(2018
සැප්තැම්බර් 09 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)
‘ගෝල්’ චිත්‍රපටය සිය සිනමා
තිර අවකාශ සරණයේ අවසන් අදියර පසු කරමින් සිටී. තව දින කිහිපයකින් එය සිනමා
ශාලාවලින් ඉවත්ව යනු ඇත. රොහාන් පෙරේරා අප වෙත ආසන්න කාල සමයන්හිදී තිළිණ කළ චිත්‍රපට
පෙළෙහි තුන්වැන්නද, ‘කුඩා දරුවන්
ඇසුරින් සිදු කළ අනගි නිමැවුමක්ය’ යන සටහන යළිත් සිනමාව සම්බන්ධ සටහන්වල ලියා තැබෙනු ඇත.
මේ වන විටත් හමුවන බොහෝ විචාර සටහන් සහ සමාජ මාධ්‍ය ජාල සටහන් ඒ බවට දෙස් දී හමාර
ය.
ප්‍රේක්ෂක ආකර්ෂණය
මනාව දිනා ගනිමින්, ඉතා බුහුටිව
සිය උපකරණ සහ නළු නිළි පිරිස් මෙහෙයවා,
සිත් ඇදගන්නා
සුළු ආඛ්‍යානයක් තිරය මත මැවීම අතින් රොහාන් පෙරේරා තරම් සුහුරු සිනමාකරුවකු
මෑතකාලීනව ජනප්‍රිය සිනමා ධාරාව වෙත නොආ තරම් ය. තිසර ඉඹුලාන ‘නිනෝ ලයිව්’ සමගින් සමාන
බුහුටි නිර්මාණයක් ගෙන ආ නමුත් ඔහුගේ ඉදිරි පියවර මෙරට සිනමාවේ දරිද්‍රතා හමුවේ ඇන
හිට ඇත. තවත් තරුණ සිනමාකරුවන්ද ඉඹුලානට පසුපසින්, ජනප්‍රිය සිනමාව වෙත ප්‍රවේශ සිහින දකිමින්
සිටින බව නොඅනුමානය.
මගේ අද
පිවිසුම ‘ගෝල්’ සිනමාපටය පිළිබඳ
විවරණයකට නොවේ. ‘ගෝල්’ වැනි, සිනමා රූප වියමන් ජනප්‍රිය
ආඛ්‍යානයන් වෙත මෙහෙයවන්නට පෙරමුණ ගන්නා තරුණ සිනමාකරුවන් දෘෂ්ටිවාදීව වඩා පොහොසත්
සිනමා වියමන් වෙත සිය ආම්පන්න මෙහෙය විය යුත්තේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡාවකට මුල්
පියවරක් තැබීමට ය. සිය නිර්මාණය සමග ශාලාව තුළ සිට ඒකාත්මික වන ප්‍රේක්ෂකයා යම්
පියවරකින් හෝ ඔසවා තැබිය හැකි, අක්‍රිය,
සියල්ල එලෙසම
පිළිගන්නා ප්‍රේක්ෂකයකු නොකරන, ගණුදෙනු කළ
හැකි කෘතියක් නිර්මාණය කරන්නට අවැසි අඩුමකුඩුම ගැන විමසා බලන්නට ය.
‘ගෝල්’ චිත්‍රපටය ශාලාව තුළ
මුණගැසුණු විගස මගේ මතකය තුළට ආවේ මින් වසර කිහිපයකට පෙර ගුවන් ගමනක් අතරතුර මට
මුණගැසුණු දකුණු කොරියානු/ ජපාන හවුල් නිෂ්පාදනයක් වූ සිනමා කෘතියකි. සත්‍ය පුවතක් පසුබිම් කරගත් එහි නම ඉංග්‍රීසි බසින්
සටහන්ව තිබුනේ A Barefoot Dream යනුවෙනි.
