Tuesday, July 16, 2019

බස් රථයකදී මුණ ගැසුණු ‘සියඹලා හොරා’

(2019 ජූලි 14 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)



“ආදරණීය අම්මේ... තාත්තේ... අයියේ... අක්කේ...”

බස් රථවල හා දුම්රියවල ගමන් ගන්නා මගීන්ට ඉහත ආමන්ත්‍රණය හුරුපුරුදු ය. උසස් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍ය සංගම් නියෝජිතයින් විවිධ අරගල, අර්බුද හා ක්‍රියාකාරකම් වෙනුවෙන් ‘කැට හොල්ලමින්’ සම්මාදමේ යමින් හෝ ‘ජනතාව දැනුවත් කිරීම’ සඳහා අත් පත්‍රිකා බෙදමින්, පොදුජනයා අමතමින් හෝ පොදු ප්‍රවාහන සේවාවලට ගොඩවැදී මගීන් ඇමතීම ආරම්භ කරන්නේ ඉහත පද පෙළ පෙරමුණෙහි තබමිනි. විටෙක පොදු මගී ප්‍රවාහන සේවාවල ගමන් ගන්නන්ගේ කරුණාවට ලක්ව ඔවුන් අතැති සොච්චම් මුදලකින් අනුග්‍රහය ලබමින් ද, තවත් විටෙක ඔවුන්ගේ උදහසට පාත්‍ර වෙමින්, ‘ඇනුම් බැණුම්වලින්’ ප්‍රතිචාර ලබමින් ද ඔවුන්ගේ ‘මහජන මුණගැසීම්’ කෙළවර වනු බොහෝ දෙනෙකු දැක ඇතුවාට සැක නැත.

මට ඉහත යෙදුමට සමාන වදන් පෙළකින් මා ගමන් කළ බස් රථයේ මගීන් අමතන තරුණයකුගේ හඬ කණ වැකුණේ දැනට සතියකට දෙකකට පෙර මහනුවර නගරයේදී ය. මා ගොඩ වැදී සිටි බස් රථය ඒ වන විටත් මහනුවර සිට පේරාදෙණිය දෙසට ධාවනය වීමට සූදානම්ව තිබිණ. තරුණයාගේ මුල් වදන් කිහිපය, බස් රථයේ මධ්‍යයට වන්නට ආසනයකට බරව උන් මගේ අවධානය දිනා නොගත්ත ද ඔහු ඉන්පසුව කී වදන් හේතුවෙන් හිස ඔසවා ඔහු දෙස බැලීමට මා තුළ පෙළඹීමක් ඇති විය.

“මගේ අතේ තියෙනව පොතක්. මේක ළමා කතන්දර පොතක්. 2016 කෑගල්ල ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවේදි හොඳම ළමා කතන්දර පොත හැටියට සම්මානය දිනුවෙ මේ පොත. පොතේ නම ‘සියඹලා හොරා’. රුපියල් සීයයි වෙන්නෙ. අරගෙන උදව්වක් කරන්න අම්මේ... තාත්තේ... මේ පොත ලිව්වෙ මම!”

තළෙළු පැහැ, කෙසඟ තරුණයකු, වෙහෙසකර මුහුණකින් යුක්තව, පොත් මිටියක් අතැතිව, බලාපොරොත්තු සහගත මුහුණින් බස් රථයේ මගීන් දෙස බලමින් කතා කරනු හිස ඔසවා බැලූ මගේ නෙත ගැටිණ. කිසිදු මගියෙකුගේ විශේෂ අවධානයකට ලක් නොවුණු මේ ‘සම්මානලාභී ලේඛකයා’ බස් රථයේ පසුපසට ඇවිද එත්ම, මවෙතින් රුපියල් සියයේ නෝට්ටුවක් ඔහු වෙත දිගු කෙරිණ. පොතක් මා අත තැබූ ඔහු පසුපසට ඉක්මණින් ඇවිද ගියේ ඒ වන විටත් සෙමින් පිටත් වීම අරඹා තිබුණු බස් රථයෙන් බැස ගැනීමේ උනන්දුවෙනි.

බැස ගිය ඔහු නමින් දනිජු ගුණතිලක බව කෘතියේ කවරය මට කියා සිටියේ ය. පිටු 20ක කුඩා ගත, ඉතා සතුටින්, සිය පියා වන, පොල් කඩා ජීවිතය ගැට ගසාගන්නා සයිමන් සහ මව වන ගුණවතී සමග, ජීවිතය ගෙවන ටිකිරි නමැති කුඩා දරුවකුගේ කතා පුවතක් අප වෙත රැගෙන එයි. සයිමන්ගේ හදිසි වියෝව සහ අනතුරුව අසරණ වන ගුණවතී දැඩි ලෙස ඔත්පල වීම හමුවේ දක්ෂ, කාගේත් හිත් දිනූ දරුවකු වන ටිකිරි (මිතුරන්ගේ ආදරයට මිතූ යන ඇමතුම ද ලද) ‘සියඹලා’ හොරෙන් අහුලා විකුණන්නට තීරණය කිරීම කතාවේ කූට ප්‍රාප්තිය වෙත අප කැඳවා යයි.

දනිජුගේ ‘සියඹලා හොරා’ සම්මාන දිනූ කෘතියක් වුව, නිරතුරුව හමුවන සුලභ ළමා කතා ආකෘතියෙන් වෙනස් වූවක් නොවේ. එහි සරල භාෂා හා ව්‍යාකරණ දෝෂයන් ගණනාවක්ද හඳුනාගත හැකි ය. ඒ එසේ වුව, ලිවීම සඳහා වන උද්යෝගයත්, එය පාඨකයා වෙත ගෙන යාම සඳහා වන කැමැත්තත් දනිජු තුළ ඇත. කෘතියේ වූ අංකයට ඇමතීමෙන්, පසුව ඔහුගෙන් දැනගත් තොරතුරු අනුව, ඔහු මින් පෙර තවත් ළමා කතාවක් ලියා ඇති බවත්, ‘සියඹලා හොරා’ හි දෙවැනි කොටස ‘මිතූගෙ කතාව’ නමින් ලියා ප්‍රකාශයට පත් කිරීමට සූදානම්ව ඇති බවත් දැනගන්නට ලැබිණ.

“මම ඉගෙන ගන්න ගමන් පොත් විකුණනවා. පේරාදෙණියෙ බාහිර උපාධියට ලෑස්ති වෙනවා.” දනිජු දුරකථනය හරහා මට කීවේ ය.

දනිජුගේ ‘සියඹලා හොරා’ කෘතියේ කවරය ඔහු විසින්ම අඳින ලද සිත්තමකින් හැඩ වී ඇත. පෙර කවරය ඇතුල් පස ඔහුට කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දිනූ සහතිකයේ සේයාරුවක් ද වෙයි. තමන්ම ලියා, කවරය ඇඳ, සහතිකයේ පිටපතක් කවරයේ ඇතුළත මුද්‍රණය කරගෙන ඇති දනිජු ‘සියඹලා හොරා’ රුපියල් සියයකට විකුණමින් බසයෙන් බසයට ගොඩ වෙයි. ඒ කෑගල්ලෙන් පැමිණ ය. ඔහුට සහතික පිදූ රාජ්‍යය දනිජු හා ඒ වැනි අනාගත සිහින සහිත තරුණ අංකුර ලේඛක ලේඛිකාවන්ගේ ඉදිරිය ගැන කිසිදු අපේක්ෂාවක් නොදල්වා ඇති නමුත්, කෑගල්ලේ බන්ධනාගාරයේ තවත් ලේඛකයෙක් සිරකොට තබාගෙන නම් සිටියි. ඒ ශක්තික ය!

