Tuesday, April 20, 2021

ඇන්ටික් කඩවලට වී නොමැරී සිටීම: හඳගමයානු බහු-ආඛ්‍යාන


  (2021 අප්‍රේල් 03 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි.)

මෙම සටහනම නොවෙතත්, ‘ඇන්ටික් කඩයක මරණයක්’ හා සබැඳුණු තරමක සමාන සටහනක් පසුගිය සතියේ මෙම තීරුව සඳහා ලියා අවසන් වෙමින් තිබිය දී පරිගණකය විසින් එය අතුරුදන් කෙරුණේ ඉඳහිට පරිගණකවල නැගෙන යාන්ත්‍රික දෝෂ දෙසට වගකීම දමමිනි. හඳගමගේ ‘ඇන්ටික් කඩයක මරණයක්’ සඳහා ආවේශය සපයන, ඔහුගේ සිනමා කෘතියක් වූ ‘අක්ෂරය’ ද ඉතා දිගු කලක් වෙනත් දෝෂ දර්ශන තුළ බහා අතුරුදන් කොට ඇති පසුබිමක ඔහු ‘ඇන්ටික් කඩයක මරණයක්’ සමග පැමිණීමට ගරු කරමින් යළි, සතියක් තුළ තව දුරටත් නැගුණු සිතුවිලි සමගින්, එම කෘතිය පිළිබඳව ලියූ සටහන වෙතම රැඳෙන්නට සිතුවෙමි.

හඳගමගේ කෘති තුළ ඔහුට ආවේණික ලක්ෂණ වෙයි. වරෙක ‘මේ මගේ සඳයි’ පිළිබඳ සංවාදයක දී ඔහු කියා තිබුණේ ‘මට සිනමා භාෂාවක් නැතැයි’ යනුවෙනි. ඒ සමස්ථ චිත්‍රපටයම ස්ථිතික රූප රාමු තුළ බහාලමින්, චරිත රාමුව තුළට ගෙන එමින් හා පිට කරමින් ඔහු සිදු කළ තිබුණු ‘අමුතු’ හරඹය විමසූ විට ය. එහෙත්, භාෂාවක් නැති බව කී විගසම, ඔහු නව භාෂාවක් සිය ප්‍රකාශනය සඳහාම තනා ඇති බව හැඟවෙයි. හඳගමගේ නිර්මාණ, මේ හඳගමයානු භාෂා ලක්ෂණවලට ගරු නොකරන සහ නොපිළිගන්නා අවකාශ තුළ ආන්තික කලාප වෙත කෙසේ වුව, කේන්ද්‍රීය සාකච්ඡාවෙන් ඔබ්බට හෝ, තල්ලු කොට දැමෙන්නේ එහෙයිනි. නඩු විනිශ්චයන්, තහනම් කිරීම්, විරෝධතා සියල්ල පසුපස මේ ඔහු තනාගන්නා ස්ව-භාෂා ලක්ෂණ හා අඩු වැඩි වශයෙන් බැඳෙයි.

කෙසේ වෙතත්, හඳගම වේදිකාවට බසින්නේ දශක ගණනකට පසුව ය. සිය පළමු වේදිකා නිර්මාණ කිහිපයෙන් පසු, ටෙලි නාට්‍ය සහ සිනමා කෘති හරහාම සිය ප්‍රකාශන අප වෙත තැබූ හඳගම යළි සිය පුනරාගමනය සඳහා දොරටුව තනාගන්නේ ද සිනමා කෘතියකම පශ්චාත් කතාපුවතයි. ඒ අනුව, එක්තරා දුරකට මෙය සිය සිනමා කෘතිය වූ ‘අක්ෂරය’ බිත්තියට හේත්තු කිරීමට ඔහු පෙරළා දුන් ප්‍රති-ප්‍රහාරයක් වැනි ය.

‘ඇන්ටික් කඩයක මරණයක්’ මංගල දර්ශන තෙදිනෙන් පසු ඒ පිළිබඳ සමාජ මාධ්‍ය අවකාශ ප්‍රමුඛ කොටගනිමින් ලියා තිබුණු සටහන් කිහිපයක්ම කියවන්නට මට අවස්ථාවක් ලැබිණ. ඒ හැරුණු විට, ප්‍රේක්ෂාගාරයේ උන් ඇතැමෙක් කෘතිය සමග සිය එකඟතා හා නොඑකඟතා ද මා හා බෙදා ගත් හ. ඊඩිපස් සංකීර්ණය සහ මනෝ විශ්ලේෂණවාදය හා බැඳී ආ අදහස්, සිංහල - බෞද්ධ ජාතිකවාදය සමග කෘතියේ පෙළ කරන ගණුදෙනුව, තල ත්‍රිත්වයක් මත දිවෙන කෘතියේ රංග අවකාශය පිළිබඳ අදහස්, ප්‍රධාන චරිත කිහිපයේ සහ ගායන/වාද්‍ය වෘන්දයේ මැදිහත්වීම් ඒ කියැවීම් තුළ සඳහන්ව තිබිණ. මේ කුඩා සටහන, නිරතුරුව බහු-කියැවීම් යෝජනා කරන හඳගමගේ කෘති එකතුවේ නවතම වේදිකා නාට්‍යමය මැදිහත්වීම වන ‘ඇන්ටික් කඩයක මරණයක්’ වෙත තවත් එක් යෝජනාවක් ඉදිරිපත් කිරීමට ය.

හඳගමගේ ‘ඇන්ටික් කඩය’ ඔහුගේ ‘අක්ෂරයේ’ දිගුවක් ලෙස පැමිණ තවත් මරණයක් අප වෙත තබයි. එය කෘතියේ නම තුළම වෙයි. ඒ කෙසේ වෙතත්, කෘතිය නරඹන අපි ද, කෘතියේ පාත්‍ර වර්ගයාගෙන් වැඩි කොටසක් ද මේ ඇන්ටික් කඩ අවකාශය අභියස නොමැරී ජීවත් වන්නෝ වෙති. මට අනුව, ඔහු මේ අප වෙත තබන ‘ඇන්ටික් කඩය’, නව නාට්‍ය ආකෘතිය තුළ තත්‍ය රංග උපකරණ භාවිතා නොකොට තැනිය හැකි බව එක් තරුණ දක්ෂ නාට්‍යකරුවෙකු මා සමග සඳහන් කළ ‘ඇන්ටික් කඩය’, පෙර කෞතුකාගාර මුරකරන්නා දැන් ඒ අතීතයෙන්ම තෝරා බේරාගත් භාණ්ඩ විකිණීම සඳහා භාවිතා කරන ‘ඇන්ටික් කඩය’, ඔහුගේම රමණ රහස් අප වෙත (නො)සඟවා තබන ‘ඇන්ටික් කඩය’, ඔහුගේම ‘අදරැති’ දියණිය  මාරාන්තික රමණයකින් පසු මරා දැමෙන ‘ඇන්ටික් කඩය’ ඇතුළු සියල්ල ඉක්මවමින්, හඳගමයානු ප්‍රකාශන භාෂා ස්වරූපය මත මැවෙන ‘ඇන්ටික් කඩයකි’! එය අප මිය නොයා ජීවත්වන ඇන්ටික් කඩය පිළිබඳ සංකේතයක් ද අප වෙත සංඥා කරයි.

මගේ යෝජනාව මේ බහු සංඥා සපයන ‘ඇන්ටික් කඩය’ පමණක් ගෙන වෙන්ව සාකච්ඡා කිරීම ද අගනා බව ය.

පෙර කෞතුකාගාර මුරකරු හෙවත් වර්තමාන ඇන්ටික් කඩකරු, ඔහුගේ දියණිය, දියණියගේ හීරළු පෙම්වතා, පරිවාසයේ සිට පෙරළා පැමිණෙන මහේස්ත්‍රාත්වරියගේ පුතු යන සියල්ලන්ගේම චක්‍රීය ගමන් මාර්ග ඇන්ටික් කඩය පසුබිමෙහි තබමින් තැනෙයි. මුරකරුගේ නිවස තැනී ඇත්තේ, භෞතිකව නම්, ඇන්ටික් කඩයේ උඩුමහලේ ය. ගායන හා වාදන වෘන්දය හමුවන්නේ ඇන්ටික් කඩයට වම් පසින් පහළ වේදිකාවේ ය. ඒ හැටි දෙයක් නොවුණත්, ඇන්ටික් කඩය වේදිකාවේ විශාල අවකාශයක් අරාගනිමින් රැඳෙයි. මේ ‘ඇන්ටික් කඩය’ කුමක් විය හැකි ද?

සංස්කෘත නාට්‍යයේ සිට මෙරට ගැමි නාටකය හරහාත්, නෝ කබුකි හරහාත් ගමන් කරමින් සරච්චන්ද්‍ර තැනූ ‘දේශීය නූතන නාට්‍ය සම්ප්‍රදායේ දී’ චරිත සිය අවකාශ සොයා යන්නේ චක්‍රීය ගමන් පථවල ය. මෙහිදී සියල්ලෝ ඒ ගමන් පථ හා සමාන ගමන් පථවල යති. අප වසර 75ක් පමණ තිස්සේ ඉහළ තලයක ලා අගයන චක්‍රීය ගමන් පථය පසුපසෙහි ඇන්ටික් කඩය තබමින්, හා ඇන්ටික් කඩය සාපේක්ෂව අක්‍රීය අවකාශයක් බවට හරවමින්, හඳගම සිය නව ප්‍රකාශන අඩවිය විමසන්නට අපට ආරාධනා කරන බව පෙනේ.

