Wednesday, December 28, 2016

‘රෝස කැකුළ‘ (ජීවිත සිනමාව)

(රිවිර සිනමා කොලම- 12)


චාල්ස් ෆොස්ටර් කේන් යනු ඇමරිකානු ජාතික ධනවත් මහළු ව්‍යාපාරිකයෙකි. හිමෙන් පිරුණු පසුබිමක් සිහි ගන්වන ත්‍රිමාන රූ සහිත වීදුරු බෝලයක් අත දරාගෙන මරණාසන්නව වැතිර සිටින ඔහුගේ අතින් ඒ ගිලිහී යන්නේ මරණය ඔහු කරා පැමිණෙද්දීම ය. ‘Rose Bud’, නැත්නම්, ‘රෝස කැකුළ‘ යන්න ඔහු මුවින් ගිලිහෙන අවසන් වදන වෙයි. මරණය ඔහු වෙත එද්දීම ඔහු මුවින් ගිලිහුණු මේ වදන සංඥා කරන ලද්දේ කවරක්දැයි යන්න පිළිබද කිසිවකුට නිසි අදහසක් නොමැත.  ලෝ ප්‍ර‍කට, පුවත්පත් හිමිකරුවකු හා ධනවතකු වන කේන්ගේ මරණය ලොව අවධානය දිනාගත් පුවතක් බවට පත්වෙද්දීම ‘ප්‍ර‍වෘත්ති රීල‘ සිනමා නිර්මාණකරුවකු වන ජෙරී තොම්ප්සන් තීරණය කරන්නේ කේන් කී මෙම අවසන් වදනෙහි අර්ථය සොයා යන්න ට ය. 1941 දී නිර්මාණය වී, දශක ගණනක් මුළුල්ලේම ලොව එදා මෙදාතුර බිහිවූ විශිෂ්ඨම සිනමා කෘතිය ලෙස ඇගයුම් ලබන්නට වරම් ලද ඕසන් වේල්ස් අධ්‍යක්ෂණය කළ ‘Citizen Kane’ (සිටිසන් කේන්) සදහා පාදක වන්නේ ඉහත කී අපැහැදිලි වදනක නිර්වචනය සොයා ප්‍ර‍වෘත්ති රීල සිනමාකරුවකු සිදු කරන සොයා යෑමක සිනමාත්මක සටහනයි.

සම්භාව්‍ය හොලිවුඩ් ආඛ්‍යාන සිනමාව ලෙස පසුකාලීනව ලෝක සිනමා න්‍යාය තුළ කාල නිර්ණය වී අවධානයට යොමු වන 1930 දශකයේ සිට ඉදිරි දශක දෙක තුන දක්වා විහිදි සිනමා සමයේ ප්‍ර‍මුඛතම කෘතියක් වන ‘සිටිසන් කේන්‘ තරුණ සිනමාකරුවකු ලෙස ඕසන් වේල්ස්ගේ දක්ෂතාවයක්, අතිදක්ෂ සිනමා රංගධරයෙකු ලෙස ඔහුගේම වෛශිෂ්ඨත්වයත් ලොවට හෙළි කළ කෘතියකි. ආඛ්‍යානය ගොඩ නැගීමේ සිට ව්‍යක්ත ලෙස සිනමා බස හැසිරවීම දක්වා අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔහු තුළ වන ප්‍ර‍තිභාව ද, තරුණයෙකු සිට මරණය වැලදගන්නා මහල්ලකු වන තෙක්ම කේන්ගේ චරිතය ප්‍ර‍තිනිර්මාණය කිරීම දක්වා රංගධරයෙකු ලෙස ඔහු තුළ තිබුණු ප්‍ර‍තිභාව ද එක ලෙස ප්‍ර‍කට කරන්නට ‘සිටිසන් කේන්‘ සමත් වූයේ සිනමාව පිළිබද පූර්ණ උදාහරණ අංගවලින් සමන්විත තක්සලාවක් බවට ද ඒ පත් කොට තබමිනි.

‘රෝස කැකුළෙහි‘ අභිරහස හෙළි කරගන්නට තොම්ප්සන් කේන්ගේ අතීත සමීපතමයින් සොයා චාරිකාවක් අරඹයි. ඒ වන විට, තදින් මත්පැනට ඇබ්බැහි වී සිටින හා රාත්‍රී සමාජශාලාවක් හිමි කේන්ගේ දෙවැනි බිරිද වූ සූසන් ඇලෙක්සැන්ඩර්, කේන්ගේ පෞද්ගලික ව්‍යාපාර කළමණාකාර බ්‍රෙන්ස්ටයින්, ඔහුගේ සමීප මිතුරකු වූ ජෙඩෙඩියා ලේලන්ඩ් සහ මියගිය බැංකුකරුවකු වූ වොල්ටර් පාක්ස් තැචර්ගේ පෞද්ගලික ලිපිගොනු හරහා වන එම චාරිකාව ෆ්ලොරිඩාවේ ධන කුවේරයකුව මියගිය කේන් දුප්පත් දරුවෙකු ලෙස කොලරාඩෝවේ සිට අරඹන දිගු ගමනක අතීත අවදීන් වෙත කෙරෙන පසු විමසුම් ගමනක් බවට පත් වෙයි. කේන්ගේ ‘රෝස කැකුළ‘ යන වදනෙහි නිසි අරුත, කිසිවකු වෙත ස්ථිර පිළිතුරක් ලෙස හමු නොවූව ද වේදනාබර ළමා කාලයක්, දුෂ්කරතා හා අභියෝගයන්ගෙන් පිරි තරුණ කාලයක් හරහා ඔහු ආ ගමනත්, ජීවන අරුත් යළි විමසන්නට තරම් වන ඔහු මුහුණ දුන් ජීවන අරගලයත් අප වෙත මුණ ගැසෙන්නට පටන් ගනී.

“ඔබට පුළුවන් වුණොත් රෝස කැකුළ කියන වචනෙ තේරුම හොයාගන්න, මං ඔට්ටු අල්ලනව අපිට පුළුවන් හැම දෙයක්ම පැහැදිලි කරගන්න“ වරෙක රෝස කැකුළෙහි අරුත සොයන්නට යන ජෙරී තොම්ප්සන් වෙත වාර්තාකාරිණියක් කියයි.

