ඇති එකම ගීය ඔවුන් වෙත කියා දෙමින් ද පාසැල පවත්වාගෙන යයි. එහෙත්, සියල්ලටම වඩා, ඇය දැඩිව රකින්නට යත්න දරන්නේ ස්ථිර ගුරුවරයා පිටව යන්නට මත්තෙන් දැඩිව අවධාරණය කළ කරුණකි.

“වෙයි මින්ෂි, උඹ දරුවන්ව හොඳට බලාගන්න ඕන. දහදෙනෙකුට වැඩියෙන් දැනටමත් යන්න ගිහිල්ල. මට තවත් උන් නැති කරගන්න ඕනෙ නැහැ. ගම්මුලාදෑනිය උඹට යුවාන් පණහක් පොරොන්දු වුණා; ඒක උඹට දෙන බව එයා සහතික වුණා. මම එනකොට මේ දරුවො සේරම ඉතිරි වෙලා හිටියොත් - එකෙකුවත් අඩු නැතිව - උඹට තවත් යුවාන් දහයක් ලැබේවි“

සිනමා පටය දිගහැරෙන්නේ ‘එකකුවත් අඩු නැතිව‘ යළි පාසැල ස්ථිර ගුරුවරයා වෙත භාරදීම සඳහා වෙයි මින්ෂි දියත් කරන අරගලය ඔස්සේ යමිනි.

චීන සංස්කෘතික විප්ලව සමයේ වසා දැමුණු බීජිං සිනමා පාසැල 1978දී යළි විවෘත කෙරුණු පසු ඉන් පිටවන මුල්ම උපාධිධරයින්ගෙන් අයෙකු වන, චීන පස්වන පරපුරේ සිනමාකරුවන් අතර ප්‍රමුඛ නාමයක් හිමි ෂැං යිමෝ, ඉහත ‘වෙයි‘ගේ කතාවේ කතුවරයා ය. ඔහු තැනූ අසිරිමත් සිනමා පට අතුරින් Not One Less (‘එකෙකුවත් අඩු නැතිව‘) යනු 2000  වර්ෂයේදී නිර්මාණය කෙරුණු, වෙයි සහ ඇයගේ ‘ශිෂ්‍ය ශිෂ්‍යාවන්‘ පිරිසගේ පුවත රැගත්, චීනය මතු නොව ආසියාකරයේත්, අඩු වැඩි වශයෙන් ලෝකයේත් අධ්‍යාපන විෂමතාවන් පිළිබඳ විවරණයක් වන අතරම මානව සබඳතා විෂයයෙහි අපූර්ව සංවේදී සිනමා වියමනක් ද වේ.

කුඩා ගුරුතුමිය වූ ‘වෙයි‘ගේ අධිෂ්ඨානය කෙසේ වුවත්, දුප්පත්කම බොහෝ පාසැල් දරුවන්ගේ අධ්‍යාපනයට බාධා එල්ල කරයි. වගා බිම් වපුරන සමයේ ඒ කටයුතුවලට සහාය දීමටත්, රෝගී මාපියන්ගේ ජීවන දුෂ්කරතා මග හැරවීමටත් පාසැල් සිසු-සිසුවියෝ පාසැල හැර දමා යන්නට යත්න දරති. ඒ තත්වයන් මත හෝ දිවීමේ දස්කම නිසාම නගරයේ ක්‍රීඩා පාසැලට ශිෂ්‍යත්වයක් ලබා දී රැගෙන යන කුඩා දැරියගේ හෝ වෙන්වීම පිළිගන්නට ‘වෙයි‘ සූදානම් නැත. ශිෂ්‍යත්වයක් දිනන ක්‍රීඩාශූරී දැරිය සඟවා තබමින් ද, නිවෙස්වල බලපෑමෙන් නතර වන සිසු-සිසුවියන් සොයා මාපියන් වෙත ඇවිද යමින්ද ‘වෙයි‘, එකෙකු වත් අඩු නැතිව පාසැල යළි භාර දීමට සියලු වෙර දරයි. එහෙත්, විටෙක සාර්ථක නොවන ඇගේ ක්‍රියාදාමය එහෙම පිටින්ම වාගේ බිඳ වැටෙන්නේ, ඇය පාසැලේ ‘උගැන්වීම‘ ඇරඹූ දින පටන්ම සියලු පාසැල් කටයුතුවලට බාධා එල්ල කළ ‘කරදරකාර‘ කුඩා ෂැන්ග් පාසැලට නොපැමිණීමත් සමගම ය.