‘ගෝල්’ මට ‘අ බෙය ෆූට් ඩ්‍රීම්ස්’
සිහි ගැන්වුයේ ඇයි?
මූලික වශයෙන් මෙහි කතා
පුවත් දෙකම එක හා සමානය. කිසිම දිනක පාපන්දු පිටියකට පය නොතැබූ කුඩා දරුවන්
පිරිසක් මෙහෙයවන දක්ෂ ගුරුවරයෙක් සිය ඉලක්කය සපුරා ගනිමින්, දරුවන්ගේ සිහිනයද දිනා
දෙමින්, පාපන්දු ලොව
තුළ ජයකෙහෙළි නංවයි. කෘති දෙකේම දරුවන් පාපන්දුවට කෝඩුකාරයින්ය; දරුවන්ගේ දෙමාපියන්
දුප්පතුන්ය; දරුවන්ගේ
වටපිටාව මේ සඳහා උදව් නොදෙන තරම්ය. එහෙත් කෘති කෙළවර ආපසු හැරී බලන්නෙකුට, එක් එක් කෘති වෙන්
වෙන්ව මුනගස්වන සාකච්ඡාවන් කුමන ආකාරයක් ගනීද? ‘ගෝල්’ අප වෙත තබන ලද දේ සහ සංවේදනාවන් කෘතිය දුටු
සියල්ලන්ට අඩුවැඩි වශයෙන් මතක ඇති බව සිතන හෙයින්ම මඍජුවම කොරියානු/ජපාන කෘතිය වෙත
ඔබ කැඳවා යමි.
කිම් වොන්
කාන් සිය බලාපොරොත්තු සපල කරගන්නට නොහැකිවූ, විශ්‍රාමික දකුණු කොරියානු පාපන්දු ක්‍රීඩකයෙකි.
ඔහු සියල්ල අතහැර නව සියවස සමගින් බිහිවුණු දේශය වූ නැගෙනහිර ටිමෝරය වෙත පිටත්ව
යන්නේ එහි නව ව්‍යාපාරයක් අරඹමින් ආර්ථිකව හෝ ශක්තිමත් වන්නට ය. ටිමෝරයේ දිවි අරඹා
ටික දිනකින් වීදි දරුවන් පිරිසක් නිරුවත් දෙපයින් පාපන්දු ක්‍රීඩාවේ නිරතව සිටිනු
දකින කිම් පාපන්දු පාවහන් සහ ජර්සි සාප්පුවක් විවෘත කරන්නට තීරණය කරයි. එහෙත් යළිත්
ඔහු පරාජය වන්නේ පාවහන් මිලට ගන්නට තරම් වත්කමක් ඇති දරුවන් එහි හමු නොවන බැවිනි.
එක්වරම නැගී ආ මහරු සිතුවිල්ලකින් පසු කිම් වීදි දරුවන්ට පාපන්දු උගන්වන්නට තීරණය
කරයි. අදහස ඔහු නිවැරදි මාවතකට කැඳවා ඇති බව හැඟෙත්ම සිහිනය විසල් වෙයි. එනම්
ජපානයේ පැවැත්වෙන ජාත්‍යන්තර යොවුන් පාපන්දු තරඟාවලිය ජය ලබන්නට ය.
සිහිනයක්
යථාවක් බවට පත් කරගන්නට වෙර දරන තරුණ පාපන්දු ගුරුවරයෙක් සහ වීදි දරු පිරිසක් අතර
නැගී එන සියුම් මානව ගණුදෙනුවලින් පිරි චිත්‍රපටය එහි ධාවන කාලය මුළුල්ලේ පාපන්දු
පිටියට ඔබ්බෙන් වන, රූප රාමුවෙන්ද
පිටතින් වන ලෝකය අප අභිමුව මවයි. ඒ එහි යටිපෙළ අරුත් මනාව හා පිරිසියුම්ව වියමන්
කරමිනි. දරිද්‍රතාව සමග එන නැගෙනහිර ටිමෝරයේ ඛේදනීය සමාජ පසුබිම සැඟව ඇත්තේ දරුවන්
ඩොලරයෙන් ඩොලරය එකතු කරමින් මිලට ගන්නට වෙර දරන පාපන්දු පාවහන් පසුපස ය. සමාජ
විෂමතාව සැඟව ඇත්තේ පාපන්දු කණ්ඩායමේ සාමාජික වීදි දරුවකු වෙනුවෙන් සියල්ල කැප
කරන්නට බලා සිටින ඔහුගේ කුඩා නැගණිය පසුපස ය.