“නෑ. මම හිතන්නෙ නෑ. කේන් මහත්මයා කියන්නෙ එයාට ඕනෙ හැමදෙයක්ම ලැබුණු ඒත් එක්කම ඒ සේරම නැතිවුණු කෙනෙක්. රෝස කැකුළ කියන්නෙ සමහර විට එයාට නොලැබුණු දෙයක් නැත්තම් එයා ළග තිබිල නැතිවුණු දෙයක් වෙන්න පුළුවන්. ඒකෙන් කිසිම දෙයක් පැහැදිලි වෙන්නෙ නෑ. මම හිතන්නෙ නෑ කිසිම වචනයකින් කෙනෙකුගෙ ජීවිතයක් පැහැදිලි වෙනව කියල. නෑ! රෝස කැකුළ කියන්නෙ නිකම්ම නිකං ප්‍රෙහේලිකාවක එක වචනයක්! නැතිවුණු වචනයක්!!“

ඇමරිකානු පුවත්පත් සමාගම් අයිතිකරුවකු වූ විලියම් හර්ස්ට්, චිකාගෝවේ විසූ කුවේරයින් වූ සැමුවෙල් ඉන්සල් සහ හැරල්ඩ් මැක්‍රොමික් යන අයගේ ජීවන වෘත්ත හා වේල්ස්ගේම ජීවිතයේ අතීත අන්දර අතුරින් මනාව තෝරාගත් ජීවිත කැබැලි සකසුරුවම්ව වියමන් කළ ‘සිටිසන් කේන්‘ සැබවින්ම ජීවිතයේ ප්‍රෙහේලිකාර්ථවලට සිනමා රූපය තුළ පිළිතුරු සෙවූ අනගි සිනමා පටයකි. 2012 වර්ෂයේදී ඇල්ෆ්‍ර‍ඩ් හිච්කොක්ගේ ‘වර්ටිගෝ‘ සිනමා කෘතියට දෙවැනි වන තුරුම ‘සයිට් ඇන්ඩ් සවුන්ඩ්‘ ඇගයුමෙහි අංක එක දිනා සිටි එය, විශිෂ්ඨ කෘතියක් ලෙස රැදෙමින්ම නිරතුරුව පසක් කළේ එහි අවසානය සමග නරඹන්නා හදුනාගන්නා, නමුත් කෘතියේ චරිත නොදකින, ‘රෝස කැකුළෙහි‘ යථා රූපයයි.

ඔව්! ජීවිතය යනු වදනකට ගොනු කළ නොහැකි දෙයකි!



-ප්‍ර‍ියන්ත ෆොන්සේකා -

Friday, December 16, 2016

ජීවිතය සුන්දරයි! (ජීවිත සිනමාව)

(රිවිර සිනමා කොලම- 11)


“ඔයා හරිම හොඳ කොලු පැටියෙක්! දැන් නිදාගන්න. ඔයාට ලස්සන හීන පෙනේවි! සමහර විට අපි දෙන්නම දකින්නෙ හීනයක් වෙන්නැති. සමහර විට, මේ හැම දෙයක්ම හීනයක් වෙන්නත් පුළුවන්. අම්ම අපි දෙන්නම උදේට ඇහැරවාවි. එයා අපි දෙන්නටම බිස්කට් එක්ක කිරි හදල දේවි!“

ගුයිඩෝ විසින් සිය පස් හැවිරිදි සිඟිති පුතු ජොසුවා හමුවේ මෙම වදන් පවසන්නේ ඔහු නින්දට යන්නට සූදානම් වද්දී ය. ඒ ඉතාලි නිවසේ සුවපහසු කාමරයක ඇති පුතුගේ සයනය මත හිඳ නොවේ. දෙවන ලෝක යුද්ධයේ වින්දිතයන් ලෙස නාසි හමුදාවන්ට හසු වී කඳවුරක ජීවිතය ගෙවද්දී ය. යුදෙව්වෙකු වීම හේතුවෙන් යුදෙව් නොවන බිරිඳ ඩෝරාගෙන්ද වෙන්කොට ඔහු ද, පුතු ජොසුවාද කඳවුරට රැගෙන එද්දී දරුවා නාසින්ගේ ඇස්වලින් වසන් කොට තමන් සමඟ සඟවා තබාගන්නට ගුයිඩෝ සමත් වේ. නිශ්චිතව පෙනෙන මරණය හා තරග වදිමින් ජීවිතය දිනන්නට ඔහු ගෙනයන බිහිසුණු එනමුත් හාස්‍ය උපදවන ක්‍රියාකාරකම් මාලාව අති සුන්දර, මිනිසත්කම පිරුණු සිනමා සිත්තමක් අප ඉදිරියෙහි නිර්මාණ කරයි. ‘ජීවිතය සුන්දරයි‘ (Life is Beautiful) නම් ලබන ඒ සිනමා කෘතිය 1997 දී ඉතාලි ජාතික සිනමාකරු රොබර්ටෝ බෙනිග්නි විසින් නිර්මාණය කරන ලද්දකි.



ගුයිඩෝ-ඩෝරා ප්‍රේම වෘතාන්තය සමගින් ඇරඹෙන සිනමා කෘතියේ මුල් කාල සමය ඩෝරා දිනාගනු පිණිස ගුයිඩෝ විසින් සිදු කරනු ලබන ප්‍රේමණීය නමුත් හාස්‍යජනක ක්‍රියාකාරකම්වලින් පිරී පවතී. හාස්‍ය මුසු සිතුවමක් ලෙස අප සිත් පැහැරගන්නා එය ගුයිඩෝ සහ ඩෝරා, ජොසුවාගේ දෙමාපියන් ලෙස වැඩී වියපත් වත්ම ඔවුන් අභිමුවට එන දෙවැනි ලෝක යුද්ධය, ගුයිඩෝගේ සැහැල්ලු, විනෝදකාමී ජීවිතය ගිලගන්නා ආකාරය විමසන්නට යොමු කරයි. ලක්ෂ ගණනින් ජීවිත හා දේපළ ගිලගනිමින් ආ, සිය පොත් සාප්පුව හා සාමකාමී පවුල් ජීවිතය විනාශ කළ යුද්ධය ගුයිඩෝ භාරගන්නේ තරගයක් ලෙසිනි. ඒ සියල්ලටම වඩා සිය ප්‍රාණසම පුතුගේ ජීවිතය හෝ අනාගතය වෙත මුදා හරින රිසියෙනි. නාසි කඳවුරේ මරණාපේක්ෂක පිරිමින් අතර කුඩා ජොසුවා සඟවාගන්නා ඔහු නාසින්ගේ බිහිසුණු ප්‍ර‍කාශන, ජර්මානු බසින් ස්වකීය ඉතාලි බසට පෙරළා සිය පුතු වෙතට අසන්නට සළස්වන්නේ තමන්ට අවැසි කතාවක් ඒ වෙනුවට ගෙන එමිනි.

“දැන් තරගෙ පටන් ගන්නයි යන්නෙ. ඔයාල ලකුණු 1000ක් ගන්න ඕනෙ මේකෙදි. ඔයාල මේක දිනුවොත් ඔයාලට ගෙදර ගෙනියන්න ලැබෙනව ලොකු තුවක්කුවක් තියෙන යුද්ධ ටැංකියක්. හැමදාම අපි ලකුණු අර ලවුඩ්ස්පීකරෙන් කියනව. ලකුණු අඩු වෙන ක්‍ර‍ම තුනක් තියෙනව. පළවෙනි එක, අඬන බබෙක් වෙන එක! දෙවනි එක අම්ම බලන්න ඕනෙ කියල කියන එක! තුන, ඔයාට බඩගිනියි කියල කන්න මොනවහරි ඉල්ලන එක!!“

ජොසුවාට කඳවුරේ සියලු බිහිසුණු දේ පෙනී යන්නේ ලොකු තුවක්කුවක් සහිත යුද්ධ ටැංකිය දිනාගැනීම සදහා කරන තරගයේ ක්‍රියාකාරකම් ලෙස ය. සිය පියාගේ තුරුලෙහි කුසගින්නෙන්, මව ළඟ නැති තනිකමින් තුරුළු වන ඔහු, තාත්තාටත්, තමන්ටත් දිනාගන්නට ඉඩ ලැබෙන යුධ ටැංකිය ගැන සිතමින් සැනසෙයි.