සිය රෝගී මවගේ යොමු කිරීම මත ෂැන්ග් රැකියාවක් සොයා ෂැන්ග්ජියාකොව් නගරය වෙත ගොස් ඇති බව දැනගන්නා ‘වෙයි‘ සියලු පාසැල් දරුවන්ගේ සහාය ඇතිව ඔහු සොයා යෑමේ මෙහෙයුමක් අරඹයි. ආරම්භක දිනයේදීම ‘වෙයි‘ ගුරුතුමියක නොව ‘අක්කා‘ කෙනෙකු බව කියමින් ඇය ප්‍රතික්ෂේප කළ පාසැල් දරු පිරිස එකාවන්ව ඇය හා බැඳෙමින්, ෂැන්ග් සොයා නගරයට යන්නට ‘වෙයි‘ට අවශ්‍ය මුදල් සොයන්නට ගඩොල් වැඩපළක ද සේවය කරමින් සිදු කරන ක්‍රියාකාරකම් මාලාව, විටෙක ළමා වියේ අව්‍යාජත්වය හරහා ද, විටෙක අවිධිමත් අධ්‍යාපනයේ අපූර්වත්වය හරහා ද, ඒ සියල්ලටම වඩා මිනිසත්කම පිළිබඳ ගැඹුරු සංවේදනා සහිත රූපමය වියමනක් හරහාද තිරයේ චිත්‍රණය වෙයි.

දුෂ්කර මගක් පාගමනින් ගෙවා ෂැන්ග්ජියාකොව් වෙත එන වෙයි, දහස් සංඛ්‍යාත මිනිසුන් අතර ඇවිද යමින් ෂැන්ග් විමසන්නේ, නගරය ඇමතිය හැකි රූපවාහිනිය සිය ඇමතුම් මග ලෙස හඳුනාගනිමින් ප්‍රධාන නාලිකාවක කාර්යාල දොරටුව වෙත පියනගා එහි ප්‍රධානියා මුණගැසෙනු වස් වරු ගණනක් එතැන රැඳෙයි.

චිත්‍රපටය කෙළවර වන්නේ සජීවී විකාශයක් හරහා කඳුළු සළමින් තමන් අමතන වෙයි දකින ෂැන්ග් ඇය හා එක්ව, තෑගි භෝග රැසක් හා ටෙලිවිෂන කැමරා පිරිවරාගෙන ගමට යළි පැමිණීමෙනි. ෂැන්ග් යළි පැමිණිය ද දහස් ගණනක් දරුවන් තවමත් චීනයේදී ප්‍රාථමික අධ්‍යාපන සමයේදීම පාසැල් හැර යමින් ළමා ශ්‍රම හමුදාවට එක්වන බව අවසන් නාමාවලියට පෙර ෂැන්ග් යිමෝ තිරයේ ලියයි.

‘එකෙකුවත් අඩු නැතිව‘ දරුවන් පාසැලේ තබා ගැනීම ‘වෙයි‘ගේ සිනමා තිර විරුකමින් ගැලවී අපගේ ජීවන පැවැත්ම වෙත සම්ප්‍රේෂණය වන්නේ ඒ හා සමගිනි.