සිය ළමා කාලයේ අධිකතර දුක් පීඩා විඳි, කළු ඇමරිකානු ලේඛිකාවක, කිවිඳියක හා සිවිල් අයිතීන් පිළිබඳ ක්‍රියාකාරිනියක වූ මායා ඇන්ජිලෝ අවසානයේ සිය වසර අසූහයක දිවිය කෙළවර කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ඉහළතම ඇගයීම් පණහකට අධික ගනනක් ලබා, දිවියේ කටුක, අරගලකාරී අතීතයන් ඔස්සේ දිවගිය ස්ව-චරිතාපදාන හතක් ලියා තබා, කාව්‍ය එකතූන්, රචනා ග්‍රන්ථ කිහිපයක්ම ලොවට දායාද කොට, සිනමා කෘති, ටෙලිවිෂන නාටක, නාට්‍ය නිෂ්පාදන ගණනාවකට දායකව, ඇමරිකානු අධ්‍යයනය පිළිබඳ විශ්වවිද්‍යාල මහාචාර්යවරියක් ලෙස ද සේවය කොට ය. ඒ සියල්ල අපට හමුවන්නේ ගායිකාවක, නාටිකාංගනාවක, නිළියක ලෙස ඇය දැක්වූ දායකත්වයන්ට අමතරව ය. මෑත දිනක වෙනත් කාව්‍ය එකතුවක් සඳහා ඇන්ජිලෝගේ ජීවන වත කෙටියෙන් ලියමින් සිටියදී ඒ වෙත එබුණු මගේ මිත්‍රයෙක් ඇගේ ලේඛණ දිවියට මුල් පියවර තැබෙන්නට දායකත්වය සැපයූ ‘හාලෙම් ලේඛක සංසදය’ (Harlem Writers Guild)  යන නාමය දක්වමින් ‘ලේඛක සංසදයක්….? ඒක මොන වගේ වෙන්න ඇද්ද?’ යනුවෙන් මගෙන් පැනයක් ඇසී ය.

අන්තර්ජාලයට අනුව නම් මෙම ලේඛක සංසදය ඇමරිකා එක්සත් ජනපදයේ පළමු ‘අප්‍රිකානු - ඇමරිකානු’ ලේඛක සංසඳයයි. 1950 දශකයේ ආරම්භ වන එම සංසඳය ඇන්ජලෝ ඇතුළු, පසුකාලීනව ඇමරිකානු සාහිත්‍යය තුළ ජය කෙහෙළි නැංවූ ලේඛක ලේඛිකාවන් රැසකගේ තිඹිරි ගෙය බවට පත්ව ඇත. ඇමරිකා එක්සත් ජනපදය තුළ හමුවන විවිධ ස්වරූපයේ ලේඛක හා සාහිත සංසද අතර ‘හාලෙම්’ එක් නාමයක් පමණක් වන අතර සමානව යුරෝපය හා වෙනත් දියුණු සාහිත සමාජයන් හමුවන රාජ්‍යවල ද මෙවැනි සංසඳ හා එකතූන් බහුලව හමුව ඇති බව හා තවමත් හමුවන බව හඳුනාගැනීම අපහසු නැත.

දනිජු අනාගතය ගැන සිතමින් ‘සියඹලා හොරා’ සමග කෑගල්ලෙන් පිටත්ව බසයෙන් බසයට යන, ශක්තික කෑගල්ලේම බන්ධනාගාරයක ‘ලිවීම’ වරදක් ද යන සැකයෙන් ඇප බලාපොරොත්තුවෙන් මාස ගණනක් බලා සිටින මෙම මොහොතෙහි, ඇන්ජිලෝ පිළිබඳ සටහන ලියන මොහොතේ මගේ කාමර සගයා ඇසූ පැනය එක්ව අසන්නට අවස්ථාවක් බවට පත් කොට ගත හැකි ය.

“අපිටත් එහෙම සංසඳ මෙහෙ තියෙනව නම්…. නේ ද?”

දනිජුගේ කෘතිය පරිසමාප්ත කෘතියක් නොවන බව සැබෑ ය. ශක්තික බන්ධනාගාරගත ව සිටීමට නිමිත්ත සැපයූ ‘අන්තර්ජාල කෙටි කතාවේ’ දුර්වලතා පැවතීමට ඉඩ ඇති බව ද සැබෑ ය. එහෙත් ලේඛක සිහින ඇති, ලිවීම වෙනුවෙන් කාලය කැප කරන්නට කැමැත්තක් ඇති තරුණ තරුණියන් කිසිදු රටක තොග ගණනින් හමු නොවන බව වටහාගැනීම අපහසු නැත. කෘතියක ගුණාගුණ විමසන්නට, එය යොමු කළ හැකි මං පෙත් පුළුල් කර දෙන්නට මෙන්ම රාජ්‍ය මැදිහත්වීමක් නොමැති තැන ඔවුනට ශක්තියක් වන්නටත්, රාජ්‍යයේ මර්දනය එල්ල වන විට ඔවුන් රක්ෂා කරන්නට ශක්තිය සැපයීමටත් හැකි ලේඛක එකතුවක අවැසියාව විමසීමට මේ හොඳම මොහොතකි.

නැතිනම්, දනිජු හෙටත් ‘සියඹලා හොරා’ සමග බසයක මුණගැසෙනු ඇත. ශක්තික කෙනෙකු බන්ධනාගාරයක හෝ වෙනයම් තැනක මර්දන දැලක පැටලෙනු ඇත. ආණ්ඩු ‘සියඹලා නොගෙනෙනම නිසා’ වැරදිකරුවකු ද හමු නොවනු ඇත!

-ප්‍රියන්ත ෆොන්සේකා - 


Thursday, July 4, 2019

ශේක්ෂ්පියර්ගෙන් ‘කෑල්ලක්‘ වෙනුවට...


(2019 ජූනි 30 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)


අද සටහනට මත්තෙන් නුදුරු දිනක මා වෙත හදිසියේ ලැබුණු දුරකථන ඇමතුමක සංක්ෂිප්තයක් ඔබ වෙත තැබීම සාකච්ඡාවට කැඳවීමට අදහස් කරන මාතෘකාවට අවශ්‍ය පසුබිම තනා දෙන බැව් විශ්වාස කරමි. එය පහත පරිදි ය.