සරච්චන්ද්‍ර තැනූ චක්‍රීය ගමන් පථය පසුපස දෘශ්‍යමාන ඇන්ටික් කඩයක් නොතැනුණ ද ඒ පසුපසින් නැගී ආ දෘෂ්ටිවාදාත්මක ප්‍රවේශ අපට ඇන්ටික් ලොවක් තනා දුන් හ. ඒ සමාජ, දේශපාලනික කතිකාව ඛේදාන්තයකින් පසු ඇන්ටික් කඩ අප වෙත තබන සමය වන විට හඳගම පැමිණ එය අපට පෙන්වා ඇත. එබැවින්ම මේ අඳුරු, චරිත එතරම් ඇවිද නොයන, වාද්‍ය/ගායන වෘන්දය විමසන්නට හෝ නොසිතන ‘ඇන්ටික් කඩ’ අවකාශය විසුණු කොට විමසිය යුත්තේ අප ද? ඒ හරහා අප සොයාගත යුත්තේ ‘ඇන්ටික් කඩ’ අවකාශවල අප නොමැරී ගත කරන ජීවිත ද?

‘ඇන්ටික් කඩය’ බහු-කියවීම් නිතැනින්ම තනන අවකාශයක් බැවින් මට එරෙහිව අතීත උරුමයෙන් ගත් ආයුධයක් ‘ඇන්ටික් කඩ’ අවකාශයෙන්ම ගෙන දමා ගසා ඔබටත් තවත් මාර්ග යෝජනා කළ හැකි ය.

-ප්‍රියන්ත ෆොන්සේකා - 

Thursday, April 8, 2021

ලක්ෂපති සහ වොයිස් ශ්‍රී ලංකා: නාලිකාවක සමාජ ප්‍රවේශය

  (2021 මාර්තු 21 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි.)

ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා සංඛ්‍යාව ජනගහනයට සාපේක්ෂව ඉතා ඉහළ අගයකි. සංඛ්‍යාත ඔස්සේ බෙදා හැරෙන, භාෂා තුනකින් අප වෙත ලැබෙන, නාලිකා ගණනාවකට අමතරව කේබල් නාලිකා විශාල සංඛ්‍යාවක් ඇසුරු කරන්නට ද දැන් ලාංකික ප්‍රජාවට ඉඩ ලැබී ඇත්තේ ඩයලොග් සහ පියෝ ටීවී යන සේවාවන් ඔස්සේ ය. සෘජුව විදේශයන්ගෙන් මිලට ගෙන බෙදා හැරෙන නාලිකා සියල්ල පසෙකින් තැබුව ද මෙම නාලිකා අප වෙත පිරි නමන දේශීය නාලිකා ගණන සුළු නැත. ඒ අතරට, නව මාධ්‍යමය, යූටියුබ් නාලිකා ද එක් කළහොත් ලැබෙන්නේ විශාල අංකයකි. ඒ අගය කොපමණදැයි මා දන්නේ නැත.

‘ඔබේ පවුලේ නාලිකාව’, ‘රූපවාහිනී මහගෙදර’ වැනි උද්‍යෝග පාඨයන් සමග කෙතරම් පෙරට කැඳවීමට උත්සාහ කළත්, බිඳ වැටී, දේශපාලනීකරණය වූ පරිපාලනයන් නිසාත්, නිර්මාණශීලී එළඹුම් නොමැති වීම නිසාත් ස්වාධීන රූපවාහිනිය සහ ජාතික රූපවාහිනිය යන ප්‍රධාන රාජ්‍ය නාලිකා පෙර පවත්වාගෙන ආ ඇගයුම් කටයුතු තත්වයන් බිඳ දමාගෙන ඇති බව නොරහසකි. විශේෂයෙන් 90 දශකය තුළ සිරස ටීවී හා සමග පෞද්ගලික නාලිකාවන්හි තරගකාරීත්වය ඉහළ නැග ඒමත් සමග රාජ්‍ය නාලිකා සිදු කළේ එම නාලිකාවන්හි ෂෝනරික ප්‍රවේශ කොපි කිරීම මිස අන් කවරකුදු නොවේ. එනයින්ම, ඒ ඒ සමයන්හි සාපේක්ෂව වඩාත් සාධනීය තැන හිමි කරගන්නේ යම් නිර්මාණශීලී මැදිහත්වීමක් සමග එන පෞද්ගලික නාලිකාවන් ය. එක් එක් සමයන්හි එය සිරස, දෙරණ, ස්වරණවාහිනී වැනි වැඩි ප්‍රේක්ෂක අවධානයක් ඇති නාලිකා අතර දෝලනය වන අයුරු නිරීක්ෂණය කළ හැකි ය.

2000 වර්ෂයෙන් පසු එළඹෙන මුල් දශකයේ ‘සිරස සුපර් ස්ටාර්’ වැඩසටහන සමගින් රියැලිටී ගීත ගායනා තරග ෂානරය මෙරට ප්‍රේක්ෂාගාරය අභියස තැබූ සිරස නාලිකාව ඉන් මඳ කළකට පසු ‘ඔබ ද ලක්ෂපති මම ද ලක්ෂපති’ ප්‍රශ්න විචාරාත්මක රියැලිටි වැඩසටහන ද ආලින්දයට කැඳවා දුන්නේ ය. විදෙස් රියැලිටි වැඩසටහන්වල ආකෘතික සමානකම් හෝ සෘජු අවසරයන් සහිත දේශීය ප්‍රති-නිර්මාණයන් ලෙස මෙහි නිර්මාණය වූ මෙම වැඩසටහන්, ඒ පසුපස සිටි දේශීය නිර්මාණ කණ්ඩායම්වල ශූරත්වය මත යම් වැඩි ආකර්ෂණයක් ද දිනාගත්තේ ය. වත්මනෙහි, දෝලනය වෙමින් පැවති ජනප්‍රියත්ව තරගයේ, පැහැදිලි බිඳ වැටීමකට පසු තීරණාත්මක පෙරගමනක් දිනාගෙන ඇත්තේ ‘ඔබ ද ලක්ෂපති මම ද ලක්ෂපති’හි පසුකාලීන නිෂ්පාදනය වූ ‘සිරස ලක්ෂපති’ සහ ජාත්‍යන්තර මට්ටමින් පැවැත්වෙන රියැලිටි ගායනා තරගාවලියක් වන ‘වොයිස්’ හි මෙරට තරගාවලිය වන ‘වොයිස් ශ්‍රී ලංකා’ ය.

මේ නිශ්චිත වැඩසටහන් යුගලය පිළිබඳ මෙම තීරයෙහි සටහනක් තැබිය යුතු බව මට හැඟුණේ ඇයි?

මාධ්‍යයන් පුරවැසියන් වෙනුවෙන් නොවන තැන දී ඊට එරෙහි වූ බලපෑම් කණ්ඩායමක් සියලු මාධ්‍ය ආයතනවලට සිය විරෝධතාව ප්‍රකාශ කරන්නට කළු පැහැයෙන් මුහුණු බැඳගෙන සංදේශ රැගෙන ගිය මොහොතේ සිරස ටීවී ආයතනය කටයුතු කළ ආකාරයට එරෙහිව එදවස මම ද අදහස් ප්‍රකාශ කළෙමි. තම මාධ්‍ය ආයතනය ඉදිරිපිටට පැමිණි විරෝධතාකරුවන්ගේ මුහුණු රතු පැහැයෙන් රවුම් කොට දැක් වූ අවස්ථාවේ අප ලීවේ ‘මගේ මුහුණත් රවුම් කරපිය’ යනුවෙනි. ඒ, වඩා යහපත් මාධ්‍ය භාවිතයක් ඉල්ලා සිටින පුරවැසි කණ්ඩායමකට එරෙහි වීමට අපේ විරෝධය පෙන්වීමට ය. ඒ සිරස ටෙලිවිෂනය තුළම සාධනීය වැඩසටහනක් විකාශය කෙරෙද්දී එය ඇගයීමට ද අප පසුබට විය යුතු නැත. ඉහත වැඩ සටහන් ඒ සාධනීය ලකුණු අප වෙත තබයි.

විදෙස් රියැලිටි වැඩසටහන් දෙකක මෙරට ඉදිරිපත් කිරීම් ස්වරූප නිසාම ‘ලක්ෂපති’ සහ ‘වොයිස් ශ්‍රී ලංකා’ ටෙලිවිෂන රූපමය ආකර්ෂණයෙන් ඉදිරි ලකුණක් ගනී. ඒ සඳහා නියත වශයෙන් ආයතනයේ තාක්ෂණික නිර්මාණ අංශයේ දායකත්වය ද මේ වැඩසටහන් වෙත ලැබී ඇති බව පෙනේ. නමුත් මගේ අවධානය යොමු වන්නේ මෙහි ‘පිටපත’ පිළිබඳව ය!