-ප්‍රියන්ත ෆොන්සේකා -       

Saturday, October 1, 2016

“මගේ ජීවිතය මට දෙන්න!“ (ජීවිත සිනමාව - රිවිර සිනමා කොලම 03)


1960 වර්ෂයේදී බෙංගාලි සිනමාවට එක් වුණු රිත්වික් ඝටක්ගේ ‘මෙගා ධක තාරා‘ (The Cloud Clapper Star - වළාකුලෙන් වැසුණු තාරකාව‘) චිත්‍ර‍පටයේ ප්‍ර‍ධාන චරිතය වන නීතා, සිය කැපකිරීම්වලින් පිරුණු ජීවිතය කෙළවර, ක්ෂය රෝගය වැළඳීම නිසා, නිවසින් බොහෝ දුර කඳුකර සාත්තු නිවාසයක නතර කිරීමෙන් අනතුරුව සිය වැඩිමහල් සොයුරා අභියස ‘මගේ ජීවිතය මට දෙන්න‘ යැයි කියමින් වැළපෙන්නට පටන් ගනියි. චිත්‍ර‍පටය මුළුල්ලේම අප දැඩි ලෙස ආසක්ත කරගත් මේ මහරු තරුණියගේ ඛේදනීය අවසානයේ, ඇගේ වේදනාබර ඉල්ලීම අපගේ හදවත් තුළ ද නින්නාද නගන්නට ගන්නේ, චිත්‍ර‍පටයේ දී ඇගේ උස් වැළපීම කඳු මුදුන් සිසාරා දෝංකාර දෙන පරිද්දෙනි.

බංග්ලා දේශය නමැති නව රාජ්‍යය නිර්මාණය කරමින් ඉන්දියාවෙන් වෙන්ව නැගෙන බෙංගාලයේ නැගෙනහිර භූමිය ජීවිත කාලයක් මුළුල්ලේ තමන් උපත ලබා, හැදී වැඩුණු බිමක අයිතිය මිනිස් කණ්ඩායමකට අහිමි කළේ ය. ඒ කණ්ඩායමක සාමාජිකයකු වන ඝටක්, ඉන්දීය මහා සිනමාකරු රායි නිසාවෙන් වැසී ගිය ප්‍ර‍බල සිනමා කතුවරයෙකි. සිය දිගු සිනමා ගමන තුළ ඔහු නිමවූ සිනමා පට සියල්ලම පසුපස අනන්‍ය සමාජ සංස්කෘතික භූමිය අහිමි කළ වින්දිතයාගේ වේදනාව දැඩිව තැවරී තිබේ. නීතාගේ ශෝචනීය වත අපට මුණගැසෙන්නේ ඒ හැගුම්බර සිනමා ප්‍ර‍කාශන අතර ඉහලින්ම ලියැවුණු ‘මෙගා ධක තාරා‘ සිනමා පටය තුළදී ය.

දේශ සීමා බෙදී වෙන්වීම හේතුවෙන් සරණාගතයින් ලෙස කල්කටා නගරයට ආසන්න බිමක ජීවත් වන්නට සිදුවන නීතාට සිය පවුලේ සාමාජිකයින්ගේ කුසගිනි නිවන්නට සිදු වෙයි. ඇයගේ පියා විශ්‍රාමික ගුරුවරයෙකි. වියපත් මව නිවසේ අහර සරිකරන්නියයි. වැඩිමල් සොයුරු ගායකයකු වීමේ විසල් ආසාවකින් මඩනා ලදුව, රැකියාවක් සොයන්නට වෙහෙස නොවී කටහඩ අභ්‍යාසවල යෙදෙයි. ක්‍රීඩකයකු වීමේ උනන්දුවකින් පෙළෙන, කම්කරු රැකියාවක නිරත වන බාල සොහොයුරු, රූපය මුල් තැනෙහි තබන නැගණිය මෙන්ම අනාගත අපේක්ෂා හේතුවෙන් නීතා හැරදමා නැගණිය විවාකරගන්නා පෙම්වතා නීතාගේ දිවියෙහි කටොළු තව දුරටත් තීව්‍ර‍ කරන්නට පසුබිම් සාදන්නෝ වෙති. අධ්‍යාපනය, ප්‍රේමය, ජීවිතයේ සතුට සහ නිදහස යන සියල්ලම සිය පවුල වෙනුවෙන් කැප කරමින්, අනේක ගැහැට විදිමින් නීතා වෙහෙස වන්නේ ස්වාත්මය නොලබන සංතුෂ්ටියක් පවුලේ සෙසු සාමාජිකයන්ට ළගා කර දෙන්නට ය.