“සර්... සර්ට මතකද මාව? මං කතා කරන්නෙ සර්ගෙන් ඉගෙන ගත්ත අහවලා...“

“මොකද මතක නැත්තෙ? ඉතින්? මොකද හදිසියෙම?“

“අනේ සර්... මේ මං වැඩ කරන ඉස්කෝලෙ ඩ්‍රාමා මිස්ට පොඩි උදව්වකට... ශේක්ෂ්පියර් නාට්‍ය පිටපතක් හොයාගන්න බැරි වෙයි ද?“

“මොකක්ද පිටපත? මගෙ ළඟත් එකක් දෙකක් ඇති... යුනිවසිටි ලයිබ්‍රරි එකෙත් ඇතිනෙ...“

“ඔය රජ කතා කීපයක්ම එයා ලිව්වනෙ නේද? මොකක් හරි එව්වැයින් හොඳ එකක්... මේ පාර පාසැල් නාට්‍යවලට අපි කරන්න යන්නෙ ශේක්ෂ්පියර් නාට්‍ය... ඒකයි...!“

“හරියටම පිටපත කිව්වනං මට ලේසියි හොයල දෙන්න. සේරම පරිවර්තනය වෙලත් නෑනෙ...“

“සර් ඔය හොඳ මොකක් හරි එකක් තෝරල දෙන්න... “

මේ මෙවැනි ඉල්ලීම් සහිතව මා වෙත ලැබුණු එකම ඇමතුම නොවේ. පේරාදෙණියේ සේවයට යළි එක්වී ගෙවුණු පසුගිය වසරකට මඳක් වැඩි කාල සීමාව තුළ පාසැල් නාට්‍ය තරග මුල් කරගනිමින්, පිටපත් සොයාගැනීමට, හොඳ ‘ප්ලොට්‘එකක් සොයා ගැනීමට, තරග සඳහා ඉදිරිපත් කරන නාට්‍යවල ‘හොඳ නරක‘ හදා ගැනීමට යනාදී වශයෙන් විවිධ ඇමතුම් කිහිපයක්ම මවෙත ලැබිණි. ඒ බොහෝ ඇමතුම් ‘හදිසි‘ ඇමතුම් වූ අතර, දිනයකින් දෙකකින්, ඉක්මන් පිළිතුරු අපේක්ෂිත ස්වරූපයේ ඇමතුම් විය.

නාට්‍ය ඉතිහාසයේ සශ්‍රීකම සමයක් ලෙස ගැනෙන ග්‍රීක නාට්‍ය සමය පිළිබඳ කතාබහෙහි මූලිකව ගැනෙන්නේ ද ‘ඇතැන්ස්‘ නාට්‍ය උළෙල ප්‍රමුඛ නාට්‍ය තරගයන් ය. යුරිපිඩීස් සහ ඇරිස්ටොෆනීස් ඇතුළු, වසර දෙදහසකට ද ඔබ්බෙන් ජීවත් වූ නාට්‍යකරුවන්ගේ නාට්‍ය උත්සවවලින් ජය හිමිකරගත් නාට්‍ය අතුරින්, පිටපත් ලෙස ආරක්ෂාව ලැබ, දිගු අඳුරු මධ්‍යකාලය ඔස්සේ වත්මන තෙක් සුරක්ෂිත වූ පිටපත් අපි අද සම්භාව්‍ය ග්‍රීක සාහිත්‍යය වෙත තබමින් හදාරමින් ද, අපගේ වේදිකා මත ප්‍රතිනිර්මාණය කොට රස විඳිමින් ද සේවනය කරමු. ගැමි නාටක හෝ සමකාලීන අභිචාර හා බැඳුණු නාටක තරග කොට ජය ලැබ ඇති බවක් නොපෙනෙතත්, ග්‍රීක හා රෝම නාට්‍ය සමයන්හි සිට විවිධ අවස්ථාවල මුණගැසෙන නෙක් ස්වභාවයේ නාට්‍ය උළෙල හා තරග රංග වේදිකා මත සිදු කළ ප්‍රකාශනයන් තවෙකක් පරයා යන්නට තරම් ඉහළින් නිර්මාණය කර ඇති ද යන විනිශ්චයට ද ලක් වෙමින් අද වන තෙක් පැමිණ ඇති බවට සාක්ෂි බොහොමයක් වෙයි.

ලාංකික නූතන නාට්‍ය ඉතිහාසයේ නාට්‍ය බොහොමයක් ද 60-70 දශකවල පටන් වැඩී නැගුණු නාට්‍ය උත්සවවල දී ඇගයුමට පාත්‍ර වූ, තරග කොට ජය ලැබූ, නාට්‍ය බව ඒ නාට්‍යවල වටපිට විමසන විට හඳුනාගන්නට ලැබේ. රාජ්‍ය නාට්‍ය උළෙල හා යෞවන සම්මාන උළෙල වැනි ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය අනුග්‍රහය ලැබෙන නාට්‍ය උළෙලවල සිට ‘දහදිය සිත්තම‘, ‘වේදිකාවෙන් මහ පොළවට‘ වැනි විවිධ සංගම්, වෘත්තීය සංවිධාන, විශ්වවිද්‍යාල යනාදී ආයතන මෙහෙයවන නාට්‍ය උළෙල ද විවිධ ‘සශ්‍රීක මට්ටම්වලින්‘ මෙරට නාට්‍ය බිම වෙත දොර විවර කර ඇති බැව් පෙනේ. රාජ්‍යයේ සෘජු අනුග්‍රහය ලැබෙන නාට්‍ය උළෙල වෙත වැඩි වශයෙන් නාට්‍ය නිෂ්පාදකයින්ගේ ආකර්ෂණයක් ඇති බැව් හඳුනාගැනීම අපහසු නොවන අතරම බොහෝ විට, උළෙල කෙළවර, විනිශ්චයන්හි ගුණදොස් පිළිබඳව වාර්ෂිකව කෙරෙන පසු-විවාද ද හමු නොවන්නේ නොවේ.

ඒ සියල්ල එසේ වුව, පාසැල් සෞන්දර්ය අධ්‍යාපනය තුළ ඉහළ අංකයක් ලැබ ගන්නා නාට්‍ය හා රංග කලාවෙහි ප්‍රමුඛ විමසුම නාට්‍ය තරග විය යුතු ද?

නර්තනය, සංගීතය, චිත්‍ර කලාව යනාදී සෙසු සෞන්දර්ය කලාප වෙත ද මේ පැනයම අදාල වන අතර, මගේ ප්‍රමුඛ අධ්‍යයන ක්ෂේත්‍රයක් වෙත තබා මම මේ සාකච්ඡාව ආරම්භ කරන්නට කැමැත්තෙමි. සෙසු කලාප වෙත සාකච්ඡාව දිගු කිරීම අපට දෙවනුව කළ හැකි ය.

වර්තමානය වන විට නාට්‍ය හා රංග කලාව, වසර කිහිපයකට පෙර පැවති ආකාරය බිඳ හෙළමින්, පාසැල් අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි ඉම් රේඛා පුළුල් කොටගෙන ඇත. එය දැන් අපට හමුවන්නේ පාසැලෙහි හත්වැනි වසරේ සිට අධ්‍යයනය කළ හැකි විෂයයක් ලෙසිනි. එනිසාම නාට්‍ය හා රංගකලාව පිළිබඳ ඇති උනන්දුව අතීතයට සාපේක්ෂව අධ්‍යාපන ලෝකය තුළ ඉහළ ය. නමුත් ඒ කෙලෙසකින් ද?