යුද්ධය හා බැඳී එන බිහිසුණු මරණය හා වේදනාව සමඟ හාස්‍යය සමපාත කරවා මුණගස්වන, ඒ හරහා මනුෂ්‍යත්වයේ උදාරත්වය අපට පසක් කරවන මේ මනරම් සිනමා කෘතිය කෑන්ස් සිනමා උළෙල සහ ඔස්කාර් සම්මාන උළෙල ඇතුළු ප්‍ර‍ධාන උළෙල ගණනාවක් ආක්‍ර‍මණය කොට ඉහළම සම්මාන ගණනාවක් සන්තකයට ගත්තේ ය. ඉතාලි සිනමා විචාරකයින් අධ්‍යක්ෂක බෙනිග්නි ජාතික වීරයෙකු කොට ඔසවා තැබූ, ජුවාන් පාවුළු පාප්තුමන් ඇතුළු ආගමික සමාජයෙන් ද, පොදු ප්‍රේක්ෂකයන් වෙතින් ද ඉහළ පැසසුම් ලැබූ සිනමා කෘතිය එක්තරා අයුරකින් ලෝක යුද්ධය වෙත හා ජර්මානු නාසි හමුදා වෙත පැවති වෛරය හා විරෝධය සිනමාත්මකව මුදා හැරීමක් විය.

සිනමා පටය කෙළවර වන්නේ ලෝක යුද්ධයේ කෙළවර මිත්‍ර‍ හමුදා කඳවුර වෙත ප්‍රවේශ වීමෙනි. කුඩා පෙට්ටියක පෙර දා රැයේ ජොසුවා සඟවා තබා ගුයිඩෝ පිටව යන්නේ පසුදා උදෑසන ජයග්‍ර‍හණයට අවශ්‍ය ලකුණු 1000 ලැබෙන බව නියත බැව් කියමිනි. අවසන් තත්පරයේදී ඔහු නාසින්ගේ අතට හසුවන නමුත් කුඩා ජොසුවාට පසුදින එළිය දකින්නට වරම් හිමි වේ. සැඟව සිටින තැනින් එළියට එන ඔහු දකින්නේ කඳවුර දෙසට හැරී එන මිත්‍ර‍ හමුදාවන් සතු විශාල යුද්ධ ටැංකියයි. ඒ වෙත නංවා ගෙන ගෙනයන ජොසුවාට ඉදිරියට ඇදෙන සෙනග අතරින් සිය මව හමුවේ.  නරඹන්නන් නෙතින් කදුළු සැලෙද්දී කිසිවක් නොදන්නා ජොසුවා සතුටින් කෑගසයි!

“අම්මේ! අපි යුද්ධ ටැංකිය දිනුවා!! අපි ලකුණු දාහම ගත්තා!!!“

සිනමා කෘතියේ බරැති, වේදනාබර නමුත් සැනසුම් සුසුම් ද කැඳවන අවසානය ජීවිතය චිත්‍ර‍ණය කළ හැකි තවත් අපූර්ව සිනමා ආකෘතියක් අප වෙත තබයි.


-          ප්‍රියන්ත ෆොන්සේකා -

Monday, December 5, 2016

පළමු පෙමක ‘සිහින‘ මතක... (ජීවිත සිනමාව)

(රිවිර සිනමා කොලම- 10)


ඔකේ යනු දසවන වියට පා තැබූ, යොවුන් වියේ දොරටුව දෙසට පිය නගන දැරියකි. මුක්හ්සින් යනු සිය වැඩිමල් සොයුරා සහ නැන්දනිය සමග පාසැල් නිවාඩු සමය ගත කරන්නට ඔකේගේ ගම්මානයට පැමිණෙන දොළොස් වියැති පිරිමි ළමයෙකි. කොල්ලන් සමග උරෙනුර ගැටෙමින්, කෙල්ලන්ගේ ‘ළදරු‘ සෙල්ලම් පිළිකෙව් කරමින්, සෙල්ලමට වැටෙන ඔකේට හදිසියේම මුක්හ්සින් මුණගැසෙන්නේ පිට්ටනියේ දී ය. ඉතා ඉක්මණින් මිතුරු වන දෙදෙන, එකිනෙකාට නැතිවම බැරි, ගම්මානය පුරා ඇවිද යමින් බොහෝ දේ විමසා බලන, බයිසිකල් පදින්නට මෙන්ම සරුංගල් යවන්නට ද අනෙකා සොයා යන, අඹ යහළු මිතුදමකින් වෙලේ. ඒ මිතු දම, ළමා විය ඉක්මවමින් ගැටවර විය වෙත පා ඔසවත්ම එකිනෙකා කෙරෙහි ඇතිවන යෞවන ආදරයක මුල් සළකුණු බව වටහා ගන්නට ඔකේගේ හා මුක්හ්සින්ගේ වැඩිහිටියන්ට අපහසු වන්නේ නැත.

2006 වර්ෂයේදී නිපදවුණු ‘Mukhsin’ (මුක්හ්සින්) යනු, මැලේසියානු සිනමා කතුවරියක වූ යස්මින් අහමඩ්ගේ සිනමා නිර්මාණයකි. එය 57වන බර්ලින් සිනමා උළෙලේ දී ළමා අංශය වෙනුවෙන් විශේෂ ජූරි සඳහනක් ලබා ගත් අතර මැලේසියාවේ ප්‍ර‍දර්ශනය අරඹා දින 4ක් තුළ රින්ගිට් ලක්ෂ 7ක වාර්තාගත ආදායමක් සමගින් ඉහළ ප්‍රේක්ෂක ආකර්ශණයක් ද දිනා ගත්තේ ය. ඒ ඇගයුම් හා ආදායම් වාර්තා සියල්ල පසුපස වූයේ ඉතා සරල ලෙස නමුත් විචිත්‍ර‍ ලෙස, තිරය මත දිග හැරි, යෞවනත්වයට පා තබන අවදියේ හමුවන ප්‍රේමය සහ ඒ හා බැදෙමින් යස්මින් විසින් චිත්‍ර‍ණය කළ සමාජ විවරණය පිළිබඳව වූ ආසක්ත බවයි.   

බයිසිකලයේ ඉදිරිපස කොටසේ ඔකේ ද හිඳුවාගෙන ගම්මානය පුරා ඇය හා යන මුක්හ්සින් විටෙක ගස් නගින අයුරු ද, තවත් විටෙක ගම්මානයේ අනේක තොරතුරු ද ඇය වෙත කියා දෙයි. ඔකේ ඔහුට කියා දෙන්නේ සිය මවගේ යුරෝපීය අධ්‍යාපනය හේතුවෙන් ඇයට ඉතා සමීප ඉංග්‍රීසි භාෂාව සහ ඔහුට දුරස්ථ වෙනස් (බටහිර) සංස්කෘතියකි. ඇයටත් ඇගේ මව හා පියාටත් සමීප පාපන්දු තරග ඇතුළු තවත් දේ මුක්හ්සින්ගේ ද සමීප ඇසුරු අතරට එන්නේ ඔකේගේ මිතුරා ලෙස ඔහු ඒ මාපියන්ගේ ද ආදරය දිනාගන්නා හෙයිනි. ඒ හා සමගින් අසල්වැසියන්ගේද, ගම්වාසීන්ගේ ද සම්මතයන් මායිම් නොකරමින් නිදහස් කෙල්ලක ලෙස වැඩෙන්නට අවශ්‍ය පසුබිම ඔකේ වෙත සලසාදෙමින් යන නූතන මැලේ පවුලක් ලෙස ඔකේගේ පවුල කටයුතු කරන හෙයිනි.