නීතා ‘මෙගා ධක තාරා‘ නාමාර්ථය තහවුරු කර දෙන වළාකුළින් වැසී යන තාරකාවයි. චිත්‍ර‍පටයේ ආරම්භයේ අපට හමුවන, ඇයට ආදරය කරන ඇගේ පියා අතරමගදී රෝගියකු බවට පත් වෙයි. බාල සොයුරාගේ ආදායම් ද බිඳ වැටෙද්දී ‘බත් පත දිනා දෙන්නිය‘ නිවසින් බැහැර වේය යන අම්මාගේ ‘ආත්මාර්ථකාමී‘ සිතුවිල්ල ඇයට පෙම්වතා අහිමි කරන්නට මග විවර කර දෙයි. ඔහු දිනාගන්නී ඇයගේම දගකාර නැගණියයි. ගායක සිහිනයෙන් ගම හැර යන, නමුත් සිය සොහොයුරියගේ අසීමිත කැපවීම හදුනාගෙන සිටි වැඩිමහල් සොයුරා ගායකයකු ලෙස යම් පිළිගැනීමක් ලැබ ගමට යළි පා තබද්දී දකින්නේ, සියල්ල අවසන් වූ පසු, ක්ෂය රෝගියකු වීම නිසා නිවසේ මායිමකට තල්ලු කෙරුණු නීතා ය. එවකට පිළියම් විරහිත රෝගයක් ලෙස පිළිගත් ක්ෂය රෝගය අවසානයේ ඇයට බල කර සිටින්නේ කඳුකර සාත්තු නිවාසයක් වෙත යන්නට ය. ඒ මරණය පැමිණෙන තෙක් රැඳ‍ෙන්නට මිස වෙන යමකට නොවේ. නීතා ජීවිතය ඉල්ලන්නේ එතැන දී ය.

සිය ජීවන මංපෙත් වැටී සැදුණු බිමකින් යමෙකු ඈත් කර තැබීම ඔහුට හෝ ඇයට මරණීය වේදනාවක් ගෙන දෙන්නට ඉඩ ඇති දෙයකි. ඒ විසල් වේදනාව සමගින් දිවි ගෙවූ ඝටක් නීතා ඇතුළු සිය සිනමා චරිත හරහා ඒ වේදනාව අප වෙත යොමු කර දැක්වී ය. සිනමාව ජීවිතය විඳින්නට මතු නොව විඳවමින් ගත කරන්නට සිදු ව ඇති ජීවිතවල ගැහැට ගැන යළි සිතා බලන්නට අප යොමු කරන්නට හැකි මෙවලමක් බව පෙන්වූ සිනමාකරුවන් අතරින් අයෙකි ඝටක්. නීතාගේ ඉල්ලීම හුදෙක් ක්ෂය රෝගය නිසා දිවි මග හැර යන්නට බල කළ තරුණියකගේ ඉල්ලීම තුළට සීමා නොවී, මියයමින් ජීවත් වන්නට සිදුව ඇති මහා මිනිස් සයුරක වේදනාබරිත ඉල්ලීමක් වන්නේ එබැවිනි.

ඔව්, සිනමාව ජීවිතය වෙනුවෙනි! ඒ ඉල්ලා හඬා වැටෙන මිනිසුන් ද වෙනුවෙනි!!

-          ප්‍රියන්ත ෆොන්සේකා -


Saturday, September 24, 2016

(රිවිර සිනමා කොලම -2) - ජීවිතය ‘චොකලට් පෙට්ටියකි‘!