එක් අතෙකින් එය පාසැල්වල පෙර සිට පැවති සෞන්දර්ය විෂයය ඒකක අතරට පැමිණි අලුත් සාමාජිකයෙකි! දැන් දරුවන්ට නටන්නටත්, ගයන්නටත් නොඑසේනම් අඳින්නටත් ‘බැරි‘ නම් නාට්‍ය විෂයය තෝරාගන්නට පුළුවන. “මම නාට්‍ය කරන්න පන්තියෙ ඉතුරු වුණේ ඉතිරි දේවල්වලට තෝරගත්තෙ නැති නිසා“ යැයි ‘ප්‍රේමී කවි නළුව‘ නමැති විශිෂ්ට කෙටි නාට්‍යයේ ප්‍රධාන චරිතය වේදිකාවක් මත සිටම කියන්නේ මේ සත්‍යයයි. දෙවනුව එය නව ටියුෂන් දොරකි. මෙම විෂයය න්‍යායාත්මක පිළිතුරුවලට අමතරව ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද ඉල්ලා සිටින්නක් වන බැවින් නාට්‍ය රංගනය ආදියට හැකියාවක් ඇති නාට්‍ය ගුරුවරුන්ට දැන් හොඳ ඉල්ලුමක් ඇත. එමෙන්ම විෂයය නිර්දේශවල හමුවන නිර්දේශ නාට්‍ය නිෂ්පාදනය කිරීම හා පාසැල් දර්ශන සංවිධානය කරමින් ඒ දරුවන් වෙත අලෙවි කිරීම මෙහිලා හමුවන තවත් නව කලාපයකි. ඒ හා සමගාමීව නැගී ඇති සිවුවැනි අංකය ඉහළ තරගකාරීත්වයක් ඇති පාසැල් නාට්‍ය තරග උණුසුමයි!

අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට අනුව 2019 වසරේ පාසැල් නාට්‍ය තරග ළමා තේමාත්මක නාට්‍ය, කෙටි කතා පාදක, විශ්ව සාහිත්‍ය පාදක, ඒක-පාත්‍ර නාට්‍ය, ග්‍රීක හා රෝම ප්‍රහසන නාට්‍ය, නූතන නාට්‍යකරුවන්ගේ නාට්‍ය, ෂේක්ස්පියර් නාට්‍ය, සංස්කෘත නාට්‍ය, කතා පුවතක් ඉදිරිපත් කිරීම, ඒකල භාෂණ, යුගල භාෂණ, ගැමි නාටක, අභිරූපණ ලෙස ඉසව් ගණනාවක් ඔස්සේ දිවෙන්නකි. මෙම වසරේ පටන් ඒ සඳහා වන නවතම හඳුන්වා දීම ‘සංසද රංගය‘ නමින් සිංහල යෙදුමෙන් හඳුන්වා දී ඇති Forum Theatre තරග ඉසව්වයි. පළාත් මට්ටමෙන් ඇරඹ, විද්‍යාලයේ වන ශිෂ්‍ය සංඛ්‍යාව මත පදනම්ව හෝ වෙනයම් කාණ්ඩකරණයන් යටතේ වේදිකාගතව විහිදෙන මෙම නාට්‍ය තරග විශාල කාලයක්, ශ්‍රමයක් හා කැපකිරීමක් සමග නැගී ජාතික මට්ටමේ ජයග්‍රාහකයින්ගේ ජයපැන් බීම ඔස්සේ කෙළවර වෙයි.

ශිෂ්‍ය අවදියේ ලැබුණු පාසැල් තරගවලින් ලද පැසසුම් හා ඇගයුම් වින්දෙකු ලෙස පාසැල් නාට්‍ය විෂයයෙහි තරග ස්වරූප අහෝසි විය යුතු යැයි යන සාහසික යෝජනාවක් වෙත යොමුවීම හෝ ඒ තරගාවලි සංවිධානය කරමින් හා මෙහෙයවමින් අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞන්දර්ය නිලධාරීන් සිදු කරන කැපකිරීම් අවතක්සේරු කිරීම වැනි ඉමකට තල්ලු වීම අසාධාරණ බව දන්නා නමුත් ඒ සියල්ල හමුවේ වුව මේ තරගවල වත්මන් ස්වරූපයන්හි ඇති ගැටළු සාකච්ඡාවකට කැඳවීම සෞන්දර්ය අධ්‍යාපනයේ මූලික හැඩරුව තීරණය කරගැනීම සඳහා අත්‍යාවශ්‍ය බැව් හඟිමි.

අසීමිත තරග උණුසුම හා අපේක්ෂා නාට්‍ය හා රංගකලාව පිළිබඳ ද්විතීයික අධ්‍යාපන සමයෙහි ස්ථාපිත කළ හැකි සහ කළ යුතු අදහස වෙනත් මානයක් ඔස්සේ විහිදුවමින් රටෙහි අනාගත පරපුර හමුවේ සෞන්දර්යය යන්න ද තවත් තරග කලාපයක් ලෙස ධාරණය කිරීම මෙම වත්මන් තත්වයෙහි මා දකින බිහිසුණුම අනතුරයි. සෞන්දර්ය කලා සේවනය හා වින්දනය පැවතිය යුත්තේ අධි-තරගකාරීව නැගෙන, එකිනෙකා පරයා යෑම සඳහාම වලිකන සමාජයක් නිවා දැමීම පිණිස වුවත් ඒ කලාපය තුළත් යළි තරගය අධි නිශ්චය වීම නාට්‍යයේ මූලික අපේක්ෂා නසා දමන්නකි. ග්‍රීක-රෝම ප්‍රහසනයක හෝ ශේක්ෂ්පියර් නාට්‍යයක තෝරාගත් කොටසක් ‘අනෙකාට වඩා කදිමෙට‘ රඟ පා දක්වමින් පළමුවැනියා වී තුටු වීම හෝ පරාජය වී දුක්වීමට වඩා ඉහළ වටිනාකමක් ලැබෙන්නේ අදාල කලා ස්වරූප හා චරිත වඩා සියුම් හා තීව්‍ර කියවීමක් හරහා බිහිකර ගැනීමට ඉඩ සොයාගත යුතු සංවේදී සමාජය වෙත ය. සීසර්ගේ නසා දැමීම අභියස මාක් ඇන්ටනිගේ විශ්වය දිනූ ඒකල භාෂණය ‘ටක්කෙටම කියා‘ පළමුවැනියා වීමට වඩා අනගි ජයග්‍රහණය වන්නේ ශේක්ෂිපියරියානු කෘතිය මතු නොව සැබෑ සීසරියානු අතීතය තුළ ද මුණගැසෙන බෘෘටස්ලා හඳුනාගැනීමට තරම් අනාගත පරපුර සවිඥාණික කරවීම ය.

ඒ සඳහා අවශ්‍ය ‘මොකක් හෝ නාට්‍ය කෑල්ලක්‘ නොවේ. ඉතා පිරිපහදු කොට තෝරාගත් පෙළ කියැවීම්, මනා හැදෑරීම් සහිත මාර්ගෝපදේශන සහ දියුණු අනාගත දැක්මකි; සෞන්දර්ය අධ්‍යාපනයේ නිසි යෙදවුම පිළිබඳ පැහැදිලි අදහසකි.

-ප්‍රියන්ත ෆොන්සේකා -


සේයාරුව: http://www.pulse.lk

Thursday, June 20, 2019

මවුනගුරු මුණ(නො)ගැසීම


(2019 ජූනි 16 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

“ලංකාවේ සමාජය හරියට දේදුන්නක් වගේ. අපිට ඒ පාට හතම ඕනෙ. එතකොටයි මේක ලස්සන!”



