Tuesday, September 25, 2018

කලාවේ ඉතිහාසය වෙත ඇවිද යාම සහ මොනාලිසා


(2018 සැප්තැම්බර් 23
වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරය ලොව වැඩිම ජන ආකර්ශනයක් ඇති (2017 දී මිලියන 8.1ක්) අංක එකේ කලා කෞතුකාගාරයයි. ප්‍රාග් ඉතිහාසයේ පටන් නූතනය දක්වා විහිදෙන, කලා කෘති 38,000කට ආසන්න ප්‍රමාණයක් වර්ග මීටර 73,000ක් පුරා විහිදෙන කෞතුකාගාර බිමෙහි ඇවිද යන්නෙකුට මුණ ගැසෙනු ඇත. සෙන් නදියට දකුණින්, පිලිප් ඔගස්ටස් රජ සමයෙන් ඇරඹ, ප්‍රංශ ඉතිහාසයේ ප්‍රමුඛ රාජ්‍ය නාමයක් වන දහහතරවැනි ලුවී රජුගේ ද රාජකීය මාළිගයක්ව පැවත ඇති, වසර සිය ගණනක ඉතිහාසයක් හිමි, ගෘහ නිර්මාණ ශිල්පයෙහි අනගි නිමැවුමක් ද වන, විසල් ගොඩනැගිල්ලක් තුළ ඇවිද යමින් කලා ඉතිහාසය විමසීම සැබවින්ම සිත්ගන්නා සුළු කටයුත්තකි.

කෙසේ වෙතත්, මෙම කෞතුකාගාරයේ බොහෝ කලාපවල, එකිනෙකට කිසිදු සබඳතාවක් නැති කලා නිර්මාණ විමසමින් යන ඕනෑම කලා රසිකයෙකුට, යළි යළිත් මුණ ගැසෙන එක්තරා මග සළකුණක් වෙයි. ඒ නම්, මොනාලිසා නරඹන්නට නම් ඔබ මේ මගින් යා යුතු ය යන සඳහනයි. වීනස් ප්‍රතිමාව වෙත මග පෙන්වන්නට ද මග සළකුණු මුණ ගැසෙතත්, ඒ මොනාලිසා වෙත වන මග සළකුණු පරදවන තරමින් නොවේ.

කලා කෘති 38,000ක් පරදවන මොනාලිසා වෙත වන මෙම අරුමැති ආකර්ෂණය කුමක් ද?

2017 වර්ෂය වන විට මොනාලිසා චිත්‍රයෙහි මූල්‍ය වටිනාකම ආසන්න වශයෙන් ඩොලර් මිලියන 800ක් පමණ වෙතැයි ගණනය කොට ඇත. ඉතාලි පුනරුද සමයෙහි ප්‍රකට සිත්තරෙකු වන ලියනාඩෝ ඩා වින්සි අතින් සිතුවමට නැගී ඇති මෙම සිතුවම ප්‍රමාණයෙන් අඟල් 30ක දිගකින් සහ අඟල් 21ක පළලින් යුක්ත, සෙසු සිතුවම් බහුතරයකට සාපේක්ෂව කුඩා සිතුවමකි. මොනාලිසා වෙත වන ආකර්ෂණයට, එක්තරා අයුරකින් මෙහි වටිනාකම ද හේතුවක් වනු ඇති අතර, ඒ හා සමග, ලෝක කලා ඉතිහාසය තුළ හමුවන අති විශිෂ්ට කලා කෘතියක් ලෙස එය වර නැගී තිබීම ද හේතුවනු ඇත. මොනාලිසා සිතුවමෙහි හමුවන ලීසා දෙ ලියොකොන්ඩෝ නමැති ගැහැණියගේ මන්දස්මිතය, ඇයගේ අත් තබා ඇති අයුරු වැනි ආලේඛ්‍ය සිතුවමක හමුවන අංග ඩා වින්සි සිතුවම් කර ඇති ආකාරයත්, ලීසාගේ පසුබිමෙන් දිස් වන, ක්‍රමිකව දෘශ්‍ය ගැඹුර සමගින් වියැකී යන අයුරින් වන භූ දර්ශනය ඩා වින්සිගේ තෙලිතුඩින් මැවී ඇති ආකාරයත් කලා ඉතිහාස හා කලා ඇගයුම් කෘති අතිවිශාල ගණනක පිටු දහස් ගණනින් පුරවමින් මේ ආකර්ෂණය පසුපස වන අර්ඝණ කාර්යය සපුරා දී ඇත.

මොනාලිසා මුණ ගැසෙන, ඇයටම වෙන්ව ඇතැයි සඳහන් කාමරයේ වුව තවත් සිතුවම් 40-50ක පමණ ප්‍රමාණයක් ඇතත්, මොනාලිසා නරඹන්නට තෙරපෙන සිය ගණනක රසික සමූහයකගේ ඇස්වලට ඒ බොහෝ සිතුවම් මුණගැසෙන්නේ අඩු වශයෙනි. සිතුවමට අඩි කිහිපයක් ඉදිරියෙන් ඇද ඇති ආරක්ෂක කඹයත්, පසෙකින් වාඩි වී බලා සිටින ආරක්ෂකයාත් සිය රාමුවෙන් කපා හැර ගනිමින්, කෙසේ හෝ මොනාලිසා පසුපසින් තබාගෙන ‘සෙල්ෆියක්‘ ගසා ගන්නට පොර කන, ලොව නන් දෙසින් ආ ‘කලා රසිකයින්‘ මොනාලිසාගේ කාමරයේ දී ඔබට මුණගැසෙනු ඇත.