යස්මින් අහමඩ් විසින්, සෙපෙට් හා ගුබ්රා නමින් නිපදවූ තවත් චිත්‍ර‍පට දෙකක අවසන් කෘතිය වූ ‘මුක්හ්සින්‘ තුන් ඈඳුතු සිනමා එකතුවක මැලේසියානු උදාහරණයයි. ඔකේගේ යොවුන් හා තරුණ අවදිය හා බැඳ‍ෙන මුල් කෘති, අවසන් කෘතිය සමගින් යළි හැරී ඇගේ ළමා කාලයට පැමිණේ. ඒ හා සමග තරුණ වයසේ වන ඔකේගේ මාපියන් ද සමග එක්ව එය මැලේසියානු සංස්කෘතිය වෙත ද විමසුම් බැල්මක් එල්ල කරයි.



එංගලන්ත අධ්‍යාපනයක් ලබා ඇති ඔකේගේ තරුණ මවත්, වෙනස්, නිදහස් පැවතුම් සහිත පියාත් පමණක් නොව ඔකේගේ නිවසේ මෙහෙකාරියත් සම්මතයන් මත පදනම් ව සමාජය විමසන හා වෙසෙන චරිතයෝ නොවෙති. සංගීතකාමී, ක්‍රීඩාකාමී ඔවුහු සාම්ප්‍ර‍දායික මැලේ වැසියන්ගේ විවේචනයට ද අවලාදයට ද ලක් වෙති. එසේ වුවත්, ඔකේගේ ජීවන පැවතුම් හරහා ඉදිරියට ගලන සිනමා කෘතිය නිදහස් හා නිවහල් චින්තනයක හා ජීවන සම්ප්‍ර‍දායක ඇති අරුමැති බව හා අනගි බව පිළිබඳ සංඥා සපයයි.

චිත්‍ර‍පටය ඇරඹෙන්නේ පාසැල් නිවාඩුව පිණිස පිටව යන ඔකේට එළඹෙන නිවාඩු සමය පිළිබඳ රචනාවක් ලියාගෙන එන්නැයි පන්තිභාර ගුරුවරයා කරන ඉල්ලීමකිනි. චිත්‍ර‍පටයේ අවසානයේ යළි පාසැල වෙත යන ඔකේට කෙළිදෙලෙන් පිරුණු නිවාඩු සමයක් ගැන ලියන්නට රසවත් කිසිවක් ඉතිරිව නැත. නිවාඩුව පුරා ඇය හා උන් මුක්හ්සින් සමග සුළු අඩදබරයක් කෙළවර උරණ වීම හේතුවෙන් ඔහු ගම්මානයෙන් පිටව යද්දී සමුගන්නටවත් ඇයට අවස්ථාව ලැබී නැත. සිනමා කෘතියේ කිසිදු රූපයක හමු නොවන, මුක්හ්සින් ඇය වෙත තිළිණ කළ සරුංගලයේ කෙළවරක ඔහු ඔකේ වෙත ලියා තැබූ, අපට අනුමාන කරන්නට සිනමාකාරිණිය ඉඩ සලස්වන, වැකිය සමගින් ඇය ජීවිතයේ තවත් ඉසව්වකට මුහුකුරා යමින් සිටී. ඔකේ ද රැගෙන පාසැල් බස්රථය යළි පාසැල් බිම වෙත එන්නේ ඒ ජීවන ඉසව් පිළිබඳ මහරු මතකයන් අපගේ ජීවන අතීතයෙන් ද යළි අවදි කර දෙමිනි.

- ප්‍රියන්ත ෆොන්සේකා - 

Monday, November 28, 2016

සැදූ මවක් වෙත සෙනෙහසින්! (ජීවිත සිනමාව)

(රිවිර සිනමා කොලම- 9)



රොජර් ලියුන්ග් යනු අවිවාහක මැදි වියැති හොංකොං ජාතික සිනමා අධ්‍යක්ෂවරයෙකි. ඔහු, සිය පවුලේ මෙහෙකාරිය ලෙස වසර ගණනාවක් සේවය කළ, චුන්ග් චුන් නැමති, වයස්ගත මෙහෙකාරිය සමග හොංකොං පුරයේ තට්ටු නිවසක වාසය කරයි. සිය චිත්‍ර‍පට නිෂ්පාදන කටයුතු සඳහා නිතර පීකිං නගරය කරා දුවමින්ද, විවිධ රැස්වීම් ආදියට සහභාගි වෙමින් ද දිවි ගෙවන රොජර්ට නිවසේදී මුණගැසෙන චුන්ග් පෙනෙන්නේ, සිය අහර සරි කර දෙන, ඇඳුම් සකසා දෙන, කතා බහට එතරම් දේ නොමැති නිවසේ වෙසෙන එක්තරා ගැහැණියක් ලෙස පමණි. එක්තරා දිනක, පෙරළා නිවසට එන රොජර්ට ආඝාතය වැළඳී නිවස තුළ වැටී සිටින චුන්ග් හමුවේ. ඇය රෝහල්ගත කළ පසු, දිගු කලක් තිස්සේ සිය නිවස තුළ රැඳී සිටිමින් සිය දිවියේ සියළු අවැසියාවන් සපුරා ලූ චුන්ග් යනු හුදකලා සිය දිවිය පසුපස සිටි මව්ගුණැති සෙවණැල්ල බව ඔහුට පසක් වේ.

ඈන් හුයි නමැති හොංකොං ජාතික සිනමාකාරිණිය විසින් අධ්‍යක්ෂණය කෙරුණු ‘සරල ජීවිතයක්‘ අරුතැති ‘Simple Life’ යනු 2011 වර්ෂයේ නිමැවුණු, ඉතා සෙමින් ගලා යන  ඇති රිද්මයක් සහිත ආකර්ෂණීය සිනමා කෘතියකි. මෙම චිත්‍ර‍පටය සිය සිනමා වෘත්තියෙන් සමුගැනීමේ කෘතිය බව සටහන් කරන්නට හුයි අදහස් කරගෙන සිටියද, චුන්ග්ගේ චරිතය නිරූපණය කළ ඩෙනී එල්පී වැනිස් ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය දිනාගැනීම ඇතුළු කෘතිය දිනාගත් වෙසෙසි අවධානය එම තීරණය අනාගතය වෙත තල්ලු කරන්නට හේතු සපයා දුන්නේ ය.