රියැලිටිවලට පිටපත්?

රියැලිටි ටෙලිවිෂන තිරය මත ඇඳෙන්නේම පිටපතකින් තොර බව හඟවමිනි. බොහෝ විට ඉතා ඉසියුම්ව නැගූ පිටපතක් එහි නොතිබෙන්නට ද පුළුවන. එසේ වුවත්, එහි ලියැවෙන හෝ නොලියැවී නැගෙන පිටපත තැනෙන්නේ එය නිර්මාණය කෙරෙද්දී ය. ඉදිරිපත් වන්නාගේ, ඔහුගේ හෝ ඇයගේ පවුලේ සාමාජික පිරිසගේ සමීප රූපයේ සිට දුර රූපය තෙක් ද, ඔවුන්ගෙන් අසන පැනයේ සිට නොඅසා මග අරින පැනය තෙක් ද ඒ පිටපත තුළ ඇත. එය සියල්ල රූගත කිරීමෙන් අනතුරුව සිදුවන පසු නිෂ්පාදන අවදියේ දී තැනෙන්නක් වුව වන්නට බැරි නැත. සිරසට ඇගයුම ලැබෙන්නේ මේ පසුබිමේ දී ය.

‘ලක්ෂපති’ සඳහා එන භාග්‍යා අබේරත්න සිංහරාජය විනාශ වීම පිළිබඳ සිය පිළිතුරෙන් ඔබ්බට ගොස් කරුණු දැක්වීම, ‘වොයිස් ශ්‍රී ලංකා’ වෙත එන ඒ. ආර්. ජිතේන්ද්‍ර "මම මේ ලෝකෙ වෛර කරන දේවල් දෙකක් තියෙනවා. ජාතිවාදය සහ ජාතිවාදීන්!” යනුවෙන් තමන් හඳුන්වා දෙමින් පැවසීම රියැලිටියක වඩා පොහොනි පියවරකි. දියව යමින් සූරා දමන පරිසරයක් අභියස, ජාතිවාදියෙන් මනුෂ්‍යත්වය පාගා දමන සමාජයක් අභියස ඉතා සීමාකාරී වැඩසටහන් හමුවේ මේ යොමුවීම් අගය කළ යුතු එබැවිනි. ‘ලක්ෂපති’ ප්‍රශ්න අසන්නා ලෙස චන්දන සූරියබණ්ඩාර ඉතා ආකර්ශණීය ලෙස ප්‍රශ්න නැගුව ද සෑම පිළිතුරු දෙන්නෙකුම සමාජ තත්ව පිළිබඳ එක්වරම සිය හඬ එතැන නගන්නේ නැත. ඒ බුද්ධිමත්ව තැනූ එහි පිටපතයි. ‘වොයිස් ශ්‍රී ලංකා’ වේදිකාවේ දී හිටිවනම තරුණයෙකු හෝ තරුණියක නගන්නේ ද ඒ යොමුවයි.

නාලිකා වැසි වැස්සවිය හැක. සොයාගත නොහැක්කේ මනුෂ්‍යත්වය හා සමාජ වගකීම හා වගවීම සහිත මාධ්‍ය භාවිතයයි. ඒ දෙස හැරී බලන මාධ්‍යයකට වුව අප ආචාර කළ යුතු ය.

-ප්‍රියන්ත ෆොන්සේකා -

Tuesday, March 23, 2021

ඩ්‍රාමා ගැන ‘ඩ්‍රාමා’




  (2021 මාර්තු 14 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි.)

මෙම සටහන තබන්නට සුදුසුම වේලාව මෙයදැයි මා දන්නේ නැත. හෙත් පැහැදිලිවම මෙය තැබිය යුතු සටහනක් බව මම දනිමි. කලාව පිළිබඳ කියවිම ඉතා පහළ අගයක් ගන්නා සමයක, නිශ්චිත කලාපයක් තුළ, අසීරුතම ඉලක්කයක් වෙනුවෙන් වෙහෙසෙන කණ්ඩායමක් නැතිනම් ප්‍රකාශනයක් සඳහා ඇගයීමක් දිය යුතුම ය. මේ ඒ වෙනුවෙනි.

‘ඩ්‍රාමා’ නමින් සඟරාවක් නාට්‍ය හා රංග කලා විෂයය ප්‍රමුඛ කොට ගනිමින් අප අතට පත් වනුයේ දෙවසරකට පමණ පෙර ය. ‘තියටර් වර්ක්ස් නිෂ්පාදන’ පෞද්ගලික සමාගම විසින් ගෙන එන මෙම සඟරාවෙහි සංස්කාරකවරයා ජෙහාන් අප්පුහාමි ය. ඔහු සමග තවත් කණ්ඩායමක් මේ කර්තව්‍යය පසුපස වන බවත්, විශේෂාංග රචනය හරහා තවත් රචකයින් සමූහයක් ද ‘ඩ්‍රාමා’ සඳහා දායක වන බවත් සඟරාවෙහි මුල් පිටු දෙක තුන අපට දෙස් දෙයි.

කලාවෙහි විවිධ ඉසව් සම්බන්ධව ප්‍රකාශයට පත් කෙරෙන පුවත්පත් සහ සඟරාදිය තත් කලා අවකාශය පිළිබඳ සංවාදය පුළුල් කිරීම සඳහා අත්‍යාවශ්‍ය ය. අද වන විට මෙය අන්තර්ජාල අවකාශ හරහා බ්ලොග්, වෙබ් අඩවි යනාදිය දක්වා විහිද පැතිරගොස් තිබුණ ද පුවත්පතට සහ සඟරාවට ලැබී ඇති ඉඩ ඉන් හැකිලී ඇත බවට අපට අවසන් නිගමනවලට පැමිණිය නොහැක. අනෙත් අතට, තවමත් ඩිජිටල් මාධ්‍ය ඇසුරු කිරීමෙහි පරිචයෙන් දුරස් පරපුරක් ද අප අතර වන හෙයින්ම මුද්‍රිත මාධ්‍ය මැදිහත්වීම ද ඉතා වැදගත් තැනක පවතින බැව් යෝජනා කළ හැකි ය. ‘ඩ්‍රාමා’ පුරවන්නේ නාට්‍ය හා රංග කලා විෂයයෙහි එම අවැසියාවයි.

‘සරසවිය’ පුවත්පත සිනමාව සබැඳි සිංහල පුවත්පත් එකතුවෙහි ඉහළම නාමය ලෙස තවමත් දරා සිටින්නේ දශක ගණනාවක් මුළුල්ලේ එය සිනමා සාහිත්‍යය වෙනුවෙන් ලබා දෙන දායකත්වය මතු නොව, බිඳ වැටෙමින් හා නැගෙමින් වුව, ‘සරසවිය සම්මාන උළෙල’ ද පැවැත්වීම හේතුවෙනි. එහෙත්, සිනමාව විෂයයෙහි පුවත්පත දක්වන්නේ, තරු ගුණය අගයමින්, තොරතුරුමය පක්ෂයට වැඩි නැඹුරුවක් සහිත ලිපි ඉදිරිපත් කිරීමට මිස ඒ හා බැඳුණු වින්දනාත්මක, විචාරාත්මක හෝ ශාස්ත්‍රීය සාකච්ඡාවකට නොවේ. සෙසු සමාන පුවත්පත්වල තත්වය ද එබඳු ය. එම හිදැස තරමකින් හෝ පුරවන්නට කලෙක ‘සිනෙසිත්’ ද, පසුව ‘සදිසි’, ‘චිත්‍රපට’ සහ ‘14’ ආදී සඟරාද දායක වුණු බව පෙනේ.

ජාතික චිත්‍රපට සංස්ථාව මගින් පිරි නැමෙන ‘චිත්‍රපට’ සඟරාව හැර අද සිනමාව විෂයයෙහි අර්ධ ශාස්ත්‍රීය මට්ටමින් හෝ පළ කෙරෙන සඟරාවක් හමු නොවේ. ඛේදවාචකය වී තිබුණේ, සිනමාව හා සසඳා බැලූ කළ, සෘජුවම පාසැල් විෂයය මාලාව තුළ පවා මුණ ගැසුණු නාට්‍ය හා රංග කලා ක්ෂේත්‍රය හා සබැඳුණු එවැනි සඟරාමය හෝ පුවත්පත්මය මැදිහත්වීමක් නොතිබීමයි. ‘ප්‍රේක්ෂා’, ‘වේදිකාව’සහ ‘කසාය’ යනාදී නමින් නැගීවිත් තිබුණු රංග කලාව ඉලක්ක කොටගත් ‘සඟරා’ මැදිහත්වීම් දිගු වසර ගණනක් මුළුල්ලේ, කලාප බොහෝ ගණනක් සමගවිත් නාට්‍ය ප්‍රේක්ෂකයා සහ නාට්‍ය හදාරන්නා වෙත පැමිණ තිබුණු වගක් හඳුනාගන්නට නැත.

‘ඩ්‍රාමා’ පුරවාලන්නේ මේ හිස්තැනයි!