මේ ප්‍රකාශය මහාචාර්ය එස්. මවුනගුරුගේ මුවින් පිටවූයේ ගෙවුණු සති අන්තයේ ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයනාංශයේ පශ්චාත් උපාධි විද්‍යාර්ථීන් සඳහා සිදු කළ මහරු දේශනය කෙළවර ය. සිය 77වැනි උපන් දිනය පේරාදෙණියේ ලලිත කලා විද්‍යාර්ථීන් හා ආචාර්යවරුන් සමග සැමරූ මහාචාර්ය මවුනගුරු, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී දේශනයක් කිරීමට ඔහු තුළ තිබුණු, දශක 5ක තිස්සේ සැබෑ නොවුණු, සිහිනය සිය උපන් දිනය දා සැබෑ කරගැනීමෙන් පසු කොළඹ බලා යාමට පිටත් විය. ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ නාට්‍ය හා රංගකලා දමිළ භාෂිත විෂයය මාලා හා ප්‍රශ්න පත්‍ර අධීක්ෂණ මණ්ඩලයේ ප්‍රධානියා ලෙස සිය සේවය ලබාදීමට ය.

06 වැනි වසරේ පටන් පාසැලේ අවසන් වසර දක්වා ද, ඉන් ද නොනැවතී විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා ගණනාවක ද නාට්‍ය හා රංග කලාව උගන්වන හා ඉගෙන ගන්නා මෙරට සිංහල භාෂිත නාට්‍ය අධ්‍යාපනය මවුනගුරු භූමිකාව නිසි ඇගයුමක තබා නැත. සරච්චන්ද්‍ර සමයේ පේරාදෙණියේම උගත් සිසුවෙකු ලෙස, ඔහු හා මෙන්ම සෙසු සමකාලීන සිංහල නාට්‍ය ප්‍රමුඛ භූමිකා ඇසුරු කළ හා එක්ව කටයුතු කළ නාට්‍ය ක්‍රියාධරයෙකු ලෙස, මෙරට දමිළ නාට්‍ය කලාව තුළ සරච්චන්ද්‍ර හා සම-භූමිකාවක් රඟ දක්වමින් එහි ප්‍රගමනයට සක්‍රීය දායකත්වයක් ලබා දුන්, තවමත් ජීවමාන මවුනගුරු ‘දේශීය’ නාට්‍ය භාවිතය තුළ දැන හඳුනාගැනෙන්නේ ද අඩුවෙනි.

සරච්චන්ද්‍ර සමයේ පේරාදෙණියේ (එවකට යුනිවර්සිටි ඔෆ් සිලෝන්හි) සේවය කළ, පසුකාලීනව යාපනය විශ්වවිද්‍යාලයේ පළමු උපකුලපතිවරයා වූමහාචාර්ය එස්.විද්‍යානන්දන්, මෙරට විශ්වවිද්‍යාල කිහිපයකම මෙන්ම ස්වීඩනයේ උප්සලා, ඉන්දියාවේ මදුරාසි සහ දිල්ලි මෙන්ම එංගලන්තයේ කේම්බ්‍රිජ් යන විශ්වවිද්‍යාලවලද සේවය කළ මහාචාර්ය කේ. සිවතම්බි සහ ශ්‍රී ලංකා විශ්විද්‍යාලයීය (පසුව යාපනය විශ්වවිද්‍යාලය බවට පත් වුණු)  යාපන මණ්ඩපයේ සභාපතිවරයා වූ මහාචාර්ය කේ.කයිලාසපති යන ප්‍රධාන චරිත ත්‍රිත්වය නූතන දමිළ නාට්‍ය කලාවේ ප්‍රමුඛතමයන් වද්දී අද වන විටත් සක්‍රීය දායකත්වයක් දමිළ නාට්‍ය කලාව වෙත ලබා දෙමින් ඒ පෙරට විහිදුවන විද්වත් චරිතය මහාචාර්ය මවුනගුරු ය. මහාචාර්ය සරච්චන්ද්‍රඅතින් නිමැවෙන ‘මනමෙ’ සහ ‘සිංහබාහු’ ප්‍රමුඛ ශෛලිගත සම්ප්‍රදායේ ප්‍රධාන නාට්‍ය ධාරාවට සුහුරු ආලෝකයක් සැපයූ දමිළ නාට්‍ය කලාවට අයත් ‘කූත්තු’ නාට්‍ය සම්ප්‍රදාය භාවිතයට කැඳවමින් ඒ හරහා දමිළ ශෛලිගත නාට්‍යයේ මෑත හැඩතල තනන්නට මුල් තැන ගන්නේ ද මහාචාර්ය මවුනගුරු ය.

රාවණ පුරාවත යළි විමසමින් විසි දෙවැනි වියේ දී, ප්‍රධාන රාවණ චරිතයටද පණ පොවමින්, තරුණ මවුනගුරු නිර්මාණය කරන ‘රාවනේසන්’ නාට්‍යය ‘කූත්තු’ සම්ප්‍රදාය තුළ ද රැඳෙමින් සිදු කළ, ‘මනමෙ’ හා සමාන්තරව තැබිය හැකි ශ්‍රී ලාංකේය දමිළ නාට්‍ය නිර්මාණයකි. ‘මනමෙ’ රඟ දැක්වී වසර 9කට පසු ‘රාවනේසන්’ මුල්වරට රඟ දැක්වෙන්නේ ද පේරාදෙණියේ දී මය. දේශපාලනික පෙරළි හා සිවිල් යුද්ධය දමිළ ජන ජීවිතය වෙනස් මං පෙත් ඔස්සේ ගෙන යද්දී සමානුපාතිකව මහාචාර්ය මවුනගුරු ද සිය නාට්‍යය යළි යළිත් ප්‍රති-රචනා කරමින් නවමු කියවීම් හරහා සමාජ විවරණයන්ට ඉඩ සළසාගෙන ඇත්තේ ‘මනමෙ’ සහ ‘සිංහබාහු’ නාට්‍ය ද්විත්වයේ මූලික හැඩතල දශක 6ක් තිස්සේම ඒක රේඛීයව දිවෙද්දී ය.

“83න් පස්සේ වැඩි දෙනෙක් රට දාල ගියා. මම ලංකාවෙ නතර වුණා. සිද්ධ වෙමින් පැවතුණු දේවල් එක්ක මම පර්යේෂකයෙක් හැටියට රාවණා චරිතය වගේම සාම්ප්‍රදායික දමිළ කූත්තු නාට්‍ය ගැන නැවත විමසලා බැලුව. 2000 වෙද්දි මම රාවණ චරිතය ගොඩ නැගුවෙ ගොඩක් මානුෂික චරිතයක් විදිහට. ඔහු යුද්ධයක් ආරම්භ කළා වුණත් යුද්ධයේ විනාශය දැකල ඒකෙන් එළියට එනව!