“මගෙ අම්මා හැමදාම කිව්වෙ ජීවිතේ කියන්නෙ චොකලට් පිරුණු පෙට්ටියක් කියල. ඔයා කවදාවත් දන්නෙ නෑ ඔයාට ලැබෙන්නෙ මොකක්ද කියල!“

1994 දී තිරයට ආ රොබට් සෙමිකිස් අධ්‍යක්ෂණය කළ ෆොරස්ට් ගම්ප් (Forrest Gump) චිත්‍ර‍පටයේ ප්‍ර‍ධාන චරිතය වූ ෆොරස්ට් ගම්ප් එක්තරා නගරයක බස් නැවතුමක බසයක් අපේක්ෂාවෙන් ඉන්නා අතර එහි දී හමුවන මගීන්ට සිය ජීවන වත ඉදිරිපත් කරයි. ඔහුගේ කතාව අතරතුර විවිධ පුද්ගලයින් එහි එන බස් රථවල නැගී පිටව ගිය ද යළි යළිත් එහි එන මගීන් වෙත සිය කතාව කියමින් ෆොරස්ට් සිය අපූරු ජීවන අන්දරය ඉදිරියට විකාශනය කරයි. ඉහත උද්ධෘතය සිය කතාව අතරතුර බොහෝ තැන්වලදී ඔහු මුවින් පිට වන උදාන වාක්‍යයකි.

අංගවිකල, තරමක මන්ද මානසිකත්වයකින් පෙළෙන දරුවකු ලෙස දිවි අරඹන ෆොරස්ට්ගේ ජීවිතය තුළ ඔහුට මුණ ගැසෙන, ඔහු අගයන හා ඔහු හා වෙසෙන චරිතද්වය වන්නේ මව සහ සහෘද මිතුරිය වන ජෙනී ය. ‘ආබාධිතයකු‘ වුව විසල් හදවතක් ඇති ෆොරස්ට් තමන්ට උසුළු විසුළු කරමින් පහර දෙන්නට එන පාසැල් සගයන්ගෙන් බේරීමට, ජෙනීගේ යෝජනාව මත, වේගයෙන් දුවන්නට පටන් ගනියි. ඔහුගේ වේගය ඔහුට විශ්වයට දොරටුවක් විවර කර දේ. ඇමරිකානු පාපන්දු ක්‍රීඩාව අභියස ජනපති ජෝන් එෆ්. කෙනඩි හමුවට යන දක්ෂ  ක්‍රීඩකයකු ලෙසද, වියට්නාම් යුද්ධයේදී යුධ වීරයෙකු ලෙස ද, ජනපති රිචඩ් නික්සන්ගේ පැසසුම් දිනන මේසපන්දු ක්‍රීඩකයකු ලෙස ද, අවසානයේ කූනිස්සන් අල්ලන්නට යන නැවක සාර්ථක කප්පිත්තකු ලෙස ද ජීවිතය විහිදුවන්නට ඔහුට ඉඩ සළසන්නේ මේ වේගය හරහා ඔහු දිනන ජීවිතයයි. සිනමා දෘශ්‍ය ප්‍රයෝග හේතුවෙන් අතීත වාර්තා සිතුවම් අතර ෆොරස්ට්ගේ රුව පිහිටුවමින් සිමිකිස් මතු කරන හාස්‍ය මුසු සිනමා නාටකය කෙළවර  අපට මුණ ගැසෙන්නේ ජීවිතය පිළිබඳ ගැඹුරු සංවේදනා පෙළකි.