‘අයියෙ, මම දැක්ක ‘අනිද්දා’ පත්තරේට මවුනගුරු ගැන ලියල තිබුණු කොලම් එක. ඒක මරු. අපි ‘ඩ්‍රාමා’ කියල මැගසින් එකක් පටන් ගන්නව. මං ගන්න ද ඒක අපෙ සඟරාවටත්?’

මහාචාර්ය මවුනගුරු පිළිබඳ දෙවැනි දිගු ලිපියකින් ‘ඩ්‍රාමා’ පළමු කලාපයට දායක වන්නට සිදු වුණු ජෙහාන්ගනේ මවෙත ලැබුණු ඉහත දුරකථන ඇමතුම හේතුවෙනි. මේ හා සමාන, නමුත් විවිධ කලාප හා සබැඳුණු දුරකථන ඇමතුම් සහ ඉල්ලීම් බොහෝ අය වෙත ලැබී ඇතුවාට සැක නැත. කිසිදු වෙහෙසකින් තොරව, ජෙහාන් ප්‍රමුඛ පිරිසෙහි මෙම මැදිහත්වීම හත්වෙනි කලාපය තෙක් ‘ඩ්‍රාමා’ කැඳවාගෙනවිත් ඇත.

කලාව සබැඳි කතිකාවන්හි දේශීය සාහිත්‍යමය මැදිහත්වීම්වලදී මගේ ඇස ගැටී ඇත්තේම ඉතා වැඩි වශයෙන් ඉතිහාසමය කරුණු හා තොරතුරු පදනම් කරගත් පතපොත ය. සඟරා සහ පුවත්පත් ද යළි මුණගස්වන්නේ, වැඩි වශයෙන් එවැනිම තොරතුරු සැකෙවින් ගෙන එන, ලිපි හා සටහන් ආදිය ය. ඒ දන්නා, පවතින කරුණුම යළි යළිත් ප්‍රති-රචනා කිරීමක් පමණි. බොහෝ විට, ප්‍රධාන මූලාශ්‍රයේ ඇති දුබලතා හේතුවෙන් පසු ලිපිය තවත් දුබල තැනකට වැටෙනායුරු ද හඳුනාගැනීම අසීරු නොවේ. ‘ඩ්‍රාමා’ එතැනින් ද විතැන් වී ඇත.

ගෙවුණු කලාප කිහිපයක්ම එදිරිවීර සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා ප්‍රමුඛ අතීත නාට්‍යකරුවන්ගෙන් එළඹ රාජිත දිසානායක, ධනංජය කරුණාරත්න සහ බුද්ධික දමයන්ත වැනි අද්‍යතන, තරුණ නාට්‍යකරුවන් පිළිබඳ විමසීම සිය මූලික තේමාව ලෙස තබාගෙන පැමිණ තිබූ අතර, ඊට අමතරව බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් වැනි ප්‍රමුඛ, විදේශ නාට්‍යකරුවන් මෙන්ම ලෝක නාට්‍ය කලාවේ නව ප්‍රවණතාදිය ද මුල් තේමාව තුළ තබා තිබිණ. ඒ අතරම, ග්‍රීක නාට්‍ය කලාව, ජපාන නාට්‍ය කලාව ඈ පුරාතන නාට්‍ය කලාවන්, අගුස්තෝ බොආල් වැනි විකල්පධාරා තුළ නැගුණු නාට්‍යකරුවන්, පෙළ රචනය, අංග රචනය ඈ නිර්මාණකරණය හා සබැඳුණු ක්ෂේත්‍ර ඇතුළු බොහෝ අංශ සාකච්ඡාවට කැඳවා තිබිණ. මෙම බහුවිධ බව ‘ඩ්‍රාමා’ ඊ ළඟ කලාපයක් වෙත පෙරමග බලන පාඨකයෙකු තැනීමක් බව පෙනෙයි.

එසේම, ‘ඩ්‍රාමා’ පවතින ප්‍රමුඛ කතිකාවලට එරෙහි ඉම්-බිම් වෙත ද අප යොමු කරන අවස්ථා නොවන්නේ නොවේ. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ බිරිඳ ලලිතා සරච්චන්ද්‍ර සමග සිදු කරන මෙම සංවාද උපුටනය උදාහරණ ලෙස ගෙන සිතන්න.

“සරච්චන්ද්‍ර මහත්තයා එය ෂෝ එකකටයි ගියේ දඹුල්ලෙ. Doctorගෙ හිතේ මේ හැම ශාලාවක්ම ලයනල් එක වගේ කියල. අපි ඩොක්ටර්ට කිව්ව නම් ‘අපි ගිහිං මේ වගේ හෝල්වල තමයි නාට්‍ය කරන්නෙ කරන්නෙ’ කියල, ඩොක්ටර් අපිට කවදාවත් යන්න දෙන්නෙ නෑ. එයා කියන්නෙ ‘මේ කොළඹ නාට්‍ය පෙන්නුව නම් ඉවරයි නේද ලලිතා’ කියල.”

‘ඩ්‍රාමා’ සඳහා ‘ඩ්‍රාමා’ යන නමින්ම සඟරාවක් පැමිණීම මෙන්ම එය කලාප හතක් පසු කරමින් ඉදිරියට ඇදීම සතුට දනවන සුළු හැඟුමකි. ‘ඩ්‍රාමා-කරුවෙකු, රසිකයෙකු, උගන්වන්නෙකු හා ඒ පිළිබඳ ලියන්නෙකු ලෙස’ ඉහළම සතුට එහි දීර්ඝ, අනවරත පෙරගමන දකිනු ලැබීමයි.

-ප්‍රියන්ත ෆොන්සේකා -

 

Saturday, March 6, 2021

යුගල හාස්‍ය වැඩසටහන්: නව මාධ්‍යය හරහා පිවිසෙන සමාජ කියවීමක් ලෙස

 (2021 පෙබරවාරි 21 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි.)

“මං මේ කතා කරන්නේ මේ රටේ වග කිව යුතු වැඩිහිටියෙක් හැටියට. යකෝ, මේ රටේ සංස්කෘතිය, සදාචාරය, සභ්‍යත්වය අපි රැකගන්න ඕනෙ... මේ වැලන්ටයින් මගුල් නිසා ඒව විනාශ වෙන්න දෙන්න බෑ. අපිට නැති ආතල් උන්ට මොකට ද?”

“ඒක නෙවෙයි ඕඅයිසී මහත්තයා, ඔය සංස්කෘතිය, සදාචාරය ගැන කතා කරපු නිසා අහන්නෙ. ඒ කාලෙ රජවරුන්ටත් අන්තහ්පුර පවා තිබ්බ නේ?”

“ඔව්... ඉතින්?”

“ඉතිං කියන්නෙ එහෙනං ඒවත් හෙණ අවුල්නෙ.”

“ඔය ඇහුවෙ! ඒකෙ තියෙන අවුල මොකද්ද කියහංකො? රජතුමාට අන්තහ්පුරයක් තියෙන එකත් සංස්කෘතිකයි!”

'ලකයි සිකයි' හි තේමා රුව
ඉහත දෙබස් පෙළ මගේ කණ වැකුණේ මෙය ලියන්නට පෙර දින සවස් කාලයේ ‘ලකයි සිකයි’ යූටියුබ් නාලිකාව හරහා යූටියුබ් අඩවියට මුදාහැර තිබුණු ‘ලව් සිකුරුටි’ හාස්‍ය වැඩසටහන තුළ දී ය. එය සංවාදය ගොඩනැගෙන්නේ උද්‍යානයක රාජකාරියේ නියුතු ආරක්ෂකයින් දෙපළක් අතර ය. සංවාදයේ පසුබිමට හේතු වන්නේ, එළඹ ඇති වැලන්ටයින් දිනය හේතුවෙන් උද්‍යානයට ඇතුළු වීමට නියමිත නානාවිධ පෙම්වතුන්ගේ ‘පෙම් කිරීමේ සීමාව’ තීරණය කිරීම සඳහා පාලක නියෝජිතයින් වන ආරක්ෂකයින් ගැනීමට නියමිත ක්‍රියාමාර්ගයන් ය.


‘ලකයි සිකයි’ යනු යුගල හාස්‍ය වැඩසටහන් ලෙස ගෙවුණු වසර කිහිපය තුළ ලාංකික විනෝදාස්වාද කලාපය තුළ නැගී ආ ජනප්‍රිය ෂානරයක එක් ප්‍රමුඛ යුගලයකි. ‘පොඩි මල්ලියි, චූටි මල්ලියි’ ‘ජනයි -ප්‍රියයි’ යනාදී වශයෙන් මෙම ෂානරය තුළ එකිනෙකා හා තරග වදින කණ්ඩායම් ගණනාවක්ම දැකගත හැකි ය. පූර්ණ වශයෙන් සිංහල භාෂිත වැඩ සටහන් කලාපයක කටයුතු නොකරන හෙයින් ප්‍රේක්ෂාගාරය තරමක් වෙනස් වුව ද ‘බ්ලොක් ඇන්ඩ් ඩීනෝ’ අයත් වන්නේ ද මෙම යුගල ෂානරයටම ය.