ඒත් එක්කම මම දැක්කෙ මේ කතන්දර පිරිමින්ගේ කතා විදියට. යුද්ධයේ දී විවිධ පැතිවලින් දැඩිම පීඩාව විඳින්නෙ ගැහැණිය. ඒ ගැන කතා කරන නාට්‍යයේ ඉන්නෙ පිරිමියා. රාවණාගෙ කාලෙ ඉඳන් ප්‍රභාකරන්ගෙ, රාජපක්ෂගෙ කාලෙට එනකම්ම මේව පිරිමින්ගෙ ජයග්‍රහණ එක්ක පරාජයන් ගැන කතා!”

මහාචාර්ය මවුනගුරුගේ මෙම අදහස් ඔහු වසර කිහිපයකට පෙර ‘ඩේලිඑෆ්ටී’ පුවත්පත වෙනුවෙන් තුලාසි මුත්තුලිංගම් ලියූ ලිපියක් සඳහා පළ කළ ඒවා ය. අපට පසුගිය සතියේ මුණගැසෙන්නේ ඒ අදහස් තව දුරටත් මනුෂ්‍යත්වය වෙතම යොමු කළ, පරිණත විද්වතෙකි; හෘදයාංගම මිනිසෙකි; අදහස්වලින් වියපත් නොවූ ‘තරුණයෙකි’!

ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව හෝ දේශීය නාට්‍ය කලාව යන යෙදුම සිංහල නාට්‍ය කලාව යන යෙදුමට වඩා වැඩි භාවිතයක පැවතිය ද පාසැල් හා/හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපන කලාප තුළ, වෙසෙසින් සිංහල මාධ්‍ය ප්‍රධාන ධාරාවේ දී, දමිළ නාට්‍ය භාවිතය සාකච්ඡාවට ගැනෙන්නේ ‘පිටුවකට දෙකකට’ සීමාකොට තබමිනි. ඒ ග්‍රීක, රෝම සහ මධ්‍යකාලීන නාට්‍යය හරහා වත්මන්, සමකාලීන ප්‍රවණතා පිළිබඳ දිගු සංවාද අතර සඟවා තබමිනි. සොෆොක්ලීස් සිට දාරියෝ ෆෝ හරහා බොආල් තෙක් නාට්‍යකරුවන් ද, ‘ඊඩිපස්’ සිට ‘සංවාද මණ්ඩප රංගයන්’ දක්වා නාට්‍ය හා ප්‍රවණතා ද හඳුනන තරම් ප්‍රබලව අප ‘කූත්තු’ හා/හෝ ‘රාවනේසන්’ ද, විද්‍යානන්දන් හා/හෝ මවුනගුරු ද හඳුනන්නේ නැත.

“83න් පස්සෙ දෙමළ නාට්‍ය යාපනේට තල්ලු වුණා. හොඳ දෙමළ නාට්‍ය ඉන් පස්සෙ කොළඹ හැදුණෙ නෑ. හැබැයි යාපනේ හැදුණ. යාපනේ නාට්‍ය කරන්න ඇති තරම් ප්‍රශ්න තිබුණ... අපේම ප්‍රශ්න. නොතිබුණේ වේදිකා, පසුතල, ආලෝකය වගේ වටේ දේවල්. අපි කළේ අතුරේ යනව වගේ වැඩක්. අපි හදන නාට්‍යවල ඇත්ත තේමාව තේරුණොත් එල්ටීටීඊ එක අපිව මරා දමන්න උනත් ඉඩ තිබ්බ. අපි හංගල ගැහුව.... මහ දවල් පෙන්නපු නාට්‍යවල අපි අපේ ගැටළු සාකච්ඡා කළා. කොළඹ තිබුණු සිංහල නාට්‍ය, උතුරා ගියපු තාක්ෂණයක් එක්ක තිබුණත්, කොයිතරම් දේශපාලනික වුණා ද කියන ගැටළුව අපට තිබුණ.

ඔබ උරණ වුණත්, විරුද්ධ වුණත් මහාචාර්ය සිවතම්බි වතාවක් කිව්ව කතාවක් මට කියන්න අවසර දෙන්න. ඔහු කිව්ව ‘සිංහල නාට්‍ය සුරුවම් නැති අලංකාර දේවාල වගේ කියල. දෙමළ නාට්‍යවල සුරුවම් තිබුණට කිසිම අලංකාර දේවාලයක් ඒ වටේ නෑ කියල’ එයා කතා කළේ තේමාවන් ගැන. බිහිසුණු යුද්ධයක් මැද්දේ අපේම කතා අපේ නාට්‍යවලට තිබුණ!”

මෙරට වේදිකාව පිළිබඳ ඉහත අදහස සීමාව ඉක්මවූ දරුණු විචාරයකැයි යමෙකු තර්ක කරන්නට ඉඩ ඇතත්, 30 වසරක සිවිල් යුද්ධයක බිහිසුණු බව, පරාජිත තරුණ අරගල දෙකක ඛේදනීය බව පිළිබඳ සාකච්ඡා කළ සිංහල නාට්‍ය සංඛ්‍යාව ගැන බලන්නැයි ඔහුට ආරාධනා කරමින් මහාචාර්ය සිවතම්බි දෙසට යම් නැඹුරු ඉසව්වක සිට ගන්නට මම කැමැත්තෙමි. අපට තවමත් ලක්ෂ ගණනක් වූ වස්තු බීජ මග හැරී ඇත. එයින් යම් කොටසක් ආලෝකය, සැරසිලි ඇතුළු මූලිකාංග නොමැතිව වුව ගෙන ආ දමිළ නාට්‍ය භාවිතය අත හැරී ඇත.
මහාචාර්ය සරච්චන්ද්‍ර මෙන්ම මහාචාර්ය මවුනගුරු ද එකිනෙකා පරයා නොයන පරිදි ස්වකීය භූමිකා තුළ, සිය භාෂා කලාප තුළ වෙසෙසි දායකත්වයන් ලබා දෙමින්, කටයුතු කළ ප්‍රාමාණික විද්වතුන් දෙදෙනෙකි.

“අපි දෙමළ සමාජයට ලංකාවේ නාට්‍ය ගැන උගන්නද්දි කියල දෙනව සරච්චන්ද්‍රගෙ ඉඳන් හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන, සුගතපාල ද සිල්වා, ධර්මසිරි බණ්ඩාරනායක වගේම පරාක්‍රම නිරිඇල්ල හරහා වැදගත් හැමෝම ගැන. සිංහල නාට්‍ය සාකච්ඡාව ඇතුළෙ දෙමළ නාට්‍ය ගැන මොනවද කතා කරන්නෙ?”

මහාචාර්ය මවුනගුරු අසන ප්‍රශ්නය මගහැර යා නොහැකි, වහා පිළිතුරු සෙවිය යුතු පැනයකි.

-ප්‍රියන්ත ෆොන්සේකා - 



Tuesday, June 11, 2019

කඳුළු මුතු ඇට කන්ද මත සිට...