ෆොරස්ට් කුඩා දරුවකු ලෙස ජීවිතය වටහා ගන්නේ සිය මව හරහා ය. පුතුගේ මන්ද මානසිකත්වය හේතුවෙන් ඔහු විශේෂ පාසැලකට ඇතුළු කරවීමට වන යෝජනාව ඉවත් කර සාමාන්‍ය පාසැලේ දොරටු ඔහුට විවර කර දෙන්නට මව සිය කය පාසැලේ මුල් ගුරුතුමාට පුද කරයි. ඉන් විවර පාසැල් බිමට ෆොරස්ට් පිටව යන පළමු දිනයේදීම ඔහුට පාසැල් බසයේදී කුඩා ජෙනී මුණ ගැසේ. පාසැල් බිමේ දී හා ඉන් නික්ම ගිය පසුවත් මව වියෝවූ පසුවත් ජීවිතයේ විවිධ ඉම්වලදී මුණ ගැසී ඔහුට ජීවිතය කියා දෙන්නී ජෙනී ය. සිය මවත්, ජෙනීත් දෙදෙනා මුහුණ දෙන අනේක විධ ගැහැට තුළින් හා ඔවුන් ලබා දෙන මග පෙන්වීම් තුළින් ෆොරස්ට් ජීවිතය වටහා ගන්නට යත්න දරත්දීත්, සිය අවබෝධයේ සීමාකම් තුළ රැඳ‍ෙමින් ඒ ප්‍ර‍ශ්න කරද්දීත් ජීවිතය දකින්නේ තිරය අභියස සිටින අප ය.

කටොළුවලින් පිරි ෆොරස්ට්ගේ ජීවිතය තුළ එකිනෙක යා කළ හැකි, නොහැකි විස්මිත කතන්දර රැසකි. ඒ බොහොමයක් කෙළවර වන්නේ තවත් අපේක්ෂාසහගත කතාවකට මග පාදමිනි. එකිනෙක හරහා ඇදහිය නොහැකි සංචාරයක යෙදෙන ෆොරස්ට් ඒ හරහා ජීවිතය වටහා ගනියි. ඇතැම් විට දහසක් සංකල්පනා මතු කොට බොහෝ වේලාවක් යළි යළිත් සිතා බලන්නට අප පොළඹන දෙබස් සිය මුවට නංවයි. ඒ ඔහු තමන් අත් දකින සැබෑව පිළිබඳ සෘජුව කියා පෑමෙනි. ඒ සියල්ල අවංක ය. යුද්ධයක නිරර්ථක බව හඟවන්නට යුද්ධය ගැන කිසිවකුත් නොකියා ඔහු ජෙනීට කියන මේ වදන් පෙළ සමත් වෙයි.

“ඔයාට වියට්නාමෙදි බය හිතුණ ද?“ ජෙනී අසයි.

“ඔව්.. ඇත්තටම... මං දන්නෙ නෑ. සමහර වෙලාවට වැස්ස නතර වෙලා තරු මතුවෙන්න පටන් ගන්නවා... ඊට පස්සෙ ඇත්තටම හොඳයි. ඒක හරියටම අපේ ගම්මානෙ දි ඉර බැහැල යන වෙලාව වගේ. අර කඳු මැද්දෙ තියෙන විල වගේම එහෙ වතුරත් හරියට දිස්නෙ ගහනව. ඒව කොයි තරම් පිරිසිදු වතුරද කියනව නම් ජෙනී, වෙලාවකට පේන්නෙ නිල් පාට අහසවල් දෙකක් එකට එක මුණගැහිල බලා ඉන්නව වගේ. ඊට පස්සෙ කාන්තාරෙදි, ඉර නැගල එන වෙලාවට... මට කියන්න තේරෙන්නෙ නෑ ජෙනී... පොළව ඉවර වෙලා දිව්‍ය ලෝකෙ පටන් ගන්නෙ කොතනින්ද කියල... ඒක ඒ තරම්ම ලස්සනයි!“

සිනමා කෘතියක ජීවිතය හමුවන්නේ ඒ මේ යැයි දක්වමින් රූපය තුළ බහාලමින් නොව රූප හමුවේ අප මනස තුළ පැන නැගෙන ප්‍ර‍තිරූප පරිද්දෙනි. ප්‍රේමය, මානව දයාව, මනුසත්කම ආදී තෘප්තකර මිනිස් සමාජයකට හා ජීවිතයකට වඩා අවැසි දේ ෆොරස්ට් අපට මුණගස්වන්නේ ජීවිතය හරහා යන චාරිකාව තුළිනි. ජීවිතය සැබවින්ම අනේක රසැති හැඩැති චොකලට් පිරුණු චොකලට් පෙට්ටියක් ය යන්න ඔහු අපට කියා දේ.