මෙයට දශක කිහිපයකට පෙර, ගුවන් විදුලිය මෙරට ප්‍රමුඛ සන්නිවේදන මාධ්‍යය ලෙස පවතින සමයේ දී නැගී ආ ‘ඇනස්ලි, බර්ටි, සැමුවෙල්’ ත්‍රිත්වයේ ‘විනෝද සමය’ ප්‍රමුඛ හාස්‍ය වැඩසටහන් එකල ප්‍රේක්ෂක මනදොළ පුරවා ලී ය. ස්වකීය හාස්‍ය වැඩ සටහන් හුදු ‘සරලමතික’ සීමාවන් තුළ නොතැබූ එතිදෙන ඒ ඔස්සේ මධ්‍යම පාන්තික සමාජයේ බොහෝ දුබලතා උපහාසාත්මකව විමසමින් සිනාසෙන්නා අභිමුව කැඩපත් තැබූ හ. අලස හා කපටි ලෙස විදේශිකයින් රවටා යම් මුදලක් ගරා ගන්නට තැත් දරන්නන්, විමසුමකින් තොරව රැල්ලට ගසා යන්නන්, රජයේ සේවකයින් ලෙස කටයුතු කළ ද සිය රාජකාරිය යනු කුමක්දැයි යන්න පවා නොදන්නන් යනාදී ලෙස අනේක චරිත ඔවුහු අප වෙත තබමින්, හාස්‍ය පෙරමුණෙහි තබමින් වුව, නිශ්චිත අරමුණකින් යුතු සාකච්ඡාවක් යෝජනා කළ හ.

නව මාධ්‍ය යුගයට එළඹෙත්ම, ඉහත ත්‍රිත්වයේ රූපවාහිනී ප්‍රවේශයන්ගෙන් ද පසු, යුගල හාස්‍ය වැඩසටහන් අප අභියසට පැමිණ තිබෙයි. මේ එකදු වැඩසටහනක් හෝ අපට නොතකා හැරිය නොහැක්කේ යූටියුබ් අවකාශයට මුදා හැර ඉතා සුළු මොහොතකින් දහස් ගණනින් පිරිස් පැමිණ ඒ නරඹන්නට පෙළ ගැසෙන හෙයිනි. ඒවායේ ප්‍රේක්ෂාගාරය ඉහළ ය. ඇතැම් විට ලක්ෂ ගණනක ‘නැරඹුම් අගයන්’ අදාල වීඩියෝව වෙත ලබා දෙන්නට තරම් ක්‍රියාකාරී ය.

විනෝද සමයේ තිදෙන


විනෝද සමය යුගය වෙත හැරී මෙම හාස්‍ය වැඩ සටහන් හා ඒ සැසඳීම තරමක සරල පියවරයක් වුවත්, එතැනින් සංවාදයට එළඹෙන්නෙකුට මේ කලාප දෙකෙහි ඇති සාම්‍යයන් හා නොපෑහෙන කලාප ද හඳුනාගත හැකි වනු ඇත. අතීත නොස්ටැල්ජික මතකයන් සමග පමණක් යන්නෙකු ‘ඇනස්ලි, බර්ටි සහ සැමුවෙල්’ යුගය වත්මනට වඩා බොහෝ ප්‍රබල තැනක වන බව තර්ක කරන්නට ඉඩ ඇතත් මට පෙනෙන්නේ ඇගයිය යුතු හා ඇගයිය හැකි අංග ගණනාවක් මෙම යුගල හාස්‍යමය නිර්මාණයන්හි ද වන බව ය. තීරුව ආරම්භයේ මා තැබුවේ ඒ සඳහා එක් උදාහරණ දෙබසකි.  යළි හැරී ඒ විමසා බලන්න.

‘ලකයි සිකයි’ හි නිර්මාණාත්මක අංශයේ පෙරටුගාමියා එහි ලකාගේ චරිතය නිරූපණය කරමින් පිටපත ලියා බොහෝ නිර්මාණ අධ්‍යක්ෂණය කරන ලක්මාල් වීරසිරි බව පෙනේ. ඔහු ලියන ඉහත දෙබස් පෙළ, ඒ වීඩියෝවේ සෙසු බොහෝ තැන්වල හමුවන දෙබස් හා සමාන ලෙසම, යළිත් අප සමාජ සංස්කෘතික දේහය දෙස හැරී බලන්නට කරන යෝජනාවන් ය. ජනප්‍රිය සංස්කෘතියේ ප්‍රමුඛස්ථානයක තැබෙන ‘යුගල හාස්‍යමය වැඩසටහනක’ විනාඩි කිහිපයක වීඩියෝවක් ඔස්සේ ලාංකික සමාජ සංස්කෘතික හා දේශපාලනික මහා මූලයන්හි විප්‍රකාරයන් උත්ප්‍රාසයට ලක් කරන්නට පිවිසීමම පැසසුම් කටයුතු ය.

කෙසේ වෙතත්, එහිලා වඩාත් වැඩි දේශපාලනික සවිඥාණිකත්වයක් ‘ලකයි සිකයි’ වෙත වන බැව් නිරීක්ෂණය කළ හැකි ය. මෙම කණ්ඩායම් අතුරින් සෙස්සන්ට වඩා දිගු අතීතයක් ඇති ‘පොඩි මල්ලියි - චූටි මල්ලියි’ වැනි යුගලයන් ද අභිබවමින් මෙම සමාජ සවිඥාණික බව ඇතැම් තන්හි මෙම කණ්ඩායම හමුවේ හඳුනාගත හැකි ය. ‘ලව් සිකුරුටි’ මෙන්ම ‘දෙවැනි රැල්ල’ වැනි කොරෝනාව පසුබිම් කරගත් වීඩියෝවන් විමසීමෙන් ඒ බව වටහාගත හැකි ය.

විනාඩියක දෙකක කාල සීමාවක සිට විනාඩි දහයක පමණ උපරිමයක් දක්වා කාලයක් තුළ විශාල ප්‍රේක්ෂාගාරයක් ආකර්ෂණය කරමින්, සිනහව පෙරමුණෙහි තබා, උත්ප්‍රාසාමක ලෙස සමාජය විමසන්නට ප්‍රවිශ්ට වීම පහසු කටයුත්තක් නොවේ. මෙම කණ්ඩායම් අනුකරණය කරන්නට එළඹෙන බොහෝ දෙවැනි පෙළ කණ්ඩායම්වල අසාර්ථකත්වය ඒ සඳහා දෙස් දෙයි. ස්ව-අනන්‍ය රංගන හැඩතල, ආවේණීක ස්වරූපයන් ආදියෙන් මෙම යුගලයන් තම කණ්ඩායම්වල මං තනාගෙන ඇති බව පෙනේ. දෙපිට කැපී යන, ‘අශිෂ්ට’ යැයි යමෙක් යෝජනා කළ හැකි දෙබස් ද මේ ඇතැම් වීඩියෝවල හමුවෙතත්, මෙවැනි ශානරයන්හි එක් ලක්ෂණයක් ලෙස ඒ හඳුනාගත හැකි බව ද නිරීක්ෂණය කළ නොහැක්කේ නොවේ.

සතියකට වරක් හෝ බැගින් සිය ප්‍රේක්ෂාගාරය වෙත හාස්‍යමුසු වීඩියෝවක් සමග විත් කැඩපත් ද තබා යන්නට මේ කණ්ඩායම්වලට හැකිනම් සහ ඒ තත්වයන් ඔවුන් තව දුරටත් වර්ධනය කරගන්නේ නම් අප ඔවුන්ට ආචාර කළ යුතුම ය.

 

-          ප්‍රියන්ත ෆොන්සේකා -

Saturday, February 20, 2021

ක්‍රිකට් පිටියේ අර්බුදය වෙනම දැකීමේ අර්බුදය

 (2021 පෙබරවාරි 14 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ සංස්කරණය වී පළවූවකි. මේ එහි සම්පූර්ණ ලිපියයි.)


ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව තුළ නැගී ඇති අර්බුදය පිළිබඳ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවේ අතීත ප්‍රමුඛයින් සිදු දෙනෙකු සමග සිදු කෙරුණු රූපවාහිනී සංවාදයක් පසුගිය දා නෙත ගැටිණි. දකුණු අප්‍රිකානු සංචාරයත්, ඉන්පසුව යෙදුණු එංගලන්ත පිළේ ශ්‍රී ලංකා සංචාරයත් ඉතා ඛේදනීය ලෙස පරාජයට පත් වීමත් සමග, පසුගිය වසර කිහිපයක් මුළුල්ලේ නැගී එමින් තිබුණු ක්‍රිකට් පරිපාලනය සහ කණ්ඩායම පිළිබඳ සංවාදය යළි පෙරමුණට පැමිණ තිබුණු අතර, ක්‍රිකට් පිළිබඳ වැඩි අවධානයක් නිරතුරුව ලබා දෙන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සංවාදය කැඳවා තිබිණ. මූලාරම්භයේ දී අනුමාන කළ හැකි වූ ලෙසම, ක්‍රිකට් ක්‍රීඩා පිටිය හා සම්බන්ධව උන් අතීත ප්‍රමුඛයින් වූ බන්දුල වර්ණපුර, අර්ජුන රණතුංග, සනත් ජයසූරිය සහ අවිශ්ක ගුණවර්ධන සමස්ථ වැඩ සටහන පුරා පෙන්වා දුන්නේ ක්‍රමිකව නැගී ආ පරිපාලන අර්බුද ඇති වීමත්, ක්‍රීඩකයින් තුළ වූ විනය, සාමූහික වගකීම හා වගවීම, කණ්ඩායම් හැඟීම, පුහුණුවීම පිළිබඳ දක්වන උනන්දුව ආදිය බිඳීයාමත්, මුදල් සියල්ලම යට කරමින් නැගී සිටීමත් හේතුවෙන් ක්‍රිකට් බිඳ වැටී ඇති බව ය.