(2019 ජූනි 09 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

“ගුරුතුමා මගෙ කතාවට ‘බ්‍රාවෝ‘ කියල දාල එවල!“

“බ්‍රාවෝ කියන්නෙ?“

“ඉතාලි බාසාවෙන් දක්ෂයා කියන එකට!“

“දැන් මොකක්ද ඔයා ලියපු කතාව?“

“එක මනුස්සයෙක් ඉන්නව, එයා අඬද්දි කදුළු සේරම මුතු කැටවලට හැරෙනව.... අන්තිමේ දවසක් එයා වාඩිවෙලා ඉන්නව මුතු කැට කන්දක් උඩ. පිහියකින් ඇනපු එයාගෙ බිරිඳගෙ මළ කඳ එයාගෙ අත් දෙක උඩ!“

“ඒ කියන්නෙ එයා එයාගෙම බිරිඳව මරල ද?“

“ඔව්“

“ඇයි ඒ? මුතු ඇට කන්දක් පිරෙනකම් කඳුළු එන්න අඬන්න?“

“ඔව්“

“ඇයි එයා බිරිඳව මරල දැම්මෙ? එයාට තිබ්බනෙ ලූණු ගෙඩියක් පොඩි කරන්න!!!“

මේ අවුරුදු 10-12 අතර කුඩා දරුවන් දෙදෙනෙකු අතර සිදුවන දෙබසකි. දෙබසෙහි කතා රචකයා අමීර් ය. ප්‍රශ්න අසන්නා හසන් ය. දෙබස මුණ ගැසෙන්නේ ‘සරුංගල් ලුහුබඳින්නා‘ ලෙස සිංහලයට ද නැගුණු, කලීඩ් හුසෙයිනිගේ ‘The Kite Runner’ කෘතිය ඇසුරින් නිපදවුණු, එනමින්ම යුතු චිත්‍රපටයේ දී ය. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මාක් ෆොස්ටර් ය.



‘The Kite Runner’ ලියන කලීඩ් හුසෙයිනි ඇෆ්ගනිස්ථාන ජාතිකයෙකි. 1965 වසරේ දී කාබුල් නුවරදී උපත ලබන ඔහු, විදේශ සේවයේ නියුතු සිය පියාගේ රැකියා ස්ථාන මාරුවීම් හේතුවෙන් ළමා කාලයේ දීම ඉරානයටත් පසුව ප්‍රංශයටත් යන අතර, 1978 දී නැගෙන ඇෆ්ගන් අප්‍රේල් විප්ලවය හා අනතුරුව 1980 දී ඇරඹෙන රුසියානු- ඇෆ්ගනිස්ථාන යුද්ධය හේතුවෙන්, සරණාගතයකු ලෙස, සිය පවුලේ සාමාජිකයින් සමග, ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වෙයි. ප්‍රබන්ධ රචකයෙකු ලෙස විශ්ව සාහිත්‍ය ලෝකයේ අවධානය දිනාගනිමින් ඔහු ලියන ඔහුගේ පළමු නවකථාව වන ‘The Kite Runner’හි කථා නායකයා වන ‘අමීර්‘ ද මෙම යුද්ධය හේතුවෙන් පකිස්ථානය හරහා සරණාගතයකු ලෙස ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වන්නෙකි. ඉංග්‍රීසි වදනකුදු නොදැන ඇමරිකානු බිමට පය තබන කලීඩ් හුසෙයිනි පසුකලෙක වෛද්‍ය වෘත්තිකයෙකු ලෙස එරට සේවය කරමින් ‘The Kite Runner’ ලියද්දී එහි කතා නායකයා වන අමීර් සිය අධ්‍යාපන කටයුතු කෙළවර කොට සෘජුවම ප්‍රබන්ධ රචනය ආරම්භ කරයි. වෛද්‍ය වෘත්තිය අතැර කලීඩ් හුසෙයිනී පොත් ලිවීම සිය වෘත්තිය බවට පත් කරගන්නේ ‘The Kite Runner’ විසල් අවධානයකට පත්ව, ඔහු දක්ෂ රචකයෙකු ලෙස පිළිගැනීමක් ලැබුණු පසුව ය.  

කලීඩ්ගේම ළමා වියේ ඡායා මාත්‍රයක් ද ලෙස පෙනෙන අමීර්ගේ ළමා විය ‘The Kite Runner’ තුළ දී ඇෆ්ගන් අතීතයේ සමාජ හා දේශපාලනික මෙන්ම ආගමික අර්බුද අප අභියස තබයි. අමීර්ගේ පියා කාබුල් නුවර වෙසෙන ධනවතෙකි. ඔහු ‘පාශුතානයෙකි‘. පාශුතාන් යනු ඇෆ්ගනිස්ථානයේ ඉහළ ඇගයීම ලැබූ, පාර්සි නැතිනම් පාශ්තෝ බස කතා කරන ජනවර්ගය නියෝජනය කරන්නෙකි. පොදු ප්‍රවර්ග කිරීම අනුව ඔවුන් සුන්නි මුස්ලිම්වරුන් ය. අමීර්ගේ මිතුරා, නොඑසේනම්, ඔහුගේ නිවසෙහි සේවකයාගේ පුත්‍රයා වන හසන් අයත් වන්නේ හසාරා ජන වර්ගයට ය. ඔවුන් ඇෆ්ගනිස්ථානයේ තුන්වන විශාල ජනවර්ගයට අයත්, ධාරි බසින් පැන නගින හසරාගි බස වහරන්නන් ය. ඔවුන්ගේ නිජබිම් ඇෆ්ගන් කඳුකර බිම් ඔස්සේ විහිද පවතියි. පොදු ප්‍රවර්ග කිරීම අනුව ඔවුන් අයත් වන්නේ ෂියා මුස්ලිම්වරුන්ගේ කුලකයට ය.

තමන් වෙනුවෙන් ‘දහස් වරක් වුව දිව යන්නට සූදානමින්‘ සරුංගලයක් ලුහු බැඳ යන, තමන්ට ප්‍රාණසමව සළකන හසන්, ඔහුගේ පැතලි දිගු නාසය ඇතුළු හසාරා ලක්ෂණ හේතුවෙන් අසීෆ් ඇතුළු කොලු නඩයක පහර කා, ලිංගික හිංසනයකට ද ලක්වද්දී, එය රහසේ දකින අමීර්, ඔහු බේරා නොගෙන පළා යයි. දෙවනුව, සිය සිත පතුලෙන් නැගෙන වරදකාරී හැඟීම මැඩගත නොහී සිය සුමිතුරා නොකළ වරදකට පටලවමින් නිවසින් ද පිටව යන තැනට කරුණු සළසයි. එහෙත් උතුරු ඇමරිකාවේ සැන් ෆැන්සිස්කෝවේ ජීවත් වෙමින්, නව සහස්‍රයේ බිහිදොර අභියස දී ද ඔහුට ඒ වරදින් මිදී යා නොහැක.

සිය පියා මිය ගොස් දිගු කළකට පසු, ඔහුගේ මිතුරකු වන රහීම් ඛාන්ගෙන් ලැබෙන ඇමතුමක් අනුව යළි පාකිස්ථානයට එන අමීර්ට අසන්නට ලැබෙන්නේ ඔහුගේ වරදකාරී හැඟීම තියුණු ලෙස තව දුරටත් නංවන පුවතකි. ඒ අනුව, කුඩා කළ තමා සමග දිව ගිය, සරුංගල් ලුහුබැඳි හසන් යනු සිය පියාට දාව, නිවසේ සේවකයාගේ බිරිඳට ලැබුණු පුතෙකි; එනයින් ඔහුගේම සොහොයුරෙකි! සත්‍යය අමීර් හමුවන එන විටත් හසන් සහ ඔහුගේ බිරිඳ කාබුල් වීදියක තලේබාන්වරුන් විසින් එල්ලා මරා දමනු ලැබ කලක් ගොසිනි!
අමීර්ට සිය හදවත වෙතින්ම සමාවක් නොලැබෙන අතීත වරද ඔහු නිවැරදි කරගන්නට යත්න දරන්නේ බිහිසුණු තලේබාන් පාලනයට නතුව ඇති කාබුල් නගරයට යළි පිවිස හසන්ගේ පුතු සොයාගැනීම හරහා ය. දරුඵල අහිමි තමන් හා බිරිඳ වෙත, සැන් ෆ්‍රැන්සිස්කෝව වෙත, රැගෙන යාම සඳහා ය.