චුන්ග්ගේ රෝගාතුර වීම රොජර් මෙතෙක් සිනමා රූප තුළ සෙවූ ජීවිතයේ අර්ථය සැබෑ දිවිය දෙසට හැරී විමසන්නට ඔහුට හේතු සපයා දෙයි. සිය උදෑසන තේ කෝප්පයේ පටන් සියල්ල නිසි පිළිවෙතකට අනුව සපුරා දුන් ඒ අරුම ගැහැණිය කවුරුන්දැයි ඔහු ජීවිතයේ පළමුවරට හැරී විමසා බලයි. තමන් කුඩා ළදරුවකු අවදියේ පටන් කළ කී දෑ සියල්ල පිළිබඳ මහරු මතකයන් සිත්හි දරාගනිමින්, විවාපත් නොවී සිය තරුණ දිවිය සිය පවුල වෙතම දියකර හරිමින්, කිසිදු අයුරකින් ඒ කිසිවකට මැසිවිලි නොනගමින් තම ජීවිතය හා සමාන්තරව, නිහඬව තමා දෙස බලා හිදිමින්, ගමන් කර ඇති චුන්ග් තව දුරටත්, ජීවිතයේ රෝගී සැඳෑ සමය තුළ මගහැර යා නොයුතු විශිෂ්ඨ ගැහැණියක බව රොජර් වටහා ගනියි. එතැන් පටන් ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් වෙන් වන්නේ චුන්ග්ගේ ජීවිතයේ සතුට සොයා දෙනු පිණිස ය.

මෙහෙකාරියක ලෙස නාමික ව හැඳින්විය හැකි වුවත්, ලියුන්ග් පවුලේ සාමාජිකාවක සමානව ජීවිතය ගත කර ඇති චුන්ග් රෝගී ජීවිතය ඔවුනට බරක් නොවී මහලු නිවාසයක ගත කළ යුතු බව තීරණය කරයි. අනේක විධ මහලු ජීවිත අතර ජීවිතයේ නේක ස්වරූප හඳුනාගනිමින් චුන්ග් ගෙවන ජීවිතය සිය ‘ප්‍රාණසම‘, පුතකු වැනි රොජර්ගේ ඇසුරින් පිරී යයි. සිනමාකරුවකු ලෙස ඔහු නිපදවන සිනමා කෘතියේ මංගල දර්ශනය කෙළවර, අසාර්ථක සිනමා පටය ගැන ඔහු හමුවේ අදහස් දක්වන්නට අකමැති ආරාධිතයින් ඔහු මගහැර පිටව යයි. පාළු වීදි මගෙහි ඔහු හා ඇවිද යන්නට ඉතිරි වන්නේ, මව හා සම තැන තබමින් ඔහු එහි කැඳවූ චුන්ග් ය.

“මම දැක්ක ගොඩක් අය චිත්‍ර‍පටිය මැද්දෙ නැගිටල යනව. මම හිතුව ඒ අය වැසිකිළියට යනව ඇති කියල. ඒත් කවුරුත් ආයෙම ආවෙ නෑ“ චුන්ග් රොජර් විමසන්නේ පාළු වීදියේ ඇවිද යන අතරතුර ය.

“ඒ ගොල්ලො ගියේ චිත්‍ර‍පටිය හොඳ නැති නිසා... මට මූණ දෙන්න අකමැති හින්ද!“

“හොඳ නෑ??? නෑ... ඒක හොඳ චිත්‍ර‍පටියක්!!“


චුන්ග් තුළ වෙසෙන රොජර්ගේ මව පැමිණ රොජර්ව අස්වසාලයි.

පසෙකින්, එක් එක් දිනයන්හිදී මෙලොවින් සමුගන්නා හෝ දුකට පත්ව සිටින මහලු නිවාසවාසීන්ගේ ජීවිත දෙස බලා කම්පා වන චුන්ග් ඒ අතරින් තම ජීවිතයේ වේදනාවන් නසන්නට තමන් සොයා එන රොජර්ගේ දයාබරිත බව හමුවේ සතුටට පත් වෙයි. දිනෙන් දින වියැකෙන ජීවිතය අවසන් වන්නට මත්තෙන් අතීතය පිළිබඳ බොහෝ දේ රොජර් සමග හුවමාරු කරගන්නට ඇයට හැකි වෙයි.

චුන්ග් සහ රොජර්... හොංකොං නමැති කුඩා නගර දේශයේ වීදි මත සරමින් ජීවිතයක වන අරුත අපට පසක් කරන්නට කැමරා කාචයට ඉඩ දෙයි. ‘A Simple Life’ යනු ඔබ මග හැර යා නොයුතු සිනමා වියමනක් වන්නේ ඒ පසක් කොට ගත යුතු ජීවිත අරුත් එම සිනමා රූප මත හිඳ අප දෙස බලා සිටිනා හෙයිනි. 

-      ප්‍රියන්ත ෆොන්සේකා -  

Saturday, November 12, 2016

දුවන්න ලෝලා දුවන්න! (ජීවිත සිනමාව)

(රිවිර සිනමා කොලම- 8)

ලෝලාට සිය පෙම්වතා වන මන්නිගෙන් හදිසි දුරකථන ඇමතුමක් ලැබේ. අපරාධයක් අවසානයේ ලැබුණු මාර්ක් ලක්ෂයක මුදල් බෑගය රැගෙන ඔහුගේ පාතාල නායකයා වෙත ඒ රැගෙන යන්නට ලෝලා නොපැමිණීම හේතුවෙන් උමං දුම්රියක ගමන් කරන්නට මන්නිට සිදුවූ බවත්, හදිසියේම ටිකට් පරීක්ෂකවරයා පැමිණීම නිසා ලහිලහියේ දුම්රියෙන් බැස ගනිද්දී ඔහු අතින් මුදල් බෑගය මගහැරුණු බවත්, දුම්රියේ ගිය හින්නෙකු අතට ඒ පත් වනු ඔහු යාන්තමින් දුටු බවත්, හරියටම මධ්‍යාහ්නය වන විට මුදල් යළි පාතාල නායකයා අතට පත් නොකළහොත් ඔහු මරා දැමෙනු ඇති බවත්, දැඩි ආතතියකින් ඔහු කියාගෙන යයි. මන්නි හා මුදල් බෑගය ගෙන එන්නට යාමට නොහැකි වූයේ ලෝලාට ය. ඒ ඇයගේ කුඩා මෝටර් බයිසිකලය කවරකු හෝ සොරකම් කිරීම හේතුවෙනි. මන්නිගේ අදහස ජීවිතය රැකගනු වස් මුදල මංකොල්ල කන්නට ය. ලෝලාගේ අදහස.... මධ්‍යහ්නයට ඇති විනාඩි විස්ස තුළ කෙසේ හෝ මුදල් සොයා ගනු පිණිස.... දුවන්නට ය!

ඇය දුවන්නට පටන් ගනියි!

1998 වර්ෂයේ එළි දුටු ‘රන් ලෝලා රන්‘ (Run Lola Run) ප්‍ර‍කට ජර්මානු සිනමාකරු ටොම් ටයික්වර් විසින් නිර්මාණය කෙරුණු, ලෝක සිනමා ප්‍රේක්ෂක ආකර්ෂණය දැඩිව හිමි කරගත්, සිනමා පටයකි. සම්මාන 41කට නාමකරණය ලැබ ඉන් 26ක් දිනූ ‘රන් ලෝලා රන්‘ ලෝක සිනමාවේ විශිෂ්ඨතම කෘති සියය අතර සිය නම සඳහන් කරගන්නට 2010 වසරේදී වරම් ලබා ගත් සිනමා පටයකි. සාමාන්‍ය සිනමා කෘතියක අවම ධාවන කාලයටත් වඩා බොහෝ අඩු ලෝලාගේ දිව යෑමේ කාලය වන මිනිත්තු විස්ස තත්‍ය කාලය හා සමානුපාතිකවම අවසන් වෙමින් මිනිත්තු විස්සක් තුළ එහි ආඛ්‍යානය කෙළවරට පැමිණිය ද, කෘතියේ ඇති සුවිශේෂ බව වන්නේ එය යළි එක් සැනෙකදී ආරම්භයට පිවිස යළි ලෝලා මුල් මිනිත්තුවේ සිට දුවන්නට පටන් ගැනීමයි. චිත්‍ර‍පටය පුරා ලෝලා අතිශය සමාන පසුබිම් මතින්, ඉතා කුඩා තත්පරයක දෙකක වෙනසක් මත ඇය මුහුණ දෙන විසල් වෙනස්කම් හා ගැටෙමින්, සිය පෙම්වතාගේ ජීවිතය රැක ගනු වස් දිව යනු අපට පෙනෙයි.