දැන් මේ අර්බුදය අපට වෙන්ව ගෙන සාකච්ඡා කළ හැකි ද? ඒ සාකච්ඡාව තුළ යමින් පමණක් විසඳුම් සෙවිය හැකි ද? මගේ පිළිතුර නම් නොහැකිය යන්නයි.

දේශපාලනිකව මේ ප්‍රශ්නය වටහා ගැනීමකින් තොරව මේ සඳහා විසඳුම් සොයනු නොහැකි යැයි අයෙකු තර්ක කරනු ඇත. තවකෙකු අතීතයේ පටන් නැගී ආ හා පසුව බිඳ වැටුණු ක්‍රිකට් ක්‍රීඩා පරිපාලනය එකිනෙක පිළිවෙලින් විමසා බැලීමකින් තොරව මෙය සිදු කළ නොහැක්කකැයි කියා සිටිනු ඇත. ඒ සියල්ල පසෙක තබනු නොහැකි වුවත්, පිටිය තුළ පෙනී යන, අසංවිධිත බවෙහි සංඥාව අප වටහා ගන්නේ කෙසේ ද? අප රට හා සමාන තත්වයන් තුළ වුව, එක් එක් කණ්ඩායම් තුළ හඳුනාගත හැකි ක්‍රීඩාශීලීත්වය, සාමූහික බව සමග වගකීම හා වගවීම දියව යාම අප හඳුනාගැනීමට ප්‍රවේශ විය යුතු මාර්ගය කුමක් ද? මෙතැනදී වර්ණපුර, රණතුංග, ජයසූරිය හා ගුණවර්ධන යන ක්‍රිකට් පිටියේ අතීත ප්‍රමුඛයින්ගෙන් පමණක් අපට විසඳුම් බලාපොරොත්තු විය නොහැක.

තත්වානුරූපීව මේ දැන් සංඥා කෙරෙමින් පවතින්නේ ගෙවී ගිය දශක කිහිපය මුළුල්ලේ ක්‍රමිකව බිඳ වැටෙමින් පවතින අධ්‍යාපනය හා සංස්කෘතික හර පද්ධතිය පිළිබඳ පසුබිමයි. දැන් අපට තාක්ෂණයෙන් පිරිපුන් පිති හරඹ ඥාණයක් ඇතැයි සඳහන් කුසල් මෙන්ඩිස් කෙනෙකු මුණ ගැසී අවස්ථාවෝචිත ප්‍රතිචාර සහිත පිති හරඹ ඥාණයක් සහිත කුසල් මෙන්ඩිස් කෙනෙකු මුණ නොගැසෙන්නේ එහෙයිනි. කඩුල්ල පිටුපස සංගක්කාර කෙනෙකු වෙනුවට දික්වැල්ල කෙනෙකු ද, පන්දුව රැගෙන දිව එන වාස් කෙනෙකු වෙනුවට ලක්මාල් කෙනෙකු ද, දඟ පන්දුව සිය සුරතට ගන්නා මුරලි කෙනෙකු වෙනුවට අකිල ධනංජය කෙනෙකු ද මෙලෙසම වර නගමින් වටහා ගත හැක. ගෙවුණු දශකය හෝ දෙක තුළ ලාංකික පාසැල් ක්‍රිකට් ක්‍රීඩාව බිඳ වැටුණු බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තමන්ට ලැබෙන ඡන්ද ගණන අවම වීම හේතුවෙන් පාසැල් ක්‍රිකට් නොසළකා හැරි බවටත් සඳහන් කෙරෙද්දී අප අමතක කර දමන්නේ පාසැල් පද්ධතියම, සියල්ල සමග, කොහොමත් බිඳ වැටී ඇති බව ය. දරුවකු පාසැල වෙත යැවීමේ දෙමාපිය චින්තනය ද පැවති පුළුල් සීමාවලින් විතැන් වී ඇති බව ය.

දැන් එළඹ ඇත්තේ සාමූහික තරගකාරීත්වය ඉක්මවූ අනෙකා පරයා යෑමේ තරගය ඉස්මතු කෙරෙන යුගයයි!

කණ්ඩායම් ක්‍රීඩා පිළිබඳ දශක කිහිපයකට පෙර සිදුවූ පූර්ව යොමු කිරීම්, අවම පහසුකම් මධ්‍යයේ වුව, සාමූහිකත්වයේ මූල සාධකය පදනම්ව නැගිණ. විශේෂයෙන් පාසැල් පසුබිමෙහි දී මේ ක්‍රීඩා නැගී තිබුණු ආකාරය, මෙය කියවන ඔබ මැදි වියට එළඹ ඇත්තෙකු නම්, අතීත ස්ව-පාසැල් අත්දැකීම් ඔස්සේ සැරිසරමින් විමසීම අගනේ ය.

“තමන්ගෙ පුතා ලකුණු 100ක් ගැහුවම විතරක් සතුටු වෙන, ඒ ටීම් එකේම වෙන දරුවෙක් හොඳට සෙල්ලම් කළොත් ඉරිසියා කරන අම්මල තාත්තල දැන් ඉන්නෙ!”

මෙවැනි උදාහරණ දෙබස් පාසැල් ක්‍රීඩා පිටි අසබඩින් ඇසෙන්නේ ඉඳහිට නොවේ. 5 වසර ශිෂ්‍යත්වයේ පටන් නංවා තැබෙන තරගකාරීත්වය විසින් ආකෘතිගත කර ඇති ‘දෙමාපිය-දුදරු යන්ත්‍ර’ සාමූහික වගවීම් හා වගකීම් සහිත, ක්‍රීඩාශීලි ගුණය උතුරන, ක්‍රීඩාවක ජීව ගුණය මතු කොට ඔප් නංවන පසුබිමක් තනා දෙතැයි විශ්වාස කළ නොහැකි ය.

එසේනම් අප විසින් සිදු කළ යුත්තේ කුමක් දැයි ඔබ මවෙතින් විමසන බව මම දනිමි. අපට ඒ සඳහා කළ හැකි විශ්වකර්ම පියවරයන් නොමැත. අධ්‍යාපනය ප්‍රමුඛව තබමින් වඩා සාධනීය හෙට දවසක් වෙනුවෙන් තුංග පුරවැසියෙකු තැනීම සඳහා වන ක්‍රියාකාරීත්වයක් සඳහා අපට මං විවර කළ හැකි නම් එය මේ සඳහා දිගුකාලීන, එනමුත් ප්‍රායෝගික, පිළිතුර බව පමණක් යෝජනා කළ හැකි ය. වඩා යහපත් සමාජ-දේශපාලනික වටපිටාවක් තැනීම ඒ සඳහා අත්‍යාවශ්‍ය පියවරකි.

ඒ සියල්ල අතරතුර, ඇතැම් විට හෙට, ශතකයක් දෙකක් සහ කඩුළු ත්‍රිත්වයක් ආදිය සමග, අපේ කණ්ඩායම දිනන්නටත් ඉඩ ඇත. එම ජයග්‍රහණ අප වටහාගත යුත්තේ බුද්ධිමත්ව ය.

-ප්‍රියන්ත ෆොන්සේකා -

 සේයාරුව: © Getty Images

 

Monday, February 15, 2021

පාසැල් අධ්‍යාපනයේ බිහිසුණුකම්: තවත් කෝණයක්

 (2021 පෙබරවාරි 07 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ සංස්කරණය වී පළවූවකි. මේ එහි සම්පූර්ණ ලිපියයි.)