‘ගෝල්’ ආකර්ශනීය සිතුවමක්
වුවත් මේ සත්තාවන් හා කරන ගණුදෙනුව දුර්වල ය.
ගුරුවරයාගේ වයස්ගත බව ඔහුගේ දක්ෂකම්වලින් හා අතීත වෘත්තයෙන් වැසී යනු ඇතත්
හිටි අඩියේ පහල වන මිළ අධික පාවහන් සහ ජර්සි බිඳ දමන්නේ විශ්වසනීය බව පමණක් නොවේ.
වඩා සරු සහ මහරු ලෙස කැටයම් කරන්නට ඉඩ තිබුණු, රූප වියමනෙහි සංකේතීයව සඟවා තිබුණු අවස්ථාවන්
ය.
සිනමා නිර්මාණකරණය
හමුවේ අප දේශීය කෘති වෙත සාපේක්ෂ වෙමින් සිදු කරන ‘අපට කළ හැකි සහ නොකළ හැකි’ දේ පිළිබඳ සීමා තාක්ෂණික
මෙවලම් සහ වෙන් කෙරෙන නිෂ්පාදන වියදම් හමුවේ පමණක් විමසා බැලිය යුත්තකි. ආඛ්‍යානය ගොඩ
නැගීම තුළ ජය ගත හැකි, ගැඹුරු සමාජ දේශපාලනික
සාකච්ඡාව මග හැරයාම සිනමාව අපේ ‘ඉලක්කයෙන්’
නැතිනම් ‘ගෝලයෙන්’ පිටතට විතැන් කිරීමකි.
‘ඉලක්කය’
ඉහළට නම් වඩා හරවත් රූපමය
වියමන් හමුවිය යුත්තේ කලාගාර සිනමාව තුළ පමණකිය යන අදහසින් අප ඉවතට පැමිණිය යුතුය.
මෑතකාලීන දකුණු කොරියානු සිනමාව යළි නැගී සිටියේ එහි ඔවුන් තැනූ සියලු සිනමා ශානරයන්ට
අයත් සිනමාපට තුළම වඩා පොහොනි රූප වියමන් හා ආඛ්‍යානයන් ගොඩනංවමිනි.
‘අ බෙයා ෆුට්
ඩ්‍රීම්ස්’ මා දුටු ගුවන්
ගමන, විදේශයකදී මවෙත
ලැබෙන පියාගේ මරණය පිලිබඳ පුවතින් පසු මා යළි මව්රටට ආ ගුවන් ගමනයි. සලිතව,
වේදනාබරිතව මෙරටට ගුවන්
යානය ලංවන තුරු වන කාලය ගෙවාගන්නට උදව් දුන්නේ කිම් සහ දරු පිරිසයි. ජයගත නොහැකි ඉලක්ක
දිනාගන්නා ඔහු වෙතින් මම මපියානන් යළි දිටිමි. ඒ කෘතියේ සුහුරු වියමන් හරහා එහි යටි
පෙළ මා මනස් අභ්‍යන්තරය වෙත කිඳා බසිද්දී ය.
-ප්‍රියන්ත ෆොන්සේකා
-
සේයාරුව: https://i.ytimg.com/vi/LS18-cqHCZo/maxresdefault.jpg
No comments:
Post a Comment