බොහෝ සිනමා ආඛ්‍යානවලින් වෙනස් වන ‘රන් ලෝලා රන්‘ යනු සිය පෙම්වතා වෙනුවෙන් මිනිත්තු විස්සක් තුළ මාර්ක් ලක්ෂයක් සොයාගන්නට පෙම්වතියක දරණ වෑයමක් පමණකදු නොවේ. එය ඉතා කුඩා නිමේෂයකින් අප ඉදිරියෙන් හෝ පසුපසින් අප වෙත හමු වී මැකී යන ක්ෂුද්‍ර‍ අංශු මාත්‍ර‍යකින් හෝ අප මතකයක නොරැඳ‍ෙන සුළු සිදුවීමක් හෝ හමුවන නන්නාඳුනන්නෙක් වුව කෙතරම් දුරට අපගේ ජීවිතයේ ඉදිරිය වෙනස් කරන්නට ඉඩ ඇති දැයි අපට පසක් කර දෙමින්, ජීවිතයේ අරුමය හා අසිරියත් තවත් ලෙසකින් නිස්සාරත්වයත් එකවර හෙළි කරන අපූරු සිනමා පටයකි.

ආසන්නයේම ඇති සුපිරි වෙළඳසැල මංකොල්ල කා සිය ජීවිතය රැකගනු පිණිස මාර්ක් ලක්ෂයක් සොයන්නට මන්නි ගෙන ඇති තීරණය වළක්වන්නට බැංකු නිලධාරියෙකු වන සිය පියා වෙත දුවන ලෝලාට ඒ දිවීම අතරතුර මුණගැහෙන අංශු මාත්‍ර‍ දේවල්, එනම් නිවාස සංකීර්ණයේ පඩි පෙළ මත හමුවන බල්ලකු කැටුව යන මිනිසා, ළදරු කරත්තයක් තල්ලු කරගෙන යන කාන්තාව, පාපැදිකරුවා, සිය මෝටර් රථය හප්පාගත් ඇය හඳුනන මෙයියර් මහතා, වීදුරු තහඩුවක් මග හරහා ඔසවාගෙන යන කම්කරුවන්, වේගයෙන් ඇදී යන ගිලන් රථය ආදී සියල්ල යළි යළිත් මුල සිට ඇරඹෙන කතාව තුළ නැගී ඒ වෙනස් කාල නිමේෂ තුළ දී, එක්කෝ ඇයගේ ගමන දැඩි ලෙස තීරණය කරයි; නැතිනම් ඇයට මග හැරී යයි.

‘රන් ලෝලා රන්‘ ඔබට අන්තර්ජාලය මගින් පහසුවෙන් සොයාගත හැකි සිනමා කෘතියකි. එහෙත් ඔබ එය නැරඹිය යුත්තේ, චිත්‍ර‍පටයේ වේගවත් බව හා සමානුපාත නොවෙමින්, එහි කිසිදු නිමේෂයක් අත් නොහැර, ඉතා සාවධානව ය. ඒ එය සිනමා කාලය හා සමපාත වන ජීවිතයේ යථා කාලයේ මිනිත්තු විස්සක් පමණක් නොවන හෙයිනි.

ලෝලා දිව යන්නේ මූලිකව සිය ජීවිතය මිනිත්තු විස්සකින් උඩු යටිකුරු කරන්නට ඉඩ ඇති අසීමිත අවදානම පරදන්නට ය. එනම් ජීවිතය දිනන්නටය. ජීවිතය යනු තත්පර දශමයක් තුළ දැඩිව වෙනස් විය හැකි අරුමැති දෙයක් බව ලෝලා දිවයමින්ම අපට පසක් කර දෙයි. ඇයගේ මිනිත්තු විස්ස තුළ ඇය යළිත් හැරී මුල සිට දුවන විට ජීවිතය දිවගොස් වැළඳ ගත යුතු, පරාජය හිමි කරගත නොයුතු දෙයකැයි අපට ද පසක් වෙයි.

‘දුවන්න ලෝලා දුවන්න!‘

අපට ද මුර දෙන්නට සිතෙයි. ඒ කුඩා තත්පරයක් තුළ වුවත් ජීවිතයේ අසිරිය සැඟව ඇති බව සිනමා රූපය අපට පවසන හෙයිනි.



-      ප්‍රියන්ත ෆොන්සේකා -  

Friday, November 4, 2016

ආදරයට අලුත් වදනක් (ජීවිත සිනමාව/ රිවිර සිනමා කොලම - 7)




ඇනා සහ ජෝර්ජස් යනු ප්‍රංශයේ ප්‍රධාන නගරයක තට්ටු නිවාසයක දිවි ගෙවන අසූ විය ඉක්මවූ විවාපත් යුවළකි. විශ්‍රාමික පියානෝ ගුරුවරුන් වන ඔවුන්ගේ දියණිය ඊවා විවාහ වී නිවස හැර ගොසිනි. අතීතයේ සිය ශිෂ්‍යයන් ලෙස පියානෝ වාදනයට අත් පොත් තැබූවන් විශිෂ්ඨ වාදකයින් ලෙස ලබා ඇති ප්‍රගතිය දකිමින් සතුටු වන මෙම මහළු යුවළ හුදකලා නිවෙස තුළ එකිනෙකාගේ අවැසියාවන් විමසා බලමින් සිය ජීවිතවල සැඳෑ සමය ගෙවා දමමින් සිටිති. ඉතා සෙමින් ගලා බසින දෙදෙනාගේ ජීවිතයේ අවසන් කාල සමය එක් වරම තියුණු හැරවුම් ලක්ෂ්‍යයක් වෙත පිවිසෙන්නේ එක්තරා දිනයක, උදෑසන ආහාරය සඳහා මේසය වෙත වාඩි වන ඇනා, ක්ෂණිකවම හා නිහඬවම, ආඝාත තත්වයකට මුහුණ දීම සමගිනි. කිසිදු වදනක් නොදොඩා, කිසිදු හැඟීමකින් තොරව, එක් එල්ලයක් දෙස බලා සිටින සිය බිරිඳ ඇනා දකින ජෝර්ජස් ඇය රෝහලකට කැඳවාගෙන යාමට සූදානම් වුවත් මොහොතකින් ඇය පියවි ලොවට පිවිසේ. එහෙත් ඇගේ ශරීරය තව දුරටත් මොළය මගින් නිකුත් කරන විධානයන් නිසි ලෙස ක්‍රියාවට නොනංවන බව දෙදෙනාම වටහා ගනිති.