ඇය මගේ මිතුරියකි; පාසැල් ගුරුවරියකි; මවකි. සිය දියණිය මහනුවර ප්‍රසිද්ධම පාසැලකට ඇතුළු කරගැනීමේ විසල් සිහිනයක, දියණිය ඉපැදුණු මොහොතේ සිටම ගිලී උන් තැනැත්තියකි. මේ එළැඹ තිබෙන්නේ ඇගේ සිහිනය සැබෑවක් වන හෝ නොවන 2021 වසරයි. එම සිහිනය සාක්ෂාත් කරගනු වස් ගෙවුණු වසර ගණනාව මුළුල්ලේම ඇය විසින් සිදු කොට තිබුණු කැප කිරීම් ලාංකීය අධ්‍යාපන ක්‍රමය පිළිබඳ බිහිසුණු චිත්‍රයක් අප ඉදිරිපිට තබන බව සඳහන් කරමින්ම මගේ අද තීරුව ඇරඹීමට සිදුවීමම කණගාටුවට කරුණක් වුවත් සත්‍යය ඒ බව ලියා තැබිය යුතුම ය.
පාසැල් නාමාවලිය පිළිබඳ සඳහන් කරමින්, ඒ අනුව, පාසැල්වල තත්‍ය නම් සඳහන් කරමින් මේ ලිපිය ලිවීම අත්‍යාවශ්‍ය ය. මෙහිලා ලියැවෙන්නේ දියණියකගේ සහ මවකගේ පුවතක් හෙයින් ලියැවෙන නම් බාලිකා විද්‍යාලවල නම් වනු ඇත. ඒ නම් ලියැවෙන්නේ අදාල විද්‍යාල පිළිබඳ ඇති විරෝධයකින් නොවන බව ඒ ඒ විද්‍යාලවලට සම්බන්ධ, මේ ලිපිය කියවන පාඨක පිරිස වටහා ගනු ඇත. මගේ මූලික අවශ්‍යතාව අප විසින් දැඩිව අවධානය යොමු කළ යුතු යැයි මා නිරතුරුව යෝජනා කරන අධ්‍යාපන ක්‍රමයේ ඇති තවත් අර්බුදයක් වෙත සැමගේ නෙත් යොමු කරවීම පමණි. 

පළමුවැනි ශ්‍රේණිය සඳහා දියණියන් ඇතුළු කිරීමේ ‘තරගයේ දී’, මහනුවර බාලිකා පාසැල් අතුරින් ඉහළම ‘ඉල්ලුම’ ඇති පාසැල මහමායා බාලිකා විද්‍යාලයයි. දෙවැනි තැන, ආසන්නව යමින්, මහනුවර උසස් බාලිකා විද්‍යාලයට හිමි වන අතර, ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය, ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය යනාදී වශයෙන් මෙහි සෙසු ස්ථාන තීරණය වී ඇත. පුෂ්පදාන බාලිකා විද්‍යාලය ද මහනුවර ප්‍රමුඛ බාලිකා විද්‍යාල අතර පෙරමුණේ පසුවුවත් එම පාසැල මෙම තරගයට ඇතුළු නොවන්නේ එහි ප්‍රාථමික අංශයක් නොවන බැවිණි.

සිය දියණිය මහනුවර මහමායා බාලිකාවට හෝ උසස් බාලිකාවට ඇතුළු කරවීමේ අරමුණින් මාගේ මිතුරිය දියණිය ඉපදුණු මොහොතේ පටන් අනාගත සැලසුම් සකස් කොට තිබිණ. කුඩා දියණිය හා පුතු (ඇයට දියණියට වඩා වැඩිමහල් පුතෙකු ද සිටියි.) සිය රැකියා විරහිත වැඩිමහළු සොයුරියක භාරයේ තබා පාන්දරින්ම නිවසින් පිටව ගොස්, බොහෝ වෙහෙස වී, සිය ප්‍රාථමික අංශ ගුරු රැකියාව නිම කොට, වසර පහක් මුළුල්ලේ ඇය සේවය කොට තිබුණේ දුෂ්කර/දුරබැහැර සේවයේ යෙදෙන ගුරුවරුන් සඳහා හිමි වන ‘දරුවන් පාසැලට ඇතුළු කර ගැනීමේ කෝටාව’ හරහා සිය දියණිය අංක එකේ පාසැලට ඇතුළු කර ගැනීමට ය. කෙසේ වෙතත්, මේ ලියන මොහොත වන විට ඇයට අංක එක, එනම් මහමායාව සහ උසස් බාලිකාව ලකුණු 2-3කින් අහිමිව ගොසිනි. ‘දරුවන් පාසැල්වලට දැමීමේ තරගය’ කොහොමත් කම්පනකාරී වුවත්, මෙහි ඇති විසල් කම්පනය නම්, ඇයට ඒ ලකුණු අහිමි වන්නේ (හෝ කෙරෙන්නේ) ගෙවුණු වසර ගණනාවටම ඇය ලබාගත් නිවාඩු දින 4-5ක් හේතුවෙන් වීමයි! 

දැන් ඔබ හා ප්‍රතිපක්ෂව හිඳ ගැනීමට මට අවසර දෙන්න! පාසැල්වලට දරුවන් ඇතුළු කරගැනීම පිළිබඳ පොදු සමාජ එකඟතාව සමග හිඳින ඔබ බහුතරය ඇය නිසි ක්‍රමවේදයට අනුව ගොස්, නිවාඩු විරහිතව, ලකුණු දිනාගෙන තිබුණේ නම් සිය දියණියට මහමායාවම දිනාගන්නට ඉඩ තිබුණේ යැයි කියා ‘අනේ අපරාදේ!’ කියනු ඇත. ‘දැන් ඉතින් ඉස්කෝලවලට ළමයි දාගන්න එක ලේසි නෑ!’, ‘පේනවනේ ඕවගෙ හැටි’, ‘කීයක් හරි අත මිටමොලවලා තිබුණනං හරියන්නත් තිබ්බ...’ වැනි විවිධාකාර යෙදුම් කැඳවනු ඇත. නමුත්, මා ඔබට යෝජනා කරන්නේ මා ප්‍රශ්නය දෙස බලන ස්ථානයට පැමිණෙන ලෙස ය.

මේ බිහිසුණු හා නිර්ලජ්ජිත ක්‍රමවේදය කුමක් ද?

දරුවකු ඉපදුණු මොහොතේ පටන් දරුවාගේ මව වෙත මාතෘ නිවාඩුවක් හිමිවුවත් එය කෙළවර වූ පසු දරුවාගෙන් වැඩි වේලාවක් මව ඈත් කර තැබීමේ (හා මේ ක්‍රමවේදය ඔස්සේම දරුවාට පාසැලක් සොයන පියෙකුට ද අදාල වන ලෙස, පියා ඈත් කර තැබීමේ) යෝජනාවක් මෙම තුච්ඡ ලකුණු පටිපාටිය පසුපස වෙයි. ඒ හා සමග, ‘සැමට සමාන අධ්‍යාපනය’, ‘හොඳම පාසැල -ළඟම පාසැල’ යනාදී ‘ප්‍රෝඩාකාරී’ යෙදුම් හරහා ඔද වැඩූ පාසැල් අධ්‍යාපන ක්‍රමයේ තත්‍ය ස්වරූපය මේ හරහා හෙළිදරව් වෙයි. සිය සිඟිති දියණිය (හෝ පුතු) වේදනාවෙන් දවසේ (හෝ සතියක් පුරා) වැඩි වේලාවක් ඈත් කොට තබමින් මේ මව්වරුන් (හා පියවරුන්) වළිකන්නේ ඔවුන්ට ඇත්ත ලෝකයේ ‘හොඳම පාසැලක්’ ලබා දෙන්නට ය. ඒ පාසැල්වල ඇති පහසුකම්, පිළිගැනීම ඇතුළු සියල්ල ඔවුහු දනිති.

එසේ වුවත්, නොදකින හා ඈත් කෙරෙන දරුවා හේතුවෙන් මේ මව්වරුන්ගෙන් හොඳ සේවයක් ඔවුන්ගේ පාසැල්වලට ලැබෙනු ඇතැයි පිළිගත නොහැකි ය. ඒ නිසාම, විෂම චක්‍රය යළි හොඳින් නැගී, ඛේදවාචකයේ ගොදුරු බවට පත් වන්නේ දුරබැහැර ප්‍රදේශවල දරුවන්ම ය. ගුරුවරයා/ගුරුවරිය පසුවන්නේ වෙනත් තරගයක හා මානසික මට්ටමක හෙයින් සිය පාසැලේ දරුවන් වෙත වඩා හොඳ සේවයක් ඔවුන් වෙතින් ලැබේයැයි අනුමාන කිරීම ද හේතු විරහිත ය.

මේ සියල්ල අතර, මේ පුවත ඇසූ විදේශයක වෙසෙන මාගේ මිතුරෙකු කියූ දෙයක් ද ඔබ වෙත තබමින් සමුගන්නට ඉඩ දෙන්න.

“මොනවා? ලකුණු දෙන්නෙ නිවාඩු නොගෙන ඉන්නවට ද ඔහේ? මෙහේ නම් අවුරුද්දේ නිවාඩු නොගන්න එකයි වැරැද්ද. මනුස්සයෙකුගෙ වැඩ වගේම විවේකයත් මේ රටවල ඉහළින්ම හොයල බැලෙන දේවල්!”

ඒ රට ඕස්ට්‍රේලියාවයි. ලොව ජීවත්වීම සඳහා සුදුසුම නගර බොහොමයක් එහි වන බව අපි දනිමු.