ඇෆ්ගන් දේශපාලනික අර්බුද හමුවේ සිය ළමා කාලයේ සරුංගල් ලුහුබඳිමින් දිවූ කාබුල් නගර වීදි අතැර වෙනත් රටවල් බලා සංක්‍රමණය වූ සමස්ථ ඇෆ්ගන් වැසියන්ගේ හද දවන වේදනාව කලීඩ් හුසෙයිනි අකුරු කරද්දී කෘතිය තුළින් (හා සිනමා පටය තුළින්) නැගෙන අමීර් එය සහෘද අප වෙත තබයි. එපුවත යළි මෙබිම අද නැගෙන සෝබර පුවත් හා අතිපිහිත කර බැලීමේ වගකීම අප සතු ය. අපේ රට තුළ මුණගැසෙන ‘අමීර්ලා, හසන්ලා මෙන්ම කලීඩ් හුසෙයිනිලා‘ ද දිගු වේදනාවන් වෙත තල්ලු කර හරිමින්, එයින් සුළුතරයක් හෝ අන්තවාදී අදහස් වෙත ද යොමු කරවමින් අපම අප රට නගර සහ ග්‍රාමයන් ‘තලේබානු පන්නයේ‘ බිමක පිහිටුවා ගන්නේ ද යන්න විමසීම ද අප සතු ය.

ජීවිතය සැමවිටම සිනමාවට වඩා විශාල එකකි. එබැවින් එහි මුණගැසෙන දෝමනස්සයන් ද විශාල ය; තියුණු ය; එමෙන්ම බිහිසුණු ය. ස්විස් ජාතික සිනමාකරු මාක් ෆොස්ටර් හොලිවුඩය වෙනුවෙන් 2007 වර්ෂයේ දී කලීඩ් හුසෙයිනිගේ ‘The Kite Runner’ සිනමාවට නගද්දී එහි ප්‍රධාන භූමිකා රඟන්නට ආරාධනා ලබන්නේ තුර්කි හා ඉරාන ජාතික නළුවන් ය. එනමුත්, එහි අමීර්ගේ සහ හසන්ගේ ළමා චරිත සඳහා අවස්ථා ලැබගන්නේ ඇෆ්ගනිස්ථානු ළමා නළුවන් ය. ඒ, අමීර් ලෙසට සෙකේරියා ඒබ්‍රාහිමි සහ හසන් ලෙසට අහමඩ් ඛාන් මහ්මූද්සාදා යන දරුවන් දෙදෙනාට භූමිකා නිරූපණ අවස්ථා හිමිකර දෙමිනි. තලේබාන් පාලනය උග්‍ර ලෙස විවේචනය කෙරෙන සිනමා කෘතියක රඟපෑම හේතුවෙන් ඔවුන් මුහුණ දෙන තර්ජනය හමුවේ ඇමරිකානු චිත්‍රපට සමාගම ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කරගැනීමටත් අධ්‍යාපනය සඳහාත් වැඩිහිටි විය එළඹෙන මොහොත දක්වාම ඔවුන්ට වියදම් කිරීමට එකඟ වුවත්, සෙකේරියාගේ ඉල්ලීම පරිදි, සැබෑ අමීර්ට මෙන්, ඔවුන්ට ‘සුරක්ෂිත දේශය‘ වූ ඇමරිකා එක්සත් ජනපදයට යාමට වරම් හිමිවන්නේ නැත. සෙකේරියා සහ අහමඩ් මෙන්ම සොරාබ් නමැති  හසන්ගේ පුතුගේ චරිතයට පණ පෙවූ අලි දිනේෂ් යන තිදෙනම ඔවුන් යළි පදිංචි කරවන්නේ එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ ය.

සිවු මසක ඇවෑමෙන් යළි කාබුල් නුවරට එන සෙකේරියා තලේබාන් තර්ජන හමුවේ නිවස තුළටම කොටුවන අතර යළි කිසිදු දිනක සිනමා පටයක පෙනී නොසිටින බව සපථ කර සිටියි. අහමඩ් ද සිය පවුලේ සාමාජිකයින්ගෙන් දුරස්ව දිවි ගෙවීමට නොහැකිව (සෙසු අයට වීසා නොමැති වීම හේතුවෙන්) දෙවසරකට පසු කාබුල් නුවරට පෙරළා පැමිණෙන අතර හසාරා ජාතිකයෙකුගේ චරිතය දුර්වලයෙකු ලෙස පෙන්වීමට දායක වීම හේතුවෙන් හසාරා (ෂියා) මුස්ලිමුන්ගෙන් ද, පාශුතානයින් කුරිරු පුද්ගලයින් ලෙස දැක්වීම නිසා පාශුතාන (සුන්නි) මුස්ලිමුන්ගෙන් ද තර්ජන ලැබ, ස්වීඩනයට පළා යයි. ඒ සරණාගතයකු ලෙසිනි.

කලිඩ් හුසෙයිනිලාගේ ද, ඔහු ‘The Kite Runner’ හරහා අප වෙත ගෙන ආ ‘අමීර්ලාගේ සහ හසන්ලාගේ‘ ද, ඒ තිරය මත ප්‍රතියමාන කළ සෙකේරියා සහ අහමඩ්ලාගේ ද ජීවත පුවත් එබඳු ය. ඉස්ලාම් ලෝකය අප මෙරට වරනගා ගන්නා ආකාරයේ පැතලි, ඒකමානීය වූවක් නොවේ. මුසල්මානුවකු වූ නිසාම ඕනෑම අයෙකු එහි සුරක්ෂිත ද නැත. අපට ‘The Kite Runner’ කියවා හෝ නරඹා වටහාගත හැක්කේ මෙම පුළුල් විෂමතා සහිත පසුබිමයි. කැඳවිය හැක්කේ ඒ විෂමතා ඉක්මවූ මිනිස්කමයි. ඒ වෙනුවෙන් වැඩිහිටි හසන් කියූ බවට චිත්‍රපටයේ කියැවෙන වදන් පෙළක් ඔබ වෙත අවසාන වශයෙන් තබමි.

“මම හීන දකිනව මගෙ පුතා හොඳ දරුවෙක් වෙනව දකින්න. නිදහස් දරුවෙක් වෙනව දකින්න. මම හීන දකිනව දවසක ඔයා ආපහු අපේ මව්බිමට, අපි සෙල්ලම් කරපු, දුව පැනපු බිමට එනව දකින්න. මම හීන දකිනව ආයෙමත් මල් පිපෙන, සරුංගල් අහසේ ඉගිලෙන කාබුල් නගරයක් ගැන!“

-ප්‍රියන්ත ෆොන්සේකා -