එහෙත් ඊ ළග මොහොතේ කුමන රසයක් ලැබේදැයි, ෆොරස්ට්ගේ මව කී ලෙසම, අප දන්නේ නැත.

-          ප්‍රියන්ත ෆොන්සේකා -

     2016 සැප්තැම්බර් 22 - රිවිර පුවත්පත / ‘ඉම‘ පිටුව (20 පිට)





Saturday, September 17, 2016

(රිවිර සිනමා කොලම - 1) සිනමාව ජීවන පැවැත්මක් ලෙස...


1980 දශකයේ එක්තරා දිනයක, රෝමයේ දිවි ගෙවන ඉතාලි සිනමා අධ්‍යක්ෂකවරයෙකු වන සැල්වටෝට සිසිලියේ දුර බැහැර වන සිය ගම් පියසේ විසූ ඇල්ෆ්‍රඩෝ නමැති මහළු මිනිසා මියගිය පුවත සිය මවගෙන් ලැබෙන ඇමතුමක් මගින් අසන්නට ලැබේ. ඒ පුවත ඔහුට සැළ කරන සැල්වටෝගේ පෙම්වතිය ඇල්ෆ්‍රඩෝ යනු කවුරුන්දැයි ඔහුගෙන් විමසයි. 1988 වර්ෂයේ නිෂ්පාදිත ‘සිනමා පැරඩීසෝ‘ නමැති, ගුසෙප් ටොර්නටෝ විසින් අධ්‍යක්ෂණය කරන ලද, විචිත්‍ර‍ සිනමා පටය දිවෙන්නේ සැල්වටෝගේ ළමා කාලය හා බැඳි ඇල්ෆ්‍රඩෝ කවරෙක්දැයි අපට හෙළි කරන අතීතාවර්ජනයක් ලෙස ය. ටොටෝ යන සුරතල් නමින් ඇමතෙන සය වියැති කුඩා සැල්වටෝ සහ ගම්මානයේ ඇති සිනමා ශාලාවේ ප්‍රොජෙක්ටරය ක්‍රියාකරවන්නා වූ ඇල්ෆ්‍රඩෝ අතර ඇති අපූරු මිතු දම, සැල්වටෝ වෙත වන සිනමාව කෙරෙහි වන දැඩි බැඳීම ඉක්මවමින් මිනිස් ජීවිතය පිළිබඳ අපූරු රූප මාලාවක් අප ඉදිරියේ තබමින් අප හදවත් සසල කරවයි.

සිනමාව යනු කෙටි ඉතිහාසයක් තුළ සෙසු කලා භාවිතාවන් හා සමානුපාතික වන තරමට හෝ අභිබවනා තරමට නැගි අපූර්ව ශ්‍ර‍ව්‍ය දෘශ්‍ය කලා භාවිතාවකි. එහි ඇති සුවිශේෂ ගුණාංග අතර සෙසු කලා ගණනාවක්ම ඒ තුළ සංගෘහිතව නැගීම ද, ඒ එක් එක් භාවිතාවන් මනාව සුසාදිත කිරීමෙන් ගැඹුරු ජීවන සංවේදනා වෙත ගමන් කිරීමේ හැකියාව ද හමු වේ. ‘සිනමා පැරඩීසෝ‘ මෙහිලා අපූරු නිමැවුමක් වන්නේ එහි කතා තේමාවේ මූලික පසුබිම ද ‘සිනමාව‘ම වීම හේතුවෙනි. කුඩා ටොටෝ දෙවන ලෝක යුද්ධය නිසා විනාශ ව ගිය නටඹුන් ගම්මානය පසුබිමේ දිවයන්නේ ඇල්ෆ්‍රඩෝගේ සිනමා ශාලාව තුළ අත් විඳිය හැකි මානව සම්බන්ධතා සිය ළමා ඇසින් ග්‍ර‍හණය කිරීමට ය. ඔහු ජීවිතය දකින කවුළුව සිනමා තිරයයි. ඔහුට ජීවිතයේ ගැඹුර කියා දෙන වැඩිහිටියා ඇල්ෆ්‍රඩෝ යි.