-ප්‍රියන්ත ෆොන්සේකා -

Thursday, January 28, 2021

අධ්‍යාපනයේ අර්බුදය එක පිටුවකින්: හය ශ්‍රේණියේ පුරවැසි අධ්‍යාපනය - පිට 99

 (2021 ජනවාරි 24 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි)

දිනය මට හරියටම මතක නැතත් ඒ පසුගිය දෙසැම්බර් අවසානයේ දිනයක් බව නම් අමතක නැත. මගේ බිරිඳගේ ඥාති දියණියක ශිෂ්‍යත්ව විභාගය සමත්ව උන් හෙයින් ඇයට සුබ පතනු වස් අපි ඇයගේ නිවසට ගොස් සිටියෙමු. ශිෂ්‍යත්වය ඉහළින් සමත් වීම හේතුවෙනුත්, නව පාසැලකට යාමට ලැබීම හේතුවෙනුත් දියණිය සිටියේ සතුටකිනි. ඇය නව පාසැලේ දී අසුන් ගැනීමට නියමිත හය වැනි ශ්‍රේණියට අයත් පාසැල් පොත් එකතුවක්, ඇය තුළ වූ ආඩම්බරය සංඥා කරමින්ම, ඇගේ කුඩා පොත් මේසය මත රැඳී තිබුණේ ය. එකිනෙක පොත් අතින් ගෙන බැලූ මට මා වඩාත් ආශා කරන, නමුත් අප පාසැල් යන සමයේ එනමින් විෂයයක් නොවූ, පොතක් පෙරළා විමසන්නට සිතුණේ ය. පොත ‘පුරවැසි අධ්‍යාපනය’ පෙළ පොතයි. අහඹු ලෙස පෙරලීමෙන් පසු මගේ නෙතු නතර වූයේ 99 වන පිටුවේයි. මේ පහත මා උපුටන්නේ එහි මා දැක, මගේ දුරකථන කැමරාවේ සටහන් වූ ඡේදයකුයි.

නිව්යෝර්ක් නුවර මධ්‍යම උද්‍යානයේ දර්ශනයක්

“ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ඉඳලා කිලෝමීටර් 30ක් විතර යන තුරු කොළපාට එක ම එක ගහක්වත් දකින්න නෑ. ඊට එහා ගහකොළත් කොළපාට වෙන්නේ අවුරුද්දේ භාගයක් විතරයි. අවුරුද්ද පුරා අව්ව වැටෙන දහවලක් ඔවුන්ට ලැබෙන්නේ නෑ. ඒ රටවල අයට කොළපාටින් පිරුණු අපේ රට දකිනකොට ඇස් අදහා ගන්නත් බැහැ”.

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් හයවැනි ශ්‍රේණිය සඳහා ප්‍රකාශයට පත් කොට ඇති පුරවැසි අධ්‍යාපනය පෙළ පොත ප්‍රමුඛ මාතෘකා තුනකට වෙන් කොට ඇති බව එහි පටුන දෙස් දෙයි. ‘අපේ පාසැල’ සහ ‘අප ජීවත්වන ප්‍රදේශය’ ලෙස වන පළමු හා දෙවන කොටස්වලින් පසු මුණගැසෙන තෙවැනි කොටස ‘යහපත් පුරවැසියෙකු වශයෙන් ප්‍රගුණ කළ යුතු ගුණාංග’ නමින් නම් කොට ඇත. ඉහත උපුටනය ඒ යටතේ එන අතර ඒ සඳහා වන අනු මාතෘකාව වී ඇත්තේ ‘අපේ දේශීය දේ අභිමානයෙන් සුරකිමු’ යන්නයි. අනු මාතෘකාවට පහළින් පහත ආරම්භක වැකිය සමගින් අදාල ඡේද පෙළ ඇරඹී තිබිණ.

“අපේ මව්බිම” නමින් පැවති රූපවාහිනී සංවාද වැඩසටහනක දී පළ වූ අදහස් කිහිපයකි මේ.

රූපවාහිනී වැඩසටහනක් හෝ වෙනයම් කවර කලාපයක් හෝ උපුටමින් දරුවන් වෙත යම් කරුණක් වෙත අවධානය යොමු කරවීම වරදක් යැයි කිසිවකුට යෝජනා කළ නොහැකි ය. වරද (මෙවැනි වැඩසටහනක් සත්‍ය ලෙසම පැවතියේ වුවත්) ඒ සටහන් කරන දෙයෙහි ඇති නිරවද්‍යතාවයි. දෙවැනුව ඒ ඔස්සේ දරුවන් වෙත අප සම්ප්‍රේෂණය කරන්නට යන කරුණෙහි හෝ කරුණු එකතුවෙහි වන දෘශ්ටිවාදීමය පදනමයි.

අපි එකින් එක විමසමු.

අන්තර්ජාලයේ ඇති තොරතුරු දත්ත අනුව වර්ග කිලෝමීටර 783.8ක් වන සමස්ථ නිව්යෝර්ක් නගර අවකාශයෙන් වර්ග කිලෝමීටර 113ක් වෙන්ව ඇත්තේ නගර උද්‍යාන සඳහා ය. නිව්යෝර්ක් නගර දෙපාර්තමේන්තුව ඉතා උනන්දුවෙන් මෙම උද්‍යාන කළමණාකරණය කරනු පමණක් නොව ඒවා තව දුරටත් සංවර්ධනය ද කරනු ලබන බව පෙනෙයි (විමසන්න: https://www.nycgovparks.org/). කොන්ක්‍රීට් වනාන්තරයක් ලෙස නිව්යෝර්ක් නගරය නම් දරා ඇති වුවත්, අති දැවැන්ත, නගර මධ්‍යය පුරා විහිදි මධ්‍යම උද්‍යානය ද සමග නැගෙන උද්‍යාන, කුඩා සෙල්ලම් පිටි ඇතුළු කලාප 17,000ක් නගර කලාපය පුරා විහිද පවතින බව සොයා ගැනීම සුළු අන්තර්ජාල සැරියකට වුව පිවිසෙන්නෙකුට අපහසු කටයුත්තක් නොවේ.

නිව්යෝර්ක් නගරය: කුරුළු ඇසකින්
නිව්යෝර්ක් නගරය පිළිබඳ ‘තඩි බොරුවක්’ දරුවන්ගේ මනස් තුළ ධාරණය කරවමින් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගෙන් ද සැදුම්ලත් පුරවැසි අධ්‍යාපනය පොතේ සංස්කාරක මඩුල්ල සිය ආධ්‍යාශය කොට ගන්නේ අප රටේ ‘ඇති’ (හෝ නැති) ශ්‍රී විභුතියක් පිළිබඳ දරුවන්ට අදහසක් දෙන්නට ය. සමස්ථ පාඩමම උපුටාගන්නා රූපවාහිනී වැඩසටහන මත පදනම් කරගන්නා සංස්කාරකවරු අදාල වැඩසටහන තුළ දී අපේ රටේ ඇති කෘෂි සම්පත් හා ඛණිජ සම්පත් ආදිය ගැන ද, පුරා විද්‍යාත්මක හා පරිසරමය සම්පත් ආදිය ගැන ද වර්ණනාභිමුඛව කතා කළ බව කියති.

අප රට හරිතමය දිවයිනක් බව රහසක් නොවේ. සමකාසන්න රටක් ලෙස එයට බලපෑ තත්‍ය පරිසර සාධක අප පාසැල් ගිය සමයේ නම් ‘සමාජ අධ්‍යයනය’ පාඩම් මාලාවල අප ට ඉගෙන ගන්නට තිබුණේ ය. නිව්යෝර්ක් නගරය වසරින් අඩක් හරිත වර්ණයෙන් තොර වන්නේ ලෝක දේශගුණික තත්වයන් හේතුවෙන් බව දරුවන්ට පැහැදිලි කර දී, ලෝකයේ විවිධ කලාපවල ඇති විවිධතාවන් පිළිබඳ ඇගයීමෙහි වටිනාකම වටහා දී අනතුරුව අපගේ සම්පත් පිළිබඳ හා ඒ අප රැකගත යුතු හේතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ප්‍රවේශ වූයේ නම් මෙම පාඩම ‘පුරවැසි අධ්‍යාපනය’ පිළිබඳ තත්‍ය පාඩමක් වීමට තිබිණ. නමුත් දැන් තැනී ඇත්තේ ඉතා පටු දෘෂ්ටිවාදයක් දරුවන් වෙත තබන පාඩමකි. එය නිව්යෝර්ක් නගරය ගැන කියන ‘තඩි බොරුවට’ වඩා භයානක ය.

යහපත් පුරවැසියකු නිර්මාණය කිරීම පිළිබඳ සාකච්ඡාව නිරන්තරයෙන් ඉදිරියට ඇදී යාම අත්‍යාවශ්‍ය ය. එහිලා පාසැල් අධ්‍යාපනය හමුවේ ‘පුරවැසි අධ්‍යාපනය’ මැයෙන් විෂයයක් හමුවීම ද වරදක් යැයි පෙනෙන්නේ නැත. වරද ඒ විෂයය සඳහා වන පෙළ පොත තුළ බහා ‘සීමාකාරී චින්තනයකින් යුතු’ පුරවැසියෙකු නිර්මාණය කිරීමට අවශ්‍ය දේ පොම්ප කිරීමට කටයුතු කිරීමයි.

මම පෙරළුවේ අහඹුවෙන් එක් පිටුවකි. ඔබ පෙරළන වෙනත් පිටුවල වෙනත් ‘තඩි බොරු’ ද, දුර දිග නොබැලූ මතිමතාන්තර ද නොවන බව තර්ක කළ හැකි ද?

-ප්‍රියන්ත ෆොන්සේකා -