2012 වර්ෂයේ දී කෑන්ස් සිනමා උළෙලේ පාම් දිඕ සම්මානයත්, ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදේශ භාෂිත චිත්‍රපටය සඳහා වන සම්මානයත් යන සම්මාන ද්විත්වයම දිනාගත් ඔස්ට්‍රියානු සිනමා කතුවර මයිකල් හැනිකේගේ ‘අමොර්‘ (Amour - ප්‍රංශ අරුත ආදරය යන්නයි.) ඇනා සහ ජෝර්ජස් මුහුණ දෙන මෙම ජීවිත සැඳෑ සමයේ වියපතුන්ගේ අභියෝගය විමසන සිනමා කෘතියකි. ලොව විශිෂ්ඨතම සිනමාකරුවන්ගේ ප්‍රමුඛ කෘති ලෙස ගැනෙන ජපාන සිනමාකරු යසුජිරෝ ඕසුගේ Tokyo Story සහ ස්වීඩන සිනමාකරු ඉන්ග්මාර් බර්ග්මාන්ගේ  Wild Strawberries යන නිමැවුම්වලින් අනතුරුව වයස්ගත වීම සහ මරණය සිනමා රූපය ඔස්සේ සාකච්ඡාවට බඳුන් කළ විශිෂ්ඨ සිනමා වියමනක් ලෙස ‘අමොර්‘ විසල් අවධානයක් හිමිකරගෙන ඇත. සෙසු සිනමා කෘති සේම හෝ ඊටත් වඩා ‘අමොර්‘හි වියපත් වීම හා මරණය හා බැඳී ආ අනෙක් ප්‍රමුඛ මානව දහම වූයේ ආදරයයි.

අසනීපය හේතුවෙන් ඇනා රෝහල්ගත කෙරුණු පසු යළි සුවය ලබා ඇය නිවසට එන්නේ රෝද පුටුවකිනි. රෝහල හමුවේ තමන් ලැබූ ඛේදනීය හැඟීම් මඟහරිනු වස් ඇය ජෝරජස්ගෙන් ඉල්ලන්නේ එක් කුඩා නමුත් අපහසු ඉල්ලීමකි. ඒ තමන් යළි කිසි විටෙක රෝහල වෙත ගෙන නොයන ලෙස ය. දියණිය ඊවාගේ මැදිහත්වීම් ද මග හරිමින්, ඇය විමසන සියල්ලන්ගෙන් ඇගේ රෝගී තත්වයේ සත්‍යය වසන් කර තබමින් ජෝරජස් ඇනාගේ ඉල්ලීම ඉටු කර දෙමින් ඇය රැක බලා ගනියි. දිනෙන් දින, සෙමින් වියැකී යන සිය ආදරණීය බිරිඳගේ ජීවිතාපේක්ෂාවන් හමුවේ මහළු ජෝරජස් සංකීර්ණතා රැසකට මුහුණ දෙයි. නිසි ලෙස නොලබන නින්දේ සිට අපිළිවෙල වූ ජීවිතය ඔහු හා සමව බෙදාගන්නට ඇනා ඔහු හා නිරෝගීව පසෙකින් නොසිටීමම ජෝරජස් වෙත ද උදා කරන්නේ පීඩිත කාල සමයකි. එසේ වුවත්, ඒ සියල්ල විඳ දරා ගනිමින්, සිය ආදරණීය ඇනා මනසින් හෝ ශක්තිමත් කරන්නට ඔහු යත්න දරයි.

“දවසින් දවස තත්වෙ ටික ටික හොඳ අතට හැරෙනව!“

ඔහු ඇනාට කියයි.

“මට බලා ඉන්න ඕනෙ නෑ. ඔයා හැමදේම ලේසි කරන්න පුංචි පුංචි ලස්සන වැඩ කරනව. ඒත් මට බලා ඉන්න ඕනෙ නෑ... ඒ මං හින්දමයි... ඔයා හින්ද නෙවෙයි“

“මම ඔයාව විශ්වාස කරන්නෙ නෑ. මම දන්නව ඔයාගෙ හැටි. ඔයා හිතනව ඔයා මට කරදරයක් වෙලා කියල. ඒත් මගේ තැන හිටියෙ ඔයා නං ඔයා මොකද කරන්නෙ?“

“මට මගෙ ඔලුව පිස්සු වට්ටගන්න බෑ ඒව හිතල... මට මහන්සියි. මට නිදා ගන්න ඕනෙ!“

වෙව්ලන, සෙමින් ඇවිද යන, අත් පා නිසි ලෙස හැසිරවිය නොහැකි, තනිකම උරුම වුණු ඇනා සහ ජෝරජස්ගේ ජීවිතයේ මේ අවසන් කාල සමයේ සිදුවීම් පෙළ වියපත් වීම සමග මහළු වී නොයන ආදරයේ අරුමය අපට පෙන්වා දෙයි. සිය ආදරණීය බිරිඳගේ පෙළීම් හා වේදනාවන් සමනය කරන්නට බොහෝ පියවර සොයා යන ජෝර්ජස් ඒ සියල්ල ඉක්මවූ තැන ඇගේ වේදනාවන්ගෙන් ඇය මුදවා ලනු පිණිස ආදරයම මුල් වූ තීන්දුවක් පෙරට කැඳවයි.

ජීවිතය සිනමාවට වඩා බොහෝ විශාල බව සැබෑවකි. එහෙත් සිනමා රූපය අප අභියස තබන ඒ විසල් ජීවිතයෙන් අසුලාගත් කැබලි ජීවිතය කවරේදැයි යළි යළිත් අපට පසක් කරවයි. ‘අමොර්‘ ඒ සිනමා ජීවිත වන්දනාවේ අපූරු නවාතැනකි. එහි තේමාව නැඟෙන්නේ මරණය හා වියපත් වීම මත වුව වියමනෙහි ප්‍රමුඛ ධාරණාව ආදරයයි.

අමොර්! ඒ ආදරයට අලුත් වදනකි.

-      ප්‍රියන්ත ෆොන්සේකා -

-       

  

Sunday, October 30, 2016

දෙව්ලොව දරුවෝ (ජීවිත සිනමාව / රිවිර සිනමා කොලම - 6)


අලී කුඩා නව හැවිරිදි දරුවෙකි. සිය ආදරණීය සත් හැවිරිදි නැගණිය සාරාගේ ඉරිණු සපත්තු යුවළ අලුත්වැඩියා කරගත් විගස ඔහු නිවස කරා දිව යන්නේ පසුදා අලුයම පාසැලට යන්නට නොනිත් ආසාවකින් මග බලා සිටින ඈ සතුටු කරනු රිසියෙනි. අතරමග කුඩා වෙළඳ සැළක අම්මා වෙනුවෙන් අර්තාපල් මිලට ගන්නට නතර වන නිමේෂය ඒ බලාපොරොත්තුව තමන් වෙතින් ඉවත් කරන්නට හේතු සාදනු ඇතැයි ඔහු මොහොතකට හෝ සිතන්නේ නැත. නමුත්, එහි දොරටුව අභියස ඔහු තැබූ නැගණියගේ සපත්තු යුවළ, ඉවත ලන කැඩුණු යුවළකැයි වරදවා ගනිමින්, කසළ එක් රැස් කරන්නා ඒ රැගෙන යාමත් සමග අලී අසරණ වේ. දුර්වරණව ගිය, අණ්ඩ යෙදූ, රෝස පැහැති කබල් සපත්තු ජෝඩුවක්, කුඩා ළමුන් දෙදෙනකු සමග පැමිණ සිනමා තිරය මත ජීවිතය චිත්‍ර‍ණය කරන්නේ ඉන් අනතුරුව ය. ඒ 1997 වර්ෂයේ තිරයට පැමිණ, පසු වර්ෂයේ දී හොඳම විදේශ භාෂීය සිනමා කෘතිය ලෙස ඔස්කාර් සම්මානයට නිර්දේශ වූ, ඉරාන සිනමා කතුවර මජිඩ් මජිඩිගේ ‘දෙව්ලොව දරුවෝ‘ (Children of Heaven) සිනමා පටය තුළ දී ය.