“මෙතන ජීවත් වෙන ගමන් උඹ හිතයි මේක තමයි ලෝකෙ හරි මැද කියල. උඹ හිතන්න ගනීවි කිසිම දෙයක් කවදාකවත් වෙනස් වෙන්නෙ නෑ කියල. ඊට පස්සෙ උඹ යන්න යාවි. අවුරුද්දකින්, දෙකකින් උඹ ආපිට එද්දි සේරම වෙනස් වෙලා තියේවි. හැම බැම්මක්ම කැඩිල. උඹ දකින්න කැමැත්තෙන් එන දේවල් එතන නෑ. උඹේ දේවල් නැති වෙලා. උඹ පිට වෙලා පලයන් දිග කාලෙකට.... ගොඩක් කාලෙකට. උඹ ආපිට ඇවිත් උඹේ මිනිස්සු හොයන්න කලින්. උඹ උපන් බිම හොයන්න කලින්. නමුත්, දැන්... ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැන් උඹ අන්ධයි... මේ මටත් වඩා අන්ධයි!...

කවුද ඔය දෙබස කියන්නෙ? ගැරී කූපර් ද? ජේම්ස් ස්ටුවර්ට් ද? නැත්තං හෙන්රි ෆොන්ඩා ද?

නෑ ටොටෝ... කවුරුත් කියන්නෙ නෑ. මේ පාර සේරම මගෙන්. ජීවිතේ චිත්‍ර‍පටි වගේ නෙවෙයි. ජීවිතේ ඊට වඩා ගොඩක් අමාරුයි!“

ටොටෝ හමුවේ සිනමා රූප පෙළගස්වමින් දිගු කලක් ජීවිතය මේ යැයි කියාදෙන ඇල්ෆ්‍රඩෝ අවසානයේ සිය දෙනෙත් අඳ වූ පසු ටොටෝ හමුවේ පවසන්නේ ඉහත කරුණ ය. සැබවින්ම සැබෑ ජීවිතය සිනමා රූපය තුළ රාමුගත සීමාවක නතර නොවන අති දුෂ්කර ව්‍යායාම පෙළකි. එහෙත් මෙහි ඇති ආකර්ෂණීය කරුණ නම් එය යළි අපට පසක් කරන්නට උදව් වන මෙවලමක් ලෙස සිනමාව ක්‍රියා කිරීම ය.

ඇල්ෆ්‍රඩෝගේ අදහස් අනුව ගියේ නොවූවත් ටොටෝ ගම හැර නගරයට යයි. ජීවිතයේ අනේක ගැහැටට මුහුණ දෙයි. යළි පෙරළා පැමිණ ඔහු කී දේ සත්‍යයක් බව, ජීවිතය වටහා ගැනීම හරහාම, වටහා ගනියි.

මෙම කුඩා තීරුව අද පටන් සිනමාව හා ජීවිතය පිළිබඳ ඔබ සමග සංවාදයක් අරඹනු ඇත. සිනමාව විෂයයෙහි සාකච්ඡාවට කැඳවිය හැකි දහසක් කරුණු අතුරින් අප තෝරා ඔබ වෙත තබන්නේ ජීවිතය හා සිනමාව අතර ඇති සහෘද සාකච්ඡා මාලාවයි.

කුඩා ටොටෝ සිනමා හළට දිව ආ අයුරින් දිවඑන්නැයි මම ඔබට ඇරයුම් කරමි. එන්න! අපි සිනමාව ජීවන විලාසයක් කරගනිමු!

(2016 - 09 - 15 - රිවිර පුවත්පත/ ‘ඉම‘ පිටුව )



-          ප්‍රියන්ත ෆොන්සේකා -