සැබවින්ම කලාගාරයක ඇවිද යාම යනු, තවත් කවරෙකු හෝ විසින් වරනගා ඇති, ඉතිහාසය විසින් ගොඩ නගා ඇති, මුදලින් මහා අගයක් ඇති, කෘතියක් සොයා යාමක් ද? මොනාලිසා පිළිබඳ ලූවර් කෞතුකාගාරයේ ‘ජනප්‍රියවාදී‘ වෙළඳ වටිනාකම හමුවේ අප නැගිය යුතු පැනය යැයි මම විශ්වාස කරමි. එක් කෘතියක් හමුවේ නංවන ලද ප්‍රභාවකින් අපගේ ඇස් නිලංකාර වීමට පෙර අප සමස්ථ කලාගාරය විමසිය යුතු ය.

මොනාලිසා මතු නොව සමස්ථ කලා ඉතිහාසයත්, කලා නොවන සෙසු ඉතිහාසයත් ඇතුළු බොහෝ කලාප හමුවේ මෙම සත්‍යය අප යළියළිත් සිහි කැඳවාගත යුතු ය. එය මෙරට ඉතිහාසය සම්බන්ධ විමසුමේදී මහා වංශයික පුරාවත පෙරමුණෙහි තබා මහානාම හිමියන්ගේ ලේඛණය හිස් මුදුනින් පිළිගැනීමට නොදෙවනි ය. සමාධි පිළිමය හෝ අවුකන ප්‍රතිමාව පෙරමුණට ගෙන, නැතිනම් සීගිරි සිතුවම පෙරමුණට ගෙන සෙසු නිර්මාණ මග හැර ඇවිද යාමට ද නොදෙවනි ය.

කලාව මූලිකව (හෝ නොමැතිව) අප වෙත නිරතුරුව මහා ආඛ්‍යානය වෙතින් පිරිනමන ඉතිහාසය සැබෑ කලාව පිළිබඳවත්, මානව ශිෂ්ටාචාරයේ බහුවිධ කලාප පිළිබඳවත් වන මග හැර යා නොයුතු තත්‍ය පුවත් බොහොමයක් අහිමි කරවන කලාපයකි. කලාව හමුවේ එය, එකිනෙකාට වෙනස්, අරුමැති ප්‍රවේශ මාර්ග දහස් ගණනකින් අප වෙත ඇමතූ, ඩා වින්සි හෝ මයිකල් ආන්ජලෝ සමග සමපාතව තබා විමසිය යුතු, තවත් බොහෝ නිර්මාණකරුවන්ගේ ඉතිහාසය හා ප්‍රකාශනයන් අපට අහිමි කරවනු ඇත. මානව ශිෂ්ටාචාරය වඩාත් පොහොසත්ව වටහා ගන්නට ඇති මාවත් අසුරා දමනු ඇත. සියල්ලටම වඩා, ඒකමානීය සිතීමක අප සියල්ලන්ම සිරකොට තබනු ඇත.

ඩා වින්සි සමග මොනාලිසා මෙන්ම කෘතිය හා සමග ගෙන විමසිය යුතු තවත් අති විශාල චිත්‍ර හා මූර්ති ශිල්පීහු සමූහයක් ලූවර් කෞතුකාගාර පරිශ්‍රය තුළ වෙති. ලූවර් පරිශ්‍රය තුළ දී ඒ මග හැරීම විශ්ව කලා ඉතිහාසය පිළිබඳ තත්‍ය සිතුවම මග හැරීමකි. එලෙසින්ම මානව ශිෂ්ටාචාරය සබැඳි නිවැරදි පුරාවතෙහි අනිවාර්ය අතුරු මාවත් සියල්ල මග හැර යාමකි. සමාන ලෙස මෙරට කලා ඉතිහාසය වර නැගීම තුළ මුණ ගැසෙන ‘මොනාලිසා’ ආකාර කෘතීන් වෙත සීමාව ඉක්මවා ආසක්ත වීම හා වැළඳ ගැනීම ද අප වෙත සම්මුඛ කර දෙනුයේ එවැනි ‘අතහැරුණු කලාප’ සහිත කලා (හා මානව) ඉතිහාසයකි.


මොනාලිසා කියවීම හා වටහා ගැනීම යනු, අනෙක් අතට, ඒ අභියස වන කඹය සහ මුරකරු සමගත්, සෙල්ෆි ගසන්නට පෙළ ගැසී සිටින ‘රසිකයා’ සමගත් ඒක්ව ගෙන කියවා ගැනීමයි. ඒ සමග ඒ කුඩා කාමරය තුළ වන වියැකී පසෙක සැඟව යන සිතුවම් පෙළත් අප කියැවීම වෙත කැඳවීම අත්‍යාවශ්‍ය කටයුත්තකි.

No comments:

Post a Comment