සංස්කෘතික වශයෙන් සහ දේශපාලනික වශයෙන් ද ඉමහත් බාධක හමුවේ වුව, සංස්කෘතික විප්ලව සමයෙන් පසු යුගයේ ඉරාන නව සිනමාව බොහෝ ජයග්‍ර‍හණ හිමිකර ගත්තේ ය. ඒ සමය තුළ විශිෂ්ඨ සිනමා කෘති දායාද කළ අබ්බාස් කියොරස්තාමි, මොහ්සෙන් මක්මල්බාෆ්, ජෆාර් ෆනාහි ප්‍ර‍මුඛ නව සිනමා නිර්මාණකරුවන් අතර මජිඩිට ද හිමිවූයේ  මුල් පෙළ අසුනකි. සංස්කෘතික සීමාවන් අභිබවමින් දේශපාලනික සිනමා නිර්මාණ තනන්නට, සෙසු බොහෝ සමකාලීනයින් මෙන්ම ඔහු ද, ළමා චරිත පෙරමුණට කැඳවී ය. සපත්තු ජෝඩුවක් සොයමින් ඉරාන නගරාවකාශයේ පහළ මධ්‍යම පාන්තික නගරවැසියන්ගේ ජීවන බිම් පුරා දිවයන්නේ එසේ ආ චරිතද්වයක් වූ අලී සහ සාරා ය.

මාසය අවසන සොච්චම් මුදලක් අතට ගෙන නිවසට ගොඩ වදින පියාට සපත්තු ජෝඩුව අහිමි වූ පුවත පවසනු නොහැකිව අසරණ වන අලී සහ සාරා පාසැල් ගමන සඳහා, ඉතිරිව ඇති එකම සපත්තු යුවල වන අලීගේ සපත්තු මාරු කරගනිමින් පැළඳ භාවිතා කරන්නට තීරණය කරති. ඉරාන පාසැල් කාල සටහන්, පිරිමි සහ ගැහැණු දරුවන්ට වෙන් වෙන් පාසැල් කාල වෙන් කර තැබීම සිය අවස්ථාව කරගන්නා සාරා පළමුව පාසැලට ගොස් හැකි වේගයෙන් නිවස කරා දිව එන අතර, මග රැදී සිටින අලී ඒ සපත්තු පැළඳ සිය පාසැල කරා දුවයි. අයියාගේ පාදවලට වඩා කුඩා සිය සිගිති පාදයෙන් ගිලිහී මග හැලෙන සපත්තු නිසා අසරණ වන සාරා සහ නංගීගේ වේගය කෙතරම් වුවත් පාසැලට නිසි කාලයට දිව යන්නට නොහැකිව මුල්ගුරුවරයාගේ උදහසට ලක්ව අසරණ වන අලී ඉරුණු සපත්තු යුවළට වඩා විශාල ජීවන අරගලයක ‘කොලාජ්‘ කැබලි අප අභියස සිතුවමක පරිද්දෙන් එක් කරති. ආගමික හා සංස්කෘතික වශයෙන් වඩාත් එකිනෙක වියුක්ත පරිසරයක වුව ආර්ථිකය මත පදනම් වන ජීවන අරගලයේ ඇති සමීප බව ඒ කොලාජ් රූ මත අපගේ ජීවිතය තබමින් අපට වටහා ගත හැක.

අලී... මේ රස්සාව හරියට කර ගන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් අම්මට හොඳ ශීතකරණයක් අරන් දෙන්න. ඕනෙ කරන බඩු මුට්ටු අරන් දෙන්න. ඇයි... ඒ විතරක් ද.... අපිට පුළුවන්  මීට වඩා ලොකු කුලී ගේකට යන්න.“

චිත්‍ර‍පටයේ එක් අවස්ථාවක, අහම්බෙන් ලැබුණු සති අන්ත රැකියාවක් වන උද්‍යාන අලංකරණ කටයුත්තක් සඳහා ගොස් එන අතරතුර, ලැබුණු මුදලින් සතුටට පත් අලීගේ තාත්තා ඔහු අමතමින් කියයි. තාත්තාට සඟවාගෙන සිටින, ඔහු සිත තුළ රිදුම් දෙන නැගණියගේ සපත්තු යුවළේ කතාව එක් වනම අලීගේ මුවට නංවන්නේ මෙවන් පිළිතුරකි.
ඇයි තාත්තේ... සාරාට හොඳ සපත්තු කුට්ටමක් අරන් දෙන්නත් පුළුවන්නෙ!“

අලීගේ හෝ තාත්තාගේ සිහින තිර කරගන්නට ඉඩ නොදී ඔවුන්ගේ පාපැදිය, තිරිංග නොමැතිව අනතුරකට ලක් වේ.

තියුණු අරගලයක අවසානයේ අලීට මුණ ගැසෙන්නේ පාසැල් අතර පවතින දිගු දුර ධාවන තරගයකි. එය අලීගේ සිහිනයට ඇති දුර, එනම් නැගණියගේ සපත්තු යුවළට ඇති දුර, ඉතා ආසන්න තැනක බව දක්වයි. ඒ එහි ත්‍යාග ලැයිස්තුවේ සපත්තු යුවළක් ද ඇතුළත් කර තැබීමෙනි. එහෙත්, විශාල තෑගි අතර, එක් කෙළවරක වන කුඩා සපත්තු ත්‍යාගය, එහි තුන්වන තැන දිනන්නාට හිමිවන අමතර අංගයකි.

සිය ගණනක් පාසැල් ළමුන් සහභාගි වන තරගයට පාසැල නියෝජනය කිරීමට වරම් දිනන්නට ද අලීට දුෂ්කර මාවතක් හමු වේ. ඉන් ද ජය ගෙන ඔහු තරගයට එන්නේ, සියලු තරගකරුවන් තුළ නොවූ, වෙනස් නමුත් අධිෂ්ඨානශීලී ඉලක්කයක් සහිතව ය. ඒ තෙවැනි තැනයි!

චිත්‍ර‍පටයේ අවසානය, හා ඒ හරහා ලැබෙන ජීවිත පරිඥාණය විඳගන්නට මම ඔබට ඇරයුම් කරමි. මෙය අන්තර්ජාලය ඔබට සොයා දෙන සිතුවමකි. එය විඳීම කැඩුණු කුඩා සපත්තු යුවළකට වැඩි යමක් ඔබට තිළිණ කර දෙනු ඇත.



-      ප්‍රියන්ත ෆොන්